Showing posts with label Stories. Show all posts
Showing posts with label Stories. Show all posts

Sunday, December 31, 2017

මල් නොපිපි ගස - 02


මල් නොපිපි ගස-01 ට දිගුව

මෙසේ වසරින් වසර ගෙවී යද්දී, එක් අවුරුද්දක මල් සමය ලඟාවන්නා හාම, උතුරු සුළඟ දක්ෂිණ දේශයෙහි බුර බුරා නැගුනු ලැව් ගින්නක් සොයා කඩිමුඩියේ ඇදෙන්නට පටන් ගත්තේය. ඉවක් බවක් නැතිව දුවන උතුරු සුළඟේ පාවී ආ අඳුරු පැහැ වලාකුළු එක් රොක්වී කැලතී, මහා වැස්සක් බවට පෙරළුණේය.

දොඹගෙඩි තරමින් පටන් ගෙන වැටුණු වැහි බිංදු ටිකින් ටික ලොකු මහත්වී තරමක දිවුල් ගෙඩි තරමටත් තවත් වේලාවකට පසු ඉදුණු බෙලි ගෙඩි තරමටත් ලොකුවට වැටෙන්නට පටන් ගත්තේය. ඉහල අහසට වී සිටි වළාකුළු වැහි දියෙන් කොතරම් බර වූවා ද යත්, ඒවා ගසේ ඉහල අතු නවාගෙන තෙරපාගෙන පොළවට පාත් වී තිබුණි. වැහි වලාකුළු වල බරින් නැවී ගිය  ඉහලම අතුවල කූඩු සාදාගෙන සිටි ඉහල අහසේ පියාසර කරන රාජාලියෝ ද උකුස්සෝද පහල අතු අතර කඩිමුඩියේ සෑදූ කූඩුවලට සිය පැටවුන් ද, අළුත් බිත්තර ද මාරු කරන්නට වූහ.

දවස් තිස් හතරකුත් පැය දහතුනක් එක දිගට මෙසේ වැස්ස වැටුණේය. අන්තිම දවස් වෙද්දී සමහර වැහි බිංදු ගසේ විශාලම කොලයකටත් වඩා විශාල වී තිබුණි.  ඉහල අතුවල මේරූ දඬු මත වැදී බිඳුණු යෝධ වැහි බිංදුවලින් සී සී කඩව සෑම අතටම විසුරුණු කැබලි ගහේ අතු දිගේ පෙරලි පෙරලී අවුත් පහලම අතුවල ලපටි අගිසි කඩා බිඳ දමන්නට වූ නිසා වැස්ස පටන්ගෙන තිස් එක්වෙනි දවස වෙද්දී පහල අතුවල  කූඩු සාදාගන සිටි බටිති පවුල් වල අම්මලාත්, ගහේ මැද හරියේ තිබුණු වැස්සෙන් හා විසිරෙන ජල බිංදු වලින් මුවා වූ අතුවල කඩිමුඩියේ අළුත් කූඩු අටවමින් සිටියෝය. මේ වනාන්තරයේ මල් පිපෙන කාලය බවත්, වැස්ස නිසා, කිසිම කුරුල්ලකුට අළුත පිපුණු මල් කඩා ගෙනෙන්නට යන්නට නොහැකි වූ බවත් ඔවුන් අතර කසු කුසු ගෑවෙන්නට පටන් ගත්තේ මේ අතර ය. මේ කතා බහ කුරුළු භාෂාවේ ඉතාමත් රහසිගත වෙන කිසිවකුටත් එක්වරම වටහාගත නොහැකි ලා වර්ණ ස්වර වලින් කියවුනත්, හැමදෙයක්ම වාගේ අසා සිටින ගසට මේ කසු කුසුව එහෙන් මෙහෙන් ඇසුණේ ය.

අතු පතර අතර කූඩු සාදාගෙන කීචි බීචි ගාමින් දුව පනින කුරුල්ලන් ගැන ඒ තරම් සැලකිල්ලක් නොදැක්වූ මුත්, හැම වසන්තයකම සිය අතු අගිසි වල එල්ලෙන සුවඳැති නා නා වර්ණ මල් ගැන නිහඬ ආඩම්බරයකින් සිටි ගසට මේ කතාව නිසා දැණුනේ ශෝකයකි. නොකඩවා වට වැස්සෙන් පෙඟුණු බිම තව තවත් තදින් බදාගෙන නොනැවතී හමන උතුරු සුළඟේ කෙනෙහිලි කිති කැවිල්ලට හසුවී කලබල නොවී ඉන්නට තතනන අස්සේම, තමනුත් ගසක් වුව ද, අනෙක් ගහකොල මෙන් මල් ඵල දරන්නට තමනට නොහැකි වූ බව අඳුරු අහස එකළු කල විදුලි රේඛාවක් මෙන් හදිසියේම ගසේ සිතට පිළිපන්නේය. එතෙක් කල් මේ කිසිවක් ගැන ගැඹුරෙන් නොසිතූ මුත්, හැම වසන්තයේම කුරුල්ලන් කරන මේ මල් සැරසිල්ලට යටින්, උන්ගේ සිත්වල තමුන් ගැන උපන් අනුකම්පාවක් තියේය යන්නත්, අද හදිසියේ මේ කරන කතා බහ, පහත් හඬින් හොර රහසේ කෙරෙන්නේ ඇයි ද කියාත් සිත පාරමින් නැගී ආයේය.

මේ සියළු සිතිවිලි අන් කවරදාකවත් නොවිඳි ශෝකාකූල බවකින් ගසේ සිත පිරවීය. සුළඟත් වැස්සත් අතරින් ඉඳහිට රිංගා ආ හිරු කිණිති වලට නම් ඒ ශෝකාකූල ගතිය පිස දමන්නට කොහෙත්ම නොහැකි විය. අතු අගිසි ඔහේ නමා වැටෙන්නට ඉඩදී, ගස නිහඬ කල්පනාවක ගිලී සිටියාය. එහෙත් ඇගේ මුල් මිහිතලය පතුලේ වේදනාවෙන් නලියමින් තිබිණි. ඒවා කෙතරම් පොළව තුලට කිඳාබැස තිබුණේද යත්, ඒවායේ සිහින් ඇඟිලි මහ පොළවේ හදවත වටා එතී තිබුණේය. ඒ මුල් අගිසි වලට මහ පොළවේ හද ගැස්ම නිරන්තරයෙන්ම දැනෙමින් තිබුණු අතර, මිහිතලයට ද සිය හදවත වටා එතී නලියන ගසේ මුල්වල වේදනාව දැනෙන්නට පටන් ගැණුනේය. ඒ අඳුරු රැය මැදියම වනවිට ගසෙහි මුල් අගිසි, මිහිතලයේ හදවත තෙරපා සිදුරු කරගෙන එතුලට කිඳා බසිමින් තිබුණි.

එදා රැය පහන් වන මොහොත වන විට වැස්ස තුරල් වී තිබුණු අතර සුළඟේ දඟකාර කලබලය ද යම් පමණකට මෙල්ල වී තිබුණේය. ඒ දවස පටන් ගැණුනේ, හදිසියේම වාගේ අහස පුරා සිටි කළු වලාකුළු එහා මෙහා වී පහලට ආ දීප්තිමත් හිරු රැස් කළඹකින් මුළු ගසම නැහැවී ගිය මොහොතකිනි. ආලෝකයත්, උණුසුමත් ඉව වැටුනු පුංචි කුරුළු පැටවුන්ගේ කිචි බිචි නාදයෙන් පහල අතු අගිසි කලබල වෙද්දී, ඉහල අතුවල නිදා සිටි ලොකුම ලොකු කුරුල්ලෝ මේ හදිසි කලබලයෙන් අවදිව සිය උදාසන තේවා නාද පතුරන්නට වූහ.

ගසේ අතු සලිත වන්නට පටන් ගත්තේත්, ගසේ කඳ පුරාම සියුම් වෙව්ලිල්ලක් පැතිරෙන්නට පටන් ගත්තේත් හරියටම ඒ මොහොතේ දීය. ඉන් තප්පර තිස් හතරකට පසුව අත්තටු ගැසිය හැකි පමණට වැඩී සිටි සියළුම කුරුළු පැටවුනුත්, මා පිය කුරුල්ලෝත් එක වරම අහසට පැන නැංගාහ. ගස අවට මුළු අහසම කුරුළු පියාපත් වලින් වැසී කළු වලාකුලක් මෙන් පෙණිනි. හීන් සට සට හඬකින් ඇරඹී මහා ගෝරනාඩුවක් බවට පත්වූ ගසේ වෙව්ලීම නිසා බිය වූ, තවමත් කූඩු තුල සිරවී සිටි පුංචි කුරුළු පැටවුන්ගේ හැඬුම් හඬත් උන්ට පිළිතුරු දෙන අහසට නැගි කුරුළු අම්මලාගේ පිළිතුරු හඬත්, ඒ හැමෝටම තරවටුවට කෑ ගසන, ගහේ උඩ අතුවල පදිංචිව සිටි රාජාලි, ගුරුළු වැනි විසල් පක්ෂීන්ගේ ගොරහැඩි කෑ ගැසීමත් එක්ව, මුළු වනාන්තරයම මහා ගාල ගෝට්ටියකින් ඇලලී ගියේය. සියල්ල සිදුවන්නට පටන් ගත්තේ එලෙසය.

වැරෙන් වෙවුලමින් සිටි ගස මුල මිහිතලය ඉරිතලා යන බව මුලින්ම දැක්කේ ගස මුලම වාගේ ගුලක සිටි හා පවුලකි. එතැන් පටන් ඒ අවට ලගින්නට පුරුදුව සිටි, හාවෝද මුවෝ ද ඉත්තෑවෝද මී මින්නෝද ආදි දුවන්නට හැකියාව ඇති සත්තු, නොනවත්වා ඈතට දුවන්නට පටන් ගත්හ. උන් පසු පස්සේ, බිම දිග ඇදී එන තලගොයින්, කබැල්ලෑවුන් ආදී උරගයින් ද, නා නා විධ සර්පයින් ද ඇදී ආහ. උන්ගේ දිවීමත්, ගසේ වෙව්ලීමත්, මිහිතලයේ ඉරිතැලීමත්, අහස සිසාරා සිටි කුරුල්ලන්ගේ හඬ ලෑමත් මැද, ඒ මහා ගස හෙමි හෙමින් මහ පොළව අභ්‍යන්තරයට ගිලා බසින්නට පටන් ගත්තේය. මහා කාලයකට පසුව හමුවූ ලබැඳියකු තුරුළු කරගන්නාක් මෙන්, මිහි තලය විවරව සිය උකුලට ඇදී එන ඒ මහා විසල් ගස බදා වැලඳගන සඟවා ගන්නට වූවා ය.

සියල්ල සිදුවී අවසාන වෙන විට, එදා දිනයට පහන් වී, පැය තුනකුත් විනාඩි තිස් හතරකුත් තප්පර දොලහක් ගතවී තිබුණි. ඉනුත් පැය හතරකට පසු, සිය පැටවුන් අහිමි වූ කුරුළු අම්මලා ගේ ශෝකී විලාපය හැරෙන්නට වෙන කිසිම හඬක් මුළු මහත් වනාන්තරය තුලම ඇසුනේ නැත. ඒ සිහින් විලාප හඬ එක දිගටත් ඉන් පසුව වරින් වරත්, අවසානයේ ඇසෙන නෑසෙන ඉකි ගැසුම් ලෙසත් එදා රෑ පහන් වන තුරුම ඇසුණේ ය. පසුවදා උදාසන, අළුත් ඉර එළිය, ගස තිබු තැන දැන් ඉතිරිව තිබුණු අළුත් රතු පස් ගොඩැල්ල සිඹින වේලාව වන විට කුරුළු කෙඳිරිල්ල ඇසුණේම නැති තරම් විය. සති ගණනාවකට, ගස තිබුණු තැන රතු පස් ගොඩැල්ල දෙසටවත් එන්නට කිසිම සතෙකුටවත් කුරුල්ලකුටවත් හැකි වූයේ නැත. එදා ඒ අවාසනාවන්ත උදාසන ගෝරනාඩුවත් භීතියත් චකිතයත් උන්ගේ හිත්වල තවමත් රැව්දෙමින් තිබුණි.

එයින් සති හතකුත් දවස් දෙකකට පසුව, ඈත අහසේ පියාසර කරමින් සිටි රාජාලියකුට, ගස ගිලුණු පස් ගොඩැල්ලේ හරියටම ගස තිබුණු තැනම වාගේ, කොළ පැහැති පත් දෙකක් මැද පිපුණු පුනීලයක් සේ පෙනුනු රතු පැහැ මලක් ඇස ගැසුණේය.






Continue Reading...

Tuesday, April 4, 2017

මල් නොපිපි ගස -01


එය වනාන්තරයේ උසම හා විශාලම ගස විය.

මහ වනය මැද්දෑවේ තිබුණු ගස කොතරම් උස වීද යත්, එහි දිගු විසල් මුල් මහ පොළව සිදුරු කරගෙන එහි  මැද්දෑවටම කිඳාබැස මිහිකතගේ හදවත බදා වැළඳගෙන සිටියෝය. ගසේ මුදුන් අතුවල ලපටි දළු නිරන්තරයෙන්ම දුහුළු මීදුම් වලාවෙන් පිරිමැදෙමින් තිබුණේය. මේ විසල් ගසේ හතර අතට විහිදී දික්වී තිබූ අත් උතුරටත් දකුණටත් නැගෙනහිර හා බටහිරටත් මුළු වනය වසාගෙන පියස්සක්මෙන් විහිද තිබුණේය. ඒවා කොතරම් දිගු වීද යත්, උදාසන හිරු එළියේ අඳුරු රතු පැහැය තැවරී නැගෙනහිරට විහිදුනු අතු අග සිඟිති පත් හිනැහෙන විට, බටහිරට විහිදුණු අතුවල දළු සඳ එළියෙනුත් තරු එළියෙනුත් රිදී පාටින් සැසලෙන මසුන් මෙන් දිදුළමින් තිබුණේය.

වනාන්තරය මැද පිහිටි මේ සුවිසල් ගසේ පහලම පහල අතු අගිසිවල සිඟිති බටිත්තෝත්, දෙමලිච්චෝත්, ගේ කුරුල්ලෝත් කූඩු සාදාගෙන සිටියහ. ඉන් ටිකක් ඉහල අතුවල මාල ගිරවු ද, නීල කොබෙයියෝ ද, ඉනුත් ඉහල ඉහල අතුවල ක්‍රමක්‍රමයෙන් විශාල සිරුරු ඇති පක්ෂීහු ද කූඩු සාදා ගෙන සිටියහ. ආකාශයට නුදුරුම වූ ඉහලම ඉහල අතුවල ඉහලම අහසේ පියාසර කරන, රාජාලින්ගේත්, උකුස්සන්ගේත් කූඩු බැඳ තිබුණි. හැමදාම අඳුරින් වැසුණු, ගහ මැද්දෑවේ කඳට කිට්ටුව, වවුලෝ ද බකමූණෝ ද අඳුර ප්‍රිය කරන වෙනත් කුරුල්ලෝ ද පදිංචි වී සිටියහ.

වනාන්තරයේ සියළු ගස්වලට උඩින් විසිරී පැතිරී ගිය මේ ගසේ කොල අනෙක් කිසිම ගසක කොලයකට වඩා විශාල විය. රවුම් හිසකුත්, දිගැටි අගකුත්, දැති දැති දාරයකුත් තිබුණු ඒවා ඉතා ශක්තිමත් නාරටි තිබුණු කොල විය. වනාන්තරයේ අනෙක් කිසිම ගසකට ඒ ආකාරයේ කොල තිබුණේ නැත. කුරුළු බිත්තර මෝරා පුංචි පැටවුන් බිහිවන කාලයට ඈත උතුරේ සිට පියාඹා එන සුළඟ ඉහල අතුවල වියලුනු කොල සොලවා හෙමින් පාකර එවන්නට පුරුදුව සිටියේය. අතු දිගේ දුව පැන සෙල්ලම් කරන කුරුළු පැටව්, සුළඟ දිගේ පාවී එන කොල මතට නැගී ඒවා සිඟිති දෙපා වලින් තද කර අල්ලාගෙන, සිය නොමේරූ තටු සොලව සොලවා අහස් නැව් මෙන් පැදයන සෙල්ලමක් කරන්නට පුරුදුව සිටියෝය. ඒ, පියාපත් සවි වෙන්නට සිය පැටවුන්ට කුරුළු අම්මලා කියාදුන් පලමු පාඩම විය.

ඈත ගං ඉවුරට වැටුනු ගසේ වියලි කොල ගං දියට තල්ලු කර පාකර ඒවා මත නැගී ගඟේ එහා ඉවුරට ඔරු පදින්නට, ගං ඉවුරේ ගුල්වල ගෙවල් සාදාගෙන සිටි හා පැටවුන්ගේ අම්මලා උන්ට පුරුදු කර තිබුණි. සුළඟ සැරවෙන කාලයට, වනාන්තරය පුරාම සත්තු, අහස සිසාරා පාවී එන විසල් කොල එකතු කරන්නටත්, වස්සානයේ හීන් වැහිපොද හෙමි හෙමින් වැටෙන කාලය වනවිට අතු රිකිලි පුරුද්දා සාදා තිබූ සැකිලි මත ගසේ කොල අතුරා නොතෙමී ඉන්නට පියසිත්, පොළව මත එක පිට තට්ටු ඇතිරූ කොල වලින් උණුසුම්ව ගුලිවී ඉන්නට යහනාවලුත් හදන්නට පුරුදුව සිටියෝය.

වනාන්තරයම වාගේ වසාගෙන ඉතිරී පැතිරී සිටියත්, පොළව මත සරන සතුන්ගේ සිට ඉහලම අහසේ පියාසර කරන කුරුල්ලන්ටත් එකසේම සැලකූවත් මේ විසල් ගසේ කිසිම දිනක, මල් පොහොට්ටුවක් මෝදු වූයේ වත්, මලක් පිපුනේ හෝ ගෙඩියක් හටගත්තේවත් නැත. වස්සානය අහවරව වසන්තයේ මල් පිපෙන සමය වනවිට මුළු වනාන්තරය පුරාම ගස්වල මල් පිපී සුවඳ හමන විට ඈත ගස්වල පිපෙන අළුත් මල් රැගෙන විත් මල් නොපිපෙන ගසේ අතු රිකිලි අගිසිවල රඳවන්නට, ගස පුරා නිවෙස් සාදාගෙන සිටි කුරුල්ලෝ පුරුදුව සිටියහ. ඒ ඒ මල් පිපෙන පැතිවලින් එන විට මල් සුවඳ එකතු කරගෙන විත් ගසේ රැඳවුනු ඒ ඒ මල්වල පෙති අතර රඳවා ඒවා තව තවත් සුවඳ කරන්නට උතුරු සුළඟ පුරුදුව සිටියේය. ඉද්ද, සමන්පච්ච හා කෝපි මල් වල සුදු පාටින් සැරසී, සිඟිති බටිති පැටවුන් හීන් සද්දයෙන් කොඳුරන රහස් බඳු වූ සුවඳින් සැරසී සිටින ගස, ඊළඟ දවසක, ලොකු කහපාට සූරියකාන්ත මල් වලිනුත්, නිල් කටරොළු මල් වලිනුත් සැරසී සිටියි. ඈත නිමනවල රතු රෝස පිපෙන කාලයට, මුලු ගසම රතු මලින් සැරසී, රෝස මල්වලින් වෑහෙන කුල්මත් වූ සුවඳින් වැසී යයි.

මේ සියළු හැඩ වැඩ නිසා, බොහෝ කාලයක් යනතුරු මේ විසල් ගසට මල් හා මල් සුවඳේ ඇත්ත තේරුම වැටහී තිබුණේ නැත. වසන්තයේ මල් සමය ඇරඹෙන විටම මුළු ගසම නානා මලින් සැරසීමත්, ඒ ඒ මල්වල සුවඳ ගුලි කරගෙන විත්, ඒ ඒ මල් වල තවරා යන සුළඟ, ගස අසල නැවතී දැවටි දැවටී සිටීමත් හැම අවුරුද්දකම නොකඩවා කෙරුණේය. වසන්තය අහවරව වනාන්තරයේ සියළු ගස් මල් වරන කාලය වන විට කුරුල්ලෝ, අළුත් මලින් ගස සැරසීම නවතා, ගසේ අතු අගිසිවල රැඳවුනු මල් වියලී වැටෙන්නත්, සුළඟට ඇවිත් ඒවා ඇද විසිකර දමන්නටත් ඉඩදී බලා සිටියහ. බටිති පැටවුන් ලොකු මහත්වී ජෝඩු සෑදෙන මේ කාලයේ, සුළඟ ගසේ රිකිලි සොලවා තුඩින් තුඩ තබා කිචි බිචි ගාන බටිති පැටවුන් මතට මල් රේණු හැලීමේ සරදම ද කළේය. මේ සරදම් දන්නා වැඩි මාල්ලෝ, හිස මත වැටෙන මල් රේණුවලින් නැහැවී කලබල වන කුරුළු ජෝඩු දෙස බලා හිනැහෙන්නට ටිකක් ඉහල අතුවල වාඩිවී සුළඟ එන මග බලා සිටියෝ ය.

මෙසේ වසරින් වසර ගෙවී යද්දී, එක් අවුරුද්දක මල් සමය ලඟාවන්නා හාම, උතුරු සුළඟ දක්ෂිණ දේශයෙහි බුර බුරා නැගුනු ලැව් ගින්නක් සොයා කඩිමුඩියේ ඇදෙන්නට පටන් ගත්තේය. ඉවක් බවක් නැතිව දුවන උතුරු සුළඟේ පාවී ආ අඳුරු පැහැ වලාකුළු එක් රොක්වී කැලතී, මහා වැස්සක් බවට පෙරළුණේය.

  දෙවන කොටසට සබැඳිය මෙතන                                             

Continue Reading...

Saturday, April 1, 2017

මිස්ට කුලතුංගගේ කොන්දේ අමාරුව


අසූ එක දෙක අවුරුදුවල රස්සාවේ ආනුභාවයෙන් මා සිටියේ තලවාකැලේ තේ පර්යේෂණායතනයේ ය. මේකත් කැම්පස් එකකි. පර්යේෂණාගාර පහුකරලා කන්ද උඩට යද්දී හමුවෙන පළමුවෙනි බංගලාවේ නැවතී සිටි අපි පස් හය දෙනා අතර සිටි එවකට තේ පර්යේෂණායතනයේ ප්‍රධාන පරිපාලන නිලධාරියා වූ මිස්ට කුළතුංග  කාගේත් ගරුසරු ලැබුණු ප්‍රියමනාප වැඩිහිටියෙක් විය.

එක දවසක රෑ කෑමට උඩ තට්ටුවේ කාමරයෙන් පහලට බැස්ස මිස්ට කුලතුංගට උස්මුරුත්තාවට යන තරමට හිනාවෙන ලෙඩක් හැදිලා තිබුණි. කොච්චර හිනා යනවාද කිව්වොත් හිනා යන එකේ හේතුවවත් හරියට කියා ගන්නට හිනාව නතර කර ගැනීම අසීරු විය. යාන්තම් පරක් කරගෙන කතාව ඇහුවාට පස්සේ ඒ ලෙඩේ අපි හැමෝටමත් බෝ වෙන්නට වැඩි වෙලාවක් ගතවුනේ නැත.

ටික දවසක පටන් කොන්දේ අමාරුවකින් පීඩා විඳිමින් සිටි මිස්ට කුලතුංගට එවැනි රෝගාබාධ නිශ්චය වශයෙන්ම සුව කරන්නට දක්ෂතාවයක් ඇති වෙදෙක් ගැන ආරංචිය කියා ඇත්තේ, පරිපාලන අංශයේ පියන් හැටියට රස්සාව කල මනුස්සයාය. තේ පර්යේෂණායතනය පිහිටා ඇති ශාන්ත කූම්බ්ස් තේ වත්තේම පදිංචි ද්‍රවිඩ ජාතිකයකු වූ වෙද මහත්තයාගෙන් ප්‍රතිකාර ගන්නට මිස්ට කුලතුංග තීරණය කරන්නේ කොන්දේ රුදාව එන්න එන්නම වැඩිවෙනවායි හිතුණ නිසාය.

එදා හවස් වරුවේ වැඩ අවසන්වී බෝඩිමට ආවාට පසු, පියන් මහත්තයා වෙද මහත්තයාත් කැන්දාගෙන මිස්ට කුලතුංගගේ කාමරයට ඇවිත් තිබේ. මුණින් තලාවී ඇඳමත දිගා වන්නැයි මිස්ට කුලතුංගට කිවූ වෙද මහත්තයා කොන්ද පිට කොන්ද පිරික්සා බලා වෙදකම පටන් ගෙන තිබේ. ප්‍රධාන කාරිය වී තියෙන්නේ වෙද මහත්තයාත් ඇඳට නැගලා, මිස්ට කුලතුංගගේ කොන්ද පයින් තෙරපීමයි. මේක ටික වෙලාවක් වූ පසු සිද්ධ වූ දේ මට මතක හැටියට මිස්ට කුලතුංග කිවු විදිහටම ලියන එක වඩා රසවත් යැයි සිතමි.

"මිනිහා ටික වෙලාවක් පිට කොන්ද පාග පාග ගිහිල්ලා, සරම උඩට ඇදගෙන කොන්ද හරියේ වාඩි වෙන ගානට පාත් වුණා..... හහ්හහ් හහ් හහ් (ඇත්තම හිනා කෑල්ල මීට වඩා කැඩි කැඩි හිරවෙවි සද්දෙට තිබුණා).... මට නිකං තේරුණා කරන්ඩ යන වැඩේ.... මං මිනිහාව තල්ලුකරලා නැගිට්ටා....."

අපි කවුරුත් අලගිය මුලගිය රෝග නිට්ටාවට සුවකර දෙමියි කියා ඇවිත්, අපේ කොඳු ඇට පාගන රටේ වෙද්දු ගැන පරිස්සමින් ඇහැ ගහගන ඉන්නා එක වැදගත්ය. අඩුම ගානේ වැඩේ කුරුවල්වී නාන්නට වෙන්නට කලින්, ඇඳෙන් නැගිටින්ටවත් කල්පනාව තිබීම වැදගත්ය.
Continue Reading...

Blogroll

About