Saturday, January 13, 2018

ඊ. එන්. එකසිය අසූ හත

Share it Please


ඉස්සරම ඉස්සර ලංකාවේ වාහන අංක පටන් ගෙන තියෙන්නේ ඉංග්‍රිසි කිව් අකුරත් අංකයකුත් යොදාය. ඉන් පස්සේ ඒ, බී, සී, ඩී, අංක තහඩු කාලයක් තිබී ඇති අතර ඊළඟ රවුම සිලෝන් කියන ඉංග්‍රිසි අකුරු වලින් ජෝඩුව බැගින් ගෙන අංකයක් අවුණා තහඩු නිකුත් කල කාලයයි. සී.ඊ, සී.එල්, සී.එන්. ආදි වශයෙන් ගිය මේ ක්‍රමය, ඊ.එන්. කිට්ටුකර තියෙද්දී, ඉංග්‍රිසිය හැලී ශ්‍රී උදාවිය.

ශ්‍රී ගෙනාවේ ශ්‍රී ලංකාකාරයා වූ බණ්ඩාරනායක නමුත් එක ශ්‍රී එකේ තහඩුව ජෝන් කොතලාවල ගේය. මේ කාලයේම ටකර් කොම්පැණියේ කාර් සේල්ස්මන් කෙනෙකු වූ අපේ තාත්තා මිලදී අරගත් අළුත්ම ශ්‍රී වාහනයේ තහඩුව එක ශ්‍රී එකසිය පහලවය. ඒක ඒ් කාලේ නම් කිරිපාට ඕපල් රෙකාඩ් වාහනයකි. අළුත් කාර් එකක් ගත්තත් ඒ වෙද්දී හද හදා හිටි ගෙදර වැඩ කටයුතු ඉවරකරන්නට, මුදල් උවමනා වූ හින්දා ඒ එක ශ්‍රී වාහනය, ඊ. එන්. වාහනයක් සමග අතපිට මුදලකට හුවමාරු කරන්නට තාත්තාට සිද්ධ වී තිබේ. මේ හේතුව නිසා ආ ගමන් ගත්තා වුනත් වැඩි කාලයක් ‘ශ්‍රී‘ කාරයක් පදින්නට තාත්තාට ලැබුණේ නැත. එ් කාලයේ යූ අැන්ඩ් පී කාරයකු වූ එයා හරියටම ශ්‍රී ලංකාවට අාවේ නම් හැත්තෑවේ දීය. එව්වා ගැන වෙන වෙන තැන්වල ලියා තිබේ.

ගමන් බිමන් යද්දී, අතර මගදී, අර එක ශ්‍රී එකසිය පහලව ඇඟිල්ල දික්කර පෙන්නූ නමුත් අපේ තාත්තා වූ, බේබි මහත්තයාගේ වාහනය, ඊ. එන්. එකසිය අසූහත අංක තහඩුව දරණ දොර හතරේ කළු පාට වොක්ෂෝල් වයිවන් මෝටර් රථය වුනේ එහෙමය. ඒ නවසිය පණස් හත, පණස් අටේ දී විතරය.

ඒ දවස්වල ගම්පලාතක්ම වූ අපේ පැත්තේ බොහෝ දෙනා ගමේ ගොඩේ කාර් සේරගෙම පාහේ අංක තහඩු දැන සිටියෝය. අයිතිකාරයාගේ නම නොකියා වාහනයේ අංකයෙන්,

“දවසටම පණස් හතයි විස්ස දැක්කෙ නෑ නේහ්“

“අද කොළඹ යන දවසනේ.... හවහ එයි“

වැනි කතා බහ අපේ පැත්තේ හන්දියක කඩපිලක සිද්ධවෙන සාමාන්‍ය කතා බහ විය. අපේ තාත්තා, පොතේ ලියා ඇති හැටියට නම්, ඉඩම් හිම් වැවිලිකාරයෙක් වුණත්, කෝකටත් තෛලය වාගේ කාගෙ කාගේත් උවමනා එපා කම් වල දී, කාට කාටත් උවමනා එපා හැමදේම කරන කරදෙන, දැන් කාලයට සුදුසු භාෂාවෙන් කියනවා නම් ග්‍රාමීය සමාජ ක්‍රියාකාරිකයෙක් ලෙස හඳුන්වන්නට පුළුවන් වූ, චුට්ටක් අමුතු තාලේ මනුස්සයෙකි. ඒක නිසාම බොහෝ විට ඊ. එන්. එකසිය අසූහතේ ගමන් බිමන් ගියේත්, අපේ ගෙදර අයට වඩා, ගමේ ගොඩේ කට්ටියය කිව්වොත්  එ් හැටි වරදක් නැත.

කාර් පදිනවා නොව කාර් එළවන කාලයක් වු ඒ කාලයේ කාර් එලවූ බොහෝ අය මෙන්ම, අපේ තාත්තාත්, කාර් එකේ සරුවාංගයම පාහේ අත පතගා, තෙල් පත්තු බැඳ, පිලිසකර කරන්නට හැකියාවක් තිබුණු, යතුරු අඬු බඬු, අතට පයට හුරු පුරුදු, පුද්ගලයෙක් වීය.

කාර් එක ස්ටාට් නොවෙනවා නං, කරන මූලික අත් වෙදකම වූ තල්ලු ස්ටාට් එකක් දැමීම, අපේ ගෙදර කවුරුත්, අම්මා නංගිලා ඇතුළු හැමෝම ඇතුළුව මනා ලෙස ප්‍රගුණ කල ගොඩ වෙද කමකි. අහලක අත් උදව්වට කවුරුවත් නැතත්, දොර කවුළුවෙන් අත දමා සුක්කානම කරකවන ගමන් තනියෙන්ම කාර් එක තල්ලු කරලා, යාන්තං පල්ලමකට වට්ටා, දුවන කාර් එකේ දුවලා එල්ලී නැගලා, කල්ච් එක පාගා ගියර් එක දාලා ස්ටාට් කරගන්න සෙල්ලම පවා අපේ තාත්තා කරනවා මට දැක පුරුදු තිබේ.

අපේ ගෙදර හිට හලාවත පාරට දිවෙන යාර දෙතුන් සීයක බොරළු පාරේ ඉහලට පහලට මේ වාහනය තල්ලු කරන එක, විශේෂයෙන් මගුල් ගෙදරක හෝ පල්ලියක මංගල්ලයට යන්නට ඇඳුම් කැඩුම් අැඳගෙන, අම්මලා නංගිලා අයියා අපි හැමෝම මේ වාහනය පස්සේ හායි හූයි කිය කියා තෙරපෙන එක, එක දවසක් දෙකක් විතරක් වුනු දේකුත් නොවේ. එවැනි වෙලාවට, උත්සාහය හා විශ්වාසය පළුදු වන්නට නොදී, හරියටම ස්ටාට් වුනේ නැතත්, එහෙන් මෙහෙන් පුටු පුටුවක්, යාන්තං දුම්පාරක් හෙම දමා, මේ තල්ලු සප්පායම තව තවත් දිග්ගස්සගන්නට ඊ. එන්. එකසිය අසූහතත්, හොඳාකාරවම දැන සිටියේය.

වොක්ෂෝල් වයිවන් වාහනය ඉස්සරහ ආසනයේ තුන් දෙනෙකුත් පිටුපස ආසනයේ තුන් දෙනෙකුත් වශයෙන් උපරිමයෙන් හය දෙනෙකුට ගමන් කරන්නට හදාපු වාහනයකි. ඊ. එන්. එකසිය අසූහතට ඔය සුද්දාගේ මගී සීමාවල් තිබුණේ නැත. අනෙක් අතට තල්ලු ස්ටාට් එකකින් පහුව, වාහනේ ස්ටාට් කල ඈයින්ව පයින් ගෙදර යැවීමේ සිරිතක් අපේ තාත්තාට තිබුණේත් නැත. සමිති සමාගම් වල රැස්වීම් ඉවර වී සාමාජික සාමාජිකාවන් ගෙවල් වලට අැරලන්නට වූ වෙලාවල් වල දහ දොලොස් දෙනෙකුට වැඩි මහ මිනිසුන් පිරිසක් මේ මෝටර් රථයේ සීට් වල මෙන්ම, බිම ද වාඩිවී, එල්ලී දිගාවී ගමන් ගිය දවස් මට මතක තිබේ. එක්තරා කාලයක ආණමඩුවේ අතුරු මැතිවරණයකට අත් උදව්වට ගිහින් යාළු මිතුරු වූ, පවුල් තුන හතරක කාණ්ඩයකුත් පටවාගෙන අනුරාධපුරයේ වට වන්දනාවට ගිය කතාවක විස්තරය අපේ අම්මා කියනවාත් මා අසා තිබේ.

ඒත් ඒක තාත්තාගේ වාහනේ හින් දා අපේත් වාහනේ විය. අපේ අම්මා 'ඕල්ඩ් ග්ර්ල්' කියා හැඳින්වූ එකසිය අසූහතේ මට මතකම ගමන, එක් අවුරුද්දක මඩු පල්ලි ගිය ගමනයි. අපේ තාත්තලාගේ කාණ්ඩය මඩු පල්ලි යන්නේ අගෝස්තු මංගල්ලයටය. ඒක නයිනාමඩමේ කාණ්ඩයකගේම සිරිත වී තිබුණි. අවුරුද්දකට සැරයක් යන මේ ගමනට කාර් එක පිලිසකර කර ගැනීම ප්‍රධාන කාර්යයක් වෙයි.

වාර්ෂික ගමනක් වූ මේ ගමනේ දී, ඉස්සරහ ආසනයේ අම්මාත් තාත්තාත්, නංගිලා එක්කෙනෙක් හෝ දෙන්නාම වාඩිවී ගියා වූව ද, පිටිපස්සේ නම් අයියාටත් මටත් ඇලිස් අක්කාටත්, ඇලිස් අක්කාගේ පුත්‍රයා වූ හයසින්ටත් බොහෝවිට ගමනට එකතුවන දයාරත්න වැනි පිරිමි පරාණයකටත්, එයිට අමතරව ගෙදර අත් උදව්වට හිටි සුනිල්ටත් වශයෙන් හය දෙනෙකුට පමණ ඉඩ තිබේ. යන්නේ මඩුපල්ලි වුවද, කවදා කොහේ ගිහින් කවදා ගෙදර ඒ දැයි හරියටම කියන්නට බැරි මේ ගමනේ හැකි තැනක නැවතී ඇලකින් දොලකින් නාලා උයාගෙන කාලා නිදාගන ගිමන් ඇරලා නිදහසේ යන්නට උවමනා අඩු වැඩිය අඩුම කුඩුම සියල්ලමත් රැගෙන යා යුතු වෙයි. මේ දේවල් අහුරන ගෙන යන පිළිවෙලක් ද තියේ. හැමෝගේම පැදුරු එක උඩ එක එලා, ඒ මැදට කොට්ට පොරවන සියල්ල අඩුක් කර ඔතා බඳින පැදුරු මිටිය, මඩු පල්ලි යන්නට සතියකට දෙකකට කලින් කාගෙන් හෝ ඉල්ලාගෙන ඇවිත් කාර් එකේ වහල මැද සවිකරන හුඩ් රැක් එකේ තැන්පත්වන ප්‍රධානම භාණ්ඩයය. එයින් අමතරව, පෙට්ටි සූට්කේස් ආදියත් වහලය උඩ රැඳවෙන අතර, ඩිකියේ ඉඩකඩ ඉවර වූ පසු ඉතිරිවන බාල්දිය, හට්ටි මුට්ටි, අතර මගදී මගට කන අළුවා, අග්ගලා, විස්කෝතු පාර්සල ආදිය නතරවෙන්නේ, කාගෙ කාගේත් කකුල් අතරය. මේ බඩු භාණ්ඩාදිය එකතු වූ විට, එන්ජිමේ බර බැලන්ස් වී, ඊ. එන්. එකසිය අසූහත, යාන්තමට වාගේ අහස දිහාවට ඇස් උස්සා හිනා වෙනවා වගේ පෙනෙයි.

හැම දේකම වගේ මේ වාහනයේත් මර්මස්ථානයක්, එනම් චුට්ටක් දුර්වල නිලයක් තිබේ. ඒක තියෙන්නේ ගියර් පෙට්ටිය ඇතුලේ, ගියර් රෝද එහා මෙහා කරන ප්‍රධාන යකඩ පට්ටම කෙළවර ය.
මෙන්න මේ පින්තූරයේ රතු පාට රවුම ඇතුලේ ය.



බැළූ බැල්මට කට්ටයක් කැපූ තරමක යකඩ ඇණයක් වගේ පෙනුනත්, ගියර් පෙට්ටියේ නායක දැති රෝද එහා මෙහා වුනේ මේ පුංචි කට්ටය කැපූ ඇන කෑල්ලේ පිහිටෙනි. කරදරය තිබුණේ නිතරම මාන්සිවෙන මේ කට්ට ඇන හිසේ, එක පළුවක් දෙදරා වෙන්වී කැඩී යාමයි. ප්‍රතිඵල දෙකකි. ගියර් මාරුව අබලන් වීම ප්‍රධාන එකය. අර දැතිරෝද පෙට්ටිය ඇතුලට වැටුනු චුට්ටං යකඩ කෑල්ල, එහෙ මෙහෙ ගිහින් දඟ කිරීම නිසා, රෝදවල දත් ගැලවීමට පුළුවන් කම අනිකය.
ඔය කියන ඇණ කෑල්ල මේං මේ වාගේ එකකි.



මේ ලෙඩේට කළ යුතු ශල්‍යකර්ම සාත්තුව සැරයක් දෙසැරයක් නොව හත් අට වතාවක්ම කරලා අපි කවුරුත්, ඒ කියන්නේ අයියාත් මමත් දයාරත්නත් අම්මාත් තාත්තාත් හොඳින් දැන සිටි එකකි.

පියවර කීපයකි.
(1) වාහනේ යටට රිංගා ගියර් පෙට්ටිය ගලවා පහත් කර එළියට ගැනීම
(2) උඩ පියන ගලවා ගියර් ලීවර් ගලවා, පැත්තක් සොච්චං වු ඇණය ගලවා ගැනීම
(3) ගියර් ඔයිල් භාජනයකට අයින් කරලා ටෝච් අල්ලා, කම්බි කූරු අඬු කතුරු කාන්දං කෑලි ඔය මොනවා හෝ යොදාගෙන අර කැඩී වැටිච්ච තව් කෑල්ල තෝරා බේරා එළියට ගැනීම
(4) සොත්ති වූ ඇණ කෑල්ල ලියවන පට්ටලයකට ගෙන ගොස් අළුත් ඇණ කෑල්ලක් ලියවාගන ඒම
(5) අළුත් කෑල්ල අවුණා, ගියර් ලීවර හයිකරලා ගියර් පෙට්ටිය එකලස් කිරීම
(6) වාහනේ යටට රිංගා ආයේත් ගියර් පෙට්ටිය හරියට සෙට් කරලා ඇණ මුරිච්චි දාලා සවි කිරීම
(7) තෙල් දාලා ලීක් හොයලා ගියර් චෙක් කරලා ට්‍රයල් යාම

මෙව්වා සිද්ධවෙන අතරින් පතර නොහොබිනා වැඩද කරන්නට මේ වාහනය අති සමර්ථය. ගියර් පෙට්ටිය පස්සේ ඩිපරැන්ෂල් වලට සම්බන්ධ වෙන හරියේ අනවශ්‍යය වෙලාවට ලෙඩදෙන ඔයිල් සීල් එකක් තිබේ. ගියර් පෙට්ටි පියනත් පෙට්ටියත් අතර ගෑස්කට් එකක් තිබේ. ගෑස්කට් නම් පරණ ෂර්ට් පෙට්ටි පට්ටයකින් වුනත් කපා හයි කරන්නට පුළුවන් නමුත් අර ඔයිල් සීල් එක කොච්චර ටේප් දාලා පොටි ගාලා හැදුවත් ලේසියෙන් රෙපයාර් කල හැක්කක් නොවේ.

ඉතින් මේ කියන මඩු පල්ලි ගමනේ දී, ඊ.එන්. එකසිය අසූහතට මේ ලෙඩේ හදා ගන්නට මතක් වූයේ, පුත්තලමත් පහුකරලා දහය හෝ පහලව කණුවට විතර කිට්ටුවය. ගූගල් සමාගමේ සිතියමට අනුව මගේ නිච්චිය නම් ඉහල පුලියන්කුලම හරියේ විය යුතුය. ඒ දවාලට උයාලා කාලා එදා දවස ගතකල පාර අයිනේ වැව් පිට්ටනියේ මතකයෙනි. ඒ වැව අයිනේ දිගටම තිබුණේ දං ගස්ය.

අතේ ගෙනියන තියා ගෙදර මේසය උඩ තියන ටැලිපෝන් එකක්වත් නොතිබුණු, එක්ස්චේන්ජ් එකෙන් පිටට කතා කරනවා නං, බිංදුව කරකවලා නොම්මරය කියලා කෝල් එක සම්බන්ධ කරවා ගත් ඒ කාලයේ, කැඩිච්ච වාහනයක් පාර අයිනේ කෑලි කරන එක සාමාන්‍ය සිද්ධියක් වූ අතර, වැඩේට අවශ්‍ය යතුරු අඬු මන්න පිහියා කතුරු පිහි මෙන්ම, අඩ තියන ලී කොට වලින් ද සන්නද්ධ නොවී ගමන් බිමන් යෑමේ පුරුද්දක් අපේ තාත්තාට තිබුණේ ද නැත.

ජැක් ගසා වාහනය උස්සා අඩ තියා, යට රිංගාගන ඇණ මුරිච්චි ගලවන තාත්තාට අර යතුර මේ අඬුව ආදී වශයෙන් අත් උදව් දීමත්, ගලවා අතට දෙන ඇණ මුරිච්චි පිළිවලට පරිස්සමට තැබීමත් පවුලේ පිරිමි ළමයින් වූ මගේත් අයියාගේත් කාර්යයන් වූ අතර, අපට අත් උදව් දීමට දයාරත්නත් හයසිනුත් වූහ.

ගලවාපු කරදරකාර ඇණ කෑල්ල පුත්තලමට ගොස් ලියවාගන ආයේ නම් දයාරත්නය කියා මතක තියේ. එයා ගිහින් එනතුරු අපි දවාලට කාලා වැව් පිට්ටනියේ දං ගස් යට පැදුරු එලාන නිදාගත් අතර, එදා හවස් වෙද්දී කලා ඔය පල්ලියටත්, ඉන් පහුවදා දවාලේ අනුරාධපුරයටත් ගොස් අනුරාධපුරයේ දී, අර කාන්දුවෙන ඔයිල් සීල් එක හදාගන්නට, ගැරේජ් බාස් කෙනෙක් සමග අපේ තාත්තාට සෑහෙන හෙට්ටුවක් හෙට්ටු වෙන්නට සිද්ධ වූ බවත් මගේ මතකයේ තිබේ.

මේ ඊ.එන්. එකසිය අසූහත අපේ තාත්තා පිටත්වී ගිහිනුත් අවුරුදු විසි පහක් පමණ අපේ ගෙදර නැවතී හිඳ අන්තිමේ යන්නට ගියේ දෙදාස් දාහතර අවුරුද්දේ ජනවාරි මාසයේ දීය.









එයා ගැන ලියන්නට තවත් නොයෙකුත් කතා තිබෙන නමුත් ඒවා වෙන වෙන වෙන වෙන කතා හැටියටම හැකි හැකි හැටියට ලියන එක වඩාත් හොඳය හිතේ.

ආරංචිවල හැටියට නම් වොක්ෂෝල් කොම්පැණිය තවමත් වාහන බිස්නස් එක නවතා නැත. එයාලා ගැන බොහෝ කරුණු කාරනා මේ සබැඳි ජාල අඩවියේ තියේ.


http://www.vauxpedia.net/

ඔය ඉහල තියන පින්තූර වලට අනුව ශතවර්ෂ කාලක් විතර අන්ධකාර කාමරයක වහංවී සිට ජරාජීර්ණ වුනත්, නාලා කාලා සැන් පවුඩර් දා ඇඳලා ජේත්තුවට හිටි කාලයේ අපේ ඕල්ඩ් ග්ර්ලුත් පහල පින්තූරයේ වගේමයි කියා මට අදවාගේ මතකය. මෙයා නම් සැපට සුකුරුත්තමට හදා වඩා ගත් නිසා අදටත් කෙල්ල වාගේ ඉන්නා එංගලන්තයේ වාහනයකි. ඒ වාහනයේ අංක තහඩුවේ අපේ මානෙල් කැම්පස් කාලේ අැඳපු චීත්ත මෝස්තරයක් සටහන් වී ඇතිය හිතෙන හේතුව නම් මට හිතාගන්නට බැරිම එකකි.



  

ගෙතූ කතාවල හැංගී ඇති තේරුම් පාඩම් හොයන්නට අප පෙළඹෙන නමුත්, ජීවිතය අප වටා ගොතන කතා දෙස ඒම තමයි ඉතින් ජීවිතය කියා අහක බලාගන්නට හිතෙන අය වෙනුවෙන් මේ පුංචි පසු සටහන තබමි. ඒ මේ සටහන අපේ තාත්තාගේ වාහන හැදිල්ල හා පැදිල්ල ගැන හුදු මතක සටහනක්ම නොවන නිසාය. .

ඉතින් ටිකක් ලංවී කියවා බැළුවොත්
(1) ඕනෑම අළුත් වාහනයක්, හරියාකාරව බලා කියා නොගත්තොත් ජරා ජීර්ණ වන බවත්
(2) මාතලී පදවන වෛජ්‍යන්තයේ වුනත් කොහේ හෝ තැනක මර්මස්ථානයක් ඇති බවත් ඒ ගැන දැන කියාගෙන සූදානමින් සිටීම වැදගත් බවත්
(3) කොයියම්ම හස්ති රාජයා වුනත් චූට්ටං යකඩ අැණ කෑල්ලක් දෙදරා ගොස් දණින් වැටිය හැකි බවත්
(4) එවැනි වෙලාවල කළයුතු නොකල යුතු දෑ අනු දැන, ඒ ඒ පැලැස්තර වලට වුවමනා ඒ ඒ වෙළුම් පටි අතේ තියාගැනීම දුර ගමනක් හිතේ කහටක් නැතිව යාමට ඉතා වැදගත් වන බවත්
(5) ඔය සේරටම වඩා, අපේ තාත්තලා සීයලා අත්තලා ගේ කියුම් කෙරුම් දිහා බලා යමක් අවබෝධ කරගන්නට ටක්කෙටම පුළුවන් වෙන්නේ බොහෝවිට අපේත් දණිස් වෙවුලන වයසට ලඟා වෙද්දී බවත්
මෙතෙක් කියවාපු ඔබට පසක් වනවා ඇත.

20 comments:

  1. ඕල්ඩ් ගර්ල් කැන්ටර් එකේ පටවල තියනව දැක්කම හරිම දුකයි!

    ලියවිල්ල ඉතාම අගෙයි රන්සිරිමල්..:)

    ReplyDelete
    Replies
    1. තුති රවි.
      අර කණගාටුව නම් මටත් තදින් දැණුනා එ් පින්තූරය දැක්කාම.
      එයා යන දවසේ මම එතන හිටියේ නෑ.

      Delete
  2. අලුත් පාරෙ ගෙදරක මේ ඊ එන් නම්බරේ නතර කරලා තියෙනවා මට මතකයි. දැන් අහන්න එපා හීනෙන්ද කියලා.
    හිටිගමන් ලොකු අයියාගෙ කතා වලට එහෙම චිත්ත රූප මැවෙනවා.

    ReplyDelete
    Replies
    1. මට මතක තරමින් අළුත් පාරෙ ගෙදරකත් මේ ජාතියෙ වාහනයක් තිබුණා. හරියටම සහතික කරන්න බෑ. අපේ තාත්තා යන නොයන තැන් නැති නිසා, නංගී දැකලා තියෙන්නේ අපේම වාහනේ වෙන්නත් බැරි නෑ ඉතින්.

      Delete
  3. මේ ඊ.එන්. එකසිය අසූහත අන්තිමට ඉතින් කොහාටද අරන් ගියේ.

    යකඩ වුනත් හරියට හදා ගත්තු දරුවෙක් පිට දෙනවා වගේ වේදනාවක් දැනෙන්න ඇති එයා යනකොට ගෙදර හිටපු අයට.

    ReplyDelete
    Replies
    1. එ්ක නං එහෙම තමයි. එච්චර කල් එහා මෙහා නොවී තිබුණෙත් එ් නිසාම තමයි. වාහනේ අයිතිය තිබුණේ අයියාටයි. එයාත් ගියාට පස්සේ එ් පුතාලාත් මෙයා පිට යවන්න හිත හදා ගත්තේ අමාරුවෙන්.

      Delete
  4. අඩේ.... ඇයි අයියේ මෙයාව පිට ඇරියේ... රත්තරං වටින භාණ්ඩයක් නේ...
    නොම්බර වලින් කතා කරන සීන් එක ඒ කාලේ සැරටම තිබිලා වගේ.. අපේ සීයාට තාම ගමේ කියන්නේ 61 මහත්තයා කියලා... CL-61 ලු මයිනර් එකේ නොම්බරේ..

    ReplyDelete
    Replies
    1. සමහර තීරණ අපට නොතේරෙන විදිහට තීරණය වෙනවා.

      අර නොම්මර කතාවට හේතුව අකුරු වලට වඩා ඉලක්කං කියවන එක ලේසි නිසා වෙන්න පුළුවන් නේ ද? එ්ක එ් කාලේ ඉතාම සාමාන්‍ය දෙයක්.

      Delete
  5. අපරාදේ මේ කෙහෙල්මල කියෙව්වේ. දැන් මේ කාර් එක කොහේද තියෙන්නේ හොයා බලන්න.වොක්ෂෝල් වයිවන් නීඇක්සල් මම පුංචිකාලෙත් ඉංගිරියේ හරි ජනප්‍රියයි
















    ReplyDelete
    Replies
    1. හොයන්ඩ හොයන්ඩ.
      කාට හරි ඔය වැඩේ වෙයි කියලා ෆොටෝ දාද්දි මටත් හිතුණා.
      නුවර එළියෙත් මේ මොඩල් එකට ඩිමාන්ඩ් තිබුණා කාලයක්.

      Delete
  6. අතිශය සුන්දර කතාවක්!

    ReplyDelete
  7. කොහෙද එයා දැන්?

    ReplyDelete
  8. ඇත්තට දැ කොහෙද මේ කාර් එක? හදල පේන්ට් එක ගහල ගත්තනං රත්තරං වටිනව.

    ReplyDelete

Blogroll

About