Friday, January 27, 2023

වසන්තය නම්.....

Share it Please

 


වසන්ත ගැනත් සිරි සිරි ගැනත් ‌‌එකට කියන මේ සිංදුව මොකාක් හරි හේතුවක් හෝ අහේතුවක් හින් දා, යූබටේ රන් කරන ගූගල් එකේ කස්ටිය තකහනියක් ‌මට පෙන්නූ එකකි. 


බුදුන් උපන්නාය කියන්නා වූ රටේ තරුණ කෙලි කොල්ලන් පිරිසක් හින් දා, බුදුන් වැඩි රටේ එකෙක් වූ මට ඒක නොඅහා යන්නට නම් හිතුණේම නැත. අහපු අහපු පාරට දැණුනු 'මෙව්වා' එක හින් දා, ආයෙත් අහලා අහලා, මෙතන එල්ලන වාය.

එයැයිලගේ ජන ගීයක්ය සැලකෙන මේ සිංදුවේ මුල් පද දෙක නම් කියන්නේ; "සිරි සිරි මදනල ගත කිති කවනා - හසරැල් නා දළු සලා" වගේ කතාවකි. ඒ ඉතින් වසන්තය එනවාය කියන ඉඟි බිඟි යයි. මේ නාද තාල අස්සේ දැනෙන ප්‍රමෝද ය, ‌‌තාලයටම බැරි වුනත් නිකමට වගේ අහල පහල තියන දේකට තට්ටු කරන්නට හිතෙන එක, ඒ බලාපොරොත්තුවේ උණුහුමමය කියා හිතෙයි.

හැබැයි මේ කොළු කෙල්ලන් වයන්නේත් ගයන්නේත් රඟන්නේත් නම්, මලක් මල් පෙත්තක් තියා එක ලදල්ලක්වත් හරියාකාරව පෙනෙන්නට නැති, ගඩොල් බිත්ති වලින් වටවුනු ‌සලපතල මළුවක ය, නැත්තම් තණ පතුත් වියලුනු ශුෂ්ක යැයි හිතෙන ලැහැබකය, ඒත් නැත්නම්, පේන තෙක් මානයේ තාර අතුරාපු, යකඩ අස්ස කරත්ත දුවන, මහ මගකය.

ඒ පින්තූර අස්සේ, වසන්තය තියෙන්නේ, අර කියන මදනල රැල්ලේ හැංගිලාම නමුත්, ඒ සුලං රැල්ල කිති කවා මතු කරන ප්‍රමෝදය නම් මේ මුහුණු මත දේදුනු පාටට සිතුවම් ව තියෙනවා මම දකිමි.

මේ ප්‍රමෝදය, ආද්ලාහය, අත්‍යන්තයෙන්ම ගිය අවුරුද්දේ, ‌ගෝල්ෆේස් පිට්ටනියේත් තරුණ මුහුණු මත සටහන්වී තියෙනවා ගූගල් කාරයාගේ  යූබටෙන් දැක්‌කෙමි. එදා එතැනට යන්නට එකතු වෙන්නට වාසනාව තිබුණු අයට, ඒක සජීවීව අත් දකින්නට, විඳින්නට, ලැබෙන්නට ඇති.

අද හැබැයි වසන්ත හිරේ ය. සිරී, වන්දි ගෙවන්නට බෝ ගහ හන්දියේ කැට හොල්ලන්නට ලක ලෑස්ති වෙනවා ය. එකේකාගේ මූණු වලට පාට පාට පාට කුඩු ඉහින උද්වේගකර හොලි උත්සවයක් මාර්තු වෙද්දී තියෙන්න්නට නියමිතව තිබෙයි. කුඩේ යට හැංගිලා කසු කුසු ගගා හොරගල් අහුලාපු කට්ටි දෙකක්, එළිපිට ජසයා ලෙන්චිනා නාගඩම නටන්නට පටන්ගෙන සිටිති.

මට නං හිතෙන්නේම වස්සාන සමය අත ලඟය කියාමය.




No comments:

Post a Comment

Blogroll

About