Tissa Dodangoda "හෙරළි බතල ටික නුපුරුදුවම්මා - බඩගින්නේ සිංහලයා"ටියුඩර් සුබසිංහ රාළහාමි ඒ වනවිට සඳලංකාවේ 'භාරත සංගීත සමාජය' නම් ආයතනයක් පවත්වාගෙන යමින් සිටියේය. එහි අරමුණ වූයේ ඒ ප්‍රදේශයේ සිටින්නාවූ කලාකරුවන්ගේ කුසලතා දියුණු කර ගැනීමට අතහිත දීමයි. එහි සංගීත උපදේශකවරයා වූයේ ලංකා ගාන්ධර්ව සභාවෙන් ශාස්ත්‍රීය සංගීතය හදාල සිංහල පුහුණු ගුරුවරයෙකු වූ ජේ කේ එස් පෙරේරා මහතාය. ව්‍යාපාරිකයෙකු මානින්ගමුවේ සිරිවර්ධන රාළහාමි, විදුහල්පතිවරයෙකු වූ ඒ. විජයසිංහ ආදීහුද ඊට සම්බන්ධ වී සිටියහ. "එඩ්වින් සමරදිවාකර" පිළිබඳ ආරංචිය දැනගත් ටියුඩර් සුබසිංහ, ජේ කේ ඒස් පෙරේරා ද කැටුව කටානට ගියේය. සමරදිවාකර නිවස පිහිටා තිබුණේ කටානේ හල්පේ මීසම තුලය. සමරදිවාකර සොයාගැනීම පිලිබඳ මේ සිද්ධිය සුබසිංහ රාළහාමි විසින් 1961 පළකල "ගුණසමර" නැමැති සමරදිවාකර සමරු කලාපයට වාර්ථා කර තිබූණේ මෙපරිද්දෙනි "...............සංගීත භාණ්ඩ නිෂ්පාදනය හා තන්ත්‍රී භාණ්ඩ වාදනය අතින් දක්ෂ ගැටවරයෙකු කටාන නම් ගමේ සිටින බව ප්‍රසිද්ධ සගීතඥයකු මාර්ගයෙන් දැනගන්නට ලැබී දවසක් ඔහු මුණ ගැසීමේ වාසනාව ලදිමි. මොහුගේ ගෙට ගොඩ වැදුණු විගසම මට හැඟුනේ ගෘහ භාණ්ඩ කර්මාන්ත ශාලාවකට ගියා මෙනි. අපට පලමුවෙන් හමුවූයේ ඔහුගේ පියාය. එතුමා මගින් මේ තරුණයා හැඳිනගෙන කථාවට වැටුණු අපට මොහු උපන් සංගීතඥයෙකු බව මොහොතකින් වැටහුණි. ඕනෑම භාණ්ඩයක් වාදනය කළ හැකි වුවත් ශාස්ත්‍රීය අතින් ස රි ග ම ප ධ නි වත් තමා නොදන්නා බව කීවේ අපේ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුවය. මේ ශාස්ත්‍රය දියුණු කර ගැනීමට ඔහු තුල ඇති ආශාවද ඉමහත් බව ඔහුගේ කථාවෙන් පෙනුණි. එබැවින් සංගීතය සම්බන්ධ හොඳ දැනීමක් ඇතිව නයිනමඩමේ ජේ කේ එස් පෙරේරා මහතාගේ ඇසුර ඇතිව සංගීතය පුහුණුවීම සඳහා මේ තරුණයාගේ ගෙදරම අපි වාදක මණ්ඩලයක් පටන් ගත්තෙමු...." -- ගාන්ධර්ව ආපදාන - 3: සමරදිවාකර සහ චන්ද්‍රසේන : සුනිල් ආරියරත්න --
--- Wow මෙහෙමත් අය ඉන්නවා.....!!!!! ---
නෙළුම් මල් දිය මත පිපුණ ද නෙළුම් අල මඩ යටය. පිය ගැට පෙලක ඉහල පියපෙති කාගේත් ඇස ගැටුණ ද, ඒ ඉහල පියපෙති දරා ඉන්නා පාදම පයට පෑගෙනු මිස නෙතක රැඳෙන්නේ එහෙමත් වෙලාවකය.
හිතවත් තිස්ස, මුහුණු පොතේ ලියූ ඉහත සටහන ලියා තිබුනේ, සෙලින් ඩියෝන්, සිය ගීතයක් ඉතාමත් දක්ෂ ලෙස ගැයූ පිලිපීන ජාතික දැරියක වූ චරීස් ට සිය ප්‍රසංග වේදිකාවටම පැමිණ ඇගේ ගීය ගයන්නට දුන් අවස්ථාව පිළිබඳව කෙනෙක් ලියා තිබූ සටහනකට අතුරු සටහනක් (කොමෙන්ටුවක්) ලෙසයි. එතැන ජේ. කේ. එස්. ගැන කියවුනු හැටියේම මතකයට ආයේ, මගෙ පරණ දිනපොත අස්සේ තවමත් තිබෙන ඉහලින් අවුනා ඇති තිලිණ කාඩ් පතය. මේ පුංචි සටහන ඒ නිසාය. මා අවුස්සා මේ ටික ලියවූවාට තිස්සට තුති.
නයිනාමඩමේ සෙබස්තියන් ඉස්කෝලෙ මහත්තයා හෝ ජේ.කේ.එස්. කිව්වාම කවුරුත් පාහේ දැන අඳුනන ජයසූරිය කුරණගේ සෙබස්තියන් පෙරේරා, ගැන මගේ මුල්ම මතකය ආච්චිගේ අත අල්ලාගෙන මහගෙදර පිටිපස්සේ දෙවට දිගේ නයිනාමඩමේ වික්ෂෝප පල්ලියේ සිකුරාදා නුවානයට ගිය කාලය දක්වා දිවෙයි. දේශපාලන බලය හා රාජකීයත්වය පසුපස ඇඹලයන් වූ පූජක පරපුරකට එරෙහිව අත කට ඔසවා ඒ පිනින්, කස පහර කා, කටු ඔටුණු පළඳා, කුරුසියක ඇණ ගැසී උකුත් වූ මිනිසකු, දෙවියන්ගේ පුත්‍රයායි වැඳුම් පිදුම් ලබන ක්‍රිස්තියානි ධර්මය අදහන කතෝලික පල්ලියේ, වැදගත්ම කාන්තා සංකේතය වන්නේ දේව මාතාව වූ මරියාය. ඇගේ ජීවිතයේ එක් එක් අවස්ථාවන් අලලා, එක් එක් නම් ගොත් සහිතවූ සංකේතාත්මක සිහිකිරීම් අතර, වික්ෂෝප මෑණියෝ, කුරිසියෙන් ගැලවූ සිය පුතුගේ මළ සිරුර උකුලත හොවා වැලපෙන මවගේ කම්පාව සංකේත කරති. ඕ නමින් පැවැත්වෙන සිකුරාදා නුවානයට මුළු ගමම මතු නොව අහල පහල ගම් රැසකිනුත් නයිනාමඩමේ පල්ලිය පිරීයයි. පල්ලියේ යැදුම යැදුමකට වඩා ගැයුමකි. කන්තාරු කණ්ඩායමත්, ඕගන් එක අහල වාඩි වූ ඉස්කෝලෙ මහත්තයාත් ඒ ගැයුමේම කොටසකි.
දයා ප්‍රේමය ඇති තැන
දෙවියෝ වැඩ වසනු ඇත
කිතු තුමන්ගේ ප්‍රේමයෙන් අපි සැමදෙන එක්වෙමු
එතුමන් තුල ප්‍රීතියෙන් සතුටු වන්නෙමු
ජීවමාන දෙව් තුමනට හදබැති පෙම් දක්වමූ
අවංකවූ හෘදයෙන් එකිනෙකාට ප්‍රේම කරමු
දයා ප්‍රේමය ඇති තැන
දෙවියෝ වැඩ වසනු ඇත
අපි කිසියම් තැනකට එක්තැන් වී සිටිමුද
එක් සිත් වී සිටිනට ප්‍රවේශම් වෙමු
සන්ඩු දබර නඩු හබ නොව සාමයෙන් ජීවත් වෙමු
කිතු සමිඳාණන් නිතින්
අප වෙතටම කැඳව ගනිමු
යැයි විහිදෙන ගීතිකාව මා දන්නා තරමින් නම් නොගැයෙන පල්ලියක් තියෙන්නට නොහැකිය. ඒ ජේ.කේ.එස් ම කියන හැටියට ගීතිකාවක් වෙනුවෙන් කෙරුණු ඔහුගේ පළමු තනු පබැඳුමයි. තාත්තාගේ අඩිපාරේම යන ලාල් පෙරේරා යූ ටියුබයට එක්කල මේ වීඩියෝවේ ඉස්කෝලෙ මහත්තයාගේ සංගීත ජීවිතයේ අඩිතාලම ගැන ඔහුම කතා කරයි.
අපේ රටේ කතෝලික පල්ලියේ සිංහල ගීත සාහිත්‍යය ඇරඹෙන්නේ එක්දහස් හයසිය අසූ අනූ ගණන්වල ජුසේ වාස් පියතුමාගේ හා ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමන්ගේ දහම් සේවයේ සිට බව පෙනෙයි. එසේ වුව ද, කතෝලික වත් පිලිවෙත් තුලට දේශීය ගැයුම් වැයුම් මෙන්ම සිරිත් විරිත් ද හරියාකාරවම එකමුතු වන්නේ, 1958 විසිතුන්වන ජුවාම් නමින් පාප් පදවි ප්‍රාප්ත වන ආන්ජලෝ රොන්කල්ලි අතින් 1962 දී ඇරඹෙන දෙවන වතිකානු සමුළුව විසින්, එතෙක් ලතින් බසින් පැවතුනු දේව මෙහෙයයන් හා යැදුම් දේශීය භාෂාවන්ගෙන් පවත්වන්නට ගන්නා තීරණයත් සමගය.
මේ පරිවර්තන අවධියේ, ලාංකිය කතෝලික පල්ලිය තුල ඇතිවූ දේශීයකරණය තුල ජේ.කේ.එස්. පෙරේරාගේ දායකත්වය නිරනුමානයෙන්ම සැමරෙයි. නයිනාමඩමේ පාස්කුව, 'ගොල්ගොතා' හි සංගීතය මෙහෙයවුනේත්, පාප් තුමන් පැමිණීමේ තේමා ගීතය තනු ගැන්වුනේත් ජේ.කේ.එස්. අතිනි. සුදොවුත් බවට එසැවුණු, ජුසේවාස් පියනමගේ වන්දනා ගීතය ද නිමවන්නේ ඔහු අතිනි. මේ සියල්ලට වඩා ඉහලින් ඇත්තේ, පාසලේත්, පල්ලියේත්, ගමේත්, ගෙදරත්, ඔහු අතින් ස්වර සත වනපොත් තැබුණු, ගෝල පරපුරයැයි මම සිතමි. සංගීතය හදවතින් පැන නැගෙන හද බැඳි දෙයක් වගත්, උස් පහත්, ධනවත් දුප්පත් භේද අතර නොබෙදුනක් බවත් කතාවෙන් නොව ක්‍රියාවෙන් පෙන්වන්නට ඉටා ගත්තන් අප අතරත් ඉන්නා වග ගුරුවරයකු, සංගීතඥයකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු ලෙසද වූ ජේ.කේ.එස්.ගේ භූමිකාව තුල මම දකිමි.
කලා විභූෂණ සම්මානයෙන් පිදුනු සෙබස්තියන් ඉස්කෝලෙ මහත්තයා, දෙදාස් හතරේ අප්‍රියෙල් මාසයේ දවසක ජීවිතයෙන් සමුගත්තේය. ශුද්ධවූ ජුසේවාස් තුමන්ගේ වසර ලෙස, ලංකා කතෝලික සභාව නම්කර ඇති මේ දෙදාස් දාහත අවුරුද්ද පුරාම, ජේ.කේ.එස්. ගේ ජුසේවාස් නැමදුම් ගීය ගැයෙනු ඇත. ඒ හා යැදෙන යැදුම් තුල ඔහු පිළිබඳ මතකයන් ද අළුත්වනු ඇත.
සංගීතය ජීවමාන වන්නේ, මිනිසුන් ගැහැණුන් එක්ව ගයන ගැයුම් තුලය. එහි සෞන්දර්යය උපදින්නේත් පවතින්නේත් ඔවුන්ගේ හදවත් තුලය. තමන් ලද හැකියාව වටහාගෙන එය දල්වා පහනක්ව දිදුළුවන මිනිස්සු, මඩයට සැඟවුණු නෙළුම් අල මෙන් සැඟව සිටිය ද, පිපුණු නෙළුමේ සුවඳ තුල ඔවුන්ගේ කාර්යයේ ආනන්දය පැතිර විහිදෙයි. එවන් මිනිස්සු අප අතර කොතෙකුත් වෙති. ඇවැසිවන්නේ මදක් නැවතී, ඇස්වල දුහුවිලි පිසදමා බැලීම පමණි.
මේ අතින් මේ ඉතිහාසය අවුණා ලියා සටහන් කරන්නට මහාචාර්ය සුනිල් ආරියරත්නයන් කරන්නාවූ මෙහෙයට හිස නමා ආචාර කරමි.
දයා ප්‍රේමය ඇතිතැන දෙවියෝ වැඩ වසනු ඇත....!
ශුද්ධවූ ජුසේ වාස් නැමදුම් ගීය:
හදවතින් ගැයුණා ගීතිකාව ලිපිය කියවද්දි. මමත් ඉස්සර කන්තාරු කණ්ඩායමේ උන්නා. කොළඹට වුණාට පස්සෙ පල්ලිය සම්බන්ධ හැමදේම අතෑරුණා... දැනුවත්වම සමහර දේවල් අත්හැරියා...
ReplyDeleteඅපේ ගම්වල කන්තාරු කණ්ඩායමේ නොහිටි කෙනෙක් හොයාගන්න තරමක් අමාරුයි නේ ද? මෙතන පල්ලිය දෙවනු දෙයක් නේ. ඒක පවතින්නේත් මිනිස්සු නිසා නේ...
Deleteඇත්ත, බොහෝ වෙලාවට කියන්නේ කරන්නේ නම් ධර්මය නැත්තං මිනිස්සුත් නෑ කියලා තමා. ඒවා නම් අත් හැරිය යුතු දේවල්...!
හොඳ ලිපියක්.....අලුත් පරපුරේ ළමයි මේවා දන්නේ බොහොම අඩුවෙන්....මේවගේ විස්තර ඇතුළුව...ගීතිකාවක වටිනාකම...හරය දැනගෙන ගායනා කරන එකයි වැදගත්......පැරණි ගීතිකා තනු සහ වචන වල ඇති ගැලපීම, ගැයෙන විට දැනෙන ගම්භිර බව නව ගීතිකා වල නැත්තේ ඇයි දැයි නොදනිමි. අදටත් අර වගේ පැරණි ගීතිකා සන්ධ්‍යා මෙහෙයන් වල ගැයෙද්දී පුදුම හැඟීමක් ඇතිවන්නේ....
ReplyDeleteහැඟීම් කියන එව්වායේ රහත්, කෑම වල රහ වගේම තමයි නේ ද? මිරිස් කන්ඩ පුරුදු වෙච්ච එක්කෙනාට මිරිස් රහ නැත්තං අරහං. අපේ නෝනාට ඇඹුල් නැත්තං කිසි දේක කිසි රහක් නෑ. එව්වා එහෙම තමයි.
Deleteමේ ලිපියම අපූරුයි රන්සිරිමල් මහත්තයා..
ReplyDeleteපරිණත ලිපියක් දැන් බ්ලොග් අතර කියවන්න ලැබෙන්නෙ කලාතුරකින්
බ්ලොග් ලිපිත් දැන් "ප්‍රයිවට් බස් සින්දු" වාගේ වෙලා...
මම බොහොම කැමතියි මේ කොටසට ".....එහි සෞන්දර්යය උපදින්නේත් පවතින්නේත් ඔවුන්ගේ හදවත් තුලය.." - ඒ උද්‍යානය ලස්සනට තබාගන්න පොහොර කරන්නට උත්සාහ නොදරනා තරමටම එහි අලංකාර මල් නුපුබුදිනු ඇත...
තවත් අලංකාර රචනා කල පියනමක් ගැන - ජෝශප් මොන්තඤ්ඤොං - මම මෙතැන සටහනක් තැබුවා...
http://hadageepotha.blogspot.com/2014/10/blog-post_9.html
ඔබතුමාට බොහොම ස්තූතියි. අප මෙය සුනිල් ආරියරත්නයන්ටත් ලැබෙන්න සලස්වමු.
ජය!
තිස්ස තුති මේ සඳහනට. හද ගී පොත් ලිපිය කියවා බලන්නම්.
Delete