නවසිය හැත්තෑ නවය වූ කලී, මගේ සරසවි දිවියේ අවසාන අධ්‍යයන වර්ෂයය. ඒ වසර පුරා කල කී දෑ කුරුටු අකුරු වලින් සටහන් වූ දින පොත අදටත් මා සතුව තිබෙයි. එහි මැයි මස හයවෙනිදා පිටුව පුරා ලියැවී ඇත්තේ වසන්ත කුමාර කොබවක ගේ කවි පෙලකි.
ශිල්ප සොඳින් දැන ගන්න ගිහින් උඹ
යහතින් දෝ පේරාදෙණියේ
ඉන්න නොවෙයි මියැදෙන්න දුකයි මට
උඹ නැති හින්දා අද තනියේ
බංකු කොණේ උඹ දැක්කද නංගෝ
තුරුළු වෙලා ඉන්නා ජෝඩූ
රංචු මිසක තනියෙන්ම නොයන්නේ
සිදාදියට උඹ කිරි කෝඩු
නාමල් සුවදක් වෙනදා වාගේ
අද නෑ නොවැ අපෙ ගම් පැත්තේ
නාමල් සුවඳට බඹරු ඇදේදෝ
උඹ ඉඳිනා කල මල් වත්තේ
කොබා සරසවි ආවේ නවසිය හැත්තෑ අටේ නැවේය. මේ කාලය වෙද්දී නා නා විධ හේතූන් මත ලියන කියන දෑ බෙදාගන්නට තරම් වූ ලෙංගතු කමක් අප අතර ගොඩනැගී තිබුණේය. මේ කවි පංතිය මගේ දිනපොතේ ලියවෙන්නේ, කොබා ඒ පද වැල ලියාගෙන ඇවිත් එදා නවකලා ගාරය අහල සිමෙන්ති බංකුවක් උඩ මා සමග එ් ගැන කතාබහ කරන අතර තුරය. පසු දවසක, පේරාදෙණිය කොලොම් පුරේ වී, සුනිල් එදිරිසිංහයන් හඬින් ගැයෙන්නේ මේ පද වැලය. ඉතින් මේ සටහන ලියවෙන්නේ මේ අකුරු පිටිපස්සේ කතාව කොබාම වචන කරන පහල අවුණා ඇති වීඩියෝ සටහන යූ ටියුබ් අඩවියෙන් දැක ඇවිස්සුණු මතකය නවතා තබන්නටය.
ඒ දවස් සරසවි පෙරදිග සංගීත සංගමය වෙසක් බැති ගී පුරුදු පුහුණු වෙන දවස් විය. ඒ අවුරුද්දේ බැති ගී සමූහයට කොබාගේ දායකත්වය නොඅඩුව ලැබී තිබුණි. මගේ දින පොතේ සටහන් අතර නැවතී ඇති මේ පද අතර, කොබවක ගේ බුහුටි පද ගැලපුම් වල අපූර්වත්වයෙන් අපේ සිත් වශීවූ ඒ දවස්වල වෑහුණු සුවඳ තවමත් මම විඳිමි.
හඹා දුවන ලෝ සත වෙත යොමා නිවන් පුර මං පෙත
යලිත් වඩිනු මැනවි මෙදෙස ගෝතම බුදු පියා ණනි
ඉන්ද්‍රචාපයයි මට ඔබ චන්ද්‍ර බිම්බයයි මට ඔබ
ඔබ මුදු සිරිපා සෙවනත දූලි රලක් වෙමි අද මම
යලිත් වඩිනු මැනවි මෙදෙස ගෝතම බුදු පියාණනි
තූර්ය රාවයෙන් පුදනෙමි වීර්ය පාරමී පුදනට
ආර්ය මහ සඟුන් සේ මතු කසාවත් පිදුම ලබනට
අදත් වඩිනු මැනවි මෙදෙස ගෝතම බුදු පියාණනි.
මේ සියල්ලට වඩා කොබා ගේ නිරහංකාර කමත්, අව්‍යාජ මිතුරු සිනහවත් අදටත් සෙනෙහසින් අපේ සිත් වල රැඳී තිබෙයි. මෑත කාලයකදී හමුවී කතා බහ කරන්නට, අවකාශයක් නොලදත්, ජීවිතය නම්වූ මතක සාගරයේ මේ මතක බිඳු, පෙණ කැටිතිව තවමත් මද සිනා නංවමින් තිබෙයි.
හමුවන පැය දියවෙලා
මියැදී යන හිතිවිල්ලක
හෙට දිනයක ප්‍රාර්ථනා
ඉපදී සිත නලියන මුත්
එක්වන දින නොපෙනෙනා
මේඝ වලා වියන් යටින් - කනේරු මල් පීදිලා
කොපුල් තලා පොපියන මුත් - මන්දාරම ඉහිරිලා
වැහි පින්නේ පා ගොළුවී
හමුවන පැය දියවෙලා
පෑල වියට නෙතු හමුවී - පෝය හතක් ගතවෙලා
හීන රඳන් උන්නා මිස - කාලය ඇත පියඹලා
වියපත් මේ කුළු දුහුලක
සිකුරු තරුව සැඟවිලා
- වසන්ත කුමාර කොබවක
(1979 ජූනි 4 දා මගේ දින පොතේ සටහන)
[කොබවක ගේ සේයා රුව දයාන් විතාරණ ගේ මුහුණු පොත් පිටුවෙනි]
No comments:
Post a Comment