මගේම සුවඳ සුවඳ සුවඳම නාමලට
බ්ලොග් අඩවියෙනි.
පින්තූරය: ඉංගිරිය මධු ෆ්ලෝරා මුහුණු පොත් අඩවියෙන්
මගේම සුවඳ සුවඳ සුවඳම නාමලට
වසන්තය සුවඳකි...
හිතේ කෙළවර කොණක
මල් පිපුණු විල්ලුවක
යන්තමට දැවටුණු
කහ රේණු බිඳුවකි
දෑස් අගිසක දිලෙන
ආදරේ මල් කැකුළු
පෙති අගක තැවරුණු
නෙත් පියා ඉන්න ඔබ
නෙත් පියා සිඹිමි මම
වසන්තය සුවඳකි...
හිතේ කෙළවර කොණක
මල් පිපුණු විල්ලුවක
යන්තමට දැවටුණු....!
#rsmpoems
[පින්තූරය: https://www.68north.com/2025/06/friday-photo-650-cool-june/ ]
බේබි මහත්තයා ගැන සටහන් කීපයක්ම මේ එකතුව තුල තිබේ.
බේබි මහත්තයාගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය, බේබි මහත්තයා ගේ තානාපති පත්වීම...., නිල් ඉර පොප්ලින්....! [අවුරුදු තුනකට ඉස්සර], ඊ. එන්. එකසිය අසූ හත මෙන්ම, තවත් සටහන් කීපයකටම අපේ තාත්තා පිය අයිතියෙන් ඇතුළු වී සිටී. ඒත් තාත්තලා කියන්නේ, ලියා අවසන් කල හැකි කතන්දර සමුහයක් නොවන්නේමය.
අපේ තාත්තා වූ බේබි මහත්තයාට එයාගේ තාත්තා වූ නයිනාමඩමේ මෝනි ගම මහත්තයාගෙන් ලැබුණු දේ අතර, චවලට් ලොරියක් ද තිබුණේය. තාත්තා විටින් විට කියන පරණ කතන්දර වලින් මතක ඇති කොටස් වල මතකය අනුව නම් මේ ලොරි, දෙවෙනි ලෝක යුද්ධයේ දී, මවුන්ට්බැටන් සාමිගේ ආසියාකර යුධ මෙහෙයුම් මධ්‍යස්ථානය වූ ලංකාවට යුද්ධය සඳහා ගෙන්වූ, අතිරික්ත වාහන වූයේය. යුධ නිමාවත් සමග, වෙන්දේසියේ විකුණුනු මේවා මිලදීගත්තේ, රටේ ඉඩකඩම්, වැවිලි, හා ආශ්‍රිත කර්මාන්ත හිමිකාරයන් වූ අලුත් ධනපති පරපුරය. අපේ තාත්තාගේ ලොරියේ මූණ පහල පින්තූරයේ තියන ලොරි මූණම බව මගේ මතකයයි.
නයිනාමඩමේ, ෆාතිමා පොල්මෝලත් ඒ පිටුපස්සේ කොහුමෝලත් හිමිකරු වූ ද, අපේ සීයා වූ ද, මෝනිගම මහත්තයා නොහොත් ඩබ්ලිව්. අයි. සයිමන් ප්‍රනාන්දුගේ ගේ නිවස වූ, නයිනාමඩමේ ‘මාලිනී‘ ඉස්සරහා ලොරි පහක් විතර නවත්වන්නට හැකි ලොරි මඩු තිබුණි. ඒ අතර, මේ ජාතියේ හොම්බ දික්කරගත් චවලට් ලොරි දෙකක් වූ අතර, අපේ තාත්තාට සින්න වූයේ එයින් එකකි.
අපේ තාත්තා වෙන්නප්පුවේ ගේ හැදූ ඉඩමේ ඉස්සරහ හරියේ, මේ ලොරිය නවත්වන්නට ලොරි මඩුවක් හදා තිබුණි. සුද්දාගේ යකඩ ලොරි චැසියට ලංකාවේ ලී බොඩි ගහපු මේ ලොරියේ ප්‍රධාන කාර්යය වුනේ, වයඹ පලාතේ පොල් ත්‍රිකෝණයේ තුන්කොණටම ගිහින්, අපේ පැත්තේ කොහුමෝල් වලට පොල් මට්ටා ප්‍රවාහනය කිරීමය. මේ වැඩේ ලාබය තියෙන්නේ ලෝඩ් එකේ පමණට හින්දාම, මේ වාගේ ලොරිවල දෙපැත්තට බඳින ඇඳි දෙකක්ද තිබෙයි. හයිය හත්තිය ඇති පුවක් හෝ කිතුල් ලී රීප්පවලින් බැන්ද මේ ඇඳි දෙකේත් මට්ටා පුරවාපුවාම ලොරියේ උස දෙතුන් ගුණයකට විතර වැඩිවෙයි. අතුරු සිදුරු නැතුව පිරවූ යමක් ගැන පොල් පැටෙව්වා වගේ කියා ලියූ කෙනා, කවදාවත් හරියට ලෝඩ් කරපු, මට්ටා ලොරියක් දැකලා නොතිබෙන්නට පුළුවන.
තාත්තාගේ ලොරියේ රියදුරු මහත්තයා නයිනමඩමේ හිඳ උදේම බයිසිකලෙන් ඇවිත් ජනේලයෙන් යතුර ඉල්ලගෙන ගිහින් ලොරිය පණගන්වා අරන් යන බෙනඩික් අයියාය. පණගන්වනවාය කියන්නේ, ලොරි ඇන්ජිම ස්ටාටර් පොල්ලෙන් කරකවා කරකවා වෙලාවට ගියර් ස්වච් ක්ලච් බ්රේක් පැඩල් එහි මෙහා කරවා කරන බරපතල කාර්යයක් වන අතර, ඇන්ජිම කරකවන ක්ලීනර් ගේත් ඩ්‍රැයිවර් මයාගේත් දවසේ චර්යාව මෙන්ම, ජනේලය ලඟ ඉඳන් කන් යොමාන ඉන්න තාත්තාගේත් දවසේ මූඩ් එකත් නිර්ණය කරන අවස්ථාවය.
බෙනඩික් අයියා ඩ්‍රැයිවර් කම රස්සාවට කෙරුවත්, එයා වෘත්තිමය නාට්‍ය අධ්‍යක්ෂක වරයෙකි. සංගීත ලෝලියෙකි. හවහට ලොරිය ගෙනැවිත් නවත්තලා, ගමන් විස්තර කතාකර ගන්නට තාත්තා එනතුරු පඩියක් උඩ වාඩිවී ඉන්නා, බෙනඩික් අයියා, අහල පහල ගෙදරක රේඩියෝවකට කන් යොමාන හිට, “බබා රේඩියෝ එක දාමු ද, ඔබ කැමති ගී යනවා..." කියා අහනවා මට මතකය. අපේ තාත්තා එයාගේ නාට්‍ය බොහොමයකට මූල්‍ය දායකයා හා ආයෝජකයා වූයේය. මේ නාට්‍ය එයින් ඉහත යුගවල අපේ ගම්වල රඟදැක්වුනු නාඩගම් හා ටීටර් සම්ප්‍රදායයන්ම පදනම් කරගත්, අඩුවැඩි වශයෙන් ඒ කතාවලම නැවත විකාශනයන්යැයි කියන්නට පුළුවන් නමුත්, මේ නව නිශ්පාදන අළුත් තාක්ෂණ මෙවලම් එකතු කර වැඩි දියුණු කර තිබුණේය.
මට මතක, බෙනඩික් අය්යාගේ කට්ටිය ඉදිරිපත් කල, නයිනමඩම පල්ලිය ලඟ පිරිමි ඉස්කෝලේ හෝල් එකේ පෙන්නාපු, ධාතුසේන රජ්ජුරුවන්ට මැටිගසා මැරීමේ නාට්‍යය පටන්ගත්තේම එකල චිත්‍රපටවල මෙන්ම නළු නිළි ක්‍රෙඩිට් නාමාවලියකිනි. ඒකත් එකල වචනයෙන් කිව්වොත් ඊස්ට්මන් වර්ණයෙන් (ඕක ඊස්ට්මන් කොඩැක් කොම්පැණියේ වෙලඳ නාමයය) නොහොත් වෛර්ණයෙනි.
ලයිට් නිවා ශාලාව අඳුරු කර තිබුණු අතර, වේදිකාවේ මැද අඩි දෙකතුනක ඉඩකට තිරය ව්වෘත කර තිබුණේය. මේ ඉඩේ දෙපැත්තේ සිටි දෙන්නෙක් ඔසවා අල්ලාගෙන සිටි ලීයක ඔතා පහලට කෙමෙන් කෙමෙන් දිග හැරුණු කළු කඩදාසි රෝලක, අකුරු කපා පාට සව් කඩදාසි අලවා සකස්කල නාමාවලිය පිටිපස්සෙන් විදුලි බුබුලකින් එළිය කර තිබුණේය. පසුබිම් සංගීතයක් එක්ක එකින් එක දර්ශණය වුනු මේ නම්වැලේ තිබුණු නම් ගම් නම් අමතක මුත්, චිත්‍රපට කියනේවා වුනත් කළු සුදුම වුනු ඒ කාලයේ මේ නාමාවලි දිගෑරුම පුංචි අපට නම් අරුමයක්ම වුනා මතකය.
ඒ නාට්‍යයේ මතක තියෙන අනික් දර්ශනය නම් ධාතුසේන රජ්ජුරුවන් මරා දැමීමේ දර්ශනයය. බදාමයෙන් කලායැයි හැඟවෙන සේ සකස්කල කූඩුවක් ඇතුලේ සිටි රජ්ජුරුවන්ගේ පේන්නට තිබුණු කොටස ඒ කූඩුවේ උඩු කොටසේ විවෘතව තිබුණු ඉඩකින් පෙනුනු මුහුණ විතරය. ඒ වෙලාවේත් ඒ බදාම කූඩුවට බදාම තවරමින් කිරිබත් කෑලි හැඩේ මේසන් හැඳි අතින් ගත්, මේසන් බාස්ලා දෙන්නෙක් ද සිටියෝ ය. අවසාන වතාවටත් සිය උරුමය ඉල්ලන කාශ්‍යප කුමාරයාට, කලාවැවේ දියවර පෙන්නා, ඔය තියෙන්නේ මා ඉපයූ ධනයය කියූ මොහොතේ, අර මේසන් බාස් කෙනෙක් අත තිබුණු, බදාමයෙන් කල ලෑල්ලක් අරගත්තු කුමාරයා, රජ්ජුරුවන්ගේ මුහුණ පෙනුනු කවුළුව මත තබා, ඒකත් වසා, බදාම තවරන්නැයි අර මේසන් බාස්ලාට අණ කරන්නේ ය. අවුරුදු හය හතක පුංචි කොල්ලෙක් වුනත්, ඒ සීන් එක නම් ඔයිට වඩා ටිකක් තාත්විකව හිත කැළඹෙන විදිහට පෙන්නන්න තිබුණා නේද කියා එදාත් මට හිතුණායි යාන්තම් මතකයක් තියෙයි. එව්වා ඉතින්, අත දිග හරියේ තියන තාක්ෂණයෙන් කරන්න පුළුවන් ඉහලම තාත්විකත්වය බවත් අප අමතක නොකල යුතුය.
බෙනඩික් අයියා අධ්‍යක්ෂණය කල බේබි මහත්තයා නිෂ්පාදනය කල මේ නාට්‍යවල නළු නිලියෝත් ගමේම අය වූ අතර, බොහෝවිට රජ චරිත රඟපෑවේ, නයිනමඩමේ ඒ කාලයේ මූලිකම පොල් කැඩුම් කට්ටියේ නායකයා වුනු ඉත්තවන් අයියාය කියා මතකය. එයා ඒ කට්ටියේ උස කෙක්ක අරන් යන එක්කෙනා විය. මහා හැඩිදැඩි නොවූ මුත් හැඩකාර ඇඟපතක් තිබුණු ඉත්තවන් අයියා ඉත්තවන් වුනේ එයාගේ නම ස්ටීවන් වූ නිසා වෙන්නට ඇත. මේ නාට්‍යවල රිහසල් ඉවරවෙලා ඇවිත් පහුවදා කෑම මේසයේ තාත්තා කියාපු එක කතාවකට අනුව, කවිච්චියක දිගාවී, අමාත්‍ය මණ්ඩලයේ කතාබහට සවන් දෙමින් සිටි රජ්ජුරුවෝ, හිටි අඩියේ කවිච්චියත් පෙරලාගෙන බිමට වැටුණු හින්දා, එදා දවසේ පුහුණු වීම බාගෙට නවත්තලා එයාගේ තැළුම් වලට සාත්තු කරන්නට සිද්ධවී තිබුණි. එව්වා ඉතින්, පෙරපුහුණු වලට පෙර පෙරපදම් වීමේ ආනිසංසම බව ලියන්නට උවමනා නැත. බොහෝ කලා, වාණිජ, දේශපාලන, ආදී මොනයම්ම කටයුත්තකට (මමත් හොඳටම දැක පුරුදු අධ්‍යාපනික කටයුතුවලට පවා) නැතුවම බැරි දෙජාතියක් වන කෑම හා බීම මේ නාට්‍යකරණ කාර්යයන් වලදීද අත්‍යවශ්‍ය දේවල් වූයේය. කෑම නම් ඉතින්, නානාප්‍රකාර වුනත්, ඒ කාලයේ අපේ ගම් පලාත්වල බීම කියන්නේ ඉතින්, අපේම දේවල් මිස, ස්කොට්ලන්තයෙන් තියා, අරක්කු තැබෑරුමෙන්වත් විදේශීය හෝ දේශිය විනිමය වැයකර මිලදී ගන්නා දේවල් නොවේ.
ඉත්තවන් අයියා වගේම එයාගේ පොල් කැඩුම් කට්ටියේ එයාට පස්සෙන් කොට කෙකි අරන් ගිය අයත්, කෙකි නොපොව්වන උසම ගස්වලට බඩගෑ මාටින් අයියාත් මේ නාට්‍ය වල නළුවෝ මෙන්ම නිළියෝ ද වූහ. පොල් කඩන රස්සාවට අමතරව, එදිනෙදා කුලී වැඩ මෙන්ම, අහල පහල පොල්මෝල් කොහුමෝල් වල අත්වැඩත් කල මේ මිනිසුන් මෙන්ම, එයින් ටිකක් ඉහලට ගිය යම් විදිහක සුළු ව්‍යාපාර හා ආණ්ඩුවේ රස්සාවල් කල ඉස්කෝල මහත්තුරු වගේ අයත් මේ කාර්යයට සම්මාදම් වූවෝය. ඉස්කෝල මහත්තුරු නම් බොහෝ විට එකතුවුනේ සංගීත වාදන කාණ්ඩයට බව මතක තියේ. අද හැරිලා මතක් කරන කල, ඒ කාලේ අපේ ගම්වල ඉස්කෝල මහත්තුරු කාට වුනත්, යම් ආකාර සංගීත පසුබිමක් නොවැරදීම තිබුණාය හිතෙයි. ඉස්කෝල වල සංගීතය උගන්නාපු ගුරුවරුන් නොවුනත්, ස්කෝල මහත්තයෙක් නම්, වයලින් එක, තබ්ලාව, සර්පිනාව, (පල්ලියේ) ඕගන් එක, පියානෝව වැනි යමක් වාදනය කරන්නට පුළුවන් කම තිබුණු අතර, සංගීත ප්‍රස්ථාරයක් කියවීම වැනි මූලික සංගීත දැනුමක්ද මේ බොහෝ අයට තිබුණි. මේ දැනුමේ හැකියාවේ, මුල් අංකුර, පල්ලියේ ගැයෙන සාමුහික ගීතිකා අතර වූ බව කිවයුතු නැත [දයා ප්‍රේමය ඇති තැන දෙවියෝ වැඩ වසනු ඇත].
බෙනඩික් අයියාගේ ටීටර් වල වැදගත් රජ බිසෝ චරිතයට බොහෝවිට හිටියේ දුම්මලදෙණියේ දිස්පැන්සරියේ බේත් කලවම් කල ඇලෝ අයියාය කියා මගේ මතකයය. එයා සාරි හැට්ට ඇඳ කොණ්ඩය දමා මාල කරාබු දමා වේදිකාවට ආවාම, රජ බිසවක්ම වූයේය. මොන රජ්ජුරුවෝද මොන නාට්‍යයද හරියටම මතක නැති නමුත්, ඇලෝ අයියා, සිරිමා බිසවට රඟපෑ නාට්‍යයක රූප රාමුවල ඡායාවන් මතකයේ තිබේ. ඔය නවසිය හැටගණන්වල ඉතින් සිරිමා බිසව වනාහි, අපේ පලාත්වල, පල්ලියේ ඉස්කෝල ආණ්ඩුවට අරගෙන, කතෝලික අධ්‍යාපනයට හතුරුකම් කර, කුරුසියට, පල්ලියට ගිනි තියන්නට පහලවූ කෙනෙකිය කියා ජනතාවට ඒත්තු ගැන්වීමේ වගකීම, ඒ සමයේ එජාපයේ කපාපු පළු වී සිටි අපේ තාත්තලාගේ ද වගකීමක් වී තිබුණු බවද කිවයුතුය.
මගෙ මතකය දිගේ හැරී බලද්දී, බේබි මහත්තයාගේත්, බෙනඩික් අයියාගේත් මේ නාට්‍යකලා සංධානයේ මෞලි මංගල්ලය නම්, බෙරන්ගම මහත්තයාගේ බාල දූ වූ අපේ අම්මා කසාද බැඳි හින්දා දෑවැද්දට ලැබී තිබුණු කොළඹ හලාවත පාරට මුහුණ ලා නයිනාමඩමේ පිහිටා තිබුණු ඉඩම් කෑල්ලක, ටීටර් මඩුවක් බැඳලා, මතක හැටියට නම් සතියක් දෙකක්වත් දිගට පෙන්නූ ටීටර් මාලාවකි. එක් එක් කාලවල එක් එක් කර්තව්‍යයන් සඳහා යොදාගත් මේ ඉඩමේ බොහෝවිට තිබුණේ, කවුරු හෝ බාස් කෙනෙකුගේ, මෝටර් වාහන අළුත්වැඩියා වැඩ පොළකි. ඒ හින්දාම, පොල්ගස් වලට වඩා හිස්තැන් තිබුණු මේ ඉඩම වටේටම අඩි හය හතක් උඩට වියාපු පොල්අතු පැළලි එල්ලා වටකර තිබුණේය. පොල්කොට හිටුවා ලෑලි අතුරා සාදා තිබූ වේදිකාවට ඉහලින් පොල් අතු වහලක් තිබුණු අතර, පුටු තියා ලණු ඇද කොටස් වෙන්කර තිබුණු ප්‍රේක්ෂකාගාරය තරු එළියෙන්, හඳ එළියෙන් ආලෝකමත් වෙන්නට ඉඩ හැර තිබුණි.
සංගීත කණ්ඩායම හිටියේ, වේදිකාවට ඉස්සරහින් වේදිකාව තරම්ම දිග පලලට වාගේ කපා තිබූ හතරැස් වලක් ඇතුලේය. මේ වේදිකා හා නර්තන ශාලා සැලසුම් එක අතකින් පාරම්පරිකව අපේ ගම්වල පැවතුණු ඒවාය යන්න තාත්තලාගේ, බෙනඩික් අයියලාගේ කතා බහ අහගන උන්නු පුංචි මගේ කන්වලට වැටුණු තොරතුරුය.
කාලයකට ඉහත, ඔය ටීටර් පෙන්නූ වත්තට ඉස්සරහ මහපාරෙන් අනිත් පැත්තේ, ස්වරාජ්‍ය වත්තේ, පෙන්නූ නාඩගම් හා ටීටර් ගැනත්, උස වේදිකාවක් මෙන්ම, ප්‍රේක්ෂකාගාරය මැද කොටස වටකර නිර්මාණය වුනු, වෘත්තාකාර ගමන් වේදිකාවක් ගැනත්, ඔය කතාවලින්ම මම අසා ඇත්තෙමි. කුමාරයා කඩුව කරකවමින් සබයට එන්නේ මේ ගමන් මග වටේටම නටාගෙන් ගොසින් ය. යමක් කමක් ඇති හැකි ඇත්තෝ, එයාලාගේ පවුල්වලට වාඩි වෙන්නට, කවිච්චි හාන්සි පුටු තියාන ඉන්නේ අර මැද්දෑවේ තියෙන කොටසේය. නැති බැරි අය පැදුරු, මාගල්, පොල්අතු එලාන ඉන්නේ ගමන් වේදිකාව වටේටය ආදි වශයෙන් මේ කතාන්දර රහට ගුණට මෙන්ම, සිනමාත්මකාකාරයෙන් රඟ දක්වා කියන්නට අපේ තාත්තාට මෙන්ම, එයාගේ ඔය නාට්‍ය කට්ටියේ වැඩි දෙනෙකුටත් මතකයන් තිබුණි. ඒ වත්තට "ස්වරාජ්‍ය වත්ත"ය කියන්නේ, හතළිස් ගණන්වල, ඉන්දියාවේ නිදහස් සටන වූ ස්වරාජ්‍ය ව්‍යාපාරයේ උණුහුම ලංකාවටත් දැණුනු කාලයේ, මහත්මා ගාන්ධි, ශ්‍රී නේරු ආදී පිරිසක් ලංකාවට ඇවිත් දින ගණනක රැස්වීම් මාලාවක් පවත්වාපු හින්දාය කියාත් එයාලාගේ කතා වලින් මං ඇහිඳගත් දේ ය. අද මම ලියනවා වගේම, එදා එයාලා කිව්වේත්, එයාලාගේ ළමා කාලයේ මතකයන්ම වීම, ඒවා ඒ තරම් විචිත්‍රව කියා කර පෙන්වන්නට හේතු වූවා විය යුතුය.
බේබි මහත්තයාගේත්, බෙනඩික් අයියාගේත්, නයිනමඩමේ මේ ටීටර් නාට්‍ය මාලාව වේදිකාගතවූ හැම දවසකම වාගේ මාත් ඒ ප්‍රේක්ෂකාගාරයේ පුටුවක් උඩ ඇස් දල්වා බලාගෙන හෝ බාගෙට හෝ සම්පූර්ණයෙන්ම පාහේ හෝ නිදාගෙන හෝ හිටිය බව නම් මතකයේ තිබේ. එහෙම ගිය දවස්වල ඉතින් ආපහු ගෙදර එන්නට වෙන්නේ දවසේ දර්ශන වාර අවසන්වී, ගණුදෙනු හෙමත් බේරා අවසන්වී තාත්තා ගෙදර යන වෙලාවටමය.
එදා ඒ ටීටර් මාලාවේ මට අමතකම නොවන ටීටර් එක නම් සන් සෙබස්තියන් කතාවය. සෙබස්තියන් මුනින්ද්‍රයායි කතෝලික පල්ලියේ වැඳුම් පිදුම් ලබන ශුද්ධ වරයා, නර්බෝනා හි උපත ලැබ මිලානයේ හැදී වැඩී රෝමයට පැමිණ යුධ සෙබලකු ලෙසත් සෙන්පතියකු ලෙසත් සේවය කරන අතර, ක්‍රිස්තියානිකාරයකු වීමේ වරදට දඬුවම ලෙස ගසක බැඳ ඊතල වලින් විද මරා දමන්නට රෝමාධිරාජ්‍යයා විසින් නියම කරන ලද්දේය. සෙබස්තියන් මුනිදුන්ට කැපවුනු, පසුගිය පාස්කු ප්‍රහාරයට ලක්වුනු මීගමු කටුවාපිටියේ දෙව් මැදුර ඉදිරිපස, සන්නාහයෙන් සන්නද්ධ වූ සෙබස්තියන් සෙනෙවියාගේ රුවක් ඇති අතර, දෙව්මැදුරේ අල්තාරයට ඉහලින් ඇති ප්‍රතිමාව, ගසක බැඳ ඊතල විද සිදුරු කල සෙබස්තියන් මුනිතුමාගේ රුව දක්වයි.
ඉතින් විය යුතු සේම, බෙනඩික් අයියාගේ සෙබස්තියන් ටීටර් එකේ ද, උත්කර්ෂවත්ම අවස්ථාව වූයේ, ගසක බැඳි සෙබස්තියන් මුනිතුමාට ඊතල විද අච්චු කරන්නාවූ දර්ශනයය. ඒ කෑල්ලට, මට මතක හැටියට වෙනත් පලාතකින් විශේෂයෙන් ගෙන්වූ දුනුවායකු යොදා ගන්නා බවත් එයා ඇත්තම ඇත්ත දුන්නක් ඒ සඳහා පාවිච්චි කරන බවත් වශයෙන් කණින් කොණින් ගිය කතාන්දර ද පැතිරී තිබුණේය.
වේදිකාව මැද්දෑවට වන්නට හිටවූ ගස් බඳක බැඳ, උඩුකය නිරුවත් කල සෙබස්තියන් මුනිදානන්ට රැඟූ නළුවා අහසට නෙත් යොමා දෙවියන්ට ස්තෝත්‍ර කියමින් සිටියා කියා මගේ මතකයයි. උස මහත මිනිසකු වූ දුනුවායා, වේදිකාවේ පහල හිඳ ඇලයට බලද්දී, තවත් උස් වී පෙනුණේය. ඔහුටත් වඩා උස (මගේ මතකයේ ඇති චිත්‍රයේ පෙණෙනාකාරයට නම් අඩි හතක් අටක් වත් උස) මහා දුන්නක් අත දරා සිටි ඔහු, අඩි හතරක් පහක් වත් දිග ඊතල දුනු දියට අටවා ඇද, සෙබස්තියන් මුනිතුමා දිහාවට හරවා මුත්, බිමට වැටෙන සේ විද්දේය. ඒ විදීමත් සමගම වාගේ, වේදිකාවේ උඩින් පැත්තෙන්, සෙබස්තියන් මුනින්ද්‍රයා බැඳ සිටි ගහට අවුණා ඇද තිබූ කම්බි දිගේ, අඩියක විතර, රිදීපාට ඊතල රූපයක් ඇදී ඇවිත්, එතුමාගේ සිරුරට කිට්ටුවෙන්ම වාගේ නැවතුනේ ය. දුනුවායා වේදිකාවේ එහා මෙහා යමින් එක් එක් තැන්වල සිට එක් එක් කෝණවලින් ඊතල විද්ද අතර, අර කම්බි දිගේ ආපු ඊතල නම් ඒ කෝණ වත්, පැතිවත් ගණන් නොගෙන එයාලාට හිතෙන හිතෙනාකාරයටම ඇවිත් වැදුනේ ය.
මං හිතන්නේ ඒ සීන් එක අන්තිමට වගේ අවුණා තිබුණේ හේතුවක් ඇතුව වෙන්නටත් පුළුවන.
සෙබස්තියන් මුනිඳුන් ගැන අපි කුඩා කාලේ ගුවන්විදුලියේ නිතරම ඇහුණ ගීතය, කුසුමේනි නර්බෝනාය. ගැයුම සෙබස්තියන් පීරිස්ගේ ය.
අපේ තාත්තාගේ කලාකටයුතු ගැන අනිත් මතකය, පාස්කු හා බැඳී තිබේ. අපේ පලාතේ සෑම පල්ලියකම පාහේ, මහ සිකුරාදාට කුරුසේ ඇණගසන සුරුවමක් තියෙයි. මනුස්සයකුගේ උස මහතට නෙලා ඇති මේ සුරුවමේ අතපය, හිස, ඇස් එහා මෙහා කලහැකිසේ තනා ඇති අතර, මහ සිකුරාදා පාස්කු සිහිපත් කිරීමට යොදා ගන්නේ මේ සුරුවමය. තාත්තා හා බැඳුනු පාස්කු මතක, වෙනමම සටහනකම ලියන්නට ඕනෑයි හිතේ.
ඒ මතකය මතක තියා ගන්නට උදව්වෙන මේ ගීතිකාව විතරක් මෙතන අවුණමි.
බේබි මහත්තයාගේ මේ කලා කටයුතු වලට අමතරව, මං නං හිතන්නේ, එයාට රඟපාන්නට හරියාකාර අවස්ථාවක් ලැබුණා නම් එයා නිරනුමානයෙන්ම දක්ෂ නළුවෙක්ද වෙනවායි කියාය. එයාගේ රඟපෑමක් ගැන කාලයකට කලින් මුහුණු පොතේ මා තැබූ සටහනක් පහත අවුණමි.
මං කැම්පස් කාලේ කටුනායක කිට්ටුව මක්කම වන්දනාවේ ගිය කට්ටියක් රැගත් ගුවන් යානයක් කඩාන වැටුනේ ය. ඉතින් අහල පහල හින්දා අපේ තාත්තාත් නංගී අම්මා එක්ක ප්ලේන් එක වැටුනු තැන බලන්ඩ ගිහින් තිබුණි. ගියා විතරක් නෙවෙයි, ඒකෙන් කැඩිලා, විසිවෙලා තිබ්බ අඟල් හතාටක ඇළුමිනියං රීප්ප කෑල්ලකුත් උස්සාගෙන ඇවිල්ලා තිබුණි.
අපේ අම්මා නං 'ඔය මළ මිනිස්සුන් ගේ කෑලි ගෙවල් වල ගේන' වැඩේට ආඩපාලි කිව්වත් තාත්තා අපේ ගෙදර ස්වාමියා හින්දා එව්වා ට යට වෙලා නැත.
ඒ සතියේ ගෙදර ගිය වෙලේ හවස් වරුවේ තාත්තාත් ගෙදර ආවාට පස්සේ අපේ නංගී 'අය්යාටත් ප්ලේන් එක වැටුනු හැටි පෙන්නන්ඩ' ය කියා දෙතුන් වරක් කරදර කෙරුවාට පස්සේ, මාව සාලේ පුටුවක වාඩි කරවලා සියළු ලයිට් නිවාදාන ලදී.
එයින් මෙහොතකට පස්සේ, කුස්සිය පැත්තට යන දොර රෙද්ද මෑත්වී මහා භයානක සද්දයක් දාගෙන විදුලි බුබුළු නිවෙමින් පත්තුවෙමින් පැමිණි ප්ලේන් එක දඩ බඩාං පට පටෝන් ගා සාලය මැද්දේ කඩාන වැටුනේ ය.
ලැයිට් දාලා බලද්දී ඒ අර ඇළුමිනියං කෑල්ලත් අතින් උස්සාන අනිත් අතින් ටෝච් එක නිව නිවා පත්තු කර කර දුවගෙන ඇවිත් සාලය මැද්දේ අත ඇරපු තාත්තාය.
හැබැයි මට නං හිතෙන්නේ ඒ වැඩේ, ඔයි කැළණියේ නාග සලං නාට්‍යයට වඩා තාත්විකව තිබුණා කියාය. කොටින්ම අච්චර අන්ධකාරේ අත් දෙකම උස්සාන දුවාන ඇවිල්ලාත් තාත්තාගේ සරම නම් ඩිංගක්වත් බුරුල් වෙලාවත් තිබුණේ නැත.
අපේ තාත්තාවූ බේබි මහත්තයා අද හිටියා නම්, අවුරුදු අනූ නවයක අත්තා කෙනෙක්ය. එයාගේ මතකයත් එක්ක මතක්වෙන ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමා රචනාකර, මං පුංචිකාලයේ අපමණ වතාවක් ගයනවා, ගැයෙනවා අසා ඇති, අදටත් ගැයෙන මේ පරමණ්ඩල යාඤාව මෙතන අවුණමි.
පෘතුවිය වටා කැරකෙන්නේ එකම එක චන්ද්‍රයකු මුත්, චන්ද්‍රසේන ලා නම් බොහෝ ය. එයාලා ඉතින් වාර්තා තියාපු හා තියන අයය කියා ආය කියන්නට උවමනා නැති තරමට මේ ලියවිල්ල කියවන බොහෝ අය එයාලා ගැන විස්තර කතා සවිස්තරව අසා දැක තියෙන්නට පුළුවන.
මේ අතරින් මම කියන චන්ද්‍රසේන, මමත් මානෙලුත්, තිඹිරිගස්යායේ ශාන්ත තෙරේසා දෙව්මැදුරේදී අතිනත් ගත් දවසේම ගාල්ලේ ඉපදී, හැදී වැඩී, මොරටුවෙන් ටවුන් ප්ලෑනින් උපාධියක් අරන්, මැලේසියාවේ විශ්ව විද්‍යාලයක පශ්චාත් උපාධියක් හදාරන කාලයේ, 2013/14 කාලයේ විතර මුහුණු පොතෙන් මුණ ගැසුනු, නදීෂා චන්ද්‍රසේනය.
අද ඇය ගැන ලියන්නේ ඇයිදැයි ලියන්නටත් උවමනාදැයි සැක හිතෙයි. මන්ද, 2025 හේ ලෝක බුද්ධිමය දේපල අගැයුම් ත්‍යාගලාභීන් දස දෙනා අතරට, ලංකාවේ නමත් එකතු කරන්නට ඈ සමත්වී ඇති බව නොදන්නා කෙනෙක්, මේ සටහන කියවාවිදෝයි හිතෙන නිසාය.
ඔය මුල්ම කාලේ 2014 ජනේරුවේ දවසක, නදීෂා මැලේසියාවේ ඩ්‍රැගන් පෘට් වගාව අලලා, අපූරු සටහනක් තබා තිබුණාය. එයාගේ ලියවිල්ල නැතත්, මගේ පරණ මුහුණු පොත් සටහන් අස්සේ ඒකට මා ලියූ කොමෙන්ටුව ඉතිරි වී තිබුණි.


ජයතිලක කම්මැල්ලවීරයන් ලියූ කතාවක්, සටහනක්, පොතක්, නොකිය වූ, සිංහල පතපොත කියවූවකු සිටීම උගහටය. නූතන සිංහල කෙටිකතාවේ ඉදිරිමග සලකුණු කෙරුවෙකු ලෙසත්, තවමත් ඒ මග මං පෙන්වන්නකු ලෙසත්, අපි බොහෝ දෙනෙක් කම්මැල්ලවීරයන් හඳුනමු.
වන උයනක දෝතින් බදා අල්ලන්නට බැරි, අහසටම ඇස් යොමුකලත්, අගිසි දළුවක නෙත් රඳන්නට බැරි විසල් වෘක්ෂයක් දුටුකල, අපිත් මෙතන උන්නා, අපිත් මෙයාව දැක්කායි කියන්නට, සේ රුවක් සටහන් කරන්නට අපි පෙළඹෙමු. ගිලිහී වියලී වැටුනු පතක් ගෙනවුත් පොතක් අස්සේ දමා තියාගන්නට පෙළඹෙමු. ඒ අපි අපේ අගැයීම පෙන්වනා ආකාරයය. අපේ ආදරය සටහන් කරන්නාවූ ආකාරයය.
මේ පහත වීඩියෝව, සන්නස්ගලයන්, කම්මැල්ලවීරයන්ගේ කළු සපත්තු කියවන, කියා දෙන, විමසන, විචාරණ සටහනකි.
ඊලඟ සබැඳිය, කම්මැල්ලවීරයන්ගේ කෙටිකතාවකට හඬ කවන්නට මා ගත් දුබල උත්සාහයකි.
අවසාන සබැඳිය, කම්මැල්ලවීරයන් හා කල කතාබහක් ගැන කෞශල්‍ය කුමාරසිංහ, බීබීසී වෙබ් අඩවියට ලියූ සටහනකි.
මේ පීඩකයාගේත් පීඩිතයාගේත් මුහුණට මුහුණලා කෙරෙන ද්වන්ධව සටන රූප ගැන්වෙන කතාන්දර මෙන්ම ඒ තේමාවම හදවත කරගත් නොයෙක් ආකාර හැඩතල මත සිතුවම් වූ කතාන්දර අපි අනන්තවත් අසා ඇත්තෙමු. කොටින්ම, නිර්මාණාත්මකව විමසන්නේ නම්, අප දන්නා කියන බොහෝ කතන්දරවල මේ තේමාවේ හෙවනැල්ලක් හෝ ගෑවී තියෙන්නේයැයි තීරණය කරන්නට හැකි වෙයි. රජාගේ මුග්ධකම් උපහාසයට ලක්කරන අන්දරේගේ, හෝ දේශයේ පාලකයින් සුල්තාන්ලා ගේ නරුමකම් සූක්ෂමව අපහාසයට ලක් කරන නස්රුදින්ගේ කතා පසුපස වුවද මේ හෙවනැල්ල වැටී තියේයැයි මම සිතමි. පාලකයා හා පීඩකයාට විරුද්ධව අත ඔසවන්නට නම් පීඩිතයා එක්කෝ, මෝඩ තකතීරුවකු විය යුතුය. නොඑසේ නම්, කෘෘර පාෂාණමය හෘදයක් සහිත මිනීමරුවකු විය යුතුය. ඔවුන් එතැනට ඔසවා තබන්නේ ද පීඩකයාගේ යම් නොමනා ක්‍රියාකාරකමක් නිසා වුවද, වැදගත්ම පණිවිඩය වන්නේ, නැගෙන්නා නැගෙතොත් නැගෙන්නේ සමාජයටම පිළිලයක් බවට පත්වී නැසෙන්නටම මිස, සමාජ පරිවර්තනයක් කරන්නට නම් නොවන බවය.
වික්‍රම රන්දෙණිය අප්පොට, අවසාන අවසානම මොහොතේ දී වුවද මුතුමැණිකාටත්, සුදු බණ්ඩාටත් කියාගන්නට බැරි රහසක් තිබෙයි. වැලිකතරේ අවසාන මිරිඟු දිය බිඳුව ඇත්තේ එතනය. පවුල, පෙලැන්තිය, ජන්මය, පරම්පරාවාදී නානා ප්‍රකාර වචන වලින් සංකේතවත් වන පීඩකයාගේ පීඩා කිරීමේ දිව්‍යමය අයිතිය රැකෙන්නේ නොකිය හැකි, නොකිය යුතු මේ අශුද්ධවූ රහස රැකීමේ අරමුණ විසින් ය.
එදා මෙදාතුර ගතවූ පණස් පස් වසරකට සමීපවන කාලය තුල, මේ චිත්‍රපටයේ රසතැන්, විඳිය යුතු, මෙන්ම නිරායාසයෙන්ම විඳවෙන තැන්, අපි ඒ කාලේ කතාකල බාසාවෙන්ම ලියනවා නම්, ගාමිණීගේත් ජෝවා ගේත් මාර ඇක්ටින් කෑලි, තිස්සගේ විනිවිදෙන දෙබස් කෑලි, සුදු වැලි තලාවක කාළවර්ණයෙන් ඇඳි රේඛාවන් ලෙස නිහාල්සිංහ මතුකරන හැඟීම් දැනවීම් ගැන කොතෙකුත් කතාබස් වී ඇති. කොතෙකුත් ලියවිලි ලියවී ඇති. එහෙත්, අද මට එතුලින් ඉස්මතුවන, පීඩිතයාට පළිගැනීමට ඇති එකම මාර්ගය, මුළු සමාජය හමුවේම නරුමයකු, නීති විරෝධියකු බවට පත්වීම පමණක්ය යන පණිවිඩය ඒ හැමටම ඉහලින් මතුවී පෙනෙයි. වික්‍රමට අභියෝග කරන්නට, රන්දෙණිය නින්දගමේ නෝංජලයකු වූ සුදුබණ්ඩාට, හොර අබිං ජාවාරම්කාර, මිනීමරු ගෝරිං මුදලාලි නම්, අද පවතින නිර්වචනයෙන්ම කියතොත්, පාතාලයා වන්නට සිදුවන්නේ ඒ නිසාය. දෙවියන්ගේ බුදුන්ගේ දිව්‍යමය ආරක්ෂාව ලබන, පාලක පැලැන්තියට විරුද්ධව අවි අත් නොව, හඬක්වත් නගන්නේ නම් ඒ එවැනි දූෂිත, තුච්ච, අපරාධකාර ආත්මයක්ම පමණකිය යන්න, අපේම අම්මලා තාත්තලා අපට කියාදුන් අවස්ථාත් මගේ ජීවිතයේ මෙන්ම ඔබේ ජීවිතයේත් ඇති පමණ තිබේයැයි සිතමි.
අපේ සමාජ චින්තනය හා බද්ධකර පෝෂණය කල මේ නිර්ණායකය අද බිඳ වැටී තිබේ. මේ දෙබරයට ගැසුණු ගල නිසා ඇවිස්සුණු සුළි කුණාටුව මෙල්ල කරගැනීමේ කාර්යය අද සමස්ථ ලාංකික සමාජය හමුවේම අභියෝගයක්ව පවතී. නරුමයකු, අපරාධකාරයකු, මිනීමරුවකු, හොරෙකු හා වංචනිකයකු නොවී, වික්‍රම රන්දෙණියලාගේ මානසික ආධිපත්‍යයට අභියෝග කිරීමේත්, දඬුවම් කිරීමේත්, සුවිශේෂී කතාන්දරයම වැලිකතර වසාගෙන නැගෙන සුනාමි රැල්ලක් බවට පත්වෙමින් තිබේ. මරාගෙන මැරෙන හරාකිරි මානසිකත්වයෙන් මෑත්වී, බදාගෙන නැගෙන අනාගතයක සිහිනය, අප සිහිනයක් කර නොගත යුත්තේත්, ඒ වෙනුවෙන් ඇප කැපව අවධියෙන් සිටිය යුත්තේත්, ඒ නිසාය.
“බය වෙන්ඩ එපා හාමුදුරුවනෙ, මා අතේ ආයුධ මුකුත් නෑ... වඩින්ඩ එළියට“
“මොකද මිනිහො, බැහැපන් යකෝ එළියට....“
“ඒ ජාතියෙන් ද එන්ඩ හදන්නෙ සර්.... හොඳයි බලමු. මමත් ලෑස්තියි. මම පිස්තෝල පාවිච්චි කරන්නෙ නෑ සර්ලත් එක්ක. මං ගිරිය කඩාගෙන කෑ ගහන්නෙ නෑ. හැබැයි හොඳ ආයුධයක් තියනව මා ගාව. ඒ හින්ද ප්‍රවේසමෙන්.... හාමුදුරුවනෙ... ආසියත් මා ගාව, බූරුවත් මා ගාව... නමයෙ කොළෙත් මා ගාව. තුරුම්පු හතරයි.... අත වහල ගහමු ද? පාර්ට්නර් ක්ලෝස්. බූරුව කූට්ටමෙ කොළ මට අඳුන්නල දුන්නෙත් සර් නෙ. මතක ද? අද සර්ට ලොකු දවසක්. එහෙමනෙ.... සපුමල් කුමාරය යාපා පටුනට ගිනි තිබ්බ. ඒ කියන්නෙ වික්‍රම රන්දෙණිය ඒ. එස්. පී. හාමුදුරුවො නොහොත්, රන්දෙණිය රටේ මහත්තයාගේ එකම පුත්‍ර රත්නය වූ, වික්‍රම රන්දෙණිය පොඩි හාමුදුරුවො ගෝරිං මුදලාලි නොහොත් දිප්පිටිගල මුදියන්සෙලාගේ සුදු බණ්ඩගෙ හොර තෙප්පම් අටකට වැඩක් දුන්න. බොහෝම ලොකු හපන් කමක්. ඉතිහාසගත වෙන වීර ක්‍රියාවක්. ඒ ප්‍රීතියට පොඩි අඩියක් ගහන්ඩ මං මේ ආවෙ.... ඒයි.... සෝඩ ටිකකුයි අයිස් ටිකකුයි අරන් වරෙන්....“
“ උඹ ගෙට පලයන් යන්ඩ....“
“ඒකත් එහෙම ද?.... මිසී නිදිමරන්ඩ ඕනෙ නෑ. ගිහින් නිදාගන්ඩ. ඔය තත්වෙ ඉන්නකොට නිදි මැරීම හොඳ නෑ.“
“මොන තත්වෙද යකෝ...?“
“මීට අවුරුදු දහතුනකට උඩින් මගෙ නංගි හිටපු තත්වෙ. මගෙ නංගි බඩින් ඉන්න කොටත් මේ වගේ මූණ පුරෝදාල තිබුණ මතක නැද්ද?... හාමුදුරුවනෙ?... අද රෑ දොළහටත් මට බඩු තොගයක් එනව. සර් සතුටු නම් මාව එතනදි හම්බවෙන්ඩ පුළුවන්. අදට එච්චරයි. තොවිලෙ දවස් හතක් තියනව. හත්වෙනි දවසෙ රෑ දොළහටයි දරහැව ගෙනියන්නෙ“
ගිය අවුරුද්දේ තිරගත වෙන්නට පටන්ගත්තු නූතන වැලිකතරේ අන්තිම වෙඩිල්ල තවම පත්තු වුනේ නැත.
සිංදු අහලා ඇති. රූප රාමු දැකලා ඇති. සිංදුවක් දැකලා රූප රාමු අහලා තියනව ද කවදාක හරි? ඇස් දෙකෙන් හා කන් දෙකෙන් එක වර අහන්න එක වර දකින්න.
හිතක් පපුවක් නැද්ද වැස්සත් නුඹ වගේ... රිද්දුවයි...අවසරෙන් වැද්ද හිතම කුඩුපට්ටම් මගේ... මම නැගුවෙ නෑ.. හ්ම්ම් සද්ද නාඩා ඉන්නම් බලා ඉන්නම් නාඩා ඉන්නම් බලා ඉන්නම් එක දෙයක් මම අහන්නම් අනේ උඹට හිතක් පපුවක් නැද්ද ? නොදන්නා තව අයම කීයක් උඹේ හිත තුල ඇද්ද නොදන්නා තව අයම කීයක්... මේ තමා... මේ තමා... තක්කෙටම පෙම මට වගේ හිතිලම නැද්ද නාඩා ඉන්නම් බලා ඉන්නම් නාඩා ඉන්නම් බලා ඉන්නම් එක දෙයක් මම අහන්නම් අනේ උඹට හිතක් පපුවක් නැද්ද ? උඹෙ හිතේ මගෙ ඉඩම ඇත්තේ හෙනම ඩොටයක හද්ද උඹේ හිතේ මගෙ ඉඩම ඇත්තේ... අයිති නෑ... අයිති නෑ... සින්නක්කරම මට අනේ හති දැන් ගෙවලම බද්ද.. නාඩා ඉන්නම් බලා ඉන්නම් නාඩා ඉන්නම් බලා ඉන්නම් එක දෙයක් මම අහන්නම් අනේ උඹට... නාඩා ඉන්නම් බලා ඉන්නම් නාඩා ඉන්නම් බලා ඉන්නම් එක දෙයක් මම කියන්නම් පෙම් කරන්නට අයිති මොකටද අනේ..... රෙද්ද! Lyrics : Yashodha Adhikari යූටියුබ් වීඩියෝවේ සඳහන පහතින්. Vocals : Sashika Nisansala Lyrics : Yashodha Adhikari Music composed , arranged and produced by Senanga Dissanayake @BrickHouse Audio Production ----------------------------- Percussion : Nuwan Liyanage Acoustic Guitars : Dihan Kularatne Flute : Indika Rajintha Strings(Ceylon Quartet ) : Violin - DarshanaAmarasinghe, Sanduni Vishaka Viola - Manoj Wijayawardana Cello - Ravipathi Uthpala Kandage All keys : Senanga Dissanayake Recording Engineers : Amala Mihiranga , Senanga Dissanayake @BrckHouse Mixing & Mastering : Lahiru de costa @LAV studio Video Production ---------------------------- AMA VISUAL CONCEPTS (PVT) LTD Writer - Nimna Dewpura Director -Nimna Dewpura Cast - Akalanka Prabashwara Kanchana Malshani Kaushi Disanayake Shriyani Rupasinghe Cinematographer - Shihara Osha Production Designer - Nimna Dewpura Line Producer - Amapani Galmangoda Assistant Director - Chamara Sadaruwan 2nd Assistant Director - Kasun Ukwatte Editor & Colorist - Nerun Kalpajith Costume Dsigner - Amapani Galmangoda Makeup Artist - Madara Godage Art Director - Sadun Madurapperuma Art Department Assistant - Kamitha Chandula Production Manager - Champika Rathnasiri Coordinater - Shani Gamage Gaffer - Madushanka Piris Camera Assistant - Pulinda Kekulawela Focus Puller - Chulaka Saman Technician - K.G Munasinghe Still Photographer - Tharindu Viduranga Transportation Support - House Owner - Jagath Senanayeka Restaurant Alita Galle Sri Lanka Fire Brigade Sri Lanka Police Department Dimuthu Kumarasiri Galle Municipal Council Prauda Buwaneka Galmangoda Ransaka Galmangoda
විශ්ව විද්‍යාල පිවිසුම්
ලැබ ඇතුලත් වීමේ ලිපි බලාපොරොත්තුව සිටි ඒ කාලයේ පංති මිතුරන් සමග විශ්ව විද්‍යාල
තේරීම් ලේඛනය බලන්නට කොළඹ අධ්‍යාපන දෙපාර්තමේන්තු පරිශ්‍රයට අප ගිය ගමන් මට මතකය.
වෙන්නප්පුවේ ජෝශප් වාස් විදුහලේ (දැන් ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය) සිසුන් වූ අපටත්
උසස්පෙල ලිවීමෙන් පසු එළඹෙන ප්‍රතිඵල නිකුත්වීම හා විශ්ව විද්‍යාල තේරීම් තීරණ
නිකුත්වීම අතර සංක්‍රාන්ති සමයේ සිටි බොහෝ දෙනෙකුට මෙන්ම, ඒ කාලයේ විනෝදය හෝ ආතල්
එක වූයේ, ගමන් වියදම් හොයාගෙන, බසයක නැගී කොළඹ ගොස්, චිත්‍රපටියක් බලා, පුංචි පහේ රස්තියාදුවක යෙදීම ය.
ඒ අතරතුර මීගමුවේ ජර්මන් පංතියකට ගියාත් මතකය. මගේත්
ජෙරම් ඇන්ටනි ගේත් දැන හැඳුනුම්කම් වැඩෙන්නේ එතැනදී ය. පාසලේදී සමාන්තර උසස් පෙළ පංති
දෙකක ඉගෙනුම ලැබූ අප දෙදෙන, එකිනෙකා දැන සිටියද, ලඟ මිතුරු ඇසුරකට වැටෙන්නේ, උසස්පෙලින්
සරසවි වරම් ලැබූ කාණ්ඩයට ගොනු වීමත් සමගය.
ජර්මන්, ප්‍රංශ භාෂා උගෙන විදෙස්ගත වීම හෝ, සංචාරක
කර්මාන්තයට මුක්කුවක් ගැසීමේ යම් විදිහක බලාපොරොත්තුවකුත්, අපේ කාලයේ අපේ පැත්තේ තාරුණ්‍යයේ
සිහිනයක්ව තිබුණේය. ඒක මීගමු වෙරල තීරය දිගේ සංචාරක හෝටල හා සංචාරක නිවාස ඉදිවෙමින්
තිබුණු, රජය සශ්‍රිකවම සංචාරක ව්‍යාපාරය රටේ ආර්ථිකයේ ප්‍රධාන දායක තනතුරක තබා ප්‍රවර්ධනය
කිරීම ඇරඹුනු යුගය ලෙස මගේ මතකයේ තිබේ.
සරසවි තෝරා ගනිද්දී, අපේ එනම් ජෙරම්ගේත් මගේත් මෙන්ම
අපේ බොහෝ දෙනෙකුගේ ප්‍රථම තේරීම වූයේ පේරාදෙණි සරසවියය. ඇත්ත වශයෙන්ම කොළඹ සරසවිය තියෙන්නේ
කොහේ කොතැනක ද කියාවත් පැහැදිලි අවබෝධයක් මට නොතිබුණි. ඒ සම්බන්ධයෙන් නම් කොළඹ කියන්නේත්
කොළඹම මිස, මග තොට දන්නා තැනක් ප්‍රදේශයක් නොවූ අතර, සාපේක්ෂව වෙන්නප්පුව, නයිනාමඩම
පැතිවල නම් සෑම මග තොටකම බයිසිකලයෙන් සැරිසරා තිබූ මට, ඒ බොහෝ තැන්වල හිත මිතුරෝ ද
සිටියහ.
අපේ සිතිවිලි ප්‍රාර්ථනා කුමනාකාර වූවද, අධ්‍යාපන
අමාත්‍යංශයේ අවසාන නිර්දේශය වූයේ කොළඹය. මා සමග කොළඹ යනවායි මා දැන සිටි එකම අනෙකා
වූයේ ජෙරම් ය. ජෝශප් වාස් විදුහලෙන් අප සමග තවත් සිසුවෙක් කොළඹ සරසවියට ඇතුලත් වූවායි
මතකයක් ඇති මුත්, ටික දිනකින් වෙනත් සරසවියකට මාරුවී ගිය ඔහුගේ නම ගම මගේ මතකයේ ඉතිරිව
නැත.
සරසවි තේරීම් ස්ථිර වූ පසුව, නවාතැනක් සොයා ගැනීමේ
ගැටළුවට අපි දෙන්නාටම මුහුණ දීමට සිදුවිය. අපේ අම්මා, එවකට කළුබෝවිල ඉස්පිරිතාලයේ වෛද්‍යවරයකු
වූ ඇගේ අයියාට මට නවතින්නට සුදුසු තැනක් සොයා දීමේ කොන්ත්‍රාත්තුව භාර දුන්නී ය. ඒ
කතාබහ කෙළවර වූයේ මාමා මට ඔවුන්ගේ නිවසේ නවාතැන් දීමෙනි. මට වෙන්වූ කාමරය පිටතට දොරක්
තිබූ, නිදහසේ ආගිය හැකි කාමරයක් වූ අතර, වැදගත්ම අංගය වූයේ, නවාතැන් ගාස්තුවක් නොතිබීම
ය. මගේ සරසවි සිසු වසර හතරේම මගේ නවාතැන වූයේ මාමාගේ නිවසය.
ජෙරම්, පුවත්පත් දැන්වීම් හරහා කොළඹ බොරැල්ලේ නවාතැනක්
සොයගත්තේය. එය බොරැල්ලේ වැඩිහිටි යුවලකගේ ගෙදරක කාමරයකි. ඉතින් අපි කොළඹ ආවෙමු.
පළමු දවස:
මාමාගේ වැඩිමල් පුත් ට්‍රැවිස්, එවකට කොළඹ රාජකීය
විද්‍යාලයේ සිසුවකු වූ අතර, මට විශ්ව විද්‍යාලය පෙන්වීමේ වගකීම පැවරුණේ ඔහුටය. කළුබෝවිල
බර්නාඩ බොතේජු ආයතනය අසලින් බසයක නැගුණු අප, තර්ස්ටන් පාරේ විශ්ව විද්‍යාලය ඉදිරිපිටින්
බසයෙන් බැසි වහාම, අප දෙදෙනාම ජේෂ්ඨයින් දෙදෙනෙකුගේ ග්‍රහණයට හසුවිය. ඔවුන්ගේ මුහුණු
තවමත් මතක මුත් නම් ගම් නම් මතකයට නොඑයි.
තමුන් රාජකීය සිසුවෙක් බව ඒත්තු ගැන්වීමෙන් පසුව ට්‍රැවිස්
නිදහස්වී ගිය අතර, බෙල්ලේ එල්ලාගත් සපත්තු කූට්ටමත් සමග තර්ස්ටන් කැන්ටිමේ මේසයක් මතට
නැංගවුනු මට සිංදුවක් කියන්නැයි අණ ලැබිණි. කිසිදු ගායන හැකියාවක් නොතිබුණු මම, මා
වැනි බිලින්දා හෝ එවැනි ළමා ගීතයක් ගැයුවේයැයි මතකය. මා සිගරට් බී තිබේදැයි ප්‍රශ්නයක්
ආවේය. මම නැතැයි කීවෙමි. ඒ නිසාම මට පත්තුකල ෆෝඒස් සිගරට්ටුවක් ලැබුණේය. එය සතුටින්
භාර ගත්තෙමි.
මිනිත්තු කිහිපයක මෙවැනි නීරස ක්‍රියාවන්ගෙන් පසුව,
පීඨාධිපති කාර්යාලයේ ලියාපදිංචිය සඳහා මා තර්ස්ටන් පාර පැන සරසවියේ ප්‍රධාන ගොඩනැගිලි
වෙත රැගෙන යන ලදී. ගේට්ටුවෙන් ඇතුළු වූ වහාම වාගේ හමුවන සල්ගහ මුලදී, සපත්තු යුගලය
බෙල්ලේ එල්ලාන සරසවි ආ මා ගැන හෘදයාංගමව සානුකම්පිත වූ තවත් ජේෂ්ඨයෙක්, වහාම මාගේ සපත්තු
නැවත පැළඳගන්නටත්, කමිසය නිසි පරිදි සකස් කරගන්නටත් උදව් කළේය. පසුකලෙක ඔහුත් එදා නවකයින්
නිරුපද්‍රිතව බලා කියාගත් සියල්ලෝමත්, ා ශිෂ්‍ය සංගම් නිලවරණ සඳහා සූදානම් වූවන් ලෙස
අපට හඳුනාගන්නට හැකි වූ බව මතකය.
අනතුරුව එලඹියේ, පීඨාධිපති කාර්යාලය ඉදිරිපිට පෝලිම්
ගැසී බලා සිටීමේ කාලයයි. මා අසල සිටි අයගේ මුහුණු එකින් එක මා බලා සිටි අයුරු මට මතකය.
බොහෝ සිසුවියෝ හඬන්නට ආසන්නව බලා සිටි අතර, දෙතුන් වරක් කඩින් කඩ නැගුණු හූ හඬත්, අවට
රැස්ව සිටි ජේෂ්ඨයින්ගේ ඝෝෂාවත් අතර අප රැඳී සිටි කොරිඩෝවත් ටිකින් ටික ඝෝෂාකාරී වෙන්නට
පටන් ගත්තේය.
මෙයින් ප්‍රකෝප ව සිය කාමරයෙන් හිස පිටතට දමා අපට
දෝෂාරෝපණය කල කමල් ඩීන් ගේ මුහුණ අප දැක්කේ එවිටය.
පීඨාධිපති කාර්යාලයේ ප්‍රධාන ලේකම් වරයා වූ ඔහු, එදා
ලියාපදිංචියේ කාර්යයන් කළ අතර, අප බොහෝ දෙනෙකු පීඨාධිපති (ඩීන්) ඔහුයැයි එදා රැවටුනු
බව වටහාගත් දා සිට ඔහුගේ නම කමල් ඩීන් විය.
ලියා පදිංචියෙන් පසු, අප සියළු දෙනාම, නැවත පෝලිම්ගස්වා,
පොත් ෆයිල් කවර හිස මත තබ්බවා, තර්ස්ටන් කැන්ටිම වෙත, උහත්සවාකාරයෙන් හූ හඬ මධ්‍යයේ
කැඳවාගෙන එනු ලැබීය. මගේ මතකයේ හොඳින්ම සටහන්ව ඇත්තේ මට ඉදිරියෙන් ගිය, ක්ලාන්ත වෙන්නට
ආසන්නව සිටි කෙල්ලකගේ රූපයය. කඳුළු මතුවුනු දෑසින් බියෙන් ගැහි ගැහී ගමන් කල ඇගේ මුහුණේ
ඡායාව තවමත් මතක ඇතත්, ඒ කවුරුන්දැයි හරි හැටි අනුමාන කර ගැනීම නම් උගහටය.
තර්ස්ටන් කැන්ටිමේ දී, මේස වටා ඇවිදීම, දිවීම වැනි
ක්‍රියාවන් දෙක තුනක් මිස, ඒ පොදු නවක වදයේ විස්තරාත්මක විස්තරයක් මට මතක නැත. එහෙත්
එය සාමාන්‍ය සදාචාර සීමාවන් කිසිසේත්ම නොඉක්මවූ බව නම් ලියා තැබිය යුතුය.
මේ සියල්ල අවසන, බස් නැවතුමේ දී මගේ පාසල් පංති සගයෙකුගේ
අයියා වූ මැකෝලි මුණ ගැසීම, යම් ආකාර සැහැල්ලුවක් ගෙන දුනි. උපාධිධාරී ගුරුවරයෙක් වූ
ඔහු, වැඩිදුර හැදෑරීම් සඳහා පාඨමාලාවන් කිහිපයකට ලියාපදිංචි වීමට පැමිණ සිටියේය. අප
දෙදෙනා කථාබහ කරමින් සිටින අතරතුර, ඔහු දැන හඳුනන තවත් තරුණියක් එතැනට පැමිණි අතර,
ඈ පැමිණ සිටියේ එදා විද්‍යා පීඨයට ඇතුළු වූ ඇගේ නැගණිය කැටුව යන්නටය.
එදා මගේ සරසවි දිවියේ පළමුදා මට මතක අවසාන සිදුවීම,
මැකෝලි ගේ මිතුරිය ගේ නැගණිය, ප්‍රියංගනී කාරියවසම්, බසයකට ගොඩවෙන ගමන් හැරී “යන්නම්”
කියා කිව් මොහොතය.
මතක හැටියට ඒ ඇස්වාට්ටුව පැත්තට ගිය 138 කි.