Monday, May 11, 2020

එකැස් කණා

Share it Please


"මොෂේ දයාන් උපන්නේ එක්දහස් නවසිය පහලවේ මැයි විසි වෙනිදාය.
නවසිය හතලිස් එකේ ජූනි හත්වන දා, සිරියා-ලෙබනන් ආක්‍රමණයට පෙරදා රැයේ දී දයාන් ගේ කණ්ඩායම දේශ සීමාව තරණය කර ලිටානි ගඟ හරහා තිබුණු පාලම් දෙකක් අත්පත් කර ගත්හ. එහෙත් සැලසුම් කර තිබූ පරිදි, ඔවුන්ගේ සහායක කණ්ඩායම් නොපැමිණියෙන්, තම කණ්ඩායම අනපේක්ෂිත පහරදීමකට ගොදුරු විය හැකි බව වටහාගත් ඔවුහු අසල වු 'විචි' පොලිස් ස්ථානයට පහරදීමට තීරණය කර එය ද අල්ලා ගත්හ. පැය කීපයකට පසු  ගොඩනැගිල්ලේ වහලය මත සිට දෙනෙති දුරදක්නයකින් ගඟෙන් එපිට 'විචි' අවට ප්‍රංශ සේනාංක පිරික්සමින් සිටි දයාන්ගේ දුරදක්නය යාර දෙතුන් සියයක් ඈත සිටි ප්‍රංශ ස්නයිපර් භටයකුගේ රයිෆල් උණ්ඩයකින් පසාරු වී ගියේය. වීදුරු හා ලෝහ කැබලි වලින් ඔහුගේ වම් ඇස සහමුලින්ම විනාශ වූ අතර, එතැනින් ඉවත් කිරිමට ගතවූ පැය හයක පමණ කාලය තුල බර්නාඩ් ඩොව් ප්රොටර් ගේ සාත්තු සප්පායම් නොවන්නට ඔහු මරණයට පත්විමට බොහෝ දුරට ඉඩ තිබුණි. ඇස අවට මස්පිඩු වලට සිදුව තිබූ අධික හානිය නිසා දයාන් ට වීදුරු ඇසක් සවිකිරිමට නොහැකි වූ අතර, පසු කලක ඔහුගේ සංකේතය වූ කළු නේත්‍රාවරණය පැලඳීමට දයාන් හුරුවිය."

https://en.wikipedia.org/wiki/Moshe_Dayan

එක්දහස් නවසිය හැට ගණන් අග භාගයේ දී, ලංකාව ඊශ්‍රායල්යේ හිතවතකු වූ අතර, පලස්තීන ප්‍රශ්නය පිළිබඳව ඇමරිකානු ප්‍රතිපත්තියට පක්ෂවූ ප්‍රතිපත්තියක් අනුගමනය කෙරිණි. අපේ විදේශ ප්‍රතිපත්තින් නිර්ණය වුනේ අපේ උවමනා එපාකම් මතම නොවන බැවින් මෙහි හරි වැරැද්ද කෙසේ වෙතත්, ඒ දවස්වල පොත් පත්තර වලින් උකහා දැක්වූ දේ අනුව යමින්, අපේත් වීරයින් වූයේ, අරුම පුදුම වික්‍රම කරන ඊශ්‍රායල් හමුදාවන් හා ඔවුනට නායකත්වය දුන් මොෂේ දයාන් ය. නූතන ඊශ්‍රායල භූමියේ ඇරඹුණු පලමු කිබුට්සයේ දෙවන දරුවා ලෙස, එක්දහස් නවසිය පහලවේ මැයි විසි වෙනිදා උපන් මොෂේ දයාන්, ඊශ්‍රායලය ජෙරුසලම දක්වා රැගෙන ගිය මොෂේ දයාන්,  සිය ජීවිතය අවසන් කලේ 1981 ඔක්තෝම්බර 16 දා හෘදයාබාධයකිනි.

මොෂේ දයාන් මගේ ළමාකල වීරයෙක් වන්නට තවත් හේතුවක් තිබුණි. මොෂේ ට තිබුණේ දකුණු ඇහැ විතරය. මට තිබුණේ වම් ඇහැ විතරය. එකැස් කණෙක් වීරයකු සේ තවත් එකැස් කණෙක් තෝරා ගැනීමේ අරුමයක් තිබෙන්නට නොහැකිය.

දයාන්ට එකැස් ක‍ණෙකු වීමට ප්‍රංශ ස්නයිපර් භටයකුගේ උදව් අවශ්‍ය වූව ද, අපේ දේ අපම කරගන්නා සිරිතට අනුව හැඩ ගැසුණු මට උදව්වක් ලෙස අවශ්‍ය වූයේ පුංචි පිහියක් ණයට ඉල්ලා ගැනීම පමණි.


නවසිය හැට දෙකේ මාර්තු දාහතර වෙනිදා බදාදාවක් යැයි අන්තර් ජාලය කියයි. එදා හවස්වරුවේ, ගෙන් ගෙට ගොස් පුටු වියන මනුස්සයෙක්, ඔය පෙනෙන අපේ ගෙදර කෑම කාමරය පැත්තේ ඉස්තෝප්පු කෑල්ලේ වාඩි වී, ඉරුණු කැඩුණු වේවැල් පුටු පිළියම් කරමින් සිටියේ ය.

ජංගි කොටයක් ඇඳන් වත්තේ මිදුලේ දුවන පණින, ඉස්කෝලේ පළවෙනි පංතියේ උගත් අවුරුදු පහක දාංගලයෙක් වූ මගේ ඒ දවස්වල ආසාව වී තිබුණේ වැද්දෙක් වෙන්නට විය යුතුය. ඔය කියන කාල‍ේ, පේර කෝටුවක් පදම් කර හණ නූලකින් දුනු දිය බැඳි දුන්නත්, කෙළවරේ හැඩ කැපූ කෝටු ඊතලත් අපේ ප්‍රියතම ක්‍රීඩා භාණ්ඩයක්ව තිබුණු අතර, එයින් අවුරුදු දෙක තුනකට පසුව සාන්ත මරියා ඉස්කෝලේ වාර්ෂික ක්‍රීඩා උත්සවයකට වැඩිම උසට ඊතලය විදීමේ තරඟයකුත් තිබුණා මතක ය. එදා කොල්ලන් සියළුදෙනා එක රොත්තකට රොක්වී අහසට විද්ද ඊතල අතරින් උඩටම ගියේ, අයිවන් ගේ ඊතලයය කියා සිස්ටර් හෝලි ෆැමිලි දැක්කේ කෙසේදැයි තවමත් මට සිතා ගන්නට බැරිවී තිබේ. ඒක බොහෝවිට අයිවන්, ෂැම්ර‍ොක් මුදලාලිගේ පුතා වූ නිසා සිදුවූ දෙයක් ද කියාත් යාන්තං සැකයක් දැන් නම් තිබෙයි.

ඉතින් එදා ඒ මාර්තු හවස් වරුවේ, මගේ පේර කෝටු දුන්නේ හණ නූල වෙනුවට, වේවැල් වියන්නා ලස්සනට තීරුගසා පිරිමැද ඔප දැමූ වේවැල් නූලක් ගැට ගැසීමේ කල්පනාවක් කොහේදෝ තැනකින් මගේ සිතට ආයේ ය. කපා පසෙකට ලූ වේවැල් කැබලි දෙකක් පුරුද්දා, මගේ කුඩා දුන්නේ තත බඳින වෙලාව වෙද්දී, පුටු පිළියම් කිරිල්ල අවසාන කර සිටි වියන්නා ගේ කුලිය දෙන්නට මුදල් ගෙනෙන්නට නංගීත් වඩාගෙන ගෙතුලට ගිය අම්මා සමගම අයියාත් ගෙට ගියේය. දුන්නේ බැඳි වේවැලේ වැඩිපුර එල්ලෙන කොටස කපා දාන්නට, පුටු වියූ මනුස්සයාග‍ේ පුංචි වක් පිහිය මට උවමනා වූයේ හරියටම ඔන්න ඔය වෙලාවේදීම ය.

පැය දෙක තුනක් තිස්සේ, වේවැල් ගෑමත්, පුටු විවීමත්, බලා හිටි මට, වේවැල් වැඩ කිරීම පිළිබඳව මනා අවබෝධයක් තිබූ නිසා, දුන්නේ එල්ලුනු වැඩි වේවැල් කෑල්ල කපන ක්රමය, වැඩි තැනින් නවා තොණ්ඩුවක් හදා, පිහිතලය දමා ඇදීමය යන්න පැහැදිලිව වැටහී තිබුණි. ඇද්දේ ඉලක්කයට ය. පිහිතලයේ තුඩ නැවතුණේ දකුණු ඇහේ කළු ඉංගිරියාවේ බබා මාක් එක මතය. කෑ ගහපු සද්දෙට අම්මා එද්දී, පුටු වියන මනුස්සයා, මුදලුත් අමතක කර අන්තරස්දාන වී හිටියා යැයි අම්මා කියයි. බබා ඉල්ලූ නිසා පිහිය දීමේ ‍වැරැද්දට ඒ මනුස්සයාට දඬුවමක් නොලැබුණත් සමාවක් නම් නොලැබුණායි මම සිතමි.

පිහිතලය ඇහැට වැදුනත් ලේ එන තුවාලයක් සිදුව තිබුණේ නැති අතර, ලේ බිඳක් නොහෙලා ඇහැක් අන්ධ කරගත් අය තවත් ඇද්දැයි අදටත් පුංචි සැකයක් මට තිබේ. බිම් කරුවල වැටෙන ඒ වෙලාවේම වාගේ ගෙදර ආ තාත්තාගේත් අම්මාගේත් තීරණය වුනේ, ඒ කාලේ අපේ පවු‍ලේ හැමෝම බෙහෙත් ගන්නට ගිය මීගමුවේ දොස්තර ඇන්තනිස්ට ලෙඩා පෙන්නීමයි. අම්මා කියනවා මා අසා ඇති විදිහට නම්, ඒ වෙද්දී ඇහැ හරහට යාන්තං ඉරක් මිස වෙන තුවාලයක් පෙනෙන්නට තිබුණේ නැත. ලොකු නංගීට අවුරුද්දක්වත් නොවුනු හින්දා, මීගමු ගියේ මාත් තාත්තාත් ය. ඒ යන ගමනේ දී, නයිනාමඩමේ ආච්චිලාගේ ගෙදරටත් ගිය අතර, උන්දෑ වාහනය ලඟට ආවේ, ගෙදර සුරුවම ලඟ තිබුණ, ලූර්දු මෑණියන්ගේ හැඩයට හැදූ ප්ලාස්ටික්, ලූර්දු වතුර බෝතලයත් අරගෙන ය. ඉතින්, මගේ තුවාල වූ ඇහැට වැටුනු පලවෙනි ‍ ඖෂධය වූයේ ලූර්දු වතුර බිංදු කීපයකි. ඒ ප්‍රතිකාරයෙන් පස්සේ ඇහැ පිරික්සූ දොස්තර ඇන්තනිස් ගේ නිගමනය වූයේ බරපතලම තුවාලයක් නොවෙන නිසා පහුවදාට කොළඹ ගොස් අක්ෂි විශේෂඥයකුට පෙන්නන්ඩ කියාය.

පොඩ්ඩෙක් ලෙඩ වූ විට එයාට ගෙදර විශේෂ තැනක් ලැබෙයි. අනිත් කාටත් නැති සැලකිලි ලැබෙයි. ඉතින් එදා රෑ මට සාලේ තබා තිබූ ලණු වියපු ඇ‍‍‍‍ඳ‍ේ නිදාගන්නට ලැබුණි. අම්මා ඒ ලඟම හිටියා විය යුතුය. පහුවදා උදේ ඕ, බිත්තර සැන්ඩ්විච් සාදා දුන්නාය. ඒක රසම රස විශේෂ කෑමකි. ඉතින් අපි කොළඹ ගියෙමු. දොස්තර උඩිනුත් යටි‍නුත් තදවෙන රාමුවක මගේ මුහුණ රඳවා, අන්වීක්ෂ දුරේක්ෂා දී නානා විධ දේවල් අස්සෙන් ඇහැ ඇතුල බලනවා මට මතකය. ඉන් පස්සේ එදා හවස් වෙද්දී, ට්‍රොලියක තියා රැගෙන යනවාත්, බොහෝ වේලාවක් පඩි පෙලක් අයිනේ ට්‍රොලියේ දිගාවී ඉන්නවාත් මතකය.

අම්මාත් තාත්තාත් යාළු මිත්‍රයින්ට, නෑදෑයින්ට, කියූ කතා අසා සිට දැනගත් කරුණු කාරනා අනුව නම්, එදා උදේ වෙද්දී, අර ඇහේ හරහට තිබුණු පුංචි ඉරි කෑල්ල, ඈත් මෑත් වී තුවාලයක් මතුවී තිබී තිබේ. දොස්තර මුලින්ම කර ඇත්තේ, තුවාල වූ වහාම ඉස්පිරිතාලයකට ලෙඩා ගෙන නොයාම ගැන අම්මාටත් තාත්තාටත් බැණ වැදීම ය. ඉන්පස්සේ ශල්‍යකර්මයක් සිදුවූ අතර, ඇහැ ඇතුලේ මැහුම් හය හතක් දමා තිබේ.

මගේ ඇහැ බැළූ දොස්තරගේ නම පරරාජසේකරම් ය. එයා ඒ කාලේ හිටපු හොඳම ඇස් දොස්තරය කියා අම්මා කියයි.

ඒ මේ අන්තර්ජාල සටහනේ ලියවී ඇති පරරාජසේකරම් ය.
"During my medical student days and later it was taken as our special privilege to take a patient or present ourselves to the consultants, bypassing the queue. Once I went to Dr. Pararajasekaram’s clinic in the Eye Hospital. The place was heaving with people. Proudly wearing my stethoscope around my neck, I ignored the queue with an easy conscience and went straight up to Dr.P. I said I was a medical student and would like to see him. He was furious that I broke the queue. Dr. P barked at me “I don’t care who you are. You have got to join the queue.” Although it upset me deeply at the time I do appreciate his willingness to break with an outdated tradition. Many of the patients have come from far away and have been there since the break of dawn. It was totally wrong of me not to take my turn in the queue. I do admire and support his egalitarian attitude."

මාස දෙකක පමණ කාලයක් ඉස්පිරිතාලේ ගතකල දවස්වල මතකයන් අතර, එලිෆන්ට් හවුස් එකෙන් අයිස්ක්‍රීම් ටබ් හයක් හතක් අරන් මා බලන්නට එන ජෝන් බාප්පාත් එක්ක එකතු වී ඒ සේරම එකක් පස්සේ එකක් කෑ දවසුත්, දවල් කෑවාට පස්සේ අතුරු පසට දෙන කෙහෙල් ගෙඩිය එපා කියූවාම, පහුවදා හොඳින් කෙහෙල්ගෙඩි කෑලි තියෙන ෆෲට් සැලඩ් එකක් ලැ‍බුණු අයුරුත් මතක තිබේ. ඔය කාලයේ බෙදා හැරි පෝලියෝ එන්නත ගන්නට, බැසිල් බාප්පා මා වඩාගෙන කොළඹ නගර ශාලාවට ගියාත් මට මතක තිබේ. ‍සෙනග පෝලිමක කෙළවර පුටුවක වාඩිවී සිටි කෙනෙක්, රිදී පාටට මතක ඇති සීතකල සීනි බෝලයක් කට ඇතුලට දැම්මාත් මතකය.

ඉස්පිරිතාලෙන් ගෙදර එද්දී, මටත් මොෂේ දයාන්ට වගේම ඇස් ආවරණයක් ලැබුණු නමුත් ඒක රෝස දුඹුරු එකක් මිස දයාන්ගේ මෙන් කළුපාට පැච් එකක් නොවිණි. කාලයකට පසුව, අයිපැච් එකේ නවමු ගතිය අමතකව ගිය අතර, දකුණු ඇහේ එළිය නැති ගතිය මටත් අමතකව ගියේය.

කාට කෙලෙස අමතක වූවත් අම්මාට එදවසත් සිද්ධියත් ඒ මොහොතත් කවරදාකවත් අමතක නොවූවා විය යුතුය. එදා දවසේ ඈ හඬනවා මට මතකයක් නැත. එසේ වුනත් මා එතන තනිකර පුටු වියන්නාට ගාස්තුව ගෙවන්නට මුදල් ගෙනෙන්නට ගෙතුලට යාමේ වැරැද්ද, ඈ මුවින් දුක්මුසුව කියවෙනවා මම අසා ඇත්තෙමි. අවුරුදු දහය දොලහ කාලයේ දීත් ඉඳහිට දවසක, මගේ වම් ඇස අතින් වසා, යන්තම් වත් එළියක් පෙනෙනවා දැයි ඈ ඇසූ සමහර දවස් තිබේ. අද මෙන්ම එදාද මට දෙන්නට හැකි වූ පිළිතුර තනි අකුරේ වචනයම විය.

ලොකු මහත් වී විශ්ව විද්‍යාල සිසුවකුව ඉන්නා සමයේ ඇමරිකාවේ විශේෂිත පුහුණුවක් ලබා පැමිණි අක්ෂි වෛද්‍යවරයකු පිළිබඳව තොරතුරක් දැනගත් අම්මා, ඒ වෛද්‍යවරයා බලන්නට යන්නට පොර‍ොත්තු කර මා කැමති කරවා ගත්තාය. ඒ වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ගන්නා දං කොටුවේ දන්නා හඳුනන මහත්මයකු සමග මාත් අම්මාත් ගිය ගමනේ දී, ඇය කල කතා බහ තුල සැඟව තිබුණේත් එදා  මා කුඩා කල වම් ඇස වසා, යන්තම් වත් එළියක් පෙනෙනවාදැ යි අසද්දී ඇගේ කටහ‍‍ඬ‍ෙහි ගැබ්ව තිබූ බලාපොරොත්තුවම විය.

අක්ෂි වෛද්‍යවරයා විස්තර කර කියූ පරිදිම, ඇසේ අන්ධභාවයට හේතුව පිළිසකර කල නොහැකි අයුරින්, ද්‍රෘෂ්ඨි ස්නායුවලට හානි වී තිබීම බව දැන සිටියත්, යම් විදියකින් සියළු දේ යහපත් විය හැකිය යන බලාපොරොත්තුව අත හැරීමට ඇගේ සිත ඉඩ නොදුන්නා විය හැකිය.

එයිනුත් වසර කීපයකට පසුව, මගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් වන කාලයේ, ඇස් ආරක්ෂාව සඳහා අඳුරු අව් කණ්නාඩියක් භාවිතා කරන්නැයි ද, ඉර එළියට සංවේදීව වර්ණය වෙනස්වන පොට‍ෝක්‍රෝම් අව්කණ්නාඩියක් වඩාත් සුදුසු යැයි ද යම් ආකාරයක අක්ෂි වෛද්‍ය නිර්දේශයක් සොයාගන්නට අපේ අම්මා සමත් වූවා ය. මේවා වෛද්‍ය නිර්දේශ වලට වඩා, තම උපාධිධාරී පුතු පිළිබඳ අනාගත අපේක්ෂාවන් ඔස්සේ සිතා බලා හොයාගත් දේවල්ය යන්න ඉතාමත් පැහැදිලිව පෙණුනත්, අම්මා සමග තර්ක විතර්ක කිරීමේත් සීමාවක් තිබේ. අන්තිමේ කොළඹ විත් මා සමගම ඇස්කණ්නාඩි සාප්පු හතර පහක සවාරියකින් පසු මමත් කණ්නාඩි කාරයෙක් බවට පත් වූයෙමි.

එසේ වුවත් එදා අම්මාට සිතාගන්නට නොහැකි වූ කාරණයක් මානෙල් දැන සිටියාය. මගේ දකුණු ඇසත් දකුණු කම්මුලත් සිපගෙන, ඒ මගේ පැත්තයැයි කියාත්, ඒ ඇස අන්ධ වූයේ ඈ වෙනුවෙන් මා වෙන්කර තබන්නටය කියාත් ඕ කීවා ය. ඒ බොළඳ ප්‍රේමාලාපයක් නොවන බව මම දනිමි.

නවසිය අනූහත‍ේ ජනවාරි‍යේ හරියාකාරව රැකියාවක් ආදායමක් නොතිබුණු සමයක අම්මා බැලීමට යා යුතුමයැයි හිත කිවූ නිසා, ණයට ඉල්ලාගත් මුදලුත් එකතු කරගෙන ගෙදර ගිය ගමනට පසුව, මට අම්මා හමුවූයේ, ඒ අවුරුද්දේම සැප්තැම්බරයේ ප්‍රංශයේ ලූර්දු නුවර රෝහලක දැඩි සත්කාර ඒකකයක් තුලදී ය. ලූර්දු සිද්ධස්ථානයට වන්දනා නඩයක් සමග පැමිණි ඈ, එහි දී රෝගාතුරව, දුර්වලවූ ‍හෘදය නිසා ඔත්පලව සිටියාය. ඇගේ නාසය තුලින් බටයක් දමා තිබූ අතර, නිරන්තරයෙන් සේලයින් සමග සැපයෙන ඖෂධ මිශ්‍රණයකින් ඇගේ හදවතේ ක්‍රියාකාරිත්වය උත්තේජනය කල යුතුව තිබුණි. නාසයෙන් දැමූ බටය නිසා කතා කල නොහැකි නිසා, අපේ සංවාද සිදුවුනේ මගේ පැත්තෙන් වාචිකවත්, ඇගේ පැත්තෙන් ලිඛිතවත් ය.

ඒ දින ගණන තුල අප බොහෝ දේ කතා බහ කල නමුත්, අද ආපහු හැරී බලද්දී, මගේ ඇහේ වගකීම මගේමයැයි  ඇයට කියන්නටත් මට ලැබුණා නම් හොඳයැයි සිතෙයි.

නමුත්, ඈ මගේ ඒ සිතිවිල්ල එසේම බව දැන සිටි බවත් දැනෙයි.

4 comments:

  1. අපේ අම්මා නැතිවෙලා අවුරුදු 2යි මාස 6 වෙන්න තව දවස් 3යි. මේ මුලු කාලයෙන් ම දවස් 50-60ක් විතර වෙන්න ඇති අම්මාව හීනෙන් නොදැක්කේ. ඒ හීන වලදී අපි හරි ලෙංගතුයි. ආ අම්මා ඉන්නවනේ, ආයේ ඇවිල්ලානේ වගේ සිතුවිල්ලෙන් අපි හරි ෆිට් එකේ හීනේ ගෙවනවා.

    මම හැමදාම කල්පනා කළා මේ ඇහැට මොකක් වෙන්න ඇති ද කියලා. වයිෆ් කියන කතාව ඇත්ත. බොහෝ ආදරය තැවරූ උගුල් වලින් මේ කඩවසම් ඉලන්දාරියා ගැලවුණේ 'මානෙල්ගේ කොටස' නිසා බව අපට ද විශ්වාසයි.

    ReplyDelete
    Replies
    1. සටහනට තුති රන්දික. එයාලා ජීවත් වෙන්නේ අපේ හිත්වල. අපියි එයාලාට යන්න නොදෙන්නේ එක විදිහකින් හිතුවාම.

      තුති ආයෙත්.

      Delete
  2. ඉතාමත් සංවේදී සටහනක්!
    අම්මා කෙනෙක් කියන්නේ දැවැන්ත චරිතයක් කාගේත්!
    මගේ ජීවිතේ හොඳම කාලේදි ඒ කියන්නේ උසස් පෙල කරන කාලේදී අම්මා අපිව හැර ගියේ. මගේ අම්මා බොහෝ කාලයක් ඔත්පලව හිටියා අංශභාග රෝගයෙන්.
    එයාත් අපිත් සැවොම දුක් වින්දා.
    ඒත් මට සතුටු වෙන්න පුළුවන් මම අම්මාව හකි උපරිමයෙන් බලා කියා ගත්තා.
    ඒවා හරිම දුක් බර මතක.
    ඒ නිසාම මම කවරදාකවත් මගෙන් "අම්මෙකු"වෙනුවෙන් නිවාඩු වක් ලබා ගන්න පැමිණි කිසිවෙකුට එය ලබා නොදී ඉඳලා නෑ.
    මේ මම ලියන්නේ ඔබේ පෝස්ටුවට ගැලපෙන කොමෙන්ටුව නොවන්නට ඇති.
    ඒත් ඒක ඔබේ ආදරණීය මෑණියන් රත්නයට පූජෝපහාරයක්ම වේවා.
    මේ ලෝකේ සියළුම මව් වරු; අම්මලා!

    ReplyDelete
    Replies
    1. සටහනක් තිබ්බාට තුති. මෙහෙම ලියවිලි බෙදා ගැනීමේ අරමුණ, කියවන කෙනාටත් තමුන් ගැන හිතන්න යොමුකිරීම නේ කොහොමත්...! අම්මලා, අම්මලාම තමයි හැමදාමත්.

      Delete

Blogroll

About