Monday, September 23, 2024

ජනාධිපති සහෝදරයා....!

 



අද අනුර රට බාරගන්නවා මෙන්ම, රට අනුරව බාරගන්නා වූ දවසය කියා මට සිතෙයි.  අද දවසේ හා මොහොතේ ‌‌ඓතිහාසිකත්වය ගැන මෙන්ම අනාගතය ගැන අප බොහෝ දෙනෙක් දකින්නාවූ සිහිනයන් ගේ  දිදුලන තාරකා දිලිසුම් ගැනත් කොතෙක් දේ ලිවිය හැකි වුවත්, මේ මොහොතේ හිතේ මතුවන වැදගත්ම දේ, මා අතින් කැටිකොට ලියැවුනේ 2022 නත්තල් කාලයේ දීය.

රජ මැදුරක ඉපදී සිටියා නම් යැයි නම් වූ ඒ සටහන මෙතැනය. ඒ වචන ටික නැවත අවුණා පහතින් තියේ.

ජනාධිපති අනුර සහෝ.... ඔබට ජය. රටට ජය.

========================================================================

කටු මැටියෙන් වරිච්චි නග්ගා හෝ පොල් අතුවලින්ම බිත්ති ආවරණය කර, පියස්සට පිදුරු පොල්ලතු හෙවිල්ලා, බිමට ගොම මැටි ගාපු මාලිගා, වල ජීවත් වූ මිනිස්සු ඇතිතරම් අපේ පලාත්වලත් සිටියහ. තමුන්ගේම බිම් කඩක මෙන්ම, අනුන්ගේ බිමක පිනට ගෙවල් හදාගෙන බැලමෙහෙවරකම් කල මිනිස්සු, ගෑණු, ‌බොහෝ දෙනෙකුගේ මාලිගාවී තිබුණේ මෙවැනි පැල්පත් ය. පැල්පතේ ඉන්න එකාගේ හිත්වල, තම දූ දරුවන් ගැන මේ වැනි හැඟීම් තියෙන්නට ඇති නමුත්, ඒ කාලේ ආපු චිත්‍රපටියක් වූ 'හඳපාන' ට සිසිර ඉන්ද්‍රාණි ගැයූ ගීත අතර ‌වූ මේ සිංදුව, ඔය කාලයේ මෙන්ම අද කාලයේ වුනත්, අපේ සංස්කෘතියේ මුල්බැස ගත් සංකල්පයය කියා මට හිතේ.

සීත දියරැළි නීල....ගංගා.... සාර කෙත්වතු මැද ගලා යයි..... ඕලූ, මානෙල් ,නෙළුම් නැළවෙන.. වැව් පොකුණු ගම අලංකාරයි... කියා අරඹන මේ සිංදුව කියන්නේ, පිදුරු සෙවිකල පැල්පතේ ඇති සාමෙ නැත මහ මන්දිරේ කියා ය. ටිකිරි සිතිවිලි බොළඳ හසරැලි, මෙහි තිබේ හොඳ ආදරේ කියාය... කැළෑ මල් වල සුවඳ රැඳි මදනලේ වාසනාවත්, කුරුළු ගීයෙන් හදේ වේදනා මකාගෙන අහිංසකව පියවර මනින ගැමි ජීවිත ගැනත් ය.

මේ වගේ තාල තානම් එක් එක් ආකාර ආලවට්ටම් දමා, දේශපාලන වේදිකා මතත්, දියවන්නාවේ මාලිගාවේ දීත්, එක් එක් ආකාර වලට රැව් පිළිරැව් දෙවනවා අපි කොතෙකුත් අසා ඇත්තෙමු. අභාග්‍යය වන්නේ ඒ පිදුරු සෙවිකල පැල්පත් වල හිටිවුන්, ගාමන්ට් ෆැක්ටරිවල ඉඳිකටු ඇනගෙන, මැද පෙරදිග, ඉතාලියේ, ඇස් ඉස් මස් ලේ දන්දී කඹුරා ඇවිල්ලාත්, තාම ළමයි නලවන්නේ ‌රජ මැදුරක ඉපදී සිටියා නම් තාලයටම වීමය.

දිළිඳු පැල්පතක උපන් එකෙකුට, රජ කිරුළක් පළඳින්නට ලෙහෙසියෙන් වරම් ලැබෙන්නේ නැත. සර්වබලධාරී දෙවියන් වහන්සේ, සිය පුත්‍රයා වූ ජේසුස් ක්‍රිස්තුන්, බෙත්ලෙහෙමේ ගවහලක, දිව්‍ය වරමින් ගැබ්ගත් කන්‍යාවියක කුසින් උපද්දවා, ගව ඔරුවක සතප්පවා මිනිස් සංහතියට ඉගැන්වූ පාඩම් බොහෝ ගණනක් අතර, ‌මෙන්න මේක, එනම්, පැල්පතක උපන් එකා, මේ ලෝකයේ රජ වෙන්නට පැතීම, මතු නොව, 'මිහිපිට නොවේ ය' කියා සථප කල රාජ්‍යයක රජාය කියා ගැනීම පවා, කස පහර ගස්සා, කටු ඔටුණු පළඳා, එල්ලුම් ගහත් කරේ තියාගෙන ගොස්, කන්දක් මුදුනේ කුරුසියක ඇණ ගැසී, 'පියාණනි, ඔබ මා අත් හැරියේ මන් ද?' කියා අවසාන හුස්ම පොද හෙලන්නට තරම් වරදක් බව, සහ සුද්දෙන් පැහැදිලිව කරලාම ඔප්පු කර පෙන්නීම, වැදගත්ම එක වන්නේ ය.

එහෙව් කතාවක සුලමුල හිතද්දී, බෙත්ලෙහෙමේ අද රෑ උපන්නා ලස්සණ බිළිඳෙක් මල් වගේ කියා අපි ගයන බිළිඳා නැලවූ කන්නි මරියාවන්ගේ හිතේත්, 'රජ මැදුරක ඉපදී සිටියා නම්...' කියා නිකමට හෝ ගැයෙන්නට නැද්දැයි අපේ සිත්වලට දැනෙන්නට ඕනෑ යි අද මම සිතමි. ‌ඒ ගවලෙනේ උපන් පුතාගේ ධර්මය රෝමයේ සිංහාසනාරූඨ වෙන්නේ, තවත් කල්ප ගණනක් ලේ හලා ජීවිත පූජා කිරීම් වලින් පසුවය. ඒකත් සාමයේ පණිවිඩය රජ මැදුරකට යාමක් ද නැත්නම්, රජ පරපුර, ටියුන් එක මාරු කර, ජනතාවගේ කන් වලට වංචාවේ අම බිඳු වැක්කිරීමක් ද කියාත් සැක සිතෙයි. මන්දයත්, තවමත් අපේ අම්මලා, මාලිනීගේ ගීතයේ තාලයටම දරුවන් නලවන නිසාවෙනි.

රෝම අධිරාජ්‍යයේ අණසකට යටවූ දෙවියන්ගේ තෝරාගත් දරුවන් වූ ඊශ්‍රායෙල් ජනතාව, එදා බෙත්ලෙහෙමට වල්ගා තරුව පායන කාලයේ සිටියේත් දියසෙන් කුමාරයා උපදින කල් ය. අපේ රටේ අපි වෝටබරිස් කුමර කුමරියන් කිහිප දෙනෙක් හඹා ගොස්, බිංදුවටම වතුර හිඳී කාන්තාර වූ රටක සිට, කාන්තාරයක කඹුරන ගෑණු පිරිමි ඩොලර් එවන තුරු බලා ඉන්නා අවදියකට සේන්දු වී සිටිමු. දියසෙන් කුමාරයා වෙනුවට, අනුන්ගේ බබෙක් අරන් වැල් පාලමේ යනවායි පාරම් බාන ගෲෂාට ඇඳගෙන කරළියට ගොඩවී කෝනංගි නැටුම් නටන අළුත් නළුවාගේ දෙබස් ට්‍රාන්ස්ලේට් කරමින් අග මුල හොයාගන්නට අර අඳිමින් සිටිමු.

මේ අව් අස්සේ නත්තලය කියා අප සමරන මේ උපන්දින සාදයේ හංගා තියන රහස ගැනත් කල්පනා කල යුතුම කාලයක් අපට පැමිණ තියේයැයි මම සිතමි. එදා ‌දියසේන උපන්නේ රජ මැදුරක් තබා, හරි හමන් නගරයක්වත් නොවුනු, ගම් මණ්ඩියක, ගව හලකය. බඩ දරු අම්මෙක් එක්ක, රාජ අණ නිසා, නම ගම රෙජිස්ටර් කරන්නට ගිහින්, ඉන්න හිටින්න හරි හමන් තැනක් හොයා ගන්නට බැරුව, තම බිරිඳ කුළුඳුලේ දරුවා ප්‍රසූත කරන්නට ගවහලක ගාල් කල වඩුවෙකුට දාව ය.

දේව භාෂිතයෙන් පෝෂණය වූව ද, ඊශ්‍රායෙල් ජාතිය, ඒ කුමාරයා අඳුනාගත්තේ නැත. අන්තිමේ, ගැලවීමේ පණිවිඩය, සිංහාසනාරූඨ වූයේ රාජකීයත්වයේත්, පාලනාධිකාරයේත් අවියක් ලෙසයැයි ඉතිහාසය සාක්ෂි දරයි.

අළුතෙන්ම රටක් හදා දෙන්නට තරම් සුන්නද්ධූලි වූ ඊශ්‍රායලය, අදටත් යුද්ධයක ය. 2022 වසර, 2006 න් පසු පලස්තීනයේ මාරාන්තිකම වසර යැයි, එක්සත් ජාතීන්ගේ සංවිධාන ආරංචි මාර්ග පවසයි.

ආදරණීය ‌සොයුරු සොයුරියනි.... ගැලවුම් කරුවා නිවැරදිව හඳුනා ගැනීම ඉතා වැදගත් ය.

 [නත්තල් - 2022]

========================================================================

Continue Reading...

Tuesday, September 17, 2024

රට අනු රට


 අපේ රටේ මට හරියටම මතක පලමුවෙනි මහ ඡන්දය නවසිය හැට පහය. ඒ කාලේ අපේ තාත්තාවූ බේබි මහත්තයා යූ ඇන්පී කාරයෙකි. එයා විතරක් නොව එයාලාගේ පරම්පරාවම කොළය‍, අලිය‍, ඇත් ගොව්වෝය, අලි බෙටි අහුලන්නෝ සහ පන්දම් අල්ලන්නෝය. අලිම කිව්වත් කොටන් අදින අලි මිස, පෙරහැරේ ගිය අලි නම් නොවේ ය.
ඔව්වා ගැන ඉතිහාස කතා මේ බ්ලොග් සටහන් අතර කීපයක්ම ලියවී තිබේ.

මට මතක ඡන්දය වූ හැටපහේ එයාලා දිනුම්ය. කොහොමත් මූදුකරය ඒ චන්දයේදී කොලය. ඒකට ප්රධාන හේතුව කතෝලික පල්ලි හා ආගමික නිකායන් හරහා එතෙක් පවත්වාගෙන ගිය පාසල් සමූහයක් සිරිමා ආණ්ඩුව රජයට ගැනීම ආගම් විරෝධී‍, පල්ලි ගිනි තියන කොමියුනිස්ට්, සමසමාජ, හා අද වචනයෙන් නම් සමාජවාදී යුගයක ආරම්භයය කියා මූදු කරයේ ජනතාවට ඒත්තු ගන්වන්නට යූ ඇන්ඩ් පීය සමත්ව සිටීමය. ඇත්තම කිව්වොත් ඒකත් එක්තරා විදිහක ප්‍රෝඩාවක් හා ඇන්දිල්ලක්ම මිස, එයිට වැඩි දෙයක් නොවෙයි. ප්‍රෝඩාව කිව්වේ දෙකටම ය. උන්ගේ නෑදෑයින්ගේ පක්ෂයේ දේශපාලන මඩ ප්‍රෝඩාව මෙන්ම, බණ්ඩාරනායක මහත්තයාගේ පංච මහා බලවේගයේ සමාජවාදී ප්‍රෝඩාව යන දෙකම ය.

එසේ වෙතත්, අපේ පලාත්වල ඉඩම් හිමි වැවිලිකාර පෙලැන්තියට යටහත් පහත්ව සේවය කල, කාගේ හෝ වත්තක ගෙපැලක් අටවාගෙන ජීවත් වූ මහ ජනතාවට මෙන්ම, පරම්පරාවෙන් උරුම වූ ලියද්ද දෙක කොටාගෙන, අත්තමටත් වැඩ කල ගොවි ජනයාට ද, අපේ පලාතේ ප්‍රධානතම කර්මාන්තය වූ පොල් හා කොහු මෝල් වල අත් වැඩ කල කම්කරුය හැඳින්විය හැකි වූ ජනයාට ද, උන්ගේ අඹු දරුවන් හා දූ දරුවන්ට ද, තමුන්ගේ  අවසාන බලාපොරොත්තුව වූ පොරොන්දුවූ දේශය කරා සියල්ලන් රැගෙන යන්නා වූ, රතු මුහුද දෙබෑ කර වැටී ඇති  ගැලවීමේ මාර්ගය කරා දක්කාගෙන යන්නාවූ ගැලවුම්කාරයා ලෙස, මේ ප්‍රෝඩා දෙකින් එකක් තෝරා ගැනීමම මිස වෙනත් විකල්ප තිබුණේ නැති තරම්ය. එකල රටේ පීඩිත පන්තියේ නියෝජනය වූ වමය හැඳින්වුනු කොමියුනිස්ට් හා සමසමාජ ආදී පක්ෂ දේශපාලනිකව ශක්තිමත් තලයක නොසිටි අතර, කතෝලික සභාවේ නිශේධ බලය හමුවේ, මුහුදු කරයේ කතෝලික පලාත්වල ඔවුන්ගේ ව්‍යාප්තිය යම් ආකාරයක සීමාවන්ට සීමාවී තිබුණියි මම හඟිමි.

මේ සියල්ල උඩු යටිකුරු කල පෙරළියක් හැත්තෑවේ ඡන්දයේ දී සිදුවිය. මා යම් පමණකින් දැනුම් තේරුම් ඇති කොළුවකු ව සිටි කාලයේ සිදුවූ මේ පරිවර්තනයට මූලිකම හේතු සාධකය වූයේ, කොල්වින්, ඇන්.ඇම්. හා කේනමන් සිරිමාගේ සාරිපොටේ ගැටගැසී ඇතිකල තුන් හවුල් බලවේගයය. මේ කට්ටිය, මේ හවුල පිහිටුවාගෙන කල පලමු දෙයක් වූයේ, එවකට එංගලන්ත රැජිනිය ගේ ඉලත්තට්ටුව නියෝජනය කල විලියම් ගොපල්ලව අග්‍රාණ්ඩුකාරයා හමුවේ, ඡන්ද ප්‍රතිඵලය මොකක් වුවත්, ආණ්ඩුව පිහිටුවන්නේ හවුලේය කියා ලියා අත්සන් කිරීම ය. මේ හවුල හා නිල් රතු එකතු වී දම්පාට වීම, ප්‍රධාන වශයෙන් බලපෑවේ රටේ පහලම ස්ථරයට ය. නිදහසෙන් පස්සේ "අපේ ආණ්ඩුවක" හීනයක් හා අපට කන්ඩ බත් අරගෙන එන අපේ අම්මා ගැන කතාබහත් කියවුනේ මේ ඡන්දයට පෙරගමන් යන කාලයේය.

එවකට චේගුවේරා කාරයින් වූ විජේවීරගේ ජවිපය, හැත්තෑවේ ඡන්දයට පක්ෂයක් ලෙස ඉදිරිපත් නොවුනු මුත්, ඡන්ද කාලයට සමගාමීව රට පුරා දේශපාලන රැළි හෝ ඒ කාලයේ භාෂාවෙන් නම් රැස්වීම් ගණනාවක් පැවැත්වූ බව මතකයේ තිබේ. එහෙම පැවැත්වූ හලාවත රැස්වීමේ දී, විජේවීර, සිරිමාගේත්, ඩඩ්ලිගේත් දෙන්නාගේම බටහිර ගැති ධනේශ්වර මූලයන් ගැන උපහාසයෙන් කල කතාවක එහෙන් මෙහෙන් කියවුනු දේ ගැන මතකයක් මට තවම තියෙයි. කතාව ඇහුවේ, ඒ කාලේ හලාවත බස්ස්ටෑන්ඩ් එක කිට්ටුව ආප්ප කඩයක් ලඟ නවතා තිබූ තාත්තාගේ වාහනයේ සිටය. හිටියේ ආප්ප අරගන්නට නමුත්, කතාව ඉවර වෙනතුරු එතැනින් පිටත් නොවුනේ, තාත්තාත් මේ කතාව අහගන හිටි නිසාය කියා මතකය.

හැත්තෑවේ පෙරළිය රටේ පහලම පන්තියේ ජනතාවට යම් ආකාරයක බලාපොරොත්තු දුන්නේ ද, ඒ බලාපොරොත්තුම, හැත්තෑ එකේ ජවිපේ අරගලයේ අසාර්ථකත්වයට හේතු වූයේ යැයි මම සිතමි. එමෙන්ම, ඒ බලාපොරොත්තු සමග බලයට පැමිණි තුන්හවුල් ආණ්ඩුවේ කණපිට හැරීමේ ආරම්භය සනිටුහන් කලේ ද හැත්තෑ එකේ අරගලය යැයි මගේ හැඟීමයි. දේශීය හා ජාත්‍යන්තර දේශපාලනික හා සමාජයීය හේතු සාධක ඇසුරින් මොනතරම් විග්‍රහයන් හා විශ්ලේෂණයන් ඉදිරිපත් කල හැකි වුව ද, තුන් හවුලේ මලගම සටහන් වූයේ, හැත්තෑ එකේදී, ජාතික ඇඳුම නිල ඇඳුම කරගත් ලෝකල් දේශපාලකයින්ගේ සිත් සතන් තුලින්, තමුන් මේ ජයග්‍රහණය ලැබුවේ ජනතාවගේ පිහිටෙන්ය යන්න ඉවත්වී, රටේ ජනතාව තමුන්ට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කර ඇතිය, තමුන්ගේ ආරක්ෂාව හා අනාගතය තමුන්ම බලාගත යුතුය යන ආකල්පය පැලපදියම් වීමත්, ඒ අනුව යමින් රයිපල් අරගත් පොලිස් ආරක්ෂාවත්, ඉනේ ගහගත් පිස්තෝලයත් තම ඇඳුම් කට්ටලයට එකතු කර ගැනීමත් සමගය.

හැත්තෑව හැත්තෑ හත වෙනතුරු අදින්නට, ඒ ආණ්ඩුවට පුළුවන් වුනේ ද, හැත්තෑ හතේ දුප්පතාගේ හිතවතාව, වේදිකාවේ පැදුරු එළා බිම වාඩිවී, ඡන්ද රැස්වීම් පැවැත්වූ ජයවඩ්ඩනගේ ධාර්මික සමාජ ප්‍රෝඩාවට ජනතාව ගොදුරු වූයේ ද, මේ සිද්ධි දාමයේම ප්‍රතිඵලයක් ලෙසය කියා මම දකිමි.

පත්තිරිප්පුවේ සිට ‘මාගේ ජනතාවෙනි‘ යි රට ඇමතූ ස්වයංජාත ප්‍රථම විධායක ජනාධිපතිවරයාගේ සිට, උතුර මුදවාගෙන රට එක සේසත් කර, පොළව සිඹ, එකත් දෙකත් තුනත් තුනම රටයැයි සථප කල මහ රජාණෝ දක්වා පැමිණි අපේ රට, රටෙන් පලාගිය, වැඩ කරපු අපේ විරුවාට පසුව, ඒ පුටුව රත්කරන්නට ගෑස් පත්තු කරන්නට හීන දුටු රනිල් වික්‍රමසිංහයන්ගේ හීන දිගන්තයට පසුව අද හෙට සිදුවන්නට පෙරුම් පුරන, අනුරට රට බාර දෙන සිහිනය සමගවත්, නැවත ජනතාවට ලැබේය යන බලාපොරොත්තුව අප බොහෝ දෙනෙකුගේ සිත්තුල දැල්වෙමින් තිබේ. මහ ඈතට හිතන්නේ නැතිව, හැරී බලන විට, මේ වෙනසේ ත් සුළමුල, හැත්තෑ එකේ කොහේ කොහේ හෝ සැඟවී තිබෙනවා යැයි මම සිතමි.

රට අනුරට, ජය ජනතාවට....!





.
Continue Reading...

Monday, September 16, 2024

කොබෙයියනේ වරෙල්ලා - පරෙයියනේ වරෙල්ලා....


 



හැත්තෑ ගණන්වල සන්නිවේදනය තිබුණේ, බිත්තිවල හා තාප්පවලය. පාර අයිනේ, බෝඩ් වලය. කඩවල දොර ලෑලිවල ඇලවූ ඩිමයි කොල වලය.

පත්තර කියන එව්වා හා ගුවන් විදුලිය රටේ ආණ්ඩුවේ සර්වතෝභද්‍ර පාලනය යටතේ තිබුණු කාලයේ, සන්නිවේදන කලාවේ අළුත්ම භූමිකාව හඳුන්වා දුන්නේ චේ ගුවේරා කණ්ඩායම ලෙස කරලියට පැමිණි ජවිපෙ ය.

ඒ එක රැයක් තුල දිවයින පුරාම එකම වචන ටික ලියූ එකම පෝස්ටරයක් ඇලවීමෙන් ය. අපේ ගෙවල් ලඟ පාත නම් මේ පෝස්ටරය ඇලවුනේ, කොස්ගස් හන්දියේ, මැක්සි හවුස් එකේ පාර අයිනේ බිත්තියේ බව මතකය.

එහෙම අලවාපු පෝස්ටර වල තිබුණු එව්වා තේරුම් ගැනීමට ඒ කාල‌ේ ගූගල්  වෙබ් සයිට් තිබුණේ නැති නිසා, රටේ දේශපාලනය ගැන තියූ ඒවා හැරුණු කොට,  'දියාගෝ ගාර්ෂියාවට අත නොතබනු', 'වැලි බොබී වහා නිදහස් කරනු' වැනි පෝස්ටර වාක්‍ය වල තේරුම් හොයා ගැනීම නම් පහසු නොවීය.

හැත්තෑ එකේ කැරැල්ල පත්තු වූ කාලයේ, පැතිර ගිය කතාව වූයේ මේ පෝස්ටර කලාවේ ඇලවිලි සංඥාව ආවේ, හවස් යාමයේ  'ඔබ කැමති ගී' වැඩ සටහනේ ප්‍රචාරය වුනු සිංදුවල දවටලා කියාය. ඒ ගීත අතරිනුත් වැඩිම කතාව ආයේ, වීරසේන ගුණතිලකයන් ගේ 'කුරුල්ලනේ වරෙල්ලා' ගීතය පිළිබඳව ය. මේ ගීතය, පෝස්ටර් ඇලවීමට මතු නොව, හැත්තෑ එකේ, ප්‍රහාර දියත් කරන්නටත් සංඥාව ලෙස යොදා ගත්තායි කියූ අතර, ඒ ආනුභාවයෙන්ම ගුවන් විදුලියෙන් වාරණය වුනේ ය.

පරණ බෝතලවල තියෙන්නේ පරණ වයින්ම නිසා, මට මේ කතාවල් මතක් වුනේ, සෙනසුරාදා, මාලිමාවේ අනුර කුමාර දිසානායක සහභාගි වුනු සිරසේ සටන නරඹන අතරය.

සිංදුව නැවත කියන්නට කාලය පැමිණ තිබේ. කලහයට නොව, කතිරය ගැසීමට සංඥාව දීම පිණිසය.














Continue Reading...

Blogroll

About