මතකයි එක පහන් රැයක
ඔරායන්ගෙ බඳ පටියේ
තරුවල දුර ගැන්නා
එදා රැයේ තරු අස්සේ
මැණික් වගේ ඇස් දිලිසෙන
ගැහැණු පුතෙක් උන්නා
හඳ පළුවක් වගේ පුතෙක්
උරිස්සකට හිස වඩාන
සිප ගන්නා දවසක් ගැන
හිතේ හීන තිබුණා
කලාව පිරි පුන් සඳකට
කණ තියලා රහස් අහපු
දවසුත් දින ගැණුනා
අම්මා වී අපේ ගෙදර
සිහසුන මත රැජින වගේ
පිරිමි පුතුන් දෙන්නෙක් ගෙන
දෝතට වඩමින්නා
කිරි සුවඳට පිපෙන මලක
මල්පෙතිවල පාට පාට
අකුරු ලියන සුරඟනුන්ගෙ
කතා කියා දුන්නා
පාන් තරුව දිලිහීගන
පෑල දිගින් පායන දා
උදුම්බරා හඳක් වගේ
පායා ලඟ ඉන්නා
දවසක් අද අපි දෙන්නම
මිනිපිරියන් දෙන්නෙක්ගෙම
ලපටි මුහුණු සිඹිනා
[ උදුම්බරාට ලියූ පළමු කවිපෙල "කඳුළු හෙළයි උදුම්බරා“ මා අතින් ලියවුනේ 1979 ජනවාරි 13 දායැයි සටහනක් යෙදූ කොළයක් තවම මා ලඟ තිබේ. ඒ කවිපෙලේ අවසාන පද වල,
‘දහසක් දෙනෙකුගෙ සිහින විමන්වල
රැජිණිය සේ නුඹ රජ වෙනවා
නුඹේ සිහිනයේ රජෙක් නැතිව නුඹ
තනිකම සමගින් තනිවෙනවා‘ යි ලියැවී තිබෙයි.
මෙතැන අවුණා ඇති සේ රුවේ උදුම්බරාට ලියූ වචන 1991 අප්‍රියෙල් මස දෙවැනිදා ලියුවුණු ඒවාය.
ඉහත වචන පෙල ගොනුවෙන්නේ 2021 නොවැම්බර් මස හය වෙනිදාය. අර පළමු කවිපෙලින් අවුරුදු හතලිස් දෙකක් වෙන්නට ලංවෙන දවසකය.
තවත් කල් තිබේය කියා හිත කියයි. ]
Sunday, January 29, 2023
මතකයි මට උදුම්බරා
Subscribe to:
Post Comments (Atom)
Blogroll
About
Designed By Templateism | Seo Blogger Templates
No comments:
Post a Comment