Monday, January 13, 2025

දාසය අවුරුද්දකට පස්සේ....

Share it Please

හැත්තෑ හතේ දී රජවූ මිස්ටර් ධර්මිෂ්ඨර් ගේ ආණ්ඩු කාලයේ ආරම්භය සනිටුහන් වූයේම, අධර්මිෂ්ඨ හැතිකරය සුන්නද්ධූලි කර අතුගා වළලා දමන්නට එක්සත් ජාතික පක්ෂ යාන්ත්‍රණය විසින් සිදු කරනු ලැබූ දවස් හතේ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියකිනි.

එකල ධීවර උප ඇමති වූ, අගුස්තීනු ෆොන්සේකාගේ ආධාර කරුවකු ලෙස, වෙන්නප්පුව ආසනයෙන් හැත්තෑ හතේ ඡන්ද ගණන් කරන්නට පුත්තලං කච්‌චේරි ගිය, අපේ තාත්තා දවසකට පස්සේ ගෙදර ආයේ, දංකොටුව පැත්ත‌ේ කරවල මුදලාලි කෙනෙකුගේ වාහනයෙනි. තාත්තාව අපේ ගෙදර බස්සලා, තේ එකකුත් බීලා, එයා ගෙදර ගියත්, එයාට ජීවත්ව ඉන්නට ආයුෂ තිබුණේ තවත් දවසක් විතර බව මතකය. අද වාගේ පැත්තකට හැරී ඇත්ත කියන හෝ අංකෙකේ රූපවාහිනී නාලිකා, හෝ අසුරු සැනින් අසිරිමත් පුවත් ගෙනෙන අන්තර් ජංජාල පුවත් අඩවි, 'යූබට', මූණූපොත් ආදිය හෝ නොතිබුණු ඒ කාලයේ, තාත්තාගේ පණිවිඩත් අරන්,  විස්තර තොරතුරුත් හොයාන එන්න, අගුස්තීනු ෆොන්සේකලාගේ ගෙදර පැත්තේ ගිය වෙලාවක, එයාගේ බාල පුතා අරුණ කියාපු, "මුදලාලිව මිදුලට ඇදලා අරන් පපුව හරහට නාරාසනයක් බස්සවලා" මරපු කතාවේ වචන තවමත් මට මතකය.

එහෙව් ඉතිහාස ඇති රටක්, බස්වල ත්‍රීවීල් වල තොරොම්බල් සුදු යකඩ ගලවලා ක්ලීන් කරන්නට බැරිය කියා ඒ එක්ස්පීරියන්ස්ඩ් කට්ටිය නොනවත්වාම හඬ නගන්නේ, එයාලාට ලැබුණා නම් ක්ලීන් කරන හැටි එයාලා දන්නා හින්දාය කියාම මගේ හිත කියයි. 

මේ ශුද්ධවන්ත, ශ්‍රද්ධාවන්ත, සුදු සූට් හා සෆාරි සූට් කාරයින්ගේ කියුම් කෙරුම්, සංවාද කර, සටහන්කර තැබීම අපේ යුගයේ අපේ කාර්යය බව, පුන පුනා කිව්වේ, මරදානේ ඩීන්ස් පාරේ, පාතිමා පල්ලිය පිටිපස්සේ තියෙන සමාජයිය හා සාමයික  කේන්ද්‍රයේ සංවිධායකයා වූ තිස්ස බාලසූරිය පියතුමා ය.


ජේ.ආර්. ගේ බෑණා රනිල්ගේ හා සිරිල් මැතිව්ගේ කැළණි විශ්ව විද්‍යාල බල ස්ථාපන අභිප්‍රාය ඉහවහා ගිය, හැත්තෑ අටේ, කැළණි කැම්පස් කැන්ටිමේ තේ බොන්නට ඇවිත් අපේ රටේ ජාතික වීරයෙක් වූ ක්‍රිස්ටෝපර් ගේ මළගම දවස්වල, කොළඹ විශ්ව විද්‍යාලයට හා සෞන්දර්ය අධ්‍යාපන ආයතනයට පහර දීම් පිළිබඳව, ෆාදර් තිස්ස සංවිධානය කල සාකච්ඡාවට ප්‍රධාන ආරාධිතයෙක් වූයේ, මට දැනට නම අමතක, එවකට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක තනතුරක් හෙබවූ, වයස්ගත පුද්ගලයෙකි. එකා පසුපස එකා සිදුවීම් ඇසින් දුටු අප, දුටු දේ ගැන විස්තර පවසද්දී, මේ මහළු මහතා, හිස දෙපසට වනමින්, " නෝ.... නෝ.... යුනයිටඩ් නැෂනල් පාටි ඩස් නොට් ඩූ සච් ඇක්ෂන්... ඉට් ඉස් අ ඩිමොක්‍රටික් ඕර්ගනයිසේශන්...." ආදි වශයෙන් මුමුණමින් සිටියේ ය.

ජේ. ආර්. ඇරඹූ ඒ ධර්මිෂ්ඨ සමාජ සංස්කෘතිය විසින් වෙලාගනු ලැබූ මගේ රටේ එදා මෙදාතුර දේශපාලනයය කියා සිදුවූ යමක් ඇද්ද, ඒ සියල්ල පිටුපස, එදා දියත් වූ, ඒ සමාජ ක්‍රමයේ හෙවනැල්ල අඩු වැඩි වශයෙන් පතිත වී තිබේ. 2024 සිදුවූ දේශපාලනික බල පරිවර්තනය, අප විසින් රැකගනු ලැබිය යුත්තේත්, එය ස්ථාවර සමාජමය, සංස්කෘතිමය වෙනසක් දක්වා වර්ධනය කරගත යුත්තේත්, මේ ඉතිහාස කතා අපේ සිත් සතන් තුල තවමත් රැඳී තිබෙන නිසාමය. සබැඳියාවක් නැති, හුදකලා සිදුවීමක් ලෙස කෙනෙකුට අර්ථ දක්වන්නට හැකියාවක් තිබුණ ද, මගේ ජීවිත කාලය තුල මා ඇසූ දුටු, අත්විඳි බොහෝ දේ පෙළ ගස්වා සිතන කල, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මේ දේශපාලන මානසිකත්වයේ හා සංස්කෘතියේම විකාශනයක් ලෙස මම දකිමි. ඒ ඉතින්, එවකට රජකල රාජපක්ෂ රෙජීමයේ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ වපසරියයි.

ඉතින්, මේ ඉතිහාසය ගැන එදා සිට සටහන් තැබූවන් හා අදටත් මේ සටහන් තබන්නන් අතර ඉදිරියෙන්ම සිටින, නන්දන වීරරත්නයන්ගේ මේ කථිකා සටහන, ලසන්ත ඝාතනයට වසර දාසයක් පිරෙන දවසේ මෙතැන අවුණමි.



සබැඳි:



No comments:

Post a Comment

Blogroll

About