Friday, December 6, 2019

විසි එකයි විසි එක

Share it Please


"මට ඔයාව පේන්නෙ නෑ. එළිය මදි. ලයිට් එක හරවන්න ටිකක්" නයෝමි ‍කොඳුලාය.
තප්පර දහයකට පසුව ක්‍රිෂාන්තගේ මුහුණ ආලෝකමත් විය.

"දැන්..... ?"
"හ්ම්ම්ම්...."
පරිඝණක තිරයට මුව තබා දුන් හාදුව ඉතිරි කල තොල් ආලේපන පැල්ලම දෙස ටික වේලාවක් බලා හුන් නයෝමි කඩදාසි පිස්නයක් ගෙන එය පිසදමන්නට වූවාය. ලා රත් පැහැය ඉවත් වූවත්, පැත්තෙන් බැළූවිට පෙනෙන ලා තෙල් පැල්ලමක් තවමත් ඉතිරි වී තිබේ.

"ඒක ස්ක්‍රීන් ක්ලීනර් එකට යනවා...."
ක්‍රිෂාන්ත සිනාමුසු ස්වරයකින් කියයි.

"විසිඑකයි විසිඑක.... මතකනෙ"
නයෝමිගේ හඬ තීරණාත්මකය.

"දැන් යන්නෝ නැ...."
හිස පැළඳ සිටි හැඟීම් සන්නායක වලල්ල ඉවත් කරමින් ඕ නැගිට සිටියාය. ඇගේ නෙත් වල තිබුණේ කුසීත නමුත් පැහැදුනු බැල්මකි.
"හ්ම්ම්ම්ම්..... හෙට?"
"බෑ... හෙට වැඩ.... අනිද්ද.... හ්ම්ම්ම්?"

"විසිඑකයි විසිඑක.... විසිඑකයි විසිඑක" සෙමින් තොල් මැතිරූ ක්‍රිෂාන්ත පරිඝණක තිරය දෙසම නෙත් හෙලා ටික වෙලාවක් බලා සිටියේය. තිරයේ පසකින් ත්‍රිමාණ කාල සටහනක් බැමෙමින් තිබෙයි. අන්තර් ග්ලැක්සි පිවිසුමට අද දවස තුල සේන්දු විය යුතු යානා විස්සක පමණ සංඥා ලකුණු එහි සටහන් ව තිබේ. ඒ අතර පෘතුවියට ආපසු යන යානා තිබුණේ දෙකක් පමණකි.

සිහින් සිනහවක් සමගින් සුලැඟිල්ල දිගු කල ක්‍රිෂාන්ත ත්‍රිමාණ කාල සටහන ස්පර්ශ කර එය තවත් වේගයෙන් බැමවීය.

"විසිඑකයි විසිඑක.... විසිඑකයි විසිඑක.... හරි මං පොරොන්දු වුනානෙ ඔයාට..."

අන්තර් ගැලැක්සි පිවිසුම පෘතුවියට සමාන්තරව ආලෝක තප්පර හතරක දුරිනි. ආලෝක වේගයෙන් අඩක තරම වේගයෙන් ගමන් කරන වෝප් යානාවකට ඒ දුර යන්නට ගතවන්නේ තප්පර දහයක තරම කාලයක් වුවත්, යානය උපරිම වේගයට එන්නටත් පෘතුවි පිවිසුම අසල දී නැවත වේගය අඩු කරන්නටත් පැය හතරක පමණ කාලයක් ගතවෙයි.

"හුහ් වෝප් සහතිකේ තිබුණ නම් පැය පහයි...." ක්‍රිෂාන්තට ඉබේම කියවිනි.

‍විසිඑකයි දහනවය වසරේ සිට අයදුම් කර තිබුණත් වෝප් යානා ගමන් සහතිකය ලැබෙන්නට නම් තවත් අවුරුදු හතරක් වත් ගත වෙයි. එතෙක් එය දවස් අටක ගමනකි. වසර දෙකකට පසු ලැබෙන මාස හයක නිවාඩුවට තවත් මාස අටක් තිබේ.

+ ------ + ----- + ----- + ---- +

අධි ශීතකල පාර්සලය කුමක්දැයි, කවුරුවත් ඇසුවේ නැත. වෛද්‍ය පරීක්ෂණ සඳහා යැවෙන අධි ශීතකල පාර්සලවල අඩංගු දේ රහසිගත ලෙස සැලකීම සිරිතකට වඩා නීතිය ව තිබිණි. ප්‍රධාන රෝහලක ලිපිනය ලියූ පාර්සලයක් ගැන කෙසේවත් සැක සිතන්නට කාරණයක් ද නොතිබිණි.

ක්‍රිෂාන්ත තවත් වරක් පාර්සලයේ කෙලවරක වු කළු බොත්තම තද කර, තිරය මත දිස්වූ උෂ්ණත්වය පිරික්සා බැලීය. වෝප් යානාවට ඇතුළුවන සියලු දේ එකතු කරගන්නා රොබෝ යන්ත්‍රයට පාර්සලය ඇතුළු කල ක්‍රිෂාන්ත එහි පියන වසා, යානයේ තොරතුරු පරිගණක තිරයේ ලකුණු කලේය.

+ ------ + ----- + ----- + ---- +

නයෝමි කාමරයට පිවිසියේ අධි ශීතකල පාර්සලය නයෝමිගේ මේසය මත තැබූ රොබෝ ලියුම් බෙදන්නා කීක් කීක් යැයි දෙවරක් නාද කර ඉවත්වී යනවාත් සමගය. පාර්සලය පසක කළු බොත්තම පාර්සලයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් ඍණ 197 ක් බව පෙන්වීය. සිහින් සිනාවක් සමග නයෝමි පාර්සලය සිය අත් බෑගය තුලට දැම්මාය.

හ්ම්ම්.... විසිඑකයි විසිඑක.

+ ------ + ----- + ----- + ---- +

වසර අවසානයට තිබුණේ දින පහකි. රෝහල් ‍ගොඩනැගිල්ල වර්ණවත් එළි විහිදුවමින් තිබිණි. අවට අනෙක් ගොඩනැගිලි වලට වඩා උස් නො වූවද, රෝහල වඩාත් කැපී පෙනුනේ එහි බිම සිට උඩට විහිදුනු ලා රතු පැහැ ආලෝක ධාරාවන් නිසාය. බිම් මට්ටමේ සිට සෙමින් සෙමින් ඉහලට පැතිරෙන රතු පැහැය එක මොහොතක මුළු ගොඩනැගිල්ලම වසාගෙන බොඳවී යයි. ඉන් පසු තප්පර හතරකට පමණ මුළු ගොඩනැගිල්ලම රක්ත තප්තව දිලිසෙයි. කෙමෙන් මැකී යන රතු එළිය නැවතත් බිම් මට්ටමේ සිට සෙමින් සෙමින් ඉහලට පැතිරෙන්නට ගනී.

නයෝමි කාමරයේ ජනේලයෙන් මෑත්ව ජනේලයට පිට දී සිට ගත්තාය. මුළු කාමරය පුරාම ඇගේ ඇස් දිවයයි. සියල්ල තිබිය යුතු තැන් වලම තිබේ. ක්‍රිෂාන්තගේ සිනාසෙන සේයාරුව දිග සෝපාවට ඉහලින් සිනා‍සීගෙන බලයි. එයට පහලින් ඇත්තේ තාත්තාගේ හා අම්මාගේ සේයාරුවකි. තාත්තාගේ මුහු‍ණෙහි සිනාවක් නැතත්, පැහැපත් සතුටු හැඟීමක් සලකුණු වී තිබේ. කවදත් මෙන් අම්මාගේ මුහුණ නම් පිරී ඉතිරෙන සිනාවකි. ඒ මුහුණු තුනෙහි වෙනස් කම් හා සමානකම්‍ තෝරන්නට නයෝමි වෙහෙස ගත්තාය. ඈ ක්‍රිෂාන්තගේ මුහු‍ණේ සිනාවට ඇළුම් කලාය. යන්තම් වක ගැසෙන කම්මුල් වලට ආදරය කලාය. එහෙත් ඇයට ප්‍රියමනාපම මුහුණ වුයේ නම් අම්මාගේ මුහුණය. අම්මා සිනාසෙන විට ඇගේ නෙත් යන්තම් කුඩාවෙයි. එය ඇගේ මුහුණෙහි ප්‍රියමනාප ගතිය තවත් උපුටා දක්වන්නේයි නයෝමි සිතුවාය. තාත්තාගේ මුහුණෙහි ඇත්තේ තරමක ගාම්භීර පෙනුමක් යැයි ඇයට සිතෙයි. ඊට වඩා ක්‍රිෂාන්තගේ මුහුණේ ඇති උතුරා යන සිනාවට ඈ කැමතියි ඇය සිතුවාය.

"මෙහෙමයි.... ජීවිතේ අපි තීරණය කරන්න ඕන දේවල් තියනව තමයි. ඒත් සමහර දේවල් තීරණය කරන්නෙ ජීවිතයයි නයෝමි, අපි නෙවෙයි"

"දැන් ඔයා හදන්නෙ ජීවිතය තීරණය කරල මෙසේජ් එකක් එවන කල් ඉන්න ද? ඔයා කියන ඔය ජීවිතය කියන්නෙ අන්තර් ග්ලැක්සි පිවිසුමේ පාලක සභාව ද ක්‍රිෂාන්ත?"

"හරි මම පොරොන්දු වුණානෙ..... ඒක නිසා මම එවන්නම්. හැබැයි ඔයාත් හිතල බලන්න ආයෙත්... හරි?"

සිතූ සැලසුම් ඒ විදිහෙන්ම අකුරක් වචනයක් නොවෙනස්ව කිරීමේ සිරිත ලැබුණේ තාත්තාගෙන් බව නයෝමි ට සිතෙයි. අම්මා හැමදාමත් කලේ තාත්තාගේ සැලසුම් වලට තීරණ වලට අනුකූල වීම බව ඈ සිතුවාය. එසේ කිරීම බොළඳ යටහත් වීමක් ලෙසත් ඒ අතින් අම්මා දුර්වලයෙකු ලෙසත් සිතන්නට ඈ පෙළඹී සිටියාය.

සෝපාව මත දිගාවී සිටි ෆ්‍රේඩෝ එයින් බැස අවුත් දොර දෙසට මුහුණ දිගු කරන තුරුම නයෝමි අම්මාගේත් තාත්තාගේත් ක්‍රිෂාන්තගේත් මුහුණු දෙස වරින් වර බලමින් සිටියාය.

"අපි යමු ෆ්‍රේඩෝ...." පහත් වී උගේ මුහුණ සිපගත් නයෝමි ‍දොර අසල තිබුණු හම් පටිය බල්ලාගේ කරපටියේ ගාංචුවට ඇවිණුවාය.

උයන් මගෙහි දැනුනේ සිසිලසකි. යාන්තම් ඇදී යන සුළඟක් ගස්වල පත් සෙමින් සොලවමින් තිබිණි. රෝහල් ගොඩනැගිල්ලෙන් විහිදෙන දැල්වෙන දිලිසෙන නිවෙන රතු එලිය පදික මග පුරාද දිදුල් දෙමින් තිබුණි.

+ ------ + ----- + ----- + ---- +

ඈ සිටියේ ක්‍රිෂාන්තගේ නිරුවත් පපුව මත මුහුණ ඔබාගෙන, ඝනව වැඩුණු රෝම සිඹිමිනි. ඇගේ ඇස් පියවී තිබිණි. ඕ හෙමින් දිගු හුස්මක් ගත්තාය.

"මට ඕනෙ අවුරුදු විසි පහ ඉවරවෙන්න කලින් බබෙක් හදන්න..."

"ඔයාට විසිපහ.... විසිපහ ඉවරවෙන්නෙ ‍විසිඑකයි විසි එකේ ජුනි විසිහතර.... හ්ම්ම්....."

ඒ එක්කම ඈට ඊයේ සවස ඇසුණු ක්‍රිෂාන්තගේ ලයාන්විත කට හඬ ඇ‍සෙයි.

"අපි කෘත්‍රිම වෙලා මදිද නයෝ... ?"

"නැහැ අපේ සැලැස්මක් තියෙනව. ඔයා පොරොන්දු වුණා"

"සැලසුම් කියන්නෙත් කෘත්‍රිමයි කියන්නෙත් එකම දේ නේ ද නයෝ?"

+ ------ + ----- + ----- + ---- +

පදික මග අසල බංකුවක වාඩිවූ නයෝමි, අත් බෑගයෙන් අධිශීත කල පාර්සලය ගත්තාය. පියනෙහි අගුළු හැරි ඈ, මොහොතක් එහි ඇතුලත වූ වීදුරු කෝෂය දෙස බලා සිටියාය. පාර්සලයේ පසෙක වූ රතු පැහැති යතුර ඇද දැමූ ඈ බංකුව පසුපස ගල් බැම්ම මතට එතුල වූ වීදුරු කෝෂය වැටෙන සේ, පාර්සලය ඇල කලාය.

"අපි යං ෆ්‍රේඩෝ...."


රන්සිරිමල් ප්‍රනාන්දු 

පලවූ අනෙක් තැන්:
කතන්දර බූන්දි
දිණමිණ කැෆේ

No comments:

Post a Comment

Blogroll

About