කන්‍යාරාම නැත්නම් කොන්වන්ට්ය කියන්නේ කතෝලික/ක්‍රිස්තියානි දේවදාසියන් ගේ නිවහන්ය කියා හැඳින්වීමේ වරදක් තිබිය නොහැකිය. සම්භවය එසේ වුවද, සමාජ ආශ්‍රයෙන් සහමුලින්ම ඈත්වී, දෙවියන් වෙනුවෙන්ම කැපව ධ්‍යානයෙන් හා යාච්ඤාවෙන් කල් ගෙවන නිකාය දෙක තුනක් තිබෙන නමුදු, බොහෝ ක්‍රිස්තියානි/කතෝලික කන්‍යාරාම, පාසල්, රෝහල්, මහළු නිවාස, දුගී නිවාස ආදී යම් ආකාරයක සමාජ සේවයකට යොමුවූ ඒවාය. මේ නිකාය අතරින් ශුද්ධවු පවුලේ කන්‍යා සොයුරියෝ ප්‍රධාන වශයෙන් අධ්‍යාපන කර්තව්‍යයට කැපවූවෝ වෙති.
හෝඩියෙන් පටන් ගෙන පස් වෙනි පංතිය වනතුරු මා ඉගෙන ගත් වෙන්නප්පුවේ ශුද්ධවු පවුලේ කන්‍යාරාමයට අනුබද්ධිතව පවත්වාගන ගිය සාන්ත මරියා ප්‍රාථමික පාසලට තිබුනේ එකම එක ගොඩනැගිල්ලකි. පාර පැත්තේ සිට පළවෙනිය, ප්‍රින්සිපල්, සිස්ටර් හෝලි ෆැමිලි ගේ කාර්යාලය, දෙවෙනිය, තුන්වෙනිය හතරවෙනිය වශයෙන් පංති තිබුණත්, දෙවෙනියේ හිට පස්වෙනිය දක්වාම පන්ති අතර බිත්තිවත්, පන්ති වෙන්කරන වෙන පැළලිවත් තිබුණේ නැත.
සාන්ත මරියාව පහු කලක 'මෙත් නිවස' නමින් වැඩිහිටි නිවාසයක් විය. වෙන්නප්පුව මඩම පාරේ ගිහින් නාසරෙත් එක ළඟින් වමට හැරුනාම තාප්ප යකඩ ගේ්ට්ටු අතරට මැදිවී 'මෙත් නිවස' තවමත් තිබෙන බව සියල්ල දන්නා ගූගල් සමාගම කියයි.
සාන්ත මරියාවේ හැම පන්තියකම කොටස් දෙකක්විය, 'ඒ' හා 'බී' ය. 'ඒ' පන්තියේ හිටියේ 'ඒ' වර්ගයේ ළමයිය. 'බී' පන්තියේ හිටියේ 'බී' වර්ගයේ ළමයිය. මේ ඉස්කෝලය මිශ්‍ර ඉස්කෝලයක් වුණත්, අවුරුදු නවයෙන් පස්සේ පිරිමි ළමයින්ට ඉඩ තිබුණේ නැත. අවුරුද්ද මුල උපන් වාසනාවෙන් මට නම් නවය පිරුණේ පස්වෙනියට පැන්නාටත් පසුව හින්දා, ඒ අවුරුද්දේ පස්වෙනියේ 'ඒ' පංතියේ එකම කොල්ලා වුනේ මම ය. 'බී' පංතියේ කොල්ලා ආනන්ද ය.
හතරවෙනි පංතිය වෙන විට, මට පංතියේ අනිත් ළමයින්ට වඩා ටිකක් හරි ඉස්සරහින් ඉන්නට පුළුවන් වුනේ සිංහල රචනාව ලිවිල්ලෙන්ම පමණකියි යන්න මගේ මතකයය. අනිත් ළමයින් දවාලට කෑමට ගියා වුණත් පටන් ගත් ලිවිල්ල ඉවර කරන තුරු ඩෙස්කයෙන් නැගිටින්නේ නැති පුරුද්දකුත් ඔය කාලයේම තිබුණා මතකය.
පස්වෙනියේ 'ඒ' පංතිය විශේෂ පන්තියකි. ඒක තිබුණේ ඉස්කෝල ශාලාව කෙලවර සිමෙන්ති වේදිකාව උඩය. 'බී' පංතිය වේදිකාවේ පඩි තුන හතර බැස්සාම ය. වේදිකාව නම් මට ඒ වෙද්දීත් හොඳට හුරු පුරුදු තැනකි. අවුරුද්ද අග කොන්සට් එකට මුලින්ම මම රජාට ඇන්දේ ඉහල බාලාංශයේ නැත්තං පළවෙනියේ දීය. ඒත් ලේසිපාසු රජෙකුට නොවේ ගැමුණු කුමාරයාගේ තාත්තා, කාකවණ්ණ තිස්සට ය. ඉන් පස්සේ ඇන්දේ අත්තනගල්ලේ දී ඉස් ඉස්සෙල්ලාම වාගේ බෙල්ල අහිමි වුනු, සිරිඟබෝ රජ්ජුරුවන්ගේ සහෝදරයා වූ ගෝඪාභය කුමාරයාට ය.
ඉස්කෝලේ ඉහලම පන්තියේ මෙන්ම, ඉස්කෝල ගොඩනැගිල්ලේ ඉහලම ස්ථානයේ කෙල්ලන් විසි පහක් විතර ඉන්නා පංතියක එකම කොල්ලා වී ඉන්න වීම එක අතකින් ආඩම්බර කාරණයක් සේ සලකන්නට පුළුවන් නමුදු, අනික් අතින් එක්තරා විදිහක ලජ්ජාවට කාරණයකුත් වූයේය. මේ ලජ්ජා කාරණය නම් ඒ වයසේ ගෑණු පිරිමි හෝමෝන වලින් ම මතුවෙන කාරණාවක් ද වෙයි. මේ කාරණා කෙසේ වෙතත්, ඒ වනවිට සාන්ත මරියාවේ සිටි ලොකුම අයියලා දෙන්නා ආනන්දත් මමත් බව නම් පැහැදිලිවම තහවරු වී තිබුණි. මේක වඩාත් කැපී පෙණුනේ ඉස්කෝලේ ඩෙස්ක බංකු එළියට ඇද, පිරිසිඳු කර, වීදුරු කටු, වැලි කඩදාසි වලින් මැද, පොලිෂ් අතුල්ලා අලුත් කරන දවසටත්, හැම පංතියකම පාහේ තිබුණු පොත් අල්මාරිය එහා මෙහා කරවන්නට සිදුවූ වෙලාවටත් වැනි බරපතල වැඩ වලදී ය.
මින් අමතරව මගේ සමර්ථකම් කැපී පෙනෙන වේලාවක් වූවා නම් ඒ, සිකුරාදා හවස් වරුවේ සමිති වේලාවයි. ඒ පංතියේ අය පුටු අරගන වේදිකාවෙන් බැස බී පන්තියේ ඩෙස්ක පේලි අතර වාඩිවී, පහේ ඒ බී පංති දෙකම එකට එකතුවන ඒ වෙලාවේ සිදුවුනු ලොකුම වැඩේ නම් අපි එක් එක්කෙනා කලින් ලියා පිලියෙල කරගත් කථාවක් සමිතිය ඉස්සරහට ගොස් හඬ නගා කියවීමයි. කතාවක් කරනවා කිව්වත් ප්‍රී ප්‍රිපෙයාඩ් රචනාවක් කියවන මේ වැඩේ අපේ පහේ පන්තියේ විතරක් නොව ලෝකයේ ලොකු ලොකු ඉහල තැන්වලත් බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ නම් මේ විදිහෙන්ම යි.
ඒ අවුරුද්දේ පහේ පංතියේ සමිතියේ හොඳම කතා කාරයා මමය කියා හදාගෙන තිබුණු වාර්තාව නොසිතූ අයුරින් පොළවටම සමතලා වුනේ පහ බී පංතියට දෙවන වාරය මුල දී එකතුවුනු අළුත් කෙල්ලක්, ඇගේ රචනාව සමිතිය ඉස්සරහ කියවූ සිකුරාදා ය.
ඒ කතාවේ මාතෘකාව 'ගිරවා' ය.
ඒ කෙල්ලගේ නම රමණී වීරසිංහ ය.
එදා රමණී හුරුබුහුටි කෙටි වාක්‍ය වලින් ලතාවකට රටාවකට ඇවිණූ ගිරවා ගැන රචනාව පංතිය ඉස්සරහා කියවනවාත්, සමිතිය දවසට ඉස්සරහින්ම වාගේ වාඩිවෙන මගේ හිත අමුතුම විශ්මයකින් පිරී යනවාත් මට තවම මතක් කර ගන්නට පුළුවන.
අවාසනාවකට මගේ අතීත මතක බොහෝ දුරට හිතේ ඇඳුණු නිහඬ පින්තූර වෙයි. යම් සීමිත සිදුවීම ගණනක මිස අනෙක් ඒවායේ හඬපට තිබෙන ඉසව් එක්කෝ අඩපණය නැත්නම් නැත්තටම මැකී ගොසින් ය. රමණී ගේ ගිරවා ගැන මට ඇතිවුනේ වෛරයක්වත් ඉරිසියාවක්වත් නොවේ. කොහොම හරි ඒ වාගේ ලියන්නට ආසාවකි. පහ ඒ පංතියේ එකම කොල්ලා වූ මම පහ බී පංතියේ රමණී මගේ හොඳම මිතුරිය බවට පත්කර ගන්නේ ඒ නිසා වෙනි. ඒ දවස්වල ඇගේ ගෙවල් තිබුණේ පල්ලිය අහලින් වැල්ල පැත්තට යන ඒ කාලේ මට මතක හැටියට පල්ලිය පාර වූ දැන් තෝමස් ප්‍රනාන්දු මාවත සේ නම්කර ඇති පාරේ පල්ලෙහා ය. හවසට පයින් ගෙදර යන අපි දෙන්නා, ඉස්කෝලේ සිට මහකඩේ ලඟට එනතුරු එකට කතාකර කර ඇවිත් එතැන දී දෙපැත්තට වෙන්වෙන්නට පුරුදු වී සිටියෙමු. අපේ කතා බහ මොන මොනවා ගැන වූවා ද යන්න නම් හරියාකාර මතකයක් මට නැත. ඒවා බොහෝවිට අප කියවූ පොත් පත්තර කතාන්දර ගැන වෙන්නට ඕනෑ යැයි සිතේ. රමණී පුංචි පින්තූර එකතු කලාය. අපේ බාප්පාගේ පරණ රසවාහිනී සඟරාවල පැරණි රජවරුන්ගේත් ඉතිහාසගත වූ පුද්ගලයින්ගේත් පින්තූර අඩුවූ හිස්තැන් ඇත්නම්, ඒවා තිබුණේ රමණී ලඟය. පුංචි සූට්කේස් වල පාඩම් පොත් දමාගන පාසල් යාම සිරිත වූ ඒ කාලයේ, සඳුදා හවස්වරුවල මහ කඩේ අයිනේ නැවතී සුට්කේස් ඇරගන පින්තූර කෑලි හුවමාරු කරගත් මතකයනුත් මගේ අතීත මතක චිත්‍රවල සටහන් වී තිබේ.
රමණීගේත් මගේත් මේ යාළුකම හරියාකාරව තිබුණේ ඒ අවුරුද්දේ ඒ අවසාන වාර දෙකේ දී පමණි. ඊළඟ අවුරුද්දේ සාන්තමරියාවට ආයුබෝවන් කියූ මම, ජෝශප්වාස් විද්‍යාලයේ හයවෙනි ශ්‍රේණියේ ඒ පංතියට ඇතුළු වූයෙමි. මා සමග සාන්තමරියාවේ හතරවෙනි පංතිය දක්වා සිටි රෙක්ස් ද පස්වැන්න දක්වාම සිටි ආනන්ද ද මා සමගම ජෝශප් වාස් විදුහලට ඇතුළු වූහ. ඒ අළුත් යාළුවන් එකතු වූ අළුත් ඉස්කෝලයක, අළුත් ලොකු ඉස්කෝලයක පුංචිම පංතියට එකතුවූ අළුත්ම අවුරුද්දක් විය. වැඩි කලක් නොගොස්ම මගේ රචනා පොත හත අට පංතිවලට ගෙන ගොස් කියවන තරමට සිංහල ඉගැන්නූ කරුණාරත්න සර්ගේ හිතට අල්ලා ගියේය. එවැනි අවස්ථාවල දී නම් මට රමණීත් ඈ සමග පාර දිගට කෙරුණු අල්ලාප සල්ලාපත් නිතැතින්ම මතක් වෙයි.
මට මතක හැටියට මා ආයේත් රමණී දැක්කේ හත්වෙනියේ විතර ඉන්නා කාලයේ දීය. ඒ අවුරුද්දේ සිංහල භාෂා දිනයේ වෙන්නප්පුව මණ්ඩලයේ රචනා තරඟය තිබුනේ අපේ ඉස්කෝලේය. ඉස්කෝලේ දවසක් වූ එදා ප්‍රින්සිපල් ගේ කාමරයට යාබ ද පංති කාමරයක් රචනා තරඟය සඳහා වෙන්කර තිබුණු අතර පිට පාසල් වලින් පැමිණි තරඟ කාරයෝ හා තරඟ කාරියෝ ඉස්තෝප්පුව දිගට පොරොත්තු වෙමින් සිටියහ.
රමණී ඇඟපතින් වැඩී පිරී සිටියාය. ශුද්ධවු පවුලේ කන්‍යාරාමයේ තරඟකාරිය වූ ඈ, පාසලේ සුදු යුනිෆෝම් ගවුම හැඳ සිටි නමුත් මට පෙණුනේ නම් අපේ පංතිවල ඉගැන්වූ මිස් කෙනෙකු තරම් ලොකු මහත් කාන්තාවක් විදිහට ය. මම තවමත් මහ කඩේ අයිනේ සූට්කේස් එක ඇරගෙන පරණ සඟරා පින්තූර හොයන පුංචි කොල්ලාම වූයෙමි. අපේ ඇස් හමුවූ නමුත්, ලඟට විත් කතා කරන්නට අපි දෙන්නාටම පුළුවන් වූයේ නැත. ඒ අවුරුද්දේ වෙන්නප්පුව මණ්ඩලයේ සිංහල භාෂා දින හොඳම රචනාව ජෝශප් වාස් විද්‍යාලයෙන් නොවූ බව ලියන්නට උවමනා නැත.
ඊලඟ අවුරුද්දේ විතර, ශුද්ධවු පවුලේ කන්‍යාරාමයේ උගත් අපේ නංගී සහභාගිවූ වාරාවසාන විවිධ ප්‍රසංගයකට අම්මාත් තාත්තාත් සමග මටත් යන්නට සිදුවිය. එදා ප්‍රමුඛාංගය වූයේ අමල් බිසෝ කතාවේ වේදිකා රංගනයකි. කොළපාට රෙදි පිහාටු එල්ලූ ඇඳුමක් ඇඳ අත්දෙකට තටු දෙකක් අවුණාගත් රමණී, ඒ නාට්‍යයේ ගිරවා වූවා ය. දෛවයේ සරදම්, කාලය කොතරම් නපුරුද වාගේ හිතිවිලි නම් නැගෙන්නට තරම් මගේ හිත සසල වුනේ නැති නමුත්, පරණ යාළුකමත් ඒ යාළුකමට හේතු වූ ගිරවා විදිහටම ඇඳ වේදිකාවේ රඟන රමණීත් එක්තරා විදිහක නුපුරුදු හැඟීමක් මතු නොකලාම කියන්නටත් නොහැකියි. ප්‍රසංගය අවසානයේ අහල පහල යාළු ම්ත්‍ර ගුරුවර ගුරුවරියන් සමග සාමිචි කතා බහත් අවසන්ව ගෙදර යන්නට නංගී කැන්දා ගෙන එන්නට වේදිකාව පසුපසට යන්නට වුනේ මටයි. තවමත් ගිරවාට හැඳ සිටි රමණීව දොර ලඟදීම මුණ ගැසුණත්, අපේ ඇස් එකට හමුවුනාට වඩායින් එහාට වචනයකින්වත් යන්නට ලැබුණේ නැත. අච්චර ලඟට අඳුනන මුත් නාඳුනන දෙන්නෙක් වාගේ වුනේ ඇයිදැ යි මට හිතුණේ ගෙදර ආවාටත් පසුවයි.
ඊළඟ වසරක රමණී කොළඹ බම්බලපිටියේ ශුද්ධවු පවුලේ කන්‍යාරාමයට මාරුවී ගියාය කියා මතකයේ තිබෙයි. කෙසේ වෙතත් මා නවවැනි දහවැනි පංති වල සිසුවෙක් වනවිට වෙන්නප්පුව මණ්ඩලයේ සිංහල භාෂා දින තරඟයේ රචනා තරඟ ජය ජෝශප් වාස් විද්‍යාලයට ලැබෙන්නට පටන් ගෙන තිබුණි. මෙවන් නොයෙක් වෙනස් වීම් මැද ගිරවා අතීත මතකයන් අතරට කූඩු වූ අතර, සාමාන්‍ය පෙළත් උසස් පෙළත් තරණය කර අවසානයේ කොළඹ සරසවියේ සල්ගහ යටට එන්නට තරම් වූ වාසනාවක් මට තිබුණි.
ඒ විශ්ව විද්‍යාල පළමු වසරේ, යාළු මිත්‍රයන් එකතු වී කල්ලි සෑදී, ජීවිතය විඳින්නට පටන් ගත් සමයේ දවසක, වැල්ලවත්තේ සැවෝයි සිනමා හලේ දී, පෝලන්ත සිනමාවේ සම්මානලත් චිත්‍රපටයක් වූ 'Butterflies - සමනල්ලු' නරඹන්නට අප හැම අැදගන ගියේ කළුතන්ත්‍රි බව මතකය.
චිත්‍රපටය ඇරඹෙන්නේ, අතුරුදහන් වූ මොනිකා සොයමින් වන වදුලු පීරමින් ඇවිදින දරුවන් පිරිසක් ගේ දර්ශනයකිනි. අවසන් වන්නේත් එතැනිනි. ඒ අතරතුර තියෙන්නේ නිවාඩු සමයක පිටිසරකට යන ළමයින් පිරිසක් අතර සිටින එකලොස් හැවිරිදි එඩෙක් හා අහල නිවසක මොනිකා අතර ලියලන මෝදුවන සබඳතාවත්, එය අහම්බෙන් බිඳ වැටෙන අයුරුත් අලලා කියවෙන ළමා මිතුරුකම් හිතවත්කම් යොවුන් වියේ සමනල හිතිවිලි බවට පත්වන දළඹු කාලය පිළිබඳ කතාවකි.
පෝලන්ත සිනමාවේ දැවැන්තයකු වූ ජානුස් නස්ෆිටර් (Januz Nasfeter) 1973 දී ලියා අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටය ලෝක ළමා චිත්‍රපට අතර සලකුණක් තැබූ චිත්‍රපටයක් ලෙස අදටත් සැලකෙයි. මොනිකා ලෙස මේ චිත්‍රපටයෙන් කළ එලි බට බොෂීනා ෆෙඩොශික් (Bozena Fedorczyk) ජානුස් ගේ චිත්‍රපට කිහිපයකම රඟ පෑ නිළියක වූවාය.
එදා සැවොයි සිනමා හලේ කැම්පස් බැචාලා සමග අනං මනං විහිළු කතා කියමින් පෝලිමේ ඉන්නා විට අපට ඉදිරියෙන් තාප්පය අයිනේ කෙල්ලන් පිරිසකුත් පේලි ගැසී සිටියහ. එතැන මැදකට වෙන්නට හිටියේ රමණීම බව මගේ හිත අදටත් කියයි.
එදාත් අපේ ඇස් හමුවූ නමුත්, එතැනින් එහාට වචනයකින්වත් යන්නට කරුණු කාරණා සිදුවුනේ නැත.
(පහල පින්තූරය බොෂීනා ගේය.)
Wonder Years...!!!
ReplyDeleteමටත් අතීතය සිහිවුණා!
Deletehttp://kathandara.blogspot.com/2014/02/wonder-years.html
ඔය තුමාගේ එකේ සෑහෙන්න දෙබස් තියනවා නේ...
Deleteමෙත් නිවස තාමත් තියෙනවා. අලුත් ගොඩනැගිලි හෙම එකතු වෙලා... ළක්‍රිවී නිසා මමත් ඉතින් සෑහෙන්න වෙන්නප්පුවෙ කරක් ගහල තියෙනවනේ...
ReplyDeleteමට ඔය වගේ මතකයක් තියෙනවා. අපිත් එක්ක හිටියා පිරිමි ළමයෙක් නම ලක්ෂ්මන්. සුදු බෝල ගෙඩියක් වගේ හුරුබුහුටි කොල්ලෙක්. අඹ යහළුවෝ නාට්‍යෙය් සුනිල් වගේ. එයා ඉපදිලා තිබුණෙත් මං ඉපදුණු දවසමෙයි. පහ වසරට එද්දි එයා අපේ ඉස්කෝලෙන් අස්වෙලා ගියා. ඉන්පස්සෙ කවදාවත් හමුවුණේ නෑ. ඒත් ඒ කාලෙ මං දැක්ක හීනයක මම ඒ ලක්ෂ්මන්ගෙ අත අල්ලගෙන මල් පාරක ඇවිදගෙන ගියා. මං හිතන්නෙ ඒ කොල්ලෙක් ගැන හීනයක් දැක්කමයි. ඒ පුංචි වයසෙ එහෙම හීනයක් පෙනුණෙ චිත්‍රපටියක, නාට්‍යයකවත් දැකපු කෑල්ලක් නිසා වෙන්න ඇති...
පෙර අාත්මයෙ සීන් එකක් ද කියන්නත් බෑ නේ ද තරු?
Deleteපෙර ආත්මයක, එක රාත්‍රියක, මධු කුසලානෙ දෙතොලේ රැඳෙව්වේ
Deleteඒ ඔබයි සොඳුරේ ඔබයි සොඳුරේ
පෙර ආත්මයක, එක රාත්‍රියක, සොමි සඳ පානේ රසුදැල් සෙලෙව්වේ
ඒ ඔබයි මිහිරේ ඔබයි මිහිරේ
දෑතට බරවී දෑතක හිර වී එක් වුණු තිසරුන් රංගන පෑවේ
ආදර වීණා සත්සර රාවෙන් මත් වුණු කොවුලා සිත් ලෙස නෑවේ
මධුර අතීතේ දැනුණු තුසීතේ
ජීවන ගමනේ ගිම සැනසෙව්වේ
ඒ සුව සහනය සිහි වේ
නෙත්මිණි පිබිදී පැහැසර විහිදී සියොළඟ ගිලුණා විශ්මිත එළියේ
සිත් ලෙස සුවසේ අත් ගෙන එක සේ අප සැරිසැරුවේ පෙම් සැණකෙළියේ
භවයෙහි පෙරදී ආ මග වැරදී කොයිබද ඔබ මේ ප්‍රියදේහිනියේ
මා ඔබ දෙ අතක තනියේ
(කරුණාරත්න අබේසේකර)
ඒක නම් මේ ආත්මෙදිම වුණ දෙයක්. ඒත් වාසගමක්වත් දන්නෙ නැති නිසා හොයාගන්න බැහැ. කොහේ ඉන්නවද? මොනව කරනවද කියල.
Deleteරමණි මගහැරුණෙ අපරාදෙ කියල හිතිල ආයෙ මානෙල් අක්ක මතක් වුණ නිසා ඔන්නොහෙ කමක් නෑ කියල හිතුණා.
මේ සින්දුව ලස්සනයි. ඒකෙ හින්දි චිත්‍රපටිය බැලුව මතකයි. වෛජයන්තිමාලා, දිලිප් කුමාර්ද කොහෙද උන්නෙ... ‘‘මෙරා ප්යාර් බි තුහෙ...‘‘
"ගිරවා" නිසා ඇති වෙච්චි ලස්සන මතකයන්.ගොඩක් විට ඔහොම ඇස් වලින් විතරක් කතා කරලා වෙන් වෙලා ගියාට පස්සේ හිතෙනවා අපරදේ කතා කරන්න බැරි වුනේ කියලා.එකත් එක විරහාවක්.
ReplyDeleteයමක්, කෙනෙක් මග ඇරුණායි පසුතැවීමක් නම් නැහැ. එ්ක මේ තරම ලඟට මුණගැහිලාත් වචනයක් නොකියා නවතුනේ ඇයි කියන විමතියක් කිව්වොත් නිවැරදියි.
Deleteමේ වගේ මතක සැමරුම් නැතිනම් ඒක ජීවිතයක් නෙමෙයි.වැඩේ කියන්නේ මේ වගේ දේවල් නිතර නිතරම සිද්ද වෙන එකයි.ඒ වගේම ඒ සියල්ලමත් එක වගේම සුන්දර නිසයි.
ReplyDeleteබොහෝ දේවල් සුන්දරව දකින්නට පළෙඹෙන හිතක් තිබීමත් එක්තරා විදිහක අභාග්‍යයක් නේ ද?
Deleteසුන්දර අභාග්‍යත් තියෙන්නේ ඕනි තරම්.
ReplyDeleteඕක රහසක් රසිකා. හැමෝම වගෙ දන්නෙ ‘සත්‍යම් සිවම් සුන්දරම්‘ විතරයි.
Deleteඅර අන්තිම පර දකින දවසේ කතා කලේ නැත්තේ ඇයි කියල හිතන මම..... පස්සේ මටම කල්පනා උනා මං කලින් ගිය ඉස්කෝලේ කෙල්ලෝ අපේ ඉස්කෝලෙට අවම මං කතා කලෙත් නැහැනේ...මේත් A/L කාලේ .....
ReplyDeleteඔය මතක් වෙන්නේ.
Delete