Tuesday, December 22, 2020

වියපත් නොවෙයි ගඟුලක්

කල්පයක් වියපත් වූ ගඟත්
කඳු හිසක හැංගුණු උල්පතක්
නිල් අහස සිඹිනා තුරු හිසත්
නෙත් නොහැරිි සුහුඹුල් ලදල්ලක්

රැලි සරැලි රැඳුනත් කාලයේ
මුදු සිනිඳු මල් පෙති ප්රේමයේ
බුබුළු දා නැගිලා පෙති පිපී සැලිලා
අදත් සුවඳයි ගංතෙරේ...
ඔබ දෙපා නගනා වනපෙතේ....

රුදු සුලං රැළි හමනා රැයේ
කඳු මුවාවේ නිල් නිම්නයේ
පිපුණු මල් වැහිලා මල් තුහින පිපිලා
වසත් කාලය නිම්තෙරේ...
මග බලා ඉන්නා තුරුපෙතේ...




Continue Reading...

Sunday, December 20, 2020

හත්වෙනි පෙත්ත...

ජීවිතේ අවසාන කඳුළු මල පුබුදින්න
ඉතින් ඔය අවසාන මල් පෙත්ත උදුරන්න
හු⁣ළඟෙ ගිය පෙති හයක මුදු සුවඳ සිපගන්න
හිත අගුළු සිර කරන් ගල්ලෙනෙන් නික්මෙන්න....

සිප වැළඳ දොර වසා නික්මු⁣නා සිංහයා
මහ වනේ මල් පිපේ නිසල වූ ගත වසා
සියපතක් ගැන හිතූ සිඟිති දෝතේ රඳා
පෙති දෙකක් අහිමි වූ හත් පෙත්ත ශේන් යා

තටු ඇවිත් නිදහසේ දුර අහසෙ පියඹන්න
වලාකුළු මෙට්ට මත මද නලේ  පාවෙන්න
හුළඟෙ ගිය පෙති හයක මුදු සුවඳ සිපගන්න
ඉතින් ඔය අවසාන මල් පෙත්ත උදුරන්න 





Continue Reading...

Sunday, August 9, 2020

ඔපරේෂන් තලවාකැලේ....!

 ජීවිතයේ සමහර දේවල් පාරක තොටක යද්දී, හදිස්සියෙන් මුණ ගැහී ඇහිඳගන්නා කාසියක් මෙන් නොසිතූ නොපැතූ විලස අත පත් වෙයි. තවත් සමහර දේ දැක පියා ඇළුම් සිත් උපදවා, පැතුම් පතා, රුපුන් නසා අත්පත් කරගත යුතු වන්නා වූ දේය. මේ දෙජාතියේම දේ අපි කාගේත් ජීවිත වල තියෙයි. එයිනුත් පලමු කාණ්ඩය අප වාසනාවන්තයින් බව ඇහැට ඇඟිලි පහෙන්ම ඇන කියා දී අපේ මුවගට හීන් හිනා මෝදු කරන අතර, දෙවැනි කාණ්ඩය එයිට කිසිසේත් සමකල නොහැකි අමුතුම ආස්වාදයකින්, එක විදිහකට මමත් කෙරුමෙක් ය වර්ගයේ ආස්වාදයකින් අප‌ේ සිත් පුරවා උතුරාලවයි. සැලසුම්, පිඹුරු පත්, සූක්ෂම ක්‍රියාන්විතයන් ආදිය අවශ්‍ය වන්නේ මේ දෙවැනි ගණයේ ඒවාටය. එමෙන්ම අවසානය දක්වා ඉතා කල්පනාකාරීව සැලකිල්ලෙන් මෙහෙය විය යුතු මෙවැනි ක්‍රියාකාරකම් වනාහී, නිරන්තරයෙන්ම ලේ රත් කරවන අවිනිශ්චිතතා පිරුණු අවස්ථාවන් බහුල කාර්යයන් වෙයි.

වසර තිස් අටකට පෙර, නවසිය අසූ දෙකේ අප්‍රියෙල් තුන්වෙනි දා ඔපරේෂන් තලවාකැලේ පළමු අදියර ඇරඹෙන්නේ ඔවැනිම අවිනිශ්චිතතා අතර අපේ හිත් දෝලනය වෙමින් තිබුණු සමයක දීය. නවසිය හැත්තෑ නවයේ විශ්ව විද්‍යාල අවසන් වසරේ අවසන් විභාගයෙනුත් දවසකට පසුව සථප වූ ගිවිසුම ස්ථිර සාරව ලියාපදිංචි කරගන්නට පවුල් දෙකක් මුණ ගැස්සීමේ බාර දූර වූ කටයුත්ත, ඔපරේෂන් තලවාකැලේ වූයේ, වෙන්නප්පුවත්, ලුණුගලත් අතර වූ සියක් දහසක් කඳු පල්ලම් මගහැර මේක කරන්නට නම් දෙපාර්ශවයම එවකට මගේ රැකියා ස්ථානය වූ තලවාකැලේ තේ පර්යේෂණායතනයේ නවාතැනට ගෙන්වීම අවසාන තුරුම්පුව වීම බැවිනි.

ඔව්වායේ පරණ කතා මේ සටහන් ගොල්ලේම දෙතුන් පලක ලියැවී තිබෙයි. 

සීතල පිණි මත මල් පෙති විසිරෙන .... 
නීල් ආම්ස්ට්‍රෝන්ග් නොදන්නා හැත්තෑ නවයේ චන්ද්‍ර සංචාරය...!
විසිතුන ශ්‍රී හැත්තෑ නවයයි අසූතුන නොහොත් ගාල්ලේ කතාවක්....
උඩරට මැණිකෙට පට කුඩ දෙක දෙක [බෑණා කසාදෙට එන විට රජ්ජුරුවො වගෙ නැන්දම්මට]

ඔය කතාවල රස ගුණ කෙසේ වෙතත්, ඔපරේෂන් එකක් යනු බරපතල කටයුත්තකි. 

මුලින්ම කරන්නට තිබුණේ ශල්‍යකර්මයට දින දමා ගැනීමය. ඉතින් ඔය ඉහත පින්තූරේ දින සටහනේ ලියා ඇති ආකාරයටම, නවසිය අසූ දෙකේ අවුරුද්දේ, බොරුවාගේ දවසට දවස් දෙකකට පස්සේ, ශාන්ත කූම්බ්ස් වත්ත හරහා ගිහින්, මටකැලේ වත්ත හරහා ගිහින්, නානුඔයට යනතුරු පා ගමනින් ගිහින් එතැනින් නුවරඑළියටත්, නුවර එළියෙන් වැලිමඩට ගිහින්, වැලිමඩින් අම්පාර බස් එකක පස්සරට ගිහින් පස්සරින් ටැම්පිටිය බස් එකක ලුණුගල යන්නේ ඒකය.

සැලසුම වනාහී, මානෙල්ලාගේ ගෙදර අයට තලවාකැලේ එන්නට පුළුවන් දවසක් තීරණය කරගෙන අපේ අම්මාට දැනුම් දීමය. ඒ අනුව ඒ දින වකවානු අල්ලා, අපේ ගෙදර අම්මාත් තාත්තාත් නංගිලා දෙන්නාත්, අම්මාගේ කෝච්චි වරන්ට් එකේ පිහිටෙන් තලවාකැලේ ගෙන්නා ගැනීමය. එයාලා එන්නේ සතියක නිවාඩුවකට, ලුණුගල පාර්ශවයට ගමන් බිමන් එහා මෙහා කරගන්නට ඉඩකඩ ඇතිවය.

එදා රෑ ලුණුගල නැවතී, පහුවදා එද්දී ලැබුණු ලාවට අපරොන්දු පොරොන්දුව වූයේ..

 "කොහොම හරි බෑයි කියාලත් බෑනෙ... ඒ උදවියත් මෙච්චර දුරක් එන එකේ...." යන්නයි.

දින නියමවූයේ 15ත් 22ත් අතර දවසක බලමු ක්‍රමයට ව අතර, ඒ පියවර අවසන් වූයේ, රෑ එකොලහට විතර තලවාකැලේ හිට පා ගමනින් ටී.ආර්.අයි. නවාතැනට ගියාට පසුවය. අපේ ගෙදර කට්ටිය නෑ ගමන ආවේ සිංහල අවුරුද්දට කලින් දා වූ අප්‍රියෙල් දහතුන් වෙනි දාය. එයාලාගේ ආපහු ගමන් යෙදී තිබුණේ දහනවවෙනි දාටය.

පණිවිඩ යැවුනේ, තලවාකැලෙන් ලුණුගල මයිජෙම් සෙන්ටර් ටෙලිෆෝන් එකට කතා කර පාරෙන් අනිත් පැත්තේ විජය ස්ටුඩියෝවේ කෙනෙක් ගෙන්නා ගෙනය. හෘදය වස්තුව ලබ් ඩබ් ගානවා වෙනුවට, එයිද නැද්ද, එයිද නැද්ද, එයිද නැද්ද කියා ගැස්සුණු පස් දවසකට පස්සේ, ඔන්න ඉරිදා එඩී විද්‍යාරත්න මයා නුවරඑළියට එනවායි ආරංචිය ලැබුණි. ඉරිදාය කිව්වේ 1982 අප්‍රියෙල් මාසේ දහ අට වෙනිදා විය. එදා උදේ අටට නුවරඑළියේ බස් පොලේ දී මුණගැහී, එදා දවසේ නුවර එළියේ පැදුණු මෝටර් සයිකල් රේස් එකත් එහෙන් මෙහෙන් බලලා, ටී.ආර්.අයි. ඇවිත් මේ දෙගොල්ලා හරියටම මුණ ගැහුණේ නම් එදා රාත්තිරියේ රෑ කෑම මේසේදී යි.

මගේ ජීවිතයේ වැදගත්ම දවසක් වූ හින්දාටත් වඩා, ඒ දවස් ටික සිංහල අවුරුදු දවස් හින්දා, අපේ නවාතැනේ හිටි සේරම කට්ටිය ගෙවල් වලට ගොස් මේ රාජකාරිය හිතූ විදිහට කරගන්නට අවකාස සලසා තිබුණු අතර, අදටත් ආදරයක් ඇතුව සිහිපත් වෙන, කුස්සිය බලාන හිටි මුත්තයියාත්, අපේ අහලම කරකැවුණු අම්බලකනුත් ඔපරේෂන් තලවාකැලේ හි මගේ සහායකයෝ වූහ.

එදා ඒ සිසිල් සුවබර සවස් යාමයේ, අපේ මානෙල්ගේ තාත්තාත්, අපේ අම්මාත් තාත්තාත් අතර වූ කතාබහේ ඉස්පිලි පාපිලි මතක නැතත්, එදා කෑම කාමරය සිනා හඬිනුත් සතුටු වචන වලිනුත් පිරී තිබුණු බව නම් මතකය. එතෙක් කාලයක් එහේට අවුලක් වූ කේන්දර කතා බහවත්, මෙහේට අවුලක් වෙන්නට ඉඩ තිබුණු බෞද්ධ කතෝලික නොගැලපීම්වත් එදා බත් මාළු පිඟන් තසිම් වල අයිනකවත් තිබුණේ නැත.

එදා ඒ පැය තුන හතරේ හමුවීම පහුවදා උදේ අපේ අම්මාත් තාත්තාත් නංගිලා දෙන්නාත්  තලවාකැලෙන් කොළඹ කෝච්චියට ගොඩවීමෙන් අවසන් වූ නමුත්, ඔපරේෂන් තලවාකැලේ අන්තිම අදියර පොතේ ලියා අත්සන් කර අවසන් වූයේ නම් ඒ අවුරුද්දේ අගෝස්තු මාසේ නවවෙනිදා, කොළඹ තිඹිරිගස්යායේ ශාන්ත තෙරේසා දෙව්මැදුරේ දීය.



ඒ දවස අද වෙද්දී අවුරුදුම තිස් අටක් පරණය. අපේ දෙවෙනි මිනිබිරී, පුංචි මෙයිිසි සඳකාන්තිට ලබන මාසේ වෙද්දී අවුරුද්දක් පිරෙයි. මං අම්මා කියන, මේ අවුරුදු තිස් අටටම මා ගැන බලා කියාගත්, මානෙල් හැරුණාම අම්මා තාත්තා දෙකටම ඉතිරිව ඉන්නේ ලුණුගල අම්මා පමණකි.

ජීවිතය ගමනක් බව ඇත්තය. නමුත් ගමන් කරන්නේ ජීවිතය මිස අප නොවන බව පසක් වෙන්නේ බොහෝ දුර ගිය පසුය. තුති අම්මා.





Continue Reading...

Friday, July 31, 2020

නිහඬ තිමිරය ගලා යයි....



කැනඩාවේ, ඔන්ටාරියෝ විල අසබඩ කෝබර්ග්  නම් වූ කුඩා නගරයක අප පදිංචිව සිටි ඒ කාලයේ, රැකියාවට සබැඳි කරුණක් මත මසකට වරක් පමණ අසල්වැසි පීටර්බරෝ නුවර පිහිටි ට්‍රෙන්ට් සරසවියට යන්නට කටයුතු යෙදී තිබුණි. කෙත් වතු, ගම් නියම් ගම් මැදින් රිය පැදවෙන එහෙමට වාහන තද බදයක් නොමැති, කිලෝමීටර හැත්තෑවක් පමණ වූ, එක් පසකට පැයක් පමණ ගතවන මේ ගමන, නිදහසේ වට පිටාව දකින්නටත්, නිදහසේ හිතන්නටත් යම් අවකාශයක් දුන් කාලයක් ද වූයේය.

මතකයේ රැඳී ඇති පරිද්දෙන් එදා දවස, සිසිරය කෙළවර වස්සානයට අත වැනෙන කාලයේ දවසක් විය යුතුය. ඔන්ටාරියෝ විල් ජලයෙන් තෙත්වන දහවලේ උණුසුම, සවස්වරු වල සිසිලසින් නිවී, පතන් බිම් පුරා මීදුම් වලාකුලු කල්ලි ගැහෙන්නේ මේ කාලයේ දීය. ට්‍රෙන්ට් සරසවියේ සිට ගෙදර එන අතරතුර, හාත්පස සිසාරා ගලා ගිය මීදුම රථයේ වීදුරු ජනේල මත සිහින් දිය බිඳුව වැතිරෙන තරමට දැඩිවී තිබුණි. පහන් දල්වා යාර සීයක පමණ ඇස්මානය ඇතිව රිය පදවන මගේ සිත මතුව ආයේ ක්ෂිර සාගරයක ගිලී ගියාක් වැනි හැඟීමකි... ඒ දවස්වල පද පෙරලමින් සිටි ඨාකුරයන්ගේ ගීතාංජලීයේ ආරත් මුසුව මේ පද ලියැවුණේ  එබැවිනි.

නිහඬ තිමිරය ගලා එයි

නිහඬ තිමිරය ගලා එයි
කඳු මුදුනතින් බැස තුරු පඳුරු හිස්
දයාවෙන් සිඹිමින් ගලාවිත්
කැටි ගැසෙයි මිටියාවතේ

නොගැඹුරු තණ පඳුරු
වසාගෙන තැන තැන එකතුවන
ශ්වේත වර්ණ දිය කඩිති
සෙමින් සෙමින් ඉතිරී ගලත්
පිරී ඉතිරෙන්න නිම්නයම
විසල් පෙණ බුබලකින්

සිහිල් අතැඟිලි තුඩින්
දෙකම්මුල් කිති කවන
සරාගී නල රැල් මෙන්
මා ගතට නොදැනුනත්
හමා විත් රහස් කොඳුරන
අදිසි මදනල මෙන් නොව
තිමිරය මා නෙත් පුරා ගලයි

වසා පියවා මා නෙත්
දුහුළු සුදු සේද සළුවෙන්
විශ්වයම බොඳව යයි
දිදුලමින් පෙණ බුබුලක්ව

අන්ධය මා දෙනෙත්
උකුව යන ශ්වේතය
කිරි සයුර සේ නැගෙයි
මත්ස්‍යයෙක් වෙමි
පිහින යමි කිරි බඳුන තුල
හාත් පස වසා ගත්
උකුව යන සුදු පැහැය මිස
කිසිවක්, කිසිවක් ම නැත

ඔබේ ස්පර්ශය දැනෙයි
විහිද යනු මා නෙත් තුලින් 
පිබිද ගලාවිත්
ඈත ගැඹුරු පතුලේ සිට
මා ඇතුලාන්තයෙන්

ආලෝක පුංඤ්ඤයක් පිපී විහිදී
සියොලඟම වැලඳ ගනී
දිව්‍යමය වූ සිසිලසකින්
හදවතේ ගැඹුරුම ගැඹුරු
පතුලතත් පිරිමැදෙයි

මා සිරුර
මා අත පය 
ඇස් කන් නාසය
සියල්ල දියව යයි

ආලෝක බිඳුවක්ව පිරී සපි‍රී
මහා ආලෝකයක් වී
විශ්වයම එකළු වෙයි

ජීවිතය... හඟිමි.

බූන්දියේ සගයින් අතර ලියැවිලි බෙදුනු එසමයෙහිම වාගේ තුෂාරි ප්‍රියංගිකා නංගී අතින් මේ වචන පෙලගැස්ම ජගත්ලා අන්තර්ජාලයේ ගොනුකල කැටපත් පවුරේ එල්ලී අදටත් තියෙයි.
https://ketapathpawra-blog.blogspot.com/2009/11/blog-post_09.html

එයින් ටික කලකට පසු දවසක, සස්කච්වාන් ප්‍රාන්තයේ උතුරු කෙළවරක පිහිටි යුරේනියම් ආකරයක ගෙවුණු, හාත්පස මීදුම් වලාකුළක ගිලීගිය රැයකදී කැමරාවේ සටහන් වූ සිතුවමක් මත මේ අකුරු කෙටී, මගේ මුහුණු පොත් ගිණුමට එක්වී තිබුණි.


දස වසරකට පසුව ඊයේ අපේ මානෙල් එවූ පණිවිඩයක තිබුණේ "මේකෙ අන්තිම හරිය ඔයාගෙ කවියකින් කොපිකරලා නේද? මට මතකයි එහෙම." කියාය....



දම්වැලේ පුරුක් එකිනෙක සොයාගෙන යද්දී අගක තිබුණේ, 2018 දවසක, පදරුත් විජිතයැයි නමක් ඇත්තෙක්  කැටපත් පවුර කොපි පේස්ට් කර මුතු පන්හිඳයි හැඳින්වුනු මුහුණු පොත් පිටුවක තැබූ සටහනකි.



ඊළඟ අවුරුද්දේ එනම් 2019 ඔක්තෝම්බරයේ දී 'ලොවිනා කුසුම' මේ සටහනින් කොපි පේස්ට් කල පද ටිකක් ඡායාරූපයක කැටයම් කරන්නීය.



එයිනුත් දෙවසරකට තරම් පසුව, මේ වසරේ මාර්තු 14 දා සිහින පාරාදිසය නම් වූ පිටුවක මේ වචන ටික තවකෙකු නමින් එලෙසින්ම පලවෙයි.


මැයි මස වෙද්දී තවත් කෙනෙකුට මේ පද ටිකට උඩින් කපා යටින් ඇවිණූ පේලියකින් අළුත් අරුතක් එක් කරන්නට සිතෙයි. ඒක පලවන්නේ 'හෙළුව හෙලුවෙන් දකින්නට' හදා ඇති (අ)සම්මත නම්වූ පිටුවකය.




ඊයේ දවසේ යලිත් කල එලියට එන මේ වචන, ලොවිනා කුසුමේ පින්තූරයත් සමග නිසඳැස් කවි ගී අරණ පිටුවේත් පලවෙයි. ඉතින් වැදගත්මයැයි මට සිතුනු දේ නම් මා අතින් ලියවුනු මේ වචන මෙසේ දස වසක් ගතවීත්, තම තමුන්ගේ නම් වලින් කොපි පේස්ට් කර මුහුණු පොතේ සිය පවුරු මත මෙන්ම කවි පිටුවලද ඇලවීම නොවේ. ඒ කිසිවෙකුට, කැටපත් පවුරට ලියවෙද්දී, අකුරු පටලැවීමකින් තඳු වූ කඳු වත්, තිරි වූ කිරි වත් නිවැරදි කරන්නට හිතෙන තරමින්වත් ඒ වචන ටික කියවන්නට උනන්දුවක් නොවීමයි. 

Continue Reading...

Monday, July 6, 2020

වළාකුළු



"මහාද්වීපයක් වගේ නේ ද?"

 "නෑ.... ඒකෙ තියෙන්නෙ හදවතක හැඩයක්"

ඉරේ රස්නයෙන් ගිනිගෙන
පාව ගිය හුමාලය
ඝනීභවනය වී හැදෙන
හදවතක්....

මාවතක් මායිමක් නැති අහසෙ
පියාපත් නැති වුනත් පියඹන
පියාඹනවා නොවෙයි පාවෙන
හදවතක්...

කොහේදෝ හිට හමා එන සුළං රළවල
පුළුන් කෙඳි කැඩි කැඩී විසිරෙන
ඒත් සුදු පාටින්ම සුදිලෙන
හදවතක්...

'වැඩි වෙලා තියෙන එකක් නෑ...."

"ඔව් හුළඟ සැරයි...."


Continue Reading...

Friday, May 22, 2020

බේබි මහත්තයා ‌ගේ තානාපති පත්වීම....



"මන්ත්‍රීවරු මිල වෙච්ච ආකාරය..., මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවෙ මිල ගණන් කැඳවීම් කලාන‍ෙ. හරියට මේ ටෙන්ඩර් දැම්ම වගේ තමයි උනේ මං හිතන්නෙ.. ඉතින් ඒකෙදි... මං පුද්ගලිකවම දන්නව සමහර අය මිලියන් පන්සීය ඉල්ලුවයි කියල මට දැන ගන්ඩ තියෙනව. සාමාන්‍යයෙන්, මගෙ දේශපාලන ජීවිතේ මම මේ... ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකුටවත් මේ... රුපියලක්වත් දීලත් නෑ, දෙන්ඩ කතා කරලත් නෑ, දෙන්නෙත් නෑ. මන්ත්‍රීවරුන්ට... රුපියල් ශත වලින්.... වටිනාකම් ඇතිවුනා...  කියන කථාව මම ඇහුවෙ, ඉස්සෙල්ලම හැට හතරෙ ලේක් හවුස් පණතට සී. පී. ද සිල්වා මහත්මයා සහ කණ්ඩායම බණ්ඩාරනායක මැතිණිගෙ ආණ්ඩුවෙන් වෙන්වෙලා ගියාට පස්සෙ. මේ තත්වෙදි මං හිතන්නෙ මහින්ද රාජපක්ෂ මහත්තයට එකසිය දහතුන හදාගන්ඩ බැරිවෙච්ච කාරණෙ වුනේ ඔය... මිල ගණන් ඉහලයාම. ඒ උඩ තමයි මේක...  මේ විදිහෙ තත්වයක් ඇති වුනේ...  මේ අවුලක් ඇති වුනේ...; නැත්තං, මහින්ද රාජපක්ෂ මහත්තයට එකසිය දහතුන හදාගන්ඩ තිබුණ නං; මේ මාස එකහමාරක් මේ ප්‍රශ්නේ මෙහෙම ඇදෙන්නේත් නෑ..., ‍මෙහෙම දේශපාලන අර්බුධයකුත් නෑ.., මෙහෙම දේශපාලන නොසන්සුන්තාවයකුත් නෑ....." - මෛත්‍රිපාල සිරිසේන (2018 දෙසැම්බර්)

අපේ තාත්තාගේ මහප්පා, නයිනාමඩමේ ඉත්තවන් රාළහාමි ය. එයා ‌‌‌ගේ පුතා වූ හියු ප්‍රනාන්දු, ස්වාධීනව ඡන්දය ඉල්ලා නාත්තණ්ඩිය ආසනයෙන් පනස් හයේ දී, ශ්‍රීමත් ඇල්බර්ට් එෆ්. පීරිස් ව පරද්දා පාර්ලිමේන්තු ගියේය. ඔය කියන කාලයේ වෙන්නප්පුව කියා ආසනයක් නොතිබුනු අතර, දෙයියන්ගේ ලෙඩක් හැදිලා ගෙදර ඇඳේ හිටත්, දහ අවුරුද්දක් වයස්වූ දූ සිඟිත්ත, අයිවි ආන්ටිව රැස්වීම් වල කතා කරන්ඩ යවලා කෙරුණාය කියන ඔය ඡන්දය දකින්නට මා නම් ඉපදිලාවත් හිටියේ නැත.

හියු ප්‍රනාන්දු
එයිටත් වඩා, ජන්මාන්තර යූ.ඇන්ඩ් පී. කාරයින් වූ අපේ තාත්තලාගේ කට්ටිය, ඇල්බර්ට් පීරිස් මහත්තයාගේ පිරිවර වූ නිසාත්, ඒ කාලේ කඩවසම් තරුණයා ව උන්නු අපේ තාත්තාත් රූපකාය අතින් චුට්ටක් හියු මහත්තයා වගේ වූ නිසාත්, එයා නැග්ගේ නම් ඇල්බර්ට් එෆ්. පීරිස්ගේ ඡන්ද රැස්වීම් වේදිකා වලටය. එහෙම නගිද්දී.... 'මේං හියු ප්‍රනාන්දුත් මෙදා පොටේ අලියට සපෝට්' ය කියලා එනවුන්ස් කරපු එව්වා ගැන කයිවාරුත් මම අසා තිබෙමි.

අර බණ්ඩාරනායක මහත්තයා කියා තිබෙනාකාරයට දේශපාලනයත් ගලන ගඟකි. එයිටත් වඩා ගංවතුර කාලයට උතුරලා මඩ ගොහොරු වන්නාවූ ගඟකි. ඔය එව්වා මෙව්වා හින්දා, පණස් හයේ ස්වාධිනෙන් ගිය හියු ප්‍රනාන්දු, බණ්ඩාරනායක මහත්තයාගේ ආණ්ඩුවට සම්බන්ධ වූයේය. මෙව්වා ගැන ඉතිහාසය හරියාකාර දන්නේ නැතත්, ඔය කියන කාලවල, පාර්ලිමේන්තුවේ කථානායක පදවිය දරපු, ඒ හින්දාම පක්ෂය අතෑරලා ස්වාධීන වුනු මන්ත්‍රීවරයාට විරුද්ධව ඊළඟ ඡන්දයේදී, අනෙක් දේශපාලන පක්ෂ, අපේක්ෂකයින් ඉදිරිපත් නොකරන සිරිතක් තිබුණා කියාත්, ඇත්තටම සිරිලංකා වුනත්, සිරිලංකා කියා නොඉල්ලා හියු ප්‍රනාන්දු ස්වාධීන වුනේ ඒ හින්දා වෙන්නට ඇති කියාත් යාන්තං සැකයක් මගේ හිතේ තිබෙයි.

අනික් අතට තමුන් රස්සාවෙන් ගුරුවරයකු වූවත්, සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගයේ සඟ කෑල්ල, බහුතරය කත‍ෝලික වූ, අපේ ගම් පලාත්වල ඒ තරංම ලේසියෙන් දිරවන ජාතියේ ඇපල් ගෙඩියක් නොවූ නිසාත්, මේ විදිහෙන් ස්වාධීන වීම එක්තරා වාසියක් වෙන්නටත් ඇත. ඔයින් පස්සේ පණස්හයේ විප්ලවයට වෙඩි වැදී, ඊලඟට ආ, හැටේ ඡන්දයේ දී වෙන්නප්පුව ආසනයෙන් ෆෙස්ටස් පෙරේරා පරදවා පාර්ලිමේන්තු යද්දී අත ලකුණින් තරඟ කල හියු, සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුවේ කථානායක ධූරයට පත්ව, හැටහතරේ අග ලේක්හවුස් ජනසතු පනත ගෙනා රාජාසන කථාවට එරෙහිව, සී.පී.ද සිල්වාලාත් එක්ක, මැතිණිගේ පිටිපස්සට පිහියෙන් ඇනලා ආණ්ඩුව වට්ටවන්නට, කථානායකට උරුම තීරක ඡන්දය පාවිච්චි කළේය.

ඒ පෙරළියෙන් පස්සේ හියු මහත්තයා, අතෙන් අලියාට මාරුවී පාකිස්ථානයේ තානාපති හැටියට පත්ව ගිය අතර, හැට පහේ ඡන්දයෙන්, හියුගේ පුරප්පාඩුවට අත ලකුණින් තරඟ කරපු අගුස්තීනු ෆොන්සේකා අලියාගෙන් න‍ොමිනේෂන් ලැබූ  වෙන්නප්පුවේ ෆෙස්ටස් පෙරේරාට පරාද විය.

හැට පහේ ඡන්දය ලංකා ඉතිහාසයේ එක්තරා ආකාරයකට, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී ගොස් හදාගත් ශ්‍රීලනිපයත් සමග නැගී ආ අර කලින් සඳහන්වූ පණස් හයේ කූඨ ප්‍රාප්ත වූ, පංචමහා බලවේගය‍ේ හුලං බස්සා, රටේ නායකත්වය සිය උරුමය සේ හිත‍ේ තියාන හිටි ධනපති රදළ හා ඉහල මධ්‍යම පංති ක‍ොට්ඨාස සිය ආධිපත්‍යය නැවත තහවුරු කරගත්තාවූ අවස්ථ‍ාවක් ල‍ෙසද සිතිය හැකිය.

ෆෙස්ටස් පෙරේරා

ඔය චන්දය කාලයේ එක් එක් ගම්පලාත්වල යමක් කරන්නට කියන්නට පුළු පුළුවන් අයගේ ගෙවල් වල හවස් යාම‍වල්වල  තිබුණු වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාසය‍ේ යූ.එන්.පී. සංවිධායක මණ්ඩලවල සමහර රැස්වීම්වලට අපේ තාත්තා එක්ක මටත් යන්නට වුනේ, මට මතක හැටියට කොල්ලන් දෙන්නාවම ගෙදර දාලා ගියොත්, පොඩ්ඩියක් වූ ලොකු නංගීවත් බලාන අපි දෙන්නාව ආම්බාං කරන්නට අම්මාට තිබුණු අසීරුකම් නිසා වෙන්නට පුළුවන.

එවකට අවුරුදු අටක විතර කොල්ලෙක් වූ මට හොඳින්ම මතක තියෙන්නේ, මා ඔය අයිනේ අස්සයින් දෙන්නෙකුත් හිටි මහා විශාල මන්දීරයක පෝටිකෝව පිරෙන්නට පුටු තියා කට්ටිය වාඩිවී සිටි රැස්වීමක මැදක් හරියේ සම්මාදම එකතු කරන්නට වටේට යැවුණු, කළු ට‍ොප්හැට් එකය. ඒකට දැමුනේ කවරය. කවර කිව්වේ බරට මුදල් හෝ චෙක්පත්, පුරවා, දායකයාගේ නම ගම ලියාපු කවරය.... නිරනුමානවම, ඔය ගණන් හිලව්, ඡන්දයෙන් පස්සේ ඉතා වැදගත් වෙයි. ඒවා ප්‍රදේශීය හයිකාර පිරිස, රටේ නායකත්වයට සම්බන්ධ කරන්නාවූ, රැහැන්; වඩාත් නිවැරදිව කි‍වහොත් තෝන් ලණු; වෙයි.

මෙවැනි සංවිධානයන්ගේ සම්බන්ධීකරණයට වඩාත් උචිත පිරිස වූයේ පලාත්බද ධනවතුන්ගේ දූ පුතුන්ව ඉපිද, එවකට ප්‍රචලිත ඉංග්‍රීසි පාසල්වලින් අධ්‍යාපනය ලබා, රටේ ‘රාජ්‍ය භාෂාව‘ වූ ඉංග්‍රිසියෙන් කතාබහ කරන්නට මෙන්ම, රාජ්‍ය තන්ත්‍රයේ ඉහල තැන්වලට බය නැතුව ගිහින් බොහෝවිට ‘අයිසේ‘ හෝ එයිටත් එහාට ගොස් ‘යූ බගර්‘ මට්ටමින් කතා බහ කරන්නට තරම් හයිය තිබෙන සම්බන්ධකම් හා පෞරුෂයක් හදා ගත්තු පිරිසය. නිරනුමානයෙන්ම, නයිනාමඩමේ කොහුමෝල් පොල්මෝල් හිමි ව්‍යාපාරික, මෝනි ගම මහත්තයාගේ ලොකු පුතාව ඉපිද, කොළඹ සැන් බෙනඩික් කොලීජියේ, නුවර කටුගස්තොට සැන් ඇන්තනිස් කොලීජියේ පාසල් සමය ගතකල අපේ තාත්තා, ඔය කියන පැලැන්තියට කෙලින්ම ගැලපෙන චරිතයක් වූයේ ය.

ඡන්දය දිනා පාර්ලිමේන්තුවේ තනතුරු බෙදාගෙන ගම්බිම් බලා යන්නට කොළඹ පුත්තලම් පාරේ ආ එජාප මැති ඇමති ගොල්ල පිළිගැනීමට,  බස්නාහිරෙන්, වයඹ වෙන්කරන මා ඔය පැන්න හැටියේ, තෝප්පුව හංදියේ අති විශාල උත්සවයක් සංවිධානය වූ අතර, පාලම අයිනේ උණ පඳුරු වල එල්ලා තිබූ රතිඤ්ඤා වැල් අඩුම ගානේ අඩි හතලිහක් පණහක් වත් දිගට තියෙන්නට ඇත. පාලමෙන් එහා පැත්තේ දී, වාහන වලින් බැස්ස, මැති ඇමැත්තයින්ට බෙල්ල පිරෙන්නට මල් මාල දමා, පාළම උඩින් මෙහා පැත්තට ගෙනාවේ අලි ඇතුන්, නැට්ටුවන් බෙර කාරයින්, පිනුම් ගසන්නන්, සංගීත කණ්ඩායම්, සරඹ කණ්ඩායම් ආදී මෙකී නොකී විච්චූරණ සියල්ල අඩංගු වූ මහා පෙරහැරකිනි. වේදිකාව තිබුණේ  පාලම පැත්තට ඇලේට මූණ ලා තෝප්පුව හන්දියේ  මූද පැත්තේ මුල්ලේය. දැන් එතන කෝප් සිටියක්ය කියා ගූගල් සිතියම කියයි.

ඔය කියන උත්සවයේ, පාරේ කට්ටිය හැසිරෙව්වේ, මැද්දෑවේ කළුගස් තිබුණු සුදු රැවුලත්, කළු කණ්නාඩි දෙකත් නිසාම මට අමතක නොවන, බීඩ් සුවාමි ය. මෙගෆෝනයක් කරේ එල්ලාගත් ෆාදර් බීඩ්, කට්ටිය පෙළ ගස්සන්නට අණ දෙමින්, මහ පාර මැද්දේ ජයග්‍රාහී කඩිනමකින් එහා මෙහා යනවාත්, ඒ අතර වාරයේ හමුවන මුණ ගැහෙන දන්නාඳුනන කට්ටියට කට පුරා හිනා වී ඇයි හොඳයි කියනවාත් මට මතක තියේ. රතිඤ්ඤා වැල් පත්තු වුනේ, සැරින් සැරේටය.... එක් එක් ආසනවල අළුත් මන්ත්‍රීලා වේදිකාවේ මයික්‍රපෝනය ලඟට එද්දී, ඒ ඒ ආසනවල රතිඤ්ඤා වැල් පත්තුවුනා වෙන්නට පුළුවන. ඔය අස්සේ, පෙරහැරට ආ, අලි ඇතුන්, වේදිකාව ඉස්සරහට ඇවිත්, අළුත් ආණ්ඩුවේ අපේ නියෝජිතයින්ට දණ නමස්කාර කිරිල්ලකුත් සිද්ධ වූ බවත් මතකය.

එදා එතන හිටි මැති ඇමති රොත්ත අතරින්, තිස් හතර හැවිරිදි නීතීඥ ෆෙස්ටස් පෙරේරා, බොහෝවිට ලාබාලම එක්කෙනා වෙන්නට ඇත. එදා රැස්වීම අමතන්නට, ඡන්දය නොඉල්ලුවත්, ආණ්ඩුව පෙරලූ වීරයා වූ හියු ප්‍රනාන්දු ආවාදැයි මට නිච්චියක් නැත. නෑවිත් ඉන්නට හේතුවක් නැතිය කියා නම් සිතෙයි. දුම්මලදෙණියේ පන්සල් හන්දිය කිට්ටුව රැස්වීමක, හියු ප්‍රනාන්දු කතා කරනවා අසාගෙන කල්පනාකාරීව බලාසිටි තාත්තාගේ මුහුණ නම් මගේ සිතේ ඇඳී තිබේ. මට හිතෙන හැටියට ඒ රැස්වීම බොහෝවිට, හැටපහේ ඡන්දයට පෙර, ෆෙස්ටස් පෙරේරාට සහයෝගය ලබාගැනීමට සංවිධානය කල එකක් විය යුතුය.

නාත්තණ්ඩිය ආසනය ජයගත් තලත්තෑනි දේශපාලකයා වූ, ඇල්බට් එෆ්. පීරිස්, හැටපහේ ආණ්ඩුවේත් කථානායක වූයේය. එදා තෝප්පුවේ රැස්වීමේ දී,  ඇල්බට් පීරිස් මහත්තයා, කථානායක හින්දා පාර්ලිමේන්තුවේ කථාකරන්ඩ බැරි වුණත්, පළාතට වැඩ කරන්නට ඒක බාධාවක් නොවේය වාගේ කතාවක් කිව්වාත් මතකය. මොන මොන විදිහේ අතයට පිණුම් සිදුවුනාදැයි නොදන්නා නමුත්, ඔය වකවානුවල පක්ෂ දේශපාලනය දේශපාලන පක්ෂයට පක්ෂපාතී වීමේ දේශපාලනයක්ව තිබීමත්, 1951 සිට 56 වෙනතුරුත් කථානායක වූ, එවකට හැටපස්වෙනි වියේ පසුවූ, මහරැජිණ අතින්  ඕ.බී.ඊ. නාමධාරීව ශ්‍රීමත්වූ, පට්ටියපතිරන්නැහැලාගේ ඇල්බට් ෆෙඩ්රික් පීරිස් මැතිඳුන්ට නැවතත් කථානායක ධූරයම භාර ගන්නට හේතුවන්නට ඇත.

එසේ වුවත්, අවුරුදු දෙකකින් විතර, ඇල්බට් එෆ්. පීරිස් මයාට, කථානායක කම අත හරින්නට සිදුවිය. එතුමා නවසිය හැටහතේ සැප්තැම්බරයේ අභාවප්‍රාප්ත විය. හමුදා සෙබළුන් හතර දෙනෙක් රයිෆලයත් අල්ලාගෙන, බිමට බරකර ගත් හිසින්, නොසැලී නොසෙල්වී හුස්මත් නොවට්ටා, ගල් රූප සේ ඉන්නවා මා මුලින්ම දැක්කේ, ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් මහත්තයාගේ දේහය,  නාත්තණ්ඩියේ එතුමාගේ නිවසේ තැන්පත් කර තිබූ දිනයේ ය. එදා එතුමාගේ අන්තිම ජයග්‍රහණය දවසේ, වෙන්නප්පුව ආසනය දිනා, තෝප්පුව හන්දියේ වේදිකාවේ හිටි, තරුණ නීතිඥයා, තමුන්ගේ ගේ කිට්ටුවෙන්ම වාගේ වෙන්නප්පුවේ ඉදිකල ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණය හැරෙන්නට, එතුමාගේ නම සඳහන් වෙන තැන් තවත් තියේදැයි නොදනිමි.

බලයේ ඉන්නා ආණ්ඩුවකට අතුරු මැතිවරණයක් යනු, විශේෂයෙන් අතේ තිබුණු ආසනයක අතුරු මැතිවරණයක් යනු එක්තරා ආකාරයක හිසරදයක් වෙයි. හත් කට්ටියකගේ හවුල් ආණ්ඩුවක් වූ හැටපහේ ඩඩ්ලි ආණ්ඩුව නාත්තණ්ඩියේ එ.ජා.ප. පුටුවට අළුත් මූණක් එල්ලා අවදානමක් ගන්නට නොසිතුවා වෙන්නට පුළුවන. එසේත් නැතහොත්, ආණ්ඩුව පෙරලූ හිලව්වේ ණයට තානාපති කමක් අරන් සීන් එකෙන් අයින් වෙන්නට තරම්, හියු ප්‍රනාන්දු ලද බොළඳ නොවූවා වෙන්නටත් පුළුවන. ඔය කියන වකවානුවේ අපේ පළාත් වල අතට ඡන්දය දුන්නේ අලින්ට කඹුරන ඇත් ගොව්වන් මිස අලි නොවන බැවින්, එසේ තානාපති කමට මහජන නියෝජිත කම වික්කා නම්, ඒක අදටත් හිරිකිතව ලියවෙන අපරාධයක් ද වන්නේය. අනෙක් අතින්, ඉස්කෝල ආණ්ඩුවට අරගත්, සිරිමා ආණ්ඩුව පෙරලා දැමූ වීරයා වීම, ‍කතෝලික ඡන්ද ඇද ගැනීමේ චුම්බකයක් වුනායි හිතන්නට ඉඩ ඇතත්, නාත්තණ්ඩිය ආසනයට ඒ සාධකය කොයිතරම් බලපෑවා ද යන්න සැක සහිතය.

ඉතින්, නාත්තණ්ඩියට එ.ජා.ප. අපේක්ෂකයා වෙන්නට, හියු ප්‍රනාන්දු ආපහු දේශපාලනයට ආයේ ය. ඒ එද්දී ගෙනා සංකේත දෙකක් තිබුණි. එකක් රත්තරන් පාටට හුරු ෆොක්ස්වැගන් කාර් එකකි. අනික බෙන්ස් කාර් එකකි. සිරිමා ආණ්ඩුවෙන් තිත තැබූ, අළුත් වාහන ගෙන්නිල්ල, එහෙන් මෙහෙන් එක දෙක වැහි බිංදු හැටියට නැවත ඇරඹුණු ඔය කාලයේ, අළුත්ම වාහන අංක පහ ශ්‍රී වූ  අතර, පහ ශ්‍රී විස්සයි විස්ස වූ, ෆොක්ස්වැගන් බීටලය, අර බෙන්ස් එකටත් වඩා කැපී පෙනෙන වාහනයක් වූයේ, ඒ කාලේ නාඹර තරුණ වයසේ සිටි, හියු ප්‍රනාන්දුගේ කනිටු පුත්, රියෙන්සි ප්‍රනාන්දුගේ වාහනය ලෙසයි. රියෙන්සි, එවකට නයිනාමඩමේ තරුණ කණ්ඩායමේ නායකයෙක් වී යැයි හැඳින්වුවද වරදක් නොවේ.

මහප්පාග‍ේ පුතා වූ මුත්, ඒ තාක් කල් ජන්මාන්තර දේශපාලන විරුද්ධකාරයා වූ, හියු ප්‍රනාන්දු අලියා ඉස්සර කරගෙන මේ විදිහෙන් නාත්තණ්ඩියට ප්‍රාදුර්භූත වීම නෑදෑ හිතවත්කමුත් අතැර දා යූ ඇන්ඩ් පී දේශපාලනය කල අපේ තාත්තාට නම් ඇල්ලුවේ නැත. එයා සියළු කරුණු කාරණා ගලපා, තවත් කීප දෙනෙකුගේත් දායකත්වයෙන්, මේ පැරෂූට් වැඩේට විරුද්ධව එ.ජා.ප. නායක කාරකාරාදීන්ට ලියුමක් ලිව්වාය කියාත් මගේ මතකයේ තිබේ. මෙව්වා, ලඟින් ඉන්දවාගෙන තේරුම් බේරුම් ඇතුව කියා පහදා දුන් කාරණා නොව, ලොකු අයගේ ඔඩොක්කුවල, පය පාමුල බිම දිගාවී ඉන්නා වෙලාවල, ඇහේ කණේ වැදී සටහන්වූ කාරණා බැවින් ඔව්වායේ සත්‍යවාදී බව නම් සහතික කරන්නට බැරිය. එමෙන්ම, මේ සිද්ධිවල අපි නොදන්නා, තිරය පිටුපස කතා හා අතීත සිද්ධීන් කොතෙකුත් තියෙන්නට හැකි බැවින්, මෙහෙම දෙයකුත් වුනා කියන්නාවූ කාරණය මිස, එව්වා හරි ද වැරදිද හොඳද නරක ද වැනි විශ්ලේෂණ විග්‍රහ, හිතීමේ හෙවීමේ වැදගත් කමක් නැත.

දේශපාලන තීන්දු තීරණ ගැනෙන්නේ දේශපාලන උවමනා එපාකම් අනුවම මිස, ජනතා හිත සුව සඳහා නොවන බවට සාක්ෂි ලෝකයේ ඕනෑම රටක දේශපාලන ඉතිහාසය තුලින් සොයාගන්නට පුළුවන. එහි අවසාන ඉලක්කය සෑම විටම බලය රැකගැනීම වන අතර, මහා පරිමාණයෙන් සාකච්ඡා කෙරෙන්නාවූ හෝ ක්‍රියාත්මක කෙරෙන්නාවූ සමාජ සංවර්ධන හා සුබ සාධන කාර්යයන්ගේ ප්‍රමුඛත්ව නිර්ණය කෙරෙන සාධකය වන්නේ ද, ඒ ක්‍රියාමාර්ග තුලින් බලය ලබා ගැනීමට හෝ රැක ගැනීමට ලැබෙන්නාවූ රුකුලේ ප්‍රමාණය වෙයි.

හියු ප්‍රනාන්දු, නවසිය හැට අටේ නාත්තණ්ඩිය අතුරු මැතිවරණය ජයගෙන ඩඩ්ලි ආණ්ඩුවේ, වාණිජ හා වෙළඳ ඇමතිවරයා ලෙස දිවුරුම් දුන්නේ ය.

ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම වරට සම්පූර්ණ නිල කාලය වූ පස් වසර පිරූ ප්‍රථම රජය වූ හැට පහේ ඩඩ්ලි රජය එයින් අවුරුදු දෙකකට පසුව හැත්තෑවේ මැතිවරණයට මුහුණ දෙන්නේ, අවුරුදු පහක් තිස්සේ, යටපත්ව තිබූ, පණස්හයේ රැල්ලත්, රටේ ප්‍රධාන වාමාංශික ප්‍රවාහයන් වූ, එන්. එම්. ගේ සමසමාජය හා කේනමන් ගේ කොමියුනිස්ට් පක්ෂත් අත්වැල් බැඳගත් ප්‍රතිවාදී පෙරමුණකටය. මේ අළුත් තුන්හවුල එක් අතකින් ඒ වනවිට දේවත්වයට ඔසවා තිබූ බණ්ඩාරනායක නාමය හා බණ්ඩාරනායක  ප්‍රතිපත්තිත්, අනික් අතින් 'සා දුකින් පෙලෙනවුන් දැන් ඉතින් නැගිටියාව් අන්තිම සටනට සැරසියාව්' කිවූ දෑකැති මිටි කොඩියත් අමෝරාගෙන සිටියේ ය. මේ සියල්ල පසුපස සිටින ධනවාදී නූල් සූත්තරය ගැන ජනතාව දැනුවත් කිරීම සඳහා විජේවීරගේ චේ ගුවේරා කාරයින් රට පුරා රැස්වීම් මාලාවක් සංවිධානය කලත්, ඔවුන් ඒ මැතිවරණය තරඟ නොකල අතර, එයට ප්‍රධාන හේතුව ප්‍රශ්නයට පිළිතුර සන්නද්ධ විප්ලවයක් පමණක්මය යන්න ඇදහීම බව රට පසක් කරගන්නේ එයිනුත් වසරකට පසුවය.

හැටපහේ සිට හැත්තෑව වෙනතුරු, වෙන්නප්පුව සුළු නගර සභාවේ මැම්බර් කමත්, ගොවිකාරක සභා හා තරුණ සංගම් ආදී නා නා ප්‍රකාර දේශපාලන ව්‍යාපාරාදියේ පදවි තානාන්තරත් රස්සාව කරගත්තු බේබි මහත්තයාට, ඔය අවුරුදු පහේ දී, කස කාරයින් යවන්නේ පාරේ ඉඩ හදවා ගන්නට මිසක්කා, පෙරහැර යන මාර්ගය තේරීමට නොවේය යන්න ඉත සිතින් පහදා ගන්නට ඕනෑ තරම් අවස්ථාවන් ලැබී තිබුණේ ය.
ඔයින් මෙයින්...  කියන්නට තියන දේ කියන්නට, සුද්දාග‍ේ ඉංගිරිසි මෙන්ම, වැල්ලේ කුණුහරුපත් හොඳාකාරව දැනහිටි, කටින් වාගේම අතින් පයිනුත් කතා කරන්නට බය නැති 'බේබි', දෙදාහේ ඡන්දයට පෙරහැර පටන්ගන්නා කාලය වෙද්දී, එජාප යාන්ත්‍රණයේ හෙලවෙන දතක් වී සිටියේය.

මේ කාල වකවානුව ඇතුලත, එකම පක්ෂයකට, එකම ආණ්ඩුවකට පංගාර්තුව හිටියත්, මේ ඇවැස්ස අයිය මලෝ දෙන්නා අතර, යම් යම් රාජකාරි කටයුතු වලදී මුණ ගැහුනු තැන් වලදී සිදුවුනු ඇයි හොඳයි කීමු ත්, ගමේ පවුලේ මගුල් තුලා මරණ වලදී හමුවූවොත් කෙරෙන සාමිචිත් මිස එයින් එහා ගිය යාළු මිත්‍රකම් කෙසේ වෙතත් නෑදෑ කම් කීමේවත් යම් දියුණුවක් වූවා යි මට මතකයක් නැත.

ලිප පත්තුවී ‍තැටිය රත්වෙන කාලය එද්දී, නා නා ප්‍රකාර යෝජනා කතා බහ අරන් අපේ ගෙදරට එන පණිවිඩකාරයින් අතරට 'හියු මහත්තයා' ගේ පණිවිඩ කාරයෙකුත් එක්කාසු වී සිටියේය. සතියකට දෙතුන් සැරයක් ලැබුණු මේ පණිවිඩ වලින් කියවුනේ, බේබි මහත්තයාට තානාපති කමක් දෙන්නට හියු මහත්තයා කටයුතු සූදානම් කර ඇති බවත්, ඒ ගැන කතා බහ කර ගන්නට ඇවිත් හමුවෙන්නැයි කියූ බවත් ය.

මේවා, නිකම්ම අරයා මේම කියන්ඩ කිව්වා ජාතියේ පණිවිඩ නොවේ. ඒවාට පිටු දහ පාලොහක පෙරවදන් ද, පිටු තුන්සීයක හාරසීයක පසු වදන් ද අඩංගු වෙයි. ඒ අතර වාරයේ කතන්දරයට හූමිටි තියන්නට තාත්තා දමන වචනයක් දෙකක් හින්දා, අර පිටු තුන්සීයෙන් දෙසිය පණහක් විතර ආපහු පෙරලීමත් සිදු වෙයි. මේවා එන්නේත් අපේ බාප්පලාගේ ගෙදර, බාප්පලාගේ පොල්මෝලේ ලියන මහත්තයා, එයාට එන්න වාහනේ පදවාන එන රියදුරු මහත්තයා ආදී වශයෙන් සමාජ ජාල අඩවි ක්‍රියාකාරිකයින් හත් අට දෙනෙකු හරහා හින් දා, අපේ ගෙදර අය වචනයක්වත් අහන්නට කලින්, ප්‍රාදේශීය දේශපාලන ප්‍රවෘත්ති විකාශන සියල්ලේම වාග‍ේ, හියු මහත්තයා, බේබි මහත්තයාට තානාපති කමක් දීලා යි හෙඩ්ලයින් වැ‍ටී තිබේ.

මට මතක හැටියට, ඔය, 'අතීතයේ ගිලිහී ගිය....සතුට රැගෙන යලි වඩින්න.... ආරාධනා... ආරාධනා...' රැල්ලේ තවත් පියවරක් ලෙස දවසක්, කොහේ හෝ පූර්ව ඡන්ද රැස්වීමක් ප්‍රචාරණය කරමින් ගිය ලවුඩ්ස්පීකර් බැඳපු මෝටර් රථයක්, අපේ ගේ ඉස්සරහ කොළඹ හලාවත මහපාරේ නතර කර, 'එක්සත් ජාතික පක්ෂයේ පථා‍ක යෝධයෙක් වූ' අපේ තාත්තාගේ ශ්‍රී විභූතිය පිළිබඳව වර්ණනාවක ද යෙදුනේය. අම්මා නම් කිව්වේ ඔය එනවුන්සර්, නයිනමඩමේ විස්සෝප පල්ලියේ සංක්‍රිස්තියන් හැටියටත් කටයුතු කල, විලියොං අයියාග‍ේ පොඩි පුතා, කොලින් කැමල් කියාය.

මේ කියන කාලයේ, සා.පෙ. පංතිවල හිටි මට, 'අපි පිටරට ගියොත්' වාගේ මාතෘකා යටතේ නා නා ප්‍රකාර සිතිවිලි කල්පනා පහල නොවුනාමත් නොවෙයි. එසේ නමුත් දේශපාලනයේ පොරොන්දු, අපරොන්දු හා කැරට් අල පිළිබඳව සැලකිය යුතු දැනුමක් තිබූ අපේ ගෙදර අය එවැනි දේවල් ගැන හීන මැවූයේ වත්, ඉඳහිටක කියවුණු සාවඥ විහිළු තහළුවක් මිස, කිසිම ගැඹුරකින් කතා බහ කලේත් නැතියැයි මගේ මතකය යි.

බේබි මහත්තයාටත් උඩ පැනගෙන ගිහින් තානාපතිකම අරන් එන්නට තරම් ගායක් තිබුණේ නැත. මේ ගොඩපෙරකදෝරු යෝජනාවල තේරුම, ඒ වෙද්දීත් සමහර හවස් ජාමයක, අපේ ගෙදර අන්ධකාර ඉස්සරහ සාලයේ වාඩිවී, සිරි ලංකාවෙන් වෙන්නප්පුවට නොමිනේෂන් ලබා හිටි අගුස්තීනු ෆොන්සේකා එක්ක කෙරුණු කතා බහ, සාකච්ඡා ගැන, ඉවක් ඉඟියක් මෙදා පොටේ ජාම බේරා ගන්නේ කොහොමදැයි කල්පනා කරන, අලි මොල වලට සේන්දු වී තිබිම බව එයා දැන ඉන්නට ඇත.

හියු මහත්තයා හමුවෙන්නට බේබි මහත්තයා දෙවරක් ගිය බව මතකය. එයින් එක් වරක් කොළඹ ගෝල්ෆේස් හෝටලයේ හෝ එවැනි තැනක බව කියනවා මතකය. කමක් ඵලක් ඇති තීරණයක් තීන්දුවක්, අඩුම ගානේ පවුල් පවුල් අතර නෑදෑ සම්බන්ධකම් චුට්ටක් වැඩි දියුණු වෙන තරමේ වත් පියවරක් ඒ හමුවීම් වලින් ඵල දැරුවේ නැත. එදා ක්‍රියාත්මක වූ දේශපාලන යාන්ත්‍රණය තුල, බාප්පාගේ මල්ලීට තානාපති කමක් දී තම මැතිවරණ ජයග්‍රහණය ස්ථිර කරගන්නට තරම් හයි හත්තියක්, අතෙන් පාර්ලිමේන්තු ගිහින් අලියාට පැන්න හියු ප්‍රනාන්දු ට නොතිබුණා වන්නටත් පුළුවන.

අපේ තාත්තා, මා දන්නා කාලයේ සිට ඇඳි සුදු කලිසම කෝට් එක ගලවා තියා, නිල් ඉර පොප්ලින් ජාතික ඇඳුම හැඳ, නයිනාමඩමේ ගංගොඩ පල්ලිය පැත්ත‍ේ පැවැත්වුනු අගුස්තීනු ෆොන්සේකා ගේ ඡන්ද රැස්වීම් වේදිකාවකට ගොඩ වූයේය. එදා හිට එයා ජාතික ඇඳුම් කාරයකු වූ අතර, ඒ හැත්තෑවේ නිල් රතු රැල්ලට අසුවූ, ෆෙස්ටස් අංකල්, ඊළඟ අවුරුදු හතෙන් වැඩි හරියක් ගත කලේ ගෙදර ගේට්ටුව ලඟ පාරේ යන එන්නන් එක්ක කතා බහ කරමින්ය. නෑ කමට මගේ මහප්පා කෙනෙක්යැයි කියන්නට හැකි හියු අංකල් මට මතක හැටියට ඒ අවුරුදු හත බොහෝ දුරට ගෙව්වේ, නයිනාමඩමේ ජනතාව අතරය කියා මගේ මතකයයි. නාත්තණ්ඩිය ආසනය, අතෙන් ඡන්දය දිනූ, ප්‍රෝටස් තිසේරා ට ගියේ ය.

හැත්තෑ හතේ දී, ඩඩ්ලි එලවා එජාපය අතට ගත් ජේ.ආර්. තුනට කැඩුණු තුන් හවුල පරාජය කර පත්තිරිප්පුවට නැගි වේලාවේ, නාත්තණ්ඩියේ අළුත් අලියා, හැරල්ඩ් හේරත් විය.

අපේ තාත්තා, බේබි මහත්තයාට, ඔය දූපතෙන් එළියට පය තියන්නට අවස්ථාවක් ලැබුණේ නැත.







Continue Reading...

Monday, May 11, 2020

එකැස් කණා



"මොෂේ දයාන් උපන්නේ එක්දහස් නවසිය පහලවේ මැයි විසි වෙනිදාය.
නවසිය හතලිස් එකේ ජූනි හත්වන දා, සිරියා-ලෙබනන් ආක්‍රමණයට පෙරදා රැයේ දී දයාන් ගේ කණ්ඩායම දේශ සීමාව තරණය කර ලිටානි ගඟ හරහා තිබුණු පාලම් දෙකක් අත්පත් කර ගත්හ. එහෙත් සැලසුම් කර තිබූ පරිදි, ඔවුන්ගේ සහායක කණ්ඩායම් නොපැමිණියෙන්, තම කණ්ඩායම අනපේක්ෂිත පහරදීමකට ගොදුරු විය හැකි බව වටහාගත් ඔවුහු අසල වු 'විචි' පොලිස් ස්ථානයට පහරදීමට තීරණය කර එය ද අල්ලා ගත්හ. පැය කීපයකට පසු  ගොඩනැගිල්ලේ වහලය මත සිට දෙනෙති දුරදක්නයකින් ගඟෙන් එපිට 'විචි' අවට ප්‍රංශ සේනාංක පිරික්සමින් සිටි දයාන්ගේ දුරදක්නය යාර දෙතුන් සියයක් ඈත සිටි ප්‍රංශ ස්නයිපර් භටයකුගේ රයිෆල් උණ්ඩයකින් පසාරු වී ගියේය. වීදුරු හා ලෝහ කැබලි වලින් ඔහුගේ වම් ඇස සහමුලින්ම විනාශ වූ අතර, එතැනින් ඉවත් කිරිමට ගතවූ පැය හයක පමණ කාලය තුල බර්නාඩ් ඩොව් ප්රොටර් ගේ සාත්තු සප්පායම් නොවන්නට ඔහු මරණයට පත්විමට බොහෝ දුරට ඉඩ තිබුණි. ඇස අවට මස්පිඩු වලට සිදුව තිබූ අධික හානිය නිසා දයාන් ට වීදුරු ඇසක් සවිකිරිමට නොහැකි වූ අතර, පසු කලක ඔහුගේ සංකේතය වූ කළු නේත්‍රාවරණය පැලඳීමට දයාන් හුරුවිය."

https://en.wikipedia.org/wiki/Moshe_Dayan

එක්දහස් නවසිය හැට ගණන් අග භාගයේ දී, ලංකාව ඊශ්‍රායල්යේ හිතවතකු වූ අතර, පලස්තීන ප්‍රශ්නය පිළිබඳව ඇමරිකානු ප්‍රතිපත්තියට පක්ෂවූ ප්‍රතිපත්තියක් අනුගමනය කෙරිණි. අපේ විදේශ ප්‍රතිපත්තින් නිර්ණය වුනේ අපේ උවමනා එපාකම් මතම නොවන බැවින් මෙහි හරි වැරැද්ද කෙසේ වෙතත්, ඒ දවස්වල පොත් පත්තර වලින් උකහා දැක්වූ දේ අනුව යමින්, අපේත් වීරයින් වූයේ, අරුම පුදුම වික්‍රම කරන ඊශ්‍රායල් හමුදාවන් හා ඔවුනට නායකත්වය දුන් මොෂේ දයාන් ය. නූතන ඊශ්‍රායල භූමියේ ඇරඹුණු පලමු කිබුට්සයේ දෙවන දරුවා ලෙස, එක්දහස් නවසිය පහලවේ මැයි විසි වෙනිදා උපන් මොෂේ දයාන්, ඊශ්‍රායලය ජෙරුසලම දක්වා රැගෙන ගිය මොෂේ දයාන්,  සිය ජීවිතය අවසන් කලේ 1981 ඔක්තෝම්බර 16 දා හෘදයාබාධයකිනි.

මොෂේ දයාන් මගේ ළමාකල වීරයෙක් වන්නට තවත් හේතුවක් තිබුණි. මොෂේ ට තිබුණේ දකුණු ඇහැ විතරය. මට තිබුණේ වම් ඇහැ විතරය. එකැස් කණෙක් වීරයකු සේ තවත් එකැස් කණෙක් තෝරා ගැනීමේ අරුමයක් තිබෙන්නට නොහැකිය.

දයාන්ට එකැස් ක‍ණෙකු වීමට ප්‍රංශ ස්නයිපර් භටයකුගේ උදව් අවශ්‍ය වූව ද, අපේ දේ අපම කරගන්නා සිරිතට අනුව හැඩ ගැසුණු මට උදව්වක් ලෙස අවශ්‍ය වූයේ පුංචි පිහියක් ණයට ඉල්ලා ගැනීම පමණි.


නවසිය හැට දෙකේ මාර්තු දාහතර වෙනිදා බදාදාවක් යැයි අන්තර් ජාලය කියයි. එදා හවස්වරුවේ, ගෙන් ගෙට ගොස් පුටු වියන මනුස්සයෙක්, ඔය පෙනෙන අපේ ගෙදර කෑම කාමරය පැත්තේ ඉස්තෝප්පු කෑල්ලේ වාඩි වී, ඉරුණු කැඩුණු වේවැල් පුටු පිළියම් කරමින් සිටියේ ය.

ජංගි කොටයක් ඇඳන් වත්තේ මිදුලේ දුවන පණින, ඉස්කෝලේ පළවෙනි පංතියේ උගත් අවුරුදු පහක දාංගලයෙක් වූ මගේ ඒ දවස්වල ආසාව වී තිබුණේ වැද්දෙක් වෙන්නට විය යුතුය. ඔය කියන කාල‍ේ, පේර කෝටුවක් පදම් කර හණ නූලකින් දුනු දිය බැඳි දුන්නත්, කෙළවරේ හැඩ කැපූ කෝටු ඊතලත් අපේ ප්‍රියතම ක්‍රීඩා භාණ්ඩයක්ව තිබුණු අතර, එයින් අවුරුදු දෙක තුනකට පසුව සාන්ත මරියා ඉස්කෝලේ වාර්ෂික ක්‍රීඩා උත්සවයකට වැඩිම උසට ඊතලය විදීමේ තරඟයකුත් තිබුණා මතක ය. එදා කොල්ලන් සියළුදෙනා එක රොත්තකට රොක්වී අහසට විද්ද ඊතල අතරින් උඩටම ගියේ, අයිවන් ගේ ඊතලයය කියා සිස්ටර් හෝලි ෆැමිලි දැක්කේ කෙසේදැයි තවමත් මට සිතා ගන්නට බැරිවී තිබේ. ඒක බොහෝවිට අයිවන්, ෂැම්ර‍ොක් මුදලාලිගේ පුතා වූ නිසා සිදුවූ දෙයක් ද කියාත් යාන්තං සැකයක් දැන් නම් තිබෙයි.

ඉතින් එදා ඒ මාර්තු හවස් වරුවේ, මගේ පේර කෝටු දුන්නේ හණ නූල වෙනුවට, වේවැල් වියන්නා ලස්සනට තීරුගසා පිරිමැද ඔප දැමූ වේවැල් නූලක් ගැට ගැසීමේ කල්පනාවක් කොහේදෝ තැනකින් මගේ සිතට ආයේ ය. කපා පසෙකට ලූ වේවැල් කැබලි දෙකක් පුරුද්දා, මගේ කුඩා දුන්නේ තත බඳින වෙලාව වෙද්දී, පුටු පිළියම් කිරිල්ල අවසාන කර සිටි වියන්නා ගේ කුලිය දෙන්නට මුදල් ගෙනෙන්නට නංගීත් වඩාගෙන ගෙතුලට ගිය අම්මා සමගම අයියාත් ගෙට ගියේය. දුන්නේ බැඳි වේවැලේ වැඩිපුර එල්ලෙන කොටස කපා දාන්නට, පුටු වියූ මනුස්සයාග‍ේ පුංචි වක් පිහිය මට උවමනා වූයේ හරියටම ඔන්න ඔය වෙලාවේදීම ය.

පැය දෙක තුනක් තිස්සේ, වේවැල් ගෑමත්, පුටු විවීමත්, බලා හිටි මට, වේවැල් වැඩ කිරීම පිළිබඳව මනා අවබෝධයක් තිබූ නිසා, දුන්නේ එල්ලුනු වැඩි වේවැල් කෑල්ල කපන ක්රමය, වැඩි තැනින් නවා තොණ්ඩුවක් හදා, පිහිතලය දමා ඇදීමය යන්න පැහැදිලිව වැටහී තිබුණි. ඇද්දේ ඉලක්කයට ය. පිහිතලයේ තුඩ නැවතුණේ දකුණු ඇහේ කළු ඉංගිරියාවේ බබා මාක් එක මතය. කෑ ගහපු සද්දෙට අම්මා එද්දී, පුටු වියන මනුස්සයා, මුදලුත් අමතක කර අන්තරස්දාන වී හිටියා යැයි අම්මා කියයි. බබා ඉල්ලූ නිසා පිහිය දීමේ ‍වැරැද්දට ඒ මනුස්සයාට දඬුවමක් නොලැබුණත් සමාවක් නම් නොලැබුණායි මම සිතමි.

පිහිතලය ඇහැට වැදුනත් ලේ එන තුවාලයක් සිදුව තිබුණේ නැති අතර, ලේ බිඳක් නොහෙලා ඇහැක් අන්ධ කරගත් අය තවත් ඇද්දැයි අදටත් පුංචි සැකයක් මට තිබේ. බිම් කරුවල වැටෙන ඒ වෙලාවේම වාගේ ගෙදර ආ තාත්තාගේත් අම්මාගේත් තීරණය වුනේ, ඒ කාලේ අපේ පවු‍ලේ හැමෝම බෙහෙත් ගන්නට ගිය මීගමුවේ දොස්තර ඇන්තනිස්ට ලෙඩා පෙන්නීමයි. අම්මා කියනවා මා අසා ඇති විදිහට නම්, ඒ වෙද්දී ඇහැ හරහට යාන්තං ඉරක් මිස වෙන තුවාලයක් පෙනෙන්නට තිබුණේ නැත. ලොකු නංගීට අවුරුද්දක්වත් නොවුනු හින්දා, මීගමු ගියේ මාත් තාත්තාත් ය. ඒ යන ගමනේ දී, නයිනාමඩමේ ආච්චිලාගේ ගෙදරටත් ගිය අතර, උන්දෑ වාහනය ලඟට ආවේ, ගෙදර සුරුවම ලඟ තිබුණ, ලූර්දු මෑණියන්ගේ හැඩයට හැදූ ප්ලාස්ටික්, ලූර්දු වතුර බෝතලයත් අරගෙන ය. ඉතින්, මගේ තුවාල වූ ඇහැට වැටුනු පලවෙනි ‍ ඖෂධය වූයේ ලූර්දු වතුර බිංදු කීපයකි. ඒ ප්‍රතිකාරයෙන් පස්සේ ඇහැ පිරික්සූ දොස්තර ඇන්තනිස් ගේ නිගමනය වූයේ බරපතලම තුවාලයක් නොවෙන නිසා පහුවදාට කොළඹ ගොස් අක්ෂි විශේෂඥයකුට පෙන්නන්ඩ කියාය.

පොඩ්ඩෙක් ලෙඩ වූ විට එයාට ගෙදර විශේෂ තැනක් ලැබෙයි. අනිත් කාටත් නැති සැලකිලි ලැබෙයි. ඉතින් එදා රෑ මට සාලේ තබා තිබූ ලණු වියපු ඇ‍‍‍‍ඳ‍ේ නිදාගන්නට ලැබුණි. අම්මා ඒ ලඟම හිටියා විය යුතුය. පහුවදා උදේ ඕ, බිත්තර සැන්ඩ්විච් සාදා දුන්නාය. ඒක රසම රස විශේෂ කෑමකි. ඉතින් අපි කොළඹ ගියෙමු. දොස්තර උඩිනුත් යටි‍නුත් තදවෙන රාමුවක මගේ මුහුණ රඳවා, අන්වීක්ෂ දුරේක්ෂා දී නානා විධ දේවල් අස්සෙන් ඇහැ ඇතුල බලනවා මට මතකය. ඉන් පස්සේ එදා හවස් වෙද්දී, ට්‍රොලියක තියා රැගෙන යනවාත්, බොහෝ වේලාවක් පඩි පෙලක් අයිනේ ට්‍රොලියේ දිගාවී ඉන්නවාත් මතකය.

අම්මාත් තාත්තාත් යාළු මිත්‍රයින්ට, නෑදෑයින්ට, කියූ කතා අසා සිට දැනගත් කරුණු කාරනා අනුව නම්, එදා උදේ වෙද්දී, අර ඇහේ හරහට තිබුණු පුංචි ඉරි කෑල්ල, ඈත් මෑත් වී තුවාලයක් මතුවී තිබී තිබේ. දොස්තර මුලින්ම කර ඇත්තේ, තුවාල වූ වහාම ඉස්පිරිතාලයකට ලෙඩා ගෙන නොයාම ගැන අම්මාටත් තාත්තාටත් බැණ වැදීම ය. ඉන්පස්සේ ශල්‍යකර්මයක් සිදුවූ අතර, ඇහැ ඇතුලේ මැහුම් හය හතක් දමා තිබේ.

මගේ ඇහැ බැළූ දොස්තරගේ නම පරරාජසේකරම් ය. එයා ඒ කාලේ හිටපු හොඳම ඇස් දොස්තරය කියා අම්මා කියයි.

ඒ මේ අන්තර්ජාල සටහනේ ලියවී ඇති පරරාජසේකරම් ය.
"During my medical student days and later it was taken as our special privilege to take a patient or present ourselves to the consultants, bypassing the queue. Once I went to Dr. Pararajasekaram’s clinic in the Eye Hospital. The place was heaving with people. Proudly wearing my stethoscope around my neck, I ignored the queue with an easy conscience and went straight up to Dr.P. I said I was a medical student and would like to see him. He was furious that I broke the queue. Dr. P barked at me “I don’t care who you are. You have got to join the queue.” Although it upset me deeply at the time I do appreciate his willingness to break with an outdated tradition. Many of the patients have come from far away and have been there since the break of dawn. It was totally wrong of me not to take my turn in the queue. I do admire and support his egalitarian attitude."

මාස දෙකක පමණ කාලයක් ඉස්පිරිතාලේ ගතකල දවස්වල මතකයන් අතර, එලිෆන්ට් හවුස් එකෙන් අයිස්ක්‍රීම් ටබ් හයක් හතක් අරන් මා බලන්නට එන ජෝන් බාප්පාත් එක්ක එකතු වී ඒ සේරම එකක් පස්සේ එකක් කෑ දවසුත්, දවල් කෑවාට පස්සේ අතුරු පසට දෙන කෙහෙල් ගෙඩිය එපා කියූවාම, පහුවදා හොඳින් කෙහෙල්ගෙඩි කෑලි තියෙන ෆෲට් සැලඩ් එකක් ලැ‍බුණු අයුරුත් මතක තිබේ. ඔය කාලයේ බෙදා හැරි පෝලියෝ එන්නත ගන්නට, බැසිල් බාප්පා මා වඩාගෙන කොළඹ නගර ශාලාවට ගියාත් මට මතක තිබේ. ‍සෙනග පෝලිමක කෙළවර පුටුවක වාඩිවී සිටි කෙනෙක්, රිදී පාටට මතක ඇති සීතකල සීනි බෝලයක් කට ඇතුලට දැම්මාත් මතකය.

ඉස්පිරිතාලෙන් ගෙදර එද්දී, මටත් මොෂේ දයාන්ට වගේම ඇස් ආවරණයක් ලැබුණු නමුත් ඒක රෝස දුඹුරු එකක් මිස දයාන්ගේ මෙන් කළුපාට පැච් එකක් නොවිණි. කාලයකට පසුව, අයිපැච් එකේ නවමු ගතිය අමතකව ගිය අතර, දකුණු ඇහේ එළිය නැති ගතිය මටත් අමතකව ගියේය.

කාට කෙලෙස අමතක වූවත් අම්මාට එදවසත් සිද්ධියත් ඒ මොහොතත් කවරදාකවත් අමතක නොවූවා විය යුතුය. එදා දවසේ ඈ හඬනවා මට මතකයක් නැත. එසේ වුනත් මා එතන තනිකර පුටු වියන්නාට ගාස්තුව ගෙවන්නට මුදල් ගෙනෙන්නට ගෙතුලට යාමේ වැරැද්ද, ඈ මුවින් දුක්මුසුව කියවෙනවා මම අසා ඇත්තෙමි. අවුරුදු දහය දොලහ කාලයේ දීත් ඉඳහිට දවසක, මගේ වම් ඇස අතින් වසා, යන්තම් වත් එළියක් පෙනෙනවා දැයි ඈ ඇසූ සමහර දවස් තිබේ. අද මෙන්ම එදාද මට දෙන්නට හැකි වූ පිළිතුර තනි අකුරේ වචනයම විය.

ලොකු මහත් වී විශ්ව විද්‍යාල සිසුවකුව ඉන්නා සමයේ ඇමරිකාවේ විශේෂිත පුහුණුවක් ලබා පැමිණි අක්ෂි වෛද්‍යවරයකු පිළිබඳව තොරතුරක් දැනගත් අම්මා, ඒ වෛද්‍යවරයා බලන්නට යන්නට පොර‍ොත්තු කර මා කැමති කරවා ගත්තාය. ඒ වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ගන්නා දං කොටුවේ දන්නා හඳුනන මහත්මයකු සමග මාත් අම්මාත් ගිය ගමනේ දී, ඇය කල කතා බහ තුල සැඟව තිබුණේත් එදා  මා කුඩා කල වම් ඇස වසා, යන්තම් වත් එළියක් පෙනෙනවාදැ යි අසද්දී ඇගේ කටහ‍‍ඬ‍ෙහි ගැබ්ව තිබූ බලාපොරොත්තුවම විය.

අක්ෂි වෛද්‍යවරයා විස්තර කර කියූ පරිදිම, ඇසේ අන්ධභාවයට හේතුව පිළිසකර කල නොහැකි අයුරින්, ද්‍රෘෂ්ඨි ස්නායුවලට හානි වී තිබීම බව දැන සිටියත්, යම් විදියකින් සියළු දේ යහපත් විය හැකිය යන බලාපොරොත්තුව අත හැරීමට ඇගේ සිත ඉඩ නොදුන්නා විය හැකිය.

එයිනුත් වසර කීපයකට පසුව, මගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් වන කාලයේ, ඇස් ආරක්ෂාව සඳහා අඳුරු අව් කණ්නාඩියක් භාවිතා කරන්නැයි ද, ඉර එළියට සංවේදීව වර්ණය වෙනස්වන පොට‍ෝක්‍රෝම් අව්කණ්නාඩියක් වඩාත් සුදුසු යැයි ද යම් ආකාරයක අක්ෂි වෛද්‍ය නිර්දේශයක් සොයාගන්නට අපේ අම්මා සමත් වූවා ය. මේවා වෛද්‍ය නිර්දේශ වලට වඩා, තම උපාධිධාරී පුතු පිළිබඳ අනාගත අපේක්ෂාවන් ඔස්සේ සිතා බලා හොයාගත් දේවල්ය යන්න ඉතාමත් පැහැදිලිව පෙණුනත්, අම්මා සමග තර්ක විතර්ක කිරීමේත් සීමාවක් තිබේ. අන්තිමේ කොළඹ විත් මා සමගම ඇස්කණ්නාඩි සාප්පු හතර පහක සවාරියකින් පසු මමත් කණ්නාඩි කාරයෙක් බවට පත් වූයෙමි.

එසේ වුවත් එදා අම්මාට සිතාගන්නට නොහැකි වූ කාරණයක් මානෙල් දැන සිටියාය. මගේ දකුණු ඇසත් දකුණු කම්මුලත් සිපගෙන, ඒ මගේ පැත්තයැයි කියාත්, ඒ ඇස අන්ධ වූයේ ඈ වෙනුවෙන් මා වෙන්කර තබන්නටය කියාත් ඕ කීවා ය. ඒ බොළඳ ප්‍රේමාලාපයක් නොවන බව මම දනිමි.

නවසිය අනූහත‍ේ ජනවාරි‍යේ හරියාකාරව රැකියාවක් ආදායමක් නොතිබුණු සමයක අම්මා බැලීමට යා යුතුමයැයි හිත කිවූ නිසා, ණයට ඉල්ලාගත් මුදලුත් එකතු කරගෙන ගෙදර ගිය ගමනට පසුව, මට අම්මා හමුවූයේ, ඒ අවුරුද්දේම සැප්තැම්බරයේ ප්‍රංශයේ ලූර්දු නුවර රෝහලක දැඩි සත්කාර ඒකකයක් තුලදී ය. ලූර්දු සිද්ධස්ථානයට වන්දනා නඩයක් සමග පැමිණි ඈ, එහි දී රෝගාතුරව, දුර්වලවූ ‍හෘදය නිසා ඔත්පලව සිටියාය. ඇගේ නාසය තුලින් බටයක් දමා තිබූ අතර, නිරන්තරයෙන් සේලයින් සමග සැපයෙන ඖෂධ මිශ්‍රණයකින් ඇගේ හදවතේ ක්‍රියාකාරිත්වය උත්තේජනය කල යුතුව තිබුණි. නාසයෙන් දැමූ බටය නිසා කතා කල නොහැකි නිසා, අපේ සංවාද සිදුවුනේ මගේ පැත්තෙන් වාචිකවත්, ඇගේ පැත්තෙන් ලිඛිතවත් ය.

ඒ දින ගණන තුල අප බොහෝ දේ කතා බහ කල නමුත්, අද ආපහු හැරී බලද්දී, මගේ ඇහේ වගකීම මගේමයැයි  ඇයට කියන්නටත් මට ලැබුණා නම් හොඳයැයි සිතෙයි.

නමුත්, ඈ මගේ ඒ සිතිවිල්ල එසේම බව දැන සිටි බවත් දැනෙයි.

Continue Reading...

Tuesday, January 14, 2020

කාලෝචිතය හිතෙන පරණ මුහුණු පොත් සටහන් තුනක්....!

------- එක--------

Ransirimal Fernando added 3 new photos.


පරණ කතාවල අළුත් පරිච්ඡේ ද....
71කේ සුද්ධ කිරිල්ලෙන් පසු එළඹෙන අපේ කාලයේ සරසවි මර්ධනය අැරඹෙන්නේ 1976 පේරාදෙණියේ වීරසූරිය ඝාතනයත් සමගයි. එදා කොළඹ සරසවිය අහල ඉන්දියානු තානාපති නිවසේ තාප්පයේ තාර අකුරින් ලියා තිබුනේ 'සිරිමාට ජපන් පොළු අපට බැටන් පොළු' කියාය. එ් නොවැම්බරයේ අැරඹුනු විරෝධතා රැල්ල, දේශපාලන සුනාමියක් වී නැගී බැසයන්නේ 70 වේ තුන්හවුල් අාණ්ඩුව හතර පහකට කඩා, ගෙදර යවා, ජේ.අාර්. ගේ ධර්මිෂ්ඨ සමාජය සිංහාසනාරූඨ කිරීමෙනි. වල්මත් වූ රටට අවශ්‍යය වන්නේ කෝවේ දමා මකා හැදීමක් බවත් එ්ක කරන්නට එ්කාධිපති ජේ.අාර්.ට පුළුවන් බවත් තරුණ අපේ කතා බහ අස්සේත් හුවමාරු වූ යුගයකි එ්.
එහෙත් ධර්මිෂ්ඨ සමාජයේ පොලිසිය හමුදාව හිටියේ නැත. කචල් දාන උන්ගේ අඬු කඩා, බෙලි කරකවා, සාමය අාරක්ෂා කලේ 'ජනතාවය'. ලංගම බස්වලින්, රජයේ අායතන වල වාහන වලින් ගමන් බිමන් ගිය, ජනතා අභිලාෂයන්ට එරෙහිව නීතිය රකින්නට ගිය අග විනිසුරු නිවෙස් වට කල ගල් පුජා කල 'ජනතාව' ය.
සරසවි සුද්ධය එදාත් අැරඹුනේ විදුලකරයෙනි. කැම්පස් හැතිකරයට ලොක්කෝ කවුද කියා දීමට පැමිණ, පුටු කකුල් වලින් පහරකා මියගිය, ක්‍රිස්ටෝපර් නම්වූ සිරිල් මැතිව් ගේ චණ්ඩියා ජනතා වීරයෙක් යැයි ජනාධිපති පැසසුම් ලැබීමෙනි.
එ්කට විරෝධයට කොළඹ සරසවියේ අසංග අබේසුන්දර අැටවූ ධර්මචක්‍ර තොරණේ, සම්මා අයි. අාර්. සී. කියා ත් තිබුණා මතකය.
තොරණ තිබුණේ දවස් දෙකක් විතරය.
තර්ස්ටන් පාරේ මාර ගස්යට සාක්කුවල ඩප්පිත් කලිසම් කකුල් අස්සේ කඩු කිරිචිචිත් වලින් සන්නද්ධ වී කල් මරමින් සිටි බොරැල්ලේ මොහමඩ් ගේ 'ජනතාව' ලංගම අාපදා රථ දෙකකින්, බස් එකකින් අැවිත්, වෙඩි තියා, කොල්ලන් කෙල්ලන් එලවා, තොරණ සුද්ධ කර පටවාගෙන යන තුරු විතරය. එදා රෑ ශිෂ්‍ය නායකයින්යැයි සැක කල තුන් දෙනෙක් බම්බලපිටියේ දී අත් අඩංගුවට ගත් මේ 'ජනතාව' බස් එකක පටවාගෙන ගෙන ගොස් රැයක් පුරා උන්ගෙන් කට උත්තර ගත්තේ සිරිකොතේ දීය.
අපි එදාත් මේ කතා ලියා තැබුවෙමු. කතාන්දර ලියා තැබීම, ඊළඟට නායකත්වය ගන්නා වුන්ට එ්වායින් ඉගෙන ගත හැකිවනසේ ජීවමානව තැබීම කවදාක හෝ එ් වැරදි හරිගස්සාගෙන රටක් ලෙස, හුස්ම ගන්නා ජනතාවක් ඉන්නා බව නායකයින් අවබෝධ කරගත් රටක් ලෙස අපේ රටට නැගිටින්නට රුකුලක් වේවියැයි සිතුවෙමු.
එ්ත් එ් කතන්දර උන් පාවිච්චි කරන්නේ කරන හැටි ඉගෙන ගැනීමට මිස, කරන දේ වෙනස් කරගන්නට, අඩුම ගානේ හිතන හිතිවිලිවත් වෙනස් කරගන්නට නොවේ.
කවුරු කොහොම කල්පනා කලත් කවර සිද්ධාන්ත සාධක ඉදිරිපත් කලත් ධර්මිෂ්ඨ සමාජය වර්ධනය වී ප්‍රවර්ධනය වී 83 එන්නේත්, එයිනුත් පසුව, 88-90 එන්නේත් මේ උද්ධච්ච කමම නිසායැයි මම සිතමි. අදත් මේ හිතිවිලි වල වෙනසක් වී නැත.
එසේ නොමැත්තේ නම්, සරසවි වල බල්ලන් බූරුවන් හරකුන් ගාල් කල හිටපු අැමැත්තයා තවමත් මේ කැබිනෙට්ටුවේ වාඩිවී ඉන්නේ නැත.
කොලු කෙල්ලන්ට එලව එලවා පොලුවලින් ගහන, ඔළු පලන පින්තූර මෙච්චර පෙන්නද්දී,
දැන් ඉන්න අධ්‍යාපන අැමැත්තයා ගේ හෝඩිපොතේ එස්කියුස් පත්තරේ යන්නේ නැත.
හිටපු ජනාධිපති තුමාගේ අතනින් මෙතනින් කිරි එරෙන්නේත් නැත.
ප්‍රශ්නයක් අැති කර එ්ක වල්කරගෙනත් එ් ප්‍රශ්නයෙනුත් හැකිතාක් දේශපාලන ප්‍රයොා්ජනම ගන්නවා මිස, උත්තර හොයා දෙන්නට, විසඳුමක් දෙන්නට කාටවත් තදියමක් පේන්නේ නැත.
එ් නිසාම අපට අායෙත් මේ කතාන්දර ලියා තැබීමට සිදුවී තිබේ. එසේ කල යුතු වන්නේ මේ ගුටිකන පරම්පරාවට එ් සිද්ධිවල සුලමුල මතක තබාගැනීමටය.
බලාපොරොත්තුව වනාහි මිනිසුන් ජීවත් කරවන සාපයකි.

------- දෙක--------

හැත්තැ අටේ සිරිල් මැතිව් ගෙ තගා, ගෝනවල සුනිල්ගෙ ගෝලයා, ක්‍රිස්ටෝපර් ජයතිලක කැළණිය සරසවියට ඇවිත් මැරුම් කාපු වෙලේ, කොළඹ කැම්පස් එකේ ධර්ම චක්කර තොරණක් ගහල තිබුණා. ඒකෙ අනිත් සම්මා පාඨ එක්ක ම ‘සම්මා අයි. ආර්. සී‘ කියලත් ලියල තිබුණා. මට මතක හැටියට තොරණෙ කැටයං කලේ අසංග අබේසුන්දර.
දවසයි හරියට තිබුණෙ. හවස ආව සම්මා කට්ටිය. ලංගමේ ආපදා ට්‍රක් වලින් තුවක්කුත් අරන්....
අපි දියුණුයි දැන්....!

------- තුන --------


අැයි දැන් රස්සාවක් ගන්න මේ වගෙ ලියුමක් අවශ්‍ය නැද්ද?
රසායන විද්‍යා විශේෂ සෙකන්ඩ් ක්ලාස් අපර් ඩිවිෂන් එකක් තිබිලත්, එයිට ඉහලින් සුදුසුකම් තියෙන එක්කෙනෙක් වත් ඉන්ටවිව් අැවිත් නොහිටලත්, මට ලුණුවිල පොල් පර්යේෂණායතනයෙ රස්සාව ලැබුනෙ නෑනෙ මේ ලියුම නැතුව....!
එ් විතරක් නෙවෙයි මගෙ ඉස්කෝල සගයා නිමල්ට උන්ගෙ අයියට පින්සෙන්ඩු වෙලා පක්ෂ කාර්යාලෙට ගිහින් මේ විදිහෙ ලියුමක් හදාල ඉදිරිපත් කරන කං, ලයිබ්රේරියන් වැඩේ හරිගියෙ නෑ සී.අාර්.අයි එකේ. කරුමෙ කියන්නෙ නිමල්ලගෙ ගේ සී.අාර්.අයි. අල්ලපු වැටේ. වෙන්නප්පුවෙන් අැග්රිකල්චර් ගිය දෙන්නගෙන් එකෙක් නිමල්.
අර මම ඉල්ලපු කර්මාන්ත රසායන විද්‍යා වේකන්සියට එ් පාර කොළඹ වයි.එම්.බී. එකේ දවස් දෙකක්ද කොහෙද තිබ්බ ඉන්ටවිවි එකෙන් කාවවත් ගත්තෙ නෑ. හැබැයි මාස හතරකට විතර පස්සෙ අායෙ අැඩ්වටයිස් කෙරුවා. එ් වෙද්දි වෙන තැනක රස්සාවක් තිබුණත් මම අැප්ලයි කෙරුව අායෙත්.
අායෙත් ඉන්ටවිව් ගියා.
ඉන්ටවිව් එක අන්තිම හරියෙ අහනවනෙ....
"ඩූ යූ හෑව් එනි කුවෙස්ටන්ස්..." කියල.
මං අැහැව්ව ඉතින්...
අහවල් අහවල් දවසෙ වයි.එම්.බී. එකේ මේ ජොබටම ඉන්ටවිව් තිබ්බ. මාත් අාව, ඔයාලත් අාව ප්‍රශ්නත් අැහුව.... කාවවත් ගත්තෙ නං නෑ.... දැන් මේ පාර කාව හරි ගන්නවද කියල.
මහාචාර්ය අබේවික්‍රම, අාචාර්ය පෙතියගොඩගෙ මූණ බලනව... එයා අබේවික්‍රමගෙ මූණ බලනව....
"යේස් යේස් අයි රිමෙම්බර් යූ කමින්... නොට් ෂුවර්....."
අද ඊයෙ වෙච්ච සංගදියක් නෙවෙයි 1980 හලෝ...
ජේ. අාර්. ගෙ කාලෙ.
අාරේ ගුණ නෑ රේ කිව්වලු.

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට උසස් අධ්‍යාපන කැබිනට් ඇමතිවරයා විසින් තමාගේ ආධාරකරුවෙකුට අධ්‍යයන කාර්ය මණ්ඩල තනතුරක් වන විශ්ව විද්‍යාල කථිකාචාර්ය තනතුරක් ලබා දෙන්නැයි විශ්ව විද්‍යාල පරිපාලනයට ලිපියක් යවා තිබේ. කැළණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යනාංශයෙ අංශාධිපති උපාලි හෙට්ටිආරච්චි මහතාට මෙම ලිපිය යවා ඇත්තේ උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල විසිනි. එම ලිපිය පහත දැක්වෙයි.
http://www.helabima.lk/read.php?as=14087

Continue Reading...

Sunday, January 12, 2020

අයියා සමග රැයක්...!

ජීවිතය ගෙවෙන්නාවූ දෙයකි. සූර්යයා වටේ බැමෙන පෘතුවිය ගමන් කරන්නාවූ වට රවුම් ගණනින් ජීවිතය මැ‍ණෙන අතර, ධනාත්මක ගණනයක් වූවත් ඒ ගැණෙන්නේ ක්ෂය වීමක්ය යන්න පසක් කරන්නා තරමට මෝරා පදම්වීමට අපට යම් කාලයක් ගතවෙයි.

නවසිය හැටේදී පමණ බිරිඳත් පුතුන් දෙන්නාත් රැගෙන අළුතෙන් හැදූ නිවසේ පදිංචියට ගිය අපේ තාත්තා, අසූ අ‍ටේ දී ජීවිතය අවසන් කරන විට, අළුත් ගෙදර උපන් දෝණියන් දෙන්නාත්, ලේලියන් දෙන්නෙක් හා බෑනෙකුත්, මුනුපුරන් හතර‍ දෙනෙකුත් ඇතුළුව ඒ ගෙදරට ගෙදරය කියූ ගණන දහතුනක් වී තිබුණි. නවසිය අනූහත අවසන් වෙද්දී, අම්මාත් ලොකු නංගීත් දෙන්නාම අප අතැර ගොස් සිටි අතර, මේ ගෙවුනු දශකය ඇරඹි දෙදහස් ‍දහයේ ජනේරුවේ, ඒ පැත්තට එකතු වුනු අපේ අයියාගේ ‍වියෝවට අද වෙද්දී දසවසක් ගෙවෙයි.

අම්මාත්. තාත්තාත්. අයියාත්, මමත්, නංගිලා දෙන්නාත් වශයෙන් හය දෙනෙක් වූ පවුල දෙන්නෙකුට පහත හෙළු‍නු එදා අපේ අයියා අපේ ගෙදර සාලයේ නිදා හිටි අන්තිම දවස වූ‍යේය. අයියා එක්ක තනියට ඉන්නට එදා රෑ අට දහය වෙද්දී ඉතුරු වූයේ පොඩි නංගීත්, අයියාගේ ලොකු පුතාත්, එයාගේ මිත්‍රයෙකුත් මමත් පමණකි. එයිනුත් රෑ ‍එකොලහ දොලහ වෙද්දී, දවස තිස්සේම එහා මෙහා දුව පැන මහන්සි වී සිටි පුතාත්, යාළුවාත් දෙන්නාටම නින්ද ගොස් තිබූ අතර, දෙක විතර වෙනතුරු, සාලය පිල අතුගගා නොනිදා ඉන්නට තැතනු පොඩි නංගී සිටියේ නින්දත් නොනින්දත් අතරේය. දරුවන්ව දුව පැන ගහ මරාගත් ගෙදර, බොහෝ කාලයකට පසුව අයියාත් මමත් තනිවී සිටි මුත්, අප අතර කිසි කතා බහකට නම් ඉඩක් නොවීය.

එක ගෙදර එකට ඉස්කෝල‍ේ ගිය දරුවන් වූ අපි, පවුල් පන්සල් වී ගෙදරින් දුරස් වී ගොස්, වසර දෙදහස් ගණන් වෙද්දී, නාඳුනන්නන් තරමට ඈත් වී සිටියෙමු. මේ විරසක වීම් වලට බොහ‍ෝ හේතු කාරණා කිව හැකිව තිබුණු නමුදු, ඒ කිසිවක් වෙනස් කරන්නට නොහැකි තැනකට පැමිණ සිටි එදා, මට කලහැකිව තිබූ එකම දෙය, රැය පහන් වන තුරු අවදියෙන් සිටීම පමණක්ම වී තිබිණි.

ලොකු නංගී ලැබෙන්නට ඉඳිද්දී අම්මාගේ ඇවටිල්ලට හවස ඔරසම් කියද්දී, දණ ගසා නංගියෙක්  දෙන්නැයි කියා අප දෙන්නා ඔරසම් කියූ හරි‍ය‍ේ පුටු දෙකක දිගාවී අයියාගේ පුතාත්, ඔහුගේ යාළුවාත් නිදා සිටී.

ඉන් කාලයකට පසුව, මගේ ළමා ජීවිතයේ මා අගය කල එකම එක තෑග්ග වූ, ජෝන් බාප්පා ගෙනැවිත් දුන් මවුත් ඕගනය, අපේ අයියා මොකක් හෝ කෝන්තරයකට බිම දිග‍ේ රූටවා එවා හප්පා කීතු කීතු කල බිත්තිය ද එතැනම වෙයි.

අප දෙන්නා එකතු වී, නත්තලට ගවලෙන හැදුවේත් ඒ බිත්ති කණ්ඩිය උඩ ජනෙල් උළු ‍වස්සේය. ඒ කාලේ 'විම්' සබන් කුඩු අසුරා ආ, සිලින්ඩර පෙට්ටියේ මතුපිට ඊයම් කොලයේ හැඩ කපා, මෝටරයකට යා කර කැරකවෙන්නට සලසා හැදූ ෆ්ලෑෂරයට වයර් අවුණා, වල්ග තරුවේ විදුලි බුබුළු රවුමට දිගට නිවි නිවී දැල්වෙන්නට හැදුවේත්, රඹසෙවනෙන් කළු කොල ගෙනැවිත්, ඇත්තම ඇත්ත තණ පිඩෙලි ඇල්ලූ නිම්නයකට ඉහලින් ගල්ලෙනක් අඹවා, ගවහලක් මැවුවේත් එතනය.

තාත්තාග‍ේ පේර කෝටු පහරවල් කා, අප දෙන්නා දණ ගසා සිටි සුරුවම යට දැල්වෙන ඉටි පහන් දෙකක් මැද අයියා තනියෙන් වැතිර සිටී.



මද සුළඟට සෙලවෙන ගස් කොලන් හැරෙන්නට ගෙදරට එන පාරේවත්, අහල දෙවටේවත් පණැති කිසිවෙක් නැත. වැහි දවසට, ගුල් අතරින් ගෝනුස්සන් මතුවන හැටි බලා හුන් ගෙදර මහදොර පඩිය යට මිදුලපුරාවට අද සිමෙන්ති පලසක් අතුරා තිබේ. මහපාර අයිනේ අයියාට මොක් සුව පතා එල්ලා ඇති බැනර් සොලවන සුළඟ, වත්ත පුරා වැටී ඇති ඒවායේ විසල් සෙවනැලි ද සොලවයි. මගක් දුර පාර පැත්තට ගොස් නැවතුණු මම, ඉස්සරහ ජනේලය ලඟ තාත්තා බලා ඉන්නවා දැයි ආපසු හැරී බලමි. කිසිවෙක් නැත. මිදුලේ තබා ඇති හිස් පුටු හදිසියේ අවදිවී මා දෙස බලා සිටිති.



අප දෙන්නා අතර වයස් පරතරය වසර එකහමාරකට නොවැඩි වූව ද, අපේ පාසල් පංති අතර වෙනස වසරක් ව තිබිණි. වසරකට ඉහල පංතියක අක්කෙක් අයියෙක් හිටි හැමෝටම මෙන්ම, මටත් බොහ‍ෝවිට ලැබුණේ අයියාගේ පාඩම් පොත් ය. මේ කාරණයේ නරක පැත්ත මෙන්ම හොඳ පැත්තද ‍වූයේ, වසරකට පස්සේ ලැබිය යුතු පාඩම් පොත්, විශේෂයෙන්ම සිංහල පොත, අවුරුද්දක් පුරාම අත පත ගාන්නට අවස්ථාව ලැබීමයි. එසේ වුවත් ඒ අවස්ථාව ස්ථාන‍ෝචිත ප්‍රඥාව යොදවා කල් යල් බලා ලබා නොගැනීමේ අවාසනාව ද එයට ලැබෙන අච්චු කිරීම් ද විඳින්නට සිදුවෙයි.

ඒ ලපැටි සමයේ, මාස දෙක තුනකට සැරයක්, වත්ත පිටියේ කුණු දමන්නට තරමක වලක් කැප්පවෙන හැටිත්, සතියක් හමාරක්, ඒ විසල් වල‍ අප‍ේ නිවහන වන හැටිත් මට සිහිපත් වෙයි. රතට රතු පසේ අළුතෙන් කැපුණු වල ඇතුලත නැවුම් සුවඳක් තිබෙයි. අපේ නොවැසුනු උඩුකය, හවස ගෙදර එද්දී, රතුපසින් රතුවී තිබෙයි. ඒ  අයියාත් මමත් වත්ත කෙළවරට වෙන්නට කැපූ කුණු වල ඇතුලේ පොල්කටු අඟුරු ගිනිමැලයක් ද සහිත කම්ම‍ලේ යකඩ කම්බි රත්කර තලා ඉස්කුරුප්පු නියන් හදනාකාරය මට පෙනෙයි.

වසරක පරතරයක සිටියත්, ළමා කල ගෙවා තුරුණු විය වැළඳගන්නා උසස්පෙල සමයේ දී අප දෙන්නාම උගත්තේ එක පන්තියේ ය. බයිසිකලයේ ර‍ෝද වලට පෑගෙන වැලිකැට සිරි සිරි ගානා හඬත්, බයිසිකලය පදින අයියාග‍ේ හුස්ම වැටෙන හඬත් මට ඇසෙයි. යම් පමණක දුරස් වීමක් තිබුණ ද, එකම පන්තියේ එකම යාළුවන් සමග උගත් ඒ වසර දෙක එක්තරා අයුරකින්, අප දෙන්නා සමීපවම සිටි කාලයය කියාත් මට සිතෙයි.

කිසිම දවසක හරි විස්තරය හරියාකාර කියන්නට නොහැකි වූ, අයියා අයියාගේ පෙම්වතිය සමග හවස්යාමේ ඇගේ නෑ ගෙදරක හමුවන බව තාත්තාට ආරංචි වූ දා වූ සිද්ධිය කියන්නට ඕනෑයි සිතා සාලයට ගියත්, දැන් ඒ කතාබහට පරක්කු වැඩි බව මට හැඟ‍ේ. කෝපයෙන් ගෙදර ආ තාත්තා, අම්මාට බණින්නට පටන් ගත් සැටිත්, අම්මා මට කතා කර ගිහින් බලන්නැයි කිවූ සැටිත්, එදා නෑ ගෙදර මිදුලේ දී, තාත්තා පාරේ ඉන්නවායි කියා කැන්දාගෙන ආවත්, අම්මාටත් තාත්තාටත් කිව්වේ අයියාව පාරේදී හමුවුනාය කියා බවත් කියන්නට ආයේත් ඉතින් වෙලාවක් එන්නේ නැති බව මට මතක් වෙයි.

අපේ ජීවිත වල අප මුහුණ දෙන්නාවූ බොහ‍ෝ ප්‍රශ්න ගැටළු එකට එකතු කර වර්ග කලහොත් ඉතාමත් සරලව විග්‍රහ කල හැකි ගොඩවල් කීපයකට ගොඩ ගසන්නට පුළුවන් වේ යැයි මට සිතේ. ඒවාට සරිලන සාධාරණ හා තර්කානුකූල විසඳුම් ද එවැනිම සරල ගොඩවල් කිහිපයක එකතු කරන්නට පුළුවන් විය යුතුයැයි හඟිමි. ඒ එසේ වූවත්, කිසිම දෙදෙනෙක්, ඒ ‍එක් එක් ගොඩට එකම නමක් නොදෙනු ඇත. එකම විග්‍රහය හෝ එකම විසඳුම නොතෝරනු ඇත. බලාපොරොත්තු හා අප‍ේක්ෂාවන් අවසානයේ එකම ලක්ෂ්‍යයක් වෙත යොමු වූව ද, එතැනට යන්නට අපේ අපේම වූ ස්වාධීන මාර්ග හොයන්නේත්, ඒ නිසාම, තරඟයක් ඇතිකරගෙන රේස් දුවන්නට අප පෙළැඹෙන්නේත්, මේ නොදැක්ම නිසාමයැයි මට සිතෙයි.

යාන්තම් උදා ඉර මෝදු වී එද්දී, අවදිවූ පොඩි නංගී, මා වෙත එයි. එක්තරා අයුරකින්, අප දෙදෙනා තනිවී ඇතැයි හැඟුනත්, මගේ සිතට තනිකමක්වත් පාළුවක් වත් නොදැනෙයි. ඇයටත් එසේම යැයි මට ‍සිතේ.


Continue Reading...

Sunday, January 5, 2020

ජනවාරි පහ දෙදාස් විස්ස

අතේ මිටි කරන් ආ කිසි දෙයක් නැත
කෙතේ පීදෙනා ගොයමට හෙටක් නැත
නෙතේ උපදිනා කඳුලක හැඩක් නැත
හිතේ තරමටම ලොකුවුනු පතක් නැත
දියේ උපන් දිය නොරඳන නෙළුම් පත
ගියේ කොතැනකද නොදනිමි ලපැටි සිත
මියේ යලි යලිත් දළුලන සිතුම් කෙත
ලයේ හංගලා සුරකිමි මතක පොත
ඉරේ දැල්වෙනා ගින්දර ඉරු ගිනි සේමා
කැලේ ඇවිලෙනා ගින්දර ලැව් ගිනි සේමා
හදේ උපදිනා ගින්දර හද ගිනි සේමා
වෙස්සන්තරේ ගින්දර දරු දුක සේමා

ජනවාරි 5, 2020



Continue Reading...

Blogroll

About