ඇහේ වැදෙනා කඳු තරම් සාධක
නොදැක්කා සේ හිඳිමි
නේක සාධාරණ තර්කයන්
නෑසූනා සේ හිඳිමි
අවිශ්වාසය පාපීය !
කෙඳි තරම් ප්‍රේමයේ සළකුණු
පුන පුනා සිහිකරමි
හදවතේ මැද කඳු තරම් ගොඩ ගසමි
ඇදහිල්ල නොසෙල්වෙන සුළුය !
අපහැදිලි ස්වප්නමය හේතුමත
රහස් හිස්ටීරියාවක ගිලෙමි
මදහසක මැද්දෑවෙ කඳුළු වගුරා හඩමි!
ප්‍රාතිහාර්යයක සළකුණු සොයා වෙහෙසෙමි!
නිමක් නැති මුඩු වියළි නිම්නයක
නමක් නැති දනව්වක වන්දනාවක යමි!
සුපිපි මල් සියක් මිලියනක් මැද
සිහිනයකදී වෙහෙසින් නිවෙමි!
ඔබේ ප්‍රේමය
මිහිරි මිත්‍යාදෘෂ්ටියක් වන විට
මේ උමතු වෘතයෙන්
මිදෙන'යුරු නොදනිමි!
ඔබ හදවතින් ගෙන මම තනිව ඇවිදිමි!
සංසාර මාවතේ දිග නොසළකා හරිමි!
වින්ද්‍යාගේ මුහුණු පොතේ සටහනට
No comments:
Post a Comment