Tuesday, January 11, 2022

පැවතීම කියන්නේ නැවතීමක් නොවෙයි ස්වර්ණා...

පැවතීම කියන්නේ නැවතීමක් නොවෙයි ස්වර්ණා
වෙනස් වුනු දේවලුත් වෙනස් වෙනවා ස්වර්ණා
පරමාණු එකතු වෙලා සංයෝග හැදෙනවා වගේමයි
සංයෝග බිඳිලා පරමාණු හැදෙන එකත් 

යකඩයි අම්ලකර වායුවයි එකතු වෙලා
මළකඩ හැදෙනවා වගේම ස්වර්ණා
මළකඩ වලින් අම්ලකර ඉවත්කරලා
ආපහු යකඩ හැදෙනෙකත්
වෙනසක් ස්වර්ණා....

සරලව කියනවා නම් ස්වර්ණා
එකතු වෙන දේ වෙන්වෙනවා
වෙන්වෙන දේ එකතු වෙනවා
එකතුවීම වගේම වෙන්වීමත්
වෙනස් වීම්ම තමයි ස්වර්ණා

අපට නැවතිලායි හිතුණාට
මේ බොහෝ දේවල්
එහෙම පේන්නේ
එකතුවෙන වේගෙන්ම වෙන්වෙලා
වෙන්වෙන වේගෙන්ම 
ආපහු එකතු වෙන නිසයි ස්වර්ණා....

නොවෙනස්ව අචලව ස්ථිරව
පවතිනවායි කිව්වාට ස්වර්ණා....
එතනත් බොහෝවිට තියෙන්නේ
වෙනස්වීමත් ආයෙත් වෙනස් වීමත්
සමතුලිත වීමක් නේ ද?

නැවතුනු දාට ස්වර්ණා පැවතීමක් නෑ....!

ජනවාරි 5, 2022




Continue Reading...

Blogroll

About