Monday, March 30, 2026

සමස්ථානික ස්වර්ණා....

 "එකම මූලද්‍රව්‍යයක වෙනස් නියුට්‍රෝන සංඛ්‍යාවන් සහිත වෙනස් පරමාණුක න්‍යෂ්ටීන් පවතී නම් ඒවා සමස්ථානික ලෙස හැඳින්වේ. එනම් සමස්ථානික වල සමාන ප්‍රෝටෝන සංඛ්‍යාවක් තිබුණ ද වෙනස් නියුට්‍රෝන සංඛ්‍යාවන් ඇත.“ -විකිපීඩියා

සමස්ථානික ස්වර්ණා... බැළුවාම එකම වාගෙයි
හැසිරෙන්නෙත් එකම විදිහටයි
වෙන්කරල අඳුරන්න අමාරුයි
වෙනස තියෙන්නේ එව්වායෙ න්‍යෂ්ඨි වල
සංයුතියේ විතරයි...

යුරේනියම් වල ස්වර්ණා
බහුලවම තියෙන්නේ දෙසිය තිස්අට
ඒක පරමාණුක භාරය... 
නැත්තං න්‍යෂ්ඨියේ බර...
ඒකක දෙසිය තිස් අටක්...

ඒ අස්සේ සීයට දශම හතක් විතර
සීයට එකකටත් අඩුවෙන් තියනවා
දෙසිය තිස් පහ...
ඔය දෙන්නා හැඩ රුවෙන්
නටන දඟලන විදිහෙන්
කතා කරන වචනවලින්
හැම අතින්ම එකම විදිහට
පේන්නේ අපට...

ඒ වුණත් ස්වර්ණා... දෙසිය තිස්පහ
අස්ථායි සමස්ථානිකයක්...
කිසිම ආරෝපණයක් නැති
පරමාණුක භාරය එකක් වෙච්ච
උදාසීන නියුට්‍රෝනයකට පුළුවනි
දෙසිය තිස්පහ න්‍යෂ්ඨියක් කුඩු කරල දාන්න...

ඒක ඇතුලෙ තියන ප්රෝටෝන නියුට්‍රෝන
කෑලි කෑලි කඩල විසුරුවල දාන්න...
ඒ වැඩෙන් විසිරෙන නියුට්‍රෝන වලට පුළුවනි
වට පිටේ තියෙන තවත් දෙසිය තිස්පහේ
න්‍යෂ්ඨි එක්ක හැප්පෙන්න...

ඒ හැප්පිල්ලෙන් ජනිත වෙන නියුට්‍රෝන
තවත් දෙසිය තිස්පහේ න්‍යෂ්ඨි එක්ක හැප්පෙන්න...

ඒ හැප්පිල්ලෙන් ජනිත වෙන නියුට්‍රෝන
තවත් දෙසිය තිස්පහේ න්‍යෂ්ඨි එක්ක හැප්පෙන්න...

දාම ප්‍රතික්‍රියාවක්...
එක්කෝ දෙසිය තිස්පහ ඉවර වෙනතුරු
නැත්තං නියුට්‍රෝන කොහේ හරි හැප්පිලා නවතින තුරු
කැඩී බිඳෙන න්‍යෂ්ඨියක් තව දෙක තුනක්
කඩා බිඳ දමන දාම ප්‍රතික්‍රියාවක්...

මහා ශක්තියක් හිතන්න බැරි වේගයකින්
විසුරුවා දමන දාම ප්‍රතික්‍රියාවක්...

බිකිනි දූපත්... බිම්මල් වළාකුළු...
හිරෝෂිමා... නාගසාකි...
පරමාණු බෝම්බ...
ත්‍රී මයිල් අයිලන්ඩ්, 
චෙනර්බොයිල්,
ෆුකුෂිමා....
න්‍යෂ්ඨික බලාගාර...

ඇහැට තියා... ප්‍රබලම අන්වීක්ෂයකටවත් නොපෙනෙන...
නියුට්‍රෝනයක් හැප්පිලා කඩා වැටෙන
යුරේනියම් දෙසිය තිස්පහේ වැඩ... 

හැබැයි ස්වර්ණා...
ලෝකය පුරාවට... 
හාරසිය හතලිකට වඩා
න්‍යෂ්ඨික බලාගාරවල...
අද... ඔයා මේ වචන කියවන
මේ මොහොතෙත්...
ඇහැට තියා... ප්‍රබලම අන්වීක්ෂයකටවත් නොපෙනෙන...
නියුට්‍රෝනයක් හැප්පිලා කඩා වැටෙන
යුරේනියම් දෙසිය තිස්පහ...
ශක්තිය, විදුලිය, තාපය නිපදවනවා...

පරිස්සමින් බලා කියා ගත්තොත් ස්වර්ණා...
දාම ප්‍රතික්‍රියාවක් වුනත්... 
බිම්මල් වලාකුළක් නැතුව...
හිනා මූණකින් සලකුණු කරන්නත් පුළුවන් නේ ද?

හැම වෙලෙම විමසිල්ලෙන් ඉන්නෝනා...
සමස්ථානික ස්වර්ණා... බැළුවාම එකම වාගෙයි
හැසිරෙන්නෙත් එකම විදිහටයි
වෙන්කරල අඳුරන්න හරිම අමාරුයි
වෙනස තියෙන්නේ එව්වායෙ න්‍යෂ්ඨි වල
සංයුතියේ විතරයි...

පරෙස්සමින් බලා කියා නොගත්තොත්
ඇහැට තියා... ප්‍රබලම අන්වීක්ෂයකටවත් නොපෙනෙන...
නියුට්‍රෝනයක් හැප්පිලා කඩා වැටෙන්න...
අපි එක්ක අපි වගෙම අපි වාගෙම
හිනාවෙන... ගී ගයන.. දුව පනින... නටන වයන...
අපේම සමස්ථානිකයකටත් පුළුවනි...



-හමුවෙන්න බැරිවුනු පුබුදුගේ මතකයට-

Continue Reading...

Tuesday, March 3, 2026

මගේම සුවඳ සුවඳ සුවඳම නාමලට

 



මගේම සුවඳ සුවඳ සුවඳම නාමලට


අනේ මගේ පැටියෝ
ඔයා නම් මගෙමයි
ඔයාගෙ ලියුම් දෙකම ලැබුණෙ අද
හරිම සුවඳයි එව්වා
මගේ අතත් එක්කම සුවඳයි දැන්
තවත් කෙල්ලෙක් එහෙමත් ඉන්නවද මන්දා
දෙන්න මේ තරම් සුවඳ ජාතී

කුසුම් දුන්නට ලියුම 
කුමාරිගෙ අම්මාට අහුවෙන්න ගිහිල්ලා 
ඒකි ඒකත් අරන් 
උන්ගෙ නැන්දලාගෙ අහ ගිහින්
අනේ පව් ඒකි නම් 
අපට හරි ආදරෙයි

සුසුදු පෙමට බාදා නම් ඇද්ද කොතරම්
මේ රුදුරු ලෝකේ නපුරු මිනිසුන්ගෙන්
ඒත් නාමල් මේ කෙල්ල දම්මී
ඔයාගෙමයි ඉතින් තියෙන තුරු ජීවිතේ
කපල දැම්මත් කෑලි හතකට

ඔයා අපෙ තාත්තා ගැන ලියපු දේ කියවද්දි
මතක් උනේ මට ඔන්න රන්කැටියෝ මගේ
ඔයත් රැවුලක් නම් වවන්නම ඕනි
දැක්කනේ තාත්තගේ අපෙ
තියෙන ලස්සණ උඩු රැවුලෙ
අපේ අම්මත් ඒ දවස්වල
රැවුලට තමයි තාත්තගේ
ඉඳලා තියෙන්නේ ආසාවේ

කවද හරි මමත් ආසා
ඔයත් ඒ වගේ රැවුලක් එක්ක
ඉන්නවා නම් උජාරු විදිහට
අපේ පොටෝ එකෙත් ඔන්න

ලියුමෙ මෙතන ඔන්න ඔයාට
X X X X X X X X X X
තිබ්බා ලොකුම ලොකු හාදු දහයක්
තීන්තත් වැදුනා මගේ නිකටේ
ඒක පැටියෝ ඔයා මේ කෙල්ලට
දුන්නු පොරොන්දුවටයි විභාගේ ගැන
මගෙ පුංචි රන් කැටියා
ලොකු මහත්තයෙක් වෙලා කවදා හරි
ඇමරිකාවෙත් යනවා මට සත්තයි
අතුලලාටත් පුළුවන්නම්
මොනව කිව්වත් අපේ අම්මා
නාමල් ඔයාටත් පුළුවනි යන්න
ඇමරිකාවටත් කවදහරි

එදා තාත්තා ගෝරනාඩු කලාට පස්සේ
ආයෙ නෑ ආවේ මහගෙදර අය නම්
වැඩට ගෙනියන්න කොළඹ ගෙද‍රට
රත්නපුර පැත්තේ සුනාමි ළමයෙක්ව
ගෙනිච්චලු ඒ ගෙදර, අම්මායි කිව්වේ
එයාට නම් තාමත් හිතට අඩුවක් වගෙයි

“ගෙදරටම ගෙන ආපු
ස්වීප් එක ගත්තෙ නෑ
උඹට කවදාක හරි
තේරේවි මෙව්වා”
කියල සැරයක් දෙකක්
දුන්නා පුංචි අ‍ඳෝනාවක්

හාමිනේටත් ඇතිවෙලා එනවාලු ආයෙමත්
ඒ නිසා මහගෙදර මකුළු දැල් කඩන්නයි
පුටු මේස හදන්නයි ඇඳන් පිහ දමන්නයි
මේ ටිකේ මමයි මල්ලියයි දෙන්නාම එහෙ ඉන්නෙ

කවුරුවත් නැති නිසා අපට හොඳ චාන්ස් එක
සින්දු හෙම අහනවා ටි වීත් බලනවා
ඔයාව නම් මට ඉතින් හැම තැනම පේනවා
ඒත් මක් කරන්නද අම්මාත් ඉන්නවා

කුමාරියා කිව්වා විපුලයා කියලා
ලියුම දුන්නේ කුසුමලාට
ඒවාගෙ අය අතේ බය නැද්ද මේ වගේ
එවන්නට රහස් දේවල්
කට කතා ගියොත් හෙම
ඔයාටත් හොඳම නෑ
මොකක් වෙද දන්නෙ නෑ
අ‍නික් එක මගෙ සුදෝ
ආස නෑ මේ දම්මි
මගෙ කොල්ල ලියන‍ දේ
බලනවට කවුරුවත්
ලෝබයිනෙ පැටියෝ ඔයා ලියන එව්වා
පෙන්නන්න කාටවත්

ලබන සතියේ විතර ආයෙ අපි
ගෙදර යයි හාමිනේ ආවාම
ඉවරයිනෙ සැප ඉතින්
කුෂන් පුටු වල විඳපු

මිනිත්තුවකින් විතර
ෂෝ එකක් යනවා ටීවී
රට කතාවක් ඒක නම්
බලන්නම ඕනෑ එකක්
ඒ නිසා නවත්තමි
ලියාල තව ටිකක්

මගෙ පුංචි ලේනා
පුංචි රන් කැටියා
ඔයාගේ ලියුම් මම කොට්ටෙ යට තිබ්බා
රෑට පුසුඹට දැනෙන්න නිදද්දී
ඔයත් මේ ලියුම අද
ඒ වගේ තියා ගන්න‍
මාව මතක් කරගන්න

නිදියද්දි හැමදාම
නවය මාරට විතර
දෙන්නාම අපි ඇඳන්වල
හිතමු එක එක්කෙනා ගැන

හෙනම් මගෙ පැටියෝ
ආයෙ මුණ ගැහෙන කල්
හාදුවක් මේ එක්ක
කතිරයක් ගහපු තැන X

මං ඔයාගෙම ඔයාගෙම
කහපාටයි රතුපාටයි
බාලොලි මල

දම්මි

උපුටා ගත්තේ:

මහගෙදර ඇත්තෝ....

බ්ලොග් අඩවියෙනි.

පින්තූරය: ඉංගිරිය මධු ෆ්ලෝරා මුහුණු පොත් අඩවියෙන්
Continue Reading...

Thursday, January 29, 2026

වසන්තය... සුවඳකි...!

 



වසන්තය සුවඳකි...
හිතේ කෙළවර කොණක
මල් පිපුණු විල්ලුවක
යන්තමට දැවටුණු

කහ රේණු බිඳුවකි
දෑස් අගිසක දිලෙන
ආදරේ මල් කැකුළු
පෙති අගක තැවරුණු

නෙත් පියා ඉන්න ඔබ
නෙත් පියා සිඹිමි මම
වසන්තය සුවඳකි...
හිතේ කෙළවර කොණක
මල් පිපුණු විල්ලුවක
යන්තමට දැවටුණු....!

#rsmpoems

[පින්තූරය: https://www.68north.com/2025/06/friday-photo-650-cool-june/ ]

Continue Reading...

Monday, January 5, 2026

හිම මලක උණුහුම.....

 


‍‍හරිත පැහැ සොරා ගෙන පත් හැලූ ඕතමය
උතුරු සුළඟින් දැවී ජනිත වූ සිසිරය
කැරලි කර දඟ කැවූ හිම තුහින විසුරුවා
මකන විට වසන්තය ඉතිරි කල මල් සුවඳ

පිපුණු සඳ දිය ගඟුල
ගලා ගිය හිම සයුර
කැලතවී රැළි නැගෙයි
වියරු සුළඟට නතුව

උණුහුමක උණුහුමට තුරුළුව
කදා බඳුනක පතුල රැඳි
තෙතක් විඳි පමණකින්
නෙතු පියන් විවර කර
හීන් සුසුමක් හෙලයි
වියලැවී කෘශව ගිය
දැහැටි දඬුවක සැඟව
නිදාහුන් ජීවිතය...!

ජනවාරි 5, 2026


Continue Reading...

Friday, January 2, 2026

කටින් පරීක්ෂාව






මේ සටහනට පාදක වන, ආණ්ඩුවේ රස පරීක්ෂාව කීපාකාරයකට කරන්නට පුළුවන. එහෙම රහ බලන්නට ගොස් අතිරහත් තිත්ත වෙනවාය කියන කතාවේ හරි වැරැද්ද මාට්ටු කරගත් අයත් සිටින කාලයක, නෙලන්ඩ බැරි මිදිවල රහ ගුණ කියන අයත්, ගිනිගොඩට දාපු කොස් ඇට බාවන්නට බළල් අත් හොයන අයත් වාගේම, බළලාට ගෙජ්ජිය බඳින්න ගිය මීයා, ජනාධිපති පුටුවේම ඇණතියා ගැනීමේ සෝපාහාස නාට්‍යයත් නරඹමින් සිටිය එක්තරා මෑත අතීත කාලයක මට අහම්බෙන් වගේ මතක්වී ලියන්නට පටන්ගත් මේ සටහන ඇත්තටම ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ මා ගතකල සොච්චං කාලයක් පිළිබඳවය. යම් යම් තොරතුරු ලැබෙන තුරු එහා මෙහා කර කර මේතාක් කල් හිටියත් මේක හැකි පමණින් හිස්තැන් පුරවා පල කරන්නට කාලය පැමිණ තිබේ.

ශ්‍රී ලංකා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ මා ගෙවූ සති කීපය ආරම්භ වෙන්නේ නවසිය හැත්තෑ නවයේ අගෝස්තුවේ දී මේ දෙදාස් විසිපහට අවුරුදු හතලිස් හයක් ඈත දවසකය.

හරියටම කිව්වොත්, කොළඹ විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ බැච් එකේ ඒ අවුරුද්දේ වෘත්තිය පුහුණු කාලය සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරනු ලැබූ, චිත්‍රා පත්මපෙරුමත්, මමත්, ටොරින්ටන් වල නුගගස් පහුකර, පරණ පිස්සන්කොටුවේ  පඩිපෙල නැග වැඩ බාර ගන්නට ගියේ ඒ අවුරුද්දේ අගෝස්තු මාසේ අටවෙනිදා ය.

අද නාවලා සුද්ධ පවිත්‍ර කරලා පොෂ් කරලා අරන් ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් කරලා, පරණ ගොඩනැගිල්ලක අළුත් බඩු විකුණන සාප්පු සංකීර්ණයක් කරලා තියෙන්නේ ඒ  එදා අපි ගිය ගවර්මන්ට් ඇනලිස්ට් ගොඩනැගිල්ල ඇතුළු ගොඩනැගිලි සමූහයය.

ඒ කාලේ ඔය ගොඩනැගිල්ලට ඇතුළු වෙලා උඩට නගින, පඩි පෙල යට, පඩිපෙල උඩ, පඩියෙන් පඩිය අයිනේ, කොරිඩෝර් වල බිත්ති අයිනේ, ඒ අහල පහල ජනෙල් පඩි උඩ,  ආදී වශයෙන් ඉඩ කඩක් තිබුණු හැම තැනකම පාහේ, එක උඩ එක තට්ටු දෙක තුනකට තබා, මාමයිට් බෝතල, ජෑම් බෝතල,  ලක්ස්ප්‍රේ, නෙස්ප්‍රේ ටින්, ආදී මෙකී නොකී නානාප්‍රකාර භාජන අඩුක්කර තිබුණේය . 

එව්වා දැක්කාම, බෝතලයක් ටින් එකක් මතු නොව ෂර්ට් එකක් ගත්තොත් ඒක දාගෙන එන පොලිතීන් උරේ, ටොපි කොලය, චොකලට් කොලය, ආදිය පවා, එහා මෙහා නොදා, පරිස්සමට එකතු කරපු ගෙවල් වලින් ආපු අපට, "අනේ ගෙදර වගේ..."යි ආදී හිතිවිලි ආවත්, ඔය හැම භාජනයකම පරිස්සමට අසුරා තිබුණේ, පශ්චාත් මරණ පරීක්ෂණ වලදී, මරණය සිදුවූ හේතුව සනාථ කරගැනීම සඳහා රජයේ රස පරීක්ෂකට එවා තිබූ නඩු භාණ්ඩ, නොහොත්, මරණකාරයින්ගේ අංගෝපාංගය.

රස පරීක්ෂා රස්සාවටම බින්න බැහැලා හිටි අපේ සීනියර් බැචාලා දෙතුන් දෙනෙකුත් එතන හිටි අතර, අර පඩිපෙල යට පරිස්සමට තබා තිබුණු, වේලුපිල්ලේ ප්‍රභාහරන් මයා, යාපනේ නගරාධිපති, ඇල්ප්‍රඩ් දොරෙයිඅප්පා මයාට තියපු වෙඩිල්ල ගිහිල්ලා වැදුනු ගහේ කඳ කෑල්ල එලියට ඇදලා පෙන්නලා, උණ්ඩ පාරේ ඈන්ගල් එක අනුව, වෙඩික්කාරයා හිටි තැන නිර්ණය කරන හැටි පෙන්නා දුන්නේ ඒ එක්කෙනෙකි. එයා බැලැස්ටික් කාරයෙක්ව හිටියේය.

බ්ලොටින් පේපර් එකක් උඩ ජංගියක් ඩ්රොයින් පින් වලින් අවුණලා, පැල්ලම් තෙත්කරලා ශුකාණු එකතු කරලා, රේප් කේස් ඇනලයිස් කරන හැටි පැහැදිලි කර දුන්නේ තවත් ඒ වගේම සීනියර් කෙනෙකි. ඔය ඩිටෙක්ටිව් කේස් කාරයෝ චිත්තාකර්ෂණීය පොරටෝක් දුන්නත්, අපව පිළිගෙන වැඩට අනුයුක්ත කල, තම්බිපිල්ලේ කන්දසාමි මහත්තයා, චිත්‍රාට ෆුඩ් සයන්ස් පැත්ත පෙන්නලා, මට ටොක්සිකොලොජි පැත්ත පෙන්නූ නිසා, වෙඩිතියන ඈන්ගල් හා ස්ත්‍රී දූෂණ විශ්ලේෂණ කරන්නට අවස්තාවක් අපි දෙන්නාටම උදාවූයේ නැත.

වෝහාරික විද්‍යා පැත්තේම කෑල්ලක් වූ ටොක්සිකලොජි (විෂ විද්‍යාව නොහොත් ධූලක වේද) අංශය තිබුණේ, පඩි පෙල නැගලා දෙවෙනි තට්ටුවේ දකුණු පැත්තේ ය. ඒ කෑල්ල බාර රස පරීක්ෂකවරුන් ලෙස අද වෙද්දී නම් ගම් මිස් ව ඇති මිස් කෙනෙක් හා සර් කෙනෙක් සිටියෝය. යම් ප්‍රාතිහාර්යයකින් නැවත ප්‍රාදුර්භූත වූවොත් එකතු කරන තුරු ඒ මිස්වීම පිළිබඳව මගේ සාතිශය සංවේගය මෙසේ ලියා තබමි. මගේ මුල්ම රස පරීක්ෂක ගුරුතුමිය වූයේ ඔසරිය ඇඳලා හිනා මූණකින් හැමදාම දැකපු ඒ මිස්ය. 

බොහෝවිට ලා නිල්පාට කමිසයක් ඇඳලා වැඩට ආ සුද්දෙක්ය හිතෙන තරමට පැහැපත් මුහුණක් තිබුණු සර් ගැන ප්‍රධාන මතකය නම්, දවල් කෑමට ගොස් පැමිණි පසු බොහෝ දිනවල, විශේෂයෙන්ම සිකුරාදා දවස්වල, මේසයේම වාඩිවී, ඔළුවත් කෙලින් තබාගෙන සුව පහසු විවේකයක් ගැනීමේ පුරුද්දය. මේකට එක විදිහකින්, දවල් කෑමට පෙර යන්තමට යන්තමට සප්පායම් වීමේ පුරුද්දය කියාත් මගේ නිරීක්ෂණයක් වී තිබුණේ ය.

ඒ අතරේ තාවකාලික පුහුණු රස පරීක්ෂකයෙක් ලෙස මා ඉගෙන ගත් පළවෙනිම ප්‍රායෝගික පාඩම වූයේ, මත්පැන් පානයේ ආදීනවයෙන් යම් ආකාරයකින් අකල් මරණයකට පත්වූවෙකු ගේ රුධිර සාම්පලයක තියෙන ඇල්කොහොල් ප්‍රමාණය නිර්ණය කිරීමය. මේක උගන්වන්නට අර ‌ටින්, බෝතල, එකතුවේ තිබුණු අකල් මරණ කාරයෙකු ගේ ලේ සාම්පලයක් පාවිච්චි වූ අතර, මට යන්තමට මතක හැටියට නම් මේ මනුස්සයාගේ මරණයට හේතුව ඇල්කොහොල්ම නොව, එයා එක්කම ඇල්කොහොල් පානය කල කිණිස්සක් හෝ පිහියක්ය. 

මේ පලවැනි පින්තූරයේ තියෙන්නේ එදා ඉගෙනගෙන කරන්නට යෙදුනු මගේ ප්‍රථම රස පරික්ෂාව සඳහා අනුගමනය කරනු ලැබු ක්‍රියා දාමයය. එදිනෙදා කරපු කියපු වැඩ සවිස්තරව සටහන් කරගත් සටහන් පොත් කොහේ කොහේදැයි නොදන්නාමුත්, දවසේ කරපු කියපු දේ ලියා තියූ දිනපොතේ පිටු  තවමත් ඉතිරි වී තිබේ. මේ සටහන මෙහෙම සටහන් කර තැබීමේ ආසාව ඉස්මතු කෙරුවේ ද මේ දින පොත් සටහන්මය.

එදා අපේ මිස් ඉතා සාවධානයෙන් උගැන්වූ පරිදි අර ලේ සාම්පලයෙන් මිලි ලීටරයක් සල්ෆියුරික් අම්ලය හා සෝඩියම් ටන්ග්ස්ටේට් සමග රත් කර, අනතුරුව මර්කියුරික් ක්ලෝරයිඩ් හා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් එක්කර, ආසවනය කර, එහි අඩංගු ඇල්කොහොල් වෙන්කර ගැනීමත් ඒ ලැබෙන ඇල්කොහොල් ද්‍රාවණය, පොටෑසියම් ඩයික්‍රොමේට් සමග ප්‍රතික්‍රියාකරවා, ඉතිරිවන ඩයික්‍රොමේට් ප්‍රමාණය, සෝඩියම් තයෝසල්ෆේට් ද්‍රාවණයක් සමග අනුමාපනය කර අවසාන ප්‍රතිඵලය ලබාගැනීමත් ඉතා පරිස්සමින් කර, දවසක් ඇතුලත අර මනුස්සයාගේ රුධිර ඇල්කොහොල් ප්‍රමාණය නිර්ණය කරන්නට මටත් පුළුවන් විය. මේ වැඩේ දී අර ආසවන අවස්ථාවේ, කන්ඩෙන්සරයේ උෂ්ණත්වය මත, ඇල්කොහොල් සියල්ල ආසවනය වී අවසානද යන්න අනුමාණ කරන්නට පුළුවන් අතර, ඒ අනුව, ආසවනය වූ ඇල්කොහොල් පරිමාව මැන බලා ප්‍රාථමික පාඨාංකයක් දෙන්නටත් පුළුවනිය. අද මේ දවස දිහා හැරී බලද්දී, එකපාර හිතට ආවේ, ඒ කාල වකවානුවේ, ආණ්ඩුවේ රස පරීක්ෂක වෙතට ඇල්කොහොල් නිර්ණය සඳහා රුධිර සාම්පල කීයක් එන්නට ඇද්ද යන්නයි. එදා ඒ පර්යේෂණාගාරයේ මේ පරීක්ෂාව කරන්නට, තිබුණේ එකම එක උපකරණ කට්ටලයකි. ඒකත් අපේ මිස් බොහෝවිට කිව්වා වගේ රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලයේ ලංකාවට ගෙනාපු බඩුවක්ම විය. කොහොමත් වැඩ කෙරුනේ වැඩ කෙරෙන වේගයෙන් නිසාම, උපකරණ ගෙනැල්ලා, වැඩිපුර කරන්නට නම් හේතුවක් නොතිබුණා වෙන්නට පුළුවන.

මෑතකදී කවුරු කවුරුත් උසුළු විසුළුවෙන් කතා බහ කල බැලුං පිම්බීමෙදී කෙරෙන්නේත්, බැලුමකට එකතු කරගත් හුස්ම, ඩයික්‍රොමේට් ද්‍රාවණයක් හෝ ස්ඵටික සමග ප්‍රතික්‍රියා කරවා, සිදුවන වර්ණ විපර්යාසයේ ප්‍රමාණය අනුව ප්‍රාශ්වාස වාතයේ අඩංගු ඇල්කොහොල් ප්‍රමාණය නිර්ණය කිරීමයි. එසේ වෙතත්, ප්‍රාශ්වාස වාතයේ ඇල්කොහොල් ප්‍රමාණය මත පිහිටා කෙනෙක් බීමතින් ද නැද්ද යන්න නිර්ණය කිරීමේ නීතිමය ගැටළුත් තියේ. රුධිර ඇල්කොහොල් ප්‍රමාණය එයිට වඩා පිළිගත් සාධකයක් වෙයි.


අද වෙද්දී නම් ලේ සාම්පලයක අඩංගු ඇල්කොහොල් ප්‍රමාණය මනින්නට බොහෝවිට යොදා ගැනෙන්නේ ගෑස් ක්‍රොමැට‌ොග්‍රෑම් නම් උපකරණයකි. මේ තාක්ෂණය යම් තරමක් දුරට 1979 තරම් ඈතකදීත් තිබුණත්, එව්වා ඒ කාලයේ අපේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නම් තිබුණේ නැත. පහුගිය අවුරුදු තිහ හතලිහ ඇතුලත සිදුවූ වෙනස්කම් අතර, මේ ආයතනය අර පරණ පිස්සන් කොටුවේ සිට පැලවත්තේ ඉසුරු මාවතේ අළුතින් හදාපු, ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලට උසස් වීමත්, එදා තිබුණු රාජසිංහ රජ්ජුරුවන්ගේ උපකරණ වෙනුවට නවීන තාක්ෂණික උපකරණ සහිත, නූතන විද්‍යාගාර පහසුකම් ඇති තැනක් වී ඇති බවත් ඒ පෙරළිය වෙනුවෙන්, කටයුතු කල අපේ සොයුරු සොයුරියන් සියළු දෙනා වෙනුවෙන් මෙතැන ලියා තැබීම මගේ යුතුකමය සිතමි. මේ ලියවිල්ල ඉතින් එදා ගැන මිසක අද ගැන නම් නොවෙයි.

ධූලක වේද අංශයේ, ඉහතින් සඳහන් වුනු මිස්ටත් සර්ටත් අමතරව, එයාලාගේ අත් උදව් කාරයින් ලෙස වැඩ කරපු ලැබ් බෝයිස්ලා දෙතුන් දෙනෙක් සිටියෝය. ඇත්තටම මේ ලැබ් එකේ දිනපතා වැඩ කරන සිරිතක් තිබුණාද කියා හෝ වැඩ කෙරුනු කාලසටහන මොන වගේ ද කියා හෝ මතක් කරගන්නට මට නොහැක්කේ, එහෙම දෛනිකව වැඩ කරන පුරුද්දක් එතන නොතිබුණු නිසාමය කියාත් දැන් දැන් හිතෙයි. හැබැයි මට මතක හැටියට සතියකට දවසක්, මතක හැටියට බ්‍රහස්පතින්දා 'කටින්' දවස බවත්, එදාට කටින් වැටෙන විද්‍යාගාර සහායකයා ඇවිත් මිස්ගෙන් 'මිස් අද කටින් කරනවා ද? කටින් කරනවා ද?"යි අහන බවත් නම් මතකයේ තිබේ.

මේ කියන කටින් කිරිල්ල වනාහි, අර ලක්ස්ප්‍රේ, නෙස්ප්‍රේ ටින් එකක අහුරා ඇති මළගිය ප්‍රාණ කාරයකුගේ අංගෝපාංගයක් කොටස් කර විශ්ලේෂණය කිරිල්ල මිස, කතාවෙන් හෝ මුඛයෙන් හෝ කරන්නා වූ ක්‍රියාවක් නොවේ. 

මේ කාර්යයට වැටෙන රසායනාගාර සහායකයාට, ඒ සතියේ යම් විශේෂ දීමනාවකුත් ලැබෙන හින්දා, මේ කටින් කිරීමේ උනන්දුව එයාලාට තිබුණත්, අපේ මිස්ට නම් ඒක අප්පිරියාසම කටයුත්තක් බව පෙනෙන්නට තිබුණේය. මිස් බොහෝවිට කලේ ෆයිල් කවර ගණනාවක් මේසය උඩ දිග ඇරගෙන ඒවායේ තියෙන දේ කියවන එක හා, සටහන් ලියන එක බව මගේ මතකයයි. අපේ සර් නම් ඒ වැඩෙත් කලේ එහෙමත් වෙලාවක විය යුතුය. මේවා ආණ්ඩුවේ වැඩ හින්දා, කලබලේට ඉක්මණින් කරන්න උවමනා දේවල් නොවෙන්නටත් ඇත. එහෙම ගිනි කසේට වැඩ කරපු රස පරීක්ෂකලා හිටියා නම්, අර තරම් ටින් බෝතල සංඛ්‍යාවක් පඩිපෙල දිගේ ජනෙල් පඩි දිගේ ඒ තරම් ලස්සණට අහුරලා තියෙන්නත් විදිහක් නැත. ඒ ගැන හිතුවාම නම්, උදේ ඉඳන් හවස් වෙනතුරු නොනවත්වා වැඩ කලත් අර දෙන්නාට ඒ ටින් බෝතල කන්දරාව අවසන් කරන්නට නම් දසකයක් විතර යන්නටත් පුළුවන් හින්දා, එයාලා එහෙම වැඩ කිරිල්ල අත් හැරියා වෙන්නටත් බැරි නැත. එදා ඒ ආයතනයේ වට පිටාව මෙන්ම වැඩ කෙරුණු ආකාරය, රටාව, ගැන හිතද්දී, නිරායාසයෙන්ම හිතට දැනෙන්නේ, ගොගොල් ගේ කතාවල කියවන්නට හැකි, රුසියාවේ සාර් රජ කාලයේ, ආණ්ඩුවේ කන්තෝරුවල විස්තර කතාය.

ඉතින් අපේ මිස්, මගේ අධ්‍යාපනික දියුණුවද සලකා, පැයක් දෙකක් විතර, ෆයිල් කවර අවුස්සා, වල්නාශකයක් බී දිවි නසාගත් කෙනෙකුගේ ආමාශ කොටස් සාම්පලයක් සොයාගෙන ඒ සතියේ කටින් කරන්නට තීරණය කළාය.

ඒක මට මතක තරමින්, තරමක නෙස්ප්‍රේ ටින් එකක් විය. අදාල ලිපි ලේඛන කටයුතු කරලා, අර ටින් එකේ සීල් තියපු ලාකඩ ආදිය පරීක්ෂා කරලා, ටින් එක ඇරීමේ කටයුත්ත ආරම්භ විය. මිස්ගේත් මගේත් අධීක්ෂණය යටතේ ඒක ඇරෙනවාත් එක්කම.... “අපෝ.... ග්‍රැමක්සෝන් බෝතලයක්ම බීලා මේ මනුස්සයා...“ කිවූ අපේ මිස්, ඉන් පස්සේ කරන වැඩ මට බලාගන්නට ඉඩහැර එතනින් එහා මෙහා වී ගියාය.




 ග්‍රුමක්සෝන් වල ක්‍රියාකාරී රසායනය පැරකට් ය. හැබැයි මේක අඳුන ගන්නට කලින්, කටින් කෑලි, ඇල්කොහොල් වලින් විස්සාරණය කරගෙන ලබාගන්නා ද්‍රාවණය ඊතර් වලින් නැවත විස්සාරණය කරගත යුතු වෙයි. මේ වැඩේ කරන්නට මටත් උවමනා වූ නිසා, අපේ ලැබ් බෝයි, එදා දවසේ මගේ ගුරුවරයා විය. අදටත් මතක ඇත්තේ, කොච්චර අත් වැසුම් දමාගෙන හිටියත්, එදා දවසම අත්ලේ රැඳී තිබුණු තෙල් ගතියයි.

එයින් පස්සේ ඔය කාබනික රසායනයට අමතරව, අකාබනික වස විසකුත් කටින් කරන්නට යෝජනා කල අපේ මිස්, මී පාසානම් බී මලගිය පරාණ කාරයකුගේ ආමාශ කොටස් අඩංගු සාම්පලයකුත් සොයගෙන විත්, ආසනික් අඳුනාගන්නා හැටිත් කරලා බලලා අත්විඳින්නට මට අවස්ථාව සලසා දුන්නාය. 

ධුලක විද්‍යාංශයේ ගතකල දවස් කීපය අවසන් වූවාට පසුව, චිත්‍රාටත් මටත් තැන් මාරු කරගන්නට අවස්ථාව ආයේය. ඒ අනුව කලින් ලියූ විදිහට චිත්‍රා අනුයුක්ත වූ, ආහාර විද්‍යා හෝ ෆුඩ් සයන්ස් පැත්තේ, මිස්ට සිවරාජාගේ විද්‍යාගාරයේ මගේ ඊළඟ දවස් ටික ගෙවී ගියේය. ධුලක වේදය වස විස ගැන වූ අතර, ආහාර විද්‍යා පැත්තේ මූලික කාර්යය වූයේ, ප්‍රමිති පරීක්ෂාවය. සුදුම සුදු විද්‍යාගාර කබායක් පැළඳ සිටි සිවරාජා මයා මුලින්ම කියා දුන්නේත්, එළකිරිවල මේද ප්‍රමාණය මනිනාකාරය බව මගේ දිනපොත කියයි.

මේ සඳහාම සකස්කල බැබ්කොක් බෝතලයක කිරි හා සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය මිශ්‍රකර නිදහස්වන මේද ප්‍රමාණය බෝතලයේ කරේ පිරෙන උස අනුව, අඩංගු මේද ප්‍රමාණය කියවා ගන්නා බොහෝම සරල පරීක්ෂණයක් මුත්, කරනෙක්කෙනාගේ පලපුරුද්ද මත ලේසියෙන් එහා මෙහා විය හැකි මේ කිරිවල මේද බැලීම, හැම උදේකම ඉස් ඉස්සෙල්ලාම වාගේ කරන්නාවූ කටයුත්ත වූයේයි මතකය. 


නරක්වෙන කෑම බීම හින්දා, මට මතක හැටියට නම්, ධූලක වේද පැත්තේ වගේ අල්මාරි මේස ජනෙල් පඩි උඩ සාම්පල පෙල ගහන සිරිතක් මේ පැත්තේ තිබුණේ නැතිය. එහෙම එකතු කරන්නට පුළුවන් දේවල් විදිහට ආපු ඒවා වූ, අරක්කු, විස්කි, ජින් වාගේ එව්වා එහෙම වැඩි කලක් එක තැනක රඳවා තියන්නට බැරි වීම, ඒ විදිහට සාම්පල් තොගයක් නොතිබීමේ හේතුවක් වෙන්නටත් ඇතිය හිතෙයි.

දියර කිරිවල මේද මැනිල්ල එහෙම වුනත්, පිටිකිරි වල මේද මැනිල්ල මෙයිට වඩා වැඩ කිඩ ඇති වැඩක් වූ බව මතකය. ඒ ගැන ලියවී තියෙන පහත සටහන් බලාන යද්දී, මේ සමහර එව්වා, හැමදාම කරන පරීක්ෂණ නොව, මගේ අනාගත අධ්‍යාපන දියුණුව තකා, සිවරාජා මයා පොත් පත් හොයාන ඇවිත් උගන්නලා කරවපු දේවල්ය කියාත් හිතට නැගෙයි.



එයිට අමතරව විශේෂිත දෙයක් ලෙස ලියාන ඇත්තේ අරක්කු හා අනෙක් මද්‍යපාන විශ්ලේෂන ක්‍රම සහ විදි ය. අපේ ගම් පලාත්වල ඉතින් ගෘහ කර්මාන්තයක්ය හඳුන්වන තරමට ප්‍රචලිත අරක්කු නිපදවීම, ප්‍රමිතියකට කරන එක නම් එච්චරම ලේසි පාසු වැඩක් නොවන බව හොඳින් තේරුම් බේරුම් කර දෙන්නට, සිවරාජා මයා තරමක වෙහෙසක් ගත්තේයි මතකය.




ඔයිට අමතරව, ඒ සති කීපයේ දැන උගෙනගත් දේ ගැන තවත් පිටු කීපයක සටහන් මගේ දිනපොතේ තියෙයි. අවුරුදු හතලිස් හයකට පසුවත් මේ සටහන් කියවා, යම් විදිහක කුතුහලාත්මක කික් එකක් විඳින්නට තරම් මම වාසනාවන්ත වී සිටිමි. එක් අතකට, රස්සාවේ වැඩ රස්සාව කරන හැටියටම කෙරුවා වුනත්, කැම්පස් එකෙන් ආපු පොඩි එවුන්ට, සබ්ජෙක්ට් එකේ රසබර හරබර දේවල් හොර මැර නැතුව කියා දෙන්නටත්, එතනින් එහාටත් ගිහින්, පොත් හොයාන ඇවිත්, අගමුල කියා දී, හරි වැරදි හොයා දී උගන්නන්නටත්, එදා මට ගුරුවරුන් වූද, එතනින් එහාට ගිහින් හැරී බැළුවාම, අපේ රටේ අපේ පාසල් හා අපේ විශ්ව විද්‍යාලවලින් බිහිවූ, රසායන විද්‍යාඥයින් වූද, ඒ ගාමන්ට් ඇනලිස්ට්ලාට මගේ හදපිරි ප්‍රණාමය මෙසේ සටහන් කරමි.

සබැඳි:
Continue Reading...

Thursday, December 4, 2025

තිස් පහ....

 


(35)

කැකුළු පෙති විහිදුවා පිබිදෙන
චින්තාව නිවහල්
සුවඳ විහිදන නැගී නොබියව
උදාරව නැණ පහන් සුදිලෙන
නිදහසේ තුඟු ස්වර්ගයයි...

නෙත් යොමා මම සොයන්නේ
සිතිජ කෙලවර සිහිනයේ...

හීන මානස පවුරු බැමි බිඳ
සත්‍යයයේ දිය බුබුළ පතුලත
ඉපිද විසිරෙන වදන් දිය බිඳු
රඳා දෙතොලත නැවුම් ගී සේ
සුසුදු පිරිපුන් මනුෂ්‍යත්වය
දෝත් විහිදා වැලඳගන්නා
මගේ නිවහල් දේශයයි

සම්ප්‍රදායේ කතර වැලිතල
නොසඟවන බුද්ධියේ සිහිලඹ
සිතැඟි සේ සිතුවිලිව පුබු දා
නැගි නැගී එන දිරිය දරුකැල
පෘථුල තැනිබිම සිසාරා
ජීවයේ සිසිලස පතුරුවන
මගේ නිවහල් දේශයයි

‍නෙත් යොමා මම සොයන්නේ
සිතිජ කෙලවර සිහිනයේ...

කැකුළු පෙති විහිදුවා පිබිදෙන
චින්තාව නිවහල්
සුවඳ විහිදන නැගී නොබියව
උදාරව නැණ පහන් සුදිලෙන
නිදහසේ තුඟු ස්වර්ගයයි...!
-.-

Where the mind is without fear and the head is held high;

Where knowledge is free;

Where the world has not been broken up into fragments by narrow domestic walls;

Where words come out from the depth of truth;

Where tireless striving stretches its arms towards perfection;

Where the clear stream of reason has not lost its way into the dreary desert sand of dead habit;

Where the mind is led forward by thee into ever-widening thought and action---
Into that heaven of freedom, my Father, let my country awake.


Continue Reading...

Sunday, November 23, 2025

අපටත් බැරි ය...?

 



ගිම්හානය ගෙවී ගොස් සිසිරයේ හිම මල් පිපෙන කාලයේ හිමිදිරි උදේ අරුණල්ල බටහිර අහස පුරා තවරන රෝස දම් පැහැය ගැන ලියවුනු සටහනකුත් පදවැලකුත් මේ පිටු අතර තිබෙයි. 

දෙදාස් දහනවයේ නොවැම්බරයේ දහතුන්වෙනිදාවක ලියවුනු මේ පදවැල මුහුණු පොතේ සටහන් වූ කාලයේ "ඒක නං සිංදුවකට මරු" කියා එයිට පහලින් වැටුනු සටහන් කීපයක් මතකයි. ඒ අතර ඒ පද ටික හිතේ නැගුනු තනුවකට ගයා එවූ ඉන්ද්‍රචාපා මධුභාෂිණීත් මතකයි. 

මේත් ඉතින් නොවැම්බරයකි. අර දවස් වගේම, හිම මල් හැලුණු උදේ අරුණල්ලට බටහිර අහස රෝස දම් යායක් වෙන නොවැම්බරයකි. ඉතින් අද උදේ පාන්දර මටත් අර වචන ටික ගීතයක් වගේ අහන්නට ඇත්නම් කියා හිතිලා, මේ දවස්වල කවි ගීත කරන ඒ අයි මෙවලම සුනෝ එකට දාලා බලන්නට හිතුණා.

සංගීතය ගැන නම් මගේ දැනුමේ හැකියාවේ තත්වය කිරා මැන පැකට් කර ගැනීමට තරම් විස්තර මේ සටහන් අතර මේ  මේ  තැන්වල තියෙයි. ඒ හින්දා මේ පහත අවුණා ඇති වීඩියෝ කෑලි දෙකේම අඩංගු වචන ටික හැරුණාම අනික් කිසිම දෙයක් මගේ නොවන බව සහ සුද්දෙන්ම ලියා තැබිය යුතුය.












Continue Reading...

Monday, September 29, 2025

බේබි මහත්තයාගේ නාට්‍ය කලාව.....!

බේබි මහත්තයා ගැන සටහන් කීපයක්ම මේ එකතුව තුල තිබේ.

බේබි මහත්තයාගේ අධ්‍යාපන ප්‍රතිපත්තියබේබි මහත්තයා ‌ගේ තානාපති පත්වීම....නිල් ඉර පොප්ලින්....! [අවුරුදු තුනකට ඉස්සර]ඊ. එන්. එකසිය අසූ හත මෙන්ම, තවත් සටහන් කීපයකටම අපේ තාත්තා පිය අයිතියෙන් ඇතුළු වී සිටී. ඒත් තාත්තලා කියන්නේ, ලියා අවසන් කල හැකි කතන්දර සමුහයක් නොවන්නේමය.

අපේ තාත්තා වූ බේබි මහත්තයාට එයාගේ තාත්තා වූ නයිනාමඩමේ මෝනි ගම මහත්තයාගෙන් ලැබුණු දේ අතර, චවලට් ලොරියක් ද තිබුණේය. තාත්තා විටින් විට කියන පරණ කතන්දර වලින් මතක ඇති කොටස් වල  මතකය අනුව නම් මේ ලොරි, දෙවෙනි ලෝක යුද්ධයේ දී, මවුන්ට්බැටන් සාමිගේ ආසියාකර යුධ මෙහෙයුම් මධ්‍යස්ථානය වූ ලංකාවට යුද්ධය සඳහා ගෙන්වූ, අතිරික්ත වාහන වූයේය. යුධ නිමාවත් සමග, වෙන්දේසියේ විකුණුනු මේවා මිලදීගත්තේ, රටේ ඉඩකඩම්, වැවිලි, හා ආශ්‍රිත කර්මාන්ත හිමිකාරයන් වූ අලුත් ධනපති පරපුරය. අපේ තාත්තාගේ ලොරියේ මූණ පහල පින්තූරයේ තියන ලොරි මූණම බව මගේ මතකයයි.


නයිනාමඩමේ, ෆාතිමා පොල්මෝලත් ඒ පිටුපස්සේ කොහුමෝලත් හිමිකරු වූ ද, අපේ සීයා වූ ද, මෝනිගම මහත්තයා නොහොත් ඩබ්ලිව්. අයි. සයිමන් ප්‍රනාන්දුගේ ගේ නිවස වූ, නයිනාමඩමේ ‘මාලිනී‘ ඉස්සරහා ලොරි පහක් විතර නවත්වන්නට හැකි ලොරි මඩු තිබුණි. ඒ අතර, මේ ජාතියේ හොම්බ දික්කරගත් චවලට් ලොරි දෙකක් වූ අතර, අපේ තාත්තාට සින්න වූයේ එයින් එකකි.

අපේ තාත්තා වෙන්නප්පුවේ ගේ හැදූ ඉඩමේ ඉස්සරහ හරියේ, මේ ලොරිය නවත්වන්නට ලොරි මඩුවක් හදා තිබුණි. සුද්දාගේ යකඩ ලොරි චැසියට ලංකාවේ ලී බොඩි ගහපු මේ ලොරියේ ප්‍රධාන කාර්යය වුනේ, වයඹ පලාතේ පොල් ත්‍රිකෝණයේ තුන්කොණටම ගිහින්, අපේ පැත්තේ කොහුමෝල් වලට පොල් මට්ටා ප්‍රවාහනය කිරීමය. මේ වැඩේ ලාබය තියෙන්නේ ලෝඩ් එකේ පමණට හින්දාම, මේ වාගේ ලොරිවල දෙපැත්තට බඳින ඇඳි දෙකක්ද තිබෙයි. හයිය හත්තිය ඇති පුවක් හෝ කිතුල් ලී රීප්පවලින් බැන්ද මේ ඇඳි දෙකේත් මට්ටා පුරවාපුවාම ලොරියේ උස දෙතුන් ගුණයකට විතර වැඩිවෙයි. අතුරු සිදුරු නැතුව පිරවූ යමක් ගැන පොල් පැටෙව්වා වගේ කියා ලියූ කෙනා, කවදාවත් හරියට ලෝඩ් කරපු, මට්ටා ලොරියක් දැකලා නොතිබෙන්නට පුළුවන.

තාත්තාගේ ලොරියේ රියදුරු මහත්තයා නයිනමඩමේ හිඳ උදේම බයිසිකලෙන් ඇවිත් ජනේලයෙන් යතුර ඉල්ලගෙන ගිහින් ලොරිය පණගන්වා අරන් යන බෙනඩික් අයියාය. පණගන්වනවාය කියන්නේ, ලොරි ඇන්ජිම ස්ටාටර් පොල්ලෙන් කරකවා කරකවා වෙලාවට ගියර් ස්වච් ක්ලච් බ්රේක් පැඩල් එහි මෙහා කරවා කරන බරපතල කාර්යයක් වන අතර, ඇන්ජිම කරකවන ක්ලීනර් ගේත් ඩ්‍රැයිවර් මයාගේත් දවසේ චර්යාව මෙන්ම, ජනේලය ලඟ ඉඳන් කන් යොමාන ඉන්න තාත්තාගේත් දවසේ මූඩ් එකත් නිර්ණය කරන අවස්ථාවය.

බෙනඩික් අයියා ඩ්‍රැයිවර් කම රස්සාවට කෙරුවත්, එයා වෘත්තිමය නාට්‍ය අධ්‍යක්ෂක වරයෙකි. සංගීත ලෝලියෙකි. හවහට ලොරිය ගෙනැවිත් නවත්තලා, ගමන් විස්තර කතාකර ගන්නට තාත්තා එනතුරු  පඩියක් උඩ වාඩිවී ඉන්නා, බෙනඩික් අයියා, අහල පහල ගෙදරක රේඩියෝවකට කන් යොමාන හිට, “බබා රේඩියෝ එක දාමු ද, ඔබ කැමති ගී යනවා..." කියා අහනවා මට මතකය. අපේ තාත්තා ⁣එයාගේ නාට්‍ය බොහොමයකට මූල්‍ය දායකයා හා ආයෝජකයා වූයේය. මේ නාට්‍ය එයින් ඉහත යුගවල අපේ ගම්වල රඟදැක්වුනු නාඩගම් හා ටීටර් සම්ප්‍රදායයන්ම පදනම් කරගත්, අඩුවැඩි වශයෙන් ඒ කතාවලම නැවත විකාශනයන්යැයි කියන්නට පුළුවන් නමුත්, මේ නව නිශ්පාදන අළුත් තාක්ෂණ මෙවලම් එකතු කර වැඩි දියුණු කර තිබුණේය.

මට මතක, බෙනඩික් අය්යාගේ කට්ටිය ඉදිරිපත් කල, නයිනමඩම පල්ලිය ලඟ පිරිමි ඉස්කෝලේ හෝල් එකේ පෙන්නාපු, ධාතුසේන රජ්ජුරුවන්ට මැටිගසා මැරීමේ නාට්‍යය පටන්ගත්තේම එකල චිත්‍රපටවල මෙන්ම නළු නිළි ක්‍රෙඩිට් නාමාවලියකිනි. ඒකත් එකල වචනයෙන් කිව්වොත් ඊස්ට්මන් වර්ණයෙන් (ඕක ඊස්ට්මන් කොඩැක් කොම්පැණියේ වෙලඳ නාමයය) නොහොත් වෛර්ණයෙනි.

ලයිට් නිවා ශාලාව අඳුරු කර තිබුණු අතර, වේදිකාවේ මැද අඩි දෙකතුනක ඉඩකට තිරය ව්වෘත කර තිබුණේය. මේ ඉඩේ දෙපැත්තේ සිටි දෙන්නෙක් ඔසවා අල්ලාගෙන සිටි ලීයක ඔතා පහලට කෙමෙන් කෙමෙන් දිග හැරුණු කළු කඩදාසි රෝලක, අකුරු කපා පාට සව් කඩදාසි අලවා සකස්කල නාමාවලිය පිටිපස්සෙන් විදුලි බුබුලකින් එළිය කර තිබුණේය. පසුබිම් සංගීතයක් එක්ක එකින් එක දර්ශණය වුනු මේ නම්වැලේ තිබුණු නම් ගම් නම් අමතක මුත්, චිත්‍රපට කියනේවා වුනත් කළු සුදුම වුනු ඒ කාලයේ මේ නාමාවලි දිගෑරුම පුංචි අපට නම් අරුමයක්ම වුනා මතකය. 

ඒ නාට්‍යයේ මතක තියෙන අනික් දර්ශනය නම් ධාතුසේන රජ්ජුරුවන් මරා දැමීමේ දර්ශනයය. බදාමයෙන් කලායැයි හැඟවෙන සේ සකස්කල කූඩුවක් ඇතුලේ සිටි රජ්ජුරුවන්ගේ පේන්නට තිබුණු කොටස ඒ කූඩුවේ උඩු කොටසේ විවෘතව තිබුණු ඉඩකින් පෙනුනු මුහුණ විතරය. ඒ වෙලාවේත් ඒ බදාම කූඩුවට බදාම තවරමින් කිරිබත් කෑලි හැඩේ මේසන් හැඳි අතින් ගත්, මේසන් බාස්ලා දෙන්නෙක් ද සිටියෝ ය. අවසාන වතාවටත් සිය උරුමය ඉල්ලන කාශ්‍යප කුමාරයාට, කලාවැවේ දියවර පෙන්නා, ඔය තියෙන්නේ මා ඉපයූ ධනයය කියූ මොහොතේ, අර මේසන් බාස් කෙනෙක් අත තිබුණු, බදාමයෙන් කල ලෑල්ලක් අරගත්තු කුමාරයා, රජ්ජුරුවන්ගේ මුහුණ පෙනුනු කවුළුව මත තබා, ඒකත් වසා, බදාම තවරන්නැයි අර මේසන් බාස්ලාට අණ කරන්නේ ය. අවුරුදු හය හතක පුංචි කොල්ලෙක් වුනත්, ඒ සීන් එක නම් ඔයිට වඩා ටිකක් තාත්විකව හිත කැළඹෙන විදිහට පෙන්නන්න තිබුණා නේද කියා එදාත් මට හිතුණායි යාන්තම් මතකයක් තියෙයි. එව්වා ඉතින්, අත දිග හරියේ තියන තාක්ෂණයෙන් කරන්න පුළුවන් ඉහලම තාත්විකත්වය බවත් අප අමතක නොකල යුතුය.

බෙනඩික් අයියා අධ්‍යක්ෂණය කල බේබි මහත්තයා නිෂ්පාදනය කල මේ නාට්‍යවල නළු නිලියෝත් ගමේම අය වූ අතර, බොහෝවිට රජ චරිත රඟපෑවේ, නයිනමඩමේ ඒ කාලයේ මූලිකම පොල් කැඩුම් කට්ටියේ නායකයා වුනු ඉත්තවන් අයියාය කියා මතකය. එයා ඒ කට්ටියේ උස කෙක්ක අරන් යන එක්කෙනා විය. මහා හැඩිදැඩි නොවූ මුත් හැඩකාර ඇඟපතක් තිබුණු ඉත්තවන් අයියා ඉත්තවන් වුනේ එයාගේ නම ස්ටීවන් වූ නිසා වෙන්නට ඇත. මේ නාට්‍යවල රිහසල් ඉවරවෙලා ඇවිත් පහුවදා කෑම මේසයේ තාත්තා කියාපු එක කතාවකට අනුව, කවිච්චියක දිගාවී, අමාත්‍ය මණ්ඩලයේ කතාබහට සවන් දෙමින් සිටි රජ්ජුරුවෝ, හිටි අඩියේ කවිච්චියත් පෙරලාගෙන බිමට වැටුණු හින්දා, එදා දවසේ පුහුණු වීම බාගෙට නවත්තලා එයාගේ තැළුම් වලට සාත්තු කරන්නට සිද්ධවී තිබුණි. එව්වා ඉතින්, පෙරපුහුණු වලට පෙර පෙරපදම් වීමේ ආනිසංසම බව ලියන්නට උවමනා නැත. බොහෝ කලා, වාණිජ, දේශපාලන, ආදී මොනයම්ම කටයුත්තකට (මමත් හොඳටම දැක පුරුදු අධ්‍යාපනික කටයුතුවලට පවා) නැතුවම බැරි දෙජාතියක් වන කෑම හා බීම මේ නාට්‍යකරණ කාර්යයන් වලදීද අත්‍යවශ්‍ය දේවල් වූයේය. කෑම නම් ඉතින්, නානාප්‍රකාර වුනත්, ඒ කාලයේ අපේ ගම් පලාත්වල බීම කියන්නේ ඉතින්, අපේම දේවල් මිස, ස්කොට්ලන්තයෙන් තියා, අරක්කු තැබෑරුමෙන්වත් විදේශීය හෝ දේශිය විනිමය වැයකර මිලදී ගන්නා දේවල් නොවේ.

ඉත්තවන් අයියා වගේම එයාගේ පොල් කැඩුම් කට්ටියේ එයාට පස්සෙන් කොට කෙකි අරන් ගිය අයත්, කෙකි නොපොව්වන උසම ගස්වලට බඩගෑ මාටින් අයියාත් මේ නාට්‍ය වල නළුවෝ මෙන්ම නිළියෝ ද වූහ. පොල් කඩන රස්සාවට අමතරව, එදිනෙදා කුලී වැඩ මෙන්ම, අහල පහල පොල්මෝල් කොහුමෝල් වල අත්වැඩත් කල මේ මිනිසුන් මෙන්ම, එයින් ටිකක් ඉහලට ගිය යම් විදිහක සුළු ව්‍යාපාර හා ආණ්ඩුවේ රස්සාවල් කල ඉස්කෝල මහත්තුරු වගේ අයත් මේ කාර්යයට සම්මාදම් වූවෝය. ඉස්කෝල මහත්තුරු නම් බොහෝ විට එකතුවුනේ සංගීත වාදන කාණ්ඩයට බව මතක තියේ. අද හැරිලා මතක් කරන කල, ඒ කාලේ අපේ ගම්වල ඉස්කෝල මහත්තුරු කාට වුනත්, යම් ආකාර සංගීත පසුබිමක් නොවැරදීම තිබුණාය හිතෙයි. ඉස්කෝල වල සංගීතය උගන්නාපු ගුරුවරුන් නොවුනත්, ස්කෝල මහත්තයෙක් නම්, වයලින් එක, තබ්ලාව, සර්පිනාව, (පල්ලියේ) ඕගන් එක, පියානෝව වැනි යමක් වාදනය කරන්නට පුළුවන් කම තිබුණු අතර, සංගීත ප්‍රස්ථාරයක් කියවීම වැනි මූලික සංගීත දැනුමක්ද මේ බොහෝ අයට තිබුණි. මේ දැනුමේ හැකියාවේ, මුල් අංකුර, පල්ලියේ ගැයෙන සාමුහික ගීතිකා අතර වූ බව කිවයුතු නැත [දයා ප්‍රේමය ඇති තැන දෙවියෝ වැඩ වසනු ඇත]. 

බෙනඩික් අයියාගේ ටීටර් වල වැදගත් රජ බිසෝ චරිතයට බොහෝවිට හිටියේ දුම්මලදෙණියේ දිස්පැන්සරියේ බේත් කලවම් කල ඇලෝ අයියාය කියා මගේ මතකයය. එයා සාරි හැට්ට ඇඳ කොණ්ඩය දමා මාල කරාබු දමා වේදිකාවට ආවාම, රජ බිසවක්ම වූයේය. මොන රජ්ජුරුවෝද මොන නාට්‍යයද හරියටම මතක නැති නමුත්, ඇලෝ අයියා, සිරිමා බිසවට රඟපෑ නාට්‍යයක රූප රාමුවල ඡායාවන් මතකයේ තිබේ. ඔය නවසිය හැටගණන්වල ඉතින් සිරිමා බිසව වනාහි, අපේ පලාත්වල, පල්ලියේ ඉස්කෝල ආණ්ඩුවට අරගෙන, කතෝලික අධ්‍යාපනයට හතුරුකම් කර, කුරුසියට, පල්ලියට ගිනි තියන්නට පහලවූ කෙනෙකිය කියා ජනතාවට ඒත්තු ගැන්වීමේ වගකීම, ඒ සමයේ එජාපයේ කපාපු පළු වී සිටි අපේ තාත්තලාගේ ද වගකීමක් වී තිබුණු බවද කිවයුතුය.

මගෙ මතකය දිගේ හැරී බලද්දී, බේබි මහත්තයාගේත්, බෙනඩික් අයියාගේත් මේ නාට්‍යකලා සංධානයේ මෞලි මංගල්ලය නම්, බෙරන්ගම මහත්තයාගේ බාල දූ වූ අපේ අම්මා කසාද බැඳි හින්දා දෑවැද්දට ලැබී තිබුණු කොළඹ හලාවත පාරට මුහුණ ලා නයිනාමඩමේ පිහිටා තිබුණු ඉඩම් කෑල්ලක, ටීටර් මඩුවක් බැඳලා, මතක හැටියට නම් සතියක් දෙකක්වත් දිගට පෙන්නූ ටීටර් මාලාවකි. එක් එක් කාලවල එක් එක් කර්තව්‍යයන් සඳහා යොදාගත් මේ ඉඩමේ බොහෝවිට තිබුණේ, කවුරු හෝ බාස් කෙනෙකුගේ, මෝටර් වාහන අළුත්වැඩියා වැඩ පොළකි. ඒ හින්දාම, පොල්ගස් වලට වඩා හිස්තැන් තිබුණු මේ ඉඩම වටේටම අඩි හය හතක් උඩට වියාපු පොල්අතු පැළලි එල්ලා වටකර තිබුණේය. පොල්කොට හිටුවා ලෑලි අතුරා සාදා තිබූ වේදිකාවට ඉහලින් පොල් අතු වහලක් තිබුණු අතර, පුටු තියා ලණු ඇද කොටස් වෙන්කර තිබුණු ප්‍රේක්ෂකාගාරය තරු එළියෙන්, හඳ එළියෙන් ආලෝකමත් වෙන්නට ඉඩ හැර තිබුණි.

සංගීත කණ්ඩායම හිටියේ, වේදිකාවට ඉස්සරහින් වේදිකාව තරම්ම දිග පලලට වාගේ කපා තිබූ හතරැස් වලක් ඇතුලේය. මේ වේදිකා හා නර්තන ශාලා සැලසුම් එක අතකින් පාරම්පරිකව අපේ ගම්වල පැවතුණු ඒවාය යන්න තාත්තලාගේ, බෙනඩික් අයියලාගේ කතා බහ අහගන උන්නු පුංචි මගේ කන්වලට වැටුණු තොරතුරුය.

කාලයකට ඉහත, ඔය ටීටර් පෙන්නූ වත්තට ඉස්සරහ මහපාරෙන් අනිත් පැත්තේ, ස්වරාජ්‍ය වත්තේ, පෙන්නූ නාඩගම් හා ටීටර් ගැනත්, උස වේදිකාවක් මෙන්ම, ප්‍රේක්ෂකාගාරය මැද කොටස වටකර නිර්මාණය වුනු, වෘත්තාකාර ගමන් වේදිකාවක් ගැනත්, ඔය කතාවලින්ම මම අසා ඇත්තෙමි. කුමාරයා කඩුව කරකවමින් සබයට එන්නේ මේ ගමන් මග වටේටම නටාගෙන් ගොසින් ය. යමක් කමක් ඇති හැකි ඇත්තෝ, එයාලාගේ පවුල්වලට වාඩි වෙන්නට, කවිච්චි හාන්සි පුටු තියාන ඉන්නේ අර මැද්දෑවේ තියෙන කොටසේය. නැති බැරි අය පැදුරු, මාගල්, පොල්අතු එලාන ඉන්නේ ගමන් වේදිකාව වටේටය ආදි වශයෙන් මේ කතාන්දර රහට ගුණට මෙන්ම, සිනමාත්මකාකාරයෙන් රඟ දක්වා කියන්නට අපේ තාත්තාට මෙන්ම, එයාගේ ඔය නාට්‍ය කට්ටියේ වැඩි දෙනෙකුටත් මතකයන් තිබුණි. ඒ වත්තට "ස්වරාජ්‍ය වත්ත"ය කියන්නේ, හතළිස් ගණන්වල, ඉන්දියාවේ නිදහස් සටන වූ ස්වරාජ්‍ය ව්‍යාපාරයේ උණුහුම ලංකාවටත් දැණුනු කාලයේ, මහත්මා ගාන්ධි, ශ්‍රී නේරු ආදී පිරිසක් ලංකාවට ඇවිත් දින ගණනක රැස්වීම් මාලාවක් පවත්වාපු හින්දාය කියාත් එයාලාගේ කතා වලින් මං ඇහිඳගත් දේ ය. අද මම ලියනවා වගේම, එදා එයාලා කිව්වේත්, එයාලාගේ ළමා කාලයේ මතකයන්ම වීම, ඒවා ඒ තරම් විචිත්‍රව කියා කර පෙන්වන්නට හේතු වූවා විය යුතුය.

බේබි මහත්තයාගේත්, බෙනඩික් අයියාගේත්, නයිනමඩමේ මේ ටීටර් නාට්‍ය මාලාව වේදිකාගතවූ හැම දවසකම වාගේ මාත් ඒ ප්‍රේක්ෂකාගාරයේ පුටුවක් උඩ ඇස් දල්වා බලාගෙන හෝ බාගෙට හෝ සම්පූර්ණයෙන්ම පාහේ හෝ නිදාගෙන හෝ හිටිය බව නම් මතකයේ තිබේ. එහෙම ගිය දවස්වල ඉතින් ආපහු ගෙදර එන්නට වෙන්නේ දවසේ දර්ශන වාර අවසන්වී, ගණුදෙනු හෙමත් බේරා අවසන්වී තාත්තා ගෙදර යන වෙලාවටමය.

එදා ඒ ටීටර් මාලාවේ මට අමතකම නොවන ටීටර් එක නම් සන් සෙබස්තියන් කතාවය. සෙබස්තියන් මුනින්ද්‍රයායි කතෝලික පල්ලියේ වැඳුම් පිදුම් ලබන ශුද්ධ වරයා, නර්බෝනා හි උපත ලැබ මිලානයේ හැදී වැඩී රෝමයට පැමිණ යුධ සෙබලකු ලෙසත් සෙන්පතියකු ලෙසත් සේවය කරන අතර, ක්‍රිස්තියානිකාරයකු වීමේ වරදට දඬුවම ලෙස ගසක බැඳ ඊතල වලින් විද මරා දමන්නට රෝමාධිරාජ්‍යයා විසින් නියම කරන ලද්දේය. සෙබස්තියන් මුනිදුන්ට කැපවුනු, පසුගිය පාස්කු ප්‍රහාරයට ලක්වුනු මීගමු කටුවාපිටියේ දෙව් මැදුර ඉදිරිපස, සන්නාහයෙන් සන්නද්ධ වූ සෙබස්තියන් සෙනෙවියාගේ රුවක් ඇති අතර, දෙව්මැදුරේ අල්තාරයට ඉහලින් ඇති ප්‍රතිමාව, ගසක බැඳ ඊතල විද සිදුරු කල සෙබස්තියන් මුනිතුමාගේ රුව දක්වයි.

ඉතින් විය යුතු සේම, බෙනඩික් අයියාගේ සෙබස්තියන් ටීටර් එකේ ද, උත්කර්ෂවත්ම අවස්ථාව වූයේ, ගසක බැඳි සෙබස්තියන් මුනිතුමාට ඊතල විද අච්චු කරන්නාවූ දර්ශනයය. ඒ කෑල්ලට, මට මතක හැටියට වෙනත් පලාතකින් විශේෂයෙන් ගෙන්වූ දුනුවායකු යොදා ගන්නා බවත් එයා ඇත්තම ඇත්ත දුන්නක් ඒ සඳහා පාවිච්චි කරන බවත් වශයෙන් කණින් කොණින් ගිය කතාන්දර ද පැතිරී තිබුණේය.

වේදිකාව මැද්දෑවට වන්නට හිටවූ ගස් බඳක බැඳ, උඩුකය නිරුවත් කල සෙබස්තියන් මුනිදානන්ට රැඟූ නළුවා අහසට නෙත් යොමා දෙවියන්ට ස්තෝත්‍ර කියමින් සිටියා කියා මගේ මතකයයි. උස මහත මිනිසකු වූ දුනුවායා, වේදිකාවේ පහල හිඳ ඇලයට බලද්දී, තවත් උස් වී පෙනුණේය. ඔහුටත් වඩා උස (මගේ මතකයේ ඇති චිත්‍රයේ පෙණෙනාකාරයට නම් අඩි හතක් අටක් වත් උස) මහා දුන්නක් අත දරා සිටි ඔහු, අඩි හතරක් පහක් වත් දිග ඊතල දුනු දියට අටවා ඇද, සෙබස්තියන් මුනිතුමා දිහාවට හරවා මුත්, බිමට වැටෙන සේ විද්දේය. ඒ විදීමත් සමගම වාගේ, වේදිකාවේ උඩින් පැත්තෙන්, සෙබස්තියන් මුනින්ද්‍රයා බැඳ සිටි ගහට අවුණා ඇද තිබූ කම්බි දිගේ, අඩියක විතර, රිදීපාට ඊතල රූපයක් ඇදී ඇවිත්, එතුමාගේ සිරුරට කිට්ටුවෙන්ම වාගේ නැවතුනේ ය. දුනුවායා වේදිකාවේ එහා මෙහා යමින් එක් එක් තැන්වල සිට එක් එක් කෝණවලින් ඊතල විද්ද අතර, අර කම්බි දිගේ ආපු ඊතල නම් ඒ කෝණ වත්, පැතිවත් ගණන් නොගෙන එයාලාට හිතෙන හිතෙනාකාරයටම ඇවිත් වැදුනේ ය.

මං හිතන්නේ ඒ සීන් එක අන්තිමට වගේ අවුණා තිබුණේ හේතුවක් ඇතුව වෙන්නටත් පුළුවන. 

සෙබස්තියන් මුනිඳුන් ගැන අපි කුඩා කාලේ ගුවන්විදුලියේ නිතරම ඇහුණ ගීතය, කුසුමේනි නර්බෝනාය. ගැයුම සෙබස්තියන් පීරිස්ගේ ය.

අපේ තාත්තාගේ කලාකටයුතු ගැන අනිත් මතකය, පාස්කු හා බැඳී තිබේ. අපේ පලාතේ සෑම පල්ලියකම පාහේ, මහ සිකුරාදාට කුරුසේ ඇණගසන සුරුවමක් තියෙයි. මනුස්සයකුගේ උස මහතට නෙලා ඇති මේ සුරුවමේ අතපය, හිස, ඇස් එහා මෙහා කලහැකිසේ තනා ඇති අතර, මහ සිකුරාදා පාස්කු සිහිපත් කිරීමට යොදා ගන්නේ මේ සුරුවමය. තාත්තා හා බැඳුනු පාස්කු මතක, වෙනමම සටහනකම ලියන්නට ඕනෑයි හිතේ.

ඒ මතකය මතක තියා ගන්නට උදව්වෙන මේ ගීතිකාව විතරක් මෙතන අවුණමි.

බේබි මහත්තයාගේ මේ කලා කටයුතු වලට අමතරව, මං නං හිතන්නේ, එයාට රඟපාන්නට හරියාකාර අවස්ථාවක් ලැබුණා නම් එයා නිරනුමානයෙන්ම දක්ෂ නළුවෙක්ද වෙනවායි කියාය. එයාගේ රඟපෑමක් ගැන කාලයකට කලින් මුහුණු පොතේ මා තැබූ සටහනක් පහත අවුණමි.

මං කැම්පස් කාලේ කටුනායක කිට්ටුව මක්කම වන්දනාවේ ගිය කට්ටියක් රැගත් ගුවන් යානයක් කඩාන වැටුනේ ය. ඉතින් අහල පහල හින්දා අපේ තාත්තාත් නංගී අම්මා එක්ක ප්ලේන් එක වැටුනු තැන බලන්ඩ ගිහින් තිබුණි. ගියා විතරක් නෙවෙයි, ඒකෙන් කැඩිලා, විසිවෙලා තිබ්බ අඟල් හතාටක ඇළුමිනියං රීප්ප කෑල්ලකුත් උස්සාගෙන ඇවිල්ලා තිබුණි.
අපේ අම්මා නං 'ඔය මළ මිනිස්සුන් ගේ කෑලි ගෙවල් වල ගේන' වැඩේට ආඩපාලි කිව්වත් තාත්තා අපේ ගෙදර ස්වාමියා හින්දා එව්වා ට යට වෙලා නැත.

ඒ සතියේ ගෙදර ගිය වෙලේ හවස් වරුවේ තාත්තාත් ගෙදර ආවාට පස්සේ අපේ නංගී 'අය්යාටත් ප්ලේන් එක වැටුනු හැටි පෙන්නන්ඩ' ය කියා දෙතුන් වරක් කරදර කෙරුවාට පස්සේ, මාව සාලේ පුටුවක වාඩි කරවලා සියළු ලයිට් නිවාදාන ලදී.

එයින් මෙහොතකට පස්සේ, කුස්සිය පැත්තට යන දොර රෙද්ද මෑත්වී මහා භයානක සද්දයක් දාගෙන විදුලි බුබුළු නිවෙමින් පත්තුවෙමින් පැමිණි ප්ලේන් එක දඩ බඩාං පට පටෝන් ගා සාලය මැද්දේ කඩාන වැටුනේ ය.

ලැයිට් දාලා බලද්දී ඒ අර ඇළුමිනියං කෑල්ලත් අතින් උස්සාන අනිත් අතින් ටෝච් එක නිව නිවා පත්තු කර කර දුවගෙන ඇවිත් සාලය මැද්දේ අත ඇරපු තාත්තාය.

හැබැයි මට නං හිතෙන්නේ ඒ වැඩේ, ඔයි කැළණියේ නාග සලං නාට්‍යයට වඩා තාත්විකව තිබුණා කියාය. කොටින්ම අච්චර අන්ධකාරේ අත් දෙකම උස්සාන දුවාන ඇවිල්ලාත් තාත්තාගේ සරම නම් ඩිංගක්වත් බුරුල් වෙලාවත් තිබුණේ නැත.

අපේ තාත්තාවූ බේබි මහත්තයා අද හිටියා නම්, අවුරුදු අනූ නවයක අත්තා කෙනෙක්ය. එයාගේ මතකයත් එක්ක මතක්වෙන ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමා රචනාකර, මං පුංචිකාලයේ අපමණ වතාවක් ගයනවා, ගැයෙනවා අසා ඇති, අදටත් ගැයෙන මේ පරමණ්ඩල යාඤාව මෙතන අවුණමි. 










Continue Reading...

Sunday, July 13, 2025

චන්ද්‍රසේනගේ බුද්ධිමය දේපල...!

 


පෘතුවිය වටා කැරකෙන්නේ එකම එක චන්ද්‍රයකු මුත්, චන්ද්‍රසේන ලා නම් බොහෝ ය. එයාලා ඉතින් වාර්තා තියාපු හා තියන අයය කියා ආය කියන්නට උවමනා නැති තරමට මේ ලියවිල්ල කියවන බොහෝ අය එයාලා ගැන විස්තර කතා සවිස්තරව අසා දැක තියෙන්නට පුළුවන.

මේ අතරින් මම කියන චන්ද්‍රසේන, මමත් මානෙලුත්, තිඹිරිගස්යායේ ශාන්ත තෙරේසා දෙව්මැදුරේදී අතිනත් ගත් දවසේම ගාල්ලේ ඉපදී, හැදී වැඩී, මොරටුවෙන් ටවුන් ප්ලෑනින් උපාධියක් අරන්, මැලේසියාවේ විශ්ව විද්‍යාලයක පශ්චාත් උපාධියක් හදාරන කාලයේ, 2013/14 කාලයේ විතර මුහුණු පොතෙන් මුණ ගැසුනු, නදීෂා චන්ද්‍රසේනය.

අද ඇය ගැන ලියන්නේ ඇයිදැයි ලියන්නටත් උවමනාදැයි සැක හිතෙයි. මන්ද, 2025 හේ ලෝක බුද්ධිමය දේපල අගැයුම් ත්‍යාගලාභීන් දස දෙනා අතරට, ලංකාවේ නමත් එකතු කරන්නට ඈ සමත්වී ඇති බව නොදන්නා කෙනෙක්, මේ සටහන කියවාවිදෝයි හිතෙන නිසාය.

ඔය මුල්ම කාලේ 2014 ජනේරුවේ දවසක, නදීෂා මැලේසියාවේ ඩ්‍රැගන් පෘට් වගාව අලලා, අපූරු සටහනක් තබා තිබුණාය. එයාගේ ලියවිල්ල නැතත්, මගේ පරණ මුහුණු පොත් සටහන් අස්සේ ඒකට මා ලියූ කොමෙන්ටුව ඉතිරි වී තිබුණි.

=====================================================================================
නදීෂා... නදීෂා... ඔය ඩ්රැගන් පෲට් පැහෙන්න තව මාස දහතුනයි නේ ද? අවසාන කාලේ පිදුරු වලින් වහලා එහෙම තියන්නත් ඕනි ද?

හැරිලා බැළුවාම මගේ ජීවිතේ හොඳම උපදේශය දුන්න ගුරුවරයා හැටියට මම හිතන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ ක්වන්ටම් රසායන විද්‍යාව ඉගැන්නූ ආචාර්ය තුරෙයිසිංහම් ය.

'Why don't you try and go abroad. You can easily get an assistance ship at a north american university. Do not worry about completing a degree or studying... Just go and see the world...!'
Jan 23, 2014, 6:21 AM
====================================================================================

අද හැරී බැළුවාම හිතෙන්නේ ඉතින්, එදා පටන්ගත් ඒ ඩ්‍රැගන් පෘෘට් වගාවේ අස්වැන්න හරියටම ලැබෙන්නේ දැන් ය කියාය. 




දිනුම දන්වා ඉහත පින්තූරත් සමග එවූ පණිවිඩයට, හිතට ආ සුපුරුදු පැතුම ‘වාසනාවන් රත්තරන්‘ යැයි ලියා යැවූවිට, 
“වාසනාව නෙමේ, හාඩ් වර්ක්... කන්සිස්ටන්සි“ 
කියා නදීෂා ලියා එවා තිබුණාය. ඒක එහෙම බව දකින්නට දැනෙන්නට අපි වාසනාවන්ත වී සිටිමු.

නදීෂා ගැන තව තව දේ දැනගන්නම හිතෙනවා නම්, එයාගේ විස්තර සවිස්තරව කියවන්න “මේ සබැඳියෙන්“ පුළුවන. 

මේ අගැයීම දිනාගත් ‘ස්මාර්ට් ඩ්රේන්‘, සිංහලෙන්ම ගලපලා ලියනවා නම්, සුහුරු කාණුව ගැන තව විස්තර දැනගන්න ආසා නම් මේ සබැඳියෙන් පුළුවන.










 








Continue Reading...

Sunday, July 6, 2025

කම්මැල්ලවීර

 

ජයතිලක කම්මැල්ලවීරයන් ලියූ කතාවක්, සටහනක්, පොතක්, නොකිය වූ, සිංහල පතපොත කියවූවකු සිටීම උගහටය. නූතන සිංහල කෙටිකතාවේ ඉදිරිමග සලකුණු කෙරුවෙකු ලෙසත්, තවමත් ඒ මග මං පෙන්වන්නකු ලෙසත්, අපි බොහෝ දෙනෙක් කම්මැල්ලවීරයන් හඳුනමු.

වන උයනක දෝතින් බදා අල්ලන්නට බැරි, අහසටම ඇස් යොමුකලත්, අගිසි දළුවක නෙත් රඳන්නට බැරි විසල් වෘක්ෂයක් දුටුකල, අපිත් මෙතන උන්නා, අපිත් මෙයාව දැක්කායි කියන්නට, සේ රුවක් සටහන් කරන්නට අපි පෙළඹෙමු. ගිලිහී වියලී වැටුනු පතක් ගෙනවුත් පොතක් අස්සේ දමා තියාගන්නට පෙළඹෙමු. ඒ අපි අපේ අගැයීම පෙන්වනා ආකාරයය. අපේ ආදරය සටහන් කරන්නාවූ ආකාරයය.

මේ පහත වීඩියෝව, සන්නස්ගලයන්, කම්මැල්ලවීරයන්ගේ කළු සපත්තු කියවන, කියා දෙන, විමසන, විචාරණ සටහනකි.

ඊලඟ සබැඳිය, කම්මැල්ලවීරයන්ගේ කෙටිකතාවකට හඬ කවන්නට මා ගත් දුබල උත්සාහයකි.

අවසාන සබැඳිය, කම්මැල්ලවීරයන් හා කල කතාබහක් ගැන කෞශල්‍ය කුමාරසිංහ, බීබීසී වෙබ් අඩවියට ලියූ සටහනකි.




රජ්ජුරුවෝ - ජයතිලක කම්මැල්ලවීර

මම ලියන හැටි - ජයතිලක කම්මැල්ලවීර

Continue Reading...

Saturday, July 5, 2025

වැලිකතරේ අන්තිම වෙඩිල්ල






පන්සිය පහේ කොළඹ කොටුවේ හරක්හම එලාගත් පෘතුගීසි අයියලාගේ කාලයෙන් පටන්ගෙන, ලංදේසි යුගය පහුකර ජෝජ් රජ්ජුරුවන්ගේ ඉංගිරිසි ඔටුන්නේ හෙවනැල්ල බාල වුනු, හතලිස් අට වෙනතුරු, යටත් විජිතයක් වුනු අපේ රටේ, නිදහස්ය කියාපු ආණ්ඩු වලින් ඉස්ඉස්සෙල්ලාම සම්පූර්ණ ධුර කාලය වූ පස් අවුරුද්ද අවසන් කල ඩඩ්ලි සේනානායකගේ හත් හවුල් ආණ්ඩුව විශ්‍රාම යවා, හැත්තෑ දෙකේ දී, ජනරජයක් පැළ කර රට නිර්ඩොමීනියන් කල සිරිමාවෝගේ තුන් හවුල් ආණ්ඩුව පත්වෙන්නේ නවසිය හැත්තෑවේ දී ය. ඒ අවුරුද්දට පහු අවුරුද්ද වූ හැත්තෑ එකේ සිංහල අළුත් අවුරුද්ද ලබන්නේ, එතෙක් කැකෑරෙමින් තිබුණු චේ ගුවේරා කාරයින්ගේ විප්ලවයේ පතොරම් තුවක්කු පත්තු වුනු සද්දයත් එක්කය. තිස්ස අබේසේකර ගේ තිර රචනයත්, නිහාල්සිංහගේ කැමරාවත්, ගාමිණී, ජෝ, සුවිනීතා ගේ රංගනයනුත්, ලාංකික පුළුල්තිර සිනමාවේ සටහන් කල වැලිකතර ප්‍රදර්ශනයට එන්නේ හැත්තෑ එකේ ඔක්තෝම්බරයේ දීය.

සිංහල සිනමාවේ රජදැක්ම යැයි පටබැඳුනු වැලිකතරට එකල ගුවන්විදුලියේ විකාශනය වූ වෙළඳ දැන්වීමේ තිබුනේ  වික්‍රම රන්දෙනිය සිය මනාලියගෙන් ‘රජ දැක්මට අවසර ද...?‘ විමසන දෙබස් ඛණ්ඩයය.

චිත්‍රපටයක් ලෙස, අදටත්, ‘වැලිකතර‘ අග්‍රගණ්‍ය බව නැවත නැවතත් ලිවිය යුතු වදන් පෙලක්ම වන්නේය. දෙදහස් දා හතේදී, නැවත සංරක්ෂණය කල පිටපතක් යලි ප්‍රදර්ශනයට එක් කරනු ලැබුවත්, වැලිකතර පහසුවෙන්ම නරඹන්නට නම් යූබටයේ ටොරානා අඩවියේ ඇති පිටපත අත දිග හරියේ තිබෙයි.



මේ සිනමා සිත්තම ඇත්තෙන්ම සිත්තම් කරන්නේ, පහුගිය හැත්තෑ හය වසර තිස්සේම, අපේ සිත් නෙතු පියන් යට රටේ වරලත් සමාජ පෙලැන්තිය විසින් සිතුවම් කරවූ, පීඩිත පන්තියේ අරගලයේ රේඛා චිත්‍රය බවද අප හඳුනාගත යුතු බව සිතමි. රන්දෙණිය නින්දගම් දාසියක් වූ මුතුමැණිකාට පෙම්බැඳ, ගැබ් ගන්වා,  අතරමංකර වසන්වෙන  රන්දෙණිය රටේ මහත්තයාගේ පුත්‍රයා වූ ඒ.එස්.පී. වික්‍රම රන්දෙණිය අප්පොත්, පීඩිතයාට නැගී සිටිය හැකි එකම මග සේ ගලේ කොටා සටහන් කර තිබූ, ජඩ මිනිමරු අවනීතික මං පෙත් දිගේ යුක්තිය සොයා එන මුතුමැණිකාගේ සොයුරා වූ සුදුබණ්ඩාත් තීරණාත්මකව මුණ ගැසීමේ කතාව, ගෝරිං මුදලාලිගේ වචන වලින්ම කියතොත්, තොවිලය, තිස්සත් නිහාල්සිංහත් වැලිකතර මත සිතුවම් කරති.

මේ පීඩකයාගේත් පීඩිතයාගේත් මුහුණට මුහුණලා කෙරෙන ද්වන්ධව සටන රූප ගැන්වෙන කතාන්දර මෙන්ම ඒ තේමාවම හදවත කරගත් නොයෙක් ආකාර හැඩතල මත සිතුවම් වූ කතාන්දර අපි අනන්තවත් අසා ඇත්තෙමු. කොටින්ම, නිර්මාණාත්මකව විමසන්නේ නම්, අප දන්නා කියන බොහෝ කතන්දරවල මේ තේමාවේ හෙවනැල්ලක් හෝ ගෑවී තියෙන්නේයැයි තීරණය කරන්නට හැකි වෙයි. රජාගේ මුග්ධකම් උපහාසයට ලක්කරන අන්දරේගේ, හෝ දේශයේ පාලකයින් සුල්තාන්ලා ගේ නරුමකම් සූක්ෂමව අපහාසයට ලක් කරන නස්රුදින්ගේ කතා පසුපස වුවද මේ හෙවනැල්ල වැටී තියේයැයි මම සිතමි. පාලකයා හා පීඩකයාට විරුද්ධව අත ඔසවන්නට නම් පීඩිතයා එක්කෝ, මෝඩ තකතීරුවකු විය යුතුය. නොඑසේ නම්, කෘෘර පාෂාණමය හෘදයක් සහිත මිනීමරුවකු විය යුතුය. ඔවුන් එතැනට ඔසවා තබන්නේ ද පීඩකයාගේ යම් නොමනා ක්‍රියාකාරකමක් නිසා වුවද, වැදගත්ම පණිවිඩය වන්නේ, නැගෙන්නා නැගෙතොත් නැගෙන්නේ සමාජයටම පිළිලයක් බවට පත්වී නැසෙන්නටම මිස, සමාජ පරිවර්තනයක් කරන්නට නම් නොවන බවය.

වික්‍රම රන්දෙණිය අප්පොට, අවසාන අවසානම මොහොතේ දී වුවද මුතුමැණිකාටත්, සුදු බණ්ඩාටත් කියාගන්නට බැරි රහසක් තිබෙයි. වැලිකතරේ අවසාන මිරිඟු දිය බිඳුව ඇත්තේ එතනය. පවුල, පෙලැන්තිය, ජන්මය, පරම්පරාවාදී නානා ප්‍රකාර වචන වලින් සංකේතවත් වන පීඩකයාගේ පීඩා කිරීමේ දිව්‍යමය අයිතිය රැකෙන්නේ නොකිය හැකි, නොකිය යුතු මේ අශුද්ධවූ රහස රැකීමේ අරමුණ විසින් ය.

එදා මෙදාතුර ගතවූ පණස් පස් වසරකට සමීපවන කාලය තුල, මේ චිත්‍රපටයේ රසතැන්, විඳිය යුතු, මෙන්ම නිරායාසයෙන්ම විඳවෙන තැන්, අපි ඒ කාලේ කතාකල බාසාවෙන්ම ලියනවා නම්, ගාමිණීගේත් ජෝවා ගේත් මාර ඇක්ටින් කෑලි, තිස්සගේ විනිවිදෙන දෙබස් කෑලි, සුදු වැලි තලාවක කාළවර්ණයෙන් ඇඳි රේඛාවන් ලෙස නිහාල්සිංහ මතුකරන හැඟීම් දැනවීම් ගැන කොතෙකුත් කතාබස් වී ඇති. කොතෙකුත් ලියවිලි ලියවී ඇති. එහෙත්, අද මට එතුලින් ඉස්මතුවන, පීඩිතයාට පළිගැනීමට ඇති එකම මාර්ගය, මුළු සමාජය හමුවේම නරුමයකු, නීති විරෝධියකු බවට පත්වීම පමණක්ය යන පණිවිඩය ඒ හැමටම ඉහලින් මතුවී පෙනෙයි. වික්‍රමට අභියෝග කරන්නට, රන්දෙණිය නින්දගමේ නෝංජලයකු වූ සුදුබණ්ඩාට, හොර අබිං ජාවාරම්කාර, මිනීමරු ගෝරිං මුදලාලි නම්, අද පවතින නිර්වචනයෙන්ම කියතොත්, පාතාලයා වන්නට සිදුවන්නේ ඒ නිසාය. දෙවියන්ගේ බුදුන්ගේ දිව්‍යමය ආරක්ෂාව ලබන, පාලක පැලැන්තියට විරුද්ධව අවි අත් නොව, හඬක්වත් නගන්නේ නම් ඒ එවැනි දූෂිත, තුච්ච, අපරාධකාර ආත්මයක්ම පමණකිය යන්න, අපේම අම්මලා තාත්තලා අපට කියාදුන් අවස්ථාත් මගේ ජීවිතයේ මෙන්ම ඔබේ ජීවිතයේත් ඇති පමණ තිබේයැයි සිතමි.

අපේ සමාජ චින්තනය හා බද්ධකර පෝෂණය කල මේ නිර්ණායකය අද බිඳ වැටී තිබේ. මේ දෙබරයට ගැසුණු ගල නිසා ඇවිස්සුණු සුළි කුණාටුව මෙල්ල කරගැනීමේ කාර්යය අද සමස්ථ ලාංකික සමාජය හමුවේම අභියෝගයක්ව පවතී. නරුමයකු, අපරාධකාරයකු, මිනීමරුවකු, හොරෙකු හා වංචනිකයකු නොවී, වික්‍රම රන්දෙණියලාගේ මානසික ආධිපත්‍යයට අභියෝග කිරීමේත්, දඬුවම් කිරීමේත්, සුවිශේෂී කතාන්දරයම වැලිකතර වසාගෙන නැගෙන සුනාමි රැල්ලක් බවට පත්වෙමින් තිබේ. මරාගෙන මැරෙන හරාකිරි මානසිකත්වයෙන් මෑත්වී, බදාගෙන නැගෙන අනාගතයක සිහිනය, අප සිහිනයක් කර නොගත යුත්තේත්, ඒ වෙනුවෙන් ඇප කැපව අවධියෙන් සිටිය යුත්තේත්, ඒ නිසාය.

“බය වෙන්ඩ එපා හාමුදුරුවනෙ, මා අතේ ආයුධ මුකුත් නෑ... වඩින්ඩ එළියට“

“මොකද මිනිහො, බැහැපන් යකෝ එළියට....“

“ඒ ජාතියෙන් ද එන්ඩ හදන්නෙ සර්.... හොඳයි බලමු. මමත් ලෑස්තියි. මම පිස්තෝල පාවිච්චි කරන්නෙ නෑ සර්ලත් එක්ක. මං ගිරිය කඩාගෙන කෑ ගහන්නෙ නෑ. හැබැයි හොඳ ආයුධයක් තියනව මා ගාව. ඒ හින්ද ප්‍රවේසමෙන්.... හාමුදුරුවනෙ... ආසියත් මා ගාව, බූරුවත් මා ගාව... නමයෙ කොළෙත් මා ගාව. තුරුම්පු හතරයි.... අත වහල ගහමු ද? පාර්ට්නර් ක්ලෝස්. බූරුව කූට්ටමෙ කොළ මට අඳුන්නල දුන්නෙත් සර් නෙ. මතක ද? අද සර්ට ලොකු දවසක්. එහෙමනෙ.... සපුමල් කුමාරය යාපා පටුනට ගිනි තිබ්බ. ඒ කියන්නෙ වික්‍රම රන්දෙණිය ඒ. එස්. පී. හාමුදුරුවො නොහොත්, රන්දෙණිය රටේ මහත්තයාගේ එකම පුත්‍ර රත්නය වූ,  වික්‍රම රන්දෙණිය පොඩි හාමුදුරුවො ගෝරිං මුදලාලි නොහොත් දිප්පිටිගල මුදියන්සෙලාගේ සුදු බණ්ඩගෙ හොර තෙප්පම්  අටකට  වැඩක් දුන්න. බොහෝම ලොකු හපන් කමක්. ඉතිහාසගත වෙන වීර ක්‍රියාවක්. ඒ ප්‍රීතියට පොඩි අඩියක් ගහන්ඩ මං මේ ආවෙ.... ඒයි.... සෝඩ ටිකකුයි අයිස් ටිකකුයි අරන් වරෙන්....“

“ උඹ ගෙට පලයන් යන්ඩ....“

“ඒකත් එහෙම ද?.... මිසී නිදිමරන්ඩ ඕනෙ නෑ. ගිහින් නිදාගන්ඩ. ඔය තත්වෙ ඉන්නකොට නිදි මැරීම හොඳ නෑ.“

“මොන තත්වෙද යකෝ...?“

“මීට අවුරුදු දහතුනකට උඩින් මගෙ නංගි හිටපු තත්වෙ. මගෙ නංගි බඩින් ඉන්න කොටත් මේ වගේ මූණ පුරෝදාල තිබුණ මතක නැද්ද?... හාමුදුරුවනෙ?... අද රෑ දොළහටත් මට බඩු තොගයක් එනව. සර් සතුටු නම් මාව එතනදි හම්බවෙන්ඩ පුළුවන්. අදට එච්චරයි. තොවිලෙ  දවස් හතක් තියනව. හත්වෙනි දවසෙ රෑ දොළහටයි දරහැව ගෙනියන්නෙ“‍

ගිය අවුරුද්දේ තිරගත වෙන්නට පටන්ගත්තු නූතන වැලිකතරේ අන්තිම වෙඩිල්ල තවම පත්තු වුනේ නැත.

Continue Reading...

Blogroll

About