Thursday, December 12, 2019

‍ඇවිත් ගිය අඩි ලකුණු තිබුණා



හීන් ඉඳිකටු ඇඟිලි තුඩු අග හිම කඳුළු අවුණා
හීන් සර සර හඬින් කොඳුරන තුරු අගිසි නැවුණා
සුදුම සුදු හිම පොකුරු වැටුණා
කඳු වටේ සුදු සාළු ඔතලා
සුළඟ නැවතී බලා උන්නා
හඳ ඇවිත් මග ලකුණු පෙන්නා
අහස මුදුනේ බලා උන්නා
නෙත් වසා‍ දුර ඈත තරුවක්
නිදා ඉන්නා වගේ උන්නා
‍‍
හීන් ඉඳිකටු ඇඟිලි තුඩු අග හිම කඳුළු අවුණා
හීන් සර සර හඬින් කොඳුරන තුරු අගිසි නැවුණා
‍ඇවිත් ගිය අඩි ලකුණු තිබුණා
සුදු හිමේ රතු තිත් තියා ඔබ
ජීවිතේ ගෙන ගිහින් තිබුණා
Continue Reading...

Friday, December 6, 2019

විසි එකයි හතලිස් හත



එයා මට කියන්නෙ ටුක්කි කියල. ඒක හැබැයි මමම දා ගත්තු නමක්. මං පුංචි කාලෙ ඉඳල මට අම්මි හුරතලේට කියන්නෙ චුට්ටි කියල. ඉතින් මං පුංචි කාලෙ කවුරු හරි මගෙ නම ඇහුවම මං කියනවලු මගෙ නම ටුක්කි කියල. ඒ කතාව මම මුලින්ම කිව්ව දවසෙ එයා මගෙන් ඇහුව මාත් ඔයාට ටුක්කි කියන්න ද කියල. ඉතිං මං හා කිව්ව. එයා ටුක්කි කියල කියන විදිහ හරීම ආදරණීයයි. හුඟක් වෙලාවට එයා කියන්නෙ මගෙ ටුක්කි කියල. ඒ විදිහට එයා මගෙ කෑල්ල අමුණල කියද්දි.... අනේ.... ඒක තවත් ආදරණීයයි. මම ඇස් පියාගන පාවෙලා යනව එතකොට.

අපි හරියටම මුණ ගැහුනෙ පෙරේදා. මම ‘කල්පනා 1’ අභ්‍යවකාශ ජනාවාසයට ඇවිත් සති දෙකකට පස්සෙ. ඒත් අපි අඳුනගත්තෙ නම් එයිට හුඟාක් කලින්. එදා වුණේ මුණ ගැහුණු එක විතරක්ම නෙවෙයි. ඒ වෙද්දිත් අපි දෙන්න ආදරවන්තයො වෙලා ඉවරයි. හ්ම්ම්ම්ම්ම්ම්...... ඔව් මම ආදරෙයි... දරාගන්න බැරි තරමට ආදරෙයි. දැන් ඒක ස්ථිරයි. ඒකෙ ආපහු යාමක් නෑ...! කවදාවත්ම නෑ...!

කල්පනා 1 නම් තවම පර්යේෂණයක් විතරයි. මං හිතන්නෙ නම් ඒක සාර්ථකයි කියල. ඒක මුලින්ම ජනාවාස කළේ අවුරුදු පහළොවකට විතර කලින්. මම මොන්ටිසෝරි යන කාලෙ. මුලින්ම ඒක පර්යේෂණාගාරයක් හැටියට විවෘත කළේ මං උපන් අවුරුද්දට පස්සෙ අවුරුද්දෙ. දෙදාස් එකසිය විසි තුනේ. කල්පනා 1 මගෙ වයසෙ වුණාට, එයා හැබැයි එයිට වඩා ‍හුඟක් වයසයි. එයා නැතිනම් කල්පනා 1 තවම හීනයක් විතරයි මුළු ලෝකෙටම. කල්පනා 1 හැදුවෙ එයායි කිව්වත් මං හිතන්නෙ වරදක් නෑ. තාත්ත නම් ඒක කෙලින්ම කියනවා.

මෙච්චර කාලෙකට පස්සෙත් කල්පනා 1 සාර්ථකයි කියල කියන්න තව සාක්ෂි ඕන ද? ඒත් සමහරු තවම ප්‍රශ්න කරනව. එයාල හිතන්නෙ මිනිස්සු ජීවත් වෙන්න ඕන, පෘථිවියෙදි වගේම ග්‍රහ වස්තුවක මතුපිට විතරයි කියලයි. ඒ ‍ගොල්ලන්ට ‍එකඟ වෙන්න අමාරුයි, කල්පනා 1 වගෙ අභ්‍යවකාශයෙ කක්ෂගත කරපු සංවෘත යානයක ඇතුළත පෘථිවිය මතුපිට වගෙම ජීවත් වෙන්න පුළුවනි කියල. මං හිතන්නෙ එයාලගෙ ගැටලුව මිනිස්සුන්ට කොච්චර වෙනස් වෙන්න පුළුවන් ද කියන එක තේරුම් ගන්න බැරි කම. කිසිම දෙයක් වෙන්න පුළුවන් මේ විදිහෙන් විතරයි කියල සීමා දාගන්නෙ ඇයි? කල්පනා 1 වගෙ අභ්‍යවකාශයෙ කක්ෂගත කරපු ‍යෝධ සිලින්ඩරයක් ඇතුළෙ, පෘථිවිය මතුපිටදි වගෙම මිනිස්සුන්ට ජීවත් වෙන්න, හුස්ම ගන්න, කෑම කන්න, ළමයි හදන්න මේ සේරම කරන්න පුළුවන් කියන එක කරලම පෙන්නල තියෙද්දිත් මේ කට්ටියක් තවම කියන්නෙ ජනාවාස ඇති කරන්න ඕන ග්‍රහ වස්තු මතුපිට විතරයි කියලයි. ඒත් අපි කට්ටිය දැන් හිතන්නෙ ඊළඟ අභ්‍යවවාසය; ඒක තමයි අලුත් වචනෙ මේ වගෙ කක්ෂගත ජනාවාසවලට; කල්පනා දෙක කියල නම් කරනව ද, නැත්නම්, හයිලි එක කියල නම් කරනවා ද කියලයි.

හයිලි.... හ්ම්ම්ම්ම්ම්.... ඒ තමයි එයාගෙ නම. මං ආසයි... ‘මගෙ හයිලි’ කියල කියන්න... කියලත් තියනව මම... එයාට කතා කරද්දි. ඒත් මං ආස ඒක රහසක් ව‍ගෙ තියනවට. අපට හිත්වල තියන දේවල් හරියටම තේරුම් කරන්න බෑ නේ කොයිතරම් උත්සාහ කළත්. මං හිතන්නෙ ඒකට හේතුව තේරුම් කරන්න බැරිකම නෙවෙයි. අපිට අනිත් කෙනෙක්ගෙ හිත තේරුම් ගන්න බැරිකම. මොකද අපට අපේ හිතේ අනිත් කෙනාගෙ හිතේ මතුවෙන හිතිවිලි ඒ විදිහෙන්ම මතු කරගන්න බෑ. ජීවීන් හැටියට, අපට අපේ හිත් හැදිල තියෙන නියුරෝන් සම්බන්ධතා ඕන ඕන විදිහට කඩල ආයෙත් හදාගන්න බෑ. ඒකෙන් හිතන්න තියන නිදහස සීමා වෙනවා. ඇත්ත, මේව මම දන්නෙත් හයිලි ඒව විස්තර කරල පැහැදිලි කරල දුන්නට පස්සෙ. එයාට පුළුවන් හිත් දකින්න, තව කෙනෙකුගෙ හිත එයාගෙ හිතේ ප්‍රතිනිර්මාණය කරන්න. ඒ හැකියාව එයාට තියෙන නිසා තමයි, කල්පනා 1 ජනාවාසයක් විදිහට මේ විදිහට සාර්ථක වුණෙත්. නැත්නම් එතන කට්ටිය කාණ්ඩ හැදිල රණ්ඩු හදාගන හදිසි තීරණ ගන්න වුණු හැම වෙලාවකම ප්‍රශ්න ඇති කරගෙන මුළු ජනාවාසයම විනාශ වෙන්නත් ඉඩ තිබුණ.

මම එයා ගැන දන්නෙ චුට්ටිම චුට්ටි කාලෙ ඉඳලා. මං මොන්ටිසෝරි යන කාලෙත් චිත්‍රයක් ඇන්දත් ඇන්දෙ එයාගෙ රූප සටහනක්. මම රචනා ලියල තියනව එයා ගැන. මම පංතියෙ රැස්වීම්වල කතා පවත්වල තියනව එයා ගැන. කොටින්ම මම එයා ගැන ඒ කාලෙ ඉඳලම පිස්සුවෙන් හිටියෙ. මම විතරක් නෙවෙයි, මගේ වයසෙ ළමයි හැම දෙනාම වගෙ එයා ගැන දැනගන හිටියා. ඒ හුඟක් අයට එයා ගැන පිස්සුවක් තිබුණා. ඒත් මං කවදාවත් හිතන්නෙ නෑ මං විතර එයාට කවුරුවත්ම.... කවුරුවත්ම මේ වගෙ ආදරේ කරන්න ඇති කියල. හ්ම්ම්ම්ම්...... මං ඒක එයාටම කියල තියනවා.

“දන්නව ද... ඔයා මගෙ පණ...!” කියලා.

ඒ වගෙ දේවල් කිව්වම හයිලි හිනා වෙනවා. යන්තමට හුම් හුම් සද්දෙට. මං ආසයි ඒකට. මම දන්නව එයාට මාව දැනෙනවා. එයාත් මට ආදරෙයි. ඔව් එයා කියල තියනවා මට එහෙම. මං හිතන්නෙ නෑ එයාට විතර ආදරය කියන වචනෙ තේරුම තේරෙනවා දැනෙනව ඇති කියල වෙන කිසිම කෙනෙකුට. මොකද එයාට තියෙන කල්පනා ශක්තිය ‍දැනට වෙන කාටවත් නැහැ. ඒක තමයි ඇත්ත. ඒ බව බොහෝ දෙනෙක් දන්නෙ නැහැ. බොහෝ දෙනා හිතන්නෙ එයා දන්නෙ තාක්ෂණයයි විද්‍යාවයි විතරයි කියල. ඒත් මම දන්නවා. මම දන්නව එයාව පුංචිම පුංචි කාලෙ ඉඳලම. මම කිව්වනෙ. මුණ ගැහුණෙ නැතුවට මම ඒ කාලෙත් එයා එක්ක කතා කරනවා.

මම එයා ගැන මුලින්ම දැනගත්තෙ තාත්ති නිතරෝම කියවන කතාවලින්. තාත්ති එයා ගැන කතා කරද්දි තාත්තිගෙ ඇස් දීප්තිමත් වෙනවා. දිගට දිගට කියවගෙන කියවගෙන යනව තාත්ති. එයා තාත්ති අහන අහන දේ ලස්සණට විස්තර කරල දෙන හැටි, එයාගෙ නිමක් නැති දැනුම මේ සේරම පැය ගණන් කියවනව තාත්ති.

“ක්‍රිෂ් ඔයා මේ චුට්ටිගෙ ඔළුවට ඕනැවට වඩා බරපතල දේවල් දාන්නෙ ඇයි? මං ආස නෑ එයත් ඔයා වගෙ ප්‍රෝගැමර් කෙනෙක් වෙනවට...”

අම්මි නෝක්කඩු කියනව එහෙම වෙලාවට....

“නයෝ.... ඔයා ඔය කතා කරන්නෙ ඉරිසියාවෙන්... ගිහින් මූණ බලන්න කණ්නාඩියෙන්....”

තාත්ති හිනාවෙනවා.

“නැහැ ඉරිසියාව නෙවෙයි. මම ආස චුට්ටි මං ළඟම ඉන්නවට. එයා ඔය කතා අහල දවසක ඔයා ව‍ගෙම මාව දාල යන්න යයි”

“නයෝ... නයෝ... නයෝ...”

තාත්ති එහෙම කියන්නෙ හරිම හුරතල් විදිහට.... සමහර වෙලාවට අම්මිට තරහ ගියාම මමත් දැනටත් එහෙම ඇදල පැදල ‘නයෝ.... නයෝ... නයෝ...’ කියනවා. එයාට ඒ වචන ඇහුණම හිනා නොවී ඉන්න අමාරුයි. ඒත් පෙන්නන්නෙ නෑ. නිකම් ඔරවනව වගෙ පෙණුමකට මූණ හදාගන බලාන ඉන්නව අම්මි.

අන්තිමේ මම හයිලි ළඟටම ඇවිත්. කල්පනා 1ට ආව මමත්; තාත්ති කල්පනා 1 හදන කාලෙ ගියා වගේම. අම්මිවත් තාත්තිවත් හරියටම හරියටම දන්නෙ නෑ ඇයි මම ආවෙ කියලා. මං දන්නව එයාල මගෙයි හයිලිගෙයි සම්බන්ධය දන්න බව. මං හිතන්නෙ මම රෑ තිස්සෙ මෙසේජ් යව යව අලුත් කෝඩ් කෑලි ලිය ලිය හයිලි එක්ක කතා බහ කරන කොට එයාල ඒ ගැන සැක කරන්න ඇති. ඒත් හරිම හරි හේතුව එයාල දන්නව කියල නම් මම හිතන්නෙ නෑ. දන්නව නම් තාත්ති මෙච්චර මට උදව් කරන්නෙ නැතුව යයි මේ රස්සාව අරගන්න. එයාල මේ සම්බන්ධය දන්නෙ ප්‍රෝගැමර් කෙනෙකුයි පරිගණක යන්ත්‍රයකුයි අතර තියන සම්බන්ධකමක් හැටියටම විතරයි.

(නාසා ආයතනය මඟින් 2005 පැවැත්වුණු අභ්‍යවකාශ ජනාවාස සැලසුම් තරඟයක දී විශ්වයේ ප්‍රථම අභ‍්‍යවකාශ ජනාවාසය, කො‍ලොම්බියා යානා අනතුරින් මිය ගිය, ඉන්දියානු ජාතික කල්පනා චව්ලා ගගනගාමිනිය නමින් නම් කිරීමට තීරණය වී තිබේ.)

රන්සිරිමල් ප්‍රනාන්දු

දිණමින කැෆේ:  http://www.dinamina.lk/2016/07/02/18630
Continue Reading...

විසි එකයි විසි එක



"මට ඔයාව පේන්නෙ නෑ. එළිය මදි. ලයිට් එක හරවන්න ටිකක්" නයෝමි ‍කොඳුලාය.
තප්පර දහයකට පසුව ක්‍රිෂාන්තගේ මුහුණ ආලෝකමත් විය.

"දැන්..... ?"
"හ්ම්ම්ම්...."
පරිඝණක තිරයට මුව තබා දුන් හාදුව ඉතිරි කල තොල් ආලේපන පැල්ලම දෙස ටික වේලාවක් බලා හුන් නයෝමි කඩදාසි පිස්නයක් ගෙන එය පිසදමන්නට වූවාය. ලා රත් පැහැය ඉවත් වූවත්, පැත්තෙන් බැළූවිට පෙනෙන ලා තෙල් පැල්ලමක් තවමත් ඉතිරි වී තිබේ.

"ඒක ස්ක්‍රීන් ක්ලීනර් එකට යනවා...."
ක්‍රිෂාන්ත සිනාමුසු ස්වරයකින් කියයි.

"විසිඑකයි විසිඑක.... මතකනෙ"
නයෝමිගේ හඬ තීරණාත්මකය.

"දැන් යන්නෝ නැ...."
හිස පැළඳ සිටි හැඟීම් සන්නායක වලල්ල ඉවත් කරමින් ඕ නැගිට සිටියාය. ඇගේ නෙත් වල තිබුණේ කුසීත නමුත් පැහැදුනු බැල්මකි.
"හ්ම්ම්ම්ම්..... හෙට?"
"බෑ... හෙට වැඩ.... අනිද්ද.... හ්ම්ම්ම්?"

"විසිඑකයි විසිඑක.... විසිඑකයි විසිඑක" සෙමින් තොල් මැතිරූ ක්‍රිෂාන්ත පරිඝණක තිරය දෙසම නෙත් හෙලා ටික වෙලාවක් බලා සිටියේය. තිරයේ පසකින් ත්‍රිමාණ කාල සටහනක් බැමෙමින් තිබෙයි. අන්තර් ග්ලැක්සි පිවිසුමට අද දවස තුල සේන්දු විය යුතු යානා විස්සක පමණ සංඥා ලකුණු එහි සටහන් ව තිබේ. ඒ අතර පෘතුවියට ආපසු යන යානා තිබුණේ දෙකක් පමණකි.

සිහින් සිනහවක් සමගින් සුලැඟිල්ල දිගු කල ක්‍රිෂාන්ත ත්‍රිමාණ කාල සටහන ස්පර්ශ කර එය තවත් වේගයෙන් බැමවීය.

"විසිඑකයි විසිඑක.... විසිඑකයි විසිඑක.... හරි මං පොරොන්දු වුනානෙ ඔයාට..."

අන්තර් ගැලැක්සි පිවිසුම පෘතුවියට සමාන්තරව ආලෝක තප්පර හතරක දුරිනි. ආලෝක වේගයෙන් අඩක තරම වේගයෙන් ගමන් කරන වෝප් යානාවකට ඒ දුර යන්නට ගතවන්නේ තප්පර දහයක තරම කාලයක් වුවත්, යානය උපරිම වේගයට එන්නටත් පෘතුවි පිවිසුම අසල දී නැවත වේගය අඩු කරන්නටත් පැය හතරක පමණ කාලයක් ගතවෙයි.

"හුහ් වෝප් සහතිකේ තිබුණ නම් පැය පහයි...." ක්‍රිෂාන්තට ඉබේම කියවිනි.

‍විසිඑකයි දහනවය වසරේ සිට අයදුම් කර තිබුණත් වෝප් යානා ගමන් සහතිකය ලැබෙන්නට නම් තවත් අවුරුදු හතරක් වත් ගත වෙයි. එතෙක් එය දවස් අටක ගමනකි. වසර දෙකකට පසු ලැබෙන මාස හයක නිවාඩුවට තවත් මාස අටක් තිබේ.

+ ------ + ----- + ----- + ---- +

අධි ශීතකල පාර්සලය කුමක්දැයි, කවුරුවත් ඇසුවේ නැත. වෛද්‍ය පරීක්ෂණ සඳහා යැවෙන අධි ශීතකල පාර්සලවල අඩංගු දේ රහසිගත ලෙස සැලකීම සිරිතකට වඩා නීතිය ව තිබිණි. ප්‍රධාන රෝහලක ලිපිනය ලියූ පාර්සලයක් ගැන කෙසේවත් සැක සිතන්නට කාරණයක් ද නොතිබිණි.

ක්‍රිෂාන්ත තවත් වරක් පාර්සලයේ කෙලවරක වු කළු බොත්තම තද කර, තිරය මත දිස්වූ උෂ්ණත්වය පිරික්සා බැලීය. වෝප් යානාවට ඇතුළුවන සියලු දේ එකතු කරගන්නා රොබෝ යන්ත්‍රයට පාර්සලය ඇතුළු කල ක්‍රිෂාන්ත එහි පියන වසා, යානයේ තොරතුරු පරිගණක තිරයේ ලකුණු කලේය.

+ ------ + ----- + ----- + ---- +

නයෝමි කාමරයට පිවිසියේ අධි ශීතකල පාර්සලය නයෝමිගේ මේසය මත තැබූ රොබෝ ලියුම් බෙදන්නා කීක් කීක් යැයි දෙවරක් නාද කර ඉවත්වී යනවාත් සමගය. පාර්සලය පසක කළු බොත්තම පාර්සලයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් ඍණ 197 ක් බව පෙන්වීය. සිහින් සිනාවක් සමග නයෝමි පාර්සලය සිය අත් බෑගය තුලට දැම්මාය.

හ්ම්ම්.... විසිඑකයි විසිඑක.

+ ------ + ----- + ----- + ---- +

වසර අවසානයට තිබුණේ දින පහකි. රෝහල් ‍ගොඩනැගිල්ල වර්ණවත් එළි විහිදුවමින් තිබිණි. අවට අනෙක් ගොඩනැගිලි වලට වඩා උස් නො වූවද, රෝහල වඩාත් කැපී පෙනුනේ එහි බිම සිට උඩට විහිදුනු ලා රතු පැහැ ආලෝක ධාරාවන් නිසාය. බිම් මට්ටමේ සිට සෙමින් සෙමින් ඉහලට පැතිරෙන රතු පැහැය එක මොහොතක මුළු ගොඩනැගිල්ලම වසාගෙන බොඳවී යයි. ඉන් පසු තප්පර හතරකට පමණ මුළු ගොඩනැගිල්ලම රක්ත තප්තව දිලිසෙයි. කෙමෙන් මැකී යන රතු එළිය නැවතත් බිම් මට්ටමේ සිට සෙමින් සෙමින් ඉහලට පැතිරෙන්නට ගනී.

නයෝමි කාමරයේ ජනේලයෙන් මෑත්ව ජනේලයට පිට දී සිට ගත්තාය. මුළු කාමරය පුරාම ඇගේ ඇස් දිවයයි. සියල්ල තිබිය යුතු තැන් වලම තිබේ. ක්‍රිෂාන්තගේ සිනාසෙන සේයාරුව දිග සෝපාවට ඉහලින් සිනා‍සීගෙන බලයි. එයට පහලින් ඇත්තේ තාත්තාගේ හා අම්මාගේ සේයාරුවකි. තාත්තාගේ මුහු‍ණෙහි සිනාවක් නැතත්, පැහැපත් සතුටු හැඟීමක් සලකුණු වී තිබේ. කවදත් මෙන් අම්මාගේ මුහුණ නම් පිරී ඉතිරෙන සිනාවකි. ඒ මුහුණු තුනෙහි වෙනස් කම් හා සමානකම්‍ තෝරන්නට නයෝමි වෙහෙස ගත්තාය. ඈ ක්‍රිෂාන්තගේ මුහු‍ණේ සිනාවට ඇළුම් කලාය. යන්තම් වක ගැසෙන කම්මුල් වලට ආදරය කලාය. එහෙත් ඇයට ප්‍රියමනාපම මුහුණ වුයේ නම් අම්මාගේ මුහුණය. අම්මා සිනාසෙන විට ඇගේ නෙත් යන්තම් කුඩාවෙයි. එය ඇගේ මුහුණෙහි ප්‍රියමනාප ගතිය තවත් උපුටා දක්වන්නේයි නයෝමි සිතුවාය. තාත්තාගේ මුහුණෙහි ඇත්තේ තරමක ගාම්භීර පෙනුමක් යැයි ඇයට සිතෙයි. ඊට වඩා ක්‍රිෂාන්තගේ මුහුණේ ඇති උතුරා යන සිනාවට ඈ කැමතියි ඇය සිතුවාය.

"මෙහෙමයි.... ජීවිතේ අපි තීරණය කරන්න ඕන දේවල් තියනව තමයි. ඒත් සමහර දේවල් තීරණය කරන්නෙ ජීවිතයයි නයෝමි, අපි නෙවෙයි"

"දැන් ඔයා හදන්නෙ ජීවිතය තීරණය කරල මෙසේජ් එකක් එවන කල් ඉන්න ද? ඔයා කියන ඔය ජීවිතය කියන්නෙ අන්තර් ග්ලැක්සි පිවිසුමේ පාලක සභාව ද ක්‍රිෂාන්ත?"

"හරි මම පොරොන්දු වුණානෙ..... ඒක නිසා මම එවන්නම්. හැබැයි ඔයාත් හිතල බලන්න ආයෙත්... හරි?"

සිතූ සැලසුම් ඒ විදිහෙන්ම අකුරක් වචනයක් නොවෙනස්ව කිරීමේ සිරිත ලැබුණේ තාත්තාගෙන් බව නයෝමි ට සිතෙයි. අම්මා හැමදාමත් කලේ තාත්තාගේ සැලසුම් වලට තීරණ වලට අනුකූල වීම බව ඈ සිතුවාය. එසේ කිරීම බොළඳ යටහත් වීමක් ලෙසත් ඒ අතින් අම්මා දුර්වලයෙකු ලෙසත් සිතන්නට ඈ පෙළඹී සිටියාය.

සෝපාව මත දිගාවී සිටි ෆ්‍රේඩෝ එයින් බැස අවුත් දොර දෙසට මුහුණ දිගු කරන තුරුම නයෝමි අම්මාගේත් තාත්තාගේත් ක්‍රිෂාන්තගේත් මුහුණු දෙස වරින් වර බලමින් සිටියාය.

"අපි යමු ෆ්‍රේඩෝ...." පහත් වී උගේ මුහුණ සිපගත් නයෝමි ‍දොර අසල තිබුණු හම් පටිය බල්ලාගේ කරපටියේ ගාංචුවට ඇවිණුවාය.

උයන් මගෙහි දැනුනේ සිසිලසකි. යාන්තම් ඇදී යන සුළඟක් ගස්වල පත් සෙමින් සොලවමින් තිබිණි. රෝහල් ගොඩනැගිල්ලෙන් විහිදෙන දැල්වෙන දිලිසෙන නිවෙන රතු එලිය පදික මග පුරාද දිදුල් දෙමින් තිබුණි.

+ ------ + ----- + ----- + ---- +

ඈ සිටියේ ක්‍රිෂාන්තගේ නිරුවත් පපුව මත මුහුණ ඔබාගෙන, ඝනව වැඩුණු රෝම සිඹිමිනි. ඇගේ ඇස් පියවී තිබිණි. ඕ හෙමින් දිගු හුස්මක් ගත්තාය.

"මට ඕනෙ අවුරුදු විසි පහ ඉවරවෙන්න කලින් බබෙක් හදන්න..."

"ඔයාට විසිපහ.... විසිපහ ඉවරවෙන්නෙ ‍විසිඑකයි විසි එකේ ජුනි විසිහතර.... හ්ම්ම්....."

ඒ එක්කම ඈට ඊයේ සවස ඇසුණු ක්‍රිෂාන්තගේ ලයාන්විත කට හඬ ඇ‍සෙයි.

"අපි කෘත්‍රිම වෙලා මදිද නයෝ... ?"

"නැහැ අපේ සැලැස්මක් තියෙනව. ඔයා පොරොන්දු වුණා"

"සැලසුම් කියන්නෙත් කෘත්‍රිමයි කියන්නෙත් එකම දේ නේ ද නයෝ?"

+ ------ + ----- + ----- + ---- +

පදික මග අසල බංකුවක වාඩිවූ නයෝමි, අත් බෑගයෙන් අධිශීත කල පාර්සලය ගත්තාය. පියනෙහි අගුළු හැරි ඈ, මොහොතක් එහි ඇතුලත වූ වීදුරු කෝෂය දෙස බලා සිටියාය. පාර්සලයේ පසෙක වූ රතු පැහැති යතුර ඇද දැමූ ඈ බංකුව පසුපස ගල් බැම්ම මතට එතුල වූ වීදුරු කෝෂය වැටෙන සේ, පාර්සලය ඇල කලාය.

"අපි යං ෆ්‍රේඩෝ...."


රන්සිරිමල් ප්‍රනාන්දු 

පලවූ අනෙක් තැන්:
කතන්දර බූන්දි
දිණමිණ කැෆේ
Continue Reading...

පැවතීම

ඇල් මැරුණු වසන්තය
සිල් සාළුවෙන් වහන
සරතයේ මල් වැස්ස
හෙලන හිම බිඳු ඔබය

නිසල නිල් අහස වෙත
ඉරුණු අත් දිගු කරන
පොප්ලරයෙ අත් සිඹින
සිහින මදනල ඔබය

විලේ හිම පුවරුවේ
තුරු රටා මල් මවා
ආදරේ කවි ලියන
හිරුමලේ පෙති ඔබය

කවුළුවේ පියන් මත
සීරුවෙන් හොට තබා
තට්ටු කර ඉගිල යන
බටිති රංචුව ඔබය

පැවතීම නම් ඉතින්
නැවතීමමය නිසල
කිසිදිනක නොනවතින
ආදරිය ඔබ අසල....!





Continue Reading...

Monday, October 14, 2019

පපුවෙ අමාරුව.....!


අපේ ගෙදර දඬුවම් ක්රම කීපයක් තිබුණි. ප්රධාන දණ්ඩනය පේර කෝටුව වූ අතර ( වත්ත පුරාම පේර පැල තිබීමත් මේකට හේතුවක් වෙන්නට ඇත), දීර්ඝ කාලීන දඬුවම් අතර සාලේ සුරුවම ඉස්සරහා දණගසා සිටීම ප්රචලිතම එකක් විය. තාත්තා තඩි ගන්නා තුරු ඔළුව නොසොල්වා සිටීම හෝ පහුකලක තාත්තාගේ හිසේ සුදු කෙස් ගස් ගැලවීම හෝ තාත්තාගේ පිටේ කසන තැන හරියටම කැසීම වැනි භයානක දඬුවම් නොවුවත්, දණගසා පමනක් නොව අත් දෙකත් දික්කරාන දණගසා සිටීම නම්..... ඔය සමාර අපේස්සක⁣යින් රැස්වීමක කතා කරනවාට වඩා අසීරු එකක් බව කිවමනා නොවේ.
පාසල් නිවාඩුවට වරක්වත් මේ ඉරියව්වෙන් රතු ලාම්පුවෙන් එළියවුනු ක්රිස්තු තුමන්ගේ දිව්‍ය හෘදය එක්ක තනිපංගලම් වීම අපේ පුංචිකාලවල මිහිරිතම මොහොතවල් සේ සදා සිහිපත් කරන්නට පුළුවන.
ඉතින් ඔහොම දණගහලා කුරුසේ ඇණ ගහලා හිටපු දවසක, අනෙක් උන් හැම එකාම සීසීකඩේ වත්තේ පිටියේ ගෙදර ඉස්තෝප්පු දිගේ දුව පනින සද්ද අහලා අහලා ඇතිම වුනු වෙලාවක අහල පහලින් ගිය පොඩි නංගීට කතාකර, පපුව රිදෙනවා කියා අම්මාට පණිවිඩයක් යැව්වෙමි.
එසැණින් මා එතෙක් කල සියළු යාච්ඤාවන්ට පිලිතුරු ලැබුණේය.... ⁣"කෝ කොතනද?" අහාන ආපු අම්මාට පෙන්නූ පරිදිම, මුළු පපුවම පුරා සිද්ධාර්ථය ගාලා, එදා රාත්රියම සාලේ පැදුරක නිදා ගන්නටත්, පහුවදා දොස්තර ෆීලික්ස් ප්රනාන්දුගේ ක්ලිනික් යන්නටත් තරමට මට දේවාශිර්වාද ලැබී තිබුණි. එයා නම් "මේක මසල් පේන් එකක් වගේ, වින්ටජෙනෝ ටිකක් ගාලා දවසක් දෙකක් බලන්ඩ" කිව්වා මිස මං හිතාන උන්නු හැට්යට, එක්ස්රේ අරගෙන ශල්‍ය කර්මයක් කරන්නට හෝ නේවාසිකව රෝහල් ගත වන්නට නිර්දේශ කලේ නැත.
තව දවසක් දෙකක් විතර ඒ රිදිල්ල තියා ගන්නට මා සමත් වූ නිසා, හවසට කරෝලිස් මුදලාලිගේ කඩෙන් පාන් ගෙනියන බැසිල් බාප්පා කැට බනිස් අරන් අපේ ගෙදරත් ආයේය.
ළමයෙක් වුණාම සිද්ධාර්තෙ ගාගෙන පැදුරක ඇලවෙලා ඉන්නෙකේත් සීමාවක් ත්යෙන හින්දා...ම ලෙඩේ සනීප කරගන්නට සිද්ධ වුණත්, සතියකට විතර පස්සේ ආච්චිලාගේ ගෙදර ග්ය වහාම උන්දෑ ඇහුවේ "ඇන්ජලා පපුවේ රිදිල්ල හොඳටම හොඳැයිද දැන්" කියලාය.
අපටත් දේවාශිර්වාද තිබුණු කාලයක් තිබුණා මෙයා....!
Continue Reading...

Wednesday, August 7, 2019

දෙලක්ෂයක් ජීවිත බිලිගත් පොඩි කොල්ලා....!




දෙවන ලෝක සංග්‍රාමයේ යුරෝපා අවසානය සනිටුහන් කරන ජර්මනියේ යටත් වීම 1945 මැයි 8දා ලෙස සැමරුණ ද, ජපානයේ හිරෝෂිමාවට විශ්වයේ ප්‍රථම වරට මිනිස් අතකින් නිපැයුණු පරමාණු බෝම්බ ප්‍රහාරයක් එල්ල වන්නේ, අදින් වසර හැත්තෑ හතරකට පෙර 1945 අගෝස්තු හයවෙනිදාය. හිරෝෂිමාව අත්දුටු මේ ඛේදජනක අවසානය ගින්දර පරිහරණය කිරීමට උගත්තායින් පසු මිනිසා විසින් මෙල්ල කරගනු ලැබූ එකම ශක්ති ප්‍රභවය වන න්‍යෂ්ඨික බලයේ ශාපලත් වැඩිවිය පත්වීම ද වන්නේ ය.

දෙවන ලෝක සංග්‍රාමයට අත්පොත් තැබුණු 1938-39 සමයේ දී ජර්මානු ජාතික ඔටෝ හාන් සහ ෆ්‍රිට්ස් ස්ටාස්මාන් විසින් නිරීක්ෂණය කරනු ලදුව, ඔටෝ ෆ්‍රිට්ෂ් සහ ලීසා මෙයිට්නර් විසින් කරනු ලැබූ සෛද්ධාන්තික විශ්ලේෂණයකින් පහදා ගනු ලැබූ, න්‍යෂ්ඨික විඛණ්ඩන ක්‍රියාවලිය, බලගතු යුධ අවියක් නිපදවීමට යෙදවිය හැකිය යන්නත්, එය හිට්ලර්ගේ ජර්මානු හමුදාව සතු වුවහොත් ඔවුන් අපරාජිත වනු ඇති බවත් එවකට ඇමරිකානු එක්සත් ජනපද ජනපති වූ ප්‍රැන්ක්ලින් ඩී. රූස්වෙල්ට් හට ලියා දන්වන්නේ ද ජර්මානු සම්භවයක් ඇති, ඇල්බර්ට් අයින්ස්ටයින් ඇතුළු විද්‍යාඥයින් පිරිසකි. මේ දැන්වීම මත ක්‍රියාත්මකව ඇරඹෙන මෑන්හැටන් ව්‍යාපෘතිය, න්‍යෂ්ඨික විඛණ්ඩන ක්‍රියාවලිය පදනම් කරගත් ප්‍රායෝගික යුධ අවියක් නිපදවීමේ සාක්ෂරතාවය දක්වා ගෙන යාමට ඔවුන් සමත්වන්නේ 1945 ජූලි මසදී ය.

ඒ වනවිට යුරෝපා යුධ පෙරමුණ අක්‍රියව තිබුණද, අමෙරිකාව යුද්ධයට ඈඳාගත් ජපානය යටත්ව නොතිබීම මත, ඇමරිකා එක්සත් ජනපදය ගත් තීන්දුව වූ, 'ලිට්ල් බෝයි' (පොඩි කොල්ලා)යි නම් කල පරමාණු බෝම්බය රැගත් 'ඉනෝලා ගේ'' B-52 ගුවන් යානය 1945 අගෝස්තු හය වෙනිදා, උදාසන අටයි කාලට, හිරෝෂිමාවට සේන්දු වන්නනේය. නගරයට අඩි එක්දහස් නවසීයක් ඉහල අහසේ පිපිරූ පොඩි කොල්ලාට හැත්තෑ දහසක් හිරෝෂිමා වැසියන් ක්ෂණයකින් මරු තුරුළට යවන්නටත්, එහි පසු විපාක ලෙස මියගියවුන්ද සමග දෙලක්ෂ තිස්හත්දහසකට අධික මිනිස් ජීවිත ගණනක් බිලි ගන්නටත් හැකිවිය.

පොඩි කොල්ලා ක්‍රියාත්මක වූයේ සුපෝෂිත යුරේනියම් 235 සමස්ථානිකයෙන් සෑදූ, රාත්තල් 85 ක, මධ්‍යම සිදුරක් සහිත සිලින්ඩරයක්, රාත්තල් 55ක් වූ යුරේනියම් 235 සමස්ථානිකයෙන්ම සෑදූ ඝන ශූලයක් මතට කාල යතුරකින් ක්‍රියාත්මක වූ (timer switch) තුවක්කු යාන්ත්‍රණයක් මගින් ප්‍රක්ෂේපණය කිරීම මගිනි. සිලින්ඩරයේ මධ්‍යම සිදුර තුල ඝන ශූලය තැන්පත්වීමෙන් යුරේනියම් 235 සමස්ථානිකයේ දාම විඛණ්ඩන ක්‍රියාවලිය පණ ගැන්වෙන අවධි ස්කන්ධය (critical mass) සම්පූර්ණ වන අතර, ටී.එන්.ටී. කිලෝටොන් පහලවකට සමාන වූ ක්ෂණික පිපිරීමක් එයින් ජනනය වෙයි. එපමණ ශක්ති ප්‍රමාණයක් ජනනය කල මේ ප්‍රහාරයේ දී දැවීගියේ බෝම්බයේ අන්තර්ගත වූ විඛණ්ඩය කල හැකි යුරේනියම් ප්‍රමාණයෙන් සියයට දෙකකටත් අඩු ප්‍රමාණයක් බව ගණනය කර තිබේ.

ප්‍රාමාණිකව පොඩි කොල්ලා අඩි දහයක් පමණ උස් වූ අතර, අඩි දෙකකට වඩා (අඟල් 28) මහත් විය. එහි මුළු බර රාත්තල් 9700 ක් වූයේය.. එය ඉනෝලා ගේ යානයේ බඳින් නික්මී තප්පර පණස් හතකට පසු තුවක්කු යාන්ත්‍රණය ක්‍රියාත්මක වූ අතර, ඒ එදා උදාසන හිරෝෂිමාවට හිරු බැසගිය මොහොතයි.

කොන්දේසි විරහිත යටත්වීමක් සඳහා ජපානයට බලකිරීමේ ඇමෙරිකානු අධිෂ්ඨානය, එතැනින් නොනැවතී, එයින් දවස් තුනකට පසු, අගෝස්තු නව වෙනි දා, නාගසාකි නුවර අහසේ පිපිරුණු ෆැට් මෑන් (තර මිනිසා) දක්වා ව්‍යාප්ත විය. නාගසාකියේ මරණ සංඛ්‍යාව අසූ දහසක් පමණ වෙතැයි ඇස්තමේන්තු කෙරෙයි.

ජපානය ඇමරිකානු මිත්‍ර රාජ්‍යයක් ලෙස පැවතුන ද, හිරෝෂිමාවට පය තැබූ ප්‍රථම රාජ්‍ය තාන්ත්‍රික ඇමරිකානු ජනාධිපති වරයාවූ බැරක් ඔබාමා එහි යන්නේ 2016 මැයි මාසයේ දීය.
1958 දී හිරෝෂිමා නගර සභාව, බෝම්බය හෙලීමට අවසාන තීරණය දුන් (මේ තීරණය, යුධ ගිවිසුම් ප්‍රකාරව එංගලන්තයේ ද අනුමැතිය ලැබූවක් වෙයි) හැරී ටෲමන් ජනාධිපතිවරයා හෙලා දකිමින් නිකුත් කල ප්‍රකාශයකට පිළිතුරු දෙමින්, ජපානය ඇමරිකාවට එල්ලකල පර්ල් හාබර් (මුතු තොට) ආක්‍රමණය පසුපසින් පැමිණ වෙඩි තැබීමක් ලෙස සඳහන් කල ටෲමන්, හිරෝෂිමා හා නාගසාකි බෝම්බ හෙලීම් හේතුවෙන් හමුදා ආක්‍රමණයක් වැලැකීම නිසා, දෙලක්ෂ පණස් දහසක් මිත්‍ර හමුදා (Allied Troops) භටයින් ගේත්, දෙලක්ෂ පණස් දහසක් ජපන් ජාතිකයින්ගේත් ජීවිත සුරැකුණු බවත්, ප්‍රහාරයට අණ දුන් විධායක නිලධාරියා ලෙස හිරෝෂිමා හා නාගසාකි ජනතාවගේ ජීවිත පරිත්‍යාගය මිත්‍ර පාක්ෂික රටවල හා ජපානයේ අනාගත සුබ සිද්ධිය උදෙසා, හදිසි හා අත්‍යවශ්‍ය වූ කාරණයක් ලෙස තමුන් සිතන බවත් සඳහන් කළේය.


2019 හිරෝෂිමා ප්‍රහාර සැමරුමේ සේයා රූ මෙතැන.
Continue Reading...

Sunday, July 21, 2019

නීල් ආම්ස්ට්‍රෝන්ග් නොදන්නා හැත්තෑ නවයේ චන්ද්‍ර සංචාරය...!




අපේ යෞවනයේ ගායකයා වූයේ මිල්ටන්ය.
අපේ මිල්ටන් නම්, ජේ. ඒ ය. ජේ. ඒ. මිල්ටන් පෙරේරාය.
මිල්ටන්ගේ සිහින දෙව් දුවට පෙම් බැන්ද අපට වෙන කිසිවකුට ආදරය කරන්නට හිතන්නටවත් කාලයක් තිබුණේ නැත. ඇයගේ නාමය නම් ඉතින් ආදරයම විය.

ලපැති සඳත් කටු රැඳි මලුත් අතරින්, වන වදුලු, ගිරි කඳුරු, රුදු කතර පීරා හඹා ගොස් නලලත අත තබා ලෙයින් ලියා පවරා දිවි බඳුන පුද කරන්නා වූද, ඕ දෙපා අබියසම ගිනි නැතිව දැවී හළුවී ජීවිතයෙන් සමුගන්නා වූද, අමරණීය ප්‍රේම කළ්‍යාණියක් පිළිබඳව සිහින දකින්නට අපට ඉගැන්නුවේ කරු අයියාගේ පදමාලා වලට සිය හෘදයාංගම කටහඬ මුසු කල මිල්ටන් ය. 

සිහින දෙව් දුවේ ඔබට තුන් ලොවේ
එකම නමයි මා දන්නේ  ඒ නම ආදරේ...

සඳෙහි ලප තියේ මලෙහි කටු තියේ

උපමා නෑ සසඳන්නේ ඔබේ නම ආදරේ
චන්දන දියෙන් දොවාලා ඔය නළලෙ අත තියාලා
මම ඔබ ලඟයි කියාලා දෙමි ලේ වලින් ලියාලා

කල්යාණි නමට අම පෙම් දිවි බඳුන පුදකරන්නම්
ඉපදුනිද බවෙක කිසියම් මුලු සසරෙදිම ඔබෙයි මම්
අවසාන මොහොත වේවා ඔබ ලඟදි ලඟා වේවා
ගිනි නෑතීව මා දෑවේවා සිහිවටන එහි මෑවේවා





https://www.youtube.com/watch?v=Xi78nR8QrRA
හීන දෙවොල්වල දේවතාවියන් පිදීම එකකි, දන්නා කියන කතා නොඇසූ කල්යාණියන් සොයා ගැනීම නම් ඒ තරම් ලේසි පහසු නොවෙයි. ඒකත් සිහිනයක්ම වීමේත් රසයක් තිබෙයි.

කල්යාණියෙ ඔබ නෑසූ කතාවක් කියන්නම්
ඇත්තයි එය මම දිව්රා හිසේ දෑත් තියන්නම්

මතු කවර දිනකදී හෝ මට ඔබව අහිමි වේ යැයි...
ගැන භීතිය සැක මාගෙ හිතේ තිබුණි දිගා කල්
හිමි වී ඇත අද ඒ දුක ගැන සෝක සුසුම් වැල්

මගෙ හිතට එකඟවයි මේ මා කියන දෙය කියන්නේ...
ඔබෙ ආදරබර මහිමයටයි ගී ලියවෙන්නේ
රස උල්පත සිඳ ඇයි හදවත සසළ කරන්නේ



https://www.youtube.com/watch?v=gRGCKLIhNSg


ඉල්ලීමත්, සොයා යෑමත් කෙසේ වෙතත්, මේ පුදුමාකාර ජීවිතයේ දී නොඉල්ලන දේ නොහිතූ ලෙසින් ලැබීමට වෙලාවක් කලාවක් නැත. කතාවේ හැටියට පතාගෙන ආ  ආදරය නෑඹුල් සිනාවක ආදරයෙන් ඔතා අතට ගෙනැවිත් දුන් එදා දවසේ සිදුවූ වික්ෂිප්ත වීමත් මිල්ටන්ගේ සිංදුවකටම කරු අයියා ලියා තිබුණත්, 

ඔබ කවුද ප්‍රියේ මන්ද මෙසේ
රන් රස සේ ඉන්නෙ බැඳී
ඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූ
හුරු වූ දේකි මේ සුදූ

ඔබ මා වෙනුවෙන්මද ලොව දිණුවේ
මට මේ සෙනෙහස නෑ ඈ පිදුවේ
මගෙ ගීත නිධානය ඔබම තමා
පෙරලා දෙනු මැන මුව ගලන අමා

අද මෙන් හෙට ඔබ ළඟ එකට ඉමී
සැනසුම සුව සහනය රැඟෙන එමි
ඔබ අමතනවිට මම සිනාසෙමී 
ගෙමිඳුල ළඟ වැටි වැටි සිඟා කමී



https://www.youtube.com/watch?v=AfAPX7a-Hbk

ඒක නම් ඉස්සෙල්ලාම කියා තියෙන්නේ මොහමඩ් රාෆිය....


https://www.youtube.com/watch?v=2-hTvBEAOpk 
සිංදු කීමේ කලාව බිංදුවක්වත් ඇඟේ ගෑවී නොතිබීමේ හේතුවෙනුත්, අවුරුදු හතරක දහදිය මහන්සියෙන් අස්වැද්දූ කෙත් වතුවල බැත කපා පාගා හුලංකර ගන්නා අවසාන විභාග සමය හොම්බ ලඟම දිව දික්කරමින් සිටි බැවිනුත් අර විහාරමහා දේවියේ සිමෙන්ති බංකුවක දී හමුවූ සිහින දෙව්දුවත් සමග ඔවැනි සීරියල් දර්ශනයක් රඟපෑමේ වාසනාවක් තිබුණේ නැත.

ඒ වෙනුවට සිදුවූයේ නවකතා පොතේ වෙනවා වගේම, ඒ අදහස අතහැර දමන්නට දෙන්නාම තීරණය කිරීමකි.
ඉතින් මිල්ටන් ඒ ගැනත් කියා තිබූණි. සිද්ධ වූ දේ සිද්ධ වූ හැටියෙන්ම කරු අයියා ලියා මිල්ටන් ලවා කියවා තිබුණි.

ඇස රැඳුණ  රැඳුණ  තැන්වල 
මුව මඬල හිනැහුණා
ඔබ මතක නැති කරන්නට 
මට මතක නැති වුණා ..//

දුක්‌ පැදුර දිගැර අලසව ඇත - හද ගිමන් හලේ
නින්දකට නොවැටි තැවි තැවි - මුලු රැය පහන් කලේ ..//

රෑ කවුද හෙමින් එළැඹී - මගේ කනට මුව තියා
මින්දදගෙ දුන්නෙ මල් හී - පහකැයි කියා ගියා ..//

වැසු විමන් පියන් පියවා - රඳවන්න මට හිතයි
උඩු හිතට වැඩිය ඔබ ගැන - විමසන්නේ යටි හිතයි ..//




ඒ ආදරය උතුරා අපේ හිත් වලට හඳ පෑව්වේ, කළුවර පෝයට දවස් තුනක් වූ මුත්, හැත්තෑ නවයේ ජූලි මාසේ විසිඑක්වෙනිදා, හවස හතට හතාමාරට විතර, කැප්පෙටිපොල පාරේ, ඉන් පස්සේ කවමදාකවත් අපට හරියාකාරව අඳුනාගන්නට නොහැකි වූ ගහක් යට දීය. ඒ ඔය නීල් ආම්ස්ට්‍රෝන්ග් හඳේ පැල්ලමක් තැබූ අවුරුද්දට හරියටම අවුරුදු දහයකට පසුවය. අදය අපි කියන අද දවසට අවුරුදු හතලිහකට කලින් ය...!

මට ගයන්නට බැරි නමුත්, කරු අයියා ලියා මිල්ටන් ගැයුවේ කා ගැනදැයි අද නම් මට ඇස් පියාගෙන වුවද පෙන්වන්නට පුළුවන.

සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ
එකකී මට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ

මගෙ ජීවය ගල් ලෙනකී එහි පහන ඔබ තමා - එය දල්වනු මැන හිනැහී හද පෙම් ගිතෙල් දමා
වැලපීමට හෝ සැනසීමට මතු සැරින්සැරේ - එකකී මට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ

අඩකී පිරිලා ඇත්තේ රස මිහිර මීවිතේ - පුරවා දිය හැකි ඔබටයි අඩු කොටස ජීවිතේ
පිටුපෑමට ලං වීමට භවයේ වරින්වරේ - එක කීමට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ

අද හෝ හෙට කරුණාකොට වියැළුනු දෙතොල් තෙමා  - දිවගෑමට සැනසීමට ඔබ දිය යුතුයි අමා
ඔබගේ නෙත කඳුළැලි මත පාවෙන තරම් ප්‍රියේ - දරුණූ නැත මගෙ හදවත හොඳ සිහිය මට තියේ

සෙලවීමට නොහැකී වැද බාධක සුළං සැරේ - එකකී මට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ
සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ
එකකී මට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ

ආදරෙයි අම්මා....!





Continue Reading...

Wednesday, March 20, 2019

විලේ නෙළුම්...!

"දාසය දාහත වෙද්දීම, ලව් ඇෆයාර්ස් නිසා කෙල්ලො අතරමං වෙනවා ඇති පදං ගම්වල. හැබැයි අපේ ගමේ ඔහොම කරපු හුඟක් කොල්ලො ඒ කෙල්ලන්වම කසාද බැඳලා බලා කියාගෙන ඉන්නවා"
 - ගමෙන් නගරයට විත් කවි ලියන තරුණයෙක්

නින්දගම් අතැර විත් පිය උරුම පරපුරේ
ගෙන්දගම් පොළව මත කවි ලියන සුමිතුරේ
මල් කපන වක් පිහිය රැඳුනාට බඩතුරේ
මගෙ හිතත් ඔය වගෙයි පිරෙනවා ආදරේ

සුවඳ නම් ගස් ගඳය ගඟ දියට නොසේදෙන
හිසට නං පොල් තෙල්ය ජෙල් ක්‍රීම් නොපෑහෙන
අතට අහුවුනු මලත් නෙළුමකිය මඩ පිපුණ
රෝස මල් සුවඳමය නටුවෙ නැත කටු ඉහුණ

අල්ල පා හිඟාකන ගම් වැද්දො අපි තමයි
ඒ  අපේ මල් වලත් තවම මල් පැණි පිරෙයි
කන්ද උඩ මහ ගෙදර ලොකු කෙල්ල මගෙ තමයි
නින්ද නැත රෑ දවස් තවම හිත් දඟ කරයි

දං ගෙඩිය පළු දෙකට කඩා හංගා ගෙනැත්
කිරිල්ලට කවනවා බිජු රකින ගිරවුනුත්
කැලේ වන වදුළු තුල නිදිමරන හාවුනුත්
දන්නවා විඳිනවා හාවියගෙ දොල දුකත්

ගං වතුර ගිං ගඟේ මල් කෑර මල් දවා
ගිනි වතුර වී ගලන ඉල් මහේ මැද පවා
මල් පැලක් වූ හිතක පෙම් පහන අවුලුවා
පින් කඳක් මගෙ පැලෙත් මට කියා ඉන්නවා

ආදරේ ලියන්නේ මොණර කොළ වල නොවේ
ගින්දරේ දැවෙන්නේ විස බඹර තුඩු නොවේ
මන්තරේ ජීවිතේ පොතක කවියක් නොවේ
යන්තරේ වගේ අත් වලත් දේදුනු මැවේ




Continue Reading...

Friday, March 15, 2019

ගලන ගඟකට වුවත්...

ගලන ගඟකට වුවත්
නවතින්නම හිතෙයි මොහොතක්
මල් පිපුණු තැන්නක
විලක් වී නිදහසේ ඉන්නට
සරන සියතකු වුනත්
ගිම් නිවා නවතීය මොහොතක්
මල් පිපුණු අත්තක
නෙතු පියා ගීයක් ගයන්නට
හෝරාව ගෙවෙයි බිඳු බිඳූ
වලාකුලකින් වැටෙන වැහි බිඳු
මල් පිපුණු අත්තක්
මල් පිපුණු තැන්නක
හිඳී තවමත් මග බලාගෙන

March 21, 2018

Continue Reading...

Thursday, March 14, 2019

අයාලේ ගිය වසන්තය...!

හීන් හුළඟක් ඇවිත්
අයාලේ බිම වැටුණු
හිම කැරලි අවුස්සයි
උඩ දමා වීසි කර
මල් වගේ වට්ටවා
බොල් හඬින් සිනාසෙයි
අයිස් පලසක් යටින්
ගඟ හෙමින් ගලායයි
‍හිසත් මුහුණත් වැසූ
කබායක් අයිස්මත
සීරුවෙන් අඩිතබයි
බිලිකටුව සිදුරකින්
රිංගවා කල් බලයි
දලුත් නැති කොලත් නැති
ඉපල් අග මල් පිපෙන
වසන්තය තුඩින් ගෙන
හෙමි හෙමින් තටු ගසා
ඈත ඈතක දුරක
කිරිල්ලක් පියාඹයි...!

මාර්තු 13, 2014



[පින්තූරය - මංජුල වෙඩිවර්ධනගෙනි]
Continue Reading...

අද වසන්තයේ දවසක්....!

ලිහිල් වූ දුහුල් දුල්
සාළුවකි රැලි ලිහුන
පාර දිගටම හැලුන
කල් ඉකුත් මල් තුහින
මකුළු දැල් කෙඳි වැන්න
ලා පාට රිවි කිරණ
ඇල්මැරුණු අවපාට
වලාකුලකින් බහින
උලා වත්සුණු සුසුදු
සිටි නොසෙල්වී තුරු
මනමාල වසන්තය
කවදාක හෝ වඩින තුරු....!
[මාර්තු විසි එක, 2018]


Continue Reading...

Wednesday, March 13, 2019

ශිල්ප සොඳින් දැන ගන්න ගිහින් නුඹ....



නවසිය හැත්තෑ නවය වූ කලී, මගේ සරසවි දිවියේ අවසාන අධ්‍යයන වර්ෂයය. ඒ වසර පුරා කල කී දෑ කුරුටු අකුරු වලින් සටහන් වූ දින පොත අදටත් මා සතුව තිබෙයි. එහි මැයි මස හයවෙනිදා පිටුව පුරා ලියැවී ඇත්තේ වසන්ත කුමාර කොබවක ගේ කවි පෙලකි.

ශිල්ප සොඳින් දැන ගන්න ගිහින් උඹ
යහතින් දෝ පේරාදෙණියේ
ඉන්න නොවෙයි මියැදෙන්න දුකයි මට
උඹ නැති හින්දා අද තනියේ

බංකු කොණේ උඹ දැක්කද නංගෝ
තුරුළු වෙලා ඉන්නා ජෝඩූ
රංචු මිසක තනියෙන්ම නොයන්නේ
සිදාදියට උඹ කිරි කෝඩු

නාමල් සුවදක් වෙනදා වාගේ
අද නෑ නොවැ අපෙ ගම් පැත්තේ
නාමල් සුවඳට බඹරු ඇදේදෝ
උඹ ඉඳිනා කල මල් වත්තේ


කොබා සරසවි ආවේ නවසිය හැත්තෑ අටේ නැවේය. මේ කාලය වෙද්දී නා නා විධ හේතූන් මත ලියන කියන දෑ බෙදාගන්නට තරම් වූ ලෙංගතු කමක් අප අතර ගොඩනැගී තිබුණේය. මේ කවි පංතිය මගේ දිනපොතේ ලියවෙන්නේ, කොබා ඒ පද වැල ලියාගෙන ඇවිත් එදා නවකලා ගාරය අහල සිමෙන්ති බංකුවක් උඩ මා සමග එ් ගැන කතාබහ කරන අතර තුරය. පසු දවසක, පේරාදෙණිය කොලොම් පුරේ වී, සුනිල් එදිරිසිංහයන් හඬින් ගැයෙන්නේ මේ පද වැලය. ඉතින් මේ සටහන ලියවෙන්නේ මේ අකුරු පිටිපස්සේ කතාව කොබාම වචන කරන පහල අවුණා ඇති වීඩියෝ සටහන යූ ටියුබ් අඩවියෙන් දැක ඇවිස්සුණු මතකය නවතා තබන්නටය.






ඒ දවස් සරසවි පෙරදිග සංගීත සංගමය වෙසක් බැති ගී පුරුදු පුහුණු වෙන දවස් විය. ඒ අවුරුද්දේ බැති ගී සමූහයට කොබාගේ දායකත්වය නොඅඩුව ලැබී තිබුණි.  මගේ දින පොතේ සටහන් අතර නැවතී ඇති මේ පද අතර, කොබවක ගේ බුහුටි පද ගැලපුම් වල අපූර්වත්වයෙන් අපේ සිත් වශීවූ ඒ දවස්වල වෑහුණු සුවඳ තවමත් මම විඳිමි.

හඹා දුවන ලෝ සත වෙත යොමා නිවන් පුර මං පෙත
යලිත් වඩිනු මැනවි මෙදෙස ගෝතම බුදු පියා ණනි

ඉන්ද්‍රචාපයයි මට ඔබ චන්ද්‍ර බිම්බයයි මට ඔබ
ඔබ මුදු සිරිපා සෙවනත දූලි රලක් වෙමි අද මම
යලිත් වඩිනු මැනවි මෙදෙස ගෝතම බුදු පියාණනි

තූර්ය රාවයෙන් පුදනෙමි වීර්ය පාරමී පුදනට
ආර්ය මහ සඟුන් සේ මතු කසාවත් පිදුම ලබනට
අදත් වඩිනු මැනවි මෙදෙස ගෝතම බුදු පියාණනි.

මේ සියල්ලට වඩා කොබා ගේ නිරහංකාර කමත්, අව්‍යාජ මිතුරු සිනහවත් අදටත් සෙනෙහසින් අපේ සිත් වල රැඳී තිබෙයි. මෑත කාලයකදී හමුවී කතා බහ කරන්නට, අවකාශයක් නොලදත්, ජීවිතය නම්වූ මතක සාගරයේ මේ මතක බිඳු, පෙණ කැටිතිව තවමත් මද සිනා නංවමින් තිබෙයි.



හමුවන පැය දියවෙලා

මියැදී යන හිතිවිල්ලක
හෙට දිනයක ප්‍රාර්ථනා
ඉපදී සිත නලියන මුත්
එක්වන දින නොපෙනෙනා

මේඝ වලා වියන් යටින් - කනේරු මල් පීදිලා
කොපුල් තලා පොපියන මුත් - මන්දාරම ඉහිරිලා
වැහි පින්නේ පා ගොළුවී
හමුවන පැය දියවෙලා

පෑල වියට නෙතු හමුවී - පෝය හතක් ගතවෙලා
හීන රඳන් උන්නා මිස - කාලය ඇත පියඹලා
වියපත් මේ කුළු දුහුලක
සිකුරු තරුව සැඟවිලා

- වසන්ත කුමාර කොබවක

(1979 ජූනි 4 දා මගේ දින පොතේ සටහන)

[කොබවක ගේ සේයා රුව දයාන් විතාරණ ගේ මුහුණු පොත් පිටුවෙනි]



Continue Reading...

Friday, March 1, 2019

ඩාලිං ගේ රෝස මල




කොණ්ඩේ රළින් රළ පීරා මුදුන් කර
මල් පටියෙන් බැඳලා
කෝ මගෙ ඩාලින්... කෝ මගෙ ඩාලින්
මං දුන්නු රෝස මල....
මම්මාට බය වී
පප්පාට බය වී
මූදට වීසි කලා
මූදේ රළින් රළ
නැග එන මහ රළ
ඒ මල ගිල ගත්තා
මල මගෙ නොවෙමයි
ඩාලිං මගෙමයි
මට ඕනැ ඩාලිං තමයි....!
අපේ තාත්තා කලා කාමියෙකි. ඉහතින් එහෙන් මෙහෙන් මට මතක තියන තරමින් ලියා ඇති ඩාලිං ගේ රෝස මලේ සිංදුව, එයා ඉඳ හිට කියන නූර්ති සිංදුවකි. ඉඳ හිටය කියන්නේ සිංදු කියන වැඩේට කෑම බීමත් සර්පිනාවක් හෙමත් එක්ක කාණ්ඩයක් සැදී පැහැදුනු වෙලාවට ය.

හොඳටම සැදී පැහැදී තාත්තා මේ සිංදුව සර්පිනා සංගීතයත් එක්ක කියනවා මට අන්තිමට අහන්නට ලැබුණේ රස්සාවට එතනෝල් නිෂ්පාදනය කරන එක්කෙනෙකුගේ ගෙදරක තිබුණු සාජ්ජයක දීය. සර්පිනාව ගැහුවේ බාත් ඛණ්ඩේ උපාධි කාරයෙක් වූ ද, ඒ කාලේ අපේ ඉස්කෝලේ සංගීත ආචාර්ය වරයා වූ ද, සිතාර් වාදක, ජස්ටින් සිල්වා මහත්තයාය. ඩොල්කිය ගහන්නත්, මේස හැඳි තට්ටු කරන්නත් තවත් දෙන්නෙක් සිටියෝය...

සිංදුව මොන නූර්තියේ ද නොදනිමි. ඒත් කතාව යුනිවර්සල් ය. කොල්ලා ආසාවෙන් ගෙනත් දුන්නු රෝස මල, ඩාලිං ගේ අතේ නැත. මම්මා පප්පා ගේ උදහසට, කොල්ලාගේ චිත්ත ප්‍රීතිය යටය. මල රළට බිලිය. ඒත් ඉතින් හිත හදා ගන්නවා ඇරෙන්න මේ වෙලාවේ කොල්ලාට කරන්නට අන් කිසිවක් නැත.

රෝස මලේ පෙතිවත් පේන්නට නැතත්, මෝඩ කතාවක් දෙකක් කියා හැමෝම ලජ්ජා කෙරුවත්.... අවුරුද්දකට ඉස්සරින් දවසක, මූදු රැල්ල දිගේ පීනා ගෙන ආ, අළුත් ඩාලිං ගැන රටේ ජනතාව තියාපු බලාපොරොත්තුව තාම බිංදුවටම බැහැලා නැතිය කියා මට තාමත් හිතේ.

[රෝස මල ලුණුගලිනි. අපේ නැන්දම්මාගේ ගෙවත්තෙනි.]

January 6, 2016
Continue Reading...

සිංහයාගේ මගුල් ගෙදර !




තරුණ සිංහයෙක් කරකාර බඳින මංගල උත්සවයක් ඉතා ඉහලින් පවත්වන්නට දෙන්න දෙමාල්ලෝ දෙවගම වග බලා ගත්තෝය. මේ මගුල් ගෙදර සිංහ රාලලා, රාලහාමිලා, රාලහාමිනේ ලා, කේසර ලා, කේසරී ලා, ග්ලාස් හප්ප හප්පා ඩාන්ස් දාන අස්සේ, ටිකක් තඩි මී රාල කෙනෙක්, අතට නොසෑහෙන අසෝක වීදුරුවක් උස්සාගෙන,

“අපේ සිංහ්ස් ට ජය වේවා...
ජය මංගලම් වේවා...
කරල පැහේවා...
අඩේ ඩෝ
අද තමයි දවස ඩෝ...
නටමු ඩෝ...
එන්ඩ එන්ඩ ඩාන්ස් කරන්ඩ... 

සිංහ ලීලෙ ලීලෙ වනන්න....“
මෙකී නොකී චියර් දාමින් ඩියර් වෙන්නට පටන් ගත්තේය.

සිංහස් ලාගේ ගාත් අස්සේ මෙරිගො රවුන්ඩ් යන්න පටන් ගත් මේ ඔල්මාද මවුස් දිහා ටිකක් වෙලා බලන් හිටපු කාලක් දාගත්තු ලයනල් කෙනෙක්... මීයා මුල්ලකට වෙනතුරු බලා හිඳ චකස් ගා රයිට් පෝ එකින් ඩෑෂ් පාරක් දමා වල්ග කොටයෙන් උස්සා ගත්තේය.

“යෝ... මවුෂර්....මොක ඩ ඩෝ මේ ‘අවර් සිංහ්ස්‘ ටෝක්ස් එක...? මීයා මීයා ඩෝ... තෝ කාගෙ එන්. ජීයෝ එකට ද කහින්නෙ ඩෝ...? නැට්ට අඹරල ගහනව ඩෝ...“

යනාදී වශයෙන් ලයන් ලාගර් ලෙසන් එකක් දෙන්නට පටන් ගත්තේය...

මීයා පුංචි උනාට කට ලොකු... සද්දය තියන සතා හින් දා ඌ ත් ඩුවට් එකටම සෙට් උනේය.

“අඩෝ... කේසල යා... පරිස්සමින් අල්ල ගනින් මගෙ නැට්ට... වොලියුම් තිබ්බට කටේ... නිකං බේස් වැඩි කරලා කේස් හදා ගන්ඩ එපා ඩෝ... පොරවල් ගෙ සයිස් එක ෆේස් එකේ ෂයින් එකෙන් ගෙස් කරන්ඩ එපා ඩෝ... තොපි විතර ද සිංහ්ස් ලා ඩෝ....“

යනාදි වශයෙන් පිළිතුරු කතාව කරන්නට පටන් ගත්තේය.

“පල ඩෝ යන්ඩ... තෝ මීයා.. ඌරු මීයා.. කොෂ්ෂැට යා... තෝ මිනියා ගෙ පුතා... තොගෙ බාප්ප මිකියා...
 මෙතන සිංහ්ස් පාට් ඇක්ටිං දාන්ඩ එනවා... කරකෝල යවනවා ඩෝ නෝ රීසයිකල් බින් එකට....“

මේ ආදි සුනඛ ලෙවල් පාච්චල් නහුතෙට කියවෙද් දී නං මීයාට ඇත්තම කියවුනේය.

“කරල බලපන් ඩෝ... කරල බලපන්... කොස්සෙන් කන්ඩ වෙයි තොට ෂිංගගෙ පුතා...
 මේම මීය වගේ ෂපාන් වෙලා හිටියට ඩෝ...
කසාද බඳින්ඩ කලියෙන් නං
 මාත් කේෂර ලයන්ස් කිං තමයි ඩෝ....“

Continue Reading...

Sunday, February 17, 2019

ජාතිවාදී ගින්නෙන් දැවුණු ලුණුගල කුඩාමල

"නිවාඩුවට එන සෑම විටකම ආච්චි අම්මාට කියවන්නට කුමක් හෝ පොතක්, පත්තරයක් රැගෙන ඒමේ පුරුද්ද මවෙතින් ගිලිහී නොයේ. ඒ මා පෙන්වමින් සිටියේ 'විමුක්ති මග පණ පිදුවෝ' පොතේ මේරි ඇග්නෙටා සිස්ටගේ සේයා රුවය. ඈ මගේ සෝයුරියකැයි කිව හැකි තරමට ඒ සේයා රුව සහ මගේ පියවි රුව අතර සමානකමක් ඇත. මිනිසුන් සමග උරෙනුර ගැටෙමින් ඉටුකළ ඇගේ සේවාවද, ඇගේ ඇවතුම් පැවතුම් ද මගේ සිත් ගති.

"අප්පේ සීදේවි සිස්ට කෙනෙක්. කොහෙද පුතේ ඒ සිස්ට ඉන්නෙ? පුතාගෙ යාළුවෙක් ද?"

ආච්චි අම්මා මගෙන් විමසන්නී ය.

"ඒ සිස්ට දැන් ජීවතුන් අතර නෑ ආච්චම්මේ. එයා මැරිලා."

"සන්තානම් මෑණියනේ! ඒ මොනව වෙලා ද?" 

වික්ෂෝප මාතාව ඈ විස්සෝපයට පත්වන්නී ය.

"අසූ තුනේ කළු ජූලිය වෙලාවෙ ලුණුගල කොන්වන්ට් එකකදි සිස්ටව මරාදාල"

"හපොයි, හපොයි, ඒ මොන අහස පොළව නුහුලන වැඩක් ද? ඒ සිස්ට දෙමළ කෙනෙක් ද?"

"නෑ, ආච්චි අම්මේ, ඒ සිස්ට සිංහල. ඒ වුණාට අසූතුනේ කලබල වෙලාවෙ ඒ සිස්ට දෙමළ මිනිස්සුන්ට උදව් කරල තියනවා. එයාලව බේරගන තියනවා. එහෙ ඒ වෙද්දි ඉඳල තියෙන්නෙ දෙමළ ෆාද කෙනෙක්. ඒ ෆාදටත් මරණ තර්ජන තිබිල තියනවා. ඒ ෆාදව බේරගන්නත් සිස්ට මහන්සි වෙලා තියනවා. ඒ හින්ද වෙන්න ඇති සිස්ටවත් වෙඩි තියල මරන්න ඇත්තෙ."

"රටම ගිනි ඇවිළුණානෙ ඔය කාලෙ. මේ ගම්වල නම් ඉතින් දෙමළ මිනිස්සු උන්නෙ නෑ. ටවුමෙත් කඩ කඩල කෝලහාල ඇති වුණා වගේ මතකයි. අනේ පව් .... සීදේවි සිස්ට. සිස්ටර්ල උණාම ඉතින් මිනිස්සුන්ට උදව් කරන්න ඕන නේන්නං"

"අසූ තුනේ ජූලි විසි හත් වෙනිදා රෑ තමයි සිස්ටට වෙඩි තියලා තියෙන්නෙ, ලුණුගල කොන්වන්ට් එකේ ඉද්දිම. බදුලු ගෙනිහින් පස්සෙ කොළඹ මහ ඉස්පිරිතාලෙටත් ගෙනැල්ල දවස් දෙක තුනකට පස්සෙ තමයි සිස්ට නැතිවෙලා තියෙන්නෙ. ආණ්ඩුව කලබල ඇතිවෙච්ච මුල් දවස් ටිකේ මොනවත්ම කළේ නැහැලුනෙ. ඇති තරම් මරන්න කොල්ලකන්න ඉඩ දීලා බලන් උන්නලු නෙ. මැරුණු අය භූමදාන කරන්න ගෙනියන්නත් ඉඩ දීල නෑ. සිස්ටවත් පොලිසිය මුල්වෙලා වලදාන්න හදල තියෙන්නෙ. පස්සෙ සිස්ටගෙ නෑ වෙන හාමුදුරු කෙනෙක් මැදිහත් වෙලා තමයි මිනිය අරන් තියෙන්නේ"

"අපිත් පරම්පරාවෙන්ම යූඑම්පී කාරයො තමයි පුතේ, ඒත් ඒ වෙලාවෙ නම් වැඩ සිද්ද වෙච්ච හැටි අන්තිම නරකයි...."

- දේශද්‍රෝහියා ගේ නිර්මල හෘදය (තරංගනී රෙසිකා ප්‍රනාන්දු - තරුරසී) පිටු 181-183


ලාංකේය කතෝලික ක්‍රිස්තියානි සංස්කෘතිය තුල විශේෂිතව වරනැගෙන්නේයි මා සිතන වචන දෙකක් තිබේ. එකක් බැහැපත්කමය. අනෙක කැපවීමය.

බැහැපත්කම යනු බැගෑපත් කමවත්, ව්‍යාජයෙන් මවා පෙන්වන්නාවූ අසරණකමක්වත් නොවේ. එය තමුන් පහත්ය අසරණය දුගී ය දුප්පත්ය කියා මවා ගන්නා වූ හීනමානයකුත් නොවේ. බැහැපත්කම කිසිවෙක් කිසිවකුට වඩා වැදගත් නොවන්නේය යන සිතිවිල්ල ඔස්සේ සිය මමංකාරය සිඳලීමක් යැයි මම හඟිමි. සමාජයේ අල්පේච්ඡය සැලකෙන්නාවූ ආත්මයක් වුවද සිය හදවතට සමීප කරගන්නට ශක්තිය ඇත්තේ බැහැපත් වූවේ වෙයි.

කැපවීම වර්ණ ගැන්වීම මෙයටත් අසීරුය සිතමි. එය එතරම්ම අධ්‍යාත්මික වූ බැම්මක් සේ මා හඟින හෙයිනි. බාහිරව බලන කල කැපවීම, යම් යම් වරනැගීම් තුල මිත්‍යාවක් යැයි සැලකෙන, අදෘශමාන වූ දෙවි කෙනෙක් වෙනුවෙන් කෙරෙන ජීවිත පරිත්‍යාගයක් යැයි කෙනෙකුට පෙනිය හැකි වුවත්, කැපවීම යන වචනයේ ප්‍රායෝගික අරුත, මානුෂිකත්වයේ උත්තරීතර පිටාර ගැලීමක්ය සැලකිය හැකි තරම් ගැඹුරට විහිදෙන්නේයැයි සිතවන සාධක අතරට ගිනිය හැකි, තරුරසී ගේ කතා පොතේ සඳහන්වන්නා වූ අතුරු කතා අතරින් එකකි මේ.

පේරාදෙණියෙන් ඇරඹී චෙන්කලාඩි දක්වා විහිදෙන A5 ප්‍රධාන මාර්ගය බදුල්ල, පස්සර, ‌හ‌ොප්ටන් පසුකර කඳුුුුකරයේ අවසානය සටහන් කරන ආසන්නයේ ලුණුගල නගරයට එළැඹෙයි. ලුණුගල නගරය සනිටුහන් කරන කඩ සාප්පු ද ප‌ොලිසියද පසුකර කුඹුක්කන් ඔය පසුකල ඇසිල්ලේම දකුණු පස කුඩා කඳුු ගැටයක් මත ලූර්දු මාතා ‌‌‌‌දෙව් මැදුර පිහිටා තිබෙයි. ඒ අසලින් කන්ද ඉහල ලුණුගල කුඩාමල කන්‍යරාමය ‌ය.




"කලින් ඇතුල්වෙන දොර තිබුණෙ මෙතනින්.... ෆාද ව මරන්නනෙ ඇවිත් තියෙන්නෙ. ෆාද හිටියෙ නැති නිසා කොන්වන්ට් එකට ඇවිත්. දොර ඇරපු තැනම......."

සිස්ටර් තනුෂියා හිස මදක් ඇලකර සුසුමක් හෙලයි. හිරු එළිය දිදුල්දෙන ජනේලය ඒ කුඩා කාමර කැබැල්ල, ස්වර්ගීය දීප්තියකින් පුරවාලයි.

"ඔය සිස්ට ඇග්නෙටාගෙ පින්තූරෙ...."


කණට කොඳුරන නිහඬතාවය කියන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට මම තැත් කරමි. මේ දුරස්තර නගරයක පිහිටි මේ පුංචි කන්‍යාරාම ගොඩනැගිල්ලක් තුල නවසිය අසූතුන තරම් ඈත කාලයක ජාතිවා දී වියරුවෙන් උන්මාද වූවකු ගේ ගිනි අවියකින් පිටවූ මරණ වරෙන්තුව තුරුළු කරගෙන බිම හෙලුනු, තරුණ දේව දාසියකගේ මරණය, තවත් එක සිද්ධියක් ලෙස, 'කී දෙනෙක් මලා ද.... තව එක්කෙනෙක් ඉතින්' වශයෙන් දකින්නට හිතන්නට මගේ සිත ඉඩ නොදෙන්නේ මන්දැයි මම සිතමි.

"සිස්ට.... ඇයි සිස්ට කෙනෙක් වුණේ?"

මම සිස්ට තනුෂියාගෙන් අසමි. ඈ සිනාසෙයි. ටිකක් දිගු කතාවක් අතර ඇගේ පිළිතුර ගොනුවෙයි.

මඩකලපු ප්‍රදේශයේ උපන් ඇයට, උසස්පෙල කාලයේ රට තොට ඇවිදීමටත්, මිනිසුන්ට සේවය කිරීමටත් තිබූ ආශාව හා බලාපොරොත්තුව, ගෙදර පවුලේ දේව භක්තිය හා මුසුව මේ මගට යොමුවීම මේ ගමනේ ආරම්භය බව ඕ කියයි.



මේරි ඇග්නෙටා කන්‍ය සොයුරිය ජීවිතය දුන් කුඩාමල, පෙරපාසලක්, යොවුන් හුරුකම් මධ්‍යස්ථානයක් මෙන්ම, අධ්‍යාපනික උදව් පන්ති පැවැත්වෙන පසු පාසලක් ලෙසත් තවමත් විකසිතව තිබේ. පෙර පාසලේ දරුවන් ගැනත්, වැඩිවන සිසුන් ගණන ගැනත්, ගොඩනැගිල්ල තරමක් විශාල කරන්නට තමන් ගන්නා වෑයම ගැනත් සිස්ටර් තනුෂියා මට කියයි.



අවුරුදු තිස්හයකට පෙර, මෙතැනට ආවා නම්, සිස්ටර් ඇග්නෙටා ගේ මුවින් මේ වචනම මේ ලෙසින්ම වාගේ අසන්නට තිබුණා නේ දැයි මට සිතෙයි.

ලේ වලට මිලක් නැත. එහෙත් බලහත්කාරයෙන් බිම හෙළූ සෑම ලේ බිඳුවක්ම සදාකාලිකව පවත්නා සුවඳක් ඉතිරි කර තබයි. බලහත්කාරයෙන් උදුරාගත් සෑම ජීවිතයක්ම, වෙසෙසින්, සිස්ටර් ඇග්නෙටා වැනි, මනුෂ්‍යත්වය වෙනුවෙන්ම කැපවූ ජීවත, නොමැරෙන, නිහඬ නොවන කතාවක් ඉතිරි කර තබයි.

මේ සටහන කියවන ඔබ කෙදිනක හෝ ලුණුගල හරහා ගමන්කරන්නේ නම්, හැකියාවක් ඇත්නම් මදකට නැවතී, කුඹුක්කන් ඔය අසබඩ, ලූර්දු මාතා දෙව්විමන අසල, කුඩාමල කන්‍යාරාමයට ගොඩවැදී යන්නට මම ආරාධනා කරමි. එපමණකින් නොනැවතී කන්‍යාරාමයෙන් කෙරෙන, විශේෂයෙන් ප්‍රදේශයේ තේ වතු කම්කරු දරුවන් වෙනුවෙන් කෙරෙන සේවාවටත් සම්මාදම් වීමට ඔබට හැකි වේ නම් ඉතාමත් අගනේය.

[ඔබ කිසිවකුට මේ පිළිබඳව වැඩි විස්තර ඇවිසි නම් ලබාදිය හැකිය]



Continue Reading...

Friday, February 8, 2019

තරු...

පියස්සකි අහස යට
කුළුණු හතරක උරිස් මත
හෙවනැල්ලක් ඇතත් හෙවණට
පෙනේ අහසත් සඳ තරුත් විනිවිද

අත වනමි සකුණට
පෙම් බඳිමි මද සුළඟට
අසෙනි සර කෙළවර
දිදුල් දෙන සිළුවට

එක දෙක හැලෙන කඳුලක
හෝ ගා වැටෙන හැඬුමක
බොඳව යන සිතුවමක
අඳිමි හැඩතල පිසදමා මීදුම

පිරෙන දිය බඳුනක
මුවවිට පුරා ඉහිරෙයි
ඉරිතැළුණු පොළවක
හි‍ඩැසි පුරවා ගලයි

තණ බිමක් වී අහස
බැටළු පොව්වෝ පි‍රෙත්
වියගහක දෙකෙළවර
හිරු සඳුය පියවර මනින

පලා පැහැ මිලින වී
රන්වනින් පිරෙන
වියැට එකින් එක සොරාගෙන
පියාඹති ගිරව් රැල

නින්ද නැති සැඳෑවල
තරු පිපෙයි වළාකුළු යට
නොපියවෙන නෙතුපිය අග
මෝදුවෙන හෙන්දිරික්කා මල්වල
තවරන්න යන්තමට හීනයක මුදු සුවඳ...!

15 ජනවාරි 2014



Continue Reading...

Tuesday, February 5, 2019

සිහින සියයක අංශු පිරියම් කර නිමැවූ ගුප්ත දහමකි නුඹ , උග්‍ර බැතිමතියකි මම ! - වින්ද්‍යා අාරියරත්න




ඇහේ වැදෙනා කඳු තරම් සාධක 
නොදැක්කා සේ හි
ඳිමි
නේක සාධාරණ තර්කයන්
නෑසූනා සේ හිඳිමි
අවිශ්වාසය පාපීය !


කෙඳි තරම් ප්‍රේමයේ සළකුණු
පුන පුනා සිහිකරමි
හදවතේ මැද කඳු තරම් ගොඩ ගසමි
ඇදහිල්ල නොසෙල්වෙන සුළුය !


අපහැදිලි ස්වප්නමය හේතුමත
රහස් හිස්ටීරියාවක ගිලෙමි
මදහසක මැද්දෑවෙ කඳුළු වගුරා හඩ
මි!
ප්‍රාතිහාර්යයක සළකුණු සොයා වෙහෙසෙමි!

නිමක් නැති මුඩු වියළි නිම්නයක
නමක් නැති දනව්වක වන්දනාවක යමි!
සුපිපි මල් සියක් මිලියනක් මැද
සිහිනයකදී වෙහෙසින් නිවෙමි!

ඔබේ ප්‍රේමය
මිහිරි මිත්‍යාදෘෂ්ටියක් වන විට
මේ උමතු වෘතයෙන්
මිදෙන'යුරු නොදනිමි!
ඔබ හදවතින් ගෙන මම තනිව ඇවිදිමි!
සංසාර මාවතේ දිග නොසළකා හරිමි!






වින්ද්‍යාගේ මුහුණු පොතේ සටහනට
Continue Reading...

පෙරලෙන ගලේ පාසි නොබැඳේ

සකුන්තගේ තාත්තා, යන්තර සූත්තර වලට හිතැතිය. දැන් එයාලගේ ගෙදර පිටිපස්සේ, අළුත් වැඩක් කෙරෙයි..... එහෙන් මෙහෙන් ලඟපාතින් ඈතින් එකතුකර අරන් එන නානා වර්ග නානා වර්ණ ප්ලාස්ටික් තෝරා වර්ගකර, සෝදා පිරිසිඳු කර, කට කට ගා කැපෙන යන්තරයකින් කොස් මදුළු ගානට කැපී, තවත් යන්තරයකින් උණුවී නූල් සේ ඇදී ඇවිත්, පුංචි ප්ලාස්ටික් කැට කැට වලට කැපී, මළුවලට ඇහිරෙයි.
ඒ ආයෙත් ප්ලාස්ටික් භාණ්ඩ සාදන කම්හලක මැෂිමකට අමුද්‍රව්‍ය වෙන්නටය.
ප්‍රතිචක්‍රීය කරණය කතා කරන විතරක් නෙවෙයි, කරන්නත් පුළුවන් දෙයක් බව පසක් කරගත් තුන්දෙනෙකුගේ වැඩක් මේ.












Continue Reading...

Monday, January 7, 2019

ස්වර්ණාට.....!



(1) ඔයා දන්නවද ස්වර්ණා....?

හඳේ එළිය⁣ට එළිය මැකුනට
ඔය පුංචි තරුවත් ස්වර්ණා...
මහා ඈතක තියන
තවත් ග්‍රහ මණ්ඩලයක
ග්‍රහ ලෝක ගොඩකට
එළිය දෙන ඉරක්...!

එහෙත් ඇති මෙහෙ වගෙම
පොළවක් වටේ කැරකෙන හඳක්
අපි වගෙම ලංවෙලා
ඒ පොළවෙ හඳ බලන
අපි වගෙම දෙන්නෙක්...!


(2) නෑ ස්වර්ණා...

ආලෝකය උපදින්නේත්
අන්ධකාරයෙන්මයි නේද?
මං අහන්නේ අන්ධකාරය නැත්තං
ආලෝකයට පැවැත්මක් ඇද්ද?

ඉතින් හිතන්න...
සියල්ලට කලින්
සියළු දේටම කලින්
තිබුණේ පැවතුනේ ඇතිවුනේ
අන්ධකාරයම නේ ද?

අනික ස්වර්ණා...

ඔය කතාවට කිව්වට
පහනක් දල්වලා
අඳුර නසනවයි කියලා
පුංචි හුළඟකට පුළුවනි
ඔය පහන් සිළුව මරන්න...

ආන්න එතකොට පේනවා නේද
අන්ධකාරය හිනාවෙවී ඉන්නවා
සද්ද නැතුව අපිව වැළඳගන්නවා...

ඔය පහන නිවන්න ස්වර්ණා...


(3) පාෂාණ කිව්වාට ස්වර්ණා...

ඔව්වා වුනත්
දියවෙලා වතුර වගේ
ගලාගන යන
උෂ්ණත්වයක් තියනවා

මහ පොළව පතුලේ
හිරවෙලා
තදවෙලා
ගිනියම් වෙලා
දියර වෙලා
ගිනි කන්දක මුදුන
පසාරු කරගෙන
ලෝදිය වගේ ගලාගන යන
මොහොතත් තියනවා

එ් ලෝදිය ගංගාව මූණට මුලිච්චිවෙන
හැම දෙයක්ම සතා සිව්පාවා වුනත්
ගිනි වද්දලා අළු දූවිලි කරලා
ගලාගන යනවා...

අායේත් නිවිලා...
පාෂාණිභූත වෙලා
අහිංසක විදිහට
නිසොල්මනේ ඉන්නවා...

මතුපිට එහෙම වුනාට ස්වර්ණා...
පොලෝ කුහරේ මැද්දෑවේ
මහා ලෝදිය කල්දේරමක්
පැහි පැහී පැහි පැහී තියනවා....!


(4) මලක් නේ ස්වර්ණා...!

ඒක කොහොමද දන්නේ
කටු තියන නටුවකයි
පිපුණෙ කියලා?
ඒකට නැවිලා කැරකිලා
අතගාලා මිරිකලා
බලන්ඩ බෑනේ...

රෝස මල වුනත්
පතොක් මල වුනත්
පිපෙන්න ගත්තාම
නවත්ත ගන්නේ කොහොමද?

පිපිලා පරවෙලා පෙති හැලෙන තුරු
කොහොම ගැලවිලා පියඹලා යන්නද?

ඒකනේ අර කවිපදේත් කියන්නේ
නටුව නොවේ මල සිඹිමි කියලා...

බොහෝ දේවල්
ඔය වගේ තමයි ස්වර්ණා...
ඔය වගේ තමයි.

(5) හඳ බලන්න ස්වර්ණා....!

ඉර හඳ තරු අහස ...
හැම දේම රවුම් ස්වර්ණා

ගහක කඳක් වුනත්
වතුර බිංදුවක් වුනත්
ඔය ඔයාගෙ ඇස්
හැමෙකක්ම රවුම් ස්වර්ණා...

ඔයාගෙ ඇඟිලි තුඩු
කන්පෙති තොල් වුනත්
මට දැනෙන්නෙ රවුමට

හැම දෙයක්ම රවුම්
ගෝලාකාර වෘත්තාකාර
චක්‍රාකාර වක්‍රාකාර...

ඉතින් මේ හතරැස් කොටු?

ඒව අපිම ඇඳගත්තු හැඩ
අපි හදාගත්තු හැඩ

නේද ස්වර්ණා....?


(6) මහ මූදත් අසරණයි ස්වර්ණා...!

ඔය තියන කළුගල්
හේදුනත් රළ පාරට
වේලුනත් අව්වට
ඔතනම තමයි නේ ද

කොහොම නැගිටලා
කොහේ යන්න ද?

වෙරළේ වැලි කැට සිප්පි කටු
හිනාවෙනවා තමයි රැල්ලට
පාවෙලා නටනවා තමයි පෙණ කැට මත
ඒත් අවනතයි මුහුදු රැල්ලට
උස්සලා විසිකලොත් අෑතට
වේලි වේලි තියෙයි අව්වට
ඇද අරන් තුරුළු කරගෙන ලයට
සිඹියි සනසයි සෙල්ලනුත් කරයි
මූදට හිතුණු වෙලාවට

ඒත් මහ මූදත් අසරණයි ස්වර්ණා
ඒක නිකම්ම වතුර බේසමක් විතරයි
ඔය රැළි පෙරලන්නේ
දඟලවන්නේ දුවවන්නේ
මහ මූද නෙවෙයි ස්වර්ණා...
දුවන දඟලන
දැනෙනමුත් නොපෙනෙන
සුළඟ...!

(7) මේ හමන සුළඟමයි ස්වර්ණා

මේ හමන සුළඟමයි ස්වර්ණා
ඔය අහස යැයි කියන්නෙත් අපි
රඹුටමක ඇටය වට
ඇලවුනු දොදොල් මදය වගෙ
මහ පොළව වටේටම
ඇලවිලා හෙලවි හෙලවී තියෙන

සිවිලිමක් වගේ පෙණුනත්
උඩ පැනල අල්ලන්ඩ බැරි
හිල් බේසමක් වගේ ඇඬුවත්
දිය පිරෙන කරාමයක් නැති
මහා නිල් රෙද්දක්
වලාකුළු අලවාපු...?

එහෙම නෑ ස්වර්ණා
හුලං තට්ටුවක් විතරයි
ඉර එළියෙ නිලට දිලිහෙන
ගිනි ගත්තු මහපාරෙ
පේන මිරිඟුව වගේමයි

පේනවා විතරයි
හීනයක් වගේමයි

ඉතින් මේ පොළවත්
වහලක් නැති ගෙයක්
පියනක් නැති පෙට්ටියක්
අහස ඇස් බැන්දුමක්

නැති වුනොත් ඔය හුලං තට්ටුව
ඇරෙයි ඔය මායා කවුළුව
පෙනෙයි අපටත් ඇත්ත

ඇණයක් නැතුව එල්ලී තියෙන ඉර
ඉර එළිය වැටුනාම දිලිසෙන හඳ
ඈත ඈතින් ඉකි ගහන
ලොකු පුංචි තාරකා ගල් කැට

ඉතුරු සේරම ස්වර්ණා
කළුම කළු අන්ධකාරය.....!


(8) කළුගලක් කියන්නේ කළුගලක් ස්වර්ණා...

කොච්චර සුමට කෙරුවත්
කොච්චර ඔපේට තිබුණත්
කොච්චර සිනිඳු
කොච්චර ශාන්ත වුනත්
ඒක කළුගලක් ස්වර්ණා

මෙහෙම ගස්කොලන් වැවිලා
සුවඳ හමන මල් පිපිලා
නිල් අහස යට
වැව් පොකුණු
සයුරු සාගර
මේ මොනවා තිබුණත්

මේ බිත්තරේ කහමදේත්
කොදිච්චි වෙන
ලෝදිය හැලියක්නෙ ස්වර්ණා

ඉතින් අතපත ගාන්න
අගේ කරන්න
සුමට කම
සිනිඳු කම
හැබැයි
ඔළුව ගහගන්න එපා

කළුගලක් කියන්නේ කළුගලක් ස්වර්ණා...!

(9) ඇත්තටම ස්වර්ණා...

සැලස්මක් හැදෙන්නෙත්
සැලැස්මක් නැතුව නේද?

රටාවක් පේන්නේ
රටාවක් ඇඳුණාම නේද?

වලාකුළු වල වුනත්
තියනවා නේද හැඩයක්
ඔහේ නොදැනිම පාවෙලා යන
හුමාලය එකතුව හැදෙන

සැනසෙන්න ස්වර්ණා
සිද්ධ වෙනදේ සිදුවෙලා
කතන්දරේ අවසානේ
පෙනුණාම කතාවේ සැලැස්ම
අපටත් හොයාගතෑකි
සංසාරේම පතා ආ
ප්‍රාර්ථනාවක්...


(10) රැල්ලකට වුණත් ස්වර්ණා...

ඇරඹුමක් අවසානයක් තියනවා.
රැල්ලක් කියන්නෙම
නැගල
බැහැල
ක්ෂය වෙලා යන
සංසිද්ධියක් ස්වර්ණා...

සුනාමියක් වුනත්...
ලොකුයි තමයි
බයංකරයි තමයි
දුවන දුර වැඩියි
කරන විනාශය වැඩියි...

ඒත් ඒකත් රැල්ලක් ස්වර්ණා...!


(11) රැවටෙන්ඩ එපා ස්වර්ණා...

පේලියට සීරුවට ඉන්නවා වගේ පේනවා තමයි
හරියට කෝදුව තියලා මැනලා
පැන්සලෙන් ඉරක් ඇඳලා
පුංචි ඇණ ගහලා එල්ලුවා වගේ තමයි

ඒත් ඔය තරු තුන
ඔරායන්ගෙ බඳපටිය
තියෙන්නේ කොහෙ කොහෙ ද?
එකකට එකක් කොයිතරං ඈත ද?

එක පෙලට හැමදාම පෙනුනත්
එතන තියෙන්නේ තරු තුනක්
හැමදාම එක පෙලට පෙනුනත්
එක එකක් තනි තනිම තරුවක්

රැවටෙන්නෙපා ස්වර්ණා
එකට බැඳ නැති තරු තුනක්
කවදාකවත් නොවෙයි බඳ පටියක්....!


(12) අරලියා මල් ස්වර්ණා...

මහ විශාලෙට ගස් හැදෙන
පොකුරු පොකුරු මල් පිපෙන
සුදට සුදේ සුවඳ දෙන
අරලියා මල් ස්වර්ණා

කීයක් නම් වැටෙනවාද බිම
කීයක් නම් පෑගිලා
පරවෙලා අතුගෑවිලා
කුණුගොඩක හැංගිලා
නැතිවෙලා යනවාද

සුදුපාට පෙති මැද්දෙ
කහපාට තැවරිච්ච
ඒ අස්සෙ කිතිකැවෙන
සුවඳ බිඳ හැංගිච්ච
අරලියා මල් ස්වර්ණා

එකක් ඉම්බාම ඇති නේද?
හැම මලම ඒ සුවඳම තමයි.


(13) අන්ධකාරය ගලන්නෙ නෑ ස්වර්ණා

ආලෝකය තමයි ගලන්නෙ
එළිය විහිදෙන තැනක ඉඳලා
යන්නේ කොහේද නොදැන
ගලාගන යනවා ආලෝකය

ගැලීමක් නැතිතැන
ආලෝකයට පැවැත්මක්
නෑ නේද ස්වර්ණා
නැවතීමම දිවි නසා ගැනීමක්

නැවතීම ගැලීම නිසා නේද
මරණ⁣ය නැවතීම නිසා නේද
ගැලීමක් නැති මරණයක් නැති
අන්ධකාරය සදාකාලික ඒකයි

ආලෝකයට මුලා වෙන්න එපා ස්වර්ණා
ඒ තමයි මරණයේ උපත....!


(14) ගහක් කියන්නේ ස්වර්ණා...

මේ පොලොව මත
ස්වයංපෝෂිතය කියන්න පුළුවන්
එකම ජීවියා නේ ද?

උවමනා කලමනා
තමුන්ම හොයාගෙන
තමුන්ගෙ දේ තමුන්ම හදාගෙන
වැඩිමනත් දේ
අනුන්ටත් ඉතිරි කරනවා
ගස්......

ඇවිදින්න පාද නෑ
උස්සන්න අත් නෑ
කොඳුරන්න කටක් නෑ
අඬන්න ඇස් නෑ

ඒත් හිතලා බලන්න...

පොලෝගැබට කිඳා බැහැලා
වතුර පොහොර හොයා ගන්නවා
අහස් ගැබට හිස ඔසවා
අංගාරිකාම්ල උරා ගන්නවා
පුංචි පෙත්තකින් දෙපෙත්තකින් පටන්ගෙන
මහා වෘක්ෂයක් වෙනතුරු සියල්ල නිපදවා ගන්නවා...

ගහක් වෙන්න ස්වර්ණා
ගහක් වෙන්න...


(15) ඒත් හුමාලයම තමයි ස්වර්ණා....!

ලස්සණ පුළුං රොදවල් වගේ
නිල්පාට ආකාසෙ පුරාම
සුදු තීන්ත ගෑවා වගේ
ඉහිරිලා පැතිරිලා යන වළාකුළු

ඉරේ රස්නෙට වාෂ්ප වෙලා ගිහින්
අඩමානෙට ඝනීභවනය වුනු
මුදු වතුර ස්වර්ණා
හුමාලයම තමයි

නිකංම හුළඟෙ එල්ලිච්ච
හුමාල පැල්ලං ස්වඒණා
ඝනකමක් නැති පැවැත්මක් නැති
එහෙටද මෙහෙටද නැති
පාදමක් නැති හීන

ඒකයි ස්වර්ණා
වලාකුළුවල
ගෙවල් හදන්ඩ බැරි....!


(16) ගිලිහෙන දේ ගිලිහෙනවා ස්වර්ණා...

ගහක් වැවෙන්න
ඒ.ගහේ කොල
කීයක් නම් ගිලිහෙනවාද ස්වර්ණා...?

ලදළු ව මෝදුවෙලා
ඉර එළිය උරාගෙන
විහිදිලා වැඩිලා
අංගාරිකාම්ල බීඳලා
අළුත් අණු හදලා
මහළුවෙලා මැලවිලා
ගිලිහිලා හැලෙන පත්
කීයක් නම් ඇද්ද ස්වර්ණා...

ගහක් අහසට උස්සන
ඒ පුංචි අත් වලට
අහස අල්ලන්න
ලැබෙන්නෙ නෑ නේද?

ගිලිහෙන දේ
ගිලිහෙනවා ස්වර්ණා...


(17) පා වෙන්නෙ මල් පෙති ස්වර්ණා

සමහර විට මල්,
බොහෝවිට ගිලිහුණු පෙති
ගලන ගඟක නම්
හැඩපාරත් එක්කම
නැවතුණු විලක
නැගෙන රළත් එක්ක
පා වෙන්නෙ මල්පෙති ස්වර්ණා

ගල් එතැනමයි
වැටුණු තැන දියයට
හැංගිලා ඉන්නව නෙවෙයි
නෑ, මලක පෙති ඉහිරුව
වරදකාරී හැඟීමකුත් නෙවෙයි
ගල් ස්වර්ණා,
පා වෙන්නෙ නෑ....!


(18) ගින්දර නිවෙනවා ස්වර්ණා

පහන් දැල්ලක් නෙවෙයි
මහා ලැව් ගින්නක් වුණත්
නිවෙනවා ස්වර්ණා

තෙල් බිඳක් දැවිලා
එළිය විහිදන පහනත්
මහා වනාන්තරයක්
දවාගෙන ගලන ලැව් ගින්නත්
යැපෙන්නේ අම්ලකර
උරාගෙන ස්වර්ණා

අපි කවුරුත් එහෙම නේද?

කටින් පිඹලා පහනක් නිවනවා වගෙම
හුලඟ සැරවෙලා ලැව්ගිනිත් නිවෙනවා තමයි
ඒත් එහෙමයි කියලා
බෝතලේක දාලා වැහුවොත්
ඒත්,
ගින්දර ගිවෙනවා ස්වර්ණා...!



(19) අම්ලකර කියන්නේ ස්වර්ණා 

අම්ලකර කියන්නේ ස්වර්ණා
අවර්ණ වායුවක්
ගඳක් සුවඳක් නැති
රහක් පාටක් නැති
ඇහැට පේන්නේ නැති
හැඩක් හැඩයක් නැති
අතට අහු නොවෙන දෙයක්
ඒ වුණත් ස්වර්ණා
වතුර යටම ඉන්නා මාළුවා පවා
කරමල් වලින් ලෑටි ගාලා
එකතු කර ගන්නවා
දියේ දියවුනු අම්ලකර...
නාස් පුඩු අස්සෙන්
හුස්ම ඉහලට ඇදන්
පුරවාන පපුවේ...
අපි හොයන්නෙත් අම්ලකර

අමුවෙන්ම කිව්වොත් ස්වර්ණා
ජීවිතේ කියන්නේම අම්ලකර....
ඒත් ඒකේත් සංකේතය...
බිංදුව වගේම ලියවෙන
ඉංගිරිසි ඕ අකුරක් ස්වර්ණා....!

(20) සරසුලක් කියන්නේ ස්වර්ණා
සරසුලක් කියන්නේ ලෝහ කෑල්ලක් ස්වර්ණා
වීනාවෙ තත් වලත්
සිතාරයෙ ජලා හඬ නැගෙන කම්බිත්
ගිටාරයෙ වැයෙන තතුත්
ඔය සේරම හිත් පිත් නෑ වගේ පේන
තද පරුෂ ලෝහම තමයි ස්වර්ණා
හිත සං සිදෙනවායි හිතෙන
ඝංඨාර නාදයත් එන්නේ
ලෝහයක් ලෝහයක
හැප්පිලා නේද....?
සිතාරයෙ ලයාන්විතය වුනත්
කම්බියකින් කම්බියක්
පෙලා හඬවන
හඬක් නේද?
කැපෙන කෙටෙන
රිදවෙන ආයුධ හදන
ලෝහයක වුනත් ස්වර්ණා
ආත්මය....
කොයි තරම් මිහිරි දේවල්
හංගගෙන ඉන්නවා ඇද්ද?

(21) නිම්නයක් කියන්නේ ස්වර්ණා
නිම්නයක් කියන්නේ ස්වර්ණා....
ලස්සණට මල් පිපෙන
කුරුළු කූජන ගැයෙන
ඇල දොල ගලායන
ප්රීතිමත් ඉසව්වක් තමයි...
ඔය ඈත කඳු මුදුන්
නිසොල්මංව ඉන්නේ
හෙමිහිට කොඳුරන්නේ
ඒ සතුට ගැන සතුටින් තමයි
නිම්නයක් හැදෙන්නේම ස්වර්ණා
කඳු වළල්ලක් මැද්දේම නේද?

(22) මේ මහ පොළවෙ ස්වර්ණා....
මේ මහ පොළවෙ ස්වර්ණා....
හැම වැලි කැටයක් ගානෙම
මළකුණක් වැලලිලා ඇති.
තියන හැම අඩියටම
මළගිය මතකයක් පෑගෙනව ඇති.
මහ පොළව කියන්නේම ස්වර්ණා
කල්පාන්තරයක් තිස්සේ
කල්පාන්තරයක් මැරිලා වැළලුනු
සොහොන් පිටියක්
මිනී මල් පිපෙන්නේ ඒකයි.

(23) ඔව්වා කඳු ශිඛර ස්වර්ණා.....!
අතරමං වෙනවාද මන්දා
මග නොමග ඇවිද යන හන්දා
තැනිතලා වගේ පෙන්නුවත් ඇස් බන්දා
ඔව්වා,
දණ නමාගෙන ඉන්න
කඳු ශිඛර ස්වර්ණා.....!
ගලනවා කිව්වාට
හෙයාගෙන පහත් තැන්
ඉහලටම නැගෙන්නෙත්
වැතිර හැංගුණු පුංචි උන්
කඳු වුණත් එහෙමමයි
නැගෙයි කල් යල් බලා අවදිව
ඒ නිසයි තියෙන්නේ
මහ පොළොවෙ උණුහුම
උසම උස කඳු මුදුන් වල.

(24) කෙළවරක් නැති ගමනක්, කියන්නේම ස්වර්ණා චක්රයක්.... 

පටන් ගත්ත තැනටම ඇවිත්
ආයෙත් පටන් ගන්න වෘත්තයක්..

වෘත්තයක් හැදෙන්නෙ
චක්රයක් කැරකෙන්නෙ
කේන්ද්රයක් වටේටයි ස්වර්ණා..
ඒක පුංචිම පුංචි තිතක්..

⁣අපි දකින්නෙ ස්වර්ණා..
බොහෝ දේවල පරිධිය විතරයි..
චක්රය, වෟත්තය විතරමයි..
කේන්ද්රය අදුර්ශ්‍යමානයි..

හිතල බලන්න..
 රෝද කැරකෙන නිසානේ 
වාහනයක් ගමන් කරන්නේ..
ඒක කොහේ කොහේ ගියත් ස්වර්ණා
අර රෝද කැරකෙන්නේ
එකම එක කේන්දරයක් වටේට නේද..

කෙලවරක් නැති ගමනක්
කියන්නේම ස්වර්ණා..
අපිට ලංවෙන්නම බැරි..
කවදාවත්ම අල්ලන්න බැරි..
කේන්ද්රයක්.... පුංචිම පුංචි තිතක්..!

(25) හඳටත් හැමදාම ඉර පායනවා ස්වර්ණා

පුන් පෝයදා විතරක්
පෙන්නුවත් කිරි හට්ටියක්
ඉන් පස්සෙ කාලට
බාගෙට අරික්කාලට
දොඩං පළු නියපොතු
වගේ ඇවිදින් රැවටුවත් ඇහැ

මාසෙ පෝයට හැංගිලා
අනේ අද කළුවරේ ඇති
ඉටිපන්දමක්වත් නැතුවැති
කියා හිතවූවත් අපට.....

ඔය අහම්බෙන්
ඉඳ හිටම දවසක
මහ පොළව හරස්වී
අඳුරු කෙරුවොත් මිසක
ඔයාට මට වගෙම ස්වර්ණා
හඳටත් ඉර පායනවා හැමදාම.....

මුහුදු නෑ තමයි රැළි ගහන
කුරුල්ලෙක් කුකුලෙක්
නෑ තමයි අඬලන්න.....
ගස්වැල් පින්නෙන් තෙමෙන...
ඇස් වහන් මීදුම ගලන...
නැති නමුත් ඒ කිසි දෙයක්....
ඒකත් ඉර නැගෙන උදයක්....
ඉර බහින සවසක්....

ඉතින් අපි කොහොම දැක්කත්
ඉර පායනව හැමදාම හඳටත්....

දන්නවද තව දෙයක්....
හඳ හඳයි කියන්නේ
මේ මහ පොළවටයි ස්වර්ණා....!

(26) ජීවිතේ පටන් ගන්නේ දොළහ වැදුනම ස්වර්ණා.....

ජීවිතේ පටන් ගන්නේ ස්වර්ණා.....
ඔරලෝසුව ටික් ටික් ගෑම නවත්තලා
ඩාං ඩාං ඩාං ගාලා
රෑ දොළහ ලකුණු කරන වෙලාවට...

අස්ස කරත්තේ ලබු ගෙඩියක් වෙලා
අස්සයෝ මී පැටව් වෙන වෙලාවට
අර මාලිගාවේ පඩිපෙල දිගේ
දුවගෙන දුවගෙන ගිහින්
හැංගෙන්නම හිතෙන වෙලාවට

ජීවිතේ පටන් ගන්නේ
අන්න ඒ මෙහොතෙයි ස්වර්ණා....!

ඉතුරු වෙන්නේ ඉතින්
අහම්බෙන් ගැලවිලා වැටුණු
කිසිම පාටක් නැති
පලිඟු පාවහනක් විතරයි.....

කතන්දරේ කොහොම කිව්වත් ස්වර්ණා
සපත්තු සෙරෙප්පු කියන එව්වා
හරියටම හරියන පතුල්
එකකට වඩා තියනවා නේ ද?

ජීවිතේ පටන් ගන්නේ....
දොළහ වැදුනාම ස්වර්ණා....!


(27) නවතින්න නවතින්න කිව්වාට ස්වර්ණා....

දුවන එකම තමයි නේ ද පැවතීම....? 

තුරු පත් උගුල්ලාගෙන දුවන සුළං රැල්ලක
පැවතීම අපට දැනෙන්නේම
ඒ දිවිල්ලෙන් නේද ස්වර්ණා

වෙරළට දුවාන ඇවිදින්
කිරිසුදු සේලයක් එලන මුහුදු රැල්ලක
ලපටි දල්ලක් මෝරලා
මල් පොහොට්ටුවක් මෝදුවෙන
කිරි ඉද්ද පඳුරක
පැවතීම අපට දැනෙන්නේ
මේ දැඟලිල්ලෙන්ම නේ ද?

දවසක නවතින්න හිතිලා
නැවතුණොත් මහ පොළව
මේ පොළව වටේ කැරකෙන හඳ
ඒ තරම් දෙයක්ම නැතත්
නැවතුවොත් ඉර
ගිනි අරන් දැවෙන එක.....
නවතිනවා නේද මේ පැවතීම....

එච්චරත් හිතන්න උවමනා
නෑ නේ ද ස්වර්ණා...
හැමදේම හැදිලා තියනවා කියන පරමාණුවක
න්‍යෂ්ඨිය වටේ රවුමේ යන
ඉලෙක්ට්‍රෝන වලට හිතුනොත්....
දැන් ඉතින් ඇති....
කාලෙ හරි කියාලා නවතින්න.....?

නවතින්න නවතින්න කිව්වාට ස්වර්ණා....
මේ දිවිල්ලම තමයි හැම දේකම පැවතීම.


(28) හෙවනැලි හිතල වෙනස්වෙන්නෙ නෑ ස්වර්ණා....

වෙනස් වෙන්නේ ඉර....
හෙවනැල්ල හදන පහන

ඒ පැත්තෙන් මේ පැත්තට
මේ පැත්තෙන් ඒ පැත්තට
නැවතිල්ලක් නැතුව ගමනෙ යන
ඉර....!

උදේට ගව්වක් දිග හෙවනැල්ල
දවල් වෙද්දි පයට පෑගෙන තිතක් කරන
ආය හවස් වෙද්දි.... ඇදලා ඇදලා ඇදලා
පොලව දිගේ ගෙනිහින්, බිත්ති තාප්ප දිගේ
ඉහලට නංවන ඉර.....!

නොසෙල්වී නොසැලී ඉන්න
ගහක කන්දක වුනත්
හෙවනැල්ලක් හදලා
රූකඩයක් වගේ නටවන
ආකාසෙ ඈත ඉඳන්
හැමදේම හොයාන රැස් විහිදන
ඉර....!

හෙවනැල්ල කියන්නේම ස්වර්ණා...
ඉරේ රැස් වලට
අත පොව්වන්න බැරි තැන නේ ද?



(29) උණුහුමට වර්ණයක් නෑ ස්වර්ණා....

අපට කොච්චර දැනුනත්
වර්ණයකට උණුහුමකුත් නෑ ස්වර්ණා.....

උදේ ඉර පායද්දි අහස රතු වෙලා
ගිනි පුළිඟු වගේ පෙණුනත් ස්වර්ණා
ඒක අපේ ඇස් වලට දැනෙන වර්ණ එහා මෙහා වෙලා කරන
හැංගි මුත්තං සෙල්ලමක් විතරයි

රතුපාට ගින්දරයි
ගින්දර උණුසුමයි
දැන් ඉතින් සීතල මැකෙයි
අද දවස ලෙන්ගතුයි
මේ සේරම හිතිවිලි උපද්දලා
අපිව ප්රමෝදයකින් පුරවන්න
කිසිම උණුසුමක් නැති වර්ණයකට
පුළුවන් නේද ස්වර්ණා.....

ඉර බහින හවසට
වළාකුළු අගිසි වල
ඔය පේන රතුපාට
පහනක්, ගිණිමැලයක් හොයාන යන්න
උණුසුමකට තුරුළු වෙන්න ආරාධනාවක්

අකුරු වගේම තමයි ස්වර්ණා

වර්ණ කියන්නෙත් සංඥා විතරයි නේද
උණුහුම දැනෙනවා මිස
අකුරකින් ලියන්නවත්
පාටකින් පාට කරන්නවත් බෑ නේද?


(30) පැවැත්ම අත ලඟම නොපැවැත්මත් තියනවා ස්වර්ණා....

අහස හරහට රිදී කුඩු
දියමන්ති, වගේ විසිරෙන
අපේ මන්දාකිණිය මැද්දෙත්
හැම අංශුවක් අණුවක් විතරක් නෙවෙයි
සිඟිතිම සිඟිති එළිය බිංදුවක් පවා
ඇදල අරන් හංග ගන්න පුළුවන් ශුන්‍යයක්
අංගාර ආගාධයක් තියනවා ස්වර්ණා....

⁣සළකුණක් නොතියා අතුරු දහන් වීම
නොපැවතීම නම් ස්වර්ණා
ඔය තරු පොකුර පවතින්නේත්
නොපැවතීම පවතින නිසා නේ ද?

හැම තැනම එහෙමයි ස්වර්ණා...

හැම මන්දාකිණියකම, ඔය පේන
සෑම තාරකා පොකුරකම
නැංගුරම ගිලිලා තියෙන්නේ
අංගාර ආගාධයක පතුලේ....

නොපෙනෙන දේවල් දකින එක
ශාපයක් තමයි...

ඒත් ස්වර්ණා....
පෙනෙන දේවල්
නොදකින එක

ඊට වඩා ශාපයක් නේද?


(31) ප්රතිඵලය ප්රමාණය අනුවයි ස්වර්ණා....

මහා ගිණි ජාලාවකට
වැටෙන වතුර බිංදුවක්
වාෂ්ප වෙනවා වුනාට
මහා ජල කඳකට පුළුවනි
ඔය ගින්න නිවන්න

බුබුලක්, උල්පතක්
කඳුරක්, දොලක්
ඇල්ලක්, ඇලක්, ගංගාවක්.....

නිකම්ම ගල් පව්වක
තෙතමනය රඳවන
දිය සීරාවකට වඩා
කොච්චර වෙනස් ද?

ඒත් වතුරම නේද ?
ප්රතිඵලය ප්රමාණය අනුවයි ස්වර්ණා.....

හඬක්.... සුවඳක්....
මතකයක් වුණත්
එහෙමම තමයි

ගිගුම් දෙන හිනාවල් අස්සේ හැංගුණු
සියුමැලි කෙඳිරිලි හිනාවකට

නොයෙක් විලවුන් සුවඳ අස්සෙන් ගලන
හීන් මල් සුවඳකට

චිත්ර පටි වගේ දිගෑරෙන මතක අස්සේ
නැවතිලා බලාන ඉන්න ඇස් දෙකක මතකයකට

පුළුවන් නේද ස්වර්ණා.....

ජීවිතේම වාෂ්ප කරවන්න....!

(32) හැම ක්රියාවකටම ප්රතික්රියාවක් තියෙනවා තමයි ස්වර්ණා.....

ඒත් ප්රතික්රියාව දිහා බලලා
ක්රියාව හිතා ගන්නෙක
නිවැරදි නෑ නේ ද?

හුළඟට ගස්වල
කොළ ගිලිහිලා වැටෙනවා තමයි
ඒත් වැටෙන හැම කොළයකම වගකීම
හුළඟටම බාර දෙන එක හරි ද?

අහස තරු වියනක් වුනාට ස්වර්ණා
වියනකට තරු අලවලා
අහසක්ය හිතන එක
වැරදියි නේ ද?

පිහාටුවක් හැලෙන්නේ
කුරුල්ලෙකුගෙන් තමයි
ඒත් පිහාටුවක් වැටුනු හැමතැනකටම
කුරුල්ලෙක් එන්නම ඕන ද?

මුහුදටත් වහිනවා ස්වර්ණා

ඔය පිරෙන වතුර
ගංගාවකම ගලා එන්න
උවමනා නෑ නේ ද?


(33) සීතලය කියන්නේ ස්වර්ණා.... උණුසුමක් නැති කම නේ ද?

සීතලට උණුහුමට වගේ
විහිදෙන්න, පැතිරෙන්න,
දුවන්න, පනින්න
බෑ නේද ස්වර්ණා.....!

ඇත්තටම හිතුවොත් ස්වර්ණා
උණුහුමට හීතල මැරෙන්නේ නෑ
වැහෙනවා නොපෙනෙනවා විතරයි.

ඒ උණුහුමට යටින්
අර මරණීය සීතල
පණ ගගහා බලා ඉන්නවා....

ඒක හැංගි මුත්තං සෙල්ලං කරනවා...

උණුහුම ඩිංගකට නිදාගත්තත්
සීතල... හිනාවෙලා අත් දික් කරනවා....

ඒක එයාගේ වරදකුත් නෙවෙයි ස්වර්ණා....
සීතල තමයි සත්‍යයය....
වෙනස් නොවෙන නියතය....
සදාකාලිකත්වය....
පැවැත්ම.....

පටන් ගැන්ම සහ නැවතීම

උණුහුම තමයි වෙනස....
පරිවර්තනය...
දැඟලිල්ල....
නොනැවතිල්ල....
තනි වචනෙකින් කිව්වොත් ස්වර්ණා....

ජීවිතය....!
පොළවටම කකුල් ඇලවිලා
ගල්වෙලා ඉඳිද්දිත්....
අමාරුවෙන් ඔළුව හරවලා
අත් දික්කරලා....

උණුසුමක් හොයන්නේ ඒක නේ ද?

(34) වෙරළක් කියන්නේත් කුඩු කුඩු වෙච්ච කන්දක් ස්වර්ණා

ලෝ දියෙන් ඉපදිලා
මහ පොළව දෙබෑ කරගෙන මතුවෙලා
අහසෙ වළාකුළු වලට
හිස පොවපු කන්දක්...

මහා අයිස් යුගයක
ගලාගෙන ගිය ග්ලැසියර
කොනිත්තලා හූරලා
කොණහලා අරන් එන්නැති

කල්ප ගාණක් වැස්ස
අත ගගා අත ගගා
පුංචි කුඩු කුඩු
දිය කරන් එන්නැති

සුළි නැගෙන කුණාටු
හොලවලා හප්පලා
කඩා බිඳ විසුරලා
දූවිලිව ගෙනෙන්නැති

කොහොම කොහොමින් ආවත් ස්වර්ණා...
ගණන් නැති වැලිකැට වෙලා
යටිපතුල් අත ගගා සනසන
ඔය සිනිඳු සුදු වැල්ල

කුඩු කුඩු වෙච්ච කන්දක්....!

Continue Reading...

Blogroll

About