Friday, January 2, 2026

කටින් පරීක්ෂාව

Share it Please





මේ සටහනට පාදක වන, ආණ්ඩුවේ රස පරීක්ෂාව කීපාකාරයකට කරන්නට පුළුවන. එහෙම රහ බලන්නට ගොස් අතිරහත් තිත්ත වෙනවාය කියන කතාවේ හරි වැරැද්ද මාට්ටු කරගත් අයත් සිටින කාලයක, නෙලන්ඩ බැරි මිදිවල රහ ගුණ කියන අයත්, ගිනිගොඩට දාපු කොස් ඇට බාවන්නට බළල් අත් හොයන අයත් වාගේම, බළලාට ගෙජ්ජිය බඳින්න ගිය මීයා, ජනාධිපති පුටුවේම ඇණතියා ගැනීමේ සෝපාහාස නාට්‍යයත් නරඹමින් සිටිය එක්තරා මෑත අතීත කාලයක මට අහම්බෙන් වගේ මතක්වී ලියන්නට පටන්ගත් මේ සටහන ඇත්තටම ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ මා ගතකල සොච්චං කාලයක් පිළිබඳවය. යම් යම් තොරතුරු ලැබෙන තුරු එහා මෙහා කර කර මේතාක් කල් හිටියත් මේක හැකි පමණින් හිස්තැන් පුරවා පල කරන්නට කාලය පැමිණ තිබේ.

ශ්‍රී ලංකා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ මා ගෙවූ සති කීපය ආරම්භ වෙන්නේ නවසිය හැත්තෑ නවයේ අගෝස්තුවේ දී මේ දෙදාස් විසිපහට අවුරුදු හතලිස් හයක් ඈත දවසකය.

හරියටම කිව්වොත්, කොළඹ විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ බැච් එකේ ඒ අවුරුද්දේ වෘත්තිය පුහුණු කාලය සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරනු ලැබූ, චිත්‍රා පත්මපෙරුමත්, මමත්, ටොරින්ටන් වල නුගගස් පහුකර, පරණ පිස්සන්කොටුවේ  පඩිපෙල නැග වැඩ බාර ගන්නට ගියේ ඒ අවුරුද්දේ අගෝස්තු මාසේ අටවෙනිදා ය.

අද නාවලා සුද්ධ පවිත්‍ර කරලා පොෂ් කරලා අරන් ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් කරලා, පරණ ගොඩනැගිල්ලක අළුත් බඩු විකුණන සාප්පු සංකීර්ණයක් කරලා තියෙන්නේ ඒ  එදා අපි ගිය ගවර්මන්ට් ඇනලිස්ට් ගොඩනැගිල්ල ඇතුළු ගොඩනැගිලි සමූහයය.

ඒ කාලේ ඔය ගොඩනැගිල්ලට ඇතුළු වෙලා උඩට නගින, පඩි පෙල යට, පඩිපෙල උඩ, පඩියෙන් පඩිය අයිනේ, කොරිඩෝර් වල බිත්ති අයිනේ, ඒ අහල පහල ජනෙල් පඩි උඩ,  ආදී වශයෙන් ඉඩ කඩක් තිබුණු හැම තැනකම පාහේ, එක උඩ එක තට්ටු දෙක තුනකට තබා, මාමයිට් බෝතල, ජෑම් බෝතල,  ලක්ස්ප්‍රේ, නෙස්ප්‍රේ ටින්, ආදී මෙකී නොකී නානාප්‍රකාර භාජන අඩුක්කර තිබුණේය . 

එව්වා දැක්කාම, බෝතලයක් ටින් එකක් මතු නොව ෂර්ට් එකක් ගත්තොත් ඒක දාගෙන එන පොලිතීන් උරේ, ටොපි කොලය, චොකලට් කොලය, ආදිය පවා, එහා මෙහා නොදා, පරිස්සමට එකතු කරපු ගෙවල් වලින් ආපු අපට, "අනේ ගෙදර වගේ..."යි ආදී හිතිවිලි ආවත්, ඔය හැම භාජනයකම පරිස්සමට අසුරා තිබුණේ, පශ්චාත් මරණ පරීක්ෂණ වලදී, මරණය සිදුවූ හේතුව සනාථ කරගැනීම සඳහා රජයේ රස පරීක්ෂකට එවා තිබූ නඩු භාණ්ඩ, නොහොත්, මරණකාරයින්ගේ අංගෝපාංගය.

රස පරීක්ෂා රස්සාවටම බින්න බැහැලා හිටි අපේ සීනියර් බැචාලා දෙතුන් දෙනෙකුත් එතන හිටි අතර, අර පඩිපෙල යට පරිස්සමට තබා තිබුණු, වේලුපිල්ලේ ප්‍රභාහරන් මයා, යාපනේ නගරාධිපති, ඇල්ප්‍රඩ් දොරෙයිඅප්පා මයාට තියපු වෙඩිල්ල ගිහිල්ලා වැදුනු ගහේ කඳ කෑල්ල එලියට ඇදලා පෙන්නලා, උණ්ඩ පාරේ ඈන්ගල් එක අනුව, වෙඩික්කාරයා හිටි තැන නිර්ණය කරන හැටි පෙන්නා දුන්නේ ඒ එක්කෙනෙකි. එයා බැලැස්ටික් කාරයෙක්ව හිටියේය.

බ්ලොටින් පේපර් එකක් උඩ ජංගියක් ඩ්රොයින් පින් වලින් අවුණලා, පැල්ලම් තෙත්කරලා ශුකාණු එකතු කරලා, රේප් කේස් ඇනලයිස් කරන හැටි පැහැදිලි කර දුන්නේ තවත් ඒ වගේම සීනියර් කෙනෙකි. ඔය ඩිටෙක්ටිව් කේස් කාරයෝ චිත්තාකර්ෂණීය පොරටෝක් දුන්නත්, අපව පිළිගෙන වැඩට අනුයුක්ත කල, තම්බිපිල්ලේ කන්දසාමි මහත්තයා, චිත්‍රාට ෆුඩ් සයන්ස් පැත්ත පෙන්නලා, මට ටොක්සිකොලොජි පැත්ත පෙන්නූ නිසා, වෙඩිතියන ඈන්ගල් හා ස්ත්‍රී දූෂණ විශ්ලේෂණ කරන්නට අවස්තාවක් අපි දෙන්නාටම උදාවූයේ නැත.

වෝහාරික විද්‍යා පැත්තේම කෑල්ලක් වූ ටොක්සිකලොජි (විෂ විද්‍යාව නොහොත් ධූලක වේද) අංශය තිබුණේ, පඩි පෙල නැගලා දෙවෙනි තට්ටුවේ දකුණු පැත්තේ ය. ඒ කෑල්ල බාර රස පරීක්ෂකවරුන් ලෙස අද වෙද්දී නම් ගම් මිස් ව ඇති මිස් කෙනෙක් හා සර් කෙනෙක් සිටියෝය. යම් ප්‍රාතිහාර්යයකින් නැවත ප්‍රාදුර්භූත වූවොත් එකතු කරන තුරු ඒ මිස්වීම පිළිබඳව මගේ සාතිශය සංවේගය මෙසේ ලියා තබමි. මගේ මුල්ම රස පරීක්ෂක ගුරුතුමිය වූයේ ඔසරිය ඇඳලා හිනා මූණකින් හැමදාම දැකපු ඒ මිස්ය. 

බොහෝවිට ලා නිල්පාට කමිසයක් ඇඳලා වැඩට ආ සුද්දෙක්ය හිතෙන තරමට පැහැපත් මුහුණක් තිබුණු සර් ගැන ප්‍රධාන මතකය නම්, දවල් කෑමට ගොස් පැමිණි පසු බොහෝ දිනවල, විශේෂයෙන්ම සිකුරාදා දවස්වල, මේසයේම වාඩිවී, ඔළුවත් කෙලින් තබාගෙන සුව පහසු විවේකයක් ගැනීමේ පුරුද්දය. මේකට එක විදිහකින්, දවල් කෑමට පෙර යන්තමට යන්තමට සප්පායම් වීමේ පුරුද්දය කියාත් මගේ නිරීක්ෂණයක් වී තිබුණේ ය.

ඒ අතරේ තාවකාලික පුහුණු රස පරීක්ෂකයෙක් ලෙස මා ඉගෙන ගත් පළවෙනිම ප්‍රායෝගික පාඩම වූයේ, මත්පැන් පානයේ ආදීනවයෙන් යම් ආකාරයකින් අකල් මරණයකට පත්වූවෙකු ගේ රුධිර සාම්පලයක තියෙන ඇල්කොහොල් ප්‍රමාණය නිර්ණය කිරීමය. මේක උගන්වන්නට අර ‌ටින්, බෝතල, එකතුවේ තිබුණු අකල් මරණ කාරයෙකු ගේ ලේ සාම්පලයක් පාවිච්චි වූ අතර, මට යන්තමට මතක හැටියට නම් මේ මනුස්සයාගේ මරණයට හේතුව ඇල්කොහොල්ම නොව, එයා එක්කම ඇල්කොහොල් පානය කල කිණිස්සක් හෝ පිහියක්ය. 

මේ පලවැනි පින්තූරයේ තියෙන්නේ එදා ඉගෙනගෙන කරන්නට යෙදුනු මගේ ප්‍රථම රස පරික්ෂාව සඳහා අනුගමනය කරනු ලැබු ක්‍රියා දාමයය. එදිනෙදා කරපු කියපු වැඩ සවිස්තරව සටහන් කරගත් සටහන් පොත් කොහේ කොහේදැයි නොදන්නාමුත්, දවසේ කරපු කියපු දේ ලියා තියූ දිනපොතේ පිටු  තවමත් ඉතිරි වී තිබේ. මේ සටහන මෙහෙම සටහන් කර තැබීමේ ආසාව ඉස්මතු කෙරුවේ ද මේ දින පොත් සටහන්මය.

එදා අපේ මිස් ඉතා සාවධානයෙන් උගැන්වූ පරිදි අර ලේ සාම්පලයෙන් මිලි ලීටරයක් සල්ෆියුරික් අම්ලය හා සෝඩියම් ටන්ග්ස්ටේට් සමග රත් කර, අනතුරුව මර්කියුරික් ක්ලෝරයිඩ් හා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් එක්කර, ආසවනය කර, එහි අඩංගු ඇල්කොහොල් වෙන්කර ගැනීමත් ඒ ලැබෙන ඇල්කොහොල් ද්‍රාවණය, පොටෑසියම් ඩයික්‍රොමේට් සමග ප්‍රතික්‍රියාකරවා, ඉතිරිවන ඩයික්‍රොමේට් ප්‍රමාණය, සෝඩියම් තයෝසල්ෆේට් ද්‍රාවණයක් සමග අනුමාපනය කර අවසාන ප්‍රතිඵලය ලබාගැනීමත් ඉතා පරිස්සමින් කර, දවසක් ඇතුලත අර මනුස්සයාගේ රුධිර ඇල්කොහොල් ප්‍රමාණය නිර්ණය කරන්නට මටත් පුළුවන් විය. මේ වැඩේ දී අර ආසවන අවස්ථාවේ, කන්ඩෙන්සරයේ උෂ්ණත්වය මත, ඇල්කොහොල් සියල්ල ආසවනය වී අවසානද යන්න අනුමාණ කරන්නට පුළුවන් අතර, ඒ අනුව, ආසවනය වූ ඇල්කොහොල් පරිමාව මැන බලා ප්‍රාථමික පාඨාංකයක් දෙන්නටත් පුළුවනිය. අද මේ දවස දිහා හැරී බලද්දී, එකපාර හිතට ආවේ, ඒ කාල වකවානුවේ, ආණ්ඩුවේ රස පරීක්ෂක වෙතට ඇල්කොහොල් නිර්ණය සඳහා රුධිර සාම්පල කීයක් එන්නට ඇද්ද යන්නයි. එදා ඒ පර්යේෂණාගාරයේ මේ පරීක්ෂාව කරන්නට, තිබුණේ එකම එක උපකරණ කට්ටලයකි. ඒකත් අපේ මිස් බොහෝවිට කිව්වා වගේ රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලයේ ලංකාවට ගෙනාපු බඩුවක්ම විය. කොහොමත් වැඩ කෙරුනේ වැඩ කෙරෙන වේගයෙන් නිසාම, උපකරණ ගෙනැල්ලා, වැඩිපුර කරන්නට නම් හේතුවක් නොතිබුණා වෙන්නට පුළුවන.

මෑතකදී කවුරු කවුරුත් උසුළු විසුළුවෙන් කතා බහ කල බැලුං පිම්බීමෙදී කෙරෙන්නේත්, බැලුමකට එකතු කරගත් හුස්ම, ඩයික්‍රොමේට් ද්‍රාවණයක් හෝ ස්ඵටික සමග ප්‍රතික්‍රියා කරවා, සිදුවන වර්ණ විපර්යාසයේ ප්‍රමාණය අනුව ප්‍රාශ්වාස වාතයේ අඩංගු ඇල්කොහොල් ප්‍රමාණය නිර්ණය කිරීමයි. එසේ වෙතත්, ප්‍රාශ්වාස වාතයේ ඇල්කොහොල් ප්‍රමාණය මත පිහිටා කෙනෙක් බීමතින් ද නැද්ද යන්න නිර්ණය කිරීමේ නීතිමය ගැටළුත් තියේ. රුධිර ඇල්කොහොල් ප්‍රමාණය එයිට වඩා පිළිගත් සාධකයක් වෙයි.


අද වෙද්දී නම් ලේ සාම්පලයක අඩංගු ඇල්කොහොල් ප්‍රමාණය මනින්නට බොහෝවිට යොදා ගැනෙන්නේ ගෑස් ක්‍රොමැට‌ොග්‍රෑම් නම් උපකරණයකි. මේ තාක්ෂණය යම් තරමක් දුරට 1979 තරම් ඈතකදීත් තිබුණත්, එව්වා ඒ කාලයේ අපේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නම් තිබුණේ නැත. පහුගිය අවුරුදු තිහ හතලිහ ඇතුලත සිදුවූ වෙනස්කම් අතර, මේ ආයතනය අර පරණ පිස්සන් කොටුවේ සිට පැලවත්තේ ඉසුරු මාවතේ අළුතින් හදාපු, ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලට උසස් වීමත්, එදා තිබුණු රාජසිංහ රජ්ජුරුවන්ගේ උපකරණ වෙනුවට නවීන තාක්ෂණික උපකරණ සහිත, නූතන විද්‍යාගාර පහසුකම් ඇති තැනක් වී ඇති බවත් ඒ පෙරළිය වෙනුවෙන්, කටයුතු කල අපේ සොයුරු සොයුරියන් සියළු දෙනා වෙනුවෙන් මෙතැන ලියා තැබීම මගේ යුතුකමය සිතමි. මේ ලියවිල්ල ඉතින් එදා ගැන මිසක අද ගැන නම් නොවෙයි.

ධූලක වේද අංශයේ, ඉහතින් සඳහන් වුනු මිස්ටත් සර්ටත් අමතරව, එයාලාගේ අත් උදව් කාරයින් ලෙස වැඩ කරපු ලැබ් බෝයිස්ලා දෙතුන් දෙනෙක් සිටියෝය. ඇත්තටම මේ ලැබ් එකේ දිනපතා වැඩ කරන සිරිතක් තිබුණාද කියා හෝ වැඩ කෙරුනු කාලසටහන මොන වගේ ද කියා හෝ මතක් කරගන්නට මට නොහැක්කේ, එහෙම දෛනිකව වැඩ කරන පුරුද්දක් එතන නොතිබුණු නිසාමය කියාත් දැන් දැන් හිතෙයි. හැබැයි මට මතක හැටියට සතියකට දවසක්, මතක හැටියට බ්‍රහස්පතින්දා 'කටින්' දවස බවත්, එදාට කටින් වැටෙන විද්‍යාගාර සහායකයා ඇවිත් මිස්ගෙන් 'මිස් අද කටින් කරනවා ද? කටින් කරනවා ද?"යි අහන බවත් නම් මතකයේ තිබේ.

මේ කියන කටින් කිරිල්ල වනාහි, අර ලක්ස්ප්‍රේ, නෙස්ප්‍රේ ටින් එකක අහුරා ඇති මළගිය ප්‍රාණ කාරයකුගේ අංගෝපාංගයක් කොටස් කර විශ්ලේෂණය කිරිල්ල මිස, කතාවෙන් හෝ මුඛයෙන් හෝ කරන්නා වූ ක්‍රියාවක් නොවේ. 

මේ කාර්යයට වැටෙන රසායනාගාර සහායකයාට, ඒ සතියේ යම් විශේෂ දීමනාවකුත් ලැබෙන හින්දා, මේ කටින් කිරීමේ උනන්දුව එයාලාට තිබුණත්, අපේ මිස්ට නම් ඒක අප්පිරියාසම කටයුත්තක් බව පෙනෙන්නට තිබුණේය. මිස් බොහෝවිට කලේ ෆයිල් කවර ගණනාවක් මේසය උඩ දිග ඇරගෙන ඒවායේ තියෙන දේ කියවන එක හා, සටහන් ලියන එක බව මගේ මතකයයි. අපේ සර් නම් ඒ වැඩෙත් කලේ එහෙමත් වෙලාවක විය යුතුය. මේවා ආණ්ඩුවේ වැඩ හින්දා, කලබලේට ඉක්මණින් කරන්න උවමනා දේවල් නොවෙන්නටත් ඇත. එහෙම ගිනි කසේට වැඩ කරපු රස පරීක්ෂකලා හිටියා නම්, අර තරම් ටින් බෝතල සංඛ්‍යාවක් පඩිපෙල දිගේ ජනෙල් පඩි දිගේ ඒ තරම් ලස්සණට අහුරලා තියෙන්නත් විදිහක් නැත. ඒ ගැන හිතුවාම නම්, උදේ ඉඳන් හවස් වෙනතුරු නොනවත්වා වැඩ කලත් අර දෙන්නාට ඒ ටින් බෝතල කන්දරාව අවසන් කරන්නට නම් දසකයක් විතර යන්නටත් පුළුවන් හින්දා, එයාලා එහෙම වැඩ කිරිල්ල අත් හැරියා වෙන්නටත් බැරි නැත. එදා ඒ ආයතනයේ වට පිටාව මෙන්ම වැඩ කෙරුණු ආකාරය, රටාව, ගැන හිතද්දී, නිරායාසයෙන්ම හිතට දැනෙන්නේ, ගොගොල් ගේ කතාවල කියවන්නට හැකි, රුසියාවේ සාර් රජ කාලයේ, ආණ්ඩුවේ කන්තෝරුවල විස්තර කතාය.

ඉතින් අපේ මිස්, මගේ අධ්‍යාපනික දියුණුවද සලකා, පැයක් දෙකක් විතර, ෆයිල් කවර අවුස්සා, වල්නාශකයක් බී දිවි නසාගත් කෙනෙකුගේ ආමාශ කොටස් සාම්පලයක් සොයාගෙන ඒ සතියේ කටින් කරන්නට තීරණය කළාය.

ඒක මට මතක තරමින්, තරමක නෙස්ප්‍රේ ටින් එකක් විය. අදාල ලිපි ලේඛන කටයුතු කරලා, අර ටින් එකේ සීල් තියපු ලාකඩ ආදිය පරීක්ෂා කරලා, ටින් එක ඇරීමේ කටයුත්ත ආරම්භ විය. මිස්ගේත් මගේත් අධීක්ෂණය යටතේ ඒක ඇරෙනවාත් එක්කම.... “අපෝ.... ග්‍රැමක්සෝන් බෝතලයක්ම බීලා මේ මනුස්සයා...“ කිවූ අපේ මිස්, ඉන් පස්සේ කරන වැඩ මට බලාගන්නට ඉඩහැර එතනින් එහා මෙහා වී ගියාය.




 ග්‍රුමක්සෝන් වල ක්‍රියාකාරී රසායනය පැරකට් ය. හැබැයි මේක අඳුන ගන්නට කලින්, කටින් කෑලි, ඇල්කොහොල් වලින් විස්සාරණය කරගෙන ලබාගන්නා ද්‍රාවණය ඊතර් වලින් නැවත විස්සාරණය කරගත යුතු වෙයි. මේ වැඩේ කරන්නට මටත් උවමනා වූ නිසා, අපේ ලැබ් බෝයි, එදා දවසේ මගේ ගුරුවරයා විය. අදටත් මතක ඇත්තේ, කොච්චර අත් වැසුම් දමාගෙන හිටියත්, එදා දවසම අත්ලේ රැඳී තිබුණු තෙල් ගතියයි.

එයින් පස්සේ ඔය කාබනික රසායනයට අමතරව, අකාබනික වස විසකුත් කටින් කරන්නට යෝජනා කල අපේ මිස්, මී පාසානම් බී මලගිය පරාණ කාරයකුගේ ආමාශ කොටස් අඩංගු සාම්පලයකුත් සොයගෙන විත්, ආසනික් අඳුනාගන්නා හැටිත් කරලා බලලා අත්විඳින්නට මට අවස්ථාව සලසා දුන්නාය. 

ධුලක විද්‍යාංශයේ ගතකල දවස් කීපය අවසන් වූවාට පසුව, චිත්‍රාටත් මටත් තැන් මාරු කරගන්නට අවස්ථාව ආයේය. ඒ අනුව කලින් ලියූ විදිහට චිත්‍රා අනුයුක්ත වූ, ආහාර විද්‍යා හෝ ෆුඩ් සයන්ස් පැත්තේ, මිස්ට සිවරාජාගේ විද්‍යාගාරයේ මගේ ඊළඟ දවස් ටික ගෙවී ගියේය. ධුලක වේදය වස විස ගැන වූ අතර, ආහාර විද්‍යා පැත්තේ මූලික කාර්යය වූයේ, ප්‍රමිති පරීක්ෂාවය. සුදුම සුදු විද්‍යාගාර කබායක් පැළඳ සිටි සිවරාජා මයා මුලින්ම කියා දුන්නේත්, එළකිරිවල මේද ප්‍රමාණය මනිනාකාරය බව මගේ දිනපොත කියයි.

මේ සඳහාම සකස්කල බැබ්කොක් බෝතලයක කිරි හා සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය මිශ්‍රකර නිදහස්වන මේද ප්‍රමාණය බෝතලයේ කරේ පිරෙන උස අනුව, අඩංගු මේද ප්‍රමාණය කියවා ගන්නා බොහෝම සරල පරීක්ෂණයක් මුත්, කරනෙක්කෙනාගේ පලපුරුද්ද මත ලේසියෙන් එහා මෙහා විය හැකි මේ කිරිවල මේද බැලීම, හැම උදේකම ඉස් ඉස්සෙල්ලාම වාගේ කරන්නාවූ කටයුත්ත වූයේයි මතකය. 


නරක්වෙන කෑම බීම හින්දා, මට මතක හැටියට නම්, ධූලක වේද පැත්තේ වගේ අල්මාරි මේස ජනෙල් පඩි උඩ සාම්පල පෙල ගහන සිරිතක් මේ පැත්තේ තිබුණේ නැතිය. එහෙම එකතු කරන්නට පුළුවන් දේවල් විදිහට ආපු ඒවා වූ, අරක්කු, විස්කි, ජින් වාගේ එව්වා එහෙම වැඩි කලක් එක තැනක රඳවා තියන්නට බැරි වීම, ඒ විදිහට සාම්පල් තොගයක් නොතිබීමේ හේතුවක් වෙන්නටත් ඇතිය හිතෙයි.

දියර කිරිවල මේද මැනිල්ල එහෙම වුනත්, පිටිකිරි වල මේද මැනිල්ල මෙයිට වඩා වැඩ කිඩ ඇති වැඩක් වූ බව මතකය. ඒ ගැන ලියවී තියෙන පහත සටහන් බලාන යද්දී, මේ සමහර එව්වා, හැමදාම කරන පරීක්ෂණ නොව, මගේ අනාගත අධ්‍යාපන දියුණුව තකා, සිවරාජා මයා පොත් පත් හොයාන ඇවිත් උගන්නලා කරවපු දේවල්ය කියාත් හිතට නැගෙයි.



එයිට අමතරව විශේෂිත දෙයක් ලෙස ලියාන ඇත්තේ අරක්කු හා අනෙක් මද්‍යපාන විශ්ලේෂන ක්‍රම සහ විදි ය. අපේ ගම් පලාත්වල ඉතින් ගෘහ කර්මාන්තයක්ය හඳුන්වන තරමට ප්‍රචලිත අරක්කු නිපදවීම, ප්‍රමිතියකට කරන එක නම් එච්චරම ලේසි පාසු වැඩක් නොවන බව හොඳින් තේරුම් බේරුම් කර දෙන්නට, සිවරාජා මයා තරමක වෙහෙසක් ගත්තේයි මතකය.




ඔයිට අමතරව, ඒ සති කීපයේ දැන උගෙනගත් දේ ගැන තවත් පිටු කීපයක සටහන් මගේ දිනපොතේ තියෙයි. අවුරුදු හතලිස් හයකට පසුවත් මේ සටහන් කියවා, යම් විදිහක කුතුහලාත්මක කික් එකක් විඳින්නට තරම් මම වාසනාවන්ත වී සිටිමි. එක් අතකට, රස්සාවේ වැඩ රස්සාව කරන හැටියටම කෙරුවා වුනත්, කැම්පස් එකෙන් ආපු පොඩි එවුන්ට, සබ්ජෙක්ට් එකේ රසබර හරබර දේවල් හොර මැර නැතුව කියා දෙන්නටත්, එතනින් එහාටත් ගිහින්, පොත් හොයාන ඇවිත්, අගමුල කියා දී, හරි වැරදි හොයා දී උගන්නන්නටත්, එදා මට ගුරුවරුන් වූද, එතනින් එහාට ගිහින් හැරී බැළුවාම, අපේ රටේ අපේ පාසල් හා අපේ විශ්ව විද්‍යාලවලින් බිහිවූ, රසායන විද්‍යාඥයින් වූද, ඒ ගාමන්ට් ඇනලිස්ට්ලාට මගේ හදපිරි ප්‍රණාමය මෙසේ සටහන් කරමි.

සබැඳි:

No comments:

Post a Comment

Blogroll

About