අද නවසිය අසූතුනේ දී බුරා ඇවිළුණු යුද්ධ යේ අවසානය සටහන් වූ 2009 න් වසර දාසයකට මෙපිට රණවිරු සමරුව සැමරෙන දවසයි.
ඒ එසේ නමුත්, 2025 මැයි මාසේ දහනවවෙනිදා වන අද, මින් වසර පණහකට පෙර, මම කොළඹ සරසවියේ ගේට්ටුවෙන් ඇතුළු වූ දවස ද වෙයි. ඒ කොළඹ සරසවි විද්‍යා පීඨයටය. තවත් එකසිය ගණනක් වූ කොළු කෙල්ලන් සමූහයක් සමගය.
එදා මෙදා තුර මිත්‍රත්වයෙන් බැඳුණු අපෙන් සෑහෙන පිරිසක්, මා දන්නා ගණන් හිලව් අනුව නම් අසූවක් පමණ, මේ පණහක් පැරණි අපේ සරසවි අභිෂේකය සමරන්නට, ලබන සතියේ හමුවන්නට සැලසුම් කරගෙන සිටිමු.
ඉතින් එදා දවස අද වූ දින, එදා මතකය ගැන කලකට පෙර තැබූ සටහනක් මෙලෙස නැවත සටහන් කරන්නට සිතුවෙමි.
විශ්ව විද්‍යාල පිවිසුම්
ලැබ ඇතුලත් වීමේ ලිපි බලාපොරොත්තුව සිටි ඒ කාලයේ පංති මිතුරන් සමග විශ්ව විද්‍යාල
තේරීම් ලේඛනය බලන්නට කොළඹ අධ්‍යාපන දෙපාර්තමේන්තු පරිශ්‍රයට අප ගිය ගමන් මට මතකය.
වෙන්නප්පුවේ ජෝශප් වාස් විදුහලේ (දැන් ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය) සිසුන් වූ අපටත්
උසස්පෙල ලිවීමෙන් පසු එළඹෙන ප්‍රතිඵල නිකුත්වීම හා විශ්ව විද්‍යාල තේරීම් තීරණ
නිකුත්වීම අතර සංක්‍රාන්ති සමයේ සිටි බොහෝ දෙනෙකුට මෙන්ම, ඒ කාලයේ විනෝදය හෝ ආතල්
එක වූයේ, ගමන් වියදම් හොයාගෙන, බසයක නැගී කොළඹ ගොස්, චිත්‍රපටියක් බලා, පුංචි පහේ රස්තියාදුවක යෙදීම ය.
ඒ අතරතුර මීගමුවේ ජර්මන් පංතියකට ගියාත් මතකය. මගේත්
ජෙරම් ඇන්ටනි ගේත් දැන හැඳුනුම්කම් වැඩෙන්නේ එතැනදී ය. පාසලේදී සමාන්තර උසස් පෙළ පංති
දෙකක ඉගෙනුම ලැබූ අප දෙදෙන, එකිනෙකා දැන සිටියද, ලඟ මිතුරු ඇසුරකට වැටෙන්නේ, උසස්පෙලින්
සරසවි වරම් ලැබූ කාණ්ඩයට ගොනු වීමත් සමගය.
ජර්මන්, ප්‍රංශ භාෂා උගෙන විදෙස්ගත වීම හෝ, සංචාරක
කර්මාන්තයට මුක්කුවක් ගැසීමේ යම් විදිහක බලාපොරොත්තුවකුත්, අපේ කාලයේ අපේ පැත්තේ තාරුණ්‍යයේ
සිහිනයක්ව තිබුණේය. ඒක මීගමු වෙරල තීරය දිගේ සංචාරක හෝටල හා සංචාරක නිවාස ඉදිවෙමින්
තිබුණු, රජය සශ්‍රිකවම සංචාරක ව්‍යාපාරය රටේ ආර්ථිකයේ ප්‍රධාන දායක තනතුරක තබා ප්‍රවර්ධනය
කිරීම ඇරඹුනු යුගය ලෙස මගේ මතකයේ තිබේ.
සරසවි තෝරා ගනිද්දී, අපේ එනම් ජෙරම්ගේත් මගේත් මෙන්ම
අපේ බොහෝ දෙනෙකුගේ ප්‍රථම තේරීම වූයේ පේරාදෙණි සරසවියය. ඇත්ත වශයෙන්ම කොළඹ සරසවිය තියෙන්නේ
කොහේ කොතැනක ද කියාවත් පැහැදිලි අවබෝධයක් මට නොතිබුණි. ඒ සම්බන්ධයෙන් නම් කොළඹ කියන්නේත්
කොළඹම මිස, මග තොට දන්නා තැනක් ප්‍රදේශයක් නොවූ අතර, සාපේක්ෂව වෙන්නප්පුව, නයිනාමඩම
පැතිවල නම් සෑම මග තොටකම බයිසිකලයෙන් සැරිසරා තිබූ මට, ඒ බොහෝ තැන්වල හිත මිතුරෝ ද
සිටියහ.
අපේ සිතිවිලි ප්‍රාර්ථනා කුමනාකාර වූවද, අධ්‍යාපන
අමාත්‍යංශයේ අවසාන නිර්දේශය වූයේ කොළඹය. මා සමග කොළඹ යනවායි මා දැන සිටි එකම අනෙකා
වූයේ ජෙරම් ය. ජෝශප් වාස් විදුහලෙන් අප සමග තවත් සිසුවෙක් කොළඹ සරසවියට ඇතුලත් වූවායි
මතකයක් ඇති මුත්, ටික දිනකින් වෙනත් සරසවියකට මාරුවී ගිය ඔහුගේ නම ගම මගේ මතකයේ ඉතිරිව
නැත.
සරසවි තේරීම් ස්ථිර වූ පසුව, නවාතැනක් සොයා ගැනීමේ
ගැටළුවට අපි දෙන්නාටම මුහුණ දීමට සිදුවිය. අපේ අම්මා, එවකට කළුබෝවිල ඉස්පිරිතාලයේ වෛද්‍යවරයකු
වූ ඇගේ අයියාට මට නවතින්නට සුදුසු තැනක් සොයා දීමේ කොන්ත්‍රාත්තුව භාර දුන්නී ය. ඒ
කතාබහ කෙළවර වූයේ මාමා මට ඔවුන්ගේ නිවසේ නවාතැන් දීමෙනි. මට වෙන්වූ කාමරය පිටතට දොරක්
තිබූ, නිදහසේ ආගිය හැකි කාමරයක් වූ අතර, වැදගත්ම අංගය වූයේ, නවාතැන් ගාස්තුවක් නොතිබීම
ය. මගේ සරසවි සිසු වසර හතරේම මගේ නවාතැන වූයේ මාමාගේ නිවසය.
ජෙරම්, පුවත්පත් දැන්වීම් හරහා කොළඹ බොරැල්ලේ නවාතැනක්
සොයගත්තේය. එය බොරැල්ලේ වැඩිහිටි යුවලකගේ ගෙදරක කාමරයකි. ඉතින් අපි කොළඹ ආවෙමු.
පළමු දවස:
මාමාගේ වැඩිමල් පුත් ට්‍රැවිස්, එවකට කොළඹ රාජකීය
විද්‍යාලයේ සිසුවකු වූ අතර, මට විශ්ව විද්‍යාලය පෙන්වීමේ වගකීම පැවරුණේ ඔහුටය. කළුබෝවිල
බර්නාඩ බොතේජු ආයතනය අසලින් බසයක නැගුණු අප, තර්ස්ටන් පාරේ විශ්ව විද්‍යාලය ඉදිරිපිටින්
බසයෙන් බැසි වහාම, අප දෙදෙනාම ජේෂ්ඨයින් දෙදෙනෙකුගේ ග්‍රහණයට හසුවිය. ඔවුන්ගේ මුහුණු
තවමත් මතක මුත් නම් ගම් නම් මතකයට නොඑයි.
තමුන් රාජකීය සිසුවෙක් බව ඒත්තු ගැන්වීමෙන් පසුව ට්‍රැවිස්
නිදහස්වී ගිය අතර, බෙල්ලේ එල්ලාගත් සපත්තු කූට්ටමත් සමග තර්ස්ටන් කැන්ටිමේ මේසයක් මතට
නැංගවුනු මට සිංදුවක් කියන්නැයි අණ ලැබිණි. කිසිදු ගායන හැකියාවක් නොතිබුණු මම, මා
වැනි බිලින්දා හෝ එවැනි ළමා ගීතයක් ගැයුවේයැයි මතකය. මා සිගරට් බී තිබේදැයි ප්‍රශ්නයක්
ආවේය. මම නැතැයි කීවෙමි. ඒ නිසාම මට පත්තුකල ෆෝඒස් සිගරට්ටුවක් ලැබුණේය. එය සතුටින්
භාර ගත්තෙමි.
මිනිත්තු කිහිපයක මෙවැනි නීරස ක්‍රියාවන්ගෙන් පසුව,
පීඨාධිපති කාර්යාලයේ ලියාපදිංචිය සඳහා මා තර්ස්ටන් පාර පැන සරසවියේ ප්‍රධාන ගොඩනැගිලි
වෙත රැගෙන යන ලදී. ගේට්ටුවෙන් ඇතුළු වූ වහාම වාගේ හමුවන සල්ගහ මුලදී, සපත්තු යුගලය
බෙල්ලේ එල්ලාන සරසවි ආ මා ගැන හෘදයාංගමව සානුකම්පිත වූ තවත් ජේෂ්ඨයෙක්, වහාම මාගේ සපත්තු
නැවත පැළඳගන්නටත්, කමිසය නිසි පරිදි සකස් කරගන්නටත් උදව් කළේය. පසුකලෙක ඔහුත් එදා නවකයින්
නිරුපද්‍රිතව බලා කියාගත් සියල්ලෝමත්, ා ශිෂ්‍ය සංගම් නිලවරණ සඳහා සූදානම් වූවන් ලෙස
අපට හඳුනාගන්නට හැකි වූ බව මතකය.
අනතුරුව එලඹියේ, පීඨාධිපති කාර්යාලය ඉදිරිපිට පෝලිම්
ගැසී බලා සිටීමේ කාලයයි. මා අසල සිටි අයගේ මුහුණු එකින් එක මා බලා සිටි අයුරු මට මතකය.
බොහෝ සිසුවියෝ හඬන්නට ආසන්නව බලා සිටි අතර, දෙතුන් වරක් කඩින් කඩ නැගුණු හූ හඬත්, අවට
රැස්ව සිටි ජේෂ්ඨයින්ගේ ඝෝෂාවත් අතර අප රැඳී සිටි කොරිඩෝවත් ටිකින් ටික ඝෝෂාකාරී වෙන්නට
පටන් ගත්තේය.
මෙයින් ප්‍රකෝප ව සිය කාමරයෙන් හිස පිටතට දමා අපට
දෝෂාරෝපණය කල කමල් ඩීන් ගේ මුහුණ අප දැක්කේ එවිටය.
පීඨාධිපති කාර්යාලයේ ප්‍රධාන ලේකම් වරයා වූ ඔහු, එදා
ලියාපදිංචියේ කාර්යයන් කළ අතර, අප බොහෝ දෙනෙකු පීඨාධිපති (ඩීන්) ඔහුයැයි එදා රැවටුනු
බව වටහාගත් දා සිට ඔහුගේ නම කමල් ඩීන් විය.
ලියා පදිංචියෙන් පසු, අප සියළු දෙනාම, නැවත පෝලිම්ගස්වා,
පොත් ෆයිල් කවර හිස මත තබ්බවා, තර්ස්ටන් කැන්ටිම වෙත, උහත්සවාකාරයෙන් හූ හඬ මධ්‍යයේ
කැඳවාගෙන එනු ලැබීය. මගේ මතකයේ හොඳින්ම සටහන්ව ඇත්තේ මට ඉදිරියෙන් ගිය, ක්ලාන්ත වෙන්නට
ආසන්නව සිටි කෙල්ලකගේ රූපයය. කඳුළු මතුවුනු දෑසින් බියෙන් ගැහි ගැහී ගමන් කල ඇගේ මුහුණේ
ඡායාව තවමත් මතක ඇතත්, ඒ කවුරුන්දැයි හරි හැටි අනුමාන කර ගැනීම නම් උගහටය.
තර්ස්ටන් කැන්ටිමේ දී, මේස වටා ඇවිදීම, දිවීම වැනි
ක්‍රියාවන් දෙක තුනක් මිස, ඒ පොදු නවක වදයේ විස්තරාත්මක විස්තරයක් මට මතක නැත. එහෙත්
එය සාමාන්‍ය සදාචාර සීමාවන් කිසිසේත්ම නොඉක්මවූ බව නම් ලියා තැබිය යුතුය.
මේ සියල්ල අවසන, බස් නැවතුමේ දී මගේ පාසල් පංති සගයෙකුගේ
අයියා වූ මැකෝලි මුණ ගැසීම, යම් ආකාර සැහැල්ලුවක් ගෙන දුනි. උපාධිධාරී ගුරුවරයෙක් වූ
ඔහු, වැඩිදුර හැදෑරීම් සඳහා පාඨමාලාවන් කිහිපයකට ලියාපදිංචි වීමට පැමිණ සිටියේය. අප
දෙදෙනා කථාබහ කරමින් සිටින අතරතුර, ඔහු දැන හඳුනන තවත් තරුණියක් එතැනට පැමිණි අතර,
ඈ පැමිණ සිටියේ එදා විද්‍යා පීඨයට ඇතුළු වූ ඇගේ නැගණිය කැටුව යන්නටය.
එදා මගේ සරසවි දිවියේ පළමුදා මට මතක අවසාන සිදුවීම,
මැකෝලි ගේ මිතුරිය ගේ නැගණිය, ප්‍රියංගනී කාරියවසම්, බසයකට ගොඩවෙන ගමන් හැරී “යන්නම්”
කියා කිව් මොහොතය.
මතක හැටියට ඒ ඇස්වාට්ටුව පැත්තට ගිය 138 කි.
ස්ථානයේ හා අවස්තාවේ හැටියට රස, නීරස හෝ ජුගුප්සාජනක අත්දැකීම්
ReplyDeleteඔව්නෙ.. ඔව්නෙ... කියෙව්වට ලිව්වට තුති.
Deleteමං මුලින් ම කොළඹ ආවේ වෙසක් බලන්න. මගේ නැන්දාගේ සැමියා, වෙද මාමා, කොළඹ වැඩ කළේ. එදා අපි පවුල ඒ ගෙදර (මං හිතන්නේ දෙමටගොඩ) ඉඳලා තොරණ් සේවය බස් එකේ ගියා මතකයි.
ReplyDeleteමතකද ටෝක් කෑල්ලක් තිබුණා...
Delete"ඒ.....කෙළෙඹනෙ...කොළඹ කොච්චර ඈතද...?'
This comment has been removed by the author.
ReplyDelete