Thursday, April 20, 2017

[කවි බූන්දි] ඇගේ දරුවන් අමතන ඇගෙ හදවතේ බස් වහර !

http://www.boondi.lk/article.php?ArtID=5115

ඇගේ දරුවන් අමතන ඇගෙ හදවතේ බස් වහර !
බූන්දි, බ්‍රහස්පතින්දා, අප්‍රේල් 20, 2017 02:16:48
කොට්ට පුළුං ගස් පෙළක
කිරි පැහැ පුළුං කැටි
සුළං රැළි මත නැළවෙයි
වැට මායිමක 
වැටහිරියා අතු අඟිස්සක
ලා දම් පැහැති ටිකිරි මල් රොඳ බදියි

වෙල් දෙනිය වැළඳගෙන වැතිරුණු
කංකුං යායක 
නිල් මල් සැලෙයි

රළු කටුක වියළි බිම් කඩකට
ඉලුක් මල් යායක්
හිම පොරෝණාවක් පෙරවයි

නම නොදන්නා 
තුංග තුරු සිරසකින්
කුඩා මල් වැසි වසියි

ශේෂ කන්දක් 
තුරු පෙළක් යට වැතිරී
මිටියාවතේ ගුළි වී නිදයි

තාම ලස්සන මගෙ රට මැදින්
උදය දේවී ලැසි ගමනින් ඇදෙයි !

කවුළුවට එපිටින්
මේ අරුම සිතුවම දිඟ හැරෙන විට
සිඟිති අත දිගුකොට 
පොඩි පුතෙක්
මට නොතේරෙන බසකින්
යමක් මවගෙන් විමසයි

මොනවදෝ කියා දී
ළපටි හිස සිඹින 
නළලත රත් තිලෙකයෙන් සැරසූ
අම්මාගෙ ඇස්
මට තේරෙනා බසකින් දිලිහෙයි !

අම්මෙක් වගේමයි ලක් පොළව
ඔබටත් මටත් 
එකම බසකින් අමතයි !

ඒ බස තේරෙනා විට ඔබට
කවුරු මොනවා කීවත්
පුතේ , උඹ මේ බිමට අයිතියි... !



Continue Reading...

Thursday, April 6, 2017

අයියා


හැත්තෑ එකේ අප්‍රියෙල් කැරැල්ල පිපුරුණු දවසේ අපේ විදුහලේ ළමයින් සියළු දෙනා කැඳවා රැස්වීමක් තබා අප සියළු දෙනා ගෙදර යැවුණි. කොල්ලන් කෙල්ලන් මරා පාරවල් අයිනේ ගිනි තැබීමත් ගඟවල් දිගේ පාකර යැවීමත් ඇරඹුනේ ඒ දවසේය.

සතියකට හමාරකට පසු ලුනුවිල, බොරලැස්ස පැත්තේ කුඹුරු යායවල් දිගේ පළායමින් සිටි තරුණයින් දෙදෙනෙක් ගමේ මිනිසුන්ට හමුවිය. ග්‍රාමසේවක මගින් පොලිසියට භාර දුන් මේ චේ ගුවේරා කාරයෝ දෙන්නා වෙන්නප්පුව පොලිසියේ මිදුලේ ජම්බු ගසේ කකුල් වලින් එල්ලා ප්‍රදර්ශනය කරන ලදී..

දවසකට හෝ දෙකකට පසුව මේ දෙන්නාවම වෙන්නප්පුව වැල්ලේ දී ප්‍රසිද්ධියේ වෙඩි තබා මරා පුළුස්සනු ලෑබිණි.

මාස දෙක තුනකට පසු, වාහනයකින් පැමිණි අම්මා කෙනෙක් ඒ තරුණයින් පිලිස්සූ තැනට පැමිණ හඬ හඬා සිට ගියා යැයි මගේ පංතියේ යාළුවන්ගෙන් අහන්නට ලැබිණි.

ඒ මම අපොස සා. පෙ. පන්තියේ ඉන්නා කාලයේය.
Continue Reading...

Wednesday, April 5, 2017

සරසුලක ආත්මය


Continue Reading...

අපේ තාත්තා

බූන්දියෙන් උපුටා ගැණිනි. http://www.boondi.lk/article.php?ArtID=5112


කවි බූන්දි
අපේ තාත්තා

බූන්දි, බදාදා, අප්‍රේල් 5, 2017 01:31:00
සල්පිලක සෙනඟ හිනස්සා
අපේ බඩගිනි පිස්සා
වෙස්මුහුණ ඇතුළේ
හිටපු අපෙ තාත්තා

කූරු හිසකේ -රැළි ගස්සා
පීදෙන තට්ට හිස වැහුවා
පාට වියැකුණු -බෝල වැතිරුණු
ඇඳුම් ඇන්ඳා
ඒ අපේ තාත්තා

හිනස්සා මහන්සිව ගෙට එනකොට
අපේ හිනාවම ඉල්ලන තාත්තා
මූණ හංඟාගෙන
හොරෙන් කඳුළක් පිස්සා

කම්මුලේ අගිස්සක ඉතුරු වුණු පාට පොද
අපි දැක්කෙ නෑ තාත්තා





Continue Reading...

Tuesday, April 4, 2017

මල් නොපිපි ගස -01


එය වනාන්තරයේ උසම හා විශාලම ගස විය.

මහ වනය මැද්දෑවේ තිබුණු ගස කොතරම් උස වීද යත්, එහි දිගු විසල් මුල් මහ පොළව සිදුරු කරගෙන එහි  මැද්දෑවටම කිඳාබැස මිහිකතගේ හදවත බදා වැළඳගෙන සිටියෝය. ගසේ මුදුන් අතුවල ලපටි දළු නිරන්තරයෙන්ම දුහුළු මීදුම් වලාවෙන් පිරිමැදෙමින් තිබුණේය. මේ විසල් ගසේ හතර අතට විහිදී දික්වී තිබූ අත් උතුරටත් දකුණටත් නැගෙනහිර හා බටහිරටත් මුළු වනය වසාගෙන පියස්සක්මෙන් විහිද තිබුණේය. ඒවා කොතරම් දිගු වීද යත්, උදාසන හිරු එළියේ අඳුරු රතු පැහැය තැවරී නැගෙනහිරට විහිදුනු අතු අග සිඟිති පත් හිනැහෙන විට, බටහිරට විහිදුණු අතුවල දළු සඳ එළියෙනුත් තරු එළියෙනුත් රිදී පාටින් සැසලෙන මසුන් මෙන් දිදුළමින් තිබුණේය.

වනාන්තරය මැද පිහිටි මේ සුවිසල් ගසේ පහලම පහල අතු අගිසිවල සිඟිති බටිත්තෝත්, දෙමලිච්චෝත්, ගේ කුරුල්ලෝත් කූඩු සාදාගෙන සිටියහ. ඉන් ටිකක් ඉහල අතුවල මාල ගිරවු ද, නීල කොබෙයියෝ ද, ඉනුත් ඉහල ඉහල අතුවල ක්‍රමක්‍රමයෙන් විශාල සිරුරු ඇති පක්ෂීහු ද කූඩු සාදා ගෙන සිටියහ. ආකාශයට නුදුරුම වූ ඉහලම ඉහල අතුවල ඉහලම අහසේ පියාසර කරන, රාජාලින්ගේත්, උකුස්සන්ගේත් කූඩු බැඳ තිබුණි. හැමදාම අඳුරින් වැසුණු, ගහ මැද්දෑවේ කඳට කිට්ටුව, වවුලෝ ද බකමූණෝ ද අඳුර ප්‍රිය කරන වෙනත් කුරුල්ලෝ ද පදිංචි වී සිටියහ.

වනාන්තරයේ සියළු ගස්වලට උඩින් විසිරී පැතිරී ගිය මේ ගසේ කොල අනෙක් කිසිම ගසක කොලයකට වඩා විශාල විය. රවුම් හිසකුත්, දිගැටි අගකුත්, දැති දැති දාරයකුත් තිබුණු ඒවා ඉතා ශක්තිමත් නාරටි තිබුණු කොල විය. වනාන්තරයේ අනෙක් කිසිම ගසකට ඒ ආකාරයේ කොල තිබුණේ නැත. කුරුළු බිත්තර මෝරා පුංචි පැටවුන් බිහිවන කාලයට ඈත උතුරේ සිට පියාඹා එන සුළඟ ඉහල අතුවල වියලුනු කොල සොලවා හෙමින් පාකර එවන්නට පුරුදුව සිටියේය. අතු දිගේ දුව පැන සෙල්ලම් කරන කුරුළු පැටව්, සුළඟ දිගේ පාවී එන කොල මතට නැගී ඒවා සිඟිති දෙපා වලින් තද කර අල්ලාගෙන, සිය නොමේරූ තටු සොලව සොලවා අහස් නැව් මෙන් පැදයන සෙල්ලමක් කරන්නට පුරුදුව සිටියෝය. ඒ, පියාපත් සවි වෙන්නට සිය පැටවුන්ට කුරුළු අම්මලා කියාදුන් පලමු පාඩම විය.

ඈත ගං ඉවුරට වැටුනු ගසේ වියලි කොල ගං දියට තල්ලු කර පාකර ඒවා මත නැගී ගඟේ එහා ඉවුරට ඔරු පදින්නට, ගං ඉවුරේ ගුල්වල ගෙවල් සාදාගෙන සිටි හා පැටවුන්ගේ අම්මලා උන්ට පුරුදු කර තිබුණි. සුළඟ සැරවෙන කාලයට, වනාන්තරය පුරාම සත්තු, අහස සිසාරා පාවී එන විසල් කොල එකතු කරන්නටත්, වස්සානයේ හීන් වැහිපොද හෙමි හෙමින් වැටෙන කාලය වනවිට අතු රිකිලි පුරුද්දා සාදා තිබූ සැකිලි මත ගසේ කොල අතුරා නොතෙමී ඉන්නට පියසිත්, පොළව මත එක පිට තට්ටු ඇතිරූ කොල වලින් උණුසුම්ව ගුලිවී ඉන්නට යහනාවලුත් හදන්නට පුරුදුව සිටියෝය.

වනාන්තරයම වාගේ වසාගෙන ඉතිරී පැතිරී සිටියත්, පොළව මත සරන සතුන්ගේ සිට ඉහලම අහසේ පියාසර කරන කුරුල්ලන්ටත් එකසේම සැලකූවත් මේ විසල් ගසේ කිසිම දිනක, මල් පොහොට්ටුවක් මෝදු වූයේ වත්, මලක් පිපුනේ හෝ ගෙඩියක් හටගත්තේවත් නැත. වස්සානය අහවරව වසන්තයේ මල් පිපෙන සමය වනවිට මුළු වනාන්තරය පුරාම ගස්වල මල් පිපී සුවඳ හමන විට ඈත ගස්වල පිපෙන අළුත් මල් රැගෙන විත් මල් නොපිපෙන ගසේ අතු රිකිලි අගිසිවල රඳවන්නට, ගස පුරා නිවෙස් සාදාගෙන සිටි කුරුල්ලෝ පුරුදුව සිටියහ. ඒ ඒ මල් පිපෙන පැතිවලින් එන විට මල් සුවඳ එකතු කරගෙන විත් ගසේ රැඳවුනු ඒ ඒ මල්වල පෙති අතර රඳවා ඒවා තව තවත් සුවඳ කරන්නට උතුරු සුළඟ පුරුදුව සිටියේය. ඉද්ද, සමන්පච්ච හා කෝපි මල් වල සුදු පාටින් සැරසී, සිඟිති බටිති පැටවුන් හීන් සද්දයෙන් කොඳුරන රහස් බඳු වූ සුවඳින් සැරසී සිටින ගස, ඊළඟ දවසක, ලොකු කහපාට සූරියකාන්ත මල් වලිනුත්, නිල් කටරොළු මල් වලිනුත් සැරසී සිටියි. ඈත නිමනවල රතු රෝස පිපෙන කාලයට, මුලු ගසම රතු මලින් සැරසී, රෝස මල්වලින් වෑහෙන කුල්මත් වූ සුවඳින් වැසී යයි.

මේ සියළු හැඩ වැඩ නිසා, බොහෝ කාලයක් යනතුරු මේ විසල් ගසට මල් හා මල් සුවඳේ ඇත්ත තේරුම වැටහී තිබුණේ නැත. වසන්තයේ මල් සමය ඇරඹෙන විටම මුළු ගසම නානා මලින් සැරසීමත්, ඒ ඒ මල්වල සුවඳ ගුලි කරගෙන විත්, ඒ ඒ මල් වල තවරා යන සුළඟ, ගස අසල නැවතී දැවටි දැවටී සිටීමත් හැම අවුරුද්දකම නොකඩවා කෙරුණේය. වසන්තය අහවරව වනාන්තරයේ සියළු ගස් මල් වරන කාලය වන විට කුරුල්ලෝ, අළුත් මලින් ගස සැරසීම නවතා, ගසේ අතු අගිසිවල රැඳවුනු මල් වියලී වැටෙන්නත්, සුළඟට ඇවිත් ඒවා ඇද විසිකර දමන්නටත් ඉඩදී බලා සිටියහ. බටිති පැටවුන් ලොකු මහත්වී ජෝඩු සෑදෙන මේ කාලයේ, සුළඟ ගසේ රිකිලි සොලවා තුඩින් තුඩ තබා කිචි බිචි ගාන බටිති පැටවුන් මතට මල් රේණු හැලීමේ සරදම ද කළේය. මේ සරදම් දන්නා වැඩි මාල්ලෝ, හිස මත වැටෙන මල් රේණුවලින් නැහැවී කලබල වන කුරුළු ජෝඩු දෙස බලා හිනැහෙන්නට ටිකක් ඉහල අතුවල වාඩිවී සුළඟ එන මග බලා සිටියෝ ය.

මෙසේ වසරින් වසර ගෙවී යද්දී, එක් අවුරුද්දක මල් සමය ලඟාවන්නා හාම, උතුරු සුළඟ දක්ෂිණ දේශයෙහි බුර බුරා නැගුනු ලැව් ගින්නක් සොයා කඩිමුඩියේ ඇදෙන්නට පටන් ගත්තේය. ඉවක් බවක් නැතිව දුවන උතුරු සුළඟේ පාවී ආ අඳුරු පැහැ වලාකුළු එක් රොක්වී කැලතී, මහා වැස්සක් බවට පෙරළුණේය.

Continue Reading...

Monday, April 3, 2017

රේගනොමික්ස් සිට රනිල්නොමික්ස් නොහොත් සුපිරි ආර්ථික සමාජ ආශ්වාදයේ සිට අර්බුදය දක්වා


බූන්දියෙන් උපුටා ගැණිනි. http://www.boondi.lk/article.php?ArtID=5111

වෙසෙස් බූන්දි
රේගනොමික්ස් සිට රනිල්නොමික්ස් නොහොත් සුපිරි ආර්ථික සමාජ ආශ්වාදයේ සිට අර්බුදය දක්වා
බූන්දි, බ්‍රහස්පතින්දා, මාර්තු 30, 2017 18:27:59

අසුව දශකයේ ඇමරිකාවේ ජනාධිපතිව සිටි රොනල්ඩ් රේගන්ගේ ආර්ථික උපදේශකයා වූයේ ආචාර්ය ආතර් ලෆ්ටර් නැමැත්තෙක්. සුපිරි ධනවතුන්ට ආර්ථික සහන සලසා දීම තුලින් ඉහල සිට පහලට සමාජ ආර්ථික සංවර්ධනයක් අත්පත් කරගැනීමේ ක්‍රමවේදය (Trickle-down economics) ඔහු රේගන්පාලනය හරහා ලෝකයට හඳුන්වා දුන්නා. පසුව රේගන් සහ බ්‍රිතාන්‍යයේ මාග්‍රට් තැචර් එක්ව 'රේගනොමික්ස්' නමින් එය ලෝක ආර්ථිකයේ 'බයිබලය' බවට පත්කළා.

ලෝකයම හෝල් සේල් එකේ අත්හදා බැලු මේ ආර්ථික උපාය මාර්ගය පිලිබඳව තීරණාත්මක සමාලෝචනයක් සිදු කරන මේ වකවානුවේ එංගලන්තයේ වෙසෙන ගවේෂණාත්මක මාධ්‍යවේදියෙක් වන Jacques Peretti පවසන්නේ ලෝකයේ වෙසෙන සුපිරිතම ධනවතුන් 85 දෙනෙකුගේ ආදායම ලෝක ජනගහනයෙන් අඩකගේ ආදායමට වඩා වැඩි බවයි. එසේම මේ 'සුපිරි ආර්ථික සමාජය' තව වසර කිහිපයකින් ලෝකයේ සියළු රටවල ආර්ථිකයන්ගේ නොනිල ආර්ථික අයිතිකාරයන් වන බවයි. එසේම පසුගිය වසර දහය තුලදී මේ සුපිරි ආර්ථික සමාජයේ වත්කම ඩොලර් බිලියන 200 සිට 500 දක්වා වැඩිවී ඇති බව වාර්තා වෙනවා. මෙයට එදිරිව ලෝකයේ පහළ මධ්‍යම පංතිය උපයන ආදායම වසර දහයක් තිස්සේ වර්ධනය නොවී එකතැන පල්වීමේ (stagnate) අර්බුදය කරා ගමන් කොට ඇති බව පැවසෙනවා.

මේ කෙසේ වෙතත්, ලෝකයේ බොහෝ රටවල් තවමත් අත්හදා බලමින් සිටින්නේ ධනවතුන් තුලින් ආර්ථික වර්ධනය අත්පත් කරගැනීමේ Trickle-down ආර්ථික උපාය මාර්ගයයි.

මහා ආර්ථික ඔළුවක් ලෙසින් තමන් විසින්ම හඳුන්වා ගන්නා රනිල් වික්‍රමසිංහමහත්තයා මේ දවස්වල හීනෙන් පවා දකින්නේ මේ සුපිරි ආර්ථික සමාජයේ මිනිසුන්, රොද බැඳගෙන, ඩොලර් මලු පුරෝ ගෙන, කටුනායකින් හෝමත්තලින් හෝ රටට ගොඩබැහැලා හතු පිපෙනවා වගේ රට වටේ ෆැක්ටරි ආරම්භ කරනු ඇති බවයි. එහෙත් සුපිරි ආර්ථික සමාජයේ සාමාජිකයන් ගණනාවක් සමග සාකච්ඡා කොට ඇති Jacques Peretti පවසන්නේ මේ සුපිරි ආර්ථික සමාජයේ මිනිසුන් අපි හිතන්නට කැමති නොහොත් රනිල් හීනෙන් දකින්නට කැමති පන්නයේ සත්ත්ව විශේෂයක් නොවන බවයි.

පසුගිය කාලයේ ලංකාවට පැමිණි සුපිරි ආර්ථික සමාජයේ එක පුරුකක් වනජෝර්ජ් සොරෝස්ව වඩාගෙන, ඉඹගෙන පිළිගත් අපි ඔහුගෙන් නමස්කාර පුර්වකව ඉල්ලා සිටියේ අපේ රටේ ආර්ථිකය 'හරිගස්සා' දෙන ලෙසටයි. මේ හරිගැස්සිම යනු Trickle-down ආර්ථික බූවල්ලා ගේ ආදරණීය තුරුලට අපව රැගෙන අපට නොදැනෙන ලෙස අපේ ලේ උරා බීමයි.


ජෝර්ජ් සොරෝස්

ජෝන් කොර්න්වොල් කියන්නේ බ්‍රිතාන්‍යයේ සිටින ජාත්‍යන්තර ව්‍යාපාරිකයෙක්. මොබයිල් දුරකථන සමාගම් හිමිකරුවෙක්. රටේ වැඩිපුරම ආදායම් බදු ගෙවන්නා ලෙස ඔහු කලක් ප්‍රසිද්ධ වෙලා හිටියා. රටේ රැකියා උත්පාදනයට වැඩිපුරම දායක වූ ව්‍යාපාරිකයා ලෙස වරක් ඔහුට මහා රැජිනගෙන් පවා සම්මාන ලැබෙනවා. මේ සම්මානයේ උණුසුම යන්නටත් මත්තෙන් ඔහු තම සන්නිවේදන ව්‍යාපාරය ප්‍රතිවාදී තරඟකාර සමාගමට විකුණා දමනවා. මේ ගැන මාධ්‍යවේදීන් විමසන විට ඔහු කියා සිටියේ තමා මුදල් රැස්කරන්නෙක් මිසක් සම්මාන රැස් කරන්නෙක් නොවන බවයි. තවදුරටත් ඔහු කියා සිටියේ දැන් ඔහු කරන ආයෝජන පිලිබඳව තමන් හරියටම නොදන්නා බවත් එය තමන්ගේ වගකීමක් නොව තම ප්‍රධාන විධායක නිලධාරීන්ගේ වගකීමක් බවත්.

ජෝන් කොර්න්වොල් විතරක් නෙමේ ලෝකයේ සිටින බොහෝ 'සුපිරි ආර්ථික සමාජයේ' මිනිසුන් තමන්ගේ මුදල් ආයෝජනය කරන්නේ ලෝකයේ'සුපිරි නිදහස් ආයෝජන කලාප' (tax haven) ලෙස ප්‍රසිද්ධ බර්මූඩා දිවයින, වර්ජින් දිවයින, කෙයිමන් දිවයින වැනි ස්ථාන වලයි. ලෝකයේ ආණ්ඩු විසින් ආයෝජකයින්ට ලබාදෙන සුපිරි සහන Trickle-down ආර්ථික ක්‍රියාවලියට ලක් නොවී නොහොත් සමාජයේ පහළ ධාරාවන්ට ගලා නොගොස් Tax Haven හරහා අවසානයේ සුපිරි ආර්ථික සමාජයේ අතළොස්සකගේ සාක්කු පිරවෙන අවලස්සන ආර්ථික සංස්කෘතික බූවල්ලෙක් ලෝක ආර්ථිකය වෙලාගෙන ඇත.

ලංකාවේ දශක කිහිපයක් තිස්සේම පාවිච්චි කරන ආර්ථික උපාය මාර්ගය තමයි පුළුවන් තරම් ආයෝජකයින්ට සහන දී ඔවුන්ව රට ඇතුළට දක්කන් ඒම. මේ උපායමාර්ග ඔස්සේ බොහෝ දෙවල් කර ඇති සහ කරමින් ඉන්න අපේ ආර්ථික ඔස්තාර්ලා කිසි දිනක මේ උපායමාර්ගයේ නිවැරදි තක්සේරුවක් නොකර හුදී ජනයා සමග එකතුවී රටේ රජවරුන්, යුවරජුන් පමණක් නොවේ රජවරුන් වීමට බලාගෙන ඉන්න අය පවා එකතු පැහැදු වී දකින එකම සිහිනය තමයි විදේශ ආයෝජන සිහිනය. එහෙත් සිහින දකින තරම් වේගයෙන් ආයෝජන එන්නේ නැත! එසේ නොඑන්නේ අහවලාගේ හෝ අහවල් කණ්ඩායමේ නැතිනම් අහවල් ක්‍රියාවේ හුටපටයක් නිසා යැයි අපේ ආර්ථික ඔස්තාර්ලා අපිටම කියමින් සිටිති. එහෙත් වර්තමානයේ ලෝක ආර්ථික හැසිරවීම අනුව ලංකාව නම් දුපතට සුපිරි ආර්ථික සමාජයේ ඇල්ම බැල්ම වැටෙන්නටනම් ලෝකයේ බදු සහන ක්ෂේම භුමි වන බර්මූඩා දිවයින, වර්ජින් දිවයින, කෙයිමන් දිවයින වැනි රටවල් සමග තරඟයක් දිය යුතුව ඇත.

ලෝක ප්‍රකට ආර්ථික විශ්ලේෂකයෙකු වන ප්‍රංශ ජාතික තෝමස් ප්‍රිකටි මෙම Trickle-down ආර්ථික ක්‍රියාවලිය ගැන අදහස් දක්වමින් කියා සිටින්නේ සුපිරි ආර්ථික සමාජයේ මැදිහත්වීම නිසා Tax Haven රටවල් වල සමාජ සංස්කෘතික ක්‍රියාවලිය සම්පුර්ණයෙන්ම බිඳ වැටී ඇති අතර ඒවා තවදුරටත් රටවල් ලෙස ක්‍රියාත්මක වනවා වෙනුවට සුපිරි ආර්ථික සමාජයේ ෆැක්ටරි බවට පත්ව ඇති බවයි. එසේම ඔහුට අනුව ඉදිරි පස්වසර ඇතුලත මේ තත්වය සියයට විස්සකින් පමණ වැඩිවිය හැකි අතර ලෝක ආර්ථික බල රටාවේ පරිවාරයේ තිබෙන බොහෝ රටවල් සුපිරි ආර්ථික සමාජය මගින් නටවන ෆැක්ටරි බවට පත්වීමට නියමිතය.


රේගන් සහ මාග්‍රට් තැචර්

ඔක්ස්ෆෝර්ඩ් සරසවියේ ආර්ථික විද්‍යා මහාචාර්ය වරයෙකු වන ආචාර්ය Ha Joon Chang මහතා ප්‍රකාශ කරන්නේ මේ ආර්ථික උපාය මාර්ග වලින් පරිවාරයේ රටවල් වලට වියහැකි උපරිම සහනය වන්නේ එකී රටවල් වලට තම ආර්ථික සංවර්ධන දර්ශක හොදින් පවත්වාගෙන යා හැකි වීම පමණක් බවයි. කිසියම් රටක් හෝ කලාපයක් තුල මෙවැනි ආයෝජන වලින් උපදින ලාභය අවක්ෂේප වෙනවා වෙනුවට සිදුවන්නේ Trickle-down ආර්ථික ක්‍රියාවලිය ප්‍රතිවිරුද්ධ දිශාවට හැරවී ආයෝජකයන් තුල ලාභය අවක්ෂේප වෙන බව ඔහු පවසයි.

එංගලන්තයේ, ඔක්ස්ෆර්ඩ් ප්‍රදේශය ආශ්‍රයෙන් ඔහු කළ පරීක්ෂණයක් තුළින් මේ සඳහා ඔහු උදාහරණ සපයයි. ඔක්ස්ෆර්ඩ් ප්‍රදේශයේ ජනගහනයෙන් සියයට අනුවක් පමණ පිරිසක් කුලී නිවැසියන් වෙයි. රටේ අවම වැටුප් ලබන කුලකය නියෝජනය කරන ප්‍රතිශතය මේ ප්‍රදේශයේ ඉතා ඉහළයි. ප්‍රදේශයේ ප්‍රධාන නගරය ලාභ සහ අඩු පිරිවැය වෙළඳසැල් වලින් පිරි ඇත. එහෙත් රටේ ආර්ථික දර්ශකවල පෙන්නුම් කරන්නේ ඔක්ස්ෆෝර්ඩ් යනු ශක්ත්මත් ආර්ථික වර්ධන කලාපයක් ලෙසිනි. එයට හේතුව නම් ලාභ ශ්‍රමය ඉලක්ක කරගෙන පිහිටවූ ප්‍රසිද්ධ ව්‍යාපාරවල ලියාපදිංචි ලිපිනයන් එම ප්‍රදේශයේ පිහිටීමයි.

මරාගේ පාලන සමය තුල ලංකාවේ සිදුවූ ආර්ථික වර්ධන වේගය පිලිබඳව බොහෝ දෙනා සුපර් සොනික් කථා කියති. එහෙත් රටක ආර්ථික දර්ශක සහ මහපොළවේ හුස්ම ගන්නා ආර්ථිකය අතර වෙනස තේරුම් ගන්නට අවශ්‍යනම් රටේ කොටස් වෙළෙඳපොල වෙතින් බැහැරවී රට මැද මිනිසුන් අතර ආර්ථිකය චලනය වෙන හැටි අවධානයට කල යුතුය. එවිට නිලංකාර ආර්ථික ධාරාවෙන් ගිලිහී බඩගින්නේ මැරෙන මිනිසුන් හමු වෙනු ඇත.

යටිතල පහසුකම් සංවර්ධනය හෝ ආයෝජන ඉඩප්‍රස්ථා යන අලංකාර ආර්ථිකමය 'සිහින වචන' වල අර්ථයන් වලට කෝචෝක් දමමින් 'සුපිරි ආර්ථික සමාජයේ' මිනිසුන් කිහිප දෙනෙකු අතට ලෝක ප්‍රාග්ධනය සමුච්චගත වීම පිළිබඳ සියුම් කතිකාවක් මෑත කාලයේ ආර්ථික ලෝකයේ සිදුවෙමින් පවතී. එහෙත් මේ අර්බුදයේ මැද සිටින ශ්‍රී ලංකාව ඇතුළු රටවල් තවමත් Trickle-down ආර්ථික ආශ්වාදයේ ගිලි තළු මරමින් සිටියි.


'සුපිරි නිදහස් ආයෝජන කලාප' (tax haven)- කාටූනයක් 

[මුලාශ්‍ර- Jacques Perettiගේ The Super-Rich and Us වාර්තා චිත්‍රපටයෙන්.]




Continue Reading...

උන්මාද පෙම්වන්ති මා...!!! [කිණිගම කන්දේ පිස්සු කෙල්ල]



මේක සටහනක් නොවෙයි. මංජුලගේ ගී පදත්, මීනාගේ ගැයුමත් අතරතුර සිටින තීර්ථයේ නිර්මාණ කාරයින් ගැන ලියවුනු තරුරසීගේ පහත බ්ලොග් ලිපියට සබැඳියක් බෙදාගන්නට යි.
http://tharurasi.blogspot.ca/2017/04/blog-post.html

එහෙම වුනත් ලියවෙන දේ නොලියා නොහැකිය.

මේ ගීතය අහන් ඉන්නා වෙලේ නොදැනීම හිත කොණකින් මතුවුනේ ඇඳුම් බෑග් එකත්, බණ්ඩාරවෙල හෝටලයකින් මිලදී ගත් බත් පාර්සලයත් දෝතට එල්ලාගෙන අන්ධකාර හවස් වරුවක, අත්තම්මලාගේ ගෙදර යන්නට කිණිගම කන්ද නැග්ග කෙල්ලකගේ මුහුණයි.

'දෙන්න මම ගෙනියන්නම්' කිව්වත්, සෑහෙන දුරක් ගොස් තවත් යන්න බැරි තරමට වී නැවතෙන තෙක්ම හා හපුරා කියා මාවත් කැන්දාගෙන, ගෙදර යන්න බැරි හින්දා, අත්තම්මලාගේ ගෙදර යන ගමනේ බර තමුන් ම ගෙනියන්නට ඈට වුවමනා විය.

ඒ නැවතුනු තැන, අහිංසක විඩාපත් පුන්සඳක් වැනි හිනාවක් තිබේ....!


මංජුලගේ කතාව ඇත්තය. ගීතය  නම් මීනා ගේම යි. ඒකේ ආයේ දෙකක් නැත.




Continue Reading...

Saturday, April 1, 2017

මිස්ට කුලතුංගගේ කොන්දේ අමාරුව


අසූ එක දෙක අවුරුදුවල රස්සාවේ ආනුභාවයෙන් මා සිටියේ තලවාකැලේ තේ පර්යේෂණායතනයේ ය. මේකත් කැම්පස් එකකි. පර්යේෂණාගාර පහුකරලා කන්ද උඩට යද්දී හමුවෙන පළමුවෙනි බංගලාවේ නැවතී සිටි අපි පස් හය දෙනා අතර සිටි එවකට තේ පර්යේෂණායතනයේ ප්‍රධාන පරිපාලන නිලධාරියා වූ මිස්ට කුළතුංග  කාගේත් ගරුසරු ලැබුණු ප්‍රියමනාප වැඩිහිටියෙක් විය.

එක දවසක රෑ කෑමට උඩ තට්ටුවේ කාමරයෙන් පහලට බැස්ස මිස්ට කුලතුංගට උස්මුරුත්තාවට යන තරමට හිනාවෙන ලෙඩක් හැදිලා තිබුණි. කොච්චර හිනා යනවාද කිව්වොත් හිනා යන එකේ හේතුවවත් හරියට කියා ගන්නට හිනාව නතර කර ගැනීම අසීරු විය. යාන්තම් පරක් කරගෙන කතාව ඇහුවාට පස්සේ ඒ ලෙඩේ අපි හැමෝටමත් බෝ වෙන්නට වැඩි වෙලාවක් ගතවුනේ නැත.

ටික දවසක පටන් කොන්දේ අමාරුවකින් පීඩා විඳිමින් සිටි මිස්ට කුලතුංගට එවැනි රෝගාබාධ නිශ්චය වශයෙන්ම සුව කරන්නට දක්ෂතාවයක් ඇති වෙදෙක් ගැන ආරංචිය කියා ඇත්තේ, පරිපාලන අංශයේ පියන් හැටියට රස්සාව කල මනුස්සයාය. තේ පර්යේෂණායතනය පිහිටා ඇති ශාන්ත කූම්බ්ස් තේ වත්තේම පදිංචි ද්‍රවිඩ ජාතිකයකු වූ වෙද මහත්තයාගෙන් ප්‍රතිකාර ගන්නට මිස්ට කුලතුංග තීරණය කරන්නේ කොන්දේ රුදාව එන්න එන්නම වැඩිවෙනවායි හිතුණ නිසාය.

එදා හවස් වරුවේ වැඩ අවසන්වී බෝඩිමට ආවාට පසු, පියන් මහත්තයා වෙද මහත්තයාත් කැන්දාගෙන මිස්ට කුලතුංගගේ කාමරයට ඇවිත් තිබේ. මුණින් තලාවී ඇඳමත දිගා වන්නැයි මිස්ට කුලතුංගට කිවූ වෙද මහත්තයා කොන්ද පිට කොන්ද පිරික්සා බලා වෙදකම පටන් ගෙන තිබේ. ප්‍රධාන කාරිය වී තියෙන්නේ වෙද මහත්තයාත් ඇඳට නැගලා, මිස්ට කුලතුංගගේ කොන්ද පයින් තෙරපීමයි. මේක ටික වෙලාවක් වූ පසු සිද්ධ වූ දේ මට මතක හැටියට මිස්ට කුලතුංග කිවු විදිහටම ලියන එක වඩා රසවත් යැයි සිතමි.

"මිනිහා ටික වෙලාවක් පිට කොන්ද පාග පාග ගිහිල්ලා, සරම උඩට ඇදගෙන කොන්ද හරියේ වාඩි වෙන ගානට පාත් වුණා..... හහ්හහ් හහ් හහ් (ඇත්තම හිනා කෑල්ල මීට වඩා කැඩි කැඩි හිරවෙවි සද්දෙට තිබුණා).... මට නිකං තේරුණා කරන්ඩ යන වැඩේ.... මං මිනිහාව තල්ලුකරලා නැගිට්ටා....."

අපි කවුරුත් අලගිය මුලගිය රෝග නිට්ටාවට සුවකර දෙමියි කියා ඇවිත්, අපේ කොඳු ඇට පාගන රටේ වෙද්දු ගැන පරිස්සමින් ඇහැ ගහගන ඉන්නා එක වැදගත්ය. අඩුම ගානේ වැඩේ කුරුවල්වී නාන්නට වෙන්නට කලින්, ඇඳෙන් නැගිටින්ටවත් කල්පනාව තිබීම වැදගත්ය.
Continue Reading...

Blogroll

About