Friday, April 21, 2023

උත්ථානයේ බලාපොරොත්තුව

 



සෙවණැලි මත සෙවණැලි මත සෙවණැලි එන්නේ
ගඟ ගල ගල ගඟ ගල ගල පාවෙනු වැන්නේ
ඉහලට ගත් සුසුමට එන දුක කකියන්නේ
පෙර සුසුමෙන් ආ දුකටයි නැත නවතින්නේ










Continue Reading...

Wednesday, April 19, 2023

මුහුදක් හංගන් නොදන්නවා වගේ ඉන්න ‌හෙනහුරාගේ හඳ...!


එන්සිලඩස්...  එන්සිලඩස්...

කර ඇඹුනු අහසින්
ගලා ආ රුහිරින්..
මහ පොළව ගැබ් ගෙන
වැදූ දරුවාය නුඹ....

මධු විතෙන් මත්වී
සංවේදනා නාඳුනන
බුද්ධියේ පහර ලැබ
සිහිසුන්ව ඇද වැටුනු
මහා යෝධයාය නුඹ...

නුඹේ දෑසින් හැළුණු‍
කඳුළු දිය සාගරය
ගල්වූ හිම පොරෝණාවක
ඔතා සඟවා ළමැදට
තුරුළු කරගෙන නිදන
දිළිඳු අසරණයාය නුඹ...

මරණයේ හදවත 
ලබ් ඩබ් හඬින් සොලවන
ප්‍රේමයේ ගිනි පුළිඟු 
දවාලන සිදුරකින් ඉඳ හිට
වෑස්සෙන සුසුමකට 
ජීවිතය දිය කරන...!

සැප්තැම්බර් 18, 2015

[ග්‍රීක මිථ්‍යාවන්ට අනුව ක්‍රොනස් අතින් කරඇඹුනු ඔහුගේ පියා යුරේනස් (අහස) ගෙන් ගැළූ ලෙයින් ගැබ්ගත් ගයා (පෘතුවිය) බිහිකල යෝධයෙකි එන්සිලඩස්. ග්‍රීක කාව්‍යයන්හි එන පරිදි එන්සිලඩස්ගේ ඉරණම බුද්ධියේ සංකේතාත්මය ඇතීනා අතින් හෝ මධුවිතට අධිපති ඩයොනිසස් ගේ සහචර සයිලිනස් අතින් මැරුම් කෑමයි. එන්සිලඩස් ගිනිකඳු පතුලක මිහිදන් වූවායි සැලකෙන අතර, එන්සිලඩස් ගේ මව් ගයා ඔහු මුහුදේ දෙවියාය සැලකූ බවත් සඳහන් වෙයි. 

එන්සිලඩස් නමින් නම් කල සෙනසුරු ගේ චන්ද්‍රයා පාෂාණමය අරටුවක් වසා පැතිරුනු ගෝලීය සාගරයක් වටා බැඳී ඇති ඝණ අයිස් පෘෂ්ඨයකින් සමන්විත යැයි, සෙනසුරු නිරීක්ෂණයට ගිය ඇමරිකන් කැසිනි යානයෙන් ලද තොරතුරු අනුව,  තීරණය කර තිබේ]






Continue Reading...

ටික්.. ටික්.. ටික්.. ටික්…




ජූනි තුන, අප්පච්චි ගිහින් ඊයේ ට අවුරුදු දාසයක්.

ඒ අවසන් හමුවීම ගැන තියෙන්නෙ බොඳ වෙලා ගිය මතකයක්. සමහර විට කල්පයක් වගේ කියලා මිනිස්සු හඳුන්වනවා ඇත්තේ එදා ඉඳන් අද වෙනකල් ගෙවුණ පැය, විනාඩි, තත්පර වාගේ කාලයකට වෙන්න ඇති කියලා මට හිතෙනවා.

අප්පච්චි ළඟ තිබුණා පූජනීයත්වයෙන් වාගේ අදහාපු අත් ඔරලෝසුවක්. “ජීවිත කාලයට ම එකක් ඇති” ඔරලෝසුව ගැන එයා හරි ආඩම්බරෙන් කියැව්වේ එහෙමයි. ඇත්ත, අසූ ගණන්වල අග ජපානයේ හිටපු කාලයේ දී අප්පච්චි ගත්ත ඒ ඔරලෝසුව, එයාට ජීවිත කාලය ම ඇති වුණා තමයි… ගොඩක් ඔරලෝසු වගේ නෙවෙයි, ඒකේ තත්පර කටුව එක එල්ලේ තත්පරයෙන් තත්පරයට පනින්නේ නෑ. තත්පර කටුව හරි සීරුවට ඒක එක එල්ලේ ම ඔරලෝසු මුහුණත වටේ යනවා, කිසිම නැවතීමක් නැතිව. සීකෝ ෆයිව්, ඔටෝමැටික් අත්ඔරලෝසුවක්; දැනුම් තේරුම් ඇති වයසට ආවා ම මම දැනගත්තේ ඒක. පුංචිම කාලේ අතට නොදුන්නත්, පසු කාලයේ මම ඉඳහිට ඒක ඉස්කෝලෙට බැඳගෙන යනවා.

ඔය ඔරලෝසුව අතුරුදහන් වෙන්නේ 2006 මැයි මාසයේ අන්තිම සතියක, අප්පච්චි ජීවත් වුණ අන්තිම සතියේ ගෙදර සිදු වුණ කලබල අතරේ. ඇත්තට ම ඔරලෝසුව නැති වුණා නෙවෙයි. ඒක මම දැනගෙන හිටියා. මොකද ඉන් අවුරුදු තුනකට පස්සේ ගන්න ඇති කියලා මම සැක කරපු කෙනා මට හම්බෙනවා. අතේ බැඳපු ඔරලෝසුව විතරක් නෙවෙයි, පුංචි කාලේ මං ඔරලෝසු ගාංචුවේ අම්මාගේ ආයකට්ටකින් කපලා තිබුණ කැටයමත් එක්ක ම. මම වචනයක් කියන්නේ නෑ, “නැති වුණ දේවල් එක්ක ඕවා මොනව ද” මම හිත හදාගන්නවා.

මම අප්පච්චිට වඩා හාත්පසින් ම වෙනස් බව මං දන්නව, හැබැයි අත් ඔරලෝසු ගැන තිබ්බ “ලව් එක” ඒ විදියටම පිහිටලා තියෙනව. කොටින් ම, පහු ගිය අවුරුදු දොලහේ ආදර සම්බන්ධතා අටක් අතරේ මගේ ජීවිතය දෝලනය වෙනකොට, ඒ මුලු කාලයට ම මට තිබුණේ එක ම එක අත් ඔරලෝසුවයි. ඒක පෙනුමින් අප්පච්චිගෙ ඔරලෝසුවට තරමක් ආසන්න, වෙනස් මාදිලියක සාමාන්‍ය ඔරලෝසුවක්. මට කොච්චර පිස්සු ද කියනවා නම්, මම අන්තිමට යාලුවෙලා උන්න කෙල්ලව පෙන්නන්න ඔරලෝසුව සාක්කුවේ දාගෙන එක්කන් ගිහින් තියෙනව. ඔව්, ඔබ කියෙව්වා හරි. මම ඔරලෝසුව එක්කගෙන ගියෙ කෙල්ලව පෙන්නන්න. මට දැනුනේ ජීවිතයේ බොහෝ දේවල්වල සාක්ෂ්‍යකරුවෙක් වුණ ඒ ඔරලෝසුවට සමහර දේවල් මග ඇරෙන්න දෙන්න ම බැහැ කියලයි. ඒ මොහොත වෙනකොට දොලොස් අවුරුද්දක් මගේ අතේ ඉඳගෙන මගේ ජීවිතය දිහා බලාගෙන හිටපු ඔරලෝසුවට, මගේ ජීවිතයේ පහුගිය කාලයේ සමහර සිදුවීම් පෙන්නන්න එක්කගෙන ගියේ සාක්කුවෙ දාගෙන තමයි. මොකද, අන්තිම අවුරුදු තුනේදී කරගත්ත අනතුරු එක්ක, ඔරලෝසුව තිබුණේ අතේ බඳින්න පුලුවන් තත්ත්වයක නෙවෙයි.

ඊයේ; ජූනි තුන හැන්දෑවේ මම යනවා ඔරලෝසුවක් ගන්න. ඔව්, ඔබ අනුමාන කරන්න ඇති. මම අර වාගේම හීන් සීරුවේ තත්පර කට්ට නොනවත්වා දිවයන සීකෝ ඔටෝමැටික් ඔරලෝසුවක් ගන්නවා. ඒක ගත්ත වෙලාවේ ඉඳන් තවම අතේ, මේ සටහන ලියන මොහොතේදිත් මම විනාඩි පහෙන් පහට වෙලාව බලනවා.

ඒ වෙලාව බලන වාරයක් පාසා අප්පච්චිව මතක් වෙනවා. මතක් කරලා මම ම මගේ හිත රිද්දගන්නවා. “ජීවිත කාලෙටම මේක ඇති”, හෙට දිහාට මමත් කාට ම හරි කියලා දානවා.

-බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න-

ජුනි 9, 2022

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

මේ සටහන මෙහෙම මෙතැන එල්ලීම ගැන බුද්ධි අමනාප නොවනු ඇතිය සිතමි.

බුද්ධිගේ බ්ලොග් අඩවියට සබැඳිය:
https://escapistrider.wordpress.com/

ඉන්ස්ටග්‍රෑම් සේ රූ එකතුව
https://www.instagram.com/p/Bx9XsbnAB-O/



Continue Reading...

Monday, April 17, 2023

ක්වන්ටම් හා සංස්කෘතික එන්ටැන්ගල්මන්ට්ස්

 


නවීන විද්‍යාත්මක චින්තනයේ යුග පෙරලියක් සනිටුහන් වූ අවස්ථාවක් යැයි ගිණිය හැකි, ක්වන්ටම් ‌භෞතික විද්‍යාවෙහි ‌අපැහැදිලි අන්තයක් ලෙස සටහන් ව තිබූ, පටලැවුනු (entangled) ඉලෙක්ට්‍රෝනවල බැමුම් (spin) අතර සබැඳියාව පර්යේෂණාත්මකව ඔප්පු කරන්නට සමත්වීම, පසුගිය 2022 ‌‌භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගයෙන් සම්මානයට බඳුන් වුනි. 

ඇලෙයි ඇස්පෙක්ට්, ජෝන් ක්ලවුසර් සහ ඇන්ටන් ෂ්යිලින්ගර්, ගේ පර්යේෂණාත්මක ඔප්පු කිරීම් පිළිබඳව පිරිනැමුණු මේ ත්‍යාගයත් සමග  ක්වන්ටම් ‌‌‌‌‌‌භෞතික විද්‍යාව හා ආසියාතික දර්ශනවාදී සංකල්ප අතර සබඳතාවය පිළිබඳව පිරික්සීම නව මානයකින් ඇරඹී තිබේ. හින්දු වේදාන්ත හා භගවත් ගීතා ලියවිලි මෙන්ම, ‌‌කර්ම සංකල්පය ද මේ නව දැනුම ඇසුරින් විග්‍රහ කෙරෙනු, අන්තර්ජාල සටහන් තුල දැකිය හැකිය.

පහත සබැඳිය, 2022‌ නොබෙල් ත්‍යාගය සහ කර්මය විද්‍යාත්මකව ඔප්පු කිරීම මැයින් රුචිර වි‌ජේසේන, සිය 'Science with Ruchira' යූබට චැනලයේ පලකල වීඩියෝ සටහනයි.


මේ විද්‍යාත්මක තොරතුරු කියවාගෙන යද්දී මතුව ආ එක් ආකාරයකින් ක්වන්ටම් ‌භෞතික පටලැවිල්ලක්ම යැයි විග්‍රහ කරන්නටත් පුළුවන්, සන්නස්ගලයන්ගේ වීඩියෝවක් මෙතන අවුණන්නටම හිත කියයි.


පහත සබැඳි අතරින් මුල් ත්‍රිත්වය, නොබෙල් ලාභීන් සිය ත්‍යාගය භාරගනිමින් කල කථා තුනෙහි, වීඩියෝ සටහන්ය. ඉතිරිවා වෙබ් අඩවි වලටය.









නොබෙල් වෙඩ් අඩවියට සබැඳි:

https://www.nobelprize.org/prizes/physics/2022/press-release/

https://www.nobelprize.org/uploads/2022/10/popular-physicsprize2022-3.pdf

https://www.nobelprize.org/uploads/2022/10/advanced-physicsprize2022-3.pdf

Continue Reading...

Friday, April 14, 2023

ලයිලැක් වූ ලිලැක් නොහොත් පර්පලී





 
බයිබලයේ අවසාන පොත, එළිදරව්ව, හයසිය හැට හය '666', මෘගයාගේ අංකය ලෙස හඳුන්වයි. කටට හුරු බාසාවෙන් නම් මේක යකාගේ ඉලක්කමය. යේෂාගේ ලයිලැක් ‌පොකුරේ හයසිය හැට හයක් නැතිමුත්, මේ හැට හය ‌වැන්න නම් යකාගේ කතාවකි.



ලයිලැක්
(c) යේෂා ෆර්නැන්ඩු
පළමු මුද්‍රණය 2022 දෙසැම්බර
ISBN 978-624-5542-37-6

අගහස් ප්‍රකාශන, අංක 717/2, මාදින්නාගොඩ පාර, රාජගිරිය
Continue Reading...

Thursday, April 13, 2023

න්‍යෂ්ඨික විකල්පය


අර බන්දුල ගුණවර්ධන ආචාර්ය තුමා කියන්නැහේ, රුපියල මස්තබාල්දු වෙලා, රට කුල්ල කුජීත වෙලා, හක්ක මාට්ටු වෙලා බොක්ක දොට්ට පැනලා ඉන්න ආණ්ඩුවකට, අස්සයින්ගේ, ඉබ්බන්ගේ තියා, දෙපත් නයින්ගේ හා ගැරඬින්ගේ වත් දත් ගණන් කර කර ඉන්ඩ අවකාශයක් තියෙන්නට බැරිය. එහෙව් සමයක ජාම බේරා ගන්නට මොන පිදුරු ගහේ හෝ එල්ලෙන්නට ඇත්තටම හිතෙයි. 


 

සයිමන් නවගත්තේගම මයා ලියලා කරලා රඟපාලා පෙන්නාපු විදිහටම සුබ සහ යස ටීටර් එක වේදිකාගත වෙන අතරේ බොක්ක දොට්ට පැන්න ජනතාවට ඉටිපන්දමකට රුපියල් දෙදාස් එකසීයක් නොගෙවා ඉන්න අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීම සඳහා රුසියාවෙන් ආ මේ න්‍යෂ්ඨික විකල්පය එක්තරා විදිහකට කොහොමටවත් අහක දාන්න බැරි උණු කැඳ කෝප්පයක් බවට පත්වීමට කොතෙකුත් සාධක හිතාගන්නට පුළුවන.



මං කියන්නේ ඔයි  පුටිංලන්තේ වොඩ්කා කාරයින් නැවක අටෝලා ගෙනැල්ලා, මන්නාරමේ නැංගුරන් දාන්ඩ කතා කරන න්‍යෂ්ඨික බලාගාරේ පුපුරලා හතු වලාකුළ මතුවෙලා මුතු ඇටේ අන්තර්දාන වෙලාම ගිහින්, මැරෙන්ඩ හරි... අපි අද දවසේ ජීවත්වෙලා ඉන්ඩෙපැයි අප්පා..!

ඔයි ආකාරයෙන් බැළුවාම, මේක කිරියි පැනියි අරන් හඳමාමා ගොඩ බහින යෝජනාවක් සේ එක කෂ්ඨියක් දකින අතර,  පිට්ටුව තම්බාගන්ඩ, උතුරන වතුර මුට්ටියේ කට වැහෙන්ඩ, ඉනේ එල්ලෙමින් තිබුණු අමුඩේ කෙලවර ගැට ගහපු ගමරාලගේ යෝජනාවක් විදිහට ද දකින්නට හේතු කාරනා තිබේ. හතලිස් හතරේ දෙවන ලෝක යුද්ධයේ නැවතීමේ ලකුණ තබන්නට, හිරෝෂිමා හා නාගසාකි නගර දෙකම, සුන්නද්ධූලි කරමින් ජනිත වූ න්‍යෂ්ඨික තාක්ෂණය, යක්ෂයාගේ තාක්ෂණයක් ලෙසම මිස අන් අයුරකින් දකින්නට බැරි විචිකිච්චාවක් අපි කාගේත් මනස් තුල තිබෙයි.

එසේ වුනත්, න්‍යෂ්ඨික වීමේ අබග්ගය නිසාම, න්‍යෂ්ඨික විකල්ප නොසලකා හිටීමේ අවධානම ද නොසලකා සිටිය හැක්කක් නොවන බව මගේ ඔල මොට්ටල හැඟීමයි.

මේ හිතිවිල්ලට පදනම් වන්නාවූ කාරණා කීපයක් ඇති නමුත්, ප්‍රධානම කරුණ නම්, ශක්ති ප්‍රභවයක් ලෙස, ගින්දර මෙල්ල කර ගැනීමෙන් පසුව, ඒ ක්ෂේත්‍රයේ, මිනිසා විසින් පැන්න උසම පිම්ම; මහා පිපුරුමෙන් ශේෂව, විකිරණශීලී න්‍යෂ්ඨීන් තුල සඟවනු ලැබූ අපරිමිත ශක්තිය, පාලිතව මුදවා ගන්නට හැකිබව සාක්ෂාත් කරවූ ද, මෑන්හැටන් ව්‍යාපෘතියේ අග්‍ර ඵලය වූ ද; චිකාගෝ විශ්ව විද්‍යාලයේ, ස්කොෂ් ක්‍රීඩාගාරයක ඇටවූ, "චිකාගෝ ෆයිල්1", න්‍යෂ්ඨික ප්‍රතික්‍රීයකය වීමයි. 

ඒ නවසිය හතලිස් දෙකේ, දෙසැම්බර දෙවෙනිදා ය. අවුරුදු අසූවකට කලින් ය. 

ව්‍යාපෘතියක් ලෙස මේ කාර්යය, දෙවෙනි ලෝක යුද්ධය දිනා ගැනීම සඳහා, පර්යවසාන අවිය නිර්මාණය කිරීමේ, මිලිටරි මෙහෙයුමක් වූ නමුත්, (නිකමට හිතුවොත්, අද ලංකාව බේරා ගැනීමේ මිලිටරි මෙහෙයුමේ පර්යාවසාන අවිය, අයි.එම්.එෆ්ෆෙකේ, බිලියන 2.9 අතමාරුවව තියෙන්නා වගේමයි නේහ්..), මේ සොයාගැනීම, අනාවරණය, ඔප්පු කිරීම, එතෙක් මෙතෙක්, අප අනුදැකැති නවීන විද්‍යාවේ අගතැනෙහි තැබෙන ව්‍යාපෘතියද වන්නේය.

මා දකිනාකාරයට, විද්‍යාව යනු, චිරාත් කාලයක් තිස්සේ, මනුෂ්‍යයා ව්‍යවහාර කල, තමුන් නිරීක්ෂණය කල ස්වභාවික සංසිද්ධීන් විශ්ලේෂණය කර, ඒ ක්‍රියාවලීන්, සවිස්තරව, අර්ථ දැක්විය හැකි, පහදා දිය හැකි, ආකෘතියක් ගොඩනැගීමම නමුත්, විද්‍යාව නවීන වන්නේ, මේ කාර්යය කිරීමට යෝග්‍යතම භාෂාව, ගණිතය බව හඳුනා ගැනීමත්, මේ ආකෘති හා සංකල්ප, ඕනෑම විටක, අකාමකා කඩා බිඳ නැවත, ගොඩනැගිය යුතු, ආකෘති හා සංකල්පම පමණක් බව පිළිගැනීමත් සමගය.

අණුව, පරමාණුව හා පරමාණුක න්‍යෂ්ඨිය යනු, අතින් අතගා තියා, යම් ආකාර මෙවලමකින් තවමත් ඇසින් දැකගත නොහැකි දේ වන නමුදු, පරමාණුව හා එහි සංඝඨක ලෙස මනැසින් දැක, ගණිතයෙන් අර්ථ නිරූපණය කල ආකෘතීන් පදනම් කර ගනිමින්, කෙරුණු පුරෝකථනයන් ඔස්සේ මෙහෙයවුනු මෑන්හැටන් ව්‍යාපෘතිය, සුවිශේෂ, වන්නේ, න්‍යෂ්ඨික ශක්තිය, පාලිතව යොදාගැනීමේ ප්‍රථම අවස්ථාව වීමටත් වඩා, එය නවීන විද්‍යා චින්තනය සාධාරණීකරනය කල සංධිස්ථානයක් වන නිසාය.

බොහෝ අවස්ථාවල, ගැටළුව සංකීර්ණ මුත්, විසඳුම සොයා, අතදරුවෙකුත් කරපින්නාන, පතුල නොපෙනෙන හෙලක් හරහා වැල්පාලමක, පා නැගිය යුත්තේ මුත්, අවසාන ප්‍රතිඵලය වනාහී, සරල සුගම, ඕක කරන්ඩ මොන ගොනාට බැයිදප්පා, විසඳුමක් විය හැකිය. 

අවසාන විශ්ලේෂණයේදී "චිකාගෝ1" ත්, එදා මෙදාතුර නිමවුනු, න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරක (nuclear reactor) හැමෙකත්, න්‍යෂ්ඨික විඛණ්ඩනයේදී නිපදවෙන නියුට්‍රෝන, නැවත න්‍යෂ්ඨින් වෙතම යොමුකර, පාලිත, දාම-ප්‍රතික්‍රියාවක් පවත්වාගෙන යා හැකි අයුරින්, ස්වභාවිකව විඛණ්ඩනය  සමස්ථානික එකතුවක්, යම් ජ්‍යාමිතික රටාවකට ගොඩ ගැසීමක්, ස්ථානගත කිරීමක්  යැයි පැහැදිලි කල හැකිය. 



නියුට්‍රෝන වනාහී, ධන හෝ ඍණ විද්‍යුත් ආරෝපණයක් නොමැති, පරමාණුවක න්‍යෂ්ඨියත් ඉලෙක්ට්‍රෝන වලාවත් අතරින් වුව සුරුස් ගා රිංගා යා හැකි, නිර්පාක්ෂික, නිරාගමික, ඉන්ඩිපෙන්ඩන්ට් අංශුවක් වන බැවින් ඔය ඉහත රූපයේ ‌හීන මවනාකාරයට, පාලිත දාම ප්‍රතික්‍රියාවක් පවත්වාගෙන යා හැකි ආකාරයට සැකසීම හිතන තරම්ම පහසු නොවෙයි.

ඒ හින්දා අයියෙෆ්එම් යන්ට නම් බද්ද පලාබද්ද කරලා, ලැයිට් බිල වෙසක් ‌තොරණක් කරන්ඩ වුනායි කියන අන්තර්කාරනා වාගේම, න්‍යෂ්ඨිික බලාගාරයය කියන්නේත්, නිකම්ම යුරේනියම් ගොඩගැහිල්ලක් පමණක්ම වෙන්නේ නැත. ඒ හා සබැඳි අනූ අට දහසක් ව්‍යාධි විකල්ප අවකල්ප පාලනය කර අවම කර ශුන්‍ය කර ගැනීමේ ක්‍රම සහ විදි අසූ හාර දහසක් පිළිබඳව ද අවධානය යොමුකර අවබෝධය වර්ධනය කරගෙන යම් ක්‍රියාදාමයන් ස්ථාපනය කර ගැනීමේ අවශ්‍යතාවයද අත්‍යවශ්‍ය වන්නේ ය.

මහාචාර්ය රෝසා‌ කියන විදිහට, බැළූ බැල්මට නම්, රුසියානු රොසැටොම් ‌සමාගම යෝජනා කරන්නේ එක් ආකාරයකින් පරිපූර්ණ වූ විසඳුමකි. මෙතැන 'පරිපූර්ණ' ය කිව්වේ, බලාගාරය සාදා ගෙනැවිත් ස්ථාපනය කිරීමත්, එයට අවශ්‍යය ඉන්ධන සැපයීම හා නැවත පිරවීම වැනි සේවාවනුත්, බලාගාරය ක්‍රියාත්මක කරවීම හා එයට අවශ්‍යය සේවක සේවිකාවන් පුහුණු කිරීමාදී කටයුතුත් ආදී, සියල්ල පිළිබඳ වගකීම එයාලා බාරගන්නාකාරයේ යෝජනාවක් බැවිනි.

රොසැටොම්ලාගේ  නම ඉංග්‍රීසියෙන් ලිව්වාම ROSATOM හින්දා රෝසා-ටොම් යැයි වහරන්නටත් පුළුවන් මුත්, එයාලාගේත් මෙයාගේත් අතර කිසියම්ම හෝ ආකාරයක නෑ සබඳතාවයක් නැති බව නම් වගකීමක් ඇතිව ‌මට කියන්නට පුළුවන. 

නැංගුරම් ලෑ නැවක හෝ  අංගනයක ඉදිකල න්‍යෂ්ඨික බලාගාරයක් යනු පෙර නිමවුමක් ලෙස නිමවා ගෙනැවිත් ඉදිකරන්නක් හෝ, තැන්පත් කරන්නක් හෝ, වන බැවිනුුුත්, මේ බලාගාරය යනු, සැලසුම් කර නිපදවා, අටවා, කාලයක් තිස්සේ ක්‍රියාත්මක කර අත්දැකීම් ඇති, බලාගාරයකම අනුරුවක් වන බැවිනුත්, ආකෘතිය හෝ නිෂ්පාදනය හෝ ගොඩනැගීම හෝ පිළිබඳව ඇතිවිය හැකි සංකූලතා, ව්‍යාකූලතා හා ගැලපීම් නොගැලපීම් අවම විය හැකියැයි උපකල්පනය කිරීම අසාධාරණ නොවේ. 

ගිවිසුම් ගැසීම, ගිවිසුම් ගසා ගැනීම, ඩීල් දැමීම, නෝඩීල් කිරීමාදී සකල විධ ගනු දෙනු පමනක් නොව නොදී ගනු හා ගෙන නොදෙනු ආකාර කාර්යයන්හි මනා පරිචයක් ඇති පිරිසක් අපේ රට පාලනය කරන බැවින්, මගේ මේ පුංචි සටහන, දන්නා පමණින් මේ රෝසාටොම් බලාගාරයේ තාක්ෂණික සංයුතිය සම්බන්ධව සොයා දැනගත් කරුණු වලට සීමා කිරීම ඇඟට සුවදායක බව සිතමි.

න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරකයක සිදුවන්නේ විකිරණශීලී යුරේනියම් න්‍යෂ්ඨි පාලිතව බිඳ දමා, එම විඛණ්ඩනයේ දී මෝචනය වන්නාවූ තාපය එකතු කර ගැනීමත්, ඒ තාපයෙන් ජලය වාෂ්ප කර වාෂ්ප ටර්බයිනයක් කර කැවීමත් ය. ටර්බයිනය ඩයිනමෝවකට යා කිරීමෙන් විදුලි උත්පාදනය සිදුවෙයි. මේ මූලික සැලසුම, යෝජිත පාවෙන බලාගාරයටත් එසේම ය.

පාවෙන බව පැහැදිලි නමුත් මේ ඉදිකිරීමේ න්‍යෂ්ඨික ප්‍රතික්‍රීයක රැඳවුම (RPV - Reactor Pressure Vessel) තියෙන්නේ නම් මුහුදු යටය. එය ඉදිකිරීමේ ස්ථායිතාව රැක ගැනීමේ අවශ්‍යයතාවයක් වන්නා සේම, එක් අතකින් ආරක්ෂක උපක්‍රමයක් ලෙසද වැදගත් වෙයි.



යුරේනියම් සමස්ථානික අතුරින් මෙවන් න්‍යෂ්ඨික ප්‍රතික්‍රීයකයක විඛණ්ඩන කාර්යය සඳහා  දායක විය හැකි ගතිගුණ ඇත්තේ U235 සමස්ථානිකයට පමණි. ‌මහ පොළව හාරා, රසායනිකව පිරිපහදු කර ලබා ගන්නා ස්වභාවික යුරේනියම් සාම්පලයක අඩංගු U235 ප්‍රතිශතය, 0.7 ක් පමණ වෙයි. ඉතිරි බහුතරය දාම ප්‍රතික්‍රියාවකට දායකත්වයක් නොදෙන U238 සමස්ථානිකය. මේ ඉලක්කම් අනුව, ස්වභාවික යුරේනියම් පරමාණු දහසක, U235 පරමාණු හතක් පමණ අඩංගු වෙයි. ‌

දැනට ප්‍රචලිත කරුණු අනුව නම්, යෝජිත බලාගාරයේ පාවිච්චිවන්නේ, U235 ප්‍රමාණය 19%කට පමණ සුපෝෂණය (enriched) කරන ලද ඉන්ධන සංයෝජනයකි. එමෙන්ම, ප්‍රතික්‍රීයකයේ ඉන්ධන නැවත පිරවීම, අවුරුදු හතක් හෝ දහයකට පසුව විය හැකි බවද සඳහන් වෙයි. 

අන්තර්ජාලයේ සැරිසරන තොරතුරු අනුව, මේ බලාගාරයේ ප්‍රතික්‍රියාකාරකය, පහත පින්තූරයේ දැක්වෙන RITM-200 මොඩලයේ එකක් විය හැකි බව අනුමාන කල හැකිය. RITM-200 මොඩලය මෙගාවොට් 175ක තාප ජනන ධාරිතාවක් ඇති මුත් එහි විදුලි ජනන ධාරිතාව මෙගාවොට් 55කට සීමාවන බව සඳහන් වෙයි. පුවත් සාකච්ඡාවලදී  කියවුනු මෙගාවොට් 100 ක ධාරිතාව ලැබෙන්නේ පාවෙන බලාගාරයක මෙවන් ප්‍රතික්‍රියාකාරක දෙකක් අඩංගු කිරීමෙනි, 




RITM-200 Reactor Unit

175 MWt, 147.5 tons, 7.3 m high, 3.3 m diameter
Cassette-type core containing 199 fuel assemblies with cermet fuel U-235 enriched up to 20%. The core operating life is 7 years.

මෙවැනි න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරකයක හරස් කඩක් පහත රුපයේ ‌දැක්වෙයි. සරලව බැළුවොත්, මෙය ජලයේ ගිල්වූ, ඉන්ධන ගොනු  (‌fuel bundle) හා පාලක යෂ්ඨි  (control rod) එකතු කර තැනූ, ප්‍රතික්‍රීයක කේන්ද්‍රය (reactor core) කිනි. එහි සිදුවන න්‍යෂ්ඨික විඛණ්ඩනය හේතුවෙන් ජනනය වන තාපය ‌යොදාගෙන දෙවන කුටීරයක (steam generator module) ඇති ජලය වාෂ්පීකරණය වන අතර, ‌ප්‍රතික්‍රියාකාරකයෙන් පිටතට ශක්තිය රැගෙන යන ප්‍රධාන වාහකයා මේ ජල වාෂ්පය.

පාලක යෂ්ඨි හා අනෙකුත් නියුට්‍රෝන අවශෝෂක (absorber) යොදා ගැනෙන්නේ, දාම ප්‍රතික්‍රියාවේ දී ජනනය වන නියුට්‍රෝන පාලිතව ඉවත්කර ක්‍රියාකාරිත්වය පාලනය කිරීමටයි.

යෝජිත බලාගාරයේ ප්‍රතික්‍රියාකාරක විය හැකිය සැලකෙන RITM 200 සඳහා යොදා ගැනේය සැලකෙන ඉන්ධන ගොනු සටහනක් පහත පින්තූරයේ දැක්වෙයි.



ඉහත සටහනේ දක්වා ඇති ඉන්ධන ගොනුවක සරල සටහනක් පහත චිත්‍රයේ පෙන්වා තිබෙයි. සුපෝෂිත යුරේනියම් ඩයොක්සයිඩ් සිලින්ඩරාකාර කුට්ටි ලෙස සකස්කර ලෝහමය බටවල අසුරා එක්තැන් කර මේ  ඉන්ධන ගොනු නිමවනු ලබයි. 






යොදාගන්නා ඉන්ධන සංයුතිය හා ප්‍රතික්‍රියාකාරකයේ සැලැස්ම මත යම් යම් වෙනස්කම් ඇතිවිය හැකි අතර, ‌ඉන්ධන ගොනු 199 අඩංගු  RITM 200 ප්‍රතික්‍රියාකාරකයක අන්තර්ගත යුරේනියම් ප්‍රමාණය, ‌ටොන් 50කට කිට්ටුවිය යුතු බව අනුමාන කල හැකිය. මේ ඉලක්කම් සැලකුවොත්, මෙගවොට් 100 බලාගාරය සඳහා අවම වශයෙන් අවුරුදු හතකට වැය වන සුපෝෂිත යුරේනියම් ඉන්ධන ප්‍රමාණය ටොන් 100 පමණ වෙයි.

දැනට අපට ඇති ලොකුම විදුලි බලාගාරය වන නොරොච්චෝලේ බලාගාරයේ ධාරිතාව මෙගාවොට් 900 පමණ වන අතර, ඒ සඳහා වසරකට ගල් අඟුරු ටොන් 70,000 කට ආසන්න ප්‍රමාණයක් දහනය කරනු ලබයි. 




  




ආශ්‍රිත:

Floating Nuclear Power Buoyant on New Prospects (powermag.com)

http://www.niiar.ru/sites/default/files/safety20/62_prezentaciya_asmm_niiar-zaharychev_eng.pdf

The calculation of the campaign of reactor RITM-200


Continue Reading...

Tuesday, April 11, 2023

වදුල්ලේ බැස්ස....

 

බයවන්න නෙවෙයි කිලන්න.....



























Continue Reading...

Monday, April 3, 2023

නිහඬබව හැර එන්න

 







හැර එන්න නිහඩ බව හැර එන්න කන් දෙන්න හදවතට කන් දෙන්න අලුත් මිනිසෙකු වන්න. වැරදි තැන නැගිටින්න. මිනිස් වග පුබුදන්න .සිහිනයට පණ දෙන්න යස ඉසුරු සුරසැපම නොවෙයි මේ ජීවිතය. සතුට සැනසුමම තමයි ඉරණමක මල් සමය. අඳුරු සමයක ගොදුර නිදහසයි නොනිදන්න අගුලු ලන්නට කලින් පියාපත් විහිදන්න. මහ පොලොවෙ තුරු විමනෙ උරුමයයි ආදරය.. ඒ හැමට ලංසු තියනා සතුරු පිරිවරය. මිනිසුන්ට මිනිසෙකුව විසීමට වින කටින සැහැසිකම් පරදවන තැන තමයි නව අරුණ, නිලාර් එන් කාසිම් Melody and singing - Mohan Dee Weerasingha https://www.facebook.com/mohandarshana Mix & mastering- Gayan C bentharsge ( C Age Recording)

Continue Reading...

Blogroll

About