Monday, February 12, 2024

ඔපරේෂන් ස්මයිලින් බුද්ධා

Share it Please


පොක්රාන් 1 න්‍යෂ්ඨික පිපිරුමෙන් සැදුනු ආවාටය 


නවසිය හැත්තෑ හතරේ වෙසක් මස දහ අටවෙනිදා උදේ, එවකට ඉන්දියාවේ අගමැතිනිය වූ ද,  නවසිය හතලිස් හතේ දී, නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති වූ ජවහර්ලාල් ශ්‍රී  නේරු ගේ එකම දියණිය වූද ඉන්දිරා ගාන්ධි වෙත "The Buddha is smiling" ('බුද්ධා සිනාසෙයි') යනුවෙන් සඳහන් වූ කේතික රහස් පණිවිඩයක් ලැබුණි.  

පණිවිඩය ලැබුණේ  නවදිල්ලියට සැතපුම් තුන්සියයක් පමණ ඈත, ඉන්දියා පකිස්තාන් දේශ සීමා ආසන්නයේ තාර් කතර සීමාවේ පිහිටුවා තිබු  පොක්රාන් යුධ හමුදා කඳවුරෙහි ඉදිකෙරුනු  න්‍යෂ්ඨික පිරික්සුම් ‌ස්ථානයකිනි. පණිවිඩ කරුවා, එවකට බාබා පරමාණු පර්යේෂණ මධ්‍යස්ථානයේ ප්‍රධානියා වූ ආචාර්ය රාජා රාමන්නා ය.

මේ පණිවිඩයේ අන්තර්ගතය වූයේ එතෙක් රහසිගත වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වූ ප්‍රථම ඉන්දීය න්‍යෂ්ඨික මෙවලම අත්හදා බැලීම සාර්ථක වූ බවය. නිල වශයෙන් පොක්රාන් 1 ලෙසින් හැඳින්වුවද, මේ වැඩසටහනේ රහස් නාමය ‘සිනාසෙන බුද්ධා‘ (Smiling Buddha) වූ බව රහසක් නොවේ.

මේ පළමු අත්හදා බැලීම, සාමකාමී න්‍යෂ්ඨික පිපිරවීමක් ලෙස හැඳින්වුන අතර, එය බාබා පරමාණු පර්යේෂණ මධ්‍යස්ථානයේ ආරම්භකයා වූ ද, ඉන්දියානු ‘ඔපෙන්හයිමර්‘ යැයි විරුදාවලියෙන් ද හඳුන්වන්නා වූද, ඉන්දීය භෞතික විද්‍යාඥ ආචාර්ය හොමි බාබා, ඉන්දියාව නිදහස ලබන්නටත් පෙර නවසිය හතලිස් තුනේ දී, පරමාණු බල පර්යේෂණායතනයක් ලෙස ටාටා මූලික පර්යේෂණායතනය (Tata Institute of fundamental Research (TIFR)) අරඹා, නිදහසෙන් පසු,  ජවහර්ලාල් නේරු හා එක්ව ඉන්දීය පරමාණු බලශක්ති පනතත්, පරමාණු බලශක්ති කොමිසමත් හරහා අත්පොත් තැබූ ඉන්දීය න්‍යෂ්ඨික බලශක්ති වැඩ සටහනේ එක්තරා හැරවුම් ලකුණක් සටහන් කරයි.

එවකට මදුරාසිය වූ චෙන්නායි හි දී, පැවති මාධ්‍ය සාකච්චාවක දී අගමැති ශ්‍රී නේරු, මෙසේ පවසා තිබේ.

 “අපි න්‍යෂ්ඨික ශක්තිය, සමාජයීය සුබසෙත සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වෙමු. න්‍යෂ්ඨික ප්‍රභවයන් හි අති විශාල ශක්තියක් අඩංගු වන අතර, දැවැන්ත ජල විදුලි ව්‍යාපෘතින් ඉදිකරනවාට වඩා ලාභදායී මෙන්ම, සුලභද වූ ශක්ති ප්‍රභවයක් විය හැකි  මේ ශක්තිය අප ජලවිදුලිය භාවිතා කරන්නාක් මෙන් යොදාගත හැකි නම්, එය මිනිස් වර්ගයාට මහත් වූ සෙතක් විය හැකිය.  න්‍යෂ්ඨික බලශක්තිය ප්‍රවර්ධනය පිළිබඳ අපේ උනන්දුව එයින් අත්කරගත හැකි මේ සමාජ සුභ සිද්ධිය මූලික කොට ගෙනය“

නවසිය පනස් එකේ දී, බිහාර් ප්‍රාන්තයේ ජඩුගුඩා යුරේනියම් නිධිය සොයාගනු ලැබූ අතර, අද වන විට, සීමාසහිත යුරේනියම් කෝපරේෂන් ඔෆ් ඉන්ඩියා, යුරේනියම් ආකර හයක් හා පසු සැකසුම් කම්හල් දෙකක් පවත්වාගෙන , දෙදහස් විසි දෙකේ දත්තයන්ට අනුව ඉන්දීය යුරේනියම් නිශ්පාදනය වසරකට ටොන් 600කි. ඒ අනුව ලොව යුරේනියම් නිපදවන රටවල් අතර ඉන්දියාව නවවැනි තැන සිටී.

නවසිය පනස් හතරේ දී, ට්‍රොම්බේ පරමාණුක බලශක්ති පර්යේෂණ මධ්‍යස්ථානය (Atomic Energy Establishment of Trombay (AEET)) ඉදි කිරීම ඇරඹුනු අතර, නවසිය පනස් හතේ ජනවාරියේ එය නිල වශයෙන් විවෘත විය.

නවසිය හැටහයේ ජනවාරි 24 දා, ජිනීවා ගුවන් තොටුපලට ලඟාවෙමින් තිබූ එයා ඉන්ඩියා 101 පියාසැරියේ බොයින්ග් 707 ගුවන්යානයට, ඇල්ප්ස් කඳු වැටියේ මොන්ට් බ්ලාන්ක් කඳු මුදුන පසුකල පසු, අවරෝහණ ක්‍රියාවලිය අරඹන ලෙස ගුවන් පාලක මැදිරියෙන් උපදෙස් ලැබුණි. පසු පරීක්ෂණ වලදී සටහන්ව ඇති අයුරින් නම්, ගුවන් යානයේ දර්ශක වල දෝෂයක් හේතුවෙන්, තමන් කඳු මුදුන පසු කලා යැයි සැලකූ ගුවන් නියමුවා, යානය පහත් කල අතර, එදා ඇල්ප්ස් කඳු වැටියේ ගැටී විනාශ වූ යානය තුල සිටි එක් මගියකු වූයේ ආචාර්ය හොමි බාබා ය. මේ අනතුර සී.අයි.ඒ. කුමන්ත්‍රණයක් සේ සලකන පිරිස් ද සිටින නමුත්, එය ඉන්දීය න්‍යෂ්ඨික බලශක්ති වැඩ සටහන අකර්මණ්‍ය කරන්නට නම් සමත් වූයේ නැත. සිදුවූ ප්‍රධාන වෙනස, ට්‍රොම්බේ පරමාණුක බලශක්ති පර්යේෂණ මධ්‍යස්ථානය, බාබා පරමාණු පර්යේෂණ මධ්‍යස්ථානය වීමත්, හොමි බාබා ගේ දෙවැන්නා ලෙස කටයුතු කල ආචාර්ය රාජා රාමන්නා සුක්කානම අතට ගැනීමත් පමණි.

ඒ වන විටත්, බාබා පර්යේෂණ මධ්‍යස්ථානය තුල, න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරක තුනක් හා න්‍යෂ්ඨික ඉන්ධන එකලස් කිරීමේ මෙන්ම, නැවත සකස්කිරීමේ ක්‍රියාවලින් ද සක්‍රියව තිබුණි.

1955/56 - අප්සරා පර්යේෂණ ප්‍රතික්‍රියාකාරකය - [1MWth, light-water cooled and moderated swimming pool-type research reactor, using low-enriched uranium, plate-type fuel, fuel supplied by British.] මෙය සෝවියට් දේශයෙන් පිටත පිහිටවූ ආසියාවේ ප්‍රථම ක්‍රියාකාරි න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරකයයි. ජපානයේ ප්‍රථම ප්‍රතික්‍රියාකාරකය ඇරඹෙන්නේ අප්සරා ක්‍රියාත්මක වී දින කිහිපයකට පසුවය. 2010 දී  අක්‍රිය කරනු ලැබූ මෙයට  ‘අප්සරා‘ යැයි නම් කෙරුණේ, ප්‍රතික්‍රියාකාරකය ගිල්වා ඇති ජල තටාකයේ දිදුලන නීලවර්ණ ආලෝකය (cherenkov radiation) දිව්‍යමය අප්සරාවන් සිහිපත් කරන්නේ යැයි ශ්‍රී නේරු කියූ බැවින් යැයි සඳහන් වෙයි.

1961 - ශර්ලිනා ශුන්‍ය ශක්ති ප්‍රතික්‍රියාකාරක ඇසුරුම - [100 W nominal, heavy water cooled and heavy water moderated, zero energy vertical tank type/thermal nuclear pile, natural uranium metal in rod elements, equipped with cadmium shutoff rods] 1983 දී අක්‍රිය කෙරුනු මෙම ප්‍රතික්‍රියාකාරකය, ප්‍රතික්‍රියාකාරක ඉන්ධන ඇසුරුම් හා ඒ හා සබැඳි දත්ත ගණනය කිරීම් සඳහා යොදා ගැණිනි.

1955/1960 - කැනඩා ඉන්දියා පර්යේෂණ ප්‍රතික්‍රියාකාරකය යූ. එස්. (CIRUS) - [40 MW(max), heavy water moderated and light water cooled, vertical tank type/thermal reactor, natural uranium fuel, supplied by Canada and US] කැනේඩියානු රජය හා ඇතිකරගත් ගිවිසුමක් මත ඉදිකෙරුනු මේ ප්‍රතික්‍රියාකාරකය සඳහා බැර ජලය සැපයුම ඇමරිකා එක්සත් ජනපදයෙන් ලැබුණු බැවින්, මුලින් Canada India Reactor (CIR) ලෙස නම් වූ මෙහි අගට US කොටසත් එක්වී, CIRUS බවට පත්වූයේයි සඳහන්ය.

මේ ප්‍රතික්‍රියාකාරක අතරින්, කැනඩාවේ අනුග්‍රහයෙන් ස්ථාපනය කරන ලද CIRUS ප්‍රතික්‍රියාකාරකය, න්‍යෂ්ඨික මෙවලමක් සඳහා ප්ලූටෝනියම් නිපදවන්නට යොදා ගැනෙන බව නිරීක්ෂකයින් විසින් සඳහන් කෙරුනු නමුදු, ප්ලූටෝනියම් නිපදවීමත්, එයිටත් වඩා න්‍යෂ්ඨික මෙවලමක් හෝ පිපිරවීමක් කිරීමත් යුධමය කාර්යයක් ලෙස සැලකිය නොහැකි බවට විවිධ තර්ක ඉදිරිපත් කල හැකි වූ අතර, ඉන්දියාව, මේ නවීන බලශක්ති ප්‍රභවය අධ්‍යයනය කිරීමට හා එය තම ජනතාවගේ සුභ සිද්ධිය සඳහා යොදාගැනීමට තමන්ට ඇති අයිතිය හුවා දක්වමින්, අන්තර්ජාතික න්‍යෂ්ඨික බලය ප්‍රගුණනය නොකිරීමේ සම්මුතිය (Nuclear Non-Proliferation Treaty (NPT)) ට අත්සන් කිරීමෙන් වැලකී සිටියේය. මේ සම්මුතිය ඇමරිකාව, සෝවියට් දේශය  හා එක්සත් රාජධානිය න්‍යෂ්ඨික අවි දේශයන් ලෙස පිළිගත් අතර, එකඟවූ අනෙක් රටවල් න්‍යෂ්ඨික අවි නිපදවීමෙන් වැළකී සිටීමට පොරොන්දු වූහ. ඉන්දියාවේ තර්කය වූයේ මේ සම්මුතිය, න්‍යෂ්ඨික බලය යුධමය කටයුතු හා සමාජයීය කටයුතු වලට යොදාගැනීමේ වෙනස පැහැදිලිව සඳහන් නොකරන බවයි.

CIRUS ප්‍රතික්‍රියාකාරකය

එසේ නමුත්, හිරෝෂිමා නාගසාකි පරමාණුක ව්‍යසනයන්ගෙන් අවසන් වූ දෙවන ලෝක සංග්‍රාමයේ හෙවනැල්ල කළු වලාවක් සේ පැතිර තිබූ හා න්‍යෂ්ඨික බලවතුන් අතර සීතල යුද්ධය ලියලමින් තිබූ නවසිය හැට ගණන්වල, න්‍යෂ්ඨික බලශක්තිය සාමකාමීව යොදාගැනීමේ අරමුණින් කෙරුණු පර්යේෂණ හා න්‍යෂ්ඨික මෙවලම් අත්හදා බැලීම් ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛව සිදුවෙමින් තිබුණි. බටහිර හා සෝවියට් දේශය අතර සීතල යුද්ධය උණුසුම් වෙමින් පැවති මේ කාලයේ, මේ පිපිරවීම් වලට හේතුව සාමකාමී අරමුණු සඳහා න්‍යෂ්ඨික බලය යොදාගත හැකි ක්‍රම සොයා බැලීම පමණක්ම වීමට හේතුවක් නැත.

නවසිය හැත්තෑ එකේ දී, බටහිර රටවල් තව දුරටත් උරන කරමින්, ඉන්දියාව සෝවියට් දේශය සමග මිත්‍රත්ව ගිවිසුමකට එළඹියේය. 1971 අවසානයේ බංග්ලාදේශය පාකිස්ථානයෙන් වෙන්වීමේ යුද්ධයේ දී, ඉන්දියාව බංග්ලාදේශයට සහයෝගය දුන් අතර, චීනය හා ඇමරිකාව පාකිස්ථානය හා සිටියහ. බංග්ලාදේශය නිදහස් රටක් වී, ඉන්දීය ජයග්‍රහණයකින් අවසන් වූ මේ ගැටුම ඉන්දියාව බටහිරින් තව දුරටත් කොන්වීමට හේතුවක් වූයේය.

නවසිය හැත්තෑ දෙකේ සැප්තැම්බරයේ දී, න්‍යෂ්ඨික මෙවලමක් අත්හදා බැලීමට ඉන්දිරා ගාන්ධිගේ අනුමැතිය ලැබෙන්නේ මෙවැනි පසුබිමක ය. එය බොහෝ දුරට, ලෝක බලවතුන් අතර ඉන්දීය සලකුණ තහවරු කිරීමේ උවමනාව විසින්  මෙහෙයවනු ලැබීයැයි සිතන්නට සාධක තිබේ. එසමයෙහි, මේ සම්බන්ධයෙන්  විද්‍යාඥයින් ගේ අදහස් පිළිබඳව රාජා රාමන්නා මෙසේ සඳහන් කොට තිබේ. 

“ ‘බෝම්බය‘ නොසෑදිය යුත්තේ ද යන්න කිසි දිනක අප සාකච්ඡා කලේ නැත. එය කරන්නේ කෙසේද යන්න වඩා වැදගත් විය. එය අපේ ගෞරවය හා අපේ ඉතිහාසයට සාධාරණය ඉටු කරන්නා වූවක් ලෙස අපි දුටුවෙමු.  මේ බලය පාලනය කිරීමේ ගැටළුවට අප යොමුවුනේ ඉන් කලකට පසුවය. එමෙන්ම, ඉන්දියානු විද්‍යාඥයින් ලෙස, ඒ සමයේ අප සුළුකොට තැකූ අපේ බටහිර සගයින්ට, අපටත් මෙය කළ හැකි බව පෙන්වීමේ අවශ්‍යතාවය ද තිබුණි“

හැත්තෑ හතරේ පිපිරවුණු පොක්රාන් 1 පටන්ගත් ඉන්දියානු න්‍යෂ්ඨික පිපිරවීම්, නවසිය අනූ ගණන් වලදී නැවත ඉදිරියට පැමිණියේය. මේ අතරතුර කාලය තුල ඉන්දියානු න්‍යෂ්ඨික වැඩ පිළිවෙල, න්‍යෂ්ඨික අවි හා ඒ සඳහා මිසයිල සැලසුම් කිරීම හා නිපදවීම ඉදිරියට ගෙන ගියේය. ඉන්දියානු ප්‍රිතිවි හා අග්නි මිසයිල, න්‍යෂ්ඨික අවි වලින් සන්නද්ධිතය.

ඉන්දියානු සක්‍රිය න්‍යෂ්ඨික අත්හදා බැලීමක් නැවත සිදුවන්නේ 1998 පොක්රාන් II, නැතහොත් ‘ඔපරේෂන් ශක්ති‘ තුලිනි. නවසිය අනුහතේ එක්සත් ජාතීන්ගේ සමුළුවේදී, එවකට ඉන්දීය අගමැති,  ඉන්ද්‍ර කුමාර් ගුජ්රාල් ඇමරිකන් ජනපති ක්ලින්ටන් අමතා, පැවසූවක් එවකට ඉන්දියාව න්‍යෂ්ඨික බල ශක්තිය හා අවි පිළිබඳව දැක්වූ ආකල්පය පැහැදිලි කරයි. 

“මම ජනාධිපති ක්ලින්ටන්ට පැවසුවා, මගේ තෙවෙනි ඇසට, ආරක්ෂක මණ්ඩල කාර්යාලයේ දොර මත ‘ඇතුළුවීම ආර්ථික බලවතුන් හා න්‍යෂ්ඨික අවි දරන්නන්ට පමණකි‘ යි සඳහන් පුංචි දැන්වීමක් පෙනෙනවා කියා. ඒ වගේම, ආර්ථික ධනවතකු වීම ඉතාමත් අසීරු බව....‘

නවසිය අනූ අටේ න්‍යෂ්ඨික අවි පිපිරුම සංවිධානය වන්නේ ආචාර් අබ්දුල් කාලාම් සහ ආචාර්ය රාජගෝපාල් චිදම්බරම් ගේ නායකත්වය යටතේය. මෙම පිපිරවීමට න්‍යෂ්ඨික මෙවලම් හයක් අඩංගු වී තිබිණි. ඒවා මීටර 150 සිට 200 පමණ ගැඹුරු පතල් ලිං (shafts) පතුලත රඳවා වසා පුපුරවන ලදී. එක් එක් පතල් ලිඳට අනුරූප නම් ද ලබාදී තිබුණි.

THE SHAKTI TEST DEVICES

SHAKTI 1 - Two stage thermonuclear device with fusion boosted primary intended for missile warhead; test design yield 45 kt, with a 200 kt deployed yield
SHAFT CODE - White House

SHAKTI II - Lightweight pure fission tactical bomb/missile warhead, 12 kt design yield
  SHAFT CODE - Taj Mahal

SHAKTI III - Fission experimental device, reportedly made with reactor-grade plutonium. Probably a fusion boosted design without the fusion fuel, 0.3 kt design yield.
  SHAFT CODE - Kumbhkaran

SHAKTI IV - 0.5 kt experimental device
  SHAFT CODE - NT1

SHAKTI V - 0.2 kt experimental device
  SHAFT CODE - NT2

SHAKTI VI - Not fired.
 SHAFT CODE - NT3


1998 මැයි එකොලොස් වෙනි සඳුදා මේ දෙවන පොක්රාන් පිපිරවීම ගැන නිකුත්වූ ප්‍රථම නිවේදනය මෙසේ විය.

“On Monday, 11 May 1998, at 10:13:44.2 UCT (+/-0.32 sec; 6:13:44.2 a.m. EDT; 3:43:44.2 p.m. local) as measured by international seismic monitors, India declared itself a full fledged nuclear armed state. This was accomplished by the detonation of a thermonuclear weapon design, one of three nuclear devices with kiloton-range yields detonated simultaneously under the surface of the Thar desert of Rajasthan near the Indo-Pakistani border.“ 

එයින් ටික වේලාවකට පසු ඉන්දියානු අගමැති අටල් බෙහාරි වජ්පේයී කඩිනමින් කැඳවූ මාධ්‍ය සමුළුවක් අමතා:

“මට දැනුම් දීමක් කරන්නට තිබෙනවා. අද හවස 3:45ට, ඉන්දියාව රාජස්තාන් ප්‍රාන්තයේ පොක්රාන් පරිශ්‍රයේදී බිම්ගත න්‍යෂ්ඨික පරීක්ෂණ තුනක් සිදුකලා. මේවා 1974 මැයි මාසයේදී කරන ලද පරීක්ෂණ මෙන්ම, සීමාකරන ලද (contained) පිපිරුම්ය“



අගමැති ප්‍රධාන ලේකම්, බ්රාජෙස් මිෂ්රා, “මේ පිපිරවීම් මගින් ඉන්දියාව තම න්‍යෂ්ඨික යුද අවි හැකියාව තහවරු කර ඇතැ“ යි පැවසූ අතර, දින දෙකකට පසු මැයි 13 දා අවසාන න්‍යෂ්ඨික මෙවලම් යුගලය ද පිපිරවීමෙන් පසු, මේ පරීක්ෂණ මාලාව සම්පූර්ණ යැයි නිවේදනය කෙරිණි.

මෙම ඓතිහාසික දිනය පිළිබඳව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත් පත 2018 දී පලකල පුවතක සිරස්තලය මෙසේ කියයි.




2023 වනවිට ඉන්දියාව සතුව ඇති, විදුලි ජනනය සඳහා යොදා ගනු ලබන, ක්‍රියාත්මක න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරක ගණන විසි දෙකකි. දැනට ඉදිකෙරෙමින් පවතින ප්‍රතික්‍රියාකාරක ගණන අටකි. න්‍යෂ්ඨික විදුලි ජනනය මුළු විදුලි ඉල්ලුමෙන් 3% පමණ වේයැයි සැලකේ. ඉන්දියාවේ ඉලක්කය 2047 වනවිට මෙම ප්‍රතිශතය 9% ක් දක්වා ඉහල නංවා ගැනීමටය.










ඇසුරු කල ලිපි සබැඳි:
https://digitalcollections.wesleyan.edu/_flysystem/fedora/2023-03/24099-Original%20File.pdf

https://centaur.reading.ac.uk/92843/3/21Sep2020npr_npt_ratification_paper_revision.pdf

https://www.nci.org/06nci/04/CIRUS%20Reactors%20Role%20in%20a%20US-India%20Nuclear.htm

https://www.ccnr.org/sunset1.html

https://ahf.nuclearmuseum.org/ahf/history/indian-nuclear-program/

https://nuclearweaponarchive.org/index.html



2 comments:

  1. බොහොම ස්තූතියි මේ වගේ හර බර ලිපියක්, ගොඩක් ලිපි ආශ්‍රය කරලා ලිව්වට.

    ඉන්දියාවේ මෙච්චර න්‍යෂ්ටික ප්‍රතික්‍රියා බලාගාර තියෙනවා කියන්නේ, ඒ වගේ හදිසි අනතුරක් උනොත් ලංකාවටත් බලපාන්න පුලුවන් නේද? ලංකාවේ මේ ගැන කවුරුවත් අධ්‍යනය කරලා නැද්ද දන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. මා දන්නා තරමින්, මේ ගැන අධ්‍යයනය කර අනතුරකදී ගත යුතු ක්‍රියාමාර්ග සැලසුම් කර තිබෙනවා. මේ ගැන මෑතකදී අවධානය යොමුවුනේ අපට සමීපතම තමිල්නාඩුවේ කුන්දන්කුලම් බලාගාරය 2013 දී ක්‍රියාත්මක කල කාලයේ දීයි. මෙතැන ප්‍රතික්‍රියාකාරක දෙකක් දැනට ක්‍රියාත්මකයි. සම්පූර්ණ සැලසුම, ප්‍රතික්‍රියාකාරක අටක් (8400 MWe gross). සම්පූර්ණ වූ පසු එය ඉන්දියාවේ විශාලතම බලාගාරය වෙයි.

      හැබැයි අපට වඩා මේවාට කිට්ටුවෙන්ම ඉන්නා ඉන්දියාවේ ජනගහනය බිලියන 1.4 කට වැඩියි. අපි මිලියන 22 යි. එයාලා අපි වගේ හැටතුන් ගුණයක්.

      Delete

Blogroll

About