Wednesday, January 31, 2024

ත්‍රස්තවාදී ත්‍රස්තවිරෝධි පනත

  


රටේ මිනිස්සු පාරට බහින එක පෙලපාලි යන එක නවත්තන්නට පොලිසිය වනන සුද්දාගේ කාලේ පොලිස් ආඥා පණත ඉතාමත් දුර්වල එක්ස්කියුස් එකක් වී ඇති නිසා, බල්ලන් මරණ අළුත් පොල්ලක අවශ්‍යතාවය ඉතා තදින්, සද්ගුණවත් සාරධර්මාහිදාන පාලක පරම්පරාවන්ට දැනෙන්නට පටන් ගෙන තිබේ.

තරිඳු ඩබල ගේ මේ කතාබහ අහාන ඉද්දී අසූඅටේ නවයේ දවසකට මතකය ඇදී ගියේය. ඒ කාලේ අපේ ධර්මචක්‍රාධිපති ජයවඩ්ඩනයන්, පුතාණන්ගේ පියාණන්ට පුටුව බාරදුන්නු අළුතය. උතුරේ එල්ටීටීයත් දකුණේ ජේවීපීයත් අවි අමෝරා සිටි, එහෙයින්ම, පීටීඒය බයිබලය වූ කාලයකි.

මට මතක එවක ආණ්ඩුවේ නීති කකුල වූත් අසා ඇති පරිද්දෙන් පීටීඒයට වින්නඹුකම කලාවූත්, ලලිත් ඇතුලත්මුදලි ගුවන්විදුලියෙන් කල ප්‍රකාශයකි. එදා, ඇමනස්ටි ඉන්ටර්නැෂනල් එක, ලංකාවේ මානව විරෝධී වැඩ ගැන කතාබහ කිරීමගැන ඇතු-ලත්-මුදලි මයාට මල පැනලා තිබුණේය.

එහේ මෙහේ කට වාචාල කතා නොකියා මෙහේ ඇවිත් පුළුවන්නම් සිරි ලංකා උසාවියක සිරිලංකා ආණ්ඩුවට විරුද්ධව නඩු පවරන්නැයි එතුමා ඇමනස්ටියට අභියෝග කළේය.

වීඩියෝව බලන්න. තරිඳුලාගේ කතාබහ ගැන හිතන්න.



Continue Reading...

Monday, January 29, 2024

ශාන්ත ශාන්....!

 






මේක නම් මෙතන අවුණන්නේ ඇවිණිය යුතුය කියාම හිතෙන නිසාය. අපේ රට ගැන සිය දහස් ගණනින් අය ලියන යූබට සටහන් තියන යුගයක, චුට්ටක් විතර සංස්කෘතිය හරියාකාරව පෙන්නන්නට උත්සාහ කරන 'සන්නා' ගේ බට සටහන් මා අගය කරන බවත් ලියා තියන්නට උවමනාය.

පලමු වීඩියෝ වේ, සඳහන් වන හින්දාම, කුතුහලය අවුස්සාගෙන අමාරුවේ ‌වැටෙන්නට පුළුවන් අයගේ දැනුවත් වීම සඳහා දෙවෙනි වීඩියෝ සබැඳිය අවුණා තිබේ.


උඩම පින්තූරේ ශාන්පුතා ගේ විසබීජේ වීඩියෝවෙන් උස්සන ලද්දකි.











Continue Reading...

Tuesday, January 16, 2024

සත් පියුම්

 


ලුම්බිණියේ සිදුහත් කුමරුන් උපන් විගස සත් පියුම් මතින් පා නගා වැඩියා ද නැද්දැයි කුකුසක් සිත ඇති කරගන්නෙක් වේ නම්, ඒ අම්මෙකුගේ සිතිවිලි විමසිලි සිතින් විමසා දැන හැඳිනුවෙක් නොවේ යැයි මට සිතෙයි.

සිය දූ දරුවන් පා තබන හැම තැන, පියුම් පිපෙනවා දකින, පියුම් පුබුදුවන්නටම සිතන පතන අම්මලා දැන හැඳිනීමද ජීවිතයේ මහඟු සම්පතක්ම වෙයි.

අපේ ලොකු පුතා, දැනමුතු වී, විශ්ව විද්‍යාල පිවිසුමට සැරසෙන කාලයේ එයාගේ අම්මාගේ හැඟුම් සිතිවිලි දැන හැඳිනූ නිසාම ලියවුනු ඉහත වචන පෙල, එයින් හත් අට වසරකට පසුව, පූජ්‍ය බිබිලාදෙණියේ මහානාම හිමියන්ගේ ගී තනුවට ගැලපෙන්නට සකසැවී, ගීතයක් වී ගැයුනේ ද ඒ අම්මාගේ මුවින්මය.

පහත සබැඳිය ඒ ගැයුමටය.






ඒ කාල වකවානුවේම, දර්ශන වික්‍රමතුංගයන් අතින් තනු නිමැවී සංගීතවත් වුනු ඇගේ අනිත් ගැයුමුත් එකතු කෙරුනු ගී එකතුව 'සත් පියුම්' වූයේ ද එහෙයින්මය.

මානෙල්ගේ ගී එකතුවට සබැඳිය:
සත්පියුම් ගී එකතුව

Continue Reading...

Friday, January 5, 2024

හුම්මානය



පෙනෙන තෙක් මානයට ඈතින්
අහස ඇවිදින් පහතට
මුහුදු වතුරට ගෑවෙන
සක්වල ගලට එපිටින්

උදේ හවසට ගිනි දැලින් දැල්වී
දේදුන්නෙ පාට කැලතෙන
ඉසව්වේ මෝදුවෙන
නා නා වර්ණ සියුමැලි
සුසිනිඳු කුසුම් සුවඳැති

එකතු කරගෙන දෝතට
තුරුළු කරගෙන ලමැදට
සඟවාන නොපෙනෙන්න
රහසින්ම සිපගන්න

නග නගා විත් සරැලි මැසිවිලි
දණ නවා සීරුවට වෙරලස
අතුරලා වැලි තලාවක
පුබුදුවන මල් මල් ලතාවක
බලන හැඩ වැඩ
නිමේෂය ගැන 
දරා සිත සිතිවිලි

හිස නගා අහසට
ගත නවා ගැඹුරට
අත යොමා අහුලා
සුසුදු බෙලිකටු
සයුරු පතුලත

දුව දුවා ආවත් වෙරළස
ගල් කුළක බිම්ගෙයක සැඟවෙන
වෙරළ විසිරී
පලසක්ව ඇතිරී
මල් පිපෙන
වරම් නැති
වෙස්සන්තරය මුමුණන
මුහුදු රළ

මිහිකතගෙ ගිනිගැනුනු හදවත
දියව වැගිරුනු රුහිරු වියැලී
ජනිත වූ ආග්නේය පාෂාණ
ඇතිරුණු මළුව සලපතල
සිඳ බිඳ කීතු කීතු කර
පිපිරවිය නොහැක්කෙන්
ගිරි බෙයද අතරින්
හිරව තෙරපී වැර නගා රිංගා

නැගී අහසට
බිඳු බිඳුව විසුරයි
කරිජ්ජ දිය මල් පොකුර
පෙති පෙති කඩා කුඩු කර
නොහැකියෙන් ගැයුමට
සොඳුරු ගී පද බැඳ
හූම් ගා... හූම් ගා...
මොරදේය හුම්මානය

ජනවාරි, 5, 2024

Continue Reading...

Tuesday, January 2, 2024

වංකගිරියේ වැල් පාලම බැන්ද ජෝජි අබශ්විල්ලි....






මේ වචන ටික අවුණන්නේ, වෙන කිසිවක් නිසා නොව, කාරිගෙ චැනල් එකේ එකතු වී තියෙන වීඩියෝ කතා ටික කවුරු කවුරුත්, විශේෂයෙන්ම මේ කාලයේ ඡන්ද ලැයිස්තුවක නම තියන කවුරු කවුරුත් අසා නරඹා තියෙන්නට ඕනෑය කියා හිතෙන නිසාය. ඉන් එක වීඩියෝවක දිගුවක් පහත අවුණා තිබෙයි.

1948 ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ‌ස්වයං පාලන උරුමය ඇති ඩොමීනියන් ‌තත්වය ලබාගැනීමෙන් පසු, 1952, 1956, 1960 (මාර්තු), 1960 (ජුලි), ආදී මහ මැතිවරණ වලින් පසුව 1965 පත්වූ ඩඩ්ලිගේ හත්හවුල් ආණ්ඩුව, 1970 දක්වා නොවැටී සිට, ප්‍රථම පංච වර්ෂ පූර්ණ ආණ්ඩුව ලෙස අභිෂේක ලබන්නේ ය.

නවසිය හැත්තෑව, සිය සැමියා නොමරා මැරූ ඇන්. ඇම්. ලා, කොල්වින් ලා හා පීටර් කේනමන්ලා සමග එකතුව තුන්හවුල් සංධානයකින් ඡන්දයට ආ, මැතිණිය ගේ නිල් රතු රතු ආණ්ඩුවේ වසරයි. ඩඩ්ලි ආණ්ඩුවේ මුදල් ඇමති වූ, යැංකි ඩිකී නොහොත්, ජුනියස් රිචඩ් ජයවර්ධන කල කූපන් පොතට දුන් හාල් සේරු දෙකින් එකක් කපා, අනිත් එක නොමිලේම දීම, නිදහසේ පියාගේ පුතාට බත් දුන් පියා වෙන්නට ඉඩ කඩ සැලසුවත්,  හැත්තෑවේ මැතිණිගේ තුන් හවුලේ ජයග්‍රහණයට ප්‍රධාන හේතු ප්‍රත්‍යයක් ද වූයේය.

හැත්තෑ හත වෙනවිට 'හාල් නැතුව බත් කඤ්ඤං' වූ, 'අපේ මැතිණි ලඟ එනවා, හාල් සේරු දෙක දෙනවා' වූ සටන් පාඨය හැත්තෑවේ ඡන්දයේ පෙරමුණට ආයේ එහෙයිනි. සේනානායක, ජයවර්ධන සටන් ඉතිහාසය, පනස් හයේ ආර්. ජී., ජේ. ආර්. කැළණි ඡන්ද සටනේදීත් කරළියට ඇවිත් තිබුණු මුත්, ඒක එක්සත් ජාතික පක්ෂ නායකත්ව සටනකට පෙරළෙන්නේ, හැත්තෑවේ ආසන දාහතේ පරාජයට පසුවය. ශ්‍රීලනිප සමග එහෙම නෝන්ඩි වීම, පනස් හයේ අටට බැස්ස එක්සත් ජාතික පක්ෂයට අලුත්ම දෙයක් නොවුණත්, පිය උරුමයෙන් ඔටුන්න හිමි වූ, ඩඩ්ලිගේ පුටුවට ඉව අල්ලමින් සිටි ‌‌ජේ. ආර්. ප්‍රමුඛ කණ්ඩායමට එය පක්ෂය තුල අළුත් කැරැල්ලක් ගැසීමේ අවස්ථාවක් වූයේය.

උන්ගේ නෑදෑයින්ගේ පක්ෂය වූ යූ.ඇන්.පී ය, ‌බෝතලේ වලව්වෙන් එළියට ඇවිත්, සේනානායකලා හලා ජයවර්ධනලාගේ හිස මත පැළඳෙන්නේ ඇත්තටම 1973 දී ඩඩ්ලි සේනානායක ගේ අභාවයත් සමගය. ඒ වන විට පක්ෂ නායකත්වය සඳහා ‌කෙහෙවලු පටලවා ගන්නට තරම් විරසකව සිටිය ද, ජේ.ආර්., ඩී. එස් ගේ අභාවයෙන් පසු තම මිත්‍රයා වූ ඩඩ්ලිට රටේ අගමැතිකම හිමිකර දීමට කටයුතු කල ප්‍රධාන පුද්ගලයෙක් වූයේය.

හැත්තෑවේ බලයට පත්වී, හැත්තෑ එකේ, කැරැල්ල පසුකර, හැත්තෑ දෙකේ දී, එවකට සිලෝන් වූ මේ කඳුළු බිංදුව, සිරි ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවා දී ජන රජයැයි නම්කර, බ්‍රිතාන්‍ය කිරීටයෙන් දික්කසාද කරවූ සිරිලංකා, සමසමාජ, කොමියුනිස්ට් තුන් හවුලට, හැත්තෑ පහ කිට්ටු වෙද්දී, ආණ්ඩුවේ ධූර කාලය ගණන් කර ගැනීමේ විචිකිච්ඡාවක් ඇතිවූ අතර, හැත්තෑ දෙකේ සිට පහක් ගැන, හැත්තෑ හතේ දී මහ මැතිවරණය තියන්නට බලය ඇත්තන් තීරණය කල අතර, හැත්තෑ පහ වන විට ලසසපය, තුන් හවුල් බුලත් හපයෙන් ගැලවී වැටුණත්, හැත්තෑ හයේ දී, කොළඹ පාරවල් සෝදා සුවඳ පැන් ඉස, තිඹිරිගස්යාය‌ේ සමිට් ෆ්ලැට් හදලා, අහල පහල රට රටවල නොබැඳි නායක කාරකාරාදීන් වැඩමවා පැවැත්වූ නොබැඳි සමුළුව පවත්වන්නටත් සිරිමාවෝ රජයට ආයුෂ තිබිණ. 

ඒ සමුළුවට ආපු අය ගෙන් කඩවසම්ම පිරිමියා වූයේ ලිබියාවේ ගඩාපි ය. මතක හිටිය තව එක්කෙනෙක් වූයේ ඔළුවේ බාල්දියක් නවලා රෙද්දකින් වහලා වගේ තොප්පියක් දාලා, නත්තල් සීයා රැවුළක් එක්ක හිටි සයිප්‍රසයේ පළමු ජනපති, අගරදගුරු මකාරියෝස් ය....!

මේ සියළු සංදර්ශන වලට පස්සේ, ආපු, හැත්තෑ හතේ ඡන්දය, අමුතු ඇටේ, සුළුතර, මහතර හා අතරමැදිතර ෆුට්බෝඩ් ධනපති අයියලා, අක්කලා, අංකල්ලා, ඇන්ටිලා ආදී සියළු හැත්ත බුරුත්තම තම දිව්‍යමය ගැලවුම් කරුවා වූ ජෝර්ජි අබශ්විල්ලි වටා එක් රොක් වූ ඡන්දයක් වූයේය...

ඒ ඡන්දයේ මා දුටු එක්සත් ජාතික පක්ෂ වේදිකාවල, පුටු මේස තිබුණේ නැත. ජේ. ආර්. ආවද වාඩි වූයේ බිම එළා තිබූ පැදුරු මතය. ඉස්සරහ කණු දෙකක, ආහාර මිල ලැයිස්තුවක් ප්රදර්ශනය කර තිබුණේය. එක පැත්තක, එදා මිලය.. අනිත් පැත්තේ, ඡන්දයෙන් පස්සේ අළුත් ආණ්ඩුව යටතේ මිලය. ඒ ඡන්දයට සමගාමිව නිකුත් කර තිබුණු එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්ව අයදුම් පතේ නම ගම ලිපිනය ආදී විස්තර වලට අමතරව, මැතිවරණ ජයග්‍රහණයෙන් පසු තමුන් බලාපොරොත්තු වන රැකියාව ලියන්නට ද ඉඩකඩ සලසා තිබුණේය. මේ දහං ගැට සියල්ලම ගසා, ‌බලය ඇල්ලූ අබශ්විල්ලි, පත්තිරිප්පුවට නැග "මාගේ ජනතාවෙනියි.... " රටේ වැසියන් අමතා, විධායක ජනපති කිරුළ පැළැන්දේ ය.

එසමයෙහි ඇරඹුණු තවත් නවීන උපක්‍රමයක් වූයේ, පොලිසිය, හමුදාව වෙනුවට, 'ජනතාව', උද්ඝෝෂකයින්ට, අරගල කරුවන්ට, ප්‍රතිවිරුද්ධ දේශපාලකයින්ට මෙන්ම, අධිකරණය හා විනිසුරුවන්ට ද, සිය විරෝධය දැක්වීමය. මේ 'ජනතාව' ආවේ ගියේ රජයේ වාහන වලිනි. කෑවේ බිව්වේ, අර සර්, මේ සර්, ගේ එකවුන්ට් වලිනි. 

අපේ රට වංක ගිරියෙන් එතර කරමියි කියා එක්කෙනෙක් ගෲෂාට ඇඳගෙන ආවත් අද   ජංගියත් නැතුව වැල් පාලමේ අතරමං වී සිටින මයිකල් කුමාරයාට, මේ රටට වැදුණු හෙණය වන්න‌ේ හැත්තෑ හතේ දී ජෝජි අබශ්විල්ලි පප්පා ඇරඹු මේ අසංස්කෘතික විප්ලවය, ධර්ම චක්කරයක මුවාවෙන් මේ රටට ගැසූ  මේ පාරා වලල්ලම බව සිහිපත් කරගන්නටත්, උත්තරය තියෙන්නේ ඒ චක්කරේම  කට පාඩම් කරවීමේ නොවන බව තේරුම් ගන්නටත්, මේ ලැබූ අවුරුද්දේදී වත් වාසනාව ලැබේවා.










 

Continue Reading...

Blogroll

About