පින්තූරය - http://soonall.com/landscaping.html
අපේ තාත්තලා, බාප්පලා ආදී නෑදෑ පිරිස් ගෙදරක මගුලකට තුලාවකට එකතු වූ කල. තරමක් ඇඟපතත් රත්වී සිංදු කියන වෙලාවල, නොවරදවාම වාගේ ගායනා වෙන පරණ නූර්ති ගීයක්ය මා හිතන, ගීතයක් තිබේ.
"සරණ බැඳුන තරුණ මහළු හැම දෙනටම මංගලම්" කියන ආශිර්වාදයක් වටේ කැරකෙන මේ ගීතයේ පද අතරින් හොඳටම මතක පදටික නම්
'බෑණ කසාදෙට එන විට රජ්ජුරුවො වගෙ නැන්දම්මට
දෙයියන්ට මෙන් බෝ ගරු කොට මාම පුදයි සිය බෑණට'
කියන පද දෙපේලියයි.
මේ සිංදුවේ නූතනීය වූ ගායනයක් මෙරිල් ප්‍රනාන්දු නම් දැන හැඳුනුම් කමක් නැති ගායකයකු විසින් ගැයී අන්තර්ජාලයේ හැංගී තිබී ඊයේ පෙරේදා හමුවිය. අපේ තාත්තලාගේ සිංදුවේ, මීට වඩා පද තිබුණු බවත්, නැන්දා මාමාගේ ගරු සරුව බැන්දාට පස්සේ ඉහල පහල යන කතන්දරයත් අඩංගු වූ බවත් මගේ නොපැහැදිලි මතකය මුත්, මතක වතුර භාවිතයක් නොමැති කාලයේ ඇසූ නිසාදෝ ඒ වචන පේලි සියල්ල අද මතකයට එන්නේ නැත.
මෙරිල්ගේ ගීතය - එම්.පී.3 ගොණුවකි. වාදනය කරන්න හෝ බාගන්න පුළුවන.
මටත් මගේ අතිජාත මිත්‍රයා වූ ප්‍රසාද්ටත් උඩරට මැණිකේ කෝච්චියේ නැගී කොළඹ හිට බදුල්ලටම යන්නට ග්‍රහයන් පෙල ගැහුනේ නවසිය අසූවේ අප්‍රියෙල් මාසේ දහ අට වෙනි දා ය. අද වාගේම මේ කියන කාලයේත් උදේ නවයට විතර කොටුවෙන් පිටත්වෙන මැණිකේ, හරියටම බදුල්ලට සේන්දු වෙන්නේ, රාත්‍රියේ හතට අටට විතරය. කිලෝ මීටර තුන්සීයට පැය දහයකි. කෝච්චිය යන්නේ බදුල්ලට වුනත්, අපේ ගමනේ ගමනාන්තය එයිටත් එහා, පස්සරත් පහුකර ලුණුගල දක්වා ය. හරියටම කියනවා නම් ලුණුගල විජය චිත්‍රාගාරයට ය. ඒකාලේ හැටියට වෙන්ඩ නැන්ද මාමලා දිහාවේ ය. අද යනවා නම් මෙතැන නම 'ස්ටුඩියෝ විජය' ය.
මගේ දිනපොතේ සටහන් අනුව නම් එදා අපි කොටුවේ දුම්රියපලට ආවේ උදේ අටයි තිහටය. කෝච්චිය පිටත්වුනේ නවයයි හතලිස් දෙකටය. දහය මාරට වේයන්ගොඩය. එකොලහයි පහට පොල්ගහවෙලය. එකොලහයි විසිදෙකට රඹුක්කනය. දෙකයි විස්ස වෙද්දී වටවල සීයේ කණුව පහුකරලාය. හැටන් හරියේ ඇංජින් දෙක අවුණලා නානුඔයට කන්ද නැගලා බැහැලා හයයි දහනවයට බණ්ඩාරවෙලටත්, හයයි විසිතුනට කිණිගමටත් හයයි තිස්පහට හීල්ඔයටත් ගිය මේ කෝච්චි ගමන දෙමෝදර වට වංගුව හරියට එද්දී අන්ධකාර වැටී තිබුණි. මේ වෙද්දී සෑහෙන්න හිස්වී තිබුණු කෝචිචියේ අපි දෙන්නාගේ එ් වෙලාවේ නවාතැන වී තිබුණේ බෆට් පෙට්ටියේ මේස පුටු යුගලකි. දෙමෝදර ලූප් එක බලන්නට ජනෙල් වීදුුරුවට ඇහැ අලවාගෙන ඉන්නා වෙලාවේ, බෆට් එකේ මේස අස්කරන මල්ලී ඇවිත් කෙළවරක ඉඳලා ජනෙල් කවර වහගෙන වහගෙන ආයේය.
"අපේ එක වහන්ඩ එපා. අපි මේ දෙමෝදර බලන්න බලාගන ඉන්නෙ" යි කියූවිට ඇහුණේ සමච්චල් නෝක්කඩුවකි.
"ඔයාල දෙමෝදර දැකල නෑ....? අනේ මේ වීළු නොකර ඉන්න....!"
එසේ කෝචිචි ජනේලයෙන් එබී දෙමෝදර ලූප් එකේ කණාමැදිරි ලයිට් එළිත් බලා බදුල්ලට එද්දී වෙලාව හැන්දෑවේ හතයි හතලිස් පහය.
හතයි හතලිස් පහ ඒ කාලේ බදුල්ලට රාත්‍රිය ය. මේ බව හොඳින් දැන සිටි අපි මේ ගමන ආවේ බදුල්ලේ රෑ නවතින්නය. ඒකත් එසේ මෙසේ තැනක නොවේ. මුතියංගන පංසලේ බණ මඩුවේ රෑ නවතින්නය. බුදුන් පා තැබූ බිමක් වුණත් මුතියංගන පංසලේ බණ මඩුව ඒ කාලේත් අපි වාගේ සාමාන්‍ය මනුෂ්‍යයින්ට ඒ තරම් ආරක්ෂාවක් තිබුණු තැනක් නොවෙයි. එයිට මාසයකට දෙකකට විතර පෙර, පිරිත් ගෙදරක දී හමුවුනු පස්සර පැත්තේ නංගි කෙනෙක් බලන්නට බදුල්ල හරහා යන්නට ඇවිත් මුතියංගනේ නිදාගත් අපේ බැචෙක් වූ දාංචියා පහුවදා කොළඹ ආවේ රෑට නිදාගන්නට ඇඳගත් සරම පිටින්ය. කකුලෙන් නොගැලවූ නිසා, සපත්තු දෙකත් නම් ඉතුරුව තිබිණි. මේ තත්වය නිසා, අපේ සැලසුම වූයේ පුළුවන් තරම් රෑ වෙනතුරු අවදිව ඉන්නා එකත්, හැකිතාක් දුරට එක්කෙනෙක් මුරට තබා අනික් කෙනා නිදාගැනීමත්ය.
මූණ කට හෝදාගෙන සරමකට බැහැලා, බදුල්ල ටවුම පුරා ඇවිදින අතරේ අපටම ගැලපෙන්න බදුල්ල රෙක්ස් හෝල් එකේ, 'සූර චෞරයා' බෝඩ් එකක් ගසා තිබුණි. නවය මාරේ ෂෝ එකට සෙට් වුනාම පැය තුනක් හමාරක් ගාමිණීගේ කඩු පයිට් වලට විසිල් ගහන්නට පුළුවන් වූ නිසා, ඒකෙන් ඉබේම රෑ වෙනතුරු අවදිව ඉන්නා කොටස සම්පූර්ණ විය.
එකා එකා නිදාගන්නා ප්ලෑන් එක නම් ඒ විදිහටම කෙරුණායි මට මතක නැත. එහෙම වුණත් ඇඳුම් බෑග් එක කිටි කිටියේ ඔළුවටම තද කරගන, අත් දෙකෙනුත් අල්ලාගෙන නිදා ගත් අපි දෙන්නාගේ සියළු අවයව පහුවදා උදේත් ඒ විදිහෙන්ම තිබුණි.
සල්ගාදු හෝටලෙන් උදේට කාලා, උදේ පළවෙනි බස් එකෙන් ලුණුගල ගිය අපි දෙන්නා, එදා උදේ විජය චිත්‍රාගාරයට ගොඩවෙද්දී වෙලාව උදේ නවය විතර වෙන්නට ඇත. ස්ටුඩියෝ එකේ අයිති කාරයා මාතර මනුස්සයකු වූ එඩී විද්‍යාරත්නය. එයාගේ ලොකු දුවගේ කැම්පස් යාළුවන් දෙන්නෙක් මෙහෙම කොළඹ හිට ලුණුගලටම ආ එක එයාට නම් ඉහේ මල් පිපුණු තරම් සතුටු කාරණයක් විය. මොන දීපංකරේ කොහේ ඉඳ මොකට ආවා ද අහන්න බලන්නත් කලින්, දවල්ටත් කාලා, රෑටත් ඉඳලා හෙට දිහාවේ නිවාඩුව යන්න පුළුවන් නේ කියන පමණට අපේ වෙන්ඩ මාමාට මාවත් මගේ සපෝට් කාරයා වූ ප්‍රසාද්වත් අල්ලා ගියේය.
ස්ටුඩියො බරාඳයේ ඇඳි පුටුවල වාඩිවී සිටි අප දෙන්නාත් සමග, ඒ දවස් වල එහේ කතාබහේ මාතෘකාව වූ එයිට දවසකට දෙකකට කලින් අවට ගමක සිදුවූ තරුණ යුවලකගේ සිය දිවි නසාගැනීමේ සිද්ධිය කියන්නට ගත් එඩී මහත්තයා ගේ නිගමනය වූයේ ඒ වගේ සිද්ධි වලට මූලික හේතුව තරුණ අයගේ අදහස් උදහස් තේරුම් නොගෙන ඒ සම්බන්ධයට වින කරන්නට ගිය උන්ගේ අම්මලා තාත්තලාගේ මෝඩ කමය. තැනේ කාලයේ හා වෙලාවේ හැටියට ඒ වොලිබෝලය උඩට උඩට නග්ගලා ඩෑෂ් ගහන එක නොකර ඉන්නේ කොහොම ද?
තාත්තලා එහෙමය. හිතේ දෙකක් හංගාගෙන කතාවට තව එකක් කියන පුරුද්දක් එයාලාගේ නැත. ඒත් ඇත්තම කාරිය නම් එඩී මහත්තයා අපේ ගමනේ පසුබිම් කතාව ගැන හාං කවිසියක් නොදැන හිටීමයි. මේ කතා බහ මෙහෙම යන අතරේ ඇවිත් ඉන්නේ කවු ද කින්ද මන්ද ආදී කාරණා පිළිබඳව හොඳ අවබෝධයක් තිබූ මනමාලිගේ අම්මා නොහොත් මගේ වෙන්ඩ නැන්දම්මා, මට මතක හැටියට තේ බන්දේසියකුත් අරන් සාලයට ඇවිත් ගියාය. අපේ බාප්පලා කියන අර නූර්ති සිංදුව වැරදි විය යුතුය, නැත්නම් උඩරට ඈයෝ ඒ සිංදු දන්නේ නැතිය කියා හිතුණේ, එයා ඇවිත් අපේ මූණු බලලා ගියාට පස්සේ ප්‍රසාද් හෙමිහිට මගේ කණට කර "අපි ඉක්මනට යං මචං" කියා කිව් වෙලාවේය.
යනවා ය කිව්වාට ලුණුගලින් යන එකත් ලේසි පාසු වැඩක් නොවේ. එක අතකින් තාත්තාගේ රෑටත් නැවතිලා යන පෙරැත්තය ය. අනික් අතින් ආපු කාරණාව එහෙම ආපු ගමන් හැරී යන්නට පුළුවන් කාරණාවක් නොවීම ය. එයිටත් වඩා, ලංගම බස් කියන්නේ අපි හිතන හිතන වෙලාවට යන එන වාහන වර්ගයක් නොවීම ය. කරුණු කාරනා එසේ වූ හෙයින්, දවාලට කාලා බිබිලෙන් මොණරාගලට ගිහින් කොළඹ බස් එක අල්ලන්ඩ තීරණය වූ අතර, ඇත්තටම සිද්ධ වුනේ නම්, එදා රාත්‍රියේ බිබිලේ නිදාගන්ඩ තැනක් හොය හොයා ඉඳලා, අන්තිමේ කුලී කාමරයක රෑට ඉඳලා, පහුවදා උදේ මයියංගනේට ගිහින් එතනින් දහ අට වංගුව පහුකරලා නුවරට ඇවිත්, නුවරින් කොළඹ ඒමයි. ඒක වෙනම දවසක වෙනම සටහනක් තියන්නට දිග කතාවකි.
අද මේ සටහන එදා එක බැල්මෙන් අපි දෙන්නාගේම සියොලඟ හිරි ගඩු පිප්පවූ අම්මා, අද මගේ නැන්දම්මා ගැනයි. මේ අවුරුද්දේ මාර්තු මාසයේ අසූ අවුරුද්ද සපිරූ, මානෙල්ගේ අම්මා වූ නිසා විද්‍යාරත්න වූ, සෝමලතා ඒකනායකට මේ වසරේ ලැබුණු ඉහලම තෑග්ග, අපේ පුතාගේ කුළුඳුල් දූ සිඟිත්තගේ නමට ඇගේ නමත් ඇතුලත් වීමයැයි සිතමි.
ඒ රෝස පොපි මල ගැන
මෙතැන ලියා තිබේ. අම්මලා කියන්නේ දූ පුතුන් ගැනම තැවෙනා අය ය. දැවෙනා අය ය. ප්‍රසාද් වීරසේකර නොහොත් වීරයා ලියූ පහත පදවැලට තනුවත් සංගීතයත් මුසු කලේ බිබිලාදෙණියේ මහානාම හාමුදුරුවන් ය. අම්මා ගැන ගයන්නේ එදා ඒ ගමන එක දෙක වී, තුන හතර වී, කසාදයකින් කෙලවර වී අම්මා කෙනෙකුවූ, අර අම්මාගේ දෝණියැන් දෑය. බදුල්ලේ පාරවල රෑ තිස්සේ ඇවිදින්නටත්, රෙක්ස් හෝල් එකේ සූර චෞරයා බලලා, මුතියංගනේ නිදාගෙන, සල්ගාදු එකෙන් උදේ ට කාලා, පාන්දර බස් එකේ ලුණුගල ගියේ ඈ නිසාය. ඇයත් අද අත්තම්මා කෙනෙකි.
ජීවිතය ගමනක් මිස දුෂ්කර ක්‍රියාවක් නොවේ.