එක්දාස් නවසිය හතලිස් නවයේ උපන් රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ, හැත්තෑ හතේ දී, තුන් හවුලේ හත් අවුරුදු ශාපය අවසන් කර ජේ. ආර්. ගේ ධර්මිෂ්ඨ යුගයේ උදාව සනිටුහන් කල මහා මැතිවරණයෙන් බියගම ආසනය ජයගෙන, අද ජනාධිපති කාර්යාලය බවට පත්ව තිබෙන, ගාලු මුවදොර කෙළවර, පරණ පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ ය.
එදා එයා ගාලුමුවදොරට
ඇරලවන්නට කවුරු කවුරු ආවා ද වැනි විස්තර සහසුද්දෙන් නොදන්නා මුත්, එදා දවස එයාගේ
අම්මාටත් තාත්තාටත් සතුටු දවසක් වෙන්නට ඇතිය කියා නම් සිතාගන්නට පුළුවන. ඔයින්
ඇරඹුණු රනිල්ගේ මාමාගේ ධර්මිෂ්ඨ සමාජය, 1982 දී ජයවද්දන පුර කෝට්ටේ, අළුත් නිවහන
නොහොත් ජෙෆ්රි බාවා ගේ දියවන්නා දූපතේ මාළිගාවට සැපත් වන විට, රනිල් වික්‍රමසිංහ,
අපේ රටේ අධ්‍යාපන අමාත්‍යවරයා ව සිටියේ ය.
ඒ ගෙදර, අවුරුදු හතලිහක්, පනහට දහයක් වෙනතුරුම,
කොයි කොයි තනතුරුවල හෝ රැඳී, ලැගුම් ගෙන සිටි රනිල් ශ්‍රියාන්, කාටවත්ම එපා වූවායි කියන, අගමැතිකමක් ඉල්ලාගෙන, අද වෙද්දී, රටත් අතහැර පිටුවහල්වූ හත්වෙනියා ගේ පුරප්පාඩුව ඉහටත් උඩින් පුරවන්නට, ඉත සිතින් දායක වී, අපේ රටේ
අටවෙනි 'විධායක' ජනාධිපතිවරයා වී සිටී.
ඒ කතාව එසේ වෙද්දී, රනිල් පාර්ලිමේන්තු ගිය නවසිය
හැත්තෑ හතේ දී, තර්ස්ටන් පාරේ සල්ගහ අසලදී අම්මා තාත්තාට වැඳ නමස්කාර කර සමුදී,
කොළඹ සරසවියට ඇතුළු වූ, මානෙල් විද්‍යාරත්න, 1982 දී එනම් රනිල් දියවන්නාවේ
අළුත් ගෙදර ඉඳුල් කල අවුරුද්දේ අගෝස්තු නව වෙනි දා, කොළඹ තිඹිරිගස්යායේ, ශාන්ත තෙරේසා
දෙව්මැදුරේ දී, මගේ මනමාලිය වී, විවාහ දිවියට පිවිසෙන්නී ය. ඒ පිනින් මමත් මනමාලයකු වුණෙමි.
ඉතින් මගේ මේ ගෙවැදිල්ලටත්, අදට හතලිහකි. පනහට
දහයකි.
ආපහු හැරී බලද්දී, සතුටු හිතන්නට නොයෙක් ආකාර හා අපමණවත් දේවල් තියෙන
දවසක් වන අද දවසේ, අපිත් සෑහෙන අරගලයක් කරලා තියනවා නේ දැයි හිතෙන තරම් විස්තර
නිරායාසයෙන්ම හිතට පිරවෙයි. හිතෙන දේ ලියා අවුණන, මේ ජාල අඩවියේ, ඔය පරණ කයි කතන්දර වලින් සෑහෙන කොටසක් ලියවී තියෙන හින්දාම ආය ආයත් ලියන්නට උවමනාවක් නැති නමුත්, මේ පනහට දහයක් වෙන
දවසේත්, ලජ්ජා පාටට නමුත් දඟකාර විදිහට එදා මා ලඟ හිනැහුණු මානෙල් අදත් මට මා ලඟම
දකින්නට පුළුවන් බව නම් ලියා තැබිය යුත්තේම ය.
ඉතින් අම්මා, මේ හතලිස් අවුරුද්ද පුරාම, වැල් පාලම දිගේ පැටවුන් දෙන්නෙකුත් වඩාගෙන, මා ගැනත් ආදරයෙන් බලා කියා ගෙන, අපි තුන්දෙනාටම ගෲෂා වී, ඇවිද
ආවාට තුති. ඉතින් ඒ ගමන ඒ පරිස්සමින් ආ නිසාම, අද දවස අපට ආච්චි සීයා වී, කෙලි පොඩ්ඩියන් දෙන්නෙකුත් දෝතින් අල්ලාන තවත් දුර යන්නට හිතිවිලි පිරෙන දවසක් වී තිබෙයි.
හතලිහක්ය කියන්නේ, අත දරුවෙක් වැඩිහිටි වෙන්නට අවුරුදු විස්සකට කිට්ටු කාලයක් ගතවන්නේය හිතුවොත්, පරම්පරා දෙකකට සමකරන්නට පුළුවන් තරමට දිග කාලයක් යැයි සලකන්නට සිදුවෙයි. තරුණ කම පටන්ගන්නේ හැට පහෙන්ය හිතන අයට නම් එවැනි හිතිවිල්ලක් අභව්‍ය වුනත්, යථාර්ථය ඒකය. ඒ වගේ කාලයකට පස්සේ මෙහෙම හැරී බලද්දී, ඉස්ඉස්සෙල්ලාම හිතට නැගෙන්නේ එදා අපි ලඟින්ම හිටියත් අද දකින්නට නොහැකි අයය. මාතර ආත්තම්මාත්, සීයාත්, සිට අපේ තාත්තාත්, අම්මාත්, මානෙල්ගේ තාත්තාත්, ටෙරී මාමාත්, මාරි ඇන්ටීත්, ජයනි නංගීත්, අයියාත්, ගොතටුවේ ලොකු අම්මාත්, ලොකු තාත්තාත්, ලොකු නංගීත්, බැසිල් බාප්පාත්, ජෝන් බාප්පාත්, රියෙන්සි මාමාත්, නැන්දාත්, ආදි වශයෙන් දිග ලැයිස්තුවක් ඒ සඳහා වෙන්වී තිබේ. ඒ සියළු දෙනාගේ මුහුණු අදටත් මතකයේ මවා ගන්නට තරම් පැහැදිලිව සටහන්ව තිබෙයි.
ඒ සමගම ඇවිණිය යුතු තවත් මුහුණු තුනක් ගැන ලිවිය යුතුම යැයි සිතෙයි. එක්කෙනෙක්, එවකට කොළඹ විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ මහාචාර්ය ආර්. එස්. රාමක්‍රිෂ්ණා ය. දෙවැන්නා, තලවාකැලේ තේ පර්යේෂණායතනයේ ජෛවරසායන අංශයේ අධිපතිව සිටි ආචාර්ය ජී. රොබට්ස් ය. කසාද සහතිකයේ අපේ අස්සන් දෙක සහතික කලේ ඒ දෙන්නාය. එදා මංගල දිව්‍ය පූජාව තියා, අප දෙන්නාගේ විවාහය ලියා පදිංචි කලේ, එවකට වෙන්නප්පුවේ ශාන්ත ජෝශප් දෙව්මැදුරේ මීසම භාර පියතුමාව කටයුතු කල රෙක්ස් ඩයස් පියතුමා ය. කතෝලික පල්ලියක පියතුමන් ඉදිරිපිට අස්සන් කල නිසා, තෙරුවන් සරණයි කියා අස්සන් කරන්නට නම් උපදෙස් ලැබුණේ නැත.
එසේ මැකී ගිය මුහුණු වල අඩුව නොඅඩුව පුරවන්නට තරම්, අළුත් මුහුණු සිය දහස් ගණනක් අද අපේ ජීවිත වලට සමීපව සිටිති. එදා අප අසලම සිටි අයත්, ඒ අයගේ දූ දරුවනුත් වශයෙන් එකතු වන කට්ටියට අමතරව, එදා මෙදාතුර දැන හැඳිනුම්කම් හරහා මෙන්ම, දන්නා අඳුනන අයගේ දැන හැඳිනුම්කම් හරහාත් අපේ ජීවිත හා එකතු වූ පිරිස කොතරම් දැයි ගණන් කරන්නට වෙනමම පොතක් ලිවිය යුතු වෙයි.
මේ දේවල් මෙසේ සිතද්දී, අපේ වැල් පාලම වැටී තියෙන්නේ පතුල නොපෙනෙන ගැඹුරු හෙලක් මතින් යැයි මට නම් නොසිතෙයි. මේ ගමන මුළුල්ලේම, අත දිග හරියේ අත දිගු කරන්නට සැදී පැහැදී සිටියවුන් අනන්තවත් සිටියහ. අදත් සිටිති. හෙටත් ඉන්නා බව දනිමි.
ඉතින් අම්මා, මේ ගමන නම් තවම ඉවර නැත.
ඉවර වෙන එකකුත් නැතැයි සිතෙයි.
2022 අගෝස්තු 9 දා