කොළඹ විශ්ව විද්‍යාලය තියෙන්නේ කොළඹ හතේය.
අද වෙද්දී, පිලිප් ගුණවර්ධන මාවතය හැඳින්වෙන, ඒ කාලේ රීඩ් ඇවනිව්ය නම්කර තිබූ රීඩ් මාවතත්, කුමාරතුංග මුනිදාස මාවතය නම්වූ, තර්ස්ටන් පාරත්, මුහුන් වී බෞද්ධාලෝක මාවත වූ බුලර්ස් පාරට කඩාවදින තුන් මුල්ලේ තාර පටිය ඉහත්තාවේ අමුඩ ලේන්සුවක් වගේ එල්ලී තියෙන තුන් හුලස් බිම්කඩ ඇතුලේ, උඩ කෙලවරේ රෝයල් කොලීජියත්, එයිට පහලින් තර්ස්ටන් විද්‍යාලයත් පල්ලැහැ අගිස්සේ, කොළඹ විශ්ව විද්‍යාලයත් වාඩිලා සිටිති.
නවසිය හැත්තෑ පහේ එදා කියූ කෙරූ විදිහට, ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ, කොළඹ මණ්ඩපයේ, ස්වභාවික විද්‍යා පීඨයට ඇතුළුවූ අපේ බැච් එකට, ‘නැව' ආවේ ඊලඟ අවුරුද්දේ, එනම්, හැත්තෑ හයේ දීය. ඒක ඉතින් සරසවි භාෂාව වන අතර, නැව් වල එන්නේ මොනවාද කියා ලියන්නට උවමනාවක් නැත.
නවසිය හැත්තෑ ගණන් කියන්නේ, රීඩ් එකත්, තර්ස්ටන් පාරත් දෙකම දෙපැත්තටම වාහන යන පාරවල්ව, හයිලෙවල් දිගේ නුගේගොඩ හරහා මහරගම, හෝමාගම, දුවන 138 බස් තර්ස්ටන් පාරේත්, රෙදිමෝල ගාවින් පාමංකඩ පාරට ගොඩවී, කොහුවල හරහා පිළියන්දල, හොරණ, දුවන 120 බස් රීඩ් මාවතේත් දිව්ව කාලයක් විය. බස් නම් ඉතින් ලංගමම වූ ඔයි කාලේ, කොයි බස් එකත්, විශේෂයෙන්ම එකසිය විස්ස, කට කපලා පුරවාගෙන ෆුට් බෝඩ් එකෙන් අඩි එකහමාරක් විතර එළියට මිනිස් පොක්කලමක් එල්ලා ගත්තු බස් වර්ග විය.
ඒ අතරින් එකසිය විස්ස වනාහී, සෙනසුරාදාට මොකක් දෝ හේතුවක් හින්දා බේතකටවත් හොයාගන්නට අමාරු බස් ජාතියක් වී තිබුණේය. අවුරුද්දක් තිස්සේ, මගේ නවාතැනව තිබුණු, කොහුවල බලපොකුණ පුරාණ විහාර මාවතේ, මාමලාගේ ගෙදර හිඳ කැම්පස් වන්දනාවට උදේ හවා බස් එකේ පැදීමේ හේතුවෙන්, සෙනසුරාදාට, නොවරදින වෙඩිල්ල, ජාවත්ත පාරේ, වාරිමාර්ග බුද්ධ ප්‍රතිමාවට මෙහා පැත්තේ හෝල්ට් එකෙන් 116ක එල්ලෙන එක බව මම පසක් කරගෙන සිටියෙමි.
ඉතින් අපේ නැව නැංගුරම් ලෑ අලුත, නවසිය හැත්තෑ හයේ, මැයි මාසයේය මම හිතන සෙනසුරාදාවක, දවල් වරුවේ, කැම්පස් එකේ මොකක් හෝ වැඩකට රස්තියාදු වී, ග්‍රහලෝකාගාර, පුස්ථකාල අතුරුපාරේ ගිහින්, පුස්ථකාලය පිටිපස්සේ රවුං කැන්ටිම අයිනෙන්, ජාතික පොල අස්සෙන්, ජාවත්ත පාරට පැදකුණු කරන්නට, රීඩ් එක පනින වෙලාවේ, මේං අපේ නැවේ ආපු, කොට කොණ්ඩා කෙල්ලක්, රීඩ් බස් හෝල්ට් එකේ හෙවන යන ඉඳගෙන ඇස්වාට්ටුවෙන් බස් එන පැත්ත බලාන ඉන්නවා මගේ තනි ඇහැට සලකුණු වුනේය.
එදා දෙපාරක් නොහිතා, එතෙන්ටම ගිහින්,
"එකසිය විස්සට ද ඉන්නෙ? අද 120 හිඟයි. ජාවත්ත පාරෙන් 116 ගන්ඩ පුළුවන්. මමත් යන්නෙ එතනට“
කියා අඳුනාගත් ඒ කෙල්ල, එදා මම කොහුවල කන්ද උඩ, බර්නාඩ් බොතේජු එක ලඟ ඒ එල්ලුනු 116න් බහින වෙලාව වෙද්දී, මගේ අතිජාත මිතුරියක වී සිටියාය.
ඔය දැනෑඳුම් කමට අද දවස් වෙද්දී, අවුරුදු පණහකි. අඩ සියවසකි. රත්තරන් ජුබිලියකි.
අනෝමා එදා ගියේ හොරණ ය. ඒ එයාගේ ගෙදරය. නවසිය හැත්තෑ පහේ, ශ්‍රීපාලියෙන් පේරාදෙණි කෘෂිකර්ම පීඨයට ඇතුල්වුනු, අසනීපවීම නිසා, බැච් මිස් කරගෙන කොළඹ ආ, සිංදු කියන, කවි ලියන අනෝමා විජේනායක, කොළඹ විශ්ව විද්‍යාලය හරහා මා ගමන්කල අවුරුදු හතර පහේ, ලඟ ලඟින්ම අඩි තියා ඇවිද ගිය මිතුරියක වූවාය. ජීවිත ගමන්මග බොහෝසේ වෙනස්වූ 1979 මගේ දිනපොතේ ජනවාරි පළවෙනිදා මුලින්ම ලියා ඇති වැකිය මෙසේය.
"ජීවිතයේ වැරදී ගිය ඒ සිදුවීම්, ඔබේ සිත අවුලට පත් කරන්නට උත්සාහ කලත්, ඔබේ ආත්ම ශක්තිය ඒවාට වඩා ශක්තිමත් බව වටහාගන්න. - අවි"
වට පිට නොබලා එක එල්ලේ ජීවිත අරගලයය අප කියන වතාවත් ඉටුකල කාලයකට පසුව ආපහු හැරී බලන මේ කාලයේ දී, අපේ යව්වනයේ අප සමග ඇවිද ආ සහෘදයින්ගෙන් අප ලද ආදරයේ හා රැකවරණයේ අගය ඉලිප්පී මතුවී පෙනෙයි. ඉතින්, ඒ වසර ගණනාව පුරා පැමිණ අද දක්වාත් දිවෙන අනෝමාගේ හෘදයාංගම හිතවත්කම මේ රත්තරන් ජුබිලියේ දී සටහන් කර තැබිය යුතුම දෙයක් යැයි මගේ හිත කියන්නට පටන් ගත්තේ, අවුරුදු දෙකකට එහා, අපි කාගේත් හඳ නැන්දා වූ, සුමනා ජයතිලකයන් වෙනුවෙන් මෙතන සටහනක් ලියවුනු කාලයේය. එයිට කලින් මුහුණු පොතේ කොමෙන්ටුවක මා අතින් මෙසේත් ලියවී තියේ.
"හැත්තෑ හතේ හෝ අටේ අවුරුද්දේ කොළඹ සරසවියේ පෙරදිග සංගීත සංගමය හරහා මොතිලාල් (අද මිත්ත තෙර) මෙහෙයවූ වෙසක් භක්ති ගීත වලට ගුවන් විදුලියේ අඩ පැයක් ලැබුණේ කර්ණිකා ගේ අම්මා, සුමනා ජයතිලක හරහාය. පටිගත කිරීම දවසේ ශබ්දාගාරය තුල දී..... "ඔයාල කොහොම ද මේක එනවුන්ස් කරන්නේ....?" කියා මා අතේ තිබූ කඩදාසි ටික කියවූ සුමනා ජයතිලක මිය.... අහලින් ගිය කෙනෙකුට කතා කර "අනේ ඩෝල්ටන්... මෙයාලට මේකට හොඳ එනවුන්ස්මන්ට් එකක් ලියල දෙන්න" යි කීවාය. මට ඩෝල්ටන් අල්විස් හමුවුණේ එදාය.... මගේ කඩදාසි ටික අතට ගත් ඩෝල්ටන් මේසයක් ඇදගෙන වාඩිවිය....
වැඩ සටහනේ හඬ පටය මා ලඟ නැති මුත්, අනෝමා විජේනායක, 2006 දවසක ඇගේ නිවසට මා ගොඩවූ වෙලේ මා පිළිගන්නට වාදනය කලේ එයයි."
ඔය අවසාන වාක්‍යයේ සඳහන් 2006 අවුරුද්දේ දවස, නවසිය අසූදෙකට පසුව මට අනෝමා මුණගැසුනු ප්‍රථම දවසයි. ඇගේ නිවහනට ගොඩවැදී සාලයේ පුටුවක අසුන්ගත් හැටියේම, ඇගේ පුංචි පුතා, කැසට් රෙකෝඩරය පණ ගන්වා ගියාත්, අනෝමාත් ගෙදර සියළු දෙනාත් ඇස් දල්වාගෙන මගේ මුහුණ දෙස බලා උන් ආකාරයත් මතකයේ තියෙයි.
ඉතින් 2024 අනෝමාට ලිව්වේ, අර එනවුන්ස්මන්ට් එකේ වචන ටික මතකද අහලාය. ඇයට මතක තිබුණේ නැත. ඒ වුනත්, දවසක් දෙකක් ඇතුලේ මගේ මොළ කබලේ කොහේ හෝ හිට මතුවූ, එදා ඒ වැඩසටහනේ පූර්විකාවට ඩෝල්ටන් අල්විස් මහත්තයා ලියා දුන්නු ඇරඹුම ඇරඹුනේ... "අනෝම ගුණ ඥාන සම්ප්‍රයුක්ත...." කියාය.
ඒකත් ලියා, "අනෝමා ගැනත් සටහනක් ලියන්න ඕනා මම" යි ලිව්වාම ඕ, "අනේ මා ගැන මා හැරුනු කොට ලියන පළමු කෙනා ඔබ" කියා ලියා එවා තිබුණි.
ඒවා එහෙම වුනත්, පළමු වැන්නා වීමට මට ලැබුණේ නැත. ඒකට අකුල් කැපුවේ, නදීෂාය. නදීෂා චන්ද්‍රසේනය. සිරිමාවෝවේ ඇගේ අංශ භාර ගුරුතුමියව සිටියේ අනෝමායැයි මා දැනගත්තේ ඇගෙනි. ඉතින් මේ පින්තූරේ දම්පාට සාරියක් ඇඳලා නදීෂාට දකුණු පැත්තේ ඉන්නේ, අනෝමා ය.

“පැනායි අනුලයි බලාන ඇති රන්සිරිමල් යන්න. මම ඉවරවෙලා එන්නම්“
කවදා කොහොම ටටා, බායි කියා සිප වැළඳගෙන පිටත් වුනත්, ඒ ආකාර වෙන්වීමකින්, හමුවීමක; එදා මට කොළඹ කැම්පස් එකේ රීඩ් පාරේ ගේට්ටුව අහල බස් නැවතුමේ සිටි කෙල්ලක් හමුවුණා වැනි හමුවීමක; මතකය, මැකෙනවා, නැතිව යනවා තබා, යන්තමට තීන්ත බොඳවීමකින්වත් පලුදු වන්නේ නැතිය යන්න ස්ථිරව විශ්වාස කරන්නට පුළුවන් තරම් කල් මා ජීවත්වී තියේ.

No comments:
Post a Comment