Sunday, January 29, 2023

සම්ප්‍රදාය - හබීබ් ජලිබ්

Share it Please

 



සම්ප්‍රදාය - The System
-හබිබ් ජලිබ්

මාළිගා මැදුරු තුල පමණක්ම දිදුළන එළිය
ගිනිලා දවයි සෙවනැලි අතර සැඟවුණු මිනිසුන්ගේ සතුට සැනසුම
උන්ගේම දුබලකම් වලින් උරා උදුරාගෙන ශක්තිය
එවන් වූ සම්ප්‍රදාය...
ආලෝකයක් නොමැති අරුණෝදය...
පිළිනොගන්නෙමි මම... !
හෙලා දකිමි මම... !



බිය නොවෙමි මම මරා දැමුවත්
ලෝකයම දැනගනීවි මා පණ පිදූ වග
බිය කල හැකිද මා දඟගෙදර පවුරින් වටකර... ?
මේ ගැබ්බර වූ විනාශය...
අමනකමේ රාත්‍රිය...
පිළිනොගන්නෙමි මම... !
හෙලා දකිමි මම... !

"කැකුළු මල් පීදේය අතු අග" ඔබ කියයි මට
"සෑම බඳුනක්ම පිරී ඉතිරේ" ඔබ කියයි මට
"ඔය තුවාල ඉබේම ඒවාම සුව කර ගනීවි" ඔබ කියයි මට
අපේ නුවණැසට ගරහන...
මෙවැනි නිර්ලජ්ජී මුසාවාද‍...
පිළිනොගන්නෙමි මම... !
හෙලා දකිමි මම... !

සියවස් ගණනාවක් පුරා ඔබ සියල්ලන් කොල්ල කන ලදි අපේ සිත් සැනසුම
එහෙත් අප පෙලන ඔබේ බලයේ අවසානය ලඟාවෙයි‍ අද හෙටම...
වේදනාවන් නසන්නට...
ඔබට හැකියැයි අඟවමින් අප රවටන්නේ ඇයි... ?
ඔබ ‍ඔවුන් සුවපත් කළේ යැයි පිරිසක් කියතත්...
පිළිනොගන්නෙමි මම... !
හෙලා දකිමි මම... !

-හබිබ් ජලිබ් (1928 – 1993)

ජෙනරාල් අයුබ් ඛාන් ගේ ඒකාධිපති ව්‍යවස්ථාවට එරෙහිව පාකිස්ථාන කිවි, හබිබ් ජලිබ් (1928 – 1993) විසින් 1962 දී රචිත "Dastoor (The System)" නම් කව්පෙලෙහි සිංහල පරිවර්තනයකි. සිය වාමාංශික හා ජනතාවාදී ආකල්ප විදහා දැක්වෙන සාහිත්‍ය කරණය හා ක්‍රියාකාරකම් හේතුවෙන් කිහිපවිටක්ම අසත්‍ය චෝදනා මත සිර දඬුවම් විඳි හබිබ් ජලිබ්, නුතන පාකිස්ථානයේ ඉතාමත් ජනප්‍රිය හා ජනහිතවාදී කවියා ලෙස සැලකේ.

බූන්දියේ 2012 - ජනවාරි යේ පළවූවකි.




No comments:

Post a Comment

Blogroll

About