Sunday, September 10, 2023

මේ සටහන ලියවෙන්නේ ඔබටය....

Share it Please



කාල් සගාන් විසින් රචිත එකම ප්‍රබන්ධ කථාව, පසු කලක චිත්‍රපටයක් වූ , "Contact" [මුණගැසීම] හි, අවසාන පරිච්ඡේදයක මෙසේ සටහන් වෙයි.


"‌නොනැවතී හඬන ටෙලිෆැක්ස් යන්ත්‍රය තිබූ මේසයට ඉහලින් කැඩපතක් තිබිණ. එතුලින් මහළුත් නොවූ තරුණත් නොවූ, මවක් හෝ දුවක් හෝත් නොවූ කාන්තාවක් ඈ දෙස බලා සිටිනු ඇය දුටුවාය. සත්‍යය ඇගෙන් වසන් කර තැබීමට ඔවුන් ගත් තීරණය නිවැරදි විය. සංඥාවන් තුල රැඳුණු පණිවිඩය ලැබීමට ‌‌තබා, එය නිවැරදිව පද පෙරලා ගැනීමට තරමටවත් ඇය මුහුකුරා ගොස් නොසිටියාය. ඇය ඇගේ සම්පූර්ණ වෘත්තිමය ජීවිතය පිටසක්වල අමුත්තන් හා සබඳතා ඇති කරගැනීමට වැය කර තිබුණත්, ඇය ඇගේම ජීවිතයේ දී අනෙකකු හා ඇති කරගත් සබඳතාවයක් නොමැති තරම් විය. ‌විශ්වයේ උපත, මැවිල්ල පිළිබඳව අනෙකුන් ගේ දුර්මත සිඳ බිඳ දැමීමට නිර්භීතව වාද කලද, තමාටම කේන්ද්‍රීය වූ මිත්‍යාවට  ඕ අන්ධව සිටියාය. ජීවිත කාලය පුරාම විශ්වය අධ්‍යයනය කල නමුදු, එහි පැහැදිලිම පණිවිඩය, අප වැනි කුඩාවුන් හට මේ සුවිශාලත්වය දරාගත හැකි වනුයේ ප්‍රේමය තුලින්ම පමණි ය යන්න ඇයට මග හැරී තිබිණි.."

page 374, "Contact", Carl Sagan.

ප්‍රේමය වනාහි කේන්ද්‍රීය වින්දනය බව පහදා දෙන්නට, කාල් සගාන් වැන්නකුගේ ලියවිල්ලක්  අත්‍යවශ්‍යය නොවන නමුත්, මනුෂ්‍ය සංහතිය විසින් නිර්මාණය කර ගනු ලැබූ දෙවියන් හා අනෙකුත් බොහෝ සර්ව බලධාරීන් පවා, පරිපූර්ණ ප්‍රේමය සොයා යාමේ ඵලයන් බව වටහා ගැනීමට නොහැකි වීමේ දුර්විපාක දෙස බැළූ කල, සගාන් ඉඟිකරන අපේම අභ්‍යන්තර කේන්ද්‍රීය මිත්‍යාවේ තරම අවබෝධ කරගන්නට යම් රුකුලක් ලැබෙයි.  එමෙන්ම, එදා මෙදා තුර මෙතෙක් ලියැවී ඇති වින්දනීයම ප්‍රේම කාව්‍යයන් ලියැවී ඇත්තේ ද, දෙවියන් ‌කෙරෙහි මනුෂ්‍ය සන්තානයන්හි ඇවිලෙන ප්‍රේම ගින්නේ උණුසුමින් බව නොරහසකි. 

ඉතින් රංගනී මුහුණු පොතේ අවුණන අකුරු අපේ හිත් තුල කිඳා බැසීමේ වාසනාවන්ත සංවේදනයෙහි රහසක් තිබේදැයි ‌අසන්නට කිසිදු ‌හේතුවක් නැත.

රංගනී ලියූ කවි අතර, 'හදවතක හැඩය' යැයි මා නම් කරන මගේ හිතට වඩාත් සමිපය මට දැනෙන මේ වචනද තිබේ.

 "ආදරේ කල යුතුම නම්... හිතවත, හදාගත යුතුයි වැවක ආකෘතියකට හදවත

ප්‍රේමය යැයි නම් කර
බැම්මකින් බැඳි දා සිට
බොහෝ දේ දරාගත යුතු බව
වැව් බැම්ම දන්නවා හොඳටම

දැනෙන විට
දරාගත නොහැකි බර
සොරොව්වකින්
දුක මුදා හරිනා විට
ඒ පීඩනය දරාගන්නට
බිසෝ කොටුවක්
කොයි තරම් දේ කරනවද

නිතර වධ දෙන රළ පහර වැද
සේදී යන්න තනනා වැව් බැම්ම ළඟ
ප්‍රේමය ට හිමි තැවුල් දරාගෙන රකින
සළපනාවක් ඇවැසිමයි,

දැනෙනවා නේද? හදවතට... බාධක දරාගත නොහැකි තැන හැඟුම් සුනු විසුනු වන මොහොතක පිටවාන කඩා බිඳගෙන  පලා යන විට ප්‍රේමය…

විරහවට පෙම් කරනු මිස
හදවත හිස් නොකර ගත යුතු බව
කළිගු බැමි කියා දෙනවා අපූරුවට

ඉතින්! හිතවත..... වැවක ආකෘතියක් අවැසිමයි ආදරය කල යුතුම නම් හදවතට."

පහත සබැඳියේ ඇති සංවාදයේ අතර මග කියවෙන්නා සේම, රංගනීගේ කවි හැමකක්ම ප්‍රේමයම කේන්ද්‍ර කොට ඇතත්, ඒ එකක්වත් ප්‍රේම යාතිකාවන් හෝ විරහ විලාපයන් හෝ නොවෙයි. ඒ හැමෙකම පාහේ ඉහත පද වැලෙහි මෙන්ම, ප්‍රේමයේ ගැඹුර මෙන්ම, යථාර්ථය ද, බලාපොරොත්තුව මෙන්ම, අනපේක්ෂිතත්වය ද, රෝස පෙත්තක සුමට බව මෙන්ම රෝස කටුවක රිදවුමද රැඳවී තිබෙයි.

අපේ හිත් නවතා බලා ඉන්නට මෙන්ම, අපේ හිත්තුලටම කිඳාබැස, ඒවා රිදවන්නට ද, මෙතෙක් අප තුලම සැඟවී තිබුණු නමුදු, එවන් හිතිවිලි අපේ හිත් තුලත් තිබුණාය, තිබෙනවාය යැයි ‌සිතන්නටවත් නොහැකි තරම් අරුම වූ සිතිවිලි අපට සිහිපත් කර දෙන්නට ද ඒවා සමත්ය.

ඉතින් මගේම හිත දෙස බලා සරැලි නැගෙන පිරුණු වැව් තලයක් දකින්නට තරම්, අද රංගනීගේ කුළුඳුල් කවි පොත, "බොහෝ කවි ලියවුනේ ඔබට ය" දොරට වඩනා අද  දවසේ මම වාසනාවන්ත වී සිටිමි. 

ඉතින් රංගනී... මේ සටහන පුතාටයි.  ටිකක් බරපතල වගේ දැනුනත්, මේක ලියන්නේ පුතා, අද දවසේ කවිපොත දොරට වැඩෙන මොහොතේ ඔයාට සුබ පතන්නටත්, අද ඔතන ඉන්නට බැරි වුනු එකේ කණගාටුව වහ ගන්නටත් බව ඔයා දන්නා බව දනිමි.

-රන්සිරිමල්



No comments:

Post a Comment

Blogroll

About