Monday, January 7, 2019

ස්වර්ණාට.....!

Share it Please


(1) ඔයා දන්නවද ස්වර්ණා....?

හඳේ එළිය⁣ට එළිය මැකුනට
ඔය පුංචි තරුවත් ස්වර්ණා...
මහා ඈතක තියන
තවත් ග්‍රහ මණ්ඩලයක
ග්‍රහ ලෝක ගොඩකට
එළිය දෙන ඉරක්...!

එහෙත් ඇති මෙහෙ වගෙම
පොළවක් වටේ කැරකෙන හඳක්
අපි වගෙම ලංවෙලා
ඒ පොළවෙ හඳ බලන
අපි වගෙම දෙන්නෙක්...!


(2) නෑ ස්වර්ණා...

ආලෝකය උපදින්නේත්
අන්ධකාරයෙන්මයි නේද?
මං අහන්නේ අන්ධකාරය නැත්තං
ආලෝකයට පැවැත්මක් ඇද්ද?

ඉතින් හිතන්න...
සියල්ලට කලින්
සියළු දේටම කලින්
තිබුණේ පැවතුනේ ඇතිවුනේ
අන්ධකාරයම නේ ද?

අනික ස්වර්ණා...

ඔය කතාවට කිව්වට
පහනක් දල්වලා
අඳුර නසනවයි කියලා
පුංචි හුළඟකට පුළුවනි
ඔය පහන් සිළුව මරන්න...

ආන්න එතකොට පේනවා නේද
අන්ධකාරය හිනාවෙවී ඉන්නවා
සද්ද නැතුව අපිව වැළඳගන්නවා...

ඔය පහන නිවන්න ස්වර්ණා...


(3) පාෂාණ කිව්වාට ස්වර්ණා...

ඔව්වා වුනත්
දියවෙලා වතුර වගේ
ගලාගන යන
උෂ්ණත්වයක් තියනවා

මහ පොළව පතුලේ
හිරවෙලා
තදවෙලා
ගිනියම් වෙලා
දියර වෙලා
ගිනි කන්දක මුදුන
පසාරු කරගෙන
ලෝදිය වගේ ගලාගන යන
මොහොතත් තියනවා

එ් ලෝදිය ගංගාව මූණට මුලිච්චිවෙන
හැම දෙයක්ම සතා සිව්පාවා වුනත්
ගිනි වද්දලා අළු දූවිලි කරලා
ගලාගන යනවා...

අායේත් නිවිලා...
පාෂාණිභූත වෙලා
අහිංසක විදිහට
නිසොල්මනේ ඉන්නවා...

මතුපිට එහෙම වුනාට ස්වර්ණා...
පොලෝ කුහරේ මැද්දෑවේ
මහා ලෝදිය කල්දේරමක්
පැහි පැහී පැහි පැහී තියනවා....!


(4) මලක් නේ ස්වර්ණා...!

ඒක කොහොමද දන්නේ
කටු තියන නටුවකයි
පිපුණෙ කියලා?
ඒකට නැවිලා කැරකිලා
අතගාලා මිරිකලා
බලන්ඩ බෑනේ...

රෝස මල වුනත්
පතොක් මල වුනත්
පිපෙන්න ගත්තාම
නවත්ත ගන්නේ කොහොමද?

පිපිලා පරවෙලා පෙති හැලෙන තුරු
කොහොම ගැලවිලා පියඹලා යන්නද?

ඒකනේ අර කවිපදේත් කියන්නේ
නටුව නොවේ මල සිඹිමි කියලා...

බොහෝ දේවල්
ඔය වගේ තමයි ස්වර්ණා...
ඔය වගේ තමයි.

(5) හඳ බලන්න ස්වර්ණා....!

ඉර හඳ තරු අහස ...
හැම දේම රවුම් ස්වර්ණා

ගහක කඳක් වුනත්
වතුර බිංදුවක් වුනත්
ඔය ඔයාගෙ ඇස්
හැමෙකක්ම රවුම් ස්වර්ණා...

ඔයාගෙ ඇඟිලි තුඩු
කන්පෙති තොල් වුනත්
මට දැනෙන්නෙ රවුමට

හැම දෙයක්ම රවුම්
ගෝලාකාර වෘත්තාකාර
චක්‍රාකාර වක්‍රාකාර...

ඉතින් මේ හතරැස් කොටු?

ඒව අපිම ඇඳගත්තු හැඩ
අපි හදාගත්තු හැඩ

නේද ස්වර්ණා....?


(6) මහ මූදත් අසරණයි ස්වර්ණා...!

ඔය තියන කළුගල්
හේදුනත් රළ පාරට
වේලුනත් අව්වට
ඔතනම තමයි නේ ද

කොහොම නැගිටලා
කොහේ යන්න ද?

වෙරළේ වැලි කැට සිප්පි කටු
හිනාවෙනවා තමයි රැල්ලට
පාවෙලා නටනවා තමයි පෙණ කැට මත
ඒත් අවනතයි මුහුදු රැල්ලට
උස්සලා විසිකලොත් අෑතට
වේලි වේලි තියෙයි අව්වට
ඇද අරන් තුරුළු කරගෙන ලයට
සිඹියි සනසයි සෙල්ලනුත් කරයි
මූදට හිතුණු වෙලාවට

ඒත් මහ මූදත් අසරණයි ස්වර්ණා
ඒක නිකම්ම වතුර බේසමක් විතරයි
ඔය රැළි පෙරලන්නේ
දඟලවන්නේ දුවවන්නේ
මහ මූද නෙවෙයි ස්වර්ණා...
දුවන දඟලන
දැනෙනමුත් නොපෙනෙන
සුළඟ...!

(7) මේ හමන සුළඟමයි ස්වර්ණා

මේ හමන සුළඟමයි ස්වර්ණා
ඔය අහස යැයි කියන්නෙත් අපි
රඹුටමක ඇටය වට
ඇලවුනු දොදොල් මදය වගෙ
මහ පොළව වටේටම
ඇලවිලා හෙලවි හෙලවී තියෙන

සිවිලිමක් වගේ පෙණුනත්
උඩ පැනල අල්ලන්ඩ බැරි
හිල් බේසමක් වගේ ඇඬුවත්
දිය පිරෙන කරාමයක් නැති
මහා නිල් රෙද්දක්
වලාකුළු අලවාපු...?

එහෙම නෑ ස්වර්ණා
හුලං තට්ටුවක් විතරයි
ඉර එළියෙ නිලට දිලිහෙන
ගිනි ගත්තු මහපාරෙ
පේන මිරිඟුව වගේමයි

පේනවා විතරයි
හීනයක් වගේමයි

ඉතින් මේ පොළවත්
වහලක් නැති ගෙයක්
පියනක් නැති පෙට්ටියක්
අහස ඇස් බැන්දුමක්

නැති වුනොත් ඔය හුලං තට්ටුව
ඇරෙයි ඔය මායා කවුළුව
පෙනෙයි අපටත් ඇත්ත

ඇණයක් නැතුව එල්ලී තියෙන ඉර
ඉර එළිය වැටුනාම දිලිසෙන හඳ
ඈත ඈතින් ඉකි ගහන
ලොකු පුංචි තාරකා ගල් කැට

ඉතුරු සේරම ස්වර්ණා
කළුම කළු අන්ධකාරය.....!


(8) කළුගලක් කියන්නේ කළුගලක් ස්වර්ණා...

කොච්චර සුමට කෙරුවත්
කොච්චර ඔපේට තිබුණත්
කොච්චර සිනිඳු
කොච්චර ශාන්ත වුනත්
ඒක කළුගලක් ස්වර්ණා

මෙහෙම ගස්කොලන් වැවිලා
සුවඳ හමන මල් පිපිලා
නිල් අහස යට
වැව් පොකුණු
සයුරු සාගර
මේ මොනවා තිබුණත්

මේ බිත්තරේ කහමදේත්
කොදිච්චි වෙන
ලෝදිය හැලියක්නෙ ස්වර්ණා

ඉතින් අතපත ගාන්න
අගේ කරන්න
සුමට කම
සිනිඳු කම
හැබැයි
ඔළුව ගහගන්න එපා

කළුගලක් කියන්නේ කළුගලක් ස්වර්ණා...!

(9) ඇත්තටම ස්වර්ණා...

සැලස්මක් හැදෙන්නෙත්
සැලැස්මක් නැතුව නේද?

රටාවක් පේන්නේ
රටාවක් ඇඳුණාම නේද?

වලාකුළු වල වුනත්
තියනවා නේද හැඩයක්
ඔහේ නොදැනිම පාවෙලා යන
හුමාලය එකතුව හැදෙන

සැනසෙන්න ස්වර්ණා
සිද්ධ වෙනදේ සිදුවෙලා
කතන්දරේ අවසානේ
පෙනුණාම කතාවේ සැලැස්ම
අපටත් හොයාගතෑකි
සංසාරේම පතා ආ
ප්‍රාර්ථනාවක්...


(10) රැල්ලකට වුණත් ස්වර්ණා...

ඇරඹුමක් අවසානයක් තියනවා.
රැල්ලක් කියන්නෙම
නැගල
බැහැල
ක්ෂය වෙලා යන
සංසිද්ධියක් ස්වර්ණා...

සුනාමියක් වුනත්...
ලොකුයි තමයි
බයංකරයි තමයි
දුවන දුර වැඩියි
කරන විනාශය වැඩියි...

ඒත් ඒකත් රැල්ලක් ස්වර්ණා...!


(11) රැවටෙන්ඩ එපා ස්වර්ණා...

පේලියට සීරුවට ඉන්නවා වගේ පේනවා තමයි
හරියට කෝදුව තියලා මැනලා
පැන්සලෙන් ඉරක් ඇඳලා
පුංචි ඇණ ගහලා එල්ලුවා වගේ තමයි

ඒත් ඔය තරු තුන
ඔරායන්ගෙ බඳපටිය
තියෙන්නේ කොහෙ කොහෙ ද?
එකකට එකක් කොයිතරං ඈත ද?

එක පෙලට හැමදාම පෙනුනත්
එතන තියෙන්නේ තරු තුනක්
හැමදාම එක පෙලට පෙනුනත්
එක එකක් තනි තනිම තරුවක්

රැවටෙන්නෙපා ස්වර්ණා
එකට බැඳ නැති තරු තුනක්
කවදාකවත් නොවෙයි බඳ පටියක්....!


(12) අරලියා මල් ස්වර්ණා...

මහ විශාලෙට ගස් හැදෙන
පොකුරු පොකුරු මල් පිපෙන
සුදට සුදේ සුවඳ දෙන
අරලියා මල් ස්වර්ණා

කීයක් නම් වැටෙනවාද බිම
කීයක් නම් පෑගිලා
පරවෙලා අතුගෑවිලා
කුණුගොඩක හැංගිලා
නැතිවෙලා යනවාද

සුදුපාට පෙති මැද්දෙ
කහපාට තැවරිච්ච
ඒ අස්සෙ කිතිකැවෙන
සුවඳ බිඳ හැංගිච්ච
අරලියා මල් ස්වර්ණා

එකක් ඉම්බාම ඇති නේද?
හැම මලම ඒ සුවඳම තමයි.


(13) අන්ධකාරය ගලන්නෙ නෑ ස්වර්ණා

ආලෝකය තමයි ගලන්නෙ
එළිය විහිදෙන තැනක ඉඳලා
යන්නේ කොහේද නොදැන
ගලාගන යනවා ආලෝකය

ගැලීමක් නැතිතැන
ආලෝකයට පැවැත්මක්
නෑ නේද ස්වර්ණා
නැවතීමම දිවි නසා ගැනීමක්

නැවතීම ගැලීම නිසා නේද
මරණ⁣ය නැවතීම නිසා නේද
ගැලීමක් නැති මරණයක් නැති
අන්ධකාරය සදාකාලික ඒකයි

ආලෝකයට මුලා වෙන්න එපා ස්වර්ණා
ඒ තමයි මරණයේ උපත....!


(14) ගහක් කියන්නේ ස්වර්ණා...

මේ පොලොව මත
ස්වයංපෝෂිතය කියන්න පුළුවන්
එකම ජීවියා නේ ද?

උවමනා කලමනා
තමුන්ම හොයාගෙන
තමුන්ගෙ දේ තමුන්ම හදාගෙන
වැඩිමනත් දේ
අනුන්ටත් ඉතිරි කරනවා
ගස්......

ඇවිදින්න පාද නෑ
උස්සන්න අත් නෑ
කොඳුරන්න කටක් නෑ
අඬන්න ඇස් නෑ

ඒත් හිතලා බලන්න...

පොලෝගැබට කිඳා බැහැලා
වතුර පොහොර හොයා ගන්නවා
අහස් ගැබට හිස ඔසවා
අංගාරිකාම්ල උරා ගන්නවා
පුංචි පෙත්තකින් දෙපෙත්තකින් පටන්ගෙන
මහා වෘක්ෂයක් වෙනතුරු සියල්ල නිපදවා ගන්නවා...

ගහක් වෙන්න ස්වර්ණා
ගහක් වෙන්න...


(15) ඒත් හුමාලයම තමයි ස්වර්ණා....!

ලස්සණ පුළුං රොදවල් වගේ
නිල්පාට ආකාසෙ පුරාම
සුදු තීන්ත ගෑවා වගේ
ඉහිරිලා පැතිරිලා යන වළාකුළු

ඉරේ රස්නෙට වාෂ්ප වෙලා ගිහින්
අඩමානෙට ඝනීභවනය වුනු
මුදු වතුර ස්වර්ණා
හුමාලයම තමයි

නිකංම හුළඟෙ එල්ලිච්ච
හුමාල පැල්ලං ස්වඒණා
ඝනකමක් නැති පැවැත්මක් නැති
එහෙටද මෙහෙටද නැති
පාදමක් නැති හීන

ඒකයි ස්වර්ණා
වලාකුළුවල
ගෙවල් හදන්ඩ බැරි....!


(16) ගිලිහෙන දේ ගිලිහෙනවා ස්වර්ණා...

ගහක් වැවෙන්න
ඒ.ගහේ කොල
කීයක් නම් ගිලිහෙනවාද ස්වර්ණා...?

ලදළු ව මෝදුවෙලා
ඉර එළිය උරාගෙන
විහිදිලා වැඩිලා
අංගාරිකාම්ල බීඳලා
අළුත් අණු හදලා
මහළුවෙලා මැලවිලා
ගිලිහිලා හැලෙන පත්
කීයක් නම් ඇද්ද ස්වර්ණා...

ගහක් අහසට උස්සන
ඒ පුංචි අත් වලට
අහස අල්ලන්න
ලැබෙන්නෙ නෑ නේද?

ගිලිහෙන දේ
ගිලිහෙනවා ස්වර්ණා...


(17) පා වෙන්නෙ මල් පෙති ස්වර්ණා

සමහර විට මල්,
බොහෝවිට ගිලිහුණු පෙති
ගලන ගඟක නම්
හැඩපාරත් එක්කම
නැවතුණු විලක
නැගෙන රළත් එක්ක
පා වෙන්නෙ මල්පෙති ස්වර්ණා

ගල් එතැනමයි
වැටුණු තැන දියයට
හැංගිලා ඉන්නව නෙවෙයි
නෑ, මලක පෙති ඉහිරුව
වරදකාරී හැඟීමකුත් නෙවෙයි
ගල් ස්වර්ණා,
පා වෙන්නෙ නෑ....!


(18) ගින්දර නිවෙනවා ස්වර්ණා

පහන් දැල්ලක් නෙවෙයි
මහා ලැව් ගින්නක් වුණත්
නිවෙනවා ස්වර්ණා

තෙල් බිඳක් දැවිලා
එළිය විහිදන පහනත්
මහා වනාන්තරයක්
දවාගෙන ගලන ලැව් ගින්නත්
යැපෙන්නේ අම්ලකර
උරාගෙන ස්වර්ණා

අපි කවුරුත් එහෙම නේද?

කටින් පිඹලා පහනක් නිවනවා වගෙම
හුලඟ සැරවෙලා ලැව්ගිනිත් නිවෙනවා තමයි
ඒත් එහෙමයි කියලා
බෝතලේක දාලා වැහුවොත්
ඒත්,
ගින්දර ගිවෙනවා ස්වර්ණා...!



(19) අම්ලකර කියන්නේ ස්වර්ණා 

අම්ලකර කියන්නේ ස්වර්ණා
අවර්ණ වායුවක්
ගඳක් සුවඳක් නැති
රහක් පාටක් නැති
ඇහැට පේන්නේ නැති
හැඩක් හැඩයක් නැති
අතට අහු නොවෙන දෙයක්
ඒ වුණත් ස්වර්ණා
වතුර යටම ඉන්නා මාළුවා පවා
කරමල් වලින් ලෑටි ගාලා
එකතු කර ගන්නවා
දියේ දියවුනු අම්ලකර...
නාස් පුඩු අස්සෙන්
හුස්ම ඉහලට ඇදන්
පුරවාන පපුවේ...
අපි හොයන්නෙත් අම්ලකර

අමුවෙන්ම කිව්වොත් ස්වර්ණා
ජීවිතේ කියන්නේම අම්ලකර....
ඒත් ඒකේත් සංකේතය...
බිංදුව වගේම ලියවෙන
ඉංගිරිසි ඕ අකුරක් ස්වර්ණා....!

(20) සරසුලක් කියන්නේ ස්වර්ණා
සරසුලක් කියන්නේ ලෝහ කෑල්ලක් ස්වර්ණා
වීනාවෙ තත් වලත්
සිතාරයෙ ජලා හඬ නැගෙන කම්බිත්
ගිටාරයෙ වැයෙන තතුත්
ඔය සේරම හිත් පිත් නෑ වගේ පේන
තද පරුෂ ලෝහම තමයි ස්වර්ණා
හිත සං සිදෙනවායි හිතෙන
ඝංඨාර නාදයත් එන්නේ
ලෝහයක් ලෝහයක
හැප්පිලා නේද....?
සිතාරයෙ ලයාන්විතය වුනත්
කම්බියකින් කම්බියක්
පෙලා හඬවන
හඬක් නේද?
කැපෙන කෙටෙන
රිදවෙන ආයුධ හදන
ලෝහයක වුනත් ස්වර්ණා
ආත්මය....
කොයි තරම් මිහිරි දේවල්
හංගගෙන ඉන්නවා ඇද්ද?

(21) නිම්නයක් කියන්නේ ස්වර්ණා
නිම්නයක් කියන්නේ ස්වර්ණා....
ලස්සණට මල් පිපෙන
කුරුළු කූජන ගැයෙන
ඇල දොල ගලායන
ප්රීතිමත් ඉසව්වක් තමයි...
ඔය ඈත කඳු මුදුන්
නිසොල්මංව ඉන්නේ
හෙමිහිට කොඳුරන්නේ
ඒ සතුට ගැන සතුටින් තමයි
නිම්නයක් හැදෙන්නේම ස්වර්ණා
කඳු වළල්ලක් මැද්දේම නේද?

(22) මේ මහ පොළවෙ ස්වර්ණා....
මේ මහ පොළවෙ ස්වර්ණා....
හැම වැලි කැටයක් ගානෙම
මළකුණක් වැලලිලා ඇති.
තියන හැම අඩියටම
මළගිය මතකයක් පෑගෙනව ඇති.
මහ පොළව කියන්නේම ස්වර්ණා
කල්පාන්තරයක් තිස්සේ
කල්පාන්තරයක් මැරිලා වැළලුනු
සොහොන් පිටියක්
මිනී මල් පිපෙන්නේ ඒකයි.

(23) ඔව්වා කඳු ශිඛර ස්වර්ණා.....!
අතරමං වෙනවාද මන්දා
මග නොමග ඇවිද යන හන්දා
තැනිතලා වගේ පෙන්නුවත් ඇස් බන්දා
ඔව්වා,
දණ නමාගෙන ඉන්න
කඳු ශිඛර ස්වර්ණා.....!
ගලනවා කිව්වාට
හෙයාගෙන පහත් තැන්
ඉහලටම නැගෙන්නෙත්
වැතිර හැංගුණු පුංචි උන්
කඳු වුණත් එහෙමමයි
නැගෙයි කල් යල් බලා අවදිව
ඒ නිසයි තියෙන්නේ
මහ පොළොවෙ උණුහුම
උසම උස කඳු මුදුන් වල.

(24) කෙළවරක් නැති ගමනක්, කියන්නේම ස්වර්ණා චක්රයක්.... 

පටන් ගත්ත තැනටම ඇවිත්
ආයෙත් පටන් ගන්න වෘත්තයක්..

වෘත්තයක් හැදෙන්නෙ
චක්රයක් කැරකෙන්නෙ
කේන්ද්රයක් වටේටයි ස්වර්ණා..
ඒක පුංචිම පුංචි තිතක්..

⁣අපි දකින්නෙ ස්වර්ණා..
බොහෝ දේවල පරිධිය විතරයි..
චක්රය, වෟත්තය විතරමයි..
කේන්ද්රය අදුර්ශ්‍යමානයි..

හිතල බලන්න..
 රෝද කැරකෙන නිසානේ 
වාහනයක් ගමන් කරන්නේ..
ඒක කොහේ කොහේ ගියත් ස්වර්ණා
අර රෝද කැරකෙන්නේ
එකම එක කේන්දරයක් වටේට නේද..

කෙලවරක් නැති ගමනක්
කියන්නේම ස්වර්ණා..
අපිට ලංවෙන්නම බැරි..
කවදාවත්ම අල්ලන්න බැරි..
කේන්ද්රයක්.... පුංචිම පුංචි තිතක්..!

(25) හඳටත් හැමදාම ඉර පායනවා ස්වර්ණා

පුන් පෝයදා විතරක්
පෙන්නුවත් කිරි හට්ටියක්
ඉන් පස්සෙ කාලට
බාගෙට අරික්කාලට
දොඩං පළු නියපොතු
වගේ ඇවිදින් රැවටුවත් ඇහැ

මාසෙ පෝයට හැංගිලා
අනේ අද කළුවරේ ඇති
ඉටිපන්දමක්වත් නැතුවැති
කියා හිතවූවත් අපට.....

ඔය අහම්බෙන්
ඉඳ හිටම දවසක
මහ පොළව හරස්වී
අඳුරු කෙරුවොත් මිසක
ඔයාට මට වගෙම ස්වර්ණා
හඳටත් ඉර පායනවා හැමදාම.....

මුහුදු නෑ තමයි රැළි ගහන
කුරුල්ලෙක් කුකුලෙක්
නෑ තමයි අඬලන්න.....
ගස්වැල් පින්නෙන් තෙමෙන...
ඇස් වහන් මීදුම ගලන...
නැති නමුත් ඒ කිසි දෙයක්....
ඒකත් ඉර නැගෙන උදයක්....
ඉර බහින සවසක්....

ඉතින් අපි කොහොම දැක්කත්
ඉර පායනව හැමදාම හඳටත්....

දන්නවද තව දෙයක්....
හඳ හඳයි කියන්නේ
මේ මහ පොළවටයි ස්වර්ණා....!

(26) ජීවිතේ පටන් ගන්නේ දොළහ වැදුනම ස්වර්ණා.....

ජීවිතේ පටන් ගන්නේ ස්වර්ණා.....
ඔරලෝසුව ටික් ටික් ගෑම නවත්තලා
ඩාං ඩාං ඩාං ගාලා
රෑ දොළහ ලකුණු කරන වෙලාවට...

අස්ස කරත්තේ ලබු ගෙඩියක් වෙලා
අස්සයෝ මී පැටව් වෙන වෙලාවට
අර මාලිගාවේ පඩිපෙල දිගේ
දුවගෙන දුවගෙන ගිහින්
හැංගෙන්නම හිතෙන වෙලාවට

ජීවිතේ පටන් ගන්නේ
අන්න ඒ මෙහොතෙයි ස්වර්ණා....!

ඉතුරු වෙන්නේ ඉතින්
අහම්බෙන් ගැලවිලා වැටුණු
කිසිම පාටක් නැති
පලිඟු පාවහනක් විතරයි.....

කතන්දරේ කොහොම කිව්වත් ස්වර්ණා
සපත්තු සෙරෙප්පු කියන එව්වා
හරියටම හරියන පතුල්
එකකට වඩා තියනවා නේ ද?

ජීවිතේ පටන් ගන්නේ....
දොළහ වැදුනාම ස්වර්ණා....!


(27) නවතින්න නවතින්න කිව්වාට ස්වර්ණා....

දුවන එකම තමයි නේ ද පැවතීම....? 

තුරු පත් උගුල්ලාගෙන දුවන සුළං රැල්ලක
පැවතීම අපට දැනෙන්නේම
ඒ දිවිල්ලෙන් නේද ස්වර්ණා

වෙරළට දුවාන ඇවිදින්
කිරිසුදු සේලයක් එලන මුහුදු රැල්ලක
ලපටි දල්ලක් මෝරලා
මල් පොහොට්ටුවක් මෝදුවෙන
කිරි ඉද්ද පඳුරක
පැවතීම අපට දැනෙන්නේ
මේ දැඟලිල්ලෙන්ම නේ ද?

දවසක නවතින්න හිතිලා
නැවතුණොත් මහ පොළව
මේ පොළව වටේ කැරකෙන හඳ
ඒ තරම් දෙයක්ම නැතත්
නැවතුවොත් ඉර
ගිනි අරන් දැවෙන එක.....
නවතිනවා නේද මේ පැවතීම....

එච්චරත් හිතන්න උවමනා
නෑ නේ ද ස්වර්ණා...
හැමදේම හැදිලා තියනවා කියන පරමාණුවක
න්‍යෂ්ඨිය වටේ රවුමේ යන
ඉලෙක්ට්‍රෝන වලට හිතුනොත්....
දැන් ඉතින් ඇති....
කාලෙ හරි කියාලා නවතින්න.....?

නවතින්න නවතින්න කිව්වාට ස්වර්ණා....
මේ දිවිල්ලම තමයි හැම දේකම පැවතීම.


(28) හෙවනැලි හිතල වෙනස්වෙන්නෙ නෑ ස්වර්ණා....

වෙනස් වෙන්නේ ඉර....
හෙවනැල්ල හදන පහන

ඒ පැත්තෙන් මේ පැත්තට
මේ පැත්තෙන් ඒ පැත්තට
නැවතිල්ලක් නැතුව ගමනෙ යන
ඉර....!

උදේට ගව්වක් දිග හෙවනැල්ල
දවල් වෙද්දි පයට පෑගෙන තිතක් කරන
ආය හවස් වෙද්දි.... ඇදලා ඇදලා ඇදලා
පොලව දිගේ ගෙනිහින්, බිත්ති තාප්ප දිගේ
ඉහලට නංවන ඉර.....!

නොසෙල්වී නොසැලී ඉන්න
ගහක කන්දක වුනත්
හෙවනැල්ලක් හදලා
රූකඩයක් වගේ නටවන
ආකාසෙ ඈත ඉඳන්
හැමදේම හොයාන රැස් විහිදන
ඉර....!

හෙවනැල්ල කියන්නේම ස්වර්ණා...
ඉරේ රැස් වලට
අත පොව්වන්න බැරි තැන නේ ද?



(29) උණුහුමට වර්ණයක් නෑ ස්වර්ණා....

අපට කොච්චර දැනුනත්
වර්ණයකට උණුහුමකුත් නෑ ස්වර්ණා.....

උදේ ඉර පායද්දි අහස රතු වෙලා
ගිනි පුළිඟු වගේ පෙණුනත් ස්වර්ණා
ඒක අපේ ඇස් වලට දැනෙන වර්ණ එහා මෙහා වෙලා කරන
හැංගි මුත්තං සෙල්ලමක් විතරයි

රතුපාට ගින්දරයි
ගින්දර උණුසුමයි
දැන් ඉතින් සීතල මැකෙයි
අද දවස ලෙන්ගතුයි
මේ සේරම හිතිවිලි උපද්දලා
අපිව ප්රමෝදයකින් පුරවන්න
කිසිම උණුසුමක් නැති වර්ණයකට
පුළුවන් නේද ස්වර්ණා.....

ඉර බහින හවසට
වළාකුළු අගිසි වල
ඔය පේන රතුපාට
පහනක්, ගිණිමැලයක් හොයාන යන්න
උණුසුමකට තුරුළු වෙන්න ආරාධනාවක්

අකුරු වගේම තමයි ස්වර්ණා

වර්ණ කියන්නෙත් සංඥා විතරයි නේද
උණුහුම දැනෙනවා මිස
අකුරකින් ලියන්නවත්
පාටකින් පාට කරන්නවත් බෑ නේද?


(30) පැවැත්ම අත ලඟම නොපැවැත්මත් තියනවා ස්වර්ණා....

අහස හරහට රිදී කුඩු
දියමන්ති, වගේ විසිරෙන
අපේ මන්දාකිණිය මැද්දෙත්
හැම අංශුවක් අණුවක් විතරක් නෙවෙයි
සිඟිතිම සිඟිති එළිය බිංදුවක් පවා
ඇදල අරන් හංග ගන්න පුළුවන් ශුන්‍යයක්
අංගාර ආගාධයක් තියනවා ස්වර්ණා....

⁣සළකුණක් නොතියා අතුරු දහන් වීම
නොපැවතීම නම් ස්වර්ණා
ඔය තරු පොකුර පවතින්නේත්
නොපැවතීම පවතින නිසා නේ ද?

හැම තැනම එහෙමයි ස්වර්ණා...

හැම මන්දාකිණියකම, ඔය පේන
සෑම තාරකා පොකුරකම
නැංගුරම ගිලිලා තියෙන්නේ
අංගාර ආගාධයක පතුලේ....

නොපෙනෙන දේවල් දකින එක
ශාපයක් තමයි...

ඒත් ස්වර්ණා....
පෙනෙන දේවල්
නොදකින එක

ඊට වඩා ශාපයක් නේද?


(31) ප්රතිඵලය ප්රමාණය අනුවයි ස්වර්ණා....

මහා ගිණි ජාලාවකට
වැටෙන වතුර බිංදුවක්
වාෂ්ප වෙනවා වුනාට
මහා ජල කඳකට පුළුවනි
ඔය ගින්න නිවන්න

බුබුලක්, උල්පතක්
කඳුරක්, දොලක්
ඇල්ලක්, ඇලක්, ගංගාවක්.....

නිකම්ම ගල් පව්වක
තෙතමනය රඳවන
දිය සීරාවකට වඩා
කොච්චර වෙනස් ද?

ඒත් වතුරම නේද ?
ප්රතිඵලය ප්රමාණය අනුවයි ස්වර්ණා.....

හඬක්.... සුවඳක්....
මතකයක් වුණත්
එහෙමම තමයි

ගිගුම් දෙන හිනාවල් අස්සේ හැංගුණු
සියුමැලි කෙඳිරිලි හිනාවකට

නොයෙක් විලවුන් සුවඳ අස්සෙන් ගලන
හීන් මල් සුවඳකට

චිත්ර පටි වගේ දිගෑරෙන මතක අස්සේ
නැවතිලා බලාන ඉන්න ඇස් දෙකක මතකයකට

පුළුවන් නේද ස්වර්ණා.....

ජීවිතේම වාෂ්ප කරවන්න....!

(32) හැම ක්රියාවකටම ප්රතික්රියාවක් තියෙනවා තමයි ස්වර්ණා.....

ඒත් ප්රතික්රියාව දිහා බලලා
ක්රියාව හිතා ගන්නෙක
නිවැරදි නෑ නේ ද?

හුළඟට ගස්වල
කොළ ගිලිහිලා වැටෙනවා තමයි
ඒත් වැටෙන හැම කොළයකම වගකීම
හුළඟටම බාර දෙන එක හරි ද?

අහස තරු වියනක් වුනාට ස්වර්ණා
වියනකට තරු අලවලා
අහසක්ය හිතන එක
වැරදියි නේ ද?

පිහාටුවක් හැලෙන්නේ
කුරුල්ලෙකුගෙන් තමයි
ඒත් පිහාටුවක් වැටුනු හැමතැනකටම
කුරුල්ලෙක් එන්නම ඕන ද?

මුහුදටත් වහිනවා ස්වර්ණා

ඔය පිරෙන වතුර
ගංගාවකම ගලා එන්න
උවමනා නෑ නේ ද?


(33) සීතලය කියන්නේ ස්වර්ණා.... උණුසුමක් නැති කම නේ ද?

සීතලට උණුහුමට වගේ
විහිදෙන්න, පැතිරෙන්න,
දුවන්න, පනින්න
බෑ නේද ස්වර්ණා.....!

ඇත්තටම හිතුවොත් ස්වර්ණා
උණුහුමට හීතල මැරෙන්නේ නෑ
වැහෙනවා නොපෙනෙනවා විතරයි.

ඒ උණුහුමට යටින්
අර මරණීය සීතල
පණ ගගහා බලා ඉන්නවා....

ඒක හැංගි මුත්තං සෙල්ලං කරනවා...

උණුහුම ඩිංගකට නිදාගත්තත්
සීතල... හිනාවෙලා අත් දික් කරනවා....

ඒක එයාගේ වරදකුත් නෙවෙයි ස්වර්ණා....
සීතල තමයි සත්‍යයය....
වෙනස් නොවෙන නියතය....
සදාකාලිකත්වය....
පැවැත්ම.....

පටන් ගැන්ම සහ නැවතීම

උණුහුම තමයි වෙනස....
පරිවර්තනය...
දැඟලිල්ල....
නොනැවතිල්ල....
තනි වචනෙකින් කිව්වොත් ස්වර්ණා....

ජීවිතය....!
පොළවටම කකුල් ඇලවිලා
ගල්වෙලා ඉඳිද්දිත්....
අමාරුවෙන් ඔළුව හරවලා
අත් දික්කරලා....

උණුසුමක් හොයන්නේ ඒක නේ ද?

(34) වෙරළක් කියන්නේත් කුඩු කුඩු වෙච්ච කන්දක් ස්වර්ණා

ලෝ දියෙන් ඉපදිලා
මහ පොළව දෙබෑ කරගෙන මතුවෙලා
අහසෙ වළාකුළු වලට
හිස පොවපු කන්දක්...

මහා අයිස් යුගයක
ගලාගෙන ගිය ග්ලැසියර
කොනිත්තලා හූරලා
කොණහලා අරන් එන්නැති

කල්ප ගාණක් වැස්ස
අත ගගා අත ගගා
පුංචි කුඩු කුඩු
දිය කරන් එන්නැති

සුළි නැගෙන කුණාටු
හොලවලා හප්පලා
කඩා බිඳ විසුරලා
දූවිලිව ගෙනෙන්නැති

කොහොම කොහොමින් ආවත් ස්වර්ණා...
ගණන් නැති වැලිකැට වෙලා
යටිපතුල් අත ගගා සනසන
ඔය සිනිඳු සුදු වැල්ල

කුඩු කුඩු වෙච්ච කන්දක්....!

No comments:

Post a Comment

Blogroll

About