Sunday, December 31, 2017

බූන්දි අවුරුදු සුබ පැතුම්

බූන්දි අවුරුදු සුබ පැතුම් - http://www.boondi.lk/article.php?ArtID=5255

[සරදගේ ලියුං හැකින්ස්]- රට කොරන මහත්තුරු- පතති කිරි උතුරනා අවුරුදු!



අලුත් අවුරුද්දේ උදේ පාන්දර ගෙදර ලියුම් පෙට්ටිය ඇරල බලනකොටයි මං දැක්කෙ, රටේ ලොකු ලොකු උන්නැහේලා මට අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩ එවලා. ඕං මෙදා සැරේ එයින් දෙක තුනක් ලීක් කොරන්ඩයි මං කල්පනා කෙරුවෙ....

**********

හිතවත් මහත්මයාණෙනි,

රටේ යහපාලනය ඇති කරන වැඩකටයුතු හින්ද පහුගිය කාලේ ඔබතුමන්ල එක්ක කථා කරන්ඩවත් ඉඩක් උනේ නෑ. රටේ ජනාධිපති කිවුවම සුවල්ප රාජකාරිද? මොන දහං ගැටේ හරි දාල හිටං මේ උරචක්කර මාල ජනාධිපතිකොම ආරක්ෂා කරගන්ඩත් එපැයි.

මේ අවුරුද්දෙ ඉඳලා නං යහපාලනය හරියටම කරගෙන යන්න වැඩ කටයුතු සුදානම් කරලයි තියෙන්නේ. හොරු අල්ලන්න හදන කොටම අලුත් හොරු මතු වෙනව - පරණ හොරු අලුත් වෙනවා. අර කථාවක් තියෙන්නේ විසෙන් විස නසනව කියල ඒවගේ හොරුන්ගෙන් හොරු නැති කරන්ඩයි මං හදන්නේ.

මං දන්නව ඔබතුමන්ලට ටිකක් හිතට කරදර ඇති හරි හමන් විදිහට අවුරුද්ද සමරන්ඩ විදිහක් නෑ බඩු මිල අහස උසට නැගල තියෙන නිසා. හිත කලබල කරගන්න කාරී නෑ... කන්ඩ බොන්ඩ නැතත් අපි ලෝකයම දිනලානේ ඉන්නේ... මං පහුණු දවසක එංගලන්තෙට ගියාම මහා රැජින ඇවිල්ල හිටං මාව බදාගෙන පිලිගත්තා. ඇයි එතකොට ඇමරිකාවේ ට්‍රම්ප්ස්.... මිනිහ මාව වයිට් හවුස් එකට එක්කරන් ගියේ වඩාගෙන වගේ....

ඉතිං මහත්තයෝ, සල්ලි ප්‍රශ්න එනකොට මේවා ගැන හිතල සතුටු වෙන්න.
තමුන්නාන්සෙට සුබ අලුත් අවුරුද්දක්! .

මිට,
ඔබේ සදාදර,
MY3

**********

මා ප්‍රිය රට වැසිය,

සුබ අලුත් අවුරුද්දක් වේවා! මොන කරුමයක්ද මං දන්නේ නෑ මම හිටපු ජනාධිපති කියල මට හිතෙන්නෙම නෑනේ. ඔය මහත්තුරු ගැන හිතනකොට මට කල්පනා වෙන්නෙම මං තවමත් ජනාධිපති කියලයි. ඒත් රජ පැටවු වගේ මාරාන්තික සෙල්ලම් දදා හිටපු මගේ ළමයි ගස් ගල් ගානේ රස්තියාදු වෙනව දකිනකොට තමයි මට මතක් වෙන්නෙ මං දැං රජා නෙමෙයි කියල.

මං දන්නව ඔය මහත්තුරුත් ඉන්නේ දුකෙන් කියල. දැන් ඉතිං කිසිම ජොලියක් නෑනේ ඔය මහත්තුරුන්ට. ඒ කාලේ නම් කොහොමද, මාසෙට එක ගානේ උත්සව තියනවා. උත්සව නැතිනම් මොනාහරි කසිලි බිසිලි මර්ඩර් හරි තියනවනේ කථා කර කර ඉන්න. ඊළගට මගේ ළමයි, යාළුවෝ සෙල්ලම් කරන හැටි, බලන් ඉදිද්දී දියුණු වෙන හැටි බල බලා සතුටෙන් ඉන්න තිබ්බනේ ඒ කාලේ.

කමක් නෑ මහත්තයෝ.... ගිය දේ ගියාවේ. මං කැට තියල කියන්නං මේ අවුරුද්දේ වෙසක් පෝයට කලිං ඔය මහත්වරුන්ට ආපහු විනෝදයෙන් ඉන්න කාලයක් හදල දෙන්නම්. එතකං අමාරුවෙන් හරි ජිවිතේ ගැටගහගෙන ඉන්න. මගේ වෙලාවට අද ඉන්න උං ගේම් දෙක තුනක් දීල කොලේ ටිකක් ඉරා ගත්තේ. තව මර්ඩර් එකක් දෙකක් ගියානම් උන්ගේ ඉත්තොයි මගේ ඉත්තොයි එක සමානයි. ඊට පස්සේ ඔය රට ජාතිය ගැන එහෙම පපුව අතට අරගෙන කථා කරපු ගමන් වැඩේ ගොඩ.

ඔබට ජාතියේ ආරක්ෂාවයි!

මීට,
මහින්ද
ජනාධිපති
(හිටපු)

**********

එම්බා පුරවැසිය,

ගිය අවුරුද්දේ මට ටිකක් වැඩියෙන් නින්ද ගියා. නැගිටල බලනකොට අලුත් අවුරුද්දක් ඇවිල්ල. ඒත් මං බය උනේ නෑ. බය නැති අගමැතිවරයෙක් සිටීම රටට හරි ආඩම්බරයක් කියල තමයි ලෝකයේ හැමෝම කියන්නේ. අනුමානයක් නෑ ඔය මහත්තයටත් ආඩම්බර ඇති.

මං රටේ ප්‍රශ්න එක එක ලිහාගෙන ලිහාගෙන ලිහාගෙන යන හැටි දැක්කම මටත් පුදුමයි. තව ඉතිරිවෙලා තියෙන්නේ ප්‍රශ්න කීයද? ඔය ආර්ථික ප්‍රශ්නය වගේ තව සුළු සුළු ප්‍රශ්න කීපයයිනෙ තියෙන්නේ. ඒකත් බාගෙට විසඳලානෙ තියෙන්නේ. දැන් බලන්න බැඳුම්කර වැඩෙන් කීදෙනෙක්ගෙ ආර්ථික ප්‍රශ්න මං විසදුවද?

මගේ ඔලුවෙ තියෙන ලොකු ලොකු අයිඩියා හින්ද මේ දවස් වල හරියට මට නින්ද යන්නෙත් නෑ. ඔය සීගිරිය වගේ ගලක් නිකං තියන්නේ නැතිව කඩල දාල මුහුද පුරවල ඉන්දියාවට පාලමක් හැදුවනම් පට් පට් ගාල අපට ඒගොල්ලො බඩු එවයි. තව ඔය කොලඹ වරාය උනත් ඇමරිකන්කාරයට දුන්නානම් අපිට කන්ඩ බොන්ඩ දීල උන් අපිව හොඳින් බලා ගනියි. පාර්ලිමේන්තුව උනත් චීනට විකුණන්න බැරුවැයෑ හෝටලයක් දාන්ඩ. මන්ත්‍රීවරුන්ට ඉතිං ඉස්කෝලෙක හරි රැස්වෙන්න බැරුවැයෑ.

මේ අවුරුද්දෙත් හිටියා වගේම බය නැතිව ඉවසගෙන ඉන්න පුරවැසියෝ!

මීට
රනිල් බය-නැති
(අගමැති)

**********

සහෝදරයා,

දැං බලන්ඩ පහුගිය දවස් ටිකේ මේ හොරු අල්ලන කෙරුවාව නිසා සහෝදරයාට ලියුමක් එවන්නවත් ඉවරයක් තිබුනෙ නෑ. හොරු අල්ලනවට වඩා වේගයෙන් අළුත් හොරු බිහිවෙනවනේ සහෝදරයා. චීයා කියලා හිතෙනවා නේද සහෝදරයා?

අළුත් අවුරුද්දේ ඉස්ඉස්සල්ලම ඔය සහෝදරයට මං මේ කියන්නේ, 2020 අවුරුද්ද වෙනකොට හොරකම් ඔක්කොම නැති කරල දාල හොරුන්ගේ කටු ගෙයක් හදන්න අපි හිතාගෙන ඉන්නව. අමාරුවෙන් හරි ඔය සහෝදරය අල්ලගෙන හිටියොත් 2020 දි අපේ හාස්කම් බලන්න පුළුවන්.

මීට,
අනුර සහෝදරයා 
Continue Reading...

මල් නොපිපි ගස - 02


මල් නොපිපි ගස-01 ට දිගුව

මෙසේ වසරින් වසර ගෙවී යද්දී, එක් අවුරුද්දක මල් සමය ලඟාවන්නා හාම, උතුරු සුළඟ දක්ෂිණ දේශයෙහි බුර බුරා නැගුනු ලැව් ගින්නක් සොයා කඩිමුඩියේ ඇදෙන්නට පටන් ගත්තේය. ඉවක් බවක් නැතිව දුවන උතුරු සුළඟේ පාවී ආ අඳුරු පැහැ වලාකුළු එක් රොක්වී කැලතී, මහා වැස්සක් බවට පෙරළුණේය.

දොඹගෙඩි තරමින් පටන් ගෙන වැටුණු වැහි බිංදු ටිකින් ටික ලොකු මහත්වී තරමක දිවුල් ගෙඩි තරමටත් තවත් වේලාවකට පසු ඉදුණු බෙලි ගෙඩි තරමටත් ලොකුවට වැටෙන්නට පටන් ගත්තේය. ඉහල අහසට වී සිටි වළාකුළු වැහි දියෙන් කොතරම් බර වූවා ද යත්, ඒවා ගසේ ඉහල අතු නවාගෙන තෙරපාගෙන පොළවට පාත් වී තිබුණි. වැහි වලාකුළු වල බරින් නැවී ගිය  ඉහලම අතුවල කූඩු සාදාගෙන සිටි ඉහල අහසේ පියාසර කරන රාජාලියෝ ද උකුස්සෝද පහල අතු අතර කඩිමුඩියේ සෑදූ කූඩුවලට සිය පැටවුන් ද, අළුත් බිත්තර ද මාරු කරන්නට වූහ.

දවස් තිස් හතරකුත් පැය දහතුනක් එක දිගට මෙසේ වැස්ස වැටුණේය. අන්තිම දවස් වෙද්දී සමහර වැහි බිංදු ගසේ විශාලම කොලයකටත් වඩා විශාල වී තිබුණි.  ඉහල අතුවල මේරූ දඬු මත වැදී බිඳුණු යෝධ වැහි බිංදුවලින් සී සී කඩව සෑම අතටම විසුරුණු කැබලි ගහේ අතු දිගේ පෙරලි පෙරලී අවුත් පහලම අතුවල ලපටි අගිසි කඩා බිඳ දමන්නට වූ නිසා වැස්ස පටන්ගෙන තිස් එක්වෙනි දවස වෙද්දී පහල අතුවල  කූඩු සාදාගන සිටි බටිති පවුල් වල අම්මලාත්, ගහේ මැද හරියේ තිබුණු වැස්සෙන් හා විසිරෙන ජල බිංදු වලින් මුවා වූ අතුවල කඩිමුඩියේ අළුත් කූඩු අටවමින් සිටියෝය. මේ වනාන්තරයේ මල් පිපෙන කාලය බවත්, වැස්ස නිසා, කිසිම කුරුල්ලකුට අළුත පිපුණු මල් කඩා ගෙනෙන්නට යන්නට නොහැකි වූ බවත් ඔවුන් අතර කසු කුසු ගෑවෙන්නට පටන් ගත්තේ මේ අතර ය. මේ කතා බහ කුරුළු භාෂාවේ ඉතාමත් රහසිගත වෙන කිසිවකුටත් එක්වරම වටහාගත නොහැකි ලා වර්ණ ස්වර වලින් කියවුනත්, හැමදෙයක්ම වාගේ අසා සිටින ගසට මේ කසු කුසුව එහෙන් මෙහෙන් ඇසුණේ ය.

අතු පතර අතර කූඩු සාදාගෙන කීචි බීචි ගාමින් දුව පනින කුරුල්ලන් ගැන ඒ තරම් සැලකිල්ලක් නොදැක්වූ මුත්, හැම වසන්තයකම සිය අතු අගිසි වල එල්ලෙන සුවඳැති නා නා වර්ණ මල් ගැන නිහඬ ආඩම්බරයකින් සිටි ගසට මේ කතාව නිසා දැණුනේ ශෝකයකි. නොකඩවා වට වැස්සෙන් පෙඟුණු බිම තව තවත් තදින් බදාගෙන නොනැවතී හමන උතුරු සුළඟේ කෙනෙහිලි කිති කැවිල්ලට හසුවී කලබල නොවී ඉන්නට තතනන අස්සේම, තමනුත් ගසක් වුව ද, අනෙක් ගහකොල මෙන් මල් ඵල දරන්නට තමනට නොහැකි වූ බව අඳුරු අහස එකළු කල විදුලි රේඛාවක් මෙන් හදිසියේම ගසේ සිතට පිළිපන්නේය. එතෙක් කල් මේ කිසිවක් ගැන ගැඹුරෙන් නොසිතූ මුත්, හැම වසන්තයේම කුරුල්ලන් කරන මේ මල් සැරසිල්ලට යටින්, උන්ගේ සිත්වල තමුන් ගැන උපන් අනුකම්පාවක් තියේය යන්නත්, අද හදිසියේ මේ කරන කතා බහ, පහත් හඬින් හොර රහසේ කෙරෙන්නේ ඇයි ද කියාත් සිත පාරමින් නැගී ආයේය.

මේ සියළු සිතිවිලි අන් කවරදාකවත් නොවිඳි ශෝකාකූල බවකින් ගසේ සිත පිරවීය. සුළඟත් වැස්සත් අතරින් ඉඳහිට රිංගා ආ හිරු කිණිති වලට නම් ඒ ශෝකාකූල ගතිය පිස දමන්නට කොහෙත්ම නොහැකි විය. අතු අගිසි ඔහේ නමා වැටෙන්නට ඉඩදී, ගස නිහඬ කල්පනාවක ගිලී සිටියාය. එහෙත් ඇගේ මුල් මිහිතලය පතුලේ වේදනාවෙන් නලියමින් තිබිණි. ඒවා කෙතරම් පොළව තුලට කිඳාබැස තිබුණේද යත්, ඒවායේ සිහින් ඇඟිලි මහ පොළවේ හදවත වටා එතී තිබුණේය. ඒ මුල් අගිසි වලට මහ පොළවේ හද ගැස්ම නිරන්තරයෙන්ම දැනෙමින් තිබුණු අතර, මිහිතලයට ද සිය හදවත වටා එතී නලියන ගසේ මුල්වල වේදනාව දැනෙන්නට පටන් ගැණුනේය. ඒ අඳුරු රැය මැදියම වනවිට ගසෙහි මුල් අගිසි, මිහිතලයේ හදවත තෙරපා සිදුරු කරගෙන එතුලට කිඳා බසිමින් තිබුණි.

එදා රැය පහන් වන මොහොත වන විට වැස්ස තුරල් වී තිබුණු අතර සුළඟේ දඟකාර කලබලය ද යම් පමණකට මෙල්ල වී තිබුණේය. ඒ දවස පටන් ගැණුනේ, හදිසියේම වාගේ අහස පුරා සිටි කළු වලාකුළු එහා මෙහා වී පහලට ආ දීප්තිමත් හිරු රැස් කළඹකින් මුළු ගසම නැහැවී ගිය මොහොතකිනි. ආලෝකයත්, උණුසුමත් ඉව වැටුනු පුංචි කුරුළු පැටවුන්ගේ කිචි බිචි නාදයෙන් පහල අතු අගිසි කලබල වෙද්දී, ඉහල අතුවල නිදා සිටි ලොකුම ලොකු කුරුල්ලෝ මේ හදිසි කලබලයෙන් අවදිව සිය උදාසන තේවා නාද පතුරන්නට වූහ.

ගසේ අතු සලිත වන්නට පටන් ගත්තේත්, ගසේ කඳ පුරාම සියුම් වෙව්ලිල්ලක් පැතිරෙන්නට පටන් ගත්තේත් හරියටම ඒ මොහොතේ දීය. ඉන් තප්පර තිස් හතරකට පසුව අත්තටු ගැසිය හැකි පමණට වැඩී සිටි සියළුම කුරුළු පැටවුනුත්, මා පිය කුරුල්ලෝත් එක වරම අහසට පැන නැංගාහ. ගස අවට මුළු අහසම කුරුළු පියාපත් වලින් වැසී කළු වලාකුලක් මෙන් පෙණිනි. හීන් සට සට හඬකින් ඇරඹී මහා ගෝරනාඩුවක් බවට පත්වූ ගසේ වෙව්ලීම නිසා බිය වූ, තවමත් කූඩු තුල සිරවී සිටි පුංචි කුරුළු පැටවුන්ගේ හැඬුම් හඬත් උන්ට පිළිතුරු දෙන අහසට නැගි කුරුළු අම්මලාගේ පිළිතුරු හඬත්, ඒ හැමෝටම තරවටුවට කෑ ගසන, ගහේ උඩ අතුවල පදිංචිව සිටි රාජාලි, ගුරුළු වැනි විසල් පක්ෂීන්ගේ ගොරහැඩි කෑ ගැසීමත් එක්ව, මුළු වනාන්තරයම මහා ගාල ගෝට්ටියකින් ඇලලී ගියේය. සියල්ල සිදුවන්නට පටන් ගත්තේ එලෙසය.

වැරෙන් වෙවුලමින් සිටි ගස මුල මිහිතලය ඉරිතලා යන බව මුලින්ම දැක්කේ ගස මුලම වාගේ ගුලක සිටි හා පවුලකි. එතැන් පටන් ඒ අවට ලගින්නට පුරුදුව සිටි, හාවෝද මුවෝ ද ඉත්තෑවෝද මී මින්නෝද ආදි දුවන්නට හැකියාව ඇති සත්තු, නොනවත්වා ඈතට දුවන්නට පටන් ගත්හ. උන් පසු පස්සේ, බිම දිග ඇදී එන තලගොයින්, කබැල්ලෑවුන් ආදී උරගයින් ද, නා නා විධ සර්පයින් ද ඇදී ආහ. උන්ගේ දිවීමත්, ගසේ වෙව්ලීමත්, මිහිතලයේ ඉරිතැලීමත්, අහස සිසාරා සිටි කුරුල්ලන්ගේ හඬ ලෑමත් මැද, ඒ මහා ගස හෙමි හෙමින් මහ පොළව අභ්‍යන්තරයට ගිලා බසින්නට පටන් ගත්තේය. මහා කාලයකට පසුව හමුවූ ලබැඳියකු තුරුළු කරගන්නාක් මෙන්, මිහි තලය විවරව සිය උකුලට ඇදී එන ඒ මහා විසල් ගස බදා වැලඳගන සඟවා ගන්නට වූවා ය.

සියල්ල සිදුවී අවසාන වෙන විට, එදා දිනයට පහන් වී, පැය තුනකුත් විනාඩි තිස් හතරකුත් තප්පර දොලහක් ගතවී තිබුණි. ඉනුත් පැය හතරකට පසු, සිය පැටවුන් අහිමි වූ කුරුළු අම්මලා ගේ ශෝකී විලාපය හැරෙන්නට වෙන කිසිම හඬක් මුළු මහත් වනාන්තරය තුලම ඇසුනේ නැත. ඒ සිහින් විලාප හඬ එක දිගටත් ඉන් පසුව වරින් වරත්, අවසානයේ ඇසෙන නෑසෙන ඉකි ගැසුම් ලෙසත් එදා රෑ පහන් වන තුරුම ඇසුණේ ය. පසුවදා උදාසන, අළුත් ඉර එළිය, ගස තිබු තැන දැන් ඉතිරිව තිබුණු අළුත් රතු පස් ගොඩැල්ල සිඹින වේලාව වන විට කුරුළු කෙඳිරිල්ල ඇසුණේම නැති තරම් විය. සති ගණනාවකට, ගස තිබුණු තැන රතු පස් ගොඩැල්ල දෙසටවත් එන්නට කිසිම සතෙකුටවත් කුරුල්ලකුටවත් හැකි වූයේ නැත. එදා ඒ අවාසනාවන්ත උදාසන ගෝරනාඩුවත් භීතියත් චකිතයත් උන්ගේ හිත්වල තවමත් රැව්දෙමින් තිබුණි.

එයින් සති හතකුත් දවස් දෙකකට පසුව, ඈත අහසේ පියාසර කරමින් සිටි රාජාලියකුට, ගස ගිලුණු පස් ගොඩැල්ලේ හරියටම ගස තිබුණු තැනම වාගේ, කොළ පැහැති පත් දෙකක් මැද පිපුණු පුනීලයක් සේ පෙනුනු රතු පැහැ මලක් ඇස ගැසුණේය.






Continue Reading...

Friday, December 29, 2017

සිහින විතරයි

සුදු සීත මීදුම ගලයි
ඔබ වගේමයි
මුලු ලොවම වහලා වසංගා
සිත ඈත ඈතට අරන් යයි

මල් පිපෙනවා නිල්
තුරු මුදුන් වල
පියා සලමින්
ගයනවා විහඟුන්

අත් ඇඟිලි පටලා
නොපෙනෙනා ලොව
ඇවිද යමු අපි
පුංචි දරුවන් මෙන්

සුව සිහින පුබුදන
සිහින විතරයි
මීදුමේ දුර
අපේ සිත් ලතැවෙයි

සුදු සීත මීදුම ගලයි
ඔබ වගේමයි
මුලු ලොවම වහලා වසංගා
සිත ඈත ඈතට අරන් යයි



Continue Reading...

තංගමනී

දිය ලුණු රහ රන් දහදිය බිඳු පිපී
මැලවුණු වත නැත හසරැලි රැලි නැගී

තංගමනී...

දළු පොකුරක් ඇගෙ දෝතේ දසැඟිලි මැද ලෙලදෙනවා
මනාලියක් මල් පොකුරක් අරගෙන ඉන්නා වාගේ
සුසිනිඳු තේ දළු අතරින් දෑත ඇගේ දිවයනවා
පුංචි පුතුගෙ හිස අතගා නිදි කරවන්නා වාගේ

රතැඟිලි අග කළුවෙලා - දැළි කුණු පොතු තැවරිලා
රූබර රුව වැහැරිලා - කාලයෙ රැළි මතුවෙලා

"තංගවේළු හිනැහුණු හැටි කලකට පෙර පෙරෙට්ටුවෙ දි"
මදහස දෙයි තොල් අතරට අතීතයේ හිතිවිල්ලක්

සුරුට්ටු දුම් පොකුරු අතර වැහැරුණු මුහුණක පිළිරුව
වළල්ලකට හඬන සෙල්ලි - පාඩම් පොත ඉරන මුත්තු
පුංචි එවුන් හඬනා හඬ - ලොකු එවුන්ගෙ සැරවැර හඬ
මදහස ගිලගෙන මතුවෙයි

තේ දළු ඇඹරී කරවී - කළු රන් කුඩු හැදෙනවා
සප්ත සයුර පීනා ගොස් - රන් කහවනු ගෙනෙනවා

තංගමනී...

දළු කූඩය කර දවටා නුඹෙ අම්මා ගිය මග දිග නුඹ ගාටනවා
තේ පඳුරක හිස අතගා ජීවිතයට සිනහ හොයනවා

කැලේ බඹර වද බඳින්නෙ කැලේම බඹරු
ගඟේ ගලන දිය රකින්නෙ ගඟේම ඉවුරු
ඒත් බඹර පැණි කවුද බුදින්නේ
ගඟේ වතුර පොද කවුරුද බොන්නේ

[පින්තූරය - http://www.lankasceneries.yolasite.com/hill-country.php ]



Continue Reading...

Thursday, December 28, 2017

නිමා නොවන මෙහෙවරක්

නන්දනී ශ්‍රියාලතා ඉස් ඉස්සෙල්ලාම මට හමුවූයේ කොළඹ සරසවියේ විද්‍යා පීඨයේ කාන්තා පොදුකාමරයේ දීය. නවසිය හැත්තෑ හතේ නැව අපේ නොවුනත්, දවාලට කාලා රස්තියාදු වෙන අස්සේ, පහල බැච් එකේ උන් එක්ක කොමන් රූම් වල සැරි සැරූ වෙලාවක, බිත්ති දිගේ පුටු තියාන වාඩිවී දවාලට කෑම කන කෙල්ලන්  එක එකාගෙන් තරමක් බැරෑරුම් විදිහට නම ගම විස්තර අහාගන අහාගන යන වෙලාවක ය. නම කියාපු ඇසිල්ල‍ලේම හිතට ආ අසා පුරුදු කම නිසා,

"රේ‍ඩියෝ එකට කවි ලියනව  නේ ද?"

කියා ඇසුණු අතර, ඒ ප්‍රශ්නයට නන්දිගේ මුහුණේ මතුවුනු සිනාවත් මට මතක් කර ගත හැකිය.

ඊළඟ ඇසිල්ලේ ඊළඟ පුටුවෙන් නම ගම අහන අතර තුරේ,

"ඉතින් ඔයාගෙ නම මොකක් ද?' යි අහන්නට තරම් නන්දි ගේ හිත සතුටු වී තිබුණු අතර, එවෙලේම මුළු පොදු කාමරයම අමතා, මෙන්න මේ කෙල්ල මගේ නම ඇහුවා, එකෙක් වත් එයාට කචල් දානවා නෙවෙයි කියා විශේෂ නිවේදනයක් දෙන්නට තරම්, රැස්පට් එකක් මට තිබුණි.

හතලිස් අවුරුද්දකට කලින් මෙසේ හමුවූ නන්දනිය අදටත් අපේ ආදරණීයම මිතුරියක් වෙයි. අදටත් හිතේ ඇති මේ කවි පංතිය, අද කියවන කල, ඒ අපි ගැනමදත් දෝයි කියාත් හිතෙයි.

පහත ඇත්තේ කලකට ඉහත, මුහුණු පොතේ තැබූ සටහනකි.

ලෝකය වෙනස් වෙන්නේ කවදා ද?
‍‍
නන්දි,
මේක මම මුලින් අැහුවෙ රේඩියෝ එකේ. එ් සති අන්තෙ ඉවර වෙලා කැම්පස් අාපු සඳුද ඉස්සෙල්ලම කරපු දේ එ්ක ගැන නන්දිගෙන් අහන එක.

නන්දි මේක ලියාගෙන අැවිත් මට දුන්නෙ දවසකට දෙකකට පස්සෙ. රීඩ් අැවනියු ගේට්ටුව කිට්ටුව දි.
මේ කොල කෑල්ල ෆයිල් එකක තියන බව මම දන්නව. 
අපට සතුරු කරදර අැවිත් ගෙවල් මාරු කරල ලියකියවිලි එහා මෙහා වුනේම නැතත්, බොහෝ දේ ඉතින් තැන්තැන්වල තමයි.
කොහොම වුනත්, මේකෙ ඉතිහාසයත් මේ තරම් මතක හිටින්නෙ මේ වචන අපේ හිත් වලට එ් තරමට කිට්ටු නිසා නේ ද?
අවුරුදු තිස් හතක් වයස වුනත් නන්දි, මේ වචන මේ විදිහෙන්ම කියවෙන හිත් තාමත් අැති පදම් තියනව නේ ද?
ගාමන්ට් පැක්ටරිවල, කඩ සාප්පුවල, පාර අයිනෙ පේමන්ට් වල, මැද පෙරදිග, මේ වගේ හඳවල් ගණන් කරන හිත් කී දාහක් අැද්ද?

-රන්සිරිමල්




Continue Reading...

Wednesday, December 13, 2017

මගේ සිහිනය

පුළුන් වලා කුලින් මිදී
ඳේ රැස් ඇවිත්
ඔබේ නෙතේ කැළුම් අඳියි
මගේ කවුළුවේ

හීන් අඬින් වහන් වෙවී
හමන මදනලේ
මිහිරි තොඳොල් සිනා තෙපුල්
ලතැව කිතිකැවේ

පහන් දොරට ලහිරු කිරණ
නික්මෙනා පැයෙත්
ඔබයි තවම හිනැහෙන්නේ
මගේ සිහිනයේ...!




Continue Reading...

Tuesday, December 12, 2017

නොපෙනෙන සඳ

[හැම පුර පෝයටම පිරී හිනැහුනත් මිහිතලයට පෙනෙන්නේ සඳේ එක් අඩක්ම පමණකි.]

මේ වගෙම සොඳුරුද
කළුවරද අඳුරුද
නොපෙනෙනා මුහුණත්
සා රුවක් නැතිවද
ලප කැලැල් ඇතිවද
නොපෙන්වූයේ කවම කවදාවත්

කිරි සුදට දිලිහෙන
පුරා සඳ ඔබ
මගෙයි හැම දවසේ
ඇයි මට නොපෙන්වා
වසන් කරගෙන
සිටින්නේ එක මුහුණතක් අහසේ

වැහි වලාකුළු පෙති
රිදී ඉරි ඇඳ
අඬන රෑ යාමේ
එක එකම වරකට
හැරෙනු බැරිවද
සිඹින්නට ඒ නළලතත් රහසේ




Continue Reading...

Friday, December 8, 2017

මලක් ඔබ මලක්....!

සුසුමක කැටිකර
කුසුමක සැඟවූ
සිහිනෙක රොන් බිඳු ඉහිර ගලා
ඉරගල පාමුල
ඉඳුදුණු පිපෙනා
මොහොතක අහසම සුවඳ වෙලා 

පිහිනන මසෙකිය
නිල්දිය විලකිය
විහඟ රලකි යන පියාසලා
දිදුලන තරුකැට
සඳදිය මුසු වී
විසිරෙයි  ගුමු ගුමු නදින් ගලා

මුකුලිත පහනක
වියැකෙන සිළුවක
ජීවනයේ ⁣ ඔසු පැන් ඉසලා
විකසිත කරවා
හිනැහෙන මලකිය
ආදරයේ පිණි බිඳු සසලා


Continue Reading...

Sunday, November 26, 2017

පියාපත් - ධනුෂ්කා නිෂාදි කුලරත්න [කවි බූන්දි]

දැලක පැටළුණු අය 
මේ අපි කවුරුත්
නොගැලවී ඉන්න වෙර දරනවා
බත්කූරු යාළුවේ!
ගමනමයි ගැලවුම
නැවතුනොත්
උගුලකට බැඳෙනවා
අන්ධකාරේ අතුරුදන් වෙන
සතුටු දුවිලි, මතක අළු
ක්ෂුද්‍ර වැටකඩුළු වී අතරමග
අතරමංවෙන පාර කියනවා
නවතින්න හැකි
සැබැයි
විඩාවට ඉනාවක් දෙයි
සැබැයි
පරිස්සම් කරගත්තොතින්
යාළුවේ!
පියාපත් ජීවිතේ රකිනවා


 - ධනුෂ්කා නිෂාදි කුලරත්න
Continue Reading...

Thursday, November 23, 2017

නොමැකෙන ඉරි

අහස හිම වී හඬා වැටුනත්
නොවැසෙනා ඉරි
තැළුම් වේ පොළවේ
සයුර බොඳවී ගලා ආවත්
තිබේ ගල්පර
නොසෙල්වෙන වෙරළේ

පතා ආ සේ නොසිදුවූ දා
කතාවක් නැති
ලෝකයක තනිවී
හිතා ගන්නට නොහැකි ඈතක
පියාඹන්නට
පැතුම් පිබිදේ වී

දයාගුණ පිරි සොඳුරු වදනක
මහාමේරුව
ගිලී සැඟවේවී
අනත නත නා විලස කිමිදී
අමත අමරස
දිවග රඳවාවී



Continue Reading...

Sunday, November 19, 2017

මිස්ටර් අනූ දෙක (දෙක) - බිං ඌර් වල් හාර්

සාමාන්‍ය සුලභතාවය (abundance) සලකා බලන විට, යුරේනියම් මිහිතලය මත දුර්ලභ මූල ද්‍රව්‍යයක් නොවේ. පෘතුවි පෘෂ්ඨය මත රත්තරන් සුලභතාවය කිලෝග්‍රෑමයකට මිලිග්‍රෑම් 0.004 පමණ වන විට යුරේනියම් සුලභතාවය කිලෝග්‍රෑමයකට මිලිග්‍රෑම් 2.7 පමණ වෙයි. එසේ වුනත් මේ ඉලක්කම්, ලියා ඇති විදිහෙන්ම සාමාන්‍ය අගයයන්ය. සාමාන්‍ය අගයයන් ගැන කියනවා නම් හැම එකාගේම වගතුග හොයන ස්විස් බැංකු ඇත්තෝ, දෙදාස් දාසය වෙද්දී, ලංකාවේ වැඩිහිටියකුගේ සාමාන්‍ය වත්කම ඇමරිකන් ඩොලර් පන්දාහකට කිට්ටුය කියති. ඒක අසාමාන්‍ය වනවා මෙන්ම, මේ මුලද්‍රව්‍ය වල සාමාන්‍ය සුලභතා කතාවද අසාමාන්‍ය කතාවක් වෙයි. ගොඩක් ඕනා නම් ගොඩක් ඇති තැනකටම යා යුතුය. හැම දේම වාගේ යුරේනියම් ද ගොඩක් ඇත්තේ නොපෙනෙන තැන් වලය. පොළව යටය. ඉතින් හොයා යන්නා අනිවාර්යයෙන්ම හෑරිය යුතු වෙයි.

කලින් මිස්ටර් අනූ දෙක සටහනේ ලියා ඇති විදිහෙන්ම, දැනට අපි දන්නා පමණින් යුරේනියම් ගොඩක්ම අැති, සාන්ද්‍රම නිධි තිබෙන්නේ කැනඩාවේ සස්කච්වාන් ප්‍රාන්තයේ ඉහල කෙළවරට වෙන්නට, කිලෝමීටර භාගයකට වඩා දුර පොළව යටයි.

සස්කච්චවාන් ප්‍රාන්තයේ ඉහලට අඩ පුරාම පැතිර ඇත්තේ විල් හා විල්ලුය. ශීත කාලයේ දී හිම සළුවකින් වැසී යන මුත්, වසන්තය හා ගිම්හානය පුරාම ඉහල අහසේ සිට බලද්දී මේ බිම් තලාව තරමක වැස්සකට පසු අපේ රටේ බස් නැවතුම් පලක් මෙන් දිස්වෙයි.




මේ බිම තුලද බොහෝතැන්වල ඇත්තේ උරාගත් ජලයෙන් සංතෘප්ත වූ වැලි ගල්ය. යුරේනියම් පතලයක් යනු මීටර පන්සියයක හයසියයක් පොළව තුලට සිදුරක් හෑරීමත්, එයින් පසු එහි සිට දිගට හරහට සිදුරු කිරීමත් වන අතර, මේ කාර්යයට ඇති ප්‍රධානම බාධකයත් රත්නපුරේ මැණික් පතල් බැසීමේදී හමුවන පතල පුරා වතුර පිරීමම වෙයි. එක එල්ලේ ඔළුවට එන විසඳුම වතුර පොම්පයක් වුවත්, මැක් ආතර් රිවර් හා සිගා ලේක් පතල් ද්වයේම ජලය නවතන ප්‍රධාන උපක්‍රමය නම් ඒ සඳහාම හිල් විද භූගත කල පයිප්ප ජාලයක් ඔස්සේ, සෙන්ට්ග්‍රේඩ් ඍණ විස්සට පමණ ශීත කල ලුණු වතුර පොම්ම කර, කණින්නාවූ ප්‍රදේශය වටා ඇති භූගත ජලය අයිස් බවට ඝන කිරීමයි. මේ අයිස් පවුරට මුවා වූ ප්‍රදේශයේ කැණීම් කටයුතු අවසන් වූ පසු, ඊළඟට කැණෙන ඉසව්ව වටා අළුත් අයිස් පවුරක් තැනෙයි.

දැනට කැනීම් සිදුකෙරෙන, මැක් ආතර් රිවර් යුරේනියම් පතලයේ යුරේනියම් නිධිය හාරන උපක්‍රම දෙකක් භාවිතා කෙරෙයි. උස්සා විදීම යැයි, සිංහලට හැරවිය හැකි Raise Bore ක්‍රමය මේ පතලයේ මුලින්ම භාවිතා වූ ක්‍රමයයි. මීටර පන්සියයේත් හත් සියයේත් පමණ ගැඹුරක, යුරේනියම් නිධියට උඩිනුත් යටිනුත්, තිරස් අතට කැණි දෝණා දෙකක් මේ කාර්යයේ දී භාවිතා වේ. ඉහල දෝණාවේ සිට යුරේනියම් නිධිය පසාරු කර, පහළ දෝණාව දක්වා හාරන සිදුරක් තුලින් බැස්සූ ඊෂාවකට ඇවිණු කැපුම් හිසක් යොදවාගෙන යුරේනියම් සාන්ද්‍රිත නිධිය කුඩා කැබලි වලට කඩා, පහල දෝණාවට හලන අතර, දුරස්ථ පාලකයකින් පාලනය කෙරෙන යන්ත්‍රයකින් මේ ගල්කැබලි එකතු කර ඇඹරුම් යන්ත්‍ර වෙත ගෙනයනු ලබනවා.


[photograph from www.cameco.com]

මැක් ආතර් රිවර් පතලයේ පහු කාලීනව යොදාගනු ලබන කැණීම් ක්‍රමය මේ උස්සා විදීමම උඩින් ඇවිත් පහලට හිල් කිරීම වෙනුවට, පහල සිට ඉහලට හිල් කිරීමකට අනුවර්තනය කිරීමකි. මේ ක්‍රමය නම් කර ඇත්තේ, Box hole boring (සිංහලට පෙරළුවොත්, පෙට්ටි සිදුරු විදීම) යනුවෙනි. මේ ක්‍රමය යොදා ගැනීමේ ප්‍රධාන හේතුව, යුරේනියම් නිධියට ඉහලින් තිරස් දෝණාවක් කැනීමට අපහසු, ඉතා අධික පීඩනයකින් ජලයෙන් සංතෘප්ත වැලිගල් ස්ථරයන් වැනි, භූ තත්වයන් පිහිටා තිබීමයි.


සස්කච්වාන් හී ඇති දෙවන යුරේනියම් පතලය වන සිගාර් ලේක් හි යොදාගන්නේ ඉහත ක්‍රමවලට හාත්පසින්ම වෙනස්, අධි පීඩන ජල පිහිරකින් (high pressure water jet) යුරේනියම් අඩංගු පාෂාණ ස්ථරය කැබැලි කරන්නාවූ ක්‍රමයකි. ශක්තිමත් පාෂාණ ස්ථරයක් මත පිහිටා ඇති මේ යුරේනියම් නිධියට ඉහලින් ඇති පාෂාණ ස්ථර, සියල්ල තිරස් දෝණා කැපීමට නුසුදුසු තත්වයේ පැවතීම මෙවැනි විශේෂ ක්‍රමයක් නිර්මාණය කිරීමට ප්‍රධාන හේතුවයි.


[photograph from www.cameco.com]

මේ කැණීම් ක්‍රම තුනේදීම, කැණීමෙන් පසුව සෑදෙන විශාල සිදුර, කොන්ක්‍රීට් මිශ්‍රණයකින් පුරවා වසා දමනු ලබයි. සියල්ල අවසානයේ සිදුවන්නේ, යුරේනියම් නිධිය ක්‍රම ක්‍රමයෙන් කොන්ක්‍රීට් නිධියක් බවට පරිවර්තනය වීමයි. මේ විදිහෙන් හිස්තැන් පිරවීම අත්‍යවශ්‍ය කාරණයක් වෙන්නේ, එසේ නොකෙරුවොත්, පතලය ඇතුලත භූ ස්ථරවල ඒකාග්‍රතාව පවත්වාගන්නට නොහැකිවන නිසයි. කොටින්ම කිව්වොත්, පතලයම කිඳා බහින්නට පුළුවන්.

මේ විදිහෙන් රාජකීය වල් නොහාරා, පොළව මතුපිට සිට හිල් විදීමෙන් පමණක්ම, අර මල නොතලා රොන් ගන්නා සේ යුරේනියම් නිස්සාරණය කරගන්නා ක්‍රමයකුත් භාවිතා වෙනවා. දැනට මේ ක්‍රමයේ යුරේනියම් ආකර, ඇමරිකා එක්සත් ජනපදයේ වයෝමින්ග් ජනපදයේත්, කසාක්ස්ථානයේ ඉන්කායිහීත් තිබෙන බව කැමිකෝ කොම්පැණියේ ජාල අඩවිය කියනවා.

මේ ක්‍රමයේදී වෙන්නේ, නල ලිඳක් විද, පොළව යට පාෂාණ ස්ථරවල ඇති යුරේනියම් සංයෝග ද්‍රාවණය කල හැකි ද්‍රවයක් පොළව යටට විදීමයි. විදින ලිඳ වටකර විදි, තවත් ලිං පන්තියකින්, පොළව යටදී යුරේනියම් වලින් සංතෘප්ත වන මේ ද්‍රවය නැවත පොලව මතුපිටට පොම්ප කරනු ලබනවා. මේ දියකර ගොඩ ගැනීම නිසා, පතලයක් හෑරීමක් නැහැ.





[photograph from www.cameco.com]

මේ ආකාරයට යුරේනියම් ගොඩගන්නට ඇමරිකාවේ ආකර වල  අංගාකරිකාම්ල (carbon dioxide) ද්‍රාවණයකුත්, කසාක්ස්ථාන ආකර වල සල්පියුරික් අම්ල ද්‍රාවණයකුත් යොදා ගනු ලබනවා. වැඩි කලබල, හෑරිලි, දැඟලිලි රහිතව කරන්න පුළුවන් කාර්යයක් නිසා වඩාත් උචිතය, පරිසර හිතකාමීය සේ වර්ග කෙරුනත්, මේ ක්‍රමය යොදාගත හැක්කේ, පහසුවෙන් දියවන යුරේනියම් සංයෝග, අඩු සංයුතියකින් පොළව තුල විසිරී ඇති නිධි සඳහායි.


ආශ්‍රිත ජාල සටහන්:
https://en.wikipedia.org/wiki/Abundance_of_elements_in_Earth%27s_crust
https://www.cameco.com/businesses/mining-methods


https://www.cameco.com/businesses/uranium-operations/canada/cigar-lake.

https://www.credit-suisse.com/corporate/en/research/research-institute/global-wealth-report.html


Continue Reading...

Friday, November 10, 2017

ජෝශප් වාස් විද්‍යාලය උපැවදි වීම



ලංකාවේ බටහිර වෙරල තීරය දිග කතෝලික පල්ලියක් මුණ නොගැසී ගමන් කිරීම උගහටය. එයිනුත් කතෝලික දේවස්ථාන ඝනත්වය නිසාම පුංචි රෝමය කියා කියැවුනු මීගමුවේ සිට හලාවත දක්වා ඕනෑම ඉරිදා දවසක ගමනක් යන කෙනෙකුට අඩුම ගණනේ මංගල්ලයක් පැවැත්වෙන එක කතෝලික දේවස්ථානයක් හෝ හමුවෙතැයි මට සිතෙයි. ගිං ඔය පාලම පැන්නාම පටන් ගන්නා අපේ අම්මා තාත්තාගේ ගම වූ නයිනමඩමේ හිට ගණන් කලොත් වෙන්නප්පුවේ මහ පල්ලිය ලඟට එද්දී, දල වශයෙන් ගත්තොත් කිලෝමීටරයකට පල්ලියක් බැගින් වාගේ තියේ. මේ ඉලක්කම, බොහෝවිට හලාවතට යනතුරුම එසේම වන්නට පුළුවන.

කතෝලික දේවස්ථානයක් යනු යම් ශුද්ධවරයකුගේ නමින් නම් කෙරෙන පූජනීය ස්ථානයකි. රෝමානු අධිරාජ්‍යයට ගැත්තන් වූ පූජක/පාලක පන්තියක් විසින් කුරුසියක එල්ලා මරා දැමුනු ජේසුස් ක්‍රිස්තුස් ගේ අනුගාමිකයින් විසින් පිහිටවනු ලැබූ කතෝලික පල්ලියට අනුබද්ධ ශුද්ධවන්තයින් ගණන දහ දොලොස් දාහක් පමණ වෙයි. අවුරුදු දෙදාස් පහලවකට පසුව ලංකාවටත්, ලංකාවේය කියන්නට පුළුවන් ශුද්ධවන්තයෙක් ලැබුණේය. ඒ දෙදාස් පහලවේ ජනේරුවේ දී, ලංකාවට පය ගැහූ පාප්වහන්සේ ගාළුමුවදොර පිට්ටනියේ දී, ඕලන්දක්කාරයින්ගේ කාලයේ දී, ගෝවෙන් ඇවිත් උඩරට රජ්ජුරුවන්ගේත් සහයෝගය අරගෙන ලංකාවේ කතෝලික සමය නැසෙන්නට නොදී රැකගත් ශාන්ත ජෝශප් වාස් පියතුමන් ශුද්ධවන්ත තත්වයට උසස් කල වෙලාවේය.

මං දන්නා තරමින් ඒ වෙද්දී ජෝශප් වාස් පිළිරුවක් තිබුණේ, වෙන්නප්පුවේ අපේ ඉස්කෝලේ ඉස්සරහාය. තාමත් ඒක එතැන තිබේ. ඒක හැදුවේ වෙන්නප්පුවේ සුරුවං හදාපු එකම එක්කෙනායි මට මතක තියන බෙන්ජමින් අයියාය. වෙන්නප්පුවේ පල්ලිය ඉස්සරහ තියන ක්‍රිස්ටෝපර් මුනිවරයාගේ සුරුවමත් බෙන්ජයියා ගේම නිර්මාණයකි. නවසිය තිස් හතරේ මීගමුවේ මාරිස්ටෙල්ලාවට අනුබද්ධිතව මාරිස්ට් නිකායේ සහෝදරවරුන් විසින් ඇරඹුණු ජෝශප් වාස් කොලීජිය පටන්ගන්නට හේතුව, ඒ වෙද්දීත් පල්ලියට අනුබද්ධිතව පැවැත්වුණු සිංහල ඉස්කෝල වලට අමතරව ප්‍රාදේශීය ඉංග්‍රීසි ඉස්කෝලයක අවශ්‍යතාව තදින් දැනෙන්නට වීම බව ජෝශප් වාස් විදුහල් වෙබ් අඩවියේ ඉංග්‍රිසියෙන් ලියා ඇති සංක්ෂිප්ත ඉතිහාස කතාව කියයි.

http://www.josephvazcollege.lk/About-JVC/History/A-Brief-History.aspx

යටත් විජිත සමයෙන් ඇරඹී අපේ පලාත්වල පල්ලිය, ආගම හා අධ්‍යාපනය අතර තිබුණු මේ සහ සම්බන්ධය පසුපස, දරුවන් සිය ලබ්ධිය සමග බැඳ තැබීමේ මූලික අභිප්‍රාය නිරනුමානයෙන්ම තිබිණි. ඒ දවස්වල අපේ පැත්තේ කතෝලික කලාලයේ බෞද්ධ රටාවක් තිබුණා නම් තිබුණේ දුම්මලදෙණියේ පන්සලය. පහු කලක කෙසේ වෙතත්, අපේ මාමලා කුඩා කාලයේ සිංහල ඉගෙන ගන්නට, නයිනාමඩමේ හිට දුම්මලදෙණියේ පන්සලට ගිය කතාත් තිබේ. එහෙයින් මේ මිනිසුන් ආගම් දෙකක් හෝ ජාතීන් දෙකක් ලෙස වාද භේද වී සිටියා ද යන්න සැක සහිතය. ඉස්කෝලේ හතරවෙනියේ පස්වෙනියේ ඉගෙන ගන්නා කාලයේ බාප්පාගේ පොත් අල්මාරියේ තිබී කියවූ, 'කන්නි මරියාගේ හැටි' වැනි, පානදුරා වාදයේ හෙවනැලි වලත්, කොළඹ සියළු සාන්තුවරයින්ගේ දේවස්ථානයේ සදාසරණ පින්තූරය යට පිං කැටයට, සිය අනාගත අපේක්ෂාවන් ලියූ ලියුමක් දැමීමෙන් ක්‍රියාත්මක වූවා යි අසා ඇති 'කැතලික් ඇක්ෂන්' ඉතිහාස කතා වලත් නම් ඔය භේද භින්න කම අඩු වැඩි නොවී තිබුණි.

මේ ඉතිහාස අඩුම කුඩුම ලිව්වේ, මුල් කාලයේ අඩුම ගණනේ අපේ පැතිවල කතෝලික පල්ලි අනුබද්ධිතව තිබුණු ඉස්කෝල, ධනවතුන්ට සේවය කල ඉංග්‍රිසි කොලීජි නොවූ බවත්, හැට ගණන්වල ඉස්කෝල ආණ්ඩුවට පවරා ගැනීම හින් දා ආණ්ඩුවේ ඉස්කෝලයක් වුනු ජෝශප් වාස් විද්‍යාලය, තිබුණු පල්ලි ඉස්කෝල වල උගැන්නුවේ සිංහලෙන් හින්දා දැනුනු, ඉංග්‍රිසි කොලීජියක අවශ්‍යතාව පිරිමහා ගන්නට තැනුනක් බවත් ලියා තැබීම සඳහාය. ඒ මොන ආකාරයෙන් වුනත් මගේත් ඉස්කෝලය වූ ජෝශප් වාස් විද්‍යාලය උපතේ හිටම පාලනය වුනේ පැවිද්දන් වූ මාරිස්ට් සහෝදරවරුන් අතිනි.

එසේ වූ අපේ ඉස්කෝලේ උපැවදි වුනේ හැත්තෑ එකේ දීය. මට මතක හැටියට හැත්තෑ එකේ ජනේරුවේ දී විතරය. ඒ හැත්තෑවේ ආණ්ඩුව පෙරලී, හත් හවුල වෙනුවට තුන් හවුලට රට භාර වී මාස ගණනකට පස්සේ, විශ්‍රාම ගිය එවකට ප්‍රින්සිපල් වූ ස්ටැන්ලි ගුණවර්ධන මාරිස්ට් සහෝදර තුමන්ගේ තැනට, පැන්ටලියන් කුරුකුලආරච්චි නම් වූ 'ගිහි විදුහල්පති' වරයාගේ ආගමනයෙනි.



එතෙක් කල්, පෞද්ගලික පාසලක් ලෙස වුව ද, නවසිය හැටේ ඉස්කෝල ආණ්ඩුවට ගැනීමෙන් පසු  රජයේ පාසලක් ලෙස වුව ද, අපේ ඉස්කෝලේ ප්‍රධානාචාර්ය පදවිය තිබුණේ මාරිස්ට් සහෝදර වරුන් අතේ ය.

http://www.josephvazcollege.lk/About-JVC/History/Past-Principals.aspx

ඒ සමිප්‍රදාය කඩා සිදුකල මේ වෙනස, සියයට සියයක්ම දේශපාලනික වෙනසක් වූ අතර, අද ආපසු හැරී බලද්දී, පාසැලේත්, ප්‍රදේශයේත්, යහපත් සංවර්ධනයක් ඇති කරන්නට හේතු වූ, දුර දිග බලා ගත් තීරණයක්, ක්‍රියාත්මක කරන්නට නිර්භීතව දේශපාලන බලතල යොදාගත් අවස්ථාවක් ලෙස මම දකිමි. මන් ද අද පවතින ජෝශප් වාස් විදුහල උපන්නේ එදා සිදුවූ ඒ වෙනස තුලින් බව එදාටත් වඩා අද පැහැදිලිව දකින්නට හැකි බැවිනි.

හැත්තෑ එකේ දී දහවෙනි ය‍ේ නැත්තං අපොස සා.පෙ. දෙවෙනි වසරේ විද්‍යා පන්තිය තිබුණේ, ඉස්කෝලේ ප්‍රධාන ගොඩනැගිල්ලේ උඩ තට්ටුවේ, හරියටම විදුහල්පති ග‍ේ කාමරයට ඉහලින් වූ පන්ති කාමරයේ ය. ඉන් එහා බ්‍රදර් ලාගේ කාමර විය. අනික් පැත්තෙන් පඩි පෙලය. පඩි පෙල මගක් ගොස් දෙකට නැවී ආයෙත් පහලට බසී. පඩි පෙල නැග්ග තැනම, උඩ තට්ටුවේ ගරාදි වැටට උඩින් බාල්කයේ, ඉස්කෝලේ කාලගුණ යන්ත්‍රය වූ ගුණරත්න පැයෙන් පැයට පංති කාල පරිච්ඡේද වෙන් කරවන්නට නාදකරන සීනුවය.

එල් අකුරු හැඩයට විහිදුනු මේ ප්‍රධාන ගොඩනැගිල්ල එල් අකුරු හැඩයේම වැලි මිදුලකින් ක්‍රීඩා පිටිය අයින දිගේ බොක්ස් වැට මායිමෙන් වෙන්වී තිබේ. ඉතින් අපේ පන්තියෙන් ඉළියේ ඉස්තෝප්පුවේ ගරාදිය අහල සිට ගත්තාම, අර වැලි මිදුල උඩ සිද්දවන දේවල්, ඉතා නිරවුල්ව දකින්න ට පුළුවන. එදා අළුත් ප්‍රින්සිපල් ආපු දවසේත් වෙනදා වගේම උදේ මේ වැලි මිදුලට ඉස්කෝලේ සියළුම ළමුන් එක් රැස්වුනු ඇසෙම්බ්ලියක් තිබුණි. සුදු කමිසයට රතු ටයි එකක් දැමූ අළුත් ප්‍රින්සිපල් හා ගුරුමණ්ඩලය ඉස්තෝප්පුව උඩත්, ළමයින් සියළු දෙනා මිදුලේත් සිටි අතර, චැපල් එක කෙළවර ආදි සිසුන් පිරිසකුත් රැස්ව සිටියහ. කතා බව ඉවර වී ළමයින්, පංති කාමරවලට පිටත් වූ මොහොතේ වගේ, ඉහල පන්තියක  එක ශිෂ්‍යයෙක්, අත් උස්සා උඩ පැන කෑ ගසා,

"ගිහි විදුහල්පතියෙක් අපට එපා... මූට හූ කියපියව්" යැයි කාටත් අැහෙන්නට ආරාධනයක් කළේය....


ඒ එක්කම චැපල් එක කෙළවර රැස්ව සිටි අය අතරින් රතිඤ්ඤා වැලක් පත්තු විය. මේ කලබලය අස්සේ පංති කරා ගමන් කරමින් සිටි ළමෝ සියළු දෙනා පන්ති අයිනේ ඉස්තෝප්පුව දිගටත්, ඉහල මාලයේ ගරාදිවැට දිගටත් පෙළ ගැසී සිටියහ. අපේ ඉස්කෝලේ කණ්ඩායම් හූවක් නැගුණු පළමු වතාව ඒ වෙන්නට ඇත. එයිට කලින් පළාත දෙදරන්නට ඒ වැනිම හූ හඬක් මා අසා තිබුණේ, හැට පහේ චන්දයට වෙන්නප්පුව ආසනයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වූ ෆෙස්ටස් පෙරේරාගේ නිවස ඉස්සරහම වාගේ පාරෙන් අනික් පැත්තේ, දාමස් ඉස්කෝල මහත්තයලාගේ වත්තේ තිබුණු ශ්‍රී ලංකා රැස්වීම අමතන්නට, ලෝකයේ ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ආපු අවස්ථාවේ දීය. හැටේ ඉස්කෝල ආණ්ඩුවට අරගන, කතෝලික පලාත්වල අප්‍රසාදයට ලක්ව සිටි මැතිණියගේ කථාව පටන් ගත් වෙලේ සිට ඉවර වෙනතුරුම පළාත පුරාම හූ හඬින් ගිගුම් දුන් එදා සිහි කරන විට හිතෙන්නේ, ඩාවින් පරිණාමවාදය වරද්දා ගත්තා විය යුතුය කියාය.

පොලිසිය ඇවිත් අර ළමයාව කුදලාගෙන, රතිඤ්ඤා කාරයින්වත් අකුලාගෙන යනතුරම ඉස්තෝප්පුව දිගටත් ගරාදි වැට දිගටත් පෙළ ගැසී සිටි බොහෝ දෙනෙක්, මේ ජාතික ගීත ගායනයට එක්වූ බව මතකය.

විරෝධය එච්චරය. පොලිසිය ගියායින් පස්සේ, පංතිබාර ගුරුවරු ඇවිත් ළමයින් පංතිවලට යැවූ අතර, එදා දවසවත් වෙනදා වාගේම ඉස්කෝලේ වැඩ කටයුතු කෙරිණි. පෙනුමට වූයේ එපමණක් නමුත්, මේ සිදුවීම පසුපස, සංවිධානාත්මක දේශපාලන කාර්යයක් සිදුවී තිබුණි. බ්‍රදර් ප්‍රින්සිපල් ගේ විශ්‍රාම යාමෙන් පසුව විදුහල්පති වීම සඳහාම විශේෂයෙන් තෝරා එවූ මාරිස්ට් සහෝදරතුමෙක් ඒ වන විටත් විදුහලේ සිටි අතර, හැත්තෑවේ ඡන්දයෙන් වෙන්නප්පුව ආසනය, එ.ජා.ප. යට හිමි වූවා නම්, අපේ ඉස්කෝලේ හත්වෙනි විදුහල්පති වරයා බ්‍රදර් සයිමන් වන බව ස්ථිරය. 

හොංකොං නුවර මාරිස්ට් පාඨශාලාවක ගුරුවරයෙක් ලෙස සේවය කර පැමිණ සිටි බ්‍රදර් සයිමන්, අපේ පංතියේ සිංහල ගුරුවරයා විය. එසේ සැලසුම් කර තිබූ ආණ්ඩුවට ගත්තත් ඉස්කෝලය බ්‍රදර්ලා අතේ තබා ගැනීම උඩුකුරුංඤ්ඤං වූයේ හැත්තෑවේ දී අපේ පැත්තේ මිනිස්සුත් අලි නැට්ට අතහැර, අතට කතිරය ගැසීමේ හේතුවෙනි. එසේ වුනත් අන්තිම මොහොත දක්වාම, නොපසුබැට උත්සාහ කරන්නටත් සැලසුමක් තිබුණු අතර, අන්තිම තුරුම්පුව වූයේ, බ්‍රදර් ප්‍රින්සිපල්, අළුතෙන් එන ප්‍රින්සිපල්ට වැඩ බාර නොදී, බ්‍රදර් සයිමන්ට ඉස්කෝලය බාර දීමට සකස්කර තිබූ ප්ලෑන් එකය. මේ වැඩේ ලොප් වුනේ, ෆෙස්ටස් පෙරේරාත්, පල්ලියේ ස්වාමිත් තවත් කීප දෙනෙකුත් මැදිහත් ව සිද්ධ වූ මේ පිඹුරුපත් ගැසිල්ල, රහසක් ලෙස තියාගන්නට නොහැකි වීමෙන් හා බ්‍රදර් ප්‍රින්සිපල්, නීති විරෝධී වූ යමක් කරන්නට නම්මා ගැනීමට නොහැකි වීමෙන් යැයි අපේ ගෙදර කතා බහ වලින් මා උකහාගත් දේ ය. ඉස්කෝලේ මේ වෙනස් වීම් පසුපස අපේ තාත්තාගේත් භූමිකාවක් තිබූ නිසා, උකහා ගත්තා කීමත් එතරම්ම නිවැරදි නොවේ. බේබි මහත්තයාගේ මේ අතුරු කතාවල් ගැන පරණ සටහනක් මෙතැනම තිබේ.

පැන්ටලියන් සර් බාර ගත්තේ බැරෑරුම් කාර්යයක් බව කිවයුතු නැත. බ්‍රදර් යවලා, ගිහියෙක් විදුහල්පති කල පමණින් ඉස්කෝලයක් හැදෙන්නේ නැත.ඒක කරන්නේ කොහොම ද, කෙරුවේ කොහොමද කියා අංශුවෙන් අංශුව විග්‍රහ කරන්නට මා නොදන්නා මුත්, දන්නා තරමින් නම් මේ වැඩේ කෙරුණේ, තම වෘත්තිය කැපවීමෙන් කරන්නටම කැපවුණු ගුරු මණ්ඩලයක් පත් කිරීමත්, ඔවුනට ඒ කටයුත්ත කරන්නට ඉඩ කඩ, අවසර හා අවශ්‍යවූ මූලික අවශ්‍යතා සපුරන්නට සැදී පැහැදී සිටින්නට පැන්ටලියන් සර්ට හැකි වූ නිසාත් බව නම් කියන්නට පුළුවන.


මේවා මෙහෙම වුණත්, අපේ ඉස්කෝලේ හා හපුරා කියා පැන්ටලියන් සර්ගෙන් වේවැල් පාරක් කෑවේත්, දහය විද්‍යා පංතියේ මොනිටර් වූ මමම ය. ඒක වෙනමම ලිවිය යුතු කතාවකි.

අපේ ඉස්කෝලය මෙසේ උපැවදි වී සිදුවූ වෙනසේ තරමත්, ජෝශප් වාස් විද්‍යාලයත් විද්‍යාලයක් වී ඇති බවත් හරියටම පැහැදිලි වූයේ නවසිය හැත්තෑ හතේ දී ය. හැත්තෑ හතේ එක්සත් ජාතික පක්ෂය ඡන්දය දිනුවාට පසුවය. එතෙක් මාරිස්ටෙල්ලා, ඩි මැසනඩ් ආදී කතෝලික හා කොළඹ ඉස්කෝල වලට ගිය පලාතේ සල්ලිකාර දරුවන් කීප පලක්ම ඒවායෙන් ඉවත්වී ජෝශප් වාස් ඒමත් ඒ අවුරුද්දේ හෝ ඊළඟ අවුරුද්දක, පැන්ටලියන් සර්ගේ සේවය අගය කරමින් උපහාර උලෙලක් තිබීමත්, ජෝශප් වාස් කොලේජ් එක ගැන, ආඩම්බරෙන් කතා බහ කරන ලොකු ලොකු අයගේ කතාබහත් සිද්ධ වුනේ, එදා හූ සංග්‍රහය සංවිධානය කරන්නට පෙළඹුනු කාණ්ඩයේම අනුග්‍රහයෙනි.

ඒ කාලයේම ඉස්කෝලේ මුළු පිට්ටනිය පිරෙන්නට තැබුණු කානිවල් එකක් සඳහා ඉස්කෝලේ ගේට්ටුව හරහට බැඳුණු තොරණක හිස සාදා තිබුණේ කරකැවෙන ඔටුන්නක හැඩයට ය. ඒ තොරණ යට හිටගෙන, ජේ. ආර්. ජයවර්ධන අළුත් ජනාධිපති තුමා,

"දැන් මේ භූමියට ඇතුළුවෙන තොරණ මුදුනේ ඔටුන්නක් තියනවා... ඒ වගේ ඔටුණු පලන්දලා අපි මේ රටේ ජනතාව රජ කෙරෙව්වා...." .

කියා පාරම් බානවා අසා සිටියාත් මතකය.

මේ ඔටුනු තොප්පි දමා ගැනිලි කවුරු කොහොම කලත්, අපේ ඉස්කෝලේ හැත්තෑ එකෙන් පටන් ගෙන සිදුවූ පරිවර්තනය දකින්නටත්, එයට දායක වන්නටත්, ඒ වැඩේ කල කී අය, ඇසුරු කරන්නටත්, ඔවුන්ගෙන් ගුරුහරුකම් ගන්නටත් ලෑබීම, අපි කාගේත් ජීවිත කතාවල් වෙනස් කල කාර්යයක් බව ලියා තැබිය යුතුය.

මේ ලිපියේ ඉස්මුදුනේ ඇති පින්තූරයේ, වාසියන් කෙනෙක් වීමේ ආඩම්බරය ගැනත් සඳහන් වී ඇත්තේ ඒ නිසාය.

ඉස්කෝලයක් ඉස්කෝලයක් වන්නේ, හිතක් පපුවක්, මොළයක් කොන්දක් ඇති දරුවන් තනන ආයතනයක් වීමෙන් මිස, පල්ලියක්වත් පන්සලක්වත් කෝවිලක්වත් වීමෙන් නොවේ.

Continue Reading...

Thursday, November 9, 2017

වෙල්ලස්සේ සැරිසරන ප්‍රේමයේ ආත්මය... [තරුරසී ගේ ‘‘තරු ඇස් රහස්‘‘ ]

වෙල්ලස්සේ සැරිසරන ප්‍රේමයේ ආත්මය... මයිකල් රුද්‍රිගු පිය මතකය

බුත්තල, අළුකලවිට ගම්මානයේ කුඩා පැලක දිවි ගෙවමින්, ජනතාව සමඟ එක්ව වැඩකරමින් උන් මයිකල් රුද්‍රිගු පියතුමා මරා දමා මේ ඉල් මහේ 10 වන දිනට වසර 30 කි. අළුකලවිට මයිකල් පියතුමාගේ ගෙපැල සුබසෙත් ගෙදර නම් විය. අදත් එය හැඳින්වෙන්නේ එනමිනි.

2004 - 2010 කාලය තුළ බුත්තල කතරගම පාරේ 12 කණුව අසල ‘‘සුබසෙත්ගෙදර‘‘ මට මගේ ම ගෙදර තරමට හුරු වී තිබිණි. ළ.ක්‍රි.වී. කටයුතු වෙනුවෙන් අපි වසරකට දෙවතාවක් හෝ තුන්වතාවක් බොහෝ විට බුත්තල ගියෙමු. වසර මුල අනුශාසක පුහුණුව, වසර මැද ළමා වැඩමුළුව, වසර අවසන ප්‍රාදේශීය සමුළුව වශයෙන් ඒ ආ ගිය ගමන් ගැන හදවතෙහි සොඳුරු මතක සැමරුම් රැසක් ශේෂ ව පවතී.

මයිකල් රුද්‍රිගු පියතුමා නාඳුනන තුවක්කරුවකු අතින් ඝාතනය වුණේ සුබසෙත්ගෙදර පුංචි මැටි පැලක ය. අද එය ම ගඩොලින් තනා උළු සෙවිල්ලූ කුඩා නිවසකි. නමුත් තුවක්කු කට කුරුමානම් ඇල්ලු කවුළුව එය ම ය. ඒ පුංචි කුටිය තවමත් ඒ මතක සටහන් රන්දාගෙන නිසොල්මන්ව හිඳි.

බුත්තල සහ අලුකලවිට ගම්මානයේ අප සමඟ කටයුතු කළ තරුණ තරුණියන් කිහිපදෙනෙකුගේම පියවරුන් නොවුණි. 88-89 භීෂණ සමයේ ඒ පියවරුන්ගේ ජීවිත උදුරාගෙන තිබූ හෙයිනි. ඒ අවට බොහෝ පවුල්වල පියවරුන් ඒ අන්ධකාර සමය විසින් බිලිගෙන තිබුණි. එවන් අවිචාර සමයක ය මයිකල් පියතුමා ද මරු කටට බිලි වූයේ.. ඒ ආගිය ගමන්වලදී පියතුමා මරා දැමුණු තැන මොහොතක් ගතකරන්නට අමතක නොකළෙමි. ඇත්තෙන්ම එතුමා මගේ ජීවිතයේ වීරයෙකි. කාලයේ වැලි තලාවෙන් වැසී අමතක වී ගිය තවත් එක් මරණයකි ඒ. අදටත් ඒ ගැන නිසි පරීක්ෂණයක් සිදු වී නොමැත.

විමුක්ති දේව ධර්මය හදාරමින් සිටියදී මයිකල් රුදිගු පියතුමාගේ ජීවන දර්ශනය සහ ජීවිතාදර්ශය පන්ති කාමරයෙන් මිදි හද ගැඹර කම්පනය කළ මොහොතක මාතින් ලියැවුණු කවියකි මේ.

වෙල්ලස්සේ සැරිසරන පේ‍්‍රමයේ ආත්මය...

ගෙන යා හැකි ඔබට මා
නිසල සිරුර
පෙර දවස මවිසින්
පිළිකෙව් කර අතැර ආ
එනුවරට..
හිස් දෙපතුළින් පිටුපා ඇවිද ආ
ඒ කටුක මඟ දිග ම
මල් පාවඩ අතුරමින්
මා නමින්...

නමුදු මා ආත්මය මෙහි ය...

වෙල්ලස්සේ හේන්, කෙත්වතු
පිස හමා එන
කටුක දාඩිය පුසුඹ සිඹිමින්
පැලක ඇවිළෙන සුදහ ගින්දර
සුසුම් උණුහුම ළයෙහි රඳමින්
සැරිසරන්නෙය මා ආත්මය
මේ බිමෙහි ම............

රුදුරු අතෙකින් මිදුණු උණ්ඩය
දැදුරු කළ විට ඉහ මොළ
මහත් අදරින් වැළඳ ගත්තෙමි
මේ කඳුළු බිම.....
හරිත පැහැසර දිවිය තෙදබල
නොමසුරුව පැහැදූ
දිළිඳු දෑසක නැඟෙන කඳුළක
සිහිල සිත රැන්දූ.....

අවසන් නිමේෂයෙ
ම’දෑතින් එසැවුණු
මිදි යුෂ කුසලාන
පිරුණි රුහිරෙන්ම..
සමවනු කෙලෙස ඒ ලෙය
හෙරොද් වධකාගාරයෙහි
කපාල දුර්ගයෙහි
කල්වාරි කඳු මුදුනෙහි
ගලා ගිය ලේ කඳට.......

සසලවා ළය
පේ‍්‍රමයේ මඟ
කියා දුන් ඒ
රුහිරු ගඟුලට.......

‘‘ෆාද මැරුණෙ අපි වෙනුවෙන්. සභාවත් නෑදෑයොත් එකතු වෙලා ෆාදගෙ මලකඳ කොළඹට අරන් ගියා. ඒත් ෆාදගෙ හොඳම හරිය මෙහෙ. ඇස් දෙකයි, මොළෙයි, ලේ ටිකයි... ඒවා තැන්පත් කළේ මේ බිමේ. මේ පොළවෙන් උපදින අල කොල ගෙඩි කාලා හැදෙන අපේ ළමයි ෆාද පැතූ සාධාරණ ලෝකය ගොඩ නගාවි...“
- බුත්තල ගැමියෙක්

‘‘තරු ඇස් රහස්‘‘ 48 -49 පිටු




Continue Reading...

Friday, November 3, 2017

සපත්තුව බිඳුණා සින්ඩරෙල්ලා...

සපත්තුව බිඳුණා සින්ඩරෙල්ලා
මගෙ ඇඟිල්ලත් කැපුණා
මේ ගල්පඩි පෙලේ දිගටම
වීදුරු කෑලි තිබුණා

තාත්තාට කියලා මං
ආයෙත් බාල් නැටුමක් නටවන්නම්
ඔයා කොහොම හරි එන්න ඕනා
එදා වගෙම මා එක්ක නටන්න ඕනා
මං නවත්තනවා ඔරලෝසු
මකනවා දොලහෙ ඉලක්කම
ඒක එලිනොවන රැයක් වෙයි
නොනවතින බාලක් වෙයි

මට ඒත් විශ්වාස නෑ
මේ මාලිගාවේ මං නොදන්න
කාමර තියනවා
අවිශ්වාස කට්ට්ය ඉන්නවා
ඔරලෝසු වල සීනු තියනවා


ඒක හින්දා සින්ඩරෙල්ලා
වීදුරු සපත්තු එපා
කොහොම හරි කරලා
යකඩ සපත්තු දෙකක්
දාගෙන එන්න.....!

Continue Reading...

නොපිපි මල්...!

දම් පැහැ අහසක - පඬු පැහැ සඳ යට
නිදිමත පහනක ඇස් මානේ
අප හමුවුදා නොපිපුනු මල් පෙති
නොපිපෙනු ඇත කවදාවත් ආයේ

අළු දැරියයි ඔබ මහ රෑ මැදියම
මායාවෙන් නිදිගැට දුරලූ
පලිඟු පා වැසුම
මග ඉහිරී ගිය
සී සී කඩ විසිරී බිඳුණු

සෙව්වන්දිය පෙති තවරා වැසුවත්
සුව වෙද සීරුම් කැලැල් මැකී
මල සිඹි දා හිත
පාරා රිද වූ
නටු අග රැඳවුණු වියරු කටු


Continue Reading...

Wednesday, November 1, 2017

‘සැතපෙන්න සාමයෙන්...!’

අම්මාත් තාත්තාත්
ලොකු නංගීත් අයියාත්
වල දැමූ වල ඉහත්තාවේ
ඉටි පහන් දැල් වූ චූටි නංගී
මා අසල සිටගෙන මුමුණයි

“ඔන්න අපි ආව
ගෙදර කට්ටියව බලල යන්න...”

යන්තමින් මුදුනෙන් මෑත් වූ ඉර
අප පසු පසින් පැමිණ
අපි දෙන්නාගේ ම හෙවනැලි
මිනී වල වැහෙන්නට
සළකුණු කර බලා සිටී

දැල්වෙන ඉටි පන්දම් සිළු
නිවෙන්නට ද නොනිවෙන්නට ද
හිත හදා ගන්නට නොහැක්කාක් මෙන්
සුළඟ සමග ඔට්ටු වෙයි

ලොකු නංගීගේ නම ලියූ ඵලකය පාමුල
පරව වියලී දිරායන
මල් පොකුරක සුන්බුන්
තවමත් තිබේ

ඇගේ උපන් දිනයට
හැම වසරකම වාගේ
මල් පොකුරක් රැගෙන
මස්සිනා ඈ බලන්නට එනබව
නංගී කිවූ වග මට සිහිපත් වෙයි

සුසානය කෙළවරක
ගල් කුරුසයක් මත ඇණ ගැසූ
කෙළවරක් කැඩීගිය සිමෙන්ති තටු විහිදා
ඉගිල යන්නට තතනන දේව දූතයෙක්
‍දෑත රැඳි සාළුවේ ලියා ඇති වදන්
මට පෙනෙන්නට ඔසවා පෙන්වයි...
‘සැතපෙන්න සාමයෙන්...!’


January 26, 2014



Continue Reading...

චාර්ල්ස් වගේ ලිවීම


අපේ බාප්පා සිංහල පත්තර සඟරා හැම එකම මිලදී ගත්තේය. ඒ කාලයේ මාසිකව පළවූ රසවාහිනි, ශ්‍රී, නවයුගය ආදී හැම සඟරාවකම අළුත්ම පිටපත සීයලාගේ ගෙදර තිබේ. එයිට අමතරව සතිපතා පුවත්පත් සේරමත්, ඉරිදා පත්තර සේරමත් එහේ තිබුණි. ඉරිදා පත්තර නම් අපේ ගෙදරත් තිබුණත්, සඟරා කියවන්නට නම් සීයලාගේ ගෙදරම යා යුතු විය. මේ වායේ පරණ කොපි, පාළු කාමරයක පරණ අල්මාරියක යට තට්ටුවේ එකතු වෙයි. එතැනින් එකක් දෙකක් ගෙදර ගෙනත් කියවා ගිහින් දීමත් මගේත් අයියාගේත් සිරිත විය. මේවා අතරින් රසවත්ම සඟරාව නම් 'රසවාහිනි' යයි.

රසවාහිනිය ඒ කාලයේ නූතන සාහිත්‍ය කලා මඤ්ජුසාව විය. එහි පලවූ නානා ප්‍රකාර ලිපි අතර සාහිත්‍යය කතා, ඉතිහාස කතා මෙන්ම ගුප්ත හා කුතුහලාත්මක දේ පිළිබඳව ලියවුණු දේද තිබුණි. මලවුන්ගේ ඡායාරූප ගැනීම, මිනිස් සිරුරෙන් විහිදෙන ශක්ති වලල්ල ආදී දේ ගැන ළමා කාලයේ සිටම සෑහෙන දැනුමක් අපට ලැබුණේ රසවාහිනියේ ලිපි කියවීමෙනි. මේවා බොහෝ විට ඉංග්‍රිසි සඟරාවල පලවූ දේවල් සිංහලට පෙරලා පලකල දේවල් වීමට ඉඩ තිබේ.

රසවාහිනියේ මට මතක ඇති එක ලිපියකට අනුව, ශබ්ද තරංග නැසෙන්නේ නැත. ඒවා වායු ගෝලයේ සැර සරමින් තිබේ. ඒ අනුව බුදුන් දෙසූ දම් දෙසුම් පවා, නැවත අසන්නට පුළුවන් ස්ථාන භාරතයේ තිබුණි. අර ශබ්ද තරංග කැරකී අවුත් එතැන දී එකතු වූ විටක අර පරණ දම් දෙසුම් ඒ ආකාරයෙන් ම ඇසෙයි. අනුමානයක් නැතුව අළුත් ව්‍යවස්ථාවක්  සම්මත කලොත් පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්නට කතා කරන විමල් වීරවංශ මහතාත් මේ ලිපිය කියවා ඇතැසි සිතේ.

මෙවැනිම තවත් ලිපියකට අනුව, මියගිය ප්‍රාඥයින්ගේ චිත්ත තරංග විශ්වය පුරා විසිරී තිබේ. ඔවුන්ගේ ආත්මයෝ නොනැසී, මේ සක්වල පුරා සැරිසරති. මළවුන් කැඳවීම, ඔවුන් හා කතා බහ කිරීම හා චෛතසිකව සම්බන්ධ වීම ආදී දේ කල හා කරන පුද්ගලයින් පිළිබඳව ද, එක් එක් ආත්මයන් හි විස්තර කියන පුද්ගලයින් පිළිබඳව ද ලිපියක් දෙකක් මේ සඟරාවල පලවීම සිරිතක් වී තිබුණි. මේවා මෙහෙම ලිව්වාම එදා තත්වයත් අද වාගේමය කියා කෙනෙකුට හිතෙන්නටත් පුළුවන.



සිංහල රචනාව ලිවීමේ සමර්ථයා වූ මට ඔය කාලයේ කවදා හෝ ලෝක ප්‍රකට ලේඛකයකු වීමේ අහිංසක බලාපොරොත්තුවක් තිබුණි. ඉස්කෝල පුස්තකාලයේ තිබුණු හැම පොතක්ම පාහේ කියවා තිබුණු මට, ලෝක ප්‍රකට ලේඛකයින් අතරිනුත් හොඳටම හිතට අල්ලා තිබුණු කෙනා, චාර්ල්ස් ඩිකන්ස් ය.

ඒ හොඳම කාලයයි.
ඒ නරකම කාලයයි.
ඒ ප්‍රඥාවේ යුගයයි
ඒ අඥානත්වයේ යුගයයි...

කියා ඇරඹෙන දෙනුවර අන්දරය, ඔලිවර් ටුවිස්ට්, ඩේවිඩ් කොපර්ෆීල්ඩ් වැනි කතා ලියූ, වික්ටෝරියානු යුගයේ ලංඩනයේ විසූ මේ කැහැටු ඉංග්‍රිසි මිනිසා අදටත් අකුරු වලින් මිනිසුන් මැවීමේ කාර්යයේ අනභිබවනීයයකු සේ සැලකෙයි. ඉදින් වන්නා නම් විය යුත්තේ එවන් සූරයකු බව මගේ ළපැටි සිතටත් පිළිපන්නේ යැ.

මේ කාර්යය, එනම් ලේඛකයකු වීමේ කාර්යය, ඉබේ සිද්ධවන දෙයක් නොවේ. ආයාසයෙන් සාක්ෂාත් කරගත යුතු දෙයකි. රසවාහිනිය පිහිටට ආවේ එතැන දීය. ලිවීමේ අකුරු වචන ගැලපීමේ කලාව ප්‍රගුණ කරන්නට පහසුම මග නම් ඒ කලාවේ කෙල පැමිණියවුන් හා ඇසුරු කිරීමම වෙයි. අපේ ගෙදර කවුරුවත් ඒ ගණයට නොවැටුන මුත්, අර සක්වල පුරා සැරිසරන මළගිය ලේඛකයින් ගේ, විශේෂයෙන් එක් දහස් අටසිය හැත්තෑවේ මියගිය චාර්ල්ස් ගේ චිත්ත තරංග මතු නොව, සජීවී ආත්මයනුත් අපේ ගෙදර පැත්තේත් නොගැවසෙන්නට හේතුවක් නැත. කළයුතු වූයේ, ඒවා හා චෛතසිකව සම්බන්ධ වීමය. බැඳීමය. එසේ කලාම ඒ චිත්ත තරංග හා ආත්මයන්, මගේ සිතට අදහස්, කල්පනා, එකතු කර ඒවා වචන ලෙස අකුරු ලෙස ගලපා සුසර කරනවා ඇත. මට ඇත්තේ ඔවුන් මේ වැඩය කරන තුරු බාධා නොකර බලා සිටීම පමණි.

මේක මේ ලියන තරම් පහසු වූයේ නැත. හිස් පිටුවක පෑන තබාගෙන දෑස් වසාගෙන, ඩිකන්ස් ගේ පින්තූරයක් හිතේ මවාගෙන වෙන මුකුත්ම නොහිතා, ඔහේ ලියවෙන තුරු බලා සිටියත් ලියවූනේ එහෙන් මෙහෙන් එන වචනයක් දෙකක් පමණකි. සමහරවිට මගේ ඉංග්‍රිසි දැනුමේ මදි පාඩුකම් නිසා ඩිකන්ස්ගේ ඉංග්‍රිසි චිත්ත තරංග සිංහලට හැරවෙනවා හොර වුනා වෙන්නටත් පුළුවන් නිසාත්, එක්කෙනෙක් ගේ චිත්ත තරංග හාම සම්බන්ධ වෙන්නට ඇති සම්භාවිතාව අඩු නිසාත්, වැඩි දවසක් නොගොස් මගේ මලගිය ලේඛක අනුග්‍රාහකයින් අතරට, රබින්ද්‍රනාත් තාගෝර්, ඩබ්ලිව්. ඒ. සිල්වා හා කුමාරතුංග මුනිදාස වැනි පෙරදිග හා සිංහල අයත් එකතු විය.

දිගින් දිගට සති දෙක තුනක් කෙරෙද්දී, මේ අභ්‍යාසයේ යම් විදිහක ප්‍රතිඵල නොතිබුණාම නොවේ. යම් යම් වාක්‍ය ඛණ්ඩ, මට කවදාවත් හිතාගන්නට බැරි තරම් ලස්සණට ලියැවී තිබුණි. මගේ සිංහල රචනා, නිකම් පුංචි කෙටිකතා මෙන්, කතා බහ කරන චරිත, යම් යම් තාත්වික සිදුවීම් වල විස්තර ආදිය අඩංගුව ලියවෙන්නට පටන් ගෙන තිබුණි. ඒක එහෙම වුණත්, නවවෙනියේ දී විද්‍යා අංශයට සමත් වීමත්, ඉන් පස්සේ නවීන විද්‍යාත්මක සොයාගැනීමක් කිරීමේ උවමනාව වැඩිපුර මතුවී ඒමත්, ඕ ලෙවල්, ඒ ලෙවල් විභාග ආදියත් හරහට හිටි නිසා, මේ වැඩේ ටික ටික දියාරු වී ගියේ ය.

මේ සටහන කියවන කාට හෝ මේ වැඩේ ආයෙත් අත්හදා බලන්නට හිතෙනවා නම්, පරිස්සම් විය යුතු කාරණයක් තිබේ. ඔබේ අනුග්‍රාහක ලේඛකයින් තෝරා ගැනීමේ දී, සහසුද්දෙන්ම මියගිය අයම පමණක් තෝරා ගන්නට පරිස්සම් වන්න. මෙයට හේතු දෙකකි.

(1) අර විදිහෙන් නිදහසේ පාවෙන චිත්ත තරංග හා ලේඛක ආත්මයන් තියෙන්නේ මළගිය ලේඛකයින්ට ය.

(2) පණ පිටින් ඉන්නා කෙනෙක්ගේ චිත්ත තරංග යාන්තමටවත් ගෑවුණ බව පෙනෙන ලියවිල්ලක් වැරදිලාවත් ලියවුනොත්..... අම්බානකට කන්නට වෙන්නට පුළුවන.

[ඩිකන්ස්ගේ පින්තූරය විකිපීඩියාවෙනි. රසවාහිනියේ කවරය නන්ද වන්නිනායකගේ බ්ලොග් අඩවියෙනි.  ]
Continue Reading...

Tuesday, October 31, 2017

පියාඹන හඳ



පියාපත් නැත්තං හඳට
අර වාගෙ ඉගිලෙන්නෙ කොහොම ද?
ඉර බහින හැන්දෑවෙ ඇවිල්ලා
හිත ගාව හිනැහෙන්නෙ කොහොම ද?

රතු පාට කහපාට 
මල් පිපෙණ දවාලේ
හැංගිලා හොරකමට 
වහං වී ඉන්නවා...

ගොම්මනේ පාට හත 
දියවෙද්දි ලුණු වතුරෙ
මෙන්න ඇවිදන් ඇවිත්
සුදුම සුදු මල් පොකුරු 
මගෙ අතේ තියනවා...

පියාපත් නැත්තං හඳට
අර වාගෙ ඉගිලෙන්නෙ කොහොම ද?
ඉර බහින හැන්දෑවෙ ඇවිල්ලා
හිත ගාව හිනැහෙන්නෙ කොහොම ද?

සැප්තැම්බර 12, 2014
පින්තූරය - https://www.warrenphotographic.co.uk/03421-geese-flying-past-the-moon
Continue Reading...

Monday, October 30, 2017

කින්නර ගීතය




ගයනු මැනවී ඉතින්
ගයනු මැනවී ඔබේ
ප්‍රේම ගීතය
කින්නරාවියනේ...

උච්ච ස්වරයෙන් දැදුරු කර ලය
සිඳී සුන්වී විසිර යන්නට කැබැලිවී
පලිඟු බඳුනේ රැඳුන ජීවය විසිරිලා
ගයනු මැනවී ඉතින්
ප්‍රේම ගීතය ගයනු මැනවී
කින්නරාවියනේ...

ගලා ගිය සඳ වතුර සිඳී ගිය රෑ
අන්ධකාරයේ ස්වර සත ගලගා
කණට නෑසෙන උච්ච සරයෙන්
ගයනු මැනවී ඉතින්
ප්‍රේම ගීතය ගයනු මැනවී
කින්නරාවියනේ...

තාරකා මල් ගෙල සිඳී
ලේ ගලා මියැදුනු රැයේ
වාලුකා තල සැඩ සුලං වැද ගිනි දවා
ගලන්නට ලෝ දිය ගඟක් වී
ගයනු මැනවී ඉතින්
ප්‍රේම ගීතය ගයනු මැනවී
කින්නරාවියනේ...

කණට නෑසෙන උච්ච සරයේ
තියුණු හී යෙන් දැදුරු කර ලය
සිඳී සුන්වී විසිර යන්නට කැබැලිවී
පලිඟු බඳුනේ රැඳුන ජීවය විසිරිලා
ගයනු මැනවී ඉතින්
ගයනු මැනවී ඉතින්...
ප්‍රේම ගීතය ගයනු මැනවී
කින්නරාවියනේ...



December 24, 2009 
Continue Reading...

Sunday, October 29, 2017

තාත්තා....




"උදාසන හදිසියේම වාගේ මම අවදිවීමි. ජනේල වීදුරු සඳ එළියෙන් බබලයි. අඳුර කාමරයේ අහුමුළුවල සැඟවී සිටී. කාලාන්තරයක් යැයි හැ‍‍ඟෙන කාලයකට පසුව මම කල්පාන්තරයක් තිස්සේ හුරු පුරුදු වූ ස්ථානයක සිටින්නේ ය යන හැඟීම දිය බුබුලකින්  මතුවන ජලය සේ ගලාවිත් සිත පුරවා ගනී. ඒ සිතිවිල්ල සිසිලසක් සැනසීමක් සමගම අව්‍යාජ වූ සතුටක් සිතට ගෙනෙයි.

කණ්ණාඩි මේසය ලඟ තාත්තා ජාතික බැනියම හැඳ, කොණ්ඩය පීරන බව මට පෙනේ. තාත්තා මිය ගොස් අවුරුදු අටකට වඩා වුව ද මේ ගෙදර ගැන තවමත් තාත්තාගෙන් තොරව සිතන්නට මගේ සිත ඉඩ නොදෙයි.

මම කණ්නාඩි මේසය අසල ජනේලය හැර සඳ එළිය ගලාගිය පරිසරය දෙස බලමි. මිදුල කෙලවර වූ අඹගස් තුන‍ෙන් දෙකක් ම කපා දමා ඇත. ඒ හිඩැස තුලින් මහපාර පෙනේ. හැම දෙයක්ම හැකිලී කුඩාවී ඇති සෙයකි. අහසේ තරු පන්ති නිද්‍රාවෙන් දිදුලයි. පිරෙන්නට තතනන සඳ අසල සිකුරු තරුව පහන් සිළුවක් සේ අචලව රැඳී සිටියි.

මට මානෙලුත් ඇගේ අවිහිංසක ආදරයත් මතක් වෙයි. ඈ අසල මා විඳින සතුටත්, ඇගේ මුහුණ බලා මා ලබන සැනසුමත් සඳ එළිය සේ මා වටා දැවටී සිටී. මගේ ජීවිතය සදාකාලික නිරීක්ෂණයක්ය යන හැඟීම තදින්ම නැගී එයි. එතෙක් මෙතෙක් මා හඹාගිය බලාපොරොත්තුවක් නැතිය යන්නත්, එතෙක් මෙතෙක් මා සාක්ෂාත් කරගත් අපේක්ෂාවක් නැතිය යන්නත්, සිත පුරා නැගී එයි. මා ලද සෑම දෙයක්ම පාහේ මා ලද, මට දෙන ලද දේවල් මිස, යම් යම් අවස්ථාවල ඉත සිතින් පැතූ නමුදු, හඹා ගොස් සතුරු සෙන් පරදවා අත්පත් කරගත්තා වූ දේවල් නොවන බව මම දකිමි.

සංචාරකයකු සේ, ඊටත් වඩා හොඳින් කිවහොත් වනාන්තරය හරහා ඇවිද යන්නා වූ වැද්දකු සේ, මැකී ගිය දඩ මං හි තිසා හෝ සුදු වැද්දා හි එන වැදි යුවල සේ හෝ හමුවන සෑම ගහ කොලකම හැඩ රුව බලමින් අයාල‍යේ ඇවිද යන පුද්ගලයෙක්  සේ මා මට පෙනේ. දකින හැම දසුනකම පසුපස යමක් දකින්නටත් ඒ හැම දසුනකින්ම වින්දනයක් විඳින්නටත් හැකියාවක් මට ඇතිය යන්න මට පසක් වෙයි.

මම ජනේලය ලඟ සිට ගෙන දෑත් ලයේ බැඳ කල්පනා කරමින් සිටිමි. වෙලාව පාන්දර තුනටත් හතරටත් අතර විය යුතුය. මේ ඉරියව්වෙන්ම තාත්තා කල්පනා කරමින් සිටින ආකාරය මට මතක් වෙයි. තාත්තා ත් මා මෙන්ම ජීවිතය ගැනත්, තාත්තා ගැනත්, සිතන්නට ඇතිය යන්න හදිසියේ දැල්වුණු පහනක් සේ සිත පුරවාලයි.

මම ජනේලය ලඟින් මෑත් වී කණ්නාඩි මේසය ඉදිරිපස සිට ගනිමි. කණ්නාඩියෙන් මගේම පිළිබිඹුව මට පෙනේ. අඩ අඳුර නිසා අග පසඟ සවිස්තරව නොපෙනෙන නමුදු ප්‍රමාණයෙන් හා ආකාරයෙන් තාත්තාට සමීප වූවකු ගේ හැඩරුව මම දකිමි. තාත්තා යම් යම් ආකාර වලින් මා තුල ද ජීවත් වන්නේ ය යන හැඟීම සිතට නැගේ. සදා සම්පූර්ණ නොවුව ද සියයට සියයක්ම නොගැලපුන ද  මට දැනෙන තාත්තා ගේ සමීපත්වය මා තුළම රැඳුනු දෙයක් මිස, අදුෘශ්‍යමානව තාත්තා මා අසල සිටීමක් න‍ොවන බව මට තේරුම් යයි. කුඩා කල සිට තාත්තා කල කී බොහෝ දේවල් බලා සිටීමෙන් මා උකහාගත් මතක සම්භාරය තුලින්, මා තුලින්ම මතුවන්නා වූ දෙයින් මිස අදිසි බලවේගයක් විසින් තාත්තා පිළිබඳ සිතිවිලි මගේ සිතට නොසපයන වග මම පසක් කරමි. යමක් සාක්ෂාත් කර ගත්තෙමිය, යමක් උගත්තෙමිය යන නිදහස් හැඟීමක්, අපේක්ෂා පූර්ණ වූ හැඟීමක්  හිත වසා ගනී. මලවුන් ජීවත්වන්නේ මලවුන් අතර නොව ජීවත්වන මිනිසුන් තුලය යන්න මම හඟිමි."

1997 ජනවාරි 26 දා පාන්දර පහට වෙන්නප්පුවේ ගෙදර දී.
Continue Reading...

සුබ උපන්දිනයක්.....!


තාත්තලා දැකීම තාත්තලාට සතුටකි.
සුබ උපන් දිනයක් මියුරු පුතා.




Continue Reading...

Friday, October 27, 2017

රතු සේද....!



දණ ගගා ලපැටි දඬු මත
ලෑටි ගා මල් බෙරි කොල
තැනූ දා සුසිනිදු නූල් ඇද
සංක්‍රාන්ති කෝෂය
තටුගසා ඉගිලෙන 
දවස ගැන හිතිවිලි
පණ ගසා පිපෙන්නට ඇති
පට පණු සිතේ පතුලක....

පියාඹන ජීවිතය
සොයා තැනු සේද නූලම

ලියා ඇත මරණයේ
අවසාන සහතිකය


බුබුළුලන දඟලන
උණු දිය කටාරම තුල

දියව ගිය නිදහසේ
අවසාන මුණු මුණුව


තටු සලන කොඩියක
රතු සේද නූලක්ව
නැගි නැගී අහසට

ගයයි රණ ගී උන්මාදයෙන්...

ගෑවී තියේ නේද
උණු දියෙන් ගෙල සි
ඳි
පට පණුවකුගෙ ලේ බිඳක්
ඔය ධජය වියා ඇති

හැම සේද නූලකම?
Continue Reading...

Wednesday, October 25, 2017

මගේ සිහිනය


මගේ සිහිනය

POSTED BY KOOMBIYA 4.16.2008 
මගේ මිතුරන්ට බොහෝ බරැති හීන පෙනේ. ඒ හීන වල තිබූ කාර්, ලොරි, ගෙවල් සහ ඉඩම් වල බරට උන්ගේ ඇඳන් නිතර ජර-බර ගා හඬ නැගුවා. දහදියෙන් නැහැවී ගිය උන්ගේ ඇහි දාර ද නළල් තල ද පෙනෙන හීනයේ් බරින් ඇකිලී ගොස් තිබූ හැටි මට මතකයට නැගේ. කිසිදු හීනයක් නොපෙනීම ගැන මට තිබුණේ මහා මදිකමක්, ලැජ්ජාවක් වගේ හැඟීමක්. අනික අය ද ඒ ගැන මට නිතර අවවාද කලා. හීන නැති නිසා හොඳින් නින්ද ගිය නමුත් අනික් උන් පෙරදා රැයේ දුටු හීන ගැන දොඩද්දී මම කොන් වුනා. මම ලතැවුල්ලේන් වගේ බෝඩිමෙන් පිට වෙලා ඇවිද ගෙන ගියා. මගෙ අරමුණ වුනේ කෙසේ හෝ හීනයක් දැකීම.

එදා මහ පාරෙදි අහම්බෙන් වගේ් මට හීනයක් මුණ ගැසුනා.

නිවි නිවී දැල්වෙන දෑසක් ද, අක් බමරු කෙහෙ-වරලක් ද තිබූ ඒ දිව්‍යමය හීනය මම බෝඩිමට අරන් ගියා. මගෙ ලොකර් එකේ තිබුණු හිස් වීවා බෝතලේක දාලා මම ඒ හීනය ඇති දැඩි කළා. එදා ඉඳන් හැම දවසකම අනික් එවුන්ට හොරෙන් මම එ් හීනය එළියට අරන් එ්කෙ නළල ඉඹලා නිදිය ගත්තෙ. දවසක් මම නිදි අතරෙ බෝතලේ මූඩිය එයාම ඇරගෙන එයා මගෙ ඔලූවට රිංගුවා. මෙන්න යකඩෝ එදා ඉඳන් මටත් හීන පේනවා....! මම සතුටින් උදම් වුනා.

හැබැයි මගෙ හීනෙ අනික් එවුන්ගෙ ඒවා වගේ නෙමෙයි. සැහැල්ලූයි. පුදුම සැහැල්ලූයි. කොච්චර සැහැල්ලූ ද කියනවනම් මම ඒක පෙනෙද්දී ඇඳෙන් අඟල් දෙක තුනක් උඩට ඇවිත් පාවෙන්න ගත්තා. මේක දිගින් දිගටම උණා.

මේක බලන් හිටපු මැරිච්ච නිව්ටන් මගෙ හීනෙට බලන් ඇතුල් වුනා.

”උඹ හින්දා ගුරුත්වාකර්ෂණ නියමයට කෙළවෙනවා මිනිහෝ...!” කියලා එයා ලොකුම ලොකු කාර් එකකුයි ගෙයකුයි ඉඩමකුයි මගෙ හීනය උඩින් තිබ්බා. ඒ බරට ඇඳ කඩාගෙන මමයි හීනයයි බිම වැටුනා. මට ඇහැරුණා. මම දුවලා ගිහින් බෝතලේ බැලූවා. ඒක ඇතුළේ හිස්. එ වෙනුවට රවුම් අත් අකුරු තිබ්බ ලියුමක් තිබුණා.

”උඹ නිව්ටන් එක්ක මකබෑවියං... මම යනවා”

-කූඹියා

Continue Reading...

Sunday, October 22, 2017

හිත ඇත්නම් පත කුඩා ද?


කවුරු කොහොම කිව්වත් ලිව්වත්, හිත තිබ්බ පමණින්ම පත ලොකු වෙන්නේ නැත. අනික් අතට කොච්චර ලොකු පතක් තිබ්බත් කෝඳුරු බෙට්ටක් තරංවත් හිතක් නැති එකෙකුට ඒ පත පතෙන් වැඩක් වෙන්නේත් නැත. වැඩක් වෙනවාට වඩා තවත් පරාණ රාසියකට අවැඩක් වෙන එකත් සිද්ධ වූ තැන් ඕනෑ තරම් තිබේ.

මේ හිතත් පතත් අතර ගණුදෙනුවේ අපට හරියාකාරව නූගැන්වෙන කොටසක් තිබේ. මෙතැන හිත කියන්නේ පත ලොකුකර ගැනීමේ හිත නැත්තං අභිප්‍රාය මිස, ලොකු පතක් ගැන උදේ හවා හූල්ලමින් දකින මනෝමූලික හීනයක් නොවේ. කොයි වලේ මෙන්ම මේ වලේත් ලේසියෙන්ම වැටෙන්නේ, දා හත දහාට වයසේ පොත්තෙන් ඇටය බේරෙන, පෙති දෙපෙති බේරෙන නාඹර තරුණ හිත් ය. මේකට ප්‍රධාන හේතුව මට හිතෙන හැටියට නං, අපටත් හිතක් තියනවාය යන්න හරියාකාරව සිග්නල් වෙන්නේ මේ වයසේ දී නිසාය. ඉතින් හිත ඇත්තං පත කුඩා නොවෙන්නේ කෝම ද?

මගේ ඔය සමය උදාවෙන්නේ මේ හෑල්ල කියවන බොහෝ දෙනෙක්ට වාගේ ම, උසස්පෙළ තරණය කරලා කොළඹ සරසවි ආ කාල වකවානුවේ ය. අර හිත හා පත මෙන්ම, ගෙදරින් ඇවිත් නවාතැනක නැවතී, තමුන්ගේම ජීවිතයක්, මං කියන්නේ එක්තරා අන්දමකට තමුන්ගේම ජීවිතයක්, ඇරඹීමේ නිදහසත් එකතු වුණාම, අර හිතත් පතත් පුරා නා නා ප්‍රකාර බිතු සිතුවම් මතුවී පෙනෙන්නට ගනී.

මේ ලියන්නේත් කලින් දවසක ලියූ 'අන්දර කැලේ දර ලීයේ කුරුමිණියා' වූ මං ගැනම ය. නැටුං සර්ගේ පාරුවේ පුවක් නිසා, එදා පාරු කවිය පිඹ ගන්නට බැරිවුනත්, හිත ඇත්නං පත කුඩාද අනුව යමින්, මගේ මේ හිල් බටයේ සංගීතය හොයා සැරි සැරීමේ කාරිය නම් නැවතුනේ නැත. ජයකොඩි සර්, සංධවනියෙන් පසු අපට සිංදු වලට මියුසික් පුරුදු කිරීමේ කාරියකුත් කලේ ය. අමරදේවගේ බඹරෙකු ආවයි නිරිත දිගේයා, ගීතය අපේම වාදන වෘන්දය සමග ඉස්කෝලේ සඳුදා රැස්වීමට ගායන කලේ මට මතක හැටියට ඒ කාලේ හයේ හෝ හතේ පන්තිවල මල්ලිලා ය. .

ඔය බඹරා සමග ආ අනෙක් සිංදුව මින්දද හී සර ය. නෑ මේක අනංග කතාවක් නොවේ. තනිකරම මියුසික් ස්ටෝරියකි. මාත් එක්කම ෆ්ලූට් එක පිඹින අපි තුන්දෙනෙක් සිටියෙමු. අනෙක් දෙන්නාගේම නමගම නම් මේ මොහොතේ සිහියට නොඑයි. එයින් හොඳම ෆ්ලූට් කාරයා පිම්බේ හයි ජී, නැත්තං උච්ච සප්තකයේ ස්වර නැගෙන යාන්තං වියතක් විතර වත් දිග නැති, පුංචි ඇඟිල්ලක් විතර නළාවකි. අනිත් අපි දෙන්නාටම තිබුණේ ජී ෆ්ලූට්ය. මේවායේ පහල ස්වර ගාම්භීර ගැඹුරකිනුත් උච්ච ස්වර පසාරු වෙන තියුණු බවකිනුත් පිඹින්නට හිත පත කෙසේ වෙතත්, හොඳට හුළං පිරෙන පපුවකුත්, සියුම්ලෙස පාලනය කලහැකි තොලකුත් වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍යතාවයක් ලෙස අපි තේරුම් ගෙන සිටියෙමු. මේ හේතුව හින්දා වෙලාවක් ලැබෙන හැම වෙලේම මේකට හුළං පිඹීම අපේ විනෝදාංශය වූ අතර, එක එක සිදුරෙන් නැගෙන ස්වර සිහිතබා ගැනීමත්, විශේෂයෙන් හිලේ බාගයක් ඇඟිල්ලෙන් වසා පිඹින කෝමල හා තිව්‍ර මා ස්වර හරියටම  ඇල්ලීමත් අපේ අනාගත සිහින විමානවල බිත්ති පුරා වැටී තිබුණු සෙවනැලි බවට පත්වී තිබුණේ ය.

ඉතින් මින්දද හීසර ගහන්නට තැත්කවන කාලය වෙද්දී, බෙග්ගේ සිංදු කෑලිත්, මිල්ටන් පෙරේරාගේ සිංදු කෑලිත් එයිටත් අමතරව අපිම හදාගත් එක් එක් සංගීත ඛණ්ඩයනුත් අපේ ගෙවල්වල උන් තොරතෝංචියක් නැතුව අසා තිබුණි. මතක ඇති එක සිංදුවක් නම් 'කුමාරි ආදර මැදුරේ' ය. ඒක නං අද උනත් ඕනෑවට වඩා හවස්වෙලා ගෙදර යන්න වෙන දවසකට වගේ කියන්නට පුළුවන් ජාතියේ සිංදුවකි. අනුමානයක් නැතුව ප්‍රේමකීර්ති මේක ලියන්න ඇත්තේ අත්දැකීමකින්ම කියලාත් හිතේ.



මේ සියල්ලෙන් පස්සේ කැම්පස් යන කාලේ වෙද්දී, අර පත කෙසේ වෙතත් හිත නං පිරී ඉතිරී, මගේ හිතේත් තිබුනේ එක්තරා විදිහක ෆ්ලූට් කාරයෙක්ගේම හිතිවිලිය. ඉතින් ඇඳුම් කැඩුම් එක්ක මගේ ජී ෆ්ලූට් එකත්, තාත්තා අරන් දී තිබුණු සී ෆ්ලූට් එකත් කොළඹ ආයේ ය. කොමන් රූම් එකේ වැඩිපුර කවුරුවත් නැති හැන්දෑවල, මගේ මින්දද හී සර අහපු රසිකයෝත් එකෙක් දෙන්නෙක් වත් සිටියෝය. දැන් වාගේ අතේ කටේ සාක්කුවේ රුවාගන කණට කළාඳුරු කැට ඔබාගන සිංදු අහන මෙවලම් නොතිබුණු ඒ කාලයේ, යාන්තං හිල් බටයක හුළං අතුල්ලන මටත් අපේ විද්‍යා පීඨයේ සමහරු සංගීත කාරයකුට වගේ සලකන ගතියක් ඇතිවී තිබුණි. මතක ඇති තරමින්, ෆ්ලූට් එක පිම්ඹ අනිත් එකා එරල් ය. ඒත් පිඹිනවාට වඩා, තරමක් පදම් වී, මට කියා සංගීතයක් ගස්සවා එන්ජෝයි කිරීම හතර පස් වතාවක් සිද්ධ වුනා මට මතකය.

ඔයින් මෙයින් පළමු වසරේ අවසාන කාලය වෙද්දී, අපේ බැච් එකේ ෆ්ලූට් කාරයෙක් ලෙස, විශේෂයෙන් මගේ වාදනයක් කවදාවත් නොඇසූ කාණ්ඩ අතර යම් තරමක නමක් දිනා ගන්නට මට හැකිවී තිබුණි. විද්‍යා පීඨයේ වාර්ෂික සංගීත සන්ධ්‍යාව හා අපරදිග නැටුම් සංකලනය වූ තමාෂා ව සංවිධානය කරන්නේ ඒ අවුරුද්දේ ශිෂ්‍ය සංගම් බලය අතේ තියන දෙවන වසරේ සිසුවෝය. මේකට කෑලි දෙකකි. තවමත් එහෙම යැයි සිතමි. මුල් කෑල්ල, නව කලාගාරයේ සිංහල සම්භාව්‍ය සංගීත උත්සවයකි. දෙවෙනි කෑල්ල, කිං ජෝජ් හෝල් එකේ, බෑන්ඩ් එකක් හා නොන්ස්ටොප් සංගීතයකි.

අර නවකලාගාර කෑල්ලට, එදා ආවේ අමරදේව, වික්ටර් රත්නායක, නීලා වික්‍රමසිංහ, සනත් නන්දසිරි, මල්කාන්ති, දයාරත්න වැනි ගායක ගායිකාවෝ ය. එ් ගොල්ලට සංගීතය දෙන්නට ආවේ බොහෝවිට ගුවන්විදුලි සංස්ථා වාදක මණ්ඩලයට අනුබද්ධ සංගීතඥයෝ ය. මේ අතරට එකතුවන අපේම අයත් එක්කෙනෙක් දෙන්නෙක් සෙල්ලං පෙන්වීම සිරිතකි. මේ චාන්ස් එක ලැබීමත් ගෞරවයකි. බැචාලා අතර තියෙන්නා වූ, පිළිගැනීමේ සංකේතය කි. ඉතින් කතාව කෙටියෙන් කියනවා නම්, අපේ පළමු වසරෙන් බටනලා වාදකයාව ස්ටේජ් එකට නග්ගන්නට කොහෙන් හෝ තීරණයක් ආයේය. මං හිතන හැටියට නම්,
"උඹලගේ කවුරුවත් නැද්ද මචං"
" අඩෝ... අරූ ෆ්ලූට් ගහනවා නේ ද? උගෙන් අහපන්"
වැනි කුමන්ත්‍රණයක් විය යුතු ය.

හිත ඇති එකා පත හොයා ගත යුත්තේ තමුන් දෑස් මානයට එන අවස්ථාවන් තුලින්ම ය. එහෙව් එකේ මෙහෙම චාන්ස් එකකට බෑ කියා යාළුවන් ගේ හිත් රිදවීම නොමනා නිසා, එදා මම තමාෂා ආවේ ෆ්ලූට් එකත් අරගනය.

ස්ටේජ් එකේ වාඩිවී සිටි සංගීත කාරයින් සිටියේ ගායකයා වාඩි ගන්නා කොට වේදිකා කෑල්ලට පස්සෙනි. ඉස්සරහින් හිටියේ තබ්ලාව වාදනය කල විජේරත්න රණතුංග ය. ඊලඟ අංකයට යන්නට සයිඩි තිරය අහල හිටි මගේත් විජේරත්න රණතුංගගේත් ඇස් හමුවී තිබුණි. හීන් හිනාවක් මතකය. ඉන්පස්සේ ඒ ඇඟිලි එහෙ මෙහෙ යන සුකුරුත්තමට හිත වශීවී ගියේය.

නම ගම වගතුග නිවේදනය කල පසු, නවකලාගාරය දෙදරුම් දෙනවාත් සමගම ගිහින් වේදිකාවේ  වාඩි ගන්නවාත්, ටිකක් ඇදලා පැදලා පලමු ස්වර ඛණ්ඩය පිඹිනවාත් මට මතකය. පිටි පස්සේ වයලීනයකින් ඒකට සප් එකක් දෙන්නට හීන් අඬක් නැගුණු අතර, විජේරත්න රණතුංග, අර හිනාවෙන්ම ඔළුව වනා මා දිරිමත් කරන ගමන්ම, තබ්ලා සප් එකත් ඇරඹී ය.

එයා වරද්ද ගත්තේ එතන දීය සිතමි. මුල් පද පේලි හතර පහේදීම උත්සාහ කලත්, මගේ ම කරගන මා වැයූ මින්දද හීසර වාදනයේ තාල් අල්ලා ගන්නට විජේරත්න රණතුංග ගත් උත්සාහය අසාර්ථක වී ගියේය. මෙයින් අතිශය උද්දාමයට පත් වූ, නවකලාගාරය පිිරී ඉතිරී සිටි ප්‍රේක්ෂක සොයුරු සොයුරියෝ, නොනැවතුනු හූ ඝෝෂාවකින් සිය අනුමැතිය පල කර සිටියහ.  අසරණ වූ විජේරත්න රණතුංග අර හීන් හිනාවත් එක්කම පරාජය භාරගෙන මෙන්, යාන්තං තබ්ලාව අතගාමින් නිහඬ වුනත්, මගේ වාදනය නැවතුනේ නම් දිගටම දිගටම දිගටම.... අන්තිම ස්වරය දක්වාම පිඹලා ය ඉන් පස්සේ ප්‍රේක්ෂකාගාරයටත් ආචාර කරලා නැගිට ඒ මෙනි.

එදා, මොනයම්ම හෝ හේතුවකින්, විජේරත්න රණතුංගයන්ට මගේ වාදනයේ තාල් හරියට අල්ලා ගන්නට ලැබුණා නම්....  කියන කාරණය අදටත් ඉඳහිට හිතට නැගෙයි.

හිත තිබුණාටම පත ලොකු වෙන්නේ නැත....

තාල් ඇතුව නලාව පිඹින්නට ඉගෙන ගැනීමත් අත්‍යවශ්‍යය කාරණයකි..

[ලාංකීය සංගීතඥයින් අතර විශිෂ්ඨතම තාල තරංග වාදකයකු වූ විජේරත්න රණතුංග 2011 සැප්තැම්බර් 17 දා අපහැර ගියේය.]


Continue Reading...

Thursday, October 19, 2017

අන්දර කැලේ දර ලීයේ කුරුමිණියා


අපි පුංචි කාලේ පී.ජී. මාටින්ස් සමාගමේ, ඩී.අයි. ලෙදර් සපත්තු ජෝඩුවක් ගත්තාම තරමක කාඩ්බෝඩ් පෙට්ටියක් ලැබුණි. මේ පෙට්ටියකින් මං හදාපු රේඩියෝවක් අපේ ගෙදර ජනෙල් උළුවස්සක් උඩ සෑහෙන කාලයක් තිබුණා මට මතකය. අපේ අම්මාට මං කරාපු ඔය වගේ දේවල් ඉතාම අගේ විය. මේ රේඩියෝවේ, ඩයල් එක, ස්විචි යතුරු ආදී අංගෝපාංග සේරම ලස්සණට අමුණා තිබුණ ද, ඒක වැඩ කරන්නේ නැත. පේන ටික ඒ වාගේම පේන්නට හදන්නට මට ඒ කාලේත් සෑහෙන දුරට පුළුවන් නමුත් නොපෙනෙන ටික හදන එක නම් බැරෑරුම් කාර්යයක් වෙයි. ඉතින්, සපත්තු පෙට්ටියේ පැස්ටල් පාට අතුරා අරක්කු මූඩි අලවා හදා තිබුණ රේඩියෝවට මොන ජංජාලය කලත් සිංදු කියවන්නට නම් නොහැකි විය.

සංගීතය සම්බන්ධයෙන් මගේ බොහෝ අත්දැකීම් ඔය අහලින් යන ඒවා වෙයි. හතරේ පහේ ඉන්නා කාලයේ, වෙන්නප්පුව පල්ලියේ මංගල්ලයක් දවසක දී, පාරෙන් එහා පැත්තේ මඩමේ තාප්පය අයිනේ හරස් අතට අල්ලා පිඹින බටනලා ගොඩක් ලඟ වෙලෙන්දෙක් හිංදිදෝ මංදා ඉතාම මියුරු වාදනයක් වයමින් සිටියේය. අනික් මිනිසුන් ළමයින් වාගේම මේ සංගීතයට තුෂ්නිම්භූත වී සවන්දුන් අයියාත් මමත්, අතේ තිබුණු මුදල් එකතු කරලා බටනලා දෙකක් මිලදී ගතිමු. කෙලින් අල්ලා පිඹින, කට තියන කෙලවරේ ඉපියාවක් රැඳවූ බටනලාව, නිකම්ම පිම්ඹත් හඬක් උපදවන නමුත්, හරස් අතට අල්ලාගෙන පිඹින, මේ හිල් විදපු බට කෑල්ලට කොච්චර පිම්ඹත් නැගුනේ සූස් සූස් ගාන හුළං සද්දය විතරම ය. ඒ වුනත් අර වෙලෙන්දා මේ වාගේම බට කෑල්ලකින් නැගූ අච්චර සංගීත ස්වර හිතේ තිබුණු අපට මේක ඉගෙන ගන්නා එක අත අරින්නට හිතුණේ ද නැත. ගිනිපෙට්ටියක් නැති වෙලාවක, නිවිච්චි අඟුරු කැටයකට පිඹලා පිඹලා පිඹලා ගිනි දල්ලක් නග්ගා ගන්නවා වගේ මේ හිල් බට ලීයෙන් යාන්තං සංගීත ස්වරයක් මතුකරගන්නට මට පුළුවන් වුනේ ඒ සති අන්තයම ආච්චිලාගේ ගෙදර සාලයේ පුටුවක් උඩට වී, පිඹලා පිඹලා පිඹලා ය. එදා ඒ දවස, ඒ මොහොත නං, අපේ අයියාව පරද්දා යමක් කල දවසක් හැටියට තාමත් මතකයේ තිබේ.

සද්ද කිරීම එකකි. සංගීතය තව එකකි. සංයමයකින් සද්ද කිරීම කියා හිතෙන්නට පුළුවන් නමුත්, සංගීතය කියන්නේ නලාවකුත් සංයමයකුත් විතරක්ම තිබුණාට කරන්නට පුළුවන් දෙයක් නොවේ. අර ඩී. අයි. පෙට්ටි රේඩියෝව වාගේම ඒකට තවත් පරිපථ කීපයක්ම හරියට සකස්වී ඇවිණිී තිබිය යුතුය. කෙසේ වෙතත්, බටනලාව පිඹීමත්, එහා මෙහා වී, චප්ප වී තැලී වාගේම රණ්ඩු දබර වලදී පාවිච්චියට අරගෙන පැලී කැඩී ගියත්, අවස්ථාවක් ලැබුණාම අර වාගේ පල්ලි මංගල්ල වලදී, හරහට පිඹින බටනලාවක් මිලදී ගන්නා එකත් කොහොමටත් එයින් පස්සේ මගේ සෙල්ලමක් වී තිබුණි. මේ නලා වාදනයට ඉස්සර නං මගේ සංගීත භාණ්ඩය වුනේ ඩොලැක්කියයි. මං හිතන්නේ අපේ ගෙදර අය මං ඩොලැක්කිය ගහනවාට වඩා බටනලාව පිඹින එකට මනාප වන්නටත් ඇත.

බටනලා පිඹීමේ හැකියාව පුරුදු පුහුණු කරගැනීමේ වැදගත්ම ප්‍රයෝජනය වූයේ නවසිය හැට අටේ විතර අධ්‍යාපන සියවස වෙනුවෙන් පාසල් තූර්ය වාදක කණ්ඩායම් හැදූ කාලයේ දීයි. අපේ ඉස්කෝලේ සංගීත සර් වූයේ භාත්ඛණ්ඩේ ගිය සිතාර් වාදකයකු වූ ජස්ටින් සිල්වා සර් ය. කවුරු කොහොම තීරණය කලාද දන්නේ නැතත්, මුලින්ම සිදුවූයේ තූර්ය වාදක කණ්ඩායමට සංගීත භාණ්ඩ මිලදී ගෙන ඒමයි. ඒවා අතර පිත්තලෙන් සාදා ක්‍රෝම් ආලේප කල බටනලා අඩුම ගණනේ දහයක් විතර තිබුණි. මේවා ඇඟිලි තියා හිල් වැසිය යුතු හරස් අතට හිලට කට තියා පිඹින පෙරදිග ඒවා මිස, ඔබන්නට බොත්තම් ඇති අපරදිග ඒවා නොවේ. අර මං පිඹ පිඹා හිටි එක ජාතියේම මුත් බටය පිත්තලය.

භාණ්ඩ ගෙනවිත් වාදකයින් තේරීම පටන් ගත්තේ බටනලා පිඹින්නට පුළුවන් අය තේරීමෙනි. අපේ මුළු පන්තියෙන්ම ස්වර සද්ද වෙන්නට මේ බම්බුව පිඹින්නට පුළුවන් වුනේ එක් කෙනාටය. ඉතින් අපේ පංතියේ ප්‍රථම තූර්ය වාදක කණ්ඩායම් සාමාජිකයා වූයේ මමයි. ආරම්භය බට නලා වාදනයෙන් වුනත්, අර පිත්තල බම්බුව හරස් අතට උස්සාගෙන පිඹින ගමන් සරඹ කරන වැඩේ කාටවත් හරිහමන් විදිහට කරගන්නට බැරිබව ඉතා ඉක්මනින්ම පැහැදිලි විය. තූර්ය වාදක කණ්ඩායමේ බටනලා කාරයින් සියලු දෙනාටම බටහිර වාදන භාණ්ඩයක් වූ මෙලෝඩිකා ආදේශ විය. ඒකේ පිඹීම විතරය. ස්වර අල්ලන්නේ පියානෝ ආකාර යතුරු පුවරුවක යතුරු ඔබාලාය. වැඩේ ලේසිය. පුරුදු පුහුණු වී වාදනය කරන්නට සිද්ධ වුනේ සිංදු තුනකි. ජාතික ගීය, වැඩ හුරුවීමේ ගීය හා සැමදන මන දිනු සියවස් ගීතයයි. හොඳ වෙලාවට ඊරියගොල්ල මහත්තයා ඒ දෙකට අමතරව වෙන සිංදු ලිව්වේ නැත. සියවස එකසිය එක දෙක වෙන කාලය වෙද්දී, තූර්ය වාදක කණ්ඩායම් ද හීන් සීරුවේ අභාවයට ගියේය. ඒ අතරතුර ඩඩ්ලි සේනානායක පිළිගැනීමේ උත්සවයකට ඇරෙන්නට වෙන වැදගත් දේකට තූර්යවාදනයක් සඳහා සහභාගි වුනා මතකයක් නැත. අර සිංදු තුනට අමතරව හරියටම සංගීත භාණ්ඩ වාදනය කල හැකි අය ඉස්කෝලේ කටයුතු වලදී අර භාණ්ඩ වාදනය කලත්, යුනිෆෝම් ඇඳලා කල්බලමින් මෙලෝඩිකා පිඹීමේ වැඩේ එතනින් අවසාන විය.




මගේ බටනලා පිඹීමේ ඉතිහාස කතාවේ දෙවන අදියර ඇරඹෙන්නේ නවසිය හැත්තෑ එක දෙක හරියේ දීයි. ඔය කාලයේ දී මෙලෝඩිකා එක නිසා බටනලාවෙන් දුරස් වී සිටි මට බටනලාවක් හදන්නට කල්පනාවක් ආයේය. වැඩියම මේකට හේතුවුනේ ඒ කාලයේ හා හපුරා කියා වෙළඳ පලට ආපු ප්ලැටිග්නම් පාට කූරුය. මයියොක්කා බඩයක් වැනි තුඩක් සවිකල ප්ලාස්ටික් බටයක් වූ මේවායේ ඇතුලේ ඇත්තේ මොනවාද යන සාධාරණ ප්‍රශ්නයට විසඳුමක් සෙවීම ප්‍රධානම කාරණයක් විය. අනෙක් කෙලවරේ ඇති සුදු ප්ලාස්ටික් පියන පරිස්සමින් අයින් කලාම, ඇතුලේ ඇති පොලිතීන් බටයක පුළුන් පුරවා තිීන්ත පොඟවා සාදා ඇති තීන්ත බටය අහකට ගන්නට පුළුවන් බව දැන ගැනීමට වැඩිකල් ගියේ නැත්තේ, මේ මුල් පාට කූරු වියලී නොලියවී යෑමේ ලෙඩක් ද තිබූ නිසාය.
දම්පාට ප්ලැටිග්නම් කූරක ප්ලාස්ටික් බටයක ලිපේ දමා රත්කර ගත් කම්බි ඇණයකින් සිදුරු හදා සෑදූ මගේ මුල්ම බටනලාවේ ස්වර හිල් තිබුණේ තුනකි. හිල් තුනේ නළාවේ, හරියටම ස්වරම නොවූ හඬවල් හයක් විතර ගන්නට පුළුවන් නිසා, ටිකක් වැර වෑයම් කර බෙග් ගේ "ඔය හද පතාල ආමී" හෝ එහෙම නැත්නම් මිල්ටන් ගේ "දෙව් දුව පලා ගියා දෝ" සිංදුවල මුල් හරිය වගේ මට ඇහෙන තාලයක් නගා ගන්නට පුළුවන් විය. දවස් දෙක තුනකට පස්සේ දවසක කොළඹ ගිය අපේ තාත්තා, බොම්බේ හාර්මෝනියම් එකෙන් මට 'C' ෆ්ලූට් එකක් ගෙනැවිත් දුන්නේ ය. අර කොට ප්ලැටිග්නම් බටයේ උච්ච ස්වර ඉහලටම ඇසී තිබුණි.

අපේ ගෙදර කවුරුවත් සංගීත කාරයෝ නුවූහ. ඒ නිසාවෙන්ම තමුන්ට බැරි දේ පුළුවන් උන් ගැන යම් ඇගැයීමක් ගෞරවයක් තිබුණා විය යුතුය. එසේත් නැත්නම් අර ප්ලැටිග්නම් කූරේ කාන්හාර් නාද රටාව අහලා අහලාම ඇතිවෙලා තිබුණා වන්නටත් පුළුවන. ගෙදර කවුරුවත් මට පිඹින්නයැයි ඇවටිලි කරනවා මතක නැති වුනත්, ඉඩක් ලැබෙන හැම වේලාවේම පාහේ බට නලාව 'අත්හදා' බැලීම මගේ සිරිතක් බවට පත්වුනේය. අපේ රටේ හැම දේම වගේම මගේ සංගීත ජීවිතයත් හැඩ ගැහුනේ වෙනස් වුනේ දේශපාලනික හේතු සාධක මත බව මෙතෙක් කියවූ දේවලින් පැහැදිලි වන්නට ඇතැයි සිතමි. මේ පසුව ලියවෙන දේවලටත් ශ්‍රී ලාංකික දේශපාලනය සියයට සියයක්ම පාහේ දායක වී තිබේ. මේ ප්ලැටිග්නම් කූරෙන් වස්දඬු නලාවට පරිවර්තනය වූ යුගය වනාහී, ඩඩ්ලි සේනානායකගේ හත් හවුල් ආණ්ඩුව නිල කාලය වූ පුරා පස් අවුරුද්දක් රට පාලනය කර හැත්තෑවේ ජන රැල්ලට හසුවී ගසා ගෙන ගිය යුගයයි. මෙවැනි පරිවර්තනයකින් පසු අපේ ගම් පලාත්වල සියලු කටයුවලත් පාට මාරු වීම සාමාන්‍ය ස්වභාවයයි. මේ කොළ නිල් මාරු කිරිල්ල හොඳින්ම එළිපිටම වෙන්නාවූ ස්ථාන දෙකක් තිබේ. එකක් පොලිසියය. අනික් එක පාසැලය. අපේ ඉස්කෝලේ සිද්ධවූ මාරු වීම් අතර එක් මාරුවක් වූයේ සංගීත සර් වූ ජස්ටින් සිල්වාගේ තැනට කුවින්ටස් ජයකොඩි සර් පත්වී ඒමයි.

මට යාන්තම් මතක හැටියට නුවර පැත්තේ පාසලක සිට පැමිණි ජයකොඩි සර්, සිය යාව ජීව ගෝල බාලයන් හතර පස් දෙනෙකුද ඒ සමගම රැගෙන ආයේය. ඒ හැමෝම උත්පත්තියෙන්ම සංගීත කාරයෝ වූහ. ජන්ම ලාභයෙන්ම සංගීතය අතේ කණේ පලඳාගෙන පැමිණි උන් අපේ පන්තිවලද නොහිටියා නොවන මුත්, ඒ වනතුරු සංගීතය විෂයයක් ලෙස හදාරා සංගීත කාරයින් වෙන්නට හිතූ පැතූ අය අපේ පාසලේ, මා දන්නා තරමින් නම් හිටියේ නැත.  ගායනා නාට්‍ය වැනි දේ එයිට කලින් අපේ ඉස්කෝලේත් අඩු නැතුව කෙරුනා මුත්, අළුත් විදුහල්පති වූත් සාහිත්‍යකාරයකු කලාකාරයකු  වූත් පැන්ටලියන් සර්ගේත් ජයකොඩි සර්ගේත් සංයෝගය සංගීත හා කලා කටයුතු වල අළුත් පුනරුදයක් ඇතිකල බව නම් නොරහසකි. ඇත්තෙන්ම ජයකොඩි සර්ගේත් ඒ කිට්ටුවම වාගේ පැමිණි නැටුම් සර්ගේත් ආගමනය කල්යල් බලා පිඹුරුපත් සාදා කෙරුණු වෙනස්කම් විය යුතුය. ඒ බොහෝ දේ පසුපස, සිටි බලවේගය විදුහල්පති වූ පැන්ටලියන් සර්ම වියයුතුය.

සංගීතයට කෙසේ වෙතත්, බටනලාව පිඹින්නට හැකියාව තිබීමේ හේතුව නිසා, ජයකොඩි සර් හැදූ සංධවනි කණ්ඩායම නොහොත් ඕකෙස්ට්රා එකේ සෙල්ලම් කල බටනලා කාරයින් තුන්දෙනාගෙන් එකකු වීමේ වාසනාව මට ද උදාවිය. ලියන්න උත්සාහ කරමින් වටේ ගිය කතන්දරය පටන් ගන්නේ එතැනිනි. ලියාදුන් ස්වර ටික තාල් නොවරද්දා පිඹීමේ විස්මිතය පුරුදු පුහුණු වීමෙන්ම ප්‍රගුණ කරගන්නට පුළුවන් වූ නිසාවෙන්, ෆ්ලූට් කෑල්ලකින් ආරම්භ වූ මේ සංධවනිය, මණ්ඩලයෙන්, දිස්ත්‍රික්කයෙන් මුල්තැන දිනා වයඹ පලාත් තරඟය දක්වාම දුර දිග ගිය අතර, කුරුණෑගල මලිය දේවයේ තිබුණු පලාත් තරඟය දවසේ, ජයකොඩි සර්ගේ යාළුමිත්‍රකමට භාණ්ඩ සුසර කරලා කණ්ඩායමට උපදෙස් උපදේශන දෙන්නට ආ කපුගේ එක්ක කතා බහ කරන්නට (අහගන ඉන්න එකත් ඉතින් කතා කිරීමක්ම තමයි නේ ද?) ලැබුණ වාසනාවත් ගෙනායේය.

නම ගම කොහොම වුණත් නැටුං සර් කියා අප හැඳින්වූ නැටුං සර් මේ හැම දේකදිම සයිඩි සපෝට් කාරයකු වූ අතර, සංගීතයත් නැටුමුත් දෙකම කරන කොල්ලනුත් සිටි නිසාත්, නැටුම් වලට බෙර වැයුමත් සංගීතයක්ම වූ නිසාත් ජයකොඩි සර් ඉන්නා තැනක නැටුං සර්රුත් ඉන්නා එක සාමාන්‍ය සිරිත වී තිබුණි. දිස්ත්‍රික්ක නැටුම් තරඟ වලට පුරුදු පුහුණු කල පාරු කවි කණ්ඩායමේ රැඟුමට සංගීතයකුත් එකතු කරන්නට නැටුං සර්ට හිතෙන්න ඇත්තේ මේ සංධවනි වැඩ නැගලා ගිය නිසා වන්නට පුළුවනි.

ඒකට මුලින්ම අල්ලාගෙන තිබුණේ හත්මුතු පරම්පරාවක්ම සංගීත කාරයින් වූත්, ස්කෝල පිට්ටනියේ සංගීත සංදර්ශන යේ පැට්රික් දෙණිපිටිය ඇතුළු සියැක් වාදක කණ්ඩායමේ වාදන වල වුණත් අවුට් යන තැන් ෆ්ලැට් යන තැන් කියා පෙන්නනට තරම් තියුණු කර්ණක්කාරයකු වූත් වයලින් එක දිහා ඈත ඉඳලා බලලා මියුසික් ගහන්නට පුළුවන් ලූෂන් ය. බෙරයත් වයලීනයත් ඕනෑ පදම් ඇති වුනත්, නැටුං සර්ට මේ රංගනයට ෆ්ලූට් කාරයකුත් ඕනෑම වූ හින් දා, හලාවත තරඟයට දවස් තුන හතරක් තියලා ජයකොඩි සර්, 'මෙන්න මේ ආන්ජලෝව අරන් යන්න' යි නැටුං සර්ට කීය.

ස්වර නැතුව පිඹින්න බෑ, තාල් අහුවෙන වා හොරයි ආදී නොයෙකුත් කතා කියලා පින්සෙන්ඩු වුනත් ජයකොඩි සර්ගේ රෙකමදාරුව හින්දා 'මේක ගහන්ඩ ඕයි මහ කජ්ජක් ද? පිඹිනවා පිඹිනවා...' කියා කොචොක් කෙරුවා මිස, ඒ තැනක එක සීරුවට ඉඳලා මගේ නලා පිඹිල්ලේ ගුණා ගුන බලන්නට නං නැටුං සර්ට ඉස්පාසුවක් තිබුණේ නැත. නැටුම පුරුදු වෙන වෙලාවල නටන උන්ගේ කකුල් එහා මෙහා වෙන එකත්, බෙරය ගැහිල්ලේ සිහියත් මිස, ලූෂන්ගේ වයලින් සද්දය අනුකරණය කරන්නට මා ගත් අසාර්ථක උත්සාහය ගැන සර්ගේ ඇහැ කණ යොමුවුනේ නැත. කෙසේ වෙතත් එහෙන් මෙහෙන් ස්වරයක් දෙකක් අල්ලලා ලූෂන්ට සප් එකක් දීලා වැඩේ ෂේප් වෙන ගතියක් තිබුණු හින් දා මගේ දාඩිය දැමිල්ලත් යං තරමකට පදං වී ගියේය.

නැටුම පාරු කවි කිය කියා කොල්ලන් පේලි දෙකක් පාරු පදින දර්ශනයකි.

ඔයින් මෙයින්, දිස්ත්‍රික් තරඟයට ගිහින් හලාවත පල්ලිය ලඟ ඉස්කෝලේ පන්ති කාමරයක නටන කට්ටිය ඇඳුන් අඳින වෙලේ නැටුං සර්ට හදිස්සියේම මියුසික් කාරයින්ටත් පාරු කාරයින්ගේ ඇඳුං අන්දලා වේදිකාවට නැග්ගවීමේ මහා භයානක අදහස ආයේ ය. මිනිහා කිව්දේ කරන, කරපු දේ කියන හිතේ කහටක් නැතුව තොලකට තෙමාගන්නා අහිංසකයකු වූ හින්දා, මගේ පිංසෙංඩු වීම ගණන් ගත්තේ නැත. ඉතින් සරොං කොට ඇඳලා ඉන වටේ ලේන්සු බැඳලා, ඔළුවට තලප්පාවලුත් බැඳගෙන ස්ටේජ් එකේ පාරු කාරයින් එක්කම පාරුවේ වැනෙන්නට වීම ලූෂන්ට කෙසේ වෙතත්, මට නං සිද්ධ වීම පාරුවේ පුවක් කියාම මිස වෙන විදිහකින් හැඳින්විය හැකි නොවේ. කි

ඒකත් මගේ නොව නැටුං සර්ගේ ය.

ඒ කියූ කවි වලින් මතක හිටියේ පද දෙකකි....

අන්දර කැලේ දර ලීයේ කුරුමිණියා
කන්දර ඇලේ ලිර දායේ මිරිකුණියා.....


නටන උන් හරියටම නැටූ අතර ලූෂනුත් හරියටම වයලින් එක ගැහුවත්, අයිටම් එක ඉවරවෙලා ඔළුව නවාගන ස්ටේජ් එකෙන් බහිද් දී, "මොනාද ඕයි අර පිම්ඹේ...?" කියා ඇසූ නැටුං සර්ට, "මං කිව්වනේ සර් මට මියුසික් බෑ කියලා" කියා කියන්නට තරමට නං මට සිහිය තිබුණි.

නැටුං තරඟ කට්ටිය දිස්ත්‍රික්කයෙන් එහාට ගියේ නැත.






Continue Reading...

Blogroll

About