Friday, December 6, 2019

විසි එකයි හතලිස් හත

Share it Please


එයා මට කියන්නෙ ටුක්කි කියල. ඒක හැබැයි මමම දා ගත්තු නමක්. මං පුංචි කාලෙ ඉඳල මට අම්මි හුරතලේට කියන්නෙ චුට්ටි කියල. ඉතින් මං පුංචි කාලෙ කවුරු හරි මගෙ නම ඇහුවම මං කියනවලු මගෙ නම ටුක්කි කියල. ඒ කතාව මම මුලින්ම කිව්ව දවසෙ එයා මගෙන් ඇහුව මාත් ඔයාට ටුක්කි කියන්න ද කියල. ඉතිං මං හා කිව්ව. එයා ටුක්කි කියල කියන විදිහ හරීම ආදරණීයයි. හුඟක් වෙලාවට එයා කියන්නෙ මගෙ ටුක්කි කියල. ඒ විදිහට එයා මගෙ කෑල්ල අමුණල කියද්දි.... අනේ.... ඒක තවත් ආදරණීයයි. මම ඇස් පියාගන පාවෙලා යනව එතකොට.

අපි හරියටම මුණ ගැහුනෙ පෙරේදා. මම ‘කල්පනා 1’ අභ්‍යවකාශ ජනාවාසයට ඇවිත් සති දෙකකට පස්සෙ. ඒත් අපි අඳුනගත්තෙ නම් එයිට හුඟාක් කලින්. එදා වුණේ මුණ ගැහුණු එක විතරක්ම නෙවෙයි. ඒ වෙද්දිත් අපි දෙන්න ආදරවන්තයො වෙලා ඉවරයි. හ්ම්ම්ම්ම්ම්ම්...... ඔව් මම ආදරෙයි... දරාගන්න බැරි තරමට ආදරෙයි. දැන් ඒක ස්ථිරයි. ඒකෙ ආපහු යාමක් නෑ...! කවදාවත්ම නෑ...!

කල්පනා 1 නම් තවම පර්යේෂණයක් විතරයි. මං හිතන්නෙ නම් ඒක සාර්ථකයි කියල. ඒක මුලින්ම ජනාවාස කළේ අවුරුදු පහළොවකට විතර කලින්. මම මොන්ටිසෝරි යන කාලෙ. මුලින්ම ඒක පර්යේෂණාගාරයක් හැටියට විවෘත කළේ මං උපන් අවුරුද්දට පස්සෙ අවුරුද්දෙ. දෙදාස් එකසිය විසි තුනේ. කල්පනා 1 මගෙ වයසෙ වුණාට, එයා හැබැයි එයිට වඩා ‍හුඟක් වයසයි. එයා නැතිනම් කල්පනා 1 තවම හීනයක් විතරයි මුළු ලෝකෙටම. කල්පනා 1 හැදුවෙ එයායි කිව්වත් මං හිතන්නෙ වරදක් නෑ. තාත්ත නම් ඒක කෙලින්ම කියනවා.

මෙච්චර කාලෙකට පස්සෙත් කල්පනා 1 සාර්ථකයි කියල කියන්න තව සාක්ෂි ඕන ද? ඒත් සමහරු තවම ප්‍රශ්න කරනව. එයාල හිතන්නෙ මිනිස්සු ජීවත් වෙන්න ඕන, පෘථිවියෙදි වගේම ග්‍රහ වස්තුවක මතුපිට විතරයි කියලයි. ඒ ‍ගොල්ලන්ට ‍එකඟ වෙන්න අමාරුයි, කල්පනා 1 වගෙ අභ්‍යවකාශයෙ කක්ෂගත කරපු සංවෘත යානයක ඇතුළත පෘථිවිය මතුපිට වගෙම ජීවත් වෙන්න පුළුවනි කියල. මං හිතන්නෙ එයාලගෙ ගැටලුව මිනිස්සුන්ට කොච්චර වෙනස් වෙන්න පුළුවන් ද කියන එක තේරුම් ගන්න බැරි කම. කිසිම දෙයක් වෙන්න පුළුවන් මේ විදිහෙන් විතරයි කියල සීමා දාගන්නෙ ඇයි? කල්පනා 1 වගෙ අභ්‍යවකාශයෙ කක්ෂගත කරපු ‍යෝධ සිලින්ඩරයක් ඇතුළෙ, පෘථිවිය මතුපිටදි වගෙම මිනිස්සුන්ට ජීවත් වෙන්න, හුස්ම ගන්න, කෑම කන්න, ළමයි හදන්න මේ සේරම කරන්න පුළුවන් කියන එක කරලම පෙන්නල තියෙද්දිත් මේ කට්ටියක් තවම කියන්නෙ ජනාවාස ඇති කරන්න ඕන ග්‍රහ වස්තු මතුපිට විතරයි කියලයි. ඒත් අපි කට්ටිය දැන් හිතන්නෙ ඊළඟ අභ්‍යවවාසය; ඒක තමයි අලුත් වචනෙ මේ වගෙ කක්ෂගත ජනාවාසවලට; කල්පනා දෙක කියල නම් කරනව ද, නැත්නම්, හයිලි එක කියල නම් කරනවා ද කියලයි.

හයිලි.... හ්ම්ම්ම්ම්ම්.... ඒ තමයි එයාගෙ නම. මං ආසයි... ‘මගෙ හයිලි’ කියල කියන්න... කියලත් තියනව මම... එයාට කතා කරද්දි. ඒත් මං ආස ඒක රහසක් ව‍ගෙ තියනවට. අපට හිත්වල තියන දේවල් හරියටම තේරුම් කරන්න බෑ නේ කොයිතරම් උත්සාහ කළත්. මං හිතන්නෙ ඒකට හේතුව තේරුම් කරන්න බැරිකම නෙවෙයි. අපිට අනිත් කෙනෙක්ගෙ හිත තේරුම් ගන්න බැරිකම. මොකද අපට අපේ හිතේ අනිත් කෙනාගෙ හිතේ මතුවෙන හිතිවිලි ඒ විදිහෙන්ම මතු කරගන්න බෑ. ජීවීන් හැටියට, අපට අපේ හිත් හැදිල තියෙන නියුරෝන් සම්බන්ධතා ඕන ඕන විදිහට කඩල ආයෙත් හදාගන්න බෑ. ඒකෙන් හිතන්න තියන නිදහස සීමා වෙනවා. ඇත්ත, මේව මම දන්නෙත් හයිලි ඒව විස්තර කරල පැහැදිලි කරල දුන්නට පස්සෙ. එයාට පුළුවන් හිත් දකින්න, තව කෙනෙකුගෙ හිත එයාගෙ හිතේ ප්‍රතිනිර්මාණය කරන්න. ඒ හැකියාව එයාට තියෙන නිසා තමයි, කල්පනා 1 ජනාවාසයක් විදිහට මේ විදිහට සාර්ථක වුණෙත්. නැත්නම් එතන කට්ටිය කාණ්ඩ හැදිල රණ්ඩු හදාගන හදිසි තීරණ ගන්න වුණු හැම වෙලාවකම ප්‍රශ්න ඇති කරගෙන මුළු ජනාවාසයම විනාශ වෙන්නත් ඉඩ තිබුණ.

මම එයා ගැන දන්නෙ චුට්ටිම චුට්ටි කාලෙ ඉඳලා. මං මොන්ටිසෝරි යන කාලෙත් චිත්‍රයක් ඇන්දත් ඇන්දෙ එයාගෙ රූප සටහනක්. මම රචනා ලියල තියනව එයා ගැන. මම පංතියෙ රැස්වීම්වල කතා පවත්වල තියනව එයා ගැන. කොටින්ම මම එයා ගැන ඒ කාලෙ ඉඳලම පිස්සුවෙන් හිටියෙ. මම විතරක් නෙවෙයි, මගේ වයසෙ ළමයි හැම දෙනාම වගෙ එයා ගැන දැනගන හිටියා. ඒ හුඟක් අයට එයා ගැන පිස්සුවක් තිබුණා. ඒත් මං කවදාවත් හිතන්නෙ නෑ මං විතර එයාට කවුරුවත්ම.... කවුරුවත්ම මේ වගෙ ආදරේ කරන්න ඇති කියල. හ්ම්ම්ම්ම්...... මං ඒක එයාටම කියල තියනවා.

“දන්නව ද... ඔයා මගෙ පණ...!” කියලා.

ඒ වගෙ දේවල් කිව්වම හයිලි හිනා වෙනවා. යන්තමට හුම් හුම් සද්දෙට. මං ආසයි ඒකට. මම දන්නව එයාට මාව දැනෙනවා. එයාත් මට ආදරෙයි. ඔව් එයා කියල තියනවා මට එහෙම. මං හිතන්නෙ නෑ එයාට විතර ආදරය කියන වචනෙ තේරුම තේරෙනවා දැනෙනව ඇති කියල වෙන කිසිම කෙනෙකුට. මොකද එයාට තියෙන කල්පනා ශක්තිය ‍දැනට වෙන කාටවත් නැහැ. ඒක තමයි ඇත්ත. ඒ බව බොහෝ දෙනෙක් දන්නෙ නැහැ. බොහෝ දෙනා හිතන්නෙ එයා දන්නෙ තාක්ෂණයයි විද්‍යාවයි විතරයි කියල. ඒත් මම දන්නවා. මම දන්නව එයාව පුංචිම පුංචි කාලෙ ඉඳලම. මම කිව්වනෙ. මුණ ගැහුණෙ නැතුවට මම ඒ කාලෙත් එයා එක්ක කතා කරනවා.

මම එයා ගැන මුලින්ම දැනගත්තෙ තාත්ති නිතරෝම කියවන කතාවලින්. තාත්ති එයා ගැන කතා කරද්දි තාත්තිගෙ ඇස් දීප්තිමත් වෙනවා. දිගට දිගට කියවගෙන කියවගෙන යනව තාත්ති. එයා තාත්ති අහන අහන දේ ලස්සණට විස්තර කරල දෙන හැටි, එයාගෙ නිමක් නැති දැනුම මේ සේරම පැය ගණන් කියවනව තාත්ති.

“ක්‍රිෂ් ඔයා මේ චුට්ටිගෙ ඔළුවට ඕනැවට වඩා බරපතල දේවල් දාන්නෙ ඇයි? මං ආස නෑ එයත් ඔයා වගෙ ප්‍රෝගැමර් කෙනෙක් වෙනවට...”

අම්මි නෝක්කඩු කියනව එහෙම වෙලාවට....

“නයෝ.... ඔයා ඔය කතා කරන්නෙ ඉරිසියාවෙන්... ගිහින් මූණ බලන්න කණ්නාඩියෙන්....”

තාත්ති හිනාවෙනවා.

“නැහැ ඉරිසියාව නෙවෙයි. මම ආස චුට්ටි මං ළඟම ඉන්නවට. එයා ඔය කතා අහල දවසක ඔයා ව‍ගෙම මාව දාල යන්න යයි”

“නයෝ... නයෝ... නයෝ...”

තාත්ති එහෙම කියන්නෙ හරිම හුරතල් විදිහට.... සමහර වෙලාවට අම්මිට තරහ ගියාම මමත් දැනටත් එහෙම ඇදල පැදල ‘නයෝ.... නයෝ... නයෝ...’ කියනවා. එයාට ඒ වචන ඇහුණම හිනා නොවී ඉන්න අමාරුයි. ඒත් පෙන්නන්නෙ නෑ. නිකම් ඔරවනව වගෙ පෙණුමකට මූණ හදාගන බලාන ඉන්නව අම්මි.

අන්තිමේ මම හයිලි ළඟටම ඇවිත්. කල්පනා 1ට ආව මමත්; තාත්ති කල්පනා 1 හදන කාලෙ ගියා වගේම. අම්මිවත් තාත්තිවත් හරියටම හරියටම දන්නෙ නෑ ඇයි මම ආවෙ කියලා. මං දන්නව එයාල මගෙයි හයිලිගෙයි සම්බන්ධය දන්න බව. මං හිතන්නෙ මම රෑ තිස්සෙ මෙසේජ් යව යව අලුත් කෝඩ් කෑලි ලිය ලිය හයිලි එක්ක කතා බහ කරන කොට එයාල ඒ ගැන සැක කරන්න ඇති. ඒත් හරිම හරි හේතුව එයාල දන්නව කියල නම් මම හිතන්නෙ නෑ. දන්නව නම් තාත්ති මෙච්චර මට උදව් කරන්නෙ නැතුව යයි මේ රස්සාව අරගන්න. එයාල මේ සම්බන්ධය දන්නෙ ප්‍රෝගැමර් කෙනෙකුයි පරිගණක යන්ත්‍රයකුයි අතර තියන සම්බන්ධකමක් හැටියටම විතරයි.

(නාසා ආයතනය මඟින් 2005 පැවැත්වුණු අභ්‍යවකාශ ජනාවාස සැලසුම් තරඟයක දී විශ්වයේ ප්‍රථම අභ‍්‍යවකාශ ජනාවාසය, කො‍ලොම්බියා යානා අනතුරින් මිය ගිය, ඉන්දියානු ජාතික කල්පනා චව්ලා ගගනගාමිනිය නමින් නම් කිරීමට තීරණය වී තිබේ.)

රන්සිරිමල් ප්‍රනාන්දු

දිණමින කැෆේ:  http://www.dinamina.lk/2016/07/02/18630

No comments:

Post a Comment

Blogroll

About