Sunday, August 9, 2020

ඔපරේෂන් තලවාකැලේ....!

Share it Please

 ජීවිතයේ සමහර දේවල් පාරක තොටක යද්දී, හදිස්සියෙන් මුණ ගැහී ඇහිඳගන්නා කාසියක් මෙන් නොසිතූ නොපැතූ විලස අත පත් වෙයි. තවත් සමහර දේ දැක පියා ඇළුම් සිත් උපදවා, පැතුම් පතා, රුපුන් නසා අත්පත් කරගත යුතු වන්නා වූ දේය. මේ දෙජාතියේම දේ අපි කාගේත් ජීවිත වල තියෙයි. එයිනුත් පලමු කාණ්ඩය අප වාසනාවන්තයින් බව ඇහැට ඇඟිලි පහෙන්ම ඇන කියා දී අපේ මුවගට හීන් හිනා මෝදු කරන අතර, දෙවැනි කාණ්ඩය එයිට කිසිසේත් සමකල නොහැකි අමුතුම ආස්වාදයකින්, එක විදිහකට මමත් කෙරුමෙක් ය වර්ගයේ ආස්වාදයකින් අප‌ේ සිත් පුරවා උතුරාලවයි. සැලසුම්, පිඹුරු පත්, සූක්ෂම ක්‍රියාන්විතයන් ආදිය අවශ්‍ය වන්නේ මේ දෙවැනි ගණයේ ඒවාටය. එමෙන්ම අවසානය දක්වා ඉතා කල්පනාකාරීව සැලකිල්ලෙන් මෙහෙය විය යුතු මෙවැනි ක්‍රියාකාරකම් වනාහී, නිරන්තරයෙන්ම ලේ රත් කරවන අවිනිශ්චිතතා පිරුණු අවස්ථාවන් බහුල කාර්යයන් වෙයි.

වසර තිස් අටකට පෙර, නවසිය අසූ දෙකේ අප්‍රියෙල් තුන්වෙනි දා ඔපරේෂන් තලවාකැලේ පළමු අදියර ඇරඹෙන්නේ ඔවැනිම අවිනිශ්චිතතා අතර අපේ හිත් දෝලනය වෙමින් තිබුණු සමයක දීය. නවසිය හැත්තෑ නවයේ විශ්ව විද්‍යාල අවසන් වසරේ අවසන් විභාගයෙනුත් දවසකට පසුව සථප වූ ගිවිසුම ස්ථිර සාරව ලියාපදිංචි කරගන්නට පවුල් දෙකක් මුණ ගැස්සීමේ බාර දූර වූ කටයුත්ත, ඔපරේෂන් තලවාකැලේ වූයේ, වෙන්නප්පුවත්, ලුණුගලත් අතර වූ සියක් දහසක් කඳු පල්ලම් මගහැර මේක කරන්නට නම් දෙපාර්ශවයම එවකට මගේ රැකියා ස්ථානය වූ තලවාකැලේ තේ පර්යේෂණායතනයේ නවාතැනට ගෙන්වීම අවසාන තුරුම්පුව වීම බැවිනි.

ඔව්වායේ පරණ කතා මේ සටහන් ගොල්ලේම දෙතුන් පලක ලියැවී තිබෙයි. 

සීතල පිණි මත මල් පෙති විසිරෙන .... 
නීල් ආම්ස්ට්‍රෝන්ග් නොදන්නා හැත්තෑ නවයේ චන්ද්‍ර සංචාරය...!
විසිතුන ශ්‍රී හැත්තෑ නවයයි අසූතුන නොහොත් ගාල්ලේ කතාවක්....
උඩරට මැණිකෙට පට කුඩ දෙක දෙක [බෑණා කසාදෙට එන විට රජ්ජුරුවො වගෙ නැන්දම්මට]

ඔය කතාවල රස ගුණ කෙසේ වෙතත්, ඔපරේෂන් එකක් යනු බරපතල කටයුත්තකි. 

මුලින්ම කරන්නට තිබුණේ ශල්‍යකර්මයට දින දමා ගැනීමය. ඉතින් ඔය ඉහත පින්තූරේ දින සටහනේ ලියා ඇති ආකාරයටම, නවසිය අසූ දෙකේ අවුරුද්දේ, බොරුවාගේ දවසට දවස් දෙකකට පස්සේ, ශාන්ත කූම්බ්ස් වත්ත හරහා ගිහින්, මටකැලේ වත්ත හරහා ගිහින්, නානුඔයට යනතුරු පා ගමනින් ගිහින් එතැනින් නුවරඑළියටත්, නුවර එළියෙන් වැලිමඩට ගිහින්, වැලිමඩින් අම්පාර බස් එකක පස්සරට ගිහින් පස්සරින් ටැම්පිටිය බස් එකක ලුණුගල යන්නේ ඒකය.

සැලසුම වනාහී, මානෙල්ලාගේ ගෙදර අයට තලවාකැලේ එන්නට පුළුවන් දවසක් තීරණය කරගෙන අපේ අම්මාට දැනුම් දීමය. ඒ අනුව ඒ දින වකවානු අල්ලා, අපේ ගෙදර අම්මාත් තාත්තාත් නංගිලා දෙන්නාත්, අම්මාගේ කෝච්චි වරන්ට් එකේ පිහිටෙන් තලවාකැලේ ගෙන්නා ගැනීමය. එයාලා එන්නේ සතියක නිවාඩුවකට, ලුණුගල පාර්ශවයට ගමන් බිමන් එහා මෙහා කරගන්නට ඉඩකඩ ඇතිවය.

එදා රෑ ලුණුගල නැවතී, පහුවදා එද්දී ලැබුණු ලාවට අපරොන්දු පොරොන්දුව වූයේ..

 "කොහොම හරි බෑයි කියාලත් බෑනෙ... ඒ උදවියත් මෙච්චර දුරක් එන එකේ...." යන්නයි.

දින නියමවූයේ 15ත් 22ත් අතර දවසක බලමු ක්‍රමයට ව අතර, ඒ පියවර අවසන් වූයේ, රෑ එකොලහට විතර තලවාකැලේ හිට පා ගමනින් ටී.ආර්.අයි. නවාතැනට ගියාට පසුවය. අපේ ගෙදර කට්ටිය නෑ ගමන ආවේ සිංහල අවුරුද්දට කලින් දා වූ අප්‍රියෙල් දහතුන් වෙනි දාය. එයාලාගේ ආපහු ගමන් යෙදී තිබුණේ දහනවවෙනි දාටය.

පණිවිඩ යැවුනේ, තලවාකැලෙන් ලුණුගල මයිජෙම් සෙන්ටර් ටෙලිෆෝන් එකට කතා කර පාරෙන් අනිත් පැත්තේ විජය ස්ටුඩියෝවේ කෙනෙක් ගෙන්නා ගෙනය. හෘදය වස්තුව ලබ් ඩබ් ගානවා වෙනුවට, එයිද නැද්ද, එයිද නැද්ද, එයිද නැද්ද කියා ගැස්සුණු පස් දවසකට පස්සේ, ඔන්න ඉරිදා එඩී විද්‍යාරත්න මයා නුවරඑළියට එනවායි ආරංචිය ලැබුණි. ඉරිදාය කිව්වේ 1982 අප්‍රියෙල් මාසේ දහ අට වෙනිදා විය. එදා උදේ අටට නුවරඑළියේ බස් පොලේ දී මුණගැහී, එදා දවසේ නුවර එළියේ පැදුණු මෝටර් සයිකල් රේස් එකත් එහෙන් මෙහෙන් බලලා, ටී.ආර්.අයි. ඇවිත් මේ දෙගොල්ලා හරියටම මුණ ගැහුණේ නම් එදා රාත්තිරියේ රෑ කෑම මේසේදී යි.

මගේ ජීවිතයේ වැදගත්ම දවසක් වූ හින්දාටත් වඩා, ඒ දවස් ටික සිංහල අවුරුදු දවස් හින්දා, අපේ නවාතැනේ හිටි සේරම කට්ටිය ගෙවල් වලට ගොස් මේ රාජකාරිය හිතූ විදිහට කරගන්නට අවකාස සලසා තිබුණු අතර, අදටත් ආදරයක් ඇතුව සිහිපත් වෙන, කුස්සිය බලාන හිටි මුත්තයියාත්, අපේ අහලම කරකැවුණු අම්බලකනුත් ඔපරේෂන් තලවාකැලේ හි මගේ සහායකයෝ වූහ.

එදා ඒ සිසිල් සුවබර සවස් යාමයේ, අපේ මානෙල්ගේ තාත්තාත්, අපේ අම්මාත් තාත්තාත් අතර වූ කතාබහේ ඉස්පිලි පාපිලි මතක නැතත්, එදා කෑම කාමරය සිනා හඬිනුත් සතුටු වචන වලිනුත් පිරී තිබුණු බව නම් මතකය. එතෙක් කාලයක් එහේට අවුලක් වූ කේන්දර කතා බහවත්, මෙහේට අවුලක් වෙන්නට ඉඩ තිබුණු බෞද්ධ කතෝලික නොගැලපීම්වත් එදා බත් මාළු පිඟන් තසිම් වල අයිනකවත් තිබුණේ නැත.

එදා ඒ පැය තුන හතරේ හමුවීම පහුවදා උදේ අපේ අම්මාත් තාත්තාත් නංගිලා දෙන්නාත්  තලවාකැලෙන් කොළඹ කෝච්චියට ගොඩවීමෙන් අවසන් වූ නමුත්, ඔපරේෂන් තලවාකැලේ අන්තිම අදියර පොතේ ලියා අත්සන් කර අවසන් වූයේ නම් ඒ අවුරුද්දේ අගෝස්තු මාසේ නවවෙනිදා, කොළඹ තිඹිරිගස්යායේ ශාන්ත තෙරේසා දෙව්මැදුරේ දීය.



ඒ දවස අද වෙද්දී අවුරුදුම තිස් අටක් පරණය. අපේ දෙවෙනි මිනිබිරී, පුංචි මෙයිිසි සඳකාන්තිට ලබන මාසේ වෙද්දී අවුරුද්දක් පිරෙයි. මං අම්මා කියන, මේ අවුරුදු තිස් අටටම මා ගැන බලා කියාගත්, මානෙල් හැරුණාම අම්මා තාත්තා දෙකටම ඉතිරිව ඉන්නේ ලුණුගල අම්මා පමණකි.

ජීවිතය ගමනක් බව ඇත්තය. නමුත් ගමන් කරන්නේ ජීවිතය මිස අප නොවන බව පසක් වෙන්නේ බොහෝ දුර ගිය පසුය. තුති අම්මා.





12 comments:

  1. සුබෙන් සුබ විවාහ සංවත්සරයක් වේවා! මෙවන් මතක තුරුළුකරගෙන ඔබ දෙපළට තව චිරාත් කාලයක් යෙහෙන් වැජඹීමට අවකාශ ආශිර්වාද ලැබේවා!

    දැන් යන්න ඕනි මිස් වෙච්චි අර පරණ කතන්දර ටික කියවන්න. :)))

    ReplyDelete
    Replies
    1. තුති කළ්‍යාණ මිත්‍ර. ජීවත් වුනාය හිතෙන්නේ මේවා නිසා තමයි නේ.

      Delete
  2. nothing to say
    all the best
    this what i'm expecting from my family
    u made my day

    ReplyDelete
  3. සුන්දර මතකයක්. කදිම සටහනක්.සුබ විවාහ සංවත්සරයක් වේවා ...

    ReplyDelete
  4. So did you work in TRI in 1983 July? I was in TRI auditing (Wijebahu)

    ReplyDelete
    Replies
    1. I left TRI in August 82 to get married and to leave for higher studies. So unfortunately was not there by the time you were.

      Delete
  5. කදිම සුන්දර මතකයක්. ඔබේ අතීත කතාවන් හරිම රහයි වගේම මා ඉතා ආසාවෙන් කියවන දෙයක්. මේවායේ රස කුළුගැන්වෙන්නේ අතීත සමරුද ඔබ සතුව තිබීම නිසයි. පැරණි බස් ටිකට් පවා.

    ReplyDelete
  6. සාක්කි එකතු කරපුවා නේ. ඇත්තටම ඒවා අද බලද්දී, එදා නිකමට වගේ එකතු කලත් වටිනාකමක් තියනවායි හිතනවා.

    ReplyDelete

Blogroll

About