Wednesday, November 1, 2017

චාර්ල්ස් වගේ ලිවීම

Share it Please

අපේ බාප්පා සිංහල පත්තර සඟරා හැම එකම මිලදී ගත්තේය. ඒ කාලයේ මාසිකව පළවූ රසවාහිනි, ශ්‍රී, නවයුගය ආදී හැම සඟරාවකම අළුත්ම පිටපත සීයලාගේ ගෙදර තිබේ. එයිට අමතරව සතිපතා පුවත්පත් සේරමත්, ඉරිදා පත්තර සේරමත් එහේ තිබුණි. ඉරිදා පත්තර නම් අපේ ගෙදරත් තිබුණත්, සඟරා කියවන්නට නම් සීයලාගේ ගෙදරම යා යුතු විය. මේ වායේ පරණ කොපි, පාළු කාමරයක පරණ අල්මාරියක යට තට්ටුවේ එකතු වෙයි. එතැනින් එකක් දෙකක් ගෙදර ගෙනත් කියවා ගිහින් දීමත් මගේත් අයියාගේත් සිරිත විය. මේවා අතරින් රසවත්ම සඟරාව නම් 'රසවාහිනි' යයි.

රසවාහිනිය ඒ කාලයේ නූතන සාහිත්‍ය කලා මඤ්ජුසාව විය. එහි පලවූ නානා ප්‍රකාර ලිපි අතර සාහිත්‍යය කතා, ඉතිහාස කතා මෙන්ම ගුප්ත හා කුතුහලාත්මක දේ පිළිබඳව ලියවුණු දේද තිබුණි. මලවුන්ගේ ඡායාරූප ගැනීම, මිනිස් සිරුරෙන් විහිදෙන ශක්ති වලල්ල ආදී දේ ගැන ළමා කාලයේ සිටම සෑහෙන දැනුමක් අපට ලැබුණේ රසවාහිනියේ ලිපි කියවීමෙනි. මේවා බොහෝ විට ඉංග්‍රිසි සඟරාවල පලවූ දේවල් සිංහලට පෙරලා පලකල දේවල් වීමට ඉඩ තිබේ.

රසවාහිනියේ මට මතක ඇති එක ලිපියකට අනුව, ශබ්ද තරංග නැසෙන්නේ නැත. ඒවා වායු ගෝලයේ සැර සරමින් තිබේ. ඒ අනුව බුදුන් දෙසූ දම් දෙසුම් පවා, නැවත අසන්නට පුළුවන් ස්ථාන භාරතයේ තිබුණි. අර ශබ්ද තරංග කැරකී අවුත් එතැන දී එකතු වූ විටක අර පරණ දම් දෙසුම් ඒ ආකාරයෙන් ම ඇසෙයි. අනුමානයක් නැතුව අළුත් ව්‍යවස්ථාවක්  සම්මත කලොත් පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්නට කතා කරන විමල් වීරවංශ මහතාත් මේ ලිපිය කියවා ඇතැසි සිතේ.

මෙවැනිම තවත් ලිපියකට අනුව, මියගිය ප්‍රාඥයින්ගේ චිත්ත තරංග විශ්වය පුරා විසිරී තිබේ. ඔවුන්ගේ ආත්මයෝ නොනැසී, මේ සක්වල පුරා සැරිසරති. මළවුන් කැඳවීම, ඔවුන් හා කතා බහ කිරීම හා චෛතසිකව සම්බන්ධ වීම ආදී දේ කල හා කරන පුද්ගලයින් පිළිබඳව ද, එක් එක් ආත්මයන් හි විස්තර කියන පුද්ගලයින් පිළිබඳව ද ලිපියක් දෙකක් මේ සඟරාවල පලවීම සිරිතක් වී තිබුණි. මේවා මෙහෙම ලිව්වාම එදා තත්වයත් අද වාගේමය කියා කෙනෙකුට හිතෙන්නටත් පුළුවන.



සිංහල රචනාව ලිවීමේ සමර්ථයා වූ මට ඔය කාලයේ කවදා හෝ ලෝක ප්‍රකට ලේඛකයකු වීමේ අහිංසක බලාපොරොත්තුවක් තිබුණි. ඉස්කෝල පුස්තකාලයේ තිබුණු හැම පොතක්ම පාහේ කියවා තිබුණු මට, ලෝක ප්‍රකට ලේඛකයින් අතරිනුත් හොඳටම හිතට අල්ලා තිබුණු කෙනා, චාර්ල්ස් ඩිකන්ස් ය.

ඒ හොඳම කාලයයි.
ඒ නරකම කාලයයි.
ඒ ප්‍රඥාවේ යුගයයි
ඒ අඥානත්වයේ යුගයයි...

කියා ඇරඹෙන දෙනුවර අන්දරය, ඔලිවර් ටුවිස්ට්, ඩේවිඩ් කොපර්ෆීල්ඩ් වැනි කතා ලියූ, වික්ටෝරියානු යුගයේ ලංඩනයේ විසූ මේ කැහැටු ඉංග්‍රිසි මිනිසා අදටත් අකුරු වලින් මිනිසුන් මැවීමේ කාර්යයේ අනභිබවනීයයකු සේ සැලකෙයි. ඉදින් වන්නා නම් විය යුත්තේ එවන් සූරයකු බව මගේ ළපැටි සිතටත් පිළිපන්නේ යැ.

මේ කාර්යය, එනම් ලේඛකයකු වීමේ කාර්යය, ඉබේ සිද්ධවන දෙයක් නොවේ. ආයාසයෙන් සාක්ෂාත් කරගත යුතු දෙයකි. රසවාහිනිය පිහිටට ආවේ එතැන දීය. ලිවීමේ අකුරු වචන ගැලපීමේ කලාව ප්‍රගුණ කරන්නට පහසුම මග නම් ඒ කලාවේ කෙල පැමිණියවුන් හා ඇසුරු කිරීමම වෙයි. අපේ ගෙදර කවුරුවත් ඒ ගණයට නොවැටුන මුත්, අර සක්වල පුරා සැරිසරන මළගිය ලේඛකයින් ගේ, විශේෂයෙන් එක් දහස් අටසිය හැත්තෑවේ මියගිය චාර්ල්ස් ගේ චිත්ත තරංග මතු නොව, සජීවී ආත්මයනුත් අපේ ගෙදර පැත්තේත් නොගැවසෙන්නට හේතුවක් නැත. කළයුතු වූයේ, ඒවා හා චෛතසිකව සම්බන්ධ වීමය. බැඳීමය. එසේ කලාම ඒ චිත්ත තරංග හා ආත්මයන්, මගේ සිතට අදහස්, කල්පනා, එකතු කර ඒවා වචන ලෙස අකුරු ලෙස ගලපා සුසර කරනවා ඇත. මට ඇත්තේ ඔවුන් මේ වැඩය කරන තුරු බාධා නොකර බලා සිටීම පමණි.

මේක මේ ලියන තරම් පහසු වූයේ නැත. හිස් පිටුවක පෑන තබාගෙන දෑස් වසාගෙන, ඩිකන්ස් ගේ පින්තූරයක් හිතේ මවාගෙන වෙන මුකුත්ම නොහිතා, ඔහේ ලියවෙන තුරු බලා සිටියත් ලියවූනේ එහෙන් මෙහෙන් එන වචනයක් දෙකක් පමණකි. සමහරවිට මගේ ඉංග්‍රිසි දැනුමේ මදි පාඩුකම් නිසා ඩිකන්ස්ගේ ඉංග්‍රිසි චිත්ත තරංග සිංහලට හැරවෙනවා හොර වුනා වෙන්නටත් පුළුවන් නිසාත්, එක්කෙනෙක් ගේ චිත්ත තරංග හාම සම්බන්ධ වෙන්නට ඇති සම්භාවිතාව අඩු නිසාත්, වැඩි දවසක් නොගොස් මගේ මලගිය ලේඛක අනුග්‍රාහකයින් අතරට, රබින්ද්‍රනාත් තාගෝර්, ඩබ්ලිව්. ඒ. සිල්වා හා කුමාරතුංග මුනිදාස වැනි පෙරදිග හා සිංහල අයත් එකතු විය.

දිගින් දිගට සති දෙක තුනක් කෙරෙද්දී, මේ අභ්‍යාසයේ යම් විදිහක ප්‍රතිඵල නොතිබුණාම නොවේ. යම් යම් වාක්‍ය ඛණ්ඩ, මට කවදාවත් හිතාගන්නට බැරි තරම් ලස්සණට ලියැවී තිබුණි. මගේ සිංහල රචනා, නිකම් පුංචි කෙටිකතා මෙන්, කතා බහ කරන චරිත, යම් යම් තාත්වික සිදුවීම් වල විස්තර ආදිය අඩංගුව ලියවෙන්නට පටන් ගෙන තිබුණි. ඒක එහෙම වුණත්, නවවෙනියේ දී විද්‍යා අංශයට සමත් වීමත්, ඉන් පස්සේ නවීන විද්‍යාත්මක සොයාගැනීමක් කිරීමේ උවමනාව වැඩිපුර මතුවී ඒමත්, ඕ ලෙවල්, ඒ ලෙවල් විභාග ආදියත් හරහට හිටි නිසා, මේ වැඩේ ටික ටික දියාරු වී ගියේ ය.

මේ සටහන කියවන කාට හෝ මේ වැඩේ ආයෙත් අත්හදා බලන්නට හිතෙනවා නම්, පරිස්සම් විය යුතු කාරණයක් තිබේ. ඔබේ අනුග්‍රාහක ලේඛකයින් තෝරා ගැනීමේ දී, සහසුද්දෙන්ම මියගිය අයම පමණක් තෝරා ගන්නට පරිස්සම් වන්න. මෙයට හේතු දෙකකි.

(1) අර විදිහෙන් නිදහසේ පාවෙන චිත්ත තරංග හා ලේඛක ආත්මයන් තියෙන්නේ මළගිය ලේඛකයින්ට ය.

(2) පණ පිටින් ඉන්නා කෙනෙක්ගේ චිත්ත තරංග යාන්තමටවත් ගෑවුණ බව පෙනෙන ලියවිල්ලක් වැරදිලාවත් ලියවුනොත්..... අම්බානකට කන්නට වෙන්නට පුළුවන.

[ඩිකන්ස්ගේ පින්තූරය විකිපීඩියාවෙනි. රසවාහිනියේ කවරය නන්ද වන්නිනායකගේ බ්ලොග් අඩවියෙනි.  ]

1 comment:

  1. /ඒ හොඳම කාලයයි.
    ඒ නරකම කාලයයි.
    ඒ ප්‍රඥාවේ යුගයයි
    ඒ අඥානත්වයේ යුගයයි...

    කියා ඇරඹෙන දෙනුවර අන්දරය,/

    මා ද දෙනුවර අන්දරය (A tale of two cities) සාමාන්‍ය පෙළ විභාගයට අධ්‍යයනය කළ කෙනෙක් නිසා, ඔබ ඉහත දක්වා ඇති ආරම්භය තවමත් හොඳට මතකයි.ඔබ කියන්නා සේම මටත් යමක් ලියන විට ඒ පැරණි ලේකඛයන්ගේ ක්‍රමවේදයන් සිහියට නැගෙනවා

    ReplyDelete

Blogroll

About