Monday, January 5, 2026
හිම මලක උණුහුම.....
Sunday, January 5, 2025
සදා හරිත....
අහඹුවෙන් අහලින් ගලන
සුළං රළකට අවනතව
සොලවතොත් මිසක අතැඟිලි
සදා හරිත තුරකට වුවද
පිස දමන්නට නොහැක හිම තුහින
ගිනියම් සීතලෙත් නොහැලෙන
හරිත පත් මත සිනාසෙන කල
පහත් වී බලන්නට පොළව
නෙත් නගා බලන්නට අහස
හිත් ලලා දිගුකලක්
හෙමි හෙමින් වඩවතත්
රිකිලි අත් ලපටි පත්
පිපුණු නෙත්
වස්සාන වැසි නිමව
ගිම්හාන උණුහුමට
නිල මැකී කහ මතුව
රත්වන්ව ලේ පිරෙන
පත් හලන ගස් අතර
සදා හරිතව නැගෙන
සදා හරිත තුරකට වුවද
පිස දමන්නට නොහැක
ගිනියම් සීතලෙත් නොහැලෙන
හරිත පත් මත සිනාසෙන කල
සිසිරයේ සුදෝසුදු පිරුවටය....
අහඹුවෙන් අහලින් ගලන
සුළං රළකට අවනතව
සොලවතොත් මිසක අතැඟිලි....
ජනවාරි 5, 2025
Thursday, January 5, 2023
විස්සයි විසි තුන
මැවී ඉහිරෙයි අරුම පුදුමව සුදුම සුදු හිම
පාෂාණිභූචිතව රැඳවූ මිරිදිය...
පුළුන් මල් විසුරුවා හඳ එළිය පාටට
වසං කරවා ඉඳු දුන්නෙ හත් පෙත්ත
බදා අල්ලා කඳුළු ගල් කැට
Tuesday, August 9, 2022
පනහට දහයයි.....!
එක්දාස් නවසිය හතලිස් නවයේ උපන් රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ, හැත්තෑ හතේ දී, තුන් හවුලේ හත් අවුරුදු ශාපය අවසන් කර ජේ. ආර්. ගේ ධර්මිෂ්ඨ යුගයේ උදාව සනිටුහන් කල මහා මැතිවරණයෙන් බියගම ආසනය ජයගෙන, අද ජනාධිපති කාර්යාලය බවට පත්ව තිබෙන, ගාලු මුවදොර කෙළවර, පරණ පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ ය.
එදා එයා ගාලුමුවදොරට
ඇරලවන්නට කවුරු කවුරු ආවා ද වැනි විස්තර සහසුද්දෙන් නොදන්නා මුත්, එදා දවස එයාගේ
අම්මාටත් තාත්තාටත් සතුටු දවසක් වෙන්නට ඇතිය කියා නම් සිතාගන්නට පුළුවන. ඔයින්
ඇරඹුණු රනිල්ගේ මාමාගේ ධර්මිෂ්ඨ සමාජය, 1982 දී ජයවද්දන පුර කෝට්ටේ, අළුත් නිවහන
නොහොත් ජෙෆ්රි බාවා ගේ දියවන්නා දූපතේ මාළිගාවට සැපත් වන විට, රනිල් වික්‍රමසිංහ,
අපේ රටේ අධ්‍යාපන අමාත්‍යවරයා ව සිටියේ ය.
ඒ ගෙදර, අවුරුදු හතලිහක්, පනහට දහයක් වෙනතුරුම,
කොයි කොයි තනතුරුවල හෝ රැඳී, ලැගුම් ගෙන සිටි රනිල් ශ්‍රියාන්, කාටවත්ම එපා වූවායි කියන, අගමැතිකමක් ඉල්ලාගෙන, අද වෙද්දී, රටත් අතහැර පිටුවහල්වූ හත්වෙනියා ගේ පුරප්පාඩුව ඉහටත් උඩින් පුරවන්නට, ඉත සිතින් දායක වී, අපේ රටේ
අටවෙනි 'විධායක' ජනාධිපතිවරයා වී සිටී.
ඒ කතාව එසේ වෙද්දී, රනිල් පාර්ලිමේන්තු ගිය නවසිය
හැත්තෑ හතේ දී, තර්ස්ටන් පාරේ සල්ගහ අසලදී අම්මා තාත්තාට වැඳ නමස්කාර කර සමුදී,
කොළඹ සරසවියට ඇතුළු වූ, මානෙල් විද්‍යාරත්න, 1982 දී එනම් රනිල් දියවන්නාවේ
අළුත් ගෙදර ඉඳුල් කල අවුරුද්දේ අගෝස්තු නව වෙනි දා, කොළඹ තිඹිරිගස්යායේ, ශාන්ත තෙරේසා
දෙව්මැදුරේ දී, මගේ මනමාලිය වී, විවාහ දිවියට පිවිසෙන්නී ය. ඒ පිනින් මමත් මනමාලයකු වුණෙමි.
ඉතින් මගේ මේ ගෙවැදිල්ලටත්, අදට හතලිහකි. පනහට
දහයකි.
ආපහු හැරී බලද්දී, සතුටු හිතන්නට නොයෙක් ආකාර හා අපමණවත් දේවල් තියෙන
දවසක් වන අද දවසේ, අපිත් සෑහෙන අරගලයක් කරලා තියනවා නේ දැයි හිතෙන තරම් විස්තර
නිරායාසයෙන්ම හිතට පිරවෙයි. හිතෙන දේ ලියා අවුණන, මේ ජාල අඩවියේ, ඔය පරණ කයි කතන්දර වලින් සෑහෙන කොටසක් ලියවී තියෙන හින්දාම ආය ආයත් ලියන්නට උවමනාවක් නැති නමුත්, මේ පනහට දහයක් වෙන
දවසේත්, ලජ්ජා පාටට නමුත් දඟකාර විදිහට එදා මා ලඟ හිනැහුණු මානෙල් අදත් මට මා ලඟම
දකින්නට පුළුවන් බව නම් ලියා තැබිය යුත්තේම ය.
ඉතින් අම්මා, මේ හතලිස් අවුරුද්ද පුරාම, වැල් පාලම දිගේ පැටවුන් දෙන්නෙකුත් වඩාගෙන, මා ගැනත් ආදරයෙන් බලා කියා ගෙන, අපි තුන්දෙනාටම ගෲෂා වී, ඇවිද
ආවාට තුති. ඉතින් ඒ ගමන ඒ පරිස්සමින් ආ නිසාම, අද දවස අපට ආච්චි සීයා වී, කෙලි පොඩ්ඩියන් දෙන්නෙකුත් දෝතින් අල්ලාන තවත් දුර යන්නට හිතිවිලි පිරෙන දවසක් වී තිබෙයි.
හතලිහක්ය කියන්නේ, අත දරුවෙක් වැඩිහිටි වෙන්නට අවුරුදු විස්සකට කිට්ටු කාලයක් ගතවන්නේය හිතුවොත්, පරම්පරා දෙකකට සමකරන්නට පුළුවන් තරමට දිග කාලයක් යැයි සලකන්නට සිදුවෙයි. තරුණ කම පටන්ගන්නේ හැට පහෙන්ය හිතන අයට නම් එවැනි හිතිවිල්ලක් අභව්‍ය වුනත්, යථාර්ථය ඒකය. ඒ වගේ කාලයකට පස්සේ මෙහෙම හැරී බලද්දී, ඉස්ඉස්සෙල්ලාම හිතට නැගෙන්නේ එදා අපි ලඟින්ම හිටියත් අද දකින්නට නොහැකි අයය. මාතර ආත්තම්මාත්, සීයාත්, සිට අපේ තාත්තාත්, අම්මාත්, මානෙල්ගේ තාත්තාත්, ටෙරී මාමාත්, මාරි ඇන්ටීත්, ජයනි නංගීත්, අයියාත්, ගොතටුවේ ලොකු අම්මාත්, ලොකු තාත්තාත්, ලොකු නංගීත්, බැසිල් බාප්පාත්, ජෝන් බාප්පාත්, රියෙන්සි මාමාත්, නැන්දාත්, ආදි වශයෙන් දිග ලැයිස්තුවක් ඒ සඳහා වෙන්වී තිබේ. ඒ සියළු දෙනාගේ මුහුණු අදටත් මතකයේ මවා ගන්නට තරම් පැහැදිලිව සටහන්ව තිබෙයි.
ඒ සමගම ඇවිණිය යුතු තවත් මුහුණු තුනක් ගැන ලිවිය යුතුම යැයි සිතෙයි. එක්කෙනෙක්, එවකට කොළඹ විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ මහාචාර්ය ආර්. එස්. රාමක්‍රිෂ්ණා ය. දෙවැන්නා, තලවාකැලේ තේ පර්යේෂණායතනයේ ජෛවරසායන අංශයේ අධිපතිව සිටි ආචාර්ය ජී. රොබට්ස් ය. කසාද සහතිකයේ අපේ අස්සන් දෙක සහතික කලේ ඒ දෙන්නාය. එදා මංගල දිව්‍ය පූජාව තියා, අප දෙන්නාගේ විවාහය ලියා පදිංචි කලේ, එවකට වෙන්නප්පුවේ ශාන්ත ජෝශප් දෙව්මැදුරේ මීසම භාර පියතුමාව කටයුතු කල රෙක්ස් ඩයස් පියතුමා ය. කතෝලික පල්ලියක පියතුමන් ඉදිරිපිට අස්සන් කල නිසා, තෙරුවන් සරණයි කියා අස්සන් කරන්නට නම් උපදෙස් ලැබුණේ නැත.
එසේ මැකී ගිය මුහුණු වල අඩුව නොඅඩුව පුරවන්නට තරම්, අළුත් මුහුණු සිය දහස් ගණනක් අද අපේ ජීවිත වලට සමීපව සිටිති. එදා අප අසලම සිටි අයත්, ඒ අයගේ දූ දරුවනුත් වශයෙන් එකතු වන කට්ටියට අමතරව, එදා මෙදාතුර දැන හැඳිනුම්කම් හරහා මෙන්ම, දන්නා අඳුනන අයගේ දැන හැඳිනුම්කම් හරහාත් අපේ ජීවිත හා එකතු වූ පිරිස කොතරම් දැයි ගණන් කරන්නට වෙනමම පොතක් ලිවිය යුතු වෙයි.
මේ දේවල් මෙසේ සිතද්දී, අපේ වැල් පාලම වැටී තියෙන්නේ පතුල නොපෙනෙන ගැඹුරු හෙලක් මතින් යැයි මට නම් නොසිතෙයි. මේ ගමන මුළුල්ලේම, අත දිග හරියේ අත දිගු කරන්නට සැදී පැහැදී සිටියවුන් අනන්තවත් සිටියහ. අදත් සිටිති. හෙටත් ඉන්නා බව දනිමි.
ඉතින් අම්මා, මේ ගමන නම් තවම ඉවර නැත.
ඉවර වෙන එකකුත් නැතැයි සිතෙයි.
2022 අගෝස්තු 9 දා
Tuesday, January 11, 2022
පැවතීම කියන්නේ නැවතීමක් නොවෙයි ස්වර්ණා...
යකඩයි අම්ලකර වායුවයි එකතු වෙලා
සරලව කියනවා නම් ස්වර්ණා
එකතු වෙන දේ වෙන්වෙනවා
Tuesday, January 5, 2021
ආවාට විලේ මහල්ලා....!
හදක් දැවුනු ළය මඬලක ගිනි දළු පිපිරී
උරත් පලා නැග අහසට ලෝ දිය විසිරී
හිසත් සිඳූ ගිනි කන්දක පපු තුර පැහැරී
විලක් හැදුනි නිල් දියවර ඉතිරී පැතිරී
එ’ විල් තෙරම වන ලැහැබක උපන් තුරක් දෝ
එ’ කඳු හිසම මල් යහනක ඔකඳ වුනා දෝ
එ’ ගිනි කන්ද සිප සනසන දොලක් උපන් දෝ
එ’ ගිනි නිවුණු දා කඳු හිස සෙවන කලා දෝ
වසත් කලෙක වට වැස්සක අහස පිබිදිලා
පවස් සිඳුණු මිහිකත ඉපිලෙද්දි දිය ගලා
පවත් නොදැන ඉගිලුනු දා දෙපා බොඳවෙලා
ගියත් සිඳී අතු ඉති පත් නැතිය පැරදිලා
ගඟක දොලක දිය කඳුරක ගිලී පා වෙවී
පියුම් පිපුණු සැඩ පහරක රැඳී ලතැ වෙවී
ඇදී ඇදී ඇදී අවුත් සිටියි නතරවී
නැවුම් විලක දිය ගැඹරෙක නොවී සසලැවී
වසත් සමේ මලින් පිරෙන විල්තෙරේ ලපල්
ගියත් මකා සිසිර සිහිල පිරුණු නල කැරැල්
හිමත් මිදී විලත් වැසෙයි මිහිදුමේ දුහුල්
බියත් සැකත් ඇතත් නැතිය සැසැලිලා අකල්
අහස පුරා කළුවර සළු ඇතිරෙනා පැයේ
සිඟිති එළිය බිංදු ඉසී දිලිසෙනා රැයේ
පහන පිපී හිත ඉපිලෙන විහඟ ගීතයේ
සියක් වසක් බලා හිඳීයි කරවටක් දියේ
හිසක් ලයක් නොමැති නිසල කවඳකට කෙතෙක්
කලක් ගියත් මතක් වේද නිදන ඇසිල්ලක්
පයක් නොරැඳි තරම් ගැඹුරු නරා විල් දියක්
ගෙයක් අහිමි තුරක් සරයි නැතිව නැවතුමක්
මුලිනි’දිරී දෙදණ වැටී මියෙන ලෝකයේ
සුවඳ පිපේ ඉතිර හැලේ මියුරු තානයේ
හිසද සිඳී දියෙහි ගිලී ගයන ගීතයේ
නැගිට නැගී විල තනිවූ ඉන්ද්‍ර චාපයේ
ඉපිල නටන තුරු හිස් සිඹ සිහින රැඳෙව්වේ
පිපෙන පිපෙන මල් වල පෙති පැහැ ගැන්වූවේ
නැගෙන බසින දිය රළ රැලි පොඩිති නැලෙව්වේ
විලක ගිලුණු පැරණි තුරකි සතුටු කොදෙව්වේ
2020 ජනවාරි පස්වෙනිදා
Friday, January 1, 2021
දකුණ බෑ කිව්වා.. හතලිස් අවුරුද්දකට කලින්...
2020 ගෙවෙන වෙලාවේ 1980 අවුරුද්දේ අවසන් දවස් ගෙවුනේ කොහොම ද බලන්න පරණ දින පොත පෙරළුවා....
තුන්මුල්ලේ අධ්‍යාපනය හමාර කරලා, රස්සා හොයන වැඩේ අංජබජල් තත්වයෙන් යද්දී, ලකුණුත් තියනෙකේ, තව ඉගෙන ගන්ඩ හිතපු දවස් ඔය. රුහුණේ, සම්මුඛ පරීක්ෂණයකට ගියා දෙසැම්බර මුල.... නමුත් ආචාර්ය විජේනායක මයාට උවමනාව තිබුණේ.... අද හෙටම පශ්චාත් උපාධියකට පිටරටකට පිටත් වෙන්න තරමට කරුණු කාරණා සම්පූර්ණ කරගත් අපේක්ෂකයෙක්.... ආපහු එයිද නැද්ද නොදන්නා, එහෙම යන්ඩ දඟලන අය, ගන්ඩ වෙන විශ්වවිද්‍යාලවල උදාසීනත්වයක් තිබුණත්, අළුත උපන් රුහුණට උවමනා වුනේ, පුළුවන් ඉක්මනින්, ආචාර්ය මණ්ඩලය හදා වඩා ගන්නයි.
ඔය කාලේ ඇමරිකාවේ පශ්චාත් උපාධියක් සඳහා අයදුම් කරන්න නම් මූලික යෝග්‍යතා පරීක්ෂණ දෙකක් සමර්ථ විය යුතුව තිබුණා. එකක් ඉංග්‍රිසි හැකියාව මනින TOFEL. දෙවැන්න, තමන්ගේ විෂයානුබද්ධ දැනුම මනින GRE. ඒ දෙසැම්බර නවවෙනිදා රුහුණේ සම්මුඛ පරීක්ෂණයට යද්දී, අතේ නොතිබුණු GRE ප්‍රතිඵල, දහ වෙනිදා තැපෑලේ ආවා...
එහේ මෙහේ කැරකිලා කැරකිලා, ඒ වෙද්දී ජනවාරි මුලට තලවාකැලේ තේ පර්යේෂණායතනයේ රස්සාවක් අතේ තිබුණත්, විශ්ව විද්‍යාලයකට, එයිටත් මාතර තියන රුහුණට බැඳෙන්ඩ ඇත්නම් කියන හිතිවිල්ල හින්දාම, ජනේරුවේ තලවාකැලේ යන්ඩ කලියෙන් දෙසැම්බර විසි නව වෙනිදා මාතර ගියා.
ප්‍රතිඵල කොලේ පෙන්නලා, අරහෙ යනවාට වඩා මෙහේ එන්න ආසාව කොච්චර කිව්වත්, පැහැදිලි උත්තරයක් නොලැබුණු එදා....
බස් නැවතුමේ මුණ ගැහුුුුණු මහාචාර්ය පී. පී. ජී. එල්. සිරිවර්ධනටත් සීට් එකක් එහෙම අල්ලලා දීලා, එයාගෙන් ලැබුණු ගුරුහරුකමුත් අතේ මොලවන් ගෙදර ඇවිත් 81 ජනවාරි පළවෙනි දා තලවකැලේ ගිය මට, මාතරින් ලියුමක් ආවේ, පෙබරවාරියේ විතර...
ඒත් ඒ වෙද්දී, තේ වලට හිත ගිහින් ඉවරයි.
Sunday, August 9, 2020
ඔපරේෂන් තලවාකැලේ....!
වසර තිස් අටකට පෙර, නවසිය අසූ දෙකේ අප්‍රියෙල් තුන්වෙනි දා ඔපරේෂන් තලවාකැලේ පළමු අදියර ඇරඹෙන්නේ ඔවැනිම අවිනිශ්චිතතා අතර අපේ හිත් දෝලනය වෙමින් තිබුණු සමයක දීය. නවසිය හැත්තෑ නවයේ විශ්ව විද්‍යාල අවසන් වසරේ අවසන් විභාගයෙනුත් දවසකට පසුව සථප වූ ගිවිසුම ස්ථිර සාරව ලියාපදිංචි කරගන්නට පවුල් දෙකක් මුණ ගැස්සීමේ බාර දූර වූ කටයුත්ත, ඔපරේෂන් තලවාකැලේ වූයේ, වෙන්නප්පුවත්, ලුණුගලත් අතර වූ සියක් දහසක් කඳු පල්ලම් මගහැර මේක කරන්නට නම් දෙපාර්ශවයම එවකට මගේ රැකියා ස්ථානය වූ තලවාකැලේ තේ පර්යේෂණායතනයේ නවාතැනට ගෙන්වීම අවසාන තුරුම්පුව වීම බැවිනි.
ඔව්වායේ පරණ කතා මේ සටහන් ගොල්ලේම දෙතුන් පලක ලියැවී තිබෙයි.
සීතල පිණි මත මල් පෙති විසිරෙන ....
නීල් ආම්ස්ට්‍රෝන්ග් නොදන්නා හැත්තෑ නවයේ චන්ද්‍ර සංචාරය...!
විසිතුන ශ්‍රී හැත්තෑ නවයයි අසූතුන නොහොත් ගාල්ලේ කතාවක්....
උඩරට මැණිකෙට පට කුඩ දෙක දෙක [බෑණා කසාදෙට එන විට රජ්ජුරුවො වගෙ නැන්දම්මට]
ඔය කතාවල රස ගුණ කෙසේ වෙතත්, ඔපරේෂන් එකක් යනු බරපතල කටයුත්තකි.
මුලින්ම කරන්නට තිබුණේ ශල්‍යකර්මයට දින දමා ගැනීමය. ඉතින් ඔය ඉහත පින්තූරේ දින සටහනේ ලියා ඇති ආකාරයටම, නවසිය අසූ දෙකේ අවුරුද්දේ, බොරුවාගේ දවසට දවස් දෙකකට පස්සේ, ශාන්ත කූම්බ්ස් වත්ත හරහා ගිහින්, මටකැලේ වත්ත හරහා ගිහින්, නානුඔයට යනතුරු පා ගමනින් ගිහින් එතැනින් නුවරඑළියටත්, නුවර එළියෙන් වැලිමඩට ගිහින්, වැලිමඩින් අම්පාර බස් එකක පස්සරට ගිහින් පස්සරින් ටැම්පිටිය බස් එකක ලුණුගල යන්නේ ඒකය.
සැලසුම වනාහී, මානෙල්ලාගේ ගෙදර අයට තලවාකැලේ එන්නට පුළුවන් දවසක් තීරණය කරගෙන අපේ අම්මාට දැනුම් දීමය. ඒ අනුව ඒ දින වකවානු අල්ලා, අපේ ගෙදර අම්මාත් තාත්තාත් නංගිලා දෙන්නාත්, අම්මාගේ කෝච්චි වරන්ට් එකේ පිහිටෙන් තලවාකැලේ ගෙන්නා ගැනීමය. එයාලා එන්නේ සතියක නිවාඩුවකට, ලුණුගල පාර්ශවයට ගමන් බිමන් එහා මෙහා කරගන්නට ඉඩකඩ ඇතිවය.
එදා රෑ ලුණුගල නැවතී, පහුවදා එද්දී ලැබුණු ලාවට අපරොන්දු පොරොන්දුව වූයේ..
"කොහොම හරි බෑයි කියාලත් බෑනෙ... ඒ උදවියත් මෙච්චර දුරක් එන එකේ...." යන්නයි.
දින නියමවූයේ 15ත් 22ත් අතර දවසක බලමු ක්‍රමයට ව අතර, ඒ පියවර අවසන් වූයේ, රෑ එකොලහට විතර තලවාකැලේ හිට පා ගමනින් ටී.ආර්.අයි. නවාතැනට ගියාට පසුවය. අපේ ගෙදර කට්ටිය නෑ ගමන ආවේ සිංහල අවුරුද්දට කලින් දා වූ අප්‍රියෙල් දහතුන් වෙනි දාය. එයාලාගේ ආපහු ගමන් යෙදී තිබුණේ දහනවවෙනි දාටය.
පණිවිඩ යැවුනේ, තලවාකැලෙන් ලුණුගල මයිජෙම් සෙන්ටර් ටෙලිෆෝන් එකට කතා කර පාරෙන් අනිත් පැත්තේ විජය ස්ටුඩියෝවේ කෙනෙක් ගෙන්නා ගෙනය. හෘදය වස්තුව ලබ් ඩබ් ගානවා වෙනුවට, එයිද නැද්ද, එයිද නැද්ද, එයිද නැද්ද කියා ගැස්සුණු පස් දවසකට පස්සේ, ඔන්න ඉරිදා එඩී විද්‍යාරත්න මයා නුවරඑළියට එනවායි ආරංචිය ලැබුණි. ඉරිදාය කිව්වේ 1982 අප්‍රියෙල් මාසේ දහ අට වෙනිදා විය. එදා උදේ අටට නුවරඑළියේ බස් පොලේ දී මුණගැහී, එදා දවසේ නුවර එළියේ පැදුණු මෝටර් සයිකල් රේස් එකත් එහෙන් මෙහෙන් බලලා, ටී.ආර්.අයි. ඇවිත් මේ දෙගොල්ලා හරියටම මුණ ගැහුණේ නම් එදා රාත්තිරියේ රෑ කෑම මේසේදී යි.
මගේ ජීවිතයේ වැදගත්ම දවසක් වූ හින්දාටත් වඩා, ඒ දවස් ටික සිංහල අවුරුදු දවස් හින්දා, අපේ නවාතැනේ හිටි සේරම කට්ටිය ගෙවල් වලට ගොස් මේ රාජකාරිය හිතූ විදිහට කරගන්නට අවකාස සලසා තිබුණු අතර, අදටත් ආදරයක් ඇතුව සිහිපත් වෙන, කුස්සිය බලාන හිටි මුත්තයියාත්, අපේ අහලම කරකැවුණු අම්බලකනුත් ඔපරේෂන් තලවාකැලේ හි මගේ සහායකයෝ වූහ.
එදා ඒ සිසිල් සුවබර සවස් යාමයේ, අපේ මානෙල්ගේ තාත්තාත්, අපේ අම්මාත් තාත්තාත් අතර වූ කතාබහේ ඉස්පිලි පාපිලි මතක නැතත්, එදා කෑම කාමරය සිනා හඬිනුත් සතුටු වචන වලිනුත් පිරී තිබුණු බව නම් මතකය. එතෙක් කාලයක් එහේට අවුලක් වූ කේන්දර කතා බහවත්, මෙහේට අවුලක් වෙන්නට ඉඩ තිබුණු බෞද්ධ කතෝලික නොගැලපීම්වත් එදා බත් මාළු පිඟන් තසිම් වල අයිනකවත් තිබුණේ නැත.
එදා ඒ පැය තුන හතරේ හමුවීම පහුවදා උදේ අපේ අම්මාත් තාත්තාත් නංගිලා දෙන්නාත් තලවාකැලෙන් කොළඹ කෝච්චියට ගොඩවීමෙන් අවසන් වූ නමුත්, ඔපරේෂන් තලවාකැලේ අන්තිම අදියර පොතේ ලියා අත්සන් කර අවසන් වූයේ නම් ඒ අවුරුද්දේ අගෝස්තු මාසේ නවවෙනිදා, කොළඹ තිඹිරිගස්යායේ ශාන්ත තෙරේසා දෙව්මැදුරේ දීය.
ඒ දවස අද වෙද්දී අවුරුදුම තිස් අටක් පරණය. අපේ දෙවෙනි මිනිබිරී, පුංචි මෙයිිසි සඳකාන්තිට ලබන මාසේ වෙද්දී අවුරුද්දක් පිරෙයි. මං අම්මා කියන, මේ අවුරුදු තිස් අටටම මා ගැන බලා කියාගත්, මානෙල් හැරුණාම අම්මා තාත්තා දෙකටම ඉතිරිව ඉන්නේ ලුණුගල අම්මා පමණකි.
ජීවිතය ගමනක් බව ඇත්තය. නමුත් ගමන් කරන්නේ ජීවිතය මිස අප නොවන බව පසක් වෙන්නේ බොහෝ දුර ගිය පසුය. තුති අම්මා.
Monday, May 11, 2020
එකැස් කණා
"මොෂේ දයාන් උපන්නේ එක්දහස් නවසිය පහලවේ මැයි විසි වෙනිදාය.
නවසිය හතලිස් එකේ ජූනි හත්වන දා, සිරියා-ලෙබනන් ආක්‍රමණයට පෙරදා රැයේ දී දයාන් ගේ කණ්ඩායම දේශ සීමාව තරණය කර ලිටානි ගඟ හරහා තිබුණු පාලම් දෙකක් අත්පත් කර ගත්හ. එහෙත් සැලසුම් කර තිබූ පරිදි, ඔවුන්ගේ සහායක කණ්ඩායම් නොපැමිණියෙන්, තම කණ්ඩායම අනපේක්ෂිත පහරදීමකට ගොදුරු විය හැකි බව වටහාගත් ඔවුහු අසල වු 'විචි' පොලිස් ස්ථානයට පහරදීමට තීරණය කර එය ද අල්ලා ගත්හ. පැය කීපයකට පසු ගොඩනැගිල්ලේ වහලය මත සිට දෙනෙති දුරදක්නයකින් ගඟෙන් එපිට 'විචි' අවට ප්‍රංශ සේනාංක පිරික්සමින් සිටි දයාන්ගේ දුරදක්නය යාර දෙතුන් සියයක් ඈත සිටි ප්‍රංශ ස්නයිපර් භටයකුගේ රයිෆල් උණ්ඩයකින් පසාරු වී ගියේය. වීදුරු හා ලෝහ කැබලි වලින් ඔහුගේ වම් ඇස සහමුලින්ම විනාශ වූ අතර, එතැනින් ඉවත් කිරිමට ගතවූ පැය හයක පමණ කාලය තුල බර්නාඩ් ඩොව් ප්රොටර් ගේ සාත්තු සප්පායම් නොවන්නට ඔහු මරණයට පත්විමට බොහෝ දුරට ඉඩ තිබුණි. ඇස අවට මස්පිඩු වලට සිදුව තිබූ අධික හානිය නිසා දයාන් ට වීදුරු ඇසක් සවිකිරිමට නොහැකි වූ අතර, පසු කලක ඔහුගේ සංකේතය වූ කළු නේත්‍රාවරණය පැලඳීමට දයාන් හුරුවිය."
https://en.wikipedia.org/wiki/Moshe_Dayan
එක්දහස් නවසිය හැට ගණන් අග භාගයේ දී, ලංකාව ඊශ්‍රායල්යේ හිතවතකු වූ අතර, පලස්තීන ප්‍රශ්නය පිළිබඳව ඇමරිකානු ප්‍රතිපත්තියට පක්ෂවූ ප්‍රතිපත්තියක් අනුගමනය කෙරිණි. අපේ විදේශ ප්‍රතිපත්තින් නිර්ණය වුනේ අපේ උවමනා එපාකම් මතම නොවන බැවින් මෙහි හරි වැරැද්ද කෙසේ වෙතත්, ඒ දවස්වල පොත් පත්තර වලින් උකහා දැක්වූ දේ අනුව යමින්, අපේත් වීරයින් වූයේ, අරුම පුදුම වික්‍රම කරන ඊශ්‍රායල් හමුදාවන් හා ඔවුනට නායකත්වය දුන් මොෂේ දයාන් ය. නූතන ඊශ්‍රායල භූමියේ ඇරඹුණු පලමු කිබුට්සයේ දෙවන දරුවා ලෙස, එක්දහස් නවසිය පහලවේ මැයි විසි වෙනිදා උපන් මොෂේ දයාන්, ඊශ්‍රායලය ජෙරුසලම දක්වා රැගෙන ගිය මොෂේ දයාන්, සිය ජීවිතය අවසන් කලේ 1981 ඔක්තෝම්බර 16 දා හෘදයාබාධයකිනි.
මොෂේ දයාන් මගේ ළමාකල වීරයෙක් වන්නට තවත් හේතුවක් තිබුණි. මොෂේ ට තිබුණේ දකුණු ඇහැ විතරය. මට තිබුණේ වම් ඇහැ විතරය. එකැස් කණෙක් වීරයකු සේ තවත් එකැස් කණෙක් තෝරා ගැනීමේ අරුමයක් තිබෙන්නට නොහැකිය.
දයාන්ට එකැස් කණෙකු වීමට ප්‍රංශ ස්නයිපර් භටයකුගේ උදව් අවශ්‍ය වූව ද, අපේ දේ අපම කරගන්නා සිරිතට අනුව හැඩ ගැසුණු මට උදව්වක් ලෙස අවශ්‍ය වූයේ පුංචි පිහියක් ණයට ඉල්ලා ගැනීම පමණි.
නවසිය හැට දෙකේ මාර්තු දාහතර වෙනිදා බදාදාවක් යැයි අන්තර් ජාලය කියයි. එදා හවස්වරුවේ, ගෙන් ගෙට ගොස් පුටු වියන මනුස්සයෙක්, ඔය පෙනෙන අපේ ගෙදර කෑම කාමරය පැත්තේ ඉස්තෝප්පු කෑල්ලේ වාඩි වී, ඉරුණු කැඩුණු වේවැල් පුටු පිළියම් කරමින් සිටියේ ය.
ජංගි කොටයක් ඇඳන් වත්තේ මිදුලේ දුවන පණින, ඉස්කෝලේ පළවෙනි පංතියේ උගත් අවුරුදු පහක දාංගලයෙක් වූ මගේ ඒ දවස්වල ආසාව වී තිබුණේ වැද්දෙක් වෙන්නට විය යුතුය. ඔය කියන කාලේ, පේර කෝටුවක් පදම් කර හණ නූලකින් දුනු දිය බැඳි දුන්නත්, කෙළවරේ හැඩ කැපූ කෝටු ඊතලත් අපේ ප්‍රියතම ක්‍රීඩා භාණ්ඩයක්ව තිබුණු අතර, එයින් අවුරුදු දෙක තුනකට පසුව සාන්ත මරියා ඉස්කෝලේ වාර්ෂික ක්‍රීඩා උත්සවයකට වැඩිම උසට ඊතලය විදීමේ තරඟයකුත් තිබුණා මතක ය. එදා කොල්ලන් සියළුදෙනා එක රොත්තකට රොක්වී අහසට විද්ද ඊතල අතරින් උඩටම ගියේ, අයිවන් ගේ ඊතලයය කියා සිස්ටර් හෝලි ෆැමිලි දැක්කේ කෙසේදැයි තවමත් මට සිතා ගන්නට බැරිවී තිබේ. ඒක බොහෝවිට අයිවන්, ෂැම්රොක් මුදලාලිගේ පුතා වූ නිසා සිදුවූ දෙයක් ද කියාත් යාන්තං සැකයක් දැන් නම් තිබෙයි.
අම්මාත් තාත්තාත් යාළු මිත්‍රයින්ට, නෑදෑයින්ට, කියූ කතා අසා සිට දැනගත් කරුණු කාරනා අනුව නම්, එදා උදේ වෙද්දී, අර ඇහේ හරහට තිබුණු පුංචි ඉරි කෑල්ල, ඈත් මෑත් වී තුවාලයක් මතුවී තිබී තිබේ. දොස්තර මුලින්ම කර ඇත්තේ, තුවාල වූ වහාම ඉස්පිරිතාලයකට ලෙඩා ගෙන නොයාම ගැන අම්මාටත් තාත්තාටත් බැණ වැදීම ය. ඉන්පස්සේ ශල්‍යකර්මයක් සිදුවූ අතර, ඇහැ ඇතුලේ මැහුම් හය හතක් දමා තිබේ.
මගේ ඇහැ බැළූ දොස්තරගේ නම පරරාජසේකරම් ය. එයා ඒ කාලේ හිටපු හොඳම ඇස් දොස්තරය කියා අම්මා කියයි.
ඒ මේ අන්තර්ජාල සටහනේ ලියවී ඇති පරරාජසේකරම් ය.
"During my medical student days and later it was taken as our special privilege to take a patient or present ourselves to the consultants, bypassing the queue. Once I went to Dr. Pararajasekaram’s clinic in the Eye Hospital. The place was heaving with people. Proudly wearing my stethoscope around my neck, I ignored the queue with an easy conscience and went straight up to Dr.P. I said I was a medical student and would like to see him. He was furious that I broke the queue. Dr. P barked at me “I don’t care who you are. You have got to join the queue.” Although it upset me deeply at the time I do appreciate his willingness to break with an outdated tradition. Many of the patients have come from far away and have been there since the break of dawn. It was totally wrong of me not to take my turn in the queue. I do admire and support his egalitarian attitude."
ඉස්පිරිතාලෙන් ගෙදර එද්දී, මටත් මොෂේ දයාන්ට වගේම ඇස් ආවරණයක් ලැබුණු නමුත් ඒක රෝස දුඹුරු එකක් මිස දයාන්ගේ මෙන් කළුපාට පැච් එකක් නොවිණි. කාලයකට පසුව, අයිපැච් එකේ නවමු ගතිය අමතකව ගිය අතර, දකුණු ඇහේ එළිය නැති ගතිය මටත් අමතකව ගියේය.
නවසිය අනූහතේ ජනවාරියේ හරියාකාරව රැකියාවක් ආදායමක් නොතිබුණු සමයක අම්මා බැලීමට යා යුතුමයැයි හිත කිවූ නිසා, ණයට ඉල්ලාගත් මුදලුත් එකතු කරගෙන ගෙදර ගිය ගමනට පසුව, මට අම්මා හමුවූයේ, ඒ අවුරුද්දේම සැප්තැම්බරයේ ප්‍රංශයේ ලූර්දු නුවර රෝහලක දැඩි සත්කාර ඒකකයක් තුලදී ය. ලූර්දු සිද්ධස්ථානයට වන්දනා නඩයක් සමග පැමිණි ඈ, එහි දී රෝගාතුරව, දුර්වලවූ හෘදය නිසා ඔත්පලව සිටියාය. ඇගේ නාසය තුලින් බටයක් දමා තිබූ අතර, නිරන්තරයෙන් සේලයින් සමග සැපයෙන ඖෂධ මිශ්‍රණයකින් ඇගේ හදවතේ ක්‍රියාකාරිත්වය උත්තේජනය කල යුතුව තිබුණි. නාසයෙන් දැමූ බටය නිසා කතා කල නොහැකි නිසා, අපේ සංවාද සිදුවුනේ මගේ පැත්තෙන් වාචිකවත්, ඇගේ පැත්තෙන් ලිඛිතවත් ය.
නමුත්, ඈ මගේ ඒ සිතිවිල්ල එසේම බව දැන සිටි බවත් දැනෙයි.
Sunday, January 12, 2020
අයියා සමග රැයක්...!
නවසිය හැටේදී පමණ බිරිඳත් පුතුන් දෙන්නාත් රැගෙන අළුතෙන් හැදූ නිවසේ පදිංචියට ගිය අපේ තාත්තා, අසූ අටේ දී ජීවිතය අවසන් කරන විට, අළුත් ගෙදර උපන් දෝණියන් දෙන්නාත්, ලේලියන් දෙන්නෙක් හා බෑනෙකුත්, මුනුපුරන් හතර දෙනෙකුත් ඇතුළුව ඒ ගෙදරට ගෙදරය කියූ ගණන දහතුනක් වී තිබුණි. නවසිය අනූහත අවසන් වෙද්දී, අම්මාත් ලොකු නංගීත් දෙන්නාම අප අතැර ගොස් සිටි අතර, මේ ගෙවුනු දශකය ඇරඹි දෙදහස් දහයේ ජනේරුවේ, ඒ පැත්තට එකතු වුනු අපේ අයියාගේ වියෝවට අද වෙද්දී දසවසක් ගෙවෙයි.
අම්මාත්. තාත්තාත්. අයියාත්, මමත්, නංගිලා දෙන්නාත් වශයෙන් හය දෙනෙක් වූ පවුල දෙන්නෙකුට පහත හෙළුනු එදා අපේ අයියා අපේ ගෙදර සාලයේ නිදා හිටි අන්තිම දවස වූයේය. අයියා එක්ක තනියට ඉන්නට එදා රෑ අට දහය වෙද්දී ඉතුරු වූයේ පොඩි නංගීත්, අයියාගේ ලොකු පුතාත්, එයාගේ මිත්‍රයෙකුත් මමත් පමණකි. එයිනුත් රෑ එකොලහ දොලහ වෙද්දී, දවස තිස්සේම එහා මෙහා දුව පැන මහන්සි වී සිටි පුතාත්, යාළුවාත් දෙන්නාටම නින්ද ගොස් තිබූ අතර, දෙක විතර වෙනතුරු, සාලය පිල අතුගගා නොනිදා ඉන්නට තැතනු පොඩි නංගී සිටියේ නින්දත් නොනින්දත් අතරේය. දරුවන්ව දුව පැන ගහ මරාගත් ගෙදර, බොහෝ කාලයකට පසුව අයියාත් මමත් තනිවී සිටි මුත්, අප අතර කිසි කතා බහකට නම් ඉඩක් නොවීය.
එක ගෙදර එකට ඉස්කෝලේ ගිය දරුවන් වූ අපි, පවුල් පන්සල් වී ගෙදරින් දුරස් වී ගොස්, වසර දෙදහස් ගණන් වෙද්දී, නාඳුනන්නන් තරමට ඈත් වී සිටියෙමු. මේ විරසක වීම් වලට බොහෝ හේතු කාරණා කිව හැකිව තිබුණු නමුදු, ඒ කිසිවක් වෙනස් කරන්නට නොහැකි තැනකට පැමිණ සිටි එදා, මට කලහැකිව තිබූ එකම දෙය, රැය පහන් වන තුරු අවදියෙන් සිටීම පමණක්ම වී තිබිණි.
ලොකු නංගී ලැබෙන්නට ඉඳිද්දී අම්මාගේ ඇවටිල්ලට හවස ඔරසම් කියද්දී, දණ ගසා නංගියෙක් දෙන්නැයි කියා අප දෙන්නා ඔරසම් කියූ හරියේ පුටු දෙකක දිගාවී අයියාගේ පුතාත්, ඔහුගේ යාළුවාත් නිදා සිටී.
ඉන් කාලයකට පසුව, මගේ ළමා ජීවිතයේ මා අගය කල එකම එක තෑග්ග වූ, ජෝන් බාප්පා ගෙනැවිත් දුන් මවුත් ඕගනය, අපේ අයියා මොකක් හෝ කෝන්තරයකට බිම දිගේ රූටවා එවා හප්පා කීතු කීතු කල බිත්තිය ද එතැනම වෙයි.
අප දෙන්නා එකතු වී, නත්තලට ගවලෙන හැදුවේත් ඒ බිත්ති කණ්ඩිය උඩ ජනෙල් උළු වස්සේය. ඒ කාලේ 'විම්' සබන් කුඩු අසුරා ආ, සිලින්ඩර පෙට්ටියේ මතුපිට ඊයම් කොලයේ හැඩ කපා, මෝටරයකට යා කර කැරකවෙන්නට සලසා හැදූ ෆ්ලෑෂරයට වයර් අවුණා, වල්ග තරුවේ විදුලි බුබුළු රවුමට දිගට නිවි නිවී දැල්වෙන්නට හැදුවේත්, රඹසෙවනෙන් කළු කොල ගෙනැවිත්, ඇත්තම ඇත්ත තණ පිඩෙලි ඇල්ලූ නිම්නයකට ඉහලින් ගල්ලෙනක් අඹවා, ගවහලක් මැවුවේත් එතනය.
තාත්තාගේ පේර කෝටු පහරවල් කා, අප දෙන්නා දණ ගසා සිටි සුරුවම යට දැල්වෙන ඉටි පහන් දෙකක් මැද අයියා තනියෙන් වැතිර සිටී.
මද සුළඟට සෙලවෙන ගස් කොලන් හැරෙන්නට ගෙදරට එන පාරේවත්, අහල දෙවටේවත් පණැති කිසිවෙක් නැත. වැහි දවසට, ගුල් අතරින් ගෝනුස්සන් මතුවන හැටි බලා හුන් ගෙදර මහදොර පඩිය යට මිදුලපුරාවට අද සිමෙන්ති පලසක් අතුරා තිබේ. මහපාර අයිනේ අයියාට මොක් සුව පතා එල්ලා ඇති බැනර් සොලවන සුළඟ, වත්ත පුරා වැටී ඇති ඒවායේ විසල් සෙවනැලි ද සොලවයි. මගක් දුර පාර පැත්තට ගොස් නැවතුණු මම, ඉස්සරහ ජනේලය ලඟ තාත්තා බලා ඉන්නවා දැයි ආපසු හැරී බලමි. කිසිවෙක් නැත. මිදුලේ තබා ඇති හිස් පුටු හදිසියේ අවදිවී මා දෙස බලා සිටිති.
අප දෙන්නා අතර වයස් පරතරය වසර එකහමාරකට නොවැඩි වූව ද, අපේ පාසල් පංති අතර වෙනස වසරක් ව තිබිණි. වසරකට ඉහල පංතියක අක්කෙක් අයියෙක් හිටි හැමෝටම මෙන්ම, මටත් බොහෝවිට ලැබුණේ අයියාගේ පාඩම් පොත් ය. මේ කාරණයේ නරක පැත්ත මෙන්ම හොඳ පැත්තද වූයේ, වසරකට පස්සේ ලැබිය යුතු පාඩම් පොත්, විශේෂයෙන්ම සිංහල පොත, අවුරුද්දක් පුරාම අත පත ගාන්නට අවස්ථාව ලැබීමයි. එසේ වුවත් ඒ අවස්ථාව ස්ථානෝචිත ප්‍රඥාව යොදවා කල් යල් බලා ලබා නොගැනීමේ අවාසනාව ද එයට ලැබෙන අච්චු කිරීම් ද විඳින්නට සිදුවෙයි.
ඒ ලපැටි සමයේ, මාස දෙක තුනකට සැරයක්, වත්ත පිටියේ කුණු දමන්නට තරමක වලක් කැප්පවෙන හැටිත්, සතියක් හමාරක්, ඒ විසල් වල අපේ නිවහන වන හැටිත් මට සිහිපත් වෙයි. රතට රතු පසේ අළුතෙන් කැපුණු වල ඇතුලත නැවුම් සුවඳක් තිබෙයි. අපේ නොවැසුනු උඩුකය, හවස ගෙදර එද්දී, රතුපසින් රතුවී තිබෙයි. ඒ අයියාත් මමත් වත්ත කෙළවරට වෙන්නට කැපූ කුණු වල ඇතුලේ පොල්කටු අඟුරු ගිනිමැලයක් ද සහිත කම්මලේ යකඩ කම්බි රත්කර තලා ඉස්කුරුප්පු නියන් හදනාකාරය මට පෙනෙයි.
වසරක පරතරයක සිටියත්, ළමා කල ගෙවා තුරුණු විය වැළඳගන්නා උසස්පෙල සමයේ දී අප දෙන්නාම උගත්තේ එක පන්තියේ ය. බයිසිකලයේ රෝද වලට පෑගෙන වැලිකැට සිරි සිරි ගානා හඬත්, බයිසිකලය පදින අයියාගේ හුස්ම වැටෙන හඬත් මට ඇසෙයි. යම් පමණක දුරස් වීමක් තිබුණ ද, එකම පන්තියේ එකම යාළුවන් සමග උගත් ඒ වසර දෙක එක්තරා අයුරකින්, අප දෙන්නා සමීපවම සිටි කාලයය කියාත් මට සිතෙයි.
කිසිම දවසක හරි විස්තරය හරියාකාර කියන්නට නොහැකි වූ, අයියා අයියාගේ පෙම්වතිය සමග හවස්යාමේ ඇගේ නෑ ගෙදරක හමුවන බව තාත්තාට ආරංචි වූ දා වූ සිද්ධිය කියන්නට ඕනෑයි සිතා සාලයට ගියත්, දැන් ඒ කතාබහට පරක්කු වැඩි බව මට හැඟේ. කෝපයෙන් ගෙදර ආ තාත්තා, අම්මාට බණින්නට පටන් ගත් සැටිත්, අම්මා මට කතා කර ගිහින් බලන්නැයි කිවූ සැටිත්, එදා නෑ ගෙදර මිදුලේ දී, තාත්තා පාරේ ඉන්නවායි කියා කැන්දාගෙන ආවත්, අම්මාටත් තාත්තාටත් කිව්වේ අයියාව පාරේදී හමුවුනාය කියා බවත් කියන්නට ආයේත් ඉතින් වෙලාවක් එන්නේ නැති බව මට මතක් වෙයි.
අපේ ජීවිත වල අප මුහුණ දෙන්නාවූ බොහෝ ප්‍රශ්න ගැටළු එකට එකතු කර වර්ග කලහොත් ඉතාමත් සරලව විග්‍රහ කල හැකි ගොඩවල් කීපයකට ගොඩ ගසන්නට පුළුවන් වේ යැයි මට සිතේ. ඒවාට සරිලන සාධාරණ හා තර්කානුකූල විසඳුම් ද එවැනිම සරල ගොඩවල් කිහිපයක එකතු කරන්නට පුළුවන් විය යුතුයැයි හඟිමි. ඒ එසේ වූවත්, කිසිම දෙදෙනෙක්, ඒ එක් එක් ගොඩට එකම නමක් නොදෙනු ඇත. එකම විග්‍රහය හෝ එකම විසඳුම නොතෝරනු ඇත. බලාපොරොත්තු හා අපේක්ෂාවන් අවසානයේ එකම ලක්ෂ්‍යයක් වෙත යොමු වූව ද, එතැනට යන්නට අපේ අපේම වූ ස්වාධීන මාර්ග හොයන්නේත්, ඒ නිසාම, තරඟයක් ඇතිකරගෙන රේස් දුවන්නට අප පෙළැඹෙන්නේත්, මේ නොදැක්ම නිසාමයැයි මට සිතෙයි.
යාන්තම් උදා ඉර මෝදු වී එද්දී, අවදිවූ පොඩි නංගී, මා වෙත එයි. එක්තරා අයුරකින්, අප දෙදෙනා තනිවී ඇතැයි හැඟුනත්, මගේ සිතට තනිකමක්වත් පාළුවක් වත් නොදැනෙයි. ඇයටත් එසේම යැයි මට සිතේ.
Sunday, January 5, 2020
ජනවාරි පහ දෙදාස් විස්ස
Sunday, July 21, 2019
නීල් ආම්ස්ට්‍රෝන්ග් නොදන්නා හැත්තෑ නවයේ චන්ද්‍ර සංචාරය...!
අපේ යෞවනයේ ගායකයා වූයේ මිල්ටන්ය.
අපේ මිල්ටන් නම්, ජේ. ඒ ය. ජේ. ඒ. මිල්ටන් පෙරේරාය.
මිල්ටන්ගේ සිහින දෙව් දුවට පෙම් බැන්ද අපට වෙන කිසිවකුට ආදරය කරන්නට හිතන්නටවත් කාලයක් තිබුණේ නැත. ඇයගේ නාමය නම් ඉතින් ආදරයම විය.
ලපැති සඳත් කටු රැඳි මලුත් අතරින්, වන වදුලු, ගිරි කඳුරු, රුදු කතර පීරා හඹා ගොස් නලලත අත තබා ලෙයින් ලියා පවරා දිවි බඳුන පුද කරන්නා වූද, ඕ දෙපා අබියසම ගිනි නැතිව දැවී හළුවී ජීවිතයෙන් සමුගන්නා වූද, අමරණීය ප්‍රේම කළ්‍යාණියක් පිළිබඳව සිහින දකින්නට අපට ඉගැන්නුවේ කරු අයියාගේ පදමාලා වලට සිය හෘදයාංගම කටහඬ මුසු කල මිල්ටන් ය.
එකම නමයි මා දන්නේ ඒ නම ආදරේ...
සඳෙහි ලප තියේ මලෙහි කටු තියේ
කල්යාණි නමට අම පෙම් දිවි බඳුන පුදකරන්නම්
හීන දෙවොල්වල දේවතාවියන් පිදීම එකකි, දන්නා කියන කතා නොඇසූ කල්යාණියන් සොයා ගැනීම නම් ඒ තරම් ලේසි පහසු නොවෙයි. ඒකත් සිහිනයක්ම වීමේත් රසයක් තිබෙයි.
ඉල්ලීමත්, සොයා යෑමත් කෙසේ වෙතත්, මේ පුදුමාකාර ජීවිතයේ දී නොඉල්ලන දේ නොහිතූ ලෙසින් ලැබීමට වෙලාවක් කලාවක් නැත. කතාවේ හැටියට පතාගෙන ආ ආදරය නෑඹුල් සිනාවක ආදරයෙන් ඔතා අතට ගෙනැවිත් දුන් එදා දවසේ සිදුවූ වික්ෂිප්ත වීමත් මිල්ටන්ගේ සිංදුවකටම කරු අයියා ලියා තිබුණත්,
ඒ වෙනුවට සිදුවූයේ නවකතා පොතේ වෙනවා වගේම, ඒ අදහස අතහැර දමන්නට දෙන්නාම තීරණය කිරීමකි.
ඉතින් මිල්ටන් ඒ ගැනත් කියා තිබූණි. සිද්ධ වූ දේ සිද්ධ වූ හැටියෙන්ම කරු අයියා ලියා මිල්ටන් ලවා කියවා තිබුණි.
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති වුණා ..//
නින්දකට නොවැටි තැවි තැවි - මුලු රැය පහන් කලේ ..//
රෑ කවුද හෙමින් එළැඹී - මගේ කනට මුව තියා
මින්දදගෙ දුන්නෙ මල් හී - පහකැයි කියා ගියා ..//
වැසු විමන් පියන් පියවා - රඳවන්න මට හිතයි
උඩු හිතට වැඩිය ඔබ ගැන - විමසන්නේ යටි හිතයි ..//
මට ගයන්නට බැරි නමුත්, කරු අයියා ලියා මිල්ටන් ගැයුවේ කා ගැනදැයි අද නම් මට ඇස් පියාගෙන වුවද පෙන්වන්නට පුළුවන.
සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ
එකකී මට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ
මගෙ ජීවය ගල් ලෙනකී එහි පහන ඔබ තමා - එය දල්වනු මැන හිනැහී හද පෙම් ගිතෙල් දමා
වැලපීමට හෝ සැනසීමට මතු සැරින්සැරේ - එකකී මට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ
අඩකී පිරිලා ඇත්තේ රස මිහිර මීවිතේ - පුරවා දිය හැකි ඔබටයි අඩු කොටස ජීවිතේ
පිටුපෑමට ලං වීමට භවයේ වරින්වරේ - එක කීමට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ
අද හෝ හෙට කරුණාකොට වියැළුනු දෙතොල් තෙමා - දිවගෑමට සැනසීමට ඔබ දිය යුතුයි අමා
ඔබගේ නෙත කඳුළැලි මත පාවෙන තරම් ප්‍රියේ - දරුණූ නැත මගෙ හදවත හොඳ සිහිය මට තියේ
සෙලවීමට නොහැකී වැද බාධක සුළං සැරේ - එකකී මට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ
සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ
එකකී මට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ
ආදරෙයි අම්මා....!
Sunday, January 6, 2019
දොර ඇරපන් අමල් බිසෝ..... (2019)
තැන තැන තවම දැල්වෙන
අඳුරු අහසේ විසිර
දිදුළු දෙන තරු කැට
අවර්ණය ලෝකයම
පාට කරනා තුරු
ඇතිල්ලී හිරු රළ
සුගති උයනේ ඇපල් ගස මුල
දිරායයි හැව සර්පයා ඉතිරි කල
බිම හෙවුණු තුරු බඳක ඇණ තියා
සුසුම් ලයි විටින් විට
සූරා නහය
වීසීකර සෙම් සොටු
පිසදා ලේන්සුවකින්
බලාගත් අත බලා ඉන්නා
කකුල් ඉදිමුණු දෙවියෝ
දිරා ගිය යකඩ ගේට්ටුව ලඟ මුරය
කුදු ගැහුණු ගබිරියෙල්
ඉඳ හිටක මිරිකයි කඩු මිට
ගිනි දළුව විද දවා
පන්නා දමන්නට
මැස්සෙක් මදුරුවෙක්...
පහල පාරේ වංගුවෙන් එපිට
ආදං ගේ කඩේ වයර්ලැස් එක
පාව එයි
උඩු හුළඟ දිග
කම්මැලි කමට
ගාට ගාටා හමන
"කවාලා විළඳ ජාතී...
ඇති කලා...ත් රන්...
කූ...ඩු වේ ගිරවා
දමාලා...
යන්නෙ ඉගිලී
රැව් දි දී ලබ...
නාසෙ වන සැපතා....."
ජනවාරි 5, 2019
Sunday, June 24, 2018
විශ්වය කාලය හා ඒකාත්මිකතාවය
එසේ ඇරඹුණු විශ්වය, තවමත් තවදුරටත් ප්‍රසාරණය වෙමින් පවත්නා බවත්, ඒ ප්‍රසාරණ කාර්යාවලිය අතර තුරත්, බිලියන ගණන් තාරකා මියෙමින් උපදිමින් පවත්නා බවත් විද්‍යාඥයෝ උපකල්පනය කරති.
එහෙම බැළුවාම විශ්වය කියන්නේ, එක විදිහකින් නොනවතින ගිණිකෙලි සංදර්ශනයක් මෙන් යැයි මට සිතෙයි. එක් අහස් වෙඩිල්ලකින් විසිරෙන ගින්දර මල් පිපී නිවී යන්නාහාම තවත් අහස් වෙඩිල්ලක් අහසට නැග පුපුරා අලුත් මල් පුබුදුවයි. මේ ගිණි කෙළිය අවසන් වන්නේ, විශ්වයේ ප්‍රසාරණය අන්තයකට ගොස් නැවත සංකෝචනය වීමට පටන් ගැනීමෙනියි කියති. ඒ සංකෝචනය අවසානයේ නැවත මුළු මහත් විශ්වයම, කතාවට කියන්නා සේ අල්පෙනිති හිසක් තරමේ ඒකාත්මිකතාවයකට ගොනු වෙයි. ඒත් ආයෙත් නැවත පිපිරෙන්නටම විය යුතුමය. එනයින්, අර සැලියේ කකුළුවාත් අපත් පමණක් නොව මේ මහත් විශ්වයේ පැතිර ඇති සියළු ග්‍රහ තාරකාත්, දිය පැසෙන තුරු දිය කෙලින්නෝම වෙති.
මේ මොහොත අතිශයින් වැදගත් වන්නේ ඒ නිසාය. මන්දයත් මේ මොහොත ආපසු කවරාකාරයකින්වත් කොහේ කොතැනකදීවත් නැවත ප්‍රතිනිර්මාණය නොවන නිසාය. එසේ නිර්මාණය කරන්නට කවරෙකුට හෝ හැකිවන දවසක් පැමිණියද, ඒ මේ මොහොත නම් නොවන්නේමය.
එසේ ප්‍රතිනිර්මාණය කරනු තබා, සිතේ සිතුවිලිවත් නැවත එලෙසින්ම මවා ගත නොහැකි මොහොතවල් අටෝ රාසියකට අපි ජීවිතය යැයි කියමු. අර විශ්වය අැරඹුණාක් මෙන්ම අපේ ජීවිතවලටද ඇරඹුමක් තිබේ. විශ්වය මෙන්ම අපේ ජීවිතත්, හැදී වැඩී නොනවත්වා ප්‍රසාරණය වෙයි. ඒවායේත් අහස පුරා, නොනවැතීම, අහස් වෙඩි පුපුරා එළිය වෙයි.
පුංචි දරුවන්ට හැමදාම පුංචිවුන් වාගේම ඉන්නට පුළුවන් නම් යැයි අපට හිතුණු හිතෙන වාර ගණන නිමක් නැති මුත් උන් කවදාවත් එසේම සිටින්නේ නැත. එසේ සිටිනවා නම් මෙසේ මෙවැනි සටහන් ලියවෙන්නේත් නැත. සෑම මොහොතකම වටිනාකම රැඳී ඇත්තේ නොනැවතී වෙනස් වීම නම් වූ මේ පුංචි රහසේ ය. මේ ගලායාම තුල වසරකට වරක් අපි අපේ සිත්වලට බලකර සංකෝචනය වී නැවතත් අපේ විශ්වයේ උපතට හැරී බලමු.
ඉතින් අද දවස, අද මේ මොහොතේ මගේ සිතේ මතුවන්නාක් මෙන්ම, එදා මෙදාතුර ඔබේ විශ්වයේ අහස පුරා පිපුණු දිලිසුණු සියලුම ආලෝක බිඳිති වල ආලෝකය විඳින්නටත්, ඒ සතුට මැද සැනසෙන්නටත් තරම් වාසනාවන්ත දවසක් වේවා.
අම්මා, සුබ උපන්දිනයක්.
Sunday, January 14, 2018
ඊ. එන්. එකසිය අසූ හත
ඉස්සරම ඉස්සර ලංකාවේ වාහන අංක පටන් ගෙන තියෙන්නේ ඉංග්‍රිසි කිව් අකුරත් අංකයකුත් යොදාය. ඉන් පස්සේ ඒ, බී, සී, ඩී, අංක තහඩු කාලයක් තිබී ඇති අතර ඊළඟ රවුම සිලෝන් කියන ඉංග්‍රිසි අකුරු වලින් ජෝඩුව බැගින් ගෙන අංකයක් අවුණා තහඩු නිකුත් කල කාලයයි. සී.ඊ, සී.එල්, සී.එන්. ආදි වශයෙන් ගිය මේ ක්‍රමය, ඊ.එන්. කිට්ටුකර තියෙද්දී, ඉංග්‍රිසිය හැලී ශ්‍රී උදාවිය.
ශ්‍රී ගෙනාවේ ශ්‍රී ලංකාකාරයා වූ බණ්ඩාරනායක නමුත් එක ශ්‍රී එකේ තහඩුව ජෝන් කොතලාවල ගේය. මේ කාලයේම ටකර් කොම්පැණියේ කාර් සේල්ස්මන් කෙනෙකු වූ අපේ තාත්තා මිලදී අරගත් අළුත්ම ශ්‍රී වාහනයේ තහඩුව එක ශ්‍රී එකසිය පහලවය. ඒක ඒ් කාලේ නම් කිරිපාට ඕපල් රෙකාඩ් වාහනයකි. අළුත් කාර් එකක් ගත්තත් ඒ වෙද්දී හද හදා හිටි ගෙදර වැඩ කටයුතු ඉවරකරන්නට, මුදල් උවමනා වූ හින්දා ඒ එක ශ්‍රී වාහනය, ඊ. එන්. වාහනයක් සමග අතපිට මුදලකට හුවමාරු කරන්නට තාත්තාට සිද්ධ වී තිබේ. මේ හේතුව නිසා ආ ගමන් ගත්තා වුනත් වැඩි කාලයක් ‘ශ්‍රී‘ කාරයක් පදින්නට තාත්තාට ලැබුණේ නැත. එ් කාලයේ යූ අැන්ඩ් පී කාරයකු වූ එයා හරියටම ශ්‍රී ලංකාවට අාවේ නම් හැත්තෑවේ දීය. එව්වා ගැන වෙන වෙන තැන්වල ලියා තිබේ.
ගමන් බිමන් යද්දී, අතර මගදී, අර එක ශ්‍රී එකසිය පහලව ඇඟිල්ල දික්කර පෙන්නූ නමුත් අපේ තාත්තා වූ, බේබි මහත්තයාගේ වාහනය, ඊ. එන්. එකසිය අසූහත අංක තහඩුව දරණ දොර හතරේ කළු පාට වොක්ෂෝල් වයිවන් මෝටර් රථය වුනේ එහෙමය. ඒ නවසිය පණස් හත, පණස් අටේ දී විතරය.
ඒ දවස්වල ගම්පලාතක්ම වූ අපේ පැත්තේ බොහෝ දෙනා ගමේ ගොඩේ කාර් සේරගෙම පාහේ අංක තහඩු දැන සිටියෝය. අයිතිකාරයාගේ නම නොකියා වාහනයේ අංකයෙන්,
“දවසටම පණස් හතයි විස්ස දැක්කෙ නෑ නේහ්“
“අද කොළඹ යන දවසනේ.... හවහ එයි“
වැනි කතා බහ අපේ පැත්තේ හන්දියක කඩපිලක සිද්ධවෙන සාමාන්‍ය කතා බහ විය. අපේ තාත්තා, පොතේ ලියා ඇති හැටියට නම්, ඉඩම් හිම් වැවිලිකාරයෙක් වුණත්, කෝකටත් තෛලය වාගේ කාගෙ කාගේත් උවමනා එපා කම් වල දී, කාට කාටත් උවමනා එපා හැමදේම කරන කරදෙන, දැන් කාලයට සුදුසු භාෂාවෙන් කියනවා නම් ග්‍රාමීය සමාජ ක්‍රියාකාරිකයෙක් ලෙස හඳුන්වන්නට පුළුවන් වූ, චුට්ටක් අමුතු තාලේ මනුස්සයෙකි. ඒක නිසාම බොහෝ විට ඊ. එන්. එකසිය අසූහතේ ගමන් බිමන් ගියේත්, අපේ ගෙදර අයට වඩා, ගමේ ගොඩේ කට්ටියය කිව්වොත් එ් හැටි වරදක් නැත.
කාර් පදිනවා නොව කාර් එළවන කාලයක් වු ඒ කාලයේ කාර් එලවූ බොහෝ අය මෙන්ම, අපේ තාත්තාත්, කාර් එකේ සරුවාංගයම පාහේ අත පතගා, තෙල් පත්තු බැඳ, පිලිසකර කරන්නට හැකියාවක් තිබුණු, යතුරු අඬු බඬු, අතට පයට හුරු පුරුදු, පුද්ගලයෙක් වීය.
කාර් එක ස්ටාට් නොවෙනවා නං, කරන මූලික අත් වෙදකම වූ තල්ලු ස්ටාට් එකක් දැමීම, අපේ ගෙදර කවුරුත්, අම්මා නංගිලා ඇතුළු හැමෝම ඇතුළුව මනා ලෙස ප්‍රගුණ කල ගොඩ වෙද කමකි. අහලක අත් උදව්වට කවුරුවත් නැතත්, දොර කවුළුවෙන් අත දමා සුක්කානම කරකවන ගමන් තනියෙන්ම කාර් එක තල්ලු කරලා, යාන්තං පල්ලමකට වට්ටා, දුවන කාර් එකේ දුවලා එල්ලී නැගලා, කල්ච් එක පාගා ගියර් එක දාලා ස්ටාට් කරගන්න සෙල්ලම පවා අපේ තාත්තා කරනවා මට දැක පුරුදු තිබේ.
අපේ ගෙදර හිට හලාවත පාරට දිවෙන යාර දෙතුන් සීයක බොරළු පාරේ ඉහලට පහලට මේ වාහනය තල්ලු කරන එක, විශේෂයෙන් මගුල් ගෙදරක හෝ පල්ලියක මංගල්ලයට යන්නට ඇඳුම් කැඩුම් අැඳගෙන, අම්මලා නංගිලා අයියා අපි හැමෝම මේ වාහනය පස්සේ හායි හූයි කිය කියා තෙරපෙන එක, එක දවසක් දෙකක් විතරක් වුනු දේකුත් නොවේ. එවැනි වෙලාවට, උත්සාහය හා විශ්වාසය පළුදු වන්නට නොදී, හරියටම ස්ටාට් වුනේ නැතත්, එහෙන් මෙහෙන් පුටු පුටුවක්, යාන්තං දුම්පාරක් හෙම දමා, මේ තල්ලු සප්පායම තව තවත් දිග්ගස්සගන්නට ඊ. එන්. එකසිය අසූහතත්, හොඳාකාරවම දැන සිටියේය.
වොක්ෂෝල් වයිවන් වාහනය ඉස්සරහ ආසනයේ තුන් දෙනෙකුත් පිටුපස ආසනයේ තුන් දෙනෙකුත් වශයෙන් උපරිමයෙන් හය දෙනෙකුට ගමන් කරන්නට හදාපු වාහනයකි. ඊ. එන්. එකසිය අසූහතට ඔය සුද්දාගේ මගී සීමාවල් තිබුණේ නැත. අනෙක් අතට තල්ලු ස්ටාට් එකකින් පහුව, වාහනේ ස්ටාට් කල ඈයින්ව පයින් ගෙදර යැවීමේ සිරිතක් අපේ තාත්තාට තිබුණේත් නැත. සමිති සමාගම් වල රැස්වීම් ඉවර වී සාමාජික සාමාජිකාවන් ගෙවල් වලට අැරලන්නට වූ වෙලාවල් වල දහ දොලොස් දෙනෙකුට වැඩි මහ මිනිසුන් පිරිසක් මේ මෝටර් රථයේ සීට් වල මෙන්ම, බිම ද වාඩිවී, එල්ලී දිගාවී ගමන් ගිය දවස් මට මතක තිබේ. එක්තරා කාලයක ආණමඩුවේ අතුරු මැතිවරණයකට අත් උදව්වට ගිහින් යාළු මිතුරු වූ, පවුල් තුන හතරක කාණ්ඩයකුත් පටවාගෙන අනුරාධපුරයේ වට වන්දනාවට ගිය කතාවක විස්තරය අපේ අම්මා කියනවාත් මා අසා තිබේ.
ඒත් ඒක තාත්තාගේ වාහනේ හින් දා අපේත් වාහනේ විය. අපේ අම්මා 'ඕල්ඩ් ග්ර්ල්' කියා හැඳින්වූ එකසිය අසූහතේ මට මතකම ගමන, එක් අවුරුද්දක මඩු පල්ලි ගිය ගමනයි. අපේ තාත්තලාගේ කාණ්ඩය මඩු පල්ලි යන්නේ අගෝස්තු මංගල්ලයටය. ඒක නයිනාමඩමේ කාණ්ඩයකගේම සිරිත වී තිබුණි. අවුරුද්දකට සැරයක් යන මේ ගමනට කාර් එක පිලිසකර කර ගැනීම ප්‍රධාන කාර්යයක් වෙයි.
වාර්ෂික ගමනක් වූ මේ ගමනේ දී, ඉස්සරහ ආසනයේ අම්මාත් තාත්තාත්, නංගිලා එක්කෙනෙක් හෝ දෙන්නාම වාඩිවී ගියා වූව ද, පිටිපස්සේ නම් අයියාටත් මටත් ඇලිස් අක්කාටත්, ඇලිස් අක්කාගේ පුත්‍රයා වූ හයසින්ටත් බොහෝවිට ගමනට එකතුවන දයාරත්න වැනි පිරිමි පරාණයකටත්, එයිට අමතරව ගෙදර අත් උදව්වට හිටි සුනිල්ටත් වශයෙන් හය දෙනෙකුට පමණ ඉඩ තිබේ. යන්නේ මඩුපල්ලි වුවද, කවදා කොහේ ගිහින් කවදා ගෙදර ඒ දැයි හරියටම කියන්නට බැරි මේ ගමනේ හැකි තැනක නැවතී ඇලකින් දොලකින් නාලා උයාගෙන කාලා නිදාගන ගිමන් ඇරලා නිදහසේ යන්නට උවමනා අඩු වැඩිය අඩුම කුඩුම සියල්ලමත් රැගෙන යා යුතු වෙයි. මේ දේවල් අහුරන ගෙන යන පිළිවෙලක් ද තියේ. හැමෝගේම පැදුරු එක උඩ එක එලා, ඒ මැදට කොට්ට පොරවන සියල්ල අඩුක් කර ඔතා බඳින පැදුරු මිටිය, මඩු පල්ලි යන්නට සතියකට දෙකකට කලින් කාගෙන් හෝ ඉල්ලාගෙන ඇවිත් කාර් එකේ වහල මැද සවිකරන හුඩ් රැක් එකේ තැන්පත්වන ප්‍රධානම භාණ්ඩයය. එයින් අමතරව, පෙට්ටි සූට්කේස් ආදියත් වහලය උඩ රැඳවෙන අතර, ඩිකියේ ඉඩකඩ ඉවර වූ පසු ඉතිරිවන බාල්දිය, හට්ටි මුට්ටි, අතර මගදී මගට කන අළුවා, අග්ගලා, විස්කෝතු පාර්සල ආදිය නතරවෙන්නේ, කාගෙ කාගේත් කකුල් අතරය. මේ බඩු භාණ්ඩාදිය එකතු වූ විට, එන්ජිමේ බර බැලන්ස් වී, ඊ. එන්. එකසිය අසූහත, යාන්තමට වාගේ අහස දිහාවට ඇස් උස්සා හිනා වෙනවා වගේ පෙනෙයි.
හැම දේකම වගේ මේ වාහනයේත් මර්මස්ථානයක්, එනම් චුට්ටක් දුර්වල නිලයක් තිබේ. ඒක තියෙන්නේ ගියර් පෙට්ටිය ඇතුලේ, ගියර් රෝද එහා මෙහා කරන ප්‍රධාන යකඩ පට්ටම කෙළවර ය.
මෙන්න මේ පින්තූරයේ රතු පාට රවුම ඇතුලේ ය.
බැළූ බැල්මට කට්ටයක් කැපූ තරමක යකඩ ඇණයක් වගේ පෙනුනත්, ගියර් පෙට්ටියේ නායක දැති රෝද එහා මෙහා වුනේ මේ පුංචි කට්ටය කැපූ ඇන කෑල්ලේ පිහිටෙනි. කරදරය තිබුණේ නිතරම මාන්සිවෙන මේ කට්ට ඇන හිසේ, එක පළුවක් දෙදරා වෙන්වී කැඩී යාමයි. ප්‍රතිඵල දෙකකි. ගියර් මාරුව අබලන් වීම ප්‍රධාන එකය. අර දැතිරෝද පෙට්ටිය ඇතුලට වැටුනු චුට්ටං යකඩ කෑල්ල, එහෙ මෙහෙ ගිහින් දඟ කිරීම නිසා, රෝදවල දත් ගැලවීමට පුළුවන් කම අනිකය.
මේ ලෙඩේට කළ යුතු ශල්‍යකර්ම සාත්තුව සැරයක් දෙසැරයක් නොව හත් අට වතාවක්ම කරලා අපි කවුරුත්, ඒ කියන්නේ අයියාත් මමත් දයාරත්නත් අම්මාත් තාත්තාත් හොඳින් දැන සිටි එකකි.
පියවර කීපයකි.
(1) වාහනේ යටට රිංගා ගියර් පෙට්ටිය ගලවා පහත් කර එළියට ගැනීම
(2) උඩ පියන ගලවා ගියර් ලීවර් ගලවා, පැත්තක් සොච්චං වු ඇණය ගලවා ගැනීම
(3) ගියර් ඔයිල් භාජනයකට අයින් කරලා ටෝච් අල්ලා, කම්බි කූරු අඬු කතුරු කාන්දං කෑලි ඔය මොනවා හෝ යොදාගෙන අර කැඩී වැටිච්ච තව් කෑල්ල තෝරා බේරා එළියට ගැනීම
(4) සොත්ති වූ ඇණ කෑල්ල ලියවන පට්ටලයකට ගෙන ගොස් අළුත් ඇණ කෑල්ලක් ලියවාගන ඒම
(5) අළුත් කෑල්ල අවුණා, ගියර් ලීවර හයිකරලා ගියර් පෙට්ටිය එකලස් කිරීම
(6) වාහනේ යටට රිංගා ආයේත් ගියර් පෙට්ටිය හරියට සෙට් කරලා ඇණ මුරිච්චි දාලා සවි කිරීම
(7) තෙල් දාලා ලීක් හොයලා ගියර් චෙක් කරලා ට්‍රයල් යාම
මෙව්වා සිද්ධවෙන අතරින් පතර නොහොබිනා වැඩද කරන්නට මේ වාහනය අති සමර්ථය. ගියර් පෙට්ටිය පස්සේ ඩිපරැන්ෂල් වලට සම්බන්ධ වෙන හරියේ අනවශ්‍යය වෙලාවට ලෙඩදෙන ඔයිල් සීල් එකක් තිබේ. ගියර් පෙට්ටි පියනත් පෙට්ටියත් අතර ගෑස්කට් එකක් තිබේ. ගෑස්කට් නම් පරණ ෂර්ට් පෙට්ටි පට්ටයකින් වුනත් කපා හයි කරන්නට පුළුවන් නමුත් අර ඔයිල් සීල් එක කොච්චර ටේප් දාලා පොටි ගාලා හැදුවත් ලේසියෙන් රෙපයාර් කල හැක්කක් නොවේ.
ඉතින් මේ කියන මඩු පල්ලි ගමනේ දී, ඊ.එන්. එකසිය අසූහතට මේ ලෙඩේ හදා ගන්නට මතක් වූයේ, පුත්තලමත් පහුකරලා දහය හෝ පහලව කණුවට විතර කිට්ටුවය. ගූගල් සමාගමේ සිතියමට අනුව මගේ නිච්චිය නම් ඉහල පුලියන්කුලම හරියේ විය යුතුය. ඒ දවාලට උයාලා කාලා එදා දවස ගතකල පාර අයිනේ වැව් පිට්ටනියේ මතකයෙනි. ඒ වැව අයිනේ දිගටම තිබුණේ දං ගස්ය.
අතේ ගෙනියන තියා ගෙදර මේසය උඩ තියන ටැලිපෝන් එකක්වත් නොතිබුණු, එක්ස්චේන්ජ් එකෙන් පිටට කතා කරනවා නං, බිංදුව කරකවලා නොම්මරය කියලා කෝල් එක සම්බන්ධ කරවා ගත් ඒ කාලයේ, කැඩිච්ච වාහනයක් පාර අයිනේ කෑලි කරන එක සාමාන්‍ය සිද්ධියක් වූ අතර, වැඩේට අවශ්‍ය යතුරු අඬු මන්න පිහියා කතුරු පිහි මෙන්ම, අඩ තියන ලී කොට වලින් ද සන්නද්ධ නොවී ගමන් බිමන් යෑමේ පුරුද්දක් අපේ තාත්තාට තිබුණේ ද නැත.
ජැක් ගසා වාහනය උස්සා අඩ තියා, යට රිංගාගන ඇණ මුරිච්චි ගලවන තාත්තාට අර යතුර මේ අඬුව ආදී වශයෙන් අත් උදව් දීමත්, ගලවා අතට දෙන ඇණ මුරිච්චි පිළිවලට පරිස්සමට තැබීමත් පවුලේ පිරිමි ළමයින් වූ මගේත් අයියාගේත් කාර්යයන් වූ අතර, අපට අත් උදව් දීමට දයාරත්නත් හයසිනුත් වූහ.
ගලවාපු කරදරකාර ඇණ කෑල්ල පුත්තලමට ගොස් ලියවාගන ආයේ නම් දයාරත්නය කියා මතක තියේ. එයා ගිහින් එනතුරු අපි දවාලට කාලා වැව් පිට්ටනියේ දං ගස් යට පැදුරු එලාන නිදාගත් අතර, එදා හවස් වෙද්දී කලා ඔය පල්ලියටත්, ඉන් පහුවදා දවාලේ අනුරාධපුරයටත් ගොස් අනුරාධපුරයේ දී, අර කාන්දුවෙන ඔයිල් සීල් එක හදාගන්නට, ගැරේජ් බාස් කෙනෙක් සමග අපේ තාත්තාට සෑහෙන හෙට්ටුවක් හෙට්ටු වෙන්නට සිද්ධ වූ බවත් මගේ මතකයේ තිබේ.
එයා ගැන ලියන්නට තවත් නොයෙකුත් කතා තිබෙන නමුත් ඒවා වෙන වෙන වෙන වෙන කතා හැටියටම හැකි හැකි හැටියට ලියන එක වඩාත් හොඳය හිතේ.
ආරංචිවල හැටියට නම් වොක්ෂෝල් කොම්පැණිය තවමත් වාහන බිස්නස් එක නවතා නැත. එයාලා ගැන බොහෝ කරුණු කාරනා මේ සබැඳි ජාල අඩවියේ තියේ.
http://www.vauxpedia.net/
ඔය ඉහල තියන පින්තූර වලට අනුව ශතවර්ෂ කාලක් විතර අන්ධකාර කාමරයක වහංවී සිට ජරාජීර්ණ වුනත්, නාලා කාලා සැන් පවුඩර් දා ඇඳලා ජේත්තුවට හිටි කාලයේ අපේ ඕල්ඩ් ග්ර්ලුත් පහල පින්තූරයේ වගේමයි කියා මට අදවාගේ මතකය. මෙයා නම් සැපට සුකුරුත්තමට හදා වඩා ගත් නිසා අදටත් කෙල්ල වාගේ ඉන්නා එංගලන්තයේ වාහනයකි. ඒ වාහනයේ අංක තහඩුවේ අපේ මානෙල් කැම්පස් කාලේ අැඳපු චීත්ත මෝස්තරයක් සටහන් වී ඇතිය හිතෙන හේතුව නම් මට හිතාගන්නට බැරිම එකකි.
ඉතින් ටිකක් ලංවී කියවා බැළුවොත්
(1) ඕනෑම අළුත් වාහනයක්, හරියාකාරව බලා කියා නොගත්තොත් ජරා ජීර්ණ වන බවත්
(2) මාතලී පදවන වෛජ්‍යන්තයේ වුනත් කොහේ හෝ තැනක මර්මස්ථානයක් ඇති බවත් ඒ ගැන දැන කියාගෙන සූදානමින් සිටීම වැදගත් බවත්
(5) ඔය සේරටම වඩා, අපේ තාත්තලා සීයලා අත්තලා ගේ කියුම් කෙරුම් දිහා බලා යමක් අවබෝධ කරගන්නට ටක්කෙටම පුළුවන් වෙන්නේ බොහෝවිට අපේත් දණිස් වෙවුලන වයසට ලඟා වෙද්දී බවත්
මෙතෙක් කියවාපු ඔබට පසක් වනවා ඇත.






















