Monday, November 28, 2016

තලමලේ කවිය....!


කියන්න කවිකර අම්මෙනි අවසර
මහතුන් නැති රට ඇයි උන් අවසර
දෙවියෙක් නිදි නම් ඇහැරී වර වර
බිම හෙළලා අර දෙනගම තලමල

කැකුළු සුබාවට පිපිලා වැඩුනේ
කඳුළු වසාගෙන රුව කඳ දිළුනේ
නැඹුළු යකෙකු කෙරුවද මේ වෙසනේ
ලකල නිමල තලමල බිම දැමුනේ

දලදා සසදා මුව දෙව් දා නැණ
කුස දා කියවා වනපොත් කොට දැන
දහදිය හිනිමග ඇස් ලැබ ගත් දින
‍රන්කොත පාමුල තලමල කෙලෙසින

සාර ඵලය උරමින් රස කරමින
වීර බිමේ පින් වත මිරිකාගන
මාර සෙනග අපෙ පැදුරේ ලැගගෙන
ධීර බලැති මව් පදවිත් බිලිගෙන

ගුගුරා සත් දවසක් ඉර හඳ තරු
උතුරා ජන ගඟ පව් උඩු යටිකුරු
කරනා තුරු අපි දිවි මග ගරු සරු
සුවපත් වෙත්වා දුක් දැරු මව් වරු


 

තල මල පිපෙන්නේ ගස මරාගෙනය. ඒත් කල්පයකට එකක් මෙන් දුලබ ව යැයි කියැවෙයි. තල ගස මුදුනෙන් නැගී තවත් අතු පතර විහිදන ගසක් මෙන් නැගෙන තල මල බලන්නට පිරිස් පොදි වෙන්නේ එහෙයිනි. එහෙව් තල මලක් අකාලයේ බිම ඇද වැටීම පවක්මය.

තල මලේ කවිය ලියූ ධර්මසිරි රාජපක්ෂ කවියා යන්නට ගොසිනි. මේ පුංචි සටහන කවදාවත් මුණ නොගැසුනත් අකුරු අතරින් හිතට පිළිපන් ධර්මසිරි කවියානන් පිළිබඳ මතකයට ය.
-----------------------------------------------------------------------------------------------
http://mirrorarts.lk/news/item/2393-kiyanna-kavikara-ammeni-awasara 

නො දන්නා ගීතයක හද කම්පිත කරවන කතාවක්....

මහාචාර්ය සුචරිත ගම්ලතුන් හා සංගීතවේදී ජයන්ත අරවින්දයන්ගේ සුසංයෝගයෙන් වර්ණිත ගී විචාර කලාවේ නවමු පිටුවක් පෙරැළු අවස්ථාවක් වන ගුවන්විදුලියේ විකාශනය වූ "ගී මිණි ආර"වැඩසටහනේ දී ගුණදාස කපුගේ ශූරීන් සහ නන්දා මාලිනියන් ගැයූ "කියන්න කවි කර අම්මෙනි අවසර" ගීතය මහැදුරු ගම්ලතුන් විසින් විචාරයට බඳුන් කළේ මෙසේ ය.
 ධර්මසිරි රාජපක්ෂගේ සාහිත්‍ය නිර්මාණයෙන් ද ගුණදාස කපුගේ සංගීත සංයෝජනයෙන් ද නන්දා මාලනී - කපුගේ යුවලගේ සුගායනයෙන් ද සමන්විත මෙම ගීතයට මූල ප්‍රත්‍ය වන්නේ දෙනගම ඥානවතී නමැති බීඩි එතීමෙන් ජීවත් වූ උපාධිධාරී යුවතිය පන්සලට ඇදගෙන ගොස් දූෂණය කොට මරා වැවට විසි කිරීමයි. මේ සිද්ධියෙන් ප්‍රකම්පිත හෘදයෙන් ඇදහැළුණු මේ ගී පද ධාරාව අප සමාජය තුළ ස්ත්‍රීන්ට කරනු ලබන පොදු හිංසනය පවසන ඉතාමත් සරුසාර සංකල්ප රූප මාලාවකි.
කියන්න කවි කර අම්මෙනි අවසර
මහතුන් නැති රට ඇයි උන් අවසර
දෙවියෙක් නිදි නම් ඇහැරී වර වර
බිම හෙළලා අර දෙනගම තලමල
 කවි කොල ආර අනුව යන කවියා මව්වරුන්ගෙන් පමණක් අවසර ගනී. අවසර ගැනීමට මෙහි මහතුන් නැත. මහතුන්ගේ වේශයෙන් සිටින්නෝ ස්ත්‍රී පීඩක කාම මෝහිත මද කිපි වග වලස්සු ය.දුර්ලබ තලමලක් වන් සුමුදු සොඳුරු යෞවනිය මරා හෙළා ඇත. දෙවියෙක් නිදි නම් ඇහැරී වර වර යනුවෙන් කිසි අදෘශ්‍යමාන බලවේගයක ආරක්ෂාව පීඩිත මිනිසාට නැතැයි හැඟවේ.
කැකුළු සුබාවට පිපිලා වැඩුණේ
කඳුළු වසාගෙන රුව කඳ දිලුණේ
නැඹුළු යකෙකු කෙරුවද මේ සංගේ
ළකල නිමල තලමල බිම දැමුවේ
 තලමල කැකුළ වැදී පිපී එන සෙයින් ඇය පිපී ආයේ දරිද්‍රතාවයේ කඳුළු අදෘශ්‍යමානයට පලවා හරිමිනි.නැඹුළු යකෙකු බිලිගත් පරිද්දෙන් ළකල නිමල තලමල බිම දැමුවේය , තලමල යන රූපකය මේ කරන ලද නාරි සෞන්දර්යය නාශනය රූපවත් කිරීමට කෙතරම් ප්‍රබලද? පීරා වරලස අවුල් හරින ලෙස තලමල සුළඟට යන අන්දම්...
දළදා සසදා මුවදෙව්දා නැණ
කුසදා කියවා වනපොත් කොට දැන
දාඩිය ඉනිමඟ ඇස් ලැබගත් දින
රන්කොත පාමුළ තලමල කෙළෙසින
 දළදා සසදා මුවදෙව්දා සසදා වනපොත් කොට දහඩිය නමැති ඉනිමගේ නැග ඇස් ලැබ ගැනීම, නො කා නො බී ඉතා දුක සේ උපාධි විභාගය සමත් වීම සංකේතවත් කරයි. එහි ප්‍රතිපල රන් කොත පාමුළ තලමල කෙළසින. මෙය සිදුවන්නේ එසේ මෙසේ තැනක නො ව අසරණ සරණ වූ තුනුරුවන් හා දෙවිදේවතාවුන් වැඩ වසන පන්සලේ චෛත්‍යය පාමුළ ය. චෛත්‍යයේ සර්වඥ ධාතු වැඩ වෙසෙද්දී දෙවිදේවතාවෝ එය ආරක්ෂ‍ා කරත්ලු. එහෙත් ඒ සියලු විශ්වාස ම අසරණ මිනිසා මත පැටවුණු අතිරේක බර ම නො වේද? ඒවායින් ඔහුට පීඩනය ම විනා අන් කවර සරණෙක් ද?
සාර ඵලය උරමින් රස කරමින
වීර බිමේ පින්වත මිරිකාගෙන
යුවතිය දූෂණය කළ ප්‍රචණ්ඩ ආකාරයත් එයින් කලාකරුවා තුළ උපන් ප්‍රසංවේගයත් මෙයින් නො හැඟවේද? පින්වත යන්න ඔහු යුවතිය මහත් ගෞරව භක්තියෙන් සලකන බව හඟවයි.
'දිනූ බිම මහිම ඇති මුනි මාර බල - වැනුම් තුනක් වැනි සතබිම් සාරඵල' යන ලෙසින් වීදාගම හිමියන් විසින් වර්ණිත විහාර භූමියෙහි අද දින සැබවින් ම සිදු වන්නේ කුමක්ද? ඒ, මේ ය.
මාර සෙනග අපෙ පැදුරේ ලැගගෙන
ධීර බලැති මව් පදවිත් බිලිගෙන

අද එහි රජයන්නේ මාර විජය කළ සිදුහතුන්ගේ පාරමී බලය නො ව මාර බලයයි. බිලි ගැනෙන්නේ එක් පුද්ගලයකු පතන නිකම් ම බුදු පදවිය නො ව ධීර බලැති මව් පදවියයි. ලොව සියලු ධීර බලය නිපදවන්නේ මව්වරුන් බැවින් මේ යෙදුම කෙතරම් අපූරු ද?
මෙලෙස ජන කවි වහරේත් සෙවි කවි වහරේත් අගනා සංකලනයක් වන මේ ගීය චිරාගත ආගමික මිත්‍යා දෘෂ්ටිවාදයන් විදාරණය කර දොර හරිමින් ස්ත්‍රී සංහතිය මුහුණපාන ව්‍යසනය අපට ප්‍රත්‍යක්ෂ කොට අප හද කම්පා කරයි.
එහෙත් අසාර දර්ශනයකට ඉඩ නො තැබේ. අනාගතයේ පුපුරා එන සමාජ විප්ලවය විසින් සියලු පන්ති යදම් ප්‍රචණ්ඩාකාරයෙන් සුණුවිසුණු කර අප දිවි මග ගරුසරු කරනු ඇත. ඒ සඳහා දැරෙන අපගේ ප්‍රයත්නය මධ්‍යයෙහිදී ස්ත්‍රී සංහතිය ස්ත්‍රීත්වය නිසා ම විඳින අතිවේග දුක් කඳට ද කර දෙමු.
 ගුගුරා සත් දවසක් ඉර හඳ තරු
උතුරා ජන ගඟ පවු උඩු යටිකුරු
කරනා තුරු අප දිවිමඟ ගරසරු
සුවපත් වෙත්වා දුක් දැරු මව්වරු
 සැකසුම : සන්ජය නිල්රුවන්-
-----------------------------------------------------------------------------------------------------

බූන්දියේ පළවූ ලිපි හා කවි





Continue Reading...

Friday, November 25, 2016

විසිතුන ශ්‍රී හැත්තෑ නවයයි අසූතුන නොහොත් ගාල්ලේ කතාවක්....



අවුරුද්දකටත් එහා දවසක ලියවුණු මේ සටහන අළු දූවිලි ගසා පිහදා මෙතනට දමන්නට හිතුණේ පත්තරයකින් දුටු පහත අවුණා ඇති ආරංචියක් හින්දායි. යාළු මිත්‍රයින්ට සැලකීම නම් මේ ආත්මයේම ආනිශංස ලැබෙන පුණ්‍ය කර්මයක් බව දැන් නම් මටත් විශ්වාසය.
Gamini Dharmawardena appointed SLSI Director General 

http://dailynews.lk/2016/10/19/business/96385


විසිතුන ශ්‍රී හැත්තෑ නවයයි අසූතුන නොහොත් ගාල්ලේ කතාවක්....
June 25, 2015 at 1:01am

විසිතුන ශ්‍රී හැත්තෑ නවයයි අසූතුන අපට මුණ ගැහුනේ එක්දාස් නවසිය හැත්තැනවයේ සැප්තැම්බර විසිහත්වෙනි දාය. ඉහින් කණින් උතුරා ගිය කොළඹ කොටු‍වේ මාතර බස් පෝලිම ලඟටම ඇවිත් අපව එක්කරගන ගිය ගාලු බස් එක ඒකය.

අපය කිව්වේ ප්‍රසාද් ජයවික්‍රමත් මමත් ය. එදා අපේ ගමනේ ගමනාන්තය වූයේ මාතර ය. මාතර රාහුල පාරේ හුණුකොටුව හන්දිය කිට්ටුවම වාගේ ලැටිස් ගහපු ගෙදරක් ය.

අපේ වැඩ අපම කර ගැනීමේ පුරුද්ද හින් දා, අවසාන විභාගයේ අවසාන දවසේ හෘදය වස්තුවම ගලවාගෙන ඉගිල ගිය කිරිල්ලියට සංදේශ ගෙනියන්නට සතා සරපයා පස්සේ යනවාට වඩා රුහුණු කුමාරියේ  නැගලා මාතර යාම වඩාත් උචිත යැයි ඉතාමත් හදිසි තීරණයක් ගෙන කොළඹ සරසවියේ තර්ස්ටන් කෙළවරේ සල්ගහ යටින් පැදකුණු කරන‍ වෙලාවේ අප දෙන්නාගේ මූණට  මුලිච්චි වුනේ කැකුණදුරේ එකෙකි. පහල බැච් එකේ ගාමිණී ය. උගෙත් අවාසනාවට “කවදාද ගෙදර යන්නේ” යි ඇහුවාම කියවුනේ "හෙට උදේ කෝච්චියේ" කියාය.

රුහුණු කුමාරියේ මාතර යාමේ ආසාව කොපමණ වුණත් අපේ වාසනාවට හෝ අවාසනාවට හා හපුරා කියා රස්සාවක් හැටියට විශ්ව විද්‍යාලයෙන්ම ලැබුණු 'ප්‍රදර්ශක' තනතුරේ වැඩ බාර ගැනීම පහුවදා ට යෙදුනු හින්දා ගාමිණි ධර්මවර්ධනට නිවීහැනහිල්ලේ කෝච්චියේ ගෙදර යන්නට ලැබුණි. කෝච්චිය පස්සෙන් බස් එකක පෙර ආත්මයක හෝහපුටු ණය කාරයන් ජෝඩුවක් හඹා එන වග නම් ගාමිණීට අමතක නොවෙන්නට ඇත.

අපි දෙන්නා එදා උදේ අළුත් ‘ප්‍රදර්ශක’ තනතුරු වල වැඩ භාරගෙන අපට ලං වෙන්නත් ඉඩ නොතිබුනු කොළඹ කොටුවේ මාතර පෝලිම ලඟින් ගාලු බස් එකක එල්ලෙන්නේ එහෙමය. ඒ හේතුවෙන් ගමනාන්තය මාතර වුනත්, පටන් ගත්තේ කොළඹින් වුනත්, අපේ බොහෝ ජනකතා ඉතිහාස කතා මෙන්ම මේ කතාවත් හරියටම පටන් ගන්නේ ගාල්ලෙනි. ලොරොන්සෝ ද අල්මේදා ටත් කතාව පටන් ගන්න සිද්ධ වුනේ ගාල්ලෙන් හින් දා මේකේ ඒ තරම්ම අරුමයකුත් නැත.

මේ ඉරණම්කාර විසිතුන ශ්‍රී හැත්තෑ නවයයි අසූතුනට ගාලු බස් පොලේදී ආයුබෝවන් කියලා, බස් පෝලිමක හිටි අපේ බැචියක් වූ සීතා එක්කත් ටිකක් කදයක් ගහලා, ගාල්ලේ සල්ගාදු බේකරියෙන් පානුත් පරිප්පුත් දවාලට කාලා මාතර යන බස් බලන්නට එළියට බැස්සත් දෙන්නාගේම ඇහැත් හිතත් දෙකම ගියේ ස්ටේෂන් එක දිහාවට ය. මූලිකම ප්‍රාර්ථනාව වූයේ ‍කෝච්චියේ, හරියටම කිව්වොත් රුහුණු කුමාරියේම මාතර යාම නිසාවෙන්.... 'මචං බලමුද කෝචිචියක්...?' කියා අප දෙන්නාටම හිතුණේත් කියවුනේත් එකටය.

කෝච්චි බලන්නට ස්ටේෂන් එකට ගියත් ඒ ගැන හොයන්නවත් හිතන්නවත් කලින් හමුවුනේ රෝසා අංකල් ය. ඩෙන්සිල් රෝසාගේ තාත්තාය. කෝච්චියේ රස්සාව කල අංකල් එක්ක ආ ගිය කතා කිය කියා ඉඳිද්දී නලාවක් පිඹගෙන ආ කෝච්චි එන්ජිමක සද්දය අසා රෝසා අංකල් 'පුතාලා කෝච්චියෙ යනවා නං ටිකට් ගන්න අන්න එකක් එනවා' යි කිවූ  හින් දා අපි දෙන්නාම ගිහින් මාතරට ටිකට් අරන් ඇවිත් වේදිකාවේ සීරුවෙන් හිටත්තෙමු.

ඒත් ආවේ නම් නිකම්ම නිකං බඩු කෝච්චියකි. ඒ ගැන අහන්නට රෝසා අංකල් ගාලු ස්ටේෂමේ පැත්ත පලාතක හිටියේ නැත.

අංකල් ලා එහෙමය. පාර පෙන්නා අතුරුදහන් වෙන එක අංකල්ලා ගේ පුරුද්ද ය. යාම, ගමනේ යාම, කට්ට කෑම සේරම උරුම වෙන්නේ අංකල් ලා කියූ විදිහට සීරුවෙන් යන අපටය. නැත්තං බස් එකේ යන්න තිබ්බ සල්ලි වලින් කෝච්චි ටිකට් එකක් අරන් තවත් පැයක් හමාරක් ස්ටේෂන් එකේ පාළු කපා හති දම දමා ආ හවහ කෝච්චියට ‍ගොඩවෙන්නට වැඩ සිද්ධ වෙන්නේ නැත.

ඒ හවහ කෝච්චියත් කෝච්චියක් ම බව හරියාකාරව වැටහුනේ වැලිගමට මෙහායින් හිටි අඩියේම රේල්පාර මැද ඉද්දගැහුවා වගේ නතර වුනු වෙලාවේය.....

ටිකකින් ගාඩ් මහත්තයා රේල් පාර අයිනෙන් සැහැල්ලු ගමනින් අපේ පෙට්ටිය පහු කරගෙන ඉස්සරහට යනවා පෙණුනි. මේ කියන කාලයේත්; නිකං එහා මෙහා ඇවිදින ගමන් ඕනෑවට එපාවට කාටත් ඇහෙන්නට නෑහෙන්නට කුටු කුටු සද්දෙන් ඕනෑ දේ එපා දේ කියාගෙන නොකියාගෙන යන ෆ්‍රී කුවන්සි මොඩියුලේෂන්සන්නිවේදන ක්‍රමය; මිනිස්සු ගැවසෙන තැන්වල අද වාගේම භාවිතා විය.

ඔය එෆ් එම් තරංග ඔස්සේ අපේ පෙට්ටියේ එහා මෙහා වුනු කතා බහ වලින් කියවුනේ "බැටරි පෙට්ටිය ගිණි අරන්....!" කියලා ය. ගින්දර ගැන කියවුනා ම නොබලා බැරි ම හින් දා අපිත් ටක් ටක් ගා බැහැලා ගිහින් බැළුවෙමු.... ගින්දර කෙසේ වෙතත්, ඇන්ජිමේ පහල ගරාදියක එල්ලා ඇති තරමක පෙට්ටියක කොණකින් හීන් නූලක් වැනි සුදු පාට දුම් රොටුවක් කාන්දු වෙවී තිබුණි. දුමක් ඇත්නං ගින්නක් ෂුවර් ය. ඒ හින්දා ප්‍රවෘත්තිය හෙඩ්ලයින් වෙන්නේ බැටරි පෙට්ටිය ගිණි ගනී කියාමය... අපේ ගමනට මේකෙන් හත වැදුනත්, ඩ්‍රැයිවර් මහත්තයාටත් ගාඩ් මහත්තයාටත් නම් මේක මේ අද අහම්බෙන් සිද්ධ වූ ඉමර්ජන්සියක් නොවන බව වැටහුනේ අහල මිදුලක බට්ටා පැන පැන හිටි කොළු කෙල්ලන් ටිකකට,

බබෝ අපි එනකන් මේ කෝච්චිය ටිකක් බලා ගන්නය  

කියා ඒදෙන්නා බෑග් මළු අරගෙන රේල් පාරට පිළිපන්න නිසාය. අපේ පෙට්ටියේ එෆ් එම් තරංග වාර්තා අනුව ඇහුණේ

'ඔය ගිහින් ගාල්ලෙන් එංජිමක් අරන් එයි' කියාය.

 'මාතරට කෝල් කලත් එවයි' කියා තවත් පැත්තකින් ඇහුණි.

ටිකක් ඉන්න එක තමයි නුවණට හුරු' බවත් කියවුනු හින් දා අපිත් ටිකක් හිටියෙමු.

ටික ටික උනත් හිටපු ටික ටික එකතු වී තරමක ගොඩක් වී ගෙන එන වෙලාව වෙද්දී....

'මේකෙ වාඩිවෙලා බකං නිලාගෙන ඉන්නේ ඔතනින් හන්දියට ගියානං ඕනැ තරං බස් නේ'

කියා කණු කුනු ගෑමක් එහෙන් මෙහෙන් ඇහෙන්නට පටන් ගැණිනි. මේ කතාව කිව්වෙත් වාඩිවෙලා ඉන්නා උන්ම වුනත්, එකා දෙන්නා බැහැ ගන යන බව පෙණුනාම මූණට මූන බලාගෙනම ඉන්නවාට වඩා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය සමගම ඉදිරියට යාම අවස්ථාචෝතියැ යි අපිත් තීරණය කළෙමු.

රේල් පාරෙන් බැස වැලි පාරක් දිගේ ගොස් ගාලු මාතර තාර පාරට සේන්දු වූ තැන වූ හන්දියය කිව්වේ ‍තරමක හන්දියක් බව පෙණුනි. ඒ හන්දියේ තරමටම බස් වලට නගින්නට සෑහෙන පිරිසක් පාර අයිනේ රැස්කකා සිටියහ. එක්කෝ අපේ ‍පෙට්ටියට එෆ් එම් ට්‍රාන්ස්මිෂන් එක ආවේ පරක්කු වෙලා වෙන්නට පුළුවන. එහෙමත් නැත්තං ඒ කෝචිචියේ එන අය හැම දාම වාගේ මෙතනින් යන්නේ පාරට ඇවිල්ලා බස් එකක එල්ලිලා වෙන්නටත් පුළුවන....

කොහොම කොහොම වුණත් බස් ඩ්‍රැයිවර්ලාත් මේ සංසිද්ධිය හරියටම දන්නා අය බව නම් හොඳින්ම පෙණුනි. පාර අයිනේ මිනිස් පොකුරට යාර දෙතුන් සීයක් ඈතින් යාන්තමට බස් එක නවත්තා බහින අය බස්සවා.... මීටර් සීයේ දෙසීයේ රන් එක දෙන අය ලඟට එන්නට කලින් සූ...ස් ගා අද්දා යාම ගොම්මන් අන්ධකාරයත් හෙමි හෙමින් පාත් වෙමින් තිබුණු මේ වැනි අවස්ථාවක පාවිච්චි කරන ගැලවීමේ උපක්‍රමය බව ඒ කාලේ ලංගම ඩ්‍රැයිවර් ලාට කියා දී තිබුනේ පලවැනි ඉන්ටර්විව් එකේ දීම වෙන්නට ඇත.

මේ බස් ස්ලෝ කිරීම... රන් එක දීම.... සූ...ස් ගා ඇද්දීම දෙතුන් පාරක් වෙද්දී... ආයෙත් එෆ්.එම්. තරංග හරහා ජනතා මතය නිවේදනය වීම ඇරඹුණි....

මෙවෙලෙට මෙතන බස් නතර කරනව ද... මෙච්චර සෙනග ඉන්දැද්දි...? කකුල් දෙක හොල්ලලා ඔය ටික ඇවිදලා වැලිගම ස්ටෑන්ඩ් එකට ගියා නං බස් නෙ...!

බණ්ඩා ‍කොළඹ ගියා මිස මාතර ගියා නොකියන්නේ ඇයි ද හිතෙයි.

ස්ටෑන්ඩ් එකට කොච්චර දුර ද

අනේ ඔය පේන දුර නෙ

රෝසා අංකලුත් ජනතා පුත්‍රයෙක් බව සිහිපත් කරමින්, ජනතා මතයට කවදත් ගරු කරන අපිත් ඉතින්... ගොම්මන් කළුවරේම තාර පාර දිගේ වැලිගම ටවුමය කියන පැත්තට කකුල් හෙල්ලීම ඇරඹුවෙමු. හාත්පස අන්ධකාරය.... එක පසක ගොළු මුහුද ය... අනික් පස ලඳු කැලෑ බඩවෙටි හා වෙල් එළියකි. ටිකක් දුර යද්දී ඉස්සරහ පස්ස බැළුවාම පෙණුනු හැටියට පෙණුනේ පාරෙ යන්නෙත් අපි දෙන්නා විතරක්ය... කියාය.

වැල්ල අයිනේ ගිනි මැලයක් අහල මාළු දැල් වල බිඳුනු ඇස් හදන කට්ටියකුත් වැලිගම ටවුමට දුර මැන්නේ නම් ඇහේ මිම්මෙන්ම ය.

ඔය... පේ...න දුර නෙ... කෙලින්ම යන්න

ඇත්ත කතාව නං හාත්පස අන්ධකාරය නිසා ලයිට් කණු නැති පාරේ අඟලක හමාරකට වඩා දුරක් නොපෙනීම යි. ඒත් අපි දෙන්නෙකි. මේ යන්නේ මාතරය. මාතර රාහුල පාරේ හුණුකොටුව හන්දිය කිට්ටුවම වාගේ ඉස්සරහට ලැටිස් ගහපු ගෙදරකට ය...

ජීවිතය එහෙමය. හාත්පස අන්ධකාර වුණත් හිතේ එළිය තියේ නං, ඉර හඳ තාරකා යකාට තොලොංචි වුණත් කකුල් වලට පණ එයි. ඉතින් අපි ගියෙමු. චිරාත් කාලයකට පසු හදිස්සියේම, මහ පාරෙන් ඇතුලට වෙන්නට තියන වැලිගම ටවුමේ ලයිට් බුබුළු වෙසක් තොරණක් වාගේ නා නා වර්ණයෙන් දිලිහෙන්නට පටන් ගන්නා තුරුම ගියෙමු. එතැනින් පොරකා එල්ලුනු මාතර බස් එක මාතර ස්ටෑන්ඩ් එකේ නවත්තන වෙලාව වෙද්දී, කැකුණදුර පැත්තට යන අන්තිම බස් එකේ ඇන්ජිමත් පණ ගැන්වී තිබුණි. ගාමිණී උපදෙස් දී තිබුණේ බස් එකේ ඇවිල්ලා, පරවාහැර අම්බලම ලඟ බහින්නටය. එතනින් ඉස්සරහ පාර දිගේ රාළහාමිලාගේ ගෙදර හොයාගෙන එන්නට ය.

"කාගෙන් ඇහුවත් පාර පෙන්නයි..."

කොහොමත් කියන කොට එහෙමය. කරන කොට මෙහෙමය. මාතර කියලා ඒක වෙනසක් නොවෙයි. පාන් බාගේ බස් එක එලවු ක්‍රේල් කොණ්ඩය පස්සට පීරූ ලස්සණ හිනා මූණක් තිබුණු ඩ්‍රැයිවර් යාළුවාට කතා කර වගතුග කිව්වාම කිව්වේ...

‘ආ... අම්බලම ලඟනෙ... හරි බස්සං නං’  කියාය.

ඉස්සරහ වීදුරුවෙන් එළියට එබීගෙන බස් එකේ නිලංකාර ඇස් වලින් එළිය‍ වෙන අන්ධකාර තාර පාර දිහාම බලාගෙන ඩ්‍රැයිවර් කූඩුව ලඟ හරස් පොල්ලක එල්ලී ගිය ඒ බස් ගමන නැවතුනේ.... ක්‍රාං ගා ගියර මාරුවී බස් එක නැවතී.... අර හිනා මූණ අපි දිහාවට හැරිලා...

හරි...අම්බලම ලඟ බහින්නකිව්වාමය.

අම්බලම අම්බලමකි. කිසිම එළියක් පානක් තියා කණාමැදිරියෙක් වත් හිටියේ නැත. බස් එක ඇද්දූවාට පහු කළුවරට ඇස් යාන්තම් හුරු වෙන කොට ඈත මෑත බැළුවාම දැක්කේ තනි ලෑල්ලක් ඇරගෙන අන්තිම පැයේ බඩුවිකුණන කඩයකි.

රාළහාමිලාගෙ ගෙදර ට නං ඔය ඉස්සරහ පාරෙන් දිගටම යන්න. හැබැයි කළුවරයි. ඔය ගෙදර නං හපාකන බල්ලොත් ඉන්නව....

මුදලාලි කිව්වේ එහෙමය. ඒත් එක්කම කඩෙන් බඩු ගන්න ඇවිත් හිටි පුංචි එකෙකුට,

ඔය ළමය ඒ පැත්තට නෙ යන්නෙ... මෙන්න මේ මහත්තුරුන් රාළහාමිලගෙ ගේ ලඟට ඇරලනවයි විධානයක් ද ලැබුණි.

අප දෙන්නාත් පස්සෙන් එල්ලාගෙන අන්ධකාර දෙවට දිගේ ටිකක් දුර ගිය කොල්ලා, පාර අයිනේ ඉන්න යකියා කණ්ඩිය නැග ගෙදරකට ගොඩවිය. මිනිත්තුවක් දෙකක් ගියත් හා හුවක් නැති වුනත් ආයෙත් මූණු බලා ගන්නවා ඇරෙන්න අපට කරන්නට දෙයක් තිබුණේ ද නැත. තවත් මිනිත්තුවකින් දෙකකින් වයසක අම්මා කෙනෙක්, හුළු අත්තක් පත්තු කරගෙන, කොණ්ඩයත් ගැට ගසමින්....

මේකලාට පාරක් තොටක් අහන් ආ මිනිහෙකුට පාරක් පෙන්නන්න යන්ඩ තියෙන කම්මැලිකම.... වරෙන් පුතේ මං පෙඤ්ඤංඤා...

කියාගෙන කණ්ඩිය බැස ඇවිත්, අප එක්කරගෙන ගිහින් රාළහාමිලාගේ ගෙදර දොරට තට්ටු කරන වෙලාව වෙද්දී... ගාමිණී නං රෑටත් කාලා නිදන්නටත් ලෑස්තිය.

ඒත් යාළුකම නං යාළුකම ම ය. ඒ හින්දා එදා දවසේ අපි දෙන්නාත් ගාමිණීගේ අම්මාගේ පුතුන් වූයෙමු. ඒ රෑ පාන්දර කඹ බාල්දි හොයාගන වත්ත මැද ලිඳට ගිහින් නාලා එද්දි ආයෙත් බත්මාළු ඇරලා රෑට කෑම ලැබුණේත්, පහුවදා උදේම අළුත් පුතාලා දෙන්නාට තේ බොන්නට කිරිබත් ‍මේසයක් හැදුනේත් ඒ හින්දාය.

අපි හරියටම මාතර ගියේ ඉන් පස්සේ ය. මාතර රාහුල පාරේ හුණුකොටුව හන්දිය ලඟම ඉස්සරහට ලැටිස් ගහපු ගෙදරට ය.

කවදාවත් දැකලා නැති වුනත් රන්සිරිමල් අයියා ආපු පණිවිඩය කියන්නට ගේ ඇතුලට දුවගෙන ගිය මල්ලීට තරවටු කරමින්, ගවුමට උඩින් දවටා ගෙන හිටි රෙද්දත් හරි ගස්ස ගස්සා ඇවිත් දොරෙන් එබුණු ඒ මූහුණේ ඇස් ලොකු වී ඇඳුණු විශ්මයාර්තය නම් කවදාවත් අමතක වෙන්නේ නැත.

එදා එක්දාස් නවසිය හැත්තෑ නවයේ සැප්තැම්බර මාසයේ විසි අට වෙනි දා ය.

https://scontent-sea1-1.xx.fbcdn.net/v/t1.0-9/q82/s720x720/11012547_10206809211450909_4600581658605320405_n.jpg?oh=f206e7de55c8219385f4458bff2f6a35&oe=588DAECF

https://scontent-sea1-1.xx.fbcdn.net/v/t1.0-9/q81/s720x720/10177900_10206809212810943_616805867308284305_n.jpg?oh=d76b53efd4698f2a53868808714ae9bd&oe=588E56E1



Continue Reading...

Thursday, November 17, 2016

පින්කෙත හෙළ රන් දෙරණේ යලි ඉපදෙන්නට..... හෝව් පොඩ්ඩක්...!

මේ ගීතය ලාංකික සිංහල අපි හැමෝටම ආදරණීයය. ඩෝල්ටන් අල්විස් අතින් ලියැවුණු අමරදේවයන් ගේ ගැයුම අමරදේවයන් ගේ අභාවයත් සමග නැවත නැවත ගැයෙන ඇසෙන පැතෙන පැතුමක් වී තිබේ.

මේ සටහන ලියන්නට මුල පිරුණේ නම්, අපේ මිත්‍රයෙක් වන කැල්ගරි විශ්ව විද්‍යාලයේ  මහාචාර්ය ජානක රුවන්පුර ගීත තේරූ "සිහිනයකි රෑ" වැඩ සටහනේ යූ ටියුබ් සටහන නැරඹූ දවසේයි.

සිහිනයකි රෑ මෙහෙයවන මහේෂ් නිශ්ශංක, ගී ගැයූ ගීතාංජන කුඩලිගමගේත්, ජානකත් සමග සාමිචි කතාවක අතරමග මෙසේ අසයි... [19:12]

"මහාචාර්ය තුමා ඒ කතාවත් එක්ක මේ.... ඇයි  අපේ ලාංකිකයො අපේ නිදහස් අධ්‍යාපනයෙන් උපරිම ප්‍රයෝජන අරගන අපේ ලාංකීය මිනිස්සුන්ගෙ මේ රටේ ජීවත්වෙන මිනිස්සුන්ගෙ බදු මුදල් වලින් මිනිස්සුන්ගෙ යහපත සඳහා ප්‍රතිපාදන වශයෙන් අයින් කරපු මුදල් වලින් හොඳට අධ්‍යාපනය ලබල ඔබ ගන්නකො ඔබ කොළඹ නාලන්දා විද්‍යාලයෙ ශිෂ්‍යයෙක් ඇයි මේ ඒ දැනුම උකහාගත්තට පස්සෙ ඇයි ඒක අරගන වෙන රටකට යන්නෙ?"



මේ ප්‍රශ්නය තුල ප්‍රශ්නයකට වඩා චෝදනාවකුත්, පසුතැවීමකුත්, වික්ෂිප්ත භාවයකුත්, අසරණ කමකුත් ගැබ්වී ඇතැයි මම සිතමි. මහේෂ් මෙතැනදී ගොනුකරන වචන මාලාව තුල තවත් අමතර, හරස් ප්‍රශ්න හා ආලේපන ගැබ්ව ඇති නමුත්, උගතුන් රට හැර යාම, බුද්ධි ගලනය ආදී ලෙස විවිධාකාරයෙන් කල එලි බසින මේ කතාවේ ප්‍රධාන මාතෘකාව පිළිබඳ සාකච්ඡා අවසන් වන්නේ බොහෝවිට නිශ්චිත වටහා ගැනීමක් හෝ පිළිතුරක් නැතිවය.

එයිනුත් උගතුන් රට හැර යන්නේ ඇයි යන්නට වඩා, එසේ යාම හරි ද වැරදි ද යන ප්‍රශ්නය ඉස්මතුවීමත්, අතිශයින්ම සංවේදී හා පුද්ගලික වූ කරුණු කාරණා මේ සම්බන්ධයෙන් කියවෙන්නට ගැනීමත් සමගම මෙවැනි සංවාද වල ඉරණම වෙනත් පැත්තකට හැරෙයි.

තැනේ හැටියටත් සාකච්ඡා කරන්නන්ගේ  තරා තිරමේ හැටියටත් ඒවායේ අවසානය සම්මුතියක් හෝ විසංවාදී සම්මුතියක් හෝ හිත් රිදවාගත් වෙන් වීමක් හෝ ඔළු පලාගන්නා තරමේ උද්වේගකර ගුටි කෙලියක් හෝ වන්නට පුළුවන.

ප්‍රශ්නයක් වූවත් නැතත්, සත්‍යය නම් අපේ රටේ ආගමනයට වඩා විගමනය වැඩිය යන්නය.

ලෝකයේ දියුණුය සැලකෙන කැනඩාව, ඔස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍ය හා ප්‍රංශය සමග ලංකාවේ ද පසුගිය වසර කීපයක දල සංක්‍රමණ දත්ත සැසඳෙන පහත ප්‍රස්ථාර සටහන ගූගල් දත්ත ජාල අඩවියෙනි. මේ දත්ත තව දුරටත් කිරා මැන බලන්නට ආසාව ඇති අය සඳහා මේ දත්ත අඩවියට සබැඳියක් මේ සටහන අග තිබේ.



විදේශගත වන ලාංකිකයින් එකිනෙකා අමතා කරුණු කාරනා විමසා සසඳා සැලකුවොත් 'ඇයි ගියේ?' කියන ප්‍රශ්නයට ලැබෙන පිළිතුර කුමක් වේදැයි මා දන්නේ නැත. මේ සටහනේ අරමුණ ඒ ගැන මගේ අදහස් කීම නොව පෞද්ගලික අදහස් උදහස් මති මතාන්තර කුමක් වූවත්,  මේ දත්ත දෙස විමසිල්ලෙන් බැලීමේ දී මතුවන තවත් කාරණයක් මේ සටහන කියවන ඔබ සමග බෙදාගැනීමයි.

මේ දෙවැනි ප්‍රස්ථාර සටහන පෙන්වන්නේ මේ රටවල භූමි ප්‍රමාණයන් ය.



අපි කවුරුත් දන්නා පරිදි කැනඩාව හා ඔස්ට්‍රේලියාව විශාල රටවල් වන අතර අපේ රට ඉන්දියන් සාගරය මැද පාවෙන පුංචි මුතු ඇටයකට වඩා විශාල නොවේ. භූමි වපසරිය එසේ වුවත් ජනගහණය අතින් නම් මේ විශාල රටවල් පස්සට යයි. ප්‍රංශය මේ රටවල් අතරින් ඉහලට එසවෙන අතර අපේ පුංචි ලංකාව, මහාද්වීපයක් වන්නා වූ ඔස්ට්‍රේලියාව හා කරට කර සිටී.



භූමි ප්‍රමාණය එසේ නම්, ජනගහණය මෙසේ නම්, ජනගහණ ඝනත්වය එනම් වර්ග කිලෝ මීටර කොටුවක ඔළු ගෙඩි ගණන කොහොම වේ දැයි මීලඟ සටහන පෙන්වයි.




එතැන දී නම් අපි ආඩම්බර හිතෙන තරමට හිස උස්සාගෙන සිටිමු. අපිට වෙට්ටු දැමූ කොකා පෙන්නූ එංගලන්තයේ සුද්දෝ කොළඅතු අඳින කාලයේ කැසිකිලි වැසිකිලි වල මළපහ කල අප, ජනගහණ ඝනත්වය අතින් උන් පහුකර ගිහිල්ලා දැන් ශතවර්ෂ කාලක් විතර ගත වී තිබේ.

මේ සමගම සමගාමීව යන තවත් සටහනක් තිබෙයි. ජීවන වියදම් දර්ශකය අතිනුත් අපේ පුංචි ලංකාවට බ්‍රිතාන්‍යයත් ප්‍රංශයත් පරදවන්නට පුළුවන් වී තිබේ.



මේ සියල්ල එකතු කල විට, යන එකා, ගිහින් යම් විදිහක රැකියාවක් ලැබී ඊට සරිලන පඩි පතක් අතට ගන්නට පුළුවන් වූ එකා, ආපහු නොඑන්නේ ඇයි ද යන්න යම් දුරකට පැහැදිලි කර ගන්නට හැකි යැයි මම සිතමි.

මෙතැන දී, ජාතිආලය, දේශ මාමකත්වය, නිදහස් අධ්‍යාපනයේ ණය ගෙවීම (ණය ගෙවිය යුතු නම් ඒක නිදහස් හා නොමිලේ කියන්නේ ඇයි කියන එක පැත්තකින් තියමු) ආදී සංවේදී හා ලේ රත්වෙන අත් ඉස්සෙන කතා අමතක කර, ගුරුත්වාකර්ෂණය, විසරණය ආදී ස්වභාවික සංසිද්ධීන් ගැන සිතුවොත් මේ වෙන්නාවූ විගමනය සිදුවිය යුතුම දෙයක් යැයි මට හිතෙයි.

මේ අන්තිම ප්‍රස්ථාරයේත් අපි බ්‍රිතාන්‍යයටත් ප්‍රංශයටත් වඩා නම් ඉහලින් ය.





ගූගල් දත්ත එකතුවට
Continue Reading...

Tuesday, November 8, 2016

හිලරි ද ඩොනල්ඩ් ද?

අද, ඇමරිකා එක්සත් ජනපදයේ ජනපතිවරණය දවසයි.

ඉතිහාසයේ මුල් වරට කාන්තාවක් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති තනතුරට සමීපතවම සිටින මේ ඡන්දය තීරණාත්මක වන්නා වූ ප්‍රධාන සාධකය ද එයම වෙයි. එසේ වුවත්, ඇමරිකානු ජනපති තනතුරට තරඟ වැදි ප්‍රථම කාන්තාව 1872 දී සමානතා පක්ෂයෙන් (Equal Rights Party) තරඟ කල වික්ටෝරියා වුඩ්හල් බව මෙයට ප්‍රථම ඇමරිකානු ජනපතිවරණයට තරඟ කල කාන්තාවන් දොලොස් දෙනෙකු පිළිබඳව ලියැවුනු මේ හෆින්ටන් පෝස්ට් වාර්තාව කියයි.

http://www.huffingtonpost.com/rebecca-bohanan/12-women-who-ran-for-pres_b_11172668.html


ඩොනල්ඩ් ට්රම්ප් හා හිලරි රොඩ්හැම් ක්ලින්ටන් අතර, පැවැත්වුනු ඡන්ද ව්‍යාපාරය වෙන කවරදාටත් වඩා පෞද්ගලික මඩ ගසා ගැනීම් වලින් පිරුණු, ප්‍රතිපත්තිමය හා දේශපාලනික තර්ක විතර්ක අවම වූවක් බව පොදු මතයයි. මේ තත්වයට දෙපක්ෂයම වගකිව යුතු වුව ද, ඩොනල්ඩ්ගේ දායකත්වය තරමක් ඉහලින් තිබූ බවත් ප්‍රකට කරුණක්. ඒ අතින් දෙපක්ෂය අපේ රටේ ඡන්ද ව්‍යාපාරවල ස්වභාවයම පෙන්වූ අවස්ථාත් තිබුණා. විශේෂයෙන් ඩොනල්ඩ් ගේ දින සීයේ වැඩ පිළිවෙල ඒ ස්වභාවය කැපී පෙණුනු තැනක්. ඉතාමත් විප්ලවකාරීයැයි පෙන්වන්නට උත්සාහ කලත්, මේ දින සීයේ වැඩ පිළිවෙල තුල දැනෙන තරමේ පෙරලියක් සිදුවිය හැකි අමුතු අළුත් දේවල් නම් තිබුණේ ඉතාමත් අල්පයක්.

ලිබරල් හා ඩිමොක්‍රැටික් යැයි පිල් දෙකකට බෙදුනත් මේ දෙපක්ෂයේම පොදු ඉලක්කය, ඇමරිකානු ආර්ථිකය ශක්තිමත් කිරීමත්, ඇමරිකාව ලෝකයේ ප්‍රධාන බලවතාය යන්න තහවුරු කිරීමත් බව පැහැදිලි කරුණක්. මේ සඳහා ගන්නා වූ ක්‍රියා මාර්ග, ලෝකයේ අනෙකුත් රටවලට, විශේෂයෙන්ම මැක්සිකෝව, කැනඩාව වැනි අසල්වැසි රටවලටත්, චීනය, ඉන්දියාව, ජපානය, වැනි ආර්ථික බලවතුන්ටත් බලපානා ආකාරය සම්බන්ධයෙන් නම් මේ දෙදෙනාගේ දැකීම් වෙනස්. ඩොනල්ඩ්ගේ දැක්ම, යම් තරමක සංවෘත ආර්ථික ප්‍රතිපත්තීන් හරහා ඇමරිකානු පහල මධ්‍යම පන්තියේ තත්වය ඉහල නැංවීම වූ අතර, හිලරි වත්මන් රජයේ පිලිවෙත්ම තව දුරටත් පවත්වාගෙන යාම හා වැඩි දියුණු කිරීම පිළිබඳව මුල්තැනක් දෙන බව ප්‍රකාශ කලා.

මෙසේ වූවත්, මෙය ඡන්දයක් බවත්, ඡන්ද දායකයින්ගේ සිත් දිනා ගැනීම හා ඔවුන්ගේ සිතැඟිවලට අමතා, විශේෂයෙන්ම දේශපාලන ස්ථාවරයක් නැති පාවෙන ඡන්ද දායකයින් අමතා, තම පිළට දිනා ගැනීම මේ බොහෝ කතා බස්වල අරමුණ වූ බව අප අමතක කලයුතු නැහැ. කතා බහ වූ දේවල් සමස්ථයක් ලෙස ගොනු කල විට නම්, කවුරු දින්නත්, ඉදිරි කාල සීමාව ඇමරිකානු දේශපාලනයේ මෙන්ම ගෝලීය දේශපාලනයේත් ආර්ථිකයේත් අවිනිශ්චිත කාලයක් විය හැකි බව බොහෝ විචාරකයින්ගේ මතයයි.

අද වනවිට ප්‍රකාශිත පෙර සංගණන දෙස බලද්දී නම් දැනට හිලරි සිටින්නේ ඉදිරියෙන්.


මේ වේලාව වෙද්දී මුල්ම ඡන්ද පොලවල ඡන්ද ගණන් කිරීම ඇරඹීමට කිට්ටුයි. තව පැය හය හතකින්, මේ වැඩේ අවසන්.

මට හිතෙන විදිහට නම් ජයග්‍රහණය හිලරිට විය යුතුයි. මොක ද මේ ඡන්දයෙන් ඇමරිකානු ජනතාවට කරන්නට හැකි එකම වෙනස, මෙතෙක් කලක් පිරිමියෙක් වාඩිවී සිටි ජනපති පුටුවේ ගැහැණියක් වාඩි කරවීම පමණක්ම වීම යි.


ද ඩේ ආෆ්ටර්:
පුදුම හිතෙන දේ නම්, හිලරි පැරදිලා ඩොනල්ඩ් දිනලා තිබුණත්, ඒ ප්‍රතිඵලයට කැමත්තක් දක්වන කෙනෙකුව නම් තවම හමු නොවීම යි. ඇමරිකන් ජනතාව බහුතරයක් ඩොනල්ඩ්ලා බව මිස එයිට වැඩි දෙයක් මේ ප්‍රතිඵලයෙන් නොකියවේය කියා මගේ වැඩපලේ මිත්‍රයෙක් කියයි.

නොදන්න යකාට වඩා දන්න යකාව තේරීම සාධාරණය හිතනවා නම්, මේ සිදුවී ඇත්තේත් ඇමරිකන් ජනතාව දන්න යකාව තෝරා ගැනීමක්ය කියා මට හිතෙයි. එහෙම නැතිව අනිත් අතට හිතනවා නම් දන්න යකා ගැන දන්නා ප්‍රමාණය ඕනෑවට වඩා වැඩි වීමත් නොදන්නා යකා එක්ක සෙට් වෙන්නට හේතුවක් වෙයි.

දැන් ටික ටික බිස්නස් ඈස් යූෂුවල් වීගන එයි. ට්‍රම්ප් හා මෙලනියා නිසා, ඉදිරි කාලය තුල වැඩියම වැඩ ලැබනේනේ නම් ගොසිප් පත්තර වලට යැයි මගේ හිත කියයි. දැනටත් නම් ඒක එහෙම තමයි.

බලමු.... මේක ඉතින් කොකාගේවත් තිත්තයාගේවත් නොව ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ වාරයයි.


Continue Reading...

Blogroll

About