Sunday, December 31, 2017

මල් නොපිපි ගස - 02

Share it Please

මල් නොපිපි ගස-01 ට දිගුව

මෙසේ වසරින් වසර ගෙවී යද්දී, එක් අවුරුද්දක මල් සමය ලඟාවන්නා හාම, උතුරු සුළඟ දක්ෂිණ දේශයෙහි බුර බුරා නැගුනු ලැව් ගින්නක් සොයා කඩිමුඩියේ ඇදෙන්නට පටන් ගත්තේය. ඉවක් බවක් නැතිව දුවන උතුරු සුළඟේ පාවී ආ අඳුරු පැහැ වලාකුළු එක් රොක්වී කැලතී, මහා වැස්සක් බවට පෙරළුණේය.

දොඹගෙඩි තරමින් පටන් ගෙන වැටුණු වැහි බිංදු ටිකින් ටික ලොකු මහත්වී තරමක දිවුල් ගෙඩි තරමටත් තවත් වේලාවකට පසු ඉදුණු බෙලි ගෙඩි තරමටත් ලොකුවට වැටෙන්නට පටන් ගත්තේය. ඉහල අහසට වී සිටි වළාකුළු වැහි දියෙන් කොතරම් බර වූවා ද යත්, ඒවා ගසේ ඉහල අතු නවාගෙන තෙරපාගෙන පොළවට පාත් වී තිබුණි. වැහි වලාකුළු වල බරින් නැවී ගිය  ඉහලම අතුවල කූඩු සාදාගෙන සිටි ඉහල අහසේ පියාසර කරන රාජාලියෝ ද උකුස්සෝද පහල අතු අතර කඩිමුඩියේ සෑදූ කූඩුවලට සිය පැටවුන් ද, අළුත් බිත්තර ද මාරු කරන්නට වූහ.

දවස් තිස් හතරකුත් පැය දහතුනක් එක දිගට මෙසේ වැස්ස වැටුණේය. අන්තිම දවස් වෙද්දී සමහර වැහි බිංදු ගසේ විශාලම කොලයකටත් වඩා විශාල වී තිබුණි.  ඉහල අතුවල මේරූ දඬු මත වැදී බිඳුණු යෝධ වැහි බිංදුවලින් සී සී කඩව සෑම අතටම විසුරුණු කැබලි ගහේ අතු දිගේ පෙරලි පෙරලී අවුත් පහලම අතුවල ලපටි අගිසි කඩා බිඳ දමන්නට වූ නිසා වැස්ස පටන්ගෙන තිස් එක්වෙනි දවස වෙද්දී පහල අතුවල  කූඩු සාදාගන සිටි බටිති පවුල් වල අම්මලාත්, ගහේ මැද හරියේ තිබුණු වැස්සෙන් හා විසිරෙන ජල බිංදු වලින් මුවා වූ අතුවල කඩිමුඩියේ අළුත් කූඩු අටවමින් සිටියෝය. මේ වනාන්තරයේ මල් පිපෙන කාලය බවත්, වැස්ස නිසා, කිසිම කුරුල්ලකුට අළුත පිපුණු මල් කඩා ගෙනෙන්නට යන්නට නොහැකි වූ බවත් ඔවුන් අතර කසු කුසු ගෑවෙන්නට පටන් ගත්තේ මේ අතර ය. මේ කතා බහ කුරුළු භාෂාවේ ඉතාමත් රහසිගත වෙන කිසිවකුටත් එක්වරම වටහාගත නොහැකි ලා වර්ණ ස්වර වලින් කියවුනත්, හැමදෙයක්ම වාගේ අසා සිටින ගසට මේ කසු කුසුව එහෙන් මෙහෙන් ඇසුණේ ය.

අතු පතර අතර කූඩු සාදාගෙන කීචි බීචි ගාමින් දුව පනින කුරුල්ලන් ගැන ඒ තරම් සැලකිල්ලක් නොදැක්වූ මුත්, හැම වසන්තයකම සිය අතු අගිසි වල එල්ලෙන සුවඳැති නා නා වර්ණ මල් ගැන නිහඬ ආඩම්බරයකින් සිටි ගසට මේ කතාව නිසා දැණුනේ ශෝකයකි. නොකඩවා වට වැස්සෙන් පෙඟුණු බිම තව තවත් තදින් බදාගෙන නොනැවතී හමන උතුරු සුළඟේ කෙනෙහිලි කිති කැවිල්ලට හසුවී කලබල නොවී ඉන්නට තතනන අස්සේම, තමනුත් ගසක් වුව ද, අනෙක් ගහකොල මෙන් මල් ඵල දරන්නට තමනට නොහැකි වූ බව අඳුරු අහස එකළු කල විදුලි රේඛාවක් මෙන් හදිසියේම ගසේ සිතට පිළිපන්නේය. එතෙක් කල් මේ කිසිවක් ගැන ගැඹුරෙන් නොසිතූ මුත්, හැම වසන්තයේම කුරුල්ලන් කරන මේ මල් සැරසිල්ලට යටින්, උන්ගේ සිත්වල තමුන් ගැන උපන් අනුකම්පාවක් තියේය යන්නත්, අද හදිසියේ මේ කරන කතා බහ, පහත් හඬින් හොර රහසේ කෙරෙන්නේ ඇයි ද කියාත් සිත පාරමින් නැගී ආයේය.

මේ සියළු සිතිවිලි අන් කවරදාකවත් නොවිඳි ශෝකාකූල බවකින් ගසේ සිත පිරවීය. සුළඟත් වැස්සත් අතරින් ඉඳහිට රිංගා ආ හිරු කිණිති වලට නම් ඒ ශෝකාකූල ගතිය පිස දමන්නට කොහෙත්ම නොහැකි විය. අතු අගිසි ඔහේ නමා වැටෙන්නට ඉඩදී, ගස නිහඬ කල්පනාවක ගිලී සිටියාය. එහෙත් ඇගේ මුල් මිහිතලය පතුලේ වේදනාවෙන් නලියමින් තිබිණි. ඒවා කෙතරම් පොළව තුලට කිඳාබැස තිබුණේද යත්, ඒවායේ සිහින් ඇඟිලි මහ පොළවේ හදවත වටා එතී තිබුණේය. ඒ මුල් අගිසි වලට මහ පොළවේ හද ගැස්ම නිරන්තරයෙන්ම දැනෙමින් තිබුණු අතර, මිහිතලයට ද සිය හදවත වටා එතී නලියන ගසේ මුල්වල වේදනාව දැනෙන්නට පටන් ගැණුනේය. ඒ අඳුරු රැය මැදියම වනවිට ගසෙහි මුල් අගිසි, මිහිතලයේ හදවත තෙරපා සිදුරු කරගෙන එතුලට කිඳා බසිමින් තිබුණි.

එදා රැය පහන් වන මොහොත වන විට වැස්ස තුරල් වී තිබුණු අතර සුළඟේ දඟකාර කලබලය ද යම් පමණකට මෙල්ල වී තිබුණේය. ඒ දවස පටන් ගැණුනේ, හදිසියේම වාගේ අහස පුරා සිටි කළු වලාකුළු එහා මෙහා වී පහලට ආ දීප්තිමත් හිරු රැස් කළඹකින් මුළු ගසම නැහැවී ගිය මොහොතකිනි. ආලෝකයත්, උණුසුමත් ඉව වැටුනු පුංචි කුරුළු පැටවුන්ගේ කිචි බිචි නාදයෙන් පහල අතු අගිසි කලබල වෙද්දී, ඉහල අතුවල නිදා සිටි ලොකුම ලොකු කුරුල්ලෝ මේ හදිසි කලබලයෙන් අවදිව සිය උදාසන තේවා නාද පතුරන්නට වූහ.

ගසේ අතු සලිත වන්නට පටන් ගත්තේත්, ගසේ කඳ පුරාම සියුම් වෙව්ලිල්ලක් පැතිරෙන්නට පටන් ගත්තේත් හරියටම ඒ මොහොතේ දීය. ඉන් තප්පර තිස් හතරකට පසුව අත්තටු ගැසිය හැකි පමණට වැඩී සිටි සියළුම කුරුළු පැටවුනුත්, මා පිය කුරුල්ලෝත් එක වරම අහසට පැන නැංගාහ. ගස අවට මුළු අහසම කුරුළු පියාපත් වලින් වැසී කළු වලාකුලක් මෙන් පෙණිනි. හීන් සට සට හඬකින් ඇරඹී මහා ගෝරනාඩුවක් බවට පත්වූ ගසේ වෙව්ලීම නිසා බිය වූ, තවමත් කූඩු තුල සිරවී සිටි පුංචි කුරුළු පැටවුන්ගේ හැඬුම් හඬත් උන්ට පිළිතුරු දෙන අහසට නැගි කුරුළු අම්මලාගේ පිළිතුරු හඬත්, ඒ හැමෝටම තරවටුවට කෑ ගසන, ගහේ උඩ අතුවල පදිංචිව සිටි රාජාලි, ගුරුළු වැනි විසල් පක්ෂීන්ගේ ගොරහැඩි කෑ ගැසීමත් එක්ව, මුළු වනාන්තරයම මහා ගාල ගෝට්ටියකින් ඇලලී ගියේය. සියල්ල සිදුවන්නට පටන් ගත්තේ එලෙසය.

වැරෙන් වෙවුලමින් සිටි ගස මුල මිහිතලය ඉරිතලා යන බව මුලින්ම දැක්කේ ගස මුලම වාගේ ගුලක සිටි හා පවුලකි. එතැන් පටන් ඒ අවට ලගින්නට පුරුදුව සිටි, හාවෝද මුවෝ ද ඉත්තෑවෝද මී මින්නෝද ආදි දුවන්නට හැකියාව ඇති සත්තු, නොනවත්වා ඈතට දුවන්නට පටන් ගත්හ. උන් පසු පස්සේ, බිම දිග ඇදී එන තලගොයින්, කබැල්ලෑවුන් ආදී උරගයින් ද, නා නා විධ සර්පයින් ද ඇදී ආහ. උන්ගේ දිවීමත්, ගසේ වෙව්ලීමත්, මිහිතලයේ ඉරිතැලීමත්, අහස සිසාරා සිටි කුරුල්ලන්ගේ හඬ ලෑමත් මැද, ඒ මහා ගස හෙමි හෙමින් මහ පොළව අභ්‍යන්තරයට ගිලා බසින්නට පටන් ගත්තේය. මහා කාලයකට පසුව හමුවූ ලබැඳියකු තුරුළු කරගන්නාක් මෙන්, මිහි තලය විවරව සිය උකුලට ඇදී එන ඒ මහා විසල් ගස බදා වැලඳගන සඟවා ගන්නට වූවා ය.

සියල්ල සිදුවී අවසාන වෙන විට, එදා දිනයට පහන් වී, පැය තුනකුත් විනාඩි තිස් හතරකුත් තප්පර දොලහක් ගතවී තිබුණි. ඉනුත් පැය හතරකට පසු, සිය පැටවුන් අහිමි වූ කුරුළු අම්මලා ගේ ශෝකී විලාපය හැරෙන්නට වෙන කිසිම හඬක් මුළු මහත් වනාන්තරය තුලම ඇසුනේ නැත. ඒ සිහින් විලාප හඬ එක දිගටත් ඉන් පසුව වරින් වරත්, අවසානයේ ඇසෙන නෑසෙන ඉකි ගැසුම් ලෙසත් එදා රෑ පහන් වන තුරුම ඇසුණේ ය. පසුවදා උදාසන, අළුත් ඉර එළිය, ගස තිබු තැන දැන් ඉතිරිව තිබුණු අළුත් රතු පස් ගොඩැල්ල සිඹින වේලාව වන විට කුරුළු කෙඳිරිල්ල ඇසුණේම නැති තරම් විය. සති ගණනාවකට, ගස තිබුණු තැන රතු පස් ගොඩැල්ල දෙසටවත් එන්නට කිසිම සතෙකුටවත් කුරුල්ලකුටවත් හැකි වූයේ නැත. එදා ඒ අවාසනාවන්ත උදාසන ගෝරනාඩුවත් භීතියත් චකිතයත් උන්ගේ හිත්වල තවමත් රැව්දෙමින් තිබුණි.

එයින් සති හතකුත් දවස් දෙකකට පසුව, ඈත අහසේ පියාසර කරමින් සිටි රාජාලියකුට, ගස ගිලුණු පස් ගොඩැල්ලේ හරියටම ගස තිබුණු තැනම වාගේ, කොළ පැහැති පත් දෙකක් මැද පිපුණු පුනීලයක් සේ පෙනුනු රතු පැහැ මලක් ඇස ගැසුණේය.






No comments:

Post a Comment

Blogroll

About