Wednesday, July 22, 2026

කරත්ත පාර

Share it Please

හිස් මතකයක්, මනසක් සමග මෙලොවට ජනිත වන අපි ජීවත්වෙනවාය කියා හඳුන්වන කාර්යය පුරාම තිබෙන්නේ හමුවීම්මය කියා මම සිතමි. ඒවා ඉර, හඳ, ගස්, ගල්, අව්ව, වැස්ස, සුළඟ, වැනි භෞතික දේ හමුවීමේ අවස්ථාවන් මෙන්ම, රස, සුවඳ, රූප, ශබ්ද වැනි අලුත් සංවේදනා මෙන්ම, නවමු සිතිවිලි, නවමු අදහස් උදහස් වැනි අපේ සිත්වලම ජනිතවන පරිකල්පනීය දෑ මුණ ගැසීමද විය හැකිය. එනමුත්, අපි හැමෝම පොදුවේ හමුවීම්ය කියන්නේ, තවත් පුද්ගලයෙක්, කෙනෙක්, අඩුම ගානේ පණැති කිසිවක් හමුවීම්ම ය. එමෙන්ම, ඔය සමහර හමුවීම් වෙන්වීම් වලින් කෙලවර වෙනවාය කියාත්, සමහර ඒවා කිසිදිනක නොනවතින බැඳුම්ව පවතින බවටත් වැඩිය දුර දිග නොහිතා හිතන්නට අපි පුරුදු වී සිටිමු.  එහෙත්, ජීවිතය කියන්නේම හමුවීම් බවත්, හැමදාම හිතෙනවා වාගේම, හමුවීමක් යනු, කිසි දිනක, මොනයම්ම වෙන්වීමකින් වුවද, නැතිව යන මැකී යන හෝ, මකා දමා නැතිකර දැමිය හැකි දෙයක් හෝ, නොවන බවත් මම සිතමි. 

නවසිය හැත්තෑ පහේ කොළඹ සරසවියට ඇතුළු වූ මම හැත්තෑ නවය වෙද්දී, කැම්පස් ඇවිල්ලා යන බොහෝ හැන්දෑවරුවල එක්තරා කෙලි පොඩ්ඩියක්, ඇගේ නවාතැනට ඇරලලා කළුබෝවිල මා නැවතී සිටි මාමලාගේ ගෙදර යන චාරිත්‍රයකට පුරුදු පුහුණු වී සිටියෙමි. ඔය දවස්වල එයා නැවතී හිටියේ, ජාවත්ත පාරේ ගිහින් තිඹිරිගස්යාය පාරේ චුට්ටක් හැරිලා ගියාම හමුවෙන මහසෙන් මාවතේ නවාතැනකය. ජීවිතය ගමනක් මිස ගමනාන්තයකට යන අරමුණක් නොවේයැයි සඳහන්වී තිබේ. ඔය කතා දන්නා අඳුනන හින්දාමද මන්දා, හවස් වරුවල කෙරෙන මේ ගමන අපි එක් එක් පැතිවලින් ගියත්, වැඩිමනත් කෙරුනේ, බෞද්ධාලෝක මාවතෙන් ස්ටැන්මෝ චන්ද්‍රවංකය දිගේ රවුම් කාලක් විතර ගිහිල්ලා, කැප්පෙටිපොල පාරෙන් ජාවත්ත පාරට ගොඩවී ආදි වශයෙන්, එදා එදා හිතුනු, හිතට නැගුණු විදිහටය. ඒ පාර දිගටම, තැන තැන, ඉහිරුණු පුංචි පුංචි හිනා කතන්දර මෙන්ම, උකුළු මුකුළු බැල්මවල් තවමත් තියෙන්නට ඕනෑය.

ඔය චන්ද්‍රවංක පාර කරත්ත පාර යැයි ලියාපදිංචි වූයේ, අවුරුදු හතලිස් හතකට එහා, අද වගේ දවසක හැන්දෑවේ ය. හරියටම දින දාතම් එක්ක ලිව්වොත්, එකදාස් නවසිය හැත්තෑ නවයේ ඇහැල මාසේ විසි එක් වෙනිදා ය. මේ කතාන්දරය ඉතින්,  අපේ ජීවිතම හින්දා, මේ බ්ලොග් අඩවියේ ලියැවී ඇති සටහන් බොහෝමයක එදා සිද්ධවුනු අපේ හමුවීමේ සුවඳ තැවරී තිබේ. ඒවා අතරින් සීතල පිණි මත මල් පෙති විසිරෙන.... විස්තරය තුල ඒ විසිඑක් වෙනිදා හවස්යාමය ගැන මෙසේ ලියවී තිබේ.


"ප්‍රශ්නය නැවත ඇසුණේ විභාග අවසන්ව අවසාන විභාගයට පසුව මිතුරු මිතුරියන් හා එක්ව ‘මොණරතැන්න’ නරඹා ඈ ඇරලන්නට බෝඩිමට යන අතර තුර දීය.

‘කෙල්ල මට මොකද කියන්නෙ? තාමත් මාව ඕ‍නිද?’
‘ඔයා මොකද කියන්නෙ?’
‘මට නම් ඕනෙ’
‘මටත් එහෙමයි’
‘එහෙනම් හෙට වසන්තයේ දවසක්...?’

එදා කාණ්ඩය එක්වී බලන චිත්‍රපටය කුමක් විය යුතුද යන ප්‍රශ්නය මත දෙකඩ වන්නට ගිය හිතවත්කම් පිරිද්දී තිබුණේ පසුදාට සියල්ලන්ම එක්ව ‘වසන්තයේ දවසකුත්’ බලන පොරොන්දුව මතය."

ඔය දෙබස සිදුවුනේත්, ඇගේ නළලතට පලමු හාදුව තැබුනේත් ඔය චන්ද්‍රවංක කරත්ත පාරේ ගහක් යටදී ය. එදා සිට සෑහෙන කාලයක්, ඔය පාර දිගට තිබුණු, එක්සත් ජාතීන්ගේ සංවිධාන ගොඩනැගිලි හා නා නා ප්‍රකාර මන්දිරවල ආරක්ෂාවට, කාකි නිල ඇඳුම් ඇඳලා, කැප් තොප්පි දාලා, අවි ආයුධ අතේ අරන් හෝ නැතුව, ගේට්ටු තාප්ප අයිනේ එකත්පස්ව සිටි ආරක්ෂක නිලධාරි මහත්තුරු නොහොත් සෙකියුරිටි, අයියලා, මල්ලිලා, අංකල්ලාගේ හිත්වල ඊෂ්‍යා, ක්‍රෝධ හා පහන් නොපහන් සිතිවිලි ජනනය කරවීමේ ආතල් එක අපට හිමිවී තිබුණි.

ඉතින් තවමත් මේ ගමන ඉවර නැත. ඒ අතරමග ලියවුනු පහත විස්තරයේ හඳ තවම මගේ අහසේ පායා හිඳී. අනෙක් කවිය මානෙල්ගේය. ඍතු හතර එකිනෙක පැදකුම් කල වසර හතලිස් හතකට පසුව, ජීවිතය යනු ඔය හැමදේම පහුකරමින් යන ගමනක්ම මිස ගමනාන්තයකට යන අරමුණක් නොවන බව යළි යළිත් හඟිමි.

ආදරෙයි අම්මා....!




සඳ

මෝසම වියරුව ගිගිරුම් දෙන සඳ
ගිරි පවුරක් වේ නොසැලෙන නොවැටෙන
මදනල හිරුකැන් මුකුළු කරන සඳ
මල් උයනක් වේ නෙත සනසාලන

කෙත් වතු සාරව අටු පිරෙනා සඳ
ගඟුලැල්ලක් වේ සැමට පිහිටවන
ගම් බිම් වියැලී වල් වැදෙනා සඳ
දිය බුබුලක් වේ සිසිල සුවය වන

ගින්දර වී සිත කීරි ගැසෙන සඳ
කඳුලැල්ලක් වේ ගිනි වලකාලන
හිම කැටයක් වී සිත මිදෙනා සඳ
පහන් සිලක් වේ උණුහුම සලසන

උදුම්බරා වී පෑයූ පුන් සඳ
මල් වැස්සක් සේ ගලා හැළුණු සඳ
තරු පොකුරක් වී එළිය බෙදන සඳ
අම්මා මා නුබ එකළු කරන සඳ









No comments:

Post a Comment

Blogroll

About