Friday, March 31, 2017

නෙළුම් මලේ එක පෙත්තද තියෙන්නේ...?

මොකක්ද මන්දා හේතුවක් හින්දා ඊයෙ පෙරේදා ඉඳලා මේ සිංදුව ඇහෙනවා ඇහෙනවා වගේ..... ඉතින් අවුණන්න හිතුනා මෙතන.


නෙළුම් මලේ...
එක පෙත්තද තියෙන්නේ
තියෙන්නේ...
ගිළිහෙද්දෙන් එක පෙත්තක් 
තවත් එහි තිබේ රොත්තක්
ගිළිහුණු පෙත්තකට මොටද හඬන්නේ
හඬන්නේ...

මහ සයුරේ...
එක රැල්ලද නැඟෙන්නේ
නැඟෙන්නේ...
බිඳෙනා විට රැළි හඬ දී
තව සිය දහසක් උපදී
නිමවීමක් කිම දෝ සිදු නොවන්නේ
නොවන්නේ...

සඳ එළියේ
එක කුමුද ද පිපෙන්නේ...
පිපෙන්නෙ
සැළෙන විටදි එක කැකුළක් 
පිපෙයි කැකුළු විද සුවඳක්
ඒ නියදම කිකලක දෝ... 
බිඳෙන්නේ

සිත හැම විට 
එක දෙයම ද සිතන්නේ...
සිතන්නෙ
මතුකොට නව කල එළියක් 
උපදයි සිතුවිළි වලියක්
කොයි කවුරුද ඒ අරුමේ...
සිතන්නේ


පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය: වික්ටර් රත්නායක
ගායනය: රෝහණ වීරසිංහ ඇතුළු පිරිස






Continue Reading...

Monday, March 27, 2017

දයා ප්‍රේමය ඇති තැන දෙවියෝ වැඩ වසනු ඇත


Tissa Dodangoda "හෙරළි බතල ටික නුපුරුදුවම්මා - බඩගින්නේ සිංහලයා"ටියුඩර් සුබසිංහ රාළහාමි ඒ වනවිට සඳලංකාවේ 'භාරත සංගීත සමාජය' නම් ආයතනයක් පවත්වාගෙන යමින් සිටියේය. එහි අරමුණ වූයේ ඒ ප්‍රදේශයේ සිටින්නාවූ කලාකරුවන්ගේ කුසලතා දියුණු කර ගැනීමට අතහිත දීමයි. එහි සංගීත උපදේශකවරයා වූයේ ලංකා ගාන්ධර්ව සභාවෙන් ශාස්ත්‍රීය සංගීතය හදාල සිංහල පුහුණු ගුරුවරයෙකු වූ ජේ කේ එස් පෙරේරා මහතාය. ව්‍යාපාරිකයෙකු මානින්ගමුවේ සිරිවර්ධන රාළහාමි, විදුහල්පතිවරයෙකු වූ ඒ. විජයසිංහ ආදීහුද ඊට සම්බන්ධ වී සිටියහ. "එඩ්වින් සමරදිවාකර" පිළිබඳ ආරංචිය දැනගත් ටියුඩර් සුබසිංහ, ජේ කේ ඒස් පෙරේරා ද කැටුව කටානට ගියේය. සමරදිවාකර නිවස පිහිටා තිබුණේ කටානේ හල්පේ මීසම තුලය. සමරදිවාකර සොයාගැනීම පිලිබඳ මේ සිද්ධිය සුබසිංහ රාළහාමි විසින් 1961 පළකල "ගුණසමර" නැමැති සමරදිවාකර සමරු කලාපයට වාර්ථා කර තිබූණේ මෙපරිද්දෙනි "...............සංගීත භාණ්ඩ නිෂ්පාදනය හා තන්ත්‍රී භාණ්ඩ වාදනය අතින් දක්ෂ ගැටවරයෙකු කටාන නම් ගමේ සිටින බව ප්‍රසිද්ධ සගීතඥයකු මාර්ගයෙන් දැනගන්නට ලැබී දවසක් ඔහු මුණ ගැසීමේ වාසනාව ලදිමි. මොහුගේ ගෙට ගොඩ වැදුණු විගසම මට හැඟුනේ ගෘහ භාණ්ඩ කර්මාන්ත ශාලාවකට ගියා මෙනි. අපට පලමුවෙන් හමුවූයේ ඔහුගේ පියාය. එතුමා මගින් මේ තරුණයා හැඳිනගෙන කථාවට වැටුණු අපට මොහු උපන් සංගීතඥයෙකු බව මොහොතකින් වැටහුණි. ඕනෑම භාණ්ඩයක් වාදනය කළ හැකි වුවත් ශාස්ත්‍රීය අතින් ස රි ග ම ප ධ නි වත් තමා නොදන්නා බව කීවේ අපේ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුවය. මේ ශාස්ත්‍රය දියුණු කර ගැනීමට ඔහු තුල ඇති ආශාවද ඉමහත් බව ඔහුගේ කථාවෙන් පෙනුණි. එබැවින් සංගීතය සම්බන්ධ හොඳ දැනීමක් ඇතිව නයිනමඩමේ ජේ කේ එස් පෙරේරා මහතාගේ ඇසුර ඇතිව සංගීතය පුහුණුවීම සඳහා මේ තරුණයාගේ ගෙදරම අපි වාදක මණ්ඩලයක් පටන් ගත්තෙමු...." -- ගාන්ධර්ව ආපදාන - 3: සමරදිවාකර සහ චන්ද්‍රසේන : සුනිල් ආරියරත්න --
--- Wow මෙහෙමත් අය ඉන්නවා.....!!!!! ---

නෙළුම් මල් දිය මත පිපුණ ද නෙළුම් අල මඩ යටය. පිය ගැට පෙලක ඉහල පියපෙති කාගේත් ඇස ගැටුණ ද, ඒ ඉහල පියපෙති දරා ඉන්නා පාදම පයට පෑගෙනු මිස නෙතක රැඳෙන්නේ එහෙමත් වෙලාවකය.

හිතවත් තිස්ස, මුහුණු පොතේ ලියූ ඉහත සටහන ලියා තිබුනේ, සෙලින් ඩියෝන්, සිය ගීතයක් ඉතාමත් දක්ෂ ලෙස ගැයූ පිලිපීන ජාතික දැරියක වූ චරීස් ට සිය ප්‍රසංග වේදිකාවටම පැමිණ ඇගේ ගීය ගයන්නට දුන් අවස්ථාව පිළිබඳව කෙනෙක් ලියා තිබූ සටහනකට අතුරු සටහනක් (කොමෙන්ටුවක්) ලෙසයි. එතැන ජේ. කේ. එස්. ගැන කියවුනු හැටියේම මතකයට ආයේ, මගෙ පරණ දිනපොත අස්සේ තවමත් තිබෙන ඉහලින් අවුනා ඇති තිලිණ කාඩ් පතය. මේ පුංචි සටහන ඒ නිසාය. මා අවුස්සා මේ ටික ලියවූවාට තිස්සට තුති.

නයිනාමඩමේ සෙබස්තියන් ඉස්කෝලෙ මහත්තයා හෝ ජේ.කේ.එස්. කිව්වාම කවුරුත් පාහේ දැන අඳුනන ජයසූරිය කුරණගේ සෙබස්තියන් පෙරේරා, ගැන මගේ මුල්ම මතකය ආච්චිගේ අත අල්ලාගෙන මහගෙදර පිටිපස්සේ දෙවට දිගේ නයිනාමඩමේ වික්ෂෝප පල්ලියේ සිකුරාදා නුවානයට ගිය කාලය දක්වා දිවෙයි. දේශපාලන බලය හා රාජකීයත්වය පසුපස ඇඹලයන් වූ පූජක පරපුරකට එරෙහිව අත කට ඔසවා ඒ පිනින්, කස පහර කා, කටු ඔටුණු පළඳා, කුරුසියක ඇණ ගැසී උකුත් වූ මිනිසකු, දෙවියන්ගේ පුත්‍රයායි වැඳුම් පිදුම් ලබන ක්‍රිස්තියානි ධර්මය අදහන කතෝලික පල්ලියේ, වැදගත්ම කාන්තා සංකේතය වන්නේ දේව මාතාව වූ මරියාය. ඇගේ ජීවිතයේ එක් එක් අවස්ථාවන් අලලා, එක් එක් නම් ගොත් සහිතවූ සංකේතාත්මක සිහිකිරීම් අතර, වික්ෂෝප මෑණියෝ, කුරිසියෙන් ගැලවූ සිය පුතුගේ මළ සිරුර උකුලත හොවා වැලපෙන මවගේ කම්පාව සංකේත කරති. ඕ නමින් පැවැත්වෙන සිකුරාදා නුවානයට මුළු ගමම මතු නොව අහල පහල ගම් රැසකිනුත් නයිනාමඩමේ පල්ලිය පිරීයයි. පල්ලියේ යැදුම යැදුමකට වඩා ගැයුමකි. කන්තාරු කණ්ඩායමත්, ඕගන් එක අහල වාඩි වූ ඉස්කෝලෙ මහත්තයාත් ඒ ගැයුමේම කොටසකි.

දයා ප්‍රේමය ඇති තැන
දෙවියෝ වැඩ වසනු ඇත
කිතු තුමන්ගේ ප්‍රේමයෙන් අපි සැමදෙන එක්වෙමු
එතුමන් තුල ප්‍රීතියෙන් සතුටු වන්නෙමු

ජීවමාන දෙව් තුමනට හදබැති පෙම් දක්වමූ
අවංකවූ හෘදයෙන් එකිනෙකාට ප්‍රේම කරමු

දයා ප්‍රේමය ඇති තැන
දෙවියෝ වැඩ වසනු ඇත

අපි කිසියම් තැනකට එක්තැන් වී සිටිමුද
එක් සිත් වී සිටිනට ප්‍රවේශම් වෙමු
සන්ඩු දබර නඩු හබ නොව සාමයෙන් ජීවත් වෙමු
කිතු සමිඳාණන් නිතින්
අප වෙතටම කැ‌ඳව ගනිමු

යැයි විහිදෙන ගීතිකාව මා දන්නා තරමින් නම් නොගැයෙන පල්ලියක් තියෙන්නට නොහැකිය. ඒ ජේ.කේ.එස් ම කියන හැටියට ගීතිකාවක් වෙනුවෙන් කෙරුණු ඔහුගේ පළමු තනු පබැඳුමයි. තාත්තාගේ අඩිපාරේම යන ලාල් පෙරේරා යූ ටියුබයට එක්කල මේ වීඩියෝවේ ඉස්කෝලෙ මහත්තයාගේ සංගීත ජීවිතයේ අඩිතාලම ගැන ඔහුම කතා කරයි.


අපේ රටේ කතෝලික පල්ලියේ සිංහල ගීත සාහිත්‍යය ඇරඹෙන්නේ එක්දහස් හයසිය අසූ අනූ ගණන්වල ජුසේ වාස් පියතුමාගේ හා ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමන්ගේ දහම් සේවයේ සිට බව පෙනෙයි. එසේ වුව ද, කතෝලික වත් පිලිවෙත් තුලට දේශීය ගැයුම් වැයුම් මෙන්ම සිරිත් විරිත් ද හරියාකාරවම එකමුතු වන්නේ, 1958 විසිතුන්වන ජුවාම් නමින් පාප් පදවි ප්‍රාප්ත වන ආන්ජලෝ රොන්කල්ලි අතින් 1962 දී ඇරඹෙන දෙවන වතිකානු සමුළුව විසින්, එතෙක් ලතින් බසින් පැවතුනු දේව මෙහෙයයන් හා යැදුම් දේශීය භාෂාවන්ගෙන්  පවත්වන්නට ගන්නා තීරණයත් සමගය.

මේ පරිවර්තන අවධියේ, ලාංකිය කතෝලික පල්ලිය තුල ඇතිවූ දේශීයකරණය තුල ජේ.කේ.එස්. පෙරේරාගේ දායකත්වය නිරනුමානයෙන්ම සැමරෙයි. නයිනාමඩමේ පාස්කුව, 'ගොල්ගොතා' හි සංගීතය මෙහෙයවුනේත්, පාප් තුමන් පැමිණීමේ තේමා ගීතය තනු ගැන්වුනේත් ජේ.කේ.එස්. අතිනි. සුදොවුත් බවට එසැවුණු, ජුසේවාස් පියනමගේ වන්දනා ගීතය ද නිමවන්නේ ඔහු අතිනි. මේ සියල්ලට වඩා ඉහලින් ඇත්තේ, පාසලේත්, පල්ලියේත්, ගමේත්, ගෙදරත්, ඔහු අතින් ස්වර සත වනපොත් තැබුණු, ගෝල පරපුරයැයි මම සිතමි. සංගීතය හදවතින් පැන නැගෙන හද බැඳි දෙයක් වගත්, උස් පහත්, ධනවත් දුප්පත් භේද අතර නොබෙදුනක් බවත් කතාවෙන් නොව ක්‍රියාවෙන් පෙන්වන්නට ඉටා ගත්තන් අප අතරත් ඉන්නා වග ගුරුවරයකු, සංගීතඥයකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු ලෙසද වූ ජේ.කේ.එස්.ගේ භූමිකාව තුල මම දකිමි.

කලා විභූෂණ සම්මානයෙන් පිදුනු සෙබස්තියන් ඉස්කෝලෙ මහත්තයා, දෙදාස් හතරේ අප්‍රියෙල් මාසයේ දවසක ජීවිතයෙන් සමුගත්තේය. ශුද්ධවූ ජුසේවාස් තුමන්ගේ වසර ලෙස, ලංකා කතෝලික සභාව නම්කර ඇති මේ දෙදාස් දාහත අවුරුද්ද පුරාම, ජේ.කේ.එස්. ගේ ජුසේවාස් නැමදුම් ගීය ගැයෙනු ඇත. ඒ හා යැදෙන යැදුම් තුල ඔහු පිළිබඳ මතකයන් ද අළුත්වනු ඇත.

සංගීතය ජීවමාන වන්නේ, මිනිසුන් ගැහැණුන් එක්ව ගයන ගැයුම් තුලය. එහි සෞන්දර්යය උපදින්නේත් පවතින්නේත් ඔවුන්ගේ හදවත් තුලය. තමන් ලද හැකියාව වටහාගෙන එය දල්වා පහනක්ව දිදුළුවන මිනිස්සු, මඩයට සැඟවුණු නෙළුම් අල මෙන් සැඟව සිටිය ද, පිපුණු නෙළුමේ සුවඳ තුල ඔවුන්ගේ කාර්යයේ ආනන්දය පැතිර විහිදෙයි. එවන් මිනිස්සු අප අතර කොතෙකුත් වෙති. ඇවැසිවන්නේ මදක් නැවතී, ඇස්වල දුහුවිලි පිසදමා බැලීම පමණි.

මේ අතින් මේ ඉතිහාසය අවුණා ලියා සටහන් කරන්නට මහාචාර්ය සුනිල් ආරියරත්නයන් කරන්නාවූ මෙහෙයට හිස නමා ආචාර කරමි.

දයා ප්‍රේමය ඇතිතැන දෙවියෝ වැඩ වසනු ඇත....!


ශුද්ධවූ ජුසේ වාස් නැමදුම් ගීය:

Continue Reading...

Tuesday, March 21, 2017

විපරීත යුගයක තරුණ සිනමාව

බූන්දියෙන් උපුටා ගැණුනි- http://www.boondi.lk/article.php?ArtID=5102



බූන්දි, සඳුදා, මාර්තු 20, 2017 18:53:42
මොනවා අඩුපාඩුව තිබුණද කියමන් අතින් කිසිදා හිඟයක් නොමැති අප රටෙහි'යකඩ මල්ලට ගුල්ලො ගැහුවා නං පන් මල්ල නොබලම වීසි කරපිය'යනුවෙන් සිංහල කියමනක් තිබේ. සමස්තයම පරිහාණියෙන් පිරිහාණියට ගිය රටක සිනමාව පමණක් ඉතිරි වී තිබීම විය නොහැක්කකිය යන්න සම්බන්ධයෙන් ඒ කියමන අදාළ වෙයි. දේශපාලනය බඩ රස්සාවක් බවට පත්ව ඇති, දේශපාලකයන් කියමින් අමු තක්කඩියන් තෝරා පත්කර ගැනීම සිය කාර්යය බවට පත්ව ඇති, රටකට අවශ්‍ය චින්තනමය වෙනසක් සඳහා මුලපිරුමට හැකි බුද්ධිමතුන් බිහිකිරීම වෙනුවට එහෙම පිටින්ම දැක්මකින් තොර, ආත්මාර්ථකාමී ජීවීන් තනනා අසාර්ථක අධ්‍යාපන ක්‍රමයක් ඇති, දේශප්‍රේමය වැසිකිළියේ තැටමීමේ සිට කෑම මේසයේ කට ගැස්ම දක්වා නොඅඩුව භාවිතා කරන, තමන්ගේ සියළුම ප්‍රශ්නවලට මුල අනෙකා බව සිතන සමාජයක, වෙනස් ආකාරයකට සිතන මිනිසුන් බිහි කිරීම යනුම අභියෝගයකි.

හැට හැත්තෑව සහ අසූව දශකයන්හී වාණිජ අතින් මෙන්ම කලාත්මක පාර්ශවයෙන් ද වැදගත් කෘතීන් ගණනාවක් බිහි කිරීමට සමත් වූ එහෙත් ඒ සිනමා කෘතීන් ගෙන් බොහොමයක් ඊලඟ පරම්පරාව වෙනුවෙන් රැක ගැනීමට අසමත්වූ රටක් ලෙස විපරිණාමයට පත් ලංකාවේ අනූවේ සිට අපට දවස් ගෙවුනේ සිනමාව යනු ඉඳහිට හතු පිපෙන්නාක් මෙන් සිනමා පටයක් නිපදවෙන වටපිටාවකය. ලෙස්ටර්, පතිරාජ, ධර්මසිරි, වසන්ත, නිහාල්සිංහවැනි කලාත්මක සිනමාව පෝෂණය කල දැවැන්තයන් මෙන්ම දීර්ඝ නම් ලැයිස්තුවක් සහිත වාණිජ සිනමාකරුවන් ද සිටි රටක සිනමාවේ පරිහාණිය රූපවාහිනියේ ආගමනයට පමණක් ලඝු කිරීම අද බොහෝ විට දක්නට ලැබෙතත් මේ ඊට වඩා පුළුල් විග්‍රහයක් අවශ්‍ය ක්ෂේත්‍රයකි.

රට තුළ මෙන්ම ගෝලීය වශයෙන් ද ඇතිවන ආර්ථීක සාධක මෙහිලා සැලකිය යුතු බලපෑමක් කර ඇති අතරම රටෙහි මැතිවරණයෙන් මැතිවරණයට දැක්මක් නැති දේශපාලකයන්ට දියවන්නාවේ අධිපත්‍යය හිමිවීම අර්බුදය ඛේදවාචකයක් බවට පත්කිරීමට හේතුවී ඇති බව පැහැදිලිය. මෙහිදී එක් පසෙකින් පෙර පරපුරේ සිනමාකරුවන් ක්ෂේත්‍රයෙන් පිටමං වීමත් සිනමාකරුවන්ගේ දෙවන පරම්පරාවේ ප්‍රමුඛයන් වන ප්‍රසන්න, හඳගම, විමුක්ති වැන්නන් දේශපාලන අත්තනෝමතිකත්වය සහ ජාතිවාදය විසින් දඬුකඳට දැක්කීමත්, හරවත් සිනමා විචාරය සම්ප්‍රදාය අපට අහිමිවීමත්, මහින්ද චින්තනය අනුව සිනමාපට නිපදවිය යුතුය යනුවෙන් මෙනූ පත් රැගත් ඒජන්තයන් සිනමාවෙහි විවිධ මර්මස්ථාන අරක් ගැනීමත් සමග සිනමාවේ දෙවන පරපුරට සිදුවූයේ සිනමා නිර්මාණ බිහි කිරීම පසෙක ලා තම ආරක්ෂාව වෙනුවෙන් අරගල කරනා තැනකට පත්වීමටය. එසේම එවන් තත්වයක් යටතේ පවා තමන් විසින් නිර්මාණය කරනු ලබනා සිනමා පට වෙනුවෙන් උසාවි ගානේ රස්තියාදු වීමටය.



සිනමාවේ පරිහාණිගත ගමන වඩාත් අර්බුදයට යන්නේ අපරීක්ෂාකාරී ලෙස නගරාන්තර බසයක් ධාවනය කරන්නාක් වැනි චණ්ඩින් දේශපාලනයට මෙන්ම සිනමාවටද පිවිසීමත් සමගය. විශේෂයෙන් යුද්ධය සමග දේශපාලනයේ වන වෙනසත්, බුද්ධිමය සංවාද වෙනුවට ආගමික ඇදහිල්ල සහ මිථ්‍යාව සිය ජීවන පැවැත්ම කරගත් පූජක පැලැන්තියක සීඝ්‍ර නැගී ඒමත්, අන් කවරදාටත් වැඩියෙන් නග්න ලෙස සිංහල බුද්ධාගම යයි හඳුන්වාගත් ජාතිවාදය සහ පාලක පංතිය සහවාසය ඇරඹීමත්, ඒ සමග එතෙක් තමන් සිටි ආස්ථාන වහවහා මාරු කරමින් අන් බොහෝ අය පරිදිම සිනමා ක්ෂේත්‍රයේ ද සැලකිය යුතු පිරිසක්රාජපක්ෂාගම සහ ජාතිවාදයේ සරණයාමත් නැරඹීම පසුගිය කාලයෙහි ප්‍රේකෂකයාගේ සිනමා අත්දැකීම බවට පත්වීම මෙහි කූටප්‍රාප්තියයි. ආගම සහ පාලනය එකගෙයි කෑම ප්‍රසිද්ධියේ ඇරඹීමත් සමග සිනමාවේ ඇතිවූ අවසන් බිඳවැටීම සනිටුහන්වන්නේ කොලාජ් චිත්‍ර මෙන් එහෙන් මෙහෙන් කෑලි පූට්ටු කල වෙසක් නාට්‍ය වැනි විගඩම් තිරය අරක් ගැනීමත් සාදුකාර දෙමින් නිවන්සුව සොයා යන අසපුවාදී මධ්‍යම පංතික නඩයක් ප්‍රේක්ෂකයන් බවට පත්වීමත් මගිනි. ඊට ප්‍රතිපක්ෂ ලෙස වාණිජ සිනමා පට නිපදවීම සඳහා දරන ලද උත්සාහයන් ද අවසන්වූයේ රටෙහි මෙන්ම ගෝලීය වශයෙන් ද පවත්නා අර්බුද මෙන්ම එකී සිනමා නිර්මාපකයන්ගේ ද අසාර්ථකවීම් නිසා බවට මෑත ඉතිහාසය සාක්ෂි දරයි.

අප වර්තමාන සිනමා ක්ෂේත්‍රයෙහි තරුණ සිනමාකරුවන්ගේ ආගමනය සැලකිල්ලට ගැනීමේදී ඉහත පසුබිමද සිහිතබා ගැනීම වැදගත් වෙයි. පළමු පරපුරේ බොහෝ සිනමා දායාදයන් නැරඹීමට පවා පසුබිමක් නැති, එසේම දිගින් දිගටම සිය සිනමා භාවිතාව නිසා බැට කෑමේ ඉරණමට ලක් කරන ලද දෙවන පරපුරක අත්දැකීම ඇති වත්මන් පරපුරට පය තබන්නට සිදුවන්නේම බරපතල සෝදාපාළුවකට ලක් කරන ලද ක්ෂේත්‍රයකටය. ඔවුන්ගේ ආගමනය සිදුවන විට ඔවුනට පෙර පරම්පරාවේ දේශපාලනික සවිඥානකත්වයෙන් යුත් සිනමාකරුවන් අතළොස්ස සිටිනුයේ සිනමාපට නිර්මාණයේ සිට එය ප්‍රදර්ශණය දක්වාම සියළු කුරුසයන්ට තනිවම කර දිය යුතු පසුබිමක අසීරු අරගලයක යෙදෙමිනි. ඉදින් නොවැලැක්විය හැකි ලෙසම වත්මන් තරුණ පරපුරේ උරුමය වන්නේ ද එයමය. අදවන විට ඉතාම අසීරුවෙන් ඉතා විශාල දුෂ්කරතා සහ අභියෝග මැද එක සිනමා පටයක් නිර්මාණය කිරීමට විශාල කාලයක් වැය කිරීමට, එය නිමවා ප්‍රදර්ශණ මට්ටමට ගෙන ඒමට තවත් දැවැන්ත අරගලයක නිරත වීමට මෙන්ම විවිධ ක්‍රීඩාවන්ගෙන් ගහන ක්ෂේත්‍රය තුළ එය ප්‍රදර්ශණය කිරීමට අවස්ථාව ලබා ගැනීමට ඉතා දිගු කාලයක් අසාධාරණ ලෙස පෝලිමක රැඳී සිටීමට ඔවුන්ට සිදුව ඇත්තේ හඳගම වැනි පෙර පරපුරේ සිනමාකරුවන්ට ද අතරමැදි දර්ශණවාර සඳහා සිය සිනමාපට මුදා හැරීම වැනි අනතුරුදායක අත්හදාබැලීම් සිදුකිරීමට බල කෙරෙන වටපිටාවකය. මෙවන් තත්වයකදී එකම සිනමා පටයක් නිපදවීමට සිය තරුණ කාලය සහ ජවය වැය කිරීමෙන් ඔවුන්ට ක්ෂේත්‍රයෙන් බැහැරවීමට සිදු වුවහොත් එයද පුදුමයක් නොවනු ඇත.

මෙවන් තත්වයක් යටතේ වුව තරුණ පරපුර සිනමාව සිය ප්‍රකාශණ මාධ්‍යය කර ගැනීමට දරන තැත අපේ ඇගයුමට ලක්විය යුතුය. දිගු කාලීනව දරන ලද වෙහෙසින් අනතුරුව සිනමාපටයක් නිර්මාණය කරගැනීම සඳහා වන තම උත්සාහයේ පළමු අදියර ජයගෙන එය ප්‍රදර්ශණය කිරීමට අවස්ථාවක් නොමැතිව බලා ඉන්නා තරුණ සිනමාකරුවන්ගේ පෝලිම දිගුවීම රටක දක්නට ලැබෙන බරපතල ඛේදවාචකයකි. සිය කුළුඳුල් සිනමා නිර්මාණය උළෙලවල්හිදී ප්‍රදර්ශනය කිරීමෙන් සෑහිමට පත්වන්නට සිදුව ඇති උපාලි ගම්ලත්, මලිත් හෑගොඩ මෙන්ම වෙහෙසකර බලා සිටීමකිින් පසුව ඉතා කෙටි කාලයක් ප්‍රදර්ශණය කරමින් සිනමා ශාලාවලින් ගැලවී යාමේ ඉරණමට ගොදුරු වුන 'මෝටර් බයිසිකල්' සහ 'සයපෙති කුසුම' වැනි සිනමාපට අප ඉදිරියේ නගන නිහඬ ප්‍රශ්ණය ඉතාම බරපතලය.

නව පරපුරේ නිර්මාණකරුවකුවන මාලක දේවප්‍රියගේ 'බහුචිතවාදියා' සිනමා පටයේ මෙවන් සීමිත දර්ශණවාරයකට සහභාගි වන්නට අපට අවස්ථාව ලැබෙනුයේ මෙවන් වටපිටාවකය. මීට පෙර මෙලෙසම උළෙලක දර්ශණවාරයකදී 'දැකල පුරුදු කෙනෙක්' සිනමාපටය නරඹන්නට ලැබුණ අවස්ථාව ද මෙහිදී මතකයට නැගෙයි.

කෙසේ වෙතත් මේ තරුණ සිනමාකරුවන්ගේ දුෂ්කර ව්‍යාායමය නරඹනවිට පරිභෝජනවාදී සමාජය තුළ වාණිජ අතින් අසාර්ථකත්වය අත්විය හැකි වුවද නිර්මාණාත්මක අතින් ඔවුන් දක්වමින් ඉන්නා කුසලතාවන් පවත්නා සීමිත කතිකාව තුළ හෝ සැලකිල්ලට ලක්විය යුතුව තිබේ. මේ සිනමාකරුවන්ගේ ව්‍යායාමය තුළ දක්නට ලැබෙන සුවිශේෂීම ලක්ෂණය වනුයේ ඔවුන්මත බලහත්කාරී ලෙස පටවන ලද අන්තවාදී මතවාදීමය මෙහෙයුම් පරයා ස්වාධීන ලෙස නැගෙන්නට ඔවුන් දක්වා ඇති සමත් කමයි. එහෙයින්ම ඔවුන්ගේ ව්‍යායාමය පවත්නා අධිපතිවාදී මතයනට එරෙහිව යාමකි. සයපෙති කුසුමසිනමාපටය ඊනියා සුචරිතවාදී සමාජය තිගැස්මකට ලක්කරන මාතෘකාවක් එනම් සමලිංගික සහ සංක්‍රාන්ති ලිංගිකත්වය පිලිබඳ තේමාවට අත තබද්දී (පූර්ව පරම්පරාවේ ෂෙල්ටන් පයාගල මෙන්) මෙතෙක් තිරගතව ඇති මෝටර් බයිසිකල් මෙන්ම දැකල පුරුදු කෙනෙක් සහ බහුචිතවාදියා ප්‍රවිශ්ට වන්නේ වත්මන් තරුණ පරම්පරාවේ ජීවිතය (පතිරාජ, ධර්මසිරි, හඳගම ආදී වශයෙන් පෙර පරම්පරාවේ සිනමාකරුවන් මෙන්) නැවත කියවීමකට ලක් කිරීම පිණිසය. ජාතිවාදය, දේශප්‍රේමය මෙන්ම ආගමික අන්තවාදය ද කොට කොටා පොවන ස්ථාපිත මෙන්ම ගරිල්ලා සංස්ථාවන් ද බහුල සමයක ඒ සියල්ල මැදින් අතිශය ආත්මාර්ථකාමී පැවැත්මක් සඳහා පැටි වියේ පටන් නිවසේ සිට පාසල හරහා සරසවිය දක්වාම හැඩගස්වනු ලබන විකෘති අධ්‍යාපන ක්‍රමයක ද ගොදුරු බවට පත් තරුණ පරපුරකින් තම ජීවිතය තමනට දෙන ලද කණ්නාඩිය ඉවත හලා සැබෑ ලෙස ඒ දෙස බලන්නට පෙළඹෙන කිර්මාණකරුවන් සීමිත පිරිසක් හෝ ඉදිරියට ඒම බලාපොරොත්තු දනවන සංසිද්ධියකි.



නිර්මාණාත්මක පාර්ශවයෙන් ඔවුන්ගේ ව්‍යායාමයෙහි ඇති ප්‍රබලතා මෙන්ම දුර්වලතා ද විචාරයට ලක්කල යුතුය යන්න අවිවාදිත වන අතරම කිසිදු පහසුකමක් නොමැති පරිසරයක සිනමා නිර්මාණයකට අතගැසීම දිවිනසා ගැනීමක් වන් සමයක ඒ අභියෝගය භාර ගැනීම ගැන අප මේ තරුණ සිනමාකරුවන් ඇගයුමට ලක් කල යුතුය. විශේෂයෙන්ම පසුගිය වකවානුවේ චින්තන අච්චුවේ සිනමාපට නිර්මාණය කරමින් ගලා යන කාසි නදියෙන් දෝතක් නොව මලු පුරවා ගැනීමට පවා අවස්ථාව තිබියදී, ඇතැම් විදග්ධ යයි කියනා කලාකරුවන් අමු නිරුවතින් එහි බැස පිහිනද්දී මේ සීමිත තරුණ සිනමාකරුවන් ඒ අභියෝගයට මුහුණ දුන් ආකාරය ප්‍රශස්තය. මෝටර් බයිසිිකල්, දැකල පුරුදු කෙනෙක් මෙන්ම බහුචිතවාදියා යන සිනමාපට ත්‍රිත්වයෙහිම තේමාව පොදුය. සමකාලීන තරුණ පරපුරේ ජීවිතයේ කැඩි කැඩී ගලා යන රිද්මය මේ සිනමාකරුවෝ තිදෙනාම ග්‍රහණය කරගනිති. දැකල පුරුදු කෙනෙක් සිනමා පටය මධ්‍යම පංතික යුවලක ගේ ජීවිතය හරහා මේ තේමාව අල්ලා ගනිද්දී මෝටර් බයිසිකල් මෙන්ම බහුචිතවාදියා ස්පර්ශ කරනුයේ ඒ පංතියට නැගීමට අසාර්ථක උත්සාහයක යෙදෙන, පා ඇඟිලි තුඩින් ඉස්සී ඉහලට එසවෙන මොහොතේම ලිස්සා යළි පතුලට වැටෙන පීඩිත තරුණ පරපුරේ ජීවිතයයි.

මෙහිදී මාලක දේවප්‍රිය, මෝටර් බයිසිකල් සිනමා පටයට වඩා දේශපාලනික ලෙස වත්මන් තරුණ පරපුරේ අර්බුදය ග්‍රහණය කරගනියි. දේශපාලන වේදිකා තුළ පින්කෙතක් ලෙස දැක්වෙන කොදෙව්වක කවර උපක්‍රමයක් හෝ භාවිතා කර මුහුදින් එතෙරට නොව කෙසේ හෝ යුරෝපීය රටකට පැන ගැනීමට සිහින මවනා තාරුණ්‍යය මාලක සිනමාවට නගන්නේ දැකල පුරුදු කෙනෙක් හි මලිත් දක්වන පරිණතබවම විදහමිනි. කෙතරම් පින්කෙතක් වුවද තවමත් මෙහි සිට දියුණුයයි සම්මමත රටවලට මිස ඒ කිසිම රටක සිට මේ කරා සරණාගතයන් රැගත් වල්ලම් නොඑන වර්තමානයක මාලක බිඳ වැටුන ක්‍රමයක විවෘත ගොදුරක්ව උපතේ සිටම සිහින පසුපස ලුහුබඳින ඉරණම කර පටවා ගත් තරුණ ජීවිත කිහිපයක් හරහා සමාජය කියවීමට රූපරාමු අමුණයි. ආගම, නක්ෂත්‍රය, ඇතුළු සියළු අගතීන්හී ගිලුණ ජීවිත, මිත්‍රත්වය පවා නොතකන ස්වාර්ථකාමී තාරුණ්‍යයක චලිතය, හුදු ගණුදෙනුවක් බවට පත් ආදරය යයි කියනා විකාර සහගත සබඳතාවන්, වාමාංශික කඳවුරෙහි වත්මන් රූපාන්තරණය, නූතන තාක්ෂණ මෙවලම් තුළ හරසුන්ව යන මානව බැඳීම් මේ විවිධ තේමාවන් මාලක ඉතා කෙටි දෙබස් ඛණ්ඩයන් හා රූප රාමු මගින් දක්ෂ ලෙස සිනමා පටයකට සංස්කරණය කරයි.

තමන්ගේ අර්බුදය හමුවෙහි තම සමීපතම මිත්‍රයාගේ බිරිඳ වෙත පවා යොමුවන්නට තැත් දරන තරුණයා මෙන්ම අකාලයේ වියපත්වන ඔහුගේ අවිවාහක සොහොයුරිය සමග සඳතාවක් අරඹන අනෙකාද, තරුණයාගේ ප්‍රේමයෙහි වංක බවට එරෙහිව ඉතා දැඩි ලෙස ප්‍රතිචාර දන්වන ඔහුගේ පෙම්වතිය තරුණයාගේම පෙර ස්වාමියා සමග වහා අරඹන අනුරාගී සබඳතාව යන මේ සියල්ලම තුළ ඇත්තේ ෆේස් බුක් පිටු හරහා සරමින් විදෙස්ගත තරුණියකගේ ගැලවුම්කරුවා වී කරදිය වලල්ලෙන් පිට පැනීමට සිහින මවනා තරුණයාගේම කාබන් කොපි මිස අන් කවරක්ද?

මාලක තම සිනමා පටය තුළින් පරිභෝජනවාදී සමාජයක විකාරයක් බවට පත්වන මිනිස් සබඳතා එකිනෙක මුණගස්වන්නේ වැරදිකරුවන් නිවැරදිකරුවන් සෙවීමට ඉතා උනන්දුසහගත සමාජයක් අන්දමන්ද කරවන අයුරිනි. ඔහුගේ සිනමාපටය තුළ චූදිතයන් සහ අහිංසකයන් වෙනුවට අපට හමුවන්නේ අපේම සමකාලීන ජීවිතයෙහි දෝංකාරයන්ය. වත්මන් තරුණ සිනමාකරුවන්ගේ නිර්මාණ නරඹන විට පතිරාජගේ අහස් ගව්වධර්මසිරිගේහංසවිලක්හි සිට හඳගම, ප්‍රසන්න හරහා කාලය බොහෝ ගෙවී ඇත ද ප්‍රකාශමාන වන ස්වරූපය වෙනස් වුව ද ජීවිතය යන්න පවත්නා දේශපාලන කොන්දේසි තුළ තවමත් නොවෙනස් ඛේදයක්මය යන්න අපට යළි සිහිපත් කෙරෙයි.

බහුචිතවාදියා නැරඹූ පසුව මගේ සිතට තවත් සිනමා පටයක් පිවිසුණි. එයඇල්බේනියානු සිනමා පටයකි. එය නම් කර ඇත්තේ ඇල්බේනියානුවා නමිනි. ඉතා දැඩි ලෙස පාරම්පරික සම්ප්‍රදායන් ගරු කරන (මේ සම්ප්‍රදායන්හී පවත්නා අනම්‍ය ස්වරූපය ගැන මවිසින් පරිවර්තිත 'බිඳවැටුන වසන්තය' නම් කෘතියෙහි අපූර්ව ආකාරයෙන් නිරූපිතය.) ඇල්බේනියාවේ කඳුකර කලාපයෙහි තරුණ යුවලක් ඇසුරින් නිර්මාණය කරන ලද එම සිනමා පටය සහ මාලක ගේ සිනමා පටයෙහි තේමාව සමාන වන තැනක් තිබේ. ඇල්බේනියානුවා සිනමා පටයෙහි ද කතානායකයා සියළුම ආකාරයෙන් යත්න දරනුයේ ජර්මනියට පැන ගැනීමටය. ඔහු ද අප රටේ පරිදිම විවිධ තැරුව්කරුවන් හරහා සිය ප්‍රයත්නය සාර්ථක කර ගැනීම තැත් දරා ජර්මනියට පැන ගැනීමට සමත් වෙයි. අවසන ඔහු මුදල් ද සමගින් ආපසු සිය රටට එන්නේ මිනීමැරුමක් ද සිදු කරමිනි. එහෙත් මාලක ගේ සිනමා පටයෙහි එන තරුණයාට මුළුමනින්ම වෙනස්ව ඇල්බේනියානු තරුණයා ජර්මනියට යන්නේ සම්ප්‍රදාය අනුව තමා ගේ පෙම්වතිය විවාහ කර ගැනීමට ඇගේ පියා විසින් ඉල්ලන අධික මුදල සපයා ගැනීමටය. ඔහුගේ මුළු ව්‍යායාමයම සිය ප්‍රේමවන්තිය දිනා ගැනීම උදෙසාවන අදිටන් සහගත ප්‍රයාණයකි. නමුදු ඒ ඇල්බේනියානුවාට මුළුමනින්ම ප්‍රතිවිරුද්ධ ලෙස ඉතා ප්‍රබල ඉතිහාසයක් මෙන්ම සම්ප්‍රදායන්ද ඇතැයි උදම් අනන අප රටෙහි 'නූතන' සමාජයෙහි අපට හමුවන්නේ ඇල්බේනියානුවා බඳු අය නොව මාලකගේ සිනමා පටයෙහි එන චරිතය. එය සියළු වටිනාකම් සිඳගත් සමාජයකට එළඹිය හැකි තාර්කික ගොහොරුවයි.

ඉදින් සිනමා පටයක් නිර්මාණයේ සිට එය ප්‍රදර්ශණය දක්වා කරන්නට සිදුවන අරගලය ද තවත් තිරකතාවන් සිය ගණනකට පදනම සපයන රටක මේ සිනමාකරුවන්ගේ නිර්මාණ අවධානයකින් තොරවම වැලලී යතොත් එය ඔවුන්ගේ මෙන්ම අපේද ඛේදවාචකය නොවන්නේද?




Continue Reading...

Monday, March 20, 2017

කරත්ත කවි




ගෙජ්ජි වැලේ සිලි සිලි මල්
පින්න මලේ සුද පීදෙන
මීදුම් ගුලි ගුලිවෙයි හඳ
අපි ගිය ගමන් මතකද ගම්

හිනාවට
වෙලාවට
පිඟානට
තුලානට

වැලි පාරට ගල් ඇතිරී තාර
ලොරි බස් වල කළු දුම්මල දුම්
ආතුරයෝ බලි මඩුවේ අපි
කඩපිල ලඟ අපේ දවස යයි

පෙවී
පිරවී
පේවී
පාවී

කිසිම දෙයක් හැමදා එක ලෙස
කලින් කලට යල මහ වුව වෙනස්
පෙරළි වලට හිත කළඹා පලක්
වැරදි නොවේ අකුරක් බණ පොතේ

නොවෙතී
වෙතී
නැතී
ඇතී

මන්දාරම මෝරා වැහි
වැව් තාවුල වැහි වතුරෙන්
ඒ ජලකඳ පාර පුරා
අපි නැතුවා එතෙර මෙතෙර යනු

හැළුණාම
පිරුණාම
ගැළුවාම
කෝම

උඹෙ අම්මා කිරි දුන්නා මයෙ
මගේ පුතේ තරහද නහ
අද දවසේ උඹ මා ලඟ නැති
පුතේ කියා අමතන්නේ මම

දූට
විද්දාට
වෙන්ට
කාට

මගෙ ඇස් දෙක පියවෙන තුරු
පුතේ උඹට සිදුවෙනු නෑ තනි
යාළු මිතුරු කළ දේ බෑ හරි
අපට හැකිද අපෙ දරු ඇඟ මස්

නොඇරෙන්න
වෙන්න
වෙන්න
කන්න

Continue Reading...

Friday, March 17, 2017

තනි ලෑල්ලේ පයින් හැටහතර



තනි ලෑල්ලේ, ටිකක් පරිණත භාෂාවෙන් ලියනවා නම් ඒක ඵලක පරිගණක, නැත්තම් single board computer  (කෙටියෙන් කියන විට SBC)  අළුත් හඳුන්වා දීමක් නම් නොවෙයි. පරිගණකය බොහෝ යන්ත්‍ර සූත්‍රවල මස්තිෂ්කය වීම ඇරඹුණු මුල් කාලයේ සිටම, ප්‍රධාන පරිපථ හා 'චිප්' එක අඩංගු වූ මව් ලෑල්ලකට, දූහිතෘ පරිපථ අවුණා එක් එක් රටාවට ලතාවට එකලස් කල 'පරිගණකය' තනි ලෑල්ලක තනි පරිපථයක් සේ නිපදවීමේ කාර්යය සිදුවෙමින් තිබුණා.

ඩෙක්ස්ටොප් එක ලැප්ටොප් එක වී, ටැබ් එක ලෙස පරිණාමය වීමත්, අනෙක් පැත්තෙන් ජංගමය ස්මාර්ට් වී, පෑඩ් එක වීමත් ආදි වශයෙන් පරිගණක ක්ෂේත්‍රයේ ද්‍රෘඩකාංග වල සිදුවන්නා වූ විපර්යාසකර පරිවර්තන ජාලය අස්සේ එස්.බී.සී. ක්ෂේත්‍රයත් ඉතා සීඝු පෙරළියකට හසුව තිබෙනවා. එයින් වඩාත්ම කසු කුසුවක් ඇති කලේ මෑත කාලයේ හඳුන්වා දුන් අඩු වියදම් රාස්ප්බෙරි පයි පරිගණක පද්ධතියයි. ඩොලර් පහකට මිල නියම වූ රාස්ප්බෙරි පයි ශීරෝ, තාක්ෂණික අධ්‍යාපන උපාංගයක් ලෙස ජනප්‍රිය වූ අතර, අද වනවිට රාස්ප්බෙරි පයි අංගෝපාංග රැසක් වෙළඳපලේ තිබෙනවා.


මේ අංශයේම අනික් හඳුන්වා දීම ආර්ඩියුනෝ පරිගණක තාක්ෂණ පද්ධතියයි. එයටම ආවේණික මෘද්‍රකාංග පද්ධතියකුත් ඇතුළුව නිර්මාණය කෙරුණු ආර්ඩියුනෝ, පරිගණක මොළයකට නොයෙකුත් සංවේදක පිරිද්දීමටත්, ඒ සංවේදකයන් ගෙන් ලැබෙන සංඥා මත යම් යම් ක්‍රියාකාරකම් දියත් කරන්නටත් හැකි මෙවලම් එකලස් කල හැකි උපාංග පද්ධතියක් ලෙසත් හැඳින්විය හැකියි. හුදෙක් විනෝදාංශයක් ලෙස ඉලෙක්ට්‍රොනික මෙවලම් එකලස් කරන්නන් අතර මෙන්ම, එයින් ඔබ්බට ගොස් ප්‍රායෝගික යන්ත්‍රෝපකරණ නිපදවන්නට පර්යේෂණ කරන්නන් අතර ද, අධ්‍යාපනික ක්‍රියාකාරකම් සඳහාද ආර්ඩියුනෝ හා ඒ හා සමාන තවත් පරිගණක පද්ධති කීපයක්ම භාවිතා වෙයි.

ඉතා මෑතක දී නිර්මාණය වුනු, පයින් 64, ඒක ඵලක පරිගණක පද්ධතිය යම් විදිහක කසු කුසුවක් ඇති කලේ එය ඩොලර් පහලවකට මිල නියම කල බිට් 64 සම්පූර්ණ පරිගණකයක් සේ නිර්මාණය වූ නිසායි. කතාව එසේ වුනත් රෑම් මෙගා බයිට් 512 ක් පමණක් අඩංගු ඩොලර් පහලවේ පයින් 64 න් කළ හැකි දේ සීමිත වීම වැලැක්විය නොහැකියි. පයින් 64 ගැන තොරතුරුත් කලහැකි නොහැකි දේත් ගැන ඔවුන්ගේ වෙබ් අඩවියේ දීර්ඝ  සවිස්තර විස්තරයක් තිබෙනවා.


ඩොලර් තිහක් මිල වුනු  ගිගා බයිට් දෙකක් රෑම් ඇති මගේ පයින් 64 තනි ලෑල්ල, ඊයේ පෙරේදා දවසක පණ ගන්වා බලන්නට ඉඩ කඩක් ලැබුණා. පයින් 64 වීඩියෝ ඇවිණුම HDMI සොකට්ටුවක් හරහායි. ඉතින් ගෙදර ආලින්දයේ රූපවාහිනියට අවුණා, පරණ වයර්ලස් යතුරු පුවරුවත් මීයාත් එකතු කලාම පරිගණකය සම්පූර්ණයි. අර ඩොලර් තිහට අමතරව, තවත් ඩොලර් විස්සක විතර පිරිවැයක් වයිෆයි උපාංගයටත්, විදුලි ඇඩප්ටරයටත්. පණහයි. නෑ.... තවත් ඩොලර් දහයක් මයික්‍රො එස්. ඩී. කාඩ් එකට. හැටයි. ඉතරනෙට් කේබල් එකක් අවුණන්න පුළුවන් නම් වයිෆයි අවශ්‍යතාවයක් නැහැ.

පයින් 64 සඳහා ලිනක්ස්, උබුන්ටු මෙහෙයුම් පද්ධති කීපයක් තිබෙන නමුත් මුලින්ම අත් හදා බැළුවේ ගූගල් ඇන්ඩ්‍රොයිඩ්. මේ ලෑල්ලේ බූට් ලෝඩරයක් නැත්නම් බයෝස් (Basic Input Output System) එකක් නැහැ. ඒ නිසා  SD කාඩ් එකේ පයින් සඳහාම සකස් කල මෙහෙයුම් පද්ධතියක් නැත්නම් කිසි සද්ද බද්දක් නැහැ. මෙහෙයුම් පද්ධතිය කාඩ් එකට ලියා ගැනීමට ජනෙල්, මැක් හෝ ලිනක්ස් යන්තරයක පිහිට තමයි. හාඩ් එක වෙනුවට ඇත්තේත් කාඩ් එකම තමයි. හැබැයි අවශ්‍යනම් යූ.එස්.බී හරහා හාඩ් එකක්, තවත් කාඩ් එකක් හෝ ස්ටික් එකක් අවුණා දත්ත ගබඩා පරිමාව වැඩි කර ගන්නට පුළුවන්.


 පයින් හැට හතර. අළුපාට වයර් එක වයි ෆයි ඇන්ටෙනාවයි. යූ.එස්. බී. එකට අවුණා ඇත්තේ යතුරු පුවරුවේ හා මීයාගේ ඩොංගලයයි. එහා කෙළවරේ නිල් පාට වයරය HDMI කේබලයයි. අනිත් මුල්ලේ විදුලි කේබලය, මයික්‍රො යූ.එස්.බී. සොකට් එක හරහා. විදුලි ඇඩප්ටරය, 5V/2A. ඇම්පියර් දෙකේ ධාරිතාව වැදගත්. සාමාන්‍ය යූ.එස්.බී. ඇඩප්ටර බොහොමයක ධාරිතාව 1A.


ඇන්ඩ්‍රොයිඩ් සක්‍රියයි.... !
යූ. ටියුබ් හා අන්තර්ජාලය හරහා ලංකාවේ රූපවාහිනී ප්‍රචාරයන් නැරඹීම නම් ඉතාහොඳින් සිදුවුනා. මේ කාරිය කරන්නට ඩොලර් හැටකින් පමණ මේ පරිගණකය ඇවිණීම නම් අත්‍යවශ්‍ය දෙයක් නොවෙයි. එක්කෝ කෙලින්ම අන්තර් ජාලයට සම්බන්ධ වන ස්මාර්ට් රූපවාහිනියක් ගන්නට පුළුවනි, නැත්නම් ඩොලර් සියකට පමණ කෙලින්ම රූපවාහිනියේ HDMI ඇවිණුමට සම්බන්ධ වන ස්ටික් පරිගණකයක් ගන්නට පුළුවනි. ඒත් වයර් ඇවිණිමේ සතුට නම් මුදලට ගන්නට බැහැ.
මයික්‍රො SD කාඩ් එක - ඔව් ඔය අළුයි රතුයි කෑල්ල තමයි.






Continue Reading...

Thursday, March 16, 2017

සයිටම් අර්බුදයට විකල්ප විසඳුමක්

දෙදාස් දාසයේ ජූනි මාසයෙන් පස්සේ, සතර දිගන්තයේ අළුත් සටහනක් ලියවී තිබේ. සෑම ගැටළුවකටම මුල මුදල්ය කියා කියමනක් තිබේ. එමෙන්ම, ලිඳට බැස්ස එකා ඉන් ගොඩ අා යුත්තේ ළිං කටින්ම ය කියාද කියමනක් තිබේ. ගහපිය මරපිය වහපිය කියන අයත්, අැරපිය, දුවපිය, කරපිය කියන අයත් අස්සේ, අැයි අපි මෙහෙම නොකරන්නේ කියන්නට තරම් සංයමයක් අැති කරූලා වගේ උදවියත් ඉන්නා බව  සටහන් කරන්නටයි  මේ උපුටනය.


අප යෝජනා කරන්නේ සයිටමය රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය ඇතුළත මුදල් ගෙවා අධ්‍යාපනය ලබාගත හැකි වෛද්‍ය පීඨයක් බවට පත් කිරීමෙන් වර්තමාන අර්බුදයට සධාරණ විසඳුමක් ඇති කර ගත හැකි බවය.

 ඒ සඳහා වඩාත් සුදුසු වන්නේ සයිටමය ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය බවට පත් කිරීමය. සිසුන් තෝරන්නේ අනෙක් හැම රජයේ වෛද්‍ය  පීඨයකටම කරන්නා සේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමය . දිස්ත්‍රික් පදනමෙන් වැඩිම ඉසඩ් අගය ලබා ගන්නා  සිසුන්ට ඔවුන්ගේ විභාග කුසලතාවන්ට කරන සැලකිල්ලක් වශයෙන් පූර්ණ නොමිලයේ අධ්‍යාපනය ලබාදෙන කොළඹ පේරාදෙණිය ආදී දැනටමත් තිබෙන වෛද්‍ය  පීඨ වලට ඇතුලත් විය හැකිය. දිස්ත්‍රික් පදනම නිසා වෛද්‍ය ශිෂ්‍ය වරම් නොලැබෙන නමුත් මූලික සුදුසුකම් තිබෙන මුදල් වියදම් කිරීමේ හැකියාව තිබෙන සිසුනට විවෘත විශ්ව විද්‍යාලයේ වෛද්‍ය  පීඨයට ඇතුල් විය හැකිය. ඒ වාගේම දිස්ත්‍රික් පදනම නිසා විශ්ව විද්‍යාල අවස්ථාව නොලැබෙන මූලික සුදුසුකම් ඇති එහෙත් මුදල් වියදම් කිරීමේ හැකියාව නැති සිසුන් සඳහා ශිෂ්‍ය ණය මුදලක් ලබාදිය හැකිය . එවිට ඔවුන්ටද විවෘත විශ්ව විද්‍යාලයේ වෛද්‍ය  පීඨයේ දොරටුව විවෘත වනු ඇත. ඔවුන් දොස්තර වරුන් වී මුදල් හම්බ කර මේ ණය  මුදල ගෙවිය යුතුය.  සයිටම් රෝහල රාජ්‍ය සහ පුද්ගලික හවුල්කාරීත්වය  ඇති අර්ධ රාජ්‍ය ආයතනයක් සහ ශික්ෂණ රෝහලක් බවට පත් කළ  යුතුය.විවෘත සරසවිවෛද්‍ය  පීඨය පවත්වාගෙන යා යුත්තේ පාඩුද නොලබන ලාභද නොලබන ආයතනයක්  ලෙසය.

අන්තර්කාලීන ක්රියාමාර්ගයක්ද අවශ්‍ය වේ. ඒ දැනට සයිටමයේ ලියා පදිංචි වී සිටින සුදුසුකම්  සහිත සිසුන් සම්බන්ධයෙනි . ඔවුන්ට වෛද්‍ය උපාධිය සහ වෛද්‍ය වෘත්තීය බල පත්‍රය ලබා දිය යුතුය. ඒ සඳහා ඔවුන් වෛද්‍ය සභාවේ ඊ ආර් පී එම්  විභාගයට පෙනී සිටිය යුතුය. ඔවුන්ගේ ප්‍රමිතිය පිලිබඳ තව දුරටත් ගැටළු තිබේ නම් ඔවුන්ගේ වෘත්තික සීමා වාසික කාලය දීර්ඝ කළ  හැකිය. 

මේ විකල්පය ක්‍රියාත්මක කිරීමෙන් අධ්‍යාපනයේ නිදහසත් නිදහස් අධ්‍යාපනයත් යන දෙකම සුරැකේ. වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතියද සුරැකේ. රටේ සල්ලි පිට රට යන්නේද නැත. සමාජයේ බොහෝදෙනාට වැළදී තිබෙන දොස්තර මේනියාවද තරමක් හෝ සුවකර ගත හැකිය . 

http://satharadiganthaya.blogspot.com/
Continue Reading...

Wednesday, March 15, 2017

ඉහල බාලාංශයේ විප්ලවය [අවුරුදු පහේ දී පාරට බැහීම]

අවුරුදු දෙකකට කලින් 2015 ජනවාරි හයවෙනි දා, මූණු පොතේ ලියූ පහත සටහන අද මෙතැන එල්ලන්නට හිතුණේ අහම්බෙනි. අහම්බෙන් සිදුවන දේවලටත් අනාගතය නොවැරදීම අර්ථ කථන සපයන බව දන්නා නිසා, එයිට වඩා යමක් ලියන්නට උවමනා නැත. සීත මිටියාවතේයි නම්කර ඇති මේ සී. ඩී. කවරයේ රශ්මි සංගීතාව චුට්ටක් කෙට්ටු කර හීන් කණ්නාඩි දෙකක් දැම්මා නම් මිස් වැන්ඩලන් වගේමයැයි මට හිතුණි. ඉහල බාලාංශයේදී අපේ පංතිය බාරව හිටියේ මිස් වැන්ඩලන් ය. මේ වගේ කොටම නැති පර්ම් කොණ්ඩයක් තිබුණු කන්නාඩි පලඳින මිස් වැන්ඩලන් අපේ අම්මාට වඩා ගොඩක් බාලයැයි ඒ කාලයේත් මට හිතුණු ටීචර් කෙනෙකි.

ඔය කාලයේ අවුරුදු පහ පැන්නූ මම ඉස්කෝලෙ ගියේ ආවේ බාප්පලා ගේ මෝටර් රථයකිනි. අයියාත්, නංගීත්, බාප්පලාගේ ළමයිනුත් ආදි සෑහෙන රොත්තක් ඒ කාර් එකේ උදේ හවස ප්‍රවාහනය විය. කාර් එකේ යාමට වඩා ඔය කාලයේත් මගේ හිත තිබුණේ, පාර අයින දිගේ පයින් ඇවිදගෙන යන්නට ය. එහෙම යන මගේ වයසේ ළමයින්, කොන්වන්ට් එකේම කෑල්ලක් වූ අපේ ඉස්කෝලේ වැඩිපුර හිටියේ නැත. අපේ පංතියේ නම් හැතැම්ම තුන්කාලක් විතර ඈත අපේ ගෙවල් හරියට එහෙම පයින් එන ළමයෙක් හිටියේම නැත. ඒත් මේ රථවාහන ආධිපත්‍යයෙන් මිදී නිදහසේ පාරේ වැලි පෑගීමේ ළාමක ආසාව එන්න එන්නම ලියලා වැඩී, එක දවසක් උදේ 'අද මම පයින් ගෙදර එනවා යි' අම්මාට කිව්වෙමි. එයා මොනවා වත් කිව්වා මට මතක නැත.

එදා හවස ඉස්කෝලේ අවසන් ව, සේරම ළමයි කාර්, කරත්ත, අම්මලා, තාත්තලා එන තුරු බට්ටෝ පනිමින්, බෝල ගසමින්, කොරිඩෝර් එකේ කණුවෙන් කණුවට ගස් මාරු වෙමින් ඉන්නා අතරේ, මම අද පයින් ගෙදර යනවායි මගේ යාළුවන්ට කියා බෑග් එකත් කරේ එල්ලාගෙන ගේට්ටුවෙන් එළියට ඇවිත්, ඒ දවස් කීපයේම උදේ හවහ කාර් එකේ ජනේලෙන් බලාගෙන ජී. පී. එස්. එකේ රෙකෝඩ් කරගෙන තිබුණු රූට් එකට අවතීර්ණ වුනෙමි. 

මේක සිද්ධ වුනේ තිස් අවුරුදු යුද්ධයටත් අවුරුදු විසිපහකට විතර ඉස්සරය. ඒ හින්දා පාරේ බෝම්බ ගැන බයක් තිබුණේ නැත. බෑග් එකක් එල්ලාගෙන පාර අයිනටම වෙලා නුපුරුදු විදිහට ඇවිදින පුංචි කොල්ලා ගැන කවුරුවත් හිත කරදර කර ගත්තේත් නැත. හරස් පාරවලින් හරියට හැරී, කොළඹ පාරට ඇවිත් පොලිසියත් පහු කල පසුව, මගේ මේ කුළුඳුල් ඒකල ගමනේ ඊලඟ නැවතුම වූ රඹසෙවණ පොත් සාප්පුව හමුවිය. ඒ කාලයේ රඹසෙවණ තිබුනේ පොලිසියට මෙහා ජෝශප් වාස් එක ඉස්සරහ, පැට්‍රික් අංකල්ලාගේ කඩ කාමරයකය. අපේ අම්මලාත් ගෙදරට ඇන්ද ඩ්‍රසින් ගවුමකින් සැරසී සිටි නෝනිස් ඉස්කෝල මහත්තයාගේ නෝනා, මට ශත පහක නාරං බික් දෙන ගමන්, 'බබා තනියම ද යන්නෙ යි' ඇසුවාය. 'ඔව් මම පයින් ගෙදර යනවා' යි කිව්වෙමි. 

මම දන්නා තරමින් ඉස්කෝල හාමිනේ කෙනෙක් වූ නෝනිස් නෝනාට ඒකේ අමුත්තක් දැනුනේ නැත. ඒකට හේතුව අපි කාර් එකේ ගියත්, ඉස්කෝලේ ඇරිලා ගල්කැට කුරුම්බැට්ටි වලට පයින් ගස ගසා තනියම පයින් ගෙදර යන අවුරුදු පහේ හයේ පුංචි උන් ශත පහක සීනිබෝල ගන්නට රඹසෙවණට ගොඩවීම අමුත්තක් නොවූ නිසා බව මම දැන් දනිමි.

එදා මගේ ගමන කෙළවර වුනේ අපේ ගෙදරට හැරෙන තැන පේන නොපෙනෙන මානයේ අයිවන් අංකල්ලාගේ පැට්‍රල් ෂෙඩ් එක ලඟදී ය. ඒ පැට්‍රල් ගහගෙන පාරට දාපු බාප්පලාගේ කාර් එක මගේ ලඟින් ම නැවතුණු නිසාය. ආපහු කාර් එකේ ඉස්කෝලෙ ගිහින් අනිත් කාණ්ඩයත් එක්කම ගෙදර ආපු මට අම්මා බැන්නා, ගැහුවා කියා මතකක් නැත. තාත්තා කෑ ගැහුවා කියා මතකක් නැත. මම හතරවෙනි පස්වෙනි පංති වෙද්දී නම් කොහොමත් ඉස්කෝලෙ ගියේ ගෙදර ආවේ පයින්ය. ටෙරන්ස් ෂෙල්ටන් එක්කත් රමණී වීරසිංහ එක්කත් කදේ දාගෙන කයිවාරු කිය කියා ආ ගිය ඒ ගමන් වල අනන්තවත් කථා තිබේ. ඒත් මේ හා හපුරා කියා මංම හිතා මංම තනියම පාරට බැස මට ඕනෑ නිසා ආ ගමන එක අතකින් තවමත් යමි.

මේ සේරම ලිව්වේ ආප්පත් කා තනියම එළියට බැස්ස මෛත්‍රිපාල සිරිසේන මහත්තයා ගැන හිතේ උපන් ආඩම්බරයකිනි. උන්නැහේ ව මගදි කාර් එක ඇවිත් නංගා ගන්නත් පුළුවන. නැත්තං දිගටම දිගටම ගිහින් ගෙදරටම යන්නටත් පුළුවන. පහු කාලයක මා එක්ක ගිය ටෙරන්ස්, රමණී වගේ කට්ටියත් උන්නැහේ වටේ සිටිති..... ඒත් මට නම් හිතෙන්නේ උන්නැහේ මේ ගමන යන්නේ තමුන්ගේ හිතට එකඟව තමුන් මේ වෙලාවේ කරන්න ඕනෑ 'හරි' දේ ගැන විශ්වාසයෙන් තනියමම බවයි. අද වෙන කොට තම තමුන්ගේ මඩිස්සල වල රටාවල් අනුව ගැලවීම නම් මේකය, ගැලවීම නම් මේකය කියා පොතේ ලියා කටපාඩම් කරගෙන ගිරව් වගේ මතුර මතුරා හිටි නා නා පාට වල මැකෝ කුරුල්ලන් ට, එකට ඉඳගෙන 'ස' අල්ලන්නට වේදිකාවකට ගන්නට උන්නැහේට පුළුවන් වී තිබේ.

මුන්නැහේ පඹයෙක් ය රූකඩයෙක් ය හය හතර නොතේරෙන නොදරුවෙක් ය කියන අයත් සිටිති. අරයා මෙයා කියන එක කරනවා, රැවුල නෑ, පෞරුෂය නෑ, අරක බෑ, මේක බෑ, මල්ලි හරි නෑ, කියන අයත් සිටිති. ආප්ප කාලා පපුවටම පිහියෙන් ඇන්න, විශ්වාස කරන්න බැරි ද්‍රෝහියා කියලාත් කියති. මේ සියළු කතාවලට උත්තර ලියන සෑහෙන පිරිසකුත් සිටිති. ඒ නිසා ඒ ගැන මාත් ලියන එකේ තේරුමක් නැත.උන්නැහේ ගේ මේ ගමන මට වටින්නේ, මමත් උන්නැහේ ඉන්නා තැන හිටියා නම් මටත් ඔය වාගේම එළියට ඇවිත් දැන් වෙන්න ඕනෑ මෙන්න මේකයි කියා රටේ පාරවල් වල පයින් පාසල් යන පුංචි එවුන් වෙනුවෙන් කතා කරන්නට හිතෙනවා හිතෙනවා මයි කියා හිතෙන නිසාය.

දැන් උන්නැහේ ඉන්නේ මගේ ළපටි ගමනේ හැටියට නම් රඹසෙවණ පොත් හල ගාවය. නෝනිස් ඉස්කෝල නෝනා ගෙන් ශත පහක නාරන් බික් ඉල්ලමින්ය.

ලබන අටවෙනිදාට මගේ රටේ මිනිස්සුන්ට උන්නැහේගේ හංසයාට තල්ලුව දෙන්නට වාසනාව තියේවා...!



Continue Reading...

ගුරුවරයකු ගේ අභාවය - මහාචාර්ය වැලන්ටයින් ජෝශප්



අද උදේම දුටුවේ අසනීපව රෝහල් ගත කර සිටි මහාචාර්ය වැලන්ටයින් ජෝශප් පිළිබඳව වූ ආරංචියකි.

"Dear All
One of our beloved teachers Prof. Joseph has passed away this morning. Funeral arrangements will be notified later. May he rest in peace.
Rosa"

මට හොඳින්ම මතක පුෂ් බයිසිකලෙන් කැම්පස් එන වැලා වයි. කිං ජෝජ් හෝල් එකේ අයින්ස්ටයින් ගේ රිලෙටිවිටි, නාකි නොවුණ නිවුන්නා හා ඔරලෝසු කැරකිලි ගැන කතා මතක නමුත්, උකහාගත් දැනුමට වඩා මනුස්සයා දිහා බලා කියා මා උගත් දේ වටිනවායි මම අදටත් හිතමි.

විශ්ව විද්‍යාලය යනු කුමනාකාර දැනුම් තෝතැන්නක් විය යුතු ද යන්න අවබෝධ කරගත් මෙවන් වීරයෝ අපේ විශ්ව විද්‍යාල තුල අනන්තවත් ඇති. ඉතිහාසය පුරා සිදුවූ විලසින්ම අපේ කාලයේද ඛේදවාචකය වන්නේ, අවබෝධයට වඩා අනුකරණයත්, තර්කයට වඩා වාචාලකමත්, යථාර්තයට වඩා හීනමවා පෙන්නීමත් උත්කෘෂ්ඨයැයි ඇදහීමය.

ඉහත පින්තූරය අසංක සායක්කාරගේ බ්ලොග් අඩවියෙනි.
http://recolog.blogspot.ca/2016/05/prof-valentine-joseph.html

පහත යූ ටියුබ් සටහන කොළඹ විශ්ව විද්‍යාල විද්‍යා පීඨ මාධ්‍ය අංශයෙනි.


JOSEPH - DR. VALENTINE - Professor of Mathematics, Colombo University, loving husband of Antonia, son of Joseph Vendargon and Jane Joseph (Gnanamma), loving father of Arulesh and Umesh, father-in-law of Dr. Wije Mariathasan and Domani Vendargon, grandfather of late Anjani, Sashi, Anish and Ishani, brother of late Therease, Stella, Emma and brother-in-law of late Ratnaraja, late Bastianpillai and Marianayagam, brother-in-law of - Ratna and Dr. Elmo Thambapillai, Dr. Jayarajasingham and late Sushila, Pararajasingham and Sarojini, Kanagasingham and Sharmala, Dr. Wimalasingham and Shantali. Viewing at the Department of Mathematics, University of Colombo on Friday, 17th of March from 9.30 a.m. to 11.30 a.m. Thereafter, at his residence, 127/1, Ananda Rajakaruna Mawatha, (Campbell Place), Colombo 10, from 12.00 noon. Cortege leaves on Saturday the 18th of March at 3.30 p.m. for burial at the Roman Catholic Section, General Cemetery, Borella.035618




Continue Reading...

Wednesday, March 8, 2017

වස්සාන පිණි කඳුළු...!

මිදෙනු නොහැකිව මිදුණු
වස්සාන පිණි කඳුළු
රිදෙනු පිණිසම රැඳුණු
පත් හැළුණු මහළු දඬු

ගිම්හාන මතකය දවන
මල්හාර පොද වැස්ස
සීතාම්බර සළුය
හිතම නිරුවත් කරන

ගල්ලෑල්ලක ලිවුණු
ගල්කූරු ඉරක් ලඟ
හුණු කූරකින් වැටුණු
පියාඹන හරි ලකුණ

අඹ මලින් රොන් ඉසිණු
උඳුපියලි පත් අතර
නැතිවු මොනවද හොයන
ඇටි කුකුළු නෙතක රත

නෙරළු තුරු කරටියක
රැඳුණු ඉර නොහෙල්ලෙන
නාස් පුඩු අගිසි වල
කිතිකැවෙන 'ගස්' සුවඳ

මිදෙනු නොහැකිව මිදුණු
වස්සාන පිණි කඳුළු
රිදෙනු පිණිසම රැඳුණු
පත් හැළුණු මහළු දඬු...!

මාර්තු 7, 2017

Continue Reading...

ආලෝකය නොදිටිමි!

බූන්දියෙන් උපුටා ගැණුනකි - http://www.boondi.lk/article.php?ArtID=5094
Cine බූන්දි
ආලෝකය නොදිටිමි!

බූන්දි, අඟහරුවාදා, මාර්තු 7, 2017 18:07:26


මේ සටහන ලියැවෙන්නට තිබූවක් නොවේ. වැඩ නිමවී හවස 7:00ට ලිඩෝසිනමාහලට ගියේ "ප්‍රේමය නම්" නරඹන්නටය. අවාසනාවට, ප්‍රමාණවත් තරම් පිරිසක් නොමැති හෙයින් එය නොපෙන්වන බව දන්වා සිටි නිසා එළියට එනවිට ඉදිරිපස ඇති රිට්ස් සිනමාහලේ "ආලෝකෝ උදපාදී" පෙන්වන බව දුටුවෙමි. වෙන්කරගත් කාලය වෙනුවෙන් වෙනත් හොඳ විකල්පයක් සොයාගත නොහැකි විය. මේ සටහන හුදෙක් ප්‍රේක්ෂක අත්දැකීමක් අකුරුවලට පෙරළීමක් විනා සිනමා විචාරයක් නොවේ.

මුලින්ම කිවයුත්තේ රිට්ස් සිනමාහලේ තිරය සම්බන්ධවයි. ඩිජිටල් තිරය ඉතා හොඳ තත්ත්වයක ඇත. ලංකාවේ චිත්‍රපටයක රූපවල ගුණාත්මකබව ඉහළින් තැබීමට මෙම තිරය සහ ශබ්ද තාක්ෂණය ඉහළ නැංවීම ගැන එකී කළමනාකාරීත්වයට ස්තූතිවන්ත විය යුතුය.

රූපවාහිනී වැඩසටහනකදී විදර්ශන කන්නංගර පැවසූ පරිදි ජැක්සන් ඇන්තනිගේ "අබා"ගෙන් ආරම්භ වූ යුද වින්දන සිනමා කෘති අතරින් මට මතක තරමින් මා නරඹා ඇත්තේ අබා සහ ආලෝකෝ උදපාදී පමණක් වීමට තරම් මා වාසනාවන්තය. ආලෝකෝ උදපාදී ගැන මට දැනෙන පළමු හැඟීම, මේ චිත්‍රපටයට මෙන්ම ලංකාවේ සමකාලීන සමාජයට ද අදාළය. එනම්, මෙලෝ කලා රහක් නැති, කල් ඉකුත්වූ, වයසක පරම්පරාව තරුණයින්ට වද නොදී පැත්තකට වී සිටිය යුතු බවය. (ඉහත කුලකයට විශේෂණ තුනක් අයිති බව මතක තබාගන්න!) සමන් වීරමන්, තුසිත විජේසිරි යන ඉහත විශේෂණ ත්‍රිත්වයට අයත් දෙදෙනා විසින් චත්‍ර වීරමන් නැමැති දක්ෂ පුද්ගලයාව යටපත් කර ඇත. චත්‍ර දක්ෂ සිනමා අධ්‍යක්ෂණයට ද යන්න තීරණය කිරීමට මම ඉක්මන් නොවෙමි. එහෙත් ඔහු සතු දක්ෂතාවයක් ඇත. එය සිය පියා වෙනුවෙන්වත් කඩේ යැවිය යුතු නැත. විදෙස්ගතව සිටියදී මෙන්ම ගමේ සිටියදී ද කලාව පිළිබඳව කල් ඉකුත්වූ, පරිණත නොවූ පුද්ගලයින් පොරවල්ව සිටින අයුරු අවශ්‍ය තරම් දැක ඇත්තෙමි. සම්භාව්‍ය පෙනුමක් ආරෝපණය කරගෙන, පොදු අවස්ථාවල ඉදිරියට පැන වැඩකරන මේ පිරිසට කලාව ගැන පළල් කියවීමක් නැති කුඩා සමාජවල පිළිගැනීමක් ලැබීම ගැන ගැටළුවක් නැත. එහෙත් ඒ අය ඊට වඩා ඉදිරියට ගොස් සිය මුදල්, රාජ්‍ය සම්බන්ධතා ඉදිරියට දමා මෙලෝ රහක් නැති චිත්‍රපට කරන්නට යන විට පැත්තක සිටින පුත්‍රයින්ට අත්වන ඉරණම නැරඹීමට අවශ්‍ය නම් ඊට හොදම උදාහරණය ආලෝකෝ උදපාදී ය.



කල් ඉකුත්වූ පුද්ගලයින් හානිකරන්නේ සිනමාවට පමණක් නොවේ. එය රටේ හැම ක්ෂේත්‍රයකම පාහේ විසිර ගොස් ඇති ගැටළුවකි. මගේ පුද්ගලික අත්දැකීම් වලින්ම පවසන්නේ නම් බැංකු ක්ෂේත්‍රය තුළ නවීනත්වයට එරෙහිවන මෙකී කුලකයට අයත් පිරිස් බහුලය. නව තාක්ෂණයට අනුගත නොවන පිරිස් විසින් ක්ෂේත්‍රයම බිලිගෙන ඇත. රාජ්‍ය පරිපාලනය ගන්නම දෙයක් නැත. නවීන තත්ත්වය දක්වා හැඩගැසිය යුතු සංචාරක කර්මාන්තයට ද මේ තත්ත්වය පොදුය. මේ සියළු දේටත් වඩා ලංකාවේ ප්‍රගතිශීලි දේශපාලනයට ද එබඳු කල් ඉකුත් වූවන් විසින් කරනු ලබන්නේ හානියකි.

දැන් අපි සිනමා කෘතිය දෙසට හැරෙමු. තුසිත විජේසේන බොහෝ ආඩම්බරයෙන් පැවසූ පරිදි මේ චිත්‍රපටයේ විහිළු නැත. ගීත දෙකක් ඇතත් ඒවා වීරත්වය උද්දීපනය කිරීමට සැදූ ඒවාය. වෙනත් කිසිම ආකාරයක වින්දනයක් සපයන ආකාරයේ දෙබසක් සමස්ත පිටපත පුරාවට නැත. සැබැවින්ම මෙලෝ රහක් නැත. කැමරා හැසිරවීම, පසුතලය හා තාක්ෂණය නොමැතිනම් මේ චිත්‍රපටය මේ රැල්ලේ අසාර්ථකම චිත්‍රපටය වීමට ඉඩතිබිණි. අමාරැවෙන් සොයාගෙන ඇති නම් ගම් දැකීමෙන් පාසැල් කාලයේ බලෙන් පාඩම්කළ අමිහිරි මතකයක් ඇවිස්සෙනවා මිසෙක ඉතිහාසයට ආදරයක් දැනෙන්නේ නැත.

සිනමාත්මක කැමරා කෝණවලින් ඇරඹෙන සිනමා කෘතියේ පළමුවැනි බලාපොරොත්තුව බිදවැටෙන්නේ නවීන දමිළ අකුරුවලින් සමන්විත ලිපියත් සමගයි. වසර දෙදහසකට ආසන්න කාලයකට පෙර දමිළ අකුරු වත්මන් තත්ත්වයේ පැවතීමට කිසිම ඉඩක් නැත. සරල විකීපීඩියා සෙවුමකින් මෙය සොයාගත හැක. ඇත්තටම චිත්‍රපටයට සම්බන්ධ කිසිවෙකුටවත් ඒ ගැන උනන්දුවක් තිබී නැත. නැතිනම් දන්නේ නැත. දන්නේ නැතිවිට කළ යුත්තේ දන්න දේවල් කිරීමය.

වළගම්බා රජුගේ පෞරුෂය කිසිලෙකින්වත් ඉස්මතුවක්නේ නැත. ඊට වඩාදාඨිය ලෙස රගපාන ධර්මරාජ් මතුව එයි. මහාකළු සිංහලයාගේ කළු, රැවුල සහ කොණ්ඩය පමණි. චිත්‍රපටයේම පවසන පරිදි කුඩා කල කිසිම ආකාරයක දුක් විඳි බවක් ශරීරයෙන් නොපෙනේ. ශුෂ්ක රටක වායුසමනය කළ කාමර වල ජීවත්වන බවට ඔහුගේ ශරීරය සාක්ෂි දරයි!

පටු දෘෂ්ඨිවාදයක් හා ගලප්පන්නට උත්සාහ නොදරන්නේ නම් වළගම්බා කතාව අතිශයින්ම සිත්ගන්නා සුළු ඉතිහාස කතාවක් නිර්මාණය කරන්නට ඉඩකඩ ඇති කතා පුවතකි. කල් ඉකුත්වූ ඔළුවකින් බලන්නෙක්ට එය ටයිල් පොළොවක් තරම් සමතලා, සෘජු දේශපාලන ප්‍රචාරණයකට ඔබින තමන්ගේ පුද්ගලික ජීවිතවල හිස් වූ තැන් වසාගැනීමට යොදාගත හැකි ගෙතුමකි. සැබෑ වළගම්බා රජු වසර ගණනාවක් රටපුරා වාසය කරමින් සිය සංවිධාන කටයුතු සිදුකළා පමණක් නොව ඉන්පසු එකී ස්ථාන බෞද්ධ පන්සල් දක්වා ගොඩනැගූ බව අදටත් සිව්දෙස ඇති 'වළගම්බා වෙහෙර විහාර' සාක්ෂි දරයි. එසේ නොමැතිව මේ චිත්‍රපටයේ පෙන්වනවා මෙන් ආක්‍රමණයෙන් මිදී පළායාම සම්බන්ධයෙන් සෘජු තීරණයක් ගත නොහැකිව පසුබාන චරිතයක් බවට පෙරළීම ඔහුට කළ හැකි විශාලතම නිග්‍රහයයි.



දෙබස් හෝ කතාව වෙනුවෙන් කිසිමාකාරයක බටහිර ආභාෂයක් නොපෙනෙන තත්ත්වයක, පසුතලය වෙනුවෙන් වන බටහිර ආභාෂය පිටපත විසින් මෙහෙයවූවා යැයි සිතීම උගහටය. විශාල ඉඩම් හිමි රදලයින් විසින් සිය ඉඩම් වගාව සදහා ගම්මාන නිර්මාණය කරන විට එක ළඟ කූඩාරම් ඉදිකර ඇති ආකාරය බටහිර සිනමා කෘතිවල දැකිය හැක. ඒවා වැව් අසබඩ, ගංගා අසබඩ ඉදිකරන්නේ නඩත්තුවේ පහසුව උදෙසාය. ලංකාවේ ඓතිහාසික නිවාස ඉදිකිරීම් අතර එවැනි කූඩාරම් හෝ එක ළඟ ඉදිකළ නිවාස දකින්නට නැත. ඒ වෙනුවට ප්‍රමාණවත් ඉඩකඩ ඇති, මිදුල, පිළිකන්න ඇති, ගෙවත්තක් සහිත තනි තට්ටුවේ නිවාස අතීතයේ පවතින්නට ඇතිබව උපකල්පනය කළ හැක. අනෙක් අතට ලක්ෂ ගණනක් භික්ෂූන් පෝෂණය කිරීමට අවශ්‍ය සමාජ පසුබිම වනුයේ එයයි. වඩාත් උත්ප්‍රාසජනක කාරණය නම් ඔය කියන අතීත ශ්‍රී විභූතිය පැවතීමට නම් එවැනි සශ්‍රීක ගම්මානයක් ද පැවතුණු බව පෙන්විය යුතුව තිබීමයි. එහෙත් ඒවා අදාළ නැත. විශේෂයෙන් ලංකාවේ සිනමා රසිකයාට නම් ඒවා අදාළම නැත. රිට්ස්හි සැළකියයුතු තරම් ප්‍රේක්ෂක පිරිසක් චිත්‍රපටය නැරඹීමට පැමිණ සිටියහ. ඉන් එක් අයෙක් චිත්‍රපටයෙන් බාගයක් පුරාවට සිය ජංගම දුරකතනයෙන් කතාබහක නිරතව සිටි අතර තවත් පිරිසක් තමන් විසින් ගෙන ආ කෑම වර්ග ශබ්ද නගමින් අනුභව කළහ.

සියළු දුර්වලතා මැද අහඹු ලෙස මේනකා පීරිස්ගේ චරිතය මිනිස් හැඟීම් දනවන කාමුක පෙනුමක් සහිතව නිරූපණය කොට තිබීම කිසිලෙසකින්වත් පිටපතෙන් මෙහෙයවූවක් බව උපකල්පනය කළ නොහැකිය. ගැහැණියකගේ දණහිසෙන් උඩ අඟලක් දුටු විට උඩපනින ඊනියා සදාචාරයක් නියෝජනය කරන මතවාදයක් තුළින් එවැනි චරිතයක් ඉස්මතුවීම බටහිර කොපියකට එහා දෙයක් යැයි මා කිසිලෙසකින්වත් සිතන්නේ නැත. එවැනි කුඩා හෝ කාරණාවක් ඉස්තමතුවන්නේ චිත්‍රපටයේ මිනිස් හැගීම් දැනීම් ඇති කිසිම චරිතයක් හෝ සිද්ධියක් දැකගත නොහැකි නිසාවෙනි.

බලාපොරොත්තු තබා නැරඹීමට ගිය 'ප්‍රේමය නම්' සිනමා කෘතිය නැරඹීමට නොලැබීමට ගැන කණගාටුය. මෙවැනිම අත්දැකීමක් ෆ්‍රැන්ජිපානි නැරඹීමට යෑමේදී ද ලැබීමි. ආලෝකෝ උදපාදී වැනි දුර්වල චිත්‍රපට සිනමා ශාලාවල ප්‍රයිම් ටයිම්වල සාර්ථකව තිරගත වීම සිනමා කර්මාන්තයේ දියුණුවට හේතුවක් යැයි කිසිවෙකු කියන්නේ නම් ඒ ගැන මට කියන්නට දෙයක් නැත..!!



Continue Reading...

Tuesday, March 7, 2017

අහඹුවක ඔබ ඔහොම තමයි

බූන්දියෙන් උපුටා ගැණුනකි - http://www.boondi.lk/article.php?ArtID=5095
කවි බූන්දි

අහඹුවක ඔබ ඔහොම තමයි
Waruna Savinda | වරුණ සාවින්ද
බූන්දි, අඟහරුවාදා, මාර්තු 7, 2017 19:08:16

මරණීය නින්දක
රමණීය මොහොතක
විසිරී යෙහෙන්

යහන අමතකව
යහන්ගත වැතිරීමක
සැතපේය ඔබ

යානාව නැවතුණ
සංසාරය නොනැවතුණ
සිහින පිවිසුම් දොරට
වෙන නමක් තියේද?
මරණයම මිස

මා අවදිකර තබා
මෙතැන මේ විදියට
අහඹුවක
ඔබ ඔහොම තමයි
හැමරෑම
හැමදේම අමතකව
ඉසිඹුවක

රාත‍්‍රිය එළැඹුමක් මිසක
ගෙවීමක් නැති
ඔබ නොමැති
මගේ තනිකමට
විසඳුමක් නැති

කොහොම ඇහැරවන්න ද
ඔබව! 
Continue Reading...

Friday, March 3, 2017

ගීතාංජලී - 21



(21)

හමන්නට අමතකව නැවතුනු
විඩාපත් වූ නල රලක්
දියෙන් තෙමුනද ගඟේ ඉවුරේ
නිදාපත් වූ ඔරු කඳක්
මැකී යන්නට පා ලකුණු යට
ගං ඉවුර සරනා
වැලි තලාවේ ඇඟිලි තුඩගින්
කුරුටු ගෑවෙයි ජීවිතේ

වසන්තය ඇවිදින් ගිහින්
පිපුණු මල් වල පෙති හලා
සුලං රැලිවල සුවඳ බිඳු නැත
කොතෙක් සෙව්වත් ලය පුරා
අඟුරු කැටයක අඳුරු පැහැයෙන්
අහස මත ඇඳි බොඳ ඉරක්
වර්ණ ගිලිහුණු ඉන්ද්‍ර චාපය
මේ කුලක් ලඟ තනිවෙලා

ගිගිරි සෙලවෙන නදින් හිනැහුනු
ඉවුර ගල් කුළු මත පිපී
ගඟේ දිය රළ දුව දුවා විත්
අඬා හැපෙමින් ඉකි බිඳී
නිදන්නට යන මහළු තුරු පත්
කහව නටුවෙන් ගිලිහිලා
තැත් කවත් පියඹන්න ආයෙත්
විසිරිලා මං පෙත පුරා

තුරු ලතා වුව ගී ගයා සිත ලඟම ගැවසුනු
දවස් දියවී වියැකිලා
සියොත් රල නැති හිරු සඳුත් නැති අහස හිස්වී
අඳුරු සළුවක දැවටිලා
කිතිකවා සිත පුබුදුවා මල් මුදා රොන් සුණු
ඉගිල යන්නට සමනළුන්
සක්වලේ දුර ඈත කෙලවර ඉපිද හැ‍ඬවුනු
අමර ගී සර දිව හඬින්
නැද්ද පිබිදී පවන සසලා ඉගිල එන්නේ
ගලා ගං දිය තල මතින් ...?

-.-


I must launch out my boat. The languid hours pass by on the shore---Alas for me!

The spring has done its flowering and taken leave. And now with the burden of faded futile flowers I wait and linger.

The waves have become clamorous, and upon the bank in the shady lane the yellow leaves flutter and fall.

What emptiness do you gaze upon! Do you not feel a thrill passing through the air with the notes of the far-away song floating from the other shore?
.

http://geethanjalie.blogspot.ca/2010/02/21.html
Continue Reading...

Blogroll

About