Thursday, October 19, 2017

අන්දර කැලේ දර ලීයේ කුරුමිණියා

Share it Please

අපි පුංචි කාලේ පී.ජී. මාටින්ස් සමාගමේ, ඩී.අයි. ලෙදර් සපත්තු ජෝඩුවක් ගත්තාම තරමක කාඩ්බෝඩ් පෙට්ටියක් ලැබුණි. මේ පෙට්ටියකින් මං හදාපු රේඩියෝවක් අපේ ගෙදර ජනෙල් උළුවස්සක් උඩ සෑහෙන කාලයක් තිබුණා මට මතකය. අපේ අම්මාට මං කරාපු ඔය වගේ දේවල් ඉතාම අගේ විය. මේ රේඩියෝවේ, ඩයල් එක, ස්විචි යතුරු ආදී අංගෝපාංග සේරම ලස්සණට අමුණා තිබුණ ද, ඒක වැඩ කරන්නේ නැත. පේන ටික ඒ වාගේම පේන්නට හදන්නට මට ඒ කාලේත් සෑහෙන දුරට පුළුවන් නමුත් නොපෙනෙන ටික හදන එක නම් බැරෑරුම් කාර්යයක් වෙයි. ඉතින්, සපත්තු පෙට්ටියේ පැස්ටල් පාට අතුරා අරක්කු මූඩි අලවා හදා තිබුණ රේඩියෝවට මොන ජංජාලය කලත් සිංදු කියවන්නට නම් නොහැකි විය.

සංගීතය සම්බන්ධයෙන් මගේ බොහෝ අත්දැකීම් ඔය අහලින් යන ඒවා වෙයි. හතරේ පහේ ඉන්නා කාලයේ, වෙන්නප්පුව පල්ලියේ මංගල්ලයක් දවසක දී, පාරෙන් එහා පැත්තේ මඩමේ තාප්පය අයිනේ හරස් අතට අල්ලා පිඹින බටනලා ගොඩක් ලඟ වෙලෙන්දෙක් හිංදිදෝ මංදා ඉතාම මියුරු වාදනයක් වයමින් සිටියේය. අනික් මිනිසුන් ළමයින් වාගේම මේ සංගීතයට තුෂ්නිම්භූත වී සවන්දුන් අයියාත් මමත්, අතේ තිබුණු මුදල් එකතු කරලා බටනලා දෙකක් මිලදී ගතිමු. කෙලින් අල්ලා පිඹින, කට තියන කෙලවරේ ඉපියාවක් රැඳවූ බටනලාව, නිකම්ම පිම්ඹත් හඬක් උපදවන නමුත්, හරස් අතට අල්ලාගෙන පිඹින, මේ හිල් විදපු බට කෑල්ලට කොච්චර පිම්ඹත් නැගුනේ සූස් සූස් ගාන හුළං සද්දය විතරම ය. ඒ වුනත් අර වෙලෙන්දා මේ වාගේම බට කෑල්ලකින් නැගූ අච්චර සංගීත ස්වර හිතේ තිබුණු අපට මේක ඉගෙන ගන්නා එක අත අරින්නට හිතුණේ ද නැත. ගිනිපෙට්ටියක් නැති වෙලාවක, නිවිච්චි අඟුරු කැටයකට පිඹලා පිඹලා පිඹලා ගිනි දල්ලක් නග්ගා ගන්නවා වගේ මේ හිල් බට ලීයෙන් යාන්තං සංගීත ස්වරයක් මතුකරගන්නට මට පුළුවන් වුනේ ඒ සති අන්තයම ආච්චිලාගේ ගෙදර සාලයේ පුටුවක් උඩට වී, පිඹලා පිඹලා පිඹලා ය. එදා ඒ දවස, ඒ මොහොත නං, අපේ අයියාව පරද්දා යමක් කල දවසක් හැටියට තාමත් මතකයේ තිබේ.

සද්ද කිරීම එකකි. සංගීතය තව එකකි. සංයමයකින් සද්ද කිරීම කියා හිතෙන්නට පුළුවන් නමුත්, සංගීතය කියන්නේ නලාවකුත් සංයමයකුත් විතරක්ම තිබුණාට කරන්නට පුළුවන් දෙයක් නොවේ. අර ඩී. අයි. පෙට්ටි රේඩියෝව වාගේම ඒකට තවත් පරිපථ කීපයක්ම හරියට සකස්වී ඇවිණිී තිබිය යුතුය. කෙසේ වෙතත්, බටනලාව පිඹීමත්, එහා මෙහා වී, චප්ප වී තැලී වාගේම රණ්ඩු දබර වලදී පාවිච්චියට අරගෙන පැලී කැඩී ගියත්, අවස්ථාවක් ලැබුණාම අර වාගේ පල්ලි මංගල්ල වලදී, හරහට පිඹින බටනලාවක් මිලදී ගන්නා එකත් කොහොමටත් එයින් පස්සේ මගේ සෙල්ලමක් වී තිබුණි. මේ නලා වාදනයට ඉස්සර නං මගේ සංගීත භාණ්ඩය වුනේ ඩොලැක්කියයි. මං හිතන්නේ අපේ ගෙදර අය මං ඩොලැක්කිය ගහනවාට වඩා බටනලාව පිඹින එකට මනාප වන්නටත් ඇත.

බටනලා පිඹීමේ හැකියාව පුරුදු පුහුණු කරගැනීමේ වැදගත්ම ප්‍රයෝජනය වූයේ නවසිය හැට අටේ විතර අධ්‍යාපන සියවස වෙනුවෙන් පාසල් තූර්ය වාදක කණ්ඩායම් හැදූ කාලයේ දීයි. අපේ ඉස්කෝලේ සංගීත සර් වූයේ භාත්ඛණ්ඩේ ගිය සිතාර් වාදකයකු වූ ජස්ටින් සිල්වා සර් ය. කවුරු කොහොම තීරණය කලාද දන්නේ නැතත්, මුලින්ම සිදුවූයේ තූර්ය වාදක කණ්ඩායමට සංගීත භාණ්ඩ මිලදී ගෙන ඒමයි. ඒවා අතර පිත්තලෙන් සාදා ක්‍රෝම් ආලේප කල බටනලා අඩුම ගණනේ දහයක් විතර තිබුණි. මේවා ඇඟිලි තියා හිල් වැසිය යුතු හරස් අතට හිලට කට තියා පිඹින පෙරදිග ඒවා මිස, ඔබන්නට බොත්තම් ඇති අපරදිග ඒවා නොවේ. අර මං පිඹ පිඹා හිටි එක ජාතියේම මුත් බටය පිත්තලය.

භාණ්ඩ ගෙනවිත් වාදකයින් තේරීම පටන් ගත්තේ බටනලා පිඹින්නට පුළුවන් අය තේරීමෙනි. අපේ මුළු පන්තියෙන්ම ස්වර සද්ද වෙන්නට මේ බම්බුව පිඹින්නට පුළුවන් වුනේ එක් කෙනාටය. ඉතින් අපේ පංතියේ ප්‍රථම තූර්ය වාදක කණ්ඩායම් සාමාජිකයා වූයේ මමයි. ආරම්භය බට නලා වාදනයෙන් වුනත්, අර පිත්තල බම්බුව හරස් අතට උස්සාගෙන පිඹින ගමන් සරඹ කරන වැඩේ කාටවත් හරිහමන් විදිහට කරගන්නට බැරිබව ඉතා ඉක්මනින්ම පැහැදිලි විය. තූර්ය වාදක කණ්ඩායමේ බටනලා කාරයින් සියලු දෙනාටම බටහිර වාදන භාණ්ඩයක් වූ මෙලෝඩිකා ආදේශ විය. ඒකේ පිඹීම විතරය. ස්වර අල්ලන්නේ පියානෝ ආකාර යතුරු පුවරුවක යතුරු ඔබාලාය. වැඩේ ලේසිය. පුරුදු පුහුණු වී වාදනය කරන්නට සිද්ධ වුනේ සිංදු තුනකි. ජාතික ගීය, වැඩ හුරුවීමේ ගීය හා සැමදන මන දිනු සියවස් ගීතයයි. හොඳ වෙලාවට ඊරියගොල්ල මහත්තයා ඒ දෙකට අමතරව වෙන සිංදු ලිව්වේ නැත. සියවස එකසිය එක දෙක වෙන කාලය වෙද්දී, තූර්ය වාදක කණ්ඩායම් ද හීන් සීරුවේ අභාවයට ගියේය. ඒ අතරතුර ඩඩ්ලි සේනානායක පිළිගැනීමේ උත්සවයකට ඇරෙන්නට වෙන වැදගත් දේකට තූර්යවාදනයක් සඳහා සහභාගි වුනා මතකයක් නැත. අර සිංදු තුනට අමතරව හරියටම සංගීත භාණ්ඩ වාදනය කල හැකි අය ඉස්කෝලේ කටයුතු වලදී අර භාණ්ඩ වාදනය කලත්, යුනිෆෝම් ඇඳලා කල්බලමින් මෙලෝඩිකා පිඹීමේ වැඩේ එතනින් අවසාන විය.




මගේ බටනලා පිඹීමේ ඉතිහාස කතාවේ දෙවන අදියර ඇරඹෙන්නේ නවසිය හැත්තෑ එක දෙක හරියේ දීයි. ඔය කාලයේ දී මෙලෝඩිකා එක නිසා බටනලාවෙන් දුරස් වී සිටි මට බටනලාවක් හදන්නට කල්පනාවක් ආයේය. වැඩියම මේකට හේතුවුනේ ඒ කාලයේ හා හපුරා කියා වෙළඳ පලට ආපු ප්ලැටිග්නම් පාට කූරුය. මයියොක්කා බඩයක් වැනි තුඩක් සවිකල ප්ලාස්ටික් බටයක් වූ මේවායේ ඇතුලේ ඇත්තේ මොනවාද යන සාධාරණ ප්‍රශ්නයට විසඳුමක් සෙවීම ප්‍රධානම කාරණයක් විය. අනෙක් කෙලවරේ ඇති සුදු ප්ලාස්ටික් පියන පරිස්සමින් අයින් කලාම, ඇතුලේ ඇති පොලිතීන් බටයක පුළුන් පුරවා තිීන්ත පොඟවා සාදා ඇති තීන්ත බටය අහකට ගන්නට පුළුවන් බව දැන ගැනීමට වැඩිකල් ගියේ නැත්තේ, මේ මුල් පාට කූරු වියලී නොලියවී යෑමේ ලෙඩක් ද තිබූ නිසාය.
දම්පාට ප්ලැටිග්නම් කූරක ප්ලාස්ටික් බටයක ලිපේ දමා රත්කර ගත් කම්බි ඇණයකින් සිදුරු හදා සෑදූ මගේ මුල්ම බටනලාවේ ස්වර හිල් තිබුණේ තුනකි. හිල් තුනේ නළාවේ, හරියටම ස්වරම නොවූ හඬවල් හයක් විතර ගන්නට පුළුවන් නිසා, ටිකක් වැර වෑයම් කර බෙග් ගේ "ඔය හද පතාල ආමී" හෝ එහෙම නැත්නම් මිල්ටන් ගේ "දෙව් දුව පලා ගියා දෝ" සිංදුවල මුල් හරිය වගේ මට ඇහෙන තාලයක් නගා ගන්නට පුළුවන් විය. දවස් දෙක තුනකට පස්සේ දවසක කොළඹ ගිය අපේ තාත්තා, බොම්බේ හාර්මෝනියම් එකෙන් මට 'C' ෆ්ලූට් එකක් ගෙනැවිත් දුන්නේ ය. අර කොට ප්ලැටිග්නම් බටයේ උච්ච ස්වර ඉහලටම ඇසී තිබුණි.

අපේ ගෙදර කවුරුවත් සංගීත කාරයෝ නුවූහ. ඒ නිසාවෙන්ම තමුන්ට බැරි දේ පුළුවන් උන් ගැන යම් ඇගැයීමක් ගෞරවයක් තිබුණා විය යුතුය. එසේත් නැත්නම් අර ප්ලැටිග්නම් කූරේ කාන්හාර් නාද රටාව අහලා අහලාම ඇතිවෙලා තිබුණා වන්නටත් පුළුවන. ගෙදර කවුරුවත් මට පිඹින්නයැයි ඇවටිලි කරනවා මතක නැති වුනත්, ඉඩක් ලැබෙන හැම වේලාවේම පාහේ බට නලාව 'අත්හදා' බැලීම මගේ සිරිතක් බවට පත්වුනේය. අපේ රටේ හැම දේම වගේම මගේ සංගීත ජීවිතයත් හැඩ ගැහුනේ වෙනස් වුනේ දේශපාලනික හේතු සාධක මත බව මෙතෙක් කියවූ දේවලින් පැහැදිලි වන්නට ඇතැයි සිතමි. මේ පසුව ලියවෙන දේවලටත් ශ්‍රී ලාංකික දේශපාලනය සියයට සියයක්ම පාහේ දායක වී තිබේ. මේ ප්ලැටිග්නම් කූරෙන් වස්දඬු නලාවට පරිවර්තනය වූ යුගය වනාහී, ඩඩ්ලි සේනානායකගේ හත් හවුල් ආණ්ඩුව නිල කාලය වූ පුරා පස් අවුරුද්දක් රට පාලනය කර හැත්තෑවේ ජන රැල්ලට හසුවී ගසා ගෙන ගිය යුගයයි. මෙවැනි පරිවර්තනයකින් පසු අපේ ගම් පලාත්වල සියලු කටයුවලත් පාට මාරු වීම සාමාන්‍ය ස්වභාවයයි. මේ කොළ නිල් මාරු කිරිල්ල හොඳින්ම එළිපිටම වෙන්නාවූ ස්ථාන දෙකක් තිබේ. එකක් පොලිසියය. අනික් එක පාසැලය. අපේ ඉස්කෝලේ සිද්ධවූ මාරු වීම් අතර එක් මාරුවක් වූයේ සංගීත සර් වූ ජස්ටින් සිල්වාගේ තැනට කුවින්ටස් ජයකොඩි සර් පත්වී ඒමයි.

මට යාන්තම් මතක හැටියට නුවර පැත්තේ පාසලක සිට පැමිණි ජයකොඩි සර්, සිය යාව ජීව ගෝල බාලයන් හතර පස් දෙනෙකුද ඒ සමගම රැගෙන ආයේය. ඒ හැමෝම උත්පත්තියෙන්ම සංගීත කාරයෝ වූහ. ජන්ම ලාභයෙන්ම සංගීතය අතේ කණේ පලඳාගෙන පැමිණි උන් අපේ පන්තිවලද නොහිටියා නොවන මුත්, ඒ වනතුරු සංගීතය විෂයයක් ලෙස හදාරා සංගීත කාරයින් වෙන්නට හිතූ පැතූ අය අපේ පාසලේ, මා දන්නා තරමින් නම් හිටියේ නැත.  ගායනා නාට්‍ය වැනි දේ එයිට කලින් අපේ ඉස්කෝලේත් අඩු නැතුව කෙරුනා මුත්, අළුත් විදුහල්පති වූත් සාහිත්‍යකාරයකු කලාකාරයකු  වූත් පැන්ටලියන් සර්ගේත් ජයකොඩි සර්ගේත් සංයෝගය සංගීත හා කලා කටයුතු වල අළුත් පුනරුදයක් ඇතිකල බව නම් නොරහසකි. ඇත්තෙන්ම ජයකොඩි සර්ගේත් ඒ කිට්ටුවම වාගේ පැමිණි නැටුම් සර්ගේත් ආගමනය කල්යල් බලා පිඹුරුපත් සාදා කෙරුණු වෙනස්කම් විය යුතුය. ඒ බොහෝ දේ පසුපස, සිටි බලවේගය විදුහල්පති වූ පැන්ටලියන් සර්ම වියයුතුය.

සංගීතයට කෙසේ වෙතත්, බටනලාව පිඹින්නට හැකියාව තිබීමේ හේතුව නිසා, ජයකොඩි සර් හැදූ සංධවනි කණ්ඩායම නොහොත් ඕකෙස්ට්රා එකේ සෙල්ලම් කල බටනලා කාරයින් තුන්දෙනාගෙන් එකකු වීමේ වාසනාව මට ද උදාවිය. ලියන්න උත්සාහ කරමින් වටේ ගිය කතන්දරය පටන් ගන්නේ එතැනිනි. ලියාදුන් ස්වර ටික තාල් නොවරද්දා පිඹීමේ විස්මිතය පුරුදු පුහුණු වීමෙන්ම ප්‍රගුණ කරගන්නට පුළුවන් වූ නිසාවෙන්, ෆ්ලූට් කෑල්ලකින් ආරම්භ වූ මේ සංධවනිය, මණ්ඩලයෙන්, දිස්ත්‍රික්කයෙන් මුල්තැන දිනා වයඹ පලාත් තරඟය දක්වාම දුර දිග ගිය අතර, කුරුණෑගල මලිය දේවයේ තිබුණු පලාත් තරඟය දවසේ, ජයකොඩි සර්ගේ යාළුමිත්‍රකමට භාණ්ඩ සුසර කරලා කණ්ඩායමට උපදෙස් උපදේශන දෙන්නට ආ කපුගේ එක්ක කතා බහ කරන්නට (අහගන ඉන්න එකත් ඉතින් කතා කිරීමක්ම තමයි නේ ද?) ලැබුණ වාසනාවත් ගෙනායේය.

නම ගම කොහොම වුණත් නැටුං සර් කියා අප හැඳින්වූ නැටුං සර් මේ හැම දේකදිම සයිඩි සපෝට් කාරයකු වූ අතර, සංගීතයත් නැටුමුත් දෙකම කරන කොල්ලනුත් සිටි නිසාත්, නැටුම් වලට බෙර වැයුමත් සංගීතයක්ම වූ නිසාත් ජයකොඩි සර් ඉන්නා තැනක නැටුං සර්රුත් ඉන්නා එක සාමාන්‍ය සිරිත වී තිබුණි. දිස්ත්‍රික්ක නැටුම් තරඟ වලට පුරුදු පුහුණු කල පාරු කවි කණ්ඩායමේ රැඟුමට සංගීතයකුත් එකතු කරන්නට නැටුං සර්ට හිතෙන්න ඇත්තේ මේ සංධවනි වැඩ නැගලා ගිය නිසා වන්නට පුළුවනි.

ඒකට මුලින්ම අල්ලාගෙන තිබුණේ හත්මුතු පරම්පරාවක්ම සංගීත කාරයින් වූත්, ස්කෝල පිට්ටනියේ සංගීත සංදර්ශන යේ පැට්රික් දෙණිපිටිය ඇතුළු සියැක් වාදක කණ්ඩායමේ වාදන වල වුණත් අවුට් යන තැන් ෆ්ලැට් යන තැන් කියා පෙන්නනට තරම් තියුණු කර්ණක්කාරයකු වූත් වයලින් එක දිහා ඈත ඉඳලා බලලා මියුසික් ගහන්නට පුළුවන් ලූෂන් ය. බෙරයත් වයලීනයත් ඕනෑ පදම් ඇති වුනත්, නැටුං සර්ට මේ රංගනයට ෆ්ලූට් කාරයකුත් ඕනෑම වූ හින් දා, හලාවත තරඟයට දවස් තුන හතරක් තියලා ජයකොඩි සර්, 'මෙන්න මේ ආන්ජලෝව අරන් යන්න' යි නැටුං සර්ට කීය.

ස්වර නැතුව පිඹින්න බෑ, තාල් අහුවෙන වා හොරයි ආදී නොයෙකුත් කතා කියලා පින්සෙන්ඩු වුනත් ජයකොඩි සර්ගේ රෙකමදාරුව හින්දා 'මේක ගහන්ඩ ඕයි මහ කජ්ජක් ද? පිඹිනවා පිඹිනවා...' කියා කොචොක් කෙරුවා මිස, ඒ තැනක එක සීරුවට ඉඳලා මගේ නලා පිඹිල්ලේ ගුණා ගුන බලන්නට නං නැටුං සර්ට ඉස්පාසුවක් තිබුණේ නැත. නැටුම පුරුදු වෙන වෙලාවල නටන උන්ගේ කකුල් එහා මෙහා වෙන එකත්, බෙරය ගැහිල්ලේ සිහියත් මිස, ලූෂන්ගේ වයලින් සද්දය අනුකරණය කරන්නට මා ගත් අසාර්ථක උත්සාහය ගැන සර්ගේ ඇහැ කණ යොමුවුනේ නැත. කෙසේ වෙතත් එහෙන් මෙහෙන් ස්වරයක් දෙකක් අල්ලලා ලූෂන්ට සප් එකක් දීලා වැඩේ ෂේප් වෙන ගතියක් තිබුණු හින් දා මගේ දාඩිය දැමිල්ලත් යං තරමකට පදං වී ගියේය.

නැටුම පාරු කවි කිය කියා කොල්ලන් පේලි දෙකක් පාරු පදින දර්ශනයකි.

ඔයින් මෙයින්, දිස්ත්‍රික් තරඟයට ගිහින් හලාවත පල්ලිය ලඟ ඉස්කෝලේ පන්ති කාමරයක නටන කට්ටිය ඇඳුන් අඳින වෙලේ නැටුං සර්ට හදිස්සියේම මියුසික් කාරයින්ටත් පාරු කාරයින්ගේ ඇඳුං අන්දලා වේදිකාවට නැග්ගවීමේ මහා භයානක අදහස ආයේ ය. මිනිහා කිව්දේ කරන, කරපු දේ කියන හිතේ කහටක් නැතුව තොලකට තෙමාගන්නා අහිංසකයකු වූ හින්දා, මගේ පිංසෙංඩු වීම ගණන් ගත්තේ නැත. ඉතින් සරොං කොට ඇඳලා ඉන වටේ ලේන්සු බැඳලා, ඔළුවට තලප්පාවලුත් බැඳගෙන ස්ටේජ් එකේ පාරු කාරයින් එක්කම පාරුවේ වැනෙන්නට වීම ලූෂන්ට කෙසේ වෙතත්, මට නං සිද්ධ වීම පාරුවේ පුවක් කියාම මිස වෙන විදිහකින් හැඳින්විය හැකි නොවේ. කි

ඒකත් මගේ නොව නැටුං සර්ගේ ය.

ඒ කියූ කවි වලින් මතක හිටියේ පද දෙකකි....

අන්දර කැලේ දර ලීයේ කුරුමිණියා
කන්දර ඇලේ ලිර දායේ මිරිකුණියා.....


නටන උන් හරියටම නැටූ අතර ලූෂනුත් හරියටම වයලින් එක ගැහුවත්, අයිටම් එක ඉවරවෙලා ඔළුව නවාගන ස්ටේජ් එකෙන් බහිද් දී, "මොනාද ඕයි අර පිම්ඹේ...?" කියා ඇසූ නැටුං සර්ට, "මං කිව්වනේ සර් මට මියුසික් බෑ කියලා" කියා කියන්නට තරමට නං මට සිහිය තිබුණි.

නැටුං තරඟ කට්ටිය දිස්ත්‍රික්කයෙන් එහාට ගියේ නැත.






5 comments:

  1. Replies
    1. ඉතුරුය හිතෙන්නේ ඒවා විතරයි. එව්වාත් ටික ටික දියවෙනවා නේ....!

      Delete
  2. ගුණදාස මාමාට සූස්තිය ඔතා ගැනීමට පාවට්ටා කොල කඩා තවා දීමෙන්ද කුරුම්බා කපා දීමෙන්ද ලත් බට නලා වාදන පරිචයක් තිබුනා මටත්..ස්වර ගැන මෙලෝ හසරක් දන් නැති ගුණේ මාමා තනිකරම සද්දෙ අනුව නළා ගහන්නෙක්..ඉස්සෙල්ලාම පුරුදු උනේ ""පෙම් කැකුළ පිපී එන විට මහදේ""හරියකට පිඹගන්ට බැරි උනත් අවුරුදු 45 කට විතර පස්සෙත් තාම බටනළාවක් අල්මාරියෙ තියෙනව

    ReplyDelete
    Replies
    1. අන්න සිංදුවක්....!
      කණට ගැහිල්ල මං හිතන්නේ උපතින්ම පිහිටන පිහිටීමක්.

      Delete

Blogroll

About