Monday, January 5, 2026
හිම මලක උණුහුම.....
Sunday, January 5, 2025
සදා හරිත....
අහඹුවෙන් අහලින් ගලන
සුළං රළකට අවනතව
සොලවතොත් මිසක අතැඟිලි
සදා හරිත තුරකට වුවද
පිස දමන්නට නොහැක හිම තුහින
ගිනියම් සීතලෙත් නොහැලෙන
හරිත පත් මත සිනාසෙන කල
පහත් වී බලන්නට පොළව
නෙත් නගා බලන්නට අහස
හිත් ලලා දිගුකලක්
හෙමි හෙමින් වඩවතත්
රිකිලි අත් ලපටි පත්
පිපුණු නෙත්
වස්සාන වැසි නිමව
ගිම්හාන උණුහුමට
නිල මැකී කහ මතුව
රත්වන්ව ලේ පිරෙන
පත් හලන ගස් අතර
සදා හරිතව නැගෙන
සදා හරිත තුරකට වුවද
පිස දමන්නට නොහැක
ගිනියම් සීතලෙත් නොහැලෙන
හරිත පත් මත සිනාසෙන කල
සිසිරයේ සුදෝසුදු පිරුවටය....
අහඹුවෙන් අහලින් ගලන
සුළං රළකට අවනතව
සොලවතොත් මිසක අතැඟිලි....
ජනවාරි 5, 2025
Friday, January 5, 2024
හුම්මානය
පලසක්ව ඇතිරී
මල් පිපෙන
වරම් නැති
මුහුදු රළ
බිඳු බිඳුව විසුරයි
පෙති පෙති කඩා කුඩු කර
සොඳුරු ගී පද බැඳ
මොරදේය හුම්මානය
Thursday, January 5, 2023
විස්සයි විසි තුන
මැවී ඉහිරෙයි අරුම පුදුමව සුදුම සුදු හිම
පාෂාණිභූචිතව රැඳවූ මිරිදිය...
පුළුන් මල් විසුරුවා හඳ එළිය පාටට
වසං කරවා ඉඳු දුන්නෙ හත් පෙත්ත
බදා අල්ලා කඳුළු ගල් කැට
Tuesday, January 11, 2022
පැවතීම කියන්නේ නැවතීමක් නොවෙයි ස්වර්ණා...
යකඩයි අම්ලකර වායුවයි එකතු වෙලා
සරලව කියනවා නම් ස්වර්ණා
එකතු වෙන දේ වෙන්වෙනවා
Tuesday, January 5, 2021
ආවාට විලේ මහල්ලා....!
හදක් දැවුනු ළය මඬලක ගිනි දළු පිපිරී
උරත් පලා නැග අහසට ලෝ දිය විසිරී
හිසත් සිඳූ ගිනි කන්දක පපු තුර පැහැරී
විලක් හැදුනි නිල් දියවර ඉතිරී පැතිරී
එ’ විල් තෙරම වන ලැහැබක උපන් තුරක් දෝ
එ’ කඳු හිසම මල් යහනක ඔකඳ වුනා දෝ
එ’ ගිනි කන්ද සිප සනසන දොලක් උපන් දෝ
එ’ ගිනි නිවුණු දා කඳු හිස සෙවන කලා දෝ
වසත් කලෙක වට වැස්සක අහස පිබිදිලා
පවස් සිඳුණු මිහිකත ඉපිලෙද්දි දිය ගලා
පවත් නොදැන ඉගිලුනු දා දෙපා බොඳවෙලා
ගියත් සිඳී අතු ඉති පත් නැතිය පැරදිලා
ගඟක දොලක දිය කඳුරක ගිලී පා වෙවී
පියුම් පිපුණු සැඩ පහරක රැඳී ලතැ වෙවී
ඇදී ඇදී ඇදී අවුත් සිටියි නතරවී
නැවුම් විලක දිය ගැඹරෙක නොවී සසලැවී
වසත් සමේ මලින් පිරෙන විල්තෙරේ ලපල්
ගියත් මකා සිසිර සිහිල පිරුණු නල කැරැල්
හිමත් මිදී විලත් වැසෙයි මිහිදුමේ දුහුල්
බියත් සැකත් ඇතත් නැතිය සැසැලිලා අකල්
අහස පුරා කළුවර සළු ඇතිරෙනා පැයේ
සිඟිති එළිය බිංදු ඉසී දිලිසෙනා රැයේ
පහන පිපී හිත ඉපිලෙන විහඟ ගීතයේ
සියක් වසක් බලා හිඳීයි කරවටක් දියේ
හිසක් ලයක් නොමැති නිසල කවඳකට කෙතෙක්
කලක් ගියත් මතක් වේද නිදන ඇසිල්ලක්
පයක් නොරැඳි තරම් ගැඹුරු නරා විල් දියක්
ගෙයක් අහිමි තුරක් සරයි නැතිව නැවතුමක්
මුලිනි’දිරී දෙදණ වැටී මියෙන ලෝකයේ
සුවඳ පිපේ ඉතිර හැලේ මියුරු තානයේ
හිසද සිඳී දියෙහි ගිලී ගයන ගීතයේ
නැගිට නැගී විල තනිවූ ඉන්ද්‍ර චාපයේ
ඉපිල නටන තුරු හිස් සිඹ සිහින රැඳෙව්වේ
පිපෙන පිපෙන මල් වල පෙති පැහැ ගැන්වූවේ
නැගෙන බසින දිය රළ රැලි පොඩිති නැලෙව්වේ
විලක ගිලුණු පැරණි තුරකි සතුටු කොදෙව්වේ
2020 ජනවාරි පස්වෙනිදා
Sunday, January 5, 2020
ජනවාරි පහ දෙදාස් විස්ස
Sunday, January 6, 2019
දොර ඇරපන් අමල් බිසෝ..... (2019)
තැන තැන තවම දැල්වෙන
අඳුරු අහසේ විසිර
දිදුළු දෙන තරු කැට
අවර්ණය ලෝකයම
පාට කරනා තුරු
ඇතිල්ලී හිරු රළ
සුගති උයනේ ඇපල් ගස මුල
දිරායයි හැව සර්පයා ඉතිරි කල
බිම හෙවුණු තුරු බඳක ඇණ තියා
සුසුම් ලයි විටින් විට
සූරා නහය
වීසීකර සෙම් සොටු
පිසදා ලේන්සුවකින්
බලාගත් අත බලා ඉන්නා
කකුල් ඉදිමුණු දෙවියෝ
දිරා ගිය යකඩ ගේට්ටුව ලඟ මුරය
කුදු ගැහුණු ගබිරියෙල්
ඉඳ හිටක මිරිකයි කඩු මිට
ගිනි දළුව විද දවා
පන්නා දමන්නට
මැස්සෙක් මදුරුවෙක්...
පහල පාරේ වංගුවෙන් එපිට
ආදං ගේ කඩේ වයර්ලැස් එක
පාව එයි
උඩු හුළඟ දිග
කම්මැලි කමට
ගාට ගාටා හමන
"කවාලා විළඳ ජාතී...
ඇති කලා...ත් රන්...
කූ...ඩු වේ ගිරවා
දමාලා...
යන්නෙ ඉගිලී
රැව් දි දී ලබ...
නාසෙ වන සැපතා....."
ජනවාරි 5, 2019
Friday, January 5, 2018
වෙරලස (2018)
Thursday, January 5, 2017
හේමන්ත දං පොකුරු (2017)
රතෙන් රත් පෑ වූ
නෙතින් නෙත නෙක දෑ ලිවූ
හේමන්ත දං පොකුරු
හිම කතර තනි වූ
හිමෙන් හිස
මල් ඔටුණු රැඳවූ....
වසන්තය පුරාවට
අතු පතර සඟවාන
පිපුණු මල් පෙති රකින
හේමන්ත සීතලට
පත් හලන ඵල දරන
පත් නොමැති රිකිලි අග
රත් පොකුරු දිලෙන සඳ
උණු හිමෙන් වැසුණු බිම
සැඟව නිදි වසන්තය
මල් පිපුණි දැයි නොදැන
ඈත ගිය විහඟුනට
එන්න එන්නැයි කියා
දුරුත්තේ මොරගසන
විහඟ තුඩගක නොරැඳි
වස්සාන වැස්සට හැලෙන
රත් පෑය ඉගිල ගොස්
නිල් කළුව මැලව යන
ඒත් හිම මල් පැළඳ
රත් වනින් සිනාසෙන
අඳුරු හේමන්තයට
හාදු දෙන රත් අදර
හේමන්ත දං පොකුරු
හිම කතර තනි වූ
හිමෙන් හිස
මල් ඔටුණු රැඳවූ....
[ ජනවාරි 5, 2017]
Wednesday, January 6, 2016
වළලු (2016)
ජීවිතය ගලායන ෆ්ලෝයමය
මියැදෙමින් උපද්දන
කොරස් කටු පොත්ත හංගන
බඳ බැඳුණු සලකුණුය
ගල්වු අරටුව වටා
ප්‍රාණ පිරි කැම්බියම
වසින් වස ලකුණු කළ
වසන්තය අකුරු කළ
මුදු සෛල සෛලමය
ගිම්හානයේ අග
සරත් කල ඝනව ගිය
අඳුරු රේඛා අතර
සුව සිහින සටහන්ය
ඉකුත් වූ ජීවිතය
අසෙනි සර වැස්ස යට
අහස් හිස සිසාරා
වලාකුළු තල්ලු කළ
අහඹු සුළි සුලං මැද
හිස නගා සිටි පවින්
දැදුරු වූ අරටුවය
මුලින් උදුරා වැටී
දැති කියත් දම්වැලෙන්
කඩින් කඩ කොටන් කර
කපා සීරූ රිදුම්
පිරිමදින්නට නැතිය
පතක් වත් ගිලිහ ගිය
කැපෙද්දී ඉහළ අතු...!
*ෆ්ලෝයමය (Phloem) - ගසක කඳේ පිට පොත්ත අැතුලතින් පිහිටා අැති අාහාර ප්‍රවාහනය කරන්නාවූ පටක
කැම්බියම (Cambium) - ෆ්ලෝයමයත් දැවමය සෙෙලමයත් අතර පිහිටි සෙෙල විභේදනය වී ගසෙහි වැඩීම සිදුවන තුනී පටක ස්ථරය
සෙෙලමය (Xylem) - කැම්බියම් සෙෙල විභේදනය වී සෑදෙන දැවමය කොටස. වාර්ෂික වළලු සටහන් වන්නේ මෙහිය. සෙෙලමයේ මධ්‍යම කොටස වඩාත් ඝනවී අරටුව සෑදේ.
2016 ජනවාරි 5
http://www.boondi.lk/article.php?ArtID=4875
Tuesday, January 6, 2015
අට ගැසීම (2015)
තව තවත් හඬවනා
බයිසිකල් රෝද දෙක
නැවත නැවතත් ඇවිත්
එකම කතිරය ගසයි
කතිරයේ උඩ යටින්
අඩ හඳේ හැඩ ඇඳී
හීන් කොටු ඉරිවලින්
වැලි මිදුල පිරවිලා
මුලින් මුල අලවාපු
කඳුළු බිඳු දෙකක් මෙන්
අටේ ඉලක්කම ඇඳෙයි...
“අඩේ උඹ දැන් හුඟ සැරයක් ගියා...
ඊළඟට මගෙ වාරෙ...”
“තව දහපාරකින් දෙන්නං...
බයිසිකලේ මගෙ...”
ජනවාරි 5, 2015
Sunday, January 5, 2014
පනස් හත...!(2014)
කිරි පිරුණු පිඟානක් වලා කුළු මත නැගී
පාවයයි පාවයයි නොනැවතී නොම රැඳී
සයුරු රළ ලතාවට හිස සලා යයි ඇදී
දබරැඟිලි තුඩින් ඇඳ තෙමුණු වැලි තලාවේ
මා ලියූ අකුරු වැල් පිස දමා සිනාසී
කඳු හිසක ඇස් වැසුව දුහුල් මීදුම් පටල
සිඳ බින්ද සුළි සුළඟ මද නලක් වී ඇදෙයි
මකරන් ද අතින් ගෙන බඹරිඳු ට සිනාසී
ඉඟිමැරූ තඹුරු පෙති සසලවා විසුරුවා
විලේ නැගෙනා තරඟ අතර සඟවා රඳා
ගීතයකි ජීවිතය විලඹ ලයකින් ගැයෙන
සිහිනයක්මයි නමුත් සිතුවමක් වී රැඳෙන
තුරුල්ලෙහි හිස හොවා නෙත් පියා ගනිමි මම
උණුහුම්ය ආදරය ගලාවිත් හිත තෙමා
පියාපත් පළඳවා පියාසර කරවනා…!
5 ජනවාරි 2014
Sunday, January 6, 2013
කළු රෝස (2013)
ජීවිතය අත දරා
මා වටා කරකැවෙන
හිරු සඳු ද තරු බිඳු ද
කරකැවී තවත් වටයක්
නතරවී ඉසිඹුවක්
ආදරය පුරාගත්
අත් ඇඟිලි දිගුකර
කපොලු තල පිරිමදිති
සිසිරයේ සීත සුසුමට
ගල් ගැසී මිදුන දිය මත
නතරවනු නොහැකිව දුවන
අවපැහැව රත සිඳුණු
වියලි මේපල් කොළයක
මුතුවක්ව මිදුනු දිය බිඳක්
විසුරුවයි උදා හිරු රළ
දේදුනු වණින් පැහැකර
ඵලකයෙහි තැන තැන
අඳුරු පැල්ලම් බිඳුය
බොරපැහැය දිය බඳුන
තෙලි කූර පොඟවන
කහ ගැහුණු පත් මත
පාට නැති දිය උලා
අඳිමි මම අඳිමි මම
තෙත රඳා පෙති විදා
සිනාසෙන මල් පොකුරු
කළු රෝස සුවඳ ඇති...!
2013 ජනවාරි 5
http://www.boondi.lk/article.php?ArtID=3144
Saturday, January 1, 2011
ජනවාරි 5, 2011
(35)
කැකුළු පෙති විහිදුවා පිබිදෙන
චින්තාව නිවහල්
සුවඳ විහිදන නැගී නොබියව
උදාරව නැණ පහන් සුදිලෙන
නිදහසේ තුඟු ස්වර්ගයයි...
නෙත් යොමා මම සොයන්නේ
සිතිජ කෙලවර සිහිනයේ...
හීන මානස පවුරු බැමි බිඳ
සත්‍යයයේ දිය බුබුළ පතුලත
ඉපිද විසිරෙන වදන් දිය බිඳු
රඳා දෙතොලත නැවුම් ගී සේ
සුසුදු පිරිපුන් මනුෂ්‍යත්වය
දෝත් විහිදා වැලඳගන්නා
මගේ නිවහල් දේශයයි
සම්ප්‍රදායේ කතර වැලිතල
නොසඟවන බුද්ධියේ සිහිලඹ
සිතැඟි සේ සිතුවිලිව පුබු දා
නැගි නැගී එන දිරිය දරුකැල
පෘථුල තැනිබිම සිසාරා
ජීවයේ සිසිලස පතුරුවන
මගේ නිවහල් දේශයයි
නෙත් යොමා මම සොයන්නේ
සිතිජ කෙලවර සිහිනයේ...
කැකුළු පෙති විහිදුවා පිබිදෙන
චින්තාව නිවහල්
සුවඳ විහිදන නැගී නොබියව
උදාරව නැණ පහන් සුදිලෙන
නිදහසේ තුඟු ස්වර්ගයයි...!
-.-
Where knowledge is free;
Where the world has not been broken up into fragments by narrow domestic walls;
Where words come out from the depth of truth;
Where tireless striving stretches its arms towards perfection;
Where the clear stream of reason has not lost its way into the dreary desert sand of dead habit;
Where the mind is led forward by thee into ever-widening thought and action---
Into that heaven of freedom, my Father, let my country awake.
.
Wednesday, January 6, 2010
ජනවාරි 5, 2010
මුල් ඇදී පැලවෙලා
මහරු අඹ ගස් හැදෙයි
මල් පිපෙණ ගෙඩි හැදෙන
රැලි වැටී පොතු බිඳී
කරගැහුණු අඹ ගසුත්
දළු ලතිය හිනැහෙතිය
මල් පිපී දී සුවඳ
පතුල හිල් පොල් කටුව
පැන් මනුවෙ ජීවිතේ
දිය පිරී බරව මුත්
පාවයයි හෙමි හෙමින්
හුස්ම අල්ලා හිඳිමි
සුවඳ අඹ මල් දකිමි
හදවතේ ආදරේ
ගීතිකා ගැයේවිය
තවත් තවමත්...
අද වගේමත් හෙටත්...!









