Friday, September 23, 2016

සුගතියේ අගතිය


සුගතියෙන් පැන්නු දා පටන් ඈතට
සුගතියක් වුනේ නෑ පොළව කෙටුවට
ඒවා ඇවිත් පැටව් අරගෙන දෝතට
එබි එබී බලයි ගේට්ටුවෙන් ඇතුලට

පළු දෙකට යකඩ දැල් ගහලා
යකඩ දම්වැල් වලින් ඔතාලා
ඉබි යතුරු අවුණා අගුළු ලාලා
එන්න බැරිවෙන්ඩම වහලා

ප්ලාස්ටික් මල් පඳ්‍රරු මහ පාර දෙපැත්තෙත්
ඉලාස්ටික් නූල්වල බැඳි විහඟු ගැස්සෙත්
රතුපාට පල දරා ඉහල ඉහලම අත්තෙත්
උයන මැද පරණ ගහ නම් තවම වැජඹෙත්

"සර්පයා කිව්වෙ ඇත්තයි
දෙයියො අපි ගැන ඉරිසියයි
අම්මපා ඉහට හෙණ පුපුරයි
තොපේ උරුමය තොපෙන් වසංගයි"

අරන් ඒ උකුලෙන් මේ උකුලට
උගන්නයි ඈ බාල පැටියට
ඇඟිල්ලක් අල්ලන් හිටියට
තේරෙනව හොඳට ලොකු කොළුවට

කොහෙන් දෝ අළුපාට ගුරුලෙක්
ඇවිත් අත්තක කොටයි ඇපලක්
ගැලවිලා  අලවාපු නට්ටක්
බිමට වැටිලා බිඳුණි පළුවක්

"ගිණි කඩුව ලෙලවා අපිව උයනෙන් එලවලා කුදලා
දිව සළුව දිවගා වැඩ සිටිය සට්ටැඹියො මයිකල්ලා
මල් උයන වනසා මල් ඇඳපු ගල් ටයිල් කැට අල්ලා
මැටි අැපල් එල්ලා තහනං ගහේ ගෙඩි ටිකත් කඩලා"

පින්තූරය -http://www.womeninthebible.net/wp-content/uploads/2016/04/BacchiaccaCA.jpg
Continue Reading...

Tuesday, September 20, 2016

අමරණීය මකරා.....!

හැත්තෑ ගණන් වල දවසක වෙන්නප්පුවෙ පල්ලියෙ ඉස්කෝලෙ නැත්තං ශාන්ත ජෝශප් පිරිමි පාසැලේ හෝල් එකේ ඩෙස්කයක් උඩ හිටගෙනයි හෙන්රිගෙ මකරා බැළුවෙ. මං හිතන්නෙ ඒකෙ ලාන්ස්ලොට්ට ඇන්දෙ ධර්මසිරි බණ්ඩාරනායක.

මට අමතක නොවෙනම කෙනෙක් මකරායි ලාන්ස්ලොටුයි යුද්ධ කරන වෙලේ ඒක බලන්න එකතුවෙන මිනිස්සුන්ට අව් කණ්ණාඩි, මූණ බලන කණ්ණාඩි විකුණන තොරොම්බල් කාරය....

මකරා නොමැරෙන්නෙ ඇයි කියන එක ගාමිණි බස්නායක මෙතන ලියල තියනව මට වඩා හොඳින්.... ඉතා හොඳින්....

මකරා මරා දැමිය යුතුය-ගාමිණි බස්නායක-බූන්දි-16-2-2015

"අප විසින් දශක ගණනාවක් පුරා ගෙවා දමන ලද කාලය දෙස නැවත හැරී බලන විට අප ළඟ සිටිනා මකරා මරා දමා නොමැති බැව් ඉඳුරා පසක් වේ. අප සැම විට ම උත්සාහ දරන්නේ නොපෙනන නොහඳුනන මකරකු හට යටත් වී ජීවත් වීමටයි. ඔවුන්ගේ සුඛවිහරණය සකස් කිරීමයි. නාට්‍ය කරුවාගේ කාර්යභාරය පෙන්වා දීම පමණි. සංවාදයට භාජනය කිරීම පමණි. තීන්දු තීරණ දීමේ හෝ ගැනීමේ හැකියාවක් හෝ අවශ්‍යතාවක් නාට්‍යකරුට තිබිය නොහැකිය. ඒ අර්ථයෙන් නාට්‍යකරුගේ සමාජ කාර්ය ඉටුකර අවසන්න ය. පළමුව හෙන්රි ජයසේනයන් විසින් නිෂ්පාදනය කළ මකරා නාට්‍යයට පසුව ධර්මසිරි බණ්ඩාරනායකනිෂ්පදනය කළ මකරාක්ෂයා ද අප සමාජයක් ලෙසින් ප්‍රේක්ෂකයන් පිරිසක් විසින් නරඹා අවසන් ය. එහෙත් අප සමාජය දිනෙන් දින මකරුන්ගෙන් පිරී යමින් පවතී. පුරපතිලා ද හෙන්රිලා ද කොතෙකුත් ඇත. අපගේ ගැලවුම් කරුවන් වශයෙන් පෙනී සිටින ලන්ස්ලොට්ලා ද ටික කලක දී මකරුන් බවට පත්වන බව අප අත්දැකීමෙන් ම දනිමු. එසේ නම් අප විසින් කළ යුත්තේ මකරා මරා දැමීම හෝ ලන්ස්ලොට් කෙනකු එන තෙක් බලා සිටීම නොවේ. අප ම විසින් අප අභ්‍යන්තරයේ සැඟව සිටිනා මකරුන් මරා දැමීමයි. සමාජය නිවහල් වන්නේ ප්‍රීති දායක වන්නේ එවිටයි. මකරා නාට්‍යයෙන් මතු කරන අර්ථය එයයි. 

අප අද මකරා මරා දැමුවා යැයි උදම් අනන්නේ නම් එය වැරැදි සහගතය. මකරා සිටින්නේ අපගේ හදවත් තුළය. ඔහු මරා දමන තෙක් විමුක්තිය උදා නොවෙනු ඇත!"


Continue Reading...

Wednesday, September 14, 2016

යමුනා ගඟේ බමුණා

ගඟ අයිනේ ඇවිදින එක නිකමට කරන දෙයක් නේ. අද ගඟක් අයිනෙන් ඇවිදන් ඇවිත් ඉඳිද්දී නිකමට හිතුණා යමුනා ගඟේ බමුණා කියල. නිකමට ව‍ගේ ගූගල් එකට දාලා බැළුවා.... ඉතින්. උන්නනේ බමුණෙක් යමුනා ගඟේ....

පරණ කතාවක් තමයි. ඉන්ඩියන් එකකුත් තමයි. හැබැයි සාරිය ඇඳලා, ගවුම ඇඳලා සාලේ රණ්ඩු කරන එකක් නෙවෙයි. ඒ වාක්‍ය ඉබේම ලියවුණා. නොතේරුනා නං හිතින් අයින් කරලා දාන්න. ටිකක් හතරවරං යන කතාවක්... අගක් මුලක් නැති. කොහෙන් පටන් ගත්තත් කොහොන් කෙලවර කලත් ඉතින් මැදකින් තමයි.

යමුනා ගඟේ මාළු අල්ලන, මිනිස්සු එගොඩ මෙගොඩ කරන්න ඔරු පදින, තොටියගෙන් පටන් ගමු. මේ ගොල්ල ඇත්තටම ගඟ ලඟ, ගඟ නිසා, ගඟ කෙරෙන්,  ගඟ සමග, ගඟ තුල, ජීවත් වෙන  ගංගාශ්‍රිත ජන පිරිසක්..... (ගංගාරාමෙත් මතක් වුනා.  හැබැයි ඒක තියෙන්නෙ වැවක් අසබඩව නේ ද...?)

තොටිය ගෙ දුවත් ඉතින් මේ රස්සාවම කරනවා. දුවයි කිව්වට මෙයා සනුහරේ මහ තොටියා හදා වඩා ගත්තු 'ඇහිඳපු' එකියක්. කතන්දර වල ඉහල අය පහල යන්නේ එහෙමනේ. කෙල්ලගේ නම සත්‍යවතී. තාත්තා යමුනාවෙ එක පැත්තක චෙඩි රටේ රජ්ජුරුවෝ උපරිචාර වාසු. අම්මා ඉතින් රජ්ජුරුවන්ට මූණට මුන නොගැහුනු අප්සරාවියක් අද්රිකා....

රජ ගොල්ල ඒ කාලෙත් එහෙම තමයි. රජා කිව්වම ඕනැ තැනක.... ඉතින්  කිං තමයි. ඕකනෙ ඔය රාජ චරිත දන්නෙම නැතුව දෙගුණ තෙගුණ වෙන්නෙ.  දැන් මෙයා මාළුකාර, ඔරුකාර, සනුහරේ ලොක්කා දුසරජ් ගේ හදා ගත්තු දුව. රජ ලේ උණත් මාළු බාන, මාළු කන, තොටියගෙ දුව. කෙල්ල ලස්සණයි, හැබැයි සර්වාංගෙ පිළී ගඳයි. සත්‍යවතී නම් මත්ස්‍ය ගන්ධී... ඒකත් උත්පත්තියෙන් එන දෙයක් හැබැයි.

ඒ වැඩේ මෙහෙමයි.... මේ කෙලීගෙ තාත්තා අර චෙඩි රටේ රජා උපරිචාර වාසු ගෙ බිසව සැදී පැහැදී ඇවිල්ලා.... හයවෙනි බබා හදන්න කතා කරපු දවසේ, රජා පුරුෂ ධෛර්යය පෙන්නලා, යන්ඩ ලෑස්ති වෙලා හිටපු විදිහටම දඩයං කරන්න කැලෑවට යනවා.... ඔහොම ගියාට මොකෝ.... ටිකක් යද්දී හිත කලබල වෙනවා... හිත කලබල වුණාම ගත කලබල වෙනවා. ඉවසගන්නම බැරි තැන නෙළුම් කොළේකට පිරිමිකම හලලා රාජාලියකු අතේ යවනවා බිසවට....

කොහේ ද ඉතින්... අතර මගදි හම්බුවෙන උකුස්සෙක් රාජාලියට හයිරන් පාට් එකක් දාන අතරේ නෙළුම් පැකට් එක වැටෙනවා ගඟට.... ඔව් ඔව් යමුනාවට තමයි. හැබැයි  වැටෙන කොටම ගිලිනවා අද්රිකා.... මෙයා අප්සරාවියක් වුණාට, භාවනාවේ හිටපු යෝගියකුගෙ ධ්‍යානය කඩන්න ගිහින් සාපයක් වැදිලා මාලියක් වෙලා. නෑ වැරදුනේ නෑ... මාළුවගෙ ගෑණු සතා මාලි කියල මම උපකල්පනය කලා.

දැන් නෙළුම් පැකට් එකේ ආනුභාවය කියන්නේ... මාලි ගැබ් ගත්තා. එයා ගිහින් අහුවුනා දුසරජ්ගෙ දැලට. මාළුවා ගෙනියලා කැපුවාම බබාලම දෙන්නෙක්. කොල්ලයි කෙල්ලයි.

මේවා අපේ කතන්දර වල වෙන්නෙ නෑ ලේසියෙන්. අපේ කතාවෙ මාළුව කැපුවාම තියෙන්නෙ ලබ්බක් විතරයි. මතකයි නේ ද?

ඒ දවස් වල මේ වගේ අස්වාභාවික සිදුවීමක් වුනාම කෙලින්ම මාලිගාවේ තමයි නේ. රජ්ජුරුවෝ බබයි බබයි දැක්ක ගමන් දැන ගත්තා වැඩේ. දුක හිතෙන්නත් ඇති. දඩයමේ නොගියා නං රජ පවුලට හත වෙනවා නේ.... එයාත් ඉතින් වැඩිය කඩන නරක ළමයෙක් නෙවේ නිසාත්  සමහර විට ධීවරයින්ගේ ගති නොගති දන්නා කෙනෙක් නිසාත්, දස්රජ් සොයාගන්නා ගේ අයිතිය ගැන කිව්වාම කෙල්ලව දීලා කොල්ලව අර ගත්තා.

කොල්ලා රජ ගෙදර මත්ස්‍යරාජ... කෙල්ල යමුනාවේ මාළු ගෙදර... මත්ස්‍ය ගන්ධී.... සත්‍යවතී....!

දැන් තමයි බමුණා එන්නෙ කතාවට. බමුණා කියලා මම ලිව්වාට, ඒ වචනෙ හරියටම හරි නෑ ඉතින්. මෙයා ඍෂි වරයෙක්.... වනගත  වෙලා බවුන් වඩලා විතරක් නෙවෙයි... ජෝතිශ්‍යයේ හෝරා ශ්‍රාස්ත්‍රය ගැනත් ලිව්වාය කියන පරාශර නම් ඍෂි වරයා...

එයා එන්නේ ගඟෙන් එතෙර වෙන්න. එදා එයාට අහුවුනු තොටියා ගඟ අයිනේ රස්තියාදු ගහමින් හිටිය තරුණ මත්ස්‍යගන්ධී හෙවත් සත්‍යවතී. නහය එහෙ මෙහෙ වුණත් ටිකක් ඔරුවට නැගල ගඟ මැදට මැදට යද්දී පරාශර ඍෂි වරයාටත් චුට්ට චුට්ට උවමනාව ඇති වුණා කියමුකො. ශ්ලෝකයක් කිව්වා ද, සිංදුවක් කියලා ඩාන්ස් එකක් දැම්මා ද වගේ විස්තර නං හරියට දන්නෙ නෑ....

කොහොමින් කොහොමින් හරි කෙල්ලට කිව්වා උවමනාව... ඍෂි ගොල්ලත් එක විදිහක රජවරුම තමයි නේ... හැබැයි මෙතන ඉතින් බලහත්කාර කමක් නං නෙවෙයි නේ... කිව්වේ උවමනාව විතරක් නෙවෙයි.... ලැබෙන දරුවගෙ ජන්ම පත්‍රයත් එක්කයි. ඒ ළමයා, එසේ මෙසේ කෙනෙක් නෙවෙයි ඉතිහාසය වෙනස් කරන.... කොටින්ම ඉතිහාසෙ සුලමුල ඉඳලම ලියන කෙනාය....  වශයෙන්... ඒකනෙ ඕවට ගුප්ත විද්‍යා කියන්නෙ.

කෙල්ල ටිකක් ගැස්සිල ගියා....  ඉතින් කෙල්ල කියපි " හැබැයි ඉතින් ගඟ දෙපැත්තේ කට්ටිය බලන් ඉන්නේ... කවුරුවත් දැක්කොත් එහෙම... " වගේ කතාවක්.

පරාශර වැඩ කාරයා, මැවුවා මීදුමක් ගඟ පිරිලා වැහිලා යන්න.

දැන් මීදුම පිරුණු යමුනා ගඟ මැද්දෑවේ....

මට මතක් වෙන්නෙ මිල්ටන් ගෙ සිංදුවක් නෙ.

මීදුම ආවමත් තරමක් රෑම නූනත් අන්ධකාර වෙනවා නෙ නේ ද?

ඔරුවක පාවෙන - රෑ ඝණ අඳුරේ..
තොටියෙකි මා මේ - සිතල වතුරේ
ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ...


පායා එන්න සඳේ මට දී ආලෝකේ
පාළු වෙලා මගේ ලෝකේ..ඕ ඇයි...
පාළු වෙලා මගේ ලෝකේ..
තෝරා දෙන්න වහා නැගෙනා මේ සෝකේ
පාළු වෙලා මගේ ලෝකේ..ඕ ඇයි
පාළු වෙලා මගේ ලෝකේ...


ඇගෙ තනිය මකා දී - ඇගෙ ඇසුර ලබා දී
සනසන්න හිතේ දුක පහ කරලා...


ඔරුවක පාවෙන...


මාගේ වෙහෙස නිවා සතපා හිනැහෙන්නේ
කවුද කියා නැත දන්නේ..හෝ කොයි...
කවුද කියා නැත දන්නේ
ජීවේ අඩුව මකා පුරවා සනහන්නේ
කවුද කියා නැත දන්නේ..හෝ කොයි...

කවුද කියා නැත දන්නේ

සිංදුව අහන්නත් ඕන නං මෙතනින් පුළුවන් - https://www.youtube.com/watch?v=Kjv3vMmlfQs

ඉතිං මේ සම්බෝගයේ ප්‍රතිඵල අනර්ඝයි. පරාශර තව වැඩ දෙකක් කලා.

එක, සත්‍යවතීගේ සරුවාංගයේ අර මත්ස්‍ය ගන්ධය අයින් කරලා කස්තුරි සුවඳක් දුන්නා. එසේ මෙසේ සුවඳක් නොවෙයි යොදුනක් දුරට දැනෙන තරමට.... නමත් වෙනස් වුනා ඉතින්. මත්ස්‍යගන්ධී.... යොදුන්ගන්ධී වුනා.

දැන් කෙනෙක් අහන්න පුළුවන් ඇයි මේ සුගන්ධ කිරිල්ල අර සම්බෝගයට කලින් නොකලෙ කියලත්...  මටත් හිතුණ වගේම. දැන් නම් සුවඳ පැන් පූජා කරන්නෙත්, නාන්නෙත් ඔය කල්ක්‍රියා වලට කලින් නෙ. හැබැයි මෙතන වෙනස්...   ඔය යොදුනක් දුර විහිදෙන සුවඳ නවත්තන්න බෑ නෙ මීදුමෙන්...

පනින්න පෙර සිතා බලන්න දන්න අය වැඩ කරන්නෙ හිතල බලලම තමයි.

දෙවෙනි  වැඩේ තමයි බරපතල වැඩේ. දැන් කාලෙ නං මේක වැටෙන්නෙ 'ප්ලාස්ටික් ශල්‍යකර්ම' ගානට. සත්‍යවතී ගෙ කන්‍යා භාවය ප්‍රති නිර්මාණය කලානෙ... හැබැයි පොරොන්දුව පරිදි පුතෙක් ලැබුණ. කළු හින්ද ක්‍රිෂ්ණ කියලත්, ගඟ මැද උපන් හින්ද ද්වීපායන කියලත් කිව්වලු. හැබැයි ප්‍රසිද්ධම නම ව්‍යාස.... මහා භාරත ය අකුරු කරපු එක්කෙනා.

වැඩේ මේකයි... මේකත් මහා භාරතේ එන කතාවක්ම තමයි. එයත් කතාවෙ චරිතයක් එතකොට. ඒක මෙහෙමයි... මෙයා කලේ කතාව අකුරු වලින් ලියන එක... කතාව පටන් ගන්නෙ එයිට බොහෝ කලින්. කතා කිවීමයි කතා ලිවීමයි දෙකක් නෙ. මේ ලියන පුතා ලැබුණත් යොදුන්ගන්ධී වුණු මත්ස්‍ය ගන්ධී ගේ කතාව ඉවර  නෑ.  එයාට එයා ගෙ ඊලඟ රජා මුණ ගැහෙන්නෙ අර යොදුනක් විහිදෙන සුගන්ධය දිගේ බඹර වගේ පියාඹල ආපු නිසා....

ඒ රජාගෙ නම ශන්තානු.... කුරු රටේ රජ්ජුරුවො.... එයාගෙ සුලමුල තියෙන්නෙ ගංගා නදියෙ... ඒක වෙනම කතාවක්.


මුලින්ම කිව්වනෙ... මමත් හොයාගත්තෙ ගූගල් එකේ ගිහින්.  එහෙන් මෙහෙන් කියවල තියන කතා තමයි ඉස්සරම ඉස්සර... මතක අමතක කාලෙ. කොහොමත් මහාභාරතේ ලියපු ව්‍යාසත් බලාන ගියාම එයා හදල ගොතල නෙමේනෙ ලියල තියෙන්නෙ. කලින් හිටපු අය කතා කියපු අයව ගූගල් කරලනෙ.

අපේ ඉස්කෝල වල පැඟිරි කාලේ කොලු කෙල්ලන්ට  මහා භාරතේ ඉගැන්නුවා නං සාහිත්‍යයයි ලිංගික අධ්‍යාපනයයි දෙක තුනම උගන්නන්න තිබුණා නේ ද

මෙන්න සබැඳි:
https://nabayanroy.wordpress.com/2012/09/26/the-story-of-matsyagandha-and-rishi-parashar-and-the-birth-of-krsna-dwaipayana/

http://www.cmi.ac.in/~vimalraj/notes/mahabharata.html

https://en.wikipedia.org/wiki/Satyavati


Continue Reading...

Sunday, September 11, 2016

පල් ලිඳේ වල් වතුර

දුමින්ද සිල්වා එක්ක ඇතුලට ගිය දෙමටගොඩ චාමින්ද ගේ අතේ බැඳලා තියන රත්තරන් පිරිත් නූල් ටිකත්, බෙල්ල වටේ දාලා තියන රත්තරන් කඹ කෑලිත් දැක්කාම බෙල්ලක් වටේ බැඳපු රත්තරන් කඹයක්  ගැන මතක් වුනා

දැන් ඔය රැප් හිපොප් ගායකයෝත්, පවුඩර් බිස්නස් කරන අයත්, ඒ වගෙම ඡන්ද බිස්නස් කරන අයත් කැරට් අල ගෝනි විතර රත්තරන් කඹ කෑලි බෙල්ල වටේ එල්ලාගෙන නැටුවාට, ඔය සිරිත මුලින්ම පටන් ගත්තේ අපේ පැත්තේ මාළු මුදලාලිලා.

ඒවා නියම පවුං රත්තරන් කඹ. ඇඟිල්ලක දෙකක වත් මහත තියන රත්තරන් කඹයක් බෙල්ලේ නැති එකෙකුට මාළු මුදලාලි කෙනෙක් කියන එක තුත්තිරි ගහකට පොල්ගහක්ය කියන්නා වගේ දෙයක්. මේ කඹේ තියෙන්නේ ආරස්සාවට. යක්කුන්ගෙන් නෙමෙයි. හදිස්සියකට අතමිට හිඟයකට ටක් ගාලා බෙල්ල අතගාලා දෙන්න පුළුවන් නේ. දෙන්න ඕනැත් නෑ.... ඕක දැක්කාම ඇති ඕනැ නයෙක් දැපනෙ වැටෙන්න. අපේ ඔළුවලට නයා දැක්කාම එන්නේ නාග මාණික්‍යය නේ. ඒක නිසා දිස්නෙ ගහන රත්තරන් කඹයකින් බැඳලා තියන බෙල්ලක් දැක්කාම ගනුදෙනුත් අමතක කරලා ඒ ගාංචුවක එල්ලෙන්නයි බලන්නෙ.

මතක ඇති කඹේ තිබුණේ තල්විල රූබන් මුදලාලිගේ කරේ.

අර ස්ටීව් ජොබ්ස් තහඩුව නැති කාර් එලවලා වැඩ කාරයෙක් වුනා නේ..... මට මතක හැටියට රූබන් මුදලාලි ඔස්ටින් කේම්බ්‍රිජ් එකක් එලෙව්වා.... ජීවිතේටම ඩ්‍රයිවින් ලැයිසන් අරන් නෑ... කියල එයාගෙම පුතා කිව්වා වගේයි මතක.

අන්න වැඩ කාරයෝ.... තෙප්පමේ මූදු ගිහින් පටන් අරන් මන්නාරම කෝකිලායි පැතිවල ඉඳන් මාළු ලොරිය පිටකොටුවට එවන තරමට බිස්නස් එක අරගන ගියත්, අයිවන් අංකල්ලාගේ ෂෙඩ් එකේ කාර් එක නවත්තලා වටේ පිටේ හතර වටේටම ඇහෙන්න කතන්දර කියනවා ඉස්කෝලෙ ඇරිලා ගෙදර යන බොහෝ වෙලාවල ඇහෙනවා.

ෂර්ට් එකේ උඩ බොත්තං දෙක ගැට ගැහෙන්නෙම නැති හින්දා අර කඹේ පේනවා බොහොම ඈතට. මාළු මුදලාලිලාගේ අතේත් තිබුණා රත්තරන් මාංචු. දැන් එව්වාට බ්‍රේස්ලට කියනවා. පිරිත් නූල් කියනවා. අර චමින්දගේ පින්තූරෙත් අත පිරෙන්න තිබුණා.

රූබන් මුදලාලි, මූදත් එක්ක පොරකාලා ජීවිතේ පීනපු මනුස්සයෙක් වුණත්, මෝඩයෙක් නොවෙයි. පරම්පරා මාදැල් කාර, මුදලි මුදලාලිලා එක්ක තකට තක මාළු බිස්නස් එක කරන්න මෝඩයෙකුට පුළුවන් ද? එහෙව් මිනිස්සු තාමත් ඉන්නවා අපේ රටේ. හොඳ නරක දෙකම අත් දෙකේ ගුලි කරගෙන, යකාගෙ ගෙදර ගිහිල්ලා කුරුසෙ හිටවන්න උනත් බය නැති පරාණ මේ ගොල්ල. හොඳට හොඳයි නරකට නරකයි, කෙලවන්න ආවොත් පුතෝ අතේ අරන් යන්න කැවුත්ත ගලවල දෙන ජාතියෙ උනත්, තමුන් අත තියලා නැගිට්ට පොල් ගහ උනත් හිතේ මතක තියාන ඉන්න උදවිය.

රූබන් මුදලාලිගෙ හෙමින් කතාවක් නෑ නෙ. වැල්ලෙ කාගෙත් ඉතින් හෙමින් කතා නම් නැහැ. ට්රාන්ස්පේරන්ට් කියන්නේ, මේ කෙරෝලේ ගෙදර කතා වෙන දේ, ගව් හතරක් පහක් ඈත  ගෙවල් වල අයත් දන්නවා. නෑ ඉතින් කියන දෙයක් මූදේ ගොරොද්දෙට උඩින් කියන්නත් එපැයි. නිකං ඤාව් ඤාව් ගාලා පුරු පුරු ගාලා ඒ වැඩේ වෙන්නේ නෑ.

රූබන් මුදලාලි එක හැන්දෑවක අපේ ගෙදර ඇවිල්ලා තාත්තාට ලොකු කතන්දරයක් ටෙලි ඩ්‍රාමා  කරලා පෙන්නවා. බොඩි ලැන්වේජ් කියන වචනේ සුද්දෝ හදාගන තියෙන්නේ ඒ වගේ මිනිස්සුන්ව දැකලායි මං හිතන්නේ.

කියපු දේවලින් හොඳටම මතක එක වාක්‍යයක් නං නිතරම මතක් වෙනවා. ඒක අර කඹේ වගේම රත්තරන් කියමනක්. එහෙව් කතාවක් හෘදය වස්තුවේ තියාන වැඩ කරන මිනිහෙකුට වරදින්න විදිහක් නෑ කියලාත් අනන්ත හිතනවා මම.

"නොගන්නා ලිඳේ වතුර පල් වෙන්නා වාගේ.... නොහිතන මිනිහා වල් වෙනවා....!"




Continue Reading...

Friday, September 9, 2016

ගොඩගේ නිවුස්.... - කවි අයිති මහ පොළොවට


"හම්බවුනා කියන්ටකෝ ඉතිං.
හොඳම පොත නම් නෙමෙයි. 
කවිය වෙනුවෙන් කුසලතා පූර්ණ නවක දායකත්වයට. :)"

ගිය දෙසැම්බරයේ පොතක් වුනු කවි පොකුරක් 
මේ විදිහෙන් වේදිකාවකට නගිනවා
දකින්න අහන්න ලැබීම 
සතුටකි. 

බස්සී අපි බොහෝ දෙනෙකුගේ මෙන්ම 
මගේත් ලබැඳියකු නිසා 
නොවෙයි. 

මහ පොළව තියෙන්නේ
 මල් පිපී, පරවී, පල දැරී, වියපත්ව, 
ශ්වේත තප්ත කෙස් කළඹ 
හීන්දෑරි ඇඟිලි තුඩු වලින් පිරිමදින 
මහ ගස් මුදුන් වලම  නොවන බව
කියවා ගන්නට
 සමර්ථ කට්ටියත්
 අප අතර ඉන්නා බව 
හිතුණු නිසාය.

කොණ්ඩ කැවුමක කොණ්ඩය බැඳිල්ල,
නටන තෙල් තාච්චිය මැද්දෑවට 
පිටි කලවම හැන්දක් හලා, 
එක අතකින් තෙල් ඉහින ගමන් 
අනික් අතින් ඉරටුව කරකවා 
කොණ්ඩය බැඳිල්ල
හරියට කරන්නට පුළුවන් 
පැඟිරි කෙල්ලනුත් ඉන්නා බව 
අවබෝධ කරගන්නට සමර්ථ වීමත්, 

බස් එකේ යන ගමන් 
ජංගමේ කොටා
 සයිබරයේ බෙදන 
සාරවිටේත් තියෙන්නේ 
බුලත් පුවක් හුණු දුංකල 
කරඳමුංගු කරාබු නැටි 
සාදික්කා වසාවාසි 
ඉඟුරු පියලි කොත්තමල්ලි 
ආදී වූ මහ පොළවේ වැවෙන 
අඩුම කුඩුමම බව
දැන තේරුම් ගැනීමට
සමර්ථ වීමත්,
දියුණුවේ ලකුණක්ම වෙයි.

තාච්චිය මැද්දට අච්චුව තියා
අච්චු කැවුම් ගහන අයත්
අතු අග පිපි මල්
ෆොටෝ කොපි කර
ෆොටෝ ෂොප් කර
රාමු කර
බිත්තිවල එල්ලන අයත්
සයිබරයේත් ඉන්නා බව
රහසක් නොවේ.

එමෙන්ම
සයිබරයේ පිපුණත්
දිය මතින් නැගී
උදේ පායන ඉරට
පෙති පුම්බා
රතු හිනා හිනාවෙන
නෙළුම් මල් වල
නටුව කෙලවර
දිය යට මඩ අතර
ජීවිතය උපද්දන
නෙළුම් අලයක්
තිබෙන බවත්
රහසක් නොවෙයි.

මේ දේවල් නම්
හැමදාම පාවුනු වලාකුළුය.
පත්තර කලාවේත්
පොත් ලියන කලාවේත්
සිංදු කවිකර කවි සිංදු කරන කලාවේත්
ඕනෑම ඉතිහාස යුගයක
ඔය හැම දෙයක්ම
ඔය හැටියෙන්ම සිදුවී තිබේ.

පිපෙන පෝච්චිය
කොහේ තිබුණත්
මලේ සුවඳ අඳුනන එකාට
ඒක මලක් බව තේරුම් ගන්නට
පෝච්චියේ පැටිකිරිය
වැඩක් නැත.

කවිකමත්
කලාවත්
සාහිත්‍යය උරුමයත්
ගලායන ගංගාවන්මය.

ගලායාම තියෙන්නේ
ජීව ගුණය තියෙන්නේ
බිඳී කැලතී
දසන් පෙන්වා හිනාවෙන
රැළි පොඩිති තුල මිස
නිවී සැනහී
බවුන් වඩන
නිසල දිය කඩිති වල නොවෙයි.

සුබ පැතුම් බස්සී....!


Continue Reading...

ඔබ ගැඹුරු නින්දක - මාලතීගෙන් අලුත් කවි පොතක්



මාලතී කල්පනා ඇම්බ්‍රෝස් ගේ "ඔබ ගැඹුරු නින්දක" කාව්‍ය සංග්‍රහය ජනගත කිරීමේ උළෙල, 2016 සැප්තැම්බර් 10 වන සෙනසුරාදා, සවස 3:00 සිට 6:00 දක්වා, කොළඹ මහවැලි කේන්ද්‍රයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙයි.

දේශන
ලියනගේ අමරකීර්ති
චූලානන්ද සමරනායක

මෙහෙයවීම
ධනුෂ්ක ගනේගොඩ

ඔබ ගැඹුරු නින්දක, සන්ථව ප්‍රකාශනයකි.
----------------------------------------------------------------------------------------------

මාලතී මට හමුවන්නේ 2009 ඔක්තෝම්බරයේ දවසක බූන්දියේ කවි පෙලක් තුලිනි. අවතැන් වූවන්ගේ කඳවුරේ සිටි රාධා, සුන්දරම්ට ලියූ ලියුම.....

දිවිවොතින් ආයෙත්
කටු කමිබි වල පැටළෙයි
බැලුවොතින් නෙත උස්සා
යළි හිස නගනු බැරි වෙයි
ගැළුවොතින් එක කඳුලක්
මුළු පරපුරම අළුවෙයි

ඒ නිසා හිරි වැටී ඉන්නෙම්..
නෑසෙන්න හුස්ම ගන්නෙම්....

ඔබ ඔතැන නිදන තුරු.

මේ,
ඔබේ,
රාධා
http://boondionline.blogspot.com/2009/10/blog-post_3469.html

කියා නවතන මාලතී, ඒ කතාව තවමත් අවසන් නැති වග අපේ සිත් සතන් වලට තට්ටු කර කියන්නට දෝ මේ සැප්තැම්බර දහවෙනිදා අපේ අත පත් වන ඇගේ දෙවන කව් එකතුව නම් කරන්නේ "ඔබ ගැඹුරු නින්දක" නමිනි.

ජීවිතය නම් නැරඹිය යුත්තකි. ජීවිතය නම් විඳිය යුත්තකි. එය නරඹන්නේත් විඳින්නේත් අපම මෙන්ම, රඟපාන්නේත් අපමය. එහෙත් අප බොහෝ දෙනෙක් බොහෝවිට කරන්නේ නම්, ජීවිත රඟහලේ හොඳ අසුනක් සොයමින් එහා මෙහා ඇවිදීම මිස ඇස් ඉදිරිපිට සිත් ඉදිරිපිට දිගහැරෙන දේ නැරඹීම, විඳීම නොවේ. ඒකත් බොහෝවිට කෙරෙන්නේ අප වටා ලෙලදෙන අත්වලින් ඇදෙන නූල් වලින් බැඳුනු අපේ අත් අපේ සිත් ඒ නූල් ඇදෙන ලිහෙන තාලයට ඇදෙන ලිහෙන නිසාම වෙන්නටත් පුළුවන.

කවි හා කතාන්දර මැවී ඇත්තේ එහෙයිනි. අපට මගහැරෙන අපට දකින්නට විඳින්නට අවකාශ නැති වුනු, නැති වන, දැකුම් විඳුම්, නෙතින් අතගා, හිතින් ගලගා, අපේ ආත්මයන් තුලට මුදා හරින්නටය.


ඉතින්, මාලතී ගේ කවිපොත අතට එනතුරු මමත් නොනිදා බලා හිඳිමි.

-ලොකු

මාලතීගේ බ්ලොග් අඩවිය: http://hapifly.blogspot.com

බූන්දියෙන් ඇහිලූ මාලතීගේ තවත් කවි දෙකක් පහල

කවි බූන්දි
ගිළිහෙන ස්මෘතිය, එනම් රික්තයක මතකය
Malathie Kalpana Ambrose | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
බූන්දි, අඟහරුවාදා, මාර්තු 1, 2016 01:08:14


මතකයන් බිඳෙන් බිඳ
ගිලිහෙන විට
කාලයට නමක් දිය යුතු නම්
ශෝකය යයි කියනු මැන

දෙඇස්වල අවසාන එළි පොද
නිවී නො නිවී සිඳි යන විට
ප්‍රේමයට පර්යාය පද අවැසි නැත,
ඉඳහිට වැළඳ ගනු මැන

බෙදා ගත් දිවියක
සදාකාලික මතකය
කිසිවකින් මකනු බැරි බව
නිදාගත් මා හෘදයට
නිරතුරුව සිහිපත් කර දුන මැන

රික්තයක් තුළ නිහඬ ගොළු බව
දරා ගනු බැරි දිනයෙක,
සමු ගැනුම් අවැසි නැත
කිසිත් නොකියා ඉවත යනු මැන

කළු කුහරයක් මැද
අරුත් ගිලිහුණු ස්මෘතිය
කිසිත් නොහැඟෙන ශුන්‍ය දෑසක
ඇස් පියන් යට තබා යනු මැන

හිස්කමක් මිස කිසිත් නො පෙනෙන
අන්ධකාර ම හදක පතුළත
මිදී ඝන වී කියනු බැරි වූ
ආදරය නම් දෙයක් තිබුණෙය,
එයම පමණක් රැඟෙන යනු මැන.

29-02-2016

*ස්මෘතිය අහිමි වීම විසින් එදිනෙදා පුරුදු බොහෝ දේ අමතක කර දමයි. ඇතැම් විට මනස හිස්වෙයි-හුරුපුරුදු කිසිවක් සිහියට නඟා ගනු බැරිවෙයි.


හේමමාලි | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[බූන්දි| ඉරිදා, අගෝස්තු 26, 2012]

රත්න ශ්‍රී විජේසිංහගේ පිය බිරිඳ ඊයේ සමු නොගෙන ම ලොවෙන් නික්ම ගොස් තිබුණි.

ඈත ලේන කුලයේ සිට පෙරුම් පුරා
දෑත නො හැර ළඟ හිටියේ කඳුළු දරා
සේම අහස දිය දී සෙනෙහස වපුරා
හේමමාලි වී ඉපදුණ යසෝදරා

තුන් යම බුදු පහන වෙවී ඇවිලෙන්නේ
ඒ එළියයි කවියට විවරණ දුන්නේ
ගේ මැද ගේ කුරුල්ලනි ඇයි නො කියන්නේ
හෙවණැල්ලක් කොහොමද සමු ගෙන යන්නේ

දුරු අරණේ මල් නො පිපුණ හවස් කල
දරු පැටවුන් රැක නො නිඳා පහන් කළ
තටු ඇවිදින් උන් ඉගිළුණු දවස්වල
තටු විහිදා මා රැකගත් කිරිල්ලිය

රාත්‍රියක වැළපෙන ගුරු තරුව අරා
බේත් පොවා ළය අත ගා වරින් වරා
පිටත් වුනේ අල්ලා ගත් අත නොහැරා
මටත් කලින් බුදු වෙන්නද යසෝදරා

පේන පේන පඳුරේ මල් පූදින්න
රෑන රෑන ආ ගිරවුනි නාඬන්න
හීන හීන නොමවී හෙට එළි වෙන්න
හේමමාලි එක පාරක් යළි එන්න
Continue Reading...

Saturday, September 3, 2016

අරටු නැති උණ බට

අරටු ඇති මහ ගස් බිඳී
පොළොව සිඹ පණ නල සිඳී
නිදන දවසෙත් ඔද බිඳී
අරටු හිස් බට සැප විඳී

සුළඟ සුලිකන දඟ බලා
නැවෙන අතකට ඇඹරිලා
දෙදණ බිමගා හිස උලා
ඉඳිති බට ගස් බේරිලා

වැටෙන මහ තුරකට වුනත්
අයින් වී ඉඩ කඩ සදත්
හෙවන දෙන්නට නෑ සමත්
ඒත් බට ගස් ගස්ම වෙත්

ක‍රුණු දැන නොදැනම වුනත්
ඇටසැකිලි මිස මස නොවෙත්
ඉහල නගිනා හිණි මගෙත්
තොරණ කනපිට වාරුවෙත්

සරුංගලයක රාමුවේ
පාට කරදහි හිනාවේ
නූල කෙලවර සීරුවේ
කල් බලන හෙනහුරා වේ

වුනත් අද මොන මොන ගහක්
ඇතොත් අපලය අරටුවක්
රැඳෙනු නම් ඇතිවී හෙටක්
වියොත් වෙනු බට උණ ගහක්

2016 ජූලි


Continue Reading...

Blogroll

About