Wednesday, January 25, 2017

ගලන ගඟක නිම් නැති සෙනෙහස

Share it Please
ඔසීලන්තයේ මෙල්බර්න් හි ගඟක් ගැන මාලතී ලිවූ මේ වචන ටික "ගඟක නිම් නැති සෙනෙහස"  ඇහැ ගැහුනේ අදයි.

ඔසීලන්තයේ ම ගඟක් අහල දෙදාස් නවයේ දෙසැම්බරයේ දී මා අතින් ලියවුණු පද පෙලත්, අන්තර්ජාලයේ ඇහැ ගැහුණු ඇමරිකාවේ ග්‍රෑන්ඩ් කැනියම හරහා ගලන කොලරාඩෝ නදියේ ඡායාරූපයක් නිසා දෙදාස් දාසයේ පෙබරවාරියේ දී  මුහුණු පොතෙහි ලියවුණු පද පෙලකුත් ආපහු කියවන්නට හිතුණේ, ඒ දෙතැනම කැටි කරන්නට තැත්කල මගේ හිතිවිලිත් මාලතී ගේ මේ කෙටි වචන එකතුව තුල නොමසුරුව ත් රසවත්ව ත් අර්ථාන්විතව ත් එකතු වෙනවා නේද කියා හිතුණු නිසාය.

කවිකම කියන්නේ මේ  ප්‍රාතිහාර්යයටය.
ඉතින් අපිත් ආශිර්වාද ලද්දෝ වෙමු.

මාලතීගේ බ්ලොග් අඩවියට සබැඳිය - http://hapifly.blogspot.ca/2017/01/blog-post_12.html





 ගඟක නිම් නැති සෙනෙහස 


රැළි නගා ඇදෙන කොට
සුළි අතර බිඳී විසිරෙන කොට
වරක් මියැදී යළිත් උපදින එක
ඒ තමයි කාටවත් නො පෙනෙන
ගඟක නිම් නැති සෙනෙහස






සිනාසෙන දිය අගාධය බිම රළ නගා ගලනා
පියාපත් නැති සියොත් තුඩගක පිපාසය නිවනා
කල්ප සියයක් වයස් වූවත්
ගඟේ දිය තරුණයි
ගැඹුරු ගං දිය වගේමයි
මේ....
ආදරේ අරුමයි

ඇඳී සලකුණු තිබේ කඳු මත ගලා ගිය රුහිරු
වැදී හී සර පැලී දෙදරුණු බිඳුණු ගල් පතුරු
පතක් නොසැලෙන තැනක් වූවත්
වසන්තය හිනැහෙයි
නිල් අහස වාගෙම හැඩයි
මේ....
ආදරේ අරුමයි

නිමාවක් නැති කතාවක් ඇත කඳු බිතක ලියැවී
විඩාවක් නැති කඳුළු ගඟකට දුක කියන මලවී
තරු පිරුණු අහසයි
සඳක් නොනැගෙන රැයක් වූවත්
උණුසුමයි ඒත් සිසිලයි
මේ....
ආදරේ අරුමයි


පෙබරවාරි 23, 2016

4 comments:

Blogroll

About