Thursday, November 12, 2026

නොවැම්බර් දොලහ....!




නොවැම්බර් දොලහ

නොවැම්බර් දොලහ. අද සඳුඳ දවසක් වුනත් එදා සිකුරාද දවසක්.
එක්දහස් නවසිය හැත්තෑ හයේ නොවැම්බර් දොලොස් වෙනිද.
පේරාදෙණි සරසවියෙදි වීරසූරිය සොහොයුරා මැරුණු...
නෑ...! වීරසූරියව වෙඩි තියල මරාදාපු දවස...!

හිරු දහසක් බැස ගිය මුත්
ඔබ අමතක කරලනු බෑ
සඳු දහසක් බැස ගිය මුත්
ඔබ අමතක කරලනු බෑ

හෙට දවසට අද වෙන්නට ඊයේ මියයනවා
අතීතයේ සැඟවී ඔබ හෙට ගැන මුමුණනවා

ලේ කඳුලක හිත මුසුවුන
ඒ මතකය වියැකෙනු නෑ
හෙට දවසට අප ගෙනයන
සොහොයුර ඔබ මියගොස් නෑ

ඒ සිහිනය තවමත් නෙත් අහල දිදුල් දෙනවා
කඳුළු ගෑස් නැතත් කඳුළු දෙනෙතග පොපියනවා

ගලනා ගඟ ඉදිරියටම
මිස ආපසු ඒමක් නෑ
හෙලනා කඳුලැලි වල අද
හෙට දවසත් සැඟවෙනු නෑ

නෙතග කඳුළු බිඳු වියැලෙන දිනයක් පැමිණෙනවා
කරට මාල තෝඩු නැතත් හෙට අපි හිනැහෙනවා

මලින් මලට රොන් උරනා
බමර ගීය අරුතක් නෑ
නල රැල්ලට සුවඳ පොවන
කුසුම් කැකුළු සුවඳක් නෑ

ලේ සුවඳට දහදිය බිඳු සුවඳ එකතු වෙනදා
දහසක් මුවගින් රණ ගී පද වැල් මිමිණෙනදා

(1979)

[සිරිමල් උයනට]

අද දෙදාස් විසිහයේ නොවැම්බර දොලහය.
හැත්තෑවේ තුන් හවුල් ආණ්ඩුවේ හංස ගීතයේ ආරම්භක ස්වරයන් සනිටුහන් කල,  ලංකාවේ ප්‍රථම සරසවි සිසු ඝාතනය ලෙස සටහන් වූ, කුරුණෑගල උහුමීයේ උපත ලබා පේරාදෙණි ගිය ඩබ්ලිව් එම් වීරසූරිය සොයුරාගේ ජීවිතය උදුරාගත් පොලිස් වෙඩි උණ්ඩයේ හඬ, හන්තාන නිනඳ කල ඒ උදාසනින් අඩ සියවසකට පසුය.

මා කොළඹ සරසවියට පිළිපන්නේ නවසිය හැත්තෑ පහේ දීය. පේරාදෙණි සිසු ඝාතනය සිදුවන්නේ එයින් වසරකට පසුවය. සරසවි ගොඩනැගිලි වල වහල වල උළු කැට මතත්, සරසවිය අවට සුදු තාප්ප මතත්, සිසුන්ගේ විරෝධය ගලා ගිය අයුරු මට තවම මතකය.

යම් රාජ්‍ය සංචාරයක් සඳහා ජපන් රටට ගොස් සිටි අගමැති සිරිමාවෝ බණ්ඩාරනායකට අවලාද නගා, 'සිරිමට ජපන් පොලු, අපට බැටන් පොලු' යැයි ලියා තිබූ අතර, මට මතක තරමින් මෙවැනි වාක්‍ය කිහිපයක්ම, තර්ස්ටන් පාරේ ඉන්දියානු තානාපති නිවසේ සුදු තාප්පය පුරාම තිබුණි. ඉන් ටිකක් එහා ස්විස් තානාපති නිවසේ තාප්පයේ... 'ඉන්දියාව සපෝට් නම් අපිත් සපෝට්' කියා ලියා තිබුණා මතකය.

විශ්ව විද්‍යාල වසා සිසුන් ගෙදර යැව්වත්, උද්ඝෝෂණ නැවතුනේ නැත. ශිෂ්‍ය සංවිධාන හා වෘත්තිය සමිති එකතුව දියත් කල අඛණ්ඩ වැඩ වර්ජන මාලාවක අවසානය, ඒ වෙද්දීත්, තුනට හතරට ඛණ්ඩනය වී තිබුණු සමසමාජ, කොමියුනිස්ට, ශ්‍රීලංකා තුන්හවුල, පොඩි මිනිහාගේ දේවදූතයා ලෙස සුදු ජාතික බැනියමෙන් සැරසී, ඡන්ද වේදිකාවල පැදුරේ වාඩිවී, ජනතාවාදී සිංදුවක් කියූ ජේ. ආර්. ට හයෙන් පහක පාර්ලිමේන්තුවක් බන්දේසියක තබා පුදා පල්ලම් බැසීමෙන් කෙළවර විය.

වීරසූරිය ඝාතනයෙන් වසර කීපයකට පසුව කොළඹ සරසවි සිසුන් ලෙස, අද මිත්ත හිමියන් නමින් සසුන්ගතව සිටින, අප මිතුරු මොතිලාල් ගේ මෙහෙයවීමෙන්, උහුමියේ වීරසූරිය උගත් පාසලේ දරුවන්ට, පොත්පත් ආදිය රැගෙන ගිය ගමනේ දී, මිදුලේ වී අටු දෙක පසුකරගෙන වීරසූරියගේ නිවසට ගොඩවැදුනාත්, ඔහුගේ මාපිය සොහොයුරන් මුණ ගැසුනාත් මගේ මතකයේ තවමත් ඇඳී තිබේ.

ඒ මතකයන් මතකයක් ලෙස ඇහැරෙන අද, මගේ රට යම් පමණකින් හෝ එදා වීරසූරියගේ මරණය ගැන සලිත වූ අපේ හදවත්වල මතුවූ අනාගත බලාපොරොත්තු වෙත දිවෙන්නාවූ ගමන් මගකට එළඹ ඇති බව දකිමි. 

Continue Reading...

Blogroll

About