Sunday, May 13, 2018

රන් තිලකා... පොඩි සුමනා... සුදු ශීලා... කළු මැණිකා...

Share it Please




මම හයේ හෝ හතේ පංතියේ ඉගෙන ගන්නා කාලයේ අපේ බාප්පා කසාද බැන්දේය. 

තාත්තාගේ පවුලේ බාල පුතා වූ බාප්පා ඒ කාලයේ මරදානේ ටෙක්නිකල් කොලීජියේ ඉගෙනුම ලබමින් සිටි අතර ඊට අමතරව සීයාගේ ව්‍යාපාර කලමනාකරණයටද සහය විය. සීයාගේ ඇස් අන්ධය. මහගෙදර ඉදිරිපස ඉස්තෝප්පු කෑල්ලේ පුටුවක වාඩිවී සිටින සීයාගේ ප්‍රධාන කාරිය අසල කනප්පුවක් මත තිබෙන රේඩියෝවට සවන් දීමත්, එන කාට හෝ කියා පත්තරය කියවා ගැනීමත් ලෙස මට මතක තිබේ. නිදන කාමරයට, කෑම කාමරයට, වැසිකිළියට යන්නට උන්දෑට තනිවම පුළුවන් වන ලෙස බිත්ති දිගේ අතක් උසින් සුදුපාට හණ ලණු බැඳ තිබුණි. උන්දෑගේ දේ බොහෝවිට කෙරුණේ බාප්පා අතිනි.

බාප්පාගේ මඟුලේ පරහක් තිබුණි. බාප්පාගේ මනමාලිය බුද්ධාගමේය. පල්ලියේ හෙවනැල්ල යට ජීවත්වුනු කතෝලිකයන් වූ අපේ පැතිවල ආගම වෙනස්ව කසාද බැඳීම ජන්ම පාපය හා සමානම පාපයක් වූ කාලයක ටෙක් එකේදී හමුවී යාළු වූ බුද්ධාගම් කෙල්ලෙක් කසාද බඳින්නට බාප්පාට උවමනා විය. සීයලාගේ ගෙදර පාලනය තිබුණේ ඇත්තෙන්ම ආච්චිගේ අතය. ගෙදර ඉස්සරහ ඉස්තෝප්පුව සීයාගේ වුවද, පිටුපස වටපිල උඩ බුලත් හෙප්පුව ලඟින් වාඩිවී බොහෝ දේ තීරණය කලේ ආච්චිය.

ගෑණු ළමයා ගැන අන්තිම තීරණය ආවේද ඒ පැත්තෙන්ය කියා මම සිතමි. පුංචි උන් වූ අපට ඇහුනේ අම්මා තාත්තාගේ අතේ ඔඩොක්කුවේ ගැවසෙන විට ඇහුණු කතා බහක් පමණක් වූ අතර, දැක්කේ සිදුවුනු දේවල් මිස, ඒවා තීරණය වුනු විදිහවත් කෙරුනු හැටිවත් නොවෙයි. කෙල්ලට ආගම උගන්වා ප්‍රසාද ස්නාපනය, දිව්‍ය සප්‍රසාදය ආදී කාරණා සම්පූර්ණ කර කසාදය කෙරෙන බව කතා බහ වල හුවමාරු විය. මේ කාරණා සඳහා බාප්පාගේ මනාලිය, අම්මා තාත්තා පවුල ගෙදර අතහැර, කන්‍යාරාමයක නැවතුණාය. ගමන් බිමන් යන අතරේ අපේ තාත්තාත් අම්මාත් “මෙන්න මේ කොන්වන්ට් එක තමයි” කියා කුසු කුසු ගෑ මුත්, සීයාගේ මට තවම තේරුම් ගත නොහැකි විරුද්ධත්වයක් නිසා කවදාවත් මනමාලි බලන්නට නම් නොගියෝය.

මනමාලිට ලෙඩුන් බලා කියා ගන්නට හැකියාව පල පුරුද්ද ඇති බවත්, මොකක් හෝ නර්සින් පාඨමාලාවක් හදාරා ඇති බවත් කනින් කොණින් ඇහුණු කතාවකි. දෑස් අන්ධ, දිය වැඩියා කාරයෙක් වූ සීයාගේ බේත් හේත් දුක සැප බැලීමේ හැකියාව බාප්පා ගේ මනමාලිය වීමට සුදුසුකමක් වී තිබුණි. ආගම ඉදිරියට විත්, සීයාගේ හිත නොනැමිණියි හිතන්නටත් මට අපහසුය. හැමදාම උදේ ගුවන් විදුලියේ බණ, පිරිත්, දවසේ හිතිවිලි, ආදී හැම දෙයක්ම අසා ඉන්නා සිරිතක් උන්දෑට තිබිණි. උන්දෑ කියු බොහෝ කතාවල ජීවිතය පිළිබඳ යම් දැක්මක් තිබුණි. බොහෝ දේ අසා සිට කල්පනා කර තීරණ ගැනීමේ හැකියාවක් උන්දෑට තිබුණියි මගේ හැඟීමයි. උන්දෑගේ ව්‍යාපාර පරිපාලනය කල පුත්තු උන්දෑගේ අදහස් විමසා කටයුතු කලහ. ඒ එසේ වුණත් කසාදය කෙරෙන කාලය ලංවී අපේ සීයා පෞද්ගලික රෝහල් වාට්ටුක නවාතැන් ගත්තේය. මඟුල් ගෙදර යනවාද නැද්ද කියා තීරණය කරන්නට පෙර සීයාගෙන් අහන්නට අපේ පවුලම උන්දෑ හමුවෙන්නට මේ රෝහලට ගියා මගේ මතකයේ ලියැවී තිබේ. 

අපි මඟුල් ගෙදර නොගියෙමු. 

පල්ලියේ මඟුලක් බවත් තාත්තාගේ ලොකු මල්ලී ගිය බවත් මතක මුත් ආච්චි ගියාදැයි මට නිච්චියක් නැත. මේ වනවිට උප්පැන්නයෙන් කුසුම් වූ බාප්පාගේ මනාලිය පල්ලියෙන් බර්නදෙත් වී සිටියාය.

අපි මුලින්ම ඈ දුටුවේ බාප්පා මනාලියත් කැන්දාගෙන ගෙදර ආ දවසේ යි. සරම් කැසපට කවාගෙන ජල්ලි දමමින් සටන් පාඨ කිය කියා සළුපාලි යනමුත් යම් වෙනසක් නවතන්නට නොහැකි වූ කල ගහ මරා ගන්නට කැති මන්නා ගත් සියළු දෙනා එකට එක්වී අත්වැල් අල්ලාගන්නා සිරිතක් ගම්වල තිබේ. යුද්ධය ඉවරය කියා මෙයින් නොහැඟෙයි. ඇති තත්ත්වය බාර ගැනීම පරාජයක් ලෙසත් නොසැලකෙයි. සීයා හැර පවුලේ සියළු දෙනාම මේ සිද්ධාන්තය අනුව යමින් මනමාලිය පිලිගැනීමේ කාරියට මහගෙදර එකතු වූහ. ජෝඩුව මඟුල් පූජාවෙන් පසු හෝ ගෙදර එනදාට පෙර හෝ සීයා බලන්නට රෝහලට ගිය කතාවකුත්, උන්දෑ මනාලිය පිලිගත් කතාවකුත් යන්තමින් මගේ මතකයේ තිබේ. එහෙත් ගෙදර එන දවසේත් උන්දෑ රෝහලේම සිටියා විය යුතුය.

කුසුම් ඇන්ටී රූමත් හුරු බුහුටි යුවතියක වූවාය. සියල්ලටම වඩා සිත සනසන අව්‍යාජවූත් පිරී ඉතිරී යන්නා වූත් සිනාවක් රැඳි මුහුණක් ඇය සතුවිය. ඇගේ මුහුණ බැලීමත්, එදා දුටු ඈ සිහි කිරීමත්, අදත් සතුටක්ම ගෙනෙයි. සීයලාගේ ගෙදර සාලයේ, ඒ කාලයේ යමක් කමක් ඇති ගෙවල් හැමකම තිබුණු කුෂන් පුටු සෙට් එකක් තිබුණි. තුන් දෙනෙකුට පමණ වාඩිවිය හැකි ලොකු පුටුවක් තනි පුටු දෙකක් හා චූටි පුටු දෙකක් මට මතකය. එදා හිනා කතා කෑම බීම සියල්ලම අතරේ, දවසේ හිමිකාරිය වූ කුසුම් ඇන්ටී ගැන මගේ ඇස් විමසිල්ලෙන් ම ඉන්නට ඇත. එසේ නොවේ නම් මේ හැම පුටුවකම වරින් වර ඈ වාඩිවී සිටියා මගේ මතකයේ චිත්රයන් සේ ඇඳී තිබෙන්නට විදිහක් නැත.

කසාදයේ රැස් පරොස් හේදී ගොස්, ආච්චිලාගේ සීයලාගේ ගෙදර, කුසුම් ඇන්ටිලාගේ ගෙදර වෙන්නට වැඩි කාලයක් ගත නොවිණි. ඒ ගෙදර පරණ සුවඳ බාප්පාගේ කාමරයෙන් ඈත්වී ගොස් අපි පොඩිවුන් නැන්දා කසාද බැඳ පිටවුනා ට පසු ආයෙත් ආසාවෙන් මහ ගෙදර යන කාලයක් ඇරඹිණි. කුසුම් ඇන්ටී මිස ඇගේ නෑසියන් කිසිවෙක් මේ කාලයේ මුණ ගැසුනා මට මතකයක් නැත. එහෙත් ඈ මුවින්, අපි පොඩිවුන් සමග හෝ මහවුන් සමග හෝ බාප්පා සමග හෝ ඒ දේවල් ගැන කණගාටු දෙයක් කියවෙනවාත් මට මතකයක් නැත. කාලය ගෙවී කුසුම් ඇන්ටී අම්මා කෙනෙක් වූවාය. 

ඒ ඉස්කෝල නිවාඩු කාලයේ මට මතක ඇත්තේ ලොකු බාප්පාගේ ලොකු දුවත්, පුංචි බබාත්, සමග කුසුම් ඇන්ටිලාගේ ගෙදර ගෙවුණු දවස්ය. බබා නාවන්න බොහෝවිට ගියේ අපේ අම්මාය. අම්මාත් සමග එහේ යෑම ලොකුම සතුටක් විය. බබා නාවා ගම්මිරිස් පිඹ, බබා කිරි බී නිදාගන්නා තුරුත් අම්මා නැවතී සිටී. මගේ ආපහු ඒම බොහෝ විට සවසය. පාන් ගේන්නට බාප්පා යනවිට ඒ එක්ක ගෙදර යාම මට වඩාත් ප්‍රිය විය.

මේ සටහන නම් කෙරුණු ජෝතිපාලගේ ගීතයේ නම් වැල අළුත් අම්මාගේ මුව'ග දරු නැලවිල්ලක් වී සීනුවක් සේ නාද දෙමින් ඒ ගෙදර බිත්ති මත රැව්දෙනු මට තවමත් ඇසෙයි. 

පුංචි එකාගේ පුංචි සද්දයක් ඇහුණත් කුසුම් ඇන්ටී ගයමින් රඟමින් සාලය හරහා දුව එනුත්, මයිකල් මල්ලීගේ බුඟු බුඟු හිනාවත්, උගේ පුංචි බඩ ගෙඩිය ඉඹිද්දී දැනෙන බබා පියුරු සුවඳත් මට තවමත් සිහි කර ගත හැකිය. ජුඩිත් නංගීත් මමත් බාප්පලාගේ ඇඳේ, කුසුම් ඇන්ටීගේ පය පාමුල ඇගේ නැලවිලි ගීය අසමින් ඇගේ පිරිපුන් සිනා මුහුණ දෙස බලා සිටිනවා මට තවමත් පෙනෙයි.

මගේ ජීවිතයේ මටම අම්මා වූ ගැහැනු කිහිප දෙනෙක් සිටිති. මගේම දරුවන් උපන් දවසුත්, ඒ හැම දවසේම මා දුටු, තවමත් දකින මගේම කුසුම් ගේ ආදරණීය මුහුණත් නිරායාසයෙන් මට පෙනෙයි. ඒ හැම ගැහැණියක වෙනුවෙනුත් හැම අම්මා කෙනෙකු වෙනුවෙනුත් අද මේ නොරට අම්මලාගේ දවස සමරන දවසේ දරු සෙනෙහෙස් අරුමය ළමයෙකු වූ මගේ සිතේ අනායාසයෙන් රැඳවූ මේ දවස් වල මතකය මෙසේ සටහන් කර තබමි.

මේ අවුරුදු අටකට විතර පෙර ලියවුණු සටහනක් වුනත්, අද දවසේ මුලින්ම මතක්වූයේත් කුසුම් අැන්ටීවය.  අද දවස අැගේය.

12 comments:

  1. සමහර මතක හිතට කාවැදිලා තියෙන තරම තේරෙන්නේ ඒවා ගැන ආපස්සට හිතුවාම නේද? හරි අපූරුයි මතක චාරිකාව!

    ReplyDelete
    Replies
    1. ඇත්ත... වයසට යද්දී එව්වා ඉබේම උඩට එනවා. හිතන්න ඕනැත් නෑ...
      තුති.

      Delete
  2. කුසුම් ඇන්ටී එරෙහිව ආ පිරිස තමා වෙත අරන්. අන්න චරිත.


    //ආගම වෙනස්ව කසාද බැඳීම ජන්ම පාපය හා සමානම පාපයක් වූ කාලයක// එහෙනම් මායි පවුලයි කරල තියෙන්නෙත් මහ පාපයක් නොවැ... "D


    http://samindikasrimantha.blogspot.com/2013/12/church-wedding.html

    ReplyDelete
    Replies
    1. සටහන ඇවිණුවාට තුති. කියවන්නම්. අපිත් එහෙම තමයි, නමුත් අපේ තාත්තා විතර ඒකට මාන්සි වුනේ නෑ කවුරුවත්. එයා ගිහින් කතා කරලා, අපි බැන්දේ පල්ලියේ පෝරුවක් හදලා.... ආගමට හැරවිලි, කොන්වන්ට් ගාල් කෙරිලි කිසිදෙයක් වුණේ නෑ...

      Delete
  3. //ආගම වෙනස්ව කසාද බැඳීම ජන්ම පාපය හා සමානම පාපයක් වූ කාලයක//

    තාමත් එහෙම තමා

    ReplyDelete
    Replies
    1. ඔව් මටත් දැනිලා තියනවා. බලාන ගියාම ආගම කියන්නේම ජන්ම පාපය තමයි නේ ද/

      Delete
  4. තාමත් ඒ ආගම් සීන් එක නම් එහෙම තමා මගේ වෙන්ඩ පවුලත් අන්තිමට ආගමට ගන්ඩ වුනා.

    ReplyDelete
    Replies
    1. අපි දෙන්නාත් දෙපැත්තේ දෙන්නෙක් තමයි. හැබැයි ඔතනදි නං ඔච්චර බලහත්කාරකං කෙරුවේ නෑ.

      Delete
  5. ඕකමෙ අනිත් පැත්ත අපේ ගම්වල.

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ? කොන්තේ ගලෝලා පිරිත් නූල බඳිනවා වගේ දෙයක් ද අදහස් කලේ?

      Delete
  6. කලින් කියවා ඇති කතාවක්.

    ආගම් යනු පිස්සු වැඩ බව නැවතත් පසක් විය.

    ReplyDelete
  7. පල්ලියේ හෙවනැල්ල යට ජීවත්වුනු කතෝලිකයන් .........

    ReplyDelete

Blogroll

About