Monday, September 29, 2025

බේබි මහත්තයාගේ නාට්‍ය කලාව.....!

Share it Please

බේබි මහත්තයා ගැන සටහන් කීපයක්ම මේ එකතුව තුල තිබේ. 
බේබි මහත්තයාගේ අධ්‍යාපන ප්‍රතිපත්තියබේබි මහත්තයා ‌ගේ තානාපති පත්වීම....නිල් ඉර පොප්ලින්....! [අවුරුදු තුනකට ඉස්සර]ඊ. එන්. එකසිය අසූ හත මෙන්ම, තවත් සටහන් කීපයකටම අපේ තාත්තා පිය අයිතියෙන් ඇතුළු වී සිටී. ඒත් තාත්තලා කියන්නේ, ලියා අවසන් කල හැකි කතන්දර සමුහයක් නොවන්නේමය.

අපේ තාත්තා වූ බේබි මහත්තයාට එයාගේ තාත්තා වූ නයිනාමඩමේ මෝනි ගම මහත්තයාගෙන් ලැබුණු දේ අතර, චවලට් ලොරියක් ද තිබුණේය. තාත්තා විටින් විට කියන පරණ කතන්දර වලින් මතක ඇති කොටස් වල  මතකය අනුව නම් මේ ලොරි, දෙවෙනි ලෝක යුද්ධයේ දී, මවුන්ට්බැටන් සාමිගේ ආසියාකර යුධ මෙහෙයුම් මධ්‍යස්ථානය වූ ලංකාවට යුද්ධය සඳහා ගෙන්වූ, අතිරික්ත වාහන වූයේය. යුධ නිමාවත් සමග, වෙන්දේසියේ විකුණුනු මේවා මිලදීගත්තේ, රටේ ඉඩකඩම්, වැවිලි, හා ආශ්‍රිත කර්මාන්ත හිමිකාරයන් වූ අලුත් ධනපති පරපුරය. අපේ තාත්තාගේ ලොරියේ මූණ පහල පින්තූරයේ තියන ලොරි මූණම බව මගේ මතකයයි.






නයිනාමඩමේ, ෆාතිමා පොල්මෝලත් ඒ පිටුපස්සේ කොහුමෝලත් හිමිකරු වූ, අපේ සීයා වූ මෝනිගම මහත්තයා නොහොත් ඩබ්ලිව්. අයි. සයිමන් ප්‍රනාන්දුගේ ගේ නිවස වූ, නයිනාමඩමේ ‘මාලිනී‘ ඉස්සරහා ලොරි පහක් විතර නවත්වන්නට හැකි ලොරි මඩු තිබුණි. ඒ අතර, මේ ජාතියේ හොම්බ දික්කරගත් චවලට් ලොරි දෙකක් වූ අතර, අපේ තාත්තාට සින්න වූයේ එයින් එකකි.

අපේ තාත්තා වෙන්නප්පුවේ ගේ හැදූ ඉඩමේ ඉස්සරහ හරියේ, මේ ලොරිය නවත්වන්නට ලොරි මඩුවක් හදා තිබුණි. සුද්දාගේ යකඩ ලොරි චැසියට ලංකාවේ ලී බොඩි ගහපු මේ ලොරියේ ප්‍රධාන කාර්යය වුනේ, වයඹ පලාතේ පොල් ත්‍රිකෝණයේ තුන්කොණටම ගිහින්, අපේ පැත්තේ කොහුමෝල් වලට පොල් මට්ටා ප්‍රවාහනය කිරීමය. මේ වැඩේ ලාබය තියෙන්නේ ලෝඩ් එකේ පමණට හින්දාම, මේ වාගේ ලොරිවල දෙපැත්තට බඳින ඇඳි දෙකක්ද තිබෙයි. හයිය හත්තිය ඇති පුවක් හෝ කිතුල් ලී රීප්පවලින් බැන්ද මේ ඇඳ්ි දෙකේත් මට්ටා පුරවාපුවාම ලොරියේ උස දෙතුණයකට විතර වැඩිවෙයි.

තාත්තාගේ ලොරියේ රියදුරු මහත්තයා නයිනමඩමේ හිඳ උදේම බයිසිකලෙන් ඇවිත් ජනේලයෙන් යතුර ඉල්ලගෙන ගිහින් ලොරිය පනගන්වා අරන් යන බෙනඩික් අයියාය. පනගන්වනවාය කියන්නේ, ලොරි ඇන්ජිම ස්ටාටර් පොල්ලෙන් කරකවා කරකවා වෙලාවට ගියර් ස්වච් ක්ලච් බ්රේක් පැඩල් එහි මෙහා කරවා කරන බරපතල කාර්යයක් වන අතර, ඇන්ජිම කරකවන ක්ලීනර් ගේත් ඩ්‍රැයිවර් මයාගේත් දවසේ චර්යාව මෙන්ම, ජනේලය ලඟ ඉඳන් කන් යොමාන ඉන්න තාත්තාගේත් දවසේ මූඩ් එක නිර්ණය කරන අවස්ථාවය.

බෙනඩික් අයියා ඩ්‍රැයිවර් කම රස්සාවට කෙරුවත්, එයා වෘත්තිමය නාට්‍ය අධ්‍යක්ෂක වරයෙකි. සංගීත ලෝලියෙකි. හවහට ලොරිය ගෙනැවිත් නවත්තලා, ගමන් විස්තර කතාකර ගන්නට තාත්තා එනතුරු  පඩියක් උඩ වාඩිවී ඉන්නා, බෙනඩික් අයියා, අහල පහල ගෙදරක රේඩියෝවකට කන් යොමාන හිට, “බබා රේඩියෝ එක දාමු ද, ඔබ කැමති ගී යනවා..." කියා අහනවා මට මතකය. අපේ තාත්තා ⁣එයාගේ නාට්‍ය බොහොමයකට මූල්‍ය දායකයා හා ආයෝජකයා වූයේය. මේ නාට්‍ය එයින් ඉහත යුගවල අපේ ගම්වල රඟදැක්වුනු නාඩගම් හා ටීටර් සම්ප්‍රදායයන්ම පදනම් කරගත්, අඩුවැඩි වශයෙන් ඒ කතාවලම නැවත විකාශනයන්යැයි කියන්නට පුළුවන් නමුත්, මේ නව නිශ්පාදන අළුත් තාක්ෂණ මෙවලම් එකතු කර වැඩි දියුණු කර තිබුණේය.

මට මතක බෙනඩික් අය්යාගේ කට්ටිය ඉදිරිපත් කල, නයිනමඩම පල්ලිය ලඟ පිරිමි ඉස්කෝලේ හෝල් එකේ පෙන්නාපු ධාතුසේන රජ්ජුරුවන්ට මැටිගසා මැරීමේ නාට්‍යය පටන්ගත්තේම එකල චිත්‍රපටවල මෙන් නළු නිළි ක්‍රෙඩිට් නාමාවලියකිනි. ඒකත් එකල වචනයෙන් කිව්වොත් ඊස්ට්මන් වර්ණයෙන් (ඕක ඊස්ට්මන් කොඩැක් කොම්පැණියේ වෙලඳ නාමයය) නොහොත් වෛර්ණයෙනි.

ලයිට් නිවා ශාලාව අඳුරු කර තිබුණු අතර, වේදිකාවේ මැද අඩි දෙකතුනක ඉඩකට තිරය ව්වෘත කර තිබුණේය. මේ ඉඩේ දෙපැත්තේ සිටි දෙන්නෙක් ඔසවා අල්ලාගෙන සිටි ලීයක ඔතා පහලට කෙමෙන් කෙමෙන් දිග හැරුණු කළු කඩදාසි රෝලක, අකුරු කපා පාට සව් කඩදාසි අලවා සකස්කල නාමාවලිය පිටිපස්සෙන් විදුලි බුබුලකින් එළිය කර තිබුණේය. පසුබිම් සංගීතයක් එක්ක එකින් එක දර්ශණය වුනු මේ නම්වැලේ තිබුණු නම් ගම් නම් අමතක මුත්, චිත්‍රපටය කියනේවා වුනත් කළු සුදුම වුනු ඒ කාලයේ මේ නාමාවලි දිගෑරුම පුංචි අපට නම් අරුමයක්ම වුනා මතකය. ඒ නාට්‍යයේ මතක තියෙන අනික් දර්ශනය නම් ධාතුසේන රජ්ජුරුවන් මරා දැමීමේ දර්ශනයය. බදාමයෙන් කලායැයි හැඟවෙන සේ සකස්කල කූඩුවක් ඇතුලේ සිටි රජ්ජුරුවන්ගේ පේන්නට තිබුණු කොටස ඒ කූඩුවේ උඩු කොටසේ විවෘතව තිබුණු ඉඩකින් පෙනුනු මුහුණ විතරය. ඒ වෙලාවේත් ඒ බදාම කූඩුවට බදාම තවරමින් මේසන් බාස්ලා දෙන්නෙක් ද සිටියෝ ය. අවසාන වතාවටත් සිය උරුමය ඉල්ලන කාශ්‍යප කුමාරයාට, කලාවැවේ දියවර පෙන්නා, ඔය තියෙන්නේ මා ඉපයූ ධනයය කියූ මොහොතේ, අර මේසන් බාස් කෙනෙක් අත තිබුණු, බදාමයෙන් කල ලෑල්ලක් අරගත්තු කුමාරයා, රජ්ජුරුවන්ගේ මුහුණ පෙනුනු කවුළුව මත තබා, ඒකත් වසා, බදාම තවරන්නැයි අර මේසන් බාස්ලාට අණ කරන්නේ ය. අවුරුදු හය හතක පුංචි කොල්ලෙක් වුනත්, ඒ සීන් එක නම් ඔයිට වඩා ටිකක් තාත්විකව හිත කැළඹෙන විදිහට පෙන්නන්න තිබුණා නේද කියා එදාත් මට හිතුණායි යාන්තම් මතකයක් තියෙයි. එව්වා ඉතින්, අත දිග හරියේ තියන තාක්ෂණයෙන් කරන්න පුළුවන් ඉහලම තාත්විකත්වය බවත් අප අමතක නොකල යුතුය.

බෙනඩික් අයියා අධ්‍යක්ෂණය කල බේබි මහත්තයා නිෂ්පාදනය කල මේ නාට්‍යවල නළු නිලියෝත් ගමේම අය වූ අතර, බොහෝවිට රජ චරිත රඟපෑවේ, නයිනමඩමේ ඒ කාලයේ මූලික පොල් කැඩුම් කට්ටියේ නායකයා වුනු ඉත්තවන් අයියාය කියා මතකය. එයා ඒ කට්ටියේ උස කෙක්ක අරන් යන එක්කෙනා විය. මහා හැඩිදැඩි නොවූ මුත් හැඩකාර ඇඟපතක් තිබුණු ඉත්තවන් අයියා ඉත්තවන් වුනේ එයාගේ නම ස්ටීවන් වූ නිසා වෙන්නට ඇත. මේ නාට්‍යවල රිහසල් ඉවරවෙලා ඇවිත් පහුවදා කෑම මේසයේ තාත්තා කියාපු එක කතාවකට අනුව, කවිච්චියක දිගාවී, අමාත්‍ය මණ්ඩලයේ කතාබහට සවන් දෙමින් සිටි රජ්ජුරුවෝ, හිටි අඩියේ කවිච්චියත් පෙරලාගෙන බිමට වැටුණු හින්දා, එදා දවසේ පුහුණු වීම බාගෙට නවත්තලා එයාගේ තැළුම් වලට සාත්තු කරන්නට සිද්ධවී තිබුණි. එව්වා ඉතින්, පෙරපුහුණු වලට පෙර පෙරපදම් වීමේ ආනිසංසම බව ලියන්නට උවමනා නැත. බොහෝ කලා, වාණිජ, දේශපාලන ආදී මොනයම්ම කටයුත්තකට (මමත් හොඳටම දැක පුරුදු අධ්‍යාපනික කටයුතුවලට පවා) නැතුවම බැරි දෙජාතියක් වන කෑම හා බීම මේ නාට්‍යකරණ කාර්යයන් වලදීද අත්‍යවශ්‍ය දේවල් වූයේය. කෑම නම් ඉතින්, නානාප්‍රකාර වුනත්, ඒ කාලයේ අපේ ගම් පලාත්වල බීම කියන්නේ ඉතින්, අපේම දේවල් මිස, ස්කොට්ලන්තයෙන් තියා, අරක්කු තැබෑරුමෙන්වත් විදේශීය හෝ දේශිය විනිමය වැයකර මිලදී ගන්නා දේවල් නොවේ.

ඉත්තවන් අයියා වගේම එයාගේ පොල් කැඩුම් කට්ටියේ එයාට පස්සෙන් කොට කෙකි අරන් ගිය අයත්, කෙකි නොපොව්වන උසම ගස්වලට බඩගෑ මාටින් අයියාත් මේ නාට්‍ය වල නළුවෝ මෙන්ම නිළියෝ ද වූහ. පොල් කඩන රස්සාවට අමතරව, එදිනෙදා කුලී වැඩ මෙන්ම, අහල පහල පොල්මෝල් කොහුමෝල් වල අත්වැඩත් කල මේ මිනිසුන් මෙන්ම, එයින් ටිකක් ඉහලට ගිය යම් විදිහක සුළු ව්‍යාපාර හා ආණ්ඩුවේ රස්සාවල් කල ඉස්කෝල මහත්තුරු වගේ අයත් මේ කාර්යයට සම්මාදම් වූවෝය. ඉස්කෝල මහත්තුරු නම් බොහෝ විට එකතුවුනේ සංගීත වාදන කාණ්ඩයට බව මතක තියේ. අද හැරිලා මතක් කරන කල, ඒ කාලේ අපේ ගම්වල ඉස්කෝල මහත්තු කාට වුනත්, යම් ආකාර සංගීත පසුබිමක් නොවැරදීම තිබුණාය හිතෙයි. ඉස්කෝල වල සංගීතය උගන්නාපු ගුරුවරුන් නොවුනත්, බොහෝවිට ස්කෝල මහත්තයෙක් නම්, වයලින් එක, තබ්ලාව, පල්ලියේ ඕගන් එක, පියානෝව වැනි යමක් වාදනය කරන්නට පුළුවන් කම තිබුණු අතර, සංගීත ප්‍රස්ථාරයක් කියවීම වැනි මූලික සංගීත දැනුමක්ද මේ බොහෝ අයට තිබුණි. මේ දැනුමේ හැකියාවේ, මුල් අංකුර, පල්ලියේ ගැයෙන සාමුහික ගීතිකා අතර බව කිවයුතු නැත.

බෙනඩික් අයියාගේ ටීටර් වල වැදගත් රජ බිසෝ චරිතයට බොහෝවිට හිටියේ දුම්මලදෙණියේ දිස්පැන්සරියේ බේත් කලවම් කල ඇලෝ අයියාය කියා මගේ මතකයය. එයා සාරි හැට්ට ඇඳ කොණ්ඩය දමා මාල කරාබු දමා වේදිකාවට ආවාම, රජ බිසවක්ම වූයේය. මොන රජ්ජුරුවෝද මොන නාට්‍යයද හරියටම මතක නැති නමුත්, ඇලෝ අයියා, සිරිමා බිසවට රඟපෑ නාට්‍යයක රූප රාමුවල ඡායාවන් මතකයේ තිබේ. ඔය නවසිය හැටගණන්වල ඉතින් සිරිමා බිසව වනාහි, අපේ පලාත්වල පල්ලියේ ඉස්කෝල ආණ්ඩුවට අරගන, කතෝලික අධ්‍යාපනයට හතුරුකම් කර, කුරුසියට, පල්ලියට ගිනි තියන්නට පහලවූ කෙනෙකිය කියා ජනතාවට ඒත්තු ගැන්වීමේ වගකීම, ඒ සමයේ එජාපයේ කපාපු පළු වී සිටි අපේ තාත්තලාගේ වගකීමක් ද වී තිබුණු බවද කිවයුතුය.

මගෙ මතකය දිගේ හැරී බලද්දී, බේබි මහත්තයාගේත්, බෙනඩික් අයියාගේත් මේ නාට්‍යකලා සංධානයේ මෞලි මංගල්ලය නම්, බෙරන්ගම මහත්තයාගේ බාල දූ වූ අපේ අම්මා කසාද බැඳි හින්දා දෑවැද්දට ලැබී තිබුණු කොළඹ හලාවත පාරට මුහුණ ලා නයිනාමඩමේ පිහිටා තිබුණු ඉඩම් කෑල්ලක, ටීටර් මඩුවක් බැඳලා, මතක හැටියට නම් සතියක් දෙකක්වත් දිගට පෙන්නූ ටීටර් මාලාවකි. එක් එක් කාලවල එක් එක් කර්තව්‍යයන් සඳහා යොදාගත් මේ ඉඩමේ බොහෝවිට තිබුණේ, කවුරු හෝ බාස් කෙනෙකුගේ, මෝටර් වාහන අළුත්වැඩියා වැඩ පොළකි. ඒ හින්දාම, පොල්ගස් වලට වඩා හිස්තැන් තිබුණු මේ ඉඩම වටේටම අඩි හය හතක් උඩට වියාපු පොල්අතු පැළලි එල්ලා වටකර තිබුණේය. පොල්කොට හිටුවා ලෑලි අතුරා සාදා තිබූ වේදිකාවට ඉහලින් පොල් අතු වහලක් තිබුණු අතර, පුටු තියා ලණු ඇද කොටස් වෙන්කර තිබුණු ප්‍රේක්ෂකාගාරය තරු එළියෙන්, හඳ එළියෙන් ආලෝකමත් වෙන්නට ඉඩ හැර තිබුණි.

සංගීත කණ්ඩායම හිටියේ, වේදිකාවට ඉස්සරහින් වේදිකාව තරම්ම දිග පලලට වාගේ කපා තිබූ හතරැස් වලක් ඇතුලේය. මේ වේදිකා හා නර්තන ශාලා සැලසුම් එක අතකින් පාරම්පරිකව අපේ ගම්වල පැවතුණු ඒවාය යන්න තාත්තලාගේ, බෙනඩික් අයියලාගේ කතා බහ අහගන උන්නු පුංචි මගේ කන්වලට වැටුණු තොරතුරුය.

කාලයකට ඉහත, ඔය ටීටර් පෙන්නූ වත්තට ඉස්සරහ මහපාරෙන් අනිත් පැත්තේ, ස්වරාජ්‍ය වත්තේ, පෙන්නූ නාඩගම් හා ටීටර් ගැනත්, උස වේදිකාවක් මෙන්ම, ප්‍රේක්ෂකාගාරය මැද කොටස වටකර නිර්මාණය වුනු, වෘත්තාකාර ගමන් වේදිකාවක් ගැනත්, ඔය කතාවලින්ම මම අසා ඇත්තෙමි. කුමාරයා කඩුව කරකවමින් සබයට එන්නේ මේ ගමන් මග වටේටම නටාගෙන් ගොසින් ය. යමක් කමක් ඇති හැකි ඇත්තෝ, එයාලාගේ පවුල්වලට වාඩි වෙන්නට, කවිච්චි හාන්සි පුටු තියාන ඉන්නේ අර මැද්දෑවේ තියෙන කොටසේය. නැති බැරි අය පැදුරු, මාගල්, පොල්අතු එලාන ඉන්නේ ගමන් වේදිකාව වටේටය ආදි වශයෙන් මේ කතාන්දර රහට ගුණට මෙන්ම, සිනමාත්මකාකාරයෙන් රඟ දක්වා කියන්නට අපේ තාත්තාට මෙන්ම, එයාගේ ඔය නාට්‍ය කට්ටියේ වැඩි දෙනෙකුටත් මතකයන් තිබුණි. අද මම ලියනවා වගේම, එදා එයාලා කිව්වේත්, එයාලාගේ ළමා කාලයේ මතකයන්ම වීම, ඒවා ඒ තරම් විචිත්‍රව කියා කර පෙන්වන්නට හේතු වූවා විය යුතුය.

බේබි මහත්තයාගේත්, බෙනඩික් අයියාගේත්, නයිනමඩමේ මේ ටීටර් නාට්‍ය මාලාව වේදිකාගතවූ හැම දවසකම වාගේ මාත් ඒ ප්‍රේක්ෂකාගාරයේ පුටුවක් උඩ ඇස් දල්වා බලාගෙන හෝ බාගෙට හෝ සම්පූර්ණයෙන්ම පාහේ හෝ නිදාගෙන හෝ හිටිය බව නම් මතකයේ තිබේ. එහෙම ගිය දවස්වල ඉතින් ආපහු ගෙදර එන්නට වෙන්නේ දවසේ දර්ශන වාර අවසන්වී, ගණුදෙනු හෙමත් බේරා අවසන්වී තාත්තා ගෙදර යන වෙලාවටමය.

එදා ඒ ටීටර් මාලාවේ මට අමතකම නොවන ටීටර් එක නම් සන් සෙබස්තියන් කතාවය. සෙබස්තියන් මුනින්ද්‍රයායි කතෝලික පල්ලියේ වැඳුම් පිදුම් ලබන ශුද්ධ වරයා, නර්බෝනා හි උපත ලැබ මිලානයේ හැදී වැඩී රෝමයට පැමිණ යුධ සෙබලකු ලෙසත් සෙන්පතියකු ලෙසත් සේවය කරන අතර, ක්‍රිස්තියානිකාරයකු වීමේ වරදට දඬුවම ලෙස ගසක බැඳ ඊතල වලින් විද මරා දමන්නට රෝමාධිරාජ්‍යයා විසින් නියම කරන ලද්දේය. සෙබස්තියන් මුනිදුන්ට කැපවුනු, පසුගිය පාස්කු ප්‍රහාරයට ලක්වුනු මීගමු කටුවාපිටියේ දෙව් මැදුර ඉදිරිපස, සන්නාහයෙන් සන්නද්ධ වූ සෙබස්තියන් සෙනෙවියාගේ රුවක් ඇති අතර, දෙව්මැදුරේ අල්තාරයට ඉහලින් ඇති ප්‍රතිමාව, ගසක බැඳ ඊතල විද සිදුරු කල සෙබස්තියන් මුනිතුමාගේ රුව දක්වයි.

ඉතින් විය යුතු සේම, බෙනඩික් අයියාගේ සෙබස්තියන් ටීටර් එකේ ද, උත්කර්ෂවත්ම අවස්ථාව වූයේ, ගසක බැඳි සෙබස්තියන් මුනිතුමාට ඊතල විද අච්චු කරන්නාවූ දර්ශනයය. ඒ කෑල්ලට, මට මතක හැටියට වෙනත් පලාතකින් විශේෂයෙන් ගෙන්වූ දුනුවායකු යොදා ගන්නා බවත් එයා ඇත්තම ඇත්ත දුන්නක් ඒ සඳහා පාවිච්චි කරන බවත් වශයෙන් කණින් කොණින් ගිය කතාන්දර ද පැතිරී තිබුණේය.

වේදිකාව මැද්දෑවට වන්නට හිටවූ ගස් බඳක බැඳ, උඩුකය නිරුවත් කල සෙබස්තියන් මුනිදානන්ට රැඟූ නළුවා අහසට නෙත් යොමා දෙවියන්ට ස්තෝත්‍ර කියමින් සිටියා කියා මගේ මතකයයි. උස මහත මිනිසකු වූ දුනුවායා, වේදිකාවේ පහල හිඳ ඇලයට බලද්දී, තවත් උස් වී පෙනුණේය. ඔහුටත් වඩා උස (මගේ මතකයේ ඇති චිත්‍රයේ පෙණෙනාකාරයට නම් අඩි හතක් අටක් වත් උස) මහා දුන්නක් අත දරා සිටි ඔහු, අඩි හතරක් පහක් වත් දිග ඊතල දුනු දියට අටවා ඇද, සෙබස්තියන් මුනිතුමා දිහාවට හරවා මුත්, බිමට වැටෙන සේ විද්දේය. ඒ විදීමත් සමගම වාගේ, වේදිකාවේ උඩින් පැත්තෙන්, සෙබස්තියන් මුනින්ද්‍රයා බැඳ සිටි ගහට අවුණා ඇද තිබූ කම්බි දිගේ, අඩියක විතර, රිදීපාට ඊතල රූපයක් ඇදී ඇවිත්, එතුමාගේ සිරුරට කිට්ටුවෙන්ම වාගේ නැවතුනේ ය. දුනුවායා වේදිකාවේ එහා මෙහා යමින් එක් එක් තැන්වල සිට එක් එක් කෝණවලින් ඊතල විද්ද අතර, අර කම්බි දිගේ ආපු ඊතල නම් ඒ කෝණ වත්, පැතිවත් ගණන් නොගෙන එයාලාට හිතෙන හිතෙනාකාරයටම ඇවිත් වැදුනේ ය.

මං හිතන්නේ ඒ සීන් එක අන්තිමට වගේ අවුණා තිබුණේ හේතුවක් ඇතුව වෙන්නටත් පුළුවන. 

සෙබස්තියන් මුනිඳුන් ගැන අපි කුඩා කාලේ ගුවන්විදුලියේ නිතරම ඇහුණ ගීතය, කුසුමේනි නර්බෝනාය. ගැයුම සෙබස්තියන් පීරිස්ගේ ය.

අපේ තාත්තාගේ කලාකටයුතු ගැන අනිත් මතකය, පාස්කු හා බැඳී තිබේ. අපේ පලාතේ සෑම පල්ලියකම පාහේ, මහ සිකුරාදාට කුරුසේ ඇණගසන සුරුවමක් තියෙයි. මනුස්සයකුගේ උස මහතට නෙලා ඇති මේ සුරුවමේ අතපය, හිස, ඇස් එහා මෙහා කලහැකිසේ තනා ඇති අතර, මහ සිකුරාදා පාස්කු සිහිපත් කිරීමට යොදා ගන්නේ මේ සුරුවමය. තාත්තා හා බැඳුනු පාස්කු මතක, වෙනමම සටහනකම ලියන්නට ඕනෑයි හිතේ.

ඒ මතකය මතක තියා ගන්නට උදව්වෙන මේ ගීතිකාව විතරක් මෙතන අවුණමි.

බේබි මහත්තයාගේ මේ කලා කටයුතු වලට අමතරව, මං නං හිතන්නේ, එයාට රඟපාන්නට හරියාකාර අවස්ථාවක් ලැබුණා නම් එයා නිරනුමානයෙන්ම දක්ෂ නළුවෙක්ද වෙනවායි කියාය. එයාගේ රඟපෑමක් ගැන කාලයකට කලින් මුහුණු පොතේ මා තැබූ සටහනක් පහත අවුණමි.

මං කැම්පස් කාලේ කටුනායක කිට්ටුව මක්කම වන්දනාවේ ගිය කට්ටියක් රැගත් ගුවන් යානයක් කඩාන වැටුනේ ය. ඉතින් අහල පහල හින්දා අපේ තාත්තාත් නංගී අම්මා එක්ක ප්ලේන් එක වැටුනු තැන බලන්ඩ ගිහින් තිබුණි. ගියා විතරක් නෙවෙයි, ඒකෙන් කැඩිලා, විසිවෙලා තිබ්බ අඟල් හතාටක ඇළුමිනියං රීප්ප කෑල්ලකුත් උස්සාගෙන ඇවිල්ලා තිබුණි.
අපේ අම්මා නං 'ඔය මළ මිනිස්සුන් ගේ කෑලි ගෙවල් වල ගේන' වැඩේට ආඩපාලි කිව්වත් තාත්තා අපේ ගෙදර ස්වාමියා හින්දා එව්වා ට යට වෙලා නැත.

ඒ සතියේ ගෙදර ගිය වෙලේ හවස් වරුවේ තාත්තාත් ගෙදර ආවාට පස්සේ අපේ නංගී 'අය්යාටත් ප්ලේන් එක වැටුනු හැටි පෙන්නන්ඩ' ය කියා දෙතුන් වරක් කරදර කෙරුවාට පස්සේ, මාව සාලේ පුටුවක වාඩි කරවලා සියළු ලයිට් නිවාදාන ලදී.

එයින් මෙහොතකට පස්සේ, කුස්සිය පැත්තට යන දොර රෙද්ද මෑත්වී මහා භයානක සද්දයක් දාගෙන විදුලි බුබුළු නිවෙමින් පත්තුවෙමින් පැමිණි ප්ලේන් එක දඩ බඩාං පට පටෝන් ගා සාලය මැද්දේ කඩාන වැටුනේ ය.

ලැයිට් දාලා බලද්දී ඒ අර ඇළුමිනියං කෑල්ලත් අතින් උස්සාන අනිත් අතින් ටෝච් එක නිව නිවා පත්තු කර කර දුවගෙන ඇවිත් සාලය මැද්දේ අත ඇරපු තාත්තාය.

හැබැයි මට නං හිතෙන්නේ ඒ වැඩේ, ඔයි කැළණියේ නාග සලං නාට්‍යයට වඩා තාත්විකව තිබුණා කියාය. කොටින්ම අච්චර අන්ධකාරේ අත් දෙකම උස්සාන දුවාන ඇවිල්ලාත් තාත්තාගේ සරම නම් ඩිංගක්වත් බුරුල් වෙලාවත් තිබුණේ නැත.

අපේ තාත්තාවූ බේබි මහත්තයා අද හිටියා නම්, අවුරුදු අනූ නවයක අත්තා කෙනෙක්ය. එයාගේ මතකයත් එක්ක මතක්වෙන ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමා රචනාකර, මං පුංචිකාලයේ අපමණ වතාවක් ගයනවා, ගැයෙනවා අසා ඇති, අදටත් ගැයෙන මේ පරමණ්ඩල යාඤාව මෙතන අවුනමි. 










No comments:

Post a Comment

Blogroll

About