Showing posts with label Writings. Show all posts
Showing posts with label Writings. Show all posts

Monday, July 25, 2022

තාරකා සම්පතී ගේ කෝපි රහට කවියක්...!

 

අප ජීවිතය හඟින්නේ හිඩැස් තුලයැයි පසක් නොකල හිතක් තියෙන්නට නොහැකියැයි මට සිතෙයි. වටනේ ය, අනර්ඝය ය, හැමදාම මා අතම රැඳී තිබිය යුත්තේයැ යි, හිතට ගතට දැනුනා වූ යමක්, මොහොතකට, එකම එක නිමේෂයකට, සිතිවිල්ලකින් හෝ ස්පර්ශ කරවූ ඇසිල්ලක දැනුනු ආද්ලාහයෙන්, ආයාසයෙන් මෙන්ම බොහෝවිට අනායාසයෙනුත්, නැවත නැවතත් පිරවෙන නමුත්, සදාකාලිකවම හිඩැස් සේ පවතින බොහෝ තැන් අපේ හිත්වල තිබේ. තරමක් සියුම්ව කල්පනා කලහොත්, අතීතයය කියන්නේම, සිඳී වියලිව වාලුකාවක් වූ බිමක මනසින් මවාගනු ලබන සයුරක නැගෙන දියරලම නොවේ ද? පසුකර ආ අතීතය හා සසඳන විට, ඉතිරිව ඇති අනාගතය සොච්චම් මඩ කඩිත්තක්ව පෙනෙන වයසක සිටින මා වැන්නෙකුට මේ නිස්සාරත්වය වඩාත් තීව්‍රව දැනෙන්නේය සිතමි.

 අප ළමා ලපටි සමයේ, බොරලැස්සය කිව්වේ, මහම්මලාගේ ගෙදරටය. අළුත් පාරෙන් ගිහින් ලුණුවිල හංදියෙන් හැරී, බණ්ඩිරිප්පුවේ පල්ලිය ලඟින් රේල් පාර පැනලා යද්දී හමුවෙන, වැස්සත් පෑව්වත් වලගොඩැලි අඩු නොවෙන ගුරු පාරකට හැරී ගිහින්, යකඩ ගේට්ටුවකින් ඇතුල් වී යද්දී පොල් වත්තක් මැද්දෑවේ මහම්මලාගේ ගෙදර තියෙයි.

 ඒ ගෙදර කුස්සියෙන් එහා පැත්තේ පලාතක්ම වැහෙන්නට තිබුණේ කෝපි ය. සුදුම සුදු පාට මල් පිපී, රතුම රතු පාට ගෙඩි, හීන් අත් දඬු පුරා එල්ලාගෙන බලා ඉන්නා කෝපි ගස්ය. නෙලාගත් කෝපි, බාල්දි භාජන වල පිරවී, සාලයෙන් පිටි පස්සේ ඉස්තෝප්පු කෑල්ලේ තියෙයි. පොතු ඇරී, වේලී කබලේ බැදෙන සුවඳට කෝපි සුවඳය කිව්වාට, ඇත්තටම කෝපි සුවඳය කියන්නට ඕනා, අර සුදුපාට මල් පොකුරු පාත්වී නාස් පුඩු අග යන්තමට තවරන සුවඳට නොවේ දැයි මම තවමත් සිතමි.

 ඒ කාලයේ මටත් අයියාටත් අපේ අම්මාගේ අක්කා වූ මහම්මලාගේ ගෙදර යෑමේ ආසාම කෑල්ල වූයේ නම් ලලි අයියාත්, ෆ්‍රෙඩි අයියාත්, ප්‍රීතිකා අක්කාත් එක්ක කරන සෙල්ලම් ය. ගස් කොලන්, කරත්ත මඩු, ගෙදර ඇඳන් යට, දොර මුළු, ඉස්ටෝරු කාමර ආදී මෙකී නොකී තැන්වල හැංගිමුත්තන් කිරීමා දී නේක විද ක්රීඩා මීට අයත් වී තිබුණි. ඉතින් මේ මතක හිඩැස් අස්සට, කෝපි බැදෙන කර සුවඳත්, සුදෝ සුදු කෝපි මල් නාස් පුඩු අගිසි වල තවරාපු සුවඳත් ගලා එවූයේ, අපේ මහම්මාගේ මිණිපිරිය වූ, ලලි අයියාගේ දූ, තාරකා සම්පතී ගේ කෝපි රස කවි එකතුව ය.

"මහ ගෙදර පෑළ දොරින්
පිළිකන්නට බැහැපු
කෝපි බදින සුවඳ
අපේ මිදුලටත් ඇවිදින්

කොහොමත් තව ටිකකින්
අම්මා එනවා සිකුරුයි
කෝපි කුඩු මුලත් එක්ක
එක අතක කෙල්ල යි
අනික් අතේ කෝපි යි

කාව ද වඩා ගන්නේ
ඉස්සෙල්ලාම මම
එතකොට ?

හැමදාම හැන්දෑවට
කොහොඹ ගහ යට බංකුවේ
අපි කෝපි බොන කොට
පින් දෙනවා අම්මාට

කවදාහරි දවසක
ඔයාට කලියෙන්හ මම
අහසට ගිය දාට
තරුවක් වෙලා බලන්නම්
තනියම කෝපි බොන හැටි

ඒත් ඒ දවසට
පින්න හරි වැඩි වේවි
බංකුවෙ ඉන්නෙපා
හාන්සි පුටුවට යන්න

 [කෝපි රහට කවියක්’ - නව වැනි පැදිපෙල
“කෝපි රහට කවියක්” - තාරකා සම්පතී අබේසේකර (2021).
ISBN 978-624-99039-0-6  කර්තෘ ප්‍රකාශනයකි
මුද්‍රණය: නුවණ ප්‍රින්ටර්ස්, ලංසිගම, කටුනේරිය 032 20 56 888
]

කෝපි කුඩු මුලත් කෙල්ලත් එක්කම ඈ බදා වඩා ගන්නා ඇගේ අම්මා, අපේ මහම්මාගේ ලේලියය. ලලි අයියාගේ බිරිඳය. ඒ අම්මා එක අතක වඩා ඉන්නා කෙල්ල, මා මවාගන්නා තරමින්, තාරකාගේ මල්ලීගේ සිඟිත්තිය ය. තාරකාගේ කවිය තුල හමුවන, මේ මුහුණුත්, කොහොඹ ගහ යට බංකුවත්, කෝපි සුවඳත්, රසයත්, එකතු කෙරෙන්නේ සත්‍යය වූ අත්දැකීම් සමුදායක සටහන්ම මුත්, මොහොතක් නැවතී බැළුවොත්, මේ වචන පසුපස පෙලගැසෙන රූපක පෙල හිතට කියන, ‘පේලි අතර කතාවේ’ ගැඹුර ද ස්පර්ශ කල හැකිය.

රසයක් ය කියන්නේ විඳින්නා විසින්ම නිර්වචනය කරනු ලැබිය යුත්තක් වුව, කෝපි රස, පැණි රසක් නම් නොවන බවත්, ප්‍රණීතය කිව හැකි නමුත්, දෙතොල් අතරේ රැඳවෙන තිත්තක සේයාවක් බවත් නොපිළිගන්නට හේතුවක් මට මෙන්ම ඔබටත් සොයා ගත නොහැකි වනු ඇත. ඉදින් කෝපිවල රසය ඇත්තේ කෝපි වලම නොව, කෝපි රහ මතකයේම බව තාරකාගේ පද පෙල ආයෙ ආයේත් මතක් කරවයි. එහෙත් ඒ මතකය මතකයක්ම වන අනාගතයේ කහට රසයත් මේ කවි පෙල තුල ඉතිරි වී තිබේ.

මහ ගෙවල් කියන්නේ, බොහෝ විට සුවඳම පමණක් ඉතිරි කර පරවී වියැකී යන පුෂ්පයන්ය. එනමුදු, අප කාට වුව, ගෙදර යන්නට, අහම්බෙන් නාස් පුඩු අතර දැවටෙන සුවඳක්, මග තොටක දකිනා, ගහ කොළක, නිවසක, රුවක්  පමණටත් වඩා සෑහෙයි. ඉතින් මේ කොහොඹ ගසත්, ඒ යට තනිවන බංකුවත්, කවදා හෝ දවසක අතීතයක් සනිටුහන් කරන කෝපි කුඩු මුලත්, මේ ගැහැණු පරපුරේ අනාගතය වන්, සිඟිත්තියත් අතර හිනැහෙන අම්මාගේ මුහුණ, අහසෙහි තාරකා අතරේ සිහිපත්වන අනාගතයක් ගැනත්, තාරකා අතින් අනායාසයෙන්ම සනිටුහන්වෙයි.

මේ සියල්ල පෙල ගැසී මසිතේ සටහන් කරන රූප පෙල කෙලවරේ, මහම්මාගේත්, මගේම අම්මාගේත් සිනා මුහුණුත්, මතකයට නගාගත හැකි කාලයක දැක නැතත්, අපේ ගෙදර බිත්තියේ එල්ලා තිබූ ඡායාරූපයක උදේ හවා දුටු, අම්මාගේත් මහම්මාගේත් අම්මාගේ මුහුණත්, ඒ මුහුණුවරම උරුම කරගත් මගේ ම නංගීගේ මුහුණත් මම දකිමි. විශ්වීය රටාවන්ය අප හඟින බොහෝ සිද්ධි දාමයන්, කොයි තරමක් නම් එකිනෙකට සම්බන්ධවන අවස්ථාවන් හා භෞතික සාධක තිබුණ ද, ඒ රටාවන්ගේ පැවැත්ම නම් අපේ සිත්වල උපන්නාවූ ද, යළි යළිත් උපදින්නාවූ ද, මතකයන්ම යැයි, මට සිතේ.

එවන් මතකයන්ගේ උරුමක්කාරකම මතම මේ සටහන මෙසේ ඇරඹුණත්, ඒ සියල්ල;

“මේ පද පේළි අතර
මා සොයන්නට වෙහෙස නොවන්න,
එහි හිඳින ඔබව ම සොයන්න.
දැන් වටපිට බලන්න, ඔබ අසල මා ද හිඳිමි” යි

තාරකා ඇගේ කවිපොතට ලියන පෙර සටහනමම නොවේ ද?

“හදවත මැදක පිපුණ ම සුදු වතුසුද්ද
නුඹෙ ඇස් දෙකෙන් ඉස්සෙම මල් පිනි වැස්ස
වනමල් වුණත් පිපුණම නොකරම සද්ද
උස අතුවලත් මල් හී සර පැටලෙද්ද?”

 මේ පදයෙන් ඇරඹෙන පැදි පෙල තාරකාගේ පොතේ තිස්දෙවෙනි කවියයි. ‘හීන මහන්නෙමි තරු යට නිදි වරලා’ යි මැය තබා සටහන්වන මේ කවියේ ඉතිරි දෙපදය මෙසේ වෙයි.

“හීන මහන්නෙමි තරු යට නිදි වරලා
මොනරු සොයන්නෙමි මැදියම කපු කැටලා
ගමේ සුළඟවත් කලකට නෑ විදලා
තැපැල් කරන්නෙමි දහඩිය මිටි බැඳලා

දියක හැඩය කඳු අතරින් ගැලුවාම
මලක සුවඳ එය නටුවේ රැඳුණාම
දුරක වුණත් මගෙ හීනය හැමදාම
සඳක එළිය දුර අහසක දිලුණාම”

එක් පසෙකින්, උස් අත්තක පිපි කැකුළක අයිතිය වෙනුවෙන් ලියැවුනු විරහ සිතිවිල්ලක්ය වර්ග කරන්නට පුළුවන් නමුත් ගීතමය ලතාවකට ඇවිණෙන මේ වචන මල් නටුවල රැඳී ඇති රෝස කටුවල රිදවිල්ල දැනෙනවා ද?

මා කුඩාවෙක් වූ සමයේ, අපේ ගම්වල අටවැන්නෙන් හෝ සාමාන්‍ය පෙලින් පසු අතරමංවන බොහෝ තරුණියන්ගේ රැකියාව වූයේ, බීඩි එතීමයි. එතෙක් රැජිනගේ අණසකට යටත්ව තිබූ, ‘සිලෝන්’ දූපත, ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් බවට වෙනස් කරන්නට තරම් බලගතු ජනවරමක් සහිතව නවසිය හැත්තෑවේ බලයට පැමිණි, මැතිණියගේ ආන්ඩුව යටතේත්, කෙල්ලන්ට ගෙදර ඉඳන් කරන්නට පුළුවන් රැකියාවක් ලෙස ප්‍රවර්ධනය වූයේ බීඩි එතීමයි. හැත්තෑවේ ජනවරම හකුලා, හැත්තෑ හතේ උදාවූ ධර්මිෂ්ඨ යුගය, අපේ ගම්වල, රෑ පාන්දර වෙනතුරු කුප්පි ලාම්පු එළියෙන් බීඩි එතූ තරුණියන්ට පිරිනැමූ අළුත් හීනය වූයේ, කලාපයේ ගාමන්ට් එකය.

මවා පෙන්වූ හීනවල අතරමං වන්නට අපොරොන්දු වූ පරම්පරාවක අරගලය තුලින්, ජාතියේ පිනට උපන් දියසෙන් කුමරුන්ට, ඉරට හොරා මහ පාන්දර දේශයෙන් පලායන්නට සිදුවූ අද වන් යුගයක, හීනයක් යනු හීනයක්ම මිස සැබෑවක් නොවන මිරිඟුවක් බව සාක්ෂාත් වීමේ උත්ප්‍රාසය, ‘සඳක එළිය දුර අහසක දිලුණාම’ ය කියා තාරකා අවුණන අවසාන පදයේ අපූරුවට ගැබ්වී තිබේ. අපේ ජීවිත වල, මේ රටේ දේශපාලනික, ආර්ථික හා සමාජයීය රටාවන්ගෙන් බැහැර වූ පෞද්ගලිකත්වයක් නොමැති බවත්, ජීවිතයේ සෑම අවදියකම අපේ සිත් තුල නැගෙන අපේක්ෂාවන්, සාක්ෂාත් කරගැනීමේ වෑයමින් බොහෝ කොටසක් වැයවන්නේ, මේ ප්‍රවාහයන්ගේ ග්‍රහණයෙන් මිදී පිහිනා යාමට බවත්ය යන්නත්, තාරකාගේ කවිවල සෙවනැල්ල සේ සටහන් වෙයි.

ජීවිතය කෙඩෙත්තුයි
නගින ලෙසට ම ගිරිදඹ
ඒත් රතු මල් පිපෙයි
මුදුනටම නැග්ගම

හරිහමන් අත්වැලක්
ලැබුණාම හයියට
කෙටි වුණත් දිවි ගමන
සුන්දරයි එතකොට

සීතල ම පස් ගොඩක
ආදරේ වැළලුව
වෙලා පයිනස් ගහක්
බලාපන් ඈ දෙස.

[‘සොයුර’ - හතලිස් හයවැනි පැදිපෙල]

තාරකා සම්පතී, මට දියණියකි. සම්පතකි. ඇගේ නිර්මාණ මෙසේ පොතකට ගොනුව අතට ලැබීම, අප්‍රමාණවූ සතුටක් වූ බව ලියා තැබිය යුතුම ය. ජීවිතය සටහන් කර තැබීම, අප විසින් කළයුතුම දෙයකියි මම සිතමි. ඒ සිතිවිල්ල තාරකා දූ ගේ ලියවිලි තුල ද දකින්නට මම වාසනාවන්ත වී සිටිමි. ඉතින් මේ සටහන අවසන් කරන්නට කටුවාපිටියේ එක්තරා පුතෙක් කියා, තාරකා ලියා සටහන් කල සටහන ණයට ගනිමි.

 “වැසි බින්දු දුරක හිඳ
කොපුල් තල සිඹින කල
වසමි මම ජනෙල් පෙළ
බලා සුදු පිච්ච වැල

දෙවසරකි ය නුඹ ගොසින්
තවත් හඬනෙමි සිතින්
සුරදුවක වී තොසින්
නැතිව ඇති නුඹ දුකින්

ජීවිතය ලඟ ඉතිං
මරණයත් ඇත ළඟින්
ඒත් නුඹ මැරුණෙ නෑ
මැරුව බව මම දනිම්

සෙනෙහසක් ලැබුණාට
මැකේවි ද නුඹෙ අඩුව
සුරලියනි හැමදාම
බලන් මගෙ අම්මාව”

[කටුවාපිටියේ එක්තරා පුතෙකු කී කතාවක්’, 41 වන පැදිපෙල]


Continue Reading...

Monday, March 27, 2017

දයා ප්‍රේමය ඇති තැන දෙවියෝ වැඩ වසනු ඇත


Tissa Dodangoda "හෙරළි බතල ටික නුපුරුදුවම්මා - බඩගින්නේ සිංහලයා"ටියුඩර් සුබසිංහ රාළහාමි ඒ වනවිට සඳලංකාවේ 'භාරත සංගීත සමාජය' නම් ආයතනයක් පවත්වාගෙන යමින් සිටියේය. එහි අරමුණ වූයේ ඒ ප්‍රදේශයේ සිටින්නාවූ කලාකරුවන්ගේ කුසලතා දියුණු කර ගැනීමට අතහිත දීමයි. එහි සංගීත උපදේශකවරයා වූයේ ලංකා ගාන්ධර්ව සභාවෙන් ශාස්ත්‍රීය සංගීතය හදාල සිංහල පුහුණු ගුරුවරයෙකු වූ ජේ කේ එස් පෙරේරා මහතාය. ව්‍යාපාරිකයෙකු මානින්ගමුවේ සිරිවර්ධන රාළහාමි, විදුහල්පතිවරයෙකු වූ ඒ. විජයසිංහ ආදීහුද ඊට සම්බන්ධ වී සිටියහ. "එඩ්වින් සමරදිවාකර" පිළිබඳ ආරංචිය දැනගත් ටියුඩර් සුබසිංහ, ජේ කේ ඒස් පෙරේරා ද කැටුව කටානට ගියේය. සමරදිවාකර නිවස පිහිටා තිබුණේ කටානේ හල්පේ මීසම තුලය. සමරදිවාකර සොයාගැනීම පිලිබඳ මේ සිද්ධිය සුබසිංහ රාළහාමි විසින් 1961 පළකල "ගුණසමර" නැමැති සමරදිවාකර සමරු කලාපයට වාර්ථා කර තිබූණේ මෙපරිද්දෙනි "...............සංගීත භාණ්ඩ නිෂ්පාදනය හා තන්ත්‍රී භාණ්ඩ වාදනය අතින් දක්ෂ ගැටවරයෙකු කටාන නම් ගමේ සිටින බව ප්‍රසිද්ධ සගීතඥයකු මාර්ගයෙන් දැනගන්නට ලැබී දවසක් ඔහු මුණ ගැසීමේ වාසනාව ලදිමි. මොහුගේ ගෙට ගොඩ වැදුණු විගසම මට හැඟුනේ ගෘහ භාණ්ඩ කර්මාන්ත ශාලාවකට ගියා මෙනි. අපට පලමුවෙන් හමුවූයේ ඔහුගේ පියාය. එතුමා මගින් මේ තරුණයා හැඳිනගෙන කථාවට වැටුණු අපට මොහු උපන් සංගීතඥයෙකු බව මොහොතකින් වැටහුණි. ඕනෑම භාණ්ඩයක් වාදනය කළ හැකි වුවත් ශාස්ත්‍රීය අතින් ස රි ග ම ප ධ නි වත් තමා නොදන්නා බව කීවේ අපේ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුවය. මේ ශාස්ත්‍රය දියුණු කර ගැනීමට ඔහු තුල ඇති ආශාවද ඉමහත් බව ඔහුගේ කථාවෙන් පෙනුණි. එබැවින් සංගීතය සම්බන්ධ හොඳ දැනීමක් ඇතිව නයිනමඩමේ ජේ කේ එස් පෙරේරා මහතාගේ ඇසුර ඇතිව සංගීතය පුහුණුවීම සඳහා මේ තරුණයාගේ ගෙදරම අපි වාදක මණ්ඩලයක් පටන් ගත්තෙමු...." -- ගාන්ධර්ව ආපදාන - 3: සමරදිවාකර සහ චන්ද්‍රසේන : සුනිල් ආරියරත්න --
--- Wow මෙහෙමත් අය ඉන්නවා.....!!!!! ---

නෙළුම් මල් දිය මත පිපුණ ද නෙළුම් අල මඩ යටය. පිය ගැට පෙලක ඉහල පියපෙති කාගේත් ඇස ගැටුණ ද, ඒ ඉහල පියපෙති දරා ඉන්නා පාදම පයට පෑගෙනු මිස නෙතක රැඳෙන්නේ එහෙමත් වෙලාවකය.

හිතවත් තිස්ස, මුහුණු පොතේ ලියූ ඉහත සටහන ලියා තිබුනේ, සෙලින් ඩියෝන්, සිය ගීතයක් ඉතාමත් දක්ෂ ලෙස ගැයූ පිලිපීන ජාතික දැරියක වූ චරීස් ට සිය ප්‍රසංග වේදිකාවටම පැමිණ ඇගේ ගීය ගයන්නට දුන් අවස්ථාව පිළිබඳව කෙනෙක් ලියා තිබූ සටහනකට අතුරු සටහනක් (කොමෙන්ටුවක්) ලෙසයි. එතැන ජේ. කේ. එස්. ගැන කියවුනු හැටියේම මතකයට ආයේ, මගෙ පරණ දිනපොත අස්සේ තවමත් තිබෙන ඉහලින් අවුනා ඇති තිලිණ කාඩ් පතය. මේ පුංචි සටහන ඒ නිසාය. මා අවුස්සා මේ ටික ලියවූවාට තිස්සට තුති.

නයිනාමඩමේ සෙබස්තියන් ඉස්කෝලෙ මහත්තයා හෝ ජේ.කේ.එස්. කිව්වාම කවුරුත් පාහේ දැන අඳුනන ජයසූරිය කුරණගේ සෙබස්තියන් පෙරේරා, ගැන මගේ මුල්ම මතකය ආච්චිගේ අත අල්ලාගෙන මහගෙදර පිටිපස්සේ දෙවට දිගේ නයිනාමඩමේ වික්ෂෝප පල්ලියේ සිකුරාදා නුවානයට ගිය කාලය දක්වා දිවෙයි. දේශපාලන බලය හා රාජකීයත්වය පසුපස ඇඹලයන් වූ පූජක පරපුරකට එරෙහිව අත කට ඔසවා ඒ පිනින්, කස පහර කා, කටු ඔටුණු පළඳා, කුරුසියක ඇණ ගැසී උකුත් වූ මිනිසකු, දෙවියන්ගේ පුත්‍රයායි වැඳුම් පිදුම් ලබන ක්‍රිස්තියානි ධර්මය අදහන කතෝලික පල්ලියේ, වැදගත්ම කාන්තා සංකේතය වන්නේ දේව මාතාව වූ මරියාය. ඇගේ ජීවිතයේ එක් එක් අවස්ථාවන් අලලා, එක් එක් නම් ගොත් සහිතවූ සංකේතාත්මක සිහිකිරීම් අතර, වික්ෂෝප මෑණියෝ, කුරිසියෙන් ගැලවූ සිය පුතුගේ මළ සිරුර උකුලත හොවා වැලපෙන මවගේ කම්පාව සංකේත කරති. ඕ නමින් පැවැත්වෙන සිකුරාදා නුවානයට මුළු ගමම මතු නොව අහල පහල ගම් රැසකිනුත් නයිනාමඩමේ පල්ලිය පිරීයයි. පල්ලියේ යැදුම යැදුමකට වඩා ගැයුමකි. කන්තාරු කණ්ඩායමත්, ඕගන් එක අහල වාඩි වූ ඉස්කෝලෙ මහත්තයාත් ඒ ගැයුමේම කොටසකි.

දයා ප්‍රේමය ඇති තැන
දෙවියෝ වැඩ වසනු ඇත
කිතු තුමන්ගේ ප්‍රේමයෙන් අපි සැමදෙන එක්වෙමු
එතුමන් තුල ප්‍රීතියෙන් සතුටු වන්නෙමු

ජීවමාන දෙව් තුමනට හදබැති පෙම් දක්වමූ
අවංකවූ හෘදයෙන් එකිනෙකාට ප්‍රේම කරමු

දයා ප්‍රේමය ඇති තැන
දෙවියෝ වැඩ වසනු ඇත

අපි කිසියම් තැනකට එක්තැන් වී සිටිමුද
එක් සිත් වී සිටිනට ප්‍රවේශම් වෙමු
සන්ඩු දබර නඩු හබ නොව සාමයෙන් ජීවත් වෙමු
කිතු සමිඳාණන් නිතින්
අප වෙතටම කැ‌ඳව ගනිමු

යැයි විහිදෙන ගීතිකාව මා දන්නා තරමින් නම් නොගැයෙන පල්ලියක් තියෙන්නට නොහැකිය. ඒ ජේ.කේ.එස් ම කියන හැටියට ගීතිකාවක් වෙනුවෙන් කෙරුණු ඔහුගේ පළමු තනු පබැඳුමයි. තාත්තාගේ අඩිපාරේම යන ලාල් පෙරේරා යූ ටියුබයට එක්කල මේ වීඩියෝවේ ඉස්කෝලෙ මහත්තයාගේ සංගීත ජීවිතයේ අඩිතාලම ගැන ඔහුම කතා කරයි.


අපේ රටේ කතෝලික පල්ලියේ සිංහල ගීත සාහිත්‍යය ඇරඹෙන්නේ එක්දහස් හයසිය අසූ අනූ ගණන්වල ජුසේ වාස් පියතුමාගේ හා ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමන්ගේ දහම් සේවයේ සිට බව පෙනෙයි. එසේ වුව ද, කතෝලික වත් පිලිවෙත් තුලට දේශීය ගැයුම් වැයුම් මෙන්ම සිරිත් විරිත් ද හරියාකාරවම එකමුතු වන්නේ, 1958 විසිතුන්වන ජුවාම් නමින් පාප් පදවි ප්‍රාප්ත වන ආන්ජලෝ රොන්කල්ලි අතින් 1962 දී ඇරඹෙන දෙවන වතිකානු සමුළුව විසින්, එතෙක් ලතින් බසින් පැවතුනු දේව මෙහෙයයන් හා යැදුම් දේශීය භාෂාවන්ගෙන්  පවත්වන්නට ගන්නා තීරණයත් සමගය.

මේ පරිවර්තන අවධියේ, ලාංකිය කතෝලික පල්ලිය තුල ඇතිවූ දේශීයකරණය තුල ජේ.කේ.එස්. පෙරේරාගේ දායකත්වය නිරනුමානයෙන්ම සැමරෙයි. නයිනාමඩමේ පාස්කුව, 'ගොල්ගොතා' හි සංගීතය මෙහෙයවුනේත්, පාප් තුමන් පැමිණීමේ තේමා ගීතය තනු ගැන්වුනේත් ජේ.කේ.එස්. අතිනි. සුදොවුත් බවට එසැවුණු, ජුසේවාස් පියනමගේ වන්දනා ගීතය ද නිමවන්නේ ඔහු අතිනි. මේ සියල්ලට වඩා ඉහලින් ඇත්තේ, පාසලේත්, පල්ලියේත්, ගමේත්, ගෙදරත්, ඔහු අතින් ස්වර සත වනපොත් තැබුණු, ගෝල පරපුරයැයි මම සිතමි. සංගීතය හදවතින් පැන නැගෙන හද බැඳි දෙයක් වගත්, උස් පහත්, ධනවත් දුප්පත් භේද අතර නොබෙදුනක් බවත් කතාවෙන් නොව ක්‍රියාවෙන් පෙන්වන්නට ඉටා ගත්තන් අප අතරත් ඉන්නා වග ගුරුවරයකු, සංගීතඥයකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු ලෙසද වූ ජේ.කේ.එස්.ගේ භූමිකාව තුල මම දකිමි.

කලා විභූෂණ සම්මානයෙන් පිදුනු සෙබස්තියන් ඉස්කෝලෙ මහත්තයා, දෙදාස් හතරේ අප්‍රියෙල් මාසයේ දවසක ජීවිතයෙන් සමුගත්තේය. ශුද්ධවූ ජුසේවාස් තුමන්ගේ වසර ලෙස, ලංකා කතෝලික සභාව නම්කර ඇති මේ දෙදාස් දාහත අවුරුද්ද පුරාම, ජේ.කේ.එස්. ගේ ජුසේවාස් නැමදුම් ගීය ගැයෙනු ඇත. ඒ හා යැදෙන යැදුම් තුල ඔහු පිළිබඳ මතකයන් ද අළුත්වනු ඇත.

සංගීතය ජීවමාන වන්නේ, මිනිසුන් ගැහැණුන් එක්ව ගයන ගැයුම් තුලය. එහි සෞන්දර්යය උපදින්නේත් පවතින්නේත් ඔවුන්ගේ හදවත් තුලය. තමන් ලද හැකියාව වටහාගෙන එය දල්වා පහනක්ව දිදුළුවන මිනිස්සු, මඩයට සැඟවුණු නෙළුම් අල මෙන් සැඟව සිටිය ද, පිපුණු නෙළුමේ සුවඳ තුල ඔවුන්ගේ කාර්යයේ ආනන්දය පැතිර විහිදෙයි. එවන් මිනිස්සු අප අතර කොතෙකුත් වෙති. ඇවැසිවන්නේ මදක් නැවතී, ඇස්වල දුහුවිලි පිසදමා බැලීම පමණි.

මේ අතින් මේ ඉතිහාසය අවුණා ලියා සටහන් කරන්නට මහාචාර්ය සුනිල් ආරියරත්නයන් කරන්නාවූ මෙහෙයට හිස නමා ආචාර කරමි.

දයා ප්‍රේමය ඇතිතැන දෙවියෝ වැඩ වසනු ඇත....!


ශුද්ධවූ ජුසේ වාස් නැමදුම් ගීය:

Continue Reading...

Saturday, March 18, 2017

තනි ලෑල්ලේ පයින් හැටහතර



තනි ලෑල්ලේ, ටිකක් පරිණත භාෂාවෙන් ලියනවා නම් ඒක ඵලක පරිගණක, නැත්තම් single board computer  (කෙටියෙන් කියන විට SBC)  අළුත් හඳුන්වා දීමක් නම් නොවෙයි. පරිගණකය බොහෝ යන්ත්‍ර සූත්‍රවල මස්තිෂ්කය වීම ඇරඹුණු මුල් කාලයේ සිටම, ප්‍රධාන පරිපථ හා 'චිප්' එක අඩංගු වූ මව් ලෑල්ලකට, දූහිතෘ පරිපථ අවුණා එක් එක් රටාවට ලතාවට එකලස් කල 'පරිගණකය' තනි ලෑල්ලක තනි පරිපථයක් සේ නිපදවීමේ කාර්යය සිදුවෙමින් තිබුණා.

ඩෙක්ස්ටොප් එක ලැප්ටොප් එක වී, ටැබ් එක ලෙස පරිණාමය වීමත්, අනෙක් පැත්තෙන් ජංගමය ස්මාර්ට් වී, පෑඩ් එක වීමත් ආදි වශයෙන් පරිගණක ක්ෂේත්‍රයේ ද්‍රෘඩකාංග වල සිදුවන්නා වූ විපර්යාසකර පරිවර්තන ජාලය අස්සේ එස්.බී.සී. ක්ෂේත්‍රයත් ඉතා සීඝු පෙරළියකට හසුව තිබෙනවා. එයින් වඩාත්ම කසු කුසුවක් ඇති කලේ මෑත කාලයේ හඳුන්වා දුන් අඩු වියදම් රාස්ප්බෙරි පයි පරිගණක පද්ධතියයි. ඩොලර් පහකට මිල නියම වූ රාස්ප්බෙරි පයි ශීරෝ, තාක්ෂණික අධ්‍යාපන උපාංගයක් ලෙස ජනප්‍රිය වූ අතර, අද වනවිට රාස්ප්බෙරි පයි අංගෝපාංග රැසක් වෙළඳපලේ තිබෙනවා.


මේ අංශයේම අනික් හඳුන්වා දීම ආර්ඩියුනෝ පරිගණක තාක්ෂණ පද්ධතියයි. එයටම ආවේණික මෘද්‍රකාංග පද්ධතියකුත් ඇතුළුව නිර්මාණය කෙරුණු ආර්ඩියුනෝ, පරිගණක මොළයකට නොයෙකුත් සංවේදක පිරිද්දීමටත්, ඒ සංවේදකයන් ගෙන් ලැබෙන සංඥා මත යම් යම් ක්‍රියාකාරකම් දියත් කරන්නටත් හැකි මෙවලම් එකලස් කල හැකි උපාංග පද්ධතියක් ලෙසත් හැඳින්විය හැකියි. හුදෙක් විනෝදාංශයක් ලෙස ඉලෙක්ට්‍රොනික මෙවලම් එකලස් කරන්නන් අතර මෙන්ම, එයින් ඔබ්බට ගොස් ප්‍රායෝගික යන්ත්‍රෝපකරණ නිපදවන්නට පර්යේෂණ කරන්නන් අතර ද, අධ්‍යාපනික ක්‍රියාකාරකම් සඳහාද ආර්ඩියුනෝ හා ඒ හා සමාන තවත් පරිගණක පද්ධති කීපයක්ම භාවිතා වෙයි.

ඉතා මෑතක දී නිර්මාණය වුනු, පයින් 64, ඒක ඵලක පරිගණක පද්ධතිය යම් විදිහක කසු කුසුවක් ඇති කලේ එය ඩොලර් පහලවකට මිල නියම කල බිට් 64 සම්පූර්ණ පරිගණකයක් සේ නිර්මාණය වූ නිසායි. කතාව එසේ වුනත් රෑම් මෙගා බයිට් 512 ක් පමණක් අඩංගු ඩොලර් පහලවේ පයින් 64 න් කළ හැකි දේ සීමිත වීම වැලැක්විය නොහැකියි. පයින් 64 ගැන තොරතුරුත් කලහැකි නොහැකි දේත් ගැන ඔවුන්ගේ වෙබ් අඩවියේ දීර්ඝ  සවිස්තර විස්තරයක් තිබෙනවා.


ඩොලර් තිහක් මිල වුනු  ගිගා බයිට් දෙකක් රෑම් ඇති මගේ පයින් 64 තනි ලෑල්ල, ඊයේ පෙරේදා දවසක පණ ගන්වා බලන්නට ඉඩ කඩක් ලැබුණා. පයින් 64 වීඩියෝ ඇවිණුම HDMI සොකට්ටුවක් හරහායි. ඉතින් ගෙදර ආලින්දයේ රූපවාහිනියට අවුණා, පරණ වයර්ලස් යතුරු පුවරුවත් මීයාත් එකතු කලාම පරිගණකය සම්පූර්ණයි. අර ඩොලර් තිහට අමතරව, තවත් ඩොලර් විස්සක විතර පිරිවැයක් වයිෆයි උපාංගයටත්, විදුලි ඇඩප්ටරයටත්. පණහයි. නෑ.... තවත් ඩොලර් දහයක් මයික්‍රො එස්. ඩී. කාඩ් එකට. හැටයි. ඉතරනෙට් කේබල් එකක් අවුණන්න පුළුවන් නම් වයිෆයි අවශ්‍යතාවයක් නැහැ.

පයින් 64 සඳහා ලිනක්ස්, උබුන්ටු මෙහෙයුම් පද්ධති කීපයක් තිබෙන නමුත් මුලින්ම අත් හදා බැළුවේ ගූගල් ඇන්ඩ්‍රොයිඩ්. මේ ලෑල්ලේ බූට් ලෝඩරයක් නැත්නම් බයෝස් (Basic Input Output System) එකක් නැහැ. ඒ නිසා  SD කාඩ් එකේ පයින් සඳහාම සකස් කල මෙහෙයුම් පද්ධතියක් නැත්නම් කිසි සද්ද බද්දක් නැහැ. මෙහෙයුම් පද්ධතිය කාඩ් එකට ලියා ගැනීමට ජනෙල්, මැක් හෝ ලිනක්ස් යන්තරයක පිහිට තමයි. හාඩ් එක වෙනුවට ඇත්තේත් කාඩ් එකම තමයි. හැබැයි අවශ්‍යනම් යූ.එස්.බී හරහා හාඩ් එකක්, තවත් කාඩ් එකක් හෝ ස්ටික් එකක් අවුණා දත්ත ගබඩා පරිමාව වැඩි කර ගන්නට පුළුවන්.


 පයින් හැට හතර. අළුපාට වයර් එක වයි ෆයි ඇන්ටෙනාවයි. යූ.එස්. බී. එකට අවුණා ඇත්තේ යතුරු පුවරුවේ හා මීයාගේ ඩොංගලයයි. එහා කෙළවරේ නිල් පාට වයරය HDMI කේබලයයි. අනිත් මුල්ලේ විදුලි කේබලය, මයික්‍රො යූ.එස්.බී. සොකට් එක හරහා. විදුලි ඇඩප්ටරය, 5V/2A. ඇම්පියර් දෙකේ ධාරිතාව වැදගත්. සාමාන්‍ය යූ.එස්.බී. ඇඩප්ටර බොහොමයක ධාරිතාව 1A.


ඇන්ඩ්‍රොයිඩ් සක්‍රියයි.... !
යූ. ටියුබ් හා අන්තර්ජාලය හරහා ලංකාවේ රූපවාහිනී ප්‍රචාරයන් නැරඹීම නම් ඉතාහොඳින් සිදුවුනා. මේ කාරිය කරන්නට ඩොලර් හැටකින් පමණ මේ පරිගණකය ඇවිණීම නම් අත්‍යවශ්‍ය දෙයක් නොවෙයි. එක්කෝ කෙලින්ම අන්තර් ජාලයට සම්බන්ධ වන ස්මාර්ට් රූපවාහිනියක් ගන්නට පුළුවනි, නැත්නම් ඩොලර් සියකට පමණ කෙලින්ම රූපවාහිනියේ HDMI ඇවිණුමට සම්බන්ධ වන ස්ටික් පරිගණකයක් ගන්නට පුළුවනි. ඒත් වයර් ඇවිණිමේ සතුට නම් මුදලට ගන්නට බැහැ.
මයික්‍රො SD කාඩ් එක - ඔව් ඔය අළුයි රතුයි කෑල්ල තමයි.






Continue Reading...

Wednesday, March 15, 2017

ඉහල බාලාංශයේ විප්ලවය [අවුරුදු පහේ දී පාරට බැහීම]

අවුරුදු දෙකකට කලින් 2015 ජනවාරි හයවෙනි දා, මූණු පොතේ ලියූ පහත සටහන අද මෙතැන එල්ලන්නට හිතුණේ අහම්බෙනි. අහම්බෙන් සිදුවන දේවලටත් අනාගතය නොවැරදීම අර්ථ කථන සපයන බව දන්නා නිසා, එයිට වඩා යමක් ලියන්නට උවමනා නැත. සීත මිටියාවතේයි නම්කර ඇති මේ සී. ඩී. කවරයේ රශ්මි සංගීතාව චුට්ටක් කෙට්ටු කර හීන් කණ්නාඩි දෙකක් දැම්මා නම් මිස් වැන්ඩලන් වගේමයැයි මට හිතුණි. ඉහල බාලාංශයේදී අපේ පංතිය බාරව හිටියේ මිස් වැන්ඩලන් ය. මේ වගේ කොටම නැති පර්ම් කොණ්ඩයක් තිබුණු කන්නාඩි පලඳින මිස් වැන්ඩලන් අපේ අම්මාට වඩා ගොඩක් බාලයැයි ඒ කාලයේත් මට හිතුණු ටීචර් කෙනෙකි.

ඔය කාලයේ අවුරුදු පහ පැන්නූ මම ඉස්කෝලෙ ගියේ ආවේ බාප්පලා ගේ මෝටර් රථයකිනි. අයියාත්, නංගීත්, බාප්පලාගේ ළමයිනුත් ආදි සෑහෙන රොත්තක් ඒ කාර් එකේ උදේ හවස ප්‍රවාහනය විය. කාර් එකේ යාමට වඩා ඔය කාලයේත් මගේ හිත තිබුණේ, පාර අයින දිගේ පයින් ඇවිදගෙන යන්නට ය. එහෙම යන මගේ වයසේ ළමයින්, කොන්වන්ට් එකේම කෑල්ලක් වූ අපේ ඉස්කෝලේ වැඩිපුර හිටියේ නැත. අපේ පංතියේ නම් හැතැම්ම තුන්කාලක් විතර ඈත අපේ ගෙවල් හරියට එහෙම පයින් එන ළමයෙක් හිටියේම නැත. ඒත් මේ රථවාහන ආධිපත්‍යයෙන් මිදී නිදහසේ පාරේ වැලි පෑගීමේ ළාමක ආසාව එන්න එන්නම ලියලා වැඩී, එක දවසක් උදේ 'අද මම පයින් ගෙදර එනවා යි' අම්මාට කිව්වෙමි. එයා මොනවා වත් කිව්වා මට මතක නැත.

එදා හවස ඉස්කෝලේ අවසන් ව, සේරම ළමයි කාර්, කරත්ත, අම්මලා, තාත්තලා එන තුරු බට්ටෝ පනිමින්, බෝල ගසමින්, කොරිඩෝර් එකේ කණුවෙන් කණුවට ගස් මාරු වෙමින් ඉන්නා අතරේ, මම අද පයින් ගෙදර යනවායි මගේ යාළුවන්ට කියා බෑග් එකත් කරේ එල්ලාගෙන ගේට්ටුවෙන් එළියට ඇවිත්, ඒ දවස් කීපයේම උදේ හවහ කාර් එකේ ජනේලෙන් බලාගෙන ජී. පී. එස්. එකේ රෙකෝඩ් කරගෙන තිබුණු රූට් එකට අවතීර්ණ වුනෙමි. 

මේක සිද්ධ වුනේ තිස් අවුරුදු යුද්ධයටත් අවුරුදු විසිපහකට විතර ඉස්සරය. ඒ හින්දා පාරේ බෝම්බ ගැන බයක් තිබුණේ නැත. බෑග් එකක් එල්ලාගෙන පාර අයිනටම වෙලා නුපුරුදු විදිහට ඇවිදින පුංචි කොල්ලා ගැන කවුරුවත් හිත කරදර කර ගත්තේත් නැත. හරස් පාරවලින් හරියට හැරී, කොළඹ පාරට ඇවිත් පොලිසියත් පහු කල පසුව, මගේ මේ කුළුඳුල් ඒකල ගමනේ ඊලඟ නැවතුම වූ රඹසෙවණ පොත් සාප්පුව හමුවිය. ඒ කාලයේ රඹසෙවණ තිබුනේ පොලිසියට මෙහා ජෝශප් වාස් එක ඉස්සරහ, පැට්‍රික් අංකල්ලාගේ කඩ කාමරයකය. අපේ අම්මලාත් ගෙදරට ඇන්ද ඩ්‍රසින් ගවුමකින් සැරසී සිටි නෝනිස් ඉස්කෝල මහත්තයාගේ නෝනා, මට ශත පහක නාරං බික් දෙන ගමන්, 'බබා තනියම ද යන්නෙ යි' ඇසුවාය. 'ඔව් මම පයින් ගෙදර යනවා' යි කිව්වෙමි. 

මම දන්නා තරමින් ඉස්කෝල හාමිනේ කෙනෙක් වූ නෝනිස් නෝනාට ඒකේ අමුත්තක් දැනුනේ නැත. ඒකට හේතුව අපි කාර් එකේ ගියත්, ඉස්කෝලේ ඇරිලා ගල්කැට කුරුම්බැට්ටි වලට පයින් ගස ගසා තනියම පයින් ගෙදර යන අවුරුදු පහේ හයේ පුංචි උන් ශත පහක සීනිබෝල ගන්නට රඹසෙවණට ගොඩවීම අමුත්තක් නොවූ නිසා බව මම දැන් දනිමි.

එදා මගේ ගමන කෙළවර වුනේ අපේ ගෙදරට හැරෙන තැන පේන නොපෙනෙන මානයේ අයිවන් අංකල්ලාගේ පැට්‍රල් ෂෙඩ් එක ලඟදී ය. ඒ පැට්‍රල් ගහගෙන පාරට දාපු බාප්පලාගේ කාර් එක මගේ ලඟින් ම නැවතුණු නිසාය. ආපහු කාර් එකේ ඉස්කෝලෙ ගිහින් අනිත් කාණ්ඩයත් එක්කම ගෙදර ආපු මට අම්මා බැන්නා, ගැහුවා කියා මතකක් නැත. තාත්තා කෑ ගැහුවා කියා මතකක් නැත. මම හතරවෙනි පස්වෙනි පංති වෙද්දී නම් කොහොමත් ඉස්කෝලෙ ගියේ ගෙදර ආවේ පයින්ය. ටෙරන්ස් ෂෙල්ටන් එක්කත් රමණී වීරසිංහ එක්කත් කදේ දාගෙන කයිවාරු කිය කියා ආ ගිය ඒ ගමන් වල අනන්තවත් කථා තිබේ. ඒත් මේ හා හපුරා කියා මංම හිතා මංම තනියම පාරට බැස මට ඕනෑ නිසා ආ ගමන එක අතකින් තවමත් යමි.

මේ සේරම ලිව්වේ ආප්පත් කා තනියම එළියට බැස්ස මෛත්‍රිපාල සිරිසේන මහත්තයා ගැන හිතේ උපන් ආඩම්බරයකිනි. උන්නැහේ ව මගදි කාර් එක ඇවිත් නංගා ගන්නත් පුළුවන. නැත්තං දිගටම දිගටම ගිහින් ගෙදරටම යන්නටත් පුළුවන. පහු කාලයක මා එක්ක ගිය ටෙරන්ස්, රමණී වගේ කට්ටියත් උන්නැහේ වටේ සිටිති..... ඒත් මට නම් හිතෙන්නේ උන්නැහේ මේ ගමන යන්නේ තමුන්ගේ හිතට එකඟව තමුන් මේ වෙලාවේ කරන්න ඕනෑ 'හරි' දේ ගැන විශ්වාසයෙන් තනියමම බවයි. අද වෙන කොට තම තමුන්ගේ මඩිස්සල වල රටාවල් අනුව ගැලවීම නම් මේකය, ගැලවීම නම් මේකය කියා පොතේ ලියා කටපාඩම් කරගෙන ගිරව් වගේ මතුර මතුරා හිටි නා නා පාට වල මැකෝ කුරුල්ලන් ට, එකට ඉඳගෙන 'ස' අල්ලන්නට වේදිකාවකට ගන්නට උන්නැහේට පුළුවන් වී තිබේ.

මුන්නැහේ පඹයෙක් ය රූකඩයෙක් ය හය හතර නොතේරෙන නොදරුවෙක් ය කියන අයත් සිටිති. අරයා මෙයා කියන එක කරනවා, රැවුල නෑ, පෞරුෂය නෑ, අරක බෑ, මේක බෑ, මල්ලි හරි නෑ, කියන අයත් සිටිති. ආප්ප කාලා පපුවටම පිහියෙන් ඇන්න, විශ්වාස කරන්න බැරි ද්‍රෝහියා කියලාත් කියති. මේ සියළු කතාවලට උත්තර ලියන සෑහෙන පිරිසකුත් සිටිති. ඒ නිසා ඒ ගැන මාත් ලියන එකේ තේරුමක් නැත.උන්නැහේ ගේ මේ ගමන මට වටින්නේ, මමත් උන්නැහේ ඉන්නා තැන හිටියා නම් මටත් ඔය වාගේම එළියට ඇවිත් දැන් වෙන්න ඕනෑ මෙන්න මේකයි කියා රටේ පාරවල් වල පයින් පාසල් යන පුංචි එවුන් වෙනුවෙන් කතා කරන්නට හිතෙනවා හිතෙනවා මයි කියා හිතෙන නිසාය.

දැන් උන්නැහේ ඉන්නේ මගේ ළපටි ගමනේ හැටියට නම් රඹසෙවණ පොත් හල ගාවය. නෝනිස් ඉස්කෝල නෝනා ගෙන් ශත පහක නාරන් බික් ඉල්ලමින්ය.

ලබන අටවෙනිදාට මගේ රටේ මිනිස්සුන්ට උන්නැහේගේ හංසයාට තල්ලුව දෙන්නට වාසනාව තියේවා...!



Continue Reading...

ගුරුවරයකු ගේ අභාවය - මහාචාර්ය වැලන්ටයින් ජෝශප්



අද උදේම දුටුවේ අසනීපව රෝහල් ගත කර සිටි මහාචාර්ය වැලන්ටයින් ජෝශප් පිළිබඳව වූ ආරංචියකි.

"Dear All
One of our beloved teachers Prof. Joseph has passed away this morning. Funeral arrangements will be notified later. May he rest in peace.
Rosa"

මට හොඳින්ම මතක පුෂ් බයිසිකලෙන් කැම්පස් එන වැලා වයි. කිං ජෝජ් හෝල් එකේ අයින්ස්ටයින් ගේ රිලෙටිවිටි, නාකි නොවුණ නිවුන්නා හා ඔරලෝසු කැරකිලි ගැන කතා මතක නමුත්, උකහාගත් දැනුමට වඩා මනුස්සයා දිහා බලා කියා මා උගත් දේ වටිනවායි මම අදටත් හිතමි.

විශ්ව විද්‍යාලය යනු කුමනාකාර දැනුම් තෝතැන්නක් විය යුතු ද යන්න අවබෝධ කරගත් මෙවන් වීරයෝ අපේ විශ්ව විද්‍යාල තුල අනන්තවත් ඇති. ඉතිහාසය පුරා සිදුවූ විලසින්ම අපේ කාලයේද ඛේදවාචකය වන්නේ, අවබෝධයට වඩා අනුකරණයත්, තර්කයට වඩා වාචාලකමත්, යථාර්තයට වඩා හීනමවා පෙන්නීමත් උත්කෘෂ්ඨයැයි ඇදහීමය.

ඉහත පින්තූරය අසංක සායක්කාරගේ බ්ලොග් අඩවියෙනි.
http://recolog.blogspot.ca/2016/05/prof-valentine-joseph.html

පහත යූ ටියුබ් සටහන කොළඹ විශ්ව විද්‍යාල විද්‍යා පීඨ මාධ්‍ය අංශයෙනි.


JOSEPH - DR. VALENTINE - Professor of Mathematics, Colombo University, loving husband of Antonia, son of Joseph Vendargon and Jane Joseph (Gnanamma), loving father of Arulesh and Umesh, father-in-law of Dr. Wije Mariathasan and Domani Vendargon, grandfather of late Anjani, Sashi, Anish and Ishani, brother of late Therease, Stella, Emma and brother-in-law of late Ratnaraja, late Bastianpillai and Marianayagam, brother-in-law of - Ratna and Dr. Elmo Thambapillai, Dr. Jayarajasingham and late Sushila, Pararajasingham and Sarojini, Kanagasingham and Sharmala, Dr. Wimalasingham and Shantali. Viewing at the Department of Mathematics, University of Colombo on Friday, 17th of March from 9.30 a.m. to 11.30 a.m. Thereafter, at his residence, 127/1, Ananda Rajakaruna Mawatha, (Campbell Place), Colombo 10, from 12.00 noon. Cortege leaves on Saturday the 18th of March at 3.30 p.m. for burial at the Roman Catholic Section, General Cemetery, Borella.035618




Continue Reading...

Wednesday, February 22, 2017

මිස්ටර් අනූ දෙක


ග්‍රීක දේව පුරාණයට අනුව ගායා යි නම් කෙරෙන මිහිකතින් ම උපන් යුරනස් හෙවත් අහස, සෑම රාත්‍රියකම මිහිකත වසා වැතිරී සංවාසයේ යෙදෙයි. උනට උපන් පළමු පුතුන් සය දෙනා හා  දූවරුන් සය දෙනා ටයිටනයන් ලෙස ද ඉනික්බිති උපන් අත් සියයක් ඇති යෝධයන් තිදෙනා හෙක්ටන්කරනයන් ලෙසද, අනතුරුව උපන් එකැස් යෝධයන් සයික්ලොප්සයන් ලෙසද නම් වෙයි. බාලම දරුවන් මිහිකත තුල සඟවන යුරනස්ගෙන් පලි ගන්නට ගායා තනන ගිනිගල් තල දෑ කැත්තෙන් යුරනස් ගේ වෘෂණ කපා මුහුදට විසි කරන්නේ ලාබාලම ටයිටනයා වන ක්‍රොනස් නැතිනම් සෙනසුරු ය.

අවුරුදු දහනවයේ දී එංගලන්තයට සංක්‍රමණය වී සිය ජර්මානු විල්හෙල්ම් නම විලියම් කර ගන්නා, ප්‍රකට සංධවනි විසිහතරක් පමණ නිර්මාණය කරන සංගීතඥ විලියම් හර්ෂල්, බාත් නුවර වාද්‍ය සමූහයේ අධ්‍යක්ෂක වරයා ලෙස කටයුතු කරන අතරම, සිය නැගණිය වන කැරොලයින් සමග ගණිතය හා තාරකා විද්‍යාව හදාරන්නටත් දුරේක්ෂ නිපදවීමටත් තාරකා නිරීක්ෂණයටත් පිවිසෙයි. අහස විමසන හර්ෂල්ගේ දුරේක්ෂයට තරුවක්ය සිතුවත් තරුවක් නොවන ග්‍රහ වස්තුවක් අසුවෙන්නේ 1781 මාර්තු  මස දහතුන් වන දාය. අනෙකුත් තාරකා නිරීක්ෂකයන්ගේ ත් සහය ඇතිව මේ සුර්ය ග්‍රහ මඬුල්ලේ තවත් සාමාජිකයකු බව ස්ථ්ර කරගන්නා ඔහු, ඒ වනවිට සිය ප්‍රධාන අනුග්‍රාහකයා බවට පත්ව සිටින තුන්වන ජෝජ් රජුගේ නම්න් 'ජෝජියානු ග්‍රහයා' නැතහොත් "Georgium Sidus" නමින් සිය සොයාගැනීම නම් කරයි. එසේ වුණත් ඓතිහාසිකව පුරාණ ග්‍රීක දේව නාම වලට හිමිවූ තැනකට එසවෙන්නට ජෝජ් රජ්ජුරුවන්ට ඇති අයිතිය ප්‍රතික්ෂේප කරන තාරකා විද්‍යාඥ එකමුතුව විසින්   ගායා ගෙන් කිලෝමිටර බිලියන දෙකහමාරකට එහා එපමණ කලක් සැඟවී සිටි, මේ ලා නිල් පැහැ අළුත් ග්‍රහයා යුරේනස් නමින් නම් කෙරෙයි.

පසු කලක දී "විඳවීම හා බලාපොරොත්තුව" ලෙස සිය ළමා කාලය හැඳින්වූ, සන්නාලියකුගේ පුතකු වූ ජර්මානු ජාතික මාර්ටින් හයින්රිච් ක්ලප්රොත්,  පූජකවරයකු වීමේ බලාපොරොත්තු හැර දමා, ඖෂධවේදීයකුගේ සහායකයකු ලෙස ජීවිතය අරඹන්නේ අවුරුදු දා හතේදී ය. ඉතා උනන්දුවෙන් සිය විෂයය හදාරන ඔහු, එකදාස් හත්සිය අසූව එනම් තිස් හත් වියැති වන විට බර්ලින් හි තමුන්ගේම ඖෂධාගාරයක් හිමි, රසායන විද්‍යාව පිළිබඳව පංති පවත්වන තරමේ තත්වයකට දියුණු වන්නේය. නොබෝ කලකින් බර්ලින්හි උසස් අධ්‍යාපන ආයතන කීපයකම රසායන විද්‍යාව පිළිබඳ ආචාර්ය තනතුරු හොබවන ක්ලප්රොත්, විවිධ ඛණිජ විශ්ලේෂණය කර ඒවායේ සංයුතිය නිර්ණය කිරීම හා සබැඳි විශ්ලේෂණ රසායන විද්‍යාත්මක පර්යේෂණ කරා යොමුවෙයි. 1789 දී බොහිමියාවේ ශාන්ත ජෝකිම්ස්ටාල් ප්‍රදේශයෙන් ලැබෙන පිච්බ්ලෙන්ඩ් ඛණිජ සාම්පලයක් නයිට්රික් අම්ලයේ දිය කරන ක්ලප්රොත්, ඒ ද්‍රාවණය පොටෑසියම් හයිඩ්රොක්සයිඩි සමග සාදන කහ පැහැති අවක්ෂේපය විශ්ලේෂණයෙන් හඳුනා ගන්නා අළුත් මූල ද්‍රව්‍යය අළුතින් අහසට එක්වූ ග්‍රහයා අනුව යමින් යුරේනියම් නමින් නම් කරයි.

ආවර්තිතා වගුව කෙලවර අංක අනූ දෙක කොටුවට කොටුවන, ස්වභාවිකව පවතිනවායි ස්ථිරවම දන්නා වැඩිම පරමාණුක භාරය ඇති මූල ද්‍රව්‍යය වන යුරේනියම් යුරේනියම් වන්නේ එහෙයිනි. නවසිය හතලිස් ගණන් වලදී  දෙවන ලෝක සංග්‍රාමයේ රහස් අවිය වූ පරමාණු බෝම්බයේ ප්‍රධාන අමුද්‍රව්‍යයක් වනතුරුම, යුරේනියම් වැදගත් වූයේ වීදුරු කර්මාන්තයේ දී වර්ණකයක් හැටියටත්, යම් යම් රසායනික විශ්ලේෂණ වලදී භාවිතා වන රසායනයක් හැටියටත් පමණකි.



හිරෝෂීමා හා නාගසාකි මේ ඉරණම වෙනස් කල අතර, අද වනවිට මිස්ටර් අනූ දෙක, ලෝ පුරා රටවල් තිහක න්‍යෂ්ඨික විදුලි බලාගාර හාරසිය හතලිස් නවයක විදුලිය නිපදවන ප්‍රධාන අමුද්‍රව්‍යය වෙයි. ලෝ පුරා රටවල් පහලවක නව න්‍යෂ්ඨික විදුලි බලාගාර හැටක් ඉදිවෙමින් පවතී. දැනට ක්‍රියාත්මක වන බලාගාරවලින් එකසිය දහ අටක් ඇමරිකා එක්සත් ජනපදය සතු වෙයි. ඇමරිකාවේ දැනට ඉදිවෙමින් පවතින බලාගාර ගණන හතරකි.

 සබැඳිය - https://www.iaea.org/pris/
 
දෙදහස් පහලව අග, ලෝකයේ රටවල් දහතුනක් සිය මුළු විදුලි නිපයුමෙන් සියයට විසිපහකට වඩා උත්පාදනය කලේ යුරේනියම් භාවිතයෙනි.

සබැඳිය - https://www.nei.org/Knowledge-Center/Nuclear-Statistics/World-Statistics


දෙදාස් පහලවේ දී මුළු ලෝකයේම යුරේනියම් පාරිභෝජනය ටොන් හැටදහස් හාරසිය අනූ හයක් බවත් එයින් ටොන් 23,800 ක් කසාක්ස්ථානයේත් ටොන් 13,325 ක් කැනඩාවේත් ටොන් 5654 ක් ඔස්ට්‍රේලියාවේත් නිපදවුනු බව ලෝක න්‍යෂ්ඨික සංවිධානයේ ජාල අඩවිය කියයි.
http://www.world-nuclear.org/information-library/nuclear-fuel-cycle/mining-of-uranium/world-uranium-mining-production.aspx

කැනඩා යුරේනියම් නිෂ්පාදනයෙන් වැඩි හරිය උත්පාදනය වන්නේ සස්කච්වාන් ප්‍රාන්තයේ උතුරු කෙලවර පිහිටි ලෝකයේ විශාලතම හා ඉහලම යුරේනියම් සාන්ද්‍රණයක් ඇති නිධි ලෙස හැඳින්විය හැකි, 'මැක්ආතර් රිවර්' හා 'සිගාර් ලේක්' පතල් ද්වයෙනි. මේ පතල් ද්වයේ හා තවමත් කැනීම් ඇරඹී නැති ෆීනික්ස් නිධි යේ යුරේනියම් සාන්ද්‍රණය 15% සිට 20% අතර වන අතර, කැනඩාවේ සස්කචවාන් ප්‍රාන්තයේ ඇතබැස්කා ද්‍රෝණියේ විසිරී ඇති අවශේෂ නිධිවල යුරේනියම් සාන්ද්‍රණය 1% සිට 5% දක්වා පමණ වෙයි. ලෝකයේ සියළුම යුරේනියම් නිධි සැලකුවොත් මධ්‍යන යුරේනියම් සාන්ද්‍රණය 0.1%-0.15% අතර වෙයි.


සබැඳිය - http://rockstone-research.com/index.php/en/research-reports/178--Bright-Stars-in-the-Athabasca-Basin-Uranium-Hunt-

මීටර හාරසියයක් පන්සියයක් පොළව යට තිබෙන මේ යුරේනියම් න්‍යෂ්ඨික විදුලි බලාගාරයක් කරා ගෙන යාම අදියර කීපයකින් සිදුවෙයි.

(1) කැනීම හා ඇඹරීම 
මෙහිදී වන්නේ යුරේනියම් ඛණිජ කුඩුකර ජලය හා මුසුකර පොම්ප කල හැකි මඩ මිශ්‍රණයක් බවට පෙරලීමයි.

(2) යුරේනියම් නිස්සාරණය
පොළව මතුපිටට පොම්ප කර, ඒ සඳහාම නිමවුනු කම්හලකට ගෙන යන යුරේනියම් ඛණීජ මිශ්‍රණය අම්ලයක් යොදවා දිය කර යුරේනියම් ද්‍රාවණයක් සෑදීමත්, මේ ද්‍රාවණය වෙන්කර පිරිසිඳු කර, එහි ඇති යුරේනියම රසායන මගින් අවක්ශේපණය කර වියලි යුරේනියම් ඔක්සයිඩ් මිශ්‍රණයක් බවට පත්කිරීමත් මෙහිදී සිදුවෙයි.

(3) පිරිපහදුව
නිස්සාරණයෙන් ලැබෙන යුරේනියම් ඔක්සයිඩ් සංයෝග නැවත ද්‍රාවණය කර, එහි අඩංගු වන අංශුමාත්‍ර අපද්‍රව්‍ය ඉවත් කිරීම පිරිපහදුවේ දී සිදුවෙයි.

(4) පරිවර්තනය
 පිරිපහදුවෙන් නිපදවෙන යුරේනියම් සංයෝග න්‍යෂ්ඨික බලාගාර සඳහා භාවිතා වන ඉන්ධන කැටිති සෑදීමට භාවිතා කල හැකි ආකාර රසායනික හා භෞතික ගුණ සහිත යුරේනියම් ඩයොක්සයිඩ් කුඩු බවට පරිවර්තනය කිරීම පරිවර්තන අදියරේදී සිදුවෙයි. කැනේඩියානු තාක්ෂණයක් වන කැන්ඩු බලාගාර සඳහා නම් ස්වභාවික යුරේනියම් භාවිතා කල හැකි බැවින් මේ අදියර පිරිපහදුවෙන් ලැබෙන සංයෝගය යුරේනියම් ඩයොක්සයිඩ් බවට හැරවීම පමණක්ම වෙයි. කැන්ඩු තාක්ෂණයේ දී න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාව සිසිලනය කෙරෙන්නේ බැර ජලය (heavy water - D2O) මගිනි. සාමාන්‍ය ජලයෙන් සිසිලනය වන අධිපීඩන හෝ ජ්වලන ජල (pressurized water reactor (PWR) or boiling water reactor (BWR)) තාක්ෂණ සඳහා නම් පළමුව පිරිපහදුවෙන් ලැබෙන සංයෝගය යුරේනියම් හෙක්සාෆ්ලෝරයිඩි (uranium hexafluoride - UF6) බවට හරවා, එහි අඩංගු යුරේනියම් 235 සමස්ථානික ප්‍රතිශතය වැඩි කිරීම, නැතහොත් සඵලවත් කිරීම (enrichment) කළ යුතුවෙයි. මෙසේ සඵලවත් කරගත් යුරේනියම් නැවතත් යුරේනියම් ඩයොක්සයිඩ් බවට හැරවිය යුතුය.

(5) ඉන්ධන කැටිති කිරීම
යුරේනියම් ඩයොක්සයිඩ් කුඩු කැටිති කර උදුනක විදාහනය (sintering) කිරීම මෙහිදී සිදුවෙයි.

(6) ඉන්ධන කළඹ (fuel bundles) සෑදීම
විදාහනය කල ඉන්ධන කැටිති ශිර්කෝනියම් බට වල අසුරා, එසේ අසුරාගත් බට නිශ්චිත ජ්‍යාමිතියකට කළඹ සේ සෑදීම අවසාන පියවරයි. මේ ඉන්ධන කළඹ වල ස්වභාවය බලාගාරයේ ප්‍රතික්‍රියාකාරකයේ (reactor) ජ්‍යාමිතිය අනුව නිර්ණය වෙයි.

මේ කාර්යාවලීන් සැකෙවින් දැක්වෙන, රූප රාමු පෙලක් පහත වීඩියෝ වල තිබෙයි.





 යුරේනියම් නිෂ්පාදන කාර්යාවලිය පිළිබඳව කරුණු අඩංගු සරල පාඩම් සටහනක් කැනඩාවේ ප්‍රධානතම යුරේනියම් නිෂ්පාදන ආයතනය වන කැමිකෝ සමාගමේ ජාල අඩවියේ තිබේ.
එතැනට සබැඳිය - https://www.cameco.com/uranium_101/

විකිපීඩියාවට අමතරව කරුණු උපුටාගත් සබැඳි:
විලියම් හර්ෂල් - http://www.space.com/17432-william-herschel.html
මාටින් ක්ලප්රොත් - http://www.encyclopedia.com/people/science-and-technology/chemistry-biographies/martin-heinrich-klaproth
Continue Reading...

Sunday, February 19, 2017

පරණ ලබුවල අළුත් වයින්....! [වළාකුළු අතර උබුන්ටු ]



"කිසිවෙකු නව මිදියුස, පැරණි බඳුන්වලට වත් කරන්නේ නැත; වත් කළොත්, නව මිදියුසින් බඳුන් පැළී මිදියුස වැගිරී, බඳුනුත් නාස්ති වෙයි." - ලූක් 5:33


බයිබලයේ අළුත් ගිවිසුමේ එහෙම තිබුණත්, ඇති හැකි හැටියට කරන අයට නම් පරණ භාජනේම තවත් ටිකක් කල් අල්ලාගෙන ඉන්න පුළුවන් ද කියා හෙවීමේ වටිනාකමක් තිබේ. මේක සහසුද්දෙන්ම සත්‍ය වන්නේ මූදු රැල්ල වාගේ මොහොතින් මොහොත අළුත්වෙන පරිගණක ක්ෂේත්‍රයේය.

පිය උරුමය නිසා අපේ පුතාගෙන් මට උරුම වුනු එයාගේ කලින් ආත්මයේ ලැපක් පාවිච්චි කර කරා හිටි මටත් මේ ලබුකැටය පරණ වීමේ උපද්‍රවයට මුහුණ පාන්නට සිද්ධ වී තිබේ.  මේ ලැපට ජන්ම උරුමයෙන් ලැබී තිබුණේ බිල් ගේට්ස් ගේ ජනෙල් විස්ටා මෙහෙයුම් පද්ධතියයි. ජනෙල් හත ඇවිත් පරණ කල විස්ටාව අනාථ වූයේ 2012 දී වුනත්, 2017 වනතුරු රැකබලා ගන්නට බි⁣ල්ගේ උදවිය පොරොන්දූ වී තිබුණි. එසේ වුනත් ගූගල් කට්ටිය ඇල්ෆබට් වී ක්‍රෝම් බවුසරය විස්ටා ස්ථාපන තව දුරටත් යාවත්කාලීන නොකරමුයි තීරණය කිරීමත්, බවුසරය ඇරෙන හැම පාරකම, 'අඩෝ මේ පරණ ලබ්බ අළුත් කරපන්' පන්නයේ අඬෝ වැඩියාවක් කියන්නට වීමත් හිත රිදෙන කාරණයක් වී තිබුණි.

ගූගල් අයගේ පෙරැත්තය ගූගල් 'ක්‍රෝම් බුක්' යන්තරයක් මිලදී ගන්නටය. මේ අස්සේ ජනෙල් හත අට වී දහය වී යාම නිසා හතට පනින්නට තිබුණු අවකාශයත් නිමවී, මගේ යන්තරයත් පරණ ලබ්බක්ම වී තිබේ. ඉතින් මේ පරණ ලබුකැටයට අළුත් වයින් පුරවන්නට හිතුවා.




ගූගල් 'ක්‍රෝම් බුක්' යන්තර ගැන දහසකුත් කතා කියවා හිතුනේ මගේ යන්තරයටත් ක්‍රෝම් මෙහෙයුම් පද්ධතිය දමන්නට බැරිද කියායි.  පහසුවෙන් පුළුවනි. නමුත් කෙලින්ම ගූගල්ලා ගෙන් නොවෙයි, නෙවර්වෙයා හඳුන්වා දුන් 'ක්ලවුඩ් රෙඩි' (මේකට සිංහලෙන් ලියවුණේ වළාකුළු අතර කියලායි. රසිකා ඇතුළු වළාකුළු කට්ටිය අමනාප නොවේය හිතනවා) ස්ථාපනයක් හැටියටයි යන්නයි අවසාන නිගමනය.


මේ කට්ටිය නෙවර්වෙයා කියා නම යොදාගන තියෙන්නේ ඇයිද කියන එක මට වාගේම ඔබටත් ප්‍රශ්නයක් වන්නට පුළුවනි. මේ නමේ පසුපස අැත්තේ සදාකාලික නැත්නම්  'never ware-out' යන අදහස බව ඔවුන්ගේ කතාව කියවුවාම පෙනෙයි.

ඒකත්  ඉතින් 'පරණ ලබු වලට අළුත් වයින්' පිරවීමේ චේතනාවම ය.

නෙවර්වෙයා කණ්ඩායම එහි ඇරඹුම හා ගමන මෙසේ සමාලෝචනය කරයි.....

දෙදහස් දහය වස දී ජොනතන් හෙෆ්ටර්, අභියෝගාත්මක අවකාශයක දිරිමත් කාර්යයකට - හොඳ තාක්ෂණය, නූතන තාක්ෂණයේ අවශ්‍යතාව වඩාත්ම තදින් දැනෙන්නා වූ සුන් හා ගුරුවරුන් වෙතට ගෙන ආ හැකි විසඳුමක් සෙවී කාර්යයටමේ - මුල පිරීය. අධ්‍යාපනයට නවීන තාක්ෂණයෙහි අවශ්‍යතාවය වෙන කවරදාටත් වඩා තදින් දැනෙන සමයක් වුව ද, මුදල් හිඟකම එයට හරස්වෙයි."සිසුන්, ගුරුවරුන් හා පරිභෝගිකයිනට නවීන පරිගණකයක් මිලදී නොගෙන, එවැනි යන්ත්‍රයක් භාවිතා කිරීමේ පරිචය ලබාගත හැක්කේ කෙසේද?" යන්න ජොනතන් ගේ සිතිවිලි මෙහෙයවූ පැනය විය.

නෙවර්වෙයා හී පළමු නිෂ්පාදනය, PCReady වර්චුවල්කරණ මූලධර්ම යොදාගෙන පංතිකාමරය වලට නව තාක්ෂණය ගෙනයාමේ සාර්ථක උත්සාහයක් වූ අතර, නිව්යෝක් නගරයේ පාසැල් වල පසෙකට දමා තිබූ පරණ පරිගණක රාශියක් නැවත බලගන්වා ප්‍රයෝජනවත් යන්ත්‍ර බවට හැරවීමට එමගින් හැකිවිය. එමෙන්ම, මේ ක්ෂේත්‍රයේ නියාමකත්වයත් සමගම, අළුත්වන තාක්ෂණයත් සමග තවදුරටත් පරිණාමය වීමේ අවශ්‍යතාවය ද මතුවිය.

පංතිකාමරය, පරිගණක ක්ෂේත්‍රයේ නවතම පෙරලිය වූ ක්ලවුඩ්-කම්පියුටින් සමග සම්පාත කිරීමේ අටියෙන් අපි දෙදාස් පහලවේ දී ක්ලවුඩ් රෙඩි යි නම්කල සැහැල්ලු මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දුනිමු. ගූගල් සමාගමේ ක්‍රෝම් මෙහෙයුම් පද්ධතියේ පදනම මතම ගොඩනගා ඇතිමුත් මෙය දැනට භාවිතාවන ඕනෑම පරිගණක යන්ත්‍රයකම පාහේ ක්‍රියාකරවීමට හැකිය.


In 2010, Jonathan Hefter set out on a bold mission in a challenging space — create a solution for bringing the best technology to the students and teachers who need it most. Technology in education is more important than ever before, but budgets are also tighter than ever. Jonathan asked the question, “How can students, teachers and consumers get the experience of using a new, powerful computer without buying one?”

Neverware’s first product, PCReady, took desktop virtualization and streamlined it for the school environment, powering thousands of old computers across New York City schools and turning closets of old hardware into powerful, usable machines. However, establishing leadership in the desktop operating system space meant evolving with it.

In 2015, to help schools keep pace with the cloud-computing revolution, we developed CloudReady: a lightweight operating system built on the same foundation as Google's Chrome OS, but able to run on almost any hardware.


https://www.neverware.com/about

නෙවර්වෙයා සැහැල්ලු වුනත්, ස්ථාපනය කිරීමට නම් ඔබේ පරිගණකය මූලික අවශ්‍යතා කීපයක් සපුරා තියෙන්නට වුවමනායි. මෙයින් මූලිකම දේ නම්, යූ.එස්.බී. පෙන් ඩ්‍රයිව් එකක් හරහා පරිඝණකය පණ ගන්වන්නට (boot up) හැකියාව තිබීමයි. පරණ යන්ත්‍රයක මේ  වැඩේ කරන්නට පුළුවන් ද බැරිද යන්න එහි ඇති බයෝස් (BIOS) මෘදුකාංගය හා මවු පුවරුව මත නිර්ණය වනවා. දැන් ඉතින් මේ බූට් අප් කියන්නේ විරහව සම්බන්ධ කතාවක් කියා හෝ, බයෝස් කියන්නේ චරිතාපදාන නේද කියා හෝ හිතෙනවා නම්, ටිකක් නැවතී හිතන්න. මොකද එහෙම අයට නම් නෙවර්වෙයා එක්ක වලාකුළු අතරට යාම තරමක් හිත රිදෙන ගමනක් විය හැකියි.

ආසාව, විශේෂයෙන්ම කරලා බැලීමේ ආසාව ඇත්නම්, වරද්දාගන්නට නැවතිලා හිතන්නට හදිස්සි නොවී නිවී හැනහිල්ලේ කරන්නට, ඉවසීමත් ඇත්නම් කළ යුතු දේ සියල්ල ඉහත සබැඳියේ නෙවර්වෙයා ජාල අඩවියේ තිබෙන තොරතුරු වලින් දැන ගන්නට පුළුවන. මෘදුකාංගය නොමිලේය. ඒ නිසා වගකීමක් නැත. පරිගණකය ඔබේය.

(1) ඔබේ පරිගණකයේ පිරිවිතර මේ කාර්යයට ගැලපේද සොයා බලන්න. මුලිකව එය යූඑස්බී හරහා පණගන්වන්නට පුළුවන් විය යුතු අතර අවම රෑම් හෝ මෙමරි ප්‍රමාණය ගෙගාබයිට් දෙකක් විය යුතුයි. අත්හදා බලා සහතික කල යන්ත්‍රවල විස්තර නෙවර්වෙයා ජාල අඩවියේ තිබේ.
(2) යූ.එස්.බි. පෙන් ඩ්‍රයිව් එකක් ගිගාබයිට් අට හෝ දහසය පමණි. (8 or 16 GB)
(3) මෘදුකාංග පද්ධතිය බාගත කිරීමට හා පෙන් ඩ්‍රයිව් එකට ලියා ගැනීමට පරිගණකයක්. ජනෙල් හෝ මැක් දෙවගින් කුමක් වුවද සුදුසුය.

මේ කරුණු සම්පූර්ණ නම් ඊළඟ පියවර මෘදුකාංග බාගත කිරීමත් පෙන් ඩ්‍රයිව් එකට ලියා ගැනීමත් වෙයි. මෙතැන දී නෙවර්වෙයා කියන සවිස්තර උපදෙස් වැදගත් වේවි.
https://guide.neverware.com/build-installer/working-windows/

සැකෙවින් කිව්වොත්, මෘදුකාංගය පෙන්ඩ්‍රයිව් එකට ලියාගෙන, එයින් පරිගණකය පණගැන්වීම පමණයි. පරණ පරිගණකයක් නම් පහසුම දේ, පරණ ජනෙල් දොරවල් ආදිය මැකී යන ලෙස මේ වළාකුළු පද්ධතිය ස්ථාපනය කර ගැනීමයි.

අන්තිමේ මං කලෙත් ඒකයි. මේ මගේ වලාකුළු අතර ක්‍රෝම් පොත.



කියපු විදිහෙන්ම වැඩ කරන නමුත් ක්‍රෝම් පොත් නම් ක්‍රෝම් පොත්ය. කලකට ඉහත යුනික්ස් මෙහෙයුම් පද්ධතිය ගැන සන් මයික්‍රොසිස්ටම් හි ජෝන් ගේජ් නිර්මාණය කළ "ජාලය නම් පරිගණකයමය  - The Network is the Computer" යන කියමන අනුව යමින් ක්‍රෝම් පොතේ මූලධර්මය ලෙස "බවුසරය නම් පරිගණකයය - The Browser is the Computer" කියා හඳුන්වන්නට පුළුවන. ස්වාධීනව ක්‍රියාකරන මෘදුකාංග එක දෙකක් හැර ක්‍රෝම්පොතේ හැම දෙයක්ම සිද්ධවෙන්නේ ක්‍රෝම් බවුසරයේ ඇප් එකක් ලෙසයි. ලියකියවිලි තැන්පත් වෙන්නේ වලාකුළුවල, ගූගල් ඩ්‍රයිව් හිය. මයික්‍රොසොෆ්ට් ඔෆිස් ඇප් එකක් තිබුණත් ඒ ලියකියවිලි මයික්‍රොසොෆ්ට් වලාකුලේ තැන්පත් වෙයි. මට ඇතිවුණු මූලික ගැටළුව වයිෆයි නැත්නම් ලපයි සිපයි වීමයි. වයිෆයි ඇත්නම් බොහෝවිට රෝද කැරකෙනවා බලා සිටින්නට සිදු වීමයි. මේකට නම් මූලික හේතුව වයින් අළුත් වුනත් ලබුකැටය පරණ වීමයි. සත්‍යය නම් ආච්චිට අවකලනය ඉගැන්නුවාය කියා උන්දෑගේ හන්දිපත් රුදාවල් නම් නවතින්නේ නැතිවීමයි.

බොහෝ  අන්ත අසරණ හැඟීමක් ආවේ නම් වයිෆයි නැති වෙලේ පුංචි සටහනක් දෙකක් ලියා ගන්නට නොහැකිවූ වෙලාවන්හි දීය. ඕෆ් ලයින් ගූගල් ඩොක් ගැන විස්තර විස්තර විස්තර කියවා වුනත් මගේ මේ අළුත් වයින් පරණ ලබු පොතේ නම් ඕෆ් ලයින් ගූගල් ඩොක් වැඩ කලේ එහෙමත් වෙලාවකයි. සියල්ල හරියාකාරව සිද්ධ වෙලා 'මල් මල් වාරම් හරිම උදාරම්' විදිහට පිටුවක් විතර අකුරු කොටලා තියෙද්දි හදිස්සියේ වාෂ්ප වෙලා යන මූල ධර්මයට වරක් දෙවරක් මූණ දුන්නාම තේරෙනවා නේ මේක නම් හරියන දීගයක් නෙවෙයි කියල....

ඉතින් වයිෆයි නැතුව ලියන කියන කාර්යය කරන්න පුළුවන් තත්වයකට යන්න තියන මාර්ග හොයාන හොයාන ගිහින් ඇන්ඩ්රොයිඩ් බලනවද ලිනක්ස් බලනවද කියන තැනත් ටිකක් නැවතිලා ඉඳලා උබුන්ටු වලට අවස්ථාවක් දීලා බලන්න හිතුණා. ඇත්තටම වුනේ කාලෙකට ඉස්සර උබුන්ටු එක්ක සෙල්ලම් කරපු කාලේ මතක් කෙරුණු සී.ඩි. දෙක තුනක් අායෙත් අතට අහුවිමයි.


උබුන්ටු අපි බොහෝ දෙනෙකුට අළුත්ම දෙයක් නොවන ලිනක්ස් පාදක පරිගණක මෙහෙයුම් පද්ධතියක්. බාගත කිරීමත් ස්ථාපනය කිරීමත් අපභ්‍රංශ නැතිව සෑහෙන්න සරලව කරගන්නට පුළුවන් වන විදිහේ උපදෙස් මාලාවකුත්  උබුන්ටු අය දෙනවා. පරිගණක පරිගණක හැටියට භාවිතා කරන ලංකාවේ බොහෝ දෙනෙකුන් අතරත් උබුන්ටු භාවිතා වෙන නිසා, සිංහල කඩ්ඩෙන් හෝ තනිකරම සිංහලෙන් හෝ උබුන්ටු ගැන අවවාද අනුශාසනා වගේම සෙත් පිරිත් සජ්ජායනාත් අන්තර් ජාලයේ ටිකක් කැරකුනාම හොයා ගන්නට පුලුවනි.
https://www.ubuntu.com/download/desktop

මොන දේ කලත් ලියන්නේ සිංහලෙන් හින්දා සිංහල යුනිකෝඩ් අවුණා තිබීම නම් අත්‍යාවශ්‍යම අංගයක්. විශේෂයෙන් නොලිව්වත් අර ක්‍රෝම් ආශාවටත් එක හේතුවක් වුනේ ගූගල් කට්ටිය බවුසරයේම සිංහල ලියන්නට කටයුතු කර තිබුණු නිසයි. සිංහල නොතිබුණා නම් ක්‍රෝම් පොත ගැනවත් වලාකුළු ගැනවත් ඒ හැටි උනන්දුවක් ඇති වන්නේ නැති බව නම් විශ්වාසයි.

අළුත්ම උබුන්ටු ස්ථාපනයක සිංහල හදා ගැනීම චුට්ටක් ඇස් වහගෙන කියන දේ කියන හැටියටම ටයිප් කරලා කළ යුතු දෙයක්. නමුත් අන්තර්ජාලය තුලම සෑහෙන උදව් පදව් තිබෙනවා.

පහත සබැඳි තුනම මේ ගැන.
http://pariganakalipi.blogspot.ca/2014/08/InstallingSinhalaFORUbuntu.html


http://sinhala.sourceforge.net/


https://www.youtube.com/watch?v=1tTvBD5sG3E

මේ සබැඳිය‍ේ තියන හන්තාන ලිනක්ස් ගැන ඔත්තුව ආවේ අටම්පහුරෙන්....

http://hanthana.org/





පරණ දේවල් පරණ දේවල්ම බව අපට මතක් කර දෙන්නටම සැදී පැහැදී සිටින අය නම් අනන්තවත්. අළුත් දේ හදන අය අලුත් දේවල් වන වනා ඇවිත් පෙන්නා හිනාවී කිණ්ඩිය දමනවාට අමතරව, පරණ ඒවා අතපත ගාන අහිංසකයින්ට කිණ්ඩිය දැමීමත් තාක්ෂණ ලෝකයේ බහුලවම සිදුවන දෙයක්. බිල් ගේට්ස් ජනෙල් විස්ටා, ජනෙල් එක්ස් පී පරණයි පරණයි හතට යන්ඩ දහය ගන්ඩ එන්ඩ දා ගන්ඩ වශයෙන් කිව්වා වගේම ගූගල් ඇල්ෆබට් අයියලාත්, දිගින් දිගටම එක්ස් පී වල ක්‍රෝම් අපි සලකන් නෑ, විස්ටා වල ක්‍රෝම් අපි සලකන් නෑ වශයෙන් කිව්වා ට අමතරව, බිට් තිස්දෙක පරණයි අපි සලකන් නෑ කියන්නට පටන්ගෙන තිබේ. මේ අහේතුව හින්දා මගේ බිට් තිස්දෙකේ යන්තරයේ උබුන්ටු ස්ථාපනයේ, ක්‍රෝම් බවුසරය දුවන්නේ නැත. ඒකේ අක්මුල් සියල්ලත් ගූගල් සමාගම අතුගා උදළු ගා පුච්චා වලදා ඉවරය කියයි. ඒ අනුව නම් මේ ලබුකට්ට හිල්ම වි ලිහිල් වෙන්නට තව වැඩි කලක් නැති වෙන්නට පුළුවන.

ඉතින් මේ ලියන්නේ විස්ටාව විස්ථාපනය කල උබුන්ටු වයින් දමා වයින් කල පරණ ලබුකැටයෙන්. ක්‍රෝම් වලාකුලට වඩා තියෙන ප්‍රධාන වාසිය නම් මට ඕනෑ වෙලාවක ඕනෑ හැටියකට අකුරු කරන්නට පුළුවන් කමයි. ඒත් වලාකුළත් පැත්තෙන් තියනවා. ඉඳහිටක වුනත් ඒකත් ඕන් කරලා බලනවා.
Continue Reading...

Tuesday, February 14, 2017

වැලන්ටයින්, වැලන්ටයින්.....!


රෝසමල් අරන් ආදරය බෙදා ගන්නට යන වැලන්ටයින් දිනයක් නම් ලංකාවේ ඇතිවුනේ අද ඊයේ තරම් මෑත කාලයක දී වුනත්, අපේ ආච්චිගේ මල්ලී බුජ්ජම්පල ශාන්ත වැලන්ටයින් පොල් කම්හල පටන් අරන් ඇත්තේ නවසිය පනස් නවයේ විතර දීය.

මේ පොල් මෝලට ශාන්ත වැලන්ටයින් නම වැටෙන්නේ, අපේ මුත්තා නැත්නම් ආච්චිලාගේ තාත්තා වූ නයිනාමඩමේ වැලෙන්තීනු ගමරාල ගේ නම අනුව යමින් යැයි මට මතක ඇති විදිහය. පොල් මෝල් කියන්නේ පොල් ගෙඩිය වියලි පොල් කැබලි බවට පත්කරන කම්හලකි.

මේක කරන්නට පොල් ලෙලි ගසා, කටුව බිඳ ඉවත්කර, කුරුට්ට රැහැලා, සුදු පොල් පැහෙන වතුරේ දමා ජීවාණුහරනය කර, සියුම් කැබලි වලට ලියා, පෝරණුවක වියලා, හලා ප්‍රමාණය අනුව වර්ග කර සෞඛ්‍යානුකූලව අහුරන්නට වුවමනාය. මා දන්නා තරමින් මූදුකරයේ කර්මාන්ත විප්ලවය ආරම්භ වූ ප්‍රධාන කර්මාන්ත තුනකි. එනම් කොහු මෝල්, පොල් මෝල් හා උළු මෝල්ය. මේවායින් මුල් දෙකම පොල් ය.

ගෙඩිය පොල් මෝලට යනවිට ලෙල්ල කොහු මෝලට යයි. ලෙල්ල කොහුවෙන අතර, ගෙඩියේ කට්ට, බොහෝවිට අඟුරු වෙයි. දැන් නම් චාකෝල්ම වෙයි. කුරුට්ට තෙලට හැරවෙයි. සුදු මදය අර විදිහෙන් කුඩාවට ලියවී වියලී ඩී.සී. නැත්නම් ඩෙසිකේටඩ් කොකනට් වෙයි.

ඉතින් අද වැලන්ටයින් දවසේ මේ අවුරුදු පනස් අටක් තිස්සේ කර්මාන්තයක් ලෙස, අපේ පලාත්වල අපේම කර්මාන්තයක් ලෙස පැවතෙන, වියලි පොල් විතරකින් නොනැවතී, අද පොල් කිරි, පොල් තෙල් ආදී අතුරු නිශ්පාදන දක්වාත් දියුණු වී ඇති ශාන්ත වැලන්ටයින් පොල් කර්මාන්ත ශාලාව ගැන මෙසේ ලියා තබමි.


ජාල අඩවියට සබැඳීය: http://www.valantinepurecoco.com/


Continue Reading...

Thursday, February 9, 2017

කැමීලියා සිනෙන්සිස් ගේ රහ ගුණ දෙන හත් පට්ටම [කම්කරු කළ සිකියුරිටි ගස් කතාවක්]



ඉහල යන්නට ජන්ම උරුමය ඇතත්, බලහත්කාරයෙන් පහලින් තබා තිබීමට එරෙහිව නැගී සිටීම මිනිසුන් ගැහැණුන්ට කෙසේ වෙතත් ගහකට වැලකට නම් කරන්නට අපහසුම දෙයකි. වෙනත් බොහෝ දේ මෙන්ම මේ විදිහේ පහත් කිරීම් ද කාලයකට පසුව සංස්කෘතියය, ආගමය, ඉතිහාසයය ආදී කඩතුරාවලින් වැසී සාමාන්‍ය දේවල් බවටත්, 'එදා ඉඳලම එහෙම තමයි', 'ඔව්වා වෙනස් කරන්ඩ ඉතින් මකල හදන්ඩ ඕනා' වැනි උද්දච්ච කතා වලින් තෙම්පරාදු වී විශ්ව සත්‍යයය හෝ ලෝක ස්වභාවය බවටත් පත්වෙයි.

අපේ රටේ උඩරට කඳුකර සිරියා පරදන ලඳුන් අත පත ගානා තේ පඳුරුත් ඒ ලඳුන් වාගේම අපට දළු කඩන්නට ඕනා නිසාම අඩි තුන හතරක උසට බලෙන් කප්පාදු කර 'කම්කරු' ප්‍රමාණයට මිටි කර තබා ඇති නිදහසේ වැඩෙන්නට ඇරියොත් අඩි හැට ගණනක් උස මහතට නැගී සිටින 'සිකියුරිටි' හෝ එයිටත් ඉහල තනතුරු වලට හැඩ වැඩ හා සුදුසුකම් ඇති කටවචනයට 'පඳුරු'ය  කිව්වත්, පරම්පරා නාමය අනුව නම් 'කැමීලියා සිනෙන්සිස්'  (Camellia sinensis) වන්නාවූ වෘක්ෂයෝ වෙති.

තේ ගහත් තේ රහත් හා හපුරා කියා රජ පරපුරක තොලේ කටේ ගෑවුණු චීන රටේ, යූනාන් ප්‍රාන්තයේ අඩි සීයක් විතර උස පරණම තේ ගහක් තියේ යැයි අන්තර්ජාලය කියයි. මගේ ඇහින් දුටු නිදහසේ උස් මහත්වුනු තේ ගස් තිබුණේ තලවාකැලේ තේ පර්යේෂණායතනයේ ශාන්ත කූම්බ්ස් වත්තේ, උඩහ ජේෂ්ඨ කාර්ය මණ්ඩල නිවාස වලට යන පාරේ අද මතක හැටියට, ගෙස්ට් හවුස් එක හරියේ වංගුවෙන් පහල බැලුවාමය. මදුරු බයිසිකලයේ පසුපස ආසනයේ මා රැගෙන වත්ත පුරා ගෙන ගොස් තේ වවන විද්‍යාව මට ඉගැන්නූ මගේ මිත්‍රයා කියන හැටියට නම් ලෝකයේ තනිකරම මිනිහාගේ උවමනාව නිසාම, මහාම පරිමාණයෙන් කප්පාදු කර කුදු කර, ගසක් වන්නට නොදී, පඳුරක් කර, අඟුටු මිටි කර පාලනය කරන්නාවූ ශාකය තේ ගසයි.

හෙක්ටෙයාර මිලියන හයහමාරක් පමණ වන ලංකා පොළවෙන් අඩක් පමණ සශ්‍රික සේ සැලකෙන අතර මේ හෙක්ටෙයාර මිලියන තුනයි කාලෙන් මිලියන දශම දෙකක් නැත්නම් හෙක්ටෙයාර 222000 ක් පමණ වැසී ඇත්තේ, ජේම්ස් ටේලර් 1820 දී ලූල්කඳුර වත්තේ පැළකල තේ ඇටවලින් පටන් ගෙන පස්සෙන් පහු ලිප්ටන්ලා ට්‍රැෆඩ්ලා හොප්ටන්ලා ජැක්සන්ලා ආදී නානා ප්‍රකාර ප්ලාන්ටර්ස් ලා  ඇවිත් ඇතිරූ තේ පලසිනි. එහෙම බලද්දී අද වෙද්දී, අපේ රටේ පැලෑටියක් වවන්නට පුළුවන් කමක් ඇති බිමෙන් සීයට හයක් තේ කොළ පාටය.

සුවඳ හමන මලක් පුබුදවන්නට හැකියාව තිබුණත් මේ ඉඩම් අක්කර ලක්ෂ පහමාරේ පැල කර තියන තේ පඳුරු වල දළු පුරනවා ම මිසක මල් පිපෙන්නට නම් ඉඩ ලැබෙන්නේ නැත. මොකක් හෝ හේතුවකින්, හෙට උදාසන වෙද්දී මේ තේ පඳුරු සේරම අර උඩින් ඇති පින්තූරයේ මෙන් සුදට සුදේ තේ සුවඳ හමන මලින් පිරී ගියේ නම්.... ? අර අටකාමාවට වැස්ස වැටුණාට වඩා මහා සුන්දරත්වයකින් අපේ මුළු කඳුකරයම පිරවෙනවා නේ ද?

සුදුපාට තේ මල් පිපෙන්නට නොදී නවතා කොලපාට තේ දළු නෙලා අඹරා පෝරණුවල වියලා කළුපාට කර තම්බා සුවඳ බලන්නට තරම් අපි කුරිරු වී සිටිමු. අපේ රටේ ප්‍රධාන අපනයනය ලෙස චිරාත් කාලයක් නම්බු නාම ලැබූ මේ විදේශීය ශාකය අද වෙද්දී අපේ රටේ ප්‍රධාන අනන්‍යතාවයක්ව තිබෙයි.

කොළපාට තේ දල්ල නෙලා අඹරා පෝරණුවක වියලන කාර්යය නිකම්ම නිකම් වියලිල්ලක්ම නොවන්නේ හොඳ තේ කෝප්පයක් හැදෙන්නට නම් මේ කාර්යාවලියේ දී අනිවාර්යයෙන් 'හරියට' සිදුවිය යුතු රසායනික ප්‍රතික්‍රියාවලියක් සෑහෙන්න පැහැදිලිව හඳුනාගන්නටත් ඒ ක්‍රියාවලිය හදාරා පාලනය කර හොඳ තේ හැදීමේ කාර්යය යම් දුරකට පාලනය කරන්නටත් අපේ සමහරු නැණවත් වූ නිසාය. හැම දෙයක්ම වාගේ තේ හැදීමේ කාර්යයත් අතීතයේ ඇරඹෙන්නේ අහඹු සිදුවීම් හා අත්හදා බැලීම් ඔස්සේ ගොඩනැගෙන අත්දැකීම් එකතුවක් තුලින් තේ හැදීමේ සාත්තරය ගොඩනගාගත් 'ටී මේකර්' ලා පරපුරකගෙනි.

අපේ රටේ සුවඳ රැඳුන කළු තේ වල රහගුණ බොහෝ දුරට නිර්ණය වන්නේ තයරුබිජින් (Thearubigin) හා තයාෆ්ලේවින් (Theaflavin) නමින් ප්‍රධාන කුලක දෙකකට බෙදෙන සංයෝග නිසායැයි හඳුනාගෙන තිබේ. මේ දෙවර්ගයම එකතුව පොලිෆීනෝල් (polyphenols) සංයෝග ලෙස කියවෙයි. පොලි කිව්වාම නානාප්‍රකාර අර්ථ හා 'බැඳී' තියෙන්නට හැකි මුත්, මේ පොලි එ් වචනය උපන් ග්‍රීක් වචනවල අර්ථය අනුවම යමින් 'බහු' නැත්නම් 'ගොඩක්' යන අර්ථයෙනි. බෙන්සීන් අණුවකට හයිඩ්‍රොක්සි (-OH) ඛාණ්ඩයක් අැවිණුනාම හැදෙන ෆීනෝල් ඛාණ්ඩ ගොඩක් මේ අණුවල අඩංගු වීම මීට හේතුවයි. මේ විපර්යාස සියල්ල සිදුවෙන්නේ ලපටි ලා තේ දළු නෙලා තව්මරා (withering) අඹරා පැහෙන්නට (fermenting) තට්ටුවල අතුරා තියෙන කාල සීමාවේ දීයි. තව්මැරීම දළුවල අමතර ජලය ඉවත් කරන්නටය. අැඹරීම නම් දළුවල සෙෙල කඩා බිඳ අැතුලත අැති ෆ්ලේවෝන නම් සංයෝග හා එන්සයිම මිශ්‍ර කරන්නටය.

කඩපු දල්ලකට මැරෙණවා හැර විකල්පයක් නැත. බාගෙට වියලා අැඹරීමෙන් මේ මරණය ඉක්මන්වී දිරාපත්වීම කලින්ම අැරඹෙනවාට වඩා දෙයක් සිද්ධ වේ යැයි හිතන්නට අමාරුය. ඉතින් තට්ටුවල අතුරා පැහුණු තේ දළු ඊළඟට යන්නේ ගිනි උදුනක කරවීමට වීම අභව්‍ය කාරණයක් වන්නේ නැත. මීදුම පාත්වෙන උදාසනක හැටන් නුවර එළිය පැත්තේ හෝ, බදුල්ල පස්සර පැත්තේ හෝ එ්ත් නැත්නම් රත්නපුර නුවර පැත්තේ හෝ එහෙමත් නැත්නම් දෙණියාය බලංගොඩ පැත්තේ හෝ තේ වැවෙන තේ හැදෙන පලාතක එළියට බැස්සොත් බොහෝවිට නාස් පුඩු කිති කැවෙන්නේ කියන්නට ලියන්නට අපහසු, විඳලාම විඳිය යුතු මේ වියලෙන පිලිස්සෙන දළුවල සුසුම් සුවඳිනි.



ඉහත රූ සටහන බලා තේ කියන්නේ මේ සංයෝග තුනය කියා සරලව හිතෙන්නට පුළුවන් මුත්, අනික් බොහෝ කාරණා වලදී මෙන්ම තේ වලදී ද සරලය කියා දෙයක් නම් නැත. මෙහි කැටචින් සේ දක්වා ඇති ෆ්ලේවෝන සංයෝගම ප්‍රධාන එව්වා පමණක් පස් වර්ගයක් හඳුනාගෙන ඇති වගත්, ඒවා දැනටමත් බෙන්සීන්, ඔක්සිජන්, හයිඩ්‍රොක්සිල් තොරණක් වී ඇති මේ සරලම පාදම මත ගොඩ නැගුණු තට්ටු තට්ටු ඒවා බවත් කීවාම; මේ නම් ඉතින් තරමක අන්ධකාර රාත්තිරියක ගිනිගත්හේන පැත්තෙන් හැටන් කිට්ටුවෙද්දී ඈත අන්ධකාර අහසේ පින්තූරයක් වාගේ පෙනෙන සුදු විදුලි බුබුළු මාලයක් දා ගත් සිරිපාද මුදුන විතරක්ම බවත්, මළුව කරුණාකරන්න නම් ගව් ගානක් ගල්පඩි දිගේ කල් බලන්නට සිදුවන බවත් තේරුම් ගත යුතුය. මං සලකුණු ලියනවා නං මේ සංයෝග එපි-කැටචින් (epicatechin (EC)) එපි-කැටචින් ගැලේට් (epicatechin gallate (ECG)), ගැලෝකැටචින් (gallocatechin (GC)), එපි-ගැලෝකැටචින් (epigallocatechin (EGC)), සහ එපි-ගැලෝකැටචින් ගැලේට් (epigallocatechin gallate (EGCG)) යැයි නම්වෙයි.

මුල විවිධ වූ විට ඒ විවිධ සංයෝග එහා මෙහා සහ සම්බන්ධ වී අගට හැදෙන ඵලත් ඔය පෙන්නා ඇති සරල රූප දෙකට සීමා වෙන්නට හේතුවක් නැත. ඉතින් මේ සංයෝග ඛාණ්ඩ දෙකින් එකකට අයත්යැයි කියන්නට පුළුවන් සංයෝග ගණනාවක් ම තේ කහට ඩිංගක පීන පිීනා සිංදු කියති.

වැඩ්ඩෝ නම් දැනටමත් මේවායේ සූත්‍ර ලියා රූප සටහනුත් ඇඳලා නිකන් එව්වායේත් එපි එව්වායේත් ත්‍රිමාණ රූපත් අධ්‍යයනය කරනවා වෙන්නට පුලුවන. පිටින් කොහොම පෙනුනත්, නම නිකම්ම කැමීලියා වුනත්, ඇතුලට එබී බලද්දී දකින සංකීර්ණත්වයෙන් හිත වශී කරගන ඒ පෙනෙන රටාවල දම්වැල්වල අග මුල ලිහාගැනිල්ලට ඉපදුනු අයත් අපට කලින් පහලවී සිටි නිසා අපි මේවා මේ තරමින්වත් ලියා ගන්නට තරම් වාසනාවන්ත වී සිටිමු.

තේ කෝප්පයේ තේ කහට වල මේ දෙවගින් වැඩි වශයෙන් හමුවන්නේ තයරුබිජින් වුව ද, තේ කහට නිකම්ම කහට නොවී රහගුණ දෙන රසකාරකය සේ හැඳිනෙන්නේ නම් ත්‍යාෆ්ලේවින් සංයෝගයි. ත්‍යාෆ්ලේවීන් හි ප්‍රධාන වෙනස, හත්පට්ටම් කාබන් චක්‍රයක් ඇති ට්‍රොපලෝන් ඛාණ්ඩයයි. තයරුබිජින් මෙන්ම ත්‍යාෆ්ලේවින් ද වටේ අවුණා ඇති සැරසිලි හැඩපලු හා ත්‍රිමාණ සැකිල්ලේ වෙනස්කම් මත ප්‍රභේද කිහිපයකට බෙදෙයි.



මිල කියන්නේ ඉල්ලුමය. ඉල්ලුම කියන්නේ උවමනාව වෙයි. පෙට්ටියේ ලස්සණ කොහොම වෙතත් මිලදී ගන්නා කෙනාගේ උවමනාව වැඩිවන්නේ නම් තේ කහට වල රසය ගුණය වැඩිවුනු පමණටය. තේ කර්මාන්තය කර්මාන්තයකින් එහාට ගිය වෙළඳාමකුත් වෙයි. තේවල රහ ගුණ බලා මිල කියන්නේ ටී ටේස්ටර් ලාය. රත්නපුරා ටවුමේ ඇස්ස නැති ටෝච් එකෙන් ගල්වල මිල කියන අය වගේම කට්ටියක් වුවත්, ටී ටේස්ටර් රස්සාව අරිට වඩා බොහෝ උස බොහෝවිට ගුරාගෙන් ගෝලයාටම උරුම වන එක්තරා විදිහක තරු පහේ හයේ රස්සාවක් වෙයි. තේ කර්මාන්තය විද්‍යාත්මක පදනමකට ගෙනෙන්නට නම් පළමුකොටම හොඳ තේ කෝප්පයක් අඳුනාගන්නා ටේස්ටර්ගේ දිවේ ඇණෙන ඉඳිකටුව මේ පිදුරු ගොඩ අවුස්සා සොයා ගත යුතු බව හඳුනාගත් බොහෝ පර්යේෂකයින් ගේ ක්‍රියාකාරකම් හා ප්‍රතිඵල එකතු කල විට, ඇඟිල්ල දිගු වෙන්නේ මේ හත්පට්ටමටයි.

හොඳ නම් මේ ලෝකයේ ඇත්තේ ටිකය. ඉතින් තේ කහටේ ත්‍යාෆ්ලේවින් ඇත්තේත් ටිකය. පාට කහට කොහොමින් කොහොම ආවත් 'ගුණාත්මය' කියා කියන්නට හැකි 'කොලිටි' නැත්තං 'Quality' කියන මේ දවස්වල අතන මෙතන හැමතැනම අඩුය කියන ගුණය තේ කෝප්පයේ දී නිර්ණය වන ප්‍රධාන සාධකය ත්‍යාෆ්ලේවින්/තයිරුබිජින් අනුපාතයය කියන්නට සාධක බොහෝය. තේ කෝප්පයෙන් එලිබට ත්‍යාෆ්ලේවින් ගැන මෑත කාලයේ දී වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ අයගේත් අවධානය යොමුවී තිබේ.

ප්‍රතිඔක්සිකාරක (antioxidant) ගතිගුණ ඇති සංයෝගයක් ලෙසත් HIV ආසාදන ප්‍රතිකාරකයක් ලෙසත් ත්‍යාෆ්ලේවින් මෑත කාලයේ යම් තරමක නමක් දිනාගෙන සිටී. කොලෙස්ටරෝල් මර්ධනය හා හෘදයාබාධ වැලැක්වීම පිළිබඳව තේ සංයෝගවල දායකත්වයත් ඉහලින්ම කතා වෙයි. වේල් තුනටම කහට කෝප්පය විතරක් බොන කෙනා කිසිම සැකයක් නැතිව කෙට්ටුවෙන බව; බර අඩුවෙන බව; අපේ රටේ ගම්බැදි වල ඈයෝත් ලයින් කාමර වල තේ දර පිච්චූ දුමින් පදම් වී උදේට කහට කෝප්පය බී දළු කඩන්නට එන ලන්දුත් නම්  හොයා ගත්තේ නම් බොහෝ කාලයකට කලිනි. ඒ අනුව යමින් ඉස්මුරුත්තාවට කාලා ග්‍රීන් ටී බී කෙට්ටුවන්නට නම් බැරි බව දැන් සෑහෙන දුරට පසක් වී තිබේ. තේ ක්ෂේත්‍රයේ මේ කොළ කළු භේදය යම් තරමක් දුරට විද්‍යාව පැත්තටත් බලපා තිබෙයි. කොළ තේ අගේ කරන කට්ටිය කොළ තේ වල ගුණ වැනීමත්, කළු තේ කාරයෝ කළු තේ වල ගුණ වැනීමත් රහසක් නොවේ. කොළ කළු තේ දෙවගේ රසායනික පැත්ත ගැන වඩාත් උනන්දු නම් ඒ ගැන සැසඳුමක් මෙතන pdf ලියවිල්ලක් ලෙස තිබේ.


http://citeseerx.ist.psu.edu/viewdoc/download?doi=10.1.1.195.6410&rep=rep1&type=pdf

තලවාකැලේ ශාන්ත කූම්බ්ස් වත්තේ හංගා ඇති අපේ තේ පර්යේෂණායතනයේ ජාල අඩවියට පිවිසුම මෙතනින්. එතැන ඇති ලියකියවිලි වල තේ රසායනය ගැනත් අපමණ දේ තිබෙයි.

http://www.tri.lk/home

තේ කෝප්පයක් හදාගෙන පරණ කයි කතා කියවන්නට කැමති අයට තේ වල කහට ගෑවුනු තැන් ගැන විස්තර තියන තැන් කීපයක් මෙතන

 http://www.ceylonteamuseum.com/history.html
 http://www.pureceylontea.com/index.php/when-coffee-was-king
 http://amazinglanka.com/wp/james-taylor-loolkandura/

Continue Reading...

Tuesday, January 31, 2017

ගිරවා....!

කන්‍යාරාම නැත්නම් කොන්වන්ට්ය කියන්නේ කතෝලික/ක්‍රිස්තියානි දේවදාසියන් ගේ නිවහන්ය කියා හැඳින්වීමේ වරදක් තිබිය නොහැකිය. සම්භවය එසේ වුවද, සමාජ ආශ්‍රයෙන් සහමුලින්ම ඈත්වී, දෙවියන් වෙනුවෙන්ම කැපව ධ්‍යානයෙන් හා යාච්ඤාවෙන් කල් ගෙවන නිකාය දෙක තුනක් තිබෙන නමුදු, බොහෝ ක්‍රිස්තියානි/කතෝලික කන්‍යාරාම, පාසල්, රෝහල්, මහළු නිවාස, දුගී නිවාස ආදී යම් ආකාරයක සමාජ සේවයකට යොමුවූ ඒවාය. මේ නිකාය අතරින් ශුද්ධවු පවුලේ කන්‍යා සොයුරියෝ ප්‍රධාන වශයෙන් අධ්‍යාපන කර්තව්‍යයට කැපවූවෝ වෙති.

හෝඩියෙන් පටන් ගෙන පස් වෙනි පංතිය වනතුරු මා ඉගෙන ගත් වෙන්නප්පුවේ ශුද්ධවු පවුලේ කන්‍යාරාමයට අනුබද්ධිතව පවත්වාගන ගිය සාන්ත මරියා ප්‍රාථමික පාසලට තිබුනේ එකම එක ගොඩනැගිල්ලකි. පාර පැත්තේ සිට පළවෙනිය, ප්‍රින්සිපල්, සිස්ටර් හෝලි ෆැමිලි ගේ කාර්යාලය, දෙවෙනිය, තුන්වෙනිය හතරවෙනිය වශයෙන් පංති තිබුණත්, දෙවෙනියේ හිට පස්වෙනිය දක්වාම පන්ති අතර බිත්තිවත්, පන්ති වෙන්කරන වෙන පැළලිවත් තිබුණේ නැත.
සාන්ත මරියාව පහු කලක 'මෙත් නිවස' නමින් වැඩිහිටි නිවාසයක් විය. වෙන්නප්පුව මඩම පාරේ ගිහින් නාසරෙත් එක ළඟින් වමට හැරුනාම තාප්ප යකඩ ගේ්ට්ටු අතරට මැදිවී 'මෙත් නිවස' තවමත් තිබෙන බව සියල්ල දන්නා ගූගල් සමාගම කියයි.


සාන්ත මරියාවේ හැම පන්තියකම කොටස් දෙකක්විය, 'ඒ' හා 'බී' ය. 'ඒ' පන්තියේ හිටියේ 'ඒ' වර්ගයේ ළමයිය. 'බී' පන්තියේ හිටියේ 'බී' වර්ගයේ ළමයිය. මේ ඉස්කෝලය මිශ්‍ර ඉස්කෝලයක් වුණත්, අවුරුදු නවයෙන් පස්සේ පිරිමි ළමයින්ට ඉඩ තිබුණේ නැත. අවුරුද්ද මුල උපන් වාසනාවෙන් මට නම් නවය පිරුණේ පස්වෙනියට පැන්නාටත් පසුව හින්දා, ඒ අවුරුද්දේ පස්වෙනියේ 'ඒ' පංතියේ එකම කොල්ලා වුනේ මම ය. 'බී' පංතියේ කොල්ලා ආනන්ද ය.

හතරවෙනි පංතිය වෙන විට, මට පංතියේ අනිත් ළමයින්ට වඩා ටිකක් හරි ඉස්සරහින් ඉන්නට පුළුවන් වුනේ සිංහල රචනාව ලිවිල්ලෙන්ම පමණකියි යන්න මගේ මතකයය. අනිත් ළමයින් දවාලට කෑමට ගියා වුණත් පටන් ගත් ලිවිල්ල ඉවර කරන තුරු ඩෙස්කයෙන් නැගිටින්නේ නැති පුරුද්දකුත් ඔය කාලයේම තිබුණා මතකය.

පස්වෙනියේ 'ඒ' පංතිය විශේෂ පන්තියකි. ඒක තිබුණේ ඉස්කෝල ශාලාව කෙලවර සිමෙන්ති වේදිකාව උඩය. 'බී' පංතිය වේදිකාවේ පඩි තුන හතර බැස්සාම ය. වේදිකාව නම් මට ඒ වෙද්දීත් හොඳට හුරු පුරුදු තැනකි. අවුරුද්ද අග කොන්සට් එකට මුලින්ම මම රජාට ඇන්දේ ඉහල බාලාංශයේ නැත්තං පළවෙනියේ දීය. ඒත් ලේසිපාසු රජෙකුට නොවේ ගැමුණු කුමාරයාගේ තාත්තා, කාකවණ්ණ තිස්සට ය. ඉන් පස්සේ ඇන්දේ අත්තනගල්ලේ දී ඉස් ඉස්සෙල්ලාම වාගේ බෙල්ල අහිමි වුනු, සිරිඟබෝ රජ්ජුරුවන්ගේ සහෝදරයා වූ ගෝඪාභය කුමාරයාට ය.

ඉස්කෝලේ ඉහලම පන්තියේ මෙන්ම, ඉස්කෝල ගොඩනැගිල්ලේ ඉහලම ස්ථානයේ කෙල්ලන් විසි පහක් විතර ඉන්නා පංතියක එකම කොල්ලා වී ඉන්න වීම එක අතකින් ආඩම්බර කාරණයක් සේ සලකන්නට පුළුවන් නමුදු, අනික් අතින් එක්තරා විදිහක ලජ්ජාවට කාරණයකුත් වූයේය. මේ ලජ්ජා කාරණය නම් ඒ වයසේ ගෑණු පිරිමි හෝමෝන වලින් ම මතුවෙන කාරණාවක් ද වෙයි. මේ කාරණා කෙසේ වෙතත්, ඒ වනවිට සාන්ත මරියාවේ සිටි ලොකුම අයියලා දෙන්නා ආනන්දත් මමත් බව නම් පැහැදිලිවම තහවරු වී තිබුණි. මේක වඩාත් කැපී පෙණුනේ ඉස්කෝලේ ඩෙස්ක බංකු එළියට ඇද, පිරිසිඳු කර, වීදුරු කටු, වැලි කඩදාසි වලින් මැද, පොලිෂ් අතුල්ලා අලුත් කරන දවසටත්, හැම පංතියකම පාහේ තිබුණු පොත් අල්මාරිය එහා මෙහා කරවන්නට සිදුවූ වෙලාවටත් වැනි බරපතල වැඩ වලදී ය.

මින් අමතරව මගේ සමර්ථකම් කැපී පෙනෙන වේලාවක් වූවා නම් ඒ, සිකුරාදා හවස් වරුවේ සමිති වේලාවයි. ඒ පංතියේ අය පුටු අරගන වේදිකාවෙන් බැස බී පන්තියේ ඩෙස්ක පේලි අතර වාඩිවී, පහේ ඒ බී පංති දෙකම එකට එකතුවන ඒ වෙලාවේ සිදුවුනු ලොකුම වැඩේ නම් අපි එක් එක්කෙනා කලින් ලියා පිලියෙල කරගත් කථාවක් සමිතිය ඉස්සරහට ගොස් හඬ නගා කියවීමයි. කතාවක් කරනවා කිව්වත් ප්‍රී ප්‍රිපෙයාඩ් රචනාවක් කියවන මේ වැඩේ අපේ පහේ පන්තියේ විතරක් නොව ලෝකයේ ලොකු ලොකු ඉහල තැන්වලත් බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ නම් මේ විදිහෙන්ම යි.

ඒ අවුරුද්දේ පහේ පංතියේ සමිතියේ හොඳම කතා කාරයා මමය කියා හදාගෙන තිබුණු වාර්තාව නොසිතූ අයුරින් පොළවටම සමතලා වුනේ පහ බී පංතියට දෙවන වාරය මුල දී එකතුවුනු අළුත් කෙල්ලක්, ඇගේ රචනාව සමිතිය ඉස්සරහ කියවූ සිකුරාදා ය.

ඒ කතාවේ මාතෘකාව 'ගිරවා' ය.

ඒ කෙල්ලගේ නම රමණී වීරසිංහ ය.

එදා රමණී හුරුබුහුටි කෙටි වාක්‍ය වලින් ලතාවකට රටාවකට ඇවිණූ ගිරවා ගැන රචනාව පංතිය ඉස්සරහා කියවනවාත්, සමිතිය දවසට ඉස්සරහින්ම වාගේ වාඩිවෙන මගේ හිත අමුතුම විශ්මයකින් පිරී යනවාත් මට තවම මතක් කර ගන්නට පුළුවන.

අවාසනාවකට මගේ අතීත මතක බොහෝ දුරට හිතේ ඇඳුණු නිහඬ පින්තූර වෙයි. යම් සීමිත සිදුවීම ගණනක මිස අනෙක් ඒවායේ හඬපට තිබෙන ඉසව් එක්කෝ අඩපණය නැත්නම් නැත්තටම මැකී ගොසින් ය. රමණී ගේ ගිරවා ගැන මට ඇතිවුනේ වෛරයක්වත් ඉරිසියාවක්වත් නොවේ. කොහොම හරි ඒ වාගේ ලියන්නට ආසාවකි. පහ ඒ පංතියේ එකම කොල්ලා වූ මම පහ බී පංතියේ රමණී මගේ හොඳම මිතුරිය බවට පත්කර ගන්නේ ඒ නිසා වෙනි. ඒ දවස්වල ඇගේ ගෙවල් තිබුණේ පල්ලිය අහලින් වැල්ල පැත්තට යන ඒ කාලේ මට මතක හැටියට පල්ලිය පාර වූ දැන් තෝමස් ප්‍රනාන්දු මාවත සේ නම්කර ඇති පාරේ පල්ලෙහා ය. හවසට පයින් ගෙදර යන අපි දෙන්නා, ඉස්කෝලේ සිට මහකඩේ ලඟට එනතුරු එකට කතාකර කර ඇවිත් එතැන දී දෙපැත්තට වෙන්වෙන්නට පුරුදු වී සිටියෙමු. අපේ කතා බහ මොන මොනවා ගැන වූවා ද යන්න නම් හරියාකාර මතකයක් මට නැත. ඒවා බොහෝවිට අප කියවූ පොත් පත්තර කතාන්දර ගැන වෙන්නට ඕනෑ යැයි සිතේ. රමණී පුංචි පින්තූර එකතු කලාය. අපේ බාප්පාගේ පරණ රසවාහිනී සඟරාවල පැරණි රජවරුන්ගේත් ඉතිහාසගත වූ පුද්ගලයින්ගේත් පින්තූර අඩුවූ හිස්තැන් ඇත්නම්, ඒවා තිබුණේ රමණී ලඟය. පුංචි සූට්කේස් වල පාඩම් පොත් දමාගන පාසල් යාම සිරිත වූ ඒ කාලයේ, සඳුදා හවස්වරුවල මහ කඩේ අයිනේ නැවතී සුට්කේස් ඇරගන පින්තූර කෑලි හුවමාරු කරගත් මතකයනුත් මගේ අතීත මතක චිත්‍රවල සටහන් වී තිබේ.

රමණීගේත් මගේත් මේ යාළුකම හරියාකාරව තිබුණේ ඒ අවුරුද්දේ ඒ අවසාන වාර දෙකේ දී පමණි. ඊළඟ අවුරුද්දේ සාන්තමරියාවට ආයුබෝවන් කියූ මම, ජෝශප්වාස් විද්‍යාලයේ හයවෙනි ශ්‍රේණියේ ඒ පංතියට ඇතුළු වූයෙමි. මා සමග සාන්තමරියාවේ හතරවෙනි පංතිය දක්වා සිටි රෙක්ස් ද පස්වැන්න දක්වාම සිටි ආනන්ද ද මා සමගම ජෝශප් වාස් විදුහලට ඇතුළු වූහ. ඒ අළුත් යාළුවන් එකතු වූ අළුත් ඉස්කෝලයක, අළුත් ලොකු ඉස්කෝලයක පුංචිම පංතියට එකතුවූ අළුත්ම අවුරුද්දක් විය. වැඩි කලක් නොගොස්ම මගේ රචනා පොත හත අට පංතිවලට ගෙන ගොස් කියවන තරමට සිංහල ඉගැන්නූ කරුණාරත්න සර්ගේ හිතට අල්ලා ගියේය. එවැනි අවස්ථාවල දී නම් මට රමණීත් ඈ සමග පාර දිගට කෙරුණු අල්ලාප සල්ලාපත් නිතැතින්ම මතක් වෙයි.

මට මතක හැටියට මා ආයේත් රමණී දැක්කේ හත්වෙනියේ විතර ඉන්නා කාලයේ දීය. ඒ අවුරුද්දේ සිංහල භාෂා දිනයේ වෙන්නප්පුව මණ්ඩලයේ රචනා තරඟය තිබුනේ අපේ ඉස්කෝලේය. ඉස්කෝලේ දවසක් වූ එදා ප්‍රින්සිපල් ගේ කාමරයට යාබ ද පංති කාමරයක් රචනා තරඟය සඳහා වෙන්කර තිබුණු අතර පිට පාසල් වලින් පැමිණි තරඟ කාරයෝ හා තරඟ කාරියෝ ඉස්තෝප්පුව දිගට පොරොත්තු වෙමින් සිටියහ.

රමණී ඇඟපතින් වැඩී පිරී සිටියාය. ශුද්ධවු පවුලේ කන්‍යාරාමයේ තරඟකාරිය වූ ඈ, පාසලේ සුදු යුනිෆෝම් ගවුම හැඳ සිටි නමුත් මට පෙණුනේ නම් අපේ පංතිවල ඉගැන්වූ මිස් කෙනෙකු තරම් ලොකු මහත් කාන්තාවක් විදිහට ය. මම තවමත් මහ කඩේ අයිනේ සූට්කේස් එක ඇරගෙන පරණ සඟරා පින්තූර හොයන පුංචි කොල්ලාම වූයෙමි. අපේ ඇස් හමුවූ නමුත්, ලඟට විත් කතා කරන්නට අපි දෙන්නාටම පුළුවන් වූයේ නැත. ඒ අවුරුද්දේ වෙන්නප්පුව මණ්ඩලයේ සිංහල භාෂා දින හොඳම රචනාව ජෝශප් වාස් විද්‍යාලයෙන් නොවූ බව ලියන්නට උවමනා නැත.

ඊලඟ අවුරුද්දේ විතර, ශුද්ධවු පවුලේ කන්‍යාරාමයේ උගත් අපේ නංගී සහභාගිවූ වාරාවසාන විවිධ ප්‍රසංගයකට අම්මාත් තාත්තාත් සමග මටත් යන්නට සිදුවිය. එදා ප්‍රමුඛාංගය වූයේ අමල් බිසෝ කතාවේ වේදිකා රංගනයකි. කොළපාට රෙදි පිහාටු එල්ලූ ඇඳුමක් ඇඳ අත්දෙකට තටු දෙකක් අවුණාගත් රමණී, ඒ නාට්‍යයේ ගිරවා වූවා ය. දෛවයේ සරදම්, කාලය කොතරම් නපුරුද වාගේ හිතිවිලි නම් නැගෙන්නට තරම් මගේ හිත සසල වුනේ නැති නමුත්, පරණ යාළුකමත් ඒ යාළුකමට හේතු වූ ගිරවා විදිහටම ඇඳ වේදිකාවේ රඟන රමණීත් එක්තරා විදිහක නුපුරුදු හැඟීමක් මතු නොකලාම කියන්නටත් නොහැකියි. ප්‍රසංගය අවසානයේ අහල පහල යාළු ම්ත්‍ර ගුරුවර ගුරුවරියන් සමග සාමිචි කතා බහත් අවසන්ව ගෙදර යන්නට නංගී කැන්දා ගෙන එන්නට වේදිකාව පසුපසට යන්නට වුනේ මටයි. තවමත් ගිරවාට හැඳ සිටි රමණීව දොර ලඟදීම මුණ ගැසුණත්, අපේ ඇස් එකට හමුවුනාට වඩායින් එහාට වචනයකින්වත් යන්නට ලැබුණේ නැත. අච්චර ලඟට අඳුනන මුත් නාඳුනන දෙන්නෙක් වාගේ වුනේ ඇයිදැ යි මට හිතුණේ ගෙදර ආවාටත් පසුවයි.

ඊළඟ වසරක රමණී කොළඹ බම්බලපිටියේ ශුද්ධවු පවුලේ කන්‍යාරාමයට මාරුවී ගියාය කියා මතකයේ තිබෙයි. කෙසේ වෙතත් මා නවවැනි දහවැනි පංති වල සිසුවෙක් වනවිට වෙන්නප්පුව මණ්ඩලයේ සිංහල භාෂා දින තරඟයේ රචනා තරඟ ජය ජෝශප් වාස් විද්‍යාලයට ලැබෙන්නට පටන් ගෙන තිබුණි. මෙවන් නොයෙක් වෙනස් වීම් මැද ගිරවා අතීත මතකයන් අතරට කූඩු වූ අතර, සාමාන්‍ය පෙළත් උසස් පෙළත් තරණය කර අවසානයේ කොළඹ සරසවියේ සල්ගහ යටට එන්නට තරම් වූ වාසනාවක් මට තිබුණි.

ඒ විශ්ව විද්‍යාල පළමු වසරේ, යාළු මිත්‍රයන් එකතු වී කල්ලි සෑදී, ජීවිතය විඳින්නට පටන් ගත් සමයේ දවසක, වැල්ලවත්තේ සැවෝයි සිනමා හලේ දී, පෝලන්ත සිනමාවේ සම්මානලත් චිත්‍රපටයක් වූ 'Butterflies - සමනල්ලු' නරඹන්නට අප හැම අැදගන ගියේ කළුතන්ත්‍රි බව මතකය.

චිත්‍රපටය ඇරඹෙන්නේ, අතුරුදහන් වූ මොනිකා සොයමින් වන වදුලු පීරමින් ඇවිදින දරුවන් පිරිසක් ගේ දර්ශනයකිනි. අවසන් වන්නේත් එතැනිනි. ඒ අතරතුර තියෙන්නේ නිවාඩු සමයක පිටිසරකට යන ළමයින් පිරිසක් අතර සිටින එකලොස් හැවිරිදි එඩෙක් හා අහල නිවසක මොනිකා අතර ලියලන මෝදුවන සබඳතාවත්, එය අහම්බෙන් බිඳ වැටෙන අයුරුත් අලලා කියවෙන ළමා මිතුරුකම් හිතවත්කම් යොවුන් වියේ සමනල හිතිවිලි බවට පත්වන දළඹු කාලය පිළිබඳ කතාවකි.

පෝලන්ත සිනමාවේ දැවැන්තයකු වූ ජානුස් නස්ෆිටර් (Januz Nasfeter) 1973 දී ලියා අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටය ලෝක ළමා චිත්‍රපට අතර සලකුණක් තැබූ චිත්‍රපටයක් ලෙස අදටත් සැලකෙයි. මොනිකා ලෙස මේ චිත්‍රපටයෙන් කළ එලි බට බොෂීනා ෆෙඩොශික් (Bozena Fedorczykජානුස් ගේ චිත්‍රපට කිහිපයකම රඟ පෑ නිළියක වූවාය.

එදා සැවොයි සිනමා හලේ කැම්පස්  බැචාලා සමග අනං මනං විහිළු කතා කියමින් පෝලිමේ ඉන්නා විට අපට ඉදිරියෙන් තාප්පය අයිනේ කෙල්ලන් පිරිසකුත් පේලි ගැසී සිටියහ. එතැන මැදකට  වෙන්නට හිටියේ රමණීම බව මගේ හිත අදටත් කියයි.

එදාත් අපේ ඇස් හමුවූ නමුත්, එතැනින් එහාට වචනයකින්වත් යන්නට කරුණු කාරණා සිදුවුනේ නැත.

(පහල පින්තූරය බොෂීනා ගේය.)




Continue Reading...

Blogroll

About