Monday, November 28, 2016

තලමලේ කවිය....!

Share it Please

කියන්න කවිකර අම්මෙනි අවසර
මහතුන් නැති රට ඇයි උන් අවසර
දෙවියෙක් නිදි නම් ඇහැරී වර වර
බිම හෙළලා අර දෙනගම තලමල

කැකුළු සුබාවට පිපිලා වැඩුනේ
කඳුළු වසාගෙන රුව කඳ දිළුනේ
නැඹුළු යකෙකු කෙරුවද මේ වෙසනේ
ලකල නිමල තලමල බිම දැමුනේ

දලදා සසදා මුව දෙව් දා නැණ
කුස දා කියවා වනපොත් කොට දැන
දහදිය හිනිමග ඇස් ලැබ ගත් දින
‍රන්කොත පාමුල තලමල කෙලෙසින

සාර ඵලය උරමින් රස කරමින
වීර බිමේ පින් වත මිරිකාගන
මාර සෙනග අපෙ පැදුරේ ලැගගෙන
ධීර බලැති මව් පදවිත් බිලිගෙන

ගුගුරා සත් දවසක් ඉර හඳ තරු
උතුරා ජන ගඟ පව් උඩු යටිකුරු
කරනා තුරු අපි දිවි මග ගරු සරු
සුවපත් වෙත්වා දුක් දැරු මව් වරු


 

තල මල පිපෙන්නේ ගස මරාගෙනය. ඒත් කල්පයකට එකක් මෙන් දුලබ ව යැයි කියැවෙයි. තල ගස මුදුනෙන් නැගී තවත් අතු පතර විහිදන ගසක් මෙන් නැගෙන තල මල බලන්නට පිරිස් පොදි වෙන්නේ එහෙයිනි. එහෙව් තල මලක් අකාලයේ බිම ඇද වැටීම පවක්මය.

තල මලේ කවිය ලියූ ධර්මසිරි රාජපක්ෂ කවියා යන්නට ගොසිනි. මේ පුංචි සටහන කවදාවත් මුණ නොගැසුනත් අකුරු අතරින් හිතට පිළිපන් ධර්මසිරි කවියානන් පිළිබඳ මතකයට ය.
-----------------------------------------------------------------------------------------------
http://mirrorarts.lk/news/item/2393-kiyanna-kavikara-ammeni-awasara 

නො දන්නා ගීතයක හද කම්පිත කරවන කතාවක්....

මහාචාර්ය සුචරිත ගම්ලතුන් හා සංගීතවේදී ජයන්ත අරවින්දයන්ගේ සුසංයෝගයෙන් වර්ණිත ගී විචාර කලාවේ නවමු පිටුවක් පෙරැළු අවස්ථාවක් වන ගුවන්විදුලියේ විකාශනය වූ "ගී මිණි ආර"වැඩසටහනේ දී ගුණදාස කපුගේ ශූරීන් සහ නන්දා මාලිනියන් ගැයූ "කියන්න කවි කර අම්මෙනි අවසර" ගීතය මහැදුරු ගම්ලතුන් විසින් විචාරයට බඳුන් කළේ මෙසේ ය.
 ධර්මසිරි රාජපක්ෂගේ සාහිත්‍ය නිර්මාණයෙන් ද ගුණදාස කපුගේ සංගීත සංයෝජනයෙන් ද නන්දා මාලනී - කපුගේ යුවලගේ සුගායනයෙන් ද සමන්විත මෙම ගීතයට මූල ප්‍රත්‍ය වන්නේ දෙනගම ඥානවතී නමැති බීඩි එතීමෙන් ජීවත් වූ උපාධිධාරී යුවතිය පන්සලට ඇදගෙන ගොස් දූෂණය කොට මරා වැවට විසි කිරීමයි. මේ සිද්ධියෙන් ප්‍රකම්පිත හෘදයෙන් ඇදහැළුණු මේ ගී පද ධාරාව අප සමාජය තුළ ස්ත්‍රීන්ට කරනු ලබන පොදු හිංසනය පවසන ඉතාමත් සරුසාර සංකල්ප රූප මාලාවකි.
කියන්න කවි කර අම්මෙනි අවසර
මහතුන් නැති රට ඇයි උන් අවසර
දෙවියෙක් නිදි නම් ඇහැරී වර වර
බිම හෙළලා අර දෙනගම තලමල
 කවි කොල ආර අනුව යන කවියා මව්වරුන්ගෙන් පමණක් අවසර ගනී. අවසර ගැනීමට මෙහි මහතුන් නැත. මහතුන්ගේ වේශයෙන් සිටින්නෝ ස්ත්‍රී පීඩක කාම මෝහිත මද කිපි වග වලස්සු ය.දුර්ලබ තලමලක් වන් සුමුදු සොඳුරු යෞවනිය මරා හෙළා ඇත. දෙවියෙක් නිදි නම් ඇහැරී වර වර යනුවෙන් කිසි අදෘශ්‍යමාන බලවේගයක ආරක්ෂාව පීඩිත මිනිසාට නැතැයි හැඟවේ.
කැකුළු සුබාවට පිපිලා වැඩුණේ
කඳුළු වසාගෙන රුව කඳ දිලුණේ
නැඹුළු යකෙකු කෙරුවද මේ සංගේ
ළකල නිමල තලමල බිම දැමුවේ
 තලමල කැකුළ වැදී පිපී එන සෙයින් ඇය පිපී ආයේ දරිද්‍රතාවයේ කඳුළු අදෘශ්‍යමානයට පලවා හරිමිනි.නැඹුළු යකෙකු බිලිගත් පරිද්දෙන් ළකල නිමල තලමල බිම දැමුවේය , තලමල යන රූපකය මේ කරන ලද නාරි සෞන්දර්යය නාශනය රූපවත් කිරීමට කෙතරම් ප්‍රබලද? පීරා වරලස අවුල් හරින ලෙස තලමල සුළඟට යන අන්දම්...
දළදා සසදා මුවදෙව්දා නැණ
කුසදා කියවා වනපොත් කොට දැන
දාඩිය ඉනිමඟ ඇස් ලැබගත් දින
රන්කොත පාමුළ තලමල කෙළෙසින
 දළදා සසදා මුවදෙව්දා සසදා වනපොත් කොට දහඩිය නමැති ඉනිමගේ නැග ඇස් ලැබ ගැනීම, නො කා නො බී ඉතා දුක සේ උපාධි විභාගය සමත් වීම සංකේතවත් කරයි. එහි ප්‍රතිපල රන් කොත පාමුළ තලමල කෙළසින. මෙය සිදුවන්නේ එසේ මෙසේ තැනක නො ව අසරණ සරණ වූ තුනුරුවන් හා දෙවිදේවතාවුන් වැඩ වසන පන්සලේ චෛත්‍යය පාමුළ ය. චෛත්‍යයේ සර්වඥ ධාතු වැඩ වෙසෙද්දී දෙවිදේවතාවෝ එය ආරක්ෂ‍ා කරත්ලු. එහෙත් ඒ සියලු විශ්වාස ම අසරණ මිනිසා මත පැටවුණු අතිරේක බර ම නො වේද? ඒවායින් ඔහුට පීඩනය ම විනා අන් කවර සරණෙක් ද?
සාර ඵලය උරමින් රස කරමින
වීර බිමේ පින්වත මිරිකාගෙන
යුවතිය දූෂණය කළ ප්‍රචණ්ඩ ආකාරයත් එයින් කලාකරුවා තුළ උපන් ප්‍රසංවේගයත් මෙයින් නො හැඟවේද? පින්වත යන්න ඔහු යුවතිය මහත් ගෞරව භක්තියෙන් සලකන බව හඟවයි.
'දිනූ බිම මහිම ඇති මුනි මාර බල - වැනුම් තුනක් වැනි සතබිම් සාරඵල' යන ලෙසින් වීදාගම හිමියන් විසින් වර්ණිත විහාර භූමියෙහි අද දින සැබවින් ම සිදු වන්නේ කුමක්ද? ඒ, මේ ය.
මාර සෙනග අපෙ පැදුරේ ලැගගෙන
ධීර බලැති මව් පදවිත් බිලිගෙන

අද එහි රජයන්නේ මාර විජය කළ සිදුහතුන්ගේ පාරමී බලය නො ව මාර බලයයි. බිලි ගැනෙන්නේ එක් පුද්ගලයකු පතන නිකම් ම බුදු පදවිය නො ව ධීර බලැති මව් පදවියයි. ලොව සියලු ධීර බලය නිපදවන්නේ මව්වරුන් බැවින් මේ යෙදුම කෙතරම් අපූරු ද?
මෙලෙස ජන කවි වහරේත් සෙවි කවි වහරේත් අගනා සංකලනයක් වන මේ ගීය චිරාගත ආගමික මිත්‍යා දෘෂ්ටිවාදයන් විදාරණය කර දොර හරිමින් ස්ත්‍රී සංහතිය මුහුණපාන ව්‍යසනය අපට ප්‍රත්‍යක්ෂ කොට අප හද කම්පා කරයි.
එහෙත් අසාර දර්ශනයකට ඉඩ නො තැබේ. අනාගතයේ පුපුරා එන සමාජ විප්ලවය විසින් සියලු පන්ති යදම් ප්‍රචණ්ඩාකාරයෙන් සුණුවිසුණු කර අප දිවි මග ගරුසරු කරනු ඇත. ඒ සඳහා දැරෙන අපගේ ප්‍රයත්නය මධ්‍යයෙහිදී ස්ත්‍රී සංහතිය ස්ත්‍රීත්වය නිසා ම විඳින අතිවේග දුක් කඳට ද කර දෙමු.
 ගුගුරා සත් දවසක් ඉර හඳ තරු
උතුරා ජන ගඟ පවු උඩු යටිකුරු
කරනා තුරු අප දිවිමඟ ගරසරු
සුවපත් වෙත්වා දුක් දැරු මව්වරු
 සැකසුම : සන්ජය නිල්රුවන්-
-----------------------------------------------------------------------------------------------------

බූන්දියේ පළවූ ලිපි හා කවි





4 comments:

  1. අදමයි මේ ගීතය ඇසුවේ. ස්තුතියි.

    කෝරස් එකයි වර්ස් දෙකයි අච්චුව කඩපු ගීතයක්!!!

    ReplyDelete
  2. නන්දා ගේ කිඳුරියකගේ ව්ලාපය කැසට් එක අහලා නැති ද? ඒකෙ තියෙන්නේ සිංදු කල කවි. ඔතන යු ටියුබ් ලින්ක් එකෙත් ඒ සේරම ටික තියනවා නේ ද? අහන්න.

    ReplyDelete
  3. මමත් මේ ගීතය ඇසුවේ අදමයි. බිහිසුණු ඛේදවාචකයක් මේ විදියට සංයමයෙන් පද පෙළ ගන්වන්න කොයි තරම් අපහසු දෙයක් වෙන්න ඇතිද?

    ReplyDelete
    Replies
    1. වෙන විකල්පයක් නැති තරමට අපි අසරණ වූ වෙලාවල් නේ ද?

      Delete

Blogroll

About