Tuesday, January 31, 2017

ගිරවා....!

කන්‍යාරාම නැත්නම් කොන්වන්ට්ය කියන්නේ කතෝලික/ක්‍රිස්තියානි දේවදාසියන් ගේ නිවහන්ය කියා හැඳින්වීමේ වරදක් තිබිය නොහැකිය. සම්භවය එසේ වුවද, සමාජ ආශ්‍රයෙන් සහමුලින්ම ඈත්වී, දෙවියන් වෙනුවෙන්ම කැපව ධ්‍යානයෙන් හා යාච්ඤාවෙන් කල් ගෙවන නිකාය දෙක තුනක් තිබෙන නමුදු, බොහෝ ක්‍රිස්තියානි/කතෝලික කන්‍යාරාම, පාසල්, රෝහල්, මහළු නිවාස, දුගී නිවාස ආදී යම් ආකාරයක සමාජ සේවයකට යොමුවූ ඒවාය. මේ නිකාය අතරින් ශුද්ධවු පවුලේ කන්‍යා සොයුරියෝ ප්‍රධාන වශයෙන් අධ්‍යාපන කර්තව්‍යයට කැපවූවෝ වෙති.

හෝඩියෙන් පටන් ගෙන පස් වෙනි පංතිය වනතුරු මා ඉගෙන ගත් වෙන්නප්පුවේ ශුද්ධවු පවුලේ කන්‍යාරාමයට අනුබද්ධිතව පවත්වාගන ගිය සාන්ත මරියා ප්‍රාථමික පාසලට තිබුනේ එකම එක ගොඩනැගිල්ලකි. පාර පැත්තේ සිට පළවෙනිය, ප්‍රින්සිපල්, සිස්ටර් හෝලි ෆැමිලි ගේ කාර්යාලය, දෙවෙනිය, තුන්වෙනිය හතරවෙනිය වශයෙන් පංති තිබුණත්, දෙවෙනියේ හිට පස්වෙනිය දක්වාම පන්ති අතර බිත්තිවත්, පන්ති වෙන්කරන වෙන පැළලිවත් තිබුණේ නැත.
සාන්ත මරියාව පහු කලක 'මෙත් නිවස' නමින් වැඩිහිටි නිවාසයක් විය. වෙන්නප්පුව මඩම පාරේ ගිහින් නාසරෙත් එක ළඟින් වමට හැරුනාම තාප්ප යකඩ ගේ්ට්ටු අතරට මැදිවී 'මෙත් නිවස' තවමත් තිබෙන බව සියල්ල දන්නා ගූගල් සමාගම කියයි.


සාන්ත මරියාවේ හැම පන්තියකම කොටස් දෙකක්විය, 'ඒ' හා 'බී' ය. 'ඒ' පන්තියේ හිටියේ 'ඒ' වර්ගයේ ළමයිය. 'බී' පන්තියේ හිටියේ 'බී' වර්ගයේ ළමයිය. මේ ඉස්කෝලය මිශ්‍ර ඉස්කෝලයක් වුණත්, අවුරුදු නවයෙන් පස්සේ පිරිමි ළමයින්ට ඉඩ තිබුණේ නැත. අවුරුද්ද මුල උපන් වාසනාවෙන් මට නම් නවය පිරුණේ පස්වෙනියට පැන්නාටත් පසුව හින්දා, ඒ අවුරුද්දේ පස්වෙනියේ 'ඒ' පංතියේ එකම කොල්ලා වුනේ මම ය. 'බී' පංතියේ කොල්ලා ආනන්ද ය.

හතරවෙනි පංතිය වෙන විට, මට පංතියේ අනිත් ළමයින්ට වඩා ටිකක් හරි ඉස්සරහින් ඉන්නට පුළුවන් වුනේ සිංහල රචනාව ලිවිල්ලෙන්ම පමණකියි යන්න මගේ මතකයය. අනිත් ළමයින් දවාලට කෑමට ගියා වුණත් පටන් ගත් ලිවිල්ල ඉවර කරන තුරු ඩෙස්කයෙන් නැගිටින්නේ නැති පුරුද්දකුත් ඔය කාලයේම තිබුණා මතකය.

පස්වෙනියේ 'ඒ' පංතිය විශේෂ පන්තියකි. ඒක තිබුණේ ඉස්කෝල ශාලාව කෙලවර සිමෙන්ති වේදිකාව උඩය. 'බී' පංතිය වේදිකාවේ පඩි තුන හතර බැස්සාම ය. වේදිකාව නම් මට ඒ වෙද්දීත් හොඳට හුරු පුරුදු තැනකි. අවුරුද්ද අග කොන්සට් එකට මුලින්ම මම රජාට ඇන්දේ ඉහල බාලාංශයේ නැත්තං පළවෙනියේ දීය. ඒත් ලේසිපාසු රජෙකුට නොවේ ගැමුණු කුමාරයාගේ තාත්තා, කාකවණ්ණ තිස්සට ය. ඉන් පස්සේ ඇන්දේ අත්තනගල්ලේ දී ඉස් ඉස්සෙල්ලාම වාගේ බෙල්ල අහිමි වුනු, සිරිඟබෝ රජ්ජුරුවන්ගේ සහෝදරයා වූ ගෝඪාභය කුමාරයාට ය.

ඉස්කෝලේ ඉහලම පන්තියේ මෙන්ම, ඉස්කෝල ගොඩනැගිල්ලේ ඉහලම ස්ථානයේ කෙල්ලන් විසි පහක් විතර ඉන්නා පංතියක එකම කොල්ලා වී ඉන්න වීම එක අතකින් ආඩම්බර කාරණයක් සේ සලකන්නට පුළුවන් නමුදු, අනික් අතින් එක්තරා විදිහක ලජ්ජාවට කාරණයකුත් වූයේය. මේ ලජ්ජා කාරණය නම් ඒ වයසේ ගෑණු පිරිමි හෝමෝන වලින් ම මතුවෙන කාරණාවක් ද වෙයි. මේ කාරණා කෙසේ වෙතත්, ඒ වනවිට සාන්ත මරියාවේ සිටි ලොකුම අයියලා දෙන්නා ආනන්දත් මමත් බව නම් පැහැදිලිවම තහවරු වී තිබුණි. මේක වඩාත් කැපී පෙණුනේ ඉස්කෝලේ ඩෙස්ක බංකු එළියට ඇද, පිරිසිඳු කර, වීදුරු කටු, වැලි කඩදාසි වලින් මැද, පොලිෂ් අතුල්ලා අලුත් කරන දවසටත්, හැම පංතියකම පාහේ තිබුණු පොත් අල්මාරිය එහා මෙහා කරවන්නට සිදුවූ වෙලාවටත් වැනි බරපතල වැඩ වලදී ය.

මින් අමතරව මගේ සමර්ථකම් කැපී පෙනෙන වේලාවක් වූවා නම් ඒ, සිකුරාදා හවස් වරුවේ සමිති වේලාවයි. ඒ පංතියේ අය පුටු අරගන වේදිකාවෙන් බැස බී පන්තියේ ඩෙස්ක පේලි අතර වාඩිවී, පහේ ඒ බී පංති දෙකම එකට එකතුවන ඒ වෙලාවේ සිදුවුනු ලොකුම වැඩේ නම් අපි එක් එක්කෙනා කලින් ලියා පිලියෙල කරගත් කථාවක් සමිතිය ඉස්සරහට ගොස් හඬ නගා කියවීමයි. කතාවක් කරනවා කිව්වත් ප්‍රී ප්‍රිපෙයාඩ් රචනාවක් කියවන මේ වැඩේ අපේ පහේ පන්තියේ විතරක් නොව ලෝකයේ ලොකු ලොකු ඉහල තැන්වලත් බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ නම් මේ විදිහෙන්ම යි.

ඒ අවුරුද්දේ පහේ පංතියේ සමිතියේ හොඳම කතා කාරයා මමය කියා හදාගෙන තිබුණු වාර්තාව නොසිතූ අයුරින් පොළවටම සමතලා වුනේ පහ බී පංතියට දෙවන වාරය මුල දී එකතුවුනු අළුත් කෙල්ලක්, ඇගේ රචනාව සමිතිය ඉස්සරහ කියවූ සිකුරාදා ය.

ඒ කතාවේ මාතෘකාව 'ගිරවා' ය.

ඒ කෙල්ලගේ නම රමණී වීරසිංහ ය.

එදා රමණී හුරුබුහුටි කෙටි වාක්‍ය වලින් ලතාවකට රටාවකට ඇවිණූ ගිරවා ගැන රචනාව පංතිය ඉස්සරහා කියවනවාත්, සමිතිය දවසට ඉස්සරහින්ම වාගේ වාඩිවෙන මගේ හිත අමුතුම විශ්මයකින් පිරී යනවාත් මට තවම මතක් කර ගන්නට පුළුවන.

අවාසනාවකට මගේ අතීත මතක බොහෝ දුරට හිතේ ඇඳුණු නිහඬ පින්තූර වෙයි. යම් සීමිත සිදුවීම ගණනක මිස අනෙක් ඒවායේ හඬපට තිබෙන ඉසව් එක්කෝ අඩපණය නැත්නම් නැත්තටම මැකී ගොසින් ය. රමණී ගේ ගිරවා ගැන මට ඇතිවුනේ වෛරයක්වත් ඉරිසියාවක්වත් නොවේ. කොහොම හරි ඒ වාගේ ලියන්නට ආසාවකි. පහ ඒ පංතියේ එකම කොල්ලා වූ මම පහ බී පංතියේ රමණී මගේ හොඳම මිතුරිය බවට පත්කර ගන්නේ ඒ නිසා වෙනි. ඒ දවස්වල ඇගේ ගෙවල් තිබුණේ පල්ලිය අහලින් වැල්ල පැත්තට යන ඒ කාලේ මට මතක හැටියට පල්ලිය පාර වූ දැන් තෝමස් ප්‍රනාන්දු මාවත සේ නම්කර ඇති පාරේ පල්ලෙහා ය. හවසට පයින් ගෙදර යන අපි දෙන්නා, ඉස්කෝලේ සිට මහකඩේ ලඟට එනතුරු එකට කතාකර කර ඇවිත් එතැන දී දෙපැත්තට වෙන්වෙන්නට පුරුදු වී සිටියෙමු. අපේ කතා බහ මොන මොනවා ගැන වූවා ද යන්න නම් හරියාකාර මතකයක් මට නැත. ඒවා බොහෝවිට අප කියවූ පොත් පත්තර කතාන්දර ගැන වෙන්නට ඕනෑ යැයි සිතේ. රමණී පුංචි පින්තූර එකතු කලාය. අපේ බාප්පාගේ පරණ රසවාහිනී සඟරාවල පැරණි රජවරුන්ගේත් ඉතිහාසගත වූ පුද්ගලයින්ගේත් පින්තූර අඩුවූ හිස්තැන් ඇත්නම්, ඒවා තිබුණේ රමණී ලඟය. පුංචි සූට්කේස් වල පාඩම් පොත් දමාගන පාසල් යාම සිරිත වූ ඒ කාලයේ, සඳුදා හවස්වරුවල මහ කඩේ අයිනේ නැවතී සුට්කේස් ඇරගන පින්තූර කෑලි හුවමාරු කරගත් මතකයනුත් මගේ අතීත මතක චිත්‍රවල සටහන් වී තිබේ.

රමණීගේත් මගේත් මේ යාළුකම හරියාකාරව තිබුණේ ඒ අවුරුද්දේ ඒ අවසාන වාර දෙකේ දී පමණි. ඊළඟ අවුරුද්දේ සාන්තමරියාවට ආයුබෝවන් කියූ මම, ජෝශප්වාස් විද්‍යාලයේ හයවෙනි ශ්‍රේණියේ ඒ පංතියට ඇතුළු වූයෙමි. මා සමග සාන්තමරියාවේ හතරවෙනි පංතිය දක්වා සිටි රෙක්ස් ද පස්වැන්න දක්වාම සිටි ආනන්ද ද මා සමගම ජෝශප් වාස් විදුහලට ඇතුළු වූහ. ඒ අළුත් යාළුවන් එකතු වූ අළුත් ඉස්කෝලයක, අළුත් ලොකු ඉස්කෝලයක පුංචිම පංතියට එකතුවූ අළුත්ම අවුරුද්දක් විය. වැඩි කලක් නොගොස්ම මගේ රචනා පොත හත අට පංතිවලට ගෙන ගොස් කියවන තරමට සිංහල ඉගැන්නූ කරුණාරත්න සර්ගේ හිතට අල්ලා ගියේය. එවැනි අවස්ථාවල දී නම් මට රමණීත් ඈ සමග පාර දිගට කෙරුණු අල්ලාප සල්ලාපත් නිතැතින්ම මතක් වෙයි.

මට මතක හැටියට මා ආයේත් රමණී දැක්කේ හත්වෙනියේ විතර ඉන්නා කාලයේ දීය. ඒ අවුරුද්දේ සිංහල භාෂා දිනයේ වෙන්නප්පුව මණ්ඩලයේ රචනා තරඟය තිබුනේ අපේ ඉස්කෝලේය. ඉස්කෝලේ දවසක් වූ එදා ප්‍රින්සිපල් ගේ කාමරයට යාබ ද පංති කාමරයක් රචනා තරඟය සඳහා වෙන්කර තිබුණු අතර පිට පාසල් වලින් පැමිණි තරඟ කාරයෝ හා තරඟ කාරියෝ ඉස්තෝප්පුව දිගට පොරොත්තු වෙමින් සිටියහ.

රමණී ඇඟපතින් වැඩී පිරී සිටියාය. ශුද්ධවු පවුලේ කන්‍යාරාමයේ තරඟකාරිය වූ ඈ, පාසලේ සුදු යුනිෆෝම් ගවුම හැඳ සිටි නමුත් මට පෙණුනේ නම් අපේ පංතිවල ඉගැන්වූ මිස් කෙනෙකු තරම් ලොකු මහත් කාන්තාවක් විදිහට ය. මම තවමත් මහ කඩේ අයිනේ සූට්කේස් එක ඇරගෙන පරණ සඟරා පින්තූර හොයන පුංචි කොල්ලාම වූයෙමි. අපේ ඇස් හමුවූ නමුත්, ලඟට විත් කතා කරන්නට අපි දෙන්නාටම පුළුවන් වූයේ නැත. ඒ අවුරුද්දේ වෙන්නප්පුව මණ්ඩලයේ සිංහල භාෂා දින හොඳම රචනාව ජෝශප් වාස් විද්‍යාලයෙන් නොවූ බව ලියන්නට උවමනා නැත.

ඊලඟ අවුරුද්දේ විතර, ශුද්ධවු පවුලේ කන්‍යාරාමයේ උගත් අපේ නංගී සහභාගිවූ වාරාවසාන විවිධ ප්‍රසංගයකට අම්මාත් තාත්තාත් සමග මටත් යන්නට සිදුවිය. එදා ප්‍රමුඛාංගය වූයේ අමල් බිසෝ කතාවේ වේදිකා රංගනයකි. කොළපාට රෙදි පිහාටු එල්ලූ ඇඳුමක් ඇඳ අත්දෙකට තටු දෙකක් අවුණාගත් රමණී, ඒ නාට්‍යයේ ගිරවා වූවා ය. දෛවයේ සරදම්, කාලය කොතරම් නපුරුද වාගේ හිතිවිලි නම් නැගෙන්නට තරම් මගේ හිත සසල වුනේ නැති නමුත්, පරණ යාළුකමත් ඒ යාළුකමට හේතු වූ ගිරවා විදිහටම ඇඳ වේදිකාවේ රඟන රමණීත් එක්තරා විදිහක නුපුරුදු හැඟීමක් මතු නොකලාම කියන්නටත් නොහැකියි. ප්‍රසංගය අවසානයේ අහල පහල යාළු ම්ත්‍ර ගුරුවර ගුරුවරියන් සමග සාමිචි කතා බහත් අවසන්ව ගෙදර යන්නට නංගී කැන්දා ගෙන එන්නට වේදිකාව පසුපසට යන්නට වුනේ මටයි. තවමත් ගිරවාට හැඳ සිටි රමණීව දොර ලඟදීම මුණ ගැසුණත්, අපේ ඇස් එකට හමුවුනාට වඩායින් එහාට වචනයකින්වත් යන්නට ලැබුණේ නැත. අච්චර ලඟට අඳුනන මුත් නාඳුනන දෙන්නෙක් වාගේ වුනේ ඇයිදැ යි මට හිතුණේ ගෙදර ආවාටත් පසුවයි.

ඊළඟ වසරක රමණී කොළඹ බම්බලපිටියේ ශුද්ධවු පවුලේ කන්‍යාරාමයට මාරුවී ගියාය කියා මතකයේ තිබෙයි. කෙසේ වෙතත් මා නවවැනි දහවැනි පංති වල සිසුවෙක් වනවිට වෙන්නප්පුව මණ්ඩලයේ සිංහල භාෂා දින තරඟයේ රචනා තරඟ ජය ජෝශප් වාස් විද්‍යාලයට ලැබෙන්නට පටන් ගෙන තිබුණි. මෙවන් නොයෙක් වෙනස් වීම් මැද ගිරවා අතීත මතකයන් අතරට කූඩු වූ අතර, සාමාන්‍ය පෙළත් උසස් පෙළත් තරණය කර අවසානයේ කොළඹ සරසවියේ සල්ගහ යටට එන්නට තරම් වූ වාසනාවක් මට තිබුණි.

ඒ විශ්ව විද්‍යාල පළමු වසරේ, යාළු මිත්‍රයන් එකතු වී කල්ලි සෑදී, ජීවිතය විඳින්නට පටන් ගත් සමයේ දවසක, වැල්ලවත්තේ සැවෝයි සිනමා හලේ දී, පෝලන්ත සිනමාවේ සම්මානලත් චිත්‍රපටයක් වූ 'Butterflies - සමනල්ලු' නරඹන්නට අප හැම අැදගන ගියේ කළුතන්ත්‍රි බව මතකය.

චිත්‍රපටය ඇරඹෙන්නේ, අතුරුදහන් වූ මොනිකා සොයමින් වන වදුලු පීරමින් ඇවිදින දරුවන් පිරිසක් ගේ දර්ශනයකිනි. අවසන් වන්නේත් එතැනිනි. ඒ අතරතුර තියෙන්නේ නිවාඩු සමයක පිටිසරකට යන ළමයින් පිරිසක් අතර සිටින එකලොස් හැවිරිදි එඩෙක් හා අහල නිවසක මොනිකා අතර ලියලන මෝදුවන සබඳතාවත්, එය අහම්බෙන් බිඳ වැටෙන අයුරුත් අලලා කියවෙන ළමා මිතුරුකම් හිතවත්කම් යොවුන් වියේ සමනල හිතිවිලි බවට පත්වන දළඹු කාලය පිළිබඳ කතාවකි.

පෝලන්ත සිනමාවේ දැවැන්තයකු වූ ජානුස් නස්ෆිටර් (Januz Nasfeter) 1973 දී ලියා අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටය ලෝක ළමා චිත්‍රපට අතර සලකුණක් තැබූ චිත්‍රපටයක් ලෙස අදටත් සැලකෙයි. මොනිකා ලෙස මේ චිත්‍රපටයෙන් කළ එලි බට බොෂීනා ෆෙඩොශික් (Bozena Fedorczykජානුස් ගේ චිත්‍රපට කිහිපයකම රඟ පෑ නිළියක වූවාය.

එදා සැවොයි සිනමා හලේ කැම්පස්  බැචාලා සමග අනං මනං විහිළු කතා කියමින් පෝලිමේ ඉන්නා විට අපට ඉදිරියෙන් තාප්පය අයිනේ කෙල්ලන් පිරිසකුත් පේලි ගැසී සිටියහ. එතැන මැදකට  වෙන්නට හිටියේ රමණීම බව මගේ හිත අදටත් කියයි.

එදාත් අපේ ඇස් හමුවූ නමුත්, එතැනින් එහාට වචනයකින්වත් යන්නට කරුණු කාරණා සිදුවුනේ නැත.

(පහල පින්තූරය බොෂීනා ගේය.)




Continue Reading...

Sunday, January 29, 2017

නිදහසේ ස්වර්ගය.....!


චිරාත් කාලයක පටන් අප බොහෝ දෙනෙකු විසින් ඉත සිතින් පැතෙන්නා වූ පැතුමක් තිබේ,
ඒ අපේ රට, අපේ බිම නිදහසේත්, නිවහල් බවේත්, ස්වර්ගයක් වී, නැණ ගුණ පිරි මිනිසුන්ගෙන් පිරී යේවා කියාය. ටිකක් නැවතී බැළුවොත්, අප විසින් පතනු ලබන්නා වූ අනේක විධ ප්‍රාර්ථනා රැසක සාරය මේ පැතුම තුල කැටිවී තිබේ. එය අපේ රටේ අප පමණක් නොව නානා විධ දේශයන්හි නානා විධ මිනිස් සමූහයන් බොහෝමයකගේ සිත් තුල උපදින ගැයෙන පැතෙන පැතුමක් වී තිබේ. බෙංගාලි මහා කවියාණෝ, රවින්ද්‍රනාත් ඨාකුරයෝ මේ පැතුම "ගීතාංජලි" යේ ඉංග්‍රිසි පෙරළුමේ 35 වැනි ගද්‍යය සේ සටහන් කරති.

අපේ නූතන මහ කවියා, සේකරයෝ එය සිංහලයට පෙරලා අමරදේවයන් ලවා ගයවති.



මේ ගීතය අමරදේවයන් ගයන්නේ හේමන්ත කුමාර්, සුධා මල්හොත්රා හා මන්නා දේ  1957 නාසි භගට් නම් හින්දි චිත්‍රපටයට ගැයූ 'දර්ශන් දෝ ඝණශ්‍යාම නාත මොරි' නම් භජන් ගීයේ තනුවකටයි කියා අදහසකුත් තිබේ. මේ සම්බන්ධව කතන්දරකාරයා ලියූ බ්ලොග් සටහනක් මෙතැන තිබේ. අමරදේවයන් හෝ සමකාලීනයෙක් පැහැදිලිව මේ 'කොපිය' ගැන සඳහනක් කර ඇද්දැයි නොදනිමි.





අපේ ගෙදර සංගීතය කටට කණට හුරු මානෙලුත් මේ ගීතය අහලා කිව්වේ නම් එයාගේ හිතටත් 'පටු අදහස්' එන බවයි. එසේ වුණත් මේ ගී තනු ද්වය 'එක වාගේ' මිස 'එකම නොවේ' ය යන නිගමනය මත මේ පටලැවිල්ල මේ ගීත දෙකම එකම උත්තර භාරතීය රාගයක් ඇසුරින් ලියවුනු තනුවලට ගැයෙන නිසා වන්නටත් පුළුවන් බව ඇගේත් අදහසයි.

මේ ගීය ඇතුලත් චිත්‍රපට කතාව තැනීමට මූලාශ්‍රය වූ 'නාසි  භගට්' යනු ගුජරාට යේ 'ආදි කවියා' ලෙස සැලකෙන්නාවූ නරසිංහ මේතාය. මේ සටහනේ මුලට ඇති සිතුවමේ දැක්වෙන්නේ ඔහු ගේ රුවයි. පින්තූරය ලැබුණේ ගූගල් පොත් අතර ඇති, නීලිමා ශුක්ලා භාත්, නරසිංහ මේතා ගැන ලියූ පොතේ කවරයෙනි.

"උදා හිරු ඈත ක්ෂිතිජයෙන් යන්තමින් එබී බලන තවමත් සිසිලසින් මදනල හමන උදාසනක ගුජරාටයේ ගම්මාන හරහා ඇවිද යන්නකුට අසබඩ වෙල් යායක පැසුණු ගොයමට නැවී සිය දෑකැත්ත මෙහෙයවන හුදකලා අස්වනු නෙලන්නියක ගේ මුවින් මතුවන ලයාන්විත ගායනාවක් ඇසිය හැකිය. ගීතයේ මාධූර්යය මෙනෙහි කරමින් ඉදිරියට යන මගියාගේ සවනට සිය නිවසේ මිදුල අමදින ලඳකගේ මුවිනුත් හෝ මග අසල තේ පැන් සලක දවසේ උදාසන වැඩ සටහන් ගුවන් ගත වන ගුවන් විදුලි යන්ත්‍රයකිනුත් හෝ මේ ලයාන්විත ගී තනුවම ඇසෙන්නට ඉඩ තිබේ. උදාසන පාසල් මිදුලක එක්වූ දරුවන් මුවිනුත් මේ ගී හඬම නැගෙනවා ඇසෙණු ඇත. සන්තානයෙහි රැව් දෙන්නට පටන් ගන්නා මේ හෘදයාංගම තනුව 'ප්‍රභාතය' අනුව ගැයෙන ගී බොහෝමයක් ගැනත්, පන්සිය වසරකට පෙර මේ මග මේ ගී ගයමින් සැරූ සුදොවත් නරසිං මේතා ගැනත් හමුවන මිනිසුන් බොහෝ දෙනෙකු විස්තර කියනු ඇත."

ඇති හැකි පමණනින් මා සිංහලයට නැගුවේ නීලිමා ශුක්ලා භාත් ගේ පොතේ පෙරවදනේ ඡේදයකි. නරසිංහ මේතා, ගුජරාටයේ මුල්ම කවියා ලෙස සැලකුම් ලබන ජීවමාන සංස්කෘතික සංකේතයක් වෙයි. ක්‍රිෂ්ණා භක්තිය වටා ගෙතෙන මේ සුදොවත් ගුජරාටි කවියාගේ ආභාසය හා බලපෑම අදටත් ගුජරාටි සමාජය පුරා පැතිරී තිබෙයි. දුප්පත් ගොළු දරුවකු ලෙස උපත ලබන මේතා, දෙවියන් දැක, කවියකුව දේව ස්ත්‍රෝත ගයමින් වීදි ගතවන කථාව නාසි භගට් සිනමා පටයේ පිළිබිඹු වෙයි.

මේකුලක වර්ණය ගත් සිරුර නිසා අඳුරුවලාව යන අරුතැති ඝණශ්‍යාම් නම් අන්වර්ථ නාමය ලද ක්‍රිෂ්ණාට ගැයෙන මේ භජන් ගීය, නොපෙනෙන ක්‍රිෂ්ණා හැබැහින් දැකීමේ වාසනාව ඉල්ලා කෙරෙන්නාවූ ඇවටිල්ලකි.

"අහෝ ක්‍රිෂ්ණා,
ඔබේ දර්ශනයේ ආශිර්වාදය අපට දෙන්න
ආත්මයෙන් ආත්මයට සැරිසරන්නාණෙනි
අපේ හිත් දෙවොල් 
ඔබේ දසුනේ ආලෝකයෙන් පුරවන්න

සෑම දෙවොලකම ඔබේ පිළිරුවක් තිබෙයි
එහෙත් මගේ දෑස් ඔබේ දසුනෙන් වසන් වී සිටියි
කාලය ගෙවී අවසන් මොහොත ද ලඟාවී ඇත
ඔබේ වත දකින ඒ දිනය නම් තවමත් පැමිණ නැත

අහෝ ක්‍රිෂ්ණා ඔබ ඔබේ දසුන නිරාවරණය කල කල
ගොළුවෝද මිහිරි නාදයෙන් ගී ගයනු ඇත
අන්ධයින් දකිනු ඇත එක් පයක් වත් ඇත්තෝ
ඔබ වඳින්නට කාසි නුවරට දුව එනු ඇත

ස්වාමිනී, පිපාසයට මට ජලය ඇත
එහෙත් ඔබේ දර්ශනයම පතන දෙනෙතට
මා කියන්නේ කුමක් ද?
අහෝ ක්‍රිෂ්ණා, මගේ ආත්මයේ හිමිකරුවාණනි
එන්න මේ හැංගිමුත්තං ක්‍රීඩාව නිමකර
ඔබේ දසුනින් මා සනසන්න...."

ආදි වශයෙන් දෙවියන් දැකීමේ ලලාසාව පිළිබඳව ගැයෙන මේ ගීතය, මහ මග හමුවන ඇස් අන්ධ සිඟන්නෙකුට නම් ගැලපෙනම යාතිකාවක් වෙයි. නරසිංහ මේතා ගැයූ ගීත අදටත් දනන් මුවග රැඳුනත් ඔහුගේ කතාව කියවෙන චිත්‍රපටයේ එන මේ ගීතය ඔහු විසින් ගොතන ලද්දක් නොවේ.

මුඩුක්කුවක ඉපි ද, ජීවිතය තනා ගන්නට තතනන දරුවන් තිදෙනෙක් වටා ගෙතුණු නූතන සිනමා සිත්තම 'ස්ලම්ඩෝග් මිලියනර්'හි ජමාල්ට විසඳන්නට ලැබෙන එක් ප්‍රශ්නයක් මේ ගීතය ගැනයි.



ජමාල්ට ලැබෙන සෑම ප්‍රශ්නයක්ම මෙන්ම මෙයත් ඔහුගේ ජීවිත අත්දැකීමකටම සබැඳි ය.

මේ ගීතය ගැයිය හැකි දරුවන් තෝරා ඇස් අන්ධකර හිඟමනට යෙදවීම කලකට ඉහත ඔහුත් බිලිව සිටි හිඟන සමාගමේ එක් ක්‍රමයක් ව තිබුණි.


ප්‍රශ්නයේ උත්තරයට රුකුල ලැබෙන්නේ මේ ඇස් අන්ධ කරවීමේ මලේච්ඡ ක්‍රියාවෙනි. නිවැරදි පිළිතුර ලෙස කියවෙන සර්දාස් පසලොස්වන සියවසේ ක්‍රිෂ්ණා බැතිමතකු වූ අද සාන්තුවරයකු ගේ තත්වයට එසවුනු, දේව ස්තෝත්‍ර ගී රචනා දස දහස් ගණනකින් යුතු වූ යේයි සැලකෙන 'සර් සාගර්' නම් මහා ගී එකතුව ලියූ 'අන්ධ' කවියාය, ශුද්ධවන්තයාය.

මේ ගැලපීම කෙසේවෙතත් නවසිය පනස් හතේ නිපදවුනු නාර්සි භගට් චිත්‍රපටයට ඉහත ගීය රචනා කරන්නේ එක්දහස් නවසිය හැට හතරේදී මියගිය සිය පියාවූ ගෝපාල් සිං නේපාලි බව ඔහුගේ පුත්‍රයා පවසන බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් පත වාර්තා කර තිබේ. ගායක වෘන්දයේ නම් ගම් හා සංගීතය නිර්මාණය කල රවි ශංකර් ෂර්මා (රවි) ගේ නම සඳහන් වුව ද මේ ගීතයේ රචකයාගේ නම නාසි භගට් චිත්‍රපටයේ කිසි තැනක සඳහන්ව නැති සෙයක් පෙනේ. බොහෝවිට මෙයට හේතුව මේ භජන් ගීතය චිත්‍රපටයට පාදක වූ නරසිං මේතාගේම රචනයක් සේ පෙන්වන්නට ගත් උත්සාහයක් වන්නට ද ඉඩ තිබේ.

දෙවියන් පෙන්වා මුදල් ඉපයීම හිඟන්නන්ට සීමාවූ කාර්යයක් නොවන බව අපි හොඳින්ම දනිමු.

සාධුවර නරසිං මේතා විසින් රචිත වඩාත්ම ප්‍රකට බජන් ගීතය නම් මෑත සමයේ සුප්‍රකටම ගුජරාටි පුත්‍රයා වූ මහත්මා ගාන්ධි විසින් දිනපතා යාතිකාවලදී ගායනා කලාවු වෛශ්නව-ජනතෝ ගීයයි. භාරතය පුරා නොමද ගරුසරු ලබන මේ ගීතය මෑත කාලයේ දී ලෝ පුරා අවධානයට ලක්වූයේ එය, රිචාඩ් ඇටෙන්බරෝ ගේ ගාන්ධි සිනමා සිත්තමේ අවසන් දසුනේ ගාන්ධි දේහය රැගත් අවමංගල පෙරහරේ පසුබිම් සංගීත ඛණ්ඩය ලෙස රවිශංකර් හා ජෝජ් ෆෙන්ටන් ගේ තේරීම නිසාය.



වෛශ්නව ජනතෝ තේනේ කහියෙජෙ
පීඩ පරායී ජා නේ රේ
පර දුක්ඛේ උපකාරි කරේ තොයෙ
මන අභිමානනා ආ නේ රේ

විෂ්ණු අදහන්නා නම් අනුන් දුක් වේදනා හඳුනන්නාය. අභිමානයෙන් උදම් නොවී අනුනට යහපතම කරන්නාය

සකල ලෝක මා සහුනේ වන්දේ
නින්දා න කරේ කේ නී රේ
වාච කාච මන නිශ්චල රාක්හේ
දන දන ජනනී තේ නී රේ

ඔහු ජීවිතයේ කම් කටොළු ඉවසයි ලෝකය අගය කරයි පසසයි අනුන් නුගුණ නොසොයයි පොරොන්දු සුරකියි පිරිසිඳු සිතිවිලි ක්‍රියා ඇති එවැන්නකුගේ අම්මා නම් ආශිර්වාද ලද්දීම ය.

සම ද්රිශ්ඨි නේ තෘෂ්ණා ත්‍යාගී
පර ස්ත්‍රී ජේනේ මාත් තේ රේ
ජිව්හා තකී අසත්‍ය න බෝලේ
පර-දන නව් ජාලේ හාත් තේ රේ

සැම දේ සමතැන ලා සලකයි තණ්හාව ලෝභය බැහැර කරයි සියළු කාන්තාවන්ට සිය අම්මාට සේ ගරු කරයි දිව වෙහෙස වුවත් මුසාවක් නොදොඩයි අනුන් සතු කිසිවකට අත නොතබයි.

මොහ මායා ව්යාපේ නහි ජේනේ
ද්‍රෘඪ වයිරාග්ය ජෙන මන මා රේ
රාම් නාම් ෂූන් තාලි රේ ලාගී
සකල තිරථ තෙන තන් මා රේ

ලෞකික බන්ධනයන් හි නොඇලෙයි වෛරය කෝපය අතහරියි රාම දෙව් නාමය ඔහු උද්දාම කරවයි. ඔහුගේ සන්තානයම දෙව් මැදුරකි

වන-ලොභී නේ කපට-රහිත චේ
කාම ක්රෝද නිවාර්යා රේ
භානේ නර්සයියෝ තෙනු දර්ශන් කාර්තා
කුල එ්කෝතෙර තාර්යා රේ

තෘෂ්ණාවත් වංචාවත් බැහැර කරයි ආශාවේත් ක්‍රෝධයේත් නොඇලෙයි සිය සුගුණයන්ගෙන් පරපුරටම විමුක්තිය ළඟා කරදෙන එවන් පුද්ගලයන්ට නාසි කිවිඳුන් රුචිය.




නරසිං මේතා ගේ මේ ප්‍රාර්ථනය හෝ වෛශ්නවයා අර්ථ දැක්වීම සකලාකාරයෙන්ම සඵලව, මිහිතලය වෙෙශ්නව අනුගාමිකයින්ගෙන් පිරී ගියහොත් ජනිත වන්නාවූ ලෝකය ඨාකුරයන් යදින්නාවූ පටු අදහස් නම් පවුරින් නිදහස් වූ ලෝකයම  නොවන්නේ ද? අප බොහෝ දෙනෙකුගේ විශ්වය අපේ සන්තානයන් ගේ සටහන්ව අැති අප එකිනෙකා අතර ඇත්තාවූ සබදතාවන්ම වන්නේය. මේ සෑම ප්‍රාර්ථනයකම ගැබ්ව අැත්තේ අප පතන්නාවූ විශ්වය සාක්ෂාත් කර ගැනීමට නම් එ් සබඳතාවන්හී තිබිය යුතු සීමාවන් හා නීති රීතීන් මිස, භෞතික ලෝකයෙහි වෙනස් වීම් නොවේ.

එමෙන්ම මෙවන් ප්‍රාර්ථනා මිනිස්කම යැයි අප විසින්ම හඳුන්වනු ලබන්නාවූ නිරායාස වූද බොහෝවිට අප එකිනෙකා සිය ජානමය උරුමයන් ලෙස ලබන්නා වූද බැඳීම් බිඳ දමා දෙවියන් ලෙස අර්ථ දැක්වෙන්නාවූ සුපරිශුද්ධ ආත්ම භාවයක් බවට පරිවර්තනය වීමේ ලලාසාවකියි කියා ද කෙනෙකුට විග්‍රහ කල හැකිය. මේ සංකල්පය බන්ධන බිඳ දැමීමත් නිදහස ලැබීමත් පිළිබඳව වූව ද එය අත්‍යන්තයෙන්ම දෙවියන් නම් වූ උත්තුංග ආත්ම භාවයක් හා සදාකාලිකව බැඳීමක් පැතීම මිස සියළු බන්ධන වලින් මිදීමේ අරමුණක් නොවීමේ අන්තරාය මේ සිතුම් පැතුම් තුලම රැඳී තිබේ.

ලෝකෝත්තර වූ බලවේග පිළිබඳව තබන්නාවූ අසීමිත විශ්වාසයන් මත පදනම්ව නිර්වාණය, නිදහස, ගැලවීම ආදී කුමන හෝ වචනයකින් හැඳින්වෙන්නා වූ සත්‍යතාවයක් සොයා යන්නා සොයන්නේ, ලබන්නේ, පූර්ණ වූ නිදහසක් ද, ගැලවීමක් ද, යන ගැටළුව ද මේ නිසාම මතුවෙයි.

මහාත්මා ගාන්ධිත් රබින්ද්‍රනාත් ඨාකුරයනුත් මුල් පෙලේ නායකත්වයක් දුන් ඉන්දීය නිදහස් සටනට පණ පෙවුනේ ගැම්ම සැපයුනේ නරසිංහ මේතා ගේ මේ ගීතයත්, ඨාකුරයන්ගේ ගීතාංජලියේ සටහන් වූ මේ අභිප්‍රායත් වැනිම වූ ඉන්දීය සමාජය තුල කිඳා බැස ගිය දේව භක්තිය හා ඉන්දීය ජාතිකත්වය දවටා ගෙතුණු නිදහස පිළිබඳව වූ, සංකල්පනාවන්ගෙන් බව පෙනේ. තර්කානුකූලව සිතීමේත් වටහා ගැනීමේත් පරිකල්පන ශක්තියෙන් හෙබියවුනට මේ සිතිවිලි විනිවිද දැකීමේත් ඒ පසුපස ඇත්තාවූ 'සත්‍යය' යම් පමණකට හෝ නිරවද්‍යව දැකීමේත් හැකියාව හිමි වූව ද එදා භාරතීය සමාජයේ බහුතරය වූ නූගත් ජනකොටස් හා ආණ්ඩුවේ රස්සාව ගැලවීම කරගත් මධ්‍යම පාංතික ජන කොටස් වලට නම් මේ නායකත්වයේ මූලික ආකර්ශණය වූයේ සිය සංස්කෘතියට හා සන්තානයන්ට සමීප වූ දෙවියන් දැකීමේ හා දේවත්වයට ලඟා වීමේ සංකල්පම පෙරදැරි කරගැනීමම වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

මේ ඔස්සේ සිතන්නකුට ඉන්දීය නිදහස් සටන, මලේච්ඡ වූ හින්දු මුස්ලිම් ගැටුමකින් කෙලවර වන්නේත්, එකට එක්වී හිරු නොබසින අධිරාජ්‍යය දණ ගැස්සවූ දෙපිරිසක් අදටත් න්‍යෂ්ඨික යුධ අවි අමෝරාගත් ජාතීන් දෙකක් බවට  පත්ව ඇත්තේත් ඇයි ද යන්නට මේ දේවල ඇති යම් යම් සබඳතාවන් ද පෙනී යනු ඇත.

අපේ සන්තානයන්ට ග්‍රහණය නො වූ භෞතික හෝ ලෝකෝත්තර වූ බලවේගයන් තිබිය හැකිය. ගැටළුව වන්නේ ඒ සියල්ල හඳුනා දැන අවබෝධ කරගත්තවූන් සේ ක්‍රියාකරන්නට යෑමෙහි දී ය. විශේෂයෙන් විමුක්තිය, නිදහස, ගැලවීම වැනි සංකල්ප වල ඉදිරියෙන් දෘශ්‍යමාන හෝ අදෘශ්‍යමාන බලවේගයන් ගැට ගැසීමෙන් සිදුවන්නේ අපේ සිත් සතන් ඒ බලවේගයන්ගේ වහළුන් බවට පත්කිරීම මිස පතන්නාවූ නිර්වාණය සාක්ෂාත් කරගැනීමක් නොවේ. මෙය පෞද්ගලික මෙන්ම පොදු සමාජමය අපේක්ෂාවන් එල්ලෙහි දී වුවද එකසේම බලපාන්නේයැයි මම සිතමි. අප සෙවිය යුත්තේ විමුක්තිය මිස විමුක්තිය කැඳ බෙදන්නා සේ බෙදන දෙවියකු හෝ රහත් උතුමකු හෝ නොවේයැයිද මම සිතමි. කලකට ඉහත ඨාකුරයන්ගේ ගීතාංජලියේ සංකල්පනා තුලින් මට හැඟවෙන දේ ලියන්නට කල උත්සාහයේ දී, මේ තිස්පස් වන ගද්‍යය තුලින් ස්වර්ගීය පියාණන් බැහැර කරන්නට මා පෙළඹුනේද මේ හේතුවෙන්ම ය.

(35)

කැකුළු පෙති විහිදුවා පිබිදෙන
චින්තාව නිවහල්
සුවඳ විහිදන නැගී නොබියව
උදාරව නැණ පහන් සුදිලෙන
නිදහසේ තුඟු ස්වර්ගයයි...

නෙත් යොමා මම සොයන්නේ
සිතිජ කෙලවර සිහිනයේ...

හීන මානස පවුරු බැමි බිඳ
සත්‍යයයේ දිය බුබුළ පතුලත
ඉපිද විසිරෙන වදන් දිය බිඳු
රඳා දෙතොලත නැවුම් ගී සේ
සුසුදු පිරිපුන් මනුෂ්‍යත්වය
දෝත් විහිදා වැලඳගන්නා
මගේ නිවහල් දේශයයි

සම්ප්‍රදායේ කතර වැලිතල
නොසඟවන බුද්ධියේ සිහිලඹ
සිතැඟි සේ සිතුවිලිව පුබු දා
නැගි නැගී එන දිරිය දරුකැල
පෘථුල තැනිබිම සිසාරා
ජීවයේ සිසිලස පතුරුවන
මගේ නිවහල් දේශයයි

‍නෙත් යොමා මම සොයන්නේ
සිතිජ කෙලවර සිහිනයේ...

කැකුළු පෙති විහිදුවා පිබිදෙන
චින්තාව නිවහල්
සුවඳ විහිදන නැගී නොබියව
උදාරව නැණ පහන් සුදිලෙන
නිදහසේ තුඟු ස්වර්ගයයි...!
-.-

Where the mind is without fear and the head is held high;
Where knowledge is free;
Where the world has not been broken up into fragments by narrow domestic walls;
Where words come out from the depth of truth;
Where tireless striving stretches its arms towards perfection;
Where the clear stream of reason has not lost its way into the dreary desert sand of dead habit;
Where the mind is led forward by thee into ever-widening thought and action---
Into that heaven of freedom, my Father, let my country awake.


වෛශ්නව සමානාත්මක සංකල්පය පුළුල් ලෙස ඇදහූ මහත්මා ගාන්ධිගේ ජීවිතය සොරාගත් වෙඩි උණ්ඩ තුන විනායක් ගොඩ්සේ ගේ බෙරෙටා පිස්තෝල මුවින් නික්මුණේ එක්දහස් නවසිය හතලිස් අටේ ජනවාරි තිස්වෙනි දා ය.

අවුරුදු හැට නවයකට පෙර හෙට ඉරපායන දවස වාගේ දවසක දී ය.

ක්‍රිෂ්ණාවෝ  තවමත් හෝපළු වන පෙත් පුරා ගොපළු දැරියන් මන්මත් කරමින් සරති. වස් දඬුව වයති.
රාධාවෝ යමුනා ගංතෙර බලා හිඳිති.

චිත්‍රපටයක කතාවක් වුනත්, දෑස් අහිමි වූ ජමාල්ගේ ළමා මිත්‍රයා, මහල්ලෙක් ලෙස වුවද තවමත්, 'දර්ශන් දෝ ඝණශ්‍යාම නාත මොරි' ගයමින් දිල්ලි වීදී දිග සිඟමන් යදින්නේ යැයි මට සිතෙයි.

නරසිංහ මේතාගේ භජන් ගීය  යු ටියුබ් අඩවියෙන් ලොව පුරාම විසිරී ඇසෙයි.

අපි තවමත් මනුෂ්‍යත්වය සොයා වෙහෙසෙමු.

ජනවාරි 29, 2017


Continue Reading...

Wednesday, January 25, 2017

ගලන ගඟක නිම් නැති සෙනෙහස

ඔසීලන්තයේ මෙල්බර්න් හි ගඟක් ගැන මාලතී ලිවූ මේ වචන ටික "ගඟක නිම් නැති සෙනෙහස"  ඇහැ ගැහුනේ අදයි.

ඔසීලන්තයේ ම ගඟක් අහල දෙදාස් නවයේ දෙසැම්බරයේ දී මා අතින් ලියවුණු පද පෙලත්, අන්තර්ජාලයේ ඇහැ ගැහුණු ඇමරිකාවේ ග්‍රෑන්ඩ් කැනියම හරහා ගලන කොලරාඩෝ නදියේ ඡායාරූපයක් නිසා දෙදාස් දාසයේ පෙබරවාරියේ දී  මුහුණු පොතෙහි ලියවුණු පද පෙලකුත් ආපහු කියවන්නට හිතුණේ, ඒ දෙතැනම කැටි කරන්නට තැත්කල මගේ හිතිවිලිත් මාලතී ගේ මේ කෙටි වචන එකතුව තුල නොමසුරුව ත් රසවත්ව ත් අර්ථාන්විතව ත් එකතු වෙනවා නේද කියා හිතුණු නිසාය.

කවිකම කියන්නේ මේ  ප්‍රාතිහාර්යයටය.
ඉතින් අපිත් ආශිර්වාද ලද්දෝ වෙමු.

මාලතීගේ බ්ලොග් අඩවියට සබැඳිය - http://hapifly.blogspot.ca/2017/01/blog-post_12.html





 ගඟක නිම් නැති සෙනෙහස 


රැළි නගා ඇදෙන කොට
සුළි අතර බිඳී විසිරෙන කොට
වරක් මියැදී යළිත් උපදින එක
ඒ තමයි කාටවත් නො පෙනෙන
ගඟක නිම් නැති සෙනෙහස






සිනාසෙන දිය අගාධය බිම රළ නගා ගලනා
පියාපත් නැති සියොත් තුඩගක පිපාසය නිවනා
කල්ප සියයක් වයස් වූවත්
ගඟේ දිය තරුණයි
ගැඹුරු ගං දිය වගේමයි
මේ....
ආදරේ අරුමයි

ඇඳී සලකුණු තිබේ කඳු මත ගලා ගිය රුහිරු
වැදී හී සර පැලී දෙදරුණු බිඳුණු ගල් පතුරු
පතක් නොසැලෙන තැනක් වූවත්
වසන්තය හිනැහෙයි
නිල් අහස වාගෙම හැඩයි
මේ....
ආදරේ අරුමයි

නිමාවක් නැති කතාවක් ඇත කඳු බිතක ලියැවී
විඩාවක් නැති කඳුළු ගඟකට දුක කියන මලවී
තරු පිරුණු අහසයි
සඳක් නොනැගෙන රැයක් වූවත්
උණුසුමයි ඒත් සිසිලයි
මේ....
ආදරේ අරුමයි


පෙබරවාරි 23, 2016
Continue Reading...

Tuesday, January 24, 2017

සිංහල ජාතිවාදීන් හංගන විල්පත්තුවේ දුක්ඛ සත්‍යය - රාවය (ජනවාරි 22, 2017)

ජනවාරි 22 රාවය පුවත්පතේ පළවූ ලිපියකි. රාවයේ අන්තර්ජාල අඩවියෙන් උපුටාගන්නා ලදී. සියළු හිමිකම් රාවය සතුය. http://ravaya.lk/?p=127255


රේඛා නිලුක්ෂි හේරත්

විල්පත්තු සටන ගැන අපි පසුගිය සතියේ ලීවෙමු. විල්පත්තුව කපා නැති බවත්, වැරදීමකින් රක්ෂිතයක් ලෙස ගැසට් කළ, මිනිසුන්ට අයත් ඉඩම් අවුරුදු තිහක් තිස්සේ කැලෑ වැවුණු පසු හෙළි කිරීමක් පමණක් සිදුව ඇති බවත් අපි කීවෙමු. අපි පසුගිය සතියේ මේ හෙළිකර ඇති ගම්මාන වෙත ගියෙමු. හෙළිකළ ගම්මාන අතරින් වැඩිපුර ඡායාරූප සහ වීඩියෝ හරහා පෙන්වූවේ මරිච්චිකට්ටු ගම්මානයටයි. අප මුලින්ම ගියේ ඒ ගම්මානයටයි.
මරිච්චිකට්ටුවේ බැසගත් අප තුන්හතර දෙනෙක් වටකර ගත්තෝය. අප අතේ කැමරාවක් විය. සියල්ලන්ගේ බැලුම් කැමරාව වෙතටය.
“හිරු ටීවී එකෙන්ද?” කෙනෙක් ඇසීය.
“නැහැ. පත්තරේකින්.” අපි පිළිතුරු දුන්නෙමු.
“එහෙනම් කමක් නැහැ. තරහ වෙන්න එපා නංගි. මාධ්‍ය එක්ක අපි තරහා නැහැ. ඔයාලාට ඇවිත් අපට බැනලා වුණත් ලියන්න පුළුවන්. හැබැයි අපි හිරු එක එනවාට නම් කැමති නැහැ. එහෙනම් කරුණාකරලා යන්න කියලා අපි ඉල්ලනවා.” අපව වටකර ගත් අය කියති.
අපි ආ කාරණය පැහැදිලි කළෙමු.
“අපි ආවේ ඇත්ත හොයලා ලියන්න. ඔයාලා ජීවත්වෙන්නේ නීති විරෝධී විදියට නෙවෙයි නම් ඒ බව ඔප්පු කරන්න අපට උදව් කරන්න.” අපි ඉල්ලුවෙමු.
මුලින්ම කතා කළේ මහරුෆ් හිල්මි නම් තරුණයාය.
“අපි කැලයක් කපලා මාර සැප විඳිනවා කියලා හිතනවාද? මම මගේ ගෙදර දෙන්නම්. සතියක් ජීවත්වෙලා බලන්න මේ දුක. කොළඹ සැපට ඉඳගෙන මාධ්‍ය සාකච්ඡා තියන නෝනලා මහත්තයලා දන්නවාද අපි විඳින දුක. මට නෝනා කෙනෙකුයි දරුවෝ දෙන්නෙකුයි ඉන්නවා. මම නීතිය කඩලා හිරේ ගියොත් මගේ ළමයින්ට වෙන්නේ මොකක්ද? මම නීතිය කඩන්නේ නැහැ. දුක් විඳලා හරි නීත්‍යනුකූලව ජීවත්වෙන්නයි අපට ඕනෑ.” හිල්මි කියයි.
මොහොමඞ් රාෆි පුත්තලමට ගියේ අවුරුදු 12 දීය. ඔහු අධ්‍යාපනය ලබා තිබුණේද පුත්තලමේය. දැන් රාෆි පුත්ලමෙන් පැමිණ ගොවිතැන් සහ ත්‍රීවිල් රස්සාව කරමින් මරිච්චුකට්ටුවේ ජීවත් වෙයි. ඒ ඔහුගේ පවුල සහ දරුවන් පුත්තලමේ නවත්වා සිටියදීය. දරුවන් පුත්තලමේ ඉගෙන ගන්නා නිසාත් මරිච්චුකට්ටුවට හරිහමන් ඉස්කෝලයක් තවම නැති නිසාත් දරුවන් පුත්තලමේය. එහෙත් ඔහුගේ බලාපොරොත්තුව මරිච්චුකට්ටුවේ ස්ථිර ජීවිතයක් අරඹන්නටයි. සිය ත්‍රීවිලරයෙන් අප ගම්මානයේ හතර මායිම වෙත එක්කාගෙන ගියේ රාෆිය.
අප ඇත ඇති කැමරාව දුටු කුඩා ළමයි “හිරු හිරු” කියමින් දුවගොස් සැඟවුණහ. කැමරාව යනු කන්නට නැතිව දුක්විඳින තමන්ගේ උන්හිටි තැනුත් නැති කරන ආයුධයක් බව කුඩා දරුවන්ද සිතන්නාක් මෙනි.

මුස්ලිම් ගම්මානයක්
මේ ප්‍රදේශවලට ඉන්නා, කිසිවෙකුට යන්නට නොදෙන අන්තවාදී මුසල්මානුවන් පිරිසක් දකුණේ මිනිසුන්ගේ සිත්වල චිත්‍රණය කර තිබුණත් අපට හමුවුණේ එවැනි පිරිසක් නොවේ. දකුණේ සිහින මුස්ලිම් ගම්මානය එයයි. හොරෙන් මන්ත්‍රණය කරන, ආයුධ හංගාගෙන සිටින මුසල්මානුවන් ගැන සුරංගනා කතා දකුණේ කොතෙකුත් ඇත. එවැනි අය කොහේ හෝ සිටිනවාදැයි අපි නොදන් නෙමු. මරිච්චිකට්ටුවේ නම් අපට හමුවුණේ අසීරු වූ ජීවිතය ගැටගසා ගැනීමේ සටනේ සිටින සිංහල, දෙමළ හෝ කතෝලික හෝ ඕනෑ ආගමක විය හැකි ඕනෑම තැනකින් මුණගැසෙන්නට හැකි දිළිඳු මිනිසුන් වැනි තවත් පිරිසක් පමණකි. ලංකාව මුස්ලිම් කොලණියක් කරනවා වැනි විකාරවලට ඔවුනට වෙලාවක් නොතිබුණි. දකුණ මේ මිනිසුන් චිත්‍රණය කර ඇත්තේ විශාල ගස් කපමින් ඒවා ටිපර්වල පටවමින් ලී ඉරමින් කාර්යබහුල වී සිටින අන්තවාදී මුසල්මානුවන් පිරිසක් ලෙස වුණත් අපට මුණගැසුණු මිනිසුන් හාත්පසින් වෙනස් පිරිසකි.
ගොවිතැන මූලික කරගත් දුෂ්කර ගම්මානයක සුහද, එහෙත් දුක්බර මිනිසුන් පිරිසක් අපට මුණගැසුණි. මේ දිනවල නියඟය නිසා මේ මිනිසුන්ගේ දුක් පිරිපත තවත් වැඩිවී ඇත. බොන්නට වතුර පොදක්, කන්නට බතක් නැතිකමින් මේ මිනිස්සු දුක්වෙති.
රාෆි සහ පසුව ඔහු සමඟ පැමිණි මොහොමඞ් කාමිල් අප රැගෙන ගොස් පරණ පාසල් ගොඩනැගිල්ල පෙන්වීය. පල්ලි කිහිපයක් පෙන්වීය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ගම දෙපස යොදා ඇති සීමා පෙන්වීය. ඒ සීමාවලින් එහාට කැලය කපා නැති බව පෙන්වීය. සීමාවෙන් එහාට කැලෑව කපා නැතත් ඇතැම් තැන්වල සීමාව යොදා ඇත්තේ මිනිසුන්ට අයිති ඉඩම් මතින් බව ඔහු පෙන්වීය. පැරණි කනත්තද සීමාවට අසුවී ඇති අයුරු ඔහු පෙන්වූ අතර කනත්තේ තිබුණු ලී ස්මාරකවල මැකී යමින් තිබුණු අසූ ගණන්වල දින සටහන්ද පෙන්වීය.

වැව සහ වගා
මරිච්චිකට්ටු ගම්මානයේ පැරණි වැවක් ඇත. කාමිල් කියූ විදියට විලච්චියේ සිට ක්‍රමයෙන් වතුර ගලා එන වැව් පද්ධතියක් සමඟ මේ වැව සම්බන්ධ වී ඇත.
“මේ තරම් නඩත්තු කෙරුණ වැවක් රක්ෂිතයක තිබුණා කියලාද කියන්නේ. මේ බලන්න. මේ තියෙන්නේ අසූගණන්වල තිබුණු සොරොව්ව. ඒක කොටි කඩලා දාලා.” කාමිල් පැරණි සොරොව්ව, වැව් බැම්ම ආදිය පෙන්වීය.
වැව අයින දිගේ යද්දී නාවික හමුදාව විසින් කරන වගාවන් හමුවිය. නාවික හමුදා කඳවුර හමුවිය. නාවික සෙබළුන් වැවේ නාන අයුරු දක්නට ලැබිණ. මේ මිනිසුන් විල්පත්තුව කපා ඇත්නම් නාවික රණවිරුවන්ද කැලෑ කපා ඇත. නාවික හමුදාව ගැන කතා කරන්නට වීරයන්ගේ කටේ පිට්ටුය.
“නාවික හමුදාව වැව ගාවම තියෙන අපේ කුඹුරු ටික අරගෙන. අයිතිකාර අයට කරගන්න දෙයක් නැහැ. වැවේ වතුර ටික ගන්නේත් එයාලා. අපේ කුඹුරුවලට වතුර නැතිව ගොයම් මැරෙන්න යනවා. අපිට නාවික හමුදාවෙන් කරදරයක් නැහැ. ඒත් ප්‍රශ්නය තමයි අපේ මිනිස්සුන්ගේ කුඹුරු අල්ලාගෙන ඉන්න එක. කෙසෙල් වත්තම අක්කර 10 ක් තියෙනවා. වැවේ වතුර නැහැ. අපි තියෙන වතුර ටික ගන්නේ නැත්තේ මාළු බිත්තර විනාශ වෙයි කියලා. එහෙම වුණොත් ගමේ ඉන්න ධීවරයන්ට ප්‍රශ්නයක් වෙනවා. එයාලා වැව මැදට මෝටර් දාලා වතුර ගන්නවා. අපේ ගමේ සමහර අයට 1924දී විතර ඉංග්‍රීසීන්ගේ කාලේ තමයි ඔප්පු හම්බ වුණේ. අපේ මුත්තලාගේ කාලේ. වනජීවි එකෙන් අපේ ඉඩම් රක්ෂිතයක් විදියට 2012 ගැසට් කළ එක අපි දන්නේ නැහැ. අපේ ඉඩම් රක්ෂිතයක් විදියට නම් කළ එක තමයි ලොකුම ප්‍රශ්නේ.” කාමිල් අපට පැරණි ඉඩම් ඔප්පු පෙන්වීය.
“අපි දුප්පත් මිනිස්සු. නීතිය කඩලා කැලෑ කපන්න හයියක් අපට නැහැ. වනජීවී එක ඉන්නවා, වන සංරක්ෂණ එක ඉන්නවා, පොලීසිය ඉන්නවා, නේවි එක ඉන්නවා. මෙතැන වුණත් අපට ඕනෑ විදියට කැලෑ කපන්න බැහැ. මේ ගමේ කැලේට උදලු මිටක් කපාගන්න ගිය කෙනෙක්ව උසාවි දාලා දඩයක් ගැහුවා. මේ ගමේ වැවිලා තිබුණා හොඳම ලී වර්ග. ඒත් බලන්න, අපි දොරවල්වලට දාලා තියෙන්නේ ඒ ඉස්තරම් ලී වර්ගද කියලා. අපි දාලා තියෙන්නේ පිටින් ගෙනාපු බාල ලී. මේ ගමේ තිබුණු ලී දැව සංස්ථාවෙන් කපාගත්තා. දැන් අපි පොඩි කැලයක් සුද්ධ කරන්නත් බයයි. උඩින් කැමරාවක් එවලා වීඩියෝ කරලා කැලෑ කපනවා කියලා ටීවි එකේ දානවා.” රාෆි එසේ පවසයි.


කොටි තීන්දුව
මේ අයට ගම්මාන අත්හැර යන්නට සිදුවුණේ එල්ටීටීඊ තීරණයක් නිසාය. මුස්ලිම් ජනතාව එලවන්නට එල්ටීටීඊය තීරණය කළ පසු තමන්ට යන්නට සිදුවූ අයුරු මෙහෙර්බාන් අම්මා විස්තර කරයි.
“අපිට පැය විසිහතරෙන් මේ ගමෙන් යන්න කියලා එල්ටීටීඊ එක කිව්වාම අතට අහුවුණ ඒවා ෂොපින් බෑග්වලට දාගෙන අපි පයින් මේ පාර දිගේ ගියේ. සමහරුන්ගේ කකුල්වලට සෙරෙප්පු කෑලි දෙකක්වත් තිබුණේ නැහැ. මම 1954 ඉපදුණේ මේ ගමේ. මම දන්නා කාලයේ ඉඳන් මේ පල්ලිය මෙතැන තිබ්බා. එල්ටීටීඊ එක අපිට යන්න කිව්වාම මගේ දරුවෝ හයදෙනා එක්ක මම මේ ගමෙන් ගියේ පණ බේරගන්න.”

මහරුෆ් හිල්මි
හිල්මිගේ කතාව ඛේදජනකය. ඔහු අවුරුදු තිහකට ආසන්න තරුණයෙකි.
“මං මෙහේනෙ ජීවත්වෙන්න ඕනෑ. නැත්නම් මම කොහේද යන්න ඕනෑ. සිංහල මිනිස්සු දෙමළ මිනිස්සු යුද්ධය කළා. පැත්තක හිටිය මුස්ලිම් අපි අනාථ වෙලා අවුරුදු තිහක් දුක් විඳිනවා. මේවා පරණ ඉඩම්. ඔප්පු තියෙනවා අපට. අපි කාලයක් තිස්සේ ජීවත්වුණේ මේ ඉඩම්වල. මගේ උප්පැන්නයේ තියෙන්නේ මේ ලිපිනය. මගේ අයිඩෙන්ටි කාර්ඞ් එකේ තියෙන්නේ මේ ලිපිනය.
මට අවුරුද්දයි මෙහෙන් පිටවෙද්දී. අපේ අම්මාට මායි අක්කායි හිටියේ. දැන් අක්කා බැඳලා ළමයි දෙන්නෙක් ඉන්නවා. මම බැඳලා ළමයි දෙන්නෙක් ඉන්නවා. ඉස්සර දාහක් ගිය මිනිස්සු දැන් තුන්දාහක් විතර ඉන්නවා. පුත්තලමේ අපට ජීවත්වෙන්න ඉඩක් තිබුණේ නැහැ. මෙහෙ නැතිව අපි කොහේද ජීවත් වෙන්නේ.
ඒ කාලේ එල්ටීටීඊ එක අපි ලව්වා වැඩ ගන්නවා. එල්ටීටීඊ අයගේ කීම නොඅහපු තාත්තාට වෙඩි තියලා ගහක එල්ලලා ගම් පහේම අයට කතා කරලා ප්‍රසිද්ධියේ පෙන්නුවා. මට ඒවා ගැන මතකයක් නැහැ. මම පුංචිම කාලේ වුණේ. තාත්තා නැතිව, ගෙදරකුත් නැතිව අපි කොච්චර දුක්වින්දාද කියලා අපි තමයි දන්නේ. අපට කවුරුත් සහනාධාරයක් දීලා නැහැ. අම්මා පුත්තලමේ ගිහින් ඉස්සෝ ෆාම් එකේ වැඩකරලා තමයි අපව හැදුවේ. කූඩයක් ඔළුවේ තියාගෙන ඉස්සෝ ෆාම් එකේ අම්මා මඩ ඇද්දා. එහෙම මිනිස්සු අපි.
අපි දෙදාස් නවයේ ඇවිත් මේ ඉඩම් බලලා ගෙවල් හදාගන්න උත්සාහ කළා. ඒත් අපේ ඉඩම් රක්ෂිත කියලා ආණ්ඩුවෙන් කීවා. පස්සේ වන සංරක්ෂණ එකෙන් පිළිගත්තා මේ ඉඩම් එයාලාට අයිති නැහැ කියලා. ඉන් පස්සේ අපි ගෙවල් හදන්න පටන් ගත්තා. ඒ අතරතුරේ අපේ ඉඩම් නිදහස් කරන්නත් වන සංරක්ෂණ එකෙන් පටන් ගත්තා. මේ පාරවල් කැපුවේ අපි නෙවෙයි ආණ්ඩුවෙන්. කැලේ ලොකු ගස් ආණ්ඩුවෙන් කැපුවා. අනිත් කැලෑව අපි සුද්ද කරගත්තා.
දැන් මගේ වත්තේ බොන්න වතුර නැහැ. මම ගිහින් නේවි ටැප් එකෙන් තමයි වතුර ගෙනෙන්නේ. වැවේ වතුර අඩුයි. නාන්න වතුර නැහැ. මේ බලන්න මගේ කකුල්. ඇඟ පුරාවට දූවිල්ල.”
හිල්මිගේ කකුල්වල තිබුණේ බලන්නට අපහසු තරම් දරුණු ලෙස වැඩුණු වණයකි.

විල්පත්තු මිථ්‍යාව
මේ මරිච්චිකට්ටු ගම්මානය ගැන සටහනකි. විල්පත්තු මිථ්‍යාව ගැන මෙන්ම ඊනියා පරිසරවේදීන්ට නොපෙ නෙන ලංකාවේ සැබෑ පරිසර හානිය ගැනත් ඉදිරියේදී අපි ලියන්නෙමු.
මරිච්චිකට්ටු ගම්මානයට අමතරව මේ ගමනේදී අප දුටු දේ බොහෝය. අප පෙනී සිටින්නේ රිෂාද් සත්‍යය වෙනුවෙන්ය. අපට කියන්නට ඕනෑ වුණේ මේ මිනිසුන් දුක්විඳින බවයි.
මහපාරේ බල්ලන් වෙනුවෙන් පෙනීසිටින ඔටාරා ගුණවර්ධන වැනි අලුතෙන් පරිසර කැක්කුම් ඇතිවී තිබෙන කොළඹ හතේ නෝනාලාට ඒ බල්ලන් තරම්වත් මේ මිනිසුන්ගේ ජීවිත නොවටනේ විය හැකිය. ගංවතුරට හසුවුණ මිනිසුන් වෙනුවෙන් රොමෑන්ටික් ආධාර ව්‍යාපෘති ක්‍රියාත්මක කළවුන්ට යුද්ධයෙන් වසර තිහක් තිස්සේ අවතැන් වූ මේ මිනිසුන් ගැන කතා කරන්නට නොහැකිවා විය හැකිය. අප මොන තරම් හඬ නඟා සත්‍යය කීවත් මේ ඊනියා වීරයන්ගේ ඊනියා සත්‍යය තරම් අපේ හඬ නොඇසෙනවා විය හැකිය. සීයක් බොරු කියද්දී එක් අයෙකු විතරක් ඇත්ත කීවත් ඇත්ත ඇත්තමය.
මේ ගොඩනඟන මුස්ලිම් විරෝධය නිසා හෙට යළිත් මේ රට ගිනි ජාලාවක් කෙරෙනු ඇත. එයින් පසුව එහි පාපය මුස්ලිම් ජනතාව මත පැටවෙනු ඇත. පව්කාර දෙමළ ජාතියක් සහ පවුකාර මුස්ලිම් ජාතියක් සමඟ පවට සමාව දුන් සිංහල ජාතියක් ඉතිරිවනු ඇත. හෙට ගිනිගත්තොත් ගින්න හටගන්නේ බදියුදීන්ලාගේ හෝ අන්තවාදී මුසල්මානුවන්ගේ ජීවිත මතින් නොව මේ අහිංසක දුප්පත් මුස්ලිම් මිනිසුන්ගේ ජීවිත මතින්ය. අන්තර්ජාලයේ ගිනි තබන කොළඹ කේන්ද්‍රීය සිංහල අන්තවාදී ජීවිත මතින් නොව ගම්වල ජීවත්වන අහිංසක සිංහල තරුණ තරුණියන්ගේ ජීවිත මතින්ය. ඒ ගින්න ඇවිළුණාට පසුවත් යහතින් ජීවත් වන්නට නියමිත ඔබට ගිනි පුපුරු දැමීමේ පාපය ගැන කවුරු දොස් නොකීවත් ඔබ ඒ පාපයට කරගසා ඇති බව විල්පත්තු වීරයන්ට අපි කියා සිටින්නෙමු.

Continue Reading...

Thursday, January 19, 2017

දීපාල්- ගැලරියට ඇහුණේ නැති ගැලරියේ ගායකයා [ සරද සමරසිංහ]

බූන්දියේ උපුටාගැනීමක් - http://www.boondi.lk/article.php?ArtID=5079

දීපාල්- ගැලරියට ඇහුණේ නැති ගැලරියේ ගායකයා
බූන්දි, බදාදා, ජනවාරි 18, 2017 21:34:57

පසුගිය දා දිවි සැරියෙන් සමුගත් දීපාල් සිල්වා නම්වූ ගායකයා ගැන අපේ රටේ මාධ්‍ය තුලින් ඒ හැටි යමක් කථා නොවෙන්නේ අහම්බෙන් හෝ වැරදීමකින් නොවේ. රටේ කලාකරුවන්ගේ ධූරාවලියේ ඔහු වැනි අය ප්‍රබුද්ධ හෝ අප්‍රබුද්ධ පමණක් නොවේ අඩුම වශයෙන් පීචං කැටගරියේවත් ස්ථානගත කරන්නට බොහෝ දෙනා කැමති නැත. රටේ එළිමහන් සංගීත ප්‍රසංග වේදිකාවේ නැතිවම බැරි ගායකයෙක් වී රටේ මහා ජාතියේ ගැලරියට ලැජ්ජාවෙන් අඬන්නට හිතෙන ගැලරි පන්නයේම සින්දු කියපු දීපාල්ගෙ සින්දු අසා කවුරුත් ඇඬුවේ නැත. ඒ වෙනුවට ඒ සින්දු වලින් ගැලරිය පුළුවන් තරම් ආතල් ගත් අතර අවසානයේ දීපාල් ද ඒ ආතල් අතරම සැඟව ගියේය.

ගායකයෙක් නොඑසේනම් කලාකරුවෙක් ලෙස අපේ සමාජය විසින් ස්ථානගත කරන කැටගරියට අයිති වන්නට නම් යමෙක් කළ යුතු ‘ගෙදර වැඩ’ බොහෝ ප්‍රමාණයක් තිබෙයි. ඔහු හෝ ඇය නිර්මාණ නිෂ්පාදනය කළ යුතු අතර ඒවා හුදී ජනයා අතර ඉතා ප්‍රබුද්ධ ලෙස හුවමාරු කරගත යුතුය. මාධ්‍ය හෝ වෙනත් සමාජ අවකාශ වල එම කලා නිෂ්පාදනයට ඉඩක් ලැබෙන්නේ එවිටයි.

දීපාල් සිල්වා හිටියෙ මේ ‘වැදගත්’ ගනුදෙනුවෙන් එළියෙ. ඔහු තනු නිර්මාණය කර නොමැති තරම්. ඒ වෙනුවට ඔහු අනුන්ගේ ජනප්‍රිය තනු වලට වචන එකතු කරලා කොචිචි කරල් වගේ සිංදු හැදුවේය. මේ සිංදු වලට වේදිකාවක් හදල දෙන්න අපේ රටේ සමනල වර්ණ මාධ්‍ය වලට පුළුවන් උනේ නෑ. මොකද මධ්‍යම පන්තියේ වැදගත් සිවිල් සමාජ මාධ්‍යයේ ලිට්මස් පරීක්ෂාවෙන් ඔහු අසමත් වෙලයි හිටියෙ. ඉඳල හිටලා අමාරුවෙන් ඔහුව සමත් කරලා ගීතයක් දෙකක් ගුවන්ගත කරලා දැම්මත් සමස්තයක් වශයෙන් දීපාල් සිල්වා මාධ්‍ය ලෝකය තුල කුස්සියේ මුල්ලකට කරලයි තිබුනේ.

‘ප්‍රසංග වේදිකාව’ කියල උජාරුවෙන් හදුන්වන සංගීත බිස්නස් ගෝරනාඩු ප්‍රසංග තමයි දීපාල් වගේ ‘ගැලරියේ’ යැයි හංවඩු ගසා ඇති කලාකරුවන්ට ජිවත් වෙන්න හුස්ම ටිකක් හොයලා දෙන තැන. සිස්ටම් එක විසින් වට්ටෝරු ගත කරණ ලද ජනතාවකට කන බොන රමණය කිරීම සහ පන්සල් පල්ලි වලට යෑම හැර සමාජ ජිවිතයක් ගැන මෙලෝ අලයක හැගීමක් නැති බොහෝ හුදී ජනයා තමන්ගේ ‘සමාජ ජිවිත විනෝදය’ හොයාගන්නේ ප්‍රසංග වේදිකා වටා රැය පහන් කරමින්.

දීපාල් සිල්වාගේ ගීත සමාජගත නොවී ඒවා ගැලරිගත වීම නිසා ඔහු ප්‍රසංග වේදිකාවේ ගායකයෙක් වෙනවා. ප්‍රසංග වේදිකා ආතල් වෙලඳපොලේ සුරතාන්තය එළඹෙන පැයේ වේදිකාව මතට ගොඩවදින දීපාල්ගෙ ආතල් ජනතාවට හෙමින් සීරුවේ වචන වලින් ටොකු අනිනවා. දෙමළාගේ ප්‍රශ්ණය අමු සිංහලෙන්ම සිංහලයා ඉදිරියේ එළියට දානවා. අවාසනවකට වගේ ගැලරියේ සිංහලයාට ඒවා ඇහෙන්නේ නෑ. ‘ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු’ කියල දීපාල් කියනකොට ගැලරියේ සිට රජගෙදර දක්වා ඔක්කොම ‘බක බක ගා’ හිනා වෙමින් ගීතයට පාද ඇල්ලුවේ ‘අපිනම් ඔය කියන රටේ නෙමෙයි’ කියන්නා සේය.

නගර සභාවේ ලොරියේ වැඩකළ සුවඳරත්න විශ්‍රාම ගියා
අවුරුදු විස්සක ටෙම්පරියේම හිද කුණු ලොරියේම රස්සාව කළා


මේ වගේ ගීත ප්‍රහාර වලින් දීපාල් දමා ගහනකොට ඒවාවල ගීත සාහිත්‍යය නැති නිසා අධිපතිවාදී මාධ්‍යයට ඒවා අහුවෙන්නේ නෑ. ඒ නිසා ඒවා ගැලරිය තුල අතුරුදහන් වෙන අතර ඒවා අහුවෙන්නේ සුවඳරත්නලාගේම ‘ආතල් කලාපයට’ පමණයි.

තීරණාත්මක ලෙස දෙමළාව පරාජය කිරීමෙන් අනතුරුව හන්දියක් හන්දියක් ගානේ කිරිබත් කෑමට තරම් බයාදු ලෙස සහාසික උණු ජනතාවක් ඉන්න රටක, එම සහාසික කම් නිර්මාණශීලි ලෙස යළි යළිත් ප්‍රතිනිර්මාණය කර ගනිමින් තබාගැනීමට සමත් මාධ්‍ය - දේශපාලන සංස්කෘතියක් ඇති ‘රසික සමාජයකට’ දීපාල් සිල්වා ඇවිත් ඉතා කර්කෂ සංගීත බසකින් මෙසේ ගැයුවේය.

ආනන්ද භවන් එකට ඇවිත් තොසේ ගිලිනවා
එළියට ඇවිදින් යාපනේ දෙමලාට බණිනවා


කළු ජූලියත් සමග ඉතා සංවිධානාත්මකව දෙමළාව මහා සමාජයෙන් එළවා දැමීම නිසා ඔවුන් තුල ඇති වූ කම්පනය සහ මේ ක්‍රියාවලිය හා සම්බන්ධ ‘ගැලරියේ මිනිසුන්ගේ’ උභතෝකෝටිකය ඔහු තමාට සුපුරුදු රළු භාෂාවෙන්ම ඉදිරිපත් කළේය. තමාගේ කඩය ගිනිගත් පසු පදික වෙළෙන්ඳෙක් බවට පත්වූ දමිළ ව්‍යාපාරිකයෙක් ගැන ඔහු කියන්නේ මෙහෙමයි.

කන්න නැතුව හරි එකතු කරනවා - සවු හැලියට මම වැඳලා කියනවා
මෙතනම මම බිල්ඩිමක් ගහනවා - ආයෙත් මම මුදලාලිම වෙනවා
මටම ගහපු අය ළඟට ඇවිල්ලා - ආයෙත් මට මුදලාලි කියනවා
ලජ්ජා නැතුව මුන් ආයෙත් මට මුදලාලි කියනවා 


සිංහල ජාතිකවාදී මතවාදයට නිය පිටකින් හරි අභියෝගයක් වෙනවා දැක්කොත් මහ ජාතියේ සංඝ-මාධ්‍ය-දේශපාලන බලකායෙන් තැන නොතැන බලන්නේ නැතිව ‘ඕල් අවුට්’ වර්ගයේ ප්‍රති ප්‍රහාර එල්ලවෙන හැටි පහුගිය කාලයේ සමාජය අත්දුටු සුලබ අත්දැකීමක්. එහෙත් දිපාල් නම් ඒවගේ අකරතැබ්බයන් වලට පත්වුණු බවක් නම් අප අසා නැත. ඔහුගේ ගනුදෙනුව තිබ්බේ ගැලරියේ සමාජය සමග. ඒ සමාජයේ තියෙන්නේ වෙනම නීති රීති. මේ වෙනම නීති රීති ඉවෙන් මෙන් හඳුනාගැනීමේ හැකියාවක් දිපාල්ට තිබෙන්නට ඇති. ගැලරියෙන් එහා තමාගේ සීමාවන් දුටු ඔහු සමාජය අමුවෙන්ම විවේචනය කිරීමෙන් ලබාගත් ‘සිවිල් බලය’ පුළුවන් තරම් ටොෆි සිගරට් වෙළෙන්ඳන්ට විකුණමින් ගතමනාවක් හොයාගන්න යහසුළු උනේ තමන් විවේචනය කරන ක්‍රමයේ ‘කපටි ගොදුරක්’ බවට තමන් ද පත්වී ඇති බව නොකියා කියමින්.

මෑත කාලයේ දීපාල් සිල්වා ජනප්‍රියත්වයට පත්වුනේ ‘පොඩි ළමයා’ යන අන්වර්ථ නාමයෙන්. එයට හේතු උනේ ගංජා නොහොත් ‘මල්’ ගැන ඔහු ප්‍රසංග වේදිකාවේ ගායනා කරපු ගීතයක්. 'පොඩි ළමයා' සංකල්පය දිපාල්ට හැම අතින්ම සම්බන්ධයි. ඔහුගේ ගීත පොඩි ළමයෙකුගේ පෝතක වැඩ ලෙස සලකා සමාජයේ අධිපතිවාදී මාධ්‍ය සංස්කෘතිකයෙන් ඔහුව එළියට කර තැබෙයි. ඊළඟට ඔහු පීඩිත දෙමළාගේ සහ මුස්ලිම් මිනිසාගේ ප්‍රශ්ණ අමුවෙන්ම මහා ජාතියේ පීඩිතයන්ගෙ ගැලරිය හමුවේ ගයන විට ඔවුහු පුංචි ළමුන් සේ ඒ ගීත වලට ‘රැප් ඩාන්ස්’ දමති. අවසානයේ ඔහුත් පුංචි ළමයෙක් බවට පත්වී ක්‍රමය විසින් සමාජය මත ඇති කරන ප්‍රශ්ණ වල ගැලරි ප්‍රකාශයෙකු බවට පත්වී ළමා විනෝදයක කොටස්කාරයෙකු බවට පත්වෙයි.

හන්දි ගානේ කිරිබත් කෑම නිසා අමන්දානන්දයට පත්ව ඇති මහා ජාතික ගැලරියේ ආතල් නිර්මාණය කිරීමේ සහ ආතල් කැඩීමේ සීමාවන් හොදින් අවබෝධ කරගෙන සිටී දීපාල් සිල්වා, තමන් මුල් කාලයේ ගැයූ මෙවැනි ගීත කිසි දිනක ප්‍රසංග වේදිකාවේ ගායනා නොකිරීමට ද වගබලා ගත්තේය. පහත දැක්වෙන්නේ එවන් ගීතයක පදමාලාවක්.

මුංඇට කන්ජි - මික්ෂර් කන්ජි
මික්ෂර් කන්ජි - ලාබයි සවු කන්ජි

අසු තුනේ මගේ කඩවල් සේරම
කලබල කාරයෝ කුඩු කෙරුවා
මැනේජර් මගේ මල්ලිගේ පුතාට
හොදටම ගුටි දී මැරුවා
අනෙක් නෑයෝ ටික වීසා හදාගෙන
එංගලන්තයට පැනල ගියා
කන්ජි පුරෝගෙන කරත්තේ දාගෙන
කන්ජි පුරෝගෙන මං ආවා

කන්න නැතුව හරි එකතු කරනවා
සවු හැලියට මම වැඳලා කියනවා
මෙතනම මම බිල්ඩිමක් ගහනවා
ආයෙත් මම මුදලාලිම වෙනවා

මටම ගහපු අය ළඟට ඇවිල්ලා
ආයෙත් මට මුදලාලි කියනවා
ලජ්ජා නැතුව මුන් ආයෙත් මට මුදලාලි කියනවා

යාපනේ තම්බි මොකද කරනවා
කොලොම්බු තම්බි පරිප්පු කනවා
තරුණ කොල්ලෝ ටික නිකං මැරෙනවා
කවදද අප්පා සාමය එනවා

ඉස්සර වාගේ බසෙක නැගිලා
යාපනේ යන්නට ආස හිතෙනවා
ආඩවනේ මුළු ලංකාවට ශාමය ඕනෑ






Continue Reading...

සමනලුන්ට සමාවෙන්න....!


තබා මුදු පා සිනිඳු මල් පෙති මත රැඳී මොහොතක්
රොන් සුණුද සිඹ මල් පැණිද රස කර අසයි රහසක්

"පෙර දිනක දුර ඔබට මතකද
මේ වැනිම මොහොතක්
සමනලෙක් විත් මෙහෙම දවසක
ඇහුවා ද රහසක්?"

"ඉගිලුනත් නිල් අහස් තලයේ
සුළං රැළි මත දැවටිලා
ජීවිතේ එක දිනක් වත් නෑ
මගේ අම්මා දැක බලා"

"මගේ අම්මා ඇවිත් දවසක
මේ ලෙසම විමසන්නැතී
මතක නම් ඒ දවස ඔබ ලඟ
අම්මගේ මව් සුවඳැතී" 

- සමනල්ලු සුදුසු ගසක පත් මත බිත්තර රඳවා ඉගිල යනවා මිස දරුවන් දුක සැප නොබලති. බොහෝ සමනල වර්ගවල පැටවුන් දළඹු විය ඉක්මවා සමනලුන් බවට පත්වන අවධිය වන විට උන්ගේ මාපියන් මියගොස්ය

ජනවාරි 19, 2017

Continue Reading...

Sunday, January 15, 2017

ප්‍රිය දර්ශනී



මට අවුරුදු හත අට වූ කාලේ අපේ ගෙදරට මිටි කරගත් පුංචි රෝසපාට ඇඟිලි අස්සේ ලස්සණ හා ප්‍රීතිමත් වූ බොහෝ දේ හංගාගෙන පුංචි දේව දූතියක් ආවාය.

අපේ ගෙදර ළමයින් හතර දෙනාම මුලින්ම නිදාගත් සිඟිති කොටු ඇඳ අළුතෙන් රෝසපාට තීන්ත ගා අළුත් කර, අළුත්  රෝසපාට මදුරු දැලක් එල්ලා තිබුණි. එතෙක් ඒ ඇඳ අයිතිව සිටි ලොකු නංගීට ලොකු කොටු ඇඳ අයිති වුනු අතර, මටත් අයියාටත් ඉස්සරහ කාමරයේ ඇඳන් දෙකක් සින්නක්කර ලැබුණි. ඉතින් ගෙදර පුරාම ආයෙත් බබා සුවඳ විය. මීගමුවේ රෝහලක උපන් හෙයින් අපේ අම්මාට මීගමු අළුවා කෑල්ල වූ මේ පුංචිම පුංචි කෙසඟ කෙල්ල නාවන වෙලාවට අත් උදව් කාරයා වූයේ මමය.

කවදා කෙලෙස මතක් කලත් ආදරණීය සතුටක් සමගම මතක් වෙන අපේ පුංචි නංගී ගැන මගේ මුල්ම මතකය එහෙමය. ඒ පුංචි රෝසපාට ඇඟිලි වල ඈ සඟවාගෙන පැමිණි ලස්සණ හා ප්‍රීතිමත් වූ බොහෝ දේ මගේ ළමා කාලය පුරාත් අද දවස පුරාත් විසිරී විහිදී තිබේ.

ඕ එදත් අදත් කවදාටත් ප්‍රිය දර්ශනී ම වුවා ය. අපේ මඟුල් දවසේ දෙවැනි මනාලිය වූ ඇගේ මේ මුහුණ, රටින් පිටවී පැමිණි දිනවල මා රැගෙන ආ මුහුණයි. ඒ පැමිණ දශක දෙකකට පසු දෙදාස් ගණන්වල ගිම්හාන සවසක ලියවුණු පහත පද ටික අදත් හැඟුම්බරව මසිතට දැනෙයි.

සුබ උපන් දිනයක් නංගී.



ජනවාරි 16, 2017









Continue Reading...

Wednesday, January 11, 2017

හිස් හිස් [සන්නස්ගල ගේ මල්බර දෙරණ]



මතක හැටියට එක් දහස් නවසිය හැත්තෑ ගණන් මුල අට වෙනියේ නවවෙනි යේ උගන්නා කාලයේ අපේ බාප්පාගේ පත පොත අත පත ගෑමේ අතුරු ඵලයක් ලෙස මා අතට පත්වූ සිරි සීවලී හාමුදුරුවන්ගේ සිංහල ධම්මපදයේ පිටපතක් අදටත් මගේ අත දිග හරියේ ගැවසෙයි. මේ පොත් පිංච මෙතෙක් කලක් රැක බලාගෙන අතපත ගාන්නට 'වචනයක්' කියා සිරිසීවලී හාමුදුරුවන් එයට ලියන පෙරවදනේ වචන ටිකක් වඩාත් හේතු වූයේයි මම සිතමි.

"උපසම්පදා වෙද් දී සාමණේරවරුන්ට පාඩම් තිබිය යුතු බණ දහම් වලට ද ධම්මපදය ඇතුලත්ය. මට වයස දොළහ වෙද්දී මාගේ ආචාර්ය පාදයෝ ධම්මපදය පාඩම් කර වූහ. ඒ කාලයේ මට ඒ ගැන දැනුම් තේරුම් නැති විය. ඒ නිසා "ධම්මපදය පාඩම් කරවීම සඳහා මට බල කරන්නේ මන්ද?" යි දිනක් මම උන්වහන්සේගෙන් ඇසීමි.

"ඔය ධම්මපදේ තම යි බුදු බණ පිඬ! ඔය පොත පාඩම් තියෙනවා නම් වෙන මොකවත් ඕනැ නෑ! තමුසේ දැනමුතු උණා ම ඔය පොතෙන් තම යි බණට රජෙක් වෙන්නේ! උප සම්පදාවටත් ධම්මපදේ ඕනෑ කරනවා. උපසම්පදා වෙන දවසට තමුසේ ඔය පොතේ වර්ග විසි හය ම පාඩම් දෙන්න ඕනෑ!" යනුවෙන් ආචාර්ය පාදයෝ මට කරුණු පැහැදිලි කර දුන්හ."

පහු කලක දෙදාස් එකේදී දෙකේදී පමණ ලියවුණු පද වැලක් 'හිස් හිස්' වුණේ ත් මේ පුංචි පොත් පිංච නිසාමයි.



මේ ටික මෙහෙම ආපහු හිතට ආවේ පහුගිය මල්බර දෙරණක උපුල් ශාන්ත සන්නස්ගල හා සංඛ අමරජිත් අතර වූ සංවාද සටහන යූ ටියුබ් සබැඳියක් හරහා නිවී හැනහිල්ලේ එහා මෙහා ඇද ඇද අහන්නට බලන්නට අවකාශයක් ලැබුණු වෙලාවෙියි.

අවුරුද්ද අැරඹෙන මුල් සතියේ දෙදාස් දාහතේදී "අපි ලඟා කරගත යුතු සහ බැහැර කරගත යුතු" දේ ගැන කථා කරන සාකච්ඡාවක් වුණත්, දහ දොලොස් වතාවක්, නිෂ්පාදක වරයා 'මාතෘකාවට එන්න' 'මාතෘකාවට එන්න' කියමින් ඉල්ලනවායි කිව්වත්, ඇහුණු ප්‍රශ්න හා ලැබුණු උත්තර එක අතකින් උපුල් ශාන්ත මතු කරන්නට, හුවා දක්වන්නට උත්සාහ කල කරුණු කාරනා වඩාත් හොඳින් පැහැදිලි කලායි මට සිතෙයි.

මට හිතෙන හැටියට අද දවසේ මෙවැනි සංවාදයකට, විශේෂයෙන් ආරාධිතයා පෙන්වා ප්‍රශ්න විචාරකයා හඳුන්වා දෙන ජාතියේ සංවාදයකට, බුදුන් වහන්සේ හෝ ක්‍රිස්තුස් වහන්සේ පැමිණියත් වඩාත් වැදගත් ප්‍රශ්න වන්නේ, අනේ පිඬු සිටාණන් ජේතවනාරාමය දන් දීමේ ගනුදෙනුව හෝ කානා නුවර වයින් කල වතුර වලින් ඉතුරු එව්වා බාර් එකකට වික්කා ද වැනි ප්‍රශ්නම වන්නේය. අප ජීවත්වන්නේ අදහස් හෝ දැණුම මූලික වූ සමාජයකය යන මතය සීයට දෙසීයක දුර්මතයකි. නොඑසේ නම් දැණුම හා අදහස් යනු කුමක්දැයි අවබෝධ කර ගැනීමට තරම් දැනුමක් ඇත්තෝ ලංකාවේ මාධ්‍යවල නැත්තේ විය යුතුය.

අතහැරිය යුතු දේවල් ගැන කතා කරන සන්නස්ගල එක් තැනක දී අද සමාජ යථාර්ථය හුවා දක්වමින්, "බුදුන් වහන්සේ සියළු දේවල් අත ඇරපු බෝධි රුක්ෂය පාමුල සියළු දේවල් දෙන්ඩ කියල ප්‍රාර්ථනා කරන" බව සඳහන් කරයි. මේ සරල ප්‍රකාශය බොහෝ දේ සම්පිණ්ඩනය කරන්නේයි මම සිතමි. වඩාත් සිත කලකිරෙන කාරණය වන්නේ, මෙසේ කරන්නේ බුදුන් දෙසූ සත්‍යය නිර්මලව රකින්නාවූ දේශයේ, ඒ කාරණයසඳහාම නොයෙක් අයුරින් සථප වන්නාවූ ජනතාවක් විසින්ම වීමය.

ධර්මය වනාහී දැණුමයි. දැණුම වනාහි අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කරගත යුතු දෙයක්ම මිස, විශ්වාසයෙන් හෝ ඇදහීමෙන් සුරැකිය යුත්තක් නොවේ. අවබෝධය හා ප්‍රත්‍යක්ෂය යන වචන අහලකවත් විශ්වාසය හෝ ඇදහීම තිබිය හැකි නොවේ. අවබෝධය නිරතුරුවම අවබෝධ කරගත් දෑ පවා ප්‍රශ්න කරයි. අවබෝධයේ ගැඹුර මැනෙන්නේ ඒ ප්‍රශ්න කිරීම තුලිනි.

ඉතින් අප බැහැර කළ යුතු දේ අවබෝධයෙන් බැහැර කරන්නේ නම් ලඟා කරගත යුතු දේ නිරණුමානයෙන්ම අමුතු වෙහෙසක් නොවීම ලඟාවෙයි. අවබෝධයෙන් බැහැර කරගත හැකි බොහෝ දේ මේ කතාබහ තුල තිබෙයි. ඒ අවබෝධය අවබෝධයක්ම මිස, සන්නා කියන දේ විශ්වාස කිරීමවත්, සංඛ කියන දේ ඇදහීමවත් නොකර ගැනීමේ අවබෝධය ඇතිකර ගැනීමත් අපේම වගකීමක් වෙයි.



මල්බර දෙරණ - 1 https://www.youtube.com/watch?v=0MeHn6lz6k4


මල්බර දෙරණ - 2 https://www.youtube.com/watch?v=Uqi9Mk2i2Ww


මල්බර දෙරණ - 3 https://www.youtube.com/watch?v=7NDEZnLEdmA
Continue Reading...

Sunday, January 8, 2017

වෙනස් නොවන අකුරු [බාල්දිය සහ වාල්දිය ]



බාල්දිය සහ වාල්දිය
බූන්දි, බදාදා, ජුනි 3, 2009 22:24:13
ලසන්ත වික්‍රමතුංග අපේ කටට හුරු බාසාවෙන් කියනවා නම් නොම්මර එකේ බාල්දි කාරයෙකි. ලසන්ත බාල්දි දැම්මේ පුංචි අප්පුහාමිලාට නොව මහජනතාවටය. මෙතැන්දී මහජනතාව කියා අදහස් වන්නේ මහාම මහා ජනතාව මිස, පාරතොටේ පයින් යන සිල්ලර මිනිස්සු නොවෙති.
කෙසේ නමුත් මේ බාල්දි දැමිල්ල එක්තරා අන්දමක වාල්දි දැමිල්ලක් ලෙස දැක අඳුනාගත් කට්ටියක් පහුගිය දවසක ලසන්තට වැඩක් දුන්හ.

කරත්ත රෝදය ගොනා පස්සේ එන්නේ ගොනා කරත්තයට බැඳ තියේනම් පමණකි. අත් කරත්ත වලනම් ගොනා යන්නේ බොහෝවිට රෝදයට පසුපසිනි. ධර්මයේ එන කර්මයට අනුකූලවම මේ වැඩේ සිද්ධ උනාද නැද්ද කියා බොහෝමයක් පොදු ජනතා හිත්වල මේ නිසා යම් යම් කහටවල් තිබේ.

ටිකක් ඈත හිඳ බැළුවාම, ලසන්ත යනුත් මහ’ජනතා පුත්‍රයෙක් හෝ උන්ගේම නෑදෑයෙක් මිස, පොදු ජනතාව හෝ සිල්ලර මිනිසුන් අතරම ගැවසුණු කෙනෙක් කියා හිතන්නට සාධක අඩුයැයි හිතේ. එහෙම හිතුවාම මේකත් එක්තරා විදිහක මණ්ඩලේ කචල් එකක් කියා නොහිතන අයත් නැත්තේම නැති වග දහ අතේ මොරදෙන ලවුස් ස්පීකර් වලට කන් දෙන විට හැෙඟයි.

රබර් බට වාගේ නැවෙන ලපටි උඩ අතුවල සෙල්ලං කරන්නේ රිලව් මිස ඔරං ඔටන් ලා නොවෙන බව කාටවත් ඉලේට ඇ ඟිල්ලෙන් ඇන කියා දෙන්නට ඕනෑ කමක් නැත. මෙවන් පිරිස් බොහොමයක් ලසන්තගේ මලගමේ දීත් සෙල්ලම් පෙන්නූ හැටි පෙණුනි. සමහර බෑන් චූන් කාරයින් නම් මේ මල ගෙදරත් පිම්බේ ම ඟුල් අවමඟුල් නොබලා ඒ අය කවදත් පිඹින පපර නලා හා පපර චූන් ම පමණකි. නොදන්නා දේ කරන්න යනවාට වඩා තමුන්ට පුළුවන් දේ කර කර බාගෙන ඉන්නා එකත් අගේ නොකල යුතුම දෙයක් නොවේ. එසේ වුණත් සියළු කාරණා එකතු කර සලකා බලන විට මේ කිසි දෙයක්, අත්තඩියේ මහ පාරක් මැද මහ දවාලේ සිදුවූ ලසන්තගේ ඝාතනයත් ඇතුළුව, අපේ රටේ සිදුවෙන්නට බැරි අමුතු දේවල් ය කියාත් හිතෙන්නේ නැත.

අපේ බොහෝ දෙනෙකුට සදාචාරයත් ශිෂ්ඨාචාරයත් සාධාරණයත් අසාධාරණයත් මතක් වෙන්නේ තමුන්ගේම ඔළුවලට කපුටු වර්චස් ටිකක් හෝ වැටුණාට පසුවයි. තමුන්ගේ ජනේලයෙන් වීසි කරන ඉඳුල් වතුර ටික ඇඟට වැදුන එකා ගේ ගෝරනාඩුවට උඩින්, ඉඳුල් විතරක් නොව පැහැරූ මලපහත් තමුන්ට ඕනෑ විදිහට විසි කිරීමට තමුන්ට ඇති අයිතිය ගැන කතා කරන්නට තරම් උගුරු දඬු හයිය හත්තිය ඇති කම අපේ ජන්මයෙන් ම අපට උරුම වී ඇත.

මේ සිද්ධිය, පුංචි පන්තිවල හිට වාද විවාද මාතෘකාවක් වන පෑනද කඩුවද කතාවේම කොටහක් ලෙසත් අපට පෙන්වන නාටක කාරයෝත් සිටිති. කඩු ගත්තෝත්, පෑන් ගත්තෝත්, කඩුව එක අතකිනුත් පෑන අනෙක් අතිනුත් ගත්තෝත් ආදි නානා විධ නළු නිළියෝ මේ විවාදයෙන් දිනුවේ කවුද කියාත් විවාද කරති.

මිනිහෙක් මරා දැමීම, අමු අමුවේ, මහ දවාලේ, වෙඩි තියා පමණක් නොව, කෑලි කෑලි කර, කපා කොටා මරා දැමීම, හිස ගසා පැල ඉනි වැටේ රඳවා මරා දැමීම, ලයිට් කණුවේ එල්ලා වෙඩි තියා මරා දැමීම, අත පය බැඳ නොමරා මරා ගඟේ පාකර යැවීම මෙන්ම, ටයර් සෑයක ආදාහනය කොට මරා දැමීම ආදි මෙකී නොකී අනේක විධ මරා දැමිලි අපේ රටේ මෑත ඉතිහාසය තුල ඇති පදම් ඇත. මිනිහෙක් කීවාට, මෙහෙම මැරුණ උන්ට ස්ත්‍රී පුරුෂ ලමා ලපටි බාල මහළු ආදී කිසිම බේදයක් බලපෑවේ නැත. රොබට් නොක්ස් ගේ අයිලන්ඩ් සිලෝන් හි විස්තර වෙන රාජ දඬුවම් වල කෘරත්වය ගැනත්, ඇහැලේපොල පවුලට ලැබුණු වද හිංසා ගැනත් කියවා ඇඟ කිලිපොලවා ගත් යුගයකින් පසු ඒ අත්දැකීම් ඇස් පනා පිට විඳින්නට අපේ රටේ පරම්පරා දෙක තුනකටම වාසනාව ලැබී තිබේ. කවුරු කොහොම හිතන්නට උත්සාහ කලත්, කවුරු කොහොම අඟවන්නට උත්සාහ කලත් හිතා බැළුවාම හිතෙන්නේ මෙවන් තැනක් නම් නැත්තේය වෙන කොහේවත් කියලාමය.

ලසන්ත මිනී මරුවෙක් නොවේ. ලසන්ත, හරි වැරදි කෙසේ වෙතත්, යමක් කල එකෙකි. එමෙන්ම කරපු වැඩේ රිදෙන තැන්වලට රිදෙන්නම කල එකෙක් කියා වෙච්චි දේ වලින් පෙනෙයි. ප්‍රශ්න කිරීම වනාහි අපේ සංස්කෘතියට නොගැලපෙනම ගතිගුණයකි. සාධාරණය අසාධාරණය, විශේෂයෙන්ම තමුන්ට කිසිම පල ප්‍රයෝජනයක් ලාබයක් අලාබයක් නැති දෙයක සාධාරණය අසාධාරණය කතා කිරීම නම් කල නොයුතුම දෙයකි. ඒකත් එක එල්ලේ උණු උණුවේ පදමට පැණිකර කීම නම් කවදාහෝ පසුපස්සේ එන පාපකර්මයක්මය.

මේ තරම් දේවල් ලියන්නට හිතුනේ ලසන්ත අවසන් වතාවට ලිව්වාය කියන කතුවැකියේ කොටස් කීපයක් තේරුම් ගන්නට උත්සාහ කල පසුවයි.

“Every newspaper has its angle, and we do not hide the fact that we have ours. Our commitment is to see Sri Lanka as a transparent, secular, liberal democracy. Think about those words, for they each has profound meaning.
Transparent because government must be openly accountable to the people and never abuse their trust. Secular because in a multi-ethnic and multi-cultural society such as ours, secularism offers the only common ground by which we might all be united. Liberal because we recognise that all human beings are created different, and we need to accept others for what they are and not what we would like them to be. And democratic... well, if you need me to explain why that is important, you’d best stop buying this paper.”
-(2009 ජනවාරි 11දා සන්ඩේ ලීඩර් කතුවැකියෙන්)

''සෑම පුවත් පතකටම ස්වකීය වූ අරමුණක් ඇත. අපටත් එසේම බව අපි නොසඟවා කියමු. අපේ කැපවීම අපේ රට විවෘත, ඓහික, මධ්‍යස්ථ හා ප්‍රජාතන්ත්‍රවාදී මගකට එළඹෙනු දැකීමයි. මේ වදන් එක එක ගැන සිතන්න. ඒ එක එකක් තුල පෘතුල අර්ථයන් ගැබ්ව තිබේ.
රජය රටේ ජනතාවට අවංකව වගකිවයුතු නිසාත් හා ජනතාව රජය කෙරෙහි තබන විශ්වාසයෙන් රජය අයුතු ඵල නොගතයුතුත් නිසා, විවෘතකම හෝ පාරදෘශ්‍යත්වය අත්‍යවශ්‍යය. අපේ රට වැනි, බහු වාර්ගික හා බහු සංස්කෘතික සමාජයක ඒකීය බව රැකගත හැකි එකම පොදු ස්ථාවරය වන්නේ ඓහිකත්වය බැවින් අපි ඓහිකවාදී විය යුතුද වෙමු. අපේ ඕනෑ එපාකම් අනුව අනෙකා හැඩගැසීම පසෙකලා එකිනෙකාගේ අනන්‍යතාවයන් ඒ ලෙසින්ම පිළිගන්නා බැවින් අපි මධ්‍යස්ථ විය යුතුද වෙමු. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදීත්වයත් අත්‍යවශ්‍යය. ඒ මන්දැයි මමම ඔබට පහදා දිය යුතුයැයි ඔබට සිතේ නම්, ඔබ මේ පුවත් පත මිලදී නොගැනීම වඩාත් හොඳය.''

කුමන හෝ පද්ධතියක් යම් අවස්ථාවක හෝ තලයක සිට තවත් තලයකට සංක්‍රමණය වීම අප්‍රමාණවූ මංපෙත් ඔස්සේ සිදුවිය හැකිය. අවසානයේ වැදගත් වන්නේ අවසාන ඵලය මිස මාර්ගය නොවේ. එනමුදු, ඒ වෙනස සඳහා වැයවන්නාවු කාලයත් පිරිවැයත් දෙකම, මාර්ගය මත රඳා පවත්නේය.


http://www.boondi.lk/article.php?ArtID=696 

මේ ලියවිල්ලට එකතු කරන්නට දෙයක් නැත. සිංදු කියන අය තවමත් සිංදු කියති. වා කියන්නේ එන්නටය. බා කියන්නේත් එන්නටය. බා බා කියා හාල් ඇට දැමීමත් රැලේ පොරකා ඇවිත් ඒවා ඇහි‌ඳීමත් තවමත් ඉතින් එහෙමමය. (ජනවාරි 8, 2017)
Continue Reading...

Thursday, January 5, 2017

හේමන්ත දං පොකුරු



රතෙන් රත් පෑ වූ
නෙතින් නෙත නෙක දෑ ලිවූ
හේමන්ත දං පොකුරු
හිම කතර තනි වූ
හිමෙන් හිස
මල් ඔටුණු රැඳවූ....

වසන්තය පුරාවට
අතු පතර සඟවාන
පිපුණු මල් පෙති රකින
හේමන්ත සීතලට
පත් හලන ඵල දරන

පත් නොමැති රිකිලි අග
රත් පොකුරු දිලෙන සඳ
උණු හිමෙන් වැසුණු බිම
සැඟව නිදි වසන්තය

මල් පිපුණි දැයි නොදැන
ඈත ගිය විහඟුනට
එන්න එන්නැයි කියා
දුරුත්තේ මොරගසන

විහඟ තුඩගක නොරැඳි
වස්සාන වැස්සට හැලෙන
රත් පෑය ඉගිල ගොස්
නිල් කළුව මැලව යන

ඒත් හිම මල් පැළඳ
රත් වනින් සිනා‍සෙන
අඳුරු හේමන්තයට
හාදු දෙන රත් අදර

හේමන්ත දං පොකුරු
හිම කතර තනි වූ
හිමෙන් හිස
මල් ඔටුණු රැඳවූ....

[ ජනවාරි 5, 2017]

Continue Reading...

Sunday, January 1, 2017

කවි බූන්දි | ප්‍රේමය - [රන්සිරිමල් ප්‍රනාන්දු]

වසරින් වසර පහුවුනත් කාලය
සිතුවම් තිබේ අව පැහැ නොගැන්වෙන
සිතිවිලි තිබේ බොඳ නොවන නොගිලිහෙන
නැවත නැවතත් දිදුල් දෙන එළිය වන...



ප්‍රේමය

බූන්දි, බදාදා, නොවැම්බර් 26, 2014 23:54:47
සූර්යයා තුළ ශක්තිය නිපදවෙන්නේ අධි උෂ්ණත්වයක් හා පීඩනයක් යටතේ ජලකර න්‍යෂ්ඨි හීලියම් බවට විලයනය වීමෙනි.

දැවී හළුවී නැසී මිස
කිසි දිනක දෝතට
තුරුළු කර ගත නොහෙන
සදාකාලික අග්නි ජාලාවකිය
බුර බුරා දැල්වෙන

මිරිකා තලා පාස්සා
ගිනියම් වූ ජලකර න්‍යෂ්ඨි
මුදා හැර ගිනි
ඇවිලි ඇවිලී දැවෙන
ඉමක් නැති හිස් කමක
ඉඩක් නැති ප්‍රේමයකි
සලකුණක් සටහනක් නැති
කක්ෂයක හරි මැද…
තනිව නැවතී සිටින

නිල්වනින් වියන් බැඳ
හරිතයෙන් පාවාඩ අතුරා
පුබුදුවා මල් කැකුළු
විහිදුවා සුවඳ පැන්
වසන්තය වැඩමවන

සසලවා සයුරු දිය
විසිරුවා පෙණ පොඩිති
තනා පා කර මේ කුළු
දවටා සුළං රැළි අග
වස්සාන වැසි වස්සන

කහ පාට රතු පාට කර
මල් හැලී හැදුණු ඵල
රත්තරන් සායමෙන්
කරල් බර ගොයමත් පාට කර
විහඟ තුඩු අග සොඳුරු ගී සර තබන

දැවී හළුවී නැසී මිස
කිසි දිනක දෝතට
තුරුළු කර ගත නොහෙන
සදාකාලික අග්නි ජාලාවකිය
බුර බුරා දැල්වෙන
සලකුණක් සටහනක් නැති
කක්ෂයක හරි මැද
තනිව නැවතී සිටින
ඉමක් නැති හිස් කමක
ඉඩක් නැති ප්‍රේමය 


http://www.boondi.lk/article.php?ArtID=4479 
Continue Reading...

Blogroll

About