Wednesday, August 31, 2016

අපේ ලෝකයට ඉර පායපු හැන්දෑව.....

අදත් සැප්තැම්බර පළමුදාවකි. හැම සැප්තැම්බර පළමුදාවක්ම අපේ හිත් අරගෙන යන්නේ එකම එක දවසකටයි. ඒ අපේ කුළුඳුලා උපන්, අපේ මානෙල් අම්මෙක් වූ දවසටයි.

ඒ කොල්ලාගේ නම සුමුදු ප්‍රියකාන්තය. ඉතින් මා තාත්තෙක් වූ දවස හැමදාම හිතට එන්නේ කියන්නට බැරි තරම් සතුටකිනි. 

සුබ උපන්දිනයක් සුමුදු පුතා. 



මට මේ දවස හැමදාමත් මානෙල්ගේ දවසයි.

පහත ඇවිනෙන්නේ අද වගේ දවසක ගිය අවුරුද්දක තැබූ සටහනකි.

---------------------------------------------------------------------------

මල්ලිලා පස් දෙනෙකුට අක්කාව උපන් ඕ එදත් අදත් හෙටත් මටත් කොල්ලන්ටත් අම්මාම වන්නී ය. 


අම්මෙක් දරුවකුට ජීවිතය දෙනවායි කියන්නේ නව මසක් කුස දැරීමටත්, ලේ කිරිකර පෙවීමටත්, කවාපොවා ඇති දැඩි කිරීමටත් ආදී මේ සියල්ලෙනුත් එහා ගිය සදාකාලික වැය වීමක් බව මට කියා දුන්නී ද ඕ මය.

අප‍ේ ලෝකයට ඉර පෑව්වේ 1984 සැප්තැම්බර පළමුදා හවස හයකුත් ගාණටය. සුමුදු ප්‍රියකාන්ත උපන්නේ ගිම්හානය සරතයට අත පාමින් තිබූ, හැන්දෑ ඉරේ දීප්තියෙන් සූතිකාගාරය‍ේ විසල් වීදුරු කවුළුව දිදුලු දුන් ඒ සවස් වරුවේය. 

මා අතින් මේ වචන ටික ලියැවුනේ ඒ කොල්ලා ලොකු මහත් වී විශ්ව විද්‍යාලයට යන්නට අර අදින සමයේය. 

ඒ වචන හරි බරි ගස්සා තනුවකට ගොනු කලේත් සංගීතය මුසුකරවා හිතට දැනෙන හැඟීමක් කලේත් බිබිලදෙණියේ මහානාම හාමුදුරුවෝ ය.

ගයන්නී නම් මානෙල් කුසුම් රේණුකා වූ ඕ මය. 


අහන්න ----සත්පියුම්-----
Continue Reading...

Tuesday, August 30, 2016

රතුපාට පැල්ලමක්

රතුපාට පැල්ලමක්
හෙමි හෙමින් මෝදුවෙයි
සුදුපාට වෙළුම් පටියේ
හරි මැදින් පටන් ගෙන
නූල් පට දිගේ විත්
නැවතිලා මොහොතකට
හරස් නූලක් දිගේ
ගලා යයි රතු පාට
ගැට ගැසුණු දෙකෙලවර
කතුරු තුඩගින් කපා
ලිහා ගලවා මුදා
විසි කරමි වෙළුම් පටි
සෝදා ගලන ජලයෙන්
පිසදා ගිනි වතුර පෙඟි පුළුනෙන්
මාත්තු කොට තෙත
වෙළමි මම නැවතත්
සුදෝ සුදු වෙළුම් පටි
රතුපාට පැල්ලමක්
හෙමි හෙමින් මෝදුවෙයි
සුදුපාට වෙළුම් පටියේ
හරි මැදින් පටන් ගෙන
නූල් පට දිගේ විත්
නැවතිලා මොහොතකට
හරස් නූලක් දිගේ
ගලා යයි රතු පාට...! 2014 නොවැම්බර


Continue Reading...

Sunday, August 28, 2016

පැත්ත ඇලවුනු කුරිසියකි කතිරය - පෝලිමේ ගොස් සීරුවෙන් අප අපිම ඇණ ගහන





නෙලපු මල් අරගෙන අතින්
සමාකරගෙන
කරපු පව් කැළණියෙන්
මුදා බඳ පටි
දන් දෙමින් තරුපටි
දණ ගසත් ගජිඳෝ
විලිස්සා දත්
දිමුතු පැහැපත්

නිල්පාටම උණත්
ඉහ උඩින් අහස තවමත්
උදේ හවසට පේන
පල්ලුව තද රතුයි කොහොමත්

පැලවුනු
බිම්බෝම්බ ගස්වල
හැදේවිද හෙට
මොන මොන වගේ පලවැල
උඩගෙඩි කොහොම කැඩුවත්
වැ‍ෙටන කොට බිම
පළු දෙපළු වෙන් වෙත්

ජීවිතය ගඟුලක්ව
ගැලිය යුතුමය
පෙණ නගා ගයමින
ඒ නිසයි මේ ගල්ගෙඩි
‍වැටෙන්නේ ඉහල ඉඳ
ගලන ගංගා වලට පහලට

පඬු වුනත් කහටකි
නොහේදෙයි නොවෙයි පිරි සුදු
කොහොම ගැහුවත් ගල උඩ
රෙදි පෙරෙදි ගලවා නිරුවතින්
පොඟ පොඟා වැගිරෙන සුළු දියෙන්

ගල් උඩම පහරන බලල්
අත්වල සුවඳ ඇත
නැතත් නියපොතු
පෙරලෙති තල තලා කැකුණැට
සූකර පැටව් හිනැහෙත

පැත්ත ඇලවුනු
කුරිසියකි කතිරය
පෝලිමේ ගොස්
සීරුවෙන්
අප අපිම ඇණ ගහන
මේ කොහොම බැළුවත් ඉතින්
මලගිය උන් විතරමයි දිනුම්

-ලොකු-

2009-11

Continue Reading...

Friday, August 26, 2016

ද ලිවින් වෝල් ඔෆ් ලුණුගල


“අම්මා, මේ තාප්පෙ වවල තියන පැල අම්මා හිටවපුවා ද?“

“කොයි පැල ද පුතා... ඔය රතු පාට එව්ව ද?.... කොච්චර ගැලෙව්වත් ආයෙත් වැවෙනවනෙ පුතා...!“

මේ සජීවි තාප්පය තියෙන්නේ ලුණුගලය.

අපේ මානෙල්ලාගේ ගෙදර වත්ත මායිමේය. කන්ද කපා ගෙපල හැදෙන කඳුකරයේ බොහෝ ගෙවල් වල වැට මායිම කළුගලෙන් බැඳි මේ වාගේ සීමා තාප්පය.

මේ තාප්පයේ තැන තැන ඉඩ තියා තියෙන්නේ උඩහ ගෙපලේ එකතු වන වැහි දිය නිදහසේ බැස යන්නට විය යුතුය. ඒ කුරස් හොයාගෙන ඇවිත් වැවෙන මීවනත් අනෙක් ශාකත් නිසා මේ තාප්පය ස්වභාවිකවම සජීවී වී තිබේ....

අර කොළඹ තාප්පයක යකඩ කොකු ගහලා මල් පෝච්චි එල්ලලා වතුර වක්කර ගන්න අමාරු හින්දා අයින් කල එකේ, ඔය මන්දිරේ ලුණුගලට ගෙනාවා නං, අදටත් තාප්පේ මල් පිපෙනවා නේ ද හිතුණා ඉතින්.....!!

කන්ද කපා ගෙපල හදා ගෙවල් හදන්නට බලාපොරොත්තු වන යාළු මිත්‍රයින්ගේ අවධානය පිණිසයි.









Continue Reading...

Wednesday, August 24, 2016

බෝල් පොයින්ට්

බිම බලා බිම වැටී 
හිස ගැසුණු කවන්ධය
සීරුවට ලිස්සා 
නිල් තීන්ත තවරවන
සුමට සුරුවම් 
ලෝහ ගෝලය
තුඩින් ගිලිහුණු 
බෝලතුඩු පෑන

මොට්ට ඉඳිකටු තුඩක් වාගේ
සූරයි කඩදාසි මතුපිට
හාරවා පාරවයි
ඉඳහිටක නිල්පාට
ලේ වැකෙන තුවාලය

හිම තලාවක රඟන
හිම නැට්ටුවකු මෙන්
ලතාවට ගලා ගිය
රවුම් මනරම් අකුරු
පෙල ගසා ගී ගැයූ
නිල් බෝල තුඩු පෑන
හති දදා සුසුම්ලයි
සූරයි කඩදාසි මතුපිට

තුට්ටුවක් නො වටිනා
වරක් දෙවරක් ගසා
කුණු ගොඩට වීසි වෙන
බිම බලා බිම වැටී 
හිස ගැසුණු කවන්ධය
සුමට සුරුවම් ලෝහ ගෝලය
තුඩින් ගිලිහුණු
බෝලතුඩු පෑන


2016 අගෝස්තු


Continue Reading...

Monday, August 22, 2016

අටකාමාවට වැස්ස

චිලීයේ අටකාමා කාන්තාරය ලෝකයේ ශුෂ්කතම හා වියලිම කාන්තාරයක් ලෙස සැලකෙයි. වසරකට මිමි එකොලහක පමණ වර්ෂාපතනයක් ලබන අටකාමාව  සමහර වසර වල සැප්තැම්බර නොවැම්බර අතරතුර වැටෙන අනපේක්ෂිත වැස්සෙන් තෙමී මලින් වැසී යන්නේය. පහුගිය ඔක්තෝම්බරයේ එලෙස ආගන්තුක වැහි ඇල්ලකට තෙමුණු අටකාමා කතර වර්ණවත් මලින් වැසී ගියේය.


පුරා හඳක් කැළුම් හැළූ සිහිලසක් නොදී
අහස් කුසේ වලා කුලක් සිනාසෙයි රැඳී
නුවන් කොණින් එබී බලා ආදරේ දිදී
හීන් කඳුලු බිංදු ටිකක් විසුරුවයි රිදී

විසිර හැළුණු කඳුළු බිංදු නිල් වලා කුලේ
හාදු හාදු හාදු තියයි වියලි මිහි තොලේ
දෙනෙත් පියේ සුසුම් නැගේ රත් දෙතොල් සැලේ
කඳුළු බිඳක පෙමින් පිරෙයි වාලුකා තලේ

දහක් දවස් නිමක් නොදැක හිතේ හැංගිලා
මෙතෙක් නොපිපි හීන පිපෙයි හීනයක් වෙලා
පොලෝ ගැබේ අඳුරු කුසේ රහස් මැතිරිලා
හීන් සැරේ හොරෙන් නැගෙයි පෙතිත් පීදිලා

ගලුත් වැලිත් ගිනිත් මිසක තෙතක් නොවු බිමේ
පැළුම් තැළුම් තුලින් නැගී නොපෙනෙනා ඉමේ
රතුත් නිලුත් දෙළුම් පැහැත් සිනිඳු පෙති ලැමේ
තුරුළු කරන් නැගී නැගී ලපැටි අත් නැමේ

සියක් දහස් දිනක් ගියත් නොදී හාදුවක්
මලින් වැසෙයි කඳුලක් සිඹ කාන්තාරයක්
පියා පතක් ඇතත් නැතත් පියාඹයි සිතක්
ආදරයට ජීවිතයට නෑ ඉමක් කොනක්

2015 දෙසැම්බර්





Continue Reading...

හරේ යං හරේ... !!







පාන්දර එකට කිට්ටුව කොටුවෙන් නාස් පුඩු පිඹ හැල්මේ දුවන්නට පටන් ගත් නුවන්ත බස් එක චුට්ටක් හරි හරියාකාරව හුස්මක් ගන්නට අහවරක් ගත්තේ පාන්දර පහට හුන්නස්ගිරිය කන්ද මුදුනේය. භරත නැටුමක් නටන ගිනි කස ලමිස්සියක මෙන් උකුලු තලාව පද්දමින් වංගු, කඳු, පල්ලම් උඩින් පැන පැන නටාගෙන ආ නුවන්ත බස් එකේ සීට් එකකට ගුලිවී පියා ගන්නට දැඟලූ ඇහැ නොදැනුවත්වම පියවී ආපහු ඇරුනේ,
නුවර බයින්න... නුවර නුවර නුවර...අ....යි ගායනා කරන නලින් ගේ අඬහැරයෙනි.

ස්ටෑන්ඩ් එක අයිනේ සී. එෆ්. එල්. බල්බ් වලින් ඔටුණු පැළැන්දූ දොඩං ඇපල් එවරස්ට් කඳු පාමුල සුදු කළු දුඹුරු රෙදි පොරවාගත් වෙළඳ තවුසෝ ධ්‍යානයට සමවැදී හිඳිති. පාර දිගටම බස් ආවරණ වල බංකු දිගේ මුළු නුවරම රෙදි පොරවාගන නිදිගෙනය. මේ සියල්ල පහුකර විත් නුවන්ත බස් එක වැව වටේට රණ හංසී හොයමින් කෝච්චි යයි.

අතක් ඉස්සෙන කෙනෙක් දැකලා එක චුට්ටකට හා ආ  ආ....ආංගාගෙන සැර බාල කරන හැම විඩේකම..... තනි අතින් දොරේ එල්ලී අත සරනේරුව කරගෙන කැරකෙන නලින්..... හරේ.... යාං ..... හරේ....කියයි. නුවන්ත බස් එක ආයෙත් බ්‍රෑ.....ඇං ගාගන ඉගිලෙයි.... ඉස්සරහින් ගිය නමුත් චුට්ටක් නිවී හැනහිල්ලේ ඇවිදින ආරාධනා බස් එක ට චුට්ටි වෙට්ටුවක් දමාගෙන ඉස්සරහට පනින අතරේ, ‘ප්‍රෑං ප්‍රැං ප්‍රෑංකියා කැකිරි හිනාවකුත් හිනැහෙයි. ආරාධනා බස් එකත් ප්‍රැං ප්‍රැං ප්‍රෑං කියා ඔළුව සොලවයි.

කොටුව ස්ටෑන්ඩ් එකේ යකඩ ගරාදි වැටට හේත්තු වී අහල පහල කාණ්ඩය එක්ක විහිළු තහළු හිනා බෙදා ගනිමිනුත්.... විනාඩියකට දෙපාරක් විතර මයියා මයියා මයියාංගනේ බිබිල බිබිල බිබිලංපාරකියන්නට නලින්ට අමතක වුනේ නැත. සුක්කානම කරකවන්නේ වෙන කවුරුවත් වුනත් මේ බස් එක දුවවන්නේ නම් නලින්මය.

හුන්නස්ගිරියෙන් චුට්ටක් ජීවන බර හෑල්ලු කරගෙන, කහට කෝප්පයක් තොලගා විටක් කටේ දාගන හෝන් පාර දෙකක් හඬවා පිටත් වූ නුවන්ත බස් එක දහ අට වංගුව දිගේ ලිස්සා බහින්නේ හිම කඳු පල්ලමක ස්ලාලොම් තරඟයක් දුවන ස්කී ක්‍රීඩකයකු ලෙසිනි. වංගු පලල් කර රවුම් කර කොන්ක්‍රීට් බැමි බන්දා ග්‍රීස් ගෑ දහ අට වංගුවේ, කළු කූඹි මෙන් මූණු ඉඹගෙන පස්සට ගාටා අයින් වී මාරුවන රථ වාහන අද නැත. ඉහලටත් පහලටත් දුවන්නට චුට්ටක් චුට්ටක් නැවතී හැරි හැරී වංගු ගන්නා එකිනෙකා දැක්කාම යාන්තං ඇහි පිල්ලන් ගහන වාහන පේලි දෙකක් සපත්තුවක හිල් පේලි දෙක දිගේ දුවන ලේස් නූලක් මෙන් ඇදී යයි.
වංගු හතරක් පහක් පහුකල නුවන්ත බස් එක, කන්ද පාමුලේ මිදුනු මීදුම් හට්ටියට මෝදුවෙන හිරු මලින් පැණි වැක්කෙරෙන හැටි බලන්නට චුට්ටක්වත් ඉස්පාසුවක් නොගෙන පහලටම දුව ඇවිත්, ‘හසලක, හසලක හසලක.... බාහීන්න..අ....කියන නලින්ගේ හඬට අවනතව චුට්ටක් දණ ගසා හිඳියි. ආයෙත් ඉගිල්ලී වේරගංතොටින් ඇතුළු වී, මයියංගනේ ටවුම මැද්දෑවේ චුට්ට වෙලාවක් පියාපත් හොට ගාමින් වටපිට බලයි.

බිබිලංපාර... බිබිල බිබිල අම්පාරනලින් ගේ අඬහැරය ආයෙත් ඇහෙයි.

ඉගිල්ලෙන බස් එකේ බැෆල් එකෙන් උදා ආසිරි ගීත රාවය ඩුංකු ඩුකුං ඩුකු ඩුංකු ඩුකුං ඩුකු ගාමින් වැක්කෙරෙයි.
පුන්සඳ පායා ගම දිලෙන හැටිත් ඒ ගමේ අපි බයිල කියන හැටිත් කියා ඇරඹුනු උදා ගීතය අතර මැද්දෑවේ බෝල බෝල මැටි අරන් ඇවිත් කූඩු හදන රන් කුඹලා ගැනත්, සෝමෙ අයියා ගැනත් අසමින් වැලි මැටල් ගඩොල් සපයන සුදු පාට යකඩ බොඩි ගැසූ ලොරි පෙල පහුකරගන පියාඹන නුවන්ත බස් එකේ මගියෝ මයියංගනේ උදා සිරි විඳින්නට ඇහැරෙති.

හතරැස් කුට්ටි කුට්ටි කල ගොයම් පාත්ති වල ලා කොල පාට අස්සේ අයිස් කුට්ටි වාගේ හිටගෙන කකුල් මාරු කරන කොක්කු, සුදට සුදේ හිනා කටින් බස් එකට දුවගන එන සුදු යුනිෆෝම් ඇඳගත් කෙලි පොඩිත්තියන් දෙස හොරැහින් බලති. ටිකින් ටික වැඩි වන පොල්ගස් පේලි අස්සේ තනි තල් ගහක් බකං නිලාගන බලා හිඳී. මේ සේරම දිහා නිකමටවත් නොබලන නුවන්ත බස් එක අර කෙලි පොඩිත්තියන් උකුලට ගන්නට ඩිංගිත්තකට නවතියි.

බිබිලංපාර.... බිබිලංපාර....

 හරේ යං හරේ.... !!

2015 දෙසැම්බර






Continue Reading...

Wednesday, August 17, 2016

ගොන් වස්සා සහ එළදෙන

තරුණ එළදෙනක් නගුලකට බැඳි ගොන් වස්සකුට උගේ අවාසනාවන්ත ඉරණම ගැන උසුළු විසුළු කරන්නට පුරුදුව සිටියාය. ටික දිනකට පසු අස්වැන්න නෙළා අහවරව ගොවියෝ ගොන් වස්සාව නගුලෙන් මුදා නිදහස් කර, රැහැනින් බැඳි තරුණ එළදෙන අස්වනු මංගල්‍යය සමරන බිලි පූජාව සඳහා රැගෙන ගියෝය. මේ බලාසිටි ගොන් වස්සා, "ඔබට හිතේ හැටියට නිදහසේ ඉන්න ලැබුණේ, අද දවසේ බිල්ලට දෙන්න යි නේ ද" කියා ඇසීය.


The Heifer and the Ox A HEIFER saw an Ox hard at work harnessed to a plow, and tormented him with reflections on his unhappy fate in being compelled to labor. Shortly afterwards, at the harvest festival, the owner released the Ox from his yoke, but bound the Heifer with cords and led him away to the altar to be slain in honor of the occasion. The Ox saw what was being done, and said with a smile to the Heifer: “For this you were allowed to live in idleness, because you were presently to be sacrificed.”

Translated by George Fyler Townsend. Aesop's Fables (p. 33). Amazon Digital Services, Inc



Continue Reading...

රුබික් ඝණකයට විසඳුමක්...!

අර්නෝ රුබික් එයාගේ මැජික් කියුබ් එක නිර්මාණය කලේ 1974 දී විතරය. ඒක පටන් ගත්තේ කඩා හැලෙන්නේ නැතුව හැම පැත්තටම කරකවන්නට පුළුවන් ගැජට් එකක් හදන්න ගත්ත උත්සාහයකින් වුනත්, කඩා හැලෙන්නේ නැතුව හැම පැත්තටම කරකවන්නට පුළුවන් දෙයක් ඉබේම මැජික් එකක් වන බව එයාට තේරුණේ ඒක හැදුවාට පස්සේ කරකවලා බැළුවාමය. සිරි ලංකාවේ අපි නම් ඕක 48 විතර ඉඳලා අත් දකිමින් හිඳිමු.

රුබික් ගේ ගැජට් එක ටෝයි එකක් වෙලා... වාණිජ භාණ්ඩයක් වෙලා ලංකාවට එද්දී... 81-2 විතරය. තලවකැලේ ටී. ආර්. අයි. එකේ මට කොහොමටවත් නම මතක් කරගන්න බැරි දෙමළ මිත්‍රයෙක් අරගෙන ආපු එක තලවකැලේට ආපු පළමුවෙනිම රුබික් කියුබ් එක විය යුතුය. එදිරිවීරටයි මටයි දකින්න ලැබෙද්දී ඒක තිබුණේ කරකවලාය... පාට කොටු හාමු වෙලාය. මැජික් එක ආපහු පැති හයේ පාට හය තිබුණු විදිහට හදන එකය... !

එදිරිවීර වහාම ක්ල්බ් එකක් ඕගනයිස් කලේය. හවසට හවසට එකතු වී අපි හතර පස්දෙනෙක් කියුබ් එක ගැනත්, ඒක කැරකෙන යාන්ත්‍රණය ගැනත් ඒ යාන්ත්‍රණයේ සුල මුල වටහාගෙන ගණිත සමීකරණ හැට හැත්තෑවක් විසඳා මේ කලවම් වූ රතුපාට නිල්පාට කොළපාට කහපාට තැඹීලි පාට හා සුදුපාට කොටු පාට හයේ මූණත් හයකට ගාල් කර ගැනීමට දීර්ඝ කාලීන සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්විය යුතු යැයි තීරණය කලෙමු. (මේ පාර නම් මේ වැඩේට ලැබී තියෙන්නේ දවස් ගාණක් නේ ද?)

කොයිතරම් කුයි කුයිය තිබුණත් කියුබ් එක අතට ලැබෙන්නේ ටර්න් එක අනුවය. ඒක අතින් අල්ලන එකත් මාර උද්වේගකර මෝමන්ට් එකකි. ඩං ඩං ගාලා හාට් එක දෙදරපු මොහොතකි.... පාට ස්ටිකර් අලවාපු ප්ලාස්ටික් කෑලි ටිකකට මොන තරම් බලයක් තිබේදැයි හැඟුණේ එදා කියුබ් එක පලවෙනි සැරේට මගේ අතට ආ දවසේ ය. ඒ සතිය අග සති අන්තයේ මේ සර්වලෝක පූට්ටුව ටී.ආර්.අයි. රුබික් කියුබ් සමාජයේ නිර්මාතෘ එදිරිවීරගේ කාමරයේ නවතින්නට ආවේ ඒකේ අයිතිකාරයා ගමේ ගිය නිසායි මම හිතමි. එකම චමරියේ උඩ තට්ටුවේ කාමරයක නිදාගත්තත්, එදිරිගෙන් කියුබ් එක ඉල්ලා ගන්නා එක නං අති දුෂ්කර කාර්යයක් බව මට ඒ වෙද්දීත් තේරී තිබුණි. ඒ සිකුරා දා හවස් වරුව වෙද්දී මේ වැඩේ කරන්න නං මැතමැටිකල් ආතල් ගැනීම නවත්තලා මේ කැට එහා මෙහා වෙන විදිහ ට්‍රැක් කර ගන්නට ඕනෑ බව අපි දෙන්නාටම වැටහී තිබුණි. ඒ වෙද්දී මොන කැටේ මොන පැත්තට කැරකුනත් මූණත් හයේ කේන්ද්‍ර කැට හය නොහෙල්ලී තියන බවත් අරමුණ විය යුත්තේ ඒ කේන්ද්‍ර කැට ලඟට අනික් කැට අට ඇදගෙන ඒම බවත් අපේ ටිකිරි මොළ දෙකට අහුවී තිබුණි. කියුබ් එක අරන් මම තරප්පුව දිගේ නැග්ගේ එදිරිට නිදිමත ඉවසන්නටම බැරිවුණු රෑ දොළහ පහුවෙලා බව මතකය.

සෙනසුරා දා කොහොමත් පරක්කු වී අවදිවෙන දවසක් හින් දා.... නිදා ගැනීමේ උවමනාවක් තිබුණේ නැත. ඒ වෙද්දී හදාගෙන තිබුණු මුණතේ කැට මට ඕනෑ ඕනෑ තැනට ගෙනියන්නට මොන මොන කරකැවිලි දාන්නට ඕනෑ දැයි හොයන එක ඉවර වුණේ පහුවදා පාන්දරය. උදේ නවයට විතර කූල් එකේ පහලට බැහැලා එදිරිගේ අතට කියුබ් එක දුන්නාම කන් දෙකට දික්වුණු එදිරිගේ කටත්, එළියටම පනින්නට දඟල පු ඇස් දෙකත් කවදාවත් අමතක වෙන්නේ නැත.....! එදා දවසත් පහුවදාත් ගෙවුණේ කියුබ් එකේ කරකැවිලි පහසුවෙන් සටහන් කරන්නට රූපක පෙලක් හා ඒ සම්බන්ධ රීතීන් හදන්නටය. ඒවා ලොකු ඩිමයි කොලයක අඳින්නට ය.

සතියකට දෙකකට පස්සේ අපේ චමරියේ සීනියර් සාමාජික ටී.ආර්.අයි. එකවුන්ටන්ට් නිමල් සිල්වාගේ බ්රීෆ් කේස් එකත් එල්ලාගෙන මම කොළඹ ගියේ ඇක්සයිස් පොතක ලියාගත් 'රුබික් ඝණකයට විසඳුමක්' පිටපතත්, ණයට ඉල්ලාගත් රුබික් කියුබ් එකත් ඒකේ දමාගෙනය.

එදා ඒ ගමන යද්දී හිතේ තිබුණු බලාපොරොත්තු කියුබ් එක හදාපු දවසේ රුබික්ගේ හිතේ වත් තිබුණා දැයි සැකය. ඔය දවස් වෙද්දී ෆේක් කියුබ් කොළඹ පේමන්ට් එකේත් විකුණුනි. ප්ලෑන් එක වූයේ පොත් පිංචක් අච්චු ගහලා කියුබ් එකත් එක්කම විකිණීමයි. පේමන්ට් එකට කියුබ් සප්ලයි කරන ටෝයි සප්ලයර් හමුවුනේ කොටුවේ හරස්පාරවල් දිගේ සෑහෙන්න ඇවිදලා ය. එයා බිස්නස් කාරයෙකි. කඩයක පිටිපස්සේ දොරින් ඇතුල්වෙන ගුහාවක කන්තෝරු කාමරයක ජීවත්වෙන බිස්නස් කාරයෙකි... කියුබ් එක හදන හැටි කියලා දෙන්න ගියොත් මැජික් එක ගහලා යන බවත්, ඒක බිස්නස් එකට අප්සට් එකක් මිසක සප් එකක් නොවන බවත් එයා දැන හිටියේය. අපේ බලාපොරොත්තුව ඇන්ටිසි පේෂන්ට් එකක් වී නැවතුණි.

පොත කෙසේ වෙතත් නමවත් දා ගන්න ක්‍රමයක් හොයාගෙන ගිහින් නැවතුනේ ලේක්හවුස් එකේ පඩිපෙල නැගලා රුබික් කියුබ් එක ගැන නවයුගයට ලිපියක් ලියා තිබූ එඩ්වින් ආරියදාස මහත්තයා ගේ මේසය ලඟය. බිස්නස් අංකල් මෙන් නොව ඇක්සැයිස් පොතේ පිටු හත අටක් වත් කියවන්නට උන්නැහේට වෙලාව තිබුණි. ආසාව තිබුණි. උද්‍යෝගයත් තිබුණි.

"ඇයි මේක පොතක් ප්‍රින්ට් කරන් නැත්තේ... පත්තරේ දැම්මොත් නිකං ආර්ටිකල් එකක් විතරයි නෙ.... ඉන්න මම කියන්නං අපි මේක තිලකට දීල බලමු...."

එහා මේසයක හිටි තිලකරත්න කුරුවිට බණ්ඩාර පිටපත අරගත්තේය. ඒක එයාගේ ප්‍රින්ටින් බිස්නස් එකේ පාට්නර්ලාටත් පෙන්නලා පහුව දා තීරණයක් දෙන්නං කීවේය. අපේ තාත්තා කිව්වේ 'ඕක රුපියල් සීයකට හමාරකට විකුණලා දාපන්' කියාය. ඒත් ඒ ගාණට අපේ 'සොයාගැනීම' බාල්දු කරන්නට හිත් දුන්නේ නැත. එහෙම වුනත්, පහුවදා දැනගන්න ලැබුණු හැටියට, පොතක් ගහලා ප්‍රින්ටින් වියදම වත් හොයා ගන්නට පුළුවන් වේයැයි, තිලකරත්න කුරුවිට බණ්ඩාර මහත්තයාගේ පාට්නර්ලා අපේ 'හොයාගැනීම' ගැන හිතුවේ නැත.

අන්තිමේ දී 'රුබික් ඝණකයට විසඳුමක්' කියවූයේ අතේ ඇඟිලි ගානේ පාඨක පිරිසකි. ඒත් මුල් කොපියය. ඒකත් කොහේ හෝ තියෙන්න ඕනෑ මුත් ලඟක දී නම් කොහේදැයි මතක් වුනේ නැත.  මාතර පිටිසර තේ කඩයක දී අපේ ක්‍රමය ඩිමොන්ස්ට්‍රේට් කරන්නට එදිරවීරට අවස්ථාවක් ලැබී තිබුණි. මගේ ඩිමොන්ස්ට්‍රේෂන් එක කෙරුණේ කොළඹ කැම්පස් එකේ සල්ගහ ලඟ ඕපන් කැන්ටින් එකේ දීය. බලා හිටි උන්ට නං ප්ලාස්ටික් පෙට්ටියක පාට කැට කරකවන එක මහ මැජික් එකක් හැටියට පෙණුනේ නැත.... මතක හිටියම කමෙන්ට් එක... "ආ රුබික් එකක් නේ ද? මට තාම වෙලාවක් වුනේ නෑ ඕක ස්ටඩි කරන්න" කියන එකය.

ඕනෑම ඝණකම් ප්‍රශ්ණයක නොහෙල්ලෙන කේන්ද්‍ර තිබේ. විසඳුම තියෙන්නේ ඒ කේන්ද්‍ර හඳුනාගෙන අනිත් කැට ටික ඒ වටා පෙළගස්සා ගැනීමේ ය.

එක පැත්තක් හදා ගත්තාම, කරකැවෙන අහඹු කරකැවිලි වල දී කැට එහා මෙහා යන විදිහ ඉවසිල්ලෙන් බලාන හිටියොත්... 
ඕනෑ ඕනෑ විදිහට තමුන්ට උවමනා තැනට තමුන්ට උවමනා පාට ගෙනයන මාර්ගය ඉබේටම පෙනෙනවා ඇත.

පොතට වඩා වැදගත් පාඩම ය.


Continue Reading...

Thursday, August 11, 2016

ලොකු අකුරු

දැන් ආයෙත් ලොකු අකුරු කාලය ඇවිත්. පොල්ගෙඩි අකුරු වලින් ලියන්න පටන් ගත්තු ලියවිලි, ලිවීම කෙසේ වෙතත්, කියවීමට නම් පොල්ගෙඩි අකුරු උවමනා වෙන කාලය මටත් ඇවිත්. ඒ වුනත් දැන් කාලේ පොල් ඒ කාලේ විතරම ලොකු නැහැ. අකුරුත් ඒ වගෙම තමයි. ඒ කාලේ විතරම ලොකු නැහැ. හා හපුරා කියාලා හෝඩි පංතියේ ලියපු මගේ සිංහල වාර විභාග පත්තරය  අපේ අම්මා පරෙස්සම් කරලා තියාගන හිටිය හින්දා ඒ කාලේ මගේ අකුරු වල තරම තවම බලා ගන්න පුළුවන්. පටන් අරන් තියෙන්නෙම 'අත' කියලා ලියලයි. නවසිය හැට ගණන් නේ. අලිය නවත්තල අත ඉස්සුනු කාලෙනෙ...


ඒ පංතියේ අපට ඉගැන්නුවේ සිස්ටර් ඇන්තනි  ජෝශප්. ශුද්ධවු පවුලේ නිකායේ කන්‍යා සොයුරියක්. එයාලා ඒ කාලේ ඔළුව වැහෙන්න සුදු 'අඹරාවක්' (ඔව් අර කරත්ත අඹරාව වගේ තමයි) දාලා ඒක මුදුනෙන් පටන් අරන් පිටි පස්සට වැටෙන කළු රෙදි 'වේල්' එකක් දාලා, සර්වාංගයම වැහෙන අත්දිග සුදු ලෝගුවක් දාලා උන්නු නිසා අපි පුංචි ළමයි නං හිතුවේ මෙයාලා වෙනම සත්ව කොටසක් කියාලමයි. ඔය හිතිවිල්ල බරපතලෙටම හිතුනේ ගෑණුත් පිරිමිත් නොවන නම් ගම් හින් දා. සිස්ටර් ඇන්තනි ජෝශප්, සිස්ටර් හෝලි ෆැමිලි... සිස්ටර් ඇලෙක්සිස්.... ඉහල බාලාංශෙට ඉගැන්නුවේ නම් දත් නැති සිස්ටර්.... (දත් නෑ කිව්වට උඩු ඇන්දෙ එක දතක් අඩුව තිබුනෙ මට මතක....) එයාට නම් එයිට එහා නමක් තිබුණෙම නෑ....  එයා තමයි වසම සිස්ටර්...  මොකක්ම හරි ප්‍රශ්නයකදි කවුරු හරි දෙමාපියෙක් 'සිස්ටර්ගෙ අඹරාව ගලෝනව අද මම' කියල බැනපු බැනිල්ලක් මතකයි. දත් නැති සිස්ටර්ට වෙන්නැති සමහරවිට. ඒ අඹරාව දකිද්දි මට මතක් වෙන්නෙම ක්‍රීම් ක්‍රැකර් පැකට්වල තියන රැලි රැලි සුදු කොල. මට අද හිතෙන හැටියට නං අඹරාව කැඳ දාල මැදපු සුදු රෙදි නිර්මාණයක්. පින්තූරයක් නම් හොයා ගන්න නෑ මේක ඇරෙන්න. හැබැයි මේකෙ ලෝගුව කළුයි. අපේ අය ඇන්ද ලෝගුව සුදුයි.


ඒ කාලෙත් ලංකාව කියන්නෙ ඝර්ම කලාපීය රටක්. ඒ නිසා මම දන්න කාලෙම මේ ඇඳුම් නම් ගම් සේරම වෙනස් වෙලා ගියා. මේ පහල පින්තූරෙ 2013 ඉරිදා ටයිම්ස් පත්තරේකින්. බම්බලපිටියෙ ශුද්ධවු පවුලෙ බාලිකාවෙ ප්‍රධානාචාර්ය චාන්දනි ජයසූරිය කන්‍යා සොයුරිය, රදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් සමග, කන්‍යාරාමයේ 110 වෙනි සංවත්සර උත්සවයෙදි. මේ විපර්යාස ගැන හිතුවම හිතුණෙ මේ බුර්කා, නිඛාබ්, හිජාබ් භීතිකාවලුත් දන්නෙම නැතුව මේ වගේම ඉතිහාසගත මං සලකුණු වෙන්න පුළුවන් නේද කියන එකයි.


ලියන්න පටන් ගත්ත තැනින්ම මේ ලියවිලි ටික පටන් ගන්න හිතුණ නිසා මේක තමයි ලොකු අකුරු වල මුල්ම සටහන. 

අර වාර විභාග කොලේ වගෙම මම ලියපු කරපු දේවල් පරිස්සං කලේ අම්මා. රබර් ටියුබ් වලින් අකුරු පින්තූර හැඩ කපලා ලෑල්ලක අලවලා හදපු මුද්‍රණාලයෙන් පෝස්ට්කාඩ් වල මම අච්චු ගහපු නත්තල් කාඩ් ආසාවෙන් ආඩම්බරෙන් නෑදෑයින්ට, යාළුවන්ට තැපැල් කලේ අම්මා. අහම්බෙන් සැරයක් දෙකක් වුණත් නම ලියවුණු පත්තර කෑලි කපලා දින දාලා තියාන හිටියේ අම්මා. පහු කාලෙක ඉංග්‍රීසි ගුරුවරියක් වුනත්, එයා කරල තිබුණු ඉහලම විභාගෙ වුණු එස්. එස්. සී.  විභාගෙට සිංහල භාෂාවයි සිංහල සාහිත්‍යයයි දෙකම ලියල තියනව. නවසිය හතලිස් අටේ නිකුත් කරපු මේ සහතිකේ දැක්කාම මගේ හිතේ මැවෙන්නේ අපේ අම්මාත් අපි වගේම විභාග වලට පාඩම් කරන පින්තූරයක්.


ඉන්න තැන්වල ලොකුකම් කතා නොකලත්, දරුවන්ගෙ වැඩ ගැන ආඩම්බරෙන් නොකියවන තාත්තලා නම් හිඟයි. අද මගේ හිතේ දැනෙන හිතිවිලි මේ විදිහටම තාත්තාගේ හිතේත් පාවෙන්න ඇති. තාත්තාත් ඒ හිතිවිලි වල එල්ලිලා පියාඹන්න ඇති. ඒවා තාත්තලාගේ රහස්.

අම්මාත් තාත්තාත් දෙන්නාම අයියාත් නංගීත් එක්කම අද එකම තැනක. තාත්තා අද හිටියා නම්, අවුරුදු අනුවක් වයස වෙන්න තිබුණා. ඒත් එයාගේ ආයුෂ තිබුණේ අවුරුදු හැට දෙකක්. 1988 ඉඳලා ගැන්නාම මේ අවුරුද්ද වෙද්දී අවුරුදු විසි අටක්. අම්මා ගියේ තවත් අවුරුදු දහයකින්. අවුරුදු හැට හතක්. 

ඉතින් මේ දේවල් මෙහෙම සටහන් වෙන්නේ මේ දවසුත් වැඩි කාලයක් නොගිහින් අවුරුදු වලින් ගණන් හදන අතීතයකට යන නිසයි.

Continue Reading...

Blogroll

About