Monday, February 27, 2017

රෝස පොපි මල...!

රතින් රත්වන් වූ සිඳු
පතුල කැන සැඟවූ ඉඳු
තුඩින් ගෙන නෙතු අග රැඳූ
ආදරේ මල් මී බිඳු

රෝස පොපි මල මල් වනේ
හීන අරගන පිපි දිනේ
වාන බිඳ උතුරනු දැනේ
මීන නෙතු යුගලක සෙනේ


2017 පෙබරවාරි 26




මේ පුංචි සටහන ඇත්තම ඇත්ත රෝස පොපි මලක් ගැනයි

අපේ දෙවැනි පුතා මියුරු ගේත් ජෙසිකා ගේත් දූ සිඟිත්ත මේ පෙබරවාරි විසිහය වෙනිදා උපන්නාය.
අම්මාත් තාත්තාත් දෙපැත්තේම ආච්චිලාගේ නම් අරගෙන ඇයට "පෙනිලොපි සෝමලතා රෝස්" කියා නම තැබුවද, 
ඇගේ නම පොපී ය.





Continue Reading...

Saturday, February 25, 2017

සම රිසිභාවය වරදක් වූ සමාජයක....

බූන්දියෙන් උපුටා ගැණුනකි -  http://www.boondi.lk/article.php?ArtID=5087
අදහස් බූන්දි
සම රිසිභාවය වරදක් වූ සමාජයක....
බූන්දි, ඉරිදා, පෙබරවාරි 19, 2017 17:13:25

'පුද්ගලයන් තම උපත, තරාතිරම, තමන් අයත්වන සමාජ කණ්ඩායම සහ තම ලිංගික අනන්‍යතාව යන හේතු මත ලජ්ජාවට භාජනය කරන සමාජ ආයතන සහ භාවිතාවන් පවතින සමාජයක් ශිෂ්ටසම්පන්න සමාජයක් නොවේ.'
-මහාචාර්ය අවිශායි මාර්ගලික්, හීබෲ විශ්වවිද්‍යාලය


'මේ තුන් ලෙව් තුළ සුපේක්ෂල ශික්ෂාකාමී සිංහල බෞද්ධ රටක් වෙත්. එහි ජනී ජනයා රහසින්වත් පව් නොකරති. පංචශීලය නම්වූ මූලික ශීලය දිවිහිමියෙන් පිළිපදින ඔවූහු අන්‍යයන්ට ගරු කරති. තම භාර්යාව, ස්වාමියා සමග පමණක් ලිංගිකව එකතුවන ඔවූහු එය ද සිදුකරනුයේ ස්වභාවධර්මයට එකඟවය. එනිසා එම රට තුළ ස්ත්‍රී දූෂණ, ළමා අපචාර කියා දෙයක් නොමැත. ඉතිහාසය පුරාවට සිදුවී ද නැත. ලිංගිකත්වය සලකනුයේ පූජනීය දෙයක් ලෙසින් වන අතර, ගණිකා නිවාස, සම්භාහන මධ්‍යස්ථාන, රාත්‍රී සමාජ ශාලා යනාදී කිසිවක් එහි නැත. කොටින්ම ඒවා ගැන දන්නේ ද නැත. එකිනෙකා දෙස හරි ආදරයෙන් බලා ගරු කරන ඔවූහූ සාමයෙන් සමගියෙන් යෙහෙන් ජීවිකාව ගත කරති. එබැවින් ඒ රටට ලෝකෙන් උතුම් රටයැයි කියති. ශ්‍රේෂ්ඨ යැයි, ප්‍රෞඪ යැයි කියති. එනිසා එය හරි අගේ ඇති අපූරු රටකි!'

මේ රොබට් නොක්ස්එදා හෙළදිව තුළ තැබූ සටහනක් නොවේ. ඩේව් දුටු ලංකාව තුළ සටහන් වන්නක් ද නොවේ. මේ නම් ළමා අවධියේ සිට ලංකාව ගැන රචනා ලිවීමට, කතා පැවැත්වීමට අපට හුරුවූ අපට හුරු කළ රටාවයි. අප වනපොත් කළ සංස්කෘතිකමය කතාවයි.

මෙම ලිපිය ලිවීමට අපට නිමිත්ත සැපයූවේ පසුගිය දිනවල පාර්ලිමේන්තුව තුළ කිසිදු සංශෝධනයකින් තොරව ප්‍රතික්ෂේප වූ සමලිංගික අයිතීන් නීතිගත කිරීමේ යෝජනාව හා ඊට සමගාමීව ගොඩනැගී තිබෙන සමාජ කතිකාවයි. එය වරදක් ලෙස පිළිගන්නා අප රටේ සංස්කෘතිය එක හෙළාම එවැනි සංශෝධන ප්‍රත්ක්ෂේප කරති. නමුත් මෙවැනි සංසිද්ධීන් හුදෙක් පයට පාගා ඉරාදැමූ පමණින් මිනිසුන්ගේ සංවේදනාවන් යට ගැසිය හැකිද? අප රට තුළ සමලිංගිකත්වය කියා දෙයක් ඇත්තේම නැතිද? එම සංවේදනාව වරදක් වන්නේ කාට සාපේක්ෂවද? සංවේදනා සාපේක්ෂ වන විට බහුතර කැමැත්ත මත සුළුතරයේ සංවේදනා විනාශකර දැමීම සාධාරණද?

'එයටම අනන්‍ය දේශීය සංස්කෘතියක් ඇතැයි කියන ශ්‍රී ලංකාව බටහිරකරණය නොවිය යුතුය. බටහිරින් ගෙනා විවිධ යෝජනා, විවිධ සංකල්ප අප රටට ගැලපෙන්නේ නැත. අද වන විට ආජන්ටිනාව, බෙල්ජියම, කැනඩාව, බ්‍රසීලය, එංගලන්තය, නවසීලන්තය, ප්‍රංශය, පෘතුගාලය, දකුණු අප්‍රිකාව හා ඇමරිකාවයනාදී රටවල් බොහොමයක සමලිංගිකත්වය නීතිමය වශයෙන් පිළිගන්නා තත්වයට පැමිණ තිබෙන නමුත් ශ්‍රී ලංකාවට මෙවැනි තත්ව කිසිසේත්ම ගැලපෙන්නේ නැත. එයට හේතුව වන්නේ අප රට පිවිතුරු බෞද්ධ සංස්කෘතියකින් අනූන රටක් වන නිසාය.' යනුවෙන් අප කොතරම් කෙසේ කීවද, අප රට තුළ සමලිංගිකත්වය කියා දෙයක් ඇත්තේම නැතිද? මේ පිළිබඳ නියම තතු සමාජය දෙස සංවේදී ඕනෑම අයෙකු අග මුල ඇතුව දනී. එම හැඟීම් දැනීම් ඇති මිනිසුන් මෙරට තුළ ඇත්තේම නැතිද? සිටිනවානම් ඔවුන් තමන්ගේ ආදරය, කැමැත්ත හා ආකල්ප ජීවත් කළ යුතු වන්නේ නැතිද?



බහුතර පිරිසකගේ හේතු විරහිත වර්ගකිරීමක් හා නීති පැනවීමක් හේතුවෙන් ඔවූහූ මියයා යුතුද? මිනිසා විසින් මිනිසාව ජීවත් කරවීමට, මිනිසාගේම පැවැත්ම වෙනුවෙන් නිර්මාණය කරගන්නා ලද සංස්කෘතිය තුළින් තවත් මිනිසුන් පිරිසක් ආන්තිකකරණයට ලක්කළ යුතුද? අවඥාවට ලක්කළ යුතුද? ශිෂ්ට සම්පන්න සමාජයක් යනු එයද?

සමලිංගිකත්වය වැරදිය, එය පිළිකුල්ය යන මතය ලංකා සමාජය තුළ ස්වභාවිකකරණයට ලක්වන්නේ කවදාද? කෙසේද? එය වරදක් වන්නේනම් නිවැරදි දේ කුමක්ද? පුද්ගලයාගේ අතිශය පෞද්ගලික ප්‍රධානතම සංවේදනාව පවා තීරණය කළ යුත්තේ සංස්කෘතිකමය අවකාශය තුළින්ම පමණද? එසේ නොමැතිව පුද්ගල සංවේදනාවන් අනුව කිසිවෙකුටවත් කරදරයක් නොමැතිව තමාගේ පෞද්ගලික අවශ්‍යතාවන් සපුරාගන්නටවත් සර්ව සාධාරණ ශිෂ්ට සම්පන්නභාවයක් රටකට තිබිය යුතු නොවන්නේද? ඊශ්‍රයාලයේ, හීබෲ විශ්වවිද්‍යාලයේ, දර්ශනය පිළිබඳ මහාචාර්ය අවිශායි මාර්ගලික් (Avishai Margalit), ශිෂ්ට සම්පන්න සමාජය (The Decent Society) නමැති සිය කෘතියේදී ශිෂ්ට සම්පන්න හා ශීලාචාර සමාජය පිළිබඳව මෙවැනි නිර්වචනයක යෙදෙයි.

"ශීලාචාර සමාජයක් යනු, එහි සාමාජිකයන් එකිනෙකා අවමානයට පත් නොකරන සමාජයකි. ශිෂ්ටසම්පන්න සමාජයක් යනු, එහි සමාජ ආයතන විසින් මනුෂ්‍යයන් අවමානයට භාජනය නොකරන සමාජයකි."

එසේ බැලූ කල ලංකාව, ශිෂ්ට සම්පන්න හෝ ශීලාචාරවත් සමාජයක්ද? ආගමික වශයෙන් අප විසින් කුමන මතයක් දැරුව ද, සිද්ධස්ථාන කොතරම් ඉදිවී තිබුණ ද, සැදැහැවතුන් පන්සල්, පල්ලි, කෝවිල්වල පිරී ඉතිරී සිටිය ද, ශිෂ්ට යැයි කිව හැක්කේ කුමන කරුණු පදනම් කරගෙනද? අපේ සමාජය විසින් මේ සිදුකරනුයේ සියල්ල දැනගෙන, නොදන්නා ගානට කටමැත දෙඩවීම පමණක් නොවේද?

බුදු දහම යනු අන්තවාදී දහමක් නොවේ. එය යා යුතු මග හෙලිකළ දහමක් විනා මඟ අවුරා නීති පැනවූ දහමක් නොවේ. ලාංකේය බහුතර සමාජ විඥානය තුළ සමලිංගිකත්වය යනු වරදක් ලෙස නිර්වචනය කිරීම අරඹනුයේ බුදු දහමින් ආභාෂය ලද බෞද්ධ සංස්කෘතියෙන් නොව, බටහිර යටත්විජිතවාදයෙන් පසුව මෙරට තුළ ගොඩනැගුණු නීති පද්ධතියෙනි. ශ්‍රී ලංකාව යනු පිවිතුරු සිංහල සභ්‍යත්වයක් සහිත රටක් ලෙස අප කොතරම් හඳුනාගන්නට උත්සහ කළ ද, අප රට තුළ ක්‍රියාත්මක වන්නේ විවිධ සංස්කෘති වෙතින් පෝෂණය වූ නීති පද්ධතියකි. ඉංග්‍රීසි නීතිය, රෝමානු නීතිය, කන්ද උඩරට නීතිය, තේසවලාමෙයි නීතිය හා මුස්ලිම් නීතිය වශයෙන් වූ නීති රැසකින් යුතු පාලනයක් අප රට තුළ ක්‍රියාත්මක වේ. කොතරම් අධිරාජ්‍යවාදයට විරුද්ධ යැයි කීවද, බටහිරකරණය නොවන බව කීවද අප පාලනය වන්නේ අධිරාජ්‍යවාදීන් විසින් හඳුන්වා දුන් නීති පද්ධතිය තුළින්මය.

ඒ අනුව, අප රට තුළ අද වන විට ක්‍රියාත්මක වන්නේ වර්ෂ 1883 දී ඉංග්‍රීසි පාලනය යටතේ හඳුන්වා දුන් දණ්ඩ නීති සංග්‍රහය වන අතර, එය සම්පූර්ණයෙන්ම පදනම්ව ඇත්තේ එවකට බ්‍රිතාන්‍යය තුළ ක්‍රියාත්මක වූ වික්ටෝරියානු සදාචාරවාදී අපරාධ නීති මතයි. නමුත් වර්ෂ 1950 දශකයේ අගභාගය පමණ වන විට බ්‍රිතාන්‍යයන් සමලිංගිකත්වය පිළිබඳව සිතන ආකාරය ඉතාමත් ලිහිල්ය. සරලවම කිවහොත් බ්‍රිතාන්‍යන් අද වන විට වික්ටෝරියානු සදාචාරය සහමුලින්ම පාහේ තුරන්කොට හමාරය.

අප නිරන්තරයෙන්ම පුරුදු පුහුණු වී සිටින්නේ පෞද්ගලිකව අප අකමැති, අපට අප්‍රසන්න වන යම් කිසි ප්‍රපංචයක් පිළිබඳව ආධානග්‍රාහී ලෙස ප්‍රතික්ෂේප කිරීමට පමණි. එසේ නොමැතිව අප අකමැති වුවද තවත් අයෙකු කැමති වන කිසියම් දෙයක් පිළිබඳව සහෘදාත්මක අයුරින් අපගේ පරිකල්පනය මෙහෙයවීමේ විඥානයක් අප සමාජයේ සාතිශය බහුතරය තුළ තවම වර්ධනය වී නොමැත. සමලිංගිකත්වය යනු සැබැවින්ම ලෝකය තුළ සම්මත වූ ලිංගික දිශානතියකි. තමන්ට සමාන වූ ලිංගික අවයව ඇති දෙදෙනෙකු අතර ස්වකැමැත්ත මත පමණක් ඇතිවන ලිංගික ආකර්ශණය සරලවම එලෙස හැඳින්වේ.



වෛද්‍ය විද්‍යානුකූලව වුවද සමලිංගිකත්වය පිළිගනුයේ විකෘති ලිංගිකාශාවක් ලෙස නොව, සාමාන්‍ය ලිංගික දිශානතියක් ලෙසිනි. ඒ අනුව මෙය රෝගයක් හෝ මනෝවිද්‍යා උපදේශන ලබාගතයුතු තත්වයක් නොවේ. සමාජය නමැති සංකල්පය තුළ මූලිකම සංවේදනාව වන්නේ ආදරය සහ ලිංගිකත්වය වන අතර, එය අතිශය සාපේක්ෂ කාරණාවකි. විරුද්ධ ලිංගිකයින් කෙරෙහි ඇතිවන ආකර්ශණය යනු ප්‍රකෘතිය ලෙස පිළිගන්නා, ස්වභාවිකකරණය වූ සමාජයකට, එයට ප්‍රතිවිරුද්ධව සිදුවන සියල්ල විකෘතියක් ලෙස පෙනී යා හැකිය.

සමලිංගික සම්බන්ධතා සහ සමලිංගික විවාහයන් යනු එකම කාරණාවක් නොවේ. ලොව බොහෝ රටවල් තුළ අඩු වැඩි වශයෙන් සමලිංගිකත්වය පිළිගනු ලැබූවත් එම විවාහයන් සඳහා නීතිමය අවසර ලබාදී නොමැත. මෙම කාරණාව පිටුපස ඇත්තේ අපට හැඟෙන අයුරින් වෙනත් කාරණාවකි. එනම් විරුද්ධ ලිංගිකත්වයේ අවසාන ප්‍රතිඵලය වන්නේ ගැබ්ගැනීමයි. එහිදී බිහිවන තුන්වන ජීවියා වෙනුවෙන් නීතිමය රෙගුලාසි තිබිය යුතුය. භාරකරුවෙකු, නඩත්තු කරුවෙකු සිටිය යුතුය. 'විවාහය' යන නීතිමය කාරණාව එහිදී ප්‍රමුඛත්වයට පැමිණේ. නමුත් සමලිංගිකත්වය තුළින් එසේ තුන්වන ජීවියෙකුගේ පිළිසිඳ ගැනීම, වැනි සිදුවීමක් සිදුනොවන බැවින් 'විවාහය' එහිදී ප්‍රධාන බලපෑමක් සිදුකරන්නේ නැත.

ඒ අනුව, ශ්‍රී ලංකාව තුළද සමලිංගිකත්වය සමාජගතවී තිබුණ ද එය පවතිනුයේ ආන්තිකකරණයට ලක්වය. සමාජයේ කේන්ද්‍රයට වඩාත් දූරස්ථවය. අප රට තුළ කලා නිර්මාණ ඔස්සේ පවා මෙම අඩවිය ස්පර්ශ කරනුයේ කලාතුරකින්ය, වර්ෂ 1982 දී ප්‍රථම වතාවට සිනමා නිර්මාණයක් තුළින් සමලිංගිකත්වය පිළිබඳව කරළියට ගෙන එන්නේ 'මලට නොඑන බඹරු' සිනමාපටය හරහාය. ඉන්පසුව 'මමත් ගැහැනියක්', 'තනි තටුවෙන් පියාඹන්න', සහ පසුගිය වසරේදී තිරගත වූ 'ෆ්‍රැන්ජිපැනි' වැනි සිනමාපට ඔස්සේ මෙම ආස්ථානය පිළිබඳව කතිකාවක් ගොඩනැගීමට උත්සාහ කළ ද මෙම නිර්මාණ සමාජයේ පරිධියෙනුත් බොහෝ ඈතට විතැන්වීමට විශාල කාලයක් ගතවූයේ නැත. ෆ්‍රැන්ජිපැනි සිනමා පටය මහනුවර, වෙම්බ්ලි සිනමා ශාලාවේ දී නරඹමින් සිටි මාත් මාගේ බිරිඳත්, විවේක කාලය උදාවන විට දුටුවේ ප්‍රේක්ෂකාගාරය තුළ අප දෙදෙනා පමණක් සිටින බවයි. මුල් දර්ශන වාරය තුළ ද හූ හඬවල්, විසිල් ගැසීම් කඩින් කඩ මතුවූ අතර, අප සිටින සංස්කෘතිකමය ප්‍රජාතන්ත්‍රවාදී ආස්ථානයේ දුගී දුප්පත්භාවය පිළිබඳව අප සිටියේ ඉමහත් කළකිරීමෙනි. කලාව බිහි වුවද එය වටහා ගැනීමේ මානසික සූදානමක් අපේ රසඥතාව තුළට මේ සංස්කෘතිය විසින් උගන්වා නැත.

සමාජය තුළ අතිශය සංවේදී සංවේදනා පිළිබඳව ප්‍රසිද්ධියේ කතාකරන්නට බොහෝදෙනා මැලි වෙති. එයට ප්‍රධාන හේතුව වන්නේ කතාකරන පුද්ගලයාට ද කාඩ් ගඩා ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලිකත්වය පිළිබඳවද ප්‍රශ්න කරමින් 'දෙන්නම් බැටේ' විචාර කලාවක් ලංකාව තුළ තවටත් ක්‍රියාත්මක වීමයි. පාර්ලිමේන්තුවේදී ද සිදුවන්නේ එවැනි සිදුවීමකි. මෙම සංශෝධන පිළිබඳව කතා කළ සියලුදෙනා වෙත අද වන විට සමාජය විසින් උපහාසයේ හංවඩුව ගසා හමාරය.

ලංකාවේ ලිංගික අධ්‍යාපනය පවතිනුයේ ඉතාමත් පසුගාමී තත්වයකය. ලෝක දත්ත වාර්තාවලට අනුව පස්වන වතාවටත් ලිංගිකත්වය පිළිබඳව ගූගල් සෙවුම් යන්ත්‍රයෙන් ගවේෂණය කළ බහුතර පිරිස ලාංකිකයන්ය. ළමා අපයෝජන, ස්ත්‍රී දූෂණ දිනෙන් දින වර්ධනය වෙනවා හැරෙන්නට අවම වීමක් දක්නට නැත. දික්කසාදවීම්, ගබ්සා කිරීම් වැනි අංශවලින් ද ශීඝ්‍ර වර්ධනයක් පවතී. මේ සියලුම සමාජමය සංසිද්ධීන්වල මූලබීජය වන්නේ 'ලිංගිකත්වයයි'. ඒ පිළිබඳව නිසි අවබෝධයකින් තොර වීමයි. විෂම ලිංගිකත්වය පිළිගන්නා බහුතර සමාජ ආස්ථානය තුළ උද්ගත වූ සමාජ ගැටලු රැසක් එහෙමපිටින්ම තිබියදී සමලිංගිකත්වය වැනි කාරණාවක් වෙත කැට මුගුරු අමෝරා පහරදීමට, සමාජය පෙළගැසී සිටීම උපහාසයට කරුණක් නොවේද?

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව වඩාත් සමීපව කතාකරන මෙවැනි යුගයක සුළුතරයකගේ ලිංගික අයිතීන් අවඥාවෙන් බැහැර කරමින්, ඔවුන්ගේ අවශ්‍යතාවන් පාගා දමන්නට තරම් අප කටයුතු කරන්නේනම් රටක් වශයෙන් අපට ඇති ශිෂ්ටත්වය කුමක්ද? පුද්ගලයා යනු සාපේක්ෂ සංවේදනාවන්ගෙන් සැදුම්ලත් අයෙකි. කායිකව හා මානසික වශයෙන් ඔවුනොවුන් අතර ඇත්තේ එකිනෙකාට ආවේණික වූ සංවේදනාවන්ය. ඒ අනුව සමාජයේ පුරවැසියන් වශයෙන් අපට එහි ජීවත්වන සියලුදෙනාගේ සුඛවිහරණය වෙනුවෙන් විචක්ෂණශීලී සහෘදාත්මක සංස්කෘතියක් නිර්මාණය කළ හැකිනම්, මතු දිනෙක එම සමාජය ඉතාමත් සුන්දර වනු ඇත. මෙලොවට බිහි වූ සියලුම සත්වයින්ට පය ගසා ජීවත්විය හැකි, කිසිවෙකුටත් කරදරයක් නොවී ඔවුනොවුන්ගේ ස්වාධීනත්වය හා අවශ්‍යතාව සපුරා ගත හැකි සුභවාදී පරිසරයක් ගොඩනැගිය හැක්කේ, සමාජයට වෛර කොට පිළිකුල් කිරීමෙන් හෝ අනුකම්පා කිරීමෙන් හෝ නොව, අපි අපිටම ආදරය කිරීමෙන්ම පමණි.


Continue Reading...

Tuesday, February 21, 2017

මිස්ටර් අනූ දෙක


ග්‍රීක දේව පුරාණයට අනුව ගායා යි නම් කෙරෙන මිහිකතින් ම උපන් යුරනස් හෙවත් අහස, සෑම රාත්‍රියකම මිහිකත වසා වැතිරී සංවාසයේ යෙදෙයි. උනට උපන් පළමු පුතුන් සය දෙනා හා  දූවරුන් සය දෙනා ටයිටනයන් ලෙස ද ඉනික්බිති උපන් අත් සියයක් ඇති යෝධයන් තිදෙනා හෙක්ටන්කරනයන් ලෙසද, අනතුරුව උපන් එකැස් යෝධයන් සයික්ලොප්සයන් ලෙසද නම් වෙයි. බාලම දරුවන් මිහිකත තුල සඟවන යුරනස්ගෙන් පලි ගන්නට ගායා තනන ගිනිගල් තල දෑ කැත්තෙන් යුරනස් ගේ වෘෂණ කපා මුහුදට විසි කරන්නේ ලාබාලම ටයිටනයා වන ක්‍රොනස් නැතිනම් සෙනසුරු ය.

අවුරුදු දහනවයේ දී එංගලන්තයට සංක්‍රමණය වී සිය ජර්මානු විල්හෙල්ම් නම විලියම් කර ගන්නා, ප්‍රකට සංධවනි විසිහතරක් පමණ නිර්මාණය කරන සංගීතඥ විලියම් හර්ෂල්, බාත් නුවර වාද්‍ය සමූහයේ අධ්‍යක්ෂක වරයා ලෙස කටයුතු කරන අතරම, සිය නැගණිය වන කැරොලයින් සමග ගණිතය හා තාරකා විද්‍යාව හදාරන්නටත් දුරේක්ෂ නිපදවීමටත් තාරකා නිරීක්ෂණයටත් පිවිසෙයි. අහස විමසන හර්ෂල්ගේ දුරේක්ෂයට තරුවක්ය සිතුවත් තරුවක් නොවන ග්‍රහ වස්තුවක් අසුවෙන්නේ 1781 මාර්තු  මස දහතුන් වන දාය. අනෙකුත් තාරකා නිරීක්ෂකයන්ගේ ත් සහය ඇතිව මේ සුර්ය ග්‍රහ මඬුල්ලේ තවත් සාමාජිකයකු බව ස්ථ්ර කරගන්නා ඔහු, ඒ වනවිට සිය ප්‍රධාන අනුග්‍රාහකයා බවට පත්ව සිටින තුන්වන ජෝජ් රජුගේ නම්න් 'ජෝජියානු ග්‍රහයා' නැතහොත් "Georgium Sidus" නමින් සිය සොයාගැනීම නම් කරයි. එසේ වුණත් ඓතිහාසිකව පුරාණ ග්‍රීක දේව නාම වලට හිමිවූ තැනකට එසවෙන්නට ජෝජ් රජ්ජුරුවන්ට ඇති අයිතිය ප්‍රතික්ෂේප කරන තාරකා විද්‍යාඥ එකමුතුව විසින්   ගායා ගෙන් කිලෝමිටර බිලියන දෙකහමාරකට එහා එපමණ කලක් සැඟවී සිටි, මේ ලා නිල් පැහැ අළුත් ග්‍රහයා යුරේනස් නමින් නම් කෙරෙයි.

පසු කලක දී "විඳවීම හා බලාපොරොත්තුව" ලෙස සිය ළමා කාලය හැඳින්වූ, සන්නාලියකුගේ පුතකු වූ ජර්මානු ජාතික මාර්ටින් හයින්රිච් ක්ලප්රොත්,  පූජකවරයකු වීමේ බලාපොරොත්තු හැර දමා, ඖෂධවේදීයකුගේ සහායකයකු ලෙස ජීවිතය අරඹන්නේ අවුරුදු දා හතේදී ය. ඉතා උනන්දුවෙන් සිය විෂයය හදාරන ඔහු, එකදාස් හත්සිය අසූව එනම් තිස් හත් වියැති වන විට බර්ලින් හි තමුන්ගේම ඖෂධාගාරයක් හිමි, රසායන විද්‍යාව පිළිබඳව පංති පවත්වන තරමේ තත්වයකට දියුණු වන්නේය. නොබෝ කලකින් බර්ලින්හි උසස් අධ්‍යාපන ආයතන කීපයකම රසායන විද්‍යාව පිළිබඳ ආචාර්ය තනතුරු හොබවන ක්ලප්රොත්, විවිධ ඛණිජ විශ්ලේෂණය කර ඒවායේ සංයුතිය නිර්ණය කිරීම හා සබැඳි විශ්ලේෂණ රසායන විද්‍යාත්මක පර්යේෂණ කරා යොමුවෙයි. 1789 දී බොහිමියාවේ ශාන්ත ජෝකිම්ස්ටාල් ප්‍රදේශයෙන් ලැබෙන පිච්බ්ලෙන්ඩ් ඛණිජ සාම්පලයක් නයිට්රික් අම්ලයේ දිය කරන ක්ලප්රොත්, ඒ ද්‍රාවණය පොටෑසියම් හයිඩ්රොක්සයිඩි සමග සාදන කහ පැහැති අවක්ෂේපය විශ්ලේෂණයෙන් හඳුනා ගන්නා අළුත් මූල ද්‍රව්‍යය අළුතින් අහසට එක්වූ ග්‍රහයා අනුව යමින් යුරේනියම් නමින් නම් කරයි.

ආවර්තිතා වගුව කෙලවර අංක අනූ දෙක කොටුවට කොටුවන, ස්වභාවිකව පවතිනවායි ස්ථිරවම දන්නා වැඩිම පරමාණුක භාරය ඇති මූල ද්‍රව්‍යය වන යුරේනියම් යුරේනියම් වන්නේ එහෙයිනි. නවසිය හතලිස් ගණන් වලදී  දෙවන ලෝක සංග්‍රාමයේ රහස් අවිය වූ පරමාණු බෝම්බයේ ප්‍රධාන අමුද්‍රව්‍යයක් වනතුරුම, යුරේනියම් වැදගත් වූයේ වීදුරු කර්මාන්තයේ දී වර්ණකයක් හැටියටත්, යම් යම් රසායනික විශ්ලේෂණ වලදී භාවිතා වන රසායනයක් හැටියටත් පමණකි.



හිරෝෂීමා හා නාගසාකි මේ ඉරණම වෙනස් කල අතර, අද වනවිට මිස්ටර් අනූ දෙක, ලෝ පුරා රටවල් තිහක න්‍යෂ්ඨික විදුලි බලාගාර හාරසිය හතලිස් නවයක විදුලිය නිපදවන ප්‍රධාන අමුද්‍රව්‍යය වෙයි. ලෝ පුරා රටවල් පහලවක නව න්‍යෂ්ඨික විදුලි බලාගාර හැටක් ඉදිවෙමින් පවතී. දැනට ක්‍රියාත්මක වන බලාගාරවලින් එකසිය දහ අටක් ඇමරිකා එක්සත් ජනපදය සතු වෙයි. ඇමරිකාවේ දැනට ඉදිවෙමින් පවතින බලාගාර ගණන හතරකි.

 සබැඳිය - https://www.iaea.org/pris/
 
දෙදහස් පහලව අග, ලෝකයේ රටවල් දහතුනක් සිය මුළු විදුලි නිපයුමෙන් සියයට විසිපහකට වඩා උත්පාදනය කලේ යුරේනියම් භාවිතයෙනි.

සබැඳිය - https://www.nei.org/Knowledge-Center/Nuclear-Statistics/World-Statistics


දෙදාස් පහලවේ දී මුළු ලෝකයේම යුරේනියම් පාරිභෝජනය ටොන් හැටදහස් හාරසිය අනූ හයක් බවත් එයින් ටොන් 23,800 ක් කසාක්ස්ථානයේත් ටොන් 13,325 ක් කැනඩාවේත් ටොන් 5654 ක් ඔස්ට්‍රේලියාවේත් නිපදවුනු බව ලෝක න්‍යෂ්ඨික සංවිධානයේ ජාල අඩවිය කියයි.
http://www.world-nuclear.org/information-library/nuclear-fuel-cycle/mining-of-uranium/world-uranium-mining-production.aspx

කැනඩා යුරේනියම් නිෂ්පාදනයෙන් වැඩි හරිය උත්පාදනය වන්නේ සස්කච්වාන් ප්‍රාන්තයේ උතුරු කෙලවර පිහිටි ලෝකයේ විශාලතම හා ඉහලම යුරේනියම් සාන්ද්‍රණයක් ඇති නිධි ලෙස හැඳින්විය හැකි, 'මැක්ආතර් රිවර්' හා 'සිගාර් ලේක්' පතල් ද්වයෙනි. මේ පතල් ද්වයේ හා තවමත් කැනීම් ඇරඹී නැති ෆීනික්ස් නිධි යේ යුරේනියම් සාන්ද්‍රණය 15% සිට 20% අතර වන අතර, කැනඩාවේ සස්කචවාන් ප්‍රාන්තයේ ඇතබැස්කා ද්‍රෝණියේ විසිරී ඇති අවශේෂ නිධිවල යුරේනියම් සාන්ද්‍රණය 1% සිට 5% දක්වා පමණ වෙයි. ලෝකයේ සියළුම යුරේනියම් නිධි සැලකුවොත් මධ්‍යන යුරේනියම් සාන්ද්‍රණය 0.1%-0.15% අතර වෙයි.


සබැඳිය - http://rockstone-research.com/index.php/en/research-reports/178--Bright-Stars-in-the-Athabasca-Basin-Uranium-Hunt-

මීටර හාරසියයක් පන්සියයක් පොළව යට තිබෙන මේ යුරේනියම් න්‍යෂ්ඨික විදුලි බලාගාරයක් කරා ගෙන යාම අදියර කීපයකින් සිදුවෙයි.

(1) කැනීම හා ඇඹරීම 
මෙහිදී වන්නේ යුරේනියම් ඛණිජ කුඩුකර ජලය හා මුසුකර පොම්ප කල හැකි මඩ මිශ්‍රණයක් බවට පෙරලීමයි.

(2) යුරේනියම් නිස්සාරණය
පොළව මතුපිටට පොම්ප කර, ඒ සඳහාම නිමවුනු කම්හලකට ගෙන යන යුරේනියම් ඛණීජ මිශ්‍රණය අම්ලයක් යොදවා දිය කර යුරේනියම් ද්‍රාවණයක් සෑදීමත්, මේ ද්‍රාවණය වෙන්කර පිරිසිඳු කර, එහි ඇති යුරේනියම රසායන මගින් අවක්ශේපණය කර වියලි යුරේනියම් ඔක්සයිඩ් මිශ්‍රණයක් බවට පත්කිරීමත් මෙහිදී සිදුවෙයි.

(3) පිරිපහදුව
නිස්සාරණයෙන් ලැබෙන යුරේනියම් ඔක්සයිඩ් සංයෝග නැවත ද්‍රාවණය කර, එහි අඩංගු වන අංශුමාත්‍ර අපද්‍රව්‍ය ඉවත් කිරීම පිරිපහදුවේ දී සිදුවෙයි.

(4) පරිවර්තනය
 පිරිපහදුවෙන් නිපදවෙන යුරේනියම් සංයෝග න්‍යෂ්ඨික බලාගාර සඳහා භාවිතා වන ඉන්ධන කැටිති සෑදීමට භාවිතා කල හැකි ආකාර රසායනික හා භෞතික ගුණ සහිත යුරේනියම් ඩයොක්සයිඩ් කුඩු බවට පරිවර්තනය කිරීම පරිවර්තන අදියරේදී සිදුවෙයි. කැනේඩියානු තාක්ෂණයක් වන කැන්ඩු බලාගාර සඳහා නම් ස්වභාවික යුරේනියම් භාවිතා කල හැකි බැවින් මේ අදියර පිරිපහදුවෙන් ලැබෙන සංයෝගය යුරේනියම් ඩයොක්සයිඩ් බවට හැරවීම පමණක්ම වෙයි. කැන්ඩු තාක්ෂණයේ දී න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාව සිසිලනය කෙරෙන්නේ බැර ජලය (heavy water - D2O) මගිනි. සාමාන්‍ය ජලයෙන් සිසිලනය වන අධිපීඩන හෝ ජ්වලන ජල (pressurized water reactor (PWR) or boiling water reactor (BWR)) තාක්ෂණ සඳහා නම් පළමුව පිරිපහදුවෙන් ලැබෙන සංයෝගය යුරේනියම් හෙක්සාෆ්ලෝරයිඩි (uranium hexafluoride - UF6) බවට හරවා, එහි අඩංගු යුරේනියම් 235 සමස්ථානික ප්‍රතිශතය වැඩි කිරීම, නැතහොත් සඵලවත් කිරීම (enrichment) කළ යුතුවෙයි. මෙසේ සඵලවත් කරගත් යුරේනියම් නැවතත් යුරේනියම් ඩයොක්සයිඩ් බවට හැරවිය යුතුය.

(5) ඉන්ධන කැටිති කිරීම
යුරේනියම් ඩයොක්සයිඩ් කුඩු කැටිති කර උදුනක විදාහනය (sintering) කිරීම මෙහිදී සිදුවෙයි.

(6) ඉන්ධන කළඹ (fuel bundles) සෑදීම
විදාහනය කල ඉන්ධන කැටිති ශිර්කෝනියම් බට වල අසුරා, එසේ අසුරාගත් බට නිශ්චිත ජ්‍යාමිතියකට කළඹ සේ සෑදීම අවසාන පියවරයි. මේ ඉන්ධන කළඹ වල ස්වභාවය බලාගාරයේ ප්‍රතික්‍රියාකාරකයේ (reactor) ජ්‍යාමිතිය අනුව නිර්ණය වෙයි.

මේ කාර්යාවලීන් සැකෙවින් දැක්වෙන, රූප රාමු පෙලක් පහත වීඩියෝ වල තිබෙයි.





 යුරේනියම් නිෂ්පාදන කාර්යාවලිය පිළිබඳව කරුණු අඩංගු සරල පාඩම් සටහනක් කැනඩාවේ ප්‍රධානතම යුරේනියම් නිෂ්පාදන ආයතනය වන කැමිකෝ සමාගමේ ජාල අඩවියේ තිබේ.
එතැනට සබැඳිය - https://www.cameco.com/uranium_101/

විකිපීඩියාවට අමතරව කරුණු උපුටාගත් සබැඳි:
විලියම් හර්ෂල් - http://www.space.com/17432-william-herschel.html
මාටින් ක්ලප්රොත් - http://www.encyclopedia.com/people/science-and-technology/chemistry-biographies/martin-heinrich-klaproth
Continue Reading...

චෝචි මිච්චං


හඬක් නොනැගෙන නිහඬ නිසසල
සතුටු සිතිවිලි රොක්වෙලා
සයුරු ගැබ බෙල්ලකුගෙ කුස තුල
සැඟව හිනැහෙන සුසුදු සුදු මුදු
මුතු කැටක් සේ සිනා සේ

අහස් ගඟ ඉම තාරකා වැලි
අතර විසිරුණු සිහින තිමිරය
පාවෙලා විත් නැවතිලා
මා දෙපා ලඟ දැවටිලා
පියාඹන පලසක් වෙලා
ඇඟිලි තුඩු අග කිති කවා මට
කියයි එන්නට යන්න නැගිලා
සමනළුන් හා පියඹලා

සිරීපාදේ ඉමේ ලතැවෙන
හිරුමලේ පෙති ඇහැරිලා
කඳු මුදුන් වල තියුණු කඩු තුඩු
රත් වනින් දල්වා දවා

දිමුතු මුතු මල් නගන හසරැල්
ඉතිර ගලනා ලපැටි මුහුණක
ආදරේ මල් පොකුරු පීදුනු
සිතුවමක් දුර වලා වියනක
අඳියි අරුණළු සයුරු පෙණමල්
පාට පාටින් තවරලා

පියාඹා යන පලස මත හිඳ
දෝත දිගුකර කපොලු පිරිමැද
විඩාබර මල් කැකුළු පිබිදුනු
දෙනෙත් සිඹගමි මා නෙතින්
උරාගමි මම ඇගේ සුසුමන්
පුරාගමි මා ළය පුරා
ඉතිර ඉපිලී පිපී පීදී
සුවඳ විහිදන ආදරේ...!

May 28, 2014
Continue Reading...

Saturday, February 18, 2017

පරණ ලබුවල අළුත් වයින්....! [වළාකුළු අතර උබුන්ටු ]



"කිසිවෙකු නව මිදියුස, පැරණි බඳුන්වලට වත් කරන්නේ නැත; වත් කළොත්, නව මිදියුසින් බඳුන් පැළී මිදියුස වැගිරී, බඳුනුත් නාස්ති වෙයි." - ලූක් 5:33


බයිබලයේ අළුත් ගිවිසුමේ එහෙම තිබුණත්, ඇති හැකි හැටියට කරන අයට නම් පරණ භාජනේම තවත් ටිකක් කල් අල්ලාගෙන ඉන්න පුළුවන් ද කියා හෙවීමේ වටිනාකමක් තිබේ. මේක සහසුද්දෙන්ම සත්‍ය වන්නේ මූදු රැල්ල වාගේ මොහොතින් මොහොත අළුත්වෙන පරිගණක ක්ෂේත්‍රයේය.

පිය උරුමය නිසා අපේ පුතාගෙන් මට උරුම වුනු එයාගේ කලින් ආත්මයේ ලැපක් පාවිච්චි කර කරා හිටි මටත් මේ ලබුකැටය පරණ වීමේ උපද්‍රවයට මුහුණ පාන්නට සිද්ධ වී තිබේ.  මේ ලැපට ජන්ම උරුමයෙන් ලැබී තිබුණේ බිල් ගේට්ස් ගේ ජනෙල් විස්ටා මෙහෙයුම් පද්ධතියයි. ජනෙල් හත ඇවිත් පරණ කල විස්ටාව අනාථ වූයේ 2012 දී වුනත්, 2017 වනතුරු රැකබලා ගන්නට බි⁣ල්ගේ උදවිය පොරොන්දූ වී තිබුණි. එසේ වුනත් ගූගල් කට්ටිය ඇල්ෆබට් වී ක්‍රෝම් බවුසරය විස්ටා ස්ථාපන තව දුරටත් යාවත්කාලීන නොකරමුයි තීරණය කිරීමත්, බවුසරය ඇරෙන හැම පාරකම, 'අඩෝ මේ පරණ ලබ්බ අළුත් කරපන්' පන්නයේ අඬෝ වැඩියාවක් කියන්නට වීමත් හිත රිදෙන කාරණයක් වී තිබුණි.

ගූගල් අයගේ පෙරැත්තය ගූගල් 'ක්‍රෝම් බුක්' යන්තරයක් මිලදී ගන්නටය. මේ අස්සේ ජනෙල් හත අට වී දහය වී යාම නිසා හතට පනින්නට තිබුණු අවකාශයත් නිමවී, මගේ යන්තරයත් පරණ ලබ්බක්ම වී තිබේ. ඉතින් මේ පරණ ලබුකැටයට අළුත් වයින් පුරවන්නට හිතුවා.




ගූගල් 'ක්‍රෝම් බුක්' යන්තර ගැන දහසකුත් කතා කියවා හිතුනේ මගේ යන්තරයටත් ක්‍රෝම් මෙහෙයුම් පද්ධතිය දමන්නට බැරිද කියායි.  පහසුවෙන් පුළුවනි. නමුත් කෙලින්ම ගූගල්ලා ගෙන් නොවෙයි, නෙවර්වෙයා හඳුන්වා දුන් 'ක්ලවුඩ් රෙඩි' (මේකට සිංහලෙන් ලියවුණේ වළාකුළු අතර කියලායි. රසිකා ඇතුළු වළාකුළු කට්ටිය අමනාප නොවේය හිතනවා) ස්ථාපනයක් හැටියටයි යන්නයි අවසාන නිගමනය.


මේ කට්ටිය නෙවර්වෙයා කියා නම යොදාගන තියෙන්නේ ඇයිද කියන එක මට වාගේම ඔබටත් ප්‍රශ්නයක් වන්නට පුළුවනි. මේ නමේ පසුපස අැත්තේ සදාකාලික නැත්නම්  'never ware-out' යන අදහස බව ඔවුන්ගේ කතාව කියවුවාම පෙනෙයි.

ඒකත්  ඉතින් 'පරණ ලබු වලට අළුත් වයින්' පිරවීමේ චේතනාවම ය.

නෙවර්වෙයා කණ්ඩායම එහි ඇරඹුම හා ගමන මෙසේ සමාලෝචනය කරයි.....

දෙදහස් දහය වස දී ජොනතන් හෙෆ්ටර්, අභියෝගාත්මක අවකාශයක දිරිමත් කාර්යයකට - හොඳ තාක්ෂණය, නූතන තාක්ෂණයේ අවශ්‍යතාව වඩාත්ම තදින් දැනෙන්නා වූ සුන් හා ගුරුවරුන් වෙතට ගෙන ආ හැකි විසඳුමක් සෙවී කාර්යයටමේ - මුල පිරීය. අධ්‍යාපනයට නවීන තාක්ෂණයෙහි අවශ්‍යතාවය වෙන කවරදාටත් වඩා තදින් දැනෙන සමයක් වුව ද, මුදල් හිඟකම එයට හරස්වෙයි."සිසුන්, ගුරුවරුන් හා පරිභෝගිකයිනට නවීන පරිගණකයක් මිලදී නොගෙන, එවැනි යන්ත්‍රයක් භාවිතා කිරීමේ පරිචය ලබාගත හැක්කේ කෙසේද?" යන්න ජොනතන් ගේ සිතිවිලි මෙහෙයවූ පැනය විය.

නෙවර්වෙයා හී පළමු නිෂ්පාදනය, PCReady වර්චුවල්කරණ මූලධර්ම යොදාගෙන පංතිකාමරය වලට නව තාක්ෂණය ගෙනයාමේ සාර්ථක උත්සාහයක් වූ අතර, නිව්යෝක් නගරයේ පාසැල් වල පසෙකට දමා තිබූ පරණ පරිගණක රාශියක් නැවත බලගන්වා ප්‍රයෝජනවත් යන්ත්‍ර බවට හැරවීමට එමගින් හැකිවිය. එමෙන්ම, මේ ක්ෂේත්‍රයේ නියාමකත්වයත් සමගම, අළුත්වන තාක්ෂණයත් සමග තවදුරටත් පරිණාමය වීමේ අවශ්‍යතාවය ද මතුවිය.

පංතිකාමරය, පරිගණක ක්ෂේත්‍රයේ නවතම පෙරලිය වූ ක්ලවුඩ්-කම්පියුටින් සමග සම්පාත කිරීමේ අටියෙන් අපි දෙදාස් පහලවේ දී ක්ලවුඩ් රෙඩි යි නම්කල සැහැල්ලු මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දුනිමු. ගූගල් සමාගමේ ක්‍රෝම් මෙහෙයුම් පද්ධතියේ පදනම මතම ගොඩනගා ඇතිමුත් මෙය දැනට භාවිතාවන ඕනෑම පරිගණක යන්ත්‍රයකම පාහේ ක්‍රියාකරවීමට හැකිය.


In 2010, Jonathan Hefter set out on a bold mission in a challenging space — create a solution for bringing the best technology to the students and teachers who need it most. Technology in education is more important than ever before, but budgets are also tighter than ever. Jonathan asked the question, “How can students, teachers and consumers get the experience of using a new, powerful computer without buying one?”

Neverware’s first product, PCReady, took desktop virtualization and streamlined it for the school environment, powering thousands of old computers across New York City schools and turning closets of old hardware into powerful, usable machines. However, establishing leadership in the desktop operating system space meant evolving with it.

In 2015, to help schools keep pace with the cloud-computing revolution, we developed CloudReady: a lightweight operating system built on the same foundation as Google's Chrome OS, but able to run on almost any hardware.


https://www.neverware.com/about

නෙවර්වෙයා සැහැල්ලු වුනත්, ස්ථාපනය කිරීමට නම් ඔබේ පරිගණකය මූලික අවශ්‍යතා කීපයක් සපුරා තියෙන්නට වුවමනායි. මෙයින් මූලිකම දේ නම්, යූ.එස්.බී. පෙන් ඩ්‍රයිව් එකක් හරහා පරිඝණකය පණ ගන්වන්නට (boot up) හැකියාව තිබීමයි. පරණ යන්ත්‍රයක මේ  වැඩේ කරන්නට පුළුවන් ද බැරිද යන්න එහි ඇති බයෝස් (BIOS) මෘදුකාංගය හා මවු පුවරුව මත නිර්ණය වනවා. දැන් ඉතින් මේ බූට් අප් කියන්නේ විරහව සම්බන්ධ කතාවක් කියා හෝ, බයෝස් කියන්නේ චරිතාපදාන නේද කියා හෝ හිතෙනවා නම්, ටිකක් නැවතී හිතන්න. මොකද එහෙම අයට නම් නෙවර්වෙයා එක්ක වලාකුළු අතරට යාම තරමක් හිත රිදෙන ගමනක් විය හැකියි.

ආසාව, විශේෂයෙන්ම කරලා බැලීමේ ආසාව ඇත්නම්, වරද්දාගන්නට නැවතිලා හිතන්නට හදිස්සි නොවී නිවී හැනහිල්ලේ කරන්නට, ඉවසීමත් ඇත්නම් කළ යුතු දේ සියල්ල ඉහත සබැඳියේ නෙවර්වෙයා ජාල අඩවියේ තිබෙන තොරතුරු වලින් දැන ගන්නට පුළුවන. මෘදුකාංගය නොමිලේය. ඒ නිසා වගකීමක් නැත. පරිගණකය ඔබේය.

(1) ඔබේ පරිගණකයේ පිරිවිතර මේ කාර්යයට ගැලපේද සොයා බලන්න. මුලිකව එය යූඑස්බී හරහා පණගන්වන්නට පුළුවන් විය යුතු අතර අවම රෑම් හෝ මෙමරි ප්‍රමාණය ගෙගාබයිට් දෙකක් විය යුතුයි. අත්හදා බලා සහතික කල යන්ත්‍රවල විස්තර නෙවර්වෙයා ජාල අඩවියේ තිබේ.
(2) යූ.එස්.බි. පෙන් ඩ්‍රයිව් එකක් ගිගාබයිට් අට හෝ දහසය පමණි. (8 or 16 GB)
(3) මෘදුකාංග පද්ධතිය බාගත කිරීමට හා පෙන් ඩ්‍රයිව් එකට ලියා ගැනීමට පරිගණකයක්. ජනෙල් හෝ මැක් දෙවගින් කුමක් වුවද සුදුසුය.

මේ කරුණු සම්පූර්ණ නම් ඊළඟ පියවර මෘදුකාංග බාගත කිරීමත් පෙන් ඩ්‍රයිව් එකට ලියා ගැනීමත් වෙයි. මෙතැන දී නෙවර්වෙයා කියන සවිස්තර උපදෙස් වැදගත් වේවි.
https://guide.neverware.com/build-installer/working-windows/

සැකෙවින් කිව්වොත්, මෘදුකාංගය පෙන්ඩ්‍රයිව් එකට ලියාගෙන, එයින් පරිගණකය පණගැන්වීම පමණයි. පරණ පරිගණකයක් නම් පහසුම දේ, පරණ ජනෙල් දොරවල් ආදිය මැකී යන ලෙස මේ වළාකුළු පද්ධතිය ස්ථාපනය කර ගැනීමයි.

අන්තිමේ මං කලෙත් ඒකයි. මේ මගේ වලාකුළු අතර ක්‍රෝම් පොත.



කියපු විදිහෙන්ම වැඩ කරන නමුත් ක්‍රෝම් පොත් නම් ක්‍රෝම් පොත්ය. කලකට ඉහත යුනික්ස් මෙහෙයුම් පද්ධතිය ගැන සන් මයික්‍රොසිස්ටම් හි ජෝන් ගේජ් නිර්මාණය කළ "ජාලය නම් පරිගණකයමය  - The Network is the Computer" යන කියමන අනුව යමින් ක්‍රෝම් පොතේ මූලධර්මය ලෙස "බවුසරය නම් පරිගණකයය - The Browser is the Computer" කියා හඳුන්වන්නට පුළුවන. ස්වාධීනව ක්‍රියාකරන මෘදුකාංග එක දෙකක් හැර ක්‍රෝම්පොතේ හැම දෙයක්ම සිද්ධවෙන්නේ ක්‍රෝම් බවුසරයේ ඇප් එකක් ලෙසයි. ලියකියවිලි තැන්පත් වෙන්නේ වලාකුළුවල, ගූගල් ඩ්‍රයිව් හිය. මයික්‍රොසොෆ්ට් ඔෆිස් ඇප් එකක් තිබුණත් ඒ ලියකියවිලි මයික්‍රොසොෆ්ට් වලාකුලේ තැන්පත් වෙයි. මට ඇතිවුණු මූලික ගැටළුව වයිෆයි නැත්නම් ලපයි සිපයි වීමයි. වයිෆයි ඇත්නම් බොහෝවිට රෝද කැරකෙනවා බලා සිටින්නට සිදු වීමයි. මේකට නම් මූලික හේතුව වයින් අළුත් වුනත් ලබුකැටය පරණ වීමයි. සත්‍යය නම් ආච්චිට අවකලනය ඉගැන්නුවාය කියා උන්දෑගේ හන්දිපත් රුදාවල් නම් නවතින්නේ නැතිවීමයි.

බොහෝ  අන්ත අසරණ හැඟීමක් ආවේ නම් වයිෆයි නැති වෙලේ පුංචි සටහනක් දෙකක් ලියා ගන්නට නොහැකිවූ වෙලාවන්හි දීය. ඕෆ් ලයින් ගූගල් ඩොක් ගැන විස්තර විස්තර විස්තර කියවා වුනත් මගේ මේ අළුත් වයින් පරණ ලබු පොතේ නම් ඕෆ් ලයින් ගූගල් ඩොක් වැඩ කලේ එහෙමත් වෙලාවකයි. සියල්ල හරියාකාරව සිද්ධ වෙලා 'මල් මල් වාරම් හරිම උදාරම්' විදිහට පිටුවක් විතර අකුරු කොටලා තියෙද්දි හදිස්සියේ වාෂ්ප වෙලා යන මූල ධර්මයට වරක් දෙවරක් මූණ දුන්නාම තේරෙනවා නේ මේක නම් හරියන දීගයක් නෙවෙයි කියල....

ඉතින් වයිෆයි නැතුව ලියන කියන කාර්යය කරන්න පුළුවන් තත්වයකට යන්න තියන මාර්ග හොයාන හොයාන ගිහින් ඇන්ඩ්රොයිඩ් බලනවද ලිනක්ස් බලනවද කියන තැනත් ටිකක් නැවතිලා ඉඳලා උබුන්ටු වලට අවස්ථාවක් දීලා බලන්න හිතුණා. ඇත්තටම වුනේ කාලෙකට ඉස්සර උබුන්ටු එක්ක සෙල්ලම් කරපු කාලේ මතක් කෙරුණු සී.ඩි. දෙක තුනක් අායෙත් අතට අහුවිමයි.


උබුන්ටු අපි බොහෝ දෙනෙකුට අළුත්ම දෙයක් නොවන ලිනක්ස් පාදක පරිගණක මෙහෙයුම් පද්ධතියක්. බාගත කිරීමත් ස්ථාපනය කිරීමත් අපභ්‍රංශ නැතිව සෑහෙන්න සරලව කරගන්නට පුළුවන් වන විදිහේ උපදෙස් මාලාවකුත්  උබුන්ටු අය දෙනවා. පරිගණක පරිගණක හැටියට භාවිතා කරන ලංකාවේ බොහෝ දෙනෙකුන් අතරත් උබුන්ටු භාවිතා වෙන නිසා, සිංහල කඩ්ඩෙන් හෝ තනිකරම සිංහලෙන් හෝ උබුන්ටු ගැන අවවාද අනුශාසනා වගේම සෙත් පිරිත් සජ්ජායනාත් අන්තර් ජාලයේ ටිකක් කැරකුනාම හොයා ගන්නට පුලුවනි.
https://www.ubuntu.com/download/desktop

මොන දේ කලත් ලියන්නේ සිංහලෙන් හින්දා සිංහල යුනිකෝඩ් අවුණා තිබීම නම් අත්‍යාවශ්‍යම අංගයක්. විශේෂයෙන් නොලිව්වත් අර ක්‍රෝම් ආශාවටත් එක හේතුවක් වුනේ ගූගල් කට්ටිය බවුසරයේම සිංහල ලියන්නට කටයුතු කර තිබුණු නිසයි. සිංහල නොතිබුණා නම් ක්‍රෝම් පොත ගැනවත් වලාකුළු ගැනවත් ඒ හැටි උනන්දුවක් ඇති වන්නේ නැති බව නම් විශ්වාසයි.

අළුත්ම උබුන්ටු ස්ථාපනයක සිංහල හදා ගැනීම චුට්ටක් ඇස් වහගෙන කියන දේ කියන හැටියටම ටයිප් කරලා කළ යුතු දෙයක්. නමුත් අන්තර්ජාලය තුලම සෑහෙන උදව් පදව් තිබෙනවා.

පහත සබැඳි තුනම මේ ගැන.
http://pariganakalipi.blogspot.ca/2014/08/InstallingSinhalaFORUbuntu.html


http://sinhala.sourceforge.net/


https://www.youtube.com/watch?v=1tTvBD5sG3E

මේ සබැඳිය‍ේ තියන හන්තාන ලිනක්ස් ගැන ඔත්තුව ආවේ අටම්පහුරෙන්....

http://hanthana.org/





පරණ දේවල් පරණ දේවල්ම බව අපට මතක් කර දෙන්නටම සැදී පැහැදී සිටින අය නම් අනන්තවත්. අළුත් දේ හදන අය අලුත් දේවල් වන වනා ඇවිත් පෙන්නා හිනාවී කිණ්ඩිය දමනවාට අමතරව, පරණ ඒවා අතපත ගාන අහිංසකයින්ට කිණ්ඩිය දැමීමත් තාක්ෂණ ලෝකයේ බහුලවම සිදුවන දෙයක්. බිල් ගේට්ස් ජනෙල් විස්ටා, ජනෙල් එක්ස් පී පරණයි පරණයි හතට යන්ඩ දහය ගන්ඩ එන්ඩ දා ගන්ඩ වශයෙන් කිව්වා වගේම ගූගල් ඇල්ෆබට් අයියලාත්, දිගින් දිගටම එක්ස් පී වල ක්‍රෝම් අපි සලකන් නෑ, විස්ටා වල ක්‍රෝම් අපි සලකන් නෑ වශයෙන් කිව්වා ට අමතරව, බිට් තිස්දෙක පරණයි අපි සලකන් නෑ කියන්නට පටන්ගෙන තිබේ. මේ අහේතුව හින්දා මගේ බිට් තිස්දෙකේ යන්තරයේ උබුන්ටු ස්ථාපනයේ, ක්‍රෝම් බවුසරය දුවන්නේ නැත. ඒකේ අක්මුල් සියල්ලත් ගූගල් සමාගම අතුගා උදළු ගා පුච්චා වලදා ඉවරය කියයි. ඒ අනුව නම් මේ ලබුකට්ට හිල්ම වි ලිහිල් වෙන්නට තව වැඩි කලක් නැති වෙන්නට පුළුවන.

ඉතින් මේ ලියන්නේ විස්ටාව විස්ථාපනය කල උබුන්ටු වයින් දමා වයින් කල පරණ ලබුකැටයෙන්. ක්‍රෝම් වලාකුලට වඩා තියෙන ප්‍රධාන වාසිය නම් මට ඕනෑ වෙලාවක ඕනෑ හැටියකට අකුරු කරන්නට පුළුවන් කමයි. ඒත් වලාකුළත් පැත්තෙන් තියනවා. ඉඳහිටක වුනත් ඒකත් ඕන් කරලා බලනවා.
Continue Reading...

Thursday, February 16, 2017

වැහි බිඳුවකි ආදරේ...!


ඇවිත් ගිහින් ගිහින් ඇවිත් යලි යලිත් ඇවිත්
වළා පොකුරු පොළව තෙමයි වැහි අරන් ඇවිත්
නිදා සිටිය ලිලී මලට පිපෙන්නට යලිත්
කඳුළු හෙලයි අහස යලිත් ආදරේ ගෙනැත්

පිරුණු විලක දිය මතුපිට නටන ඉරි වගේ
හෙමින් හෙමින් සුසුම් හෙලයි ආදරේ ගඟේ
කැටක් වැටුණු කලට දියට කැළඹිලා නැගේ
සුළං පොදට රහස් කියන පහන් සිල වගේ

කවුළු පියන් අරින වහන සුලඟ හා ඇවිත්
සිනා මලක් රඳවා යයි තොල් අගින් යලිත්
උදාසනේ ඉර එළියට දිලිසුනා වුනත්
රැයේ සදේ එළිය තමයි දෙනෙත් අග තවත්

කඳුලු පිරුණු වලාකුලෙන් හැලෙන ආදරේ
කඳුර දිගේ කොඳුර කොඳුර ගලන ආදරේ
මල් පෙත්තක බිංදු බිංදු රැඳෙන ආදරේ
ගඟක් වගේ ගලා ගිහින් ගිලෙයි සාගරේ

===''===
Continue Reading...

Wednesday, February 15, 2017

මාස තුනක් සහ එක දවසක්


බූන්දි යෙන් උපුටා ගැණුනකි.
කතන්දර බූන්දි
මාස තුනක් සහ එක දවසක්
බූන්දි, බදාදා, පෙබරවාරි 1, 2017 11:03:49
තරුණයෙක්, තරුණියක පසුපස යයි. එසේ පෙනුණත් දෙදෙනාගේ සංවාදය සමාන්තරව ගමනේ යෙදේ.
ස්ථානය: මහජන පුස්ථකාල පරිශ්‍රය කොළඹ


"යන්න එපා පොඩ්ඩක් ඉන්න"

"ඉඳල මක් කරන්නද ?"

"නෙල්ලි ගෙඩියක් කියල හිතුවට ඔයා මහ අරළු ගෙඩියක්. ඔයා හොඳ, උදේට පාන තියල වැඩ පටන් ගන්න වෙද මහත්තයෙකුට"

"ඔව්. පී. එච්. ඩී. දෙක තුනක් කරපු බක පණ්ඩිතයෙක්ට ගැලපෙන්නෙ නෑ කියල මං දැං කී දවසක් කිව්වද ? ලැජ්ජ නැද්ද පස්සෙන් එන්න තමන්ට මෙච්චර තත්වයක් තියාගෙන?"

"ඔයාට කිසි දෙයක් මතක නෑ ඩිග්රි දෙක තුනක් තිබ්බට පී. එච්. ඩී. එකයි. ඒ තානාන්තර මොකටද මං නන්නත්තාර වෙලා ඉන්නෙ කියල තේරෙන්නෙ නැද්ද ඔයාට"

"ඔව් ඉගෙන ගෙන වැඩියි ඒකයි. පණ්ඩිතයන්ට ඒදණ්ඩෙ යන්න බෑ. ඔයාට ඒක තේරෙනවද ?"

"ඒ කියන්නෙ ඔයා ඒදණ්ඩක්ද ?"

"ඔව්"

"සාමාන්‍ය මගීන් ඔක්කොම නග්ග ගත්තැකි මට ඉඩ දෙන්න බෑ"

"ඔය කිව්වෙ. ඒකෙන්ම පේනවා මං ගැන හිතං ඉන්න තරම. මාව දැක්කෙත් අද ! මොකද්ද හැදිච්ච පිස්සුව? මං ජනතා සන්තක පොදු ප්‍රවාහන සේවයක් වගේ පේනවද ?"

"දැං කිව්වෙ ඒදණ්ඩක් කියලනෙ. මං ඒදණ්ඩ ගැන කිව්වෙ. ඇත්තටම දැක්කෙ අද වුණාට, මාස තුනක් තිස්සෙ අපි කතා කරලා තියෙනවා. ඒ මදිද ?"

ඒක නං පිටට පේන තරං සැර රණ්ඩුවක් නෙවේ. සෝඩා බෝතලයක් හොල්ලල කැඩුව වගෙ. ඉතිං කොල්ලා කෙල්ලගෙ අත කොහොම හරි තද කරගෙන අල්ලලා ළඟම තිබ්බ බංකුවෙ වාඩි කරව ගත්තා. කෙල්ලගෙ මූණ රතු වෙලා තිබුණෙ තරහෙන්ද නැත්තං වෙනත් ආගන්තුක හැඟීඹකින්ද කියල පැහැදිලි නෑ. කොල්ල, කෙල්ලගෙ අත නෑරම මහපට ඇඟිල්ලෙන් කෙල්ලගෙ අතේ පිටිඅත්ල ස්පර්ෂ කරමින් හිටියා.

"ඔයාට සතුටු නැද්ද මං ඔයාව සප්‍රයිස් කරපු එකට ? තරහ වෙලා දුවන්න දෙයක් වුණේ නෑ. ඔයා සෙනසුරාදා හවසට ලයිබ්‍රරි එනව කියල බ්ලොග් ඩයරි එකේ තිබුණනෙ. ඒකයි මං අදම ආවෙ. ඔව් මං මුළු පැයක් තිස්සෙ ඔයාව නිරීක්ෂණය කරා තමයි. මං ඔන්ලයින් ආවම ඔයාගෙ මූණෙ තියෙන හිනාව එ්ක නං හරිම ලස්සන දෙයක්. මම සතුටුයි ඒ තරං දෙයක් කරන්න මට ආපු නිර්භීත කම ගැන."

"ඔයා කරේ හරිම නුසුදුසු වැඩක්"

"ඔව්. මම ඔයාට මොකුත් නොකියම ගිහින් මැසෙජ් කළා නං අද ඔයා දිහා බලං හිටියා කියල ඒක සුදුසුද ?"

"ඒකත් සුදුසු නෑ තමයි. මං කිව්වෙ මට එනවා කියල කියන්න තිබුණා. එහෙනං මීට වැඩිය ලස්සන ඇඳුමක් ඇඳ ගෙන, මීට වැඩිය පිළිවෙළට එනවා."

"ඔය ලස්සන ඇති වස්තුවේ."

"මගේ අත අතාරින්න. මේක ඇමරිකාව නෙවෙයිනෙ."

කොල්ලා කියන පරක්කුවෙන් අත අතැරියත් ඇස්වල ලෝබ කමක් තිබුණා. කෙල්ලගෙ ඇස්වල තරහක් වගේම වෙනත් ආගන්තුක දුකක් වගේ දෙයකුත් එකපාරට ඇති වෙලා නැති වෙලා ගියා. සමහරවිට කෙල්ල හිතන්න නැතුව ඇති කොල්ලා කියපු ගමන් එකපාරට අත අතාරියි කියල.

"ඔයා මේ කරන්නෙ හරි වැඩක් නෙවේ."

"පිළිගන්නවද දැං මං ආදරෙයි කියල? "

"පිළිගන්නෑ. අනික ඔයාගෙ පී. එච්. ඩී. ගර්ල් ෆ්‍රෙන්ඩ්ට මොකද වෙන්නෙ ? අවුරුදු දෙකක් එයත් එක්ක එකට ජීවත් වෙලා, මාස තුනක් ඔන්ලයින් චැට් කරපු කෙල්ලෙක් බලන්න මෙහෙම එන්න පිස්සු ද ? ඔයා මොන වගේ මිනිහෙක්ද?"

"මට දින සති මාස අවුරුදු ගාණට වැඩිය වැදගත් වචනවල සහ හැඟීම්වල තියෙන බර. ඔයා බයයිද ඔයාවත් කොයිවෙලේ හරි හලලා වෙන එකක් එක්ක චැට් කරයි කියල ? එහෙමත් නැත්තං ඔයා මාව මාස තුනක් තිස්සෙ ඔයාගෙ පාළු කපන්න පාවිච්චි කළා මිසත් ඊට වැඩි දෙයක් නෑ කියන එක ද කියන්නෙ ?"

"ඔය කිව්වෙ. මං පාළුවෙන් හිටියෙ නෑනෙ පාළු කපාගන්න. ඔයයි පාළුවෙන් හිටියෙ. මං හිතන්නෙ දැං ඔයාගෙන් ගැලවෙන්නෙ කොහොමද කියල."

"මොකක් ! ! ! ?"

"කොල්ලන්ට විතරද කෙල්ලො අතාරින්න පුළුවන් ඇයි කෙල්ලන්ට බැරිද ?"

"ඔයා එච්චරටම මොඩර්න් කියලද මට කියන්නෙ ? ඒ කියන්නෙ තමුං පිළිගන්නවා මං එක්ක මොකුත් තිබ්බා කියල."

"මොකුත් තිබ්බෙ නැත්තං ඉතිං, මිනිහෙක් ඇමරිකාවෙ ඉඳන් ලංකාවට ඇවිත් හොරෙන් බලං ඉන්නවද ?"

කෙල්ල ඇස් නටවමින් කට ඇදකරමින් කියපු ඒ කතාවට නං කොල්ලාගේ මූණට අමුතුම හිනාවක් ආවා. කොල්ලා නැවත කෙල්ලගෙ අතින් අල්ලල මිරිකගත්තෙ පුළුවන් නං එතනම බිම පෙරළගෙන ඉඹින බැල්මක් ඇස්වලට පොඟවගෙන. කෙල්ලගෙත් ඇස් බැබළෙමින් තිබුණා. ඒ වෙන ඕන දෙයක් මේ මොහොතම බාරගන්න තරං සැහැල්ලූවකින්.

"ඔයාගෙ ඔය ඊතල වගේ වචන හින්ද තමා මට පිස්සු හැදෙන්න. රිදුණත් සනීපයි."

"කොහොමද මගේ සප්‍රයිස් එක?"

"ඔයා නං මාරයි. මෙච්චර නයිස් ලමයෙක් ඔච්චර නෝටි වෙයි කියල හිතෙන කොට නං මට හරිම ආසයි. මං දන්නෙ නෑ මට තව කොයිතරං සප්‍රයිසස් ඔයා ළඟ තියෙනවද කියල. අතින් අල්ලන්න කලිං මගේ හිතෙන් අල්ලපු විදියටම මං ඉතිං මූදේ පිනල හරි එන්න තමයි බලං හිටියෙ..."

"එතකොට ගර්ල් ෆ්‍රෙන්ඩ් ?"

"හ්ම්... එයා ගැන තීරණයක් ගන්න ඕන."

"එහෙනං ඉක්මනටම තීරණයක් ගන්න. මගේ හිත වෙනස් වෙන්න කළිං."

"ඔයා හරි නපුරුයි. මං හින්දා කාගෙ හිත රිදුණත් කමක් නෑ නේද ?"

"මම ද නපුරු, ඔයාද ? එයත් එක්ක ඉන්න ගමන් මට පෙම්බස් දොඩපු එක නෙවේද නරක ? ?"

"මං මොනව කරන්නද! මං හිතල කරේ නෑ. ඔයත් එක්ක කතා කරද්දි දැනුණු සර්ව සම්පූර්ණ නිදහසටයි මං කැමති වුණේ. පිරිමි කතා කරන හැමදේම ගෑනුනට අහං ඉන්න බෑනෙ. පෙම් බස් ආවෙ අන්තිමට. ඔයා ඒක දන්නවා."

"ඒක හරිම ආත්මාර්ථකාමී කැමැත්තක්."

"ආදරේ ආත්මාර්ථකාමියි තමයි. හැබැයි ආදරේ කරන්න හිතං මං ඔයා එක්ක චැට් කළේ නෑ. ඔයාගෙ මූණ දැකලා, රාගය විසි වෙන ඇස් දැකල, තෘෂ්ණාව වැඩි කරන අදහස් කියවලා, නිකංම ආස හිතුණා. අනික මං චැට් කරන එකම කෙල්ල ඔයා නෙවේ. ඔයා එක දන්නවනෙ. දුර රටක තනි වෙලා ඉද්දි සිංහල නමක් දැක්කත් සැපයි. ඉතිං යාළුකං ඇති කර ගන්න ආසයි."

"රාගය විසි වෙන ඇස් ? ඔයා ගෑනු දැකල නෑ. මට නං කවුරුවත් එහෙම කියල නෑ."

"එහෙනං සංසාරෙ ඔයාව කාටවත් හම්බු වෙලා නෑ. මට හම්බ වෙන්න විතරක් ඉතුරු වෙලා."

"පෙම් බස්වලට උපාධියක් ගන්න තිබූණා නං ඔයා ඒකෙනුත් පී. එච්. ඩී. එකක් ගන්නවා සිකුරුයි."

"හ්ම්... ඒක මට ඔයාගෙන් ලැබෙනවටයි මම කැමති. මම කවදාවත් ඒ ගැන උනන්දු වුණේ නෑ. මං පොඩි කාලෙ මගේ ප්‍රථම ප්‍රේමය අනුභව කරපු එකීට පින් සිද්ධ වෙන්න මම ගෑනු ගැන වද වෙන එක නැවැත්තුවා ඔයා හම්බු වෙනකම්ම..."

"ඉතිං මං ගැන වද වෙන්නෙ මොකටද ?"

"වද වෙන්නෙ ඔයා එක තැනක නැති නිසා . ඔයා හරි ලිස්සන සුළුයි. මං ඒකට කැමති නෑ."

"මං දුක් වෙනවා මට තාම මෙතනින් ලිස්සලා යන්න බැරිවීම ගැන. පොදු ස්ථානයකට වෙලා මෙච්චර වෙලා කතා කර කර ඉන්නව මහ ජනතාවට පෙන්න. මං ගැන කිසිම තැකීමක් නෑ මහ ලොකු පණ්ඩිතයට."

"ම්ම්... සොරි. අපි පෞද්ගලික තැනකට යමු."

- - - - - - - - - - - - - - - - - - - - - - - - - -

"අයි හැඩ් අ කොෆි විත් හර්... ඔයා යාළුවන්ට එහෙම කියනවද ?"

"මට ඉතිං ෆේස් බුක් යාළුවො ඇරෙන්න ෆිසිකල් ෆ්‍රෙන්ඩ්ස්ලා ඒ හැටි නෑ. ඉතිං මට තනියම හිතන්න තිබුණ නං මං කැමතියි 'ඔහ් අයි හැඩ් හර්. ඔහ් මයි ගෝඩ්.... '

"නවත්තගන්නවා. මොනවද ඔය කියන්නෙ. එක දවසින් ඇඳට යන්න. මම ඔයා ඔය හිතන ජාතියෙ නෙවේ. පරණ තාලෙ එක්කෙනෙක්."

"ඒ වුණාට මට එහෙම පේන්නෙ නෑ. ඔයා මේ දැන් පිපිච්ච පිනි විසික්වෙන මලක් වගේ."

"අනේ මගෙ කට. පෙම් බස් ටික විසික් කරලා තව කොෆී එකක් ඕඩර් කරන්න. ඔයා මේ දැන් ලව් කරන්න පටන් ගත්ත පොඩි කොල්ලෙක් වගේනෙ හැසිරෙන්නෙ. ඉස්කෝලෙ යන කාලෙ කරල තියෙන්නෙ ඉගෙන ගන්න එක විතරයිද කොහෙද ? ෆිල්ම් එකක වගේ එක කෝපි එකක් විතරක් බොන්න හිතුණෙ කොහොමද අනේ. මේක නං මගේ යාළුවන්ට ගිහින් කිව්වම එයාල හිනා වෙයි. මට කෝපි බාගයක් බිව්වට බෑ. තව කෝපි එකක් ඕනෙ. තව චොක්ලට් කේක් ඕනෙ"

"ඔයා නං පොඩ්ඩක්වත් රොමෑන්ටික් නෑ. මට දැනුනෙ නං මටත් වඩා රොමෑන්ටික් කියල. අනික ඔයා මොකටද යාළුවන්ට කියන්නෙ අපි දෙන්න අතර සිද්ද වෙන දේවල්. ඒවා අපේනෙ."

"එහෙනං මට කියන්න... එක ඇඳේ නිදාගන්න පී. එච්. ඩී. ගර්ල් ෆ්‍රෙන්ඩ්ට කියන පෙම්බස්ම නේද මේ මට කියන්නෙ. මම කැමති නෑ පිළුණු වෙච්චි දෙබස්වලට."

"ඔයා මහ ඉරිසියාකාරියක්. ඒ ඉරිසියාව මෙච්චර කල් පෙන්නනෙ නැතුව ඉඳල අද මගේ ඉස්සරහම පෙන්නපු එකටත් මං කැමතී. ඇත්තම කතාව නං මං එයාට පෙම්බස් කියන්නෙ නෑ."

"ආහ්... නිකම්ම වැඩේ කරනවා කියල දැං බොරු කියන්න එපා."

"යූ ආර් සෝ රූඩ්, යූ නෝ! ඕකනෙ කියන්නෙ මට කතාව ඉවර කරන්න නොදී මැදට පනිනවා. මම කැමති නෑ ඒ දේවල් ගැන කතා කරන්න. මට මේ මොහොත ගත කරන්න ඕන ඔයා එක්ක විතරයි. අනික මං මේ කියාගෙන ගියෙ ඒ කෙල්ල ඔයා වගේ නෙවේ. හොඳට මොළේ තියෙනවා. ඉගෙනගන්න මටත් වඩා දක්ෂයි..."

"එහෙනං මොකටද මොළේ නැති මං පස්සෙ පන්නන්නෙ."

"... ඔය ඉතිං ආයෙ පනිනවා. මට කතා කරලා ඉවර කරන්න දෙන්න. ඒ කෙල්ල කොච්චර දක්ෂ වුණත්, උගත් වුණත් ඔයාගෙ තියෙන අහිංසක, මෝඩ ගති නෑ. ඔයාට වගේ සියුම් හැඟීම් නෑ. කෑමක් වුණත් හැදුවට පස්සෙ රස බලන්න දෙන්න ඕන හදපු කෙනාටත් වැඩිය රස ගැන දන්න කෙනෙක්ට. මගේ පෙම් බස් ඔයා වෙනුවෙන් නොයිඳුලේම මගේ හිතේ හැදෙන ඒවා. ඔයා ඒවා විඳින්න දන්න එකයි මං අගය කරන්නෙ."

"හ්ම්.."

"හ්ම් විතරද ?"

"හ්ම්..."

"මං කියන්නෙ ඇත්ත කියල පිළිගන්නවද ?"

"හ්ම්"

"ආදරෙයිද ?"

"හ්ම්"

"කිස් එකක් දෙන්නද ?"

"හ්ම්"

"කමක් නැද්ද ?"

"හ්ම්"

"මෙතනදිම"

"හ්ම්"

"කම්මුලටද ....."

"ඔයාට නං හොඳටම පිස්සු. කිස් එකක් දෙන්න කලිං මෙච්චර ප්‍රශ්න අහනවද ?"

"ඒ වුණාට මේ ඇමරිකාව නෙවේ කියලා ඔයාමනෙ කලිං කිව්වෙ. ඔයා ගැනත් හිතන්න කිව්වෙ නැත්තං මට හිතෙන දේවල් කරන්න ගියොත් නං ඉතිං...."

"ඇති. ඇති. ඔයා දිනුම්. කතා කරලා දිනන්න බැරි මිනිහෙක් හම්බ වුණාමයි මේ..."

කෙල්ල හිනාවෙන අතරේ කොල්ලා කෙල්ලගෙ කම්මුලට පොඩි හාදුවක් දුන්නා. කෙල්ල රතු වුණා. ඒත් අනිත් පැත්තට එයත් තවත් එක්ක දුන්නා. කොල්ලා රතු වුණේ නෑ, පුදුම වුණ වග ඕනවටත් වැඩියෙන් පෙන්නුවා. දැන් දෙන්නටම හිනා.

"අපි දෙන්නා ෆොටෝ එකක් ගමුද ?"

"සෙල්ෆියක්නෙ."

"කෝ ඉතිං... මං දිහා ආදරෙන් බලන්න ඕන"

"හා"

"මං මේක ෆේස් බුක් අප්ලෝඩ් කරන්නද ? ගර්ල් ෆ්‍රෙන්ඩ්ට පොඩි ක්ලූ එකක් දුන්නෑකි"

"එපා ! ! ! ඔයාට පිස්සුද ? ඔයාට මොළේ නැද්ද ?"

"ඇයි ඔයාට ඒකෙ ඉවරයක් දකින්න ඕන කිව්වෙ."

"ඔයා මෙච්චර ලෙසියෙන් මං කියන දේ අහන්නෙ ඇයි ? මට වහ වැටිලා වගේ හැසිරෙන්නෙ ඇයි ? මෝඩයෙක් වෙන්නෙ නැතුව සාමාන්‍ය දැනීම පාවිච්චි කරන්න. එයාට ගිහින්ම කියන්න. එයාට මොනව හිතෙයිද දන්නෙ නෑ. මට හරි බයයි. මේක නිකං දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්"

"ඔයා එක්ක ඉද්දි මොළෙත් කකුල්වලට බහිනවා. දැං ඔයා කිව්වෙ ඔයාගෙ හිත වෙනස් වෙන්න කළිං එයාට කියන්න කියල. අනික එයා ඔයා තරං සීරියස් නෑ. මං දන්නවනෙ එයාගෙ හැටි. අනික ඔයා හරිම ස්වීට් අනේ. ඔයා එක්ක මාස තුනක් ඔන් ලයින් චැට් කරන වෙලේ සති තුනක් ඇත්තට හම්බ වෙලා කතා කලා නං මට මේ වෙන කොට මීට වැඩිය පිස්සු හැදිලා කෙල්ලෙ. ඇත්තමයි. ඔයා මාරයි. ඔබ හැර වෙන අවුට් ඔෆ් ද බොක්ස් කෙල්ලො මේ ලංකාද්වීපයේ වෙන සිටී ද සොඳුරිය. ?"

"පිස්සු කියවනවා. ඒ ගමන තව ගෑනු ඕන වුණාද ? අනේ දේව් මං කියන දේ අහන්න. ඔයාට සාමාන්‍ය දැනීම නෑ. ඔව් මට ඉරිසියයි තමයි. ඒත් එයත් ගෑනියෙක්නෙ. ආදරයක් නැතුව අවුරුදු දෙකක් එකට, එක ඇඳක නිදියන්නෙ කොහොමද. ඔයා හරිම ආදරවන්ත මනුස්සයෙක්. එයා ඔයාට ආදරේ නෑ කියල නං මං විශ්වාස කරන්නෙ නෑ. අපි දෙන්නා කතා කරලා මාතුනයි. මට මේ තරං හැඟීම් කන්දරාවක් ඔයා ගැන දැනෙනවා නං එයාට මොනව දැනෙනවා ඇත්ද දේව්. එයා පව්නෙ."

"මොකද්ද මේ එකපාරටම වුණේ ? මං එයා ගැන බලාගන්නං. හරි, ඔයා මට මොකද්ද දැං කරන්න කියන්නෙ ?"

"මොකුත් කියන්නෙ නෑ හිටපු විදියටම ඉන්න කියලයි කියන්නෙ"

"ඔයාට දැකල; ඔයාගෙ හිනාව දැකලා; ඔයාව අල්ලලා; ඔයාව ඉඹලා; ඔයාගෙ කතා අහං ඉඳල ;ඔයාගෙ නැට්ටුකාර ඇස් දැකල; ඒවට පිස්සු වැටිලා, මං කොහොමද ආයෙ හිටපු විදියට ඉන්නෙ ? ?"

"ඔයාගෙ කෙල්ලට ඊට වැඩි කොච්චර දේවල් හිතෙයිද! මට වඩා කොච්චර දේවල් එයා එක්ක කරාද ? අවුරුදු දෙකක් එකට ජීවත් වුණාට පස්සෙත් ඔයා මෙතන ඉදලා ෆොටෝ එකක් ඇරලද සම්බන්ධෙ කඩන්න හදන්නෙ. ඔයා ඇයි ඔච්චර ආත්මාර්ථකාමී? රට රාජ්ජවල ගිහින් ඉගෙනගත්තට වැඩක් නෑ සාමාන්‍ය විදියට ජීවත් වෙන ක්‍රමේ දන්නෙ නැත්තං…"

"ඔයා කොහොමද ඔච්චර පරාර්ථකාමී වුණේ මේ ඇහිල්ලට?"

"මං පිළිගන්නවා. මාත් වැරදියි. මං වැරද්දක් කරන්න පටන් ගත්තා හිතේ කිසිම චකිතයක් නැතුව. ඒත් මට ඒ වරද සම්පූර්ණ කරන්න හිත දෙන්නෙ නෑ දේව් මට සමාවෙන්න. අපි දෙන්නා හරිම ලස්සන ජෝඩුවක්. අපි දෙන්නා තැන් දෙකක වෙන වෙනම හිටියත් මේ තරම්ම ලස්සනට ඉඳියි. මං ඔයාව අතඅරින්නෙ නෑ. මං ඔයාව පරීක්ෂා කරනවා. මට ටිකක් කල් බලා ඉන්න පුළුවන්. ඔයා ගන්න හොඳම තීරණය උඩයි මං මගේ ජීවිතේ තීරණය කරන්නෙ."

"ඔයා මහ හරස්පද ප්‍රෙහේළිකාවක්. ඇයි ඔයා මෙච්චර සංකීර්ණ ?"

"මම දන්නෙ නෑ. මම කියන්නෙ නෑ මං ඔයාව අතඅරිනවා කියල. ඒත් වෙන්නෙ මොකද්ද කියල මට බලන්න ඕන. ස්වභාවිකව වෙන දේට ඉඩ දෙන්න මම කැමතියි බලපෑමකින් තොරව."

"ඔයා මට බලපෑම් කරන්නෙත් ස්වභාවිකවම තමයි. මම දැන් ගිරේට අහු වුණා වගේ. ඒ කියන්නෙ ආයෙ අපි හම්බ වෙන්නෙ නැද්ද ? මොකද්ද මේ දැන් අපි අතර වෙන්නෙ. මට බෑ. මට බෑ. ගෙදර හදිස්සියක් කියල සතියකට ආවාට මේ ඉන්න දවස් හතම මට ඔයාව හම්බු වෙන්න ඕන. මම දවස් හතට තෑගි හතක් ගෙනල්ලා තියෙන්නෙ. මට කතන්දර සීයක් ආපහු ඔයාගෙන් අරන් යන්න ඕනෙ අනන්යා. මට ඔයාව ඕනෙ. ඔයා එක්ක කතා කරාම ඩ්රග්ස් ගත්තා වගේ. මං දැන් ඇඩික්ටඩ්."

"සරලම කතාව, ඔයාට දැන් කෙල්ලො දෙන්නෙක් ඉන්නවා. වැඩේ කියන්නෙ ඒක මම දැන දැනත් ඔයාට කැමැත්තෙන්ම අහුවුණා. නමුත් මමත් කෙල්ලෙක්නෙ. මම හිතපු තරං එඩිතර විදියට ඒ කෙල්ලට ද්‍රෝහි වෙන්න බෑ. එහෙම කරන්න කියල ඔයාට බලපෑම් කරන්නත් බෑ. ඔයා මනුස්සයෙක් විදියට හිතල බලන්න ඔයාගෙ අවශ්‍යතාවයන් සහ තනිකම බෙදාගත්තු එකියෙක්ව අත්හරින්න පුළුවන් සාධාරණම සහ අඩුවෙන්ම රිදෙන ක්‍රමයක් ගැන…"

"ඔයා නං මහ පුදුම කෙල්ලෙක් අනන්‍යා. මේ දැං ඔයා කියන්නෙ වෙන එකක්. කලින් තර්කයට පටහැණි දෙයක්. ඉස්සෙල්ලා කිව්වෙ එයාව අත අරින එක ගැන දෙවරක් හිතන්න කියල දැන් කියන්නෙ අඩුවෙන්ම රිදෙන විදියට අත අරින්න කියල. ඒ කිසිම දෙයක් ස්වභාවික නෑනෙ."

"හ්ම්.. අනේ මන්දා මට තේරෙන්නෙ නෑ ඔයා කැමති දෙයක් කරන්න. මට පිස්සු වගේ. ඔයත් එක්ක වාද කරන මූඩ් එකක් නෑ. දැං ගෙදර යමු.. රෑ වෙලා."

"ඒ වුණාට හෙටත් හම්බ වෙන්න ඕන. මට තව කතා කරන්න ඕන."

කිසි දෙයක් නොකියා කෙල්ල කොල්ලව වැළඳගත්තා. වැළඳගැනීමට විනාඩි දෙකක් විතර ගියා. ඉන් පස්සෙ දෙන්නගෙ ඇස් හතර එකිනෙක පැටළිලා තත්පරට පහකට පස්සෙ ආයෙ වෙන්වුණා. කතා නොකර දෙන්නම ආයෙමත් ටික වෙලාවක් බලං හිටියා පාර දිහා. ටික වෙලාවකින් කෙල්ල කතා කරන්න පටන් ගත්තා.

"ෆොටෝ එක කාටවත් යවන්න එපා. ඒක මට එවන්න. ඔයා ඉගෙනගෙන වැඩියි. ගෑනු වෙනුවෙන් වෙලාව වෙන් කරලා නෑ. ඒ නිසා ඔයා දන්නෙ නෑ. ඔයා විතරක් නෙවේ ගෑනු ගැන පැය විසි හතරම හිතන මිනිස්සුන්ටත් නොතේරෙන දේවල් තියෙනවා. හැම ගෑනියෙක්ම මං වගේ කතා කරන්නෙ නැතුව ඇති. ඒත් හැම ගෑනියෙක්ම මං වගේම සංකීර්ණයි. ඒක සහතිකයි. ඔයා මේ මාව බලන්න ඇවිත් කළේ සරල දෙයක් නෙවේ. ආදරේටත් චක්‍රයක් තියෙනවා. පටන් ගත්ත ගමන් ඕන්නං ඉවර කරන්න පුළුවන්. රවුම යනකං ඉන්නම ඕන නෑ. ඕන්නං සමනළයෙක් වුණාම අල්ලා බෝතලේකට දාලා හිර කරගන්නත් පුළුවන් නැත්තං ඈතට යන්න දෙන්නත් පුළුවන්. යනකං බලං ඉන්නත් පුළුවන් එනකං ඉවසං ඉන්නත්. පුළුවන් ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ඉන්න තැන ඉස්සෙල්ලා දැනගන්න. පස්සෙ මං ඉන්න තැනට ඔයාට ආපහු එන්නත් පුළුවන්. නාවත් මට ඉවසන්නත් පුළුවන්."




Continue Reading...

Tuesday, February 14, 2017

බිංදුවෙනි මල....!

පිපුණු දා ඒ පළමු සියපත
බිංදුවෙනි මල
යන්තමට අරුණල්ල විසිරුණු
නිසල නිසසල මිහිතලේ
විල් තෙරේ අපි බලා උන්නෙමු
දෙදණ බිම රඳවා
අතින් අත පටලා
හිතේ මතුවී පෙති පිපෙද්දී
පළමු හිතිවිලි ප්‍රේමයේ

හිමාලේ උස් මුදුන ඉහලින්
හඳේ හාවා හිනැහුණා
පිපෙන හිරු දෙස බල බලා
වලාසළු දුහුලේ එතී
බලා සිටියා ලපටි තරුකැට
කැළුම් විහිදෙන නෙත් අයා

අපේ ඇහිපිය වලින් ලියැවී
ලොවේ කුළුඳුල් ගොළූ බසින්
ආදරේ කවි ලියැවුණා
ලවන් පෙති පිපිලා සැලී
ප්‍රථම ගීතය විශ්වයේ
ඔබේ මුවගින් මතුවුනා

කුරුළු ගී ඇසුණේ එදා
මල් සුවඳ දැනුනේ එදා
සයුරු රළ ගී ගයා නැටුවේ
සුළඟ තුරුපත්සමග රුඟුවේ
සතුට සිනහව වචන හැදුනේ
හැඳිනු දා අපි ආදරේ

නොමැත යලි හමුවීමක්
නොමැති කල වෙන්වීමක්
ආදරේ ගී ගොළුවෙලා
සියපතේ පෙති පරවෙලා
සුවඳ යන අමතක වෙලා
ජීවිතේ තව ඉසිඹුවකි එක
පායනා හිරු සේ පිපී
සඳේ තරු එළියේ රැඳී
ආදරේ ඉතිරෙන ගලා...!


Continue Reading...

වැලන්ටයින්, වැලන්ටයින්.....!


රෝසමල් අරන් ආදරය බෙදා ගන්නට යන වැලන්ටයින් දිනයක් නම් ලංකාවේ ඇතිවුනේ අද ඊයේ තරම් මෑත කාලයක දී වුනත්, අපේ ආච්චිගේ මල්ලී බුජ්ජම්පල ශාන්ත වැලන්ටයින් පොල් කම්හල පටන් අරන් ඇත්තේ නවසිය පනස් නවයේ විතර දීය.

මේ පොල් මෝලට ශාන්ත වැලන්ටයින් නම වැටෙන්නේ, අපේ මුත්තා නැත්නම් ආච්චිලාගේ තාත්තා වූ නයිනාමඩමේ වැලෙන්තීනු ගමරාල ගේ නම අනුව යමින් යැයි මට මතක ඇති විදිහය. පොල් මෝල් කියන්නේ පොල් ගෙඩිය වියලි පොල් කැබලි බවට පත්කරන කම්හලකි.

මේක කරන්නට පොල් ලෙලි ගසා, කටුව බිඳ ඉවත්කර, කුරුට්ට රැහැලා, සුදු පොල් පැහෙන වතුරේ දමා ජීවාණුහරනය කර, සියුම් කැබලි වලට ලියා, පෝරණුවක වියලා, හලා ප්‍රමාණය අනුව වර්ග කර සෞඛ්‍යානුකූලව අහුරන්නට වුවමනාය. මා දන්නා තරමින් මූදුකරයේ කර්මාන්ත විප්ලවය ආරම්භ වූ ප්‍රධාන කර්මාන්ත තුනකි. එනම් කොහු මෝල්, පොල් මෝල් හා උළු මෝල්ය. මේවායින් මුල් දෙකම පොල් ය.

ගෙඩිය පොල් මෝලට යනවිට ලෙල්ල කොහු මෝලට යයි. ලෙල්ල කොහුවෙන අතර, ගෙඩියේ කට්ට, බොහෝවිට අඟුරු වෙයි. දැන් නම් චාකෝල්ම වෙයි. කුරුට්ට තෙලට හැරවෙයි. සුදු මදය අර විදිහෙන් කුඩාවට ලියවී වියලී ඩී.සී. නැත්නම් ඩෙසිකේටඩ් කොකනට් වෙයි.

ඉතින් අද වැලන්ටයින් දවසේ මේ අවුරුදු පනස් අටක් තිස්සේ කර්මාන්තයක් ලෙස, අපේ පලාත්වල අපේම කර්මාන්තයක් ලෙස පැවතෙන, වියලි පොල් විතරකින් නොනැවතී, අද පොල් කිරි, පොල් තෙල් ආදී අතුරු නිශ්පාදන දක්වාත් දියුණු වී ඇති ශාන්ත වැලන්ටයින් පොල් කර්මාන්ත ශාලාව ගැන මෙසේ ලියා තබමි.


ජාල අඩවියට සබැඳීය: http://www.valantinepurecoco.com/


Continue Reading...

Saturday, February 11, 2017

ඇය හෙවත් මැඩෝනා! [වෙසෙස් බූන්දි]

බූන්දි යෙන් උපුටා ගැණුනකි.

ඇය හෙවත් මැඩෝනා!
2016 බිල්බෝඩ් වසරේ මියැසි ගැහැණිය (Billboard Women In Music 2016) සම්මානය පිළිගනිමින් මැඩෝනා කළ කතාවේ සිංහල පරිවර්තනය.
බූන්දි, සිකුරාදා, පෙබරවාරි 10, 2017 18:01:33
ඒ 1979 අවුරුද්ද. නිව්යෝර්ක් කියන්නේ හරි භයානක නගරයක්. මම මෙහෙ ජීවත්වෙන්න ගත්ත පළමු අවුරුද්දෙම මාව තුවක්කුවක් පෙන්නලා බයකරලා, වහලක් උඩට ඈදගෙන ගිහිං, පිහියක් මගේ බෙල්ලට තියලා තද කරලා මාව දූෂණය කළා.

ඊට පස්සේ තට්ටු නිවාසයේ නිවස දිගින් දිගටම කොල්ලකෑමට ලක්වුනා. අවසානයේ මම මගේ නිවස යතුරු දාන එක නැවැත්තුවා.

ඊළග වසර කිහිපය ඇතුළෙ මට හිටපු සියළුම මිතුරන් නැතුවුණා; එක්කො ඒඩ්ස්, නැත්තං මත්ද්‍රව්‍ය හෝ වෙඩි තැබීමටකට ලක්වෙලා.

ඔබ හිතනවා වගේ, මේ සියළු අනපේක්ෂිත අභියෝගයන් විසින් ඔබ ඉදිරිපිට මේ හිටගෙන ඉන්න නිර්භීත කාන්තාව බිහිකරන්න උදව් කළා විතරක් නොවෙයි, ඒවා විසින් මට නැවතත් මතක් කළා මම කොච්චර අසරණ ද කියන එක සහ අපේ ජීවිතයේ ආත්ම විශ්වාසය හැරුණුකොට වෙන කිසිම ආරක්ෂාවක් නැහැ කියන එක, ඒ වගේම මගේ කුසලතා වල සැබෑ අයිතිකාරයා මම නොවන බව!

ඔබ කොල්ලෙක් නම් ඔබට කිසිම නීතිරාමුවක් නෑ. ඒත් ඔබ කෙල්ලෙක් නම් ඔබට නීතිරාමුවක් තියෙනවා. ඔබ කෙල්ලෙක් නම්, ඔබ විසින් මොළේ පාවිච්චි කර සෙල්ලම් කළ යුතුයි. මොකද්ද මේ සෙල්ලම?

ඔබට ලස්සනට හැඩට, හුරුබුහුටි ලෙස, කාමුක ආකාරයෙන් ඉන්න පුළුවන්. හැබැයි ගොඩාක් දක්ෂ වෙන්න බෑ. එතනදි ඔබට මතවාදයක් දරන්න බැහැ. එහෙම අදහසක් දැරුවොත් ඔබ ඉවරයි. අවම වශයෙන් බලාධිකාරයට අභියෝග වන ආකාරයේ, ප්‍රශ්ණ කරන ආකාරයේ අදහසක් දරන්නට ඉඩක් ලැබෙන්නෙ නැහැ.

පිරිමින් ආශා කරන ආකාරයේ ඇඳුම් ඇඳලා වේසියක් වගේ ඉන්න වෙයි. හැබැයි ඒ වේසකමට ඔබට අයිතියක් නැහැ!

ඔබ විසින් නොකළ යුතු -මම නැවතත් කියනවා- ඔබ විසින් නොකළ යුතු දේ නම් ඔබේ කාමුක සිහින සහ අදහස් ලෝකයත් එක්ක බෙදාගැනීමයි.

ඔබ පිරිමියාට අවශ්‍ය කෙනා බවට පත්වෙන්න. වැදගත්ම දේ ඔබ පිරිමින් සමග සිටින විට අනෙක් කාන්තාවන්ට පහසුවක් දැනෙන කෙනා බවට පත්වන්න.



අවසාන වශයෙන් වයසට නොයන්න. මොකද ගැහැණියකට වයස කියන්නේ ශාපයක්. ඔබව විවේචනය කරාවි, ඔබව හෙලා දකිවී වගේම අනිවාර්යෙන්ම ඔබේ ගීත රේඩියෝවේ වාදනය නොවේවි!

මම මුලින්ම ජනප්‍රිය වුනාම මගේ නිරුවත් ඡායාරූප Playboy සහ Penthouse සගරා වල පළවුණා. ඇත්තටම ඒ ඡායාරූප වලට මම පෙනී හිටියෙ මම කලා විද්‍යාලයේ ඉගෙන ගන්නකොට අවශ්‍ය වියදම් පියවාගන්න. ඇත්තටම ඒ ඡායාරූප ගොඩාක් කාමුක නැහැ. ඒත් මම ඇත්තටම කාමුක පාටයි නේද? (සභාවේ සිනා)

මිනිස්සු කියනවා මම හරිම හරිම මතභේදාත්මක කෙනෙක් කියලා. ඒත් මං හිතන හැටියට මම කරලා තියෙන වඩාත්ම මතභේදාත්මක දේ තමයි අත්නොහැර සිටීම.

මයිකල් ජැක්සන් යන්න ගියා. ටුපාක් ශකූර්, ප්‍රින්ස් රොජර්ස්, විට්නි හූස්ටන්, ඩේවිඩ් බෝවි යන්න ගියා. ඒත් මම තවම කෙළින් හිටගෙන ඉන්නවා. මම බොහෝම වාසනාවන්තයන් අතර කෙනෙක්, හැමදාම මට ලැබෙන ආශීර්වාද මම ගණන් කරනවා.

මා ගැන සැක පහළ කළවුන්, සෘණාත්මක අදහස් පළකළවුන් මෙන්ම මට අපාය පෙන්වීමට උත්සාහ කළවුන් "මට කළ නොහැක" "මම නොකරනු ඇත" හෝ "මම නොකළ යුතුය" යි කිවුවා. ඔබේ විරෝධය මාව ශක්තිමත් කළා, එමගින් මාව ඉදිරියට තල්ලු කළා, එය විසින් අද දවසේ මම නැමැති සටන්කාරිය බිහිකරනු ලැබූවා.

ඔබ ඉදිරිපිට සිටින මා නැමැති කාන්තාව බිහිකරනු ලැබූවේ මේ සියළු දේ විසින්. ඔබට ගොඩාක් ස්තූතියි...!





Transcript of Madonna’s Controversial 2016 “Woman of the Year Award” Thank You Speech at Billboard Music Awards
Continue Reading...

Thursday, February 9, 2017

කැමීලියා සිනෙන්සිස් ගේ රහ ගුණ දෙන හත් පට්ටම [කම්කරු කළ සිකියුරිටි ගස් කතාවක්]



ඉහල යන්නට ජන්ම උරුමය ඇතත්, බලහත්කාරයෙන් පහලින් තබා තිබීමට එරෙහිව නැගී සිටීම මිනිසුන් ගැහැණුන්ට කෙසේ වෙතත් ගහකට වැලකට නම් කරන්නට අපහසුම දෙයකි. වෙනත් බොහෝ දේ මෙන්ම මේ විදිහේ පහත් කිරීම් ද කාලයකට පසුව සංස්කෘතියය, ආගමය, ඉතිහාසයය ආදී කඩතුරාවලින් වැසී සාමාන්‍ය දේවල් බවටත්, 'එදා ඉඳලම එහෙම තමයි', 'ඔව්වා වෙනස් කරන්ඩ ඉතින් මකල හදන්ඩ ඕනා' වැනි උද්දච්ච කතා වලින් තෙම්පරාදු වී විශ්ව සත්‍යයය හෝ ලෝක ස්වභාවය බවටත් පත්වෙයි.

අපේ රටේ උඩරට කඳුකර සිරියා පරදන ලඳුන් අත පත ගානා තේ පඳුරුත් ඒ ලඳුන් වාගේම අපට දළු කඩන්නට ඕනා නිසාම අඩි තුන හතරක උසට බලෙන් කප්පාදු කර 'කම්කරු' ප්‍රමාණයට මිටි කර තබා ඇති නිදහසේ වැඩෙන්නට ඇරියොත් අඩි හැට ගණනක් උස මහතට නැගී සිටින 'සිකියුරිටි' හෝ එයිටත් ඉහල තනතුරු වලට හැඩ වැඩ හා සුදුසුකම් ඇති කටවචනයට 'පඳුරු'ය  කිව්වත්, පරම්පරා නාමය අනුව නම් 'කැමීලියා සිනෙන්සිස්'  (Camellia sinensis) වන්නාවූ වෘක්ෂයෝ වෙති.

තේ ගහත් තේ රහත් හා හපුරා කියා රජ පරපුරක තොලේ කටේ ගෑවුණු චීන රටේ, යූනාන් ප්‍රාන්තයේ අඩි සීයක් විතර උස පරණම තේ ගහක් තියේ යැයි අන්තර්ජාලය කියයි. මගේ ඇහින් දුටු නිදහසේ උස් මහත්වුනු තේ ගස් තිබුණේ තලවාකැලේ තේ පර්යේෂණායතනයේ ශාන්ත කූම්බ්ස් වත්තේ, උඩහ ජේෂ්ඨ කාර්ය මණ්ඩල නිවාස වලට යන පාරේ අද මතක හැටියට, ගෙස්ට් හවුස් එක හරියේ වංගුවෙන් පහල බැලුවාමය. මදුරු බයිසිකලයේ පසුපස ආසනයේ මා රැගෙන වත්ත පුරා ගෙන ගොස් තේ වවන විද්‍යාව මට ඉගැන්නූ මගේ මිත්‍රයා කියන හැටියට නම් ලෝකයේ තනිකරම මිනිහාගේ උවමනාව නිසාම, මහාම පරිමාණයෙන් කප්පාදු කර කුදු කර, ගසක් වන්නට නොදී, පඳුරක් කර, අඟුටු මිටි කර පාලනය කරන්නාවූ ශාකය තේ ගසයි.

හෙක්ටෙයාර මිලියන හයහමාරක් පමණ වන ලංකා පොළවෙන් අඩක් පමණ සශ්‍රික සේ සැලකෙන අතර මේ හෙක්ටෙයාර මිලියන තුනයි කාලෙන් මිලියන දශම දෙකක් නැත්නම් හෙක්ටෙයාර 222000 ක් පමණ වැසී ඇත්තේ, ජේම්ස් ටේලර් 1820 දී ලූල්කඳුර වත්තේ පැළකල තේ ඇටවලින් පටන් ගෙන පස්සෙන් පහු ලිප්ටන්ලා ට්‍රැෆඩ්ලා හොප්ටන්ලා ජැක්සන්ලා ආදී නානා ප්‍රකාර ප්ලාන්ටර්ස් ලා  ඇවිත් ඇතිරූ තේ පලසිනි. එහෙම බලද්දී අද වෙද්දී, අපේ රටේ පැලෑටියක් වවන්නට පුළුවන් කමක් ඇති බිමෙන් සීයට හයක් තේ කොළ පාටය.

සුවඳ හමන මලක් පුබුදවන්නට හැකියාව තිබුණත් මේ ඉඩම් අක්කර ලක්ෂ පහමාරේ පැල කර තියන තේ පඳුරු වල දළු පුරනවා ම මිසක මල් පිපෙන්නට නම් ඉඩ ලැබෙන්නේ නැත. මොකක් හෝ හේතුවකින්, හෙට උදාසන වෙද්දී මේ තේ පඳුරු සේරම අර උඩින් ඇති පින්තූරයේ මෙන් සුදට සුදේ තේ සුවඳ හමන මලින් පිරී ගියේ නම්.... ? අර අටකාමාවට වැස්ස වැටුණාට වඩා මහා සුන්දරත්වයකින් අපේ මුළු කඳුකරයම පිරවෙනවා නේ ද?

සුදුපාට තේ මල් පිපෙන්නට නොදී නවතා කොලපාට තේ දළු නෙලා අඹරා පෝරණුවල වියලා කළුපාට කර තම්බා සුවඳ බලන්නට තරම් අපි කුරිරු වී සිටිමු. අපේ රටේ ප්‍රධාන අපනයනය ලෙස චිරාත් කාලයක් නම්බු නාම ලැබූ මේ විදේශීය ශාකය අද වෙද්දී අපේ රටේ ප්‍රධාන අනන්‍යතාවයක්ව තිබෙයි.

කොළපාට තේ දල්ල නෙලා අඹරා පෝරණුවක වියලන කාර්යය නිකම්ම නිකම් වියලිල්ලක්ම නොවන්නේ හොඳ තේ කෝප්පයක් හැදෙන්නට නම් මේ කාර්යාවලියේ දී අනිවාර්යයෙන් 'හරියට' සිදුවිය යුතු රසායනික ප්‍රතික්‍රියාවලියක් සෑහෙන්න පැහැදිලිව හඳුනාගන්නටත් ඒ ක්‍රියාවලිය හදාරා පාලනය කර හොඳ තේ හැදීමේ කාර්යය යම් දුරකට පාලනය කරන්නටත් අපේ සමහරු නැණවත් වූ නිසාය. හැම දෙයක්ම වාගේ තේ හැදීමේ කාර්යයත් අතීතයේ ඇරඹෙන්නේ අහඹු සිදුවීම් හා අත්හදා බැලීම් ඔස්සේ ගොඩනැගෙන අත්දැකීම් එකතුවක් තුලින් තේ හැදීමේ සාත්තරය ගොඩනගාගත් 'ටී මේකර්' ලා පරපුරකගෙනි.

අපේ රටේ සුවඳ රැඳුන කළු තේ වල රහගුණ බොහෝ දුරට නිර්ණය වන්නේ තයරුබිජින් (Thearubigin) හා තයාෆ්ලේවින් (Theaflavin) නමින් ප්‍රධාන කුලක දෙකකට බෙදෙන සංයෝග නිසායැයි හඳුනාගෙන තිබේ. මේ දෙවර්ගයම එකතුව පොලිෆීනෝල් (polyphenols) සංයෝග ලෙස කියවෙයි. පොලි කිව්වාම නානාප්‍රකාර අර්ථ හා 'බැඳී' තියෙන්නට හැකි මුත්, මේ පොලි එ් වචනය උපන් ග්‍රීක් වචනවල අර්ථය අනුවම යමින් 'බහු' නැත්නම් 'ගොඩක්' යන අර්ථයෙනි. බෙන්සීන් අණුවකට හයිඩ්‍රොක්සි (-OH) ඛාණ්ඩයක් අැවිණුනාම හැදෙන ෆීනෝල් ඛාණ්ඩ ගොඩක් මේ අණුවල අඩංගු වීම මීට හේතුවයි. මේ විපර්යාස සියල්ල සිදුවෙන්නේ ලපටි ලා තේ දළු නෙලා තව්මරා (withering) අඹරා පැහෙන්නට (fermenting) තට්ටුවල අතුරා තියෙන කාල සීමාවේ දීයි. තව්මැරීම දළුවල අමතර ජලය ඉවත් කරන්නටය. අැඹරීම නම් දළුවල සෙෙල කඩා බිඳ අැතුලත අැති ෆ්ලේවෝන නම් සංයෝග හා එන්සයිම මිශ්‍ර කරන්නටය.

කඩපු දල්ලකට මැරෙණවා හැර විකල්පයක් නැත. බාගෙට වියලා අැඹරීමෙන් මේ මරණය ඉක්මන්වී දිරාපත්වීම කලින්ම අැරඹෙනවාට වඩා දෙයක් සිද්ධ වේ යැයි හිතන්නට අමාරුය. ඉතින් තට්ටුවල අතුරා පැහුණු තේ දළු ඊළඟට යන්නේ ගිනි උදුනක කරවීමට වීම අභව්‍ය කාරණයක් වන්නේ නැත. මීදුම පාත්වෙන උදාසනක හැටන් නුවර එළිය පැත්තේ හෝ, බදුල්ල පස්සර පැත්තේ හෝ එ්ත් නැත්නම් රත්නපුර නුවර පැත්තේ හෝ එහෙමත් නැත්නම් දෙණියාය බලංගොඩ පැත්තේ හෝ තේ වැවෙන තේ හැදෙන පලාතක එළියට බැස්සොත් බොහෝවිට නාස් පුඩු කිති කැවෙන්නේ කියන්නට ලියන්නට අපහසු, විඳලාම විඳිය යුතු මේ වියලෙන පිලිස්සෙන දළුවල සුසුම් සුවඳිනි.



ඉහත රූ සටහන බලා තේ කියන්නේ මේ සංයෝග තුනය කියා සරලව හිතෙන්නට පුළුවන් මුත්, අනික් බොහෝ කාරණා වලදී මෙන්ම තේ වලදී ද සරලය කියා දෙයක් නම් නැත. මෙහි කැටචින් සේ දක්වා ඇති ෆ්ලේවෝන සංයෝගම ප්‍රධාන එව්වා පමණක් පස් වර්ගයක් හඳුනාගෙන ඇති වගත්, ඒවා දැනටමත් බෙන්සීන්, ඔක්සිජන්, හයිඩ්‍රොක්සිල් තොරණක් වී ඇති මේ සරලම පාදම මත ගොඩ නැගුණු තට්ටු තට්ටු ඒවා බවත් කීවාම; මේ නම් ඉතින් තරමක අන්ධකාර රාත්තිරියක ගිනිගත්හේන පැත්තෙන් හැටන් කිට්ටුවෙද්දී ඈත අන්ධකාර අහසේ පින්තූරයක් වාගේ පෙනෙන සුදු විදුලි බුබුළු මාලයක් දා ගත් සිරිපාද මුදුන විතරක්ම බවත්, මළුව කරුණාකරන්න නම් ගව් ගානක් ගල්පඩි දිගේ කල් බලන්නට සිදුවන බවත් තේරුම් ගත යුතුය. මං සලකුණු ලියනවා නං මේ සංයෝග එපි-කැටචින් (epicatechin (EC)) එපි-කැටචින් ගැලේට් (epicatechin gallate (ECG)), ගැලෝකැටචින් (gallocatechin (GC)), එපි-ගැලෝකැටචින් (epigallocatechin (EGC)), සහ එපි-ගැලෝකැටචින් ගැලේට් (epigallocatechin gallate (EGCG)) යැයි නම්වෙයි.

මුල විවිධ වූ විට ඒ විවිධ සංයෝග එහා මෙහා සහ සම්බන්ධ වී අගට හැදෙන ඵලත් ඔය පෙන්නා ඇති සරල රූප දෙකට සීමා වෙන්නට හේතුවක් නැත. ඉතින් මේ සංයෝග ඛාණ්ඩ දෙකින් එකකට අයත්යැයි කියන්නට පුළුවන් සංයෝග ගණනාවක් ම තේ කහට ඩිංගක පීන පිීනා සිංදු කියති.

වැඩ්ඩෝ නම් දැනටමත් මේවායේ සූත්‍ර ලියා රූප සටහනුත් ඇඳලා නිකන් එව්වායේත් එපි එව්වායේත් ත්‍රිමාණ රූපත් අධ්‍යයනය කරනවා වෙන්නට පුලුවන. පිටින් කොහොම පෙනුනත්, නම නිකම්ම කැමීලියා වුනත්, ඇතුලට එබී බලද්දී දකින සංකීර්ණත්වයෙන් හිත වශී කරගන ඒ පෙනෙන රටාවල දම්වැල්වල අග මුල ලිහාගැනිල්ලට ඉපදුනු අයත් අපට කලින් පහලවී සිටි නිසා අපි මේවා මේ තරමින්වත් ලියා ගන්නට තරම් වාසනාවන්ත වී සිටිමු.

තේ කෝප්පයේ තේ කහට වල මේ දෙවගින් වැඩි වශයෙන් හමුවන්නේ තයරුබිජින් වුව ද, තේ කහට නිකම්ම කහට නොවී රහගුණ දෙන රසකාරකය සේ හැඳිනෙන්නේ නම් ත්‍යාෆ්ලේවින් සංයෝගයි. ත්‍යාෆ්ලේවීන් හි ප්‍රධාන වෙනස, හත්පට්ටම් කාබන් චක්‍රයක් ඇති ට්‍රොපලෝන් ඛාණ්ඩයයි. තයරුබිජින් මෙන්ම ත්‍යාෆ්ලේවින් ද වටේ අවුණා ඇති සැරසිලි හැඩපලු හා ත්‍රිමාණ සැකිල්ලේ වෙනස්කම් මත ප්‍රභේද කිහිපයකට බෙදෙයි.



මිල කියන්නේ ඉල්ලුමය. ඉල්ලුම කියන්නේ උවමනාව වෙයි. පෙට්ටියේ ලස්සණ කොහොම වෙතත් මිලදී ගන්නා කෙනාගේ උවමනාව වැඩිවන්නේ නම් තේ කහට වල රසය ගුණය වැඩිවුනු පමණටය. තේ කර්මාන්තය කර්මාන්තයකින් එහාට ගිය වෙළඳාමකුත් වෙයි. තේවල රහ ගුණ බලා මිල කියන්නේ ටී ටේස්ටර් ලාය. රත්නපුරා ටවුමේ ඇස්ස නැති ටෝච් එකෙන් ගල්වල මිල කියන අය වගේම කට්ටියක් වුවත්, ටී ටේස්ටර් රස්සාව අරිට වඩා බොහෝ උස බොහෝවිට ගුරාගෙන් ගෝලයාටම උරුම වන එක්තරා විදිහක තරු පහේ හයේ රස්සාවක් වෙයි. තේ කර්මාන්තය විද්‍යාත්මක පදනමකට ගෙනෙන්නට නම් පළමුකොටම හොඳ තේ කෝප්පයක් අඳුනාගන්නා ටේස්ටර්ගේ දිවේ ඇණෙන ඉඳිකටුව මේ පිදුරු ගොඩ අවුස්සා සොයා ගත යුතු බව හඳුනාගත් බොහෝ පර්යේෂකයින් ගේ ක්‍රියාකාරකම් හා ප්‍රතිඵල එකතු කල විට, ඇඟිල්ල දිගු වෙන්නේ මේ හත්පට්ටමටයි.

හොඳ නම් මේ ලෝකයේ ඇත්තේ ටිකය. ඉතින් තේ කහටේ ත්‍යාෆ්ලේවින් ඇත්තේත් ටිකය. පාට කහට කොහොමින් කොහොම ආවත් 'ගුණාත්මය' කියා කියන්නට හැකි 'කොලිටි' නැත්තං 'Quality' කියන මේ දවස්වල අතන මෙතන හැමතැනම අඩුය කියන ගුණය තේ කෝප්පයේ දී නිර්ණය වන ප්‍රධාන සාධකය ත්‍යාෆ්ලේවින්/තයිරුබිජින් අනුපාතයය කියන්නට සාධක බොහෝය. තේ කෝප්පයෙන් එලිබට ත්‍යාෆ්ලේවින් ගැන මෑත කාලයේ දී වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ අයගේත් අවධානය යොමුවී තිබේ.

ප්‍රතිඔක්සිකාරක (antioxidant) ගතිගුණ ඇති සංයෝගයක් ලෙසත් HIV ආසාදන ප්‍රතිකාරකයක් ලෙසත් ත්‍යාෆ්ලේවින් මෑත කාලයේ යම් තරමක නමක් දිනාගෙන සිටී. කොලෙස්ටරෝල් මර්ධනය හා හෘදයාබාධ වැලැක්වීම පිළිබඳව තේ සංයෝගවල දායකත්වයත් ඉහලින්ම කතා වෙයි. වේල් තුනටම කහට කෝප්පය විතරක් බොන කෙනා කිසිම සැකයක් නැතිව කෙට්ටුවෙන බව; බර අඩුවෙන බව; අපේ රටේ ගම්බැදි වල ඈයෝත් ලයින් කාමර වල තේ දර පිච්චූ දුමින් පදම් වී උදේට කහට කෝප්පය බී දළු කඩන්නට එන ලන්දුත් නම්  හොයා ගත්තේ නම් බොහෝ කාලයකට කලිනි. ඒ අනුව යමින් ඉස්මුරුත්තාවට කාලා ග්‍රීන් ටී බී කෙට්ටුවන්නට නම් බැරි බව දැන් සෑහෙන දුරට පසක් වී තිබේ. තේ ක්ෂේත්‍රයේ මේ කොළ කළු භේදය යම් තරමක් දුරට විද්‍යාව පැත්තටත් බලපා තිබෙයි. කොළ තේ අගේ කරන කට්ටිය කොළ තේ වල ගුණ වැනීමත්, කළු තේ කාරයෝ කළු තේ වල ගුණ වැනීමත් රහසක් නොවේ. කොළ කළු තේ දෙවගේ රසායනික පැත්ත ගැන වඩාත් උනන්දු නම් ඒ ගැන සැසඳුමක් මෙතන pdf ලියවිල්ලක් ලෙස තිබේ.


http://citeseerx.ist.psu.edu/viewdoc/download?doi=10.1.1.195.6410&rep=rep1&type=pdf

තලවාකැලේ ශාන්ත කූම්බ්ස් වත්තේ හංගා ඇති අපේ තේ පර්යේෂණායතනයේ ජාල අඩවියට පිවිසුම මෙතනින්. එතැන ඇති ලියකියවිලි වල තේ රසායනය ගැනත් අපමණ දේ තිබෙයි.

http://www.tri.lk/home

තේ කෝප්පයක් හදාගෙන පරණ කයි කතා කියවන්නට කැමති අයට තේ වල කහට ගෑවුනු තැන් ගැන විස්තර තියන තැන් කීපයක් මෙතන

 http://www.ceylonteamuseum.com/history.html
 http://www.pureceylontea.com/index.php/when-coffee-was-king
 http://amazinglanka.com/wp/james-taylor-loolkandura/

Continue Reading...

Blogroll

About