Friday, March 1, 2019

ඩාලිං ගේ රෝස මල

Share it Please



කොණ්ඩේ රළින් රළ පීරා මුදුන් කර
මල් පටියෙන් බැඳලා
කෝ මගෙ ඩාලින්... කෝ මගෙ ඩාලින්
මං දුන්නු රෝස මල....
මම්මාට බය වී
පප්පාට බය වී
මූදට වීසි කලා
මූදේ රළින් රළ
නැග එන මහ රළ
ඒ මල ගිල ගත්තා
මල මගෙ නොවෙමයි
ඩාලිං මගෙමයි
මට ඕනැ ඩාලිං තමයි....!
අපේ තාත්තා කලා කාමියෙකි. ඉහතින් එහෙන් මෙහෙන් මට මතක තියන තරමින් ලියා ඇති ඩාලිං ගේ රෝස මලේ සිංදුව, එයා ඉඳ හිට කියන නූර්ති සිංදුවකි. ඉඳ හිටය කියන්නේ සිංදු කියන වැඩේට කෑම බීමත් සර්පිනාවක් හෙමත් එක්ක කාණ්ඩයක් සැදී පැහැදුනු වෙලාවට ය.

හොඳටම සැදී පැහැදී තාත්තා මේ සිංදුව සර්පිනා සංගීතයත් එක්ක කියනවා මට අන්තිමට අහන්නට ලැබුණේ රස්සාවට එතනෝල් නිෂ්පාදනය කරන එක්කෙනෙකුගේ ගෙදරක තිබුණු සාජ්ජයක දීය. සර්පිනාව ගැහුවේ බාත් ඛණ්ඩේ උපාධි කාරයෙක් වූ ද, ඒ කාලේ අපේ ඉස්කෝලේ සංගීත ආචාර්ය වරයා වූ ද, සිතාර් වාදක, ජස්ටින් සිල්වා මහත්තයාය. ඩොල්කිය ගහන්නත්, මේස හැඳි තට්ටු කරන්නත් තවත් දෙන්නෙක් සිටියෝය...

සිංදුව මොන නූර්තියේ ද නොදනිමි. ඒත් කතාව යුනිවර්සල් ය. කොල්ලා ආසාවෙන් ගෙනත් දුන්නු රෝස මල, ඩාලිං ගේ අතේ නැත. මම්මා පප්පා ගේ උදහසට, කොල්ලාගේ චිත්ත ප්‍රීතිය යටය. මල රළට බිලිය. ඒත් ඉතින් හිත හදා ගන්නවා ඇරෙන්න මේ වෙලාවේ කොල්ලාට කරන්නට අන් කිසිවක් නැත.

රෝස මලේ පෙතිවත් පේන්නට නැතත්, මෝඩ කතාවක් දෙකක් කියා හැමෝම ලජ්ජා කෙරුවත්.... අවුරුද්දකට ඉස්සරින් දවසක, මූදු රැල්ල දිගේ පීනා ගෙන ආ, අළුත් ඩාලිං ගැන රටේ ජනතාව තියාපු බලාපොරොත්තුව තාම බිංදුවටම බැහැලා නැතිය කියා මට තාමත් හිතේ.

[රෝස මල ලුණුගලිනි. අපේ නැන්දම්මාගේ ගෙවත්තෙනි.]

January 6, 2016

3 comments:

  1. "ඩාලිං ගෙ රෝසමල"
    කියවගෙන යනකොට
    අහම්බෙන් නෙත ගැටුනි
    පරණ පෝස්ට්ටුවක ට

    ඒකෙ නම
    "පුංචි කාලේ
    මොරටු වැල්ලේ..."

    මට මතක හැටියට
    ඔන්චිල්ලෙ නැලඋනේ
    මාධබී මුකර්ජි යි
    රායි සිනමා පටය
    "චාරුලතා" නම්වූ


    ReplyDelete
    Replies
    1. තුති. ඔව් රායිගේ චාරුලතා.
      https://youtu.be/SVuZLVrPq98?t=2882

      Delete
  2. කවුද අලුත් ඩාලිං, ජස්ටින් ටෲඩෝ ද?

    ReplyDelete

Blogroll

About